Back
Chapter 49

48 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදුබේබි!"

"මමයි එයාට කතා කරන්න එන්න කිව්වෙ.යං ඒ ලමයා ජූස් බාර් එකට ගියා"

"ඒත් සුදුබේබි...."

"අපි යං නේත්‍ර.....එයා එක්ක කෙලින්ම කතා කරලා බලමු"

"අනේ මම කැමති නෑනෙ සුදුබේබි....."

"ඒක එයාට අද කියමු නේත්‍ර...ඕක ඔයා ෆෝන් එකෙන් කිව්වා කියලා එයා තේරුම් ගන්නෑ.මනුස්සයෙක්ට දෙයක් තේරුම් යන්නෙ හුගක්ම එයා එක්ක කෙලින් කතා කලාම.අනික මම ඉන්නවනෙ....යං"

"සුදුබේබි එනවනං යං...."

තමන්ගෙ පිටිපස්සෙන් ආව දෙවින්ට ඔලුවෙන් සන් කෙරුව ආශව නේත්‍ර කරේ එල්ලන් උන්නු බෑග් එකෙනුත් අල්ලගෙන පාර පැනලා එතනම තිබ්බ සිසිල් බීම අවන්හලට ඇතුල් වෙද්දි දිවාෂවත් ඇදගෙනම දෙවිනුයි තෙවිනුයි දෙන්නත් ඒකටම ඇතුල් වුණා.අවන්හලේ කොණේම මේසෙක උපාධ්‍යා එක්ක ඉදන් උන්නු සෙනදි දිවාෂව දැක්ක ගමන් ගස්සලා අහක බලාගනිද්දි ඕක දැක්ක තෙවින් කැත විදියට හිනා වුණා.

නේත්‍රව දැක්ක උපාධ්‍යා අත වනලා නේත්‍රට කතා කරද්දි නේත්‍ර ආශව දිහා බැලුවා.නේත්‍ර දිහා බලලා හිනා වුණු ආශවගෙ ඇස් දෙක උපාධ්‍යා දිහා බලද්දි කේන්තියෙන් පිපිරෙනවා නේත්‍ර දැක්කා උනත් මේ වගේ වෙලාවක ආශවව සන්සුන් කිරීමෙ තේරුමකුත් නැ කියලා නේත්‍ර දැනන් උන්නා.නේත්‍රවත් ඉස්සර කරගත්තු ආශව උපාධ්‍යා හිටිය මේසෙ ලගට යද්දි නේත්‍ර එක්කයි ආශව එක්කයි හිනා වුනු සෙනදි ඉක්මනටම නැගිටලා එතනම එහා පැත්තෙ තිබ්බ මේසෙට ගියා.

"නේත්‍ර...."

"අනේ මටනම් බෑ සුදුබේබි...මෙයා එක්ක තනියම කතා කරන්න"

"එහෙම නෙවේ....මෙතන මම ඉන්න ඕනි නෑ...නේත්‍ර කියන්න තියෙන දේ කියන්නකො එයාට.මම උවමනාවක් උනොත් එන්නම් තේරුනාද?"

"ස්...."

"ගෙදර ගියාම අද මගෙ ලගින්ම තියාගන්නවා මම.....අද ගෙදර නොයා මා එක්ක ඉමු"

"සුදුබේබි මම...."

"ගිහින් කතා කරගන්න නේත්‍ර....ඉක්මනට හැබැයි.....මට හුගක් වෙලා ඉන්න දෙන්න බෑ එයාට ඔයා ලගට වෙලා"

"හ්...හරි සුදුබේබි"

නේත්‍ර උපාධ්‍යා ලගම පුටුවෙ ඉදගන්නකං බලන් හිටිය ආශව ගිහින් දිවාෂලා ඉදගෙන හිටිය මේසෙන් ඉදගත්තා.දිවාෂලත් එක්කත් මොනාහරි කතා කෙරුව ආශව නැගිටලා කවුන්ටරය ලගට යද්දි උපාධ්‍යා නේත්‍ර දිහා බලන් හිටියෙ දිලිසෙන ඇස් වලින්.නේත්‍ර නම් අත් දෙකත් එකට බැදන් මේසෙ දිහාම බලාගෙන හිටියෙ දැනෙන අපහසුතාවය නිසාමයි.ඇත්තටම ආශව ඇරෙන්න තමන්ට ආදරේ කරනවා කියන මේ වගේ පිට මිනිහෙක් ඉස්සරහ මෙහෙම ඉන්න එක නේත්‍රට ලොකු අපහසුවක් වුණා.

"හ්....හායි නේත්‍ර,මම උපාධ්‍යා....ඔයා දැකලා ඇති මාව"

"ඔ..ඕහ්...හායි..."

"ම්ම්ම්.....මම මේක ඕඩර් කලේ ඔයාට.....බොන්න,අපි බොන ගමන් කතා කරමු නේත්‍ර"

"ම්...ම්හ්....මට"

"එයා ඇවකාඩෝ බොන්නෑ නංගි! එයාට ඒකෙන් පොඩි ඇලර්ජි ගතියක් එනවා....මේක බොන්න නේත්‍ර.මම අතන ඉන්නවා"

නේත්‍රගෙ ඔලුව අතගාලා අඹ මිල්ක්ෂේක් එකක් නේත්‍රගෙ ඉස්සරහින් තිබ්බ ආශව එතනින් පිටවෙලා යද්දි උපාධ්‍යා ආශව දිහා බලලා නේත්‍ර දිහා බැලුවා.නේත්‍රට තිබ්බ අපහසුතාව නිසාමද කොහෙද නේත්‍ර දැනටම සිසිල් බීම වීදුරුව ප්ලාස්ටික් බටය ආධාරයෙන් පානය කරන ගමන් හිටියා.

"ඔයාගෙ අයියා ඔයාට හුගක් ආදරෙයි නේද?"

"මොහ්....කැහ්....කැහ්....."

"ඕහ්....නේත්‍ර පරිස්සමින්"

"ඔ....ඕ...මට හරි ආදරෙයි එයා"

"ඒක තමා.ඒක තේරෙනවා"

"ම්ම්ම්ම්"

උපාධ්‍යා කිව්වෙ නේත්‍ර කහිද්දිම හිටිය තැනින් නැගිටලා එන්න හදලත් ආයෙ ඉදගත්තු ආශව දිහා බලන ගමන්.කොහොමත් පුංචි කාලෙ ඉදන්ම ආශවයි නේත්‍රයි දෙන්නා ඉස්කෝලෙ ආවෙ ගියේ පවා එකටම නිසා ලගම අය ඇරෙන්න පාසලේ ලමයි උනත් ඒ දෙන්නා ලගම ඥාති කියලා හිතන් හිටියා වගේම ඉස්කෝලෙන් පිට හුගක් අය හිතන් හිටියෙ නේත්‍ර ආශව කියන්නෙ සහෝදරයො කියලා.ඉතින් උපාධ්‍යා උනත් ඒ දේ ඒ විදියටම හිතාගෙන හිටියා.

"උපධ්‍යා එන්න කිව්වෙ? මට ඉක්මනට යන්න ඕනි....ඒකයි"

"නේත්‍ර,මට නේත්‍රගෙන් දෙයක් අහන්න ඕනි...නේත්‍ර මම ගැන වැරදියට හිතයිද කියන්න මම දන්නෑ...ඒත් මට මේක නේත්‍ර එක්කම කියන්න ඕනි වුණා"

"හ්...හරි.කියන්න!"

"නේත්‍ර,මම නේත්‍රව දැක්කෙ ඕලෙවල් කරන කාලෙ....එදා උනු සිද්ධියක් නේත්‍රට මතක නැතිව ඇති.ඒත් ඒක මට හැමදාටම මතක හිටින දෙයක් වුණා.

එදා මම පාරෙ ඇවිදගෙන බස් එකට යන ගමන් හිටියෙ.ධර්මරාජෙ කොල්ලො ටිකක් වගේ තමා මට මතක.එදා ඒ කොල්ලො ටික දුවගෙන ආව පිම්ම දෙන්නෙක් මගෙ ඇගේ හැප්පිලා මාව ඒ මහ පාර මැද්දෙම ඇදන් වැටුණා.එදා මම වැටෙනවත් එක්කම වගේ පිරිමි ලමයි දෙන්නෙක් මාව පහු කරන් ගියා.ඒ ඔයයි ආශව අයියයි නේත්‍ර....එදා ආශව අයියා වැටුණු මම දිහා නොබලා හිටියත් ඔයා එහෙම කලේ නෑ.

ඔයා එදා මම ලගට දුවන් ඇවිත් මාවත් නැගිට්ටෝලා අහකට විසික් වෙලා තිබ්බ මගෙ ක්ලියර් බෑග් එකත් අහුලලා ගෙනත් දුන්නා.ඇවිත් මගෙන් තුවාල නෑ නේද? කියලා ඇහුවා.ඔයා දන්නෑ නේත්‍ර.මට එවෙලෙම ඔයා ගැන දැනුනෙ පුදුමාකාර ගරුත්වයක්.මම ඔයා එක්ක තව වචනයක් දෙකක් කතා කරන්න තිබ්බ වුවමනාවටම මගෙ කකුල ටිකක් රිදෙනවා කියලා කිව්වා.එවෙලෙනම් ආශව අයියා මම ලගට ඇවිල්ලා සල්ලි තියෙනවද අහලා මට ත්‍රීවිල් එකක් දාලා දුන්නා ගෙදර යන්න.ඔයා මම යන්න කලින් හිනා වුණා.ඔයා දන්නෑ නේත්‍ර....මම ගෙදර ගිය වෙලේ ඉදන් කල්පනා කලේම ඔයා ගැන.

ඔයා ගැනමයි...මට ඊට කලින් එහෙම කිසිම කෙනෙක් ගැන හිතිලා නෑ.මට ඔයා කතා කල වචන කීපෙන්ම ඔයා සෑහෙන්න හොද කෙනෙක් කියලා දැනුනා.අනික මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා නේත්‍ර....ඔයාගෙ හිනාව! ඒක මහ පුදුම ලස්සනයි.....ඇත්තටම"

"ම්ම්ම්....."

"නේත්‍රට තේරෙනවා ඇති මම කියන්න යන දේ.... නේත්‍ර,මම මෙහෙම කියනවා කියලා මම නරක ගෑනු ලමයෙක් කියලා හිතන්න එපා.අනික මම හැමෝටම මෙහෙමයි කියලා හිතන්නත් එපා.මම මෙහෙම කියන පලවෙනි පිරිමි ලමයා ඔයා.... අවසන් කෙනත් ඔයා වෙයි සමහරවිට.

නේත්‍ර,මම හිතන්නෙ මම ඔයාට ආදරේ කරනවා.... නේත්‍ර,ඔයාගෙන් දැන්මම උත්තරයක් ඕනි නෑ මට.... ඒත් මට මේක ඉක්මනටම කියන්න ඕනි වුණා"

"උපාධ්‍යා,මම උත්තරයක් දැන්මම දෙන්නම්....ඒක උපාධ්‍යාට වගේම මටත් ලේසි වෙයි"

"හ්....හරි නේත්‍ර"

"උපාධ්‍යා,මම දැනටම කෙනෙක්ට ආදරේ කරනවා කියලා කිව්වොත්?"

"න්....නේත්‍ර..... නේත්‍ර ප්ලීස්.....බොරු කියන්න එපා! මට කැමති නැත්තං ඒක කෙලින්ම කියන්න...ඉට්ස් ඕකේ....ඒත් ඔහොම දෙයක්..."

"උපාධ්‍යා,ඇත්තට මූණ දෙන එක තරම් සාර්ථක දෙයක් මේ ලෝකෙ කොහෙවත් නෑ.මම අද ඔයාට බොරුවක් කියලා මෙතනින් ගියොත් ඔයාට අඩියක්වත් මගෙන් ඉස්සරහට තියන්න බැරි වෙනවා.ඊට පස්සෙ මම දවසක ඔයාට ආදරේ කරයි කියලා ඔයා හිතාගෙන ඉන්නවා.ඒ ෆැන්ටසියෙන් එලියට එමු උපාධ්‍යා....මම හිතනවා ඔයා මම කියන දේ තේරුම් ගනියි කියලා"

"හරි නේත්‍ර"

"උපාධ්‍යා,මම කෙනෙක්ට ආදරේ කරනවා....මට මතක ඇති කාලෙක ඉදන්ම.....මම කියන්නෙ පුංචි කාලෙ ඉදන්ම.අපේ සම්බන්ධෙ පටන් ගත්තෙ ලගකදි උනාට අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්න අරන් ගොඩක් කල්.උපාධ්‍යා,මගෙ හිතේ ආදරයක් ඇති වෙන්නෙ එයා වෙනුවෙන් විතරයි.ඒක එදත් අදත් හෙටත් වෙනස් නොවෙන දෙයක් වෙයි.

උපාධ්‍යා හිතයි සම්බන්ධයක් එච්චරටම ශක්තිමත්ද? වෙන කෙනෙක් ඊට වඩා ආදරේ දුන්නොත් ඒක කැඩෙන්න බැරිද කියලා.එහෙම පුළුවන් සම්බන්ධකම් ඇති උපාධ්‍යා....මම නෑ කියන්නෙ නෑ.

ඒත් මට ආදරේ දෙන කෙනාගෙ ආදරේ ඇතුලෙ හිඩැස් නෑ.එයාගෙ ආදරේ හරි පරිපූර්ණයි.කොතනකවත් අඩුවක් නෑ.කිසිමම අංශුවක! ඉතින් හිඩැස් නැති ආදරයක් අස්සට කූඹියෙක්ටවත් රිංගන්න බෑනෙ උපාධ්‍යා.

මට උපාධ්‍යාට තේරුන් කරන්න ඕනි වුණේ ඒක.උපාධ්‍යා ආයෙ මම ගැන නොහිතා ඉන්න උත්සාහ නොකර ඉදියි කියලා මම හිතනවා...ආහ්....අනේ අඩන්න එපා උපාධ්‍යා....මට මගෙ අක්කව මතක් වෙන්නෙ ඔයාව දැක්කම.ප්ලීස්....අඩන්න එපා ඒ නිසා.මම නිසා වෙන කෙනෙක් අඩනවා බලන්න මම කැමති නෑ.

අපි ඇත්තට මූණ දෙමු උපාධ්‍යා....මම ආදරේ කරන කෙනා ඇරෙන්න මට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ.මම කවදාවත් හිතන්නෙත් නෑ.එයා විතරයි උපාධ්‍යා..මගෙ ලෝකෙ එයා විතරයි වගේම එයාගෙ ලෝකෙත් මම.එයාගෙ හිතට පුංචිවත් දුකක් දෙන්න කැමති නෑ මම.

මම මේ ටිකට ඔයා එක්ක කතා කල එක පවා එයාට දරන්න බැරුව ඇති....ඒත් ඔයාට මේ දේ පහදලා දෙන්න කියලා එයාම අවස්ථාවක් දුන්නු නිසයි මම ආවෙ.නැත්තං මට ඔයාව හම්බෙන්නවත් උවමනාවක් තිබුනෙ නෑ.උපාධ්‍යාට මට කියන්න තියෙන්නෙ මාව අමතක කරලා දාන්න කියන එක විතරයි....මොකද ජීවිතේ අන්තිම හුස්ම වෙනකං ආදරේ කරන්න කෙනෙක් මම තෝරන් ඉවරයි"

"න්...නේත්‍ර ප්ලීස්....."

කවදාවත් මෙහෙම කතා නොකරන නේත්‍ර උනත් අද ටිකක් තද ගතියකින් යුක්ත වෙන්න හේතුව වුනෙත් උපාධ්‍යා නිසා ආශවගෙ හිතට දැනෙන දුක ගැන නේත්‍ර වද වුණු නිසා.තමන්ගෙ ඉස්සරහ ඉදගෙන ඇස් වලින් හෝ ගාලා ගලන කදුලු පිහිදගන්න ගමන් හිටිය උපාධ්‍යා එකපාරටම නේත්‍රගෙ අතින් අල්ලගන්න තමන්ගෙ අත දික් කරද්දි නේත්‍ර උනත් ගැස්සිලා ගියා.උපාධ්‍යා අත දික් කරනවත්,නේත්‍ර තමන්ගෙ අත පිටිපස්සට ඇදලා ගන්නවත් එක්කම දෙන්නගෙම අත් දෙක මැද්දෙන් මොකක් හරි හයිය දෙයක් ගැටුණා කියලා උපාධ්‍යාට වගේම නේත්‍රට තේරුනේ මේසෙන් දැනුනු දෙදරුම් කෑම නිසා.

"එයා කියන්න තියෙන දේ කියන්න ඇතිනෙ උපාධ්‍යා!!! ඊට අමතරව ඔයා අල්ලන්න කරන්න ඕනි නෑ කියලා මම හිතනවා නේත්‍රව!!!"

"ආශව අයියා ප්ලීස්.....නේත්‍රට කියන්න ආයෙමත් එයාගෙ තීරණේ ගැන හිතන්න කියලා"

"නේත්‍රගෙ තීරණේට බලපෑම් කරන්න මට බැහැ උපාධ්‍යා! එයාගෙ තීරණේ අවසාන තීරණේ වෙයි"

"ස්....සු....අපි යං..... මම කතා කරලා ඉවරයි මෙයා එක්ක"

"හ්ම්ම්ම්"

මේසෙ උඩින් හයියෙන් අත තිබ්බ ආශවගෙ නහර ඉලිප්පිලා පේන අතට තට්ටු කරලා නේත්‍ර කියද්දි ආශව හෙමින් සැරේ අත අහකට ඇදලා ගත්තා.නේත්‍රත් ඉදගෙන උන්නු තැනින් නැගිටිද්දි එහා මේසෙක ඉදගෙන හිටිය සෙනදි ඇවිත් අඩන උපාධ්‍යාව තද කරලා තුරුල් කරගත්තා.

"ඔයාලා පුළුවන් නම් මෙතනින් එලියට ගිහින් අඩන්න.... මොකද ඔයා නේත්‍ර එක්ක කතා කරන එක දැක්ක එක මිනිහෙක් හරි ඔයා අඩන්නෙ නේත්‍ර නිසයි කියලා හිතනවට මම කැමති නෑ! සෝ ප්ලීස්..... ගෙදර ගිහින් අඩාගන්න"

ආශව තව මුකුත් කියන්න කලින් ආශවගෙ අතින් අල්ලගත්තු නේත්‍ර එතනින් යමු කියලා සන් කරද්දි උපාධ්‍යා දිහාවට දරුණු බැල්මක් දැම්ම ආශව පුරුදු විදියටම නේත්‍රගෙ බෑග් එකෙන් අල්ලගෙන එලියට ගද්දි දිවාෂලත් ඒ එක්කම එලියට බැස්සා.සෙනදි ආශව දිහා බලලා 'මහ නපුරු මනුස්සයෙක්නෙ' කියලා මුමුණද්දි ලේන්සුවෙන් මූණ වහගත්තු උපාධ්‍යා දුරකථන ඇමතුමක් දෙන ගමන් සෙනදි එක්කම එලියට ගියේ එයාට තවත් මෙතන රැදෙන්න උවමනාවක් නොවුනු නිසා.

"ස්....සුදුබේබි,මට වතුර ඩිංගක් ඕනි"

"කෝ ඉන්න.....මම බෝතලේ අරන් දෙන්නම්"

නේත්‍රගෙ බෑග් එක ඇරිය ආශව නේත්‍රගෙ වතුර බෝතලේ අරන් දෙද්දි ඒක අතට ගත්තු නේත්‍ර වතුර බීගෙන බීගෙන ගියා.වතුර බෝතලෙන් බාගයක් හිස් කෙරුව නේත්‍ර එහෙම්මම බස් නැවතුමේ කණුවකට හේත්තු වෙලා ටිකක් වේගෙන් හුස්ම ගත්තෙ ආශව දිහා බලන ගමන්මයි.නේත්‍ර දිහා ටිකක් වෙලා බලන් හිටිය ආශවට නේත්‍රට මේ වෙන්නෙ මොකද්ද කියලා තේරුනු ගමන් හිනා ගියා.

"ඔච්චරට අවුල් ගියාද?"

"හ්....හම්මේ සුදුබේබි...... මම මෙච්චර පිට කෙනෙක් එක්ක කතා කලාමද කොහෙද? මගෙ උගුර කටත් වේලිලා තිබ්බෙ"

"මම මයිලෝ එකක් ගත්තා.දෙන්නද දැන්? බස් එකට නැග්ගම බොනවද?"

"බස් එකට නැග්ගම බොන්නම් සුදුබේබි.....සුදුබේබි,මම උපාධ්‍යාට කිව්වා මගෙ තීරනේ"

"ඒක ඉවරයි නේත්‍ර..... ආයෙ අපි එයා ගැන කතා නොකර ඉමු"

"එ...ඒත් සුදුබේබිට දැනගන්න ඕනි නැද්ද මම එයාට කිව්ව දේවල්?"

"නේත්‍ර මට පණ ඇරලා ආදරේ වග මම දන්නවා.... නේත්‍ර උපාධ්‍යාට කියන්න ඇත්තෙ මොනාද කියලත් මම දන්නවා.... ඉතින් එව්වා දැන දැන ඒ ටික ආයෙමත් නේත්‍රගෙන් අහලා කාලෙ නාස්ති කරන්න මම කැමති නෑ නේත්‍ර.... මම එදත් කිව්වෙ,පිට මනුස්සයෙක් ගැන අනවශ්‍ය දේවල් කතා කරලා නේත්‍ර එක්ක ආදරෙන් ඉන්න තියෙන වෙලාව නැති කරගන්න මම කැමති නෑ.බස් එකේ යන ඩිංගට නේත්‍ර එක්ක උපාධ්‍යා ගැන කතා කරනවට වඩා බස් එකේ ජනේලෙන් එන හුලගින් බේරෙන්න මූණ අකුල අකුල යන නේත්‍රගෙ මූණ දිහා බලන් ඉන්න එක මට වටිනවා"

"මට වෙලාවකට සැකයි සුදුබේබි ඇත්තම කෙනෙක්ද කියලා"

"නේත්‍ර දන්නවද? ඔය දේම මට නේත්‍ර ගැනත් හිතෙනවා....බස් එක එනවා,නගිමු"

ආශවයි නේත්‍රයි දෙන්නා බස් එකේ ඉස්සරහ දොරින් නගිද්දි දෙවිනුත් දුවන් ඇවිත් ඒත් එක්කම බස් එකේ එල්ලුනා.දිවාෂයි තෙවිනුයි පිටිපස්සෙන් බස් එකට ගොඩ වෙනවත් එක්කම බස් එක ඇද්දුවෙ ඒ වෙලාවෙ සෑහෙන්න සෙනගක් බස් එක ඇතුලෙ හිටිය නිසා.ආශව පරිස්සමට නේත්‍රව බස් එක ඇතුලට යවලා පා පුවරුවෙම දෙවින් එක්ක ඉද්දි දිවාෂ හිටියෙ තඩි මහත මනුස්සයෙක්ගෙ පිටේ මූණ අලවගෙන.තෙවින් නොවැටී ඉන්න තිබ්බ වුවමනාවට දිවාෂගෙ බෑග් එකෙන් අල්ලන් හිටියා.

"දැන් නැග්ග අය ඉස්සරාට යන්න....මහත්තයා, ඔතනින් යන්න ඉස්සරාට....මැද්දෙ ඉඩ තියෙනවනෙ"

"යුගාන්,ටිකක් ඉස්සරහට යමංකො....කොන්දා කෑ ගහනවා"

බස් එකේ පිටිපස්සෙම හරියෙ බොහොම අමාරුවෙන් හිටන් හිටිය තෙවින් දිවාෂට කියද්දි අර මනුස්සයගෙ පිටෙන් මූණ අහකට ගත්තු දිවාෂ තෙවින් දිහා රවලා බැලුවා.

"දැන් නැග්ග අයටනෙ ඉස්සරහට යන්න කිව්වෙ"

"ඉතින්?"

"ඉතින් මට තාම නැගල නෑ......නැග්ගට පස්සෙ යන්නම් කියපං කොන්දට"

"යුගාන්!!!!"

"කෑගහන්න එපා තෙවින්! මගෙ කන කීං කීං ගානවා"

දිවාෂගෙ බෙල්ලෙන් අල්ලගත්ති තෙවින් දිවාෂව බස් එක මැද්දට තල්ලු කරද්දි සිංහවංශ වලව්වෙ මහ කුමාරිහාමිටම හිතින් සාප කර කර දිවාෂ බස් එක මැද්දෙ හිටිය ගෑනු කෙනෙක්ගෙ සාරි පොටක එල්ලිලා නතර වුණා.ගෑනු කෙනා රවලා පිටිපස්ස බැලුවත් දිවාෂගෙ නිල ඇදුමයි එවෙලෙ දිවාෂ මූණට අරං උන්නු අහිංසක හිනාවයි එක්ක ඒ මනුස්සයට දිවාෂට රවන්න බැරි වුනා.දිවාෂගෙ බෑග් එකත් අරගෙන ඉදගෙන හිටිය කෙනෙක්ට දුන්නු ඒ ගෑනු කෙනා අන්තිමේදි දිවාෂට නොවැටී යන්න ඉඩකුත් හදලා දුන්නා.

"නේත්‍ර ඉදගන්න"

ඉඩක් ලැබුනු වෙලාවක නේත්‍රව ඉන්දෙව්ව ආශවට නේත්‍ර ලගින්ම ඉදගන්න හම්බුනේ සෑහෙන දුරක් ගියාට පස්සෙ.බෑග් එකෙන් මයිලෝ පැකට්ටුව අතට ගත්තු ආශව ඒක නේත්‍රට දෙද්දි තමන් බොන්න කලින් ඒක ආශවට දික් කල නේත්‍ර ආශව ඒකෙන් උගුරු දෙක තුනක් ඇදලා ඉවර වෙනකං බලන් හිටියෙ හරි පුරුදු විදියට.කොහොමත් මෙහෙම බෙදාගෙන කන බොන එක ආශවගෙයි නේත්‍රගෙයි පුංචි කාලෙ ඉදන්ම තිබ්බ පුරුද්දක් වුණා.

"ඒ ලෙවල් ඉවර උනාම කොණ්ඩෙ ටිකක් වවමු හොදද?....බෙල්ලට ටිකක් උඩට වගේ වෙන්න"

ජනේලෙන් එන හුලගින් නේත්‍රගෙ සිනිදු කොට කොන්ඩෙ ඇවිස්සෙන හැටි බලන් උන්නු ආශව හෙමීට මිමිණුවා.

"මාව ගෑනු ලමයෙක් වගේ පෙනෙයිද දන්නෑ සුදුබේබි එතෝට....."

"අහිංසක පාට වුණත් නේත්‍රට තියෙන්නෙ පිරිමි පෙනුමක් නේත්‍ර...... කොණ්ඩෙ ටිකක් වැව්වා කියලා ඔයාට ගෑනු පාටක් එන්නෙ නෑ කොහෙත්ම.අනික එහෙම වෙනවනම් මම ඔයාගෙන් එහෙම දෙයක් ඉල්ලන්නෙත් නෑ....නේත්‍ර ඒක දන්නවා"

"ම්...මම දන්නව සුදුබේබි.....අනේ මම හිතලා කිව්වා නෙවේ....සුදුබේබිගෙ හිත රිදුනනනම් සමා වෙන්න නේත්‍රට"

"නේත්‍ර ඒ දේ කිව්වෙ මාව දුක හිතවන්න නෙවේ කියලා මම දන්නවා නේත්‍ර..... ඒ නිසා මගෙ හිත රිදුනෙ නෑ.... නේත්‍ර දැකල නැතිව ඇති,පිටරටවල් වල කොල්ලො හරියට එහෙම කොන්ඩෙ වවනවා....වුල්ෆ් කට් කියලා එකක් තියේ.ඒක ගහන අය දැන් සෑහෙන්න ඉන්නවා....හරි ලස්සනයි නේත්‍ර.ඒක හැමෝටම හරියන එකක් නෙවේ...ඒත් මට විශ්වාසයි,ඒක නේත්‍රට හුගාක් ලස්සනට හිටීවි"

"සුදුබේබි මට අවැඩක් වෙන දෙයක් කියන්නෑනෙ......විභාගෙන් පස්සෙ එහෙම කරමු"

"නේත්‍ර දන්නවද මම ඇයි ඔච්චර නේත්‍ර කොන්ඩෙ ඩිංගිත්තක් වවනවට ආසා කියලා?"

"ඇත්තටම ඇයි සුදුබේබි....."

"ඔයාව මට පලවෙනි වතාවට මුණ ගැහෙද්දි.....කොණ්ඩෙ වැවිලා තිබ්බෙ නේත්‍ර....මතකද? මම ඒ කාලෙ මල් ගහලා ඔයාව හැඩ කරලා ගත්තු ෆොටෝස් තවම මගෙ ලග තියෙනවා.....ඒ නේත්‍රමයි මේ ඉන්නෙ කියලා මම දන්නවා...ඒත් මට අඩුවක් නැතුවම ඒ නේත්‍රව බලන්න ආසයි ආයෙමත්.....ඒ හුරතලේ,ඒ ගතිගුණ,ඒ පෙනුම එහෙම්මමයි තවමත්....කොණ්ඩෙ විතරයි කපලා තියෙන්නෙ.ඒකත් වැව්වම චූටි නේත්‍රව බලාගන්න පුළුවන් වෙයි මට"

"සුදුබේබි ලොකු නේත්‍රට ආදරේ නෑ?"

"මැණිකෙ....දෙයියනේ මේ බස් එක.....ඔය ඇස් වල කදුළු නේත්‍ර.....කෝ ඔහොම ඉන්න"

"එ...එප්පා සුදුබේබි....ඇහැට රොඩ්ඩක් ගියා....නැගිටිමු,ඊලග හෝල්‍ට් එකෙන් බහින්නෝනිනෙ"

ආශව නේත්‍රගෙ අතින් අල්ලලා තද කලත් නේත්‍ර බෑග් එකත් එල්ලගෙන නැගිට්ට නිසාත්,මේක ප්‍රසිද්ධ තැනක් නිසත් නේත්‍රව අපහසුතාවයට පත් කරන්න ආශවට ඕනි වුණේ නැහැ.උපාධ්‍යා එක්ක කතා කල පීඩනෙන් හිටිය නේත්‍රට ආශව දැන් කිව්ව දේ නිසා අහේතුවකම දුක හිතෙද්දි නේත්‍ර බිම බලාගෙනම බස් එකෙන් බැස්සා.

"නේත්‍ර! ඔහොම ඉන්න!"

"ඉක්කන්‍ට යං සුදුබේබි..... අද සුදුබේබිට ඔන්ලයින් ක්ලාස් එකකුත් තියෙනවා නේද?"

"නේත්‍ර! ක්ලාස් එක ගැන නෙවේ ප්‍රශ්නෙ! ඔයාගෙ ඇස් වල තියෙන කදුළු.....නේත්‍ර මම....."

"අපෙ අප්පේ.....මේ අව් කාෂ්ඨකේ යන්නෙ සුදුබේබි නේද? සුදුබේබි මනාපයිනම් නගින්ට ට්‍රැක්ටරේට.....මට ගිහින් බස්සන්න පුළුවන්"

ආශව කියන්න ගිය දේ සම්පූර්ණ කරන්න කලින් පාරෙ ගිය ට්‍රැක්ටරයක් නවත්තද්දි ආශව පිට මිනිස්සු දිහා බලන ගාම්භීර බැල්මෙන්ම ට්‍රැක්ටරේ හිටිය සේතන් දිහා බැලුවා.අව් රස්නෙන් බේරෙන්න ඔලුව වටේ ඔතන් තිබ්බ ජටාව ගලෝ ගත්තු සේතන් උන්නැහැ ඔලුව නවලා ආශවට කතා කරද්දි ආශව තමන්ගෙ පිටිපස්සෙන් එන දිවාෂලා දිහා බැලුවෙ වේගෙන් අඩි තියලා එතනින් දුවන්න ගිය නේත්‍රගෙ බෑග් එකෙනුත් අල්ලගෙන.

"හත්වලාමේ......අර පිටිපස්සෙන් ගාටලා තියෙන්නෙ සිංහවංශ වලව්වෙ බේබිලා දෙන්නා නේද? බේබිලා දෙන්නටත් අගරුවක් නැත්තං මේකෙ යන එක.....මට පුලුවනි වලව්ව ලගින්ම බේබිලාව ඇරලවන්න"

"දෙවින් තෙවින් ...... යනවද?"

"යං නේහ්?අව්වෙ යන්නත් බෑ බං"

ආශවගෙ වචනත් එක්ක දෙවින් ට්‍රැක්ටරේ පිටිපස්සට නගිද්දි දිවාෂව ඇදගත්තු තෙවිනුත් ඒත් එක්කම ට්‍රැක්ටරේට ගොඩ වුණා.තවමත් බිම බලන් ඉන්න නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව ට්‍රැක්ටරේට නගින්න හදද්දි නේත්‍ර ඩිංගක් විතර හිතුවක්කාර වෙලා ආශව දිහා බැලුවෙ බෑ කියලා කියන්න වගේ.වලව් දෙකේ බේබිලයි ගමේ වැදගත් මනුස්සයෙක් වුණු ආරියසිංහ මහත්තයලගෙ පුතයි එක්ක මෙහෙම වාහනේක යන එක එච්චර සුදුසු නෑ කියලා නේත්‍රගෙ ඔලුවෙ වැඩ කලා.ගම්මානෙ ඇතුලෙ ඉන්න මිනිස්සු හිතන පතන විදිය ගම්මානෙන් පිට මිනිස්සුන්ට වඩා වෙනස් වග නේත්‍ර හොද හැටි තේරුම් අරන් හිටියා.

"මේ නේත්‍ර කොලුවා නේද? කොල්ලො,උඹ වරෙං මාත් එක්ක මේ ඉස්සරහ ලෑල්ලෙ ඉදගන්න.....බේබිලා එක්ක පිටිපස්සෙ යන එක......."

"එයාට යමු කිව්වෙ මම සේතං! එයා අපි එක්ක පිටිපස්සෙ ඉදන් යයි!"

"ස්...සුදුබේබිගෙ මනාපයක්.....මම කිව්වෙ ගමේ එකාලා ඔව්වා දැකලා මේ පොඩි එකාට කෑ ගහයි කියලා හිතිලා"

"ගමේ උන් ගැන මම බලාගන්නම් සේතං..... සේතං ට්‍රැක්ටරේ ගන්න....නේත්‍ර! එකපාරක් කිව්වනෙ.....නගින්න මේකට"

"ස්....."

"නේත්‍ර! ඔයා මේ තාක් මගෙ වචනෙකට පිටින් ගිහින් හිතුවක්කාරකම් කරලා නෑ.නගින්න මේකට"

ආශවගෙ හීනි වුණු තද දුඹුරු ඇස් දෙක දිහා බලන් උන්නු නේත්‍ර ඔලුව බිමට නවාගෙනම ට්‍රැක්ටරේට් ගොඩ වෙද්දි නේත්‍රව පරිස්සමින් ඒකට නග්ගවලා ඉන්දෝපු ආශව අන්තිමටම ට්‍රැක්ටරේට නැග්ගා.ආශවත් නැග්ගා දැක්ක ගමන් සේතං උන්නැහැ ට්‍රැක්ටරේ ඉස්සරහට අරගෙන යද්දි ට්‍රැක්ටර් වල ගිහින් පොඩිවත් හුරුවක් නොතිබ්බ තෙවින් එහෙට මෙහෙට වැනෙන්න ගත්තෙ බීපු මිනිහෙක් වගේ.

"තෙවින්....මල්ලි! වැටෙයි උබව.හයියෙන් මේ යකඩ පොල්ල අල්ලගනින්..."

"වැනෙනවනෙ අයියෙ"

"මම ඔයාව අල්ලගන්නත තෙවින්?"

"අනේ ලොකු දෙයක් යුග්.....යුගාන්! පස්ස අල්ලන්නෙ ඇයි! පස්සෙන් නෙවේ මාව උඩින් අල්ලගනින්! වනචරයා"

"වැටියන් එහෙනම්....මම ආසා පස්ස පැත්තෙන් අල්ලගන්න විතරයි"

"අනේ මේ ඉදින් පැත්තකට වෙලා"

තෙවිනුයි දිවාෂයි මරාගනිද්දි දෙවින් ඔලුවට අත ගහගෙන අනික් අතින් තෙවින්ව තද කරල අල්ලගත්තෙ මෙහෙම වැනි වැනී ගියොත් තව ඩිංගකිම් තෙවින් එලියට විසික්කා වෙලා යන්න උනත් ඉඩකඩ තියෙන බව පෙනුනු නිසා.මේ අතරෙ ආශව නේත්‍රගෙ ඉණෙන් අල්ලගෙන නේත්‍රගෙ මූණ දිහා එක එල්ලෙ බලන් හිටියත් නේත්‍ර හිටියෙම බිම බලාගෙන.ට්‍රැක්ටරේ යන්න නේත්‍ර හොද පුරුදුකාරයෙක් වුනත් ආශව නේත්‍රගෙ වැඩි පරිස්සමට නේත්‍රව අල්ලන් උන්නු හැටි තෙවින් දැක්කා.ඒ දිහා බැලුව තෙවින් අහක බලාගත්තෙ නේත්‍රව මෙහෙම රකින්න තමන්ටවත් බැරි බව දැන් දැන් දැනෙන නිසා.

"නේත්‍ර!"

වලව්ව ලගින් ට්‍රැක්ටරේ නවත්තන්නත් කලින් ඒකෙන් එලියට පැන්න නේත්‍ර ආශව දිහා බලන්නෙවත් නැතුව පිට පාරෙන්ම තමන්ගෙ ගෙදෙට්‍ට දුවද්දි කේන්තිය පාලනේ කරගත්තු ආශව හෙමීට ට්‍රැක්‍ටරෙන් බැහැලා සේතංටත් ස්තූති කරලා වලව්ව පැත්තට පය ගැහුවා.ආශවව මගෑරලා දුවන් ආව නේත්‍ර ගෙදර දොරත් වහලා අගුල් දාලා කෙලින්ම ඇදන් වැටුනෙ කාමරේ ඇද උඩට.සෑහෙන වෙලාවක් තිස්සෙ හිතේ හිර කරන් උන්නු පීඩනේ එලියට දැම්ම නේත්‍ර මහ හයියෙන් කෑගහන ගමන් අඩන්න පටන් ගත්තා.

"මට සුදුබේබි නැතුව ඉන්න බෑ දෙයියෝ!!!! මගෙ සුදුබේබි නේත්‍රව දාලා යන්නෙපා.....නේත්‍ර පවුනෙ සුදුබේබි!!!"

කාමරේ ඇදේ වැතිරුනු නේත්‍ර ඔහේ කෑගගහා අඩන්න ගත්තා.නේත්‍රගෙ ඔලුව අද කවදාවත් නැතුව මහ විකාර විදියට අවුල් වෙලා තිබුනා.අද උපාධ්‍යා එක්ක කතා කරන්න ආශව නේත්‍රව තනියම යැව්ව එක පවා නේත්‍රහෙ හිතට ලොකු දුකක්,කම්පනයක් එකතු කරන්න සමත් වෙලා තිබ්බා.කවදාවත් ආශව තමන්ව තනි කරලා නොතිබ්බ නිසා නේත්‍රට අද ආශව තමන්ව උපාධ්‍යා එක්ක තනි කල එක සෑහෙන්න දැනිලා තිබ්බා.එවෙලෙ බීම එක ඉස්මොල්ලෙ ගිය එක ඇත්තක් උනත් නේත්‍ර වැඩිපුරත් එක්ක කැස්සෙ ආශව එවෙලෙ හරි තමන් ලගට ඇවිත් තමන්ට අවධානෙ දෙයි කියන බලාපොරොත්තුවෙන්.ආශව නැගිටින්න හදලා ඉදගත්තු එක ආශවට මූණ ලා උන්නු උපාධ්‍යා දැක්කත් ආශවට පිටුපාලා හිටිය නේත්‍ර දැකලා තිබ්බෙ නෑ.

උපාධ්‍යා එක්ක කතා කරලා ආවට පස්සෙ ආශව තමන්ව හුරතල් කරයි කියලා හිතුවත් ආශව එහෙම කරන්නැතුව පාඩුවෙ උන්නු එක නේත්‍රගෙ හිත තවත් රිද්දුවා.උපාධ්‍යා එක්ක තමන් කතා කල එකෙන් ආශවගෙ හිත රිදෙන්න ඇති කියන එක නේත්‍රගෙ හිතට හොදටෝම වද දුන්නා.ඒ මදිවට බස් එකේදි ආශව පුංචි නේත්‍රට ආදරෙයි කිව්ව වෙලේ නේත්‍රගෙ හිත රිදෙන්න ඕනි අන්තිටම රිදුනා.පුංචි නේත්‍රට වඩා තමන් ආශවට වද දෙනවා,ආශවගෙන් අවධානෙ බලාපොරොත්තු වෙනවා වගේ දේවල් නිසා තමන්ව ආශවට එපා වීගෙන එනවවත්ද කියන හැගීම නේත්‍රගෙ හිතට හරියට වද දුන්නා.

"නේත්‍ර!!! මේ දොර අරින්න!"

ආශවගෙ කටහඩ එක්ක හයියෙන් දොරට ගහන සද්දෙ ඇහෙද්දි නේත්‍ර තව ඩිංගිත්තක් ඇදේ ගුලි වුණා.මෙවෙලෙ තමන් මෙහෙම අඩාගෙන දොර අරින එකෙන් පවා ආශවට වදයක් වෙයි කියලා නේත්‍රට හිතිලා තිබ්බා.මේ හැමදේටම අද තමන්ගෙ නිවාසෙ භාරව උන්නු ගුරුතුමියක් කිව්ව කතාවක් සෑහෙන්නම බලපාලා තිබ්බා.ඔය ඔක්කොම ඔලුව ඇතුලෙ කැරකෙද්දි නේත්‍ර හෙමීට දොර ලගට ඇවිදන් ගියා.

"නේත්‍ර! දොර නෑරියට කමක් නෑ.....මට කතා කරන්න....ඔයා ඉන්නවා කියන්න"

"මම හොදින් සුදුබේබි......"

"ඔයාගෙ නහය බර වෙලා නේත්‍ර....මේ දොර අරින්න"

"ස්...සුදුබේබි.....මට තනියම ඉන්න ඕනි ට්කක්"

නේත්‍ර දොරට කිට්ටුම වෙලා කියද්දි දොරට එපිටින් ලොකු හුස්මක් පහල දාන සද්දයක් එක්ක ආශවගෙ දුර්වල වෙලා ගිය සද්දෙ ඇහුනා.

"හ්....හරි නේත්‍ර එහෙනම්"

ආශවගෙ අඩි සද්දෙත් නෑගිලා යනවා එක්කම නේත්‍ර දොර දිගේ රූටලා බිමට ඇදන් වැටුනා.

"ම්....මාව දාලා යන්න එපා සුදුබේබි"

පපුවට අත තියාගත්තු නේත්‍ර කල්පනා කරන්න ගත්තෙ අද ඉස්කෝලෙදි වුණු සිද්ධියක්.පාසලේ නාට්‍ය ගුරුතුමිය ඉතිහාසය උගන්නන ගුරුතුමියට දුරකතනෙ පෙන්නීමත් එක්ක ඇරඹුනු කතාබහ ඒ ලගම උන්නු නේත්‍රට හොදට ඇහුනා.

"එතකොට මේ කපල් එකක්ද ඩ්‍රාමා මිස්?"

"ඔව්....ලගදි බැදලා තියෙන්නෙ.....මෙහෙ නෙවේ ඉන්නෙ පිටරට"

"ඒක තමා....ඔව්වා ලංකාවටනම් හරියන දේවල් නෙවේ"

"එහෙම කියන්නෙ ඇයි මිස්? මෙව්වා හරි සාමාන්‍ය දේවල්"

"ලැජ්ජා නැති වැඩනෙ ඩ්‍රාමා මිස්.....කොල්ලො කොල්ලො බදින්න.චික්! අසහනකාරී වැඩ ඔව්වා"

"එහෙම කියන්න හොද නෑ නේද උපේකා මිස්? එව්වා ඒ මිනිස්සුන්ගෙ කැමැත්තනෙ"

"කැමැත්ත තමා! ඔව්වා මානසික ලෙඩ වින්ද්‍යා මිස්! මොකෝ ඔව්වා බැන්දා කියලා මොනා ලැබෙනවටද? නිකං සමාජෙ විහිලුවට ලක් වෙනවා විතරයි"

"ඒ ලංකාව වගෙ හනමිටි අදහස්  තියෙන රටවල් වල සමහර මිනිස්සුන්ට විතරයි උපේකා මිස්......මානුෂීය හැගීම් තේරුම් ගත්තු රටවල් වල මිනිස්සුන්ට ඔව්වා හරි සාමාන්‍ය දේවල්"

"හණමිටි කම් පෙනෙයි මෙහෙම දෙයක් මිස්ගෙ ලමයෙක් කවදාහරි කලොත්!අපෙ පැත්තෙ උන්නු කොල්ලෙක් හිටියා.ඉන්ජිනියර් කෙනෙක්.මූ කොල්ලෙක් එක්ක යාලුවෙලා ඌ එක්ක ගියා.රට ගියේ."

"දැන් ඒ දෙන්නා වෙන් වෙලාද?"

"අප්පෝ නෑ.අරූ ඉන්ජිනියර් කොල්ලට වශියක්වත් කවලද කොහෙද? උන් දෙන්නා සතුටින් වගේ පෙන්නනවා.මොන සතුටක්ද ඒත්? දරුවෙක්වත් නැතුව? අනික ගෑනියෙක්ගෙන් ලබන සතුටක් කවදාවත් පිරිමියෙක්ට තව පිරිමියෙක්ගෙන් ලබන්න බෑ.ශිට්! අරූ අර කොල්ලගෙ ජීවිතේ කෑවා"

"උපේකා මිස්ට එහෙම කියන්න බෑනෙ නේද? ඒ දෙන්නා ආදරෙන් ඉන්නවා පේනවනෙ.ඒ මිනිස්සු තමන්ට ආදරේ කරන අය එක්ක සතුටින් මිස්.මිස් සතුට කියලා හිතන දේම නෙවේනෙ හැම කෙනාගෙම සතුට වෙන්නෙ නේද?"

"අනේ වින්ද්‍යා මිස්! මට බණ කියන්න එපා.ඔව්වා මහ සහගහන අපරාධ! ඔව්වා සාධාරණීකරණය කරන්න එපා!"

"මිස්ලා වගේ අය එක්ක කතා කරලා වැඩක් නෑ"

නේත්‍ර ඉස්කෝලෙන් එලියට ආවෙම මේ ගැන ආශව එක්ක කතා කරන්න හිතාගෙන.ඒත් නොහිතපු විදියට උපාධ්‍යා එක්ක නේත්‍රට කතා කරන්න වුණු නිසා නේත්‍ර මේ දේ හිතේම තියං උන්නා.ඒවත් ඔලුවෙ කැරකෙද්දි ආශවගෙ පුංචි දේත් ලොකුවටම හිතට බරක් වුණු නේත්‍ර මේ වෙද්දි හුස්මත් උඩට ඇද ඇද අඩන ගමන් හිටියා.ඇත්තටම නේත්‍ර මේ අඩන්නෙ හරි හේතුවකටද? නැත්තං හිතට අහේතුකවම දැනෙන බය නිසාද? ඒක නේත්‍රටම තේරුනේ නැහැ.

ඉස්කෝලෙ ඇදුම ගලවලා දැම්ම නේත්‍ර ඇගක් පතක්වත් හෝදන්න එලියට නොබැහැ කුස්සියේ ටැප් එකෙන් මූණ අතපය විතරක් හෝදන් සරමකට මාරු වෙලා ආපහු පාරක් ඇදටම ඇදන් වැටුනා.ආශවව දැක්ක පලවෙනි තත්පරේ ඉදන් තමන්ගෙ ලාමක හිත ඒ දැඩි පිරිමි හිතට ලෝභකම් කරන්න ගත්තු හැට් නේත්‍රට මතක් වුණා.ජීවිතේට පිරිමියෙක්ගෙ රැකවරණෙ ලැබිලා නැතුව තිබ්බ නේත්‍ර මොකක් හරි මගෑරුනු උනුහුමක් හොයන ගමන් ආශවගෙ අස්සටම රිංගන්න හුරු වුණු හැටි නේත්‍ර මතක් කලා.

ඒත් අද නේත්‍රගෙ හිතට තමන් ගැනම ලොකු කලකිරීමක් ඇවිත් තිබ්බා.තමන් සුදුබේබිට කිට්ටු වුණු එකෙන් සුදුබේබිගෙ අනාගතේට ප්‍රශ්නයක් වෙයිද කියලා නේත්‍ර තමන්ගෙන්ම ප්‍රශ්න කලා.ආශවගෙ හීනෙ එක්ක ආශව දවසක ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා කියන එක ගැන සැකයක් නොතිබ්බ නේත්‍ර කල්පනා කලේ අන්න එතනදි තමන් ආශවගෙ ගරුත්වෙට කැලලක් වෙයිද කියන එක.ආශව තමන්ට දවසක යන්න කිව්වොත්,ආශවගෙ හොද ගැන හිතලා කෙලින්ම ආපහු හැරෙන්න නේත්‍රගෙ හිතට හයිය තිබ්බා.මොකද නේත්‍රගෙ ජීවිතේ අංක එක ආශව.ආශවගෙ සතුට වෙනුවෙන් නේත්‍ර ඕනිම දෙයක් කරයි.

ඒත් ආශවගෙ පිරිමි පපුවෙන් තමන්ට දෙන ආදරේ වගේම,තමන් ආශවට කරන ආදරේ එක්ක ජීවිත වලට මොනා උනත් තමන් දෙන්නට දෙන්නා එකට ඉදියි කියන එක නේත්‍ර තදින්ම විශ්වාස කලා.නිකමට හරි ආශව තමන්ගෙන් ඈත් වුනොත් ඒ ඈත් වීම කෙලවර වෙන්නෙ තමන්ගෙ මරණින් කියන එක නේත්‍ර හොදටම දැනගෙන හිටියා.නේත්‍ර ඒ තරමටම ආශවට ආදරේ කලා.ලෝභකම් කලා.ආශව තමන්ව අතෑරියොත් ඒකට ඉඩ දෙනවා කියලා හිතලා කොච්චර හිතින් පම්පෝරි ගැහුවත් ආශව නැති වෙන පලවෙනි තත්පරේම තමන්ගෙ හුස්ම නතර වෙන්න ගන්නවා කියන එකත් නේත්‍ර දැනන් හිටියා.ඒත් තමන්ට මොනා උනත් ආශව වෙනුවෙන් නේත්‍ර ඕනිම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියා!

"ඒත් සුදුබේබි මගෙනේ.....සුදුබේබි නැතුව නේත්‍රට ඉන්න බෑනෙ...."

ආපහු පාරක් කදුළු පුරවගත්තු නේත්‍ර අඩන්න ගත්තෙ හිතට දරන්නම බැරි බර නිසා.ඇහි පිහාටු කදුලු වලින් බර වෙද්දි,නාහෙ තද රතු වෙද්දි,තොල් ලාවට ඉදිමෙද්දි නේත්‍රගෙ ඇස් දෙකත් හෙමීට පියවෙලා ගිහින් නේත්‍ර නින්දට වැටුනා.

.

.

.

.

.

"ම්හ්....."

නේත්‍ර ඇගේ ඈලිමෑලි කඩලා ඇස් දෙක අරිද්දි වටේටම අදුරු වැටිලා තිබුනා.අද බුදුපහන තියන්නවත් උනේ නෑ නේද කියලා තමන්ටම හිතින් බැනගන්න ගමන් ඇදෙන් ඉදගත්තු නේත්‍ර ඇස් දෙකත් පොඩි කරන ගමන් කල්පනා කරන්න ගත්තෙ නින්දට කලින් වුණු සිදුවීම්.

"දෙයියනේ මගෙ සුදුබේබි!"

ඒත් එක්කම ඇස් දෙක ලොකු කරගත්තු නේත්‍ර ඉක්මනටම සරම උඩින් කමිසයක් දාගෙන කාමරෙන් පිට වුණේ තමන් හිතට ආව විකාර හැගීම් නිසා අද කොච්චර නම් පිස්සුවක් නැටුවද කියලා හිතන ගමන්.තමන් නොහිතා නොබලා වැඩ කරපු විදියට සුදුබේබිගෙ හිත මොන තරම්නම් රිදෙන්න ඇද්ද කියලා කල්පනා කරද්දිනුත් නේත්‍රගෙ ඇස් කදුලින් බර වුණා.නේත්‍රට දැන්මම ආශවව හොයන් ගිහින් සමාව ගන්න,ආශවට තුරුල් වෙන්න ඕනි වුණා.එවෙලෙ සුදුබේබි ගෙයින් පිට වුණා ඇහුනට පස්සෙවත් තමන් දුරකථන ඇමතුමක්වත් අරං සුදුබේබිට කතා නොකල එක ගැන නේත්‍ර තමන්ටම දොස් නගාගත්තා.ඔරලෝසුවෙ වෙලාව රෑ හත පහු වෙලා විනාඩි දහයක් විදියට සටහන් වෙලා තියෙද්දි නේත්‍ර දොර ඇරලා එලියට පය තිබ්බා.

"හිතුවක්කාරකම් ඉවර උනාද නේත්‍ර?"

"මොහ්....මගෙ සුදුබේබි!"

නේත්‍රගෙ දොර පාමුලම බිම ඉදන් උන්නු ආශව තවම නිල ඇදුම පිටින්ම සැරසිලා ඉදිද්දි නේත්‍ර අඩාගෙනම ආශවගෙ ඉස්සරහ දණින් වැටුනා.නේත්‍ර දිහා බලාගෙන හිටිය ආශව තමන්ගෙ ඇස් දෙකට නැග්ග කදුලු කැට හොරෙන්ම පිහිදගන්න ගමන් නේත්‍රගෙ උරහිස් දෙකෙන් අල්ලලා නේත්‍රව නැගිට්ටෙව්වා.පණ නැති මිනිහෙක් වගේ නේත්‍ර ආශවගෙ ඇගටම හේත්තු වෙද්දි ආශව නේත්‍රව තද කරලා තුරුල් කරගත්තා.නේත්‍රගෙ ගෙයි ඉස්තෝප්පුවෙ ලා කහ පාට වැටෙන විදුලි බල්බෙ අඩ අදුරු එලියෙන් ආශව බලන් හිටියෙ නේත්‍රගෙ ඇස් දෙක දිහා.

"ඇඩුවද මගෙ මැණික?ම්ම්ම්ම්?"

"ස්....සුදුබේබි.....අනේ....අහ්....නේත්‍රට සමාවෙන්න.....නේත්‍ර මෝඩයෙක්.....වගේ හැසිරුණා.....නේත්‍ර......ට....සමා..ව්...."

"ශ්ශ්ශ්....දැන් ඇති.ඇතුලට යන්ද මැණිකෙ? මෙතන ඉන්න බැ මදුරුවො කනවා"

"හරි සුදුබේබි....දෙයියනේ මදුරුවො කාලා පළුත් දාලා!"

ගේ ඇතුලට ආව ගමන් කකුල් දෙකට පණ ගත්තු නේත්‍ර ඉස්සෙල්ලාම කලේ කුස්සියට ගිහින් පොල්තෙල් බෝතලේ අරන් ඇවිත් ආශවගෙ අත් දෙකේ දාලා තිබ්බ පළු වල අතුල්ලපු එක.නිල ඇදුමෙ දිග කලිසම නිසා ආශවගෙ කකුල් දෙක බේරිලා තිබ්බ එකට පින් දුන්නු නේත්‍ර ආශවගෙ අත් දෙක දිහා බලද්දි නේත්‍රගෙ ඇස් වලින් උණු කදුලු කැට ගලාගෙන ගියා.

"ස්...සුදුබේබි පැය කීයක් මෙතනද? මම හිතුවේ එවෙලෙ ගියා කියලා....මම දන්නවනම් දොර අරිනවා සුදුබේබි.....අනේ ඇයි මට කතා නොකලෙ?"

"එවෙලෙ නේත්‍රට තනියෙන් ඉන්න ඕනි කිව්වනෙ....ඉතින් මම බාධා කරන එක හොද නෑ කියලා හිතුනා.නේත්‍රම හිත හදන් එලියට එනකං ඉන්නවා කියලා හිතන් මම හිටියා"

"පුටුවක්වත් තිබ්බෙ නෑ සුදුබේබි එලියෙ"

"බිම ඉඩ තිබ්බනෙ නේත්‍ර.....මම හොද නින්දකුත් දැම්මා"

"අහ්...නේ සුදුබේබි"

ආශවගෙ අවසරේ ලැබෙන්නත් කලින් ආශවගෙ උකුල උඩ ඉදගත්තු නේත්‍ර ආශවගෙ බෙල්ල වටේ තමන්ගෙ අත් දෙක පටලන ගමන් ඒ පිරිමි පපුවට තුරුල් වුණා.උදේ ඉදලා එකම ඇදුමෙන් උන්නත් ආශව ලගින් හමන ආශවටම ආවේණික සුවද නේත්‍රගෙ නාහෙට දැනෙන්න මහ වෙලාවක් ගියේ නෑ.ආශවගෙ පපුවෙ නාහෙ අතුල්ල අතුල්ල ටික වෙලාවක් හුරතල් වුණු නේත්‍ර ටිකකින් ආශවගෙ මූණ දිහා බලලා ඇස් දෙක බෝල කරගනිද්දි ආශව නේත්‍රගෙ කම්මුලක් සීරුවට අත ගෑවා.

"හැමදෙයක්ම කියන්න නේත්‍ර.....කිසිම දෙයක් මගනෑර..... කියලා හිත නිදහස් කරගන්න.හිතේ දේවල් හිර කරන් ඉද්දි ඒක ඔයාට වගේම වටේම් ඉන්න අයටත් වේදනාවක්"

"ස්....සුදුබේබි මේකයි....."

පැය බාගයක් විතරම නේත්‍ර හිතේ තියෙන හැමදේම කිය කිය,ගුරුවරු දෙන්නා අතර ඇති වුණු දෙබස පවා කියලා ඉවර කරනකන් ආශව නේත්‍රව තමන්ගෙ පපුව අස්සෙ ගුලි කරගෙන නේත්‍රව අහන් හිටියා.විටින් විටේ හූමිටි තිය තිය,නේත්‍රගෙ හිස් මුදුනෙ හාදු තවර තවර තමන්ගෙ අවධානෙ නේත්‍ර ලග තියෙනවා කියලා දන්නන ගමන් ආශව නේත්‍ර කිව්ව හැමදෙයක්ම අහන් හිටියා.කතාව ඉවර කරපු නේත්‍ර තමන්ගෙ ඇස් දෙකත් පිහගෙන ආශව දිහා බලද්දි දිලිසෙන ඇස් දෙකකින් නේත්‍ර දිහා බලන් හිටිය ආශව නේත්‍රව මහ හයියෙන් තද කරලා තුරුල් කරගත්තා.

"මට සමාවෙන්න මගෙ නේත්‍ර.....නොදැන හරි මම මගෙ පණ ඩිංගව රිද්දලා"

ආශවගෙ උණු කදුලක් තමන්ගෙ උරහිසකට වැටෙද්දි නේත්‍ර කලබල වුණත් ආශව නේත්‍රව තුරුල් කරගෙනම උන්නු විදියට ඉද්දි දෙන්නටම සැනසෙන්න පුළුවන් එකිනෙකාගෙ තුරුලෙ කියලා තේරුම් ගත්තු නේත්‍රත් ආපිට ආශවව තුරුල් කරගත්තා.විනාඩි ගාණක් නේත්‍රව තුරුල් කරන් උන්නු ආශව පුටුවෙන් නැගිටලා නේත්‍රව වඩාගෙනම බිම ඉදගත්තෙ පුටුවෙ ඉන්න එක අපහසුවක් වගේ උණු නිසා.අමතක කරන්න එපා.ආශව පැය ගාණක් එකම ඉරියව්වකින් ඉදලා තිබුනෙ.

"නේත්‍ර දන්නවද මම අද උපාධ්‍යා එක්ක නේත්‍රව තනියම කතාවට යැව්වෙ ඇයි කියලා?"

"න්....නෑ සුදුබේබි....මට ඒකට දුක හිතුනා."

"මේකයි මැණිකෙ,ඔයා ටිකෙන් ටික හරි සමාජෙට හුරු වෙන්නෝනි.ඔයා තවම පුංචි එකෙක් වගේ.මේ දරුණු සමාජෙ එක්ක ගැටෙන්න ඔයාට හිතන්නවත් බෑ.මට අන්න ඒකමයි බය.මම නේත්‍ර ලග ඉන්නවා තමා.මගෙ අන්තිම හුස්ම වෙනකං ඉන්නවා.ඒත් නේත්‍රටත් එනවා මම නැතුව සමාජෙ එක්ක ගැටෙන්න සිද්ධ වෙන තැන්.අන්න එදාට නේත්‍රට ඒක බැරි උනොත් නේත්‍ර පරාද් වෙනවා.

මම කැමති නෑ නේත්‍ර කිසිම තැනකදි පරාද වෙනවට! මගෙ නේත්‍ර හැමතැනින්ම දිනන්නෝනි! ඒක තමා උබේ සුදුබේබිගෙ එකම ආසාව! ඉතින් මම නේත්‍රව ඒකට හුරු කරන්නෝනි.ඒකෙ තේරුම මම නේත්‍රව සමාජෙට එකපාරටම අතෑරලා දානවා කියන එක නෙවේ.ටිකෙන් ටික කරනවා මම.එහෙම කලා කියලා මම නේත්‍රව තනි කරන්නෑ.

නේත්‍ර කොතනින් හරි වැටෙන්න එනවා දැනුනොත්,බය නැතුව වැටෙන්න මැණිකෙ....උබේ සුදුබේබි ඉන්නවා මගෙ  නේත්‍රව අල්ලගන්න.නේත්‍ර වැටෙන්නෙ බිමට නෙවේ.මගෙ අත් උඩට.නේත්‍ර ආරක්ෂිතයි! මම නේත්‍රගෙ පස්සෙන්ම ඉන්නවා.ඒ ගැන සැකයක් තියාගන්නෙපා.ඒත් අපි සමාජෙ එක්ක ගැටෙන්නත් දැනන් ඉන්නෝනි.මම හෙමිට කරන්නෙ ඒක.

ආයෙ මම මගෙ හිතුමනාපෙට වැඩ නොකර,නේත්‍රව කලින් දැනුවත් කරලම ඒ දේවල් කරන්නම්....සුදුබේබි අකමැතිම මේ බෝල ඇස් වල කදුළු හිටිනවට.ආයෙ සුදුබේබිගෙ අතින් ඒ වගෙ වැරදි වෙන්නෑ.මම මගෙ නේත්‍රට ආදරෙයි....මහ මෙරක් වගේ"

"මට සමාවෙන්න සුදුබේබි.....මම හැමදාම හරි කලබලයි"

"නේත්‍ර මට ආදරෙයි....ඒකයි එච්චරටම කලබල වෙන්නෙ.සමහර වෙලාවට මම කලබලයි....එවෙලෙට නේත්‍ර සන්සුන් වෙලා වැඩ කරන්නෙ.අර සිංදුවකුත් තියෙන්නෙ.....මා ඇවිලිලා....ඈ නිවනවා කියලා.ඒ වගේ තමා,මා ඇවිලිලා....ඔහු නිවනවා...."

"මම සුදුබේබිට ආදරෙයි"

"අනික,නේත්‍ර දන්නවද මම කොණ්ඩෙ වවන්න කිව්වෙ මට පුංචි නේත්‍රව ආයෙ දකින්න උවමනා නිසා මිසක මගේ නේත්‍රට ආදරේ නැතුව කියලවත් හිතුවෙ කොහොමද?එහෙම කොණ්ඩෙ වැව්වම නේත්‍ර ඒ කාලෙ හරි ලස්සනයි.ඉතින් පුංචි නේත්‍රට ලස්සන විදියම ලොකු නේත්‍රටත් ලස්සනයි කියලා තේරුනු නිසයි මම එහෙම කරමු කිව්වෙ.....අනික මොකෝ දෙන්නා දෙන්නෙක්ද? දෙන්නම එක්කෙනයිනෙ"

"න්...නෑ සුදුබේබි...මට බය හිතුනා....සුදුබේබි පුංචි කාලෙ නිසා තිබ්බ බැදීම නිසා විතරයිද මෙහෙ...."

"නේත්‍ර.....ඔයාටයි චූටි නේත්‍රටයි මගෙ හිතේ තියෙන්නෙ එකම එක වෙනසයි"

"ස්....සුදුබේබි?"

"මගෙ හිතේ තියෙන හැගීම මොකද්ද කියලා නොතේරී මම ඒ කාලෙ පුංචි නේත්‍රට ආදරේ කලා.....මගෙ හිතේ තියෙන හැගීම මොකද්ද කියලා තේරුම් අරන් මම ඇබින්දක් ලොකු නේත්‍රට ආදරේ කරනවා.ඒක විතරයි නේත්‍ර එකම වෙනස.නේත්‍ර කියන්නෙ මගෙ පණ.....මගෙ හුස්ම ටික....මගෙ හැමදේම"

නේත්‍රගෙ කම්මුල් දෙක අල්ලගත්තු ආශව හෙමින් සැරේ නේත්‍රගෙ දෙතොල් වෙතට බර වෙද්දි නේත්‍ර එකපාරටම ආශවගෙ කට වහලා ඔලුව දෙපැත්තට වැනුවා.

"මොකද්ද නේත්‍ර! මට තමා දෙන්න බැරි....අර පොඩි උන්ට දෙනවා"

"සුදුබේබියි මායි දෙන්නම ඇග සෝදන් නෑ නේද තාම? ගිහින් ඇග සෝදගන්න පටන් ගන්නකො සුදුබේබි....මම සරමකුයි කමිසෙකුයි අරන් එන්නම් සුදුබේබිටත්"

නේත්‍ර දිහා බලලා ගැස්සුව ආශව අඩිත් හප්පගෙන ලිද පැත්තට යන හැටි බලාගෙන හිනා වුණු නේත්‍ර තමන්ගෙ කාමරේ තිබ්බ පුංචි කබඩ්ඩුව ඇරලා ඒකෙන් ආශවටයි තමන්ටයි ඇදුමකුයි තුවායකුයි අරන් ලිද පැත්තට ගියා.ආශව වතුර ඇදලා දීලා නේත්‍ර ඇග සෝදගන්නකං අහක බලන් ඉද්දි නේත්‍ර හීතල වතුරෙන්ම ඇග සෝදගත්තා.ආශවත් ඇග සෝදගන්නකං ලිං බැම්ම උඩින් කකුලුත් පද්ද පද්දි කියෝ කියෝ හිටිය නේත්‍ර ආශව එක්කම ගේ ඇතුලට ගියේ ආශවගෙ බඩ කෑගහන සද්දෙ නේත්‍රගෙ කන් වලටත් ඇහෙන් තරම් ප්‍රබල වුණු නිසා.

"සුදුබේබි කන්නෙ මොනාද? ආසා?"

"නේත්‍ර දන්නවනේ....ම්ම්ම්ම්....."

"ස්...සුදුබේබි....කෝ අහකට වෙන්නකො....කිති මට"

ලොකු කමිසෙකට කොට කලිසමක් ඇදන් උන්නු නේත්‍ර පොල් බෑවත් අතේ තියාන ආශවගෙන් අහද්දි සරමකින් විතරක් සැරසිලා උන්නු ආශව නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරගත්තා.නේත්‍රගෙ හීන් ඉණ වටේ තමන්ගෙ නහර පිරුණු අත් දෙක පැටලෙව්ව ආශව නේත්‍රගෙ කනට කරලා මුමුණද්දි දැනෙන කිතියයි සබකෝලෙයි නිසා නේත්‍ර එහෙට මෙහෙට දගලන්න ගත්තෙ තද රතුපාට වෙන ගමන්.

"ස්...සුදුබේබි....අනේ අර කමිසෙ දාගන්නකො..."

"ම්හ්.....මෙහෙම ඉද්දි මොකෝ? ආසා නැද්ද?"

"ස්....සුදුබේබි අද අමුතුයි.....කෝ අහකට වෙන්නකො....මට ලැජ්ජයි"

"අද ඔයාව මට හුගාක් මගෑරුනා නේත්‍ර..... මගෙ හිතට ලොකු බයක් ආවා නේත්‍ර මගෙන් ඈත් වෙයි කියලා.... ආයෙ එහෙම කරන්නෙපා හොදද?"

"කවදාවත් නෑ සුදුබේබි"

"ම්හ්හ්....නේත්‍ර ලග සුවදයි.....ගැටපිච්ච මල මගෙ"

ආශව කටහඩ හොදටෝම ගැඹුරු කරලා නේත්‍රගෙ කන් පෙති මතම කොදුරද්දි නේත්‍රගෙ කකුල් දෙක පවා වෙවුලලා ගියා.ආශව ටිකෙන් ටික නේත්‍රව ඒ දේවල් වලට පවා හුරු කරවන ගමන් හිටියෙ නේත්‍ර කියන්නෙ හාදුවකටත් උණ ගැනුනු මනුස්සයෙක් වග ආශවට හොදටම මතක තිබ්බ නිසා.දිවාෂ කියන්නැහේ මෙව්වා නේත්‍රට පුරුදු නොකෙරුවොත් ඒකෙන් පාඩුවත් කවදාහරි ආශවටම තමා!

"ස්.. සුදුබේබි කන්න හද...අහ්හ්....අනේහ් සුදුබේබි...කිත්...හි....කිති"

"කරවල හොද්දක් හදලා සම්බෝල හදමු"

"හ්...හා සුදුබේබි.....ඩිංගිත්තකට මාව අතාරිනවද? උයලා ඉවර උ...."

"අද රෑ මම මෙහෙ නවතින්නම්.....එතකොට මට පුළුවන් අද දවසෙම උනු පාඩුව කවර් කරගන්න"

"සුදුබේබි! එපා අනේ....නේත්‍රට ලැජ්ජයිනෙ"

ආශව හිනා වෙවීම නේත්‍රගෙ කන් පෙත්තම් රිදෙන නොරිද්දෙන ගානට හපලා නේත්‍රගෙන් ඈත් වුණා.වත්ත පිටිපස්සට ගිහින් කොච්චි කරල් දෙක තුනක් කඩන් ආව ආශව අතේ තව මොකක් හරි තියාගෙන කොච්චි ටික නේත්‍රට දුන්නා.පොල් කිරි මිරිකලා හට්ටියකට දාන නේත්‍ර දිහා බලන් උන්නු ආශව නේත්‍ර දිහාවට තමන්ගෙ ඇස් දෙක යොමාගෙනම කුස්සියෙ පිටිපස්සෙ දොරකඩට හේත්තු වුණා.ඒත් එක්කම නේත්‍රට ඇහෙන්න ගත්තෙ ආශවගෙ ගැඹුරු කටහඩ.

"රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා....

කියඹුලතා ඇයි මාව කොනිත්තලා......

ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා...

මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා.....

මා ඇවිලිලා.. ඔහු නිවෙනවා..

ඔහු ඇවිලිලා.. මා නිවෙනවා..

උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා.....

සඳ නැති රෑ තරු සියොළඟ කතා කළා.....

අත අතනෑරම නොනිදා පහන් කළා....

නිදි නැති නදියක උණුහුම ඉපැද්දුණා....

මා ඇවිලිලා.. ඔහු නිවෙනවා..

ඔහුඇවිලිලා.. මා නිවෙනවා..

උරහිසේ හිස තියන් ආදරේ කියනවා....

වේදනා ඇස් දෙකේ ඇවිලිලා....

මා නිවෙනවා ඔහු නිවෙනවා...

ඔහු නිවෙනවා මා නිවෙනවා...."

සිංදුවෙන් සිංදුවෙන් නේත්‍ර ලගට ඇවිදන් ආව ආශව නේත්‍රගෙ ඉණ වටේ අත් යවන ගමන් නේත්‍රව තමන්ගෙ ඇගට තද කරගත්තා.ආශවගෙ නිරුවත් උණුහුම් පපුව තමන්ගෙ පිටට දැනෙද්දි නේත්‍ර වෙවුලන ගමන් ආශවගෙ පපුවට තව ඩිංගක් තුරුල් වුණා.නේත්‍ර කරවල හොද්ද බාපු ගමන්ම නේත්‍රව හරවලා තමන්ගෙ පපුවට තද කරගත්තු ආශව තත්පරයක්වත් අපතෙ යවන්නෙ නැතුව නේත්‍රගෙ දෙතොල් වලට බර වුණා.

"ම්හ්ම්ම්....."

"නේත්‍ර.....අද මට ඇති තරමක් ඔයාව කිස් කරන්න ඕනි....කමක් නැද්ද?"

"හ්..හරි සුදුබේබි..අහ්..."

නේත්‍රව එකපාරටම ඇදලා ඇගටම තද කරගත්තු ආශව නේත්‍රගෙ කම්මුලකුත් සියුම්ව පිරිමදින ගමන් නේත්‍රගෙ දෙතොල් වල තමන්ගෙ ශක්තිමත් දෙතොල් තෙරපන්න ගත්තා.ජීවිතේ පලවෙනිම වතාවට නේත්‍රගෙ යටිතොල හපලා අවසර ගත්තු ආශව බාගෙට විවර වුනු නේත්‍රගෙ දෙතොල් අතරින් තමන්ගෙ දිව රිංගවද්දි ලොකු කෙදිරිල්ලක් පිට කෙරුව නේත්‍ර ආශවගෙ ඇගටම කඩා වැටුනා.නේත්‍ර ඇදගෙන වැටෙන්න යන වග තේරුනු ආශව නේත්‍රව එහෙම්මම වඩාගෙන කුස්සියෙ තට්ටුව උඩින් තියද්දි නේත්‍ර ආශව කරන දෙයක් කරගන්න දීලා ආශවගෙ පපුව උඩින් තමන්ගෙ පුංචි අත් දෙක ගුලි කරන් හිටියා.

නේත්‍රගෙ හීනි ඉන වටේ තියෙන ග්‍රහනෙ තව ටිකක් වැඩි කරන ගමන් ආශව නේත්‍රගෙ මුවේ රස තැන් හොයන ගමන් නේත්‍රව ගැඹුරින් රස විදිද්දි නේත්‍ර ඇස් දෙක පියාගෙන ඒ දැනෙන අමුතු හැගීම විදින ගමන් හිටියා.අඩුම නේත්‍ර අද වෙනකං ආපිට හාදුවට ප්‍රතිචාර දැක්කුවෙවත් නැහැ.ආශව කරන දේ විදින ගමන් හිටිය නේත්‍ර හුස්ම ගන්නම බැරි වුණු තැන ආශවගෙ පපුවට තට්ටු කලා.

නේත්‍රගෙ නළලට තමන්ගෙ නලල හේත්තු කරගත්තු ආශව ටිකක් වේගෙන් හති දාද්දි නේත්‍රත් ඒ පිටම ඒ වේගෙන්ම හති දැම්මා.නේත්‍රගෙ දිලිසෙන බෝල ඇස් වලින් පේන තමන්ගෙම ප්‍රතිබිම්බෙ දිහා බලාගෙන ආශව හිනා වෙද්දි ආශවගෙ ඇස් දිහා බලන්න ලැජ්ජා හිතිලා උන්නු නේත්‍ර තමන්ගෙ රතු වුණු මූණ බිමට හරවගෙන උන්නා.නේත්‍රගෙ කෙස් කැරැල්ලකින් පල්ලම් බහින්න පටන් ගත්තු ආශවගෙ දබරැගිල්ල ආයෙම වතාවක් නේත්‍රගෙ ලාවට ඉදිමීගෙන එන දෙතොල් මතින් නවතිද්දි නේත්‍ර ලැජ්ජාවෙන් හිනා වුණා.

ඒ අතරෙ ආශව කලින් කඩාගෙන ඇවිත් අතේ හංගන් උන්නු ගැටපිච්ච මල් පොහොට්ටුව පිපීගෙන එන ගමන් තිබ්බ නිසා ඒකෙන් හමන සුවදින් මත් වුණු ආශව ආයෙම පාරක් හෙමීට නේත්‍රගෙ තොල් වලට බර වුණා.

...................................................................................................

වචන 5100+ හරිත😾❤️

දිගයි මේ චැප් එකනම්.....කලින් එකට කමෙන්ට්ස් ගොඩාක් හම්බුනු නිසා මේක දිගට දුන්නා😗❤️

මේ චැප් එකනම් මම ආසා විදියටම ලියවුණා....ආශවවයි නේට්ටව‍යි හුගාක්ම දාලා🥺❤️ඉතින් මට මේකට කමෙන්ට්ස් ඕනි හරිත🥺❤️මම මහන්සියෙන් ලිව්වෙකට ලැබෙන එකම වටිනාකමනෙ ඒ🥺❤️

ඉතින් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter