Back
Chapter 4

03 කොටස🤍✨️

නිවාලන්න මා...

"සුදු බේබි,නැගිටින්න සුදු බේබි........"

හරියටම උදේ හයට සුදු බේබි කාමරයට ආපු සුමනා කිරි එකත් සුදු බේබිගේ කාමරේ තිබ්බ පොඩි ස්ටූල් එක උඩින් තියලා සුදු බේබිව ඇහැරවන්න උත්සහ ගනිමින් හිටියා.රෑ දෙගොඩහරි ජාමයක් වෙනකන් නේත්‍රත් එක්ක දඟලලා දඟලලා අන්තිමට නේත්‍රවත් බදාගෙන වලව්වෙ විසාල ඉස්තෝප්පුවෙ අස්සක නින්ද ගිහින් හිටපු සුදු බේබිව වලව්වෙ වැඩ කරන මැනුවෙලුයි,සුමනායි හොයාගද්දි රෑ දහයත් පහු වෙලා තිබ්බා.දාඩියත් පෙරාගෙන දවාලෙ ඉදලා නටපුවෑ ප්‍රතිඵල ඉදියට සුදුබේබි ගාවයි නේත්‍ර ගාවයි ආවෙ දරාගන්න බැරි අමුතු ගදක්.ඇයි ඉතින් වත්තෙ පෙරලිලා ගාගත්තු මඩයි,එහෙ මෙහෙ දුවන ගමන් කාපු කෑම වලින් ඇදුමට පෙරුනු ඒවයි,ශරීරෙන් උනපු දාඩියයි නිසා දෙන්නගෙ ඇදුම් තෙත්වෙලා තිබ්බා.

නිර්මලාගෙන් පස්සට එකක් කාපු නේත්‍රට උනේ ඒ මහ රෑම වත්ත පහල තිබ්බ ලිදට ගිහින් නිර්මලාගෙන් බැනුම් අහ අහ ඇග සෝදගන්න.හීතලේ ඇග සෝදන්න බෑ කියලා කෑගහන නේත්‍රගෙ සද්දෙ වලව් වත්තට ඇහෙද්දි වත්තෙ කොනකට වෙලා අහස දිහා බලන් ඉදපු ලොකු මැණිකෙගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා.නේත්‍රව වගේ ඇග සෝදවන්න කවුරුත් නොයිදපු සුදු බේබි ඒ රෑ සුමනා රත් කරලා දීපු වතුර එක මැනුවෙල්ට කියලා තමන්ගෙ නාන කාමරේට අද්දවගෙන සනීපෙට ඇග සෝදගත්තෙ කණමරගාතෙන්මයි.

"ම්ම්හ්හ්හ්හ්"

ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඈලි මෑලි කඩන සුදුබේබිව දැක්ක සුමනා විටකාලා කහට මැදිලා තිබ්බ තමන්ගෙ දත් ඇන්දම එලියට දාන ගමන් සුදු බේබි එක්ක හිනා වුනා.

"සුභ උදෑසනක් වේවා සුදු බේබි"

"නේත්‍ර කෝ?"

සුමනට අනික් අතට සුභපතන්නෙවත් නැතුව සුදුබේබි නේත්‍ර ගැන අහද්දි සුමනට තේරුම් ගියේ සුදුබේබි ඊයෙ රාත්තිරියෙ ඇගපත සෝදන් තියෙන්නෙත් මෙලෝ සිහියකින් නෙවෙයි කියලා.තාම සුදුබේබිගෙ මනස තියෙන්නෙ ඉස්තෝප්පුව අස්සෙ කියලා.

"හිච්චි එකා ඊයෙ රාත්තිරියෙම උගෙ ගෙදරට අපි දොක්කන් ගියානෙ සුදුබේබි.ඇයි ඊයෙ සුදු බේබි රාත්තිරියෙ ඇගපත සෝදගත්තෙ? කල්පනා නැද්ද?"

සුමනා අහද්දි ඇද උඩ එරමිණියා ගොතාගෙන ඔලුව කහ කහ උන්නු සුදුබේබිගෙ ඇස් දෙක ටිකක් ලොකු උනා.හරියට මොකක් හරි මතක් වුනා වගේ.

"ඔව්නෙ සුමනා.......ඊයේ නේත්‍ර ගෙදර ගියානෙ.මට අමතක වුනා.සුභ උදෑසනක් සුමනා"

සුමනා එක්ක ලාවට හිනාවුනු සුදුබේබි ඇද ලග තිබුනු ස්ටූල් එක උඩ තියලා තිබ්බ කිරි වීදුරුව අරන් බොන්න පටන් ගත්තා.කිරි වීදුරුව බොන ගමන් පුරුද්දට වගේ කාමරේ කවුළුව ලගට ගිය සුදුබේබි එතනින් එපිටට තමන්ගෙ ඇස් දෙක යොමු කලා.සුදුබේබිලගෙ ගම්මානෙම වට වෙලා තියෙන ඒ සුන්දර කදුපන්තිය අදත් මීදුමෙන් වැහිලා ගිහින් තිබුනා.කොහොමත් උදේ නවය විතර වෙනකං ඔය මීදුම තුරන් වෙන්නෙ නෑ කියලා ඕනිම කෙනෙක් දැනන් උන්නා.සීත දවස් වලට ඊටත් හපන්.ඒ කියන්නෙ වැහි කාලෙට වගේ.එතකොට ඉතින් ඔය මීදුම් වලාව දවස පුරාම එහෙ මෙහෙ සක්මන් කරනවා.

හැබැයි දන්න කියන කාලෙ ඉදන්ම සුදු බේබි බීරිම කියන කාලගුණේට හුගක් ආදරේ කලා.කොලඹ හිටපු කාලෙ උනත් බීරිම් ගතියක් තියෙන දවස් වලට සුදුබේබි හිටියෙ හරි සන්තෝසෙන්.පුංචි එකෙක් උනත් සුදුබේබිගෙ හදවතට ඒ කාලගුණේ හරි සමීප එකක් වුණා.කාලෙකින් නුවර බීරිමට අහු නොවිච්ච සුදුබේබි බලාගෙනම හිටියෙ නුවරටත් ඉක්මනටම බීරිම් ගතියක් එනකං.දවස පුරාම නුවර වෙලාගෙන ඉන්න බීරිමක් තමා සුදු බේබිට ඕනි වුනේ.

"ශෝහ්හ්හ්හ් ශෝහ්හ්හ්හ්හ්"

ඈත තිබ්බ කදු වලල්ලට අවධානෙ දීගෙන හිටපු සුදුබේබිගෙ අවධානෙ බිදුනෙ පල්ලෙහායින් ඇහුනු සද්දෙකට.ඊයෙ මහරෑ වෙනකං දැගලුව ඒවගෙ ගාණක්වත් නෑ වගේ නිල්පාට කොට කලිසමකට සුදු බැනියමක් ඇදගෙන හිටපු නේත්‍ර වලව් වත්තෙ තිබ්බ අඹ ගස්වලට වහන කුරුල්ලො එලව එලව හිටියා.උඩ තට්ටුවෙ ඉදලා බලද්දි නේත්‍රව අගුටුමිට්ටෙක් වගේ පෙනුනු නිසා සුදුබේබිට මහ හයියෙන් හිනා ගියා.ඒත් එක්කම තමන් කොලඹ ඉද්දි දෙවින් තෙවින් දෙන්නා එක්ක බැලුව කාටූන් එකක හිටිය චරිතයක් මතක් වුනු සුදුබේබිගෙ හිනාව තවත් වැඩි වුණා.

"The Smurfs එකේ Clumsy වගේ"

"සුදු බේබි?"

සුමනගෙ කටහඩින් පියවි සිහියට ආව සුදුබේබි හැරිලා බලද්දි සුදුබේබි නිදන් හිටිය ඇද අස් කරලා,කාමරේ අතුපතු ගාලා දාපු සුමනා කාමරේ දොරකඩ ලග හිටන් හිටියෙ පිට වෙලා යන්න සූදානමින් වගේ.

"ආ......"

හිස් වීදුරුව සුමනගෙ අතින් තිබ්බ සුදුබේබි එහෙම්මම නාන කාමරේට රිංගගත්තෙ දතකට මැදගෙන ඇගපත සෝදගෙන ඉක්මනටම නේත්‍ර ලගට දුවන්න තිබ්බ ඕනිකමට.විනාඩි දහයක් වගේ කාලයක් ඇතුලත සුදි වෙලා,ඇදුමකුත් දාගත්තු සුදුබේබි ඊයෙ මැනුවෙල්ට කියලා ගෙන්නගත්තු ඕඩිකොලොන් බෝතලෙන් සෑහෙන ප්‍රමාණයක් අතට හලාගෙන ඔලුවෙයි,ඇදුම්වලයි ගාගෙන පල්ලෙහට දිව්වා.

"නේත්‍ර"

"සුදුබේබි"

නේත්‍ර ලගට හීයක වේගෙන් දුවන් ගිය සුදු බේබි අත් දෙකෙන්ම නේත්‍රව තදකරලා බදාගනිද්දි සුදුබේබිගෙ හයියෙ තරම නිසා හුස්ම ගන්න බැරි වුනු නේත්‍ර සුදුබේබිගෙ වැලමිටකට හයියෙන් තට්ටු දැම්මා.

"හුම්ම ගල්ල බෑ හුදුපේපි"

නේත්‍රව අතෑරලා දාපු සුදුබේබි නේත්‍රගෙ අතිනුත් අල්ලන් වලව් වත්තෙ තිබ්බ එයාගෙ සුපුරුදු ගල්බැම්ම උඩ ඉදගද්දි පුරුදු පරිදි නේත්‍ර සුදුබේබිගෙ පයපාමුල ඉදගෙන එරමිණියා ගොතාගත්තා.ඈතින් පේන කදු වලල්ල අස්සෙන් ඉර පායගෙන එන දර්ශනේ දැක්ක සුදුබේබි ඒක නේත්‍රටත් පෙන්නන්න හදද්දි නේත්‍ර කර කර හිටපු දේ නිසා සුදු බේබිගෙ මූණත් එක්ක බෙරි වුනා.

"සුදු බේබිත් කනවද?"

කට ඇතුලෙ එක නස්නාරමක් පොඩි වෙද්දි,සුද්ධ කර කර හිටපු නස්නාරම සුදුබේබිගෙ පැත්තට දික් කරපු නේත්‍ර ඇහුවා.උදේ පාන්දරම ඔය වගේ කෑම කන්න ලොකු ආසාවක් නැති සුදුබේබි මූණත් ඇඹුල් කරගෙන බලාගෙන හිටියෙ කිසි ගාණක් නැතුව අර හද්ද ඇඹුල් නාරම ඔහේ කන නේත්‍ර දිහා.ඕක දැන් සුදුබේබිට පුරුදු දසුනක් උනත් තාම ඒක නිවිසැනසිල්ල බලාගෙන ඉන්න පුළුවන්කමක් සුදුබේබිට තිබුනෙ නෑ.

"ඔව්වා උදේ පාන්දර ඔහොම කන්න හොද නෑ නේත්‍ර.....කිරි එකක්වත් බීලද ඉන්නෙ උදේට?"

"ඔව් සුදුබේබි,මම උදේම වලව්වට දුවන් එන්නෙත් ඒ නිසානෙ.මහ මුදියන්සෙටයි,ලොකු මැණිකෙටයි,සුදුබේබිටයි වීදුරු වලට පුරවලා ඉතුරු වුණු කිරි ටික යන්නෙ නේත්‍රගෙ බණ්ඩි ගෙඩියට තමා.මේ ඒක පිම්බිලා තියෙන්නෙත් ඒ නිසානෙ"

නේත්‍ර තමන්ගෙ බැනියම උස්සලා පිම්බිලා තිබ්බ බණ්ඩි ගෙඩියට ඇගිලි දෙකෙන් තට්ටුවක් දාලා පෙන්නද්දි සුදු බේබි පහලට නැවිලා නේත්‍රගෙ ඔලුව අතගෑවෙ සුදුබේබිගෙ පුංචි හිතම මහා ආදරේකින් පිරිලා යද්දි.ඒ හැගීම මොකද්ද? මොන වගේද කියලා තේරුම් ගන්න තරම් උවමනාවක් තිබ්බ වයසක නොයිදපු සුදුබේබි "නේත්‍ර තමන්ගෙ හොදම යාලුවා" කියන දේ හිතේ තදින්ම කොටාගනිද්දි,නේත්‍රගෙ නමින් දළු ලියලන මහා දයාබරත්වෙක වෘක්ෂයක් ඒ පුංචි හදවත ඇතුලෙ වැඩෙනවා කියලා සුදුබේබිට තේරුම් ගියේ නෑ.

"නේත්‍රට තව යාලුවො ඉන්නවද?"

හිතට ආපු මහා ආත්මාර්ථකාමී හැගීමක් නිසා සුදුබේබි අහද්දි නේත්‍ර හිනා වුනා.

"ඕ දිවාෂ කියලා යාලුවෙක් ඉන්නවා.එයා විතරයි මාත් එක්ක කතා කරන්නෙ.දිවාෂ හරි පොඩි........"

"නේත්‍ර එයා එක්ක තරහා වෙන්න"

නේත්‍ර කියවගෙන යන විස්තරේට අකුල් හෙලපු සුදුබේබි නේත්‍රට කිව්ව දේ නිසා නේත්‍රගෙ ඇස් උඩ ගියා.ඉස්කෝල් හුගක් ලමයි තමන්ගෙ යාලුවො නොවෙද්දි රණ්ඩු වෙවී හරි තමන් ලග හිටිය යාලුවා දිවාෂ වෙනකොට නේත්‍ර කොහොම දිවාෂ එක්ක තරහා වෙන්නද? ඒත් මොන හේතුවකට හරි සුදු බේබිගෙ හිත රිද්දන්න බැරිකමකුත් නේත්‍රට දැනෙද්දි නේත්‍ර මුකුත්ම උත්තරයක් නොදී නිහඩ වුණා.

"නේත්‍ර ඒ යාලුවට හුගක් ආදරෙයිද?"

හිතේ නැගුනු ඉරිසියාව යටපත් කරගෙන සුදුබේබි අහපු ප්‍රශ්නෙට නේත්‍ර දුන්නු උත්තරේ එක්ක සුදුබේබිගෙ මූණට හිනාවක් ආවා.

"ආදරෙයි.හැබැයි සුදුබේබිට තරම් නෑ.දිවාෂ මාත් එක්ක රණ්ඩු වෙනවා.සුදුබේබි මා එක්ක රණ්ඩු වෙන්නෑනෙ.ඒනිසා මම දිවාෂට වඩා සුදුබේබිට ඩිංගිත්තක් වැඩිපුර ආදරෙයි"

නේත්‍රගෙ උත්තරෙත් එක්ක සතුටු හිතුනු සුදුබේබි එහෙම්මම පල්ලෙහාට නැවිලා නේත්‍රගෙ කම්මුල් දෙක හයියෙන් අල්ලල මිරිකුවා.මේ ටික දවසට නේත්‍රගෙ කම්මුල් මිරිකද්දි නේත්‍රගෙ මූණම රතු වෙන විදිය බලන් ඉන්න සුදුබේබි හරියට ආසා වෙලා තිබ්බා.

"දිවාෂ ඇයි නේත්‍රත් එක්ක රණ්ඩු වෙන්නෙ?"

"දිවාෂ ගේන හැම මකනයක්ම හරි සූදයි සුදුබේබි.මට ඒ වගේ මක්ක නෑනෙ ඉතින්.මට ඒ සූදවල් දරන්න බෑ.පලතුරු සූදවල්මයි එන්නෙ.මම ඉතින් දිවාෂගෙ මක්ක කනවා.රහ නැති උනාට සූදයිනෙ.ඒනිසා දිවාෂ මා එක්ක රණ්ඩු වෙනවා"

නේත්‍රගෙ කතාවට හිනා වුනු සුදුබේබි ආපහු පාර නේත්‍රගෙ කම්මුල් දෙක පොඩි කරලා දාලා හිතුවෙ එයා ලග තිබ්බ සුවද මකන දෙකෙන් එකක් නේත්‍රට දෙනවයි කියල.

මේ පොඩි උන් දෙන්නා මෙහෙම එකාට එකා වෙලීගෙන ඉන්න හැටි වලව්ව ඇතුලෙ හිටපු ඇස් හතරකට අහු වෙලා තිබ්බා.

"අපේ මැණිකෙම කියන්නකො.ඔය වගේ උන්ව ආස්‍රේ කලොත් සුදුපුතා නරක් වෙයි"

මහ මුදියන්සේ නේත්‍රත් එක්ක හිනාවෙවී කතා කරන තමන්ගෙ පුතණ්ඩියා දිහා බලන ගමන් ලොකු මැණිකෙට කියද්දි ලොකු මැණිකෙ කලෙ හිනාවක් පාපු එක.

"වලව්වෙ ඩ්‍රැයිවර් උන්නැහැ....ඒ ඉතින් අපේ මහත්තයගෙ හොදම යාලුවෙක්නෙ ඉස්සර ඉදපු.අදටත් ඒ මනුස්සයා ඔය විශ්වාසවන්තම විදියට අපේ මහත්තයට වැඩ කරන්නෙ.ඒ නිසා මම නම් හිතන්නෑ නේත්‍ර කොලුවගෙයි අපේ සුදුපුතාගෙයි යාලුකම ප්‍රශ්නයක් වෙයි කියලා"

"ඒත් අපේ මැණිකෙ එහෙම ඇයි හොදැයියක් තියාගන්න එක......."

"අපේ මහත්තයා විවේකෙන් ඉන්න වෙලාවක මම කියන දේ ගැන හිතලා බලන්නකො.නේත්‍ර කියන්නෙ ගෑනු දැරිවියෙක් උනානම් මම උනත් ඔය යාලුකමට මනාප වෙන එකක් නෑ.මොකද ගින්දරයි පුලුනුයි එක තැන තියන්න බැරි වග මම දන්න නිසා.ඒත් ඒකා කොල්ලෙක්නෙ.ඉතින් ඒකා අපේ සුදුපුතා එක්ක එකට ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයි හොදක් වෙයි කියලයි මට හිතෙන්නෙ"

"හ්ම්ම් හ්ම්ම්........අපි බලමුකො මැණිකෙ.ඒක නෙවෙයි...අපේ එකා අඩව් අල්ලනවනෙ මෙහෙ ඉස්කෝලෙකට යන්න බැරිය,කොලඹ ඉස්කෝලෙටම යන්න ඕනෑය කියලා"

මහමුදියන්සේගේ කලබලකාරී මූණ දිහා බැලුව ලොකු මැණිකෙ පුරුදු විදියටම සන්සුන් හිනාවක් පෑවා.

"අන්න ඒකයි අපේ මහත්තයා මම කිව්වෙ නේත්‍ර කොලුවාගෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවා කියල"

...................................................................................................

"සුදුපුතා ඔය කොහෙද දුවන්නේ?"

"නේත්‍රලෑ දිහෑ ගිහින් එන්නම් අප්පච්චි"

"හරි සුදුපුතා පරිස්සමින්.කොලුවො,සුදුබේබිව පරිස්සමින් එක්කන් ගිහින් එක්කන් එන්න ඕනි තේරුනාද?"

"හොදමයි මහ මුදියන්සේ"

මහ මුදියන්සෙගෙනුත් අවසර ගත්තු සුදුබේබියි නේත්‍රයි දෙන්නා එහෙම්මම වලව් වත්තෙ තිබ්බ ගල් බැම්මෙ අවසාන හරියෙන් පටන් ගන්න පොඩි අඩිපාර දිහාට දුවලා ගියා.සුදුබේබි වලව්වට ආවත් හරි,වලව්වෙන් පිටයන පලවෙනි වතාව මේක නිසා සුදුබේබි හිටියෙ හරි සන්තෝසෙන්.පයට මෙලෝ මගුලක් දාගන්නෙ නැතුව ඔහේ අඩිපාර දිගේ ඇවිදින නේත්‍රගෙ නිරුවත් දෙපා දිහා බැලුව සුදුබේබි ඒත් එක්කම තමන්ගෙ රබර් සෙරෙප්පු වලින් ආවරණය වෙලා තිබ්බ කකුල් දෙක දිහා බලලා නේත්‍රට කතා කලා.

"නේත්‍රට රිදෙන්නෑ?"

"ඈහ්?"

"ඔය සෙරෙප්පු දාන්නෙ නැතුව ඇවිදිද්දි,ගල් ඇනෙනවා කටු ඇනෙනවා......රිදෙන්නෙ නැද්ද නේත්‍රට?"

"අනේ නෑ සුදුබේබි.මතක ඇති කාලෙක ඉදන්ම මම සෙරෙප්පු දැම්මෙ ඉස්කෝලෙ යන්න විතරනෙ.මෙහෙම ඇවිදින එක හරි හූරුයි මට."

"ඒත් ආයෙ එහෙම ඇවිදින්න එපා.මම මගෙ සෙරෙප්පු දෙකක් නේත්‍රට දෙන්නම්"

"අනේ එහෙම ඕන්නෑ සුදුබේබි"

"නේත්‍ර මම කියන දේ අහන්නකො.මමනෙ කියන්නෙ"

සුදුබේබිගෙ කටහඩේ තිබ්බ සද්දෙත් එක්ක නේත්‍ර එහෙම්මම කට පියාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා.මොකද මේ ගතකරපු දවස් කීපෙට නේත්‍ර දැනන් හිටියා සුදුබේබි එක්ක තර්ක කරලා තමන්ට දිනන්න බෑ කියන එක.ටිකවෙලාවක් නිහඩව ඉදපු නේත්‍ර ආපහු පාරක් හයියෙන් කෑගැහුවෙ එයාට පිටිපස්සෙන් පාඩුවෙ වටපිටේ සිරිනරඹ නරඹ ආපු සුදුබේබිවත් ගස්සලා.

"මගේ නස්නාරං ගස් ටික"

නේත්‍ර කෑගහගෙන ගිය පැත්ත බලපු සුදුබේබි දැක්කෙ එක ගොල්ලට හැදිලා තිබ්බ නස් නාරං ගස් වගයක්.කරුවක් තිබ්බ ගස් අත්තකින් හදාගෙන තිබ්බ කෙක්කක් වගේ යමක් එක ගහකට හේත්තු කරලා තිබ්බා සුදුබේබි දැක්කා.ඒක අතට ගත්තු නේත්‍ර එක ගහකින් නස්නාරං ගෙඩි පහ හයක් කඩාගෙන ආපහු සුදුබේබි ලගට දුවන් ආවා.

"සුදුබේබිටත් ගෙඩියක් දෙන්නම්?"

"ගෙඩියක්ම එපා නේත්‍ර.ඔයා කන එකකින් බිකක් දෙකක් දෙන්නකො.මට ඔයා කන තරම් ඕවා කන්න බෑ."

නේත්‍රත් එක්ක කියෝ කියෝ ආපු සුදුබේබි නොදැනුවත්වම නේත්‍රලා ජීවත් වෙන පුංචි ගෙදරට ඇවිල්ලා තිබ්බා.වලව්වට අයිති අක්කර ගාණක ඉඩමෙම පැත්තක හදලා තිබ්බ නේත්‍රලාගෙ ගෙදර පුංචි උනත් හරි ලස්සන එකක් වුනා.සුදු පාටින්ම පිරියම් කරලා තිබ්බ ගෙදර ඉස්සරහ තිබ්බ අරලිය ගහේ මලුත් සුදුපාට නිසා මුලු ගේ වත්තෙම තිබ්බෙ හරි අමුතු පිං පාටක්.අරලිය ගහ යට තිබුනු බංකුව උඩ සුදුබේබි ගිහින් ඉදගද්දි නේත්‍ර ඇස් දෙකත් ලොකු කරගෙන සුදුබේබි දිහා බලන් උන්නා.

"ඇයි නේත්‍ර?"

"සුදු බේබි ඕවයේ ඉදගන්නෙ? අපේ අම්මා ආවොත් මට කන්න වෙන්නෙ ගුටි.ගේ ඇතුලෙ සුදුබේබිලෑ වලව්වෙන් මහතැන් කෙනෙක් ආවොත් ඉදගන්න දෙන්න වෙනම පුටුවක් තියේ.එන්න.ඒකෙන් ඉදගන්නකො"

කෝච්චියක් වගේ කියෝගෙන කියෝගෙන යන නේත්‍ර දිහා බලන් හිටපු සුදුබේබි හිනා වුනා.

"දෙවින් තෙවින් දෙන්නා,එයාලගෙ අම්මා අප්පච්චි දෙන්නා,මම අපි හැමෝම එහෙ ඉදගත්තෙ එකම ජාතියෙ පුටුවල නේත්‍ර.අපි දෙන්නා යාලුවොනෙ ඉතින් දැන්.ඒ හන්දා මටත් පුලුවනි ඔයා ඉදගන්න තැන්වලම ඉදගන්න"

සුදු බේබි කියන දේ වැරැද්දක් නෑ කියලා හිතපු නේත්‍රත් හිනාවෙවී සුදුබේබි දිහා බලන් හිටියා.පුංචි දරුවො තමන් දකින දේ,තමන්ට දැනෙන දේ ආදියෙන් හොද නරක තීරණේ කරනවා මිසක වැඩිහිටියො වගේ මවාගත්තු නිර්ණායක වලින්,මවාගත්තු සම්මත වලින් හොද නරක තීරණේ කරන්න යන්නෙ නෑ.ඉතින් සුදුබේබිත් තමන් ඉන්න ඕනි විදිය ගැන තමන් අවුරුදු ගාණක් ඉදපු තැනේ වුනු සිද්ධි වලින් තීරණේ කරද්දි,නේත්‍රත් සුදුබේබි කිව්ව දේ ඇතුලෙ වරදක් තිබ්බ බවක් නොදැක්ක නිසා ඒක හරී කියලා තීරණේ කලා.

"සුදුබේබි ඕම ඉන්නකො.අම්මා යන්නැති ඇදුම් ටික කඩවල් වලට දාන්න.මම ගිහින් කුරුම්බා ගෙඩියක් ඇරන් එන්නම් සුදුබේබිට බොන්න.ඊයෙ හවස අපේ දිහෑට කුරුම්බා වගයක් හම්බෙලා තිබුනා"

සුදුබේබිට කියන ගමන් ගේඇතුලට දිව්ව නේත්‍ර නොපෙනිලා යනකන් බලන් හිටිය සුදුබේබි ආපහු පාරක් ඒ වත්තට තමන්ගෙ ඇස් දෙක යොමු කලා.ගාණට තනකොල ටික කපලා,ලස්සනට අතුපතු ගාලා තිබ්බ ඒ ගෙවත්තෙ පැත්තකට වෙන්න මල්පාත්ති වගේකුත් හදලා තිබ්බා.රෝස මල්,දාස්පෙතියා මල්,කූඩලු මල් එක්කම වලව්වත්තෙ තියෙනවා වගේ විල්ලුද පැල වලිනුත් ඒ පාත්ති සැරසිලා තිබුනා.

නේත්‍රගෙ අම්මා ගෙදර නැත්තෙ නේත්‍ර කිව්වත් වගේම ටවුමට ගිහින් නිසා වෙන්නැති කියලා සුදුබේබිත් නිගමනේ කලා.වලව්වෙ වැඩ කරනවට අමතරව ගතමනාවක් හොයාගන්න නේත්‍රගෙ අම්මා වුනු නිර්මලා පොඩි ඇදුම් කෑලි මහලා කඩවල් වලට දානවා කියලා සුදුබේබි දැනගත්තෙ නේත්‍රගෙ ආත්තම්මා වුණු සුමනාගෙන්.සුමනා කිව්ව විදියට ගෙදර වියදම් යාන්තමට හරි පියවගන්න පුළුවන් වෙන්නෙ ඒම කලාමලු.

"ඔය කවුද?"

නේත්‍රගේ හඩටත් වඩා හීන් කටහඩක් තමන්ගෙ පිටිපස්සෙන් ඇහෙද්දි සුදුබේබි හෙමිහිට තමන්ගෙ ඔලුව හරවලා පිටිපස්ස බැලුවා.චීත්ත ගවුමක් ඇදගත්තු ගෑනු ලමයෙක් තමන් දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවා දැක්ක සුදුබේබි ඒ ගෑනු ලමයා පැත්තට හැරුනෙ හිනාවීගෙනමයි.

"දෙයියෝ.....මේ අපේ සුදුබේබි වෙන්ටැති"

කොන්ඩෙ මැදක් හරියට වෙන්න ගොතලා දාලා තිබ්බ කොන්ඩෙ ඉස්සරහට අරගන්න ගමන් ඒ ගෑනු ලමයා තමන්ගෙන් අහද්දි සුදුබේබි හිනාවෙලා තමන්ගෙ ඔලුව වැනුවා.ඒත් එක්කම ඒ ගෑනු ලමයා හෙමිහිට සුදුබේබි ලගට ඇවිදන් එද්දිම නේත්‍රගෙ සද්දෙ සුදුබේබිට ඇහුනා.

"සුදුබේබි.....මේක......ඔයා ඇයි සුදුබේබි ලගට ගියේ?"

හීයක වේගෙන් දුවන් ආව නේත්‍ර සුදුබේබි ලග උන්නු ගෑනුලමයව පස්සට කරද්දි ඒ ගෑනුලමයත් ඊට නොදෙවෙනි වෙන්න නේත්‍රට රැව්වා.

"කවුද නේත්‍ර මේ?"

"මේ....මේ මගෙ අක්කා සුදුබේබි"

නේත්‍ර වරදක් කරපු මනුස්සයෙක් වගේ බිම හාර හාර කියද්දි හිනා වුනු සුදුබේබි නේත්‍රගෙ අක්කගෙ පැත්තට හැරුනා.

"මම දැනන් හිටියෙ නෑ නේත්‍රට අක්කා කෙනෙක් ඉන්නවා කියලා.මොකද්ද ඔයාගෙ නම?"

"අරුන්දතී සුදුබේබි"

"ආඅ.....අරුන්දතී දැන් කීයවසරෙද?"

"මම හයවසරෙ සුදුබේබි"

"මගෙ වයසෙමනෙ අරුන්දතීත්....."

"හ්ම්ම්.....ඔව් සුදුබේබි"

"ඒ උනාට සුදුබේබි මගෙ යාලුවා අක්කෙ....."

සුදුබේබිගෙයි අරුන්දතීගෙයි කතාව මැද්දට පැන්න නේත්‍ර සුදුබේබිට අයිතිවාසිකම් කියද්දි අරුන්දතී නේත්‍රට රැව්වා.

"හොදටම නැහැදිච්චකම් වැඩියි දැන්නම් ඔයාගෙ පොඩ්ඩො.ඔහොම කතා මැද්දට පනින්න එපා"

අරුන්දතී නේත්‍රට සැරකරද්දි නේත්‍රගෙ ඇස් වල කදුලු පිරිලා තිබ්බා.කුරුම්බා ගෙඩියත් දෝතින්ම දරාගෙන උන්නු නේත්‍ර කදුලු අස්සෙන්ම අරුන්දතීට රවද්දි කොහොමත් නේත්‍ර එක්ක කේන්ති ගිහින් උන්නු අරුන්දතී අත දිගෑරලා නේත්‍රගෙ පස්සට පාරක් දුන්නා.එච්චරයි වෙන්න ඕනි.

"එයාට ගහන්න එපා!!!!!!"

අරුන්දතීට තමන්ගෙ කටහඩ හුගාක් උස් කරලා කෑගැහුව සුදුබේබි නේත්‍රගෙ අතින් අල්ලලා නේත්‍රව තමන්ගෙ පස්සට කරගත්තා.පුංචි උනත් ඒ කටහඩේ තිබුණු රළු ගතියට බය වුනු අරුන්දතී බිම බලාගද්දි අක්කගෙ සැර කිරිල්ලයි,පස්සට වැදුනු පාරෙයි සැර නිසා පිරිච්ච කදුලු තමන්ගෙ උරහිසෙන් පිහිදගත්තු නේත්‍ර එහෙම්මම සුදුබේබිගෙ පිටිපස්සට වෙලා වහං උනා.නේත්‍රටත් රවලා සුදුබේබිගෙන් සමාව අරං ගේ ඇතුලට දුවං ගියා.

"නේත්‍ර මොකෝ අක්කෙක් ඉන්නවා කියලා මට කිව්වෙ නැත්තෙ?"

සුදුබේබි අරලිය ගහ යට තිබුනු බංකුවෙ ඉදගන්න ගමන්ම නේත්‍රවත් තමන් ලගින් ඉන්දෝගෙන ඇහුවා.තාමත් නේත්‍රගෙ කදුළු පිරිච්ච ඇස් දෙක බිමට වර වෙලා තිබුනා.කොච්චර දග වැඩ කලත් නේත්‍ර කියන්නෙ හද්ද අහිංසකයෙක් වග සුදුබේබිගෙ පුංචි හිතටත් හොදට දැනිලා තිබ්බා.

"අක්කා සුදුබේබිව අක්කගෙ යාලුවා කරගනීවි කියලා හිතුනා"

නේත්‍රගෙ අහිංසක පිලිතුරත් එක්කම නේත්‍රගෙ ඔලුව අතගාපු සුදුබේබිත් නේත්‍රගෙ මූණට බර වෙලා හිනා වුනා.

"එහෙම මම හැම කෙනාවම යාලුවෙක් කරගන්නෙ නෑ නේත්‍ර.එහෙම හැමකෙනාවම මම ලංකරගන්නෙ නෑ"

නේත්‍රගෙ කරවටින් එක අතක් දාගෙන නේත්‍රව තුරුල් කරගන්න ගමන්ම අනික් අතේ තිබ්බ කුරුම්බාවෙන් වතුර ඩිංගක් බීපු සුදුබේබි කියද්දි නේත්‍රත් ඒකට ඔලුව වන වන හිටියා.

"ඒක නෙවේ.නේත්‍ර දැන් ඊලගට යන්න ඉන්නෙ හය වසරට නේද? ඒ කියන්නෙ නේත්‍ර ශිෂ්‍යත්වෙ කරලා?"

"ඔව් සුදුබේබි කලා."

"නේත්‍ර පාස්දෙ විභාගෙ?"

"ඔව් සුදුබේබි 175ක් තිබ්බා ලකුණු"

නේත්‍රගෙ අවිහිංසක හිනාව දිහා බලන් හිටපු සුදුබේබිගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා.

"නියමයිනෙ නේත්‍ර.නේත්‍රට පුළුවන් වෙයි ලොකු ඉස්කෝලෙකට යන්න"

"දන්නෑ සුදුබේබි.......අම්මා නම් කිව්වෙ ගමේ ඉස්කෝලෙටම පලයන් කියලා.ඒ කතාවත් ඇත්ත.අම්මට ඔව්වට වියදම් කරන්න තරම් කාසි පනම් නෑනෙ සුදුබේබි...."

"නෑ නෑ එහෙම බෑ.....නේත්‍ර ලොකු ඉස්කෝලෙකට යන්නම ඕනි කෝමහරි.....මම ඔයාව ලොකු ඉස්කෝලෙකට දාන්නම්"

සුදුබේබි තමන්ගෙ ලොකුකම් කියවද්දි නේත්‍ර හයියෙන් හිනාවෙලා තව ඩිංගක් සුදුබේබිගෙ තුරුලට කිට්ටු වුණා.

.

.

.

.

.

"නිර්මලා......"

"ලොකු මැණිකෙ?"

"නේත්‍ර කොලුවා.....ශිෂ්‍යත්වෙන් සමත් වුනා නේද?"

...................................................................................................

මෙම්න ඔයාලගෙ වීරයා ආවා

කතාව හොදයිද?

කියවන්න ආසා හිතෙනවද?

මේ කතාව යන විදිය හොදයිද?

දිගටම දෙන්නද?

හැබැයි comments දාන්න බබාලා පුළුවන් නම්🥺❤️ මට එතෝටනෙ කතාව ලියන්න ගොඩාක ආසා හිතෙන්නෙ🌚❤️

ඔයාලට් දැනෙනවා ඇතිනෙ නේද මේක යන්නෙ ඒ දෙන්නගෙ පොඩි කාලෙ ඉදන්මයි🌚❤️ මම ඒ වගේ nonfictions කියවලම නැහැ.ඉතින් සමහරවිට ඔයාලටත් මේ කතාව වෙනසක් වෙයි🥺❤️

මම මේක උපරිම සාර්ථක විදියට ලියන්න බලාපොරොත්තු වෙනවා🥺❤️

ඔයාලත් උදව් කරන්න බබාලා ඒකට❤️

වැරදි අඩුපාඩු තියේනම් කියලා දෙන්න.

මම ආසයි ඒවා හදාගෙන හොද ඕතර් කෙනෙක් වෙන්න🥺❤️

දැනටමත් සමහර බබාලා මට ඒ වගේ අඩුපාඩු පෙන්නලා දෙනවා🥺❤️ මැසේජ් දාලා එහෙම❤️

මම එව්වා හදාගන්නෙ හරි සතුටින්🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නම්🌚❤️

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter