Chapter 6 of 15

05. කොටස

BLIND ✔1,194 words~6 min read

"තුල්‍ය..!!! තුල්‍ය..!!!"

මං කඩේ ඇතුළට ගිහින් එන ටිකට මේ කොල්ලා අතුරුදන් වෙලා.... ඉන්න කියලා ගියපු තැන හිස් වෙලා තියෙනවා දැක්කම මගේ පපුවෙන් පටන් ගත්ත හිරියක් මුළු ඇඟ පුරාම ගියා.... මගේ හිතට ලොකු බයක් දැනෙන්න ගත්තා.... නොපෙනෙන ඇස් දෙකක් එක්ක මේ ළමයා කොහෙ ගියාද.... එයාගේ නම කියලා කෑ ගැහුවටවත් ප්‍රතිචාරයක් නැති තැන මං ආපහු වෙරළ පැත්තට යන්න ගත්තා.... ඒත්....

"මොනවද ළමයෝ ඔය කරන්නේ.. මං හොඳටම බය වුනා.."

"අයියේ.. මේ.... මේ බලන්නකෝ අනේ.. හරි උර්තල් නේ.. මං මුස්ලිම් නෙමේනේ මට අල්ලන්න පුළුවන්.."

මේ කොල්ලා නම්.....

එයාට කොහෙන්දෝ පූස් තඩියෙක්ව හම්බෙලා.... කොහොම අල්ලගත්තද කියලා නම් දන්නේ එයාම තමයි.... අර සැරයටියත් බිමින් තියා ගෙන මේකා බිමට නැමිලා පූසව අත ගානවා.... ඒකත් හොඳට පුරු පුරු ගගා මේකගේ අතේ ඇතිල්ලෙනවා.... අරහේ මගේ පපුවේ ගිනි අවුලලා මේකා මෙහෙ දමාන ගානක්වත් නැතුව පූසෙක්ව හුරතල් කරනවා.... මාවත් බය කරලා කියන්නෙත් නැතුව ආව එකට හොඳ දෙකක් කියා ගන්න කටට ආවට ඒකාගේ මූණේ සිරියාව දැක්කම කියන්න ආව වචනත් අමතක වෙලා ගියා....

ඒකා මුස්ලිම් නෙමෙයි කියන්නේ.... ඇස් පේන් නැති වුනාට මොකද මේකා හැම මඟුලම අහනවා වගේ අර ෆෝන් කෑල්ලෙන්....

"කොයි ළමයෝ නැගිටින්න.. ඔහොමත් අල්ලනවද කොහෙවත් යන සත්තු.. බැරි වෙලාවත් ඒකා ඔයාව හැපුව නම්.."

"නෑනේ.... එයා හපන්නේ නෑනේ.... එයා තමයි ඇවිල්ලා මගේ කකුලේ ඇතිල්ලුනේ.... මං ඉතින් එයාව අත ගෑවා විතරයිනේ අනේ...."

මේකගේ හුරතලේ....

වැරැද්දක් කරලා අහු වුන එකෙක් ගානට කනට ඇහෙන නෑහෙන්න මේකා ගතු කියන්න ගත්තා.... පූසලු ආවේ එයා ගාවට එයා නෙවෙයිලු හොයන් ගියේ.... මට ඒකට මොකවත් කියන්න යන්නේ නැතුව එයාව හිටපු තැනින් නැගිට්ටව ගත්තා....

"හ්ම්... දැන් එන්න යන්න.. බඩගිනි නැද්ද.. මං කන්න දෙයක් ගෙනාවා.."

"අයියේ.."

මගේ ගාවට ඇවිත් මගේ කමිසේ කොනක් අල්ල ගත්තු එයා මොනව හරි දෙයක් අහන්න කට හැදුවා....

"හ්ම්.. කියන්නකෝ.."

"මෙයා මොන පාටද.. එයා කොයි වගේද.."

"........."

"අයියේ.. ඔයා අහගෙන නේද ඉන්නේ.... මං අහන්නේ අර කිටි පැටියා ගැන...."

"........."

"හ්ම්.. ඔව් මං අහගෙන ඉන්නේ.. එන්නකෝ යන්න.. මං කියලා දෙන්නම්.."

එයා අර බළල් නාම්බා ගැන අහන්න ගත්තා.... මට බැරි කමක් නෑ ඒකා ගැන කියලා දෙන්න.... ඒත් අනේ.... ඒත්.... මට දුකයි.... මං පාට ගැන කිව්වයි කියලා එයා කොහොමද ඒක දැන ගන්නේ.... එයා කොහොමද ඒක මවා ගන්නේ.... එයාට නම් පුරුදු ඇති.... ඒත් මට දුකයි....

මං ආපහු කලින් වගේම එයාගෙන් අල්ලගෙන අපි වාඩි වෙලා හිටපු බංකුව ළඟට ආවා.... වෙරලේ ඒ හරියේ සෙනඟ නෑ.... මොකද එතන මුහුදේ තියෙන ගලුත් එක්ක රැල්ල ගහන වේගේ වැඩි හින්දා මේ හරියට වැඩිය කට්ටිය එන්නෑ.... ඒ නිසා තවමත් ඒ බංකුව හිස් වෙලා තිබුණා....

"කෝ.. අත් දෙක අල්ලන්න.."

මං ඒ චූටි අත් දෙක අරගෙන හෝදව්වා.... මගේ අතත් එහෙම්ම හෝදගෙන ගෙනාපු පාර්සලේ ලෙහන්න ගත්තා....

"ආ ගාන්න.."

"........."

"බලන් ඉන්න නෙමෙයි කිව්වේ කට අරින්න.."

මං හිතන්නේ එයාට පුදුම හිතෙන්න ඇති.... මං කොත්තුවෙන් එක කටක් මගේ කටට දා ගෙන එයාට කවන්න ආ ගාන්න කිව්වා.... එයා බලන් ඉන්නවා.... ඇස්වලින් හැඟීම් පෙනුනේ නැතත් මට හිතා ගන්න පුළුවන් එයාගේ ඇස් ලොකු වෙනවා ඇති....

එයා කට ඇරිලා.... මං එයාට කැව්වා....

"මට අතින් කන්න පුළුවන් ඇයි මට-"

"කන ගමන් කතා කරන් නෑ"

"ආ... ඔය රවනවද මට... හ්ම්.. දෙන්න තියෙන්නේ මේකට.. අර පූස් නාම්බෙක් අල්ලලා අල්ලලා ඇවිත් ඒ අතෙන්ම කන්න පුළුවන්ද.. අත වතුරෙන් විතරයි හේදුවේ.. සබන්වත් නෑ.."

"හරි හරි අයියෝ.. ඔයා කෑ ගහන්න එපා.. ඔයාට ඉක්මනට තරහ යනවනේ.. ඔහොම ගියොත් නම් ඉක්මනට නාකි වෙයි.... ඕන් මං නම් දන්නෑ...."

"මං නාකි තමයි.. ඔයාට අයියා.. අයියා.. ගාන්න කිව්වට මං නාකි තමයි.. මගේ කෙසුත් පැහිලා තියෙන්නේ.."

"බොරු කියන්න එපා අනේ.. මං දන්නවා ඔයා නාකි නෑ.. ඔය වගේ කට හඬක් කොහොමද නාකියෙක්ට තියෙන්නේ.. ඔයා තරුණයි මට දැනෙනවා ඒක.. අනික ඔයා ලස්සනත් ඇති.. ඔය වගේ ලස්සන හදවතක් තියෙනවා නම් කොහොමත් මූණ ලස්සන ඇති.."

"හදවත ලස්සනයි..?"

"හ්ම් ඔව්.. ඔය හදවත නැති කර ගන්න එපා අයියේ.. ඒකට ගැහෙන්න දෙන්න එයාට ඇතී කියලා හිතෙනකල්.. දවසක එයාට මහන්සි දැනෙයි.. ආන් එදාට එයාම එයාගේ ගැස්ම නවත්ත ගනියි.. එතකල් ඉවසන් ඉන්න.. බලෙන් නවත්තන්න යන්න ඕනි නෑ එයාව.. එයා නවතිනකල් ඔයාට තියෙන්නේ ඔයාගේ හදවතේ ලස්සන අනික් අයටත් අඩු නැතුව බෙදන්න.. ඔයා මේ දැන් කරනවා වගේ.."

"අනේ දරුවෝ.. ඔයා කොහොමද ඔය දේවල් දන්නේ"

"මං දන්නෑ.. මට ඉබේම ඒවා හිතෙනවා"

"දන්නවද.. ඔයා දන්නෙ නැති වුනාට ඔයාත් ඔයාගේ හදවතේ ලස්සන බෙදන ගමන් ඉන්නේ.. මැරුණු ලස්සන හදවතක ලේ නහර ආපහු පණ ගස්සවන ගමන් ඉන්නේ.. හදවත ලස්සන වුනාට වැඩක් නෑ.. ඒකේ ලේ නහර වේලිලා ගිහිල්ලා නම්.. නේද.. ම්ම්...."

එයාට ඒ වචන ගලා ගෙන එන විදිහ එයාවත් දන්නෙ නෑලු.... ඒ වචනවලින් මගේ හිතට කොච්චර සුවයක් දැනෙනවද කියන එක මම දන්නෙත් නෑ....

මම එයාට කැව්වා.... කන්න බෑ කියලා මගාරින ගානේ මං බලෙන්ම අල්ලන් එයාට කැව්වා.... මගේ බඩේ ඕනි නම් කොත්තු කටවල් තුන හතරක් තියෙන්න ඇති ඉතුරු ඔක්කොම තිබුණේ එයාගේ බඩේ....

මගේ බඩ පිරුණට වඩා එයාගේ බඩ පිරෙන එක දැකලා මගේ හිත පිරුණා.... මට ඒ ඇති....

"චූටියෝ.. බඩ පිරුනද"

"අයියෝ... බඩ පැලුනා අයියෝ... ඔහොමත් කව්වනවද.... බලන්නකෝ.... මගේ බඩ උල් වෙලා ඇති...."

"හ්ම් ඔව් උල් වෙලා නම් තමයි ඒක.. පුතු පැටිකියෙක්වත් ඉන්නවද දන්නෑ.."

"අනේ.. අයියේ විහිලු කරන්න එපා අනේ.... මට හිනා වෙන්නත් බෑ.... හුස්ම හිර වෙලා වගේ...."

"ඌයි යකෝ රිදෙනවා"

එයා අර චූටි අතකින් මගේ කලවෙකට ගැහුවා.... ඒක මට දැනුනෙවත් නෑ.... ඒත් මං කරේ බොරුවටත් එක්ක කෑ ගහපු එක.... මගේ හිත පිරිලා.... ඒක සතුටින් පිරිලා ගිහිල්ලා.... වෙනදට වඩා සැහැල්ලුයි.... ගොඩක් සැහැල්ලුයි....

"චූටියෝ එන්නකෝ යන්න"

"කොහෙද"

"මේ පාරත් මාව විශ්වාස කරලා එන්නකෝ යන්න"

"අනේ අයියේ... වතුර අයියේ... මට බයයි..අනේ.... අනේ....අනේ මාව වැ..වැටෙයි"

"ඔයාව වැටෙන් නෑ... මං වැටෙන්න දෙන්නෑ... මං අල්ලගෙනනේ ඉන්නේ... අපි වැඩිය දුරකට ගිහිල්ලත් නෑ... බය නොවී ඉන්න.."

මං එයාව එක්ක ගෙන මුහුද ළඟට ආවා... එයා හොඳටම බය වෙලා... වැටෙයිලු..... මං එහෙම වැටෙන්න දෙනවද මගේ පැටියට....

"අනේ... අයියේ තව ටිකක් ඉමුකෝ... අනේ...අනේ...තව එක පාරක්... එකම එක පාරක් මාව වතුරට අල්ලන්කෝ... අනේ... ඒක ෂෝයි වැඩේනේ..."

"මේ මෙච්චර වෙලා වැටෙයි ගගා දඟලපු කෙනාමද මේ ඉන්නේ ආ...."

"අනේ...අනේ...ඔයා වට්ටන්නෑනේ... ඔව් අනේ... ඔයා මාව වට්ටන් නෑනේ... මට විශ්වාසයිනේ... අනේ අයියේ කලින් වගේ වඩා ගෙන යන්නකෝ..."

"හම්මේ... මේකගේ හුරතලේ... ඉන්නවා ඉන්නවා... මං අල්ල ගන්න කල්"

වතුරට වැටෙයි කියලා බයේ දඟලපු එකාව ඊළඟ පාර වතුරෙන් ගොඩට ගන්න බැරි වුනා.... මං ඒකගේ කිහිලි දෙකෙන් අත් දාලා අල්ලගෙන රැල්ලක් එන ගානේ පස්සට පැන්නා.... ඒකා කෑ ගහනවා සතුටට.... ඒකගේ සතුට දැකපු මගේ ඇස් දෙකත් නොදැනිම ලාවට තෙත් වෙලා ගිහින්....

පැය භාගයක් විතර අපි වතුරට වෙලා ඉන්න ඇති.... අන්තිමේට ගොඩට එනකොට එයායි මායි දෙන්නම මුහුදු වතුරෙන් නෑවිලා හිටියේ....

"ඔහොම ඉන්න.."

"අයියේ... මොනවද ඔයා කරන්..... අ...අනේ... මං පොඩි එකෙක් නෙමේ..."

"කට පියාන හිටපන්කෝ චුට්ටක්"

වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා භාගෙට තෙමිලා තිබුණ ෂර්ට් එක ගලවලා පැටියගේ ඇඟ පිහන්න ගත්තා.... නැත්තම් මේකට උණ අල්ලයි තෙමිලා ගිහිල්ලා.... ඒත් මේකා මට ඒකට ඉඩ දෙන් නෑ.... පොඩි එකෙක් නෙවේ ගගා නැහෙන්න හදනවා.... ඒ වුනත් මං ඒකගේ මුළු ඇඟම පිහලා දැම්මා.... මට ඕනි වුනේ නෑ මං නිසා කොල්ලව අසනීප වෙනවා බලන්න....

"අයියේ... අනේ සමාවෙන්න අයියේ... මට යන්න ඕනිනේ... හය වෙන්න කලින් යන්න ඕනිනේ... නැත්තම් එයාලා මාව එළවයි... දැන් වෙලාව කීයද"

මුහුදෙන් ගොඩට ආව අපි දෙන්නා ආපහු සැරයක් බංකුව ළඟට යන්න ගත්තා.... ඒත් එකපාරටම දෙයක් මතක් වුන ගානට ගැස්සිලා ගියපු කොල්ලා යන ගමන නතර කරලා මොනවදෝ කියන්න ගත්තා.... කොල්ලගේ මූණේ තිබුන හිනාව අතුරුදහන් වෙලා ගියා.... එයා යන්න ඕනි කිව්වා.... මගෙන් වෙලාව ඇහුවා....

පිටි පස්සේ සාක්කුවට අත දාපු මං ෆෝන් එක අරන් වෙලාව බැලුවා.... හොඳ වෙලාවට ෆෝන් එක වැඩිය තෙමිලා තිබුණේ නෑ....

"වෙලාව නම් පහයි විස්සයි.. ඉන්න මං ඔයාව එක්කන් යන්නම්.. කොහෙද ඔයා ඉන්නේ පැංචෝ...ඇයි එයාලා ඔයාව එළවන්නේ.."

කොල්ලගේ මූණ කළු ගැහිලා ගියා.... එයාගේ හිස් වෙලා ගිය ඇස් දෙකෙන් හැඟීමක් එළියට ආව නම් සමහර විට මට එයා හිතන දේ දැනගන්න තිබුණා.... ඒත් මට කරන්න පුළුවන් වුනේ එයාම උත්තරයක් දෙනකල් බලන් ඉන්න වුන එක විතරයි....

*******************

මාවත් මුහුද බලන්න එක්කන් යන්න අයියෝ.. 😫

පූස් පැටව්ට කැමති තව කවුද ඉන්නේ.. අත උස්සන්න බලන්න..

කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි... 😘

SIAN..🖤

Contents
Contents