Chapter 2 of 6

01 මන්දාකිණිය

මන්දාකිණී | Complete1,007 words~6 min read

අතොරක් නැතුව වැටෙන වැහි බිංදු මහ වැස්සකට හැරවුණේ මට මතක විදියට දැන් පැයකටත් විතර කලින්.මේ දවස් ටිකේම මෙහෙමයි.

උදේ පටන් ගත්තම රෑ වෙනකන්ම අහස අඬනවා.හිතාගන්න බෑ කවුද ඒ තරමටම එයාගේ හිත රිද්දලා තියෙන්නේ කියලා.

සීතලම සීතල හුළං රැල්ලක් ගස් වැල් පෙරලගෙන වගේ හමාගෙන ගියේ,අහසට ඔයා තනියම නෙවෙයි කියන්න වගේ.ඒ අතරින් පතර අකුණක් දෙකක් ගැහුවේ,

දරාගන්නම බැරි තැන්වල කෑගහනවා වගේ.එයා නොසෑහෙන්න අඬනවා.ඒ වේදනාව කොයිතරම් ද කියනවා නම් මේ වෙනකොට ගම්බිම් සෑහෙන්න ගානක් යට වෙලා මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් පවා නැති වෙලා තිබ්බා.

තව සමහර මිනිස්සුන්ට එයාලගේ ආදරණීයන්ව නැති වෙලා තිබ්බා.

අවුරුදු ගානක් මහන්සියෙන් හම්බකරගත්ත දේවල් එක වැස්සකින් නැත්තටම නැතිවෙලා ගිහින් තිබ්බා.

පාර අයිනට වෙන්න අතඇරලා දාපු කැෆේ එකක වහලක් යටට වෙලා,

සන්තකේටම තිබ්බ රෙදි කඩමලු දාපු බෑග් එකත් තුරුල් කරගෙන සීතලේ ගැහි ගැහි වැස්ස දිහා බලාගෙන ඉදපු මගෙන් බර හුස්මක් පිටවුණා.

වැස්ස නිසාම අද වටපිටාව හුඟාක් සීතලයි.එහෙමයි කියලා මම ලඟ සීතලට අඳින්න කියලා මොනවත්ම තිබ්බේ නෑ.ඇඳගෙන ඉන්න ගවුම ඇරුණම යාන්තමට පිරිමහගන්න පුළුවන් වෙන්න මට තව ගවුම් තුනක් තිබ්බා.ඒකත් මේ ඉස්සරහ ඇඳුම් කඩේ කරන මාලනී නැන්දා දුන්න එකක්.අලුත් ඒවා නම් නෙවෙයි.එයාලා විකුණන්නේ නැතුව අහක් කරන ඒවා.

මෙතනට ටිකක් එහායින් තිබ්බ පරණ ඔරලෝසු කණුවේ වෙලාව දවල් දෙකයි කියලා සටහන් වුණාට එළිය අද සෑහෙන්න අඳුරුයි.වැස්ස දාට හැම තිස්සෙම මෙහෙම තමා.

කලින්ම කරුවල වැටෙනවා.එහා පැත්තේ කෑම කඩේ කෑමවල සුවඳ එනකොට මගේ බඩගින්න තව ටිකක් වැඩිවුණා.ඊයේ රෑ ඉදන් මොනවත්ම කන්න හම්බුණේ නෑ.සින්දු කියලා හොයපු සල්ලිත් ඔක්කොම ඉවර වෙලා තිබ්බේ.ඇයි ඉතින් එක දිගට වහින්න ගන්නකොට මම කොහොමද සින්දු කියන්නේ?

ඇත්තටම සින්දු කියනවාට වඩා මම කරේ බටනලාව වාදනය කරපු එක.මට පුළුවන් ඕනම සින්දුවකට ලස්සනට බටනලාව වාදනේ කරන්න.මේ කැෆේ එකට එහා පාරේ ඉදපු සීයාතු මාමා තමයි මට මේ බටනළාව හදලා දුන්නේ.සීයාතු මාමා කලේ සපත්තු මහපු එක.ඒත් එයා දැනට මාස දෙකකට කලින් නැතිවුණා අසනීප වෙලා.

මගේ බඩගින්න එන්න එන්නම වැඩි වෙනවා.මෙතනින් නැගිටලා යන්න විදියකුත් නෑ වැස්ස නිසා.

වැස්ස හුඟක් ලස්සනයි ප්‍රේමණීයයි කිව්වට ඒක හැමෝටම එහෙම නෑ.

අපි වගේ ඉන්න හිටින්නවත් තැනක් නැති යාන්තමට ජීවිතේ ගැටගහගන්න මිනිස්සුන්ට ඒක හරියට දැනෙන්නේ අපේ ජීවිත විනාශ කරන්න ආපු හතුරෙක් වගේ.ඇත්ත වැස්ස ලස්සනයි තමා,ඒත්....................අනේ මන්දා.......

"මන්දාකිණියෝ!"

කල්පනා ලෝකෙක ඉදපු මාව ගැස්සිලා ගියේ මහ වැස්සේ පාර එහා පැත්තෙන් ඇහුන මාලනී නැන්දගේ කටහඬට.නැන්දව හරියට පේන්නෙත් නෑ පාරෙ යන වාහන නිසා.මම ඇහුනා කියලා කියන්න ඕන නිසා නැන්දට අත වැනුවා.මම දැක්කා එතන ඉදපු කවිඳු මල්ලිට කුඩේ දීපු නැන්දා එයාව මම ඉදපු පාරෙන් මෙහා පැත්තට එවනවා.

"මන්දාකිණී අක්කේ"

"ඇයි මල්ලි?"

"අක්කේ,අම්මා කිව්වා ඔතන ඉන්නෙ නැතුව වැස්ස අඩු වෙනකන් කඩේට ඇවිත් ඉන්න කියලා"

"අනේ කමක් නෑ මල්ලි,මං කොහොමද ඇතුළට එන්නේ?...

බලහන්කෝ මාව තෙමිලනේ"

"අනේ මේ පිස්සු නොකර යමු අක්කේ,අර බලපන් වැස්ස තවත් වැඩිකරා.මෙන්න මෙහෙ වරෙන් යන්න"

කිව්වත් වගේ මහ වැස්ස තව ටිකක් සැරකරා.මල්ලිට අවනත වෙලා යනවා ඇරෙන්න,එවෙලේ මට කරන්න වෙන දෙයක් තිබ්බේ නෑ.මගේ අතින් පරිස්සමට අල්ලගත්ත මල්ලී මාව පාර පන්නලා කඩේට ගෙනත් ඇරලුවා.

"ඈ බන් කෙල්ලේ හැබෑටම උඹට පිස්සුද මේ මහ වැස්සේ අර හිච්චන් වහලක් යටට වෙලා ඉන්න?...

බලපන් උඹ නිකන් තෙමිච්ච කිකිළියෙක් වගේ"

"අව්ව වැස්ස මට හොඳට පුරුදුයි නැන්දේ.අනික එහෙමයි කියලා මට හැමවෙලේම නැන්දට කරදර කරන්න බෑනේ."

"අනේ උඹේ මලවිකාර,ආ ගනින් මේ තුවාය,පිහිදගනින් ඔය කොණ්ඩේ.මම උඹට හැමදාම කියනවා ඔය කෙහෙල්මල කඩාදාලා යන්න එපාය කියලා.

දිගට මහතට දියඇල්ල වගේ කොණ්ඩෙ තියනකොට මිනිස්සුන්ගේ ඇස්වහ වදිනවා බන්."

ලාවට හිනාවුණ මම නැන්දගේ අතින් තුවාය අරගෙන මගේ දණහිසටත් ටිකක් පහළට වෙන්න තිබ්බ කොණ්ඩේ පිහින්න ගත්තා.

නැන්දා හැමදාම ඔහොමයි.මං කොණ්ඩේ කඩාගෙන ඉන්නවා දැක්කොත් මට බනිනවා ඇස්වහ කටවහ වදී කියලා.මෙතනට ආපු දවසේ ඉදන්ම මං ගැන හොයලා බැලුවේ සීයාතු සීයයි මාලනී නැන්දයි විතරයි.ඒකෙනුත් දැන් ඉතුරු මාලනී නැන්දා විතරයි.

"උඹ කෑවද කෙල්ලේ?"

".............."

"කට නැද්ද උඹේ?"

"ඔහේ නෑ නැන්දේ.එළියටවත් යන්නේ කොහොමද මේ වැස්සේ"

"ඉදපන් මම බත් ටිකක්වත් බෙදන්න උඹට.කෑවේ නැත්තන් කියන්න තිබ්බනේ නෑ කියලා.

මොකෝ මම උඹව එළවගන්නවා යෑ.කොහෙද ඉතින් මගේ ගෙදරට වරෙන් කියලා කිව්වත් උඹ කැමති නෑනෙ.කොලුවෝ අන්න අර තුවාය අරගෙන අක්කගේ කොණ්ඩේ පිහපන්.තනියම කරගන්නත් බෑ පණ්ඩිත ආච්චිට"

කොණ්ඩේ කඩාගෙන ඉදපු එකටත් බැනලා ඊට පස්සේ කාපු නැති එකටත් නෝක්කාඩු කියපු මාලනී නැන්දා මල්ලිට මගේ කොණ්ඩේ පිහින්න කියලා කඩේ පිටිපස්සෙන් තිබ්බ ගෙදරට ගියා.මම එතන තිබ්බ පොඩි ස්ටූල් එකෙන් වාඩි වුණාම මල්ලි මගේ ඔළුව පිහින්න ගත්තා.

"අද ඉස්කෝලේ ගියේ නැද්ද මල්ලී?"

"නෑ අක්කේ උදේ පාන්දරම බඩේ අමාරුවක් ඇල්ලුවනේ"

"එහෙනන් අද අනිවාරෙන් ඉස්කෝලේ පේපර් එකක් දෙනවා ඇති"

"පිස්සුද අක්කේ එහෙම අටමඟලක් නෙවේ ඇත්තටම බඩ රිදෙනෝ"

"ඒ මොකෝ හදිස්සියෙම?"

"දන්නෙ නෑ අක්කේ,අම්මා අසමෝදගම් දුන්නා.දැන් නම් අඩුයි හැබැයි"

"හැදෙන්නැතුව තියේයෑ.තියන තරම් හැම ජරාවම බඩට ඔබා ගන්නකොට"

"අනේ නිකා ඉන්න අක්කේ.ඒක නෙවේ අද මෙහෙ ඉන්න.වැස්ස දැන්ම නවතින පාටක් නෑ.අනික දැන් යන්න හැදුවොත් අම්මා පරලවෙයි ආපහු"

මල්ලිගෙ වචනත් එක්ක මම ආපහු මහ වැස්ස දිහා බැලුවා.කිව්වත් වගේ වැස්ස නම් නවතින පාටක් නෑ.කොණ්ඩේ පිහලා ඉවර වුණාට පස්සේ මල්ලිට කඩේ ඉන්න කියලා මම පිටිපස්සේ තිබ්බ ගෙට ගිහින් කුස්සියට ගොඩ වුණා.

"ආ උඹ ආවද? මම මේ බිත්තරක් බැද්දා උඹට කන්න."

"පිස්සුද නැන්දේ ඔයාට?..ඔය තියන දෙයක් එක්ක බත් හැන්දක් දෙන්න"

"හැදෙන වයසේ කෙල්ලෝ වුණාම හොඳට කන්න ඕනා.බලපන් උඹේ ඇඟේ හැටි."

මාලනී නැන්දා කියපු එකට මොනවත්ම නොකියපු මම එයා දුන්න බත් එකත් අරගෙන හිරමණේ උඩින් වාඩිවෙලා කන්න ගත්තා.නැන්දගේ බත් හරිම රසයි.

ඒත් එයා කතා කරලා දුන්නොත් මිසක් මම කවදාවත් නැන්දට කරදරයක් වෙන්න යන්නේ නෑ.මට එහෙම පුරුදු නෑ.මිනිස්සුන්ට බරක් වෙලා ජීවත් වෙන එක.

බත් එක කාලා ඉවර වුණ මම,

කඩේ වීදුරු බිත්තියෙන් පේන වැස්ස දිහා බලාගෙන හිටියා.

හෙටවත් පෑවුවොත් හොඳයි.

නැත්තන් කීයක්වත් හොයාගන්න වෙන්නේ නෑ.මල්ලිගේ උපන්දිනෙත් එනවා.මොනාහරි නොදුන්නොත් පව්නේ.එයා මට කොච්චර ආදරෙයිද.කවදාවත් මගේ හිත රිදෙන දෙයක් කියලා නෑ.හැමදාම මට සැලකුවේ එයාගෙම අක්කට වගේ.කොල්ලට පොත් ටිකක්වත් අරගෙන දෙන්න ඕනා.

වැස්ස දිහා බලාගෙන කල්පනා කර කර ඉදපු මට එක පාරම හිතුණා 'අනේ කතා කරන්නවත් කෙනෙක් ඉදියා නම්' කියලා.ඇත්තද වැහි දවස්වලට හුඟක් පාළු හිතෙනවා කියන්නේ?...මට තේරෙන්නේ නෑ මට මේ දවස් වල මොකක් වෙලාද කියලා.

සමහර දවස් තියනවා මට කියාගන්න බැරි තරම් තනියි,

පාළුයි,සමහර වෙලාවට මම එක පාරටම අඬන්න ගන්නවා.ඒත් ආපහු තව තත්පර ගානකින් කල්පනා කරනවා ඇයි මම ඇඬුවේ කියලා.

සමහර වෙලාවල් තියනවා කරන්න ඕන මොකද්ද කියලවත් හිතාගන්න බැරි.වාහන එනවා කියලා දැන දැනත් පාරෙන් අයින් නොවෙන්න හිතෙන දවස් මට ඕන තරම් තිබිලා තියනවා.

පෙලක් දවස් වලට මම අව්ව වැස්ස ගනන් නොගෙන ඔහේ ඇවිදගෙන යනවා.මුහුදට ගිහින් වෙරළේ දිගාවෙලා හුඟාක් වෙලා කල්පනා කර කර ඉන්නවා.

කතා කරන්නවත් මට මේ ලෝකෙ කවුරුවත් නෑනේ කියලා මතක් වෙන හැම තත්පරේම මට මං ගැනම පුදුම අසරණ කමක් දැනෙනවා.

දන්නවද.....මොනම හේතුවක් නිසාවත්,කාටවත්ම දැනෙන්න හොඳ නෑ තමන් මේ ලෝකේ තනි වෙලා කියන හැඟීම.

මොකද.........

ආදරයක් නැති වෙනවට වඩා තමන් තනිවෙලා කියන ඒ හැඟීම පුදුමාකාර විදියට රිදෙනවා.....

මතක් කරලා මට ඔයාගෙ අදහසුත් කියාගෙන,නිදහස් කරගෙනම මෙතනින් එළියට යන්න.

ආදරෙයි මහ හුඟක් !

- මන්දාකිණී -

Contents
Contents