Chapter 9: 08•

තේව් (TAEKOOK)Words: 33588

වෙලාව උදේ එකොලහමාර පහු වෙලා තිබුනා...මට කරන්නත් වැඩක් ඒ හැටි නොතිබුනු නිසා මම කාමරේට ආවා...සුදු මහත්තයගේ යාලුවාව ඇරලන්න ඕනෙ නිසා සුදු මහත්තයා මේ වෙලාවේ බංගලාවේ හිටියේ නෑ...මම මේ ජීවිතයට, සුදු මහත්තයා කියනවා වගේ හුරු උනේ නැත්තන් මට මොනවා වේවිද කියන්න මංවත් දන්නෑ...ඊයේ රෑ...ඇත්තටම අමුතුයි...එයා කිව්ව දේවල් මට ඒ හැටි නොතේරුනත් මං දන්නවා ඒ කිව්ව දේවල් සේරම මගේ හොඳට කිව්ව දේවල් කියලා...

මම දන්නෑ...මට එයාට නම කියලා කතා කරන්න අමාරු ඇයි කියලා...මං හැම දවසකම උත්සහ කලා "මෙවාන්" කියලා කතා කරන්න...ඒත්...ඒක මහ නුහුරුයි වගේ මට දැනෙනවා...මට දැන් කියවෙන්නෙම "සුදු මහත්තයා" කියලා...බංගලාවේ හැමෝම එහෙම කියන නිසාද මන්දා මට ඒ විදිහට එයාට කතා කරන්න ආසා හිතෙනවා...

තප්පරෙන් තප්පරේ ගෙවිලා යන වෙලාවත් එක්ක බැලුවම මට මං වෙනුවෙන් කරන්න කොච්චර දේවල් ඉතුරු වෙලා තියෙනවද? ඒ ඉතුරු උන දේවල් වලින් මං මෙච්චර දවසක් කීයක් කරලා තියෙනවද?..නෑ,ඇත්තටම නෑ...මම මං වෙනුවෙන් මුකුත්ම කරලා නෑ...එයා කියනවා වගේ තමන් වෙනුවෙන් වෙන කවුරුත් නෑ කියලා ඇයි මගේ හිත පිලිගන්නෙ නැත්තේ? ඇයි මම පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ?මම දන්නේ නෑ...මම කොන්ඩේ තද කරලා අල්ලගෙන ඉදිරියට නැමුනා..

ඔලුව බරයි...මේ දේවල් ඇත්තටම මට නුහුරුයි...ඒත්...අලුත් ජීවිතයකට යන්න නම් මම මෙහෙම ඉඳලා හරියන්නේ නෑ...මම මේ මිනිස්සුන්ව අඳුරගෙන මහ කලක් නොවුනත් ඒ මිනිස්සු මට මාර විදිහට හිතයි...මට ඒක දැනෙනවා...අම්මා තාත්තා මට නෑ කියලා ඒ මිනිස්සු කොයිම වෙලාවකවත් මට දැනෙන්න දෙන්නේ නෑ...මගේ ගැන නිතරම හොයලා බලනවා..."තේව් කෑවද?,මොනවද ඕනේ?,ඕනෙම දෙයක් කියන්න..."ඔය විදිහට නිතරම මගෙත් එක්ක ඉන්නවා...

කමලා නැන්දා...එයා තමයි මට මෙහෙට ආවත් හරි මුලින්ම කටක් ඇරලා වචනයක් කතා කරන්න හිතුනු එකම ගැහැනු කෙනා...හරිම හොඳ මනුස්සයෙක්....මම එච්චරයි දන්නේ....කිසිම වෙලාවක නෑ,බෑ නොකියා මම කිසි දෙයක් ඉල්ලන්නෙත් නැතුව මට කරලා දෙනවා...ඒ අතින් එයාගේ ගති ගුණ වලට මම ඇත්තටම ආදරෙයි...

ඔහොම එක එක දේවල් ගැන මම කල්පනා කර කර ඉඳලා සයන මතින් නැගිටලා ලී ජනේලේ ගාවට ආවා...මෙතනින් ජනේලේ ඇරියම බංගලාවේ වත්ත භාගයක් විතරම මට පේනවා...මම සමහරක් වෙලාවට මෙතනට හේත්තු වෙලා ඇස් පියාගෙන ඉන්නවා...සීතල හුළං රැලි ඇවිත් මගේ මූණේ වැදිලා ආයෙම ඈතට යද්දී ඒක මට දැනුනේ හරියට භාවනාවක් වගේ...කතා කරන්නවත් කවුරුත්ම නැති උන වෙලාවට මම ඉන්නෙම මෙතන...

මම ඇස් පියාගෙන ජනේලේ කම්බි කූරු වලට අත් යවලා ඒක අල්ලගත්තා...මූණ ජනේලෙට බර කරගෙන මම ආයෙම ඇස් ඇරියා...ඇඟිල්ලකින් ඒත් එක්කම කම්බි කූරු හූරන අතරේ මම එලිය බලාන හිටියා...කොයි වෙලේ හරි මේ කූරු වල පාට සේරම සුදු වෙන්නේ මගේ අතින් කියලා මම දන්නවා...ඒත් මට ඒක පුරුදු වෙලා...

ඔහොම ටික වෙලාවක් ගෙවිලා යද්දී මට ආයෙම ඊයේ පාලම උඩ අපි කතා වුනු දේවල් එකින් එක මතකෙට ආවා...හරිම අමුතුයි...මම දැනගෙන හිටියේ නෑ බංගලාව පිටිපස්සේ ගඟක් තියෙනවද කියලවත්...

ඇත්තටම මම මොනවද දන්නේ? මම මුකුත්ම දන්නේ නෑ...මම අඳුරට බයයි...මම ඒක හිතලා කරන දෙයක් නෙමෙයි...මම අදුරේ ඉද්දී මගේ කකුල් පණ නැති වෙලා යනවා,ඒ දේ ඊයේ සිද්ධ උනේ සුදු මහත්තයා ඉස්සරහ...එයා මාව එලිය තියෙන තැනකට එක්ක ගියේ නැත්තන් මට මොනවා වෙයිද කියලා මංවත් දන්නෑ....

"මොනවද කල්පනා කරන්නේ?"මගේ උරහිස මත අතක් වැදෙද්දී මම ගැස්සිලා ගියා..."බය උනාද?"සුදු මහත්තයා හිනා වෙන්න ගත්තා...මගේ පපුව තාම ගැහෙනවා ඒ ගැස්සිලා ගිය පාර..."ඔ-ඔයා..."මම එහාට උනාම එයා මගේ පැත්‍ත හැරිලා ජනේලෙට හේත්තු උනා...

"ඔව් මම තමයි...මොනවද තේව් කල්පනා කර කර හිටියේ...ඔයා මේ ලෝකෙ නෙමෙයි මං එද්දී හිටියේ..."එයා එහෙම කිව්වේ මගේ දිහා බලලා ඇස් රෝල් කරගෙන...මං කල්පනා කරපු දේවල් කොහොමද එයාට කියන්නේ...මටවත් හරියට මතක නැති කොට...

"මොනවත් නෑ,මට කම්මැලි නිසා මම මෙතනට වෙලා හිටියා..."මම ඇඟට පතට නොදැනෙන්න එක පාර කියලා දැම්මා..."ඔහ් එහෙමද?"සුදු මහත්තයා එයාගේ අවුල් වෙලා තියෙන කොන්ඩේ අතින් හරි ගස්සන්න ගත්තා...මම එලිය බලාගෙන හිටියා...

"හ්ම්..."

"හවස් වෙද්දී ලෑස්ති වෙලා ඉන්න..."එයා කිව්වම මම ඔලුව හරවලා බැලුවා..."ක්-කොහෙ යන්නද?"මම කම්බි කූරක් ඇඟිල්ලකින් තද කරලා ඇල්ලුවා..."පන්සල් යන්න..."සුදු මහත්තයා හිනා උනා..."පන්සල්?"මට උස් හඬින් කියවුනා...

"ඔව් පන්සල් යන්න...අම්මලත් එනවා...අපි හැමෝම යනවා..."ඔහු එහෙම කියලා මගේ දිහා බලනවා මම ඇස් අඟින් දැක්කා...මන්දා එයා ඒ විදිහට මගේ දිහා බලද්දී මට මහ අමුත්තක් දැනෙනවා...මම වේගෙන් ඇස් පිල්ලම් ගහලා අනෙක් පැත්ත හැරුනා...

"මොකද බන්?"ආයෙම ගැඹුරු හඬ ඇහෙද්දී මම අපහසුවෙන් උනත් එයා දිහාවට හැරුනා..."මුකුත් නෑ "මම කියලා දැම්මා..."විකාර තමයි මෙයාගෙත්..."ඇයි එයා දැන් මට එහෙම කියන්නේ...මොකක්ද දන්නේ නෑ මම කරපු විකාරේ...මම ජනේලෙ ලඟින් අයිනට වෙලා ආයෙම සයන දිහාවට ආවා...

"ඔහ් තේව්?! මට රවනවා නේද ඔය?"මම ඇහුනේ නෑ වගේ මගේ එහා පැත්තේ තිබුන ඇඳුම් ටික නවන්න ගත්තා...මේ මනුස්සයා මේ විදිහට බලන් ඉන්න එක මට ඇත්තටම අපහසුවක්...මන්දා එහෙම බලන් ඉදදී මගේ පපුව වේගෙන් ගැහෙනවා...

"මම උදව් වෙන්නද?"මගේ ළඟින් ඇවිත් ඈදි උන සුදු මහත්තයා මගේ උකුලේ තිබුන ඇඳුම් වලින් දෙක තුනක් අරගෙන එයාගේ උකුල උඩට දාගත්තා...මම ඇඳුම් නවන අතරේ එයා දිහා නිකමට ඇස් හැරෙව්වාම තමයි මම දැක්කේ එයා තුනට හතරට වඩා පොඩි වෙන්නම ඒ ඇඳුම් නවලා තියෙන වග...මට ඒත් එක්කම හිනාවක් පැන්නා...

"තමුසේ හිනා වෙනවා නේද? තේව්!!!!"අද හරි,දැන් අම්මාත් එනවා මේ විදිහට මෙයා කෑ ගහනවා ඇහිලා...ඇයි දෙයියනේ හිනා උනා කියලා මක් වෙනවද?මම තොලක් හපාගෙන මගේ වැඩේට අවධානේ දුන්නා..."ඒක නෙවෙයි තේව්!"සුදු මහත්තයා උගුර පාදලා නවලා ඉවර උනු ඇඳුම් මගේ අතට දුන්නා..."ම්ම්"මම එයා දිහා නොබලා ඉතුරු වෙලා තිබුනු ඇඳුම් දෙක තුනත් නවලා දැම්මා...

"ඔයා මගේ ගැන වැරදි විදිහට හිතුවද කියලා මට දැනගන්න ඕනේ තේව්!!"සුදු මහත්තයා මොනවා ගැනද මේ අහන්නේ?මම ඇස් ලොකු කරගෙන එයා දිහා බැලුවා..."මොනවා ගැනද ඔයා අහන්නේ?"මම එයා කතා කරනකන් බලාගෙන හිටියා..."සිගරට්..."ඔහු කිව්වම මම බර හුස්මක් පහල හෙලුවා...

"ඒවද?ම්ම් ඒක නම් වැරැද්දක් තමයි..."මම හිනා වෙලා නැගිටලා, නවපු ඇඳුම් ටිකත් අතට අරගෙන අල්මාරිය ළඟට ආවා..."ඒක වැරැද්දක්ද? එහෙනම් ඔයා දන්නේ නෑ මේ ලෝකේ මොන වගේ වැරදි වැඩ වෙනවද කියලා..."සුදු මහත්තයා කට කොනකින් හිනා උනා...ඇත්ත...එයා සමාජේ ගැන කාටත් වඩා හොඳට දන්නවා....ඒකට මම? මම මුකුත්ම දන්නේ නෑ...මට එයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා...

"ඔව්...මම දන්නේ නෑ ඒ දේවල්...ඒත් ඕවා බිව්වහම අසනීප වෙනවා කියලා මම අහලා තියෙනවා..."මම අල්මාරිය වහලා දැම්මා..."ආහ්..."එයා හිනා උනා..."ඇයි හිනා වෙන්නේ? මම කිව්වේ ඇත්ත...ඔයා දන්නේ නැති උනාට මහරගම ඉස්පිරිතාලෙ කී දෙනෙක් ඉන්නවද ඕවා බීලම අසනීප උන.."මම කිව්වම සුදු මහත්තයා ඇස් හීනි කලා...

"අනේ බන්,ඒ හැම වෙලේම බොන මිනිස්සුනේ...මම එහෙම හැම වෙලේම බොනවද? උබ දන්න දෙයක් කියවපන්"එයා මට රැව්වා..මම තොලක් හපාගෙන ආයේ කරන්න වැඩක් හෙව්වා..."ම්ම්..."

"සුදු මහත්තයා...ඔයාලා ඇතුලෙද?"ඒත් එක්කම කමලා නැන්දා කාමරේට ආවේ පොල් කටු දෙකක් අතේ තියාගෙන..."මොනවද කමලා මේ?"සුදු මහත්තයා ඉස්සී ඉස්සී කමලාගෙ අත දිහා බැලුවා..."බෙලිමල් සුදු මහත්තයා...මෙන්න,සුදු මැනිකේ දෙන්නටම ගිහින් දෙන්න කිව්වා..."කමලා නැන්දා මගේ ළඟට ඇවිත් එකක් දීලා අනෙක් අතට හකුරු කෑලි දෙකක් දුන්නා...

"කමලා මේවා මම බොන්නේ නෑ කියලා දන්නේ නැද්ද?"එයා හයියෙන් කිව්වම කමලා නැන්දා හිනා වෙනවා මම දැක්කා..."බොන්නේ නැති උනාට කරන්න දෙයක් නෑ සුදු මහත්තයා...ඔයා බීලා ඉවර වෙනකන් ඉඳලා මට පොල් කට්ට ඉල්ලගෙන එන්න කියලා තමයි කිව්වේ"කමලා නැන්දා මේසෙට හේත්තු උනා...

"කමලා!!!!"සුදු මහත්තයා කෑ ගැහුවා...මම අමාරුවෙන් හිනාව තද කරගෙන හිටියා..."ඕක බොන්න සුදු මහත්තයා,ඊට පස්සේ මම යන්නම්"කමලා නැන්දා හිනා උනා..."ඉන්නකෝ මම අම්මට කියලා ඔයාට හොඳ වැඩක් කරනවා..."සුදු මහත්තයා නහය ඇඟිලි දෙකකින් වහගෙන එක හුස්මට ඒක බීලා දැම්මේ හකුරු කෑලි දිහාවත් නොබලා...ඒක නම් ඇත්තටම මාර බෙලිමල් බීමක් තමයි...හකුරුත් නැති බෙලිමල් බීමක්...

සුදු මහත්තයා නැගිටලා පොල් කට්ට කමලා නැන්දාගේ අතේ ගහලා නැන්දව කාමරයෙන් එලියට තල්ලු කලා..."ආයෙ එන්න එපා...මම බලාගන්නම් ඔයා ගැන..."කමලා නැන්දා හිනා වෙලා එයාගේ කොන්ඩේ අවුල් කරනවා මම දැක්කා...කමලා නැන්දා සුදු මහත්තයට එයාගෙම පුතෙක්ට වගේ සලකන්නේ...සුදු මහත්තයාගේ අම්මා බංගලාවේ නැති වෙලාවට සුදු මහත්තයා හුඟක්ම කිට්ටු කමලා නැන්දට කියලා කමලා නැන්දා මට කියලා තියෙනවා...ඇත්තටම ඒක එහෙමයි කියලා ඒ දෙන්නව දැක්කම මට තේරෙනවා...

"කොහොමද බන් ඕවා බොන්නේ,මල ජරාව...අපේ අම්මටත් මොනව හරි කමක් නෑ මගේ උගුරෙන් පහලට යවනකන් නින්ද යන්නේ නෑනේ"මම බෙලිමල් එක බොන දිහා බලාගෙන සුදු මහත්තයා කියලා මූණ ගොරකා ලෙල්ලක් වගේ හදාගත්තා...

"ඇයි? මේවා රහයිනේ...ඔයාට ඉතින් එච්චර දීලත් බොන්න බැරි නම් ඔයාට පින නෑ..."මම හකුරු කෑල්ලක් දත් වලින් හැපුවා..."ඇයි දැන් ඕක බිව්වා කියලා තමුසෙට මොනවද හම්බුනේ?"මම හිනා උනා..."මේවා ඇඟට ගුණයි කියලා ඔයා අහලා නැද්ද? මම හිතුවේ හැමදේම දන්න එකේ මේකත් දන්නවා ඇති කියලා..."මම කිව්වම සුදු මහත්තයගේ ගොරකා ලෙලි මූණ තවත් ඇඳ උනා...

"ආහ්...අනේ මේ මම දන්නවා හරිද? මම මේ කිව්වේ...ඇඟට ගුණ කටට රහ කොච්චර දේවල් තියෙනවද?ඇඟට ගුණයි කියලා මේ ජරාවල්ම බොන්න ඕනෙද?"මම අන්තිම උගුරත් බීලා දැම්මා..."ඔය...ඔය දේවල් වලට අපහස කරන්න එපා ස්-සුදු මහත්තයා...මේවා බුදුන්ටත් පූජා කරනවා..."මම කිව්වම එයා ඇස් රෝල් කලා...

"හරි ඉතින්,මම අපහස කලේ නෑ,මම කිව්වෙ මේවා බොන්න බෑ කියලා විතරයිනේ..."සුදු මහත්තයා හිනා වෙවී ගිහින් කාමරේ සුදු තිර රෙදි දෙක එක්කහු කරලා හීනි පටියෙන් ගැට ගහලා දැම්මා...මම ඒත් එක්කම කුස්සියට ගියේ මේක හෝදන්න ඕනේ නිසා...

~

අන්තිමේදී අපි හැමෝම ලෑස්ති වෙලා හිටියේ සුදු මහත්තයා කිව්ව පන්සලට යන්න...හවස හතරත් පහු වෙලා ඇති මගේ හිතේ...ගොඩක් රෑ වෙන්න කලින් ගිහින් එන්නත් ඕනේ කිව්ව නිසා බංගලාවේ හැමෝම මේ වෙද්දී ලෑස්ති වෙලා හිටියා...මම සුදු මහත්තයා ගෙනත් දුන්න ඇඳුම් වලින් සුදු පාට කමිසයක් එක්ක කලු පාට කොට කලිසමක් ඇන්ඳා...ඒවා මට ගානටම මහපු ඇඳුම් වගේ...ලොකුත් නෑ,පොඩිත් නෑ...

සුදු මහත්තයගේ අප්පච්චි නම් පන්සලට එන්න ටිකක් පරක්කු වෙනවා කිව්වා...මාමා දහම් මහත්තයගේ බංගලාවට ගිහින් පන්සලට එහෙම්මම එන්නම් කිව්ව නිසා...කොහොම හරි බංගලාවෙන් අපි පිටත් උනා...මම පලවෙනි වතාව මේ විදිහට බංගලාවේ මිනිස්සු එක්ක ගමනක් යන...ඒකත් පන්සලක් උන නිසා මට ඒක පුදුමයක්...මම කවදාවත් හිතුවෙ නෑ මෙයාලා එක්ක මේ විදිහට එලියට යන්න පුළුවන් වෙයි කියලා...

මම මුලින් බය වෙලා හිටියත් මේ බංගලාවෙන් එලියට යන්න,සුදු මහත්තයා ටිකින් ටික මගේ බය මගෙන් ඈත් කරලා දානවා කියලා මට දැනෙනවා...ඒත් මං තාම හරියට සුදු මහත්තයා මොන වගේ කෙනෙක්ද කියලා දන්නෙ නැති උනාට එයා මගේ යාලුවා නිසා මම එයාව ඉක්මනට තේරුම් ගනී කියලා මං විශ්වාස කරනවා...

මම පන්සලට යනකල්ම වීදුරුවෙන් එලිය බලාගෙන හිටියා...නැන්දයි කමලා නැන්දයි එක එක කතා කියවනවා මට ඇහුනත් මම හිනා වෙලා ඒවට ඇහුන්කන් නොදී එලිය බලාගෙන හිටියා...කොහොම හරි පැය කාලක් විතර ගියාට පස්සේ සුදු මහත්තයා වාහනය නතර කලේ විශාල රූස්ස ගස් පිරුණු කැලයකින් වට උනු ලොකු පන්සලක් ළඟ...පන්සලේ නමක් නම් පේන මානෙක තිබ්බෙ නෑ,ඒත් මේක හුඟක් ලොකුයි...මං පලවෙනි වතාව මෙහෙට ආපු...

මිනිස්සු නම් වැඩිය පේන්න හිටියේ නෑ...ඒ අද පෝය දවසක් නොවුන නිසාද කියලත් මට හිතුනා....ඒත් පෝය දවසක් වෙන්න ඕනේම නෑ පන්සලකට යන්න...බුදුන් වහන්සේ දකින්න එහෙම දිනයක් නියම කරලා නෑ මම දන්න විදිහට...මම හිතින් ගොඩක් සතුටු උනා මේ වගේ තැනකට මාව එක්කන් ආපු නිසා...ඇරත් මට තනියමවත් එන්න පුළුවන් තැනක් නෙමෙයි මේක...හරිම ගුප්ත බවක් මට මෙතනට කකුල තියපු වෙලේ ඉඳන් දැනෙනවා...

"අම්මා ඔයාලා ඉස්සර වෙලා යන්න,මම තේව්ව එක්කගෙන එන්නම්"සුදු මහත්තයා වාහනේ යතුර එයාගේ කලිසමේ බෙල්ට් එකෙන් රඳවගත්තා..."හරි දෙන්නත් එක්ක එන්න එහෙනම්..."නැන්දා එහෙම කියලා අපි දෙන්නත් එක්ක ලස්සනට හිනා උනා...ඊට පස්සෙ කමලා නැන්දයි,සුදු මහත්තයගෙ අම්මයි දෙන්නම අපි දෙන්නා එන්න කලින් පන්සලේ ගල් පඩි පෙල නගින්න ගත්තා...

"මේ කොහෙද අනේ? හරිම ලස්සනයි...මං අදමයි ආවේ මේ වගේ පන්සලකට..."මම කිව්වම සුදු මහත්තයා හිනා උනා..."ඒක නිසාම තමයි මම එක්ක ආවේ,බංගලාවේ ඉඳලම තමුසෙට කම්මැලි කියල මම දන්නවා..."එයා ආයෙමත් හිනා උනා...

"මොනා? මට කම්මැලි නිසාද මෙහෙ එක්කන් ආවේ?"අපි ඉස්සරහට ඇවිද්දා..."ඔව්,මම හිතුවා ඔයාව මුලින්ම මෙහෙට එක් කරන් එන්න ඕනෙ කියලා...මෙහෙට ආවම මට නම් ආයේ යන්න හිතෙන්නෙ නෑ තේව්..."සුදු මහත්තයාගේ වචනත් එක්ක මම එයා දිහා බැලුවා...

"ඇයි එහෙම කියන්නේ?"මම වට පිටේ තියෙන තොරොම්බෝල කඩවල් දිහා හැරි හැරි බැලුවා..."පන්සලක් කියන්නේ හිත නිවන තැනක් තේව්...මම දන්නේ නෑ,අනෙක් තැන් වලට වඩා මම මේ පන්සලට මාර ලැදියි...මේ ගස් කොලං...මේ පරිසරය...මේ හුළඟ...මේ හැමදේම...හරියට මේ පන්සලටම අරක් ගත්තු දේවල් වගේ...හරිම නිදහස් හැඟීමක් දැනෙනවා..."එයා කියන කතාව ඇත්ත...මම දැනටම මේ තැනට ගොඩක් ආස වෙන්න පටන් අරන්...

"මාමා එන්න හුඟක් වෙලා යයිද?"මම ඇහුවේ වට පිට බලන ගමන්..."නෑ,එයා ඒවි තව ටිකකින්...තේව් අපි ඉක්මන් කරලා යන්...අම්මලා දැන් උඩට ගිහිල්ලත් ඇති..."සුදු මහත්තයා ඊයේ රෑ පාලම ළඟදී වගේ ආයෙමත් මගේ අත අල්ලගත්තම මම ගැස්සිලා ගියේ මට ඒක නුහුරු නිසා...

කොහොම හරි අපි දෙන්නම ගල් පඩි පෙල නැගලා මලුවට ආවා...ඒක විශාල වැලි මලුවක්...කලු ගල් වලින් නිම කරපු ලොකු බුදු පිලිමේ දිහාවට තමයි මගේ ඇස් මුලින්ම ගියේ...මෙතනට අඩිය තියන ඕනි කෙනෙක්ට එහෙම වෙනවා කියලා මට විශ්වාසයි...ඒ තරම් ඒ බුදු පිලිමේ විශාල,අලංකාර සහ හිත නිවන එකක් උනා...

"අපි අරෙහෙට යන් තේව්..."සුදු මහත්තයා මගේ අත අත් ඇරලා බුදු පිලිමේ කිට්ටුවට මාව එක් කරන් ගියා..."ආහ් දෙන්නා ආවද? මෙන්න මේ මල් ටික ටික අරගෙන දෙන්නත් එක්ක පූජා කරන්න..."සුදු මැනිකේ වට්ටියේ තිබුන සුදු පිච්ච මල් අහුරු දෙකක් අපි දෙන්නගෙම අත් වලින් තිබ්බා...

"අම්මලා වැඳලා ඉවරද?"සුදු මහත්තයා ඉස්සර වෙලා ගිහින් මල් පූජා කරන බැම්ම මත මල් තියලා හරි ලස්සනට අතින් හැදුවා..."තාම නෑ පුතා...අපි බෝධිය නාවන්නත් ඕනේ...ඒත් අප්පච්චි එනකල් පොඩ්ඩක් ඉන්න හිතුවා..."සුදු මැනිකේ කිව්වම සුදු මහත්තයා හිනා උනා...

"හරි අම්මා එහෙනම් ටිකක් ඇවිදලා එන්න...මම වැඳලා එන්නම්..."සුදු මැනිකෙයි,කමලා නැන්දයි ටිකකින් අපි දෙන්න හිටපු තැනින් නොපෙනී ගියා...සුදු මහත්තයා දොහොත් මුදුන් දීලා ඇස් දෙක පියාගෙන බුදුන් වඳිනවා...මගේ අතේ තාමත් පිච්ච මල් ටික තිබුනා...මම ඒවගේ සුවඳ නහයට ඇඳලා අරගෙන සුදු මහත්තයා කලා වගේ ඒ ටික ලස්සනට හරි ගස්සලා බුදුන් වැන්ඳා...

ඒත් එක්කම අපි පහන් වැට ළඟට කිට්ටු උනා...සුදු මහත්තයා අතක් දික් කරලා පහනක් පෙන්නුවම මම හිනා උනා...ඊට පස්සේ මම ඒ මැටි පහනට පොල්තෙල් ටිකක් වත් කරලා පහන්තිරයක් දාලා තෙල් වල පෙඟෙව්වා...සුදු මහත්තයා පහන් දෙක තුනක් දල්වලා ඉවර උනාම මම එයා දල්වපු පහනකින්ම මගේ පහන දල්වගත්තා...

"හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තේව්!! ඔය හිතේ බරයි කියලා හිතාගෙන ඉන්න දේවල් පුළුවන් නම් මෙතන කියලා සැහැල්ලු කරගන්න බලන්න..."එයා කිව්වම මම අමාරුවෙන් හුස්මක් අරගෙන පිට කලා...

"හ්ම්,හඳුන්කූරු?"මම ඇහුවේ සුදු මහත්තයාගේ අතේ තියෙන භාගෙකටත් වඩා අලු වෙලා තිබුන හඳුන්කූරු දිහා බලාගෙන..."ආහ්..මට අමතක උනා..."ආයෙම හඳුන්කූරු පෙට්ටියෙන් හඳුන්කූරු කිහිපයක් අතට ගත් ඔහු ඒවා දල්වගෙන මාවත් පහු කරගෙන ගියේ ඒවා හිටවන්න හඳලා තිබුන වැලි බඳුන් දිහාවට...

මගේ හිතට මහ අමුතු සැනසීමක් දැනෙනවා...අපි බෝධිය නාවලා ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ,පන්සලේ හිටිය පොඩි හාමුදුරුවන්ට කියලා පිරිත් නූල් බැඳ ගත්තා...මාමත් මේ වෙද්දී පන්සලට ඇවිත් හිටිය නිසා අපි හැමෝම පිරිත් නූල් බැඳගෙන හාමුදුරුවන්ට වැඳලා පැත්තකට ගිහින් ඈදි උනා...ඔය විදිහට පන්සලට ගොම්මන වැටෙනකල්ම ඉඳලා අපි ආපහු එන්න ආවා...

_________________________________________

laura-bun🍃

මම මේක තේව්ගේ POV එකෙන් ලියාගෙන යනවා බබීලා...මට හිතුනා එහෙම ලියන එක හොඳයි කියලා..⭐