Chapter 2: CHAPTER 2

අවසානයක් නැතිව ආදරය කළෙමි | BL SINHALA SHORT STORY | ✔Words: 16214

☘️

අපි දෙන්නා හරියට දෙසැම්බරුයි ජනවාරියි වගේ.

ගොඩාක් ළඟයි. ඒත් ගොඩක් දුරයි.

එයා මට ළඟ හින්දා සතුටුයි. එයා මට දුර හින්දා දුකයි.

තේරුණේ නෑ නේද?

කමක් නෑ.. දැන්ම තේරුම් ගන්න එපා. එතකොට ඔය හිතටත් ඒ දුක දැනෙයි.

මම කැම්පස් එක මැදින් වැටුණු තාර පාර පුරාවට ඇවිදගෙන ආවා. ලැප්ටොප් එකයි නෝට්ස් ටිකයි දාපු පුරුදු බැක්පැක් එක පිටේ එල්ලෙනකොට, මම පාර දෙපැත්තේ වැවිලා තිබිච්ච චූටි චූටි කැලෑ මල් එකතු කරලා පොඩි ඉත්තක් හදාගත්තා.

ලස්සනයි...

මම මල් ඉත්ත අතේ තියාගෙන ඒක විතරක් අහුවෙන්න ෆොටෝ එකක් ගත්තා.

"මේවර.."

මගේ පිටිපස්සෙන් ඇහුණු කටහඬ මගේ මූණ හිනාවෙන් පුරවලා දැම්මා.

මම හරි ආසයි එයා අර හැමෝම වගේ දිසස් දිසස් ගාන්නෙ නැතුව මේවර කියලා කතා කරනවට.

ඒක හරිම උණුසුම් හැඟීමක්.

එයා මගේ නම කියනකොට එයාගෙ අර හැම වෙලාවෙම තියෙන තරහ ගියා වගේ තියෙන කටහඬ නැතිවෙලා ගිහින්, සොෆ්ට් වෙනවා.

ඉතින් එයා ආයෙමත් තාලෙට මේවර කියනකොට, මං ඒ හිනාවත් එක්කම හැරිලා අතේ තිබිච්ච කූඹි තරම් චූටි මල් කිනිත්ත ඒ පැත්තට දික් කලා.

"මේ මොනා මල්ද බබා.. ෆ්ලවර් ශොප්ස් වල මෙව්වත් තියෙනවද?

එයා අල්ලක් තරම් මල් කිනිත්ත හතර අතට හරවන ගමන් අහනවා.

"ඔය තියෙන්නෙ කැලෑ මල්.."

"කැලෑ මල්..?

"බලන්නකෝ පාර දිගට.."

"ආහ්.."

"රතුරෝස, ජර්බරාස්, ලිලී වගේ නෙමෙයි.. බලන බලන හැමතැනකම තියෙනවා කැලෑ මල්..

ඔයාට ඒවා දකිනකොට මාව මතක් වේවි.."

එයා ඇස් හීනි කරගෙන අර කට කොනින් දාන හිනාව දානකොට, මමත් එයා දිහාම බලන් හිටියා.

ඔය හිනාවටනේ මම වහ වැටුනේ.

"යමු කන්න.."

මම එයාගෙ අතක් අල්ලගන්න හැදුවත් එයා ඒ අතින් සාක්කුවට අත දාලා ෆෝන් එක අතට ගත්තා.

"කොහෙටද යන්නේ..?

"මල්පාර ළඟ බෙන්ච් එකට යන්.."

මං කියනකොට එයා ෆෝන් එක දිහා බලාගෙනම ඔලුව වැනුවා.

ඉතින් ආයෙමත් ආපු පාර දිගේම හැරිලා බෙන්ච් එකට ආපු අපි දෙන්නා බෙන්ච් එකෙන් වාඩි වුණා.

තැන තැන තිබ්බ බෙන්චස් මේ විදියටම කප්ල්ස් අරක් ගෙන තියෙනකොට මේ පැත්තට සාමාන්‍යයෙන් වෙන කවුරුත් නොඑන නිසා කප්ල්ස් වලට නම් නිදහසේ ඉන්න පුලුවන් වුණා.

මම බෑග් එකෙන් ගත්තු ලොකු බත් මුල අපි දෙන්නගේ මැදින් තියනකොට එයා අන්තිමේදී ඒ දිහාත් මං දිහාත් බලලා කට ඇදකරගත්තා.

ඔව් ඉතින් මම දැකලම නෑ මේ උන්දෑ ටක් එක පැත්තෙ වත් එනවා. අනිත් එක මුල් ඔතපු බත් කාලා පුරුදුත් නැතුව ඇති වලව්වෙ හාමුට.

"මේ.. මෙතන කන්නේ කොහොමද? තමුසේ කනවා.. මට නං බෑ.."

එයා කියලා ආයෙමත් ෆෝන් එක දිහා බලාගන්නකොට මම බෑග් එකෙන් වතුර බෝතලයක් අරගෙන අත සෝදගත්තා.

"ම්.. මම ඔයාට කැව්වට කමක් නැද්ද..? ම්ම්ම්...?

මම බත් එක ලිහන ගමන් අහනකොට මට තේරුණා එයා මේ පැත්ත බලනවා.

වැඩි දෙයක් නම් නෑ මේකේ. පරිප්පු හින්දලා, චිකන් පොඩ්ඩක් කලුවට උයලා කට්ලට් එක්ක හදපු කහබත් මුලක්.

"ම්ම්ම්.."

"ඒ කියන්නේ හා කියලද..?  බෑ කියලද..?

"හා.."

මගේ මූනේ හිනාවක් ඇදෙනකොට මම බත් එක අනන්න පටන් ගත්තා.

මම හොඳට බත් කටක් අනලා ඒ කටට ලං කරනකොට එයා මගේ මූණ දිහා අමුතු විදියට බලාගෙන ඒක කටට ගත්තා.

එයාට මගේ අතෙන් හදලා කවන්න තිබිච්ච ඒ ආසාවත් හරි.

"කවුද අම්මද ඉව්වේ..?

එයා අහනකොට මට යන්තම් හිනාවක් ගියා. ඒ නිසාම සමහරවිට එයා හිතන්න ඇති එහෙම වෙන්න ඇති කියලා.

කවුරු ඉව්වත් මොකද මගේ අතින් එයාට බත් කටක් කවන්න තියෙනවනම්.

"හෙට පේරා පාක් යන්ද?

තව කටක් කවන ගමන් මම එයාගෙන් ඇහුවා.

"ම්ම්ම්.."

"ඒ කියන්නේ හා කියලද..?  බෑ කියලද..?

මම ආයෙමත් අහනකොට එයා අර දිලිසෙන ඇස් වලින් මේ පැත්ත බැලුවා.

"හා.."

යේ.. හෙට පාක් එකට යනවා.. ගිහින් ඇතිවෙන්නම ඇවිදිනවා.

මම කට්ලට් කෑල්ලක් වෙනම එයාට කැව්වා.

"තමුසේ කන්නැද්ද?

"ම්හ්ම්..

බඩගිනි නෑ.."

"ඇයි තමුසේ ගල් ගිල්ලද ලෙක්චර්ස් ඉන්නකන්.."

"බඩගිනි නෑනේ.. ඇත්තමයි.."

එයා මගේ අතින් කනකොට මගෙ හිතත් පිරෙනවා. එතකොට ඇත්තටම ගල් ගිලලා වගේ බඩගින්නක් එන්නෙ නෑනේ. මෙව්වා කියන්න කියලයැ.

මම තව බත් කටක් එයාගෙ කටට ලං කලා. එයා එපා කියන්න මූන එහාට කලා.

"ඇයි මේ.."

"තමුසේ කනවා ඔය කට.."

යන්න ආපු හිනාවක් මම එහා කොනක නවත්තගෙන ඒ බත් කට කටට ගත්තා.

අන්තිමේදී අපි එළියට එනකොට තව පැය බාගයක් විතර ගෙවිලා තියෙනකොට, එයා ට ඔෆිස් යන්න පරක්කු වෙලා කියලා එයා යනකොට මම කැම්පස් එකෙන් එලියට ආවා.

☘️

"අදවත් පවුලෙ කෙනෙක්ව එක්කගෙන ආවෙ නැද්ද දරුවෝ..?

මගේ ඉස්සරහා සුදු කබායක් ඇඳගෙන ෆයිල් එකක් අතින් අරගෙන ඉන්න අවුරුදු පනහක් විතර වයස දොස්තර මගෙන් අහනකොට, මම නෑ කියන්න ඔලුව වනලා යන්තමට හිනා වුණා.

"ඔයා එන්න එන්න වීක් වෙනවා.. අපිට පුලුවන් ඉක්මනින් සර්ජරි එකට යන්න වෙනවා පුතා..

මම පුතාව ලිස්ට් එකට දාලා තියෙන්නේ. ඒත්.. මම හිතන්නේ පුතාටම තේරෙනවා ඇති.

ලිස්ට් එකෙන් සර්ජරි එක කරන්න හිටියොත් පරක්කු වැඩි වෙන්න පුළුවන්.."

ඩොක්ට මූන බරපතළ කරගෙන කිව්වත් මට ගානක් තිබුණෙ නෑ.

මොකද ඔය ගැන අහපු පළවෙනි දවසෙම බලාපොරොත්තු හිතින් අත් ඇර ගත්තු කෙනෙක් මම.

ලක්ෂ අසූවක් කියන්නේ මට දරාගන්න පුළුවන් ගානක් නෙමෙයි. තාත්තගේ රෙස්ට්‍රෝරන්ට් එක තිබුණු තැනින් ඉතුරු වෙච්ච පර්චස් පහ විකුනලාත් ඕනි නම් ලක්ෂ දහයක් උපරිම හොයාගන්න පුළුවන්.

ඒත් ඔපරේශන් එක විතරක්ම නෙමෙයි. හොස්පිට්ල් ෆී, කෑම බීම, බෙහෙත් වලට ගියාම තව ලක්ෂ කීයක් යයිද මම දන්නෙ නෑ.

මං කාගෙන්ද එච්චර ගානක් ඉල්ලගන්නේ?

මට එකපාරම ආරද් ව මතක් වුනත් තව හරියටම දවස් දොළහකින් වෙන්න යන දේ මතක් වෙලා මගේ මූනට හිනාවක් ආවා.

"පුතා..?

"මගේ පේරන්ට්ස්ලා නෑ ඩොක්ට.."

"නෑදෑ කෙනෙක්වත්..?

ඩොක්ටර් අහනකොට මම නෑ කියන්න ඔලුව වැනුවා.

☘️

මට හීනයක් තිබුණා. ලොකුම ලොකු හීනයක්. මට ඒ හීනෙම ජීවත් වෙන්න පුළුවන් නම් හිතෙන හීනයක්. මට ඕනි වුණා ලෙක්චරර් වෙන්න.

ඒත් හීන කියන්නේ නින්දෙන් දකින ඉටුවෙන්නෙ නැති ප්‍රාර්ථනා කියලා මට තේරුනේ තාත්තා පොඩියට කරපු රෙස්ට්‍රෝරන්ට් එක බලන් ඉඳිද්දි කඩා වැටෙනකොට.

තාත්තා එයා කර කර හිටපු රස්සාවෙන් අයින් වෙලා එයාගෙ තනි කැමැත්තට රෙස්ට්‍රෝරන්ට් එකක් දාගත්තු නිසායි අද දුක් විඳින්නේ කියලා හූල්ලනකොට.

කොනක තිබුණු පර්චස් පහක් ඇරෙන්න, ඉතුරුවා රෙස්ට්‍රෝරන්ට් එකත් එක්කම සින්න වෙලා යනකොට.

හැමදේම නැති වෙච්චි දුකට තාත්තා ලෙඩ ඇඳට වැටෙනකොට.

ආකලයේ මැරිච්ච තාත්තා නිසාම හූල්ලලා අම්මත් මාව දාලා යනකොට.

අම්මගේ තාත්තගේ හොස්පිට්ල් ගාස්තු වලට වියදම් කරපු නිසා ජීවත් වෙච්ච ගෙදර සින්න වෙනකොට.

අඩුම ගානේ ඉන්න හිටින්නවත් තැනක් නැති නිසා තාත්තාගේ නංගි - පොඩි නැන්දට අකමැත්තෙන් වුනත්  මාව බාරගන්න වෙනකොට.

අම්මයි තාත්තයි මැද්දෙ හුරතලේට හැදුනු මගේ අතේ කරගැට එනකන් දුක්විඳින්න වෙනකොට.

ඉතින් ඉස්කෝලෙ යන කාලේ අතන මෙතන වැඩ කරලා හම්බ කරගත්තු ගානකුයි, ගේ විකුනලා ගත්තු සල්ලි වලින් ඉතුරු වෙච්ච සල්ලි ටිකකුයි එක්ක මං නුවර ආවේ අලුතෙන් ජීවිතේ පටන් ගන්න.

එහෙම ආපු මම කොළඹින් එන්න හදපු අන්තිම දවස් වල පල නොකියා පලා බෙදපු පොඩි නැන්දගෙන් සල්ලි ඉල්ලන්නය කියලද?

දුක් වෙන්න එපා ජීවිතේ ඔහොමයි. අපි නොහිතන වෙලාවල් වලට අපිට යන්න වෙනවා.

හැබැයි ඒ කියලා මම උත්සාහා නොකර හිටියේ නැහැ. පුලුවන් හැම විදියකින්ම උත්සාහා කලා සල්ලි ටික හොයාගන්න.

දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

☘️

ගෙදර එනකොට හවස හතරත් පහු වෙලා තියෙනකොට මම වොෂ් එකක් දාගෙන ඇඳට වැටුනා.

රිසර්ච් එකේ අන්තිම වැඩ ටික කරලා එන සතියේ බාර දෙන්න ඕනි. ඒත් අද නම් ඒවා කරන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ

ඇඳ උඩ තිබුණ කොට්ට ටික තුරුල් කරගෙන මම හෑන්ඩ්ස් ෆ්‍රී කනේ ගහගෙන කලින් සේව් කරගත්තු වීඩියෝස් කීපයක් දාගත්තා.

ප්ලේ වුන හින්දි සිංදුවේ සිංහල තේරුම වැටෙනකොට අර හිඳිලා ගියපු කඳුලු උල්පත් ආයෙම පිරිලා යන්න පටන්ගෙන තිබුණා.

මාව වැළඳගන්න..

මොකද ආයෙමත් මේ සුන්දර රාත්‍රීන්

එන්නෙ නැති වෙන්න පුළුවන්..

මේ ජීවිතයේදී අපි ආයෙමත්

කිසිදාක මුණ ගැහෙන්නෙ

නැති වෙන්න පුළුවන්..

☘️

To be continued...

☘️

💃