Back
/ 107
Chapter 107

105 කොටස🤍✨️

නිවාලන්න මා...

"දැන් හරිද ආශවයා?"

"දැන් අවුලක් නෑ....එයාට මෙහෙම්මම නින්ද යයි"

ඇඳේ වැතිරිලා උන්නු නේත්‍රගෙ ඔලුව තමන්ගෙ උකුල උඩ තියාගෙන හෙමින් පිරිමදින ආශවට ඔලුව වැනුව සනුක මෙච්චර වෙලා ඇඳ ලඟ දණ නමාගෙන ඉදලා රිදුම් දෙන කකුල් දෙකට පොඩි විවේකයක් දෙන බලාපොරොත්තුවෙන් එතනම තිබ්බ පුටුවෙන් ඉදගත්තා.වෙනදට ලා රෝස පාටට හැඩ වෙලා තියෙන නේත්‍රගෙ කම්මුල් අද සුදුමැලි වෙලා තියෙනවා දැක්ක සනුකගෙ හිත හීනියට රිදීගෙන ගියේ දැන් ටිකකට කලින් මේ පුංචි කොල්ලා පපුවත් අල්ලන් වින්ද වේදනාව මතක් උනු නිසා.නේත්‍රට නින්ද ගිහින් තිබ්බ වග තේරුම් ගත්තු සනුක උගුර පාදලා ආශව දිහා බලද්දි ආශව සනුකගෙ දිහා ඔලුව උස්සලා බැලුවා.

"ආශව"

"කියන්න"

"උඹ අර වගේ තීරණයක් කිව්වෙ? ඇයි ඒ?"

"අද හවස දිව්දේත්‍රාව මීට් උනා කිව්වනෙ මම"

"ඔව්"

"ඒ ගෑනු මනුස්සයා මේ පාර මාව හැම අතින්ම හිර කරලා....නේත්‍රට වේදනාවක් දැනුනත් කරන්න දෙයක් නෑ කියලා මම මේ තීරණේ ගත්තෙ ඒකයි....මම තීරණේ අර ගෑනු මනුස්සයට කියලා පස්සෙ හෙමීට නේත්‍රට පහදලා සන්සුන් කරන්න හිතුවෙ....ඒත් නේත්‍ර හොරෙන් අහන් ඉදලනෙ"

"මට සිරාවටම අවුල් ආශව.....මේ පොඩි එකා....."

"ම්....මට වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ සනුක...නේත මෙහෙම ඉද්දි....උඹට තේරෙන්නෑ.මගෙ පපුව පැලෙන්න එනවා....මේ මගෙ පණ ටිකනෙ සනුක....ඒත් මම කියලත් වෙන මොනා කරන්නද?"

"දැන් සන්සුන් වෙයංකො....උඹ තීරණේ කිව්වනෙ.දැන් මල්ලිට ආයෙ සිහිය ආවම කතා කරලා මේ කොල්ලව සන්සුන් කරන්නයි ඕනි....මට කියපං මොකද්ද අද හවස උනේ අර දිව්දේත්‍රාව මීට් උනු වෙලේ?"

"ඒ වෙලාවෙ......"

ආශවගෙ මනස මීට පැය කිහිපයකට කලින් මතකය වෙතට දුවලා ගියා.තමන්ට අත වැනුව දිව්දේත්‍රා ලඟට ඇවිදන් ගිය ආශව දිව්දේත්‍රාගේ ඉස්සරහ අසුනෙන් ඉදගනිද්දි දිව්දේත්‍රා කම්මුල් දෙක දෙපැත්තට අත් දෙකත් තියාගෙන හිනාවීගෙන ආශව දිහා බලන් හිටියා.සුදුපාටම පොඩි කොට උඩු ඇඳුමකට සුදුපාටම කොටම කොට සායක් ඇඳන් හිටිය දිව්දේත්‍රා සුදුපාට සපත්තු දෙකක් දාගෙන හිටියා.දිව්දේත්‍රා දිහා එකපාරක් බලලා හුස්මක් පිට කෙරුව ආශව ඊලඟට වීදුරුවෙන් අහක බලාගත්තෙ ඊලඟට කරන්න ඕනි මොකද්ද කියලා කිසිම අදහසක් නොතිබ්බ නිසා.

"ආශු මොනාහරි බොනවද?"

"එපා....මම බීලා ආවෙ"

"ම්ම්ම්ම්"

දිව්දේත්‍රාගෙ කතාබහේ වෙනදට වඩා ලොකු වෙනසක්,හරියට සංයමයක් වගේ දෙයක් තියෙන වග ආශවට දැනුනා.මේ හැමදේම රඟපෑමක් කියලා දැනන් හිටිය ආශව දුරකථනෙ අතට අරං ඔහේ උඩ පහල යන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට.ටික වෙලාවකින් තමන්ගෙ අත උඩ සීතල අතක් පතිත වෙනවා වගේ දැනෙද්දි ආශව ඉක්මනට තමන්ගෙ අත ඉවතට ඇදලා ගත්තා.

"ආශු....මොකෝ මේ"

"මොකෝ අහන්නෙ? දැන් එන්න කිව්වෙ ඇයි?"

"ඕහ්! කමෝන් ආශු.....ඔහොම කතා කරන්නෙ නැතුව ටිකක් හොඳට කතා කරන්නකො"

"මේ මම කතා කරන විදිය දිව්දේත්‍රා......ඉක්මනට කියන්න තියෙන දෙයක් කියන්න! මට තව වැඩ තියෙනවා"

"ආශු.....ඩැඩා එක්ක හොඳට කතා කරලා මම එක්ක මෙහෙම කතා කරන එකනම් එච්චරටම හොඳ මදි හොදද?"

"ඔයාගෙ ඩැඩා කියන්නෙ මම යන පාත් එකේ ඉන්න නමක් තියෙන මනුස්සයෙක්! ඒත් ඔයා එහෙම නෑනෙ දිව්දේත්‍රා....ඔයා එයාගෙ දුව.දැට්ස් ඉට්! ඒකෙ මහ ලොකු දෙයක් නෑ....."

"හැබැයි ඩැඩා තමා සිලෙක්ෂන් ටීම් ප්‍රසිඩන්ට්....එයාගෙ දුව මම....එයා මම කියන ඕනිම දෙයක් කරනවා ආශු....අන්න ඒකයි ලොකුම දේ"

"ඔයාට මොනාද ඕනි කියන්න"

"ඔයාව!"

"හහ්! මාව බෑ.....මට කෙනෙක් ඉන්නවා!"

ආශව කට කොණකට හිනාවක් නංවගෙන සමච්චලේට කිව්වත් ඒ හිනාව පවා දිව්දේත්‍රාව පිස්සු වැට්ටෙව්වා.තොල් කොනක් හපාගත්තු දිව්දේත්‍රා ආශව දිහා බලාගෙන ඉද්දි දිව්දේත්‍රා දිහා පිලිකුලෙන් බැලුව ආශව අත් දෙක මේසෙ උඩින් තියලා තියලා ටිකක් ඉස්සරහට නැවුණා.

"කියන්න ඕනි දේ කියන්න....විනාඩි පහක් දෙන්නම්! මට යන්න ඕනි....ඔයා වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් නෑ මට!"

ආශව දිහා බලාගෙන හිටිය දිව්දේත්‍රාගෙ කටකොණේ නැගුනෙ මහ බාල්දු හිනාවක්.

"ඇයි අර ගොඩේ අරුන්දතීව බලන්න යන්නද?"

"අරුන්දතී නෙවෙයි මගෙ කෙනා....එච්චරයි"

"හො හෝ....එහෙනම් මම හිතුවා හරි!"

"මොකද්ද?"

"අර කට වැඩි එකී....උපාධ්‍යා වෙන්න ඇති නේද? කවුරු උනත් පවු ඉතින්....ලගඳිම ඔයා අෆෙයා එක බ්‍රේකප් කරන දුක එයාට දරාගන්න වෙනවනෙ"

"මොනාද කියවන්නෙ?"

ආශව ඇස් දෙක රෝල් කරලා අහක බලාගනිද්දි දිව්දේත්‍රා තව ටිකක් තමන්ගෙ ඇඳුම හරියට හදාගෙන ආකර්ශනීය විදියට ආශව ඉස්සරහ පේන්න උත්සාහ කලා.දිව්දේත්‍රාගෙ විකාර බලාගෙන ඉන්නම බැරි තැන ආශව නැගිටින්න හිතුවත් ආශව හිටිය විදියටම හිතුවෙ දිව්දේත්‍රා කතා කරන්න ගත්තු නිසා.

"අනිද්ද පස්සෙ දවසෙ ස්කොඩ් එක දානවා කියලා දන්නවා නේද ආශු? ඩැඩා කියන්න ඇතිනෙ"

"ඔව්"

"ම්ම්ම්.....මේ තියෙන්නෙ ස්කොඩ් එක....බලන්නකො"

දිව්දේත්‍රා තමන්ගෙ දුරකථන තිරය ආශවගෙ ඇස් ඉස්සරහින් තියද්දි ඒකෙ දිස් වෙලා තිබ්බෙ පීඩීඑෆයක්.ආශව ඇස් හීනි කරලා ඒ දිහා බලද්දි දිව්දේත්‍රා දුරකථනෙ ආශවගෙ අතටම දුන්නා.අතට අරගත්තු ආශවගෙ ඇස් දෙක සතුටින් දිලිසෙන්න ගත්තෙ තමන්ගෙ නම කණ්ඩායමේ අට වෙනි ස්ථානයේ දිස්වෙමින් තිබ්බ නිසා.හය වෙනි ස්ථානයේ සනුකගෙ නමත් තියෙනවා දැක්ක ආශවට ආවෙ අවංක සතුටක්.කොච්චරවත් සතුටු හිතුනට දිව්දේත්‍රා එක්ක හිනාවෙන්න උවමනාවක් නොතිබ්බ ආශව ඔලුව වනන ගමන් දුරකථනෙ මේසෙ උඩින් තිබ්බත් ආශවගෙ ඇස් දෙකේ දිලිසීම දිව්දේත්‍රා දැක්කා.

"සතුටුයි නේද ආශු?"

"මොකද්ද?"

"ටීම් එකේ නම තියෙනවා දකිද්දි?"

"ඔව්.....සතුටුයි තමයි"

"ඔය ස්කොඩ් එක සිලෙක්ට් කලේ සෑහෙන කෝචස්ලා ගොඩක් එක්ක......හැබැයි....."

දිව්දේත්‍රා ආශවගෙ මූන දිහා කෙලින්ම බලාගෙන හිටියා.

"ඔය ස්කොඩ් එක තාම ස්ථීර වෙලා නෑ ආශු....කෝචස්ලා ගොඩ දෙනෙක් සිලෙක්ට් කලත්,ඩැඩාගෙ එක වචනෙකට පුලුවන් මේක වෙනස් කරන්න!"

දිව්දේත්‍රාගෙ ඇස් ආත්මාර්ථයෙන් දිලිසෙන ගමන් තිබ්බා වගේම ආශවගෙ ඇස් වල දිලිසීම එන්න එන්නම අඩුවෙමින් තිබ්බා.ඒ වෙලාවෙ කට කොණකින් හිනා වීමේ අවස්ථාව උදා වුණේ දිව්දේත්‍රාට.හිනාවක් දාගෙනම දිව්දේත්‍රා ආශවගෙ මූණට සමාන්තරව කිට්ටු වෙද්දි ආශව හිස් විදියට දිව්දේත්‍රා දිහා බලාගෙන හිටියා.

"චොයිස් ඊස් යුවර්ස් ආශු...."

දිව්දේත්‍රාගෙ හිනාව බිංදුවක්වත් අඩු නොවුණා වගේම දිව්දේත්‍රාගෙ ඇස් ලෝබකමෙන් පිරිලා ආශවගෙ මූණ පුරාවටම ගමන් කලා.

"තෝරගන්න ක්‍රිකට්ද? ඔයාගෙ ලවර්ද කියලා....ඔයා ක්‍රිකට් කිව්වොත් ඔයාගෙ ලවර් එක්ක බ්‍රේකප් වෙලා,ඔයාගෙ පාත් එක හුඟක් ක්ලියර් වෙනව ආශු....අනිද්දයින් පස්සෙ දාන ස්කොඩ් එකේ ඔයාගෙ නම උඩින්ම තියෙයි....ඒවගේම....."

දිව්දේත්‍රා ලෝබකමේ හුස්මක් යවන ගමන් පුටුවට පිට දීලා හරියටම ඉදගත්තා.

"ඔයා මගෙ වෙනවා.....හැමදාටම....ඩෝන්ට් වොරි ආශු....කාටවත්ම ඔයාව ගෙනියන්න බැරි දුරක් මම ඔයාව අරං යනවා....අවුරුද්දකින් දෙකකින්.....ඔයා නැෂනල් ටීම් කැප්ටන් පවා වෙයි.....අහද්දිනුත් සතුටුයි නේද ආශු?"

එක දිගටම කතා කරගෙන ගිය දිව්දේත්‍රා තමන් ඉදිරියෙ තිබ්බ බීම වීදුරුවෙන් උගුරක් බීලා හිස් විදියට ඉස්සරහ බලන් ඉන්න ආශවගෙ මූණට ආයෙ ලං වුණා.

"හැබැයි ඔයා ක්‍රිකට් අතඇරලා ලවර්ව සිලෙක්ට් කලොත්....අනිද්දා ඉන්අනිද්දා දාන ස්කොඩ් එකේ නෙවේ,කවදාවත්ම නැෂනල් ටීම් එක ඇතුලෙ ඔයාගෙ නම නැති වෙනවා ආශු....වෙයි නෙවෙයි!වෙනවා! ඔයාගෙ හීන කැඩිලා යනවා....මගෙ එක වචනෙකට අප්පච්චි ඔයාගෙ නම අයින් කරන එක ස්ථීරයි ආශු....එයා මට එච්චරටම ආදරෙයි....ඔයාගෙම වචනෙන් ඔයාගෙ අනාගතේ ඩිසයිඩ් වෙයි! ඔයාට අනිද්දා වෙනකල් කල් තියෙනවා......අනිද්දා උනත් කෝල් කරලා 'ඕකේ දේතු....මම මෙයා එක්ක බ්‍රේකප් උනා.මම කැමතියි ඔයා එක්ක ඉස්සරහට යන්න' කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඔයාව වෙල්කම් කරනවා.එහෙම නැති උනොත්....."

ආශවගෙ අතමිට කේන්තියට මෙලවිලා තිබ්බත් ආශව තමන්වම පාලනේ කරගෙන දිව්දේත්‍රාගෙ කතාබහට ඇහුම්කන් දීගෙන හිටියා.

"ඔයාගෙ ජීවිතේම විනාස වෙයි! ඔයාම තීරණේ කරන්න....මම උනත් ආසා නෑ මගෙ ආශුගෙ හිත රිදෙනවට"

දිව්දේත්‍රා තොල් දෙක නොපිටට පෙරලගෙන හුරතල් විදියට කියද්දි ආශවගෙ කට කොණක් අප්පිරියාවෙ ඇද වෙන්න ගියත් ආශව තමන්වම පාලනේ කරගත්තා.දිව්දේත්‍රා කම්මුලට අතකුත් තියාගෙන ආශව දිහා බලලා හිනා වෙද්දි ආශව ලොකු හුස්මක් පිට කලා.

"මම බලාපොරොත්තු වෙනවා ආශු මට කෝල් එකක් දෙයි කියලා....එහෙනම් ආශු,ඔයාගෙ ජීවිතේම තීරණේ කරන කෝල් එක එනකං මම බලන් ඉන්නවා....අද හෙට දවස් දෙකේම හොඳට කල්පනා කරන්න ඕකේ? මම හිතනවා ආශුට දුර දිග කල්පනා කරන්න පුලුවන් වෙයි කියලා"

දිව්දේත්‍රා හිනා වෙලා කිව්වත් ආශව හිටියෙ හිනා වෙන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි.අවුරුදු ගාණක් තිස්සෙ තමන් ගොඩ නගාගත්ත හීන,ලබාගත්ත ආදරේ දෙකම අතරෙ තමන් අසරණ උනු වගක් ආශවට තේරුම් ගියා.ගෙදරින් එන පීඩනේ කාගෙන තමන්ගෙ හීනෙට මහන්සි උනු හැටි,දහනවයෙන් පහල කණ්ඩායමට අවුරුදු ගාණක් නොතේරිච්ච එකේ පීඩනේ දරාගෙන එක දිගටම හොදින් පුහුණුවීම් කරලා ක්‍රීඩා කෙරුව හැටි,ඒ කණ්ඩායමට තේරුනාට පස්සෙත් කණ්ඩායම ඇතුලෙන් ආව පීඩන දරාගෙන ක්‍රීඩා කෙරුව හැටි,ක්‍රිකට් සමාජෙකට තමන්ව තේරුනු හැටි,ඒකෙත් සමහර ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගෙ ඇනුම් පද වලට ලක් වෙවී ක්‍රිඩා කෙරුව හැටි,අනික් ක්‍රීඩා සමාජ වල බලපෑම් එල්ල වෙද්දි එව්වා දරාගත්තු හැටි,එල්පීඑල් වල උපරිමයෙන් ක්‍රීඩා කරපු හැටි,අවසන් තරඟෙදි කකුලෙ ටිෂූ එකක් ගිහින් කියලා දැන දැන ඒ වේදනාව දරං ක්‍රීඩා කල හැටි,ජාතික කණ්ඩායමට කොහොමහරි තේරෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය හැටි ආශවට මතක් උනා.

ඒ හැමදේමත් එක්ක පුංචි කාලෙ ඉදන්ම තමන් පුහුණුවීම් ඉවර කරල එනකං මදුරුවොත් තල තල තමන් එනකං බලන් හිටිය නේත්‍රව,පැවීලියන් එකේ පඩියක් උඩ අසරණ කොල්ලෙක් වගේ නින්ද ගිහින් හිටිය නේත්‍රව,හැම අමාරුකමක්ම දරාගෙන තමන්ගෙ ක්‍රීඩා භාණ්ඩ තියෙන මල්ලත් උස්සන් තමන්වත් වත්තං කරගෙන ගෙදර එක්කන් ගිය නේත්‍රව,තමන් ඇඟපත සෝදන් පිරිසිදු වෙද්දි කිරි කෝපි කෝප්පෙකුත් උස්සන්,උණු වතුර භාජනේකුත් උස්සන් උදේ ඉදන් ඇඳන් හිටිය නිල ඇඳුම පිටින්ම කාමරේට ඇවිත් තමන්ට සාත්තු කල නේත්‍රව,ගෙදරින් එන පීඩනේ අමතක කරවලා තමන්ගෙ හීනෙ වෙනුවෙන් තමන්ව දිරිමත් කරපු නේත්‍රව,හතරවටෙන් පීඩන එල්ල වෙද්දි; ආශවගෙ පස්සෙන් වාසියට වැටිලා ඉන්නවා කිය කිය චෝදනා එල්ල වෙද්දි ඒ හැමදේම දරාගෙන තමන්ව රැකපු තමන්ව ඉස්සරහට තල්ලු කරපු නේත්‍රව,කිසි කෙනෙක් තමන්ව විශ්වාස නොකරද්දි විශ්වාස කරලා තමන්ට හයියක් උනු නේත්‍රව,දහනවයෙන් පහල කණ්ඩායමට තමන්ව නොතේරුනු දුකට ඇස් වලින් කදුළු පිටවෙද්දි තමන්ව තුරුලට අරං සනසන ගමන් හොර රහසෙ ඇඬුව නේත්‍රව,ඕනි දේවල් මොනාද අහද්දි 'මට මුකුත් එපා මගෙ සුදුබේබි....මගෙ සුදුබේබි දියුණු වෙන්නකො' කියලා කට පුරා කියන නේත්‍රව,තමන්ගෙන් සතයක දෙයක් බලාපොරොත්තු නොවී තමන් වෙනුවෙන් හැමදේම කරන නේත්‍රව,ක්‍රීඩකයෙක් නොවී හිඟන්නෙක් විදියට ගියත් අත් දෙක දෙපැත්තට දිගෑරලා තමන්ව ආදරෙන් තුරුල් කරගන්න ලෑස්ති නේත්‍රව,තමන් වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න ලෑස්ති තමන්ගෙ පුංචි ආදරණීය නේත්‍රව ආශවට මතක් උනා.

"මම තීරණයක් අරං කෝල් එකක් දෙන්නම්!"

ආශව දිව්දේත්‍රාගෙන් සමු අරගෙන ඒ පුටුවෙන් නැගිටිද්දිත් ආශව තීරණයක් අරං ඉවර කරලා තිබ්බා.ඇත්තටම ආශව තත්පර ගාණක් ඇතුලත ඒ තීරණේ ගත්තා.වීරයා වගේ තීරණේ ගත්තට ආශවගෙ හිත ඊලග තත්පරේ වේදනාවෙන් පෙලෙන්න ගත්තෙ නේත්‍රව මතක් වෙද්දි.නේත්‍ර මේ දේට කොහොම මූණ දෙයිද කියලා කල්පනා කරද්දි.ලොකු හුස්මක් ගත්තු ආශව අන්තිමට හිතුවෙ නේත්‍ර හැමදේම ඉක්මනට තේරුම් ගනියි කියන එක.

හෝටලෙන් එලියට ආව ආශව සනුක එක්ක නුවර යන්න පිටත් වුණෙත් ඒකමයි.නේත්‍රට දුරකථන ඇමතුමක් දීලා තමන් එන වග දන්වලා තිබ්බෙ නේත්‍රව වලව්වට යන එක වලක්වන්න.වලව්වෙ වැඩ වලට හිර උනොත් ආයෙමත් නේත්‍රට එන්න බැරි වෙනවා කියලා ආශව දැනන් හිටියා.නුවරට යනකංම සනුක කිව්ව යම් යම් සැනසිලි වදන් එක්ක ආශව යම්තාක් දුරකට සන්සුන් වෙලා හිටියත් නේත්‍රව හම්බ නොවී කෙලින්ම තීරණේ දිව්දේත්‍රාට කියන්න ආශව කැමති උනෙත් නෑ.

"මම දන්නෑ ආශවයා මොකද උනේ කියලා අද....ඒත් මොකක් හරි කේස් එකක්නම් කලබල වෙලා තීරණ ගන්න එපා"

"නෑ සනුක....මම නේත්‍ර එක්ක කතා කරන්න යන්නෙම ඒකයි"

"ම්ම්ම්.....අමතක කරන්න එප උඹ....අපිත් උඹ එක්ක ඉන්නවා හරි?"

"මම ඒක දන්නවා"

සනුක දිහා බලලා ඔලුව වැනුව ආශව කියද්දි සනුක නිහඬවම වාහනේ ඉස්සරහට අරං ගියා.නේත්‍රලාගෙ ගෙදරට පිට පාර සනුකට පෙන්නලා ඒ පාරෙන් යමු කියද්දි හරියටම නේත්‍රලාගෙ ගෙවල් පිටිපස්සෙ අතුරු පාරෙන් වාහනේ නැවැත්තුව සනුකට සමු දීලා ආශව එලියට බැස්සා.

"මම යනවා සනුක....මට නේත්‍ර එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනි"

"මම ඉන්නම් මේකට වෙලා"

"උඹ මෙහෙම්මම වලව්වට යමං....මෙතන ඉන්න එපා"

"හරි.....ටිකක් වෙලා ඉදලා යන්නම්"

සනුකට අත වැනුව ආශව දුවගෙන දුවගෙන වගේ වත්තෙ උඩහට දුවන්න ගත්තෙ නේත්‍රව දකින්න තිබ්බ හදිස්සිය එක්ක.අන්ධකාරෙන් පිරිලා තිබ්බ පරිසරේ මැද්දෙ නේත්‍රලාගෙ ගෙදර කහ පාට විදුලි බල්බ එලිය දැක්ක ආශවගෙ හිතට අමුතුම සැහැල්ලුවක් එක් වෙද්දි ආශව කඩුල්ල පැනලා මිදුලට පය තිබ්බා.

අරලිය ලන්දට – සඳ පායන කොට

තුරුලිය මල් වට – බඹරු බමන විට

සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට

ඔබ ගැන සිහිවෙනවා.. එතකොට

ගී පද ලියැවෙනවා…"

අරලිය ගහ යටින් නේත්‍රගෙ හීනි සන්සුන් කටහඬ ගලාගෙන එද්දි ආශව මිදුල මැද නැවතිලා නිසොල්මනේ ඒ කටහඬට ඇහුම්කන් දුන්නා.ඔලුවෙ පුරෝගෙන ආව පීඩනෙන් බාගයක්ම ඒ කටහඩ ඇහුනු ගමන්ම ඔලුවෙන් නිදහස් උනේ කොහොමද කියලා ආශවට හිතාගන්න බැරි උනා.

"රඹවන් හේනේ – කරල් පැසෙන කොට

අඹ මල් ගානේ –ගිරව් හඬන විට දොඹ තුරු මානේ

සෙවන දකින මට

ඔබ ගැන සිහිවෙනවා – එතකොට

සිතිවිලි ඉගිලෙ.....

සුදුබේබි! සුදුබේබි ඇවිල්ලා!"

හුලඟ එක්ක මුහු වෙලා තමන්ගෙ නාස් පුඩු වලට දැනුනු ආශවගෙ සුවද අඳුනගන්න ගීතෙ එක්ක මතක වලට සමවැදිලා හිටිය නේත්‍රට අමාරු උනේ නෑ.අරලිය ගහ යට බංකුවෙන් බිමට පැන්න නේත්‍ර දුවගෙන ඇවිල්ලා ආශවගෙ ඇඟේ එල්ලෙද්දි නේත්‍රව වත්තං කරගත්තු ආශව ආයෙම ගිහින් නේත්‍ර එක්කම බංකුවෙන් ඉදගත්තා.

"ඉතුරු ටිකත් කියන්න මැණිකෙ"

"ම්ම්ම්?"

"ඔව්....දැන් කියන්න....මට අහන්න ඕනි....ඔයා කියද්දි හරිම ලස්සනයි"

ආශව දිහා ටික වෙලාවක් බලන් හිටිය නේත්‍ර තේරුම් ගත්තා ආශව ඉන්නෙ ලොකු පීඩනේක කියලා.ඒක සමනය කරන්න තමන්ට පුලුවන්නම් ටිකක් හරි ඒ දේ උපරිමෙන්ම කරන්න ලෑස්ති උනු නේත්‍ර ආශවගෙ ඔලුව තමන්ගෙ උරහිස උඩින් තියාගෙන ඒ ලොකු අතක තමන්ගෙ පුංචි අතක් පටලෝගෙනම ඉතිරිය කියන්න ගත්තා.

"අරලිය ලන්දට – සඳ පායන කොට

තුරුලිය මල් වට – බඹරු බමන විට

සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට

ඔබ ගැන සිහිවෙනවා.. එතකොට

ගී පද ලියැවෙනවා…

දඬු‍වැල් බෑ මී – සුවඳ දැනෙන කොට

පඬුවන් අහසේ – තරු පායන විට

හැඬුමට නොහැකිව –

දෙඇස වසන මට ඔබ ගැන සිහි‍වෙනවා – එතකොට

සිහිනය උපදිනවා….

අරලිය ලන්දට – සඳ පායන කොට

තුරුලිය මල් වට – බඹරු බමන විට

සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට

ඔබ ගැන සිහිවෙනවා.. එතකොට

ගී පද ලියැවෙනවා…"

"එච්චරටම මතක් වෙනවද? ම්ම්ම්ම්"

"උදේ නැගිට්ට වෙලේ ඉදලා රෑ නින්දට යනකංම සුදුබේබි....නිදන් ඉද්දිනුත් හීනෙන් සුදුබේබිව පේනවා මට"

නේත්‍ර හෙමීට මුමුණද්දි නේත්‍රගෙ උරහිසෙන් ඔලුව අහකට ගත්‍තු ආශව නේත්‍රගෙ කර වටේ අත දාලා නේත්‍රව තමන්ට ලං කරගෙන ඒ නලලින් හාදුවක් තිබ්බා.නලලින් හාදුවක් තිබ්බ ආශව නේත්‍රගෙ මූණට එබෙද්දි නේත්‍ර බලාගෙන හිටියෙ වේදනාවෙන් දිලිසෙන ආශවගෙ ඇස් දෙක දිහා.

"මගෙ සුදුබේබි කියන්න.....ඇයි මේ දුකින් ඉන්නෙ?"

"ම්ම්ම්.....මට ලොකු අසරණකමක් දැනුනා නේත්‍ර අද"

"කියන්න සුදුබේබි.....මිස්ටර් අලහකෝන්ව මීට් උනාට පස්සෙ මොකද උනේ? ම්ම්ම්?"

"අහන් ඉන්නවද?"

"අහන් ඉන්නවා....සුදුබේබි කියන්න"

නේත්‍ර කියද්දි ආශව ලොකු හුස්මක් පහල දැම්මා.

"ඇතුලට යමුද සුදුබේබි...."

"ම්හ් ම්හ්....මෙතන හොදයි මැණිකෙ....මෙතන ඉදන් කතා කරමු"

නේත්‍රගෙ පැත්ත හැරුනු ආශව බංකුව උඩින් එක කකුලක් නවලා තියාගෙන නේත්‍රගