Back
Chapter 5

04 කොටස🤍✨️

නිවාලන්න මා...

"මැණිකේ.... ටිකක් මෙහෙට ආවානම්"

උදැහැනැක්කේම නා කියාගෙන වලව්වෙ ආලින්දයේ තිබුණු කළුවර ලීයෙන් නිමවපු ඇඳි පුටුවෙ ඈදි ගත්තු මහමුදියන්සේ තමන්ගේ හඬ අවදි කරද්දී වත්තෙ වැඩට හිටපු හරමානිස් මහ මුදියන්සෙට කොන්ද නවාගෙන ආචාර කරගෙනම ගියේ වලව්වෙ ඉස්සරහ වත්ත අතුපතු ගාලා දාන්න.

අක්කර ගාණක වත්තක් මැද්දෙ ඉදි කරලා තිබුනු ඉරුගල්බණ්ඩාර වලව්ව හතරවටේම මහ විසාලෙට ඒ වත්ත පැතිරිලා තිබුනා.ගස් කොලන් වලිනුත් අඩුවක් නොවිච්ච මේ වත්ත පිටිය අතුපතු ගාලා දාන එක ලේසිපහසු කටයුත්තක් උනෙත් නෑ.අද අතු ගාලා දැම්මට හෙට එලි වෙද්දි ගස් වලින් වැටෙන කොල වලින් වත්ත පිරිලා යද්දි වත්තෙ වැඩට උන්නු සේවකයො හරි හරියට ඒ පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලුනේ මහ මුදියන්සෙ වගේම ලොකු මැණිකෙත් පිරිසිදු කම කියන දේ මහ ඉහලින්ම අදහපු ජෝඩුවක් නිසා.

වලව්වෙ ඉස්සරහ වත්ත කෑල්ලයි පැත්තකට වෙන්න තිබුනු කෑල්ලයි තනකොල ගාණට කපලා එක එක ගෙවතු අලංකරණ ක්‍රම වලින් සකසලා තිබුනත් එතනින් එහාට පටන් ගන්න වතු කොටස ලදු කැලෑවකටත්,එතනින් අක්කර කිහිපයක් එපිටට ගිහාම හමුවෙන වතු කෑල්ල ඝන කැලෑවකට සමාන විදියටත් සැකසිලා තිබුනා.

වලව්ව අවට තිබ්බ ඒසා විසාල ඉඩම වගේම,ගම්මානෙත්,ගම්මානෙ අවට වගේම නගරබදවත් තිබ්බ දේපලවලට ඉරුගල්බණ්ඩාර වලව්ව අයිතිවාසිකම් කිව්වා වගේම තමන්ගෙ මුදියන්සෙට තියෙන ඉඩකඩම් වල ප්‍රමාණෙ ලොකු මැණිකෙවත් හරි හැටි නොදැන ඉද්දි ගම්මු ඒවැයෙ ප්‍රමාණෙ මෙච්චරයි කියලා කොහෙ දැනගන්නද?

"අපේ මහත්තය අඩගැහුවෙ?"

ලොකු මැණිකේ ඔසරි පොටත් අත වටේ දාගෙන ඇවිත් මහා මුදියන්සේ වාඩි අරන් ඉදපු ඇඳි පුටුව ළඟම තිබ්බ ඊට වඩා ටිකක් කුඩා කළුවර ලීයෙන්ම නිමවලා වේවැලෙන් හැඩ යොදලා තිබුන පුටුවෙන් වාඩි වෙද්දි වලව්වේ ඉස්සරහ වත්ත දිහා බලන් ඉදපු මුදියන්සේ එහෙමම ඔලුව හැරෙව්වෙ ලොකු මැණිකෙගෙ පැත්තට.

"සිංහවංශ මහත්තයා දික්කසාද වෙනවයි කියන්නේ....."

මහා මුදියන්සේ ගේ කතාවෙන් ලොකු මැණිකේ ඇස් දෙකත් උඩ යද්දි මහා මුදියන්සේ තමන්ගේ කතාව නතර කරලා ආපහු පාරක් වලව් ඉස්සරහ තිබුණු වත්ත දිහාවට තමන්ගේ ඇස් දෙක හරවගෙන හිටියා.

"මේ අපේ සිංහවංශ මහත්තයා? ඒ ඇයි අපේ මහත්තයා එයාලා එහෙම තීරණයක් අරන් තියෙන්නෙ?"

"මම සිංහවංශට එදත් කිව්වා අදත් කියනවා....මේ උඩරටත් එක්ක ඔය සංකර නගරෙ කොහෙ පෑහෙන්නද අපේ මැණිකෙ?"

මහ මුදියන්සෙ කට කොනකට හිනා වීගෙන කියද්දි ලොකු මැණිකෙත් දිග හුස්මක් පල්ලෙහාට හෙලලා හිස් අවකාශෙට තමන්ගෙ අවධානෙ යොමු කරන්නට වුනා.ඇස් දෙකත් පියාගෙන ඇදි පුටුවේ ඈදිගෙන හිටිය මහ මුදියන්සෙගෙ ඔලුව ඇතුලෙ වැඩ කලේම සිංහවංශ හා සිංහවංශගෙ බිරිදගෙ විවාහ ජීවිතේ ගැන.

උසස්පෙල කරලා ඉවර වෙලා සාගර ඉරුගල්බණ්ඩාර ඉගෙනීම අතෑරලා දාලා තමන්ට පියාගෙන් දායාද විදියට ලැබුනු වත්කම් වල හයියෙන් ව්‍යාපාර අංශෙට අතගහද්දි සාගරගෙ ලගම යාලුවෙක් උනු නිශ්ශංක සිංහවංශ කොලබ විශ්වවිද්‍යාලෙට තේරී පත් වෙලා හිටියා.කොලබ ගිය නිශ්ශංකයි,නුවර උන්නු සාගරයි දෙන්නා තම තමන්ගෙ වැඩ එක්ක කාර්‍යබහුල වීම නිසා ටිකක් දුරස් වුනත් ඒ යාලුකම නැති වෙලා ගියේ නෑ.පුලු පුලුවන් වෙලාවට වලව්වෙ තිබ්බ ස්ථාවර දුරකතනෙන් නිශ්ශංක නවාතැන් අරං උන්නු ගෙදර දුරකථනෙට කතා කල සාගර ආගිය තොරතුරු කතා කරන්න අමතක කරෙත් නෑ.නිශ්ශංකත් එහෙමයි.

අවුරුදු තුනක් විතර ගතවෙද්දි තමයි නිශ්ශංක තමන්ගෙ ආදර සම්බන්ධය ගැන සාගරට කියන්න පෙලඹුනේ.ඒ වෙද්දිත් ඒ සම්බන්ධෙට මාස ගාණක් ගත වෙලා තිබුනා.නිශ්ශංකගෙන් ඒ ගැන දැනගත්තු සාගරගෙ කටින් එදා පිටවුනේ "උඩරට අපි එක්ක ඔය කොලබ උන් පෑහෙන්නෙ නෑ බං" කියන වචන ටික.ඒත් නිරාෂා එහෙමත් නැත්තං නිශ්ශංකගේ ආදරවන්තිය ඒ වෙද්දිනුත් නිශ්ශංකට නැතුවම බැරි කෙනෙක් වෙලා ඉද්දි සාගරගෙ වචන අහක දාපු නිශ්ශංක ඒ සම්බන්ධෙ ඉස්සරහටම කරගෙන ගියා.

අන්තිමට තව අවුරුදු දෙක තුනක් ගත වුනු තැන නැකැත් බලලා,නුවර වගේම කොලබත් වෙන වෙනම මගුල් ගෙවල් දෙකක් අරගත්තු නිශ්ශංක වගේම නිරාශා එක වහලක් යටට වෙද්දි සාගර තමන්ගෙ හදවතින්ම ඒ දෙපලට සුභ පැතුවා.මොකද තමන්ගෙ යාලුවගෙ සතුට සාගරට හැමදේටම වඩා වැඩි වුනු නිසා.කාලයක් ගතවෙද්දි හරියටම සාගරගෙ පලවෙනි බිරිදට ආශවව ලැබෙන්න මාස දෙකකට කලින් නිරාශා නිවුන් දරුවො දෙන්නෙක්ට උපත දුන්නා.එහෙත් කොල්ලො වෙලා මෙහෙත් කොල්ලෙක් ඉපදුනත් ඒ ලමයිව පුංචි කාලෙ ඉදන් එකට තියන්න බැරි වුනේ නිශ්ශංක කොලඹ පදිංචියට ගිහින් හිටිය නිසා.

සාගරගෙ වචන ටික බොරුවක් කියලා පෙන්නන ගමන් නිශ්ශංක නිරාශා දෙන්නා වැදගත් විදියට පවුල් ජීවිතේ ගත කරගෙන හිටියා.ඉස්සර පුරුද්දටම කොච්චර දුරක උන්නත් සාගර නිශ්ශංක දෙන්නා දුරකථන වලින් තොරතුරු කතා කරගන්න අමතක කලෙත් නෑ.නිශ්ශංක, සාගරට හිටිය විශ්වාසවන්තම පුද්ගලයෙක් වුනා.ඒ විශ්වාසෙ උඩම තමයි ආශවගෙ ඉස්කෝල ගමන වෙනුවෙන් ආශවව සාගර මහමුදියන්සේ නිශ්ශංකගෙ ගෙදර නතර කරන්නෙත්.වැදගත් පැත්තක වැදගත් විදියට ජීවත් වුනු පවුලක් නිසා නිශ්ශංකගෙ ගෙදර ආශවට ගැලපෙනම තැනක් කියලා මහ මුදියන්සෙ දැනගෙන හිටියා.

ඒත් නොහිතපු වෙලාවක ආශවව නුවර එක්කන් ආපු දවසෙ නිශ්ශංක කිව්ව කතාවක් නිසා සාගර හිටියෙත් ලොකු කුතුහලේක.

"ගෙදර ප්‍රශ්න වගයක් තියෙනවා සාගර මහත්තයා.....මම ඒවා පස්සෙ වෙලාවක කතා කරන්නම්කො"

එදා නිශ්ශංක කිව්ව දේත් එක්ක සාගරට ආපු කුතුහලේ නැති වෙලා ගියේ ඊයෙ රාත්‍රියෙ ආපු දුරකතන ඇමතුමක් නිසා.නිශ්ශංක සිංහවංශ කියපු විදියට නිරාශා දෙන්නගෙ දික්කසාදෙට ඔක්කොම ලියකියවිලි පවා ලෑස්ති කරලා.

හරිහැටි විස්තරයක් නොකිව්වට කොලඹ පන්නෙ යාලුවො ආස්‍රේ කරන ගමන් ඒ විදියටම හැඩගැහුනු නිරාශා එක්ක නිශ්ශංක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා.මෙච්චර කල් දරුවො දෙන්නාගෙ වැඩ එක්ක කාර්‍යබහුල වෙලා හිටපු නිරාශා දැන් දරුවො දෙන්නා තනියම වැඩපල කරගන්න පුළුවන් වයසක ඉන්න නිසා තමන්ගෙ නිදහස හොයාගෙන ගියා කියලා තමා නිශ්ශංක කිව්වෙ.

කොලඹ පැලැන්තියෙ ගෑනු යාලුවො ටිකක් ආස්‍රේ කරන නිරශා අවුරුදු දහතුනකට විතර පස්සෙ එයාලා එක්ක ෂොපින් යන්න,සැලෝන් යන්න,විනෝද ගමන් යන්න වගේ දේවල් කරන්න පටන් ගත්තු නිසා නිශ්ශංක ඉදලා තියෙන්නෙ ලොකු පීඩනේක.මොකද නිශ්ශංකට හිතෙන විදියට ඒ දේවල් වලින් දරුවන්ට තිබ්බ අවධානෙ,දරුවන්ගෙ වගකීම නිරාශගෙ අතින් මගහැරිලා තියෙනවා.

"ඒකද අපේ මහත්තයා මේ දේවල් වලට හේතුව එතකොට?"

නිශ්ශංක කලින් දා රාත්‍රියෙ තමන්ට දුරකතනෙන් කිව්ව දේවල් ලොකු මැණිකෙට පැහැදිලි කලාට පස්සෙ ලොකු මැණිකෙ ඇහුව ප්‍රශ්නෙට මහමුදියන්සේ දිග හුස්මක් හෙලුවා.

"ඒවගෙන් තමා ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නෙ මැණිකෙ.ඒත් ප්‍රශ්නෙ වැඩි වෙලා තියෙන්නෙ ලගකදි....නිරාශා ලමයි දෙන්නව කොලඹ පන්නෙට හැඩගස්සවන්න උත්සාහ කරනවලු.නිශ්ශංක කැමති කොල්ලො දෙන්නා නුවර පන්නෙට වැදගත්කමට හැදෙනවට.ඕකෙන් තමා ප්‍රශ්න දුරදිග ගිහින් තියෙන්නෙ....."

මහ මුදියන්සෙ කලකිරුණු හඩකින් කියද්දි ලොකු මැණිකෙ කලේ ඈත බලාගෙන හූල්ලපු එක.

"මොනවා උනත් දරුවො දෙන්නා පවු....දරුවෙක්ට අම්මා අප්පච්චි දෙන්නම ඉන්න එපායෑ අපේ මහත්තයා...දරු දෙන්නට මොකක්ලුද වෙන්නෙ දැන්?"

"ලොකු පුතා නිශ්ශංක ලගට ගන්නවලු.පොඩි පුතාව නිරාශා ලගට ගන්නවලු....උසාවියෙන් උනත් ඒ තීරණේට කැමැත්ත දෙයි කියලා තමා නිශ්ශංක කිව්වෙ මට."

මහ මුදියන්සෙගෙ වචනත් එක්ක ලොකු මැණිකෙ කලේ ආපහු පාරක් හූල්ලපු එක.තමන් මෙහෙ ආව මුල් අවධියෙ ආශව කොච්චරනම් තමන්ව අහකට තල්ලු කර කර ආශවගෙ අම්මව ඉල්ලලා ඇඩුවද කියලා ලොකු මැණිකෙට මතක් වුනා.එහෙව් එකේ අම්මා නැතුව එක පැත්තක තනි වෙන දෙවින් ගැනයි,අප්පච්චි නැතුව එක පැත්තක තනිවෙන තෙවින් ගැනයි ලොකු මැණිකෙගෙ හිතට ආවෙ ලොකු දුකක්.නොගැලපීම් දරාගෙන ජීවත් වෙන්න උත්සාහ නොකරපු එක ගැන කවදහරි දවසක නිරාශා වගේම නිශ්ශංක පසුතැවෙයි කියලා ලොකු මැණිකෙ හිතුවා.

"එතකොට නිශ්ශංක මහත්තයා වෙනම ගේක පදිංචියට යනවලුද?"

ලොකු මැණිකෙ අහද්දි මහ මුදියන්සෙ හරිබරි ගැහිලා පුටුවෙන් ඉදගෙන උත්තර දෙන්න පටන් ගත්තා.

"නෑ මැණිකෙ.....නිශ්ශංක නුවර මහගෙදර එනවලු.එහෙ ඉන්නෙත් මහ කුමාරිහාමි විතරනෙ.නිශ්ශංකට දරුවවත් හදාගෙන එහෙ ඉන්න එක පහසුවක් වෙයි.සතියක් දෙකක් ඇතුලත දික්කසාදෙ ලැබෙයි කියලා නිශ්ශංක කිව්වෙ.දවසකින් දෙහෙකින් නුවර එයි ඒ උනාට මෙහෙ පිලිවෙලක් කරගන්න.දරුවගෙත් හිත හදන්න එපායෑ.මොකෝ ඒකා වෙන් වෙන්නෙ තමන්ගෙම නිවුන්නගෙන් නෙ.ඒ බැදීම සාමාන්‍ය සහෝදර බැදීමකටත් වඩා ඝනයි මැණිකෙ."

"වැඩිහිටියන්ගෙ වැරදි වලින් අන්තිමට විදවන්නෙ අහිංසක නොදරුවො අපේ මහත්තයා"

ලොකු මැණිකෙ ඇස් වලට උනපු කදුළු පිහිදන් කියද්දි මහ මුදියන්සෙ හිස හොලවලා ඒකට එකග වෙන ගමන්ම ඉස්සරහ බලන් කල්පනා කරන්න ගත්තා.

.

.

.

.

.

"එතෝට කොලබත් යක්කු ඉන්නවද සුදුබේබි?"

නේත්‍ර ඇස් දෙකත් ලොකු කරන් අහද්දි සුදුබේබි අහංකාර විදියට ඔලුව ගස්සන ගමන් ඔව් කියලා කිව්වා.

"ඒ යක්කුත් මෙහෙ යක්කු වගේම හවහට විතරද එලි බහින්නෙ සුදු බේබි?"

දිවාෂ අහද්දිනම් උත්තර නොදුන්න සුදුබේබි දිවාෂටත් ඔරවලා ආපහු තමන්ගෙ පයපාමුල ඉදන් හිටිය නේත්‍රගෙ දිහාට අවධානෙ යොමු කලා.

ඔව්....

පුරුදු විදියටම අද උදෙත් සුදුබේබිව හොයං වලව්වට දුවං ආපු නේත්‍රට ආපහු පාරක් සුදුබේබිත් එක්කම තමන්ගෙ ගෙදරට යන්න වුනේ තමන්ගෙ කටින් පිටවුනු වැරදි වචනයක් නිසා.ඊයෙ හවස නිර්මලා අග්ගලා හැදුවා කියලා නේත්‍රගෙ කටින් පැන්න වචනෙ නිසා අග්ගලා වලට මල පෙරේත සුදුබේබි නේත්‍රවත් ඇදගෙන නේත්‍රගෙ පුංචි ගෙදරට දුවගෙන ගියා.

තමන් එක්ක කතාවට ආව අරුන්දතීවත් නොසලකා ඇරපු සුදුබේබි අරලිය ගහ යට තිබුනු බංකුව උඩ වාඩි වෙලා එකපැත්තකින් නේත්‍රවයි අනික් පැත්තෙන් අග්ගලා පිගානයි තියාගෙන අග්ගලා වල රස බලන්න පටන් අරන් තිබ්බා.නේත්‍ර එක්ක හිනාවෙවී කතා කර කර අග්ගලා කකා හිටපු සුදුබේබිගෙ මූණ වෙනස් උනේ එකපාරටම කොහෙද ඉදලා දුවං ආපු පොඩි කොල්ලෙක් නේත්‍රගෙ ඇගෙ එල්ලුනු නිසා.

"නේත්‍රයෝ......මම ආවෝ....."

"ආනේ දිවාෂ....."

නේත්‍රගෙ කරවටේට අතපටලගත්තු කොල්ලව තත්පර ගාණක් යන්නත් කලින් අහකට වීසිවෙලා ගිහින් බිම පස්ස ඇනෙද්දි නේත්‍ර බය වෙලා බලන් හිටියෙ තමන්ගෙ ලගට වෙලා දිවාෂ දිහා ඔරවගෙන බලන් හිටපු සුදුබේබි දිහා.

"එයා මගෙ යාලුවා.....තමුන්.....තමුන්.....එයාගෙන් අහකට වෙලා ඉන්නවා........"

සුදුබේබි මහ හයියෙන් කෑගහද්දි සුදු බේබිගෙ අතින් අල්ලලා බංකුව උඩ සුදුබේබිව ඉන්දෝපු නේත්‍ර බිමවැටිලා අඩන දිවාෂවත් නැගිට්ටවලා බිම ඉන්දෙව්වා.තාම උනු දේ හිතාගන්න බැරුව හිටපු දිවාෂටත්,නහයෙන් දුම් පිඹ පිඹ ඉන්න සුදු බේබිටත් කරුණු පැහැදිලි කරලා දීලා දෙන්නට දෙන්නව අදුන්වලා දුන්නු නේත්‍රත් සුදුබේබිගෙ පය පාමුලින් ඉදගත්තා.

නිවාඩු කාලෙ නිසා ගාල්ලෙ නැන්දලාගෙ ගෙදර ගිහින් හිටපු දිවාෂ නිවාඩු ඉවර වෙන්නත් කිට්ටු නිසා ආපහු තමන්ගෙ ගෙදරට ඇවිත් හිටියා.ගෙදර ආව ගමන්ම ගාල්ලෙන් එද්දි නැන්දා දීපු දොදොලෙන් කෑල්ලක් කපලා ඔතාගත්තු දිවාෂ ඒ ගමන්ම දුවං ඇවිත් තිබ්බෙ ඒක තමන්ගෙ යාලුවානුනු නේත්‍රට දෙන්න.ඒත් අන්තිමට එතන උන්නු අමුතුම ජීවියෙක්ගෙ සද්ද බද්ද වලට තමන්ට ලක් වෙන්න උනු නිසා දිවාෂ හිටියෙත් ටිකක් බය වෙලා.

ටික වෙලාවක් යද්දි කතාවෙන් කතාවෙන් තුන්දෙනා එක්ක හොල්මන් ගැන කියවන්න ගනිද්දි යක්කු භූතයො ඉස් මුදුනෙන්ම පිලිගත්තු නේත්‍රයි දිවාෂයි දෙන්නා කොලඹ උන්නු යක්කු ගැන දැනගන්න හරි උනන්දු වුනා.දිවාෂ එක්ක තිබ්බ හිත නොහොද නිසා දිවාෂ එක්ක කතා නොකලට,බෝල ඇස් ලොකු කරන් තමන්ගෙන් ප්‍රශ්න අහන නේත්‍රව නොසලකා හරින්න සුදුබේබිට පුළුවන්කමක් නැති වෙද්දි සුදුබේබිත් ඒවට උත්තර දිදී හිටියා.

"කොලඹ යක්කුන්ට වෙලාවක් කලාවක් නෑ නේත්‍ර.එහෙ යක්කු එයාලට ඕනි වෙලාවට එහෙ මෙහ යනවා"

සුදුබේබි තඩි බේගලයක් ඇදබාද්දි සුදුබේබි කියන හැමවචනෙම ඉස්මුදුනෙන් පිලිගත්තු නේත්‍ර හූමිටි තිය තිය සුදුබේබිගෙ කතා අහන් හිටියා.

"එයාලත් මෙහෙ ඉන්න යක්කු වගේමද සුදු බේබි?"

නේත්‍ර ඇස් දෙකත් ලොකු කරන් අහද්දි සුදුබේබි නේත්‍රගෙ මූණ ගාවට නැවිලා තමන්ගෙ ඇස් දෙකත් ලොකු කරගෙන ආපහු පාරක් තඩි පචයක් කියන්න පටන් ගත්තා.

"නෑ.....කොලඹ යක්කු මේ වගේ නෙවෙයි.....කොලඹ ඇන්ටි යක්කු,අන්කල් යක්කු,ලමයි යක්කු කියලා තුන්ගොල්ලක් ඉන්නවා.ඇන්ටි යක්කු කියන අයගෙ මූණු සුදුම සුදුයි....ඇස් වටේ කලු පාටයි.....කටවටේ රතුම රතු පාටයි.....ලමයි යක්කු කියන අය කොටයි....කොන්ඩ කළු පාටයි.....ඇස් හීනිම හීනියි....සුදුම සුදුයි...අන්කල් යක්කු කියන අයගෙ බඩවල් ලොකුම ලොකුයි.....ඇයි දන්නවද? එයාලා රෑට රෑට ඇවිත් ලමයිව ගිලිනවා....ව්‍රාහ්හ්හ්හ්හ්!!!!!"

සුදුබේබි අන්තිම හරිය කියන ගමන් කෑ ගහගෙන නේත්‍රලා හිටපු හරියට පනිද්දි කතාවෙ සිහියෙන් ඉදපු නේත්‍රයි දිවාෂයි දෙන්නා මහා හයියෙන් කෑගැහුවා.තමන් ඇද්ද බේගලේට පොඩි දෙන්න රැවටුනා කියලා දැනගත්තු පුංචි හාමු මහත්තයට තමන් හරි ලොකුකමින් ඉවත බලාගද්දි ලමයි යක්කු විදියට පැහැදිලි කලේ දෙවින් තෙවින් දෙන්නගෙ හැඩරුව කියලා මතක් වෙලා මහ හයියෙන් හිනා ගියා.

"ස්...සුදු බේබි....."

නේත්‍රගෙ වෙවුලන කටහඩ ඇහුනු සුදුබේබි ඉදගෙන හිටපු තැනින් බිමට බැහැල බිම ඉදන් උන්නු නේත්‍රව තුරුල් කරගත්තෙ ඒ බෝල ඇස් වලින් දැනටමත් කදුලු කැට දෙක තුනක් පල්ලම් බැහැලා කියලා දැක්ක නිසා.හරියට මේ ඔක්කොම කලේ දිවාෂ වගේ දිවාෂට රවපු සුදුබේබි නේත්‍රගෙ පිට අතගගා නේත්‍රව සන්සුන් කරන්න ගත්තා.

"බය වෙන්න එපා නේත්‍ර....කොලඹ යක්කු මෙහෙ එන්නෑනෙ"

සුදුබේබිගෙ කටහඩින් ටිකක් සන්සුන් වුනු නේත්‍ර තමන්ගෙ ඔලුව වනද්දි සුදුබේබි හරි ලස්සනට නේත්‍ර එක්ක හිනාවෙලා ඊට එහා පැත්තෙ බයේ ගැහි ගැහි ඉන්න දිවාෂට ආපහු පාරක් රැව්වා.

...................................................................................................

"නිර්මලා......"

"ලොකු මැණිකෙ"

වලව් කුස්සියෙ එහෙට මෙහෙට දුවන ගමන් දවල් කෑම ලෑස්ති කරන ගමන් හිටපු නිර්මලා ගැස්සිලා ගියේ එකපාරටම ලොකු මැණිකෙ තමන්ට කතා කල නිසා.නිර්මලාට කතා කරගෙනම වලව් කුස්සියට ආව ලොකු මැණිකෙ කුස්සියෙ තිබුනු පුටුවක ඉදගද්දි නිර්මලා ලිප උඩ තිබ්බ හොද්දක් බිමට බාලා ලොකු මැණිකෙ ගාවට යන්න හැදුවත් නිර්මලා නැවතුනේ ලොකු මැණිකෙගෙ හඩින්.

"නෑ නෑ...නිර්මලා ඔය වැඩේ කරගන්නකො....මම කියන කතාවත් අහන්ම වැඩේ කරන්න"

"හොදමයි ලොකු මැණිකෙ"

ලොකු මැණිකෙට ඔලුව නවන ගමන් උත්තර දුන්නු නිර්මලා චීත්ත රෙද්දෙන් අත් දෙක පිහිදගෙනම ලූණු ගෙඩියක් කපන්න ගත්තෙ මහ මුදියන්සෙගෙ දවල් කෑම වේලට ලූණු දෙහි ඇඹුල අනිවාර්‍ය අංගයක් වුනු නිසා.

"නේත්‍ර කොලුවා.....ශිෂ්‍යත්වෙ සමත් උනා නේද?"

ලොකු මැණිකෙ විමසිලිමත් හඩින් අහද්දි නිර්මලා තමන්ගෙ ඔලුව වැනුවා.

"ඔව් ලොකු මැණිකෙ....ගමේ ඉස්කෝලෙ වැඩිම ලකුණු ගත්තෙ අපේ එකාලුනෙ"

දුප්පතෙක් වෙච්චි නිර්මලාට ආඩම්බරකම් කියන්න පුළුවන් උනේ තමන්ගෙ දරු දෙන්නගෙ අධ්‍යාපන සමර්ථකම් වලින් විතරක් වෙද්දි නිර්මලත් ඒ ගැන හරි හරියට හැමෝම එක්ක ආඩම්බරකම් කියෙව්වා.ලොකු මැණිකෙ ඉස්සරහ උනත් නිර්මලා උජාරුවට තමන්ගෙ පොඩි එකාගෙ ලොකුකම් කියෙව්වෙ මේ තමන්ට කන්න අදින පුලුවන් වෙන්න පඩිය හම්බෙන තැන ලොකු මැණිකෙ නේද කියලා වත් නොහිතා.ඉතින් අම්මලා එහෙමයි.....තමන්ගෙ දරුවන්ගෙ ලොකුකම් කියවන්න එයාලට තැනක් නොතැනක්,කුලයක් මලයක් අදාල නැහැ.

"ඉතින්....දැන් ලබන මාසෙ ඉදන් අලුත් වසර පටන් ගන්නවනෙ? කොල්ලව ගමේ ඉස්කෝලෙටම යවනවද කෙල්ලව වගේම?"

ලොකු මැණිකෙ අහද්දි නිර්මලා බිම බලාගෙන හිටියෙ ලොකු දුකකින්.අරුන්දතී උනත් හොද ලකුණක් අරන් ශිෂ්‍යත්වෙන් සමත් වුනාට තමන්ගෙ තිබ්බ අගහිගකම් එක්ක අරුන්දතීව ටවුමෙ ඉස්කෝලෙකට යවන්න නිර්මලාට පුළුවන්කමක් නොවෙද්දි නිර්මලා කලේ ගමේ ඉස්කෝලෙම තියලා තමන්ට පුළුවන් විදියට දරුවන්ට උගන්නවන එක.

"ඔව් ලොකු මැණිකෙ.....අපි කොහෙ යවන්නද අපේ එකාව ටවුමෙ ඉස්කෝලෙට?"

නිර්මලා බිම බලාගෙන මුමුණද්දි ලොකු මැණිකෙ තමන් මෙතනට ආව අරමුණ පැහැදිලි කරන්න ගත්තා.

"ඕනිනම් අපිට පුළුවන් නේත්‍ර දරුවට උදව් කරන්න....සුදු පුතාව දාන ඉස්කෝලෙටම අපිට නේත්‍රවත් දාලා දෙන්න පුළුවන් නිර්මලා....නිර්මලාගෙයි,සුමනගෙයි පඩිත් ටිකක් වැඩිකරලා දෙන්න පුළුවන් වෙයි මට.....යන එන වියදම් දරාගන්න පුළුවන් වෙයිනෙ එතකොට නිර්මලාට....මූලික වියදම් ටිකත් අපි දරන්නම්"

ලොකු මැණිකෙ කියද්දි නිර්මලා ලොකු මැණිකෙ දිහා බලන් හිටියෙ පුදුම වෙලා.වලව්වෙ වැඩට ඉන්න අනික් සේවක සේවිකාවන්ට වඩා ලොකු මැණිකෙ නිර්මලාට ටිකක් කිට්ටු වුනා.ඒක යාලුකමක් නොවුනත් ලොකු මැණිකෙ යම් සැලකිල්ලක් නිර්මලාට දැක්කුවා.මොකද වලව්වෙ ලොකු මැණිකෙ වලව්වෙ මෙහෙකාරියක් එක්ක යාලුකමක් පවත්වන එක තත්වෙට නොගැලපෙන නිසා ලොකු මැණිකෙ පොඩි පොඩි දේවල් වලින් නිර්මලා උපකාර කලා.

අකාලෙ තමන්ගෙ සැමියා මියගියත් නිර්මලා තනියෙම දුක් මහන්සි වෙලා තමන්ගෙ දරුවො හදාගත්තා මිසක් ගමේ එකෙක්ගෙන්වත් කතා අහගත්තු ගෑනියෙක් නොවුනා.අහිංසක ගති ගුණ තිබ්බ නිර්මලා ගැන ඔය හැමදේකින්ම ලොකු මැණිකෙගෙ හිතේ කොණක ගරුත්වයක් ඇති වෙද්දි තත්වෙ ගැන හිතපු ලොකු මැණිකෙ ඒක පිටතට නොපෙන්වා ඉන්න තරම් දක්ෂ වුනා.

"ලොකු මැණිකෙ? මට.....මට හිතාගන්න බෑ......මගෙ කොල්ලා ඒ වගේ ඉස්කෝලෙකට යන්න තරම්?"

තමන්ගෙ ඇස් වලට උනපු කදුළු පිටි අල්ලෙන් පිහින ගමන් නිර්මලා කියද්දි ලොකු මැණිකෙට ඒ අහිංසක ගෑනි ගැන ලොකු අනුකම්පාවක් ඇති වුනා.මොන අම්මද අකමැති තමන්ගෙ දරුවො ඉහල තැනක වැජඹෙනවා දකින්න? ඒත් වලව්වෙ ඇත්තො තමන්ට වාසියක් නැතුව දුප්පතෙක් වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙ නැති බව දන්න නිසා නිර්මලා එකපාරටම මේ දේට කැමති වෙන්නත් ටිකක් ඇදිමැදි කලා.

"ඔව්....එක අතකින් නිර්මලා මේකට කැමති වුනොත් ඒක එකාතකින් අපිට කරන උදව්වක්.මොකද සුදු පුතා කැමති නෑ මෙහෙ ඉස්කෝලෙකට යන්න.ඒත් නේත්‍රත් ඒ ඉස්කෝලෙටම යනවනම් සුදු පුතා ඒකට අකමැති වෙන එකක් නෑ"

නිර්මලාගෙ හැගීම් අදුනගත්ත වගේ ලොකු මැණිකෙ කරුණු පැහැදිලි කරද්දි ඇත්තම දැනගත්තු නිර්මලා හරි සන්තෝසෙන් තමන්ගෙ ඔලුව වැනුවෙ ඒ දෙයින් තමන්ගෙ දරුවට කරදරයක් වෙන්නෑ කියලා තේරුම් ගත්තු නිසා.

"එහෙනම් මම මහමුදියන්සේ එක්ක මේ ගැන කතා කරලා තීරණේකට එන්නම්"

පුටුවෙන් නැගිටලා කුස්සියෙන් යන්න ගිය ලොකු මැණිකෙ නැවතුනේ තමන්ගෙ දෙපා ලග දැනුනු ස්පර්ශෙකට.නිර්මලා ලොකු මැණිකෙගෙ කකුල් දෙක ලග වැද වැටිලා හිටියා.

"පින් අයිති වෙයි ලොකු මැණිකෙ අපිටම මේ කරන උපකාර වලට"

අඩන ගමන් නිර්මලා කියද්දි නිර්මලාගෙ ඔලුව ලාවට අතගෑව ලොකු මැණිකෙ එතනින් පිට වෙලා ගියා.

"නැගිටලා ඉතිරි වැඩ ටික කරලා දාපන් නිර්මලා"

...................................................................................................

"ඔයාගෙ සුදු බේබි එන්නෑද?"

"සුදු බේබිව එක්කන් යන්න පුලුවන්ද දිවාෂ කඩේට? කඩේ යන්නෙ වලව්වෙ වැඩට ඉන්න අය මිසක් සුදු බේබි නෙවෙයි"

දිවාෂගෙ ඔලුවට ටොක්කක් ඇන්න නේත්‍ර පාර දිගේ නට නට ඉස්සරහට ඇවිදගෙන යන්න පටන් ගත්තා.සාමාන්‍යෙන් මේ පොඩි උන් දෙන්නා පාරෙ නට නට යන දර්ශනේ ගමේ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් උනු නිසා කවුරුත් ඒ ජෝඩුවට විශේෂ අවධානයක්නම් දුන්නෙ නෑ.

"මාමෙ අඩයක්....."

රුපියල් තිහක් මුදලාලිට දික් කරපු නේත්‍ර හයියෙන් කියද්දි හිනා වුනු මුදලාලි කඩදහි කොල දෙකක ඔතපු අඩ දෙකක් දිවාෂටයි නේත්‍රටයි දුන්නා.මොකද ඒ රුපියල් තිහ එකතු වුනේ දෙන්නගෙන්ම ආපු රුපියල් පහලව ගානෙ කියන එක මුදලාලි අත්දැකීමෙන්ම දැනන් උන්නා.

"අපි යනවා මාමේ"

දත් විසිගාණම එලියෙ දාලා හිනා වෙල කිව්ව නේත්‍රයි දිවාෂයි දෙන්නා ආපහු පාරක් තරගෙට දුවගෙන ගියේ නේත්‍රගෙ ගෙවල් දිහාවට.

"ඇයි අද සුදුබේබි ආවෙ නැත්තෙ?"

තමන්ගෙ අඩෙන් කෑල්ලක් කටේ දාගෙන හපන ගමන් දිවාෂ අහද්දි නේත්‍ර ඒකට උත්තර දුන්නෙ හරි දුකෙන්.

"උදේ ගිය වෙලේ සුදුබේබි මා එක්ක එන්න හැදුවා.ලොකු මැණිකෙ කැගහලා සුදුබේබිව නවත්තගත්තා.සුදුබේබිගෙ උපන්දිනේ ගැන මොනාද කතා කරගන්න තියෙනවයි කිව්වා.මට දවල් වෙලා එන්න කිව්වා"

නේත්‍ර තොල් දෙකත් නොපිටට පෙරලන් කියද්දි දිවාෂ කලේ කතාවට හූමිටි තිබ්බ එක.නොකිව්වට සුදුබේබි නාපු එක ගැන දිවාෂගෙ හිතේ පොඩි සතුටකුත් තිබ්බා.ඇයි ඉතින් සුදුබේබි එයා එක්ක රණ්ඩු වෙනවනෙ.

"දැන්නම් දවාලටත් කිට්ටුයි හැබැයි"

නේත්‍ර ගෙදර බිත්තියෙ ගහලා තිබුනු ඔරලෝසුව දිහා බලලා කියද්දි දිවාෂ ඒකටත් ඔලුව වැනුවා.පොඩි කට්ට තිබ්බෙ එකොලහේ....ඉතින් දවල් වෙලා නේන්නම්....

"ඇයි ඕක ඔක්කොම කන්න බැරිද නේත්‍රට? දෙන්න ඒනම් ඉතිරි කෑල්ල මම කන්නම්"

දිවාෂ කිව්වෙ නේත්‍ර කාලා බාගයකටත් වඩා ඉතිරි කරලා ආපහු පාරක් කඩදහියෙ ඔතාගත්තු අඩ කෑල්ල දිහා කෙළ පෙරාගෙන බලලා.පිටි,සීනි,බිත්තර පදමට දාලා පෝරණුවෙන් පුච්චලා එලියට ගන්න අඩ වල රසට දිවාෂ හරියට ආසා කලා.තොප්පි දෙකක් එකට එකතු වෙලා වගේ හැඩේකට හැදෙන අඩේ වටේ දාර කෑල්ල කාගෙන කාගෙන යන්න දිවාෂ වගේම නේත්‍රත් හරියට ආසා වුනා.නේත්‍ර නස් නාරං වලට වහ වැටිලා තියෙන්නෙ කොහොමද,දිවාෂත් අන්න එහෙම්මමයි කඩචෝරු වලට වහ වැටිලා තිබ්බෙ.

"ඒක ඔයාට නෙවෙයි....ඒක අම්මටයි....අත්තම්මටයි.....සුදු බේබිටයි"

හුරතල් තරවටුවක් විදියට ඒ ගැන දිවාෂට කිව්ව නේත්‍ර ලෑස්ති වුනේ දිවාෂවත් ඇදන් වලව්වට දුවන්න.ඉස්සර අම්මට,ආත්තම්මට විතරක් වෙන්වුනු කෑම කොටහෙ කොටසක් මේ වෙද්දි සුදු බේබිටත් වෙන් වෙලා.කොහොමත් තමන් අඩයක් ගත්තු බව දැනගත්තම අක්කත් ඒ ජාතියෙම කෑමක් ගන්න බව හරි අම්මා අරන් දෙන බව හරි දැනන් උන්නු නිසා නේත්‍ර අක්කට තමන්ගෙ කෑම එකෙන් කොටසක් වෙන් කලේ නෑ.

"අක්කා.....මම වලව්වට යනෝ"

ගේ ඇතුලෙ උන්නු අරුන්දතීට ඇහෙන්න කෑගැහුව නේත්‍ර දිවාෂවත් ඇදන්ම වලව්වට දුවන්න ගත්තෙ අඩ කෑල්ලට හුලං වැදිලා පෙගෙන්න කලින් අම්මටයි ආත්තම්මටයි සුදුබේබිටයි මේක රහ බලන්න දෙන්න.හති වැටීගෙන වලව් වත්තට දුවං ආව නේත්‍ර වගේම දිවාෂත් එකපාරටම ගල්ගැහුනෙ වලව්වෙ ඉස්සහර දොරවෙතට ඇදිලා යන රූප දෙක දැක්ක නිසා.

සුදු බේබි කලින් දා විස්තර කල ලමා හොල්මනකුයි,අන්කල් හොල්මනකුයි වගේ දෙන්නෙක් වලව්ව ඉස්සහර ඉන්නවා දැක්ක නේත්‍රගෙ වගේම දිවාෂගෙත් කකුල් වෙවුලන්න ගනිද්දි තත්පර ගාණක් යද්දි මුලු වලව් වත්තම පොඩි උන් දෙන්නෙක්ගෙ සද්දෙන් දෝංකාර දුන්නා.

"බුදු අම්මෝ......... කොලඹ යක්කු ඇවිල්ලා!!!!!!!"

...................................................................................................

ඔයාලගෙ වීරයා ආවා....

වචන 2669යි හරිත😪❤️

පරක්කු උනාට කැමීලියා දිග එපි දෙනවනෙ🌚👉👈

අද කොටස හරි නැද්ද කියලා හිතුනා💔

මට මේ ටිකේ ලියවුනු හැම කතාවකම එපි අවුල් වගේ🥺💔

බබාලා මේ තියෙන්නෙ අඩ....

දන්නෙ නැති කෙනෙක් හිටියොත් කියලා දැම්මෙ හොදද❤️

ඔයාලා මේ කතාවට ආසා නැද්ද🥺

ආසයි නේත?🥺❤️

මම හරි ආසාවෙන් මේක ලියන්නෙ....

මම මේක කොනක ඉදන් ලියන් යන නිසා ඇදෙනව වගේ ගතියක් ඔයාලට දැනෙනවද දන්නෙත් නෑ බබාලා🥺💔

එහෙම අඩුපාඩු මොනාහරි තිබ්බොත් මට කියන්න හොදද?

මොකද මම අලුත් ඕතර් කෙනෙක් වගේම මේක මගෙ පලවෙනි non fic එකනෙ🥺❤️

ඉතින් අදත් කියන්නෙ,

අදහසක් කියන් යන්න🥺❤️

මගෙ මහන්සියට තියෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter