Back
Chapter 76

75 කොටස🤍✨️

නිවාලන්න මා...

"ඩොක්ටර් එයාට කොහොමද?"

"මෑම්?"

"ඕහ්....මම ආශවගෙ අම්මා....පුතාගෙ සිටුවේෂන් එක ඕකේ නේද ඩොක්ටර්?"

"ඕ....ඕකෙ මෑම්....පොඩ්ඩක් එන්න,මම පැහැදිලි කරන්නම් ඒ ගැන"

ආශව නේත්‍රව ඇදගෙන පාර අයිනෙ වැටුණට පස්සෙ විනාඩි පහ හයක් ඇතුලත ආශව වගේම නේත්‍ර පියවි සිහියට ආවා.කා එක්කවත්,අඩුම නේත්‍ර එක්කවත් වචනයක්වත් කතා නොකල ආශව ඒ වෙලාවෙ ඉදන්ම හිස් බැල්මක් එක්ක හැසිරෙන්න ගනිද්දි නේත්‍රව දිවාෂට භාර කෙරුව තෙවින් ආශවව වත්තම් කරගත්තා.දකුණු කකුල පොලවෙ ගහන්නත් අමාරු විදියට මොකක් හරි වෙලා තිබ්බ නිසා ආශවට ඇවිදින එකත් සෑහෙන්නම අමාරු වුණා.ආශව හදිස්සියෙ වාහනෙන් බහිද්දි කකුල පෙරලිලා වැටුණා කියලා ලොකු මැණිකෙට දුරකතන ඇමතුමකින් දැනුම් දුන්නු දිවාෂ ලොකු මැණිකෙගෙ අනුදැනුම යටතෙ ආශවව,ආශවලට හුරුපුරුදු පෞද්ගලික රෝහලට අරගෙන ආවෙ තෙවිනුයි නේත්‍රයි එක්කමයි.

නේත්‍රගෙ යන්තම් තුවාල වුණු අතට දිවාෂ බේත් දම්මන්න බලෙන්ම එක්කන් යද්දි හිතුවක්කාර වුණු නේත්‍ර තමන්ගෙ තුවාලෙ අමතක කරලා ආශව එක්කම වෛද්‍යවරයා හමුවට ගියා.ආශවගෙ කකුල ටිකක් වේදනා දුන්නු නිසා ඉක්මනටම ආශවව හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කල වෛද්‍යවරයා එලියට ඇවිත් ආශවගෙ තත්වෙ ගැන දැනුම් දෙනකං නේත්‍ර තමන්ගෙ තුවාලෙ ලේන්සුවෙන් පිහිදන් දොරටුව ලගට වෙලා හිටියා.

විනාඩි කීපයක් ඇතුලත ලොකු මැණිකෙත් රෝහලට එද්දි වෛද්‍යවරයාත් කුටියෙන් එලියට ආවා.ලොකු මැණිකෙ වෛද්‍යවරයාගෙ කුටියට යමින් ගමන් නේත්‍ර දිහා බලලා ලාවට හිනා වෙද්දි ලොකු මැණිකෙගෙ පස්සෙන් ගිය නේත්‍රත් ඇතුලෙ වෙන කතාබහට ඇහුම්කන්  දීගෙන හිටියා.

"ලොකු ප්‍රශ්නයක් නෑ මෑම්....කකුල කෙටිලා වගේ වෙලා තියෙන්නෙ....හැබැයි මේ දරුවට ටික දවසක් යනකං ස්පෝට්ස් කරන එක තහනම්....මොකද ඒකෙන් මීට වඩා දරුණු දෙයක් උනත් වෙන්න පුළුවන්.මම බේත් ටිකක් ලියලා දෙන්නම්...ජෙල් එකකුත් දෙන්නම්.ඒ බේත් ටික හරියට කරගන්න.කකුල හොලවන්න එහෙම දෙන්න එපා....දරුවව ගෙදර අරං යන්න පුළුවන් ඔබතුමියට දැන්"

"තෑන්ක් යූ ඩොක්ටර්"

ලොකු මැණිකෙ කුටියෙන් එලියට එද්දිම ලොකු මැණිකෙ දැක්කෙ එතන බිම ඇණ තියාගෙන කකුල් අස්සෙ ඔලුව ගහන් අඩන පුංචි නේත්‍රව.අත් තියාන උන්නු විදියට නේත්‍රගෙ අතේ තිබ්බ තුවාලෙත් ලොකු මැණිකෙට හොදටම පෙනෙද්දි මෙතන වෙන දෙයක් වෙලා කියන එක තේරුම් ගන්න ලොකු මැණිකෙට මහ වෙලාවක් ගියේ නෑ.ඒත් ඔව්වා හාර අවුස්සල පුංචි උන් දෙන්නව තවත් පීඩනේට පත් කරන්න ඕනි නැති හන්දා ලොකු මැණිකෙ බිම ඉදන් ඉන්න නේත්‍රගෙ ඔලුවෙන් අත තිබ්බා.

"කොල්ලො....."

"ල්....ලොකු මැණිකෙ?"

"ඇයි දරුවො මේ? ඔහොම ඇඩුවා කියලා සුදුබේබිට සනීප වෙන්නෑනෙ....ඒ නිසා අඩන්න එපා"

"මම....මම නිසයි සුදුබේබිට....ඔ...ඔහ්....ඔහොම උනේ ලොකු මැණිකෙ....මම මහා පවුකාරයෙක්"

"දරුවො,දරුවො....කෝ මේ බලන්න....මට උබව වඩාගන්න තරම් දැන් හයියක් නෑ කොල්ලො....ඒ නිසා නැගිටපංකො"

"ස්...සමාවෙන්න ලොකු මැණිකෙ"

ලොකු මැණිකෙගෙ වචනත් එක්ක නේත්‍ර දනිපනි ගාලා නැගිටිද්දි ලොකු මැණිකෙගෙ මූණෙ ඇදුනෙ දයාබර හිනාවක්.කුටිය ලග තියල තියෙන යකඩ පුටු පෝලිමෙන් ඉදගත්තු ලොකු මැණිකෙ තමන් ලගින්ම නේත්‍රවත් ඉන්දවගත්තා.

"ඇඩුවා කියලා උනු දේවල් වෙනස් කරන්න බෑනෙ කොල්ලො....නේත්‍ර කොලුවා සුදුබේබිව තල්ලු කලා නෙවේනෙ....වෙන මොකක් හරිනෙ වෙන්න ඇත්තෙ? නේද?"

"ඔ....ඔව් ලොකු  මැණිකෙ"

"ආ ඒකනෙ.....උබ දැන් අඩන්න නෙවෙයි ඕනි....සුදුබේබිව සනීප කරගන්න උත්සාහ කරන එකයි කරන්න ඕනි....සුදුබේබිට ලොකු හානියක් වෙලත් නෑනෙ....ඒනිසා නාඩා ඉදිං....තේරුනාද?"

"ඔ...ඔව් ලොකු මැණිකෙ....සුදුබේබිව වලව්වට අරං ගියාම මම සාත්තු කරන්නම්....මට පුළුවන් ල්...."

"ඔක්කොටම කලින් ඔය දරුවගෙ අතට බේත් දාගෙන ඉමු"

"ක්....ක්මක් නෑ ලොකු මැණිකෙ....ගමේ ඩිස්පෙන්සරියෙන් මම...."

"පණ්ඩිත කොල්ලා! ලොකු මැණිකෙ කියන දේවල් දැන් අහන්න බැරිද උබට?"

"ප්....පුළුවන් ලොකු මැණිකෙ....අනේ මට සමාවෙන්න"

"හ්ම්ම්....අර දිවාෂ පුතා එක්ක ගිහින් බේත් දාන් වරෙංකො"

"හ්....හොදමයි ලොකු මැණිකෙ"

නේත්‍ර හෙමින් සැරේ නැගිටලා දිවාෂ ලගට යද්දි නේත්‍ර දිහා බැලුව දිවාෂ නේත්‍රවත් එක්කං බේත් දාගන්න ගියා.හැමදේම ඉවර කරං නේත්‍ර ආශව ඉන්න කුටියට ගියත් ආශව ලොකු මැණිකෙ එක්ක ගෙදර ගිය වගත් තමන් මේ දෙන්නා එක්ක යන්න රැදිලා හිටිය වගත් කිව්ව තෙවින් දිවාෂයි නේත්‍රයි එක්ක පිටත් වුණා.නේත්‍රත් ගමන පුරාම අනුගමනය කලේ නිහඩ පිලිවෙත.අනතුර වුණු වෙලාවෙ ඉදලම සුදුබේබි තමන් එක්ක කතා නොකර හිටිය එකෙන් පුංචි එකාගෙ හිත නොසෑහෙන්න රිදිලා තිබ්බා.

"නේත්‍ර.....මමත් එන්නද ඔයාලගෙ ගෙදර යන්න?"

"එපා දිවාෂ....මම යන්නම්.ඔයාලා පරිස්සමින් ගෙදර යන්නකො"

"අපි කොහොමත් වොශ් කරං එනවා ආශවව බලන්න.....නේත්‍ර මල්ලි පරිස්සමින් යන්නකො"

"හරි තෙවින් අයියෙ"

දිවාෂලාට සමුදුන්නු නේත්‍ර පිට පාරෙන්ම තමන්ගෙ ගෙදරට දිව්වෙ ඉක්මනට නාගෙන කරගෙන සුදුබේබි ලගට දුවන්න හිතාගෙන.වෙනදට මේ ගොම්මනේ එලියෙන් තමන්ට ඇගපතවත් සෝදගන්න නොදෙන සුදුබේබි එහෙම ලිදෙන් තමන් ඇගපත සේදුවත් ඈතට වෙලා බලාගෙන ඉන්නවා උනත් අද සුදුබේබි නැති අඩුව නේත්‍රට දැනුනා.ඒත් සුදුබේබි කකුල හොලවන එක අනතුරුදායක නිසා පුළුවන් ඉක්මනට තමන් සුදුබේබි ලගට යන්න ඕනි කියලා නේත්‍ර කල්පනා කෙරුවා.වෙනදට මේවගේ වෙලාවල් වලට හුගක්ම සුදුබේබිගෙ කාමරේ නාන කාමරෙන් තමන් ඇගපත සෝදගත්තට අද සුදුබේබිගෙ කුටියෙ කවුරු කවුරුමහරි ඉන්න හන්දා එහෙම කරන එකෙන් සුදුබේබිට හානියක් වෙන හන්දා නේත්‍ර ලිදෙන්ම නාගෙන වලව්වට යන්න හිතාගත්තා.

ඉක් ඉක්කන්ටම හීතල වතුරෙන්ම නාගත්තු නේත්‍ර වතුර එක්ක මුහු වෙලා තමන්ගෙ කදුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා ඇස් වල බර නිදහස් කරගනිද්දි ඈතින් හුරුපුරුදු ඡායාවක් නේත්‍රගෙ ඇස් වලට අහු උනා.ගොම්මන් කළුවර වෙලාව හන්දා හිතේ තිගැස්මක් ඇති වුණු නේත්‍ර ඉක්මනට සාළුව අරන් තමන්ගෙ තෙත සරම තුවාය ඇදන් ගලවලා දාලා තුවායෙන් යටිකය ආවරණය කරං තව තුවායක් උරහිස් වලින් දාන් උඩුකයත් ආවරණය කරගනිද්දි ඒ ඡායාවෙ හෙලවීමක් නේත්‍ර දැක්කා.

"සුදුබේබි?"

හෙවණැල්ලෙන් උනත් ආශවව අදුනගන්න පුළුවන් වුණු නේත්‍ර හෙමිහිට මුමුණද්දි වලව්ව පැත්තෙන් ඇහුණු සද්දයක් එක්ක නේත්‍ර දිව්වෙ ඇදුමක් ඇදන් වලව්වට යන්න.

"සුදුපුතා!!!! දෙයියනේ කකුල හොලවන්නවත් එපා කිව්වා ඔයාට!...මෙතන මොකද්ද කරන්නෙ????"

කොට කලිසමකට කමිසයක් ඇදගත්තු නේත්‍ර ගෙදර දොරවල් වහලා අඩියට දෙකට වලව්වට දුවද්දි ලොකු මැණිකෙ ආශවව එක්කන් වලව්ව ඇතුලට ගිහින් තිබ්බා.හරියකය කොණ්ඩෙවත් පිහිද නොගත්තු හන්දා නේත්‍ර තමන්ගෙ තෙත කොණ්ඩෙ අතින් ගසන ගමන් පිලිකන්නෙන් වලව්වට ඇතුල් වෙද්දි වලව් වත්තෙ නවත්තලා තිබ්බ වාහන දෙක තුනක් නේත්‍රගෙ ඇහැ ගැටුනා.වටපිට බලලා හෙමින් සැරේ උඩුමහලට නේත්‍ර යන්න ගත්තෙ මහ මුදියන්සෙ ලංකාවෙ නැති බව හොදටම දැනන් උන්නු නිසා.

"හිතුවෙ නැති දෙයක්නෙ බං මේ වෙලා තියෙන්නෙ!"

සුදුබේබිගෙ කාමරේ දොරකඩ ලගදිම නේත්‍රට හුරුපුරුදු කටහඩක් ඇහෙද්දි නේත්‍ර හෙමින් සැරේ තමන්ගෙ ඔලු ගෙඩිය කාමරේ ඇතුලට දැම්මා.රකිත,ඉන්දීප,දෙවින්,තෙවින්,දිවාෂ,දෙනෙත්,ආර්ය ,නිමේත් හැමෝමල්ලා වගේ ආශවගෙ කාමරේ ඇතුලෙ හිටියා.නේත්‍රට ඇතුලට යන්න සබකෝලයක් වගේ දැනුනත් නේත්‍රව දැක්ක දිවාෂ නේත්‍රට එන්න කියලා කතා කරද්දි නේත්‍ර හෙමින් සැරේ කාමරේ ඇතුලට ආවා.කට්ටියම ආශවගෙ ඇඳ වටේ ඉදගෙන කතාබහ කරන ගමන් ඉදිද්දි දිවාෂ නේත්‍රව තමන්ගෙ ඔඩොක්කට ගන්න හැදුවත් නේත්‍ර ඔලුව දෙපැත්තට වනලා ආශවගෙ ඇඳ හරියෙන් හිටගත්තා.

"හෙට මැච් එක ශිට්!"

"මූට මෑන් ඔෆ් ද මැච් වෙන්න තිබ්බ චාන්ස් එක"

"උබට ගහන්නම බෑ නේද ආශවයා?"

"අපරාදෙ බං"

"උඹ ඕකට කොච්චර නම් මහන්සි උනා කියලද?"

"ටිකක් පරිස්සම් වෙන්න තිබ්බා උඹට"

"හෙට ස්කොඩ් එක වෙනස් කරන්න වෙයි දෙවින්"

"ඔව් ඉන්දීප....මොකක් හරි කරන්න වෙනවා"

"කකුල හොලවන්නෙ නැතුව ක්‍රිකට් ගහන්න බෑනෙ කොහොමත්"

"සුදුබේබිට හුගක් රිදෙනවද සුදුබේබි.....කකුල තවන්නද මම?"

කට්ටියගෙම කතා එක්ක තමන්ගෙ කකුල දිහා බලන් උන්නා මිසක කාටවත් උත්තර නොදුන්නු ආශව නේත්‍රගෙ වචනත් එක්ක ඔලුව උස්සලා බැලුවා.ආශවගෙ ඇස් වල ලා කදුළු පටලයක් බැදිලා තිබ්බා වගේම නේත්‍ර දිහා බලල ආදරෙන් ඔලුව දෙපැත්තට වැනුව ආශව තමන්ට රිදෙන්නෙ නැති වග නේත්‍රට කිව්වා.ඒත් එක්කම නේත්‍ර දිහා බලලා නලල රැලි කරගත්තු ආශව නේත්‍රට තමන්ගෙ ඇදුම් රාක්කෙ එල්ලලා තියෙන තුවාය පෙන්නුවා.

"අරක අරං එන්න නේත්‍ර....මම කොන්ඩෙ පිහිදන්නම්...රෑපානෙ නාලා තෙත පිටින් ඉදිද්දි හරි ශෝක්!"

"මම පිහිදගන්නම් සුදුබේබි....සුදුබේබිට අමාරුයිනෙ"

"හරි පිහගන්න එහෙනම් ඉක්මනට....ලෙඩ වෙයි නේත්‍ර ඔයා"

කට්ටියගෙම කතා ආශවගෙ හඩ එක්ක නවතිද්දි ඉක්මනටම තුවාය අරං ආව නේත්‍ර තමන්ගෙ කොණ්ඩෙ පිහිදගන්න ගනිද්දි තේ කේක් අරං ආව සුපිපි ආශවගෙ කාමරේ දොරට තට්ටු කලා.සුපිපිට එන්න කියලා අවසර දුන්නු ආශව කට්ටියටම තේ බොන්න කියලා ඇදේ දිගා වෙලා ඇස් දෙක පියාගත්තා.

"ආශවයා උබ එහෙනම් රෙස්ට් කරලා පුළුවන් උනොත් හෙට වරෙං"

"හ්ම්ම්ම්....හරි"

"අපි යන්නම් එහෙනම්.....බේත් ටික හරියට බීපං"

"ඉක්මනට සනීප වෙයං ඈ"

"හරි බං....මම හෙට එන්න බලන්නම්"

ආශව එක්ක තව ටිකක් වෙලා කතාබහ කරපු කට්ටියම වලව්වෙන් පිට වෙලා යද්දි දෙවින්ලානම් ගියේ ආශවගෙ පෙරැත්තයටමයි.හෙට ටීම් එකේ සම්පූර්ණ වගකීම දෙවින්ට ගන්න කියලා කිව්ව ආශව බලෙන්ම දෙවින්ලව ගෙදර යැව්වෙ තමන් ලග නේත්‍ර ඉන්න බව කියන ගමන්.කට්ටියම ගියාට පස්සෙ සන්සුන් වුණු ආශව නේත්‍රට තමන් ලගින් ඇදේ ඉදගන්න කියලා නේත්‍රගෙ පපුවට ඔලුව ගහගත්තා.

"සුදුබේබි,හුගක් අමාරුද මගෙ රත්තරනේ?"

"නෑ මැණිකෙ....ටිකක් අමාරුයි.අවුලක් නෑ"

"ස්....සුදුබේබි,මම එක්ක කතා නොකලෙ ඇයි කලින්....මම හුගක් බය උනා සුදුබේබි"

"මම නිසා නේත්‍රගෙ අත තුවාල උනා....මට බැරි උනා නේත්‍රට හානියක් නොවී නේත්‍රව බේරගන්න....මට සමාවෙන්න නේත්‍ර...මට බැරි උනා මටම සමාව දීගන්න....ඒ නිසා..."

"මොනාද දෙයියෝ මේ කියන්නෙ? සුදුබේබි නොහිටියනම් මම ජීවතුන් අතරත් නෑ.....හානිය උනේ සුදුබේබිට....බලන්න,කකුල හොලවන්නවත් බැරි විදියට...මගෙ මේ පුංචි තුවාලෙ දවසින් දෙකෙන් හරි යයි....ඒත් සුදුබේබිට!!! හරිනම් මමයි සමාව ගන්න ඕනි...මම නිසා සුදුබේබිගෙ ජීවිතේ ලස්සනම දවසක් පවා මගෑරෙනවා....මට සමාවෙන්න සුදුබේබි....මමයි වැරදි"

"නෑ මගෙ මැණික වැරදි නෑ.....හරි....ඒ ඒ....කෝ....අඩන්න එපා....අපි දෙන්නම වැරදි නෑ.....තේරුනාද? මාව ඔයා හිතලා තුවාල කලා නෙවේනෙ....අනික ඔයා පාර මැද්දෙ හිතල හිටගත්තෙත් නෑ....ඒ හැමදේම හදිසි අනතුරු...අත වැදිලා ඔයත් තුවාල උනේ ඒකත් හදිසි අනතුරක්...හරි මැණිකෙ....මම වැරදිත් නෑ ඔන්න....තේරුනාද?"

"ඔ....ඔව් සුදුබේබි.....සුදුබේබි වැරදි නෑ කොහොමත්"

"නේත්‍ර වැරදිත් නෑ"

"..........."

"කෝ....සුදුබේබිව දුක් කරන්න එපා නේත්‍ර"

"නේත්‍ර වැරදිත් නෑ"

"ආ ඒකනෙ....ඔන්න අපි දෙන්නම වැරදි නෑ....අනික ලස්සන දවස විනාස උනා කියන්න් කොහොමද? මම ආසම ක්‍රිකටර් මම ලගට ඇවිත් කතා කලා....විශ් කලා.....බිග්මැච් එකකදි සෙන්චරියක් ගන්න එක අමාරු වැඩක් උනත් මම ඒකත් කලා....විකට්ස් දෙකකුත් ගත්තා....නේත්‍ර ඉස්කෝල දෙකක් ඉස්සරහ අනවුන්ස් කලා.....අදයි ලස්සන දවස නේත්‍ර....

අපි කොහොමත් ලකුණු එකසිය විස්සක් ලීඩ් තියලා ඉන්නෙ.....හෙටත් අරගොල්ලො උපරිම දෙසීයක් දෙසිය පනහක් ගහයි....එතකොට අපිට ලකුණු අසූවක්,එකසිය තිහක්.....උපරිම එකසිය පනහක් වගේනෙ ගහන්න තියෙන්නෙ....මම නැති උනාට ටීම් එක ඒ වැඩේ කරයි.බය වෙන්න එපා....අපිට දිනන්න පුළුවන්"

"මට මැච් එක දිනන එක නෙවේ සුදුබේබි මූලික.....සුදුබේබිගෙ සෞඛ්‍යය....සුදුබේබිගෙ වේදනාව....අනික සුදුබේබිගෙ හීන....මේ පාරත් සුදුබේබි මෑන් ඔෆ් ද මැච් උනොත් පිට පිට බිග් මැච් තුනකදි සුදුබේබි ඒක ගත්තා වෙනවා....රෙකෝඩ් එකක් තිබ්බා වෙනවා....සුදුබේබිගෙ හීන ඒවා....මට වටින්නෙ ඒ දේවල් සුදුබේබි"

"මම දන්නවා ඒක.....කලින් හැමෝම මැච් එක ගැන කතා කරද්දි....මගෙ යාලුවො උනත්,ඒ හැමෝම හෙට වැඩේ ගැන කතා කරද්දි ඔයා තමා මම ගැන ඇහුවෙ නේත්‍ර....අන්න එතනයි ඔයාගෙයි අනික් අයගෙයි වෙනස්කම එන්නෙ"

"මම සුදුබේබිට ආදරේනෙ....."

"මමත් මැණිකෙ....තුවාලෙ රිදෙනවද නේත්‍ර...."

"නෑ සුදුබේබි....ඒක හීරිලා වගේ විතරයි....සුදුබේබි මාව කවර් කරගත්තනෙ...."

"රිදෙනවද?"

"නෑ සුදුබේබි.....පුංචි කාලෙ මීට හපන් විදියට ලෙලි ගිහින් තියෙනවා මගෙ...මේක ලොකු තුවාලයක් නෙවේ"

නේත්‍රගෙ පපුවට තුරුල් වෙල හිටිය ආශව නේත්‍රගෙ පුංචි අතක තමන්ගෙ ඇගිල්ලෙන් රටා මවද්දි නේත්‍ර ආශවගෙ හිසකෙස් අස්සෙන් තමන්ගෙ පුංචි ඇගිලි අරං ගියා.ටික වෙලාවක් යද්දි ආශවගෙ බඩ කෑගහනවත් එක්කම නේත්‍ර ආශව දිහා බැලුවා.

"මැණිකෙ,මට බඩගිනියි අනේ"

"මම බත් බෙදන් එන්නද?"

"අද මාළුයි අල බැදුනුයි පරිප්පුයිලු තියෙන්නෙ....අනේ මට ඒවා කන්න බෑ නේත්‍ර"

"මොනාද මගෙ සුදුබේබිට ඕනි? මම හදන් එන්නම්"

"අර අර හදන හොද්දෙ බැදුම හදල දෙන්නකො"

"මොන?"

"අඹයි හාල් මැස්සොයි බැදුම"

"ඉන්න සුදුබේබි....මම ඉක්මනට හදාගෙන එන්නම්....කැඩුනු හාලෙන් බත් හුණ්ඩුවකුත් ලිපේ තියන්නද?"

"අපේ දිහා ඒවා නෑනෙ නේත්‍ර"

"මම අපේ ගෙදර ගිහින් අරං එන්නම් සුදුබේබි....මට විනාඩි පහලවක් දෙන්නකො"

"එපා නේත්‍ර.....දැන් මෙවෙලෙ ඔයා එහෙ දුවන්න එපා...කවුරුත් නෑනෙ.අර බෝල හාල් නම් උයලා තියෙන්නෙ අර පොඩි දිග හාල් එකෙන් මට බත් ටිකක් දෙන්නකො....ඒ හාල් ගෙදර තියේ"

"මම යන්නම් සුදුබේබි....මම ගි...."

"එපා කිව්වම එපා....සුදුබේබි කියන දේ අහනවනෙ නේත්‍ර නේද? ම්ම්ම්ම්?"

"ඔ....ඔව් සුදුබේබි"

"හරි මැණිකෙ....එහෙනම් පුලුවන්ද මට අරක හදල දෙන්න...අඹත් ඇති කඩපුවා....මම දැක්කා මැනුවෙල් අද අඹ වගයක් අස් කරනවා .....දිග හාල් බතුත් ඕනි"

"බෝල බත් ඇට කියන්නෙ සම්බා වලට සුදුබේබි....දිග චූටි හාල කීරි සම්බා"

"හි හි...ඔව්වා මම දන්නෑනෙ මැණිකෙ"

"මම ඉක්මනට උයාන එන්නම් සුදුබේබි"

පහලට දිව්ව නේත්‍ර ලොකු මැණිකෙ ලගට ගිහින් ඒ කෑම එක හදන්න අවසර ගනිද්දි ලොකු මැණිකෙ හිනා වෙලා ඔලුව වැනුවා.කටින් නොකිව්වට මහ මුදියන්සෙ නැති නිසා වලව්වෙ හැමෝගෙම වගේ හිත් වලට අමුතුම නිදහසක් ලැබිලා තිබුනා.කුස්සියට ගිය නේත්‍ර කොට බංකුවක් උඩ ඉදගෙන අඹ ගෙඩියක් රහින්න ගනිද්දි නිර්මලා නේත්‍ර දිහා බලලා ආපහු පාරක් දෙහි ඇඹුල හදන වැඩේ කරන්න ගත්තා.

අඹ ගෙඩිය පොතු ගහලා පුංචි පුංචි කෑලි වලට කැපුව නේත්‍ර ඒක මැටි කරමූඩියකට දාලා හාල් මැස්සො අහුරක් අරං ඔලු ටික ගලවලා සුද්ධ කරන්න ගත්තා.හදල තිබ්බෙ කීරි සම්බා බත නිසා අමුතුවෙන් බත් ලිපෙන් තියන්න ඕනි උනේ නැති හන්දා හාල්මැස්සො ටික හොදට හෝදගෙන පිරිසිදු කරගත්තු නේත්‍ර ලොකු ළූනු ගෙඩියක් හීනියට කපා ගත්තා.ආශව සැර කන්න කැමති හන්දා කොච්චි කරල් දෙකකුත් හීනියට ලියාගත්තු නේත්‍ර ඊලගට කොච්චි ටිකයි ළූනු ටිකයි හොදට එකට දාලා අතින් පොඩි කර කර මිශ්‍ර කලා.අත දැවිල්ල දාන්න කලින් ඉක්මනටම අත සබන් දාලා සෝදගත්තු නේත්‍ර ඊලගට මැටි ඇතිලියක් ලිපෙන් තියලා ඒකට තෙල් දාලා තෙල් ටික පැහෙනකං ලුණු,කෑලි මිරිස්,කහ කුඩු බෝතල් ටික ලං කරගත්‍තා.

ඉස්සෙල්ලාම හාල්මැස්සො ටික හොදට බැදගත්තු නේත්‍ර ඒ ටිකේ තෙල් බේරලා වියලි භාජනේකට දාගෙන ඊලගට ලිපේ තිබ්බ මැටි භාජනේට ළූනු,කොච්චි ටික දාගෙන බැදගන්න පටන් ගත්තා.ඒකටම කෑලි මිරිස්,ලුණු කුඩු,කහ කුඩු පදමට එක් කරලා ළූණු ටික බැදීගෙන එද්දි අඹ කෑලි ටික දාගෙන තෙලේම ඒ ටිකත් විනාඩියක් දෙකක් බැදගෙන වතුර ටිකක් දාලා කරමූඩියෙන්ම වැහුවෙ ඒ ටික තෙලෙන් තැම්බෙනකං.ටික වෙලාවක් යද්දි අඹ කෑල්ලකට පොල් කටු හැන්දෙන් ඇනලා බලපු නේත්‍ර ඒ ටික තැම්බිලා කියලා තේරුනාට පස්සෙ ලිපේ ගින්දර වැඩි කරලා වතුරත් පදමට හින්දවගෙන ඒකටම හාල්මැස්සො ටික එක්කාසු කරලා මිශ්‍ර කරලා ආයෙමත් ඒක වහලා දැම්මා.විනාඩියක් දෙකක් භාජනේ ඇතුලෙ ඔක්කොම ටික හොදට තැව් උනා කියලා තේරුනාට පස්සෙ ලිප වහලා දැම්ම නේත්‍ර ඇතිලිය බාලා පාවිච්චි කෙරුව ඔක්කොම භාජන හෝදන්න ගත්තෙ තමන්ගෙ හදන මේ කෑම එකේ ලුණු ඇඹුල් අමුතුවෙන් බලන්න ඕනි නෑ කියලා දැනන් උන්නු නිසා.

කෑම එකත් බෙදාගෙන හෙමින් සැරේ උඩ තට්ටුවට දුවන් යන නේත්‍රට නිර්මලා කෑ ගැහුවත් ඒවා නෑහුනා වගේ උඩට දුවං ආව නේත්‍ර කාමරේ දොර ඇරලා ඇතුලට ගිහින් කෑම පිගානයි වතුර එකයි මේසෙන් තියලා කාමරේ දොර වහලා ආශවගෙ ඇඳ ලගට ගියා.

"සුදුබේබි,ඇද විට්ටමට හේත්තු වෙලා ඉදගමුද? මම කවන්නම්"

"හා නේත්‍ර"

"කෝ ඔහොම ඉන්නකො....මම හේත්තු කරවන්නම්. සුදුබේබි මාව හයියෙන් අල්ලගන්නකො"

ආශවව තද කරලා අල්ලගත්තු නේත්‍ර ආශවගෙ බර දරාගෙනම ආශවව ඇද විට්ටමට හේත්තු කරවලා ඉන්දෙව්වා.ආශවට වතුර කෝප්පෙන් වතුර පෙව්ව නේත්‍ර පුංචි බබෙක්ගෙ කට පිහිනවා වගේ ආශවගෙ කටත් පිහිදලා බත් පිගානත් අරං ආශව ලගින් ඉදගත්තා.

"සුවදයි...."

"කොච්චිත් දැම්මා සුදුබේබි දෙකක්ම"

"නෑ මම කිව්වෙ නේත්‍ර ලග....හරි සුවදයි"

"කෑම එක සුවද නෑ?"

"සුවඳයි....ඊට වඩා නේත්‍ර ලග සුවඳයි"

"හි හි....කට අරින්න සුදුබේබි....මේ මාළුපින්න විතරක් ඇද්ද සුදුබේබි.....හොදි ටිකක්වත් නෑ"

"ඇති නේත්‍ර....ඕකෙ තෙත ගතියක් තියේනෙ....ආආආ"

"ආආආ....සුදුබේබි ඔක්කොම කන්නෝනි"

"නේත්‍රත් මම එක්කම කමු....මට මෙච්චර බත් ගොඩක් කන්න බෑ"

"හා සුදුබේබි හරි....කෝ කට අරින්න"

ආශව ලගින් ඉදගත්තු නේත්‍ර එක එක කතා කිය කිය ආශවට බත් ටික කවන්න ගත්තා.පුංචි පුංචි කතා කිය කිය තමන්ට බත් කවන නේත්‍ර දිහා බලන් ඉන්න ආශවගෙ ඇස් වල කදුළු පිරිලා දිලිසුනත් නේත්‍ර ඒවා දකින්න කලින් ආශව කදුළු පිහගත්තා.මතක ඇති කාලෙක ඉදන් තමන් ආදරය,රැකවරණය කියන දේ විදින්නෙ නේත්‍ර නිසා බව ආශව මතක් කලා.පුංචි දරුවෙක් වගේ තමන්ව බලාගන්න නේත්‍ර තමන්ට නැති වුණු හුරතල් පුංචි කාලෙ ආයෙ ලබා දෙනවා කියලා ආශවට හිතුනා.එහෙම්මම ඉස්සරහට නැවිලා හෝ ගාලා කියෝන නේත්‍රගෙ තොල් උඩින් කෙටි හාද්දක් තිබ්බ ආශව ආයෙමත් ඇද විට්ටමට හේත්තු වෙද්දි නේත්‍ර රතු වෙලා බත් එක දිහා බලාගත්තා.

"අම්මෝ ඇති නේත්‍ර"

"සුදුබේබි මේ අන්තිම කට....කෝ ආ කියන්න"

"ම්හ් ම්හ්....අනේ ඇති මැණිකෙ....තව කන්න බෑ"

"අනේ සුදුබේබි....කෝ කමුකො අපි....තව එක කටනෙ"

"ආ ආ"

අමාරුවෙන් ආශවට අන්තිම කට කැව්ව නේත්‍ර වතුර ටිකත් පොවලා පහල තට්ටුවට ගිහින් උඩට ආවෙ උණු වතුර එකකුත් අරගෙන.ආශවට බොන්න තියෙන බේත් ටිකත් පෙව්ව නේත්‍ර ආශවගෙ කකුල උණු වතුරෙන් තවලා වෛද්‍යවරයා දීලා තිබ්බ බාම් එක ගාද්දි ආශව කලේ කෙදිරි ගෑව එක විතරයි.ආශවගෙ කකුල ඒ තරමට රිදුම් දුන්නා.අන්තිමට ආශවගෙ ඔලුව අතගගා ආශවගෙ නින්ද යනකංම පිරිත් කිව්ව නේත්‍ර අද සුදුබේබි ලග නවතින්න නිර්මලාගෙන් අවසර ගත්තෙ සුදුබේබිට රෑට අමාරුවක් වෙයි කියලා බය හිතුනු නිසා.

නින්ද ගිහින් උන්නු ආශවගෙ නලලෙන් හාද්දක් තිබ්බ නේත්‍ර ආශවගෙ ඇඳ ලගම බිම නිදාගන්න ලෑස්ති වුණේ රෑට තමන්ගෙ කකුලක්වත් වැදිලා ආශවගෙ කකුලට වේදනාවක් වෙයි කියන බයට.අඩ නින්දෙන්ම කෙදිරි ගගා එහෙට මෙහෙට පෙරලෙන්න ගත්තු ආශවගෙ කොට්ටෙ උඩින් පහලින් කඩන් ආව ගැටපිච්ච මල් දෙක තුන තිබ්බට පස්සෙ ආශව සද්ද නොකර නිදාගත්තු හන්දා නේත්‍රත් බිම නිදාගත්තා.

...................................................................................................

"මම ගියාට ප්ලේ කරන්නෑ පුංචි අම්මෙ.....වෙන එක්කෙනෙක්ව ස්කොඩ් දැම්මා"

"ඒත් සුදුපුතා ඔයා කකුල හොලවලා වැඩ කලොත් සතියක් විතර ඉන්න වෙනවා කිව්වා ඇඳටම වෙලා"

"සතියනෙ පුංචි අම්මෙ.....ඉස්කෝලෙ යන එක විතරයිනෙ පාඩු වෙන්නෙ....මට පුළුවන් ඒක කවර් කරගන්න"

"සුදුපුතා ඒත්......"

"පුංචි අම්මෙ! මට කාගෙන්වත් අවසර ඕන්නෑ මගෙ දේවල් කරන්න.....ඒක අප්පච්චිට වගේම පුංචි අම්මටත් වලංගුයි.මම මෙහෙම පුංචි අම්මට කිව්වෙ කාමරේ උන්නු මනුස්සයා එකපාරටම නැති උනොත් පුංචි අම්මා කලබල වෙයි කියලා හිතලා....නැතුව අවසර ගන්න නෙවෙයි"

"හ්...හරි සුදුපුතා....මම සුදුපුතා ගැන හිතලා කිව්වෙ....සුදුපුතාට නරකක් වෙනවා බලන්න ඕන්නැති නිසා"

"හ්ම්ම්!"

"මම යනවා පුංචි අම්මෙ"

"බුදු සරණයි සුදුපුතා"

ලොකු මැණිකෙ දිහා බලලා ඔලුව වැනුව ආශව තෙවින්ගෙ උදව්වෙන් වලව්වෙන් එලියට බැහැලා තෙවින් පදවං ආව වාහනේට ගොඩ වෙද්දි වාහනේ ඇතුලෙ තිබ්බ බෝල ඇස් දෙකක් කදුළු පුරවං ආශව දිහා බලන් හිටියා.ආශවව වාහනේට ගොඩ කරවලා දොර වහලා දැම්ම තෙවින් රියදුරු අසුනෙන් ඉදගෙන පාඩුවෙ ඒ ලඟම ආසනේ ඉදන් හිටිය දිවාෂට ගහද්දි අනික් පැත්ත හැරුණු දිවාෂ අතේ තිබ්බ වතුර බෝතලෙන් තෙවින්ට ගහගෙන ගහගෙන ගියා.

"සුදුබේබි අමාරුකම් පිටින් යන්නෙ කොහොමද සුදුබේබි?"

"ගිහින් බලන් ඉන්නවා විතරයිනෙ නේත්‍ර....ම්ම්ම්....මම ප්ලේ කරන්නෑ"

"ඒත් සුදුබේබි මහන්සි වෙනවනෙ....කකුල හොලවන්නවත් එපා කිව්වා ඩොක්ටර්"

"ඒත් දැන් වේදනාව අඩුයි නේත්‍ර....ඔයා උදෙත් තවලා බාම් ගෑව නිසා වෙන්න ඇති"

"වේදනාව අඩු උනාට හොද වෙලා නෑනෙ මගෙ සුදුබේබි"

"අනෙ මැණිකෙ....මම යන්නම්...ප්ලීස්....මට අද බලාගෙන හරි ඉන්න දෙන්න.....ඔයා එපා කියනවනම් මම දැන්මම බැහැලා වලව්වට යනවා"

"ක්....කමක් නෑ සුදුබේබි.....ඔයාගෙ මගපෙන්වීමෙන් ලැබෙන ජයග්‍රහණෙ ඔයා ඇස් දෙකෙන් දකින්න ඕනි.....සුදුබේබි යං....හැබැයි එකතැනකට වෙලා ඉදන් ඉන්න ඕනි"

"හරි මැණිකෙ.....මම ඔයා ලගට වෙලා ඉන්නම්"

"නේත්‍ර ලග ඉන්න මොකෝ උබට ටිකට් එක මම ෆොටෝකොපි ගහලා දෙන්නද? උඹ පලයං ටීම් එක ඉන්න තැනට"

"නෑ නෑ.....තෙවින් යමින් ගමන් ස්කූල් එක ලග තියෙන ATM එක ලගින් නවත්තපං....මම සල්ලි...."

"ඔච්චර වියදම් කරන්නෙපා සුදුබේබි.....සුදුබේබි ටීම් එක ඉන්න තැන ඉන්න....සුදුබේබි ඉන්න ඕනි තැනත් එතනනෙ....මම ඉන්නම් පැවීලියන් එකට වෙලා"

"කමක් නැද්ද?"

"කමක් නෑ සුදුබේබි.....කොතන හිටියත් පරිස්සමින් ඉන්නවනම් ඇති"

"ඔයාලා දෙනෙත්ලගෙ ගෙදර යන්නෙ කීයටද?"

"ඇන්තනීස් එකේ අය ගහලා ඉවර වීගෙන වගේ එද්දි අපි ගිහින් චේන්ජ් කරං එන්නම්.....කෑලි ටික වගේ බහින්න එපායෑ ආසව"

"අනේ මේ.....කෑලි වගේ ආවා නෙවේ.....තෙවින් තුන් දෙනාව බලාගනින් හොදද? මම උබලව විශ්වාස කරලා නේත්‍රව තියලා යන්නෙ"

"උඹ බය වෙන්න එපා....අපි බලාගන්නම්"

ආශව දිහා බලලා හිනා වුණු තෙවින් වාහනේ ඉස්සරහට අරං යද්දි නේත්‍ර ආශවගෙ කකුල අතගාන ගමන් ගමන් ගත්තා.කාලෙ ගත වෙනවත් එක්ක ක්‍රීඩාංගනේ ගාවින් වාහනේ නැවැත්තුව තෙවින් දිවාෂට බහින්න දොර ඇරලා දීලා ආශවගෙ පැත්තෙ දොර ඇරියා.පරිස්සමින් ආශවව බස්සගත්ත තෙවිනුයි නේත්‍රයි ආශවගෙ දෙපැත්තෙන් ආශවව අල්ලන් කණ්ඩායම ඉන්න තැනට ගිහින් ආශවව පුටුවකින් ඉන්දෙව්වා.

"නේත්‍ර යනවද?"

"සුදුබේබි....මම මෙතන ඉන්න එක හරි නෑ වගේ නේද?"

"ම්ම්ම්ම්....එහෙම එකක් නෑ....මම කෝච්ගෙන් අහලා..."

"එපා සුදුබේබි....මම අතන ඉන්නවනෙ....මොකක් හරි වුවමනාවක් උනොත් මට කෝල් එකක් දෙන්න....මම එන්නම්"

"හරි මැණිකෙ"

"වොශෲම් යන්න එහෙම ඕනි උනත් එන්න කියන්න සුදුබේබි.....තනියම යන්නෙපා"

"හරි නේත්‍ර.....පරිස්සමින්"

"සුදුබේබිත් පරිස්සමින්"

"තෙවින්,"

"ඕ ආශවයා...."

"පොඩ්ඩක් බලපං නේත්‍ර ගැන"

"හරි....උඹ අවුලක් නොගෙන ඉදපංකො....මෙතන නේත්‍ර හිටියොත් අනවශ්‍ය අවධානයක් එන නිසා ගියා මිසක් නැත්තං කොල්ලා මෙතනින් හෙල්ලෙන එකක් නෑ...මම යන්නම් ආශවයා....පරිස්සමින් ඈ"

"හරි තෙවින්"

ආශවගෙ පිටට තට්ටු කෙරුව තෙවින් එතනින් පිට වෙලා ගියාට පස්සෙ අද ක්‍රීඩා කල යුතු ආකාරය ගැන ආශව කණ්ඩායමට පැහැදිලි කලා.අද තමන් ආරම්භක පිතිකරුවෙක් විදියට ක්‍රීඩා නොකරන නිසා දෙවින් එක්ක රධීන් ආරම්භක පිතිකරුවො විදියට තරගයට මුහුණ දෙන්න සූදානම් වුණා.කලින් දවසෙ ලකුණු එක්ක ඉදිරියෙන් ආශව ඇතුලු කණ්ඩායම රැදී හිටිය නිසා අද මුලින්ම පන්දුවට පහර දෙන්න නියමිත වුණේ අනික් ඉස්කෝලෙ කණ්ඩායමට.

"එයාලව අඩු ලකුණු ගාණකට ඕල් අවුට් කරන්න බලන්න.....එතකොට අපිට ගහන්න තියෙන ලකුණු ප්‍රමාණෙ අඩු වෙනවනෙ"

"ආශව හිතන් ඉන්නෙ ආශව නැතුව අපිට වින් කරන්න බෑ කියලද? පුහ්!"

රධින් සමච්චල් සහගත විදියට කියද්දි ඒකටම අත්වැල් සැපයුව මහීලුත් ඒත් එක්කම හිනා වුණත් වෙන කවුරුත්නම් ඒ කතා කනකටවත් ගත්තෙ නෑ.ආශවගෙත් අතමිට මෙලවුණත් ආශව උනත් තත්පර ගාණකින් ඒක අමතක කරලා දැම්මෙ රධීන් වගේ මිනිහෙක් වෙනුවෙන් ලේ පුච්ච ගන්න එකත් අපරාදයක් නිසා.කණ්ඩායමම මෝටිවේට් කෙරුව ආශව දෙවින්ට වෙනමම උපදෙස් ටිකක් දීලා කණ්ඩායම පිටත් කරවද්දි ආශවව තත්පර ගාණක් තදින් වැලදගෙන හිටිය දෙවින් කණ්ඩායම එක්ක ක්‍රීඩා පිටියට පිවිසුනා.

"මුන් ගහනවනෙ නේත්‍ර බබෝ"

"ඒක තමා දෙනෙත් අයියෙ....ලීඩ් එකනම් තියලා තියෙන්නෙ සෑහෙන ගාණකින්"

"කොහොමත් ඕක හෙමීට හෙමීට ගහන එකනෙ....ආශව මැද්දෙන් මැදදෙන් දාන ඕවර් ටික දාන කොල්ලානම් එච්චර සෙට් නෑ වගේ නේද?"

"මේන් බෝලර්ස්ලා ඒක අල්ලයි නේද අයියෙ"

"ඔව්.....ඒත් ආශවයා ඕල් රවුන්ඩනෙ....මේන් බෝලර්ස්ලට අමතරව ඌ මැද්දෙන් මැද්දෙන් දාන ඕවර්ස් ඌ සුපිරියටම දානවා....මේ කොල්ලා අවුල් වගේ"

"කමක් නෑ දෙවින් අයියත් ඉන්නවනෙ බැට් කරන්නනම්"

"ඔව්.....ඒත් ආශවයා අදත් ප්ලේ කලානම් ඌට මෑන් ඔෆ් ද මැච් වෙන්න තිබ්බා"

"පවු දෙනෙත් අයියෙ සුදුබේබි.....නොකීවට කොච්චර නම් දුකක් ඇද්ද? මම නිසයි මෙහෙම උනේ කියලා මට හරියට හිතෙනවා"

"ඔයා ඔයාට වරද දාගන්න එපා පැටියො....ඔයා හිතලා කල දෙයක් නෙවේ...හිතන්නකො ඔයාව හැප්පුනානම් එහෙම ආශව මේ මැච් එක නෙවේ කිසිම මැච් එකක් ප්ලේ කරන එකක් නෑ....ප්ලේ කරන්න ආශව කියලා එකෙක් ඉතුරු වෙන්න එපායැ.....ඉතින් මේ විදියට බේරුනු එක කොච්චර නම් දෙයක්ද?"

දෙනෙත් කියද්දි ඔලුව වැනුව නේත්‍ර අද ක්‍රීඩා පිටිය දිහා බලන් හිටියෙ හිස් බැල්මෙන්.වෙනදට පිට්ටනියෙ එහෙට මෙහෙට දුවන ආශව අද නැති අඩුව නේත්‍රට හොදටම දැනුනා.දවල් දොලහටත් කිට්‍ටු නිසා කට්ටියවම එකතු කරගත්තු දෙනෙත් තමන්ගෙ ගෙදර යන්න පිටත් වුණේ ඇදුම් පැලදුම් මාරු කරං එන්න හිතාගෙන.මොකද අද බිග් මැච් එකේ අවසන් දිනය නිසා සෑහෙන ප්‍රමාණයක් එනවා වගේම නිල ඇදුමෙන් ඉන්නවට වඩා සාමාන්‍ය ඇදුමෙන් සැරසුනාම හුග දෙනෙක්ගෙ ඇස් තමන්ට විශේෂ අවධානෙකින්‍ යොමු නොවෙන නිසා හැමෝම මේ තීරණේ අරං තිබුනා.නිල ඇදුම පිටින් ඉදලා සුළු වැරැද්දක් උනත් අර ඉස්කෝලෙ ලමයා අරහෙම කලා,මෙහෙම කලා කියලා අමුතු කතාබහකට ලක් වෙන්න වෙනව් වගේම සාමාන්‍ය ඇදුමකින් මිනියක් මැරුවත් තමන්ට ඒ විදියෙ ලොකු අවධානයක් යොමු නොවෙන බව කට්ටියම දැනන් හිටියා.ආශවට දුරකතන ඇමතුමකින් තමන් පිටත් වෙන බව දැන්නුව නේත්‍ර දෙනෙත්ලා එක්ක පිටත් වුණේ හැකි ඉක්මනින් ක්‍රීඩාංගනේට එන්න හිතාගෙන.මොකද සුදුබේබිව තනි කරන්න නේත්‍ර කැමති වුණේම නැහැ.

