Back
Chapter 22

21 කොටස🤍✨️

නිවාලන්න මා...

"අනේ නේත්‍ර"

"කෝ සුදු අයියා කකුල් දෙක පහලට දාගෙන ඉදගන්නකො"

උණු උණුවෙ දුම් දාන පොඩි වතුර බේසමක් උස්සගෙන ආව නේත්‍රගෙ දකුණු කරේ එල්ලෙමින් තිබ්බෙ ඝනකම් රෙදි කඩක්.ඇද ලගට ඇවිත් වතුර බේසම ඇද පාමුල තිබ්බ නේත්‍ර ආශවගෙ අතේ තිබ්බ කිරි කෝපි කෝප්පෙ තමන්ගෙ අතට අරං ආශවට ඇදේ ඉදගන්න උදව් කලා.කකුල් දෙකත් පොලවෙ ගෑවෙන විදියට ඇද උඩ ඉදගත්තු ආශවගෙ අතට කිරි කෝපි කෝප්පෙ දුන්නු නේත්‍ර ආශවගෙ දෙපතුල ලග ඉදගත්තා.

"අනේ නේත්‍ර.......මට එච්චර අමාරුවක් නැහැ"

"ඒකට කමක් නෑ සුදු අයියෙ.මේක මහ අමාරු දෙයක් නෙවෙයි"

"ඔයාගෙ අත පිච්චෙයි මැණ්.......නේත්‍ර"

"එහෙම නැහැ සුදු අයියෙ.මම පරිස්සමට කකුල් දෙක තවන්නම්කො.මම මේවා කරන්නෙ අමාරුවෙන් නෙවෙයි ආසාවෙන්නෙ"

තමන්ගෙ පය පාමුල ඉදගෙන අතේ තිබ්බ රෙදිකඩ වතුර එකට දාලා ඒක පරිස්සමින් ටිකක් මිරිකන නේත්‍ර දිහා ආශව බලන් හිටියෙ බොද වුණු ඇස් දෙකකින්.කෙනෙක් තමන්ට ඒ කෙනාගෙ හදවතේ ගැඹුරින්ම ඉඩක් දීලා තියෙනවා කියලා තේරෙද්දි,ඒ හදවතට දැනෙන ගැඹුරුම හැගීම් වෙන් වෙන්නෙ තමන් වෙනුවෙන් කියලා දැනෙද්දි,ඒ හදවත ඕනිම දෙයක් තමන් වෙනුවෙන් කරන්න සූදානම් කියලා දැනෙද්දි පිරිමි ඇහැකට උනත් කදුලක් උනන එක හරි සාමාන්‍යයි.ඉතින් ආශවත් ඒ කදුළු පිරුණු ඇස් වලින් බලාගෙන හිටියා.තමන්ට නොරිදෙන විදියට අර උණු වතුර වලින් තමන්ගෙ කකුල් දෙක තවන හැටි බලන් හිටියා.

"නේත්‍ර........."

"ම්ම්ම්ම්ම්........"

"හ්ම්ම්ම්.......මුකුත් නැහැ......"

රෙදි කඩේ තිබ්බ උණු වතුර ටික මිරිකලා දාලා ඒ රෙදි කඩ කකුල දිගේ තිය තිය තවන ගමන් හිටි නේත්‍රට ආශව උත්තර දුන්නා.ඒත් එක්කම බීලා ඉවර කල කිරි කෝපි කෝප්පෙ ඇද යටට එබුව ආශව තමන්ගෙ නියපොතු වලින් මෙට්ටෙ පහුරු ගානගමන් බලාගෙන හිටියෙ නේත්‍ර දිහා.

ආශවගෙ ඇස් දෙක දිලිසුණේ කදුලු වලට විතරක් නම් නෙවෙයි.ඒ ඇස් අස්සෙ මහ අමුතු හැගීම් ගොන්නක් ගුලි වෙලා තිබ්බා.ඒත් එක්කම නේත්‍රගෙන් ඇස් අහකට ගත්තු ආශව කාමරේ වහලෙ දිහා බලලා ඇස් තද කරලා පියාගත්තෙ ඒ හැම හැගීමක්ම ටික කාලයක් යනකං යටපත් කරගන්න උත්සාහ කරනවා වගේ.සමහර විට ඒ හැගීම් එලියට දාන්න හරිම කාලෙ මේක නෙවෙයි වෙන්න ඇති!

"හුගක්ම රිදෙන තැන් කොහෙද සුදු අයියෙ?"

"ම්ම්ම්ම්ම්......."

"රිදෙන තැන් ඇහුවෙ?"

"ම්ම්...ආහ්හ්හ්හ්.....රිදෙන්නෙ කකුලෙ උඩ හරිය"

නේත්‍ර ප්‍රශ්න කරද්දි වෙනම ලෝකෙක හිටිය ආශවට උත්තර දීගන්න ටිකක් වෙලා ගියා.ඇත්තටම කාලයක් තිස්සෙ කිසිම දෙයක් නොකර ඉදලා කාලෙකට පස්සෙ ක්‍රිකට් ගැහුවා කියන්නෙ මුළු ඇගම තලලා දාලා වගේ වේදනාවක් එන වැඩක් කියලා නේත්‍රට තේරුම් ගිහින් තිබ්බා.ඒකමයි නේත්‍ර හුගක්ම රිදෙන තැන් ඇහුවෙත්.ඒ තැන් ටිකක් වැඩි වෙලාවක් තැව්වනම් වේදනාව අඩු වෙන බවත් නේත්‍ර දැනන් උන්නා.

"උඩ හරිය කිව්වෙ?"

"නෑ ඒ ටිකේ මම බාම් ගාගන්නම්"

"බාම් ගාන්න කලින් තවාගන්න ඕනිනෙ සුදු අයියෙ.කියන්නකො රිදෙන තැන්?"

"ත්....ත.....තවාගන්නම් මම.කෝ ඕක මට දෙන්නකො"

"සුදු අයියා තවාගත්තොත් වෙන දේ ගැන මට හිතාගන්න පුලුවන්! මට මතකනෙ අර පුංචි කාලෙ දවසක් කෝප්පයක් රත් කරගෙන............."

"අනේ නේත්‍ර!!! අනේ ඕකනම් මතක් කරන්න එපා මට ලැජ්ජයි"

"කියන්නකො රිදෙන තැන?"

"ක්....කළවා රිදෙන්නෙ වැඩිපුරම නේත්‍ර......ඒකයි මම තවාගන්නම් කිව්වෙ"

ආශව අහක බලාගෙන කියද්දි නේත්‍රගෙ මූණත් එකපාරටම රතුම රතු පාට වුණා.ඒත් වචනයක්වත් නොකිව්ව නේත්‍ර ආශවගෙ කොට කලිසමේ කකුල් දෙක ටිකක් උඩට කරලා කළවා තවන්න ගද්දි ආශව හිටියෙ ඇස් දෙක තද කරලා පියාගෙන.ජීවිතේ කවදාවත් නාව විදියෙ ඇගම හිරි වැටිලා යන හැගීමක් විදින ගමන් හිටිය ආශවගෙ මුළු ඇගම ගල් ගැහිලා ගිහින් තිබුනා.

රෙදි කඩෙන් එහාට මෙහාට වෙන නේත්‍රගෙ පුංචි දෑගිලි හරි සියුම්ව ආශවගෙ හම මත ස්පර්ශ වෙන වාරයක් ගානෙ ආශවගෙ ඇගේ හිරිගඩු පිපුනා.කවුළුවෙන් පේන කළුවර අහස දිහා බලාගෙන හිටිය ආශව තමන්ගෙ මනස වෙන අතකට යොමු කරන්න උත්සාහ කලේ නේත්‍රට වෙනසක් දැනෙයි කියන බයට.

"හරි සුදු අයියෙ.මම බාම් එක අරං එන්නම්"

බේසමත් අරගෙන ආශවගෙ පය පාමුලෙන් නැගිට්ට නේත්‍ර තමන්ගෙ පුංචි කකුල් දෙකට පුළුවන් උපරිම වේගෙ අරං පල්ලෙහාට දුවගෙන ගියේ බාම් එක අරගෙන එන්න.නේත්‍ර දුවගෙන ගිය දිහා බලන් හිටිය ආශව හයියෙන් හුස්ම උඩ පහල දාන් ගමන් තමන්වම සන්සුන් කරගන්න උත්සාහ කලා.

එයා හැමදාම කලබලයි.නේත්‍ර හිතන් හිටියට ආශවගෙ ඉස්සරහ කලබල වෙන එක අසාමාන්‍යයි කියලා,ආශව නේත්‍රගෙ ඉස්සරහ ඊටත් වඩා කලබල වුණා.නේත්‍රගෙ පුංචි ස්පර්ශයක් පවා සමත් වුණා හොදට තියෙන ආශවගෙ සිහිය පලවලා හරින්න.

විනාඩියක් දෙකක් ඇතුලත මස්පිඩු වේදනා වලට ගාන බාම් එකකුත් අරං ආව නේත්‍ර ආශවගෙ කකුල් වල ඒවා ගාලා හොදට තද කරලා කකුල් මසාජ් කරන්න පටන් ගත්තා.ඒ අතරින් නේත්‍රගෙ අතින් බාම් එක ගත්තු ආශව තමන්ගෙ කලවා වල බාම් ආලේප කරගෙන තමන්ගෙ අත් දෙකෙන්ම කලවා මසාජ් කරගන්න පටන් ගත්තෙ ආපහු පාරක් ඕක නේත්‍රට කරන්න දීලා බොරුවට අවධානමක් ගන්න ඕනි නැති නිසා.ආශවගෙ කකුල් දෙක මසාජ් කරන ගමන් හිටි නේත්‍ර තමන්ගෙ පය පාමුල ඉදන් කතා කරද්දි ආශව නේත්‍ර දිහා බැලුවා.

"සුදු අයියට මතකද එදා අර බෙලෙක් කෝප්පෙ......."

"අනේ ඕක මතක් කරන්න එපා නේත්‍ර.....මට හරි ලැජ්ජයි.මම හෙන ගොනෙක් බලන් යද්දි ඒ කාලෙ"

"ඒත් හනේ......."

නේත්‍ර හිනා වෙවී ඔලුව දෙපැත්තට වන වන කකුල එක දිගටම මසාජ් කරද්දි නේත්‍රගෙ හිනාව අස්සෙ අතරමං වෙලා උන්නු ආශවගෙ මතකෙ ගියේ දැනට අවුරුදු කීපයක් ආපස්සට.

* * * * *

"කෝ පොඩ්ඩො,ඔය පොල් ටික ගාපංකො ඉක්මනට"

නිර්මලා හිටියෙ වලව්වෙ උදවියගෙ රෑ කෑම වේල සකසන ගමන්.සුමනාත් මේ කාලෙ වෙද්දි අරුන්දතී එක්ක ගමෙන් පිටවෙලා ගිහින් තිබ්බ නිසා වලව් මුළුතැන්ගෙයි වැඩ වලින් වැඩි හරියක් පැටවුනේ නිර්මලාගෙ කරට.සුපිපි කෙල්ලත් පුලු පුලුවන් විදියට උදව් කලාට මොකෝ ඒකිගෙ කෑම රහ නෑ කියලා වලව්වෙ උදවිය කියලා තිබ්බ නිසා සුපිපි හුගක්ම කලේ අස් පස් කරන අතුපතු ගාන වැඩ.අනික හවස හයමාර පහු උනු ගමන් සුපිපි ගෙදර දිව්වෙ කෙල්ලගෙ අම්මටත් මේ ටිකේ අසනීප නිසා.ඉතින් හැමදාම වගේ රෑ කෑම වේල හදන වැඩේනම් තනියමම කරන්න නිර්මලාට සිද්ධ වුණා.

තනියම කිව්වට නිර්මලාගෙ පුංචි කොලු පැටියා නේත්‍ර, තමන්ගෙ අම්මට උදව් නොකර හිටියෙ නෑ.ඉතින් ඒ වෙලාවෙත් නේත්‍ර තමන්ගෙ චූටි කකුල් දෙක දෙපැත්තට දාලා ඉදගෙන හිරමණෙන් පොල් ගාන ගමන් හිටියෙ තමන්ගෙ චූට්ටං අත් දෙක රිදුම් කන එක ගැනවත් නොහිතා.

ඉදලා හිටලා මුළුතැන්ගෙයි දොරෙන් ඔලුව ඇතුලට දාලා තමන් එක්ක මුකුළු කරලා ආපහු මූණත් වගන් අනික් පැත්තට දුවන සුදුබේබි දිහා බලන් හිනා වෙවීම නේත්‍ර පොල් ගෑවා.

ටික වෙලාවක් යද්දි ඉදි ආප්පයි,කිරිමාලු හොද්දටයි සැර සම්බෝලෙකුත් හැදුව නිර්මලා නස් නාරං ගෙඩියක් මිරිකලා කෑම මේසෙ පිලිවෙලකට සකසලා කෑම ටිකත් කෑම මේසෙන් තියලා ආපහු පාරක් මුළුතැන්ගෙට එද්දි නේත්‍ර හිටියෙ නස් නාරං බිකකට ලුණු තවරගෙන කන ගමන්.

නේත්‍ර දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුව නිර්මලා බෙලෙක් පිගානත් අරගෙන නේත්‍රට ඉදි ආප්ප පහ හයක් බෙදලා කිරි මාළු හොදි විතරක් දැම්මෙ මාළු කෑලි ඔක්කොම ටික කෑම මේසෙට ඇරිය නිසා.වලව්වෙ උදවිය කෑම කාලා ඉවර උනාට පස්සෙ ඉතුරු වෙලා තියෙන මාළු කෑල්ලක් කනවා මිසක තමන්ටම කියලා එහෙම කෑම වෙන් කරගෙන ඉදීමේ පුරුද්දක් නිර්මලාලගෙ පරම්පරාවෙ තිබුනෙ නැහැ.ඉතින් එහෙම වලව් උදවිය කාලා ඉවර වෙනකං නේත්‍රට බඩගින්නෙ ඉන්න බැරි බව දැනන් උන්නු නිර්මලා නේත්‍රගෙ අතට බෙලෙක් පිගාන දුන්නෙ සම්බෝල ඩිංගකුත් දාලා.නේත්‍රට සැර කන්න හරි අමාරු බව නිර්මලා දැනන් හිටියා.

බෙලෙක් පිගානත් අරගෙන තමන්ට සින්නක්කරේටම අයිති වෙලා තිබ්බ ලී බංකුව උඩින් ඉදගත්තු චූටි නේත්‍ර ඉදිආප්ප එකින් එක හොදි සම්බෝල දාලා අනාගත්තෙ හරි ආසාවෙන්.ඒත් එක්කම නිර්මලාවයි නේත්‍රවයි දෙන්නවම ගස්සවගෙන මුළුතැන්ගෙට කඩාගෙන වැදුනු සුදුබේබි අතේ ගුලි කරං ආව මොනාහරි නේත්‍රගෙ පිගානට දාලා "මට උණුවතුර එකක් ගේන්න" කියලා නිර්මලාට කියාගෙනම අනික් පැත්තට විදුලි වේගෙන් දුවන් ගියා.

"මාළු කෑල්ලක්?"

සුදුබේබි අතේ ගුලි කරං නේත්‍රගෙ කෑම පිගානට දාලා තිබුනෙ තලපත් මාළු කෑල්ලක්.මොකද සුදුබේබි දැනන් උන්නා නේත්‍රගෙ කෑම පිගානෙ මාළු කෑල්ලක් නැහැ කියල.උණු වතුර ටිකක් ඉල්ලගන්න කියලා තමන්ගෙ පිගානෙ තිබ්බ මාළු කෑලි දෙකෙන් එකක් අතමිට මොලවගත්තු සුදුබේබි හරි අපූරුවට මහ මුදියන්සෙගෙයි ලොකු මැණිකෙගෙයි ඇස් වලට වැලි ගහලා නේත්‍රගෙ රස නහර පිනෙව්වා.

හුගක් වෙලාවට හාල් මැස්සො,කරවල වගේ දෙයක් කන නේත්‍ර කාලෙකට පස්සෙ හම්බුනු මාළු කෑල්ල ආසාවෙන් ඉදිආප්ප එක්ක අනාගෙන කද්දි ඇස් වලට ආව කදුළු පිහිදගත්ත නිර්මලා තව ඉදිආප්ප පහක් විතර නේත්‍රගෙ පිගානට දාන ගමන් උණු වතුර වීදුරුවකුත් අරගෙන කෑම කාමරේ පැත්තට ඇදුනා.

.

.

.

.

.

"රධීන් ඉන්න පැත්තකටවත් ආයෙ යන්න එපා නේත්‍ර තේරුනාද?"

"ඔව් සුදුබේබි.....මම ආයෙ යන්නෑ......"

"සුදු අයියා කියන්නකො නේත්‍ර.....දැන් ඉස්කෝලෙත් යනවනෙ අපි එකටම.ඔහොම කතා කරද්දි ලමයි ඔයා දිහා අමුතුවට බලයි නැත්තං"

"මට හුරු නෑනෙ එහෙම එකපාරටම කියන්න සුදුබේබි.....මම හෙමීට පුරුදු වෙන්නම්"

"හ්ම්ම්.....කරන්ට් එක කීයට එයිද දන්නෑ නේද නේත්‍ර?"

"දන්නෑ සුදුබේබි.....කරන්ට් ආවට පස්සෙ මම යන්නත් ඕනි"

"අද මාත් එක්ක ඉන්නකො නේත්‍ර.ඉස්කෝලෙ පටන් ගත්තත් හරි ඔයා මම ලග හිටියෙම නෑ"

"බලමුකො සුදුබේබි.......මමත් ආසයි සුදුබේබි එක්ක ඉන්න......ස්....සුදුබේබිගෙ බඩ කෑ ගහන්නෙ ඇයි?"

"හී......චූටි බඩගින්නක් වගේ එකක් තියේ නේත්‍ර"

රෑ කෑම කාල ඉවර වෙලා පැය බාගයක් යන්නත් කලින් මුළු ගම්මානෙම එකපාරම අදුරු වුණේ විදුලි විසන්ධි වීමක් පෙන්නුම් කරන ගමන්.ටීවී ලොබි එකට වෙලා ටීවී එක බල බල හිටිය සුදුබේබි හෙමින් සැරේ කුස්සිය පැත්තට ඇදිලා කළුවරේට නේත්‍රවත් උස්සගෙන කාමරේට ගියේ නේත්‍රව කාමරේ තියාගන්න ඕනි නිසා.

මොකද දැන් මාසයක් එකහමාරක් තිස්සෙම නේත්‍ර තමන් එක්ක ඉස්කෝලෙ යනවා එනවා මිසක් ඉස්සර වගේ දොයියන්න එන්නෙ නැති එක සුදුබේබිට ලොකුවටම දැනිලා තිබ්බා.ඉටිපන්දමකුත් අතේ තියං හිටි නේත්‍රව සුදුබේබි ඇදන් දුවන්න හදන අතරෙම නේත්‍ර තමන් උඩ තට්ටුවට යන බව නිර්මලාට ඒ ගැන කියද්දි නිර්මලා නේත්‍රගෙ අතේ ගිනි පෙට්ටියක් තිබ්බා.සුදුබේබි එක්ක කාමරේට ඇවිත් ඉටිපන්දම පත්තු කල නේත්‍ර එහෙම්මම සුදුබේබි එක්කම ඇදේ ඇලවුණා.ඒක සුදුබේබිටවත් නේත්‍රටවත් අමුතු දෙයක් උනේ නැහැ.දෙන්නා ඕනි තරම් එහෙම ඉදලා තියෙනවනෙ.

"මම මොනාහරි අරං එන්නම් සුදුබේබි පහලට ගිහින්"

"නෑ නෑ නේත්‍ර එපා.....නේ.........නේත්‍ර......දිව්වනෙ ඉතින්"

සුදුබේබිගෙ අතක් උඩ ඔලුව තියාගෙන ඇදේ ඇලවෙලා හිටි නේත්‍ර සුදුබේබිට බඩගිනි බව දැනගත්තත් එක්කම පහලට දුවලා ගියේ සුදුබේබිට මොනාහරි අරං එන්න හිතාගෙන.හැබැයි නේත්‍ර එදා වැරදිම වෙලාවකයි කාමරෙන් එලියට බැහැලා තිබ්බෙ!

නේත්‍ර එනකං විනාඩි දෙක තුනක් ඇද උඩටම වෙලා බලන් හිටි සුදුබේබි හෙමින් සීරුවෙ ඇදෙන් නැගිට්ටෙ පහලට යන්න කියලා හිතාගෙන.

ඒත් ඒ එක්කම තමන්ගෙ මේසෙ උඩ රදවලා තිබ්බ ඉටිපන්දම දිහාවට සුදුබේබිගෙ ඇස් දෙක ගියා.හෙමින් සැරේ පොත් මේසෙ ලගට ගෑටුව සුදුබේබි ඉටිපන්දමේ දැල්ල දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා.විනාඩි දෙක තුනක් තිස්සෙ ඒ මහ අන්ධකාරෙ,රැහැයියො විතරක් කෑගහන සද්දෙ ඇහෙන වෙලාවක ඒ දැල්ල දිහා බලන් හිටිය එක හරි අමුතු හැගීමක් වුණා.ටිකක් වටපිට බැලුව සුදුබේබි දැක්කෙ අද හවස නේත්‍ර බිබී හිටි කහට එකෙන් බාගයක් ඕනි වෙලා උස්සගෙන කාමරේට අරං ආව පොඩි බෙලෙක් කෝප්පෙ!!!

හිතට ආව හදිසි සිතිවිල්ලක් එක්ක බෙලෙක් කෝප්පෙ අණ්ඩෙන් අල්ලගත්තු සුදුබේබි බෙලෙක් කෝප්පෙ යට අඩිය ඉටිපන්දම් දැල්ලට අල්ලගෙන හිටියා.ටිකකින් අතත් රත් වීගෙන එනවා දැනෙද්දිම ඉටිපන්දම් දැල්ලෙන් අහකට ගත්තු බෙලෙක් කෝප්පෙ යට අඩිය දිහා බැලුව සුදු බේබි ලාවට ගිනියම් වෙලා තිබ්බ ඒ යට අඩිය තියාගත්තෙ තමන්ගෙ තොල් දෙක උඩ!!!!

"බුදු අම්මෝ!!!! නේත්‍ර!!!!!"

හාවක් හූවක්වත් නැති ඒ මහ රාත්‍රියෙ ඉරුගල්බණ්ඩාර වලව්ව දෙදරලා ගියේ වලව්වෙ පුංචි මුදියන්සෙගෙ කටින් පිටවුණු වේදනාත්මක විලාපෙකින්.'චීඊඊඊඊඊස්ස්ස්ස්' ගාන සද්දෙකුත් එක්ක කෙල වලිම් තෙත්වෙලා තිබ්බ තමන්ගෙ තොල් දෙකට දැනුනු වේදනාව දරාගන්න බැරි වුණු සුදුබේබි බෙලෙක් කෝපෙත් අතෑරලා කට අත් දෙකෙන් අල්ලගෙන කෑගැහුවා.

සුදුබේබිගෙ විලාපෙත් එක්කම ඉස්සෙල්ලාම කාමරේට දුවං ආවෙ නේත්‍ර.ඒ චුට්ටං කකුල් දෙකට පුලුවන් උපරිම ජවය අරගෙන විදුලි වේගෙන් කාමරේට දුවං ආව නේත්‍ර ඊලගට මහ හයියෙන් කෑගැහුවෙ බිම පෙරලෙන සුදුබේබිව දැකලා.

"දෙයියෝ සුදුබේබි!!! අනේ ලොකු මැණිකේ......ලොකු මැණිකේ......"

ඒ වෙද්දිනුත් ටෝච් එකක් අතට අරගත්තු ලොකු මැණිකෙ හිටියෙ සුදුබේබිගෙ කාමරේ දොරකඩ.කාමරේ ඇතුලට දුවං ආව ලොකු මැණිකෙ සුදුබේබිව නැගිට්ටවලා ටෝච් එලිය සුදුබේබි අතින් වහං හිටි තොල් දෙක දිහාවට එල්ල කලා.ඒ ආවෙ ලොකු මැණිකෙගෙ කෑ ගැහීමේ වාරෙ.

"අපේ මහත්තයා....අපේ මහත්තයා....අනේ එන්නකො....සුදු පුතාගෙ කට ඉවරයි!!!"

අන්තිමේ හැමෝම සන්සුන් වුණේ මහ මුදියන්සෙ කාමරේට ආවට පස්සෙ.මේ මහ රෑ ඉස්පිරිතාල ගානෙ එක්කන් යන්නත් අමාරු නිසා මහ මුදියන්සෙගෙ පැමිණීමත් එක්ක නේත්‍ර කාමරේ දොර අස්සට වහං වුණේ මහ මුදියන්සෙට තිබ්බ බය නිසාමයි.මහ මුදියන්සෙගෙ නියෝගෙකින් මැනුවෙල් වලව් වත්තෙන් අරං ආව කෝමාරිකා කෑල්ලෙ මදේ අරගෙන සුදුබේබිගෙ තොල් වල ගෑව ලොකු මැණිකෙ නිර්මලා අරං ආව සිග්නල් ටූත් පේස්ට් එකෙන් සුදුබේබිගෙ තොල් දෙක ආවරණය කලා.

පෙනඩෝල් දෙකකුත් කෝකටත් කියලා පෙව්ව සුදුබේබිගෙ වේදනාව අඩු වෙනවා දැනෙනවත් එක්කම සුදුබේබිව ඇදෙන් ඇල කෙරෙව්ව ලොකු මැණිකෙ මහ මුදියන්සෙ එක්ක කාමරෙන් පිට වුණේ දොර අස්සෙ හැංගිලා ඉන්න නේත්‍රට සුදුබේබිව පෙන්නන ගමන්.

ලොකු මැණිකෙ දොරත් වහගෙනම කාමරෙන් එලියට යද්දි සුදුබේබි ලගට ගිය නේත්‍ර සුදුබේබිව බදාගෙන මහ හයියෙන් අඩන්න ගත්තා.තමන්ගෙ සුදුබේබි මොන තරම් නම් වේදනාවකින් ඉන්නවද කියලා හිතන හිතන වාරයක් ගානෙ නේත්‍රගෙ ඉකිය වැඩි වුණා.අන්තිමේ හරියට කතා කරගන්නත් බැරි සුදුබේබිට උනේ නේත්‍රව තමන්ගෙ තුරුලට අරං හැමදාම වගේ නලවන්න.නේත්‍ර සන්සුන් වුණාට පස්සෙ සුදුබේබිගෙ ඇද උඩින්ම ඉදගෙන සුදුබේබිගෙ තොල් වලට පිඹින්න ගත්තා.

එදා සුදුබේබිට නින්ද යනකංම සුදුබේබිගෙ තොල් වලට තමන්ගෙ හීතල හුස්ම පිඹ පිඹ සුදුබේබිගෙ ඔලුව අතගගා උන්නු නේත්‍රට එහෙම්මම සුදුබේබිගෙ පපුව උඩම නින්ද ගිහින් තිබුණා.

* * * * *

"අම්මෝ එදා නම් සෑහෙන්න රිදුනා නේත්‍ර මට"

"මට මතකයි සුදු අයියෙ.සුදු අයියගෙ තොල් හම ගිහින් වගේ තිබ්බෙ"

"මතකද අර ටීචර් කෙනෙක් කිවා මගෙ කට කැත නිසා සිංදුව කියන්න එයාගෙ ලමයව දාමු කියල"

"හොද වෙලාවට මියුසික් ටීචර් කිව්වෙ සුදු අයියගෙ තොල් දෙකනෙ පිච්චුණේ.කටහඩ තාම ලස්සනට තියෙනවනෙ කියලා"

"මතකද ඊට පස්සෙ තොල් දෙකම කළු පාට තුවාල පොතු වලින් වැහුණා"

"ඊලග දවසෙ උදේම බේත් ගත්තු නිසා පැසෙව්වෙ නෑ හොද වෙලාවට.ඒත්....."

"ම්ම්ම්ම්?"

"සුදු අයියගෙ තද රෝස පාටට තිබ්බ තොල් දෙක ටිකක් අදුරු පාට වුණේ ඒකෙන් පස්සෙ"

"තුවාලෙ ඔක්කොම පොතු ගිහින් තුවාල හොද උණාට පස්සෙ අදුරු වෙලා තමා තිබ්බෙ තොල් දෙක.......නේත්‍රට මතකයි නේද?"

"ම්.....මොකද්ද සුදු අයියෙ?"

"මගෙ තොල් වල පාට පවා"

"ම්.....ම.....මම ගෙදර යන්නෝනි සුදු අයියෙ.වැඩ වගේකුත් තියේ"

ආශව ඇහුව ප්‍රශ්නෙත් එක්ක මූණ රතු කරගත්තු නේත්‍ර බිමින් නැගිටලා කාමරෙන් එලියට දුවන්න හැදුවත් නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව නේත්‍රව ඇදලා ගත්තු ඇදලා ගැනිල්ලට නේත්‍ර නැවතුනේ ආශවගෙ ඇද උඩ ඉන්දවිලා.ඇද උඩ ඉන්දවුණු නේත්‍රගෙ අතින් අල්ලලා තව ටිකක් තමන්ගෙ ලගට ගත්ත ආශව එහෙම්මම පාත් වුණේ නේත්‍රගෙ කන් පෙති වලට.

"නේත්‍ර අද මාත් එක්ක ඉන්නකො.........හෙට සෙනසුරාදානෙ"

"ව්...වැඩ තියේ සුදු අයියෙ.ඉස්කෝලෙන් දුන්නු"

"හ්ම්ම්....දැන් අපි දුරස් වගේ නේත්‍ර.ඒකයි මම......ආහ්හ්හ්හ්......ඕනි නෑ ඒවා.නේත්‍ර දැන් යන්න.හෙට හවසට එන්න පාඩම් අහගන්න එහෙනම්"

"ය්......යන්නම් සුදු අයියෙ මම.සුදු අයියට අමාරුවක් උනොත්?"

"මම මම ගැන බලාගන්නම් නේත්‍ර.ඔයා යන්න!!!"

ආශව හිතේ අමාරුවටත් එක්ක කියද්දි නේත්‍ර කලේ කදුළු පිරුණු ඇස් දෙකකින් ආශව දිහා බලන් හිටිය එක.නේත්‍රගෙ හිත හරි නොසන්සුන්.ඉස්සර සුදුබේබි එක්ක කොච්චර එකට තුරුල් වෙලා නිදාගත්තත් දැන් සුදු අයියා එක්ක නිදාගන්නවා කියන එක ඇහුණත් නේත්‍රගෙ හිත නොසන්සුන් වෙනවා.ඒ දේ වෙන්නෙ තමන්ට විතරයි කියලා හිතාගෙන හිටි නේත්‍රගෙ හිත තව තවත් හැගීම් වලින් අසරණ වෙද්දි තමන්ගෙ පිටුපාලා ඇදේ නිදන් ඉන්න ආශව දිහා බැලුව නේත්‍ර හෙමින් අඩි තිය තිය කාමරෙන් එලියට ඇදුණා.

වලව්වෙ ලයිට් පවා නිවුණට පස්සෙත් ආශවගෙ ඇස් තිබ්බෙ විවෘත වෙලා.ආශව මොකක්ම හරි දෙයක් බලාපොරොත්තුවෙන් හිටියා.ටික වෙලාවක් යද්දි කාමරේ දොර හෙමීට විවර වෙනවත් එක්කම ආශවගෙ නහයට දැනුනෙ හුරු පුරුදු ගැටපිච්ච මල් සුවද.

ඒත් එක්කම ඇස් දෙකත් පියාගෙන නිදි වගේ රංගනේක නිරත වුණු ආශවට දැනුනා මොකක් හරි දෙයක් බිම දාලා නේත්‍රත් බිමම ඇලවුණා කියලා.විනාඩි 10ක් විතර හිටි ඉරියව්වෙන්ම නොසෙල්වී හිටිය ආශව හෙමිහිට ඇදේ කොනට රෝල් වෙලා බැලුවෙ ඇද පාමුල.

පැදුරක් එලාගෙන ඒක උඩ නිදාගෙන හිටි නේත්‍ර ගුලි වෙලා හිටියෙ චීත්ත රෙද්දක් ඇතුලට.නේත්‍ර දිහා බලාගෙන හිටි ආශව තව ටිකක් වෙලා යනකං හිටියෙ නේත්‍ර තද නින්දකට වැටෙනකං.

...................................................................................................

"එතකොට ලබන මාසෙත O/L ඔයාලට?"

"යෙස්"

"ඊට පස්සෙ ඔයාලා ආතල් එකේ ඉන්නවා?"

"ටික දවසනෙ දිවාෂ මල්ලි.ඒත් එක්කම අපි A/L ක්ලාස් යන්න පටන් ගන්න එපායෑ."

සති දෙකකට විතර පස්සෙ අද උදේ වරුවෙම කොල්ලො හතර දෙනා එකතු වෙලා හිටියෙ එයාලගෙ පුරුදු ලාවුළු ගහ යටට.අවුරුදු ගාණක් ගියත් ඒ තැන තවම වෙනස් නොවී තිබුනෙ මේ හැම තැනක්ම වලව්වට අයිති දේපල නිසා.

ගහ කොලන් කපනවට වැඩි ඇල්මක් නොදැක්කුව මහ මුදියන්සෙ තමන්ට අයිති ඉඩකඩම් වල කැලෑවල් වැවෙන්න ඉඩ දුන්නෙ ඔව්වා තව අවුරුදු කීපයක් යද්දි සෑහෙන්න ලොකු වටිනාකමක් ලබාගන්න පුළුවන් ඉඩම් කියලා දැනන් හිටි නිසා.ඉතින් ඒ නිසාම මහ මුදියන්සෙ වලව්වෙ වත්ත පහල ලදු කැලෑ කෑල්ලෙ වල් පැල,වල් පදුරු වගේ දේවල් ඉදලා හිටලා එලි පෙහෙලි කලා මිසක් ගස් කොලන් කපන්න ගියේ නැහැ.

දිවාෂයි දෙවිනුයි දෙන්නා කතා කරන අස්සෙ නේත්‍ර හිටියෙනම් ලොකු කල්පනාවක.ඊයෙ තමන් නිදාගන්න යද්දිත් ආශව තද නින්දෙ උන්නනම්,තමන් බිමින් නිදාගත්තා කියලත් හොදටම විශ්වාස නම් උදේ ඇහැරෙද්දි තමන් ආශවගෙ අත් අස්සට තද වෙලා ඒ ඇද උඩ හිටියෙ කොහොමද කියලා නේත්‍රට හිතාගන්න බැරි වුණා.ඒ ලෝකෙ හිටිය නේත්‍රගෙ අවධානෙ බිදුනෙ දිවාෂගෙ කටහඩින්.

"නේත්‍ර,හෙට ඩ්‍රාමා ප්‍රැක්ටිකල් ගන්නවා කිව්වා නේද term test එකට?"

"ඕ දිවාෂ.ගන්නවා කිව්වා"

එහෙම්මම නේත්‍රගෙයි,දිවාෂගෙයි,දෙවින්ගෙයි සංවාදෙ ඇදිලා යද්දි රත් මල් තුන හතරක් නේත්‍රගෙ කනේ රැදෙව්ව ආශව තමන්ගෙ ජංගම දුරකතනෙන් නේත්‍රගෙ පොටෝ ගන්න රාජකාරිය එක්ක කාර්‍යබහුල වෙලා හිටියා.ඉස්සර නේත්‍රගෙ කන උඩ රාජපොහොට්ටු රැදෙව්ව සුදුබේබිගෙයි,දැන් මෙතන ඉන්න ආශවගෙයි කිසිම වෙනසක් නැති උනාට,එදා කිසි ගාණක් නැතුව සුදුබේබිට කරන දෙයක් කරගන්න ඉඩ දීලා හිටි නේත්‍රගෙයි,අද මෙතන ඉන්න තද රතු පාටට හැරිලා ලැජ්ජාවෙන් පිපිරෙන්න ඉන්න නේත්‍රගෙයි නම් ලොකු වෙනසක් තියෙනවා කියලා දෙවින්ට තේරුණා.

"දැන් ඔච්චර නේත්‍රගෙ පොටෝ ගහන්නෙ ඇයි උබ?"

"මගෙ private collection එකට දාගන්න"

ආශවගෙ උත්තරෙත් එක්ක දෙවින් හිනා වෙලා ඔලුව දෙපැත්තට වනද්දි දිවාෂට එකපාරටම ලොකු කැස්සක් ආවා.දිවාෂ දිහා රවලා බැලුව ආශව බිමින් නැගිටලා තමන්ගෙ අත් දෙකෙන් පස්ස පිහිදාලා නේත්‍රවත් නැගිට්ටවගත්තා.

"අපි යං නේහ්? සර් එයි නේහ් තව ටිකකින්"

ආශවට ol වෙනුවෙන් කවදාවත් අමතර පන්තියකට යන්න කියලා ගෙදරින් එලියට බහින්න ඕනි වුණේ නැහැ.ලොකු මැණිකෙගෙ මැදිහත් වීමෙන් මහ මුදියන්සෙ ඒ අදාල විශයන් වලට නුවර ඉන්න හොදම ගුරුවරුන්ව Hire කරද්දි ආශව උපරිම නිදහසේ ඉගෙන ගත්තා.

ප්‍රැක්ටිස් ඉවර කරලා ගෙදර එන ආශවට ආපහු පන්තිත් දුවන්න බෑ කියලා ලොකු මැණිකෙට තේරුනු නිසා ලොකු මැණිකෙ මේ දේ කරන්න තීරණය කලා වගේම වලව් පැලැන්තියෙම පුතෙක් වුනු දෙවින්ටත් ඒ සදහා සහභාගී වෙන අවස්ථාව හම්බවුනා.ඉතින් දෙවිනුයි ආශවයි ගෙදරට වෙලා උපරිම සැප සහිතව ඉගෙන ගනිද්දි කොට දිවාෂනම් නාහෙන අඩ අඩ අම්මා එක්කන් යන පන්ති වලට ගියා.

ඒත් ඒ කිසිම දෙයක් කරන්න වත්කමක් නැති නේත්‍රට ඔහේ බලන් ඉන්න වෙනවා......ඒ ආශව නැත්තං.ඒත් නේත්‍රට ආශව එහෙම ඉන්න දෙයිද? නේත්‍රගෙ අමතර පන්ති ගුරුවරයා වුණේ ආශව.ආශව නේත්‍රට හැම අමාරු විශයකටම පන්ති කලා.නේත්‍රගෙ ගෙදර අරලිය ගහ යට,ආශවගෙ කාමරේ,පොඩ්ඩො හතර දෙනාගෙ සෙල්ලම් පිට්ටනියෙ ලාවුළු ගහ යට මේ අපූරු ගුරුතුමාගෙයි ගෝලයගෙයි පන්ති පැවැත්තෙන ස්ථාන වුණා.

සමහර දවස් වලට දෙවිනුත් ඒ දේට උදව් කලා.ඉතින් පන්ති නොගියා කියලා නේත්‍රය ගැටලුවක් වුණේ නැහැ.එකක් නේත්‍ර අති දක්ෂ ලමයෙක් වුණු එක.අනික් දේ තමයි නේත්‍රගෙ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ හිටිය ආශව.ඉතින් ආශව නේත්‍රට වැටෙන්න දෙන්නෙ නැහැ.කොහෙත්ම!

"Ol ඉවර උනාමද?"

"හ්ම්ම්........"

"එහෙනම් ලගයි.යෙස් යකෝ යෙස්"

"මට නෙවේ එයාට"

තමන් දෙන්නගෙ පිටිපස්සෙන් ඇවිදන් එන දෙවින්ගෙයි ආශවගෙයි රහස් කතාව ලොකු කයියක් දාගෙන හිටිය දිවාෂටයි නේත්‍රටයි ඇහුනෙනම් නැහැ.

.

.

.

.

.

"මොන අපරාදයක්ද අපේ මහත්තයා මේ වෙන්න යන්නෙ?"

"මට හිතාගන්නත් බෑ මැණිකෙ.නිශ්ශංකගෙ ඔලුව විකාර වෙලා මේ දවස් වල.එහෙන් විශාර මල්ලි....."

"විශාර කිව්වෙ අපේ මහත්තයා? නිශ්ශංක මහත්තයගෙ මල්ලිටද?"

"ඔව්.මල්ලි කියලා අපි යාලු කමට කිව්වට ඒකා අපිට වඩා සෑහෙන්න බාලයි.තාම අවුරුදු 30ක් වගේ මම හිතන්නෙ"

"එයාට මක් වෙලාලුද අපේ මහත්තයා?"

"ඒක නිශ්ශංකටවත් හිතාගන්න බෑලු අපේ මැණිකෙ.විශාර මේ ටිකේ කන්නෙවත් නෑලු හරියකට.සිහි කල්පනාවකුත් නෑ වගේලු.යකෙක් වැහිලා වගේ රැයක් දවාලක් නැතුව වැඩ වලට කිය කිය එහෙ මෙහෙ යන එකලුමලු වැඩේ"

"හොදට හිටිය මනුස්සයෙක්නෙ"

"ඔව් අපේ මැණිකෙ.සිංහවංශ මහ කුමාරිහාමි විශාරට මගුලක් කතා කරලනෙ"

"ඒ කාවද?"

"දිසානායක මුදලිලෑ වලව්වෙන්.එහෙ පොඩි දුවව.ඒ කෙල්ලටත් දැන් 30ට කිට්ටුලුනෙ.......ඒ කතාවෙන් පස්සෙලු මේ විශාරගෙ හැසිරීම අමුතු වෙලා තියෙන්නෙ"

"ඒ ගෑනු ලමයා මෙච්චර වයසක් වෙනකං ඉදල තියෙන්නෙ?"

"යෝජනා ඇවිල්ලා තියෙනවලු මැණිකෙ.ඒත් ඉතින් දිසානායක මුදලිකගෙ වංශෙට ගැලපෙන කොල්ලෙක් වෙන්න එපායෑ.නිකං එකෙක්ට කෙල්ලව දීලා හරි යනවයෑ."

"හ්ම්ම්ම්ම්ම්"

21 වෙනි ශතවර්ශෙ එලඹිලා තිබ්බත් ලංකාවෙ බහුතරය තවමත් මුල් බැහැගෙන හිටියෙ ගල් යුගෙයෙ.ඇත්තටම තාක්ෂණය දියුණු වුනාට මිනිස්සුන්ගෙ ආකල්ප,සිතුවිලි,හැසිරීම් තවමත් සෑහෙන්නම ගතානුගතික එකක් වුණා.නුවර ප්‍රභූ පැලැන්තියෙ ඉපදුණු මනුස්සයෙක් වුණු මහ මුදියන්සෙගෙ ඔලුවම මාන්නයෙන් පිරිලා තිබුනා.ඉතින් මහ මුදියන්සෙගෙන් මීට වඩා හොද හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි. මොකද ඒක ඒ මිනිස්සු උපන්දා ඉදලම හැදුනු විදිය.ලංකාවෙ සමහරක් මිනිස්සු හිතන  විදියවල් වෙනස් කරන්න මේ මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරන්න ඕනි.වෙන විකල්පයක් නැහැ!

"දැන් මම උනත් අපේ මැණිකෙ,අපේ සුදු පුතාට ඒ කාලෙට  හොයන්නෙ උගත්,රූමත්,වැදගත් පවුල් පෙලපතක් තියෙන කෙල්ලෙක්ව.ඔය තුනෙන් එකහ් හරි අඩු වුණොත් මම ඒකට අකමැති වෙනවා"

"දරුවම දවසක කෙනෙක්ව හදුන්වලා දුන්නොත්"

"අර ටික බලනවා මැනිකෙ"

"න්......නිකමට හරි ඒ දේවල් එකක් හරි නැත්තං"

"හ්ම්ම්........මැණිකෙ දන්නවනෙ මට නම්බුවට වඩා වටින දෙයක් නැහැ කියලා"

...................................................................................................

හායිම්🙈❤️

Words 2900+

ඉතින් බබාලා කතාව ගැන දැනුනු දේ කියාගෙන යන්න.

මම මේක ලියන්නෙ හුගාක ආසාවෙන්.ඉතින් මම ඒ නිසාම් කතාව ගැන සෑහෙන්න හිතනවා🥺 ඒ නිසයි මම අහන්නෙ හැම වෙලේම මේක කැතද අරකයි මේකයි............

ඔයාලගෙ වෝට්ස් වලට තැම්කූ🥺❤️

කමෙන්ට්ස් වලට අම්මෝ......ගොඩාරියක් තැන්ක්‍යු😭❤️ මම මාරම සතුටකින් කමෙන්ට්ස් කියවන්නෙ.......

ගියපාර කමෙන්ට්ස් ටිකටනම් රිප්ලයි කරගත්තා මම🥺❤️ මම එහෙම පුළුවන් හැම වෙලේකම රිප්ලයි කරනවා බබාලා හරිද❤️

එහෙනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter