Chapter 7: 06•

තේව් (TAEKOOK)Words: 36190

"අම්මා ඔයා එහෙනම් කතා කර කර ඉන්නකෝ,මං පොඩ්ඩක් එලියට යනවා දහම් බලන් ඉන්න නිසා"මෙවාන් දහම්ගේ මව වුනු සීතාගේ කාමරයට ඔලුව දාලා බැලුවා.."හරි සුදු මහත්තයා...ගිහින් එන්නකෝ.."මෙවාන් සුදු මැණිකේ එක්ක කට පුරවලා හිනා වෙලා එතනින් යන්න ගියා..

"දවසක් නොදැක්කත් දෙන්නට දෙන්නා නැතුව බෑ, නේද සුදු මැණිකේ"සීතා එහෙම කියන අතරේ ඇඳේ ලී පුවරුවට කොට්ටය තියලා හේත්තු උනා.."අනේද කියන්නේ,දෙන්නා ඕනි වෙලාවක එයිනේ..සීතා ඒක නෙමෙයි,මං ගෙනාපු සුප් එක බීලා හිටියා නම්"සුදු මැණිකේ ඇඳ උඩින් නැගිටලා ඇවිදගෙන ආවේ කාමරය කෙලවරේ තිබුන වේවැල් පුටුව ළඟට..

පන් මල්ල ළඟින්ම තියලා තිබුන ආවරණය කරලා තිබුන බඳුන අත් දෙකට ගත් ඇය නැවතත් ඇඳ දිහාවට ඇවිදගෙන ආවා.."කෝ ඇඟට පනක් එන්න නම් මොනවා හරි කාලා බීලා ඉන්න එපැයි"ඇය එහෙම කියද්දී සීතාගේ සුදුමැලි උනු මුහුණේ ලාවට හිනාවක් ඇඳුනා..

"මොකට කරදර වෙනවද මං අහන්නේ?"සුප් බඳුන දෙස බැලූ ඇය හෙමින් මිමිණුවා.."කරදරයක් නම් මං මෙහෙම එනවද සීතා?නිකම් ඔය කටට ආවට වචන දොඩන එක නතර කළොත් හොඳා.."සුදු මැණිකේ බඳුනේ තිබුනු එළවලු සුප් එකෙන් හැන්දක් පුරවලා අරගෙන සීතාගේ මුව ළඟට හැන්ද ළං කලා...

අමාරුවෙන් එහි රස බැලූ සීතා සුදු මැණිකේ දිහා බලලා ලස්සනට හිනා උනා.."රහයි...මැණිකේ කෑමක් හැදුවොත් ඉතිම් මේ මුලු ගම් හතම පරාදයිනේ.."ඇය කියද්දී සුදු මැණිකා හිනා වෙලා සුප් එකේ ඉතුරු ටිකත් ටික ටික ඇයට පෙව්වා.."නැතුව නැතුව.."

"මෙතනට වරෙන්"දහම් ලී බංකුව අතින් පෙන්නුවා.."අද නම් තේ වත්ත පැත්තට යන්න පුළුවන් වෙයිනේ බන්"මෙවාන් වැහි අඳුරක් පේන මානෙකවත් නැති ශ්වේත වර්ණයෙන් දිස්නේ දෙන වළාකුළු පිරුණු අහස දෙස බැලුවා.."ඔව් තව ටිකකින් ඒ පැත්තේ යන්"මෙවාන් ඒත් එක්කම දහම්ගේ එහා පැත්තෙන් ඈදි උනා..

"උබ කාලද ඉන්නේ?"මෙවාන් ඇහුවේ දහම් දිහා බලාගෙන.."බඩගින්නක් නෑ බන්"දහම් බර හුස්මක් පිට කලා.."මං දන්නවා උබ අවුලෙන් ඉන්නේ කියලා,අම්මට ඉක්මනට සනීප වෙයි.."මෙවාන් දහම්ගේ කොන්ඩේ අවුල් කරලා දාලා කරට අත දාගත්තා..

"මාත් එහෙම හිතනවා,එයා කවදාවත් ඔය විදිහට කාමරේකට කොටු වෙලා හිටිය කෙනෙක් නෙමෙයි බන්,උබ දන්නවානේ"දහම් මුමුණද්දී මෙවාන් ආයෙමත් හිස් අහස් තලය දිහා බැලුවා.."ලෙඩක් දුකක් හැදුනම ඕනි කෙනෙක් ඔහොම තමයි,උබ හිතනවා වැඩී..පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉඳපන්"මෙවාන් කිව්වම දහම්ගේ මූණේ ලාවට හිනාවක් ඇඳුනා..

"උබ කවද්ද ආයේ අපේ දිහා එන්නේ ආහ්?"මෙවාන් ඇහි බැමක් උස් කරලා දහම් දිහා බැලුවා.."යකෝ මූ..උබ කියපන් බලන්න මං ආපු නැති දවසක්"දහම් හිනා වෙලා මෙවාන්ගේ පිට මැද්දට අත දිග ඇරලා රිදෙන්නේ නැති විදිහට පාරක් දුන්නා.."හරි හරි...ඒත් උබ අද ඊයේ ආවේ නෑනේ,මට උබට දෙයක් කියන්න තියෙනවා"මෙවාන් කට කොනට හිනා උනා...

"යෝ!මොකක්ද ඒ?"දහම් අමුතු විදිහට මෙවාන් දිහා බලද්දී මෙවාන් කලේ හිනා උනු එක.."අද බංගලාවට වරෙන්"මෙවාන් ස්ක්‍රීන් එක ඔන් කරලා වෙලාව බලලා ආයෙම සාක්කුවට ෆෝන් එක ඔබා ගත්තා.."මෙවාන්!! මොකක්ද බන් උනේ? මොකක් හරි ප්‍රශ්නයක්ද?"දහම්ගේ හිතේ තිබුනේ කුතුහලයක්..

"ම්-මන්දා බන්..උබ වරෙන්කෝ..එතකොට උබටම තේරෙයි"මෙවාන් බර හුස්මක් පිට කලා.."හරි හරි එහෙනම් තේ වත්තට ගිහින් අපි එහෙම්මම යමන් හාද?"දහම් අහද්දී මෙවාන් ඔලුව වැනුවා..ඔය විදිහට දෙන්නත් එක්ක කියව කියව ඉද්දී පැයක් විතර ගෙවිලා ගිහින් තිබුනා..

"ඒක නෙමෙයි..."දහම් හඬ අවදි කලා..ඒත් එක්කම මෙවාන් ඔලුව උස්සලා දහම් දිහා බැලුවා.."ඕ කියපන්!"

"දැන්වත් යමන් වත්ත පැත්තට,වැස්සක් ආවොත් හේදෙන්න තමයි වෙන්නේ"දහම් බංකුව උඩින් නැගිටලා බංකුව උඩ තිබුන ෆෝන් එක අතට ගත්තා.."යමන් උබ හවස් වෙලා ආයේ එනවා නේ අපේ දිහා?"මෙවාන් ඇහුවා.."ඔව් එන්න එපැයි,උබට දෙයක් කියන්න තියෙනවා කිව්වනේ"දහම් හිනා වෙද්දී මෙවාන් කලේ දහම්ට රවපු එක...

~

"උබට පුළුවන්ද මේ පොල් ටික ගාලා දෙන්න..හැබැයි හීනියට"කමලා ඇහුවේ බිඳපු පොල් ගෙඩිය අතේ තියාගෙන.."මං ගාන්නම් නැන්දේ"කොල්ලා පොල් බෑ දෙකම පුංචි අත් දෙකට අරගෙන පැත්තකින් තියලා, බිත්තියට හේත්තු කරලා තිබුන හිරමණේ දිහාවට අඩිය තිබ්බා..

"තලේ හෝදලා තියෙන්නේ බන්,ආයේ හෝදන්න ඕනේ නෑ"කමලා දර ලිපට පුංචි යකඩ බටයෙන් පිඹිමින්,දර කැබලි එකට එක්කහු කරලා නිවි නිවි දැල්වෙන ගින්දර වලට නැවුම් පණක් දුන්නා..ඒත් එක්කම මැටි වළඳ ලිපේ තියලා ඒකට තෙල් හැඳි කිහිපයක් වත් කලා..තෙල් ටික නටනවත් එක්කම ඒකට කරපිංචා කොල කිහිපයක් දැම්මා..

"ඕක ගාපන්"කමලා හිනා වෙලා කිව්වේ පොල් බෑය අතේ තියාගෙන කමලා කරන වැඩේ දිහා විතරක් බලාගෙන හිටිය කොල්ලා දිහා බලාගෙන..වේගෙන් ඇස් පිල්ලම් ගහලා හරි සිහියට ආපු කොල්ලා අතේ තිබුන පොල් බෑය දිහා බැලුවා..

"හීනියට!!තේරුනානේ?"කමලා ආයෙම තමන්ගේ වැඩේට අවදානය දුන්නා..පොල් බෑය හෙමින් හෙමින් ගාන්න පටන් ගත්තු කොල්ලා කමලා කිව්ව විදිහට අත මඳක් ලිහිල් කරලා හීනියට පොල් ටික ගාන්න වග බලා ගත්තා..

"මොනවද නැන්දේ අපි හදන්නේ?"කොල්ලා පොල් ටික සෑහෙන්න දුරට ගාලා ඉවර කරලා තිබුනා.."කහ බතක් එක්ක කුකුළු මස් ව්‍යංජනයකුයි,සලාදයකුයි,අල තෙල් දාලායි.."කමලා බත් එක ලිපෙන් බාලා පැත්තකින් තිබ්බා..කුස්සියේ ලිප් දෙකක් පත්තු වෙම්න් තිබුනා..මෙච්චර වෙලා එක ලිපක තිබුනේ බත් මුට්ටිය,අනෙක් ලිපේ හොදි වළං ටික...

"...."

"මේ වගේ විශේෂ කෑම හදන්නේ සුදු මහත්තයාගේ යාලුවෝ ගෙදරට එද්දී තමයි,නැත්තන් සුදු මහත්තයා මේ කෑම කන්න වැඩි ආසාවක් නෑනේ.."කමලා කියද්දී පුංචි කොල්ලා ඔලුව උස්සලා බැලුවා.."ඒ කිව්වේ?"කොල්ලා අහද්දී කමලා හිනා උනා..

"අද සුදු මහත්තයාගේ හොඳම යාලුවා,දහම් මහත්තයා මෙහෙ එනවා.."කමලා කියද්දී ගාපු පොල් පිඟාන අතට ගත් කොල්ලා හිරමණය උඩින් නැගිටලා කමලාට දුන්නා.."කොල්ලා දක්ශයිනේ,කිව්ව විදිහට වැඩේ කරලා.."කමලා පොල් අහුරක් අතට අරගෙන ඒ දිහා බලලා හිනා උනා..ඇත්තටම ඒ ගාපු පොල් ටික හීනියට තිබුනා..කමලා ඒත් එක්කම අනෙක් අතින් කොල්ලාගේ කොන්ඩේ අවුල් කරලා දැම්මා..

"ද්-දහම්.."කොල්ලා හෙමින් මිමිණුවා.."ඔව් දහම් මහත්තයා,හරිම හොඳ මහත්තයෙක්,අපේ සුදු මහත්තයයි දහම් මහත්තයයි දෙන්නම පුංචි කාලේ ඉඳලා හොඳම යාලුවෝ..දෙන්නා ඉස්කෝලේ ගියෙත් එකට,ඒ යාලුකම තාමත් එහෙමයි කිසිම වෙනසක් වෙලා නෑ"කමලා පොල් ටිකට වතුර ටිකින් ටික එකතු කරලා මිරිකන්න ගත්තා..

"එහෙමද?"කොල්ලා කමලා කියවන දිහා බලාගෙන හිටියේ පැන්ට්‍රි එකට හේත්තු වෙලා.."ඔව් උබට කියන්න බන්,අපේ සුදු මහත්තයා දවසක් හොඳටම ඇඩුවා..මට තාම මතකයි..දහම් මහත්තයා වෙන දරුවෙක් එක්ක ඉස්කෝලෙදී කතා කලා කියලා.."කමලා හයියෙන් හිනා උනා..

"එහෙම හිටපු අපේ සුදු මහත්තයා අද ලොකු මහත්තයෙක් වෙලා..මට හිතාගන්නත් බෑ,හරියට අද ඊයේ වගේ.."කමලාගේ හිතේ මෙවාන් ගැන තිබුනේ අසීමාන්තික ආදරයක්..සුදු මැණිකෙට පස්සේ මෙවාන්ගේ දෙවැනි අම්මා උනේ කමලා..ඒකයි කමලාට අතීතය මතක් කරද්දිත් දැනටමත් ඇස් වල කඳුලු පිරිලා තියෙන්නේ..

"නැන්දා අඩනවද?"තේව් එබි එබි කමලාගේ මූණ දිහා බලද්දී කමලා තමන්ගේ හැට්ටෙන් ඇස් අග පිහද ගත්තා.."මට සතුටුයි..ඒකයි මේ"කමලා සුසුමක් පිට කරලා පොල් කිරි ටික ලිපේ තියෙන කුකුළු මස් සහිත වළඳට වත් කලේ කිරි ගොටුවක් ආධාරයෙන්...

"ඔහොම හිටියට අපේ සුදු මහත්තයා කැමති නෑ තමන්ගේ කියන කිසි දේකට වෙන කවුරුත් බැල්මක්වත් දානවට,මං කිව්වේ අපේ දහම් මහත්තයා වෙන කොල්ලෙක් එක්ක කතා කරපු දවසේ උන සිද්ධිය...අන්න ඒ වගේ තමයි තාමත්"කමලා කියන දේවල්, හරිම ආසාවෙන් පුංචි කොල්ලා අහගෙන හිටියා..

"වැඩ ටික නම් ඉවරයි...උබට පුළුවන් උබේ කාමරේට යන්න.."පුංචි කොල්ලා ඒක ඇහුවට පස්සේ කලේ එක දිගට ඔලුව දෙපැත්තට වනපු එක..."යන්න ඕනෙ නැද්ද?"කොල්ලා ආයෙමත් ඔලුව දෙපැත්තට වැනුවා.."හරි උබට යන්න ඕනේ නැත්තන් ඔහොම ඉඳපන්.."කමලා හිනා වෙලා කොල්ලා දිහා බැලුවා..

"කමලා!!"ලොකු මහත්තයාගේ හඬ ඇහෙද්දී කමලා කුස්සියෙන් එලියට ආවා.."ලොකු මහත්තයා! මොනවා හරි ඕනෙද?"කමලා කොන්ඩේ පිටිපස්සට දාලා බිම බලාගෙන හිටියා.."උබට පුළුවන්ද කඩේට ටිකක් ගිහින් මට විටක් අරන් එන්න..බුලත් හෙප්පුව හිඳිලා ගිහින්..වත්තේ බුලත් වැලක් තිබ්බට මොකද තාම ඒකේ දළු නේ තියෙන්නේ..ඕක මෝරද්දී මට කඩේට ගිහින් විටක් අරන් එන්න තියෙන වෙලාව.."මෙවාන්ගේ අප්පච්චි හිනා වෙවී කියද්දී කමලා ඔලුව වැනුවා..

"හරි ලොකු මහත්තයා මං යන්නම්"කමලා කියද්දී කුස්සියෙන් එලියට ආවේ අපේ පුංචි කොල්ලා.."ආහ් දරුවෝ!මොනවද කරන්නේ ඔය කුස්සියට වැඳිලා..?"කොල්ලා ඔලුව බිමට බර කරගෙන හිටියා.."කමලා උබට පුළුවන් උබේ තනියට කොල්ලවත් එක්කන් යන්න"ජයසූරිය උන්නැහේ එහෙම කියලා ආයෙමත් ගියේ ඔහුගේ කාමරට දිහාවට...

"ටිකක් ඉඳින්,මං හට්ටිය බාලා එන්නම්"කමලා කුස්සියට දිව්වා..තප්පර ගානකින් ආයෙම කුස්සියෙන් එලියට ආපු කමලා ලොකු මහත්තයා දීපු සල්ලිත් අරගෙන ඇඳුම අතින් හදාගත්තා.."වරෙන්,යන්න"කමලා කොල්ලගේ අතින් අල්ලගෙන වත්ත දිහාවට ආවා..

ඒත් එක්කම කොල්ලගේ කකුල් දිහා බලපු කමලා,"උබට සෙරෙපපු දෙකක් නැද්ද?"කොල්ලා නෑ කියලා ඔලුව වැනුවා.."කොහොමද යන්නේ?කාශ්ටක අව්වට පොළොව රත් වෙලා ඇත්තේ...බංගලා වත්ත වගේ නෙමෙයි කඩේට යන පාර.."කමලා කියද්දී කොල්ලා වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා..

"තියෙනවා..."කොල්ලා කියද්දී කමලා කොල්ලගේ දිහාවට හැරුනා.."මොනවද තියෙන්නේ?"කොල්ලා කෙල පිඩක් ගිලලා කමලා දිහා බලාගෙන හිටියා.."මොකද බන් බය වෙලා වගේ? උබ යකෙක්වත් දැක්කද?"කමලා හිනා උනාම කොල්ලා අතේ ඇඟිලි මිරිකන්න ගත්තා.."ස්-සු.."..

"සුදු මහත්තයද?මොකද උබ ගොත ගහන්නේ?"කමලා කොල්ලාට කිට්ටු උනා.."ඔ-ඔව් අ-අල්මාරියේ.."ඒත් එක්කම කොල්ලා බංගලාව ඇතුලට දිව්වේ කඟවේනෙකුගේ වේගයෙන්..කමලාට පුදුම හිතුනා එක තප්පරෙන් බංගලාවේ ඇතුලට කොල්ලා දිව්ව විදිහ දැකලා.."කෝලමක්.."කමලාට කියවුනා..

ඒ ක්ශනයෙන් බංගලාවෙන් එලියට දුවගෙන කොල්ලගේ අතේ තිබුනේ සෙරෙප්පු කුට්ටමක්..."අලුත් එකක් නේද?කොහෙන්ද උබට? මං දැන් උබෙන් ඇහුවම සෙරෙප්පු නෑ කිව්වේ?"කමලා අහද්දී කොල්ලා සෙරෙප්පු කුට්ටම දිහා බලාගෙන හිටියා..

"මං දන්නෑ...මේසෙ උඩ තිබුනා.."කොල්ලා කියද්දී කමලා උඩ බිම බැලුවා.."ආ හා සුදු මහත්තයා උබට ගෙනාපු එකක් වෙන්නැති ඔය,නැත්තන් උබේ කාමරේ සුදු මහත්තයාගේ දේවල් තියෙන්න විදියක් නෑනේ..දැන් ඔය දෙක දාගනින්"කමලා කිව්වම කොල්ලා සෙරෙප්පු දෙක තණ පිස්සට අත් ඇරලා පුංචි කකුල් වලට ඒ සෙරෙප්පු දෙක දාගත්තා..

අන්තිමේදී දෙන්නත් එක්ක ගමේ හැමෝම වගේ බඩු ගන්න එන සිල්ලර කඩේට කිට්ටු කරලා ඇවිදගෙන ඇවිත් තිබුනා.."උබ එනවද? නැත්තන් මං අරන් එන්නද?"කොල්ලා ඔලුව දෙපැත්තට වැනුවා.."ආහ් එහෙනම් වරෙන්,යකෝ මේකා නම් කෝලමක්ම තමයි...කටක් තියන් ඔලුව වනන්නේ..අනේ දෙයියනේ .."කමලා හිනා වෙවී කොල්ලා එක්කම කඩේ ළඟට ආවා..

"මුදලාලි මට විටක් දෙන්න.."කමලා මුදලාලිගෙන් ඉල්ලද්දී මුදලාලි විට දෙනවා වෙනුවට කලේ කමලාගෙ පිටිපස්සේ හැංගිලා ඉන්න අමුත්තා දිහා බලපු එක.."කමලා!මේ කොලුවා කවුද?"මුදලාලි අහද්දී කමලා හිනා උනා.."ආහ් මෙයාද? මේ බංගලාවේ වැඩට ගත්තු කොලුවෙක්..."කමලා ඇගට පතට නොදැනි එහෙම කිව්වම මුදලාලි කමලා එක්ක හිනා උනා..

"ආහ් ඒක මිසක්..මං බැලුව කවුද කියලා..කෝ කොලුවෝ පොඩ්ඩක් ඉස්සරහට වරෙන්..මූණවත් බලන්න.."මුදලාලි එහෙම කියන අතරේ,කොල්ලා හෙමින් අඩියක් තියලා කමලාගේ ඉදිරියට ආවා.."පොඩි කොල්ලෙක් නොවෑ..මේකගේ වයස කීයද?"ප්‍රශ්න පිට ප්‍රශ්න අහද්දී කමලාගේ කේන්තියත් උපරිමේටම ඇවිත් තිබුනා.."අනේ මේ මුදලාලි ඔන්න ඔය විට දෙනවද ලොකු මහත්තයා බලන් ඉන්නවා...අපි යන්න ඕනේ.."කමලා රවලා බැලුවම දාගෙන හිටිය කන්නාඩි දෙක අතින් පාත් කරලා කමලා දිහා බැලුව මුදලාලි ඇහි බැම අකුලවගෙන විටක් අරගෙන කමලට දික් කලා..

"ආහ් ගනින් ගනින්,වැඩට ඉන්න උන්ගෙත් ගැස්සිලි පැද්දිලි බලන්නත් උනානෙ අපිට..කෝ සල්ලි දියන් මෙහෙට.."මුදලාලි අත දික් කරද්දී කමලා අතේ තිබ්බ කාසි ඔක්කොම ඔහුගේ අතට අත් ඇරලා කොල්ලවත් ඇඳගෙන එතනින් එන්න ආවා....

"ආවා මෙතන මගුලක් අහන්න,ඇයි යකෝ මුන්ට අනුන්ගේ ඕපදූපමනේ හොයන්න ඕනේ...සුදු මැණිකේ දන්නවා නම් ආයේ මාව කඩේ එවන්නෙත් නෑ..."කමලා කේන්තියෙන් කියවන් යද්දී කොල්ලා තමන්ගේ අත දිහා බැලුවා..කමලා තදින් කොල්ලගේ අත අල්ලගෙන හිටියා..කොල්ලට තේරුනා කමලා ඉන්නේ කේන්තියෙන් බව.."එයා කිව්ව දේවල් අත් ඇරලා දාන්න නැන්දේ.."කොල්ලගේ තරමට කොල්ලා එහෙම කියද්දී කමලා ලාවට හිනා උනා..

~

"කමලා!!!!"

"ඕ ලොකු මහත්තයා....මේ එනවා ඔහොම ඉන්න..."කමලා අතේ තිබුන කොස්ස කුස්සියේ දොරට හේත්තු කරලා ඉස්තෝප්පුව පැත්තට දිව්වා.."අර වැට අයින් කරපන්, සුදු මහත්තයලා ඇවිත්"මෙවාන්ගේ අප්පච්චි කියද්දී කමලා වත්තට දිව්වා..ඒත් එක්කම බංගලා වැට හරි ගස්සලා එහාට උනා..කමලා අයිනට වෙනවත් එක්කම මෝටර් රථය වත්‍ත ඇතුළට දාපු මෙවාන් වාහනය නතර කලා..

"කමලා මේ ටික ගිහින් කුස්සියෙන් තියපන්.."සුදු මැණිකේ මීකිරි හට්ටි දෙකක් එක්ක තිබුන කිතුල් පැණි බෝතලය සහිත බෑගය කමලාගේ අතට දුන්නා.."හරි මැණිකේ.."කමලා ඒ ටිකත් අරගෙන කුස්සිය දිහාවට ගියා..

"දහම් පුතා,අද මෙහෙ නතර වෙනවා නේද?"සුදු මැණිකේ අහද්දී වාහනෙන් බැස්ස දහම් සුදු මැණිකේ ළඟට ආවා.."ඔව් අම්මා,හොඳටම හවස් වෙලානේ,අම්මටත් අසනීප නිසා අප්පච්චිට ඔක්කොම බලාගන්න බෑනේ...ඒ නිසා උදේට යනවා.."දහම් කියද්දී සුදු මැණිකේ දහම් එක්ක හිනා වෙලා කොල්ලගේ ඔලුව අත ගෑවා..

"එහෙනම් දෙන්නත් එක්ක වොශ් දාගෙන රෑ කෑමට, මේසෙට එන්න..."සුදු මැණිකා කියාගෙනම බංගලාව ඇතුලට ගියා.."යමන් ඇතුලට"මෙවාන් දහම් එක්කම බංගලාව ඇතුලට ආවා.."උබ වොශ් දාගෙන වරෙන්..මම ඊට පස්සේ යන්නම්.."මෙවාන් දහම්ව කාමරේ ඇතුලට තල්ලු කරද්දී දහම් ඇහි බැමක් උස් කරලා මෙවාන් දිහා බලලා කාමරේට ආවා..

"කමලා!!!!!!! මොනවද හැදුවේ??"පැන්ට්‍රි එකට හේත්තු වෙලා මොකක්දෝ වැඩක් කර කර හිටිය කමලාගේ කරට අත දාලා කමලාට කිට්ටු උන මෙවාන් ගැඹුරු හඬින් ඇහුවා.."සුදු මැණිකේ කිව්ව ටික තමයි පොඩි මහත්තයා හැදුවේ..."කමලා කියද්දී මෙවාන් පැන්ට්‍රි එකට හේත්තුවක් දාගත්තා..

"ඒක හොඳයි,අරුත් ඉන්නවානේ.."

"ඒකනේ,පොඩි මහත්තයා තේ බොනවද?මං හදන්නද?"කමලා ලස්සනට හිනා වෙන අතරෙ මෙවාන්ගෙන් ඇහුවා.."එපා කමලා,අරූ වොශ් දාන්න ගියානේ..ඌ ආවම බොමු.."මෙවාන් කමලාගේ ගොතපු දිගු කෙස් වැටිය අතට ගත්තා..

"හරි එහෙනම්,මහත්තයා මගේ කොන්ඩෙට ආසද?"කමලා හිනා වෙලා ඇහුවම මෙවාන් කොන්ඩේ දිහා බැලුවා.."ඔව් නැතුව,කමලාගේ කොන්ඩේ තමයි කොන්ඩේ...මං හරි ආසයි ඔය ගොතලා තියෙන විදිහට...මං නම් කියන්නේ කෙල්ලෙක් උනත් ඉන්න ඕනේ අපේ කමලා වගේ .එහෙම ඉද්දී ඒ කෙල්ල හරිම තැන්පත් විදිහට ඉඳීනේද..."මෙවාන් කොන්ඩේ එක්ක අතින් සෙල්ලම් කරද්දී කමලා හරිම ආදරයෙන් මෙවාන් දිහා බලාන උන්නා..

"ඔය ඉතින්,පොඩි මහත්තයා මට ලැජ්ජ කරනවා..."කමලා මෙවාන්ගේ කම්මුලක් මිරිකද්දී මෙවාන් කමලාගේ අත අල්ලලා හිනා උනා.."හරි හරි ඔයා වැඩේ කරන්නකෝ,මං යනව කමලා අරූ වොශ් දාන් ඇවිල්ලද දන්නෙ නෑ.." කුස්සියෙන් එලියට යනවත් එක්කම උළුවහුව ළඟ හිටගෙන හිටිය කෙනාව දැකලා මෙවාන් ගැස්සුනා..

"අහ්ම්..කියලා එන්න බැරිද?"මෙවාන් ඇහි බැම උස් කරලා නපුරු විදිහට බැලුවම කොල්ලා ඔලුව බිමට බර කරගත්තා.."පොඩි මහත්තයා ඔය කොල්ලව බය නොකර ඔතනින් යන්න"කමලා මීකිරි හට්ටි දෙක ෆ්‍රිජ් එකට දාලා දොර වහලා දැම්මා..

"බය කලේ මමද කමලා?මෙන්න මෙයානේ..මෙතන හිටගෙන ඉන්නවා හාවක් හූවක් නැතුව.."මෙවාන් කොලලා දිහා බලාගෙන එහෙම කිව්වත් කොල්ලා නෙමෙයි ඔලුවක් උස්සලා මෙවාන් දිහා බැලුවේ.."කෝ මං දුන්න ඇඳුම්? ඒවා අඳින්නේ කවද්ද?"මෙවාන් කොල්ලගේ අතින් බුරුල් විදිහට අල්ලගෙන කුස්සියෙන් එහාට ආවා..

"ම්-ම.."

"මං මං නෙමෙයි...කෝ ඒවා?"මෙවාන් සැරෙන් වගේ ඇහුවම කොල්ලා ඇත්තටම බය උනා..තාමත් කොල්ලා ඉන්නේ ඔලුව පාත් කරගෙන.."මං එදා ගෙනත් දුන්න ඇඳුම්? ඒවා අඳින්නේ කවද්ද?"මෙවාන් ආයෙම ඒක ඇහුවා.."එ-ඒව ස්-සුසුදු ම්-ම්හත්තයගෙ නෙමෙද්ද?"කොල්ලා අමාරුවෙන් වචන ගැට ගහ ගනිද්දී මෙවාන් කොල්ලට නොපෙනෙන්න හිනා වෙලා ආයෙම හිනාව තොල් වලින් පාලනය කර ගත්තා..

"කවුද කිව්වේ මගේ කියලා..ඒ පොඩි ඇඳුම් මට අඳින්න පුළුවන්ද? මොලයක් නැද්ද ඇත්තටම?"මෙවාන් තවමත් කොල්ලගේ අත අල්ලගෙන හිටියා.."හරි දැන් යන්නකෝ..ඒ ඇඳුම් ආයේ ඇන්දේ නැත්තන් තමයි ඊළඟට මගෙන් බැනුම් අහන්නේ...ඒ නිසා කියන දේවල් කරන්න පුරුදු වෙන්න"මෙවාන් කිව්වම කොල්ල ඔලුව උඩට පහලට කලා..

"මොකක්ද ඔය කරන්නේ? සුදු මහත්තයා ඒ ලමයව බය කරනවා නේද?"සුදු මැණිකේ වැලේ තිබුන රෙදි ටිකත් අතේ තියන් මෙවාන් ළඟට ආවා.."පිස්සුද අම්මා? කවුද මෙයාව බය කලේ?"මෙවාන් කට කොනට හිනා වෙලා කියන අතරේ මෙච්චර වෙලා අල්ලගෙන ඉඳිය පුංචි කොල්ලගේ අත අත් ඇරියා....

"එහෙනම් මොකක්ද?මේ කොල්ලට දහඩියත් දාලා..අර බලන්න.."සුදු මැණිකේ කියද්දී තමයි මෙවාන් දැක්කේ,තේව්ගේ නළල දෙපැත්තෙන් දහඩිය ගලාගෙන යන විදිහ..."ආ හරි අම්මා,අම්මගේ වැඩේ කරගන්න.."මෙවාන් සුදු මැණිකේ එක්ක හිනා උනාම සුදු මැණිකේ එතනින් යන්න ගියා..

ඇත්තටම බය වෙලාද?මෙවාන් හිතින් හිතන අතරේ ඔලුව බිමට බර කරන් ඉන්න තේව් දිහා බැලුවා.."ඔහ් ගෝඩ්,තේව් මං ඔයාව බය කලාද?ම්ම් රියලි සොරි..."මෙවාන් කිව්වත් කොල්ලා තවමත් බිම බලාගෙන.."ඕහ් මං දිහා බලන්න..මං බය වෙන්න තරම් දෙයක් කිව්වද?"මෙවාන් අහද්දී කොල්ලා ඔලුව දෙපැත්තට වනලා බොරුවට නෑ කිව්වා....

"හරි හරි,අනිත් දවසේ ඔය ලොකු ඇඳුම් ඇඳගෙන මගේ ඉස්සරහට එන්න බෑ ඔයාට,තේරුනාද?"මෙවාන් කිව්වම කොල්ලා ඔලුව වැනුවා.."තාම ඒවා දිග ඇරලවත් බැලුවෙ නැද්ද ආහ්?"

"මෙවාන්...!!"දහම්ගේ හඬ ඇහෙද්දී මෙවාන් වගේම තේව්ත් ඒ දිහාවට ඔලුව හැරෙව්වා...

දහම්~

_________________________________________

laura-bun🍃

මොකද හිතුනේඒඒඒඒඒඒඒඒඒඒඒ????

අදහස් කියන්න.🤍