Back
Chapter 16

15 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදු බේබි මෙව්වා හිමිහිට ඉගෙන ගන්න.මට බෑනෙ ඉස්කෝලේ පටන් ගත්තම සුදු බේබිගෙ කාමරේ නිදා ගන්න"

නේත්‍ර තමන්ගෙ පුංචි අත්වලින් හරි කඩිසරව සුදු බේබි පොරවන ඇතිරිල්ල පිළිවෙලකට නවන හැටි සුදුබේබි බලාගෙන හිටියා.ඇඳ රෙද්ද හොදට ගසලා දාපු නේත්‍ර සුදු බේබි ඔලුව තියෙන කොට්ටෙන් තමන්ගෙ දණහිසට ගහගෙන පෙර විදිහටම පිම්බෙන විදියට හදපු කොට්ටෙ ඇඳ උඩින් තිබ්බා.

ඇඳ උඩින් තිබ්බ කොට්ටෙ මත පිලිවෙලට නවපු පොරවන ඇතිරිල්ල තියපු නේත්‍ර තමන් උදේම කඩාගෙන ආව කැලෑ මල් මිට සුදුබේබිගෙ පොත් මේසෙ උඩ තිබ්බ මල් බඳුන තුළට දැම්මෙ මල් බඳුනත් පිරිසිදු කරලා දාලා.කොස්ස අතට ගත්තු නේත්‍ර ඇඳ උඩ ඉදන් ඉන්න සුදුබේබි එක්ක කතා නොකරම කාමරයත් අතුගාන්න ගනිද්දි සුදු බේබි නේත්‍රට කතා කළා.

"ඇති දැන් වැඩ කලා කලා ඔයා! කවුරු හරි ඇවිල්ලා ඔය ටික කරලා යයි නේත්‍ර"

"කමක් නෑ සුදු බේබි...මං ගෙදරදිත් මෙව්වා කරනවා"

තමන්ටත් වඩා උස කොස්සත් අල්ලගෙන කාමරය අතුගාන නේත්‍ර දිහා බලාගෙන හිටිය සුදුබේබිගෙ ඉවසීම බින්දුවටම හිඳිලා ගියා.මොකද සුදුබේබි කැමති වුනේ නැහැ නේත්‍ර හුදෙක් වැඩකාරයෙක් ගානට දාන්න.නේත්‍ර එයාගෙ හොඳම යාළුවා....එහෙම නේද?

"එන්න නේත්‍ර,දැන් ඔය ඇති! මං කිව්වනේ!!!"

සමහර වෙලාවට පුංචි හිතුවක්කාරයෙක් වුනු නේත්‍ර සුදු බේබි කිව්ව දේ නෑහුනා වගේ සුදුබේබි දිහාවත් නොබලා තමන්ගෙ වැඩේ කරගෙන යද්දි යකා ආවේස වුනුසුදු බේබි නේත්‍ර ළඟට ගිහින් පුළුන් රොදක් වගේ හිටිය නේත්‍රව උස්සලා වඩාගත්තා.සුදු බේබි කරපු දේ නිසා එක පාරටම බය උනු නේත්‍රගෙ අතින් කොස්ස අතෑරෙද්දි ඒක ගානකටවත් නොගත්ත සුදු බේබි නේත්‍රව උස්සන් ඇවිත් තමන්ගේ ඇඳ උඩින් ඉදගත්තේ නේත්‍රව තමන්ගේ උකුල උඩට ගන්න ගමන්.

"තුවාලෙ තාම රිදෙනවද නේත්‍ර?"

"දැන් රිදෙන්නෙ නෑ සුදුබේබි......බේත් කලානෙ ඒකට"

නේත්‍රගේ කොණ්ඩෙ තමන්ගෙ අතින් උඩට උස්සන ගමන් තුවාල කැළල උඩින් තමන්ගේ ඇඟිලි තුඩු යවන ගමන් සුදු බේබි අහද්දි නේත්‍ර ඒකට උත්තර දුන්නා.හැමදාම තමන්ගේ ඇඟට වඩා විශාල ඇඳුම් අදින නේත්‍රව හරි හුරතල් විදිහට පෙනෙද්දී එන්න එන්නම ඒ හුරතල් පාට වැඩි වෙනවද කියන එක සුදුබේබිට ලොකු ප්‍රශ්නයක් වුණා.

"නේත්‍ර හරි ලස්සනයි"

සුදුබේබි එකපාරටම කිව්ව දේත් එක්ක නේත්‍රට හිනා ගියා.ඇත්තටම නේත්‍ර ඒ වගේ දේකට ලැජ්ජාවක් දැනෙන වයසක නෙවෙයි හිටියෙ.එයාට ඒ වචන වලින් දැනුනෙ සතුටක්.තමන් මේ ලෝකෙ ගොඩාක්ම සමීප පිරිමි කෙනා තමන් ලස්සනයි කියලා කිව්ව දෙයින් නේත්‍රට දැනුනෙ සතුටක්.

සුදුබේබිගෙ උකුළෙ ඉදගෙන හිනාවෙන නේත්‍ර දිහා බලලා හිනා වුනු සුදුබේබි හෙමිහිට හිනාවෙද්දි රෝස පාට වෙන නේත්‍රගෙ කම්මුල් දෙක හෙමින් අතගෑවා.ටික වෙලාවක් එක එල්ලෙ නේත්‍ර දිහා බලාගෙන හිටිය සුදුබේබි ඒ රෝස පාට ගැහිලා තියෙන කම්මුලකට තමන්ගෙ තොල් තද කරලා හාද්දක් දුන්නා.

නේත්‍රට එකපාරටම මහ අමුත්තක් දැනෙන්න ගත්තා.ඒක එදා සේනාධිනායක මුදලි තමන්ව අල්ලගද්දි දැනුනු අපහසුව පිරුනු හැගීම නෙවෙයි.ඒත් නේත්‍රට පුංචි චකිතයක් දැනෙන්න ගත්තා.අම්මගෙන්,අත්තම්මගෙන්,අක්කගෙන් ඕනි තරම් හාදු ලැබිලා තිබ්බත් සුදුබේබිගෙන් අද ලැබුනු හාදුව ටිකක් අමුතු එකක් වුනා.ඒත් නේත්‍ර ඒකට අකමැති වුනේ නැහැ.රතු ගැහුනු කම්මුල් වලින් හැඩවුනු මූණ සුදුබේබිගෙ පැත්තට හැරෙව්ව නේත්‍ර ආපහු පාරක් සුදුබේබි එක්ක හිනා වුනා.

"මම ආවෝඕඕඕඕඕඕඕඕඕ"

කඩාගෙන බිදගෙන කාමරේට දුවගෙන ආව දෙවින්ගෙ සද්දෙත් එක්ක සුදුබේබිගෙ උකුළ උඩ හිටපු නේත්‍ර බිමට ඇදගෙන වැටෙන්න ගියත් ඊට ඉක්මන් වුනු සුදුබේබි නේත්‍රව තද කරලා අල්ලගත්තා.

"තව ඩිංගෙන් නේත්‍ර බිම"

දෙවින්ට සියුම් රැවුමක් පා කරලා යැව්ව සුදුබේබි කියද්දි සුදුබේබිගෙ රැවිලි ගාණකටවත් නොගත්ත දෙවින් ඇවිල්ලා සුදුබේබිගෙ ඇද උඩම ඉදගත්තා.වලව්කාරයෙක් උනු දෙවින්ට කොයිමවෙලාවකවත් ඉරුගල්බණ්ඩාර වලව්වෙ ඉස්සරහ දොරටුව තහනම් කලාපයක් නොවුනු නිසා දෙවින් හිතුනු හිතුනු වෙලාවට සුදුබේබිව හොයාගෙන වලව්ව ඇතුලට දුවගෙන එන එක සාමාන්‍ය දෙයක් උනා.

ඒත් එක්කම හෙමිහිට සුදුබේබිගෙ උකුලෙන් නැගිට්ට නේත්‍ර සුදුබේබිගෙ ඇද පාමුල ඉදගත්තෙ සුදුබේබි තනියම ඉන්න වෙලාවට සුදුබේබි එක්ක සම සමව හැසිරුනාට පිට කෙනෙක් එක්ක ඉද්දි එහෙම ඉන්න එක සුදුබේබිගෙ නම්බුකාරකමට කැලලක් වෙයි කියන බය නිසා.දෙවින්ගෙ මූණෙන් අමුතුම පිලිවෙලක් පේන්නෙ ඇයි කියලා බැලුව සුදුබේබිට තේරුනේ දෙවින් කොණ්ඩෙ පිලිවෙලකට කපලා කියන එක.

"ඉස්කෝලෙ පටන් ගන්න ලගයිනෙ.අප්පච්චි මාව එක්කන් ගිහින් කොණ්ඩෙ කැප්පෙව්වා"

සුදුබේබිගෙ බැල්ම තේරුම් ගත්තු දෙවින් කතා කරද්දි සුදුබේබි ඔලුව දෙපැත්තට වනලා ඒක පිලිගත්තා.මේ දෙන්නගෙ කතාව මැද්දට පනින්නෙ නැතුව බලාගෙන උන්නු නේත්‍ර දිහා බැලුව දෙවින් නේත්‍රට කතා කලා.

"නේත්‍ර මල්ලි කොණ්ඩෙ කපන්නෑ?"

"අම්මා කිව්වා අද හරි හෙට හරි යමුයි කියලා කොණ්ඩෙ කපාගෙන එන්න"

දෙවින් එක්ක හිනාවුනු නේත්‍ර කියද්දි මෙච්චර වෙලා කලබල නොවී ඉදපු සුදුබේබි හොදටම කලබල වෙන්න ගත්තා.බෙල්ල ලගට දිග නේත්‍රගෙ කොණ්ඩෙට සුදුබේබි හරියට ආසා කලා.ඒ කොණ්ඩෙත් එක්ක නේත්‍රගේ පේන අමුතුම ලස්සනට සුදුබේබි හරියට ආසා වුනා.අග යාන්තමට කැරලි ගැහුනු ඒ කොණ්ඩෙ මොන වෙලෙත් අතගගා ඉන්න එක සුදුබේබිගෙ පුරුද්දක් උනා.ඒ කොණ්ඩෙන් එක එක මල් රදවන්න,ඒ කොණ්ඩෙ ලස්සනට පීරන්න සුදුබේබි හරියට ආසා කලා.ඇත්තටම නේත්‍රටත් වඩා නේත්‍රගෙ කොණ්ඩෙට ලෝභකම් කලේ සුදුබේබි කිව්වොත් හරි.

"නෑ නෑ.....නේත්‍ර ඔය කොණ්ඩෙ කපන්න එපා!!!"

"එහෙම නැතුව ඉස්කෝලෙ යන්න බෑනෙ සුදුබේබි?"

"හනේ නේත්‍ර......හනේ මොකද්ද අප්පා.....ඔහොම කොණ්ඩෙ දිගට තියෙද්දි ලස්සනයිනෙ ඔයාට"

"බෑ කියලා බෑනෙ සුදුබේබි......"

තොල් දෙකත් නොපිටට හරවගෙන නේත්‍රගෙ ඉස්සරහ හුරතල් වෙන සුදුබේබි දිහා බලන් උන්නු දෙවින්ගෙ කට ඇද වෙලා තිබ්බා.කොලඹ ඉන්නකන් චණ්ඩිකම් කරපු,මෙලෝ මනුස්සයෙක්ට අනුකම්පාවක් නොදක්වපු තමන්ගෙ යාලුවා ආශව මෙහෙම හුරතල් විදියට හැසිරෙන එක ඇත්තටම දෙවින්ට හරි විහිලුසහගත එකක් උනා.

"ආශවට පුළුවන් නේත්‍රගෙ කොණ්ඩෙ වවාගෙනම ඉස්කෝලෙ යවන්න!"

"ඒ කොහොමද දෙවින්?"

"ආශවට පුළුවන් ඉස්කෝලයක් දාන්න.එතකොට ඒකෙ අයිතිකාරයා ආශව නිසා නේත්‍රව ඕනි හැටියකට ඉස්කෝලෙ යවන්න පුළුවන්"

දෙවින් කිව්ව මොට්ට කතාවත් එක්ක නේත්‍ර පිලිවෙලට හදලා තිබ්බ තමන්ගෙ කොට්ටෙ අතට ගත්තු සුදුබේබි ඒකෙන් දෙවින්ට ගහගෙන ගහගෙන යන්න ගියා.සුදුබේබිට ගහන්න මොකක්වත් ලග පාතක නැති වුනු දෙවින් සුදුබේබි එල්ල කරන කොට්ට පාරවල් වලින් බේරෙන්න උත්සාහ කලත් ඒක අමාරු වුනු නිසා දෙවින් තැනට සුදුසු නුවණ භාවිතා කලා.ඉක්මනටම ඇදෙන් බිමට පැන්න දෙවින් බිම ඉදගෙන හිටපු නේත්‍රව නැගිට්ටවලා අරගෙන තමන්ගෙ ඉස්සරහ පලිහක් වගේ තියාගද්දි දෙවින්ට රැව්ව සුදුබේබි තමන්ගෙ අතේ තිබ්බ කොට්ටෙ අහකට දැම්මා.

...................................................................................................

"මැණිකෙ"

"අපේ මහත්තයා?"

වලව්වෙ විසාල ඉස්තෝප්පුවට වෙලා පොතක් කියවන ගමන් හිටිය ලොකු මැණිකෙ මහ මුදියන්සෙගෙ ආමන්ත්‍රණෙත් එක්ක ඒ දිහාවට අවධානෙ දෙද්දි බර කල්පනාවක හිටිය මහ මුදියන්සෙ තමන්ගෙ ප්‍රශ්නෙ ලොකු මැණිකෙට යොමු කලා.

"සුදුපුතාව ස්කූල් වෑන් එකක හරි අපේ වාහනේක හරි යවන එක සුදුසුද කියලා මම කල්පනා කලේ මැණිකෙ"

"මාත් ඕක කල්පනා කලා අපේ මහත්තයා......ආරක්ෂාව අතින් ගත්තම ඒක හොදයි තමා.ඒත්...."

"අපේ මැණිකෙ ඔන්න ඔය ඒත් කියන කාරණාවම ගැන තමා මාත් මේ හිතුවෙ......ඔව්වයේ යැව්වොත් හුරතල් වෙන එක වෙන්නෙ"

"සුදුපුතා තාම පොඩියිනෙ අපේ මහත්තයා......මේ අවුරුද්ද දෙක ස්කූල් වෑන් එකක යවලා......."

"නෑ මැණිකෙ නෑ......මට මේ වලව්වෙ ඊලග මහ මුදියන්සේ විදියට ලාමක විදියට හැදුනු බෝනික්කෙක් වගේ කොල්ලෙක්ව ඕනි නැහැ.ඉරුගල්බණ්ඩාර වලව්වෙ ඊලග උරුමක්කාරයා පොලවෙ පයගහපු යකෙක් වගේ එකෙක් වෙන්න ඕනි!!!"

මහ මුදියන්සෙගෙ වචන වලට ආපිට මුකුත් නොකිව්ව් ලොකු මැණිකෙ කරබාගත්තෙ ඒ කතාවෙත් වරදක් නොතිබ්බ නිසා.

"ඔය ස්කූල් වෑන් වල යවලා ඔව්වට හුරු උනාම කොල්ලො උනත් සීනි බෝල වගේ වෙනවා.උන්ට පාරක තොටක බැහැලා යන්න දන්නෙ නෑ,බස් එකක යන්න දන්නෙ නෑ,මිනිහෙක්ගෙන් කරදරයක් උනොත් ඒකට මූණ දෙන්න තේරෙන්නෙ නෑ........වියදම් කරන්න ඕනි තරම් සල්ලි තියෙනවා කියන එකෙන් ලමයිව බෝනික්කො වගේ හදන්න ඕනි කියන එක පෙන්නුම් කරන්නෑ අපේ මැණිකෙ"

"හ්ම්ම්ම්"

මහ මුදියන්සෙ කියන වචන වල වරදක් නැති තැන මැණිකෙ හූමිටි තියද්දි මහ මුදියන්සෙ තමන්ගෙ ඇදි පුටුවෙ හාන්සි වුනා.

"සුදුපුතා බස් එකේ යාවි ඒවි.....මහ ලොකු දුරකුත් නැහැනෙ.නිශ්ශංක කිව්වෙ දෙවින්වත් බස් එකේ යවනවා කියලා.මොකද කොල්ලො හැදෙන්න ඕනි කොල්ලො විදියට.කෙල්ලො විදියට නෙවෙයි"

"නිර්මලාත් කිව්වා නේත්‍ර කොල්ලව බස් එකේ යවන්න වෙන්නෙ කියලා.....කොහොමත් වෑන් එකක යවන්න සල්ලියකුත් නිර්මලාලට නෑනෙ......"

"හ්ම්ම්.....ඒ කොල්ලා උනත් බස් එකේ යන එක හොදයි. කට්ටියම එකට යන්නෙ නැතෑ"

"අපේ මහත්තයා?!"

"හැබැයි ඔය ආස්‍ර අතේ දුරින් තියාගන්න කියන්න අපේ එකාට.ඉස්කෝලෙදි,පිටදි ඒ යාලුකම් තියාගත්තට කමක් නෑ.....හැබැයි මට්ටමකට! මොකද උන් අපේ පවුල් එක්ක එක මට්ටමේ පෑහෙන්න පුළුවන් එවුන් නෙවෙයි කියලා මැණිකෙ දන්නවනෙ"

මහ මුදියන්සෙගෙ අවසරෙත් එක්ක ලොකු මැණිකෙ පුදුම උනත් ඒ හා සමානවම ලොකු මැණිකෙගෙ හිත යට සතුටක් මතු වෙලා තිබ්බා.මොකද නේත්‍රත් එක්කම ඉස්කෝලෙ යන්න තියෙනවනම් සුදුපුතා කලබල නොකර ඉස්කෝලෙ යන බව ලොකු මැණිකෙ දැනන් හිටියා.අනික නේත්‍රගෙ ආශ්‍රෙත් එක්ක වෙනදා දැක්ක දුටු තැන තමන්ට රවන සුදුබේබි දැන් දැන් ඒ දේ හරි නොකර ඉන්න එක ගැන,සුදුබේබ් වෙනස් වෙලා තියෙන එක් ගැන ලොකු මැණිකෙ සතුටු වුනා.

මහ මුදියන්සේගේ දැඩි මාන්නෙට විරුද්ධ වෙන්න බැරි නිසා මහ මුදියන්සෙ එක්ක මේ දේවල් නොකිව්වත් නේත්‍ර කියන්නෙ සුදුබේබිට ගැලපෙන හොද යාලුවෙක් කියන එක මැණිකෙට දැනිලා තිබ්බා.එහෙව් කොල්ලගෙන් තමන්ගෙ සුදුපුතාට වරදක් වෙන්නෙ නෑ කියලා ලොකුමැණිකෙ දැනගෙන හිටියා.

"මැණිකෙ ගිහින් ලෑස්ති උනානම්.....සුදුපුතාට ඇදුම් ගන්න ඕනි කිව්වනෙ අද?"

* * * * *

"දෙයියනේ අර සුදුබේබි නේද?"

අරලිය ගහ යට තිබුනු බංකුව උඩට වෙලා කකුල් දෙකත් පද්ද පද්ද පාළුවෙ හිටිය නේත්‍රගෙන් පද්මිණී අහද්දි නේත්‍රත් ඔලුව උස්සලා බැලුවෙ වලව්වෙ ඉදන් පහලට තියෙන පල්ලම දිහා.මොකද්ද මංදා අතේ උණ්ඩි කරගෙන හිටිය සුදුබේබි විදුලි වේගෙන් නේත්‍රලාගෙ ගෙදර කඩුල්ලත් පැනලා මිදුලට එද්දි පද්මිණී ඉක් ඉක්මනටම සුදුබේබිගෙ ඉස්සරහට දිව්වෙ මොකක් හරි කරදරයක්වත්ද කියලා හිතුනු නිසා.ඒත් තමන්ගෙ ඉස්සරහට එන පද්මිණී දිහා බලන්න ඩිංගක්වත් මහන්සි නොවුනු සුදුබේබි කකුල් දෙක කරකෝලා දුවගෙන ගියේ අරලිය ගහ යට ඉදගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ඉන්න නේත්‍ර ලගට.

"සුදුබේබි අනේ ඇයි මේ? කරදරයක්වත් වෙලාද?"

නේත්‍ර අහද්දි බංකුව උඩ වාඩි වුනු සුදුබේබි කලේ ඔලුව දෙපැත්තට වැනුව එක.දුවගෙන ආපු පිම්මෙන් ආව මහන්සි ගතිය නිසා සුදුබේබි හති අරිද්දි,සුදුබේබි ආවෙ විශේෂ දේකට නෙවෙයි නේත්‍රව හම්බවෙන්න කියලා දැක්ක පද්මිණී හිනා වෙලා ගේ ඇතුලට ගියා.සුදුබේබි ලගින් හිටගත්තු නේත්‍ර තමන්ගෙ චූට්ටං අත් වලින් සුදුබේබිගෙ පපුව අතගාන්න ගද්දි සුදුබේබි ටිකෙන් ටික සන්සුන් වුනා.

"මේ ගොම්මනේ මෙහෙ ආවෙ සුදුබේබි? සතා සරපයා ඇදෙන වෙලාවනෙ මේක?"

නේත්‍ර තරවටු ස්වරයකින් අහද්දි හිනා වුනු සුදුබේබි නේත්‍රගෙ අතින් අල්ලලා තමන්ගෙ එහා පැත්තෙන් ඉන්දෝගත්තා.තමන්ගෙ අතට අහු වෙලා තිබ්බ නේත්‍රගෙ චුට්ටං අත අරගත්තු සුදුබේබි තමන් අතේ උණ්ඩි කරගෙන ආව පුංචි බෝතලේ තිබ්බා.

"මොනාද සුදුබේබි මේ?"

"ඔලිව් ඔයිල් නේත්‍ර.ටවුන් එකට ගිය වෙලේ පුංචි අම්මට කියලා මම ඕක ගත්තෙ"

නේත්‍රගෙ ඇස් වලට කදුළු පිරෙන්න තත්පරයක්වත් ගියේ නැහැ.දෙවින් අයියා කිව්වත් තුවාල කැලල ඉක්මනටම මකා ගන්න ඔලිව් ඔයිල් හොදයි කියලා තමන්ගෙ අම්මට සල්ලි නැති නිසා නේත්‍ර ඒ ගැන නොකියා ඉන්න තීරණේ කරලා තිබ්බා.

තුවාල කැළල මූණෙ තිබ්බම කැතයි කියලා අක්කා වෙලාවකට විහිලු කලත් නේත්‍ර ඒවට මුකුත්ම නොකියා පාඩුවේ හිටියෙත් ඒකට කරන්න පිලියමක් තමන් ලග නැති නිසා.ඒත් සුදුබේබි ඒ වගේ පුංචි දේකුත් මතක තියාගෙන තමන්ට ගෙනල්ලා දෙද්දි නේත්‍රගෙ හිතේ අර සුදුබේබි ගැන ඇතිවෙන ලෝභකම එන්න එන්නම වැඩි වුනා.එහෙම වෙන එක සාධාරණ නැද්ද?

ඉතින් සුදුබේබි ගැන හිත ඇතුලෙන් මහා ආදරයක් දැනෙද්දි නේත්‍ර තමන්ගෙ අත් දෙකම දිගෑරලා සුදුබේබිව බදාගත්තා.ආපිට නේත්‍රව තුරුල් කරගත්තු සුදුබේබි නේත්‍රට ඔලිව් ඔයිල් එක භාවිතා කරන හැටි කියලා දෙන්න ගත්තා.හැමදාම වගේ මහ මනුස්සයා උනු සුදුබේබි කියන හැමදේම ඒ මහ මනුස්සයගෙ පුංචි එකා වුනු නේත්‍ර ඔලුව වන වන අහගෙන හිටියා.

"මේකෙන් බින්දුවක් අරගෙන ඔය තුවාල කැලල උඩින් ගාගන්න ඕනි නේත්‍ර....තේරුනාද?"

"හුම්ම්ම්"

"ලයිට් ඕෆ් කලාට පස්සෙ තමා ගාගන්න ඕනි හරිද?"

"හුම්ම්ම්ම්"

"ලයිට් දාගෙන නම් ගාලා අහුවෙන්න එපා මට"

"ඉතින් එතකොට කැලල පේන්නෑනෙ සුදුබේබි?"

"කැලල ඔයා බලන්න ඕනි නෑ.ඒකෙ තෙල් ටික ගෑවුනාම ඇති"

"ඉතින් හොයාගන්නෙ කොහොමද ඒක?"

"කැලල තියෙන්නෙ නිර්මලාගෙ මූණෙ නෙවෙයි.නේත්‍රගෙ මූණෙනෙ! ඉතින් ඒක කරුවලේ ඉදලා උනත් හොයාගන්න පුළුවන් නේත්‍ර.....තාම මැහුම් ගලවපු අලුත නිසා අතට අහු වෙනවනෙ....කාලෙත් එක්ක නිකන්ම පුරුදු වෙයි ඕක තියෙන තැන"

"හ්ම්ම්ම්......"

"හ්ම්ම්ම් ගාන්නෙ තේරිලාද? ම්ම්ම්ම්?"

"ඕ සුදුබේබි"

තමන් කියන කියන දේට බස්සෙක් වගේ හූමිටි තිය තිය කකුල් දෙක පද්දන නේත්‍රගෙන් අහද්දි සුදුබේබිගෙ පපුව අස්සට තුරුල් වෙලා හිටිය නේත්‍ර ඔලුව උස්සලා උත්තර දුන්නා.

"එහෙනම් මම යන්නම් නේත්‍ර"

"අනේ සුදුබේබි.....මට රිදෙනවනෙ....මේ.....තුවාලෙ"

අකමැත්තෙන් උනත් සුදුබේබි නැගිටලා වලව්වට යන්න හැදුවත් නේත්‍ර කලේ බොරුවට කෙදිරි ගාපු එක.උදේ හම්බුනායින් පස්සෙ පැය ගාණක් තිස්සෙ සුදුබේබිගෙ උණුහුමෙන් ඈත් වෙලා හිටිය නේත්‍රට දැන්මම සුදුබේබිගෙන් ඈත් වෙන්න උවමනාවක් තිබ්බෙ නෑ.කෙලින්ම සුදුබේබිට ටික වෙලාවක් ඉන්න කියලා කියන්න ලැජ්ජා වුනු නේත්‍ර බොරුවට තුවාලෙ රිදෙනවා කියලා කෙදිරි ගාන්න ගත්තෙ සුදුබේබිව තව ටික වෙලාවක් මෙතනම රදවගන්න.

"කෝ මේක? රිදෙනවද නේත්‍ර?"

"හුම්ම්ම්"

සුදුබේබි කලබල වෙලා අහද්දි තොල් දෙකත් නොපිටට පෙරලගත්තු නේත්‍ර හූමිටි තිබ්බෙ බෝල ඇස් දෙකත් හොරෙන් උස්සලා සුදුබේබි දිහා බලන ගමන්.ඉක්මනටම ආපහු බංකුවෙන් ඉදගත්තු සුදුබේබි නේත්‍රව තමන්ගෙ උකුල උඩට ගනිද්දි නේත්‍රත් බය නැතුවම සුදුබේබිට ඉඩදුන්නෙ ගොම්මන නිසා මෙවෙලෙ ඈතට තමන් ඉන්න තැන නොපෙනෙන නිසයි,අරලිය ගහ නිසා ගෙදර ඉන්න කෙනෙක්ටත් තමන්ව නොපෙනෙන විදියට ආවරණය වෙලා තියෙන නිසායි.නේත්‍රව උකුලෙ ඉන්දවගත්තු සුදුබේබි හෙමිහිට නේත්‍රගෙ තුවාල කැලල උඩින් අත ගෙනියද්දි නාට්‍ය හා රංගකලාවට විශේෂ හැකියාවක් දක්වපු නේත්‍ර හෙමිහිට වේදනාත්මක හඩවල් පිට කලා.

"ඕම ඉන්නකො නේත්‍ර......ඉන්න.....අඩු වෙයි.......මම මෙහෙම අතගාද්දි අඩුවෙනවා හොදද?"

"හුම්ම්ම් සුදුබේබි.....සනීපයි"

තුවාල කැලලක් ඇල්ලුවට එහෙම රිදෙන්නෙ නෑ කියලා සුදුබේබි නොදැන හිටි නිසා නේත්‍රගෙ ගැටේට සුදුබේබි ලස්සනට අහු වුනා.තමන්ගෙ තුවාලෙ අතගගා තමන්ව සනසන්න වචන කියන සුදුබේබි දිහා බලාගෙන හිටිය නේත්‍ර ටිකෙන් ටික සුදුබේබිගෙ උරහිසට බර වෙලා ඔලුව තියාගත්තා.චුට්ටක්වත් බරක් නැති නේත්‍රව උකුල උඩ තියාගෙනම කකුල් දෙක හෙමිහිට පැද්දුව සුදුබේබි නේත්‍රගෙ පිට අතගගා නේත්‍රව සන්සුන් කරන්න උත්සාහ කලා.ඒවගෙ ප්‍රතිඵලයක් විදියට මේ ටිකේම ඇගට දැනෙන තෙහෙට්ටුව නිසා ඉක්මනටම නින්දට වැටෙන නේත්‍රට සුදුබේබිගෙ තුරුලෙම සනීපෙට නින්ද ගිහින් තිබ්බා.

...................................................................................................

"අනේ සුමනා මෙව්වා නම් බොන්න බෑ.....ඊක්කා!!!"

"ඇගට ගුණයිනෙ සුදුබේබි....බොන්නකො.එහෙම අමිරහක් එන්නෙ නෑ ඔව්වගෙන්"

"අනේ මට එපා සුමනා....මට මගෙ කිරි එක දෙන්නකො"

"කිරි එකත් හදාන එන්නම් සුදුබේබි.ඒත් ඕකත් බොන්නකො.අර අපේ හිච්චි එකත් උගුරට දෙකට බීලා දැම්මෙ ඕක"

"නේත්‍රත් බිව්වද?"

ඇහුව සුදුබේබි සුමනා ගෙනත් දීපු කොල කැද වීදුරුව බීගෙන බීගෙන ගිහින් හිස් වීදුරුව මේසෙ උඩින් තිබ්බෙ මූණත් බෙරි කරගෙන.නේත්‍ර බිව්ව නිසාම බිව්වා මිසක නැත්තං සුදුබේබි ජීවිතේටවත් කොළ කැද වගේ දෙයක් බොන කෙනෙක් නොවුනා.

කොල කැද බිව්ව එකෙන් දිවට දැනුනු රහ අයින් කරලා දාන්න ඕනි වුනු සුදුබේබි තමන්ගෙ නාන කාමරේට රිංගගත්තෙ ආපහු පාරක් දත් මැදගන්න කියලා හිතාගෙන.සුදුබේබි දත් මැදගෙන එලියට එද්දිත් තමන්ගෙ ඇද අස්පස් කරලා ඉවර කරපු සුමනා කාමරෙන් එලියට ගිහින් තිබ්බා.ඇදේ තියෙන තමන්ගෙ රහස සුමනට අහු වුනාදවත් කියලා බයවුනු සුදුබේබි හෙමින් සැරේ ඇද ලගට ගිහින් බලලා තමන්ගෙ සැකේ දුරු කරගෙන සැනසුම් සුසුමක් හෙලුවා.

ඒත් එක්කම තමන්ගෙ කවුළුවෙන් එලිය බැලුව සුදුබේබිගෙ මූණ උදේම තමන් දකින්න කැමතිම දසුන දැක්ක නිසා ලස්සන හිනාවකින් එලිය වුනා.ඒ ගමන්ම තමන්ගෙ ටී ෂර්ට් එකේ ඕඩිකොලොන් තවරගත්තු සුදුබේබි කගවේනා වගේ දුවගෙන ගිහිල්ලා ගල් බැම්ම ලග බිම ඉදගෙන නස් නාරං ගෙඩියක් කකා හිටපු නේත්‍රගෙ බෙල්ල බදාගත්තා.

"කැහ් කැහ්හ්හ්හ්"

සුදුබේබිගෙ හදිසි ආක්‍රමණෙත් එක්කම නස් නාරං ඉස්ම ඉස්මොල්ලෙ ගිය නේත්‍ර කහින්න ගනිද්දි නේත්‍රගෙ පිට අත ගගා ඔලුවට පිඹපු සුදුබේබි කැස්ස නිසා නේත්‍රගෙ කටෙන් පෙරිලා තිබ්බ නස් නාරං ඉස්ම ටිකත් කැත නැතුව තමන්ගේ අත් දෙකෙන් පිහ දැම්මා.කැස්සක් උනාද කියලවත් ගාණක් නෑ වගේ ඊලග නස් නාරං බිකත් කටේ දාගෙන "චව් චව්" ගාලා හපන නේත්‍ර දිහා බලලා හිනා වුනු සුදුබේබි එහෙම්මම ගල්බැම්ම උඩ ඉදගත්තා.

"ලස්සනයි නේද නේත්‍ර? කාලෙකට පස්සෙ ලස්සනට ඉර නගින්නෙ"

පහුගිය දවස් ටිකේම උදේ ඉදන් තිබ්බ බීරිම නිසායි,වුනු ප්‍රශ්න නිසායි පැහැදිලි විදියට හිරු නගින දර්ශනේ බලාගන්න බැරි වුනු නේත්‍රයි සුදුබේබියි දෙන්නා අද ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා.කුස්සිය පැත්තෙන් දුවගෙන එද්දි අතට අහු වුනු චොක්ලට් බිස්කට් පැකට් එක අරගෙන ආව සුදුබේබි ඒක කඩලා නේත්‍රට දික් කරද්දි දඩි බිඩිගාලා නාරං බික ගිලලා දැම්ම නේත්‍ර චොකලට් බිස්කට් එකක් අරගෙන හපන්න ගත්තා.

"ඔලිව් ඔයිල් ගෑවද ඊයෙ රෑ?"

"ඕ සුදුබේබි.....මගෙ කාමරේට කොහොමත් ලයිට් එකක් නෑනෙ.සාලෙ ලයිට් එක ඕෆ් කලාම ගාගත්තා"

"හ්ම්ම්...ඉස්කෝලෙ යන්න ලෑස්ති කරගත්තද නේත්‍ර ඔක්කොම?"

"ඔව් සුදුබේබි....අම්මා අලුත් බෑග් එකකුයි සපත්තු දෙකකුයිත් අරගෙන දුන්නා.මටනම් ඉවසිල්ලක් නෑ ඉස්කෝලෙ යනකං"

"හ්ම්ම්ම්"

"ඇයි සුදුබේබි? සුදුබේබි ආසා නැද්ද ඉස්කෝලෙ යන්න?"

"නේත්‍රත් එක්ක යන්න තියෙන නිසා ආසයි"

නේත්‍ර දිහා බලලා හිනා උනු සුදුබේබි තව බිස්කට් එකක් නේත්‍රට දෙන ගමන් තමන්ගෙ කටටත් බිස්කට් එකක් දාගනිද්දි වලව් වත්තෙන් එකපාරටම මතු වුනු මිණි කිංකිණි නාදෙ නිසා නේත්‍රයි සුදුබේබියි දෙන්නම හොදටම බිරාන්ත වුනා.කන්දෙ දර්ශනේ සිහියෙන් හිටිය සුදුබේබි ඒ කටේ සද්දෙට ගල්බැම්මෙන් වැටෙන්න ගියත් ඉරුගල්බණ්ඩාර පරම්පරාවෙ නම්බුව බේරගන්න ගමන්ම සුදුබේබිට නොවැටී ඉන්න පුලුවන්කම හම්බුනා.

"සුදුබේබි!!!!!"

"ඇයි අරුන්දතී?"

කෑගහගෙන ආව අරුන්දතී දිහා නොපහන් බැල්මක් හෙලුව සුදුබේබි අරුන්දතීට උත්තර දුන්නෙ නොදී බැරි කමට.ඇත්තටම සුදුබේබි මේ වෙලාවට නිස්කලංකව පරිසරේ සුන්දරත්වෙ විදින්න පුදුම විදියට ආසා කලා.හැමදාම සුදුබේබි නැගිටින්න කලින් වත්තට එන නේත්‍ර එක්ක සුදුබේබි ඒ සුන්දරත්වෙ වින්දත් බැරි වෙලා හරි නේත්‍ර එන්න පරක්කු වෙන දවසට නේත්‍ර පවා පුරුදු විදියට බිම ඉදගන්නෙ සුදුබේබිට බාධාවක් නොවෙන විදියට.

සුදුබේබි නේත්‍ර එක්ක ඒ දේ විදින්න ආසා කලේ නේත්‍රගෙත් තිබ්බ නිස්කලංක ගති පැවතුම් නිසා.නේත්‍ර එක්ක ඉද්දි පරිසරේ එන සියුම් ශබ්ද වලට අමතරව ඇහෙන "චව් චව්" සද්දෙටත් සුදුබේබි ඇලුම් කලේ ඒක හරි ලස්සන,පරිසරයට ගැලපෙන ස්වාභාවික හඩක් විදියට සුදුබේබිට දැනෙන නිසා.ඉතින් එහෙම එකෙ අද අරුන්දතී කඩාගෙන බිදගෙන කෑගහගෙන ආව එකනම් සුදුබේබි කොහෙත්ම අනුමත නොකලත් අරුන්දතී කියන්නෙ නේත්‍රගෙ අක්කා නිසා මුකුත් නොකියා කතා කරන්න තීරණේ කලා.

"සුදුබේබි අලුත් ඉස්කෝලෙට යනවලු නේද?"

"ඔව්"

"අපෙ මල්ලිත් යන්නෙ ඒකටලු?"

"ඔව්"

"ඒත් මට ගමෙනුත් යන්න වෙලා තියෙන්නෙ සුදුබේබි!"

"ආහ්හ්"

"ඒ මෙයා නිසා සුදුබේබි!"

"මොකක්? ඒ ඇයි?"

ඊයෙ රාත්‍රියෙ පුරා නිර්මලා එක්ක රණ්ඩු කල අරුන්දතී නේත්‍රව ගමෙන් යවන්න කියලා කිව්වත් ඒකෙ තේරුමක් නොවෙන බව නිර්මලා පැහැදිලි කලත් අරුන්දතී ඒ කිසිම දෙයක් කණකට නොගෙන තිබ්බා.අරුන්දතී නේත්‍ර ගැන කිව්ව අමුතු කතාව නිසා කුහුලෙන් පිරුණු සුදුබේබි ගල්බැම්මෙන් බිමට පැනලා අරුන්දතී ලගින් හිටගනිද්දි නේත්‍රත් තණ තිල්ල උඩින් නැගිටලා සුදුබේබි ලගින්ම හිටගත්තා.

"ඔව් සුදුබේබි....මෙයා නිසා තමා මට ගමෙන් යන්න වෙන්නෙ"

"ඒක තමා මම අහන්නෙ.....ඇයි?"

අරුන්දතී චෝදනාත්මක විදියට නේත්‍රට ඇගිල්ල දික් කරලා කියද්දි සුදුබේබි ඒ දේ සන්සුන් විදියට අහන හැටි දැක්ක නේත්‍රගෙ හිතට ලොකු බයක් දැනෙන්න ගත්තා.අක්කා කියන දේ අහලා සුදුබේබි තමන්ව නපුරෙක් විදියට දැක්කොත්? තමන්ව අතෑරලා අක්කව යාලුවා කරගත්තොත්? තමන්ට ගමෙන් යන්න කිව්වොත්? ඔය වගේ එකේක ප්‍රශ්න ඔලුවට එද්දි නේත්‍ර කලේ තමන්ගෙ තොල් පටවල් විකාගෙන ඇස් වලින් එලියට පනින්න දගලන කදුළු කැට වලට තරවටු කරපු එක.බැහැ! අක්කට උනත් දෙන්න බැරි තරමට නේත්‍ර සුදුබේබිට ලෝභකම් කරන්න බැදිලා ඉවරයි.

"මෙයාට අපලයිලු මම ඉද්දි! ඒ නිසා මට යන්න කියනවා ගමෙන්"

"අපලයි කියන්නෙ?"

"මෙයාට මම ගමේ හිටියොත් කරදර වෙනවලු.ඒ නිසා මට........"

"එහෙනම් අරුන්දතී දැන්මම ගමෙන් යන්න.නේත්‍රට කරදරයක් වෙනවනම් මෙහෙ ඉන්න එපා!!!"

අරුන්දතී කියන්න හැදුව දේ ඉවර කරන්නවත් නොදී සුදුබේබි තමන්ගෙ තීරණේ ඉදිරිපත් කරද්දි සුදුබේබිට වහං වෙලා ඉන්න නේත්‍ර දිහා රවලා බැලුව අරුන්දතී මහ හයියෙන් අඩාගෙන වත්ත් පහලට දුවගෙන ගියා.අරුන්දතීගෙ ඇඩිල්ල ගාණකටවත් නොගත්ත සුදුබේබි තමන්ගෙ පිටිපස්සෙ හැංගිලා නේත්‍ර දිහාවට හැරුනා.

"දෙයියනේ ඇයි මේ?"

නේත්‍රගෙ කදුළු පිරුණු ඇස් දෙක විතරක් දැකපු සුදුබේබි පුරුදු විදියටම කලබල වෙද්දි මුකුත් නොකිව්ව නේත්‍ර ලස්සනට හිනා වෙලා සුදුබේබි දිහා බැලුවා.නේත්‍රගෙ රෝසපාට දෑගිලි වල තමන්ගෙ දෑගිලි පටලගත්තු සුදුබේබි කන්ද පැත්තට තමන්ගෙ අවධානෙ යොමු කලේ මූණ පිහගෙන යන හීතල හුලං රැළි වලටත් ඉඩ ලබා දෙන ගමන්.

"මම හැමදාම නේත්‍ර එක්ක ඉන්නවා මොන දේ උනත්"

"මාත් සුදුබේබි එක්ක ඉන්නවා"

"මම නේත්‍රට පොරොන්දු වෙනවා.නේත්‍රත් පොරොන්දු වෙන්න"

"පොරොන්දුයි සුදුබේබි"

ඉර නැගගෙන එන යාමෙදි පුංචි හදවත් දෙකක් නොතේරුම්කමට හරි ලොකු අර්ථයක් තියෙන පොරොන්දුවක් එක්ක ආත්ම වලින් බැදෙද්දි නිහඩවම ඒ දිහා බලාගෙන හිටපු සූර්යයා තමන්ගෙ අද දවසේ පලවෙනි ආලෝක කදම්බය ඒ පුංචි උන් දෙන්නා මතට මුදාහැරියෙ තමන්ගෙ ආශිර්වාදයත් නිහඩවම ලබා දෙන ගමන්.

...................................................................................................

වචන 2700+😪❤️

අද ඩබල් අප්ඩේට් ඈ😾❤️

උම්මා එකක්වත් දීගෙන යන්න කැමීලියට😪❤️

ඔයාලගෙන් අහන්න හැදුවෙ බබාලා.....

තරහ වෙන්න එපා හොදද?

ඉස්සර තරමට කමෙන්ට්ස් නෑ වගේ මට හිතෙනවා දැන් මේකට💔 මම කියන්නෙ ඔයාලා කමෙන්ට් දාන්න ඕනි කියන එක නෙවෙයි මෙතනදි.....

මගෙ වැරද්දක් තියෙනවනම් ඒක කියලා දෙන්න ඕනි කියන එක🥺❤️

කතාව ලියන මම ඔයාලගෙන් වැරදි අඩුපාඩු නාහා වෙන කාගෙන් අහන්නද බබාලා🥺❤️ ඒකයි මම මේ අහන්නෙ.........මොකක්ම හරි වරදක් තියේනම් කියලා දෙන්න...........මට ඕනි ඒක හදාගන්න.....මොකද ආසාවෙන් ලියන්න පටන් ගත්තු මේ කතාව මග නතර කරන්න මට දුකයි🥺💔

සමහරවිට එක ලග අප්ඩේට්ස් දුන්නු නිසා ඔයාලට කමෙන්ට් කරන්න ටයිම් මදි වෙන්න ඇති, සමහර බබාලට exam එහෙමත් තියෙනවා කියලා මම දන්නවා....ඒවා පැත්තකට එහෙම දාලා මෙව්වා කියවන්න එපා බබාලා හරිද? ඉගෙනීමනෙ 01...මෙව්වා හුදෙක් විනෝදාස්වාදය විතරනෙ❤️ ඔය හේතු නිසානම් කමෙන්ට් කලේ නැත්තෙ මට සමාවෙන්න හරිද.....වැරදි අඩුපාඩු ඇහුවට🥺❤️ ඔයාලා නිවාඩු පාඩුවෙ ඇවිල්ලා කමෙන්ට් දාන්න🥺❤️

මේ ටිකේ එක ලග අප්ඩේට් දුන් නිසා මම ටික දවසක් නිහඩව ඉන්නම් මගෙ මැණිකෙලා හොදද❤️ ඔයාකට එතොට පුළුවන් හෙමීට කියෝලා හෙමීට කමෙන්ට්ස් ඒම දාන්න🥺❤️

ඉතින් බබාලා අදත් කියන්න තියෙන්නෙ............

අදහසක් කියාගෙන යන්න..........

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආතරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

කපටි කොටා😂❤️

මම.කැමීලියා🏵️❤️

Share This Chapter