Chapter 5 of 6

04 මන්දාකිණිය

මන්දාකිණී | Complete1,376 words~7 min read

"එනවා යන්න වදකාරී!"

එමරල්ඩ් ඇස්.එයා ඇවිල්ලා.මම ඉක්මනටම ඔළුව උස්සලා බැලුවා මම මේ දකින්නේ හීනයක්ද කියලා.

නෑ එයා එතන ඇත්තටම ඉඳියා.

කලබලේට නැගිටින්න ගියත් මගේ ඇඟම හිරිවැටිලා තිබ්බ නිසා මාව වැටෙන්න යනකොට එයාගේ ශක්තිමත් අත් දෙක මාව තද කරලා අල්ලගත්තා.

"සිහිකල්පනාව නැද්ද තමුන්ට?"

"හිතලා කරේ නෑනේ මහත්තයා"

මම බොරු නෝක්කාඩුවකින් අහක බලාගත්තා.

"අහස්"

"අහ්?"

"මහත්තයා මහත්තයා නොගා අහස් කියනවා."

"ඒත්-"

"ඒත් මේත් නෙවෙයි කියපු දේ කරනවා,නැත්තන් කතා නොකරම ඉන්නවා.ඒක වැඩිපුර හොඳයි."

කෑගහන්න ඕනය ඕකට.පුදුම තරහවක් තමයි තියෙන්නෙ.

"අහ්....හරි.....මං මන්දාකිණී"

"හ්ම්ම්..........එනවා යන්න තවත් මෙතනට වෙලා තෙමෙන්නේ නැතුව"

මගේ මැණික් කටුව ලඟින් අල්ලගත්ත එයා කුටු කුටු ගාලා එයාටම මොනාදෝ මන්දා කියන ගමන් මාව එයාගේ වාහනේට එක්කගෙන ගියා.වාහනේ ලඟට යනකොටයි මට මතක් වුණේ මගේ බෑග් එක ඒක යට කියලා.

"අහස් පොඩ්ඩක් ඔහොම ඉන්න"

එහෙම කියපු මම දුවලා ගිහින් වාහනේ යටට විසි කරපු බෑග් එක අරගත්තා.ලොකුවට තෙමිලා නෑ වාහනේ යට තිබ්බ නිසා.

"ඒක මගේ වාහනේ යට දැම්මද?"

"හදිස්සියට දැම්මේ"

එයා ඇස් දෙක රෝල් කරලා වාහනේ දොර ඇරියේ මට ඉක්මනට නගින්න කියපු ගමන්.

මම නැග්ගට පස්සේ දොර වහපු එයා ඇවිත් ඩ්‍රයිවින් සීට් එකට නැගලා මගේ අතට පොඩි තුවායක් දුන්නා.

"පිහිදගන්නවා,තෙමිච්ච කිකිළියෙක් වගේ තමුසේ"

"ඔයා පිහිදන්නේ නැද්ද?"

"තමුන් පිහිදගෙන දෙනවා.මම මුලින් පිහිදුවොත් කියයි 'අපෝ මැනර්ස් නෑ කියලා'.."

එහෙම කියපු එයා වාහනේ වීදුරුවෙන් එළිය බලාගත්තේ වාහනේ තිබ්බ හීටර් එක ඔන් කරන ගමන්මයි.මොනා වෙලාද මන්දා මෙයාට පුදුම කේන්තියක්නේ යන්නේ.ඔළුවයි මූණයි තෙත මාත්තු කරගත්ත මම එයාට ආපහු තුවාය දුන්නා.එයා පිහිද ගන්නකොට මම මොනවත්ම නොකියා ඒ දිහා බලාගෙන හිටියා.

"මොනාද බලන්නේ?"

එයා ඒක ඇහුවේ මගේ දිහාවත් හැරිලා නොබලා.

"ඇයි අහස් මැරෙන්න හැදුවේ?"

ඔළුව පිහිදන ගමන් හිටපු එයාගේ අත එහෙම්ම නැවතුනා.ලොකු හුස්මක් පිට කරපු එයා ආපහු වීදුරුවෙන් එළිය බලාගත්තා.

"මොකටද අහන්නේ?"

"ඔයාව දැක්කම හොඳ පවුලක කෙනෙක් කියලා පේනවා.ඉතින් මැරෙන්න තරම් මොකද්ද තියන හේතුව?"

මම අහපු දේට එයා එක පාරම උත්තර දුන්නේ නෑ.තත්පර කිහිපයක් යනකන් අපි අතරේ සෑහෙන නිශ්ශබ්දතාවයක් තිබ්බා.එයා තාමත් තුවාය අල්ලගෙන හිටියත් ඒ එමරල්ඩ් ඇස් තිබ්බේ වීදුරුවේ තිබ්බ වතුර බිංදු ලඟ.හරියට එතනින් පේන බොඳවුණු හෙවණැලි වල එයා උත්තරයක් හොයනවා වගේ.

"හොඳ පවුලක් නේ?"

එයා ඒක කිව්වේ හුඟක් සමච්චල් සහගත විදියට.

"ඔයා ඇත්තටම හිතන්නේ එහෙමද?"

මම ඒකට මොනවත් කිව්වේ නෑ.මොකද මට බය හිතුණා මම මැද්දෙන් පැනලා බාධා කරොත් එයා ආපහු නිශ්ශබ්ද වෙයි කියලා.

මම දැක්කා කේන්තිය වැඩිකමටම එයාගේ හකු තද වෙලා උරහිස් තද වෙනවා.ඒ එක අතක් සෑහෙන්න තදට සුක්කානම අල්ලගෙන ඉදියා.

හරියට ඇතුළේ හමන කුණාටුව එළියට එන එක වළක්වන්න උත්සහ කරනවා වගේ.

"මාත් හිතන්නේ එළියෙන් පේන්නේ එහෙම තමයි,"

ඒ වචන මම හිතුවට වඩා සෑහෙන තියුණුයි.

"සල්ලි,හොටෙල් එකක් වගේ ලොකු ගෙයක්,පාර්ටි වලදි අපිත් එක්ක හිනාවෙන මිනිස්සු - හරියට නිකන් එයාලා අපි ගැන වදවෙනවා කියලා පෙන්නන.ඒත් මොකද්ද ඒවගෙන් තියන ප්‍රයෝජනේ ඒ ඔක්කොම සම්පූර්ණයෙන්ම බොරුවක් මවාපෑමක් විතරනම්? කවුරුවත් අපිව දකින්නේ නැත්තන් - මම කියන්නෙ ඇත්තටම දකින්නේ නැත්තන්?"

අන්තිම හරිය කියනකොට ඒ කටහඬ බිඳිලා යනවා මට තේරුණා.ඒ එක්කම එයා මූණ තව ටිකක් වීදුරුව පැත්තට හරවගත්තේ එයාගේ ඒ දුර්වල පැත්ත මට පෙන්නපු එකට ලැජ්ජාවෙන් ඒක මගෙන් හංගන්න වගේ.

මට දැනුනේ මගේ හදවත හිරවෙලා වගේ.මොකද මම මෙහෙම උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ.මම නිතරම හිතුවේ සල්ලිකාර මිනිස්සු හුඟක් සතුටින් ජීවත් වෙනවා කියලා.මම හිතුවේ එමරල්ඩ් ඇස් වලට අද නිකන්ම නිකන් නරක දවසක් විතරක් වෙන්න ඇති කියලා.ඒත් මේක.......ඊට වඩා හුඟක් ලොකු කතාවක් කියන එක මට දැන් දැනෙනවා.

"අඩු තරමේ මම දන්නේ නෑ ඒක කවද්ද පටන්ගත්තේ වත් කියන්න."

මේ වෙනකොට ඒ කටහඬ කෙඳිරිල්ලකටත් වඩා අන්තවෙලා තිබ්බා.

"ඒ හැඟීම......හරියට ඔයා කෑගහනවා ඒත් කාටවත් ඔයාව ඇහෙන්නෙ නෑ,ඔයා වතුරේ ගැඹුරටම ගිලෙනවා ඒත් හැමෝම ඔහේ ඒ දිහා බලාගෙන ඇවිදගෙන යනවා.අපි හිතනවා..........අපි හිතනවා අපි අතුරුදහන්වෙලා ගියොත් සමහරවිට එයාලා ඒකට අවධානය දෙයි කියලා.සමහරවිට එයාලා ඒ ගැන හොයලා බලන්න ගනී කියලා.නැත්තන් සමහරවිට.........එයාලා හිතයි ඒක තවදුරටත් වැදගත් නෑ කියලා."

මම එයාට කතා කරන්න හැදුවත්,ඒ කියන්න ගිය හැම වචනයක්ම මගේ උගුරේ හිරවුණා.මෙච්චර කාලයක් මේ වගේ වේදනාවක් එක්ක ජීවත් වුණ මනුස්සයෙක්ට ඔයා මොකද්ද කියන්නේ?

"ඔයා මගෙන් ඇහුවා ඇයි කියලා,"

මගේ දිහාට හැරුණ එයා ඒ එමරල්ඩ් ඇස් වලින් කෙලින්ම මගේ කළු පාට ඇස් අල්ලගත්තා.ඒවගේ කේන්තියක් තිබ්බේ නෑ.දුකක් තිබ්බෙත් නෑ.ඒව නිකන්......කලින් දැක්කා වගේම හිස්.

"ඒත් ඇත්ත තමයි,මටත් ඒකට දෙන්න පුළුවන් විදියේ හොඳ උත්තරයක් නෑ.මට ඕන වුණේ........ඒක නවත්තලා දාන්න විතරයි.ඒ නිසා තවත් ප්‍රශ්න අහන්න එපා.ඔයාගේ ගෙවල් කොහෙද කියන්න,මම ගිහින් දාන්නම්"

මම මුකුත්ම නොකියා එයා දිහා බලාගෙන හිටියා.කතා කරගන්න මගේ කටින් වචන පිට වුණේ නෑ.වාහනේ තිබ්බ හීටර් එක නිසා මේ වෙනකොට සෑහෙන දුරට අපිව වේලිලා තිබ්බත්,මට තේරුණා මගේ ඔළුව හොඳටම රිදෙනවා කියලා.

"කන ඇහුණේ නැද්ද?....ගෙවල් කොහෙද?"

"මට ගෙයක් නෑ"

".........."

"මොකද ඔහොම බලන්නේ?...ඇත්ත කිව්වේ මං"

"ගෙයක් නැත්තන් ඔයා කොහෙද ඉන්නේ?"

"පාරේ"

"ම්....මොකක්?"

මගේ දිහා බලාගෙන හිටපු එයාගේ ඇස් මේ වෙනකොට පුදුමෙන් ලොකුවෙලා තිබ්බා.එයා මීට කලින් පාරේ ජීවත් වෙන ගෑණු ලමයෙක් දැකලා නැද්ද එතකොට?..එහෙම වෙන්න බෑනේ.

"ඔව් ඇයි?"

"පුදුමයි......"

"ඇයි ඒ?"

"නෑ ඉතින්,ඔයා හොඳ පිළිවලට ලස්සනට ඉන්නවනෙ ඒකයි."

"මම කිව්වේ මට ගෙයක් නෑ කියලා මිසක්,මම හිඟන්නෙක් කියලා නෙවෙයි"

මම කිව්වේ ඇඟිල්ලකින් එයාගේ නළල මැද්දට අනින ගමන්.

"ආව්වා!.....මොනාද කරන්නේ?...හරි ඉතින් මම දැන් තමුසේ හිඟන්නෙක් කියලා කිව්වෙ නෑනේ."

"තමුසෙ තමුසෙ කියලා කතා කරන්නේ මොකද?...මගේ නම මන්දාකිණී,එහෙම නැතුව තමුසේ නෙවෙයි"

"මම කියන්නේ මට ඕන දේ....දැන් මට කියනවා තමු- මං කිව්වේ ඔයාට යන්න තැනක් තියනවද? වෙනදට ඉන්නේ කොහෙද?"

"මමද?"

"දැන් ගෙයක් නෑ කිව්වේ මමද මෙතන?"

"ඔයාට සෑහෙන්න කේන්ති යනවා නේද?"

"ඔව් නේ!....දැන් අහපු දේට උත්තර දෙනවා"

"ටවුන් එකේ තියනවා අතෑරලා දාපු කැෆේ එකක්,ඒකේ තමයි ඉන්නේ හුඟක් වෙලාවට.සමහරදාට මාලනී නැන්දගෙ කඩෙත් ඉන්නවා.අර ඔරලෝසු කණුව ලඟ තියන ඇඳුම් කඩේ,ඒකේ"

"ඉතින් ඔයාට එහෙ නතර වෙන්න බැරිද,තනියම කැෆේ එකේ ඉන්නේ නැතුව?..කෙල්ලෙක්ට පුළුවන්ද තනියම ඉන්න ඒ වගේ තැනක?..බය නැද්ද?"

"කාට බය වෙන්නද මම?..ටවුන් එකේ හැමෝම වගේ මන්දාකිණී කිව්වම මාව දන්නවා.එයාලා හැමෝම හරි හොඳයි මට.මාලනී නැන්දා නිතරම මට කියනවා එයාගේ ගෙදර ඇවිත් නතර වෙන්න කියලා.ඒත් මොනවත්ම නොකර මට පිනට එහෙ නතර වෙන්න බෑනේ.ඒ නිසා සමහර දවස්වලට විතරයි මම එහෙ යන්නේ.නැත්තන් කැෆේ එකේ තමයි ඉන්නේ.මට එතන පුරුදුයි"

"ඔයා අමුතුයි"

"ඇයි ඒ?"

"ගෙයක් දොරක් නැතුව ඔහොම තනියෙන් ඉන්න බය නැති කෙල්ලෙක් මම දැක්කමයි."

"ම්ම්ම්"

තත්පර කීපයක්ම යනකන් අපි ඔහේ එළියේ වැටෙන වැස්ස දිහා බලාගෙන හිටියේ මොනවත්ම කතා නොකර.වැස්ස ලස්සනයි ආදරණීයයි කිව්වට,ඒක හැමෝටම ඒ වගේ නෑ.හරියට මම වගේ අයට,එදා වේල හොයාගන්න දත කන මිනිස්සුන්ට වැස්ස ඔය කියන තරම සුන්දර නෑ.ඒ වගේ දවස් වලට වෙනදට හම්බෙන රුපියලත් නැතුව හිස් අතින් තමයි ඒ මිනිස්සුන්ට ගෙදර යන්න වෙන්නේ.

"මන්දාකිණී"

වැස්ස දිහා බලාගෙන ලොකුම ලොකු කල්පනාවක ඉදපු මම ගැස්සිලා ගියේ අහස්ගේ කටහඬට.

"ම්ම්ම්??"

"ඔයා.........ඔයාට ඕන නම්.........

මගේ ගෙදර යමු.මේ වැරදියට හිතන්න එපා,ඔයාට ඉන්න තැනක් නෑ කිව්ව නිසා කිව්වේ.අනික නිකන් ඉන්න ඕන නෑ,ඔයාට මගේ ගෙදර වැඩ ටික කරලා දෙන්න පුළුවන්.එ....එතකොට හරිනෙ? "

මම හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන අහස් දිහා බලාගෙන.

එයාගේ ගෙදර එන්න?..මට ඒක හරියට ඇහුණද?...එයා ඇත්තටම එහෙම කිව්වද? මට දැනුනේ මම හීනයක් ඇතුළේ ඉන්නවා කියලා.

නිකමට හිතලා බලන්න,හදවත ඕනමයි කියලා කියපු කෙනා එක පාරම මෙහෙම දෙයක් කිව්වම මම පුදුම නොවී තියෙයිද?

මට තේරුණේ නෑ මොනාද මම කියන්න ඕන කියලා.ඒක කිව්වට පස්සේ එයා ආපහු වීදුරුවෙන් අහක බලාගත්තා.ඒත් මම දැක්කා එයාගේ කණක් රතුවෙලා තියනවා.

"අහස්"

"ම්ම්ම්?"

"ඒ කියන්නේ.....ඔයා ආපහු.....අර වගේ....මෝඩ තීරණයක් ගන්නේ නැද්ද?"

මම දැක්කා ඒ තොල් අතරේ ලාවට හිනාවක් ඇදෙනවා.

"මාත් හිතන්නේ එහෙම තමයි"

"ඒ කිව්වේ?"

"අවුරුදු පහක් තිස්සේ මම ගෑණු කියන ජාතියට වෛර කරා.එක කෙල්ලෙක් නිසා,මම මුළු ගෑණු සංහතියටම වෛර කරා.කලින් කිව්වා වගේම පෝසත් පවුලක ඉපදුණ එකට මම වෛර කරා.

හැඟීම් දැනීම් නැති අම්මෙක් තාත්තෙක් ලැබුණ එකට මම වෛර කරා.ඒත්....."

"ඒත් මොකද්ද?"

"විශ්වාස කරනවද මම කිව්වොත්, මං වෙනුවෙන් ඔයා අර මහ වැස්ස අස්සේ මුහුද මැද්දට දුවගෙන ආපු තත්පරේ ඒ හැම දේම වෙනස් වුණා කියලා?....අවුරුදු පහක් තිස්සේ ගෑණුන්ට වෛර කරපු හිත වෙනස් වුණා කිව්වොත්?..පළවෙනි වතාවට ජීවත් වෙන්න හිතුණා කියලා කිව්වොත්?..."

".........."

"දන්නවද,ඔයා ඇරෙන්න මීට කලින් කවුරුවත්ම මම වෙනුවෙන් එයාලගේ ජීවිතේ අනතුරේ දාගෙන නෑ.වාහනේට නැගලත් ඉස්සල්ලා මට යන්න බැරි වුණේ ඒකයි.හිත එක තැනක තියලා මට විතරක් යන්න බෑනේ.

සමහර සිදුවීම්,සමහර රූප,

සමහර වචන තියනවා හදවත පසාරු කරගෙන ගිහින් අන්තිම කෙළවරේ වැදෙන,ආපහු හදවතෙන් අයින් කරන්න බැරි වෙන්නම තදට ඇලවෙන."

එයා කියවනවා.නොසෑහෙන්න කියවනවා.හුස්මත් හිර කරගෙන ඒ එක වචනයක්වත් මඟ ඇරෙන්න නොදී මම අහගෙන ඉදියේ මගේ ඇස් චුට්ට චුට්ට බොඳ වෙලා යනකොට.කියන එක නවත්තපු එයා ඒ එමරල්ඩ් ඇස් වලින් මගේ දිහා බැලුවේ මගේ වෙවුලන අතකින් ලාවට අල්ලගන්න ගමන්.

"දන්නවද මන්දාකිණී.....ඔයත් ඒ වගේ රූපයක්,දැකපු පළවෙනි තත්පරේම ගලවන්න බැරි වෙන්නම හදවතේ ඇළුණු,

ඔයා ලස්සනම ලස්සන බලාපොරොත්තුවක්,ආත්මෙන්ම මැරිලා හිටපු මිනිහෙක්ට ආපහු වතාවක් ජීවත් වෙන්න ඉඩ හදලා දුන්නු,

මුණ ගැහිලා මහ වෙලාවක් නෑ තමයි,ඒත් මම දැන් විශ්වාස කරනවා "Love at first sight" කියන එක.

මම ආසයි අයිතියක්වත් නැතුව මං ගැන වදවෙන මිනිස්සුන්ට.

හරියට ඔයා වගේ"

"ම්.....මං-....."

එයාගේ කටින් පිටවෙන වචනයක් ගානෙම මගේ කම්මුල් දිගේ ගලන කඳුළු ධාරවත් වැඩි වෙනවා.මගේ පපුව හිතාගන්න බැරි තරම් වේගෙන් ගැහෙනවා.එයා අල්ලගෙන ඉන්න මගේ අත සම්පූර්ණයෙන්ම පණ නැති වෙලා වගේ දැනෙනවා.වචනයක් වත් කතා කරගන්න බැරුව ජීවිතේ පළවෙනිම වතාවට මම සම්පූර්ණයෙන්ම ගොළු වෙලාම ගියා.

එයාගේ සීතල ඇඟිලි මගේ කඳුළු පිහිදන ගමන් කම්මුල උඩ තාලෙකට එහෙ මෙහෙ ගියා.

"මන්දාකිණී......

පුළුවන් ද හැමදාටම මගේ අහසේ විතරක්ම පායන්න?"

~සමාප්තයි~

මතක් කරලා මට ඔයාගෙ අදහසුත් කියාගෙන,හිත නිදහස් කරගෙනම මෙතනින් එළියට යන්න.

ආදරෙයි මහ හුඟක් !

-මන්දාකිණී-

Contents
Contents