Chapter 3: 🌸03🌸

හීලියොස් - Ἠέλιος (GL) ✓Words: 14315

ගිම්හානයේ විඩාබර උණුසුම සමඟින් හමා ආ මන්දමාරුතය, එල්නෝරාගේ සිත තුළ අභව්‍ය හැඟීම් සමුදායක් ඇති කර තිබුණා ය.

එතෙක් ඇය අසල සිට බීර වීදුරු පිසදමමින් සිටි අයකැමි තරුණයා,අලගුව ඉදිරියෙහි සිටි රූමත් කතුවරිය දෙස යටැසින් බලමින් සිනාසුණා ය.

ඒ හේතුවෙන් හදිසියේම කෝපී මැෂිමට කෝපයෙන් යුතුව වැරෙන් පහරක් එල්ල කර සිටි එල්නෝරා, අනතුරුව අලගුව මතට සිමින් බර වූවා ය.

"ඔබ..... හොඳින්ද...?"

ඒත් සමඟම එල්නෝරා දෙසට නිසඟව ගෙල හැරවූ රූමත් කතුවරිය,සලිතව ගොස් විමසා සිටියා ය.

මෙවර මහත් ආයාසයෙන් යුතුව මඳක් සිනාසුණු එල්නෝරා,හැඟීමකින් තොර වූ තම නෙත් වහා ඉවතට හරවා ගත්තා ය.

ඔව්! සෑම දිනයකදීම සන්තෝසමක් වශයෙන්, පැන්ස කිහිපයක් සමඟින් දම් පැහැති කුඩා අරුමැති මලක් තසිම මතින් තබා යන මේ සුන්දර කතුවරිය, ඒ මොහොතෙත් එල්නෝරාගේ දැඩි සිත වික්ෂෝභයට පත් කර තිබුණා ය.

"ක්ලෝඩියා මෙනවිය මට මොහොතක් ලබා දෙන්න....! හැකි ඉක්මනින්ම මං ඔබතුමියගේ කළු කෝපි එක සූදානම් කරනවා..."

මෙවර ඇය දෙසට හැරීමට හෝ වෙහෙසක් නොගත් එල්නෝරා, ඉවත බලාගෙනම පවසා සිටියා ය.

නමුත් එසැණින් ඉදිරියට දිගු වූ කතුවරියගේ සිහින් දෑත, එල්නෝරාගේ උණුසුම් දෑත වහා ඩැහැ ගත්තා ය.

ඒ හේතුවෙන් මඳක් අපහසුතාවයට පත් වූ එල්නෝරා, ගැහෙන නීල ඉංඟිරියාවෙන් යුතුව ඈ දෙසට හැරී සිට ගත්තා ය.

"කියන්න, ක්ලෝඩියා මෙනවිය..."

මෙවර මොහොතක් යනතුරුම එල්නෝරා දෙස නිසොල්මන්ව බලාගෙන සිටි කතුවරිය,අනතුරුව එල්නෝරාගේ දෑත සිමින් අත හරිමින් පියවරක් පසුපසට වූවා ය.

"කිසිවක් නැහැ....."

___________________________________________

•

•

•

•

•

•

•

•

"ඒක කොහොමද දැනෙන්නේ.......? ම්..... මං අහන්නේ...... කඳුකරයේ තනිවම ජීවත් වෙන එක......?"

එතෙක් කඩදහි ගොනුවක් අතරේ සිතැඟියාවක අතරමංව හිඳි කතුවරියගේ දැහැන හදිසියේම බිඳ හෙලමින්, ඇය අසලින් කළු කෝපි කෝප්පය තැබූ එල්නෝරා, අනතුරුව කුතුහලයෙන් යුතුව විමසා සිටියා ය.

ඒ හේතුවෙන් එල්නෝරා දෙස බලමින් දෙවුර සැලූ කතුවරිය, ඕක් ලී මේසය මතින් සුපුරුදු දම් පැහැති කුඩා අරුමැති මලක් තැබුවා ය.

"ම්..... ඒ ගැන මං කොහොමද ඔබට පැහැදිලි කරන්නේ එල්නෝරා .....? ඒක හරියට..... බොලීවියානු දේශයෙන් ලැබුනු හීලියෝට්‍රොප් මල් වගේ.....! ඒ හැඟීම සදාකාලික වේදනාවකින් නිහඬව ගිණි ගන්නවා.....!"

අනතුරුව ඕ සිනාමුසුව පවසා සිටියා ය.

මෙවර සිය නළලත වඩාත් හොඳින් රැළි කර ගත් එල්නෝරා, කතුවරිය ඉදිරියේ මොහොතකට හිඳ ගත්තා ය.

"ඕංං ඉඳින්........! හැමදාමත් වගේ ඔබතුමිය අදත් මාව ව්‍යංගයෙන් අසරණ කරනවා නෙව......!"

එල්නෝරාගේ එම නෝක්කාඩුව හමුවේ සිහින් සිනහවක් මුවඟට නඟා ගත් කතුවරිය, අනතුරුව සිය කඩදහි ගොනුව වසා දමමින්, තීන්ත පෑන තම සවනත පිටුපස රඳවා ගත්තා ය.

"එල්නෝරා....... ඔබ කිසිදාක හෝ ග්‍රීක පුරාවෘත්තයන් ගැන අසා තිබෙනවාද....?"

"නැහැ නෙව.....!"

එල්නෝරාගේ එම පිළිවඳන හමුවේ මොහොතක් යනතුරුම නිරුත්තරව සිටි කතුවරිය, අනතුරුව කුඩා දම් පැහැති හීලියෝට්‍රොප් මල දෑඟිල්ලට ගනිමින් එය එල්නෝරාගේ ඉදිරියෙන් තැබුවා ය.

"එල්නෝරා දන්නවාද......? එක්තරා ග්‍රීක මිත්‍යාවක 'ක්ලයිටි' නමින් හැදින්වුණු සුන්දර ජල අප්සරාවක් සිටියා...! ඇය හිරු දෙවියන් වුනු 'හීලියොස්' ට මහත් සේ පෙම් කලා....! ඒත්..... හීලියොස් ඇයට පෙරලා පෙම් කළේ නැහැ...! ඒ හේතුව නිසා සිත බිඳුණු අසරණ ක්ලයිටි මිය යනතුරුම හීලීයෝස් වෙනුවෙන් බලා සිටියා...! අවසානයේදී ක්ලයිටි මිය යනවා....! එතනදී හීලියොස් බෙහෙවින්ම පසුතැවෙනවා...! ඒ නිසා හීලියෝස්, මිය ගිය ක්ලයිටිව සුන්දර මලක් බවට පත් කරනවා...! ඒ මල තමයි හිරු වෙනුවෙන් පූදින මේ හීලීයෝට්‍රොප්...! එදා මිය යනතුරුම හීලීයෝස් වෙනුවෙන් බලාගෙන හිටපු ක්ලයිටි වගේ, අද හීලියෝට්‍රොප් මල් හිරුට මුහුණ දෙමින්, හිරුගේ සෑම චලනයක්ම අනුගමනය කරමින්, මේ මහ පොළවේ සදාකාලිකවම රැඳී සිටිනවා...! ඒක හරියට ක්ලයිටිගේ සිතේ හීලීයෝස් වෙනුවෙන් පැන නැඟුණු ඇගේ පිවිතුරු ආදරය වගේ සදාකාලිකයි එල්නෝරා...! ඒ තුළින් හීලීයෝස් වෙනුවෙන් ක්ලයිටි දැක්වූ සදාතනික ආදරය අදටත් මිහිමත තුළ හරි අපූරුවට සංකේතවත් වෙනවා...! ග්‍රීක මිත්‍යාවකින් පැන නැගුණු හීලියෝට්‍රොප් මලෙ ගැඹුරු අර්ථය එයයි එල්නෝරා....!"

එතෙක් කතුවරිය දෙසටම පූර්ණ අවධානය යොමාගෙන සිටි එල්නෝරා, එක්වරම වේදනාවෙන් යුතුව හීලියෝට්‍රොප් මල දෝතට ගත්තා ය.

"ඇයි ඉඳින්.... හීලීයෝස් ඒ තරම් පිවිතුරු ප්‍රේමයක් ප්‍රතික්ෂේප කළේ ක්ලෝඩියා මෙනවිය.......? ආදරයේදී කෙනෙකුට ඒ තරම් කුරිරු වෙන්න පුළුවන් ද.......? "

මෙවර එල්නෝරා දෙස නෙතඟින් බැලූ කතුවරිය, නිහඬවම තම කෝපි කෝප්පය තසිම මතින් තැබුවා ය.

"ප්‍රේමය කියන්නේ හුඳෙක්ම අයිතිකර ගැනීමම නොවෙයි එල්නෝරා....! ආදර‍යට වඩා ප්‍රේමය වඩාත් උතුම් වන්නේ ඒ හේතුව නිසා...! ආදරයේදී මිනිසා තමන් සතු දේ කෙසේ හෝ ලබා ගන්න උත්සහ දරනවා....! ඒත් ප්‍රේමයේදී මිනිසා අනෙකාගේ සතුට වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙනවා.....! ආදරණීය ක්ලයිටි එය කිසිදාක වටහා ගත්තේ නැහැ......! ලෝකයා ඉදිරියේ හීලියොස් හිතක් පපුවක් නැති නරුමයෙකු බවට පත් වුනේ ඒ හේතුව නිසා....! ඒත් අදටත් ඒ කිසිවෙකු දන්නේ නැහැ, හීලීයෝස් එදා කෙතරම් නම් රහසේ විඳවන්නට ඇතිද කියලා....!"

අනතුරුව කතුවරිය සිහින් හඬින් යුතුව පවසා සිටියා ය.

හැඟීම් සඟවනු ලැබූ ඇයගේ අළු පැහැති තියුණු නෙත්, අවන්හලේ නැබළ කවුළුව හරහා ආකාශය වෙතට යොමු වී තිබුණා ය.

"ආදරයෙදී මිනිස්සුන් හරි බොළඳයි....! එහෙම නේද ක්ලෝඩියා මෙනවිය......?"

මෙවර සිමින් නැඟී සිටි කතුවරියගේ දෑතින් මෘදුව අල්ලා ගත් එල්නෝරා, බිඳුණු හඬින් යුතුව විමසා සිටියා ය.

ඒ හේතුවෙන් එල්නෝරාගේ අත්ල වඩාත් හොඳින් ග්‍රහණය කොට ගත් කතුවරිය,නිහඬවම ගරාඳි වැටියෙහි පස් මතින් හීලියෝට්‍රොප් බීජයක් තැබුවා ය.

"ශිෂ්‍ය වර්ජනය අවසන් වෙනතුරු කඳුකරය බලා පිටව යන්නද ඔබතුමියගේ කල්පනාව...?"

"ඒ ගැන මට ඒ හැටි නිච්චියක් නැහැ එල්නෝරා....! නමුත්..... හැකි විගසින්ම ආපසු එන්න මං බලාපොරොත්තු වෙනවා.....! එදාට....... ඔබේ අවන්හලේ හීලියෝට්‍රොප් මල් පිපී තිබේවි කියා අපි හිතමු......!"

ඒ අනුව කතුවරිය විසින් ගරාඳි වැටිය මතින් තැබූ නැවුම් බීජය, ප්‍රවේශමෙන් යුතුව පස් අතරෙහි සැඟවූ එල්නෝරා, ඈ දෙස බලමින් සිනාසුණා ය.

"කරුණාකරලා ආපසු එන්න...! එතකන් මට පුළුවනි හීලියෝට්‍රොප් මල් එක්කම මඟ බලාගෙන ඉන්න......!"

°

°

°

°

°

°

°

°

°

මතු සම්බන්ධයි.!

___________________________________________

කොහොමද ළමයිනේ....?

ඔන්න තව කොටස් 2කින් කතාව සම්පූර්ණයෙන්ම ඉවරයි.😌

මං හිතනවා ඔයාලාට කතාව ගලාගෙන යන විදියට පැටලෙන්නේ නැතුව ඇති කියලා..

මොකද පළමු පරිච්ඡේදයේ තිබ්බේ එයාලාගේ වර්තමානය.

දෙක සහ තුන පරිච්ඡේද වල තියෙන්නේ අතීතය.(🤧පටලවා ගත්තේ නෑ නේද ...?)

එහෙනම් ඉක්මනටම ඊලඟ කොටසින් හම්බ වෙමු සහෝදරවරුනී...❤️🌸

මතක තියා ගන්න,

🎶 🎶 Dear, love is a burning fire..

Stay, 'cause then the flames grow higher....

Babe, don't let him steal your heart...

It's easy, easy...

Girl, this game can't last forever....

Why we cannot live together...

Try, don't let him take your love from me....🎶 🎶

[Brother Louie '98

Song by Modern Talking]

සිංදුවත් එක්කම රස විදින්නකෝ එහෙනම්...🤚😌