Chapter 3 of 6

02 මන්දාකිණිය

මන්දාකිණී | Complete1,015 words~6 min read

පහුවදා දෙයියනේ කියලා වැස්ස පෑවුවා.ඒත් ඉර එළිය නම් වැටුණේ කලාතුරකින් වගේ.වටපිටාවම තිබ්බේ තරමක් දුරට අඳුරුවට.

මූණ කට සෝදගෙන මාලනී නැන්දා දුන්න පාන් පෙති දෙකත් බඩට දාගත්ත මම පුරුදු විදියටම නුග සෙවණට යන්න පිටත් වුණා.

මේ පාරේ මීටර් සීයක් විතර ගියාම තියනවා ලොකු නුග ගහක්.එතන තමයි මම බටනලාව වාදනය කරන්න පුරුදු වෙලා හිටියේ.එතන රෙස්ටුරන්ට් එකක් එහෙම තියන නිසා කට්ටිය යනවා එනවා වැඩියි.සමහරදාට විදේශිකයොත් එන නිසා කීයක් හරි වැඩිපුර හොයාගන්න පුළුවන්.

විනාඩි දහයකින් වගේ මම නුග ගහ ලඟට ආවා.එතන තිබ්බ පොඩි ගල් බංකුව උඩ මගේ බෑග් එක තියලා මම බටනලාව අතට අරගත්තා.හැමදාම මගේ බටනලා වාදනය අහන්න එතනට එන පාරෙ ඉන්න පොඩි පැටවු ටික අදත් වෙනසක් නැතුවම එතනට දුවගෙන ආවේ හිනා කටක් පුරෝගෙන.

"මන්දාකිණී අක්කේ!!"

"අද මොකද්ද ගහන සින්දුව?"

"ලස්සන එකක් ඕනා"

"අනේ පටන් ගන්නකෝ!"

මාව වටකරගත්ත පොඩි එවුන්ගෙන් මට බේරිල්ලක් නැති වුණා.ඉන්න හිටින්න තැනක් නැති වුණත්,මළපොතේ අකුරක් නොදන්නවා වුණත් සල්ලි දීලවත් ගන්න බැරි තරම් වටින හදවත් ටිකක් මේ දරු පැටවුන්ට තිබුණා.

හැමදාම මගේ වාදන අහන එයාලා දෙන්න සල්ලි නැති නිසා මට මල්,එයාලට හම්බෙන ටොපියක් වගේ පුංචි පුංචි දේවල් ගෙනත් දෙනවා.

පුංචි හිත් හරි අහිංසකයි කියන්නේ නිකන්ද?

ලොකු හුස්මක් අරගත්ත මම බටනලාව මගේ තොල් වලට ලං කරගෙන ඇස්දෙක පියා ගත්තා.

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සඟවා

ගිය හාදු ඇතිද බැලුවා

වැල් පාලම ගත සොලවා

අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

වැදි රජුට කඩුව පවරා

වල ලගදී මනමේ හැඩුවා

ඒ මතක සියලු සඟවා

මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

වැහි අන්ධකාරේ හමාගෙන යන ලා හුළඟත් එක්ක කලවම් වුණ මගේ බටනලා සද්දේ හරි අපූරුවට නුග ගහ වටේම පැතිරිලා ගියා.වාදනය ඉවර කරපු මම ඇස් ඇරලා බලනකොට පළවෙනි සින්දුව අහන්න විතරක් ඒ වෙනකොට සැලකිය යුතු පිරිසක් එතන ඉදියා.

එතන ඉන්න කීප දෙනෙක්ම තමන්ට පුළු පුළුවන් විදියට සල්ලි මගේ ඉස්සරහ තිබ්බ පොඩි අයිස්ක්‍රීම් භාජනේට දානකොට,

අහේතුකවම මගේ ඇස් නැවතුණේ වටින වාහනේකට හේත්තු වෙලා හිස්වුණ ඇස් වලින් මගේ දිහා බලාගෙන ඉදපු එමරල්ඩ් ඇස් අයිතිකාරයෙක් ලඟ.

ඒ ඇස් එක තත්පරේකටවත් මගෙන් එහාට ගියේ නෑ.ඒ වෙනුවට හරි දක්ෂ විදියට මාව ඒ එමරල්ඩ් මායාවේ පටලවගත්තා.හිතට අමුත්තක් දැනුනත්,ඒ ඇස් වල තිබ්බ හිස් බව මාව සෑහෙන පුදුමයට පත් කරා.කෙනෙක්ගේ ඇස් ඒ තරමටම හිස් වෙන්න පුළුවන්ද?....කීවෙනි පාරටදෝ මන්දා මම මගෙන්ම අහගත්තා.

මම ඒ ඇස් වලින් මිදුණේ පොඩි එකෙක් ඇවිත් තව සින්දුවක් කියන්න කියලා මගේ අතින් ඇදපු නිසා වුණත්,එතකොටම වගේ යන්න ලෑස්ති වෙලාද කොහෙද වාහනයට නැගපු එමරල්ඩ් ඇස් අයිතිකාරයා නිසා මගේ පපුව හිටි හැටියේම කලබල වෙන්න පටන්ගත්තා.මගේ යටි හිත නොදැනුවත්වම 'අනේ යන්න එපානේ' කියන්න පටන් අරගෙන තිබුණා.

ඇයි කියන්න දන්නේ නෑ,එයාගේ වාහනේ ඉස්සරහට ඇදෙනවත් එක්කම අහේතුකවම අහසේ පුපුරපු අකුණ නිසා කොහෙන්දෝ මන්දා ආපු නරක හැඟීමක් එක්ක මගේ පපුව වෙවුලන්න ගත්තා.ආපහු වහින්න හදන්නේ.තවදුරටත් සින්දු කියන්න වෙන්නේ නෑ කියලා තේරුණ මම වටේම ඉදපු හැමෝටම හිනාවකින් ආචාර කරලා බටනලාවත් අරගෙන යන්න නැගිට්ටේ,තව ටික වෙලාවක් මෙතන ඉදියොත් මට සම්පූර්ණයෙන්ම තෙතබරිත වෙන්න සිද්ධ වෙන නිසා.

එතනින් යන්න හැරුණත් හදිස්සියේ ආපු හිතුවක්කාර සිතුවිල්ලක් එක්ක මම මුලින්ම මගේ ලඟ තිබ්බ සල්ලි ටික ගණන් කරලා බැලුවා.රුපියල් 1000.

සන්තකේටම තිබ්බේ ඒ රුපියල් දාහා විතරක් වෙනකොට මම එතනම තිබ්බ ත්‍රීවීල් එකක නැගලා අර එමරල්ඩ් ඇස් අයිතිකාරයාගේ වාහනේ පිටිපස්සෙන් යන්න ගත්තා.මගේ හිත නොසෑහෙන්න මුරණ්ඩු වෙලා.

විනාඩි ගානකට දැකපු රූපයක් මගේ මුළු ආත්මෙම අවුල් කරලා දාලා.

ඉස්සරහට ගියත් ඒ වෙනකොටත් මට එමරල්ඩ් ඇස් මඟඇරිලා තිබුණා.මම වාහනේ මීටරේ දිහා බලනකොට දැනටමත් ඒකේ රුපියල් 400 කියලා සටහන් වෙලා තිබ්බා.තවත් ඉස්සරහට යනවදෝ නැද්දෝ කියලා කල්පනා කර කර ඉන්නකොටම පාරෙන් එහා පැත්තේ පේන නිල්පාට මුහුද ලඟ නවත්තලා තිබ්බ එයාගේ කළු පට වටින කාර් එක මම දැක්කා.

"අයියේ ඔතන ඉස්සරහින් නවත්තන්න"

"හරි මිස්"

ත්‍රීවිල් අයිතිකාරයා ඉස්සරහින් වාහනේ නැවැත්තුවාම මම ඉක්මනටම ඒකෙන් බැස්සා.

"ගාන කීයද අයියේ?"

"600 ක් දෙන්න මිස්"

"ආ මෙන්න"

දාහේ කොලේ එයාට දික් කරපු මම ඉතුරු හාරසීයත් අරගෙන ඉක්මනට වැල්ලට දිවුවේ යාන්තමට පොදයක් දෙකක් වැටෙන්න පටන් ගන්නකොටම වගේ.හිමීට වාහනේ ලඟට ගිහින් බැලුවත් ඒක ඇතුළේ කිසිම කෙනෙක් පේන්න ඉදියේ නැහැ.

එතන අවට හෙව්වත් ඒ කිසි තැනක එයාගේ ඡායාවක්වත් තිබ්බේ නෑ.එයා පේන්න නැති එකේ එච්චර හොඳක් නොපෙනුන මට,

එයාගේ හිස් වුණු එමරල්ඩ් ඇස් මතක් වෙලා පපුව හිතුවටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්තා.

අනේ දෙවියනේ වැරදිලාවත් එයා............

මම ඉක්මනට දුවලා ගිහින් එතන තිබ්බ අයිස්ක්‍රීම් වෑන් එකේ මනුස්සයාට කතා කරා.

"අන්කල්,අර කළු පාට කාර් එකේ ආපු මහත්තයාව දැක්කද?"

"ආ ඒ මහත්තයා මම දැක්කා ආන් අර පැත්තට යනවා."

මුහුදු වෙරළේ දකුණු පැත්ත පෙන්නපු ඒ මනුස්සයා කියනකොට මගේ පපුව තවත් වේගෙන් ගැහෙන්න ගත්තේ ඒ හරියේ තියන ගල්පර ගොඩ මතක් වෙලා.

"හරි අන්කල්,ස්තූතියි"

එහෙම කියපු මම මගේ බෑග් එක එයාගේ කාර් එක යටට දාලා මුහුදේ ගල්පර තිබ්බ පැත්තට වේගෙන් ගියා.ටිකෙන් ටික ඒ හරියට කිට්ටු වෙනකොටයි මම දැක්කේ, මිනිස්සු කවුරුවත්ම නැතිව ඒ පැත්ත අමු සොහොනක් වගේ පාළුවට ගිහින් තිබ්බා.මුහුදු රළ සෑහෙන වේගෙන් ඇවිත් ගල්පර වල වැදෙන සද්දේ ඇරුණම හුළඟේ හෝ හෝ සද්දේ විතරක් මුළු පරිසරයම වෙලාගෙන තිබ්බා.

ඒත් තාමත් මට එයාගේ හෙවණැල්ලක්වත් දකින්න බැරි වුණා.තවත් ටිකක් ඉස්සරහට ගිය මම හිටිහැටියෙම දැකපු දේ නිසා කකුල් පණ නැතිව එතනම ගල් ගැහුණා.

එයා ඉන්නවා.

එමරල්ඩ් ඇස් අයිතිකාරයා ඉන්නවා.

ගල්පර වලිනුත් එහා ගැඹුරු මුහුද දිහාට එයා ඇවිදගෙන යනවා.

දැනටමත් එයාගේ පපුව මට්ටමටම මුහුදු වතුර ඇවිල්ලා.

කොහෙන්දෝ මන්දා ආපු ශක්තියක් එක්ක මම මුහුද අයිනටම දුවලා ගිහින් කෑගැහුවා.

"මහත්තයා!!!!!!"

"මහත්තයා ඔය කොහෙද යන්නේ?!!!!!!"

"ගොඩට එන්න රැල්ල සැරයි!!!!!!"

කොයිතරම් කෑගැහුවත් මුහුදේ සද්දෙත් එක්ක එයාට මාව ඇහුනේ නැති වෙනකොට ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙනම මම මහ මුහුදට බැස්සා.මුහුදු රැල්ලත් සැරට ගහන එවෙලේ කරුමෙටම වගේ මහ වැස්සත් පටන්ගත්තේ හුලඟත් එක්කම වගේ.සෑහෙන අමාරුවෙන් එයා ලඟටම කිට්ටු කරපු මම,එමරල්ඩ් ඇස් අයිතිකාරයාව එකපාරම ගිලෙන්න යනකොට ෂර්ට් එකෙන් ඇදලා අල්ලගත්තා.

සැරට රැල්ල ගහන මහ මුහුද මැද්දේ මහ වැස්ස අස්සෙම අපි දෙන්නව හිරවෙලා.එයාගේ පපු මට්ටමට වතුර තිබ්බා වුණාට මගේ බෙල්ල මට්ටමට වතුර තිබ්බා.මගේ දිහා බලපු එයාගේ ඇස් මේ වෙනකොට ටීක් බෝල වගේ ලොකු වෙලා තිබ්බා.

"මොන මඟුලක්ද තමුසේ මෙතන කරන්නේ?!!!!"

"මමයි ඒ ප්‍රශ්නේ මහත්තයාගෙන් අහන්න ඕනා!!!"

"තමුසෙට මගෙන් වැඩක් නෑනේ.

යනවා යන්න අයිසේ මෙතනින් විහින් මැරෙන්නේ නැතුව!!!"

"බැහැ මහත්තයා එන්නේ නැත්තන් මම යන්නෙත් නෑ!!!"

එතකොටම ආපු ලොකු රැල්ලක් නිසා අපි දෙන්නවම සම්පූර්ණයෙන්ම නෑවිලා ගියේ මම තද කරලා එයාව බදාගන්නකොට.

"සැරයක් කිව්වම යනවා ඕයි.මට නිදහසේ මැරෙන්නවත් දෙනවා!!!!"

"කිව්වනේ සැරයක්.මහත්තයා එන්නේ නැත්තන් මම යන්නෙත් නෑ!!!"

"තමුසෙ නම් මහ මුරණ්ඩු වදකාරියක්!!!"

එහෙම කියලා කෑගහපු එයා මාවත් ඇදගෙන ගොඩට යන්න ගත්තේ මට වතුරේ හුස්ම ගන්න අමාරුයි කියලා එයාට තේරුණ නිසා......

මතක් කරලා මට ඔයාගෙ අදහසුත් කියාගෙන,හිත නිදහස් කරගෙනම මෙතනින් එළියට යන්න.

ආදරෙයි මහ හුඟක් !

-මන්දාකිණී-

Contents
Contents