දෙනෙත්ගෙ ගෙදර ඇවිත් ඉක් ඉක්මනට ඇද පැලදගත්තු ඉලන්දාරි ටිකෙන් ඉස්සෙල්ලාම වැඩ ඉවර වුනේ තෙවින්ගෙ.කළු අත් දිග කමිසයක් වැලමිට වෙනකං නවලා ඒක කළු කලිසමකටම යට කෙරුව තෙවින් කමිසෙ උඩ බොත්තම් දෙක තුනක් ඇරලා දාලා තිබ්බා.කළු පාටම හිස් වැස්මකුත් පැලදගෙන අනික් උන්ට එන්න කිය කිය කෑ ගැහුව තෙවින්ගෙ ඇස් දෙක ගියේ පඩිපෙල දිගේ පහලට බහින නේත්‍ර දිහාවට.

කළු ටී ෂර්ටයකට කළු කලිසමක්ම ඇදලා හිටි නේත්‍ර ඒ උඩින් නිල් පාට ඩෙනිම් ජැකටයක් දාගෙන හිටියා වගේම සුදුපාට සපත්තු දෙකකින් නේත්‍රගෙ කකුල් හැඩ වෙලා තිබ්බා.ආශව නේත්‍රව මෙච්චර පරිස්සම් කරන එකේ වරදක් නැහැයි කියලා තේරුම් ගත්තු තෙවින් නේත්‍රගෙ කොණ්ඩෙ අවුස්සද්දි නේත්‍ර හිනා වෙලා පුටුවකින් ඉදගත්තා.

"ඔයාලගෙ සැස්සි අයිඩල් එන්නයි යන්නේඒඒඒඒඒඒඒ"

දෙනෙත්ගෙ කාමරේ පැත්තෙන් ඇහුනු දිවාෂගෙ මහා ඝෝෂාව එක්ක නේත්‍රයි තෙවිනුයි බැලුවෙ දිවාෂව බලාපොරොත්තුවෙන්.සුදුපාට කෙටි කරක් සහිත අත් දිග කමිසයකට ක්‍රීම් පැහැ කොට කලිසමක් ඇදලා උන්නු දිවාෂත් සුදුපාටම පාවහන් දෙකක් පැලදගෙන හිටියා.දෙනෙත්ට කියලා මොනහරි කරගෙන තිබ්බ කොණ්ඩෙට හුලන් පිඹින ගමන් ඇවිදන් ආව දිවාෂ තෙවින්ට ඇහැක් ගහලා නේත්‍රව තුරුල් කරං ඉබිනවා වගේ රඟපෑවා.

"කලිසමේ සයිස් එක බලපං යුගාන්!"

"අනේ මේ.....මට මස් පිරුණු කකුල් නෑනෙ....අනික මම කෙල්ලෙකුත් නෙවෙයි.මෙව්වා දැක්කා කියලා නගින්නෑ කාටවත්"

"බලපං යුගාන්! ජංගියක් ඇදන් ආවනම් හොදයි ඔයිට වඩා"

"ඈ යකෝ! උඹ කොහොමද ජංගි වල සයිස් දන්නෙ!! කියපං....අද එයිනෙ උබේ ජංගි කොටේ! මම අහන්නම් සයිස් එක කියල දුන්නෙ ඒකිද කියලා"

"කෑගහන්න එපා යුගාන් මගෙ කන කීං කීං ගානවා"

"කීං එක ගහගනින් පුකේ....අද මම තෝව...."

"ගහනවා මම දැන් දෙන්නටම! බබාලා ඔක්කොමල්ලව බලාගන්න වෙලා තියෙන්නෙ මටනෙ යකෝ! යකා අවුස්සගන්නෙ නැතුව නගින්නයි කිව්වෙ කට්ටියටම වාහනේට"

දෙනෙත්ගෙ කටහඩ එක්ක තෙවින්ගෙ කොණ්ඩෙ එල්ලිලා ඒක ඇද ඇද හිටිය දිවාෂ සපත්තුව ගලවලා තෙවින්ට පයින් පාරක් දීලා සපත්තුව අතට අරං තනි කකුලෙන් උඩ පැන පැන වාහනේට ගිහින් නැග්ගා.කලු පැය ටී ෂර්ටයකට ලා නිල් කලිසමක් ඇදන් උන්නු දෙනෙත් සුදු පැහැ ජැකටයක් ඊට උඩින් පැලදගෙන හිටියා.කොණ්ඩෙත් අවුල් කරලා දාලා තිබ්බ දෙනෙත්ගෙන් පෙනුනෙ හරි කඩවසම් බවක්.දිවාෂගෙ පළු අරින ගමන් වාහනේට ගොඩ වුණු තෙවින්ගෙ පස්සෙන් ගිය දෙනෙතුයි නේත්‍රයිත් වාහනේට ගොඩ වෙලා පැය කාලකට විතර පස්සෙ කට්ටියම ක්‍රීඩා පිටිය ලගින් වාහනේ නවත්තලා බැස්සා.

"අම්මටසිරි ආර්යගෙ හැඩ බලපංකො"

කොහෙන්ද මන්දා ඉදලා කඩාපාත් වෙලා නේත්‍රගෙ ඇගේ එල්ලුනු ආර්ය සුදු පැහැ ටීෂර්ටයකට කලු පැහැ කලිසමක් ඇදලා ඊට උඩින් කළු පැහැම ජැකටයක් දාගෙන හිටියා.සුදුපාට සපත්තු දෙකත් එක්ක ආර්යට තිබ්බෙ අමුතුම ආකාරයේ කඩවසම් බවක්.දිවාෂගෙ මූණෙන් හාද්දක් දෙකක් තිබ්බ ආර්යව තෙවින් අහකට ඇදලා ගනිද්දි වටපිට බැලුව ආර්ය නේත්‍රගෙ කම්මුල් දෙකම මිරිකල දැම්මෙ ආශව දකියි කියන බය එක්ක.කට්ටිය එක්කම පැවීලියන් එකේ අදාල කොටසෙ ඉදගත්තු ඉලන්දාරි ටිකගෙ ඇස් ඊලගට ගියේ තමන්ගෙ දිහාවට ඇවිදන් එන උපාධ්‍යයි නිදුකියි දෙන්නා දිහාවට.

"යකෝ දෙන්නා එක වගේ ඇදලනෙ?"

දිවාෂ තෙවින්ගෙ කරටත් අතක් දාගෙන කිව්වෙ නිදුකියි උපාධ්‍යායි දෙන්නම ලොකු කකුල් තියෙන තද කොල පාට කලිසම් දෙකක් වගේම ඒකට ගැලපෙන සුදු පැහැ කෙටි ටී ෂර්ටයක් ඇදගෙන හිටිය නිසා.

"ඒ කලිසම් ජාතිය ලස්සනයි හැබැයි...."

"ඒවට කියන්නෙ කාගො පෑන්ට් කියලා යුගාන්"

"උඹ කොහොමද ඒවා දන්නෙ?"

"මම ඕල්‍ රවුන්ඩර් කෙනෙක්නෙ යුගාන්.....හැමදේම දන්නවා"

"ඔව් මට පේනවා කාන්තා ඇදුම් සම්බන්ධව උපාධිධාරියෙක් කි.....ඔහොම ඉදපං තෙවින්!"

කට්ටිය ලගට ආව නිදුකියි උපාධ්‍යායි නේත්‍රයි දෙනෙතුයි ලගින් හිටගනිද්දි දිවාෂගෙ ඇස් දෙක ගියේ ටිකක් එහාට වෙන්න බියර් ටින් දෙකක් බොන ගමන් පිට්ටනිය දිහා බලන් ඉන්න දිව්දේත්‍රාවයි ඕෂිණීවයි.තෙවින්ගෙ කරුමෙටම ඕෂිණී ඇදන් හිටියෙත් කළුපාට කාගො පෑන්ට් එකක්! ඇස් දෙකත් හීනි කරගෙන තෙවින් දිහා බැලුව දිවාෂ තමන්ගෙ අත මිට මොලවගනිද්දි දෙපාරක් නොහිතුව තෙවින් සෙනඟ අස්සෙන් ඉස්සරහට දුවන්න ගත්තා.

"මේහ් ඕෂි....."

"කියන්න දිවී"

"අර අතන ඉන්නෙ ආශු එක්ක ඉන්න බෝයි නේද?"

"ආහ් ඔව්....එයා තමා"

"ආශුගෙ කසින් කෙනෙක්ලු.....ඒත් පුදුම බැඳීමක් තියෙන්නෙ.මටනම් සෙට්ම නෑ ඕෂි"

"ඇයි එහෙම කියන්නෙ?"

"ඇයි ඔයාට මතක නැද්ද එදා මම ස්කූල් එක ලගදි වැටිලා ඉද්දි පවා ආශු ගණන් නොගෙන ඔය කොල්ලා එක්ක ගියා කියලා? ඔය සමහර පොඩි උන් ඉන්නවා අයියලාගෙ ඔලු කන....මූත් එහෙම එකෙක්ද දන්නෑනෙ"

"හැබැයි ඒ බෝයි අහිංසක පාටයි නේද?"

"අපි පොඩ්ඩක් බයිට් කරමුද?"

"ඕකේ.....ඔය වගේ වැඩ වලට මම බෑ කියන්නෑනෙ දිවී"

අතේ තිබ්බ බියර් ටින් එක ටිකක් උඩට කරගෙන අල්ලගත්තු දිව්දේත්‍රා තමන්ගෙ කකුල් දෙකම පේන්න ඇදන් උන්නු ශෝට් එකයි බැගී ටී ෂර්ටයයි එක්ක තව ටිකක් කැපිලා පේන්න ඇවිදින ගමන් ඉස්සරහට ආවා.පැවීලියන් එකේ කෙටි තාප්පෙට බර වෙලා ඉන්න නේත්‍රගෙ ඇස් දෙක හිස් වෙලා තිබ්බෙ ආශව නැති හන්දා.නේත්‍ර නොදන්නවා උනාට වටේ තියෙන ඇස් කීපෙකම බැල්ම නේත්‍ර දිහාවට වැටිලා තිබ්බෙ නේත්‍රගෙ තිබ්බ ලස්සන නිසාමයි.

"ඒ කිට් එක ලස්සනයි නේත්‍ර ඔයාට"

"ආහ්....තෑන්ක්ස් උපාධ්‍යා.සුදුබේබි අරං දුන්නෙ"

"එයාගෙ චොයිසස්නම් සුපර්බ්"

"කළුම අරං දුන්නට මම තනි කළු අදිනවට සුදුබේබි ආසා නෑ....දවසක් මම ගමනක් යද්දි මේ කිට් එක තිබ්බ ඩමී එකක් දිහා බලලා තිබ්බ එක සුදුබේබි දැකලා තිබුනු නිසා අරං දුන්නෙ....කළුම අදිනවට ආසා නැති නිසා ඕක අදිද්දි මේකත් උඩින් දාගන්න කියලා අරං දුන්නෙ මට"

"සමහරවිට ඒක නොවෙන්නත් පුළුවන් හේතුව"

"ඒ කිව්වෙ?"

"නේත්‍ර හුගාක් සුදුයිනෙ.....කළු ඇන්දම නේත්‍රව නොසෑහෙන්න කැපිල පේනව...ආශව අයියා උනත් පොසෙසිව්නෙ"

"නෑ උපාධ්‍යා....සුදුබේබි කවදාවත් මාව ලස්සනට පේනවනම් ඒ දේ අඩු කරන්නෙ බලන්නෑ....ඔය දවසක් ලොකු මැණිකෙ කියල තිබ්බා තනි කළු අදින්න හොද නැති කතාවක්....ඒ බයට තමා සුදුබේබි මම තනි කලු ඇන්දොත් ඒකට සුදු සපත්තු දෙක හරි දාන්න කියන්නෙ"

"ම්ම්ම්ම්.....සොරි...මම එහෙම ආශව අයියව පහලට කරන්න හිතලා කිව්වා නෙවෙයි"

"ඉට්ස් ඕකේ උපාධ්‍යා"

උපාධ්‍යා එක්ක ලාවටන්හිනා වුණු නේත්‍ර ආපහු පාරක් පිට්ටනිය දිහාට ඇස් යොමු කරද්දි උපාධ්‍යා තමන්ට පැත්තෙන් පේන නේත්‍රගෙ මූණ දිහා බලන් හිටියා.කොච්චර වෙලා බලාගෙන හිටියත් මේ රූපෙ එපා වෙන්නෙ නැත්තෙ ඇයි කියලා උපාධ්‍යා කල්පනා කලා.රූපෙ වගේම ඇතුලෙන් ඉන්න මනුස්සටත් කොච්චර නම් ආදරණීය කෙනෙක්ද කියලා උපාධ්‍යාට හිතුනෙ නේත්‍ර ආශවට සලකන විදිය එක්ක.ආශව එක්ක හිතේ කොණක පුංචි ඉරිසියාවක් ඇති උනත් උපාධ්‍යා ඒක යටපත් කරගත්තෙ මොන දේ උනත් නේත්‍ර සතුටින් ඉන්නෙ ආශව නිසා බව දැනන් උන්නු හන්දා.

"ආහ්හ්!"

"ඔහ්හ්හ් සොරි!"

නේත්‍රට ලං වෙද්දි ඉක්මනින් අඩි තියපු දිව්දේත්‍රා නේත්‍රගෙ ඇගේ ගැටෙද්දිම ඒක දැක්ක උපාධ්‍යා ඉක්මනටම නේත්‍ර දිහාවට පාත්වුණු බියර් ටින් එක තිබ්බ දිව්දේත්‍රාගෙ අත අල්ලගත්තා.කෙල්ලෙක් උනු උපාධ්‍යාට දිව්දේත්‍රාගෙ ඇස් වල තිබ්බ බැල්ම අදුරගන්න අමාරු උනේ නෑ.කට කොණකින් හිනා වුණු උපාධ්‍යා,දිව්දේත්‍රා හිතන්නත් කලින් දිව්දේත්‍රාගෙ අත අනික් පැත්තට කැරකෙව්වා.බියර් ටික එහෙම්මම දිව්දේත්‍රාගෙ සපත්තුවක් උඩට වැටෙද්දි උපාධ්‍යා දිව්දේත්‍රාව පස්සට කරලා අත අහකට ගත්තා.

"ඇවිදිද්දි පොඩ්ඩක් බලන් ඇවිදින්න....නැත්තං ඔයිට වඩා දෙයක් වෙයි"

හිස් බැල්මකින් දිව්දේත්‍රා දිහා බලන් උන්නු නේත්‍රව එතනට දුවං ආව දිවාෂ ලගට කෙරුව උපාධ්‍යා කියද්දි දිව්දේත්‍රා ගස්සන් එතනින් ගියා.

"ඔයාට හොදවයින් දෙකක් කියන්නනෙ තිබ්බෙ නේත්‍ර...ඒකි හිතලමයි ඔයාගෙ ඇගේ හැප්පුනේ"

"ඒ ගෑනු ලමයෙක්නෙ උපාධ්‍යා....ගෑනු ලමයෙක් එක්ක එකට එක කියං යන්න මම ආසා නෑ...පිරිමි ලමයෙක්නම් තව කමක් නෑ....ඒත් පිරිමියෙක් ගෑනු කෙනෙක් එක්ක බැනගන්න එකට,ගහගන්න එකට මම කැමති නෑ"

"මමත් ආසා නෑ චූචියො.....ඒක පිරිමිකමටත් හොද නෑ....ඒකටත් එක්ක අපි තෙවින්ට ගහමුද ගිහින්?"

"ඔයා එක්ක බෑ දිවාෂ....කොහෙන් ගියත් තෙවින් අයියව අල්ලගන්නවනෙ....අන්න,අපේ ඉස්කෝලෙ බැට් කරන්න යන්නෙ"

ආශවලගෙ පාසලට විරුද්ධව තරඟ කෙරුව පාසල සියලු දෙනා දැවී ගිහින් ලකුණු දෙසිය තිහක් රැස් කරල තිබ්බා.ලකුණු එකසිය දහයක වගේ පුංචි ඉලක්කයක් එක්ක තමන්ට හැප්පෙන්න පුළුවන් බව දන්න නිසා දෙවින් වගේම රධීන් පිටියට පිවිසුනේ දැඩි ආත්ම විශ්වාසයකින්.කට්ටියගෙම ඔල්වරසන් මැද්දෙ දෙවින්ලා පිට්ටනියට පිවිසුනත් නේත්‍රගෙ ඇස් දිව්වෙ ක්‍රීඩකයන්ට වෙන් වෙලා තියෙන කොටසෙ ඉදගෙන පිට්ටනිය දිහා බලන් ඉන්න ආශවගෙ රූපෙ දිහාවට.පැහැදිලිව නොපෙනුනත් ආශවගෙ මූණ මේ වෙලාවෙ තියෙන විදිය නේත්‍ර දැනන් හිටියා.ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර පිට්ටනිය දිහා ආයෙ බලාගත්තෙ දෙවින් වෙනුවෙන් කෑ ගහන දෙනෙත්ලා එක්ක එකතු වෙන්න.

"මොකද්ද බං ඒ උනේ?"

මුල් ටික හොදට සෙල්ලම් කරගෙන ආවත් ටික වෙලාවකින් අනික් පිලේ ක්‍රීඩකයෙක් කිව්ව මොනාටහරි කේන්ති ගිය රධීන් පිට්ටනිය මැද්දෙ අනවශ්‍ය විදියට කෝපයෙන් හැසිරෙද්දි දෙවින් වගේම තරඟ තීරකවරයෙක් මැදිහත් වීමෙන් ඒක නැවැත්තුවා.ඒ සිද්ධියෙන් පස්සෙ අසාමාන්‍ය විදියට කේන්තියෙන් හිටිය රධීන්ට ඊට පස්සෙ යොමුවුණු ඕවර් දෙකක් තුල දැවී ගියා.ආරම්භක පිතිකරුවන්ගෙන්ම ලකුණු ඉලක්කය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙලා හිටියත් රධීන්ගෙ නොසැලකිලිමත් දැවී යෑම එක්ක ආශවලගෙ කණ්ඩායම යම් පසුබෑමකට ලක් වුණු බව පිලිගන්නම ඕනි.

"නිමේතයා ආවා.....මූ ගහයි"

නේත්‍රලාගෙ පාසල් පිලට ඒ සැනසීම තිබ්බෙ ඕවර කිහිපයක් යනකං විතරයි.ලකුණු හතලිහේ සීමාව පහු කරනවත් එක්කම නිමේතුත් දැවිලා ගියේ නේත්‍රලාගෙ පාසල් පිලේ ප්‍රේක්ෂකයො හැමෝගෙම හීල්ලීම් මැද්දෙ.ඇත්තටම මේ වෙන දේත් එක්ක අනික් පිලේ හැමෝගෙම උද්‍යෝගය නොසෑහන්න වැඩි උනා.ඒත් එක්කම නේත්‍රගෙ දුරකතනෙ නාදවෙද්දි නේත්‍ර ඇමතුමට සම්බන්ධ වුණේ ආශවගෙ නම තිරයෙ වැටිලා තිබ්බ නිසා.

"සුදුබේබි! හදිසියක්ද?"

"නෑ නේත්‍ර....ඔයා එන්නකො පොඩ්ඩක් මෙතනට"

"හරි සුදුබේබි ඉන්න මම එන්නම්"

"දිවාෂ හරි කා හරි එක්ක එන්න....තනියම එන්න එපා සෙනග ගොඩේ"

"හා සුදුබේබි...ඉන්නකෝ...මම එන්නම්"

දිවාෂට තට්ටු කෙරුව නේත්‍ර ඉක්මනින්ම උනු දේ දිවාෂට කියද්දි ආර්යත් බලෙන්ම දෙන්නා පස්සෙ එල්ලුනා.තුන්දෙනා එක්කම ආශව ඉන්න තැනට යද්දි ආශව තමන්ගෙ කොණ්ඩෙ අස්සෙ අත් දෙක් ගහගෙන කලකිරීමෙන් බලන් හිටියා.

"සුදුබේබි"

"න්....දෙයියනේ ඔයාගෙ ලස්සන! මේක අදින්නෙ කියලා කිව්වෙ නෑනෙ"

"සුදුබේබිව සප්‍රයිස් කරන්න ඕනි උනේ....කතා කලේ ඇයි සුදුබේබි?"

"තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා....නේත්‍ර,ටිකක් මෙතනින් ඉදගන්නකො"

තමන්ගෙ ලග තියෙන පුටුවක් පෙන්නුව ආශව කියද්දි ඒක ඇදලා ආශවගෙ ඉස්සරහට ගත්තු නේත්‍ර ආශවගෙ ඉස්සරහින් ඉදගත්තා.නේත්‍රගෙ අත් දෙක අල්ලගත්තු ආශව නේත්‍රගෙ ඇස් දෙකට එබෙද්දි ආර්යයි දිවාෂයි ඒ හරියෙන් හිටගත්තෙ දෙන්නව ආවරණය වෙන්න.

"නේත්‍ර.....දැන් ගියෙත් ඕල්‍ රවුන්ඩ් කෙනෙක්.මේන් බැට්ස්මන්ලගෙන් ඉන්නෙ දෙවින් විතරයි"

"ඔව් සුදුබේබි......"

"නේත්‍ර,අවුරුදු තුනකට පස්සෙ අපි වින් කරන තැනටම ඇවිත් ඉන්නෙ.....මගෙ අඩුව නිසා ඒක නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි දැන්"

"ඔව් සුදුබේබි....සුදුබේබි මොකද්ද කියන්න හදන්නෙ?"

"නේත්‍ර මට ග්‍රවුන්ඩ් එකට යන්න ඕනි!"

"දෙයියෝ සුදුබේබි! සුදුබේබිගෙ කකුල හොඳ නෑ"

"නේත්‍ර......ටීම් එක,ඉස්කෝලෙ ගෞරවේ"

"සුදුබේබිගෙ සෞඛ්‍යය? සුදුබේබිගෙ වේදනාව?"

"නේත්‍ර....ම....මගෙ හීන?"

".............."

ආශවගෙ වචනත් එක්ක නේත්‍ර තත්පර ගාණකට නිහඩ වුණා.ඔව්....ආශවගෙ හීන? මේකත් ආශවගෙ හීන වලින් එකක්.ඒත් අද ආශව කකුල බිම ගහලා සෙල්ලම් කලොත් සතියක් දෙකක් ආශවට නැගිටගන්නවත් බැරි වෙන බව නේත්‍ර හොදටම දන්නවා.ලොකු හුස්මක් ගත්තු නේත්‍ර ආශව දිහා බලල තමන්ගෙ අත් එක්ක පැටලිලා තිබ්බ ආශවගෙ අත් වල ග්‍රහණය වැඩි කලා.

"සුදුබේබි.....තාම ඒ දෙන්නම ග්‍රවුන්ඩ් එකේ ඉන්නවනෙ.ඒ දෙන්නා ගහයි"

"නේත්‍ර,ඊලග ඕවර්ස් ටික දාන්න තියෙන්නෙ ගියපාර වැඩිම විකට්ස් ගත්තු ප්ලේයර්ට....එයාට මම,දෙවින් මූණ දෙයි....ඒත් ඕල්‍රවුන්ඩර් කෙනෙක් උනාට මේන්ලි බෝලර් කෙනෙක් උනු නිකිල්ට අමාරුයි ඒ වැඩේ කරන්න"

"ස්....සුදුබේබි ඒත්..."

නේත්‍රගෙ කතාව නැවතුනේ එතනට ආව ක්‍රිකට් පුහුණුකරු නිසා.නේත්‍ර දිහා බලලා හිනා වුණු පුහුණුකරු ආශව ලගට පාත් වෙලා කතා කරන්න ගත්තා.

"ආශව....නිකිල් තව බෝල්ස් හතරක්....පහක්....උපරිම ඕවර් එකක් අල්ලන් ඉදියි.එතනින් එහාට එයාට බෑ....විකට් එක යනවා....ආයෙ ඉන්නෙ සසිඳු....අපි මොකද කරන්නෙ?"

"න්....නේත්‍ර...."

පුහුණුකරුගෙ වචන එක්ක ආශව බැලුවෙ නේත්‍ර දිහා.නේත්‍රගෙ වචනෙකට පිටින් ගිහින් හිතුවක්කාරකමට වැඩ කරන්න ආශවට ඕනි උනේ නෑ.හැමදාම දෙන්නා එක්ක තීරණ ගන්න එකේ මේකත් ඒ විදියටම තීරණේ කරගන්න ආශවට ඕනි වුණා.

"නේත්‍රට පුළුවන්ද සතියක් දෙකක්....උපරිම තුනක් මාව බලාගන්න?"

"ස්.....සුදුබේබි!"

"පුළුවන්ද කියන්න මැණිකෙ....මම බල කරන්නෑ"

ආශවගෙ ඇස් දෙක දිහා බලන් ඉදලා ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර එහෙම්මම ආශවගෙ අත් දෙක අතෑරලා නැගිටලා යද්දි ආශව බිම බලාගෙන ඉදලා තත්පර ගාණකින් පුහුණුකරු දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවෙ තමන්ට එන්න බෑ කියලා දන්වන්න.ඊලග කෙනාට සූදානම් වෙන්න කියන්න යන්න හැදුව පුහුණුකරුගෙ ගමන නැවතුනේ ආශවගෙ කකුල් දෙක ලග දණගහගත්තු නේත්‍ර නිසා.

"නේත්‍ර!"

"කෝ සුදුබේබි හරියට ඉන්න මේ පෑඩ්ස් දානකං"

ආශවගෙ කකුල් දෙකටම පෑඩ්ස් දාලා ඉවර කෙරුව නේත්‍ර එහෙම්මම ආශවගෙ ඇස් වලට එබුනා.ආශවගෙ සතුට පිරුණු ඇස් වල ගිලෙන්න නේත්‍රට ඕනි උනත් මේ ඊට අවස්තාව නොවෙන නිසා නේත්‍ර පියවි සිහියට ආවා.ආශවගෙ අත තදකරලා අල්ලගත්තු නේත්‍රගෙ නලලින් තමන්ගෙ නලල තද කෙරුව ආශව නේත්‍ර එක්ක ලස්සනට හිනා වුණා.ඒත් එක්කම තව කඩුල්ලක් බිද හෙලුව බව දන්වනවත් එක්ක ආශව නේත්‍රගෙන් ඈත් වුණා.

"පොරොන්දු වෙනවා කකුල ලොකුවට හොලවන්නෑ කියලා"

"සුදුබේබි දිනලා එන්න....මට පුළුවන් සුදුබේබිව බලාගන්න"

"නේත්‍ර....මම ආදරෙයි....මම වෙනුවෙන් කරන හැමදේටම"

"මමත් ආදරෙයි සුදුබේබි....දිනන්න....මගෙ සුදුබේබිට පුළුවන්"

නේත්‍රගෙ නලලින් හාද්දක් තිබ්බ ආශව තමන්ගෙ කකුල බොහොම අමාරුවෙන් බිමින් තියන ගමන් හිටගනිද්දි නේත්‍ර දෙපාරක් නොහිතා ගිහින් ආශවව එක පැත්තකින් අල්ලගත්තා.දිවාෂ අනික් පැත්තෙන් අල්ලගනිද්දි දෙන්නගෙ උදව්වෙන් පිට්‍ටනිය ලගට ගිය ආශව ටයිම් අවුට් වෙන්න කලින් පිච් එක පැත්තට හෙමින් ඇවිදන් යද්දි කඩුල්ල බිද වැටුනු ක්‍රීඩකයා ආශව දිහා බලලා තට්ටුවක් දාන ගමන් පිට්ටනියෙන් එලියට ගියා.

"කකුලකුත් බැරුව ක්‍රිකට් ගහන්න ආවද? අමෝ අමෝ...දුවාගන්නවත් බෑනෙ"

එහා පිලේ එක ක්‍රීඩකයෙක් කියද්දි ඒ කණ්ඩායමේ නායකයා එතනට දුවං ඇවිත් ආශවගෙන් සමාව ඉල්ලුවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ තියෙන මහත්මා ගතිය පෙන්වන ගමන්.ඒකට ලාවට හිනා වුණු ආශව ඒ කණ්ඩායම් නායකයාගෙ පිටට තට්ටු කලේ සමාව භාරගත්තු බව දන්වන ගමන්.ඒකයි අනික් ක්‍රීඩා වල නැති ඒත් ක්‍රිකට් ක්‍රීඩාවෙ තියෙන මහත්මා ගතිය.සමහරු ලග ඒ ගතිය නැති උනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තුල තියෙන ගුණාංග අතරින් මහත්මා ගතිය මූලික වුණා.ක්‍රිකට් ක්‍රීඩාව 'මහත්මාවරුන්ගෙ ක්‍රීඩාව' කියලා හදුන්වන්නෙ නිකං නෙවෙයිනෙ!

"සොරි ආශව මෙයා කිව්ව දේට"

"ඉට්ස් ඕකේ.....කොහොමත් මම දුවන්නෙ නැතුව ප්ලේ කරන්න බලන් තමා ආවෙ"

ආශවගෙ වචන එක්ක කණ්ඩායම් නායකයගෙ වගේම ඒ වචන ටික ඇහුනු අහල හිටිය ක්‍රීඩකයන්ගෙත් ඇස් ගැස්සෙන විදිය දෙවිනුත් හොදටම දැක්කා.ආශවගෙ හැටි දැනගෙඅ හිටිය ක්‍රීඩකයො ඒ වචන ටිකට බය නොවුණොත් තමා පුදුම විය යුතුව තිබ්බෙ.දෙවින් ලගට ලං වෙලා ලා හිනාවක් එක්ක මොකක් හරි කිව්ව ආශව දෙවින්ගෙ පිටට තට්ටුවක් දාලා කඩුල්ල ලගින් ස්ථානගත වුණා.

"ඔව් ආශව තිදස්වරට එල්ල වුණු පලමුවන පන්දුවෙන්ම ඔහු ලකුණු හතරක් ලබා ගැනීමට සමත් වනවා....කකුලේ ආබාධයක් සහිතව තරඟ බිමට ඔහු අද දින පිවිසෙයි කියලා කිසිම කෙනෙක් නොහිතුව තරම්...එහෙම නේද ගෝමස්?"

"ඔව්......ඇත්තෙන්ම ආශව....."

මේ වෙද්දි ලකුණු පනහක් එක් රැස් කරලා තිබ්බා වගේම ඒකෙන් ලකුණු හතලිහක්ම දෙවින්ගෙ වුණා.නිමේත් ලකුණු හයකුත් රධීන් ලකුණු තුනකුත් රැස් කරගෙන් හිටියා වගේම නිකිල් ලකුණු නොලබාම දැවී ගිහින් තිබුණා.ආශවගෙ පිවිසීමත් එක්ක අනික් පාසල් පිල දැඩි පසුබෑමකට ලක් වුණු බව නොරහසක්.ආශව පිටියට පිවිසුනාට පස්සෙ නේත්‍රට බවුන්ඩ්‍රි එක ලගින් ඈත් වෙන්න බැරි කමක් හිතට තදින්ම දැනුනු නිසා දිවාෂ ආර්ය දෙන්නා වගේම නිමේත්,සහස්‍ර,පුහුණුකරුත් නේත්‍රලා එක්ක ආශවලා වෙනුවෙන් ඔල්වරසන් දෙන ගමන් එතන රැදිලා හිටියා.

"ඔව් ආශවගෙන් තවත් වේගවත් හයේ පහරක්!"

තරඟ විස්තර විචාරකවරයගෙ හඩ පිට්ටනිය පුරා පැතිරිනවාත් එක්ක ආශවලගෙ ප්‍රේක්ෂකයන්ගෙන් නැගුණෙ දැඩි ඔල්වරසන් නාදයක්.වේගවත් හතරේ පහර අටකින් හා හයේ පහර තුනකින් ආශව තරඟාවලියේ මෙතෙක් ලබාගත් වේගවත්ම අර්ධ ශතකය තමන් සතු කරගත්තා.පුරුදු විදියටම තමන්ගෙ මාලෙ තිබ්බ මුද්දට හාද්දක් තිබ්බ ආශව පිත්ත ඔසවලා තමන්ගෙ අර්ධ ශතකයෙ සතුට සමරද්දි නේත්‍ර තමන්ගෙ උගුර ලේ රහ වෙනකං මහ හයියෙන් ආශව වෙනුවෙන් ඔල්වරසන් දුන්නා.ආශව කිව්වා වගේම දුවන්නෙ නැතුව හතරෙ සහ හයේ පහරවල් වලින් පමණක් තමන්ගෙ ලකුණු ප්‍රමාණය එක් රැස් කරගත්තා!

ඊලග පන්දුව මගක් දුරට යනකං පහරක් එල්ල කල ආශව තමන්ගෙ බැරි කකුල බොහොම අමාරුවෙන් උස්සන් දෙවින් ඉන්න පැත්තට දුවං එද්දි දෙවින් කඩුල්ල පැත්තට දුවං ගියා.එතන ඉදලම ඉතිරි ලකුණු දහයත් ගහන්න ආශවට පුලුවන්කම තියෙද්දි කකුලෙ වේදනාව පැත්තක දාලා දුවං ඇවිත් තමන්ට කඩුල්ල භාර දුන්නෙ තමන් ලකුණු හතලිහේ සීමාවෙ රැදිලා හිටි නිසා කියලා දෙවින්ට තේරුනා.ආශව ඒ වගේ දෙයක් කලේ තමන්ටත් අර්ධ ශතකයක් රැස් කිරීමේ අවස්ථාව ලබා දෙන්න බව තේරුම් ගත්තු දෙවින්ගෙ ඇස් වල කදුළු පිරුනෙ තමන්ගෙ හොදම යාලුවා වෙනුවෙන් ඉපදුනු සෙනෙහස හේතුවෙන්.

"ඔව් දෙවින් දිහංස ලකුණු හතරක් ඒ අනුව ලබාගන්නවා.....විරුද්ධ පිල මේ වන විට දැඩි පසුබෑමකට ලක්ව සිටින බව අපට හොදින්ම මේ අවස්‍තාවේ පෙනී යනවා...ත්‍රිත්ව පිලට ජය ගැනීමට තවත් ලබාගත යුත්තේ ලකුණු හයක් පමණයි"

ඊලගට තමන්ගෙ යොමු වුණු බෝලයට ලකුණු ලබා ගැනීමේ අවස්ථාවක් දෙවින්ට නොලැබෙද්දි දෙවින් ඊලග පන්දුවට හොදින් මුහුණ දීමට සිතාගත්තා.ඇස් දෙක එක එල්ලෙ ඉස්සරහට යොමු කරගත්තු දෙවින්ට වටේ පිටේ කිසිම සද්දයක් නෑහෙන්න ගත්තා.දෙවින්ගෙ පූර්ණ අවධානය යොමු වුණේ පන්දුව වෙතම විතරයි.වේගෙන් පන්දුව තමන් වෙත යොමු වෙනවත්,උපරිම හයියකින් තමන් එයට පහර දෙනවත් එක්කම පන්දුව ගුවන්ගත වුණා.මුළු පිරිසම නිහඩව පන්දුව දිහාම බලන් ඉද්දි ක්‍රීඩාගනයෙ තිබ්බෙ දැඩි නිහඩ බවක්.තත්පර ගාණක් ඇතුලෙ පන්දුව බවුන්ඩ්‍රියෙන් එලියට වැටෙනවත් එක්කම ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම මහ හයියෙන් කෑ ගහගන්න ගමන් පිට්ටනිය මැද්දට දුවන් එන්න පටන් ගත්තා.

"ඔව්!!! ඔව්!!! ඔව් ඒ අනුව වසර තුනකට පසු **** විද්‍යාලය කන්ද උඩරට ******* සටනේ ජයග්‍රහණය තමා සතු කරගන්නවා!!!"

පැවීලියන් එකේ හිටිය ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පැමිණි ප්‍රේක්ෂකයො මහ හයියෙන් ඔල්වරසන් දෙද්දි නේත්‍ර තමන්ගෙ මූණත් වහන් එතනම බිම ඇදන් වැටුණා.ඉකි ගගහ අඩන නේත්‍රව වත්තම් කරගත්තු දිවාෂත් තමන්ගෙ කදුළු පිහිදගනිද්දි ආර්ය දෙන්නවම නැගිට්ටවගත්තෙ පිට්ටනිය ඇතුලට යන්න.

පිට්ටනියෙ මැද්දට රැස් වුණු පාසල් ශිෂ්‍යයො පිරිස කෑ ගහනවත් එක්කම ආශවව දෙවින් දෙන්නව පිරිස ඔසවගත්තා.කට්ටියගෙ පිට උඩ ඉන්න ආශව තමන්ගෙ අතේ තිබ්බ පිත්තෙන් පපුවෙ වම් පැත්තට තට්ටු කරගෙන ඒක නේත්‍ර දිහාට දික් කරද්දි අඩ අඩම ආශව ඉන්න පැත්තට එමින් හිටිය නේත්‍ර කදුළු එක්ක හිනා වුණා.ඒත් එක්කම ආශවයි දෙවිනුයි දෙන්නත් කට්ටියගෙ කරවල් උඩින් බැහැලා පිරිස එක්කම මිශ්‍ර වෙද්දි කොර ගගහම නේත්‍ර ලගට ආව ආශව පිරිස මැද්දෙ නේත්‍රව තුරුල් කරගත්තෙ තමන් ආවරණය වෙලා ඉන්න බව දැනගෙන.

"මගේ දෙවින් පණ!!!!"

මරහඩ තලාගෙන දෙවින් ලගට දුවං ගිය දිවාෂ දෙවින්ගෙ ඇගට පනිද්දි පහලින් අත තිබ්බ දෙවින් දිවාෂව වඩාගත්තා.ඒත් එක්කම දෙවින් ලගට දුවං ආව දෙනෙතුයි තෙවිනුයි දෙවින්ව තුරුල් කරගෙන සුභ පතද්දි හෙමින් සැරේ දෙවින්ගෙ පිත්ත තමන්ගෙ අතට ගත්තු දිවාෂ තෙවින් දිහාවට හැරුණා.

"ය්...යුගාන්!"

"අද මම තෝව මේකෙන් ගහලා මරනව කෙල්ලන්ගෙ කලිසම් කොටං ගැන කරන විශ්ලේෂණය නිසා"

"බුදු අම්මෝ යුගාන්!!!!"

තෙවින් එතනින් පැනලා දුවද්දි දෙනෙත්ගෙ ඔලුව අතගෑව දෙවින් දෙනෙත් එක්කම ආශවව හොයං ගියා.ඒ වෙද්දිත් පිට්ටනිය මැද්දෙම ආශවගෙ පෑඩ්ස් ගලවලා අයින් කරලා තිබ්බ නේත්‍ර ආශවව වත්තම් කරගෙන ඉස්සරහට එමින් හිටියෙ ආර්ය එක්ක.ආශවව දැක්ක දෙවින් ආපහු පාරක් ආශවව තුරුල් කරගනිද්දි ආශවත් දෙවින් එක්ක හිනාවෙන ගමන් දෙවින්ව තුරුල් කරගත්තා.ටක් ගාලා දෙන්නගෙ ෆොටෝවක් ගත්තු මාධ්‍ය ඒකකයෙ ඡායාරූප ශිල්පියෙක් බැට් දෙකත් අතට අරගෙනම දෙවින් ආශව දෙන්නට ඡායාරූපයකට පෙනී ඉදින්න කියලා කිව්වෙ සමාජ මාධ්‍ය වල දාන්න ඕනි පෝස්ට් වලට ඒ දෙන්නගෙ ඡායාරූප අත්‍යාවශ්‍ය නිසා.

"සුදුබේබිගෙ කකුල නම් බිම ගහන්න බෑ නේද? අපි උස්සන් යන්නද සුදුබේබිව?"

"එපා නේත්‍ර....හෑයියා"

"උබ එන්නෙපා ආසව චූචියගෙ වචන උස්සන්න"

"චූචියවම මම උස්සපු එකේ වචනයක් දෙකක් උස්සන එක මහ ලොකු දෙයක්ද දිවාස?"

දිවාෂගෙ ඔලුවට ටොක්කක් ඇන්න ආශව සමච්චල් සහගත විදියට කියද්දි දිවාෂ බොරුවට අඩ අඩ තෙවින්ගෙ ඇගේ එල්ලුනා.දිවාෂගෙන් පිතිපාරක් කාලා තිබ්බ තෙවින් තමන්ගෙ රිදුම් දෙන පස්ස අතගගා දිවාෂවත් උස්සන් ඩ්‍රෙසින් රූම් පැත්තට ඇවිදන් ගියා.වෙලාව ගත වෙනවත් එක්කම ක්‍රීඩකයො ආයෙමත් පිට්ටනියෙ සකසලා තිබ්බ කුඩා වේදිකාව ලගට රැස් වුණේ කුසලාන ලබා ගැනීමේ අවස්ථාව වෙනුවෙන්.පාසල් නිල ඇදුමට මාරු උනු නේත්‍රත් පාසල් නිල කබායෙනුත් සැරසිලා නිවේදන කටයුතු සදහා දුවලා ගියේ නිවේදන කටයුතු භාරව හිටිය කෙනා අසනීප බව දන්වලා තිබුනු නිසා.හදිසි අවස්ථාවකට උනත් සන්සුන්ව මූණ දෙන්න පුලුවන් හැකියාවක් තිබ්බ නේත්‍ර හරි අපූරුවට නිවේදන කටයුතු ආරම්භ කරලා එ අවස්ථාව ආරම්භ කලා.

"තරඟාවලියේ වීරයා ලෙස මෙවර,ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර තම කුසලානය ලබා ගන්නා අතර පිට පිට වසර තුනක් පුරා තරඟාවලි වීරයා වීමේ වාර්ථාවක්ද ඔහු පාසල් ක්‍රිකට් ඉතිහාසයට එකතු කර තිබෙනවා....ආශව තිදස්වර,අපි ආදරයෙන් ආරාධනා කර සිටිනවා ඔබට එම කුසලානය ලබා ගැනීම සඳහා"

'ගෞරවයෙන්' කියන වචනෙ නේත්‍රට 'ආදරයෙන්' කියලා පැටලුනත් කිසිම කෙනෙක්ට ඒ ගැන ගාණක් තිබුනෙ නැහැ.නේත්‍ර දිහ බලලා හිනා වුණු ආශව හෙමින් සැරේ අඩි තියලා ගිහින් තමන්ට හිමි කුසලානය ලබාගනිද්දි මුළු පිටියෙන්ම ලැබුනෙ විශාල ඔල්වරසන් නාදයක්.කුසලානය ලබාගත්තු ආශව නේත්‍ර ලගට ගිහින් හිටගනිද්දි නේත්‍ර ආශවට මයික්‍රෆෝනයක් ලබා දුන්නා.

"බිග් මැච් එකකද ශතකයක් කියන දේ හරි අහම්බෙන් ලැබෙන,අසීරුවෙන් ලබාගන්න පුලුවන් අවස්ථාවක්.පලවෙනි ඉනිමෙදි ඔබ එය ඔබ සතු කරගත්තා.අවසන් ඉනිමේදී කණ්ඩායම පසුබෑමකට ලක් වෙලා හිටිය අවස්ථාවක පාදයේ ආබාධය ගැන පවා නොසකලා ඔබ පන්දුවට පහර දීමට ඉදිරිපත් වුණා....වේගත්ම අර්ධ ශතකය කියන වාර්ථාව වගේම පිට පිටම වසර තුනක් තරඟාවලි වීරයා වීමේ වාර්ථාවත් තමා සතු කරගත්තා.ඉතින් ආශව,අපි කැමතියි ඔබෙන් අදහසක් දැනගන්න"

"ඔව් නේත්‍ර,ඇත්තටම මේ තරගය මට හුගක් විශේෂයි.මොකද මේක මම ප්ලේ කරන ෆයිනල් බිග්මැච් එක.සෙන්චරි එකක් ගන්න කිසිම විදියෙ ලොකු ඉලක්කයක් නොතිබ්බත් මට හොදට ප්ලේ කරන්න ඕනි කියන අරමුණ තිබ්බා...ඒ අරමුණ මගෙ සෙන්චරි එකට හේතුව වෙන්න පුළුවන්...අද ඇත්තටම මම ප්ලේ කරන්න නෙවෙයි හිටියෙ...ඒත් කඩුල්ලෙන් කඩුල්ල බිදිලා යද්දි මට බලන් ඉන්න බැරි උනා.මම හොදටම දැනන් හිටියා දෙවින්ට ප්ලේ කරන්න පුළුවන් කියලා.ඒත් දෙවින්ට සපෝට් එක දෙන්න ඉන්න අයගෙ කඩුළු ඔක්කොම බිදුනට පස්සෙ ලබාගන්න ජයග්‍රහණයක් අපිට ඕනි වුණේ නෑ.ඒ නිසයි මම පිටියට පිවිසෙන්න තීරණය කලේ.

මේ පාරත් තරඟාවලි වීරයා කියන කුසලානෙ මට හම්බුනොත් ඒක රෙකෝඩ් එකක් වෙනවා කියලා මම දැනන් හිටියා...ඒත් කකුල එක්ක ඒ බලාපොරොත්තුව මම අතෑරලා දාලා තිබ්බෙ.මොකද ඒ දේවල් වලට වඩා මගෙ සෞඛ්‍ය ගැන හිතන සමීපතමයො කීප දෙනෙක් මටත් ඉන්නවා.ඒත් කොහොමහරි අද මට ප්ලේ කරන්න පුලුවන් උනා....රෙකෝඩ් එකත් තිබ්බා....ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනි මේ හැම දෙයක්ම පිටිපස්සෙ ලොකු හෙවනැල්ලක් මට ඉන්නවා....ඒ කෙනාට හෙවනැල්ලක් කියනවට වඩා මගෙම ආත්මයක් කියලා කිව්වොත් හරි....හෙවනැල්ල කියන දේ අදුරෙදි අපිව අතෑරලා යනවා.ඒත් ආත්මය කියන දේ එහෙම නැහැ....ඉතින් මේ හැම දේකම ක්‍රෙඩිට් එකෙන් වැඩි කොටසක් යන්න ඕනි ඒ කෙනාට....ඉතින් මම දැන් කියන්නම ඕනි,මගෙ ලස්සන දවස ඔන්න විනාස උනේ නැහැ...ඒක හුගාක් ලස්සන උනා...සපෝට් කරපු හැමෝටම හුගක් ස්තූතියි"

ආශවගෙ කතාව එක්ක හැමෝම හිතුවෙ ඒ කෙනා මහ මුදියන්සෙ හරි ලොකු මැණිකෙ හරි කියන එක.එහෙමත් නැත්තං ආශව කාටවත් නොකියන ආශවගෙ ආදරවන්තිය කියන එක....ආශව නේත්‍ර ගැන දැනන් හිටිය අය විතරක් නේත්‍ර දිහා හිනා වීගෙන බලන් හිටියා.ඔලුව නවලා නේත්‍රට මයික්‍රපෝනය ලබා දුන්න ආශව වේදිකාවෙන් බැහැලා යන දිහා නේත්‍ර හරි ආදරෙන් බලන් හිටියා.අනුශූරයන්ට හිමි කුසලානය ලබා දුන්නට පස්සෙ ආශවලගෙ කුසලානය ලබා දෙන මොහොත උදා වුණා.

"ඒ අනුව,එකසිය තුන්වන කන්ද උඩරට **** සටනේ ශූරයන් ලෙස මහනුවර ***** විද්‍යාලය කුසලානය ඔවුන් සතු කරගන්නවා!!!"

නේත්‍රගෙ ජයග්‍රාහී හඩ එක්ක කුසලානය තමන්ගෙ අතට ගත්තු ආශව ඒකට හාද්දක් දීලා කුසලානය දෙවින්ගෙ අතට දුන්නා.කුසලානයට හාද්දක් තිබ්බ දෙවින් ඒක කාටවත් අල්ලන්න නොදී තුරුල් කරගනිද්දි හැමෝම හිනා වුනේ කුසලානයක් ගන්න හැම වෙලාවකම දෙවින්ගෙ පෙරේත හැසිරීම ඔය වගේ උනු නිසා.මුළු ක්‍රීඩාංගනයම එකම හඩකින් ආශවලගෙ පාසලේ නම කියලා කෑගහද්දි,දෙවින් උඩට එසව්ව කුසලානයෙ පැත්තකින් ආශවයි සහස්‍රයි අල්ලගනිද්දි,කණ්ඩායමේ හැමෝම කෑ ගහන ගමන් අත් දිගු කරගෙන ඉන්න අවස්ථාව හරි අපූරුවට කැමරාවෙ රූපගත වෙද්දි හරියටම වෙලාව බලලා අහසට නිකුත් කල මල් වෙඩි වලින් නිකුත් වුණු හැඩතලත් ඡායාරූප වල මොනවට සටහන් වෙලා තිබ්බා.

.

.

.

.

"සුදුබේබි ආෆ්ටර් පාටි එකට යනවද?"

"ඔව් නේත්‍ර....නොයා බෑනෙ.මම ටික වෙලාවක් ඉදලා එන්නම්"

"හා සුදුබේබි....මම දිවාෂලා එක්ක කන්න යන්නම්.ගිහින් සුදුබේබිව එක්කංම ගෙදර යන්නම්"

"හරි නේත්‍ර....පරිස්සමින් හොදද? නොදන්න ජාති මුකුත් බොන්න කරන්න යන්න එපා...දිවාෂ ලගටම වෙලා ඉන්න හොදද? දෙනෙත් උනත් ඩ්‍රින්ක්ස් ගත්තට පස්සෙ සිහියක් පතක් නෑනෙ"

"හරි සුදුබේබි....සුදුබේබිත් පරිස්සමින්....ඔය නරක සැර ජාති එහෙම බොන්න යන්න එපා සුදුබේබි හොදද?"

"ඔයා දන්නවනෙ නේත්‍ර මම ඇල්කොහොල් කිසිම ජාතියක් අද වෙනකං යූස් කරලා නෑ කියලා.බය වෙන්න එපා ඒ නිසා"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව තමන්ගෙ පාසල් කබායක් ඇගට දාගෙන නේත්‍රගෙ කම්මුලකින් ඇගපත සෝදගත්තු නිසා හීතල උනු තමන්ගෙ අත තිබ්බා.ඇසුත් බෝල කරං බලන් ඉන්න පුංචි එකාව මේ අඳුරු මුල්ලට තද කෙරුව ආශව හෙමින් සැරේ නේත්‍රගෙ සිනිදු දෙතොල් තමන්ගෙ තොල් වලින් තෙත්කරලා නේත්‍රගෙන් ඈත් වුණා.අදුරෙ උනත් දිලිහෙන නේත්‍රගෙ ඇස් වලිනුත් හාදු දෙකක් තිබ්බ ආශව නේත්‍රව දිවාෂට භාර කරලා පාසල් බස් රථයට නැග්ගෙ සාදය පැවැත්වෙන හෝටලයට යන්න.

"ආශවයා මොකෝ කකුලෙ තත්වෙ?"

"අවුලක් නෑ දෙවින්.....කොහොමත් හෙට අනිද්දා වෙද්දි හොල්ලගන්න බැරි වෙයි"

"ඉතින් යකෝ අවුලක් නෑ කියන්නෙ එහෙනම්?"

"දැනට අවුලක් නෑ කියලා කිව්වෙ"

කතාවෙන් කතාවෙන් කට්ටියම ආවෙ සාදය තියෙන හෝටලය වෙත.රතු පලසවල් මගින් කණ්ඩායම් දෙකම ගෞරවයෙන් පිලිගත්තට පස්සෙ සාදය ආරම්භ වුණා.සිසිල් බීම වගේම නානාප්‍රකාර වයින් ජාති වලිනුත් මේස සැරසිලා තිබ්බත් ආශව සිසිල් බීමකින් එහාට ගියේම නෑ.ක්‍රීඩකයෙක් විදියට තමන්ගෙ ශරීර සුවතාව පවත්වාගෙන යන එකට තියෙන ලොකුම බාධාවක් විදියට තමා ආශව මත්පැන් කියන දේ දැක්කෙ.මත්පැන් කියන්නෙ නේත්‍රත් දැඩි විදියට පිලිකුල් කරන දෙයක් නිසා ආශව මත්පැන් කියන දේ ලගටවත් ගන්න කැමති වුණේ නෑ.

"ආශව ඩ්‍රින්ක්ස් මුකුත්...."

"එපා රකිත....මට මේ කූල් ඩ්‍රින්ක් එක විතරක් ඇති"

ආශව අතේ තිබ්බ බීම වීදුරුව පෙන්නුව ආශව කියද්දි ඔලුව වැනුව රකිත අනික් වැඩ කටයුතු බලන්න එතනින් එහාට ගියා.අනික් පාසලේ කණ්ඩායම් නායකයා ඇවිත් ආශව ලගින් ඉදගනිද්දි ඔලුව උස්සලා බැලුව ආශව ඒ නායකයා එක්ක හිනා වුණා.

"හායි ආශව"

"හායි දිනාල්"

"අද කිව්වා වගේම දුවන්නෙ නැතුව ප්ලේ කලා නේද?"

"ඒකනෙ මම කිව්වෙ"

"කන්ග්‍රජුලේෂන්ස් ආශව....අද වින් කරපු එකට වගේම අන්ඩර් නයින්ටීන් ටීම් සිලෙක්ට් වෙච්ච එකට"

"හොද වෙලාවට මගෙ බර්ත්ඩේ එක ඩිසෙම්බර් වල තිබ්බෙ....සෙප්ටෙම්බර් වලට කලින් වගේ උනානම් චාන්ස් එක හම්බෙන්නෙ නෑ මට"

"ඔව්.....මමත් කල්පනා කලේ ඒක තමා...ආශව පුලුවන්නම් මට මෙන්න මේ බුක් එකේ සයින් එකක් ගහල දෙනවද?"

"හරි....මොකද්ද මේ? ඕහ්....මේක මේ ක්‍රිකටස්ලගෙ ඔටෝ ගත්තු බුක් එකක්....ඒත් මම? මේකෙ සයින් කරන එක හොදද?"

"ආශව,මේක අපේ මල්ලිගෙ බුක් එකක්....ස්පෙශල්ම දේ තමා එයත් අන්ඩර් නයින්ටීන් ටීම් එකේ ඉන්නවා....එයානම් ගියපාර සිලෙක්ට් වුනේ....එයාට ඉතින් හම්බෙනවනෙ ක්‍රිකටස්ලව...එයා ඔටෝ ගන්නවා....ඔයාට එයා ස්පෙශල් පේජ් එකක් වෙන් කරලා තිබ්බෙ.බලන්න....හරි මැද පිටු දෙකම"

"ඒ ඇයි?"

"මල්ලි ඔයාගෙ ලොකූ ෆෑන් කෙනෙක් ආශව....එයා මෙහෙ නෙවේ....එයා කලම්බු ස්කූල් යන්නෙ....එහෙ බෝඩ් වෙලා ඉන්නෙ....ඒත් අපේ බිග් මැච් හැම එකකටම එනවා.ඔයා එක්ක එකපාරක් හරි කතා කරන්න ඕනි උනත් එයාට චාන්ස් එකක් ලැබිලම නැහැ.ඉතින් අද මට මේක දුන්නා.ඔයාව ආෆ්ටර් පාටි එකේදි මීට් වෙනවා කියලා එයා දන්නවා"

"ඕහ්....දෙන්න.මම සයින් කරලා දෙන්නම්"

"ආහ්....තෑන්ක් යූ ආශව...තැන්ක් යූ සෝ මච්....මල්ලි ඔයාලා කොලඹ ගිහින් ගැහුව හැම මැච් එකක්ම වගේ බලන්න පවා ඇවිත් තියෙනවා....ඔයා ටීම් එකට සිලෙක්ට් උනා කිව්වම උඩ පැන්නා ඔයා එක්ක කතා කරන්න පුලුවන් වෙයි කියලා"

"ආ දිනාල් මෙන්න....ඔව්,අපිට කතා කරන්න පුලුවන්නෙ"

"ඒක තමා....එහෙනම් මම ටේබල් එකට යන්නම්....මොනා උනත් අදින් පස්සෙ මල්ලිගෙන් මට විශේෂ සැලකිලි ලැබෙයි මේ සයින් එක නිසා"

ආශවගෙ පිටට තට්ටු කෙරුව දිනාල් එතනින් පිටත් වෙලා යද්දි කොහෙ හරි ඉදලා ආව දෙවින් ආශවව තුරුල් කරං හාදු දෙන්න ගත්තා.පොඩ්ඩක් බිව්වත් වැනෙන දෙවින් දැන් හොදටම වැනෙන ගමන් හිටියා.වැඩිපුර බොන්නෙ නැති මනුස්සයෙක් උනු දෙවින් මේ වගේ වෙලාවල් වලට ඉදලා හිටලා බොන බීම නිසා දෙවිනුත් දවස් දෙක තුනක් යනකං විදෝන බව ආශව දැනන් හිටියා.රෑට වමනෙ දාන්,උදේට ඔලුව කැක්කුම් හදන්,දවසක් දෙකක් ඇගේ අප්‍රාණික ගති,ක්ලාන්ත ගති එක්ක මේ සිද්ධිය නිසා දෙවින්ට ඉන්න වෙන බව දැන දැනම දෙවින් කරන මේ මෝඩ වැඩේට ආශව දෙවින්ව අහකට තට්ටු කරලා ඔලුවට පාරක් දුන්නා.

"හායි ආශ්....ම්ම්ම්...හායි ආශු"

සාදය ලස්සනට ගලං යන අතරෙ ආශව හිටියෙ මේසයක ඉදගෙන.අද ටිකක් කොල්ලො එක්ක නටලා කරලා ආවට පස්සෙ ආශව මේසෙ ලග ඉදන් හිටියෙ ඔය නටන කරන වැඩ වලට එච්චර ආසා නැති නිසා.කොල්ලන්ගෙ බල කිරීමටම එතනට ගියා මිසක් ආශව ලොකු කැමැත්තකින් එතන හිටියා නෙවේ.නේත්‍රවත් මෙතන හිටියනම් කියලා ආශවට හිතුනා.දුරකථන තිරේට දාන් ඉන්න තමන්ගෙයි නේත්‍රගෙයි අද පාසල් නිල ඇදුම් පිටින් ගත්තු ෆොටෝව දිහා බලන් හිනා වුණු ආශවට දැන්මම නේත්‍ර ලගට යන්න හිතුනා.ඒත් එක්කම ආශවගෙ අවධානෙ බිදුනෙ තමන් ලගින්ම ඇහුණු ගැහැනු කටහඩකින්.

"ඇයි? කවුද ඔයා?"

"ආහ්.....කෝ අනේ ඔයාගෙ මැනර්ස්? හායි කිව්වම හායි කියලා ඉන්නකො ආශු"

"හරි හමන් විදියට දන්නෙවත් නැති කොල්ලෙක්ට නමේ කෑලි වලින් කතා කරන ඔයාද මට මැනර්ස් කියල දෙන්න යන්නෙ?"

"ආශු,ඔහොම කෑගහන්න එපා අනේ"

"මෙතනින් යන්න....මම කැමති නෑ මට ඩිස්ටර්බ් කරන මිනිස්සුන්ට"

"මොකද්ද අනේ.....මම කැමතියි ඔයාව අදුන ගන්න"

"මට උවමනාවක් නැහැ"

"ඔයා ඇයි මට නිකං අකමැත්තෙන් වගේ කතා කරන්නෙ? මගෙ මොකක් හරි අවුලක් තියෙනවද?"

අවුලක්? ආශව සමච්චලේට හිනා වෙලා තමන් ඉස්සරහ ඉදන් හිටිය කෙල්ලගෙ උඩ ඉදලා පහලටම බලලා අහක බලාගත්තා.කොහොමත් කාන්තා ඇදුම් පැලදුම් ගැන කිසිම විදියෙ දැනුමක් නොතිබ්බ ආශවට මේ කෙල්ල ඇදන් හිටිය ඇදුමෙ හරි වැරැද්දක් පේන්න තිබ්බෙ නැහැ.අත් නැති,කකුලෙ උඩටම වෙන්න පලලා තිබ්බ ගවුමක් ඇදලා හිටිය මේ කෙල්ලගෙ පපුවෙ කොටසක්ම නිරාවරණය වෙලා තිබ්බා වගේම කොණ්ඩෙ පිටිපස්සට කරලා ගෙඩියක් ගහලා රැලි කිහිපයක් මූණට වැටෙන්න සකසලා තිබ්බා.සෑහෙන්න ප්‍රමාණයක මේකප් එකකිනුත් සැරසිලා හිටිය මේ කෙල්ලගෙ පෙනුම හොදද නැද්ද කියලා හිතන්නවත් ආශවට උවමනාවක් තිබ්බෙ නෑ.

හැසිරීම! ආශව මනුස්සයෙක්ම මැන්න ප්‍රධානම දේ උනේ ඒ මනුස්සයගෙ හැසිරීම.මේ ගෑනු ලමයගෙ හැසිරීම,කතා විලාශය එක්ක ආශවට ඒ කෙනා ගැන කිසිම පැහැදීමක් ඇති වුනේ නෑ.ආශවට ඕනි උනේ මෙතනින් පුලුවන් ඉක්මනට පිට වෙන්න.නේත්‍ර ලගට යන්න.ආශවට ඇත්තටම මෙතන පරිසරය,සංගීතය,ලයිට් එලි හැමදේම පවා එපා වෙලා පේන්න ගත්තෙ මේ ගෑනු ලමයා නිසා.ඒ තරමටම මේ ගැහැනු ලමයගෙ හැසිරීම ආශවව අපහසුතාවයට පත් කලා.

"හායි අයිම් දිව්දේත්‍රා....අපි මීට කලිනුත් හම්බෙලා තියෙනවා"

"හායි.....ඒත් මට ඔයාව මතක නෑ"

දිව්දේත්‍රාව නොසලකා හැරිය ආශව තමන්ගෙ දුරකතනෙ ඔබන්න ගත්තා.කෙනෙක්ට හිතන්න පුලුවන් ආශව ගැහැනු ලමයෙක්ටවත් ගරු කරන්න නොදන්න කෙනෙක්ද කියලා? ආශව කියන්නෙ නේත්‍ර ඇරෙන්න වෙන කිසිම මනුස්සයෙක් වෙනුවෙන් හැගීම් ඉපදෙන හදවතක හිමිකාරයෙක් නෙවෙයි.නේත්‍ර,නේත්‍ර,නේත්‍ර....ආශවගෙ හදවත මනස කියන දෙකම වැඩ කලේ නේත්‍ර වෙනුවෙන් විතරයි.මනුස්සයෙක්ට ගරු කරන්න දන්නවා උනාට දිව්දේත්‍රා වගේ පෞරුෂයක් තියෙන කෙනෙක්ව එහෙම ඔලුව උඩ තියං දගලන්න ආශවට කිසිම වුවමනාවක් තිබුනෙ නැහැ.ගරු කල යුත්තට යන්තමට හරි ගරු කෙරුව ආශව හදවතින්ම ගරු කල කෙනා වුනේ නේත්‍ර විතරයි.නේත්‍රට අමතරව ආශවගෙ හදවත,මනස යම්තාක් දුරකට හරි තමන්ට සමීපම මිනිස්සු අතලිස්ස වෙනුවෙන් වැඩ කලා මිසක දිව්දේත්‍රාලා වගේ මිනිස්සු වෙනුවෙන් ආශවගෙ කිසිම අවයවයක් වැඩ කලේ නැහැ.නේත්‍ර හැරුනු කොට සමීපම මිනිස්සු වෙනුවෙන් උනත් ආශව ඒ විදියට ක්‍රියා කලේ හරිම යාන්තමින් වෙද්දි නොදන්න කෙල්ලෙක් උනු දිව්දේත්‍රා ගැන කවර කතාද?

"ඕහ් ආශව....මම ඔයාව හැමතැනම හෙව්වා...ඕහ්.... මේ අපේ දිව්දේත්‍රා දුවනේ"

වටපිට බල බල හරි උද්‍යෝගයෙන් ආශව දිහාවට ඇවිදන් ආව විදුහල්පතිතුමා කතා කරද්දි දිව්දේත්‍රාත් හරි සුහදව විදුහල්පති තුමා එක්ක හිනා වුණා.ඒත් එක්කම ආශව නැගිටින්න හැදුවත් විදුහල්පතිතුමා ආශවව නවත්තලා එතනම අසුනකින් ඉදගත්තෙ ආශවගෙ කකුල ගැන දැනන් හිටිය නිසා.

"මොකෝ ආශව කකුල?"

"ටිකක් රිදෙනවා සර්....සතියක් වගේ යද්දි අඩු වෙයි"

"ආශව මේ දිව්දේත්‍රාව දන්නවද?"

"නෑ සර්....මම දන්න කෙනෙක් නෙවේ"

"ඕහ්....අදුනගන්න එහෙනම්....මෙයාව දැන අදුනගන්න එක ඔයාට ලොකු චාන්ස් එකක් වෙයි.දිව්දේත්‍රා වගේ යාලුවෙක් ඉන්න එක"

විදුහල්පතිතුමා කියලා සුහදව හිනා වෙද්දි ආශව හිස් විදියටම විදුහල්පතිතුමා දිහා බලන් හිටියා.ආශව දිහා බැලුව දිව්දේත්‍රා තමන්ගෙ එක ඇහැක් උඩ දාලා හිනා වෙද්දි ආශව විදුහල්පතිතුමා දිහාවට හැරුණෙ ප්‍රශ්නකාරී මුහුණකින්.

"ඕහ්....මට ඉන්ට්‍රඩියුස් කරන්න අමතක උනානෙ....මේ දිව්දේත්‍රා....දිව්දේත්‍රා අලහකෝන්"

"ආහ්.....ඕකේ"

"ආශවට එහෙම කිව්වටවත් නෝට් නැද්ද?"

"නෑ සර්"

"දිව්දේත්‍රා කියන්නෙ ඩග්ලස් අලහකෝන්ගෙ දුව....නැෂනල් ටීම් සිලෙක්ෂන් කමිටි එකේ චීෆ් සිලෙක්ටර්ගෙ දුව"

"ආහ්"

ඇත්තටම ආශවට පුදුමයක් හිතුනත් ආශව හිස් විදියටම දිව්දේත්‍රා දිහා බලලා අහක බලාගනිද්දි දිව්දේත්‍රා තමන්ගෙ අත ආශව දිහාවට යොමු කලා.විදුහල්පතිතුමාගෙ ඉස්සරහ දිව්දේත්‍රාව ප්‍රතික්ෂේප කරන එක කරන්න බැරි වැඩක් නිසා ආශව දිව්දේත්‍රාගෙ අතට අත දීලා තත්පරේකටත් අඩු කාලයක් ඇතුලත තමන්ගෙ අත ඇදගත්තා.ආශවට මේ තත්පරේම තේරුම් ගියා වැඩිකල් නොයා තමන්ව ලොකු උගුලකට අහු වෙන බව.තේරීම් කමිටු ප්‍රධානියගෙ දුව කියන්නෙ තමන්ගෙ අනාගතේම තීරණේ කරන්න උනත් පුලුවන් කෙනෙක් කියන එක ආශවට තේරුම් ගියා.ඒ හැමදේම එක්ක ආශව කල්පනා කලේ නේත්‍රව මේ දේවල් වලින් රැකගන්න විදියක්.

ආශව මතක් උනේ ආදරෙන් පිරුණු හිනාවෙන ඒ බෝල ඇස්....තමන් නරක කතාවක් කියන වාරයක් ගාඹෙ හුරතලේට අකුලගන්න ඒ බොත්තම් නාහෙ....ලැජ්ජාවට රතු වෙන බෝල කම්මුල්....තමන්ගෙ සිප ගැනීම් හමුවෙ තද රත්පැහැ ගැන්විලා ඉදිමෙන ඒ පිරුණු දෙතොල්....තමන්ගෙ පුංචි ස්පර්ශෙකට පවා වෙවුලලා අඩපණ වෙන ඒ පුංචි ශරීරෙ....ඒ හැමදේමත් එක්ක පණ දෙවනි කරලා තමන්ට ආදරේ කරන් ඒ පරිපූර්ණ පිරුණු ආත්මෙ.ඉක්මනින්ම තමන්ගෙ දුරකථනය සාක්කුවට දාගත්තු ආශව අසුනෙන් නැගී හිටියා.

"ආශව?"

"සොරි සර්....මගෙ කකුල එක්ක මට මෙතන ඉන්න අමාරුයි...මම ගෙදර යනවා"

"ඕහ්හ්....ඕකේ ආශව.පරිස්සමින් යන්න"

"ඕකේ සර්"

විදුහල්පතිතුමාගෙන් සමුගත්තු ආශව රකිතට දැනුම් දීලා දෙවින්වත් අල්ලගෙනම හෝටලයෙන් එලියට ආවා.දුරකථන ඇමතුමක් ලබාදීලා නේත්‍රට එන්න කියලා දැන්නුව ආශව එලිමහන් බංකුවකින් ඉදන් සද්ද බද්ද නැතුව ඉන්න දෙවින් දිහා බැලුවෙ දෙවින් දැන් කරන්න යන දේ තේරිලා.එහෙම්මම බිමට නැවිලා වමනෙ දාන්න ගත්තු දෙවින් කාපුවා බීපුවා ඔක්කොම එලියට වැමෑරුවා.

"බැරි මගුල් නොකර ඉන්න ඕනි එක්කො"

"ආශව පැංචෝ!!!!"

"ඊයා දෙවින්! අහකට පලයං!"

"ඔයාට මම උම්මා උම්මා උම්ම්ම්ම්ම්ම්මාආආආආආ"

"ඊයා යකෝ! කෙල ගාන්නෙ!"

"උම්මා උම්මා උම්මා....හම්මා...හම්මා....හම්ම හම්මා හම්මාආආආආආඅ හේ හම්මා...."

"පුදුම වදයක්නෙ තියෙන්නෙ තමුසෙගෙන්!"

බොහොම අමාරුවෙන් දෙවින්ව ආම්බාන් කරගත්තු ආශව දෙවින්ගෙ ඔලුවට පාරක් ගහලා දෙවින්ව බංකුවෙ ඇල කරවගත්තා.ටික වෙලාවක් යද්දි තෙවින්ගෙ වාහනේ තමන් ඉදිරියෙන් නැවතෙනවත් එක්කම දෙවින්වත් වාහනේට නග්ගගත්තු ආශව නේත්‍ර ලගින් ඉදගත්තා.

"සුදුබේබි!....අත් වල වතුර මොකෝ?"

"ආහ්....අත සෝදගත්තා නේත්‍ර"

"මොනාහරි ගෑවුනාද සුදුබේබි?"

"ඔව් ජරාවක් ගෑවුනා....එව්වා පිටින් ඔයා ලගට එන්න ඕනු නෑ මට...මොකෝ මම නැතිව පාළුවෙන්ද හිටියෙ? ම්ම්ම්?"

තමන් වාහනේට නැග්ග ගමන් ඇගට තුරුල් වෙලා තමන්ගෙ වේදනා දෙන කකුල අතගාන නේත්‍රව තව ටිකක් තුරුල් කරං ඉඹින ගමන් ආශව අහද්දි පුංචි එකා හුරතලේට හිනාවෙන ගමන් ඔලුව වැනුවා.නේත්‍රව ආයෙ තද කරන් හාද්දක් තිබ්බ ආශව මෙච්චර වෙලා තමන් ලග නොතිබ්බ සැනසීම විදින ගමන් ඇස් දෙක පියාගත්තා.

"ආශව උඹ කාලද? අයියා එහෙම?"

"අයියා කාලා වමනෙත් කලා තෙවින්....එයාටනම් දැන් ආයෙ කන්න බැරි වෙයි.මෙහෙම්මම නිදාගන්න දෙමු"

"උඹ?"

"නෑ තෙවින්....ගෙදර ගිහින්ම කනවා.කන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ මට"

"එහෙනම් ගෙදර යන්න බෑ ආසව....අපි මගින් මොනාහරි අරං කකාම යං"

"ඒ මොකෝ?"

"මමයි මූයි දෙන්නා කොත්තු කෑවා...දෙනෙත් අයියත් කාලා නිදියං ඉන්නෙ ඔය....එයාටත් බොද්දි ලිමිට් නෑනෙ....කාලෙකින් බිව්වෙ නෑ කියලා බීලා කාලා එයත් නිදි....අපි කාපු තැනින්ම කන්න ගමුද ඔය දෙන්නට?"

"දෙන්නට?"

"ඔව්.....ඔයා කාලා නැද්ද දන්නෑ කියලා චූචියා කෑවෙත් නෑ ආසව....ඔය බීම එකක් විතරක් බීලා ඉන්නෙ"

දිවාෂ කියද්දි ආශව ඇහිබැම් රැලි කරං නේත්‍ර දිහා බැලුවා.හොරෙන් ඇස් දෙක උස්සලා බැලුව නේත්‍ර ඉක්මනටම ආශවගෙ පපුව අස්සෙ හැංගෙද්දි ආශව නේත්‍රගෙ හිස් මුදුන සිපගත්තා.නේත්‍ර තරම් තමන්වත් තමන්ට ආදරේ කරන්නෙ නැතුව ඇති කියලා ආශව කල්පනා කලා.තෙවින්ට කෑම ගන්න කියලා කිව්ව ආශව දිවාෂට සල්ලි දෙද්දි දිවාෂ දත් වහල්ලම එලියෙ දාන් හිනාවෙලා තෙවින් දිහා බැලුවා.

"තෙවින්....."

"මොකෝ? ආශවයා....බොක්සස් දෙකකට අරං එන්නම් නේද? එතකොට කකා යන්න පුලුවන්නෙ?"

"හා තෙවින්...එහෙම කරන්න...මේකා කාලා නෑනෙ ඉතින් හොරගෙඩියා වගේ"

"හරි ආශව....දැන් උඹ මොකෝ මරහඩ තැලුවෙ?"

"අනේ තෙවින් මටත් කෑම ඕනි"

"යකෝ දැන් ටිකකට කලින් නේද අර පත කොත්තු පිගානක් ඉවර කලේ"

"අනේ මොකද්ද අනේ....උබට බැයිද යකෝ මගෙ සාගින්න නිවන්නවත්?"

"කෑගහන්න එපා යුගාන්....මම අරං එන්නම්.මොනාද ඕනි?"

"චූචියා කන ජාතියෙන්ම මටත් ඕනි"

ටික වෙලාවක් යද්දි යද්දි වෙරි මරගාතෙ ඉන්න දෙවින්වයි දෙනෙත්වයි පිටුපස ආසනයෙ කොණකට තල්ලු කෙරුව තෙවිනුයි දිවාෂයි වාහනේ පාර අයිනෙ නවත්තලා එලිමහනෙ තියෙන බංකුවක් ලගට කෑමත් අරං ආශවවයි නේත්‍රවයිත් එක්කන් ගියා.බංකුවෙ ආශවයි නේත්‍රයි ඉදගනිද්දි තෙවිනුයි දිවාෂයි ඒ ලගම තිබ්බ කෙටි තාප්පෙන් හේත්තු වුණා.

"කකුල හොල්ලන්නවත් බෑ වගේ නේත්‍ර දැන්නම්"

වලව්වට ගියාට පස්සෙ අඩියක් බිමින් තියන්න එපා සුදුබේබි....මම සුදුබේබි ලග ඉන්නම්"

"හා නේත්‍ර.....මම හෙලවෙන්නෙවත් නැතුව ඉන්නම්"

"සුදුබේබි නොකෑවෙ ඇයි?"

"කන්න බෑ වගේ හිතුනා නේත්‍ර....තව දේවල් තියේ කියන්න ඔයාට.එව්වා ගෙදර ගිහින් හෙමීට කියන්නම්....කොහොමත් හෙට අනිද්දා නිවාඩුනෙ"

"හා සුදුබේබි....මම කවන්නද?"

"හා චූටි මහත්තයෝ....."

"වතුර බෝතලෙන් උගුරක් බොන්නකො සුදුබේබි.... නැත්තං හිර වෙයි"

ආශවට වතුර උගුරක් බොන්න දුන්නු නේත්‍ර කෑම පෙට්ටිය එක්ක හම්බුනු ලී හැන්දෙන් ආශවට බත් කට කට කවන්න ගත්තා.පූස් පැටියා වගේ නේත්‍ර ලග මෙල්ල වෙල හිටිය ආශව කට ඇර ඇර කන්න ගනිද්දි ඒක දැක්ක දිවාෂයි තෙවිනුයි තාප්පෙන් එහා පේන ප්‍රපාතෙ දිහා බැලුවා.

"මේකෙන් පැන්නොත් මැරෙයිද තෙවින්?"

"මංදා යුගාන්....පැනලා බලමුද?"

"සිරාවටම? පයිමුද?"

"අවුලක් නැත්තං පැනලා බලමු"

"දැන් පැන්නොත් අපි දෙන්නව පේන එකක් නෑනේද? අපි දෙන්නට වෙන දේවත් බලාගන්න වෙන්නෑ....අදුරුයිනෙ"

"එහෙනම් හෙට උදේට හරි දවල්ට හරි එමු.ඇවිත් පයිමු"

"හා....."

"යුගාන්......"

"මොකෝ?"

"මටත් කටක් කවනවකො"

"කට ඇරපං....මදෑ මම තනියම කන්න හැදුවා"

"ඈ යුගාන්"

"මොකෝ....ඕක හපලා ඉදපං තෙවින්"

"ඒක හපාගන්නම් අනේ...කෑ නොගහා අහන්නකෝ"

"කියපං"

"කතාවක් කියන්නම්?"

"හා....ආ මේ කටත් කාපං"

"ඔන්න හරිද?"

"ම්ම්ම්ම්"

"ඔන්න හිර කාරයෙක් හිටියලු.එයා දවසක් කිව්වලු එයාට හිරෙන් පැනගන්න පුළුවන් කියලා...එයාට මැජික් පුලුවන් කිව්වලු"

"ඉතින්?"

"ඉතින් දවසක් උදේ එයාලට සුප් භාජනයක් හම්බුනාලු...ඉතින් මේ හිරකාරයා අතුරුදහන් උනාලු....ආ යුගාන් කියන්න බලන්න කොහොමද ඒ කියලා?"

"උබ හිතුවද ඒ හිරකාරයා මම කියලා ඒක දැනගන්න?"

"හූ හු.....යුගාන්ට බෑනේ.....හූ හූ"

"ආ දැන් කියපංකො කොහොමද අතුරුදන් උනේ කියලා "

"ඒ හිරකාරයා අර සුප් භාජනේට පැනලා කිමිදිලා අතුරුදන් වෙලා තියෙන්නෙ"

"ට්‍රැක්ද ඕයි? එහෙම වෙන්නෙ කොහොමද?"

"ඉතින් එයාට මැජික් පුලුවන්නෙ යුගාන්"

"අනේ මයෙ සංකුට්ටා....කට ඇරපං මයෙ අම්මා තව බත් කටක් කවන්න....බයියං කාලා මයෙ පුතු ලොකු වෙන්න හරිද?"

"අනේ පලයං යුගාන්....ආසා නෑ මම.....උබ නරකයි.මම තරහයි"

තෙවින් ගස්සන් කියද්දි දිවාෂ තෙවින් පුම්බං ඉන්න කම්මුලකට ඇගිල්ලෙන් ඇන්නා.තෙවින්ගෙ මූණ දකිද්දි හයියෙන් හිනා වුණු දිවාෂ තෙවින්ගෙ කම්මුලකට ඇනගෙන ඇනගෙන යද්දි තෙවින්ටත් ටික වෙලාවකින් හිනා ගියා.

ආශවට බත් කවලා ඉවර උනු නේත්‍ර ආශවට වතුරත් බොන්න දීලා තව වතුර ටිකක් අතට අරං ආශවගෙ කට වටේට පිහිදලා දැම්මා.තමන්ගෙ සාක්කුවෙ තිබ්බ සර්වියට් එකකින් ආශවගෙ වතුර ටික පිහදැම්ම නේත්‍ර දිහා බලාගෙන හිටිය ආශව නේත්‍රගෙ පුංචි අතක් හයියෙන් අල්ලගත්තා.ආශවගෙ හයිය අත තමන්ගෙ අතේ දැවටෙනවත් එක්ක ආශවගෙ ඇස් අස්සට ගිලුණු නේත්‍ර හැගීම් වලින් පිරුණු ආශවගෙ තද දුඹුරුපාට ඇස් දිහා බලාගෙනම හිටියා.

"මොන දේ උනත් මම එක්ක ඉන්න නේත්‍ර"

"මම ඉන්නවා සුදුබේබි....හැමදාම....හැමවෙලාවකම"

නේත්‍රගෙ අත තමන්ගෙ පපුවට තුරුල් කරගත්තු ආශව මුමුණද්දි නේත්‍රත් හෙමීට ඒකට උත්තර දුන්නා.නුවර ආකහේ පායලා තිබ්බ අඩ සද ලගට ලං වෙලා තිබ්බ පුංචි තරුව හඳ ලගට වෙලා හරි හරියට දිලිසෙද්දි නේත්‍රගෙ ඇස් වලින් පේන තරු අස්සෙ ආශව අතරමං උනා.හෙමීට හමං යන නුවර හුලග අස්සෙ පාවෙලා ආව රොබරෝසියා මල් පොහොට්ටුවක් ආශවගෙයි නේත්‍රගෙයි කකුල් ලග නැවතුනේ නුවර වසන්තය ලග ලගම එනවා කියලා නිහඩ පණිවිඩයක් දෙන ගමන්.

...................................................................................................

වචන 8700+ 🙈❤️

නේට්ට

දිවාස

දෙනෙත්

තෙවින්

ආර්ය

එහෙනම් බබාලා අදත් අදහසක් දීගෙන යන්ට❤️

ලොකුම බාල්දියක් වෙන්න පුළුවන් කෙනෙක්ව හොයාගත්තා නේත👉👈

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter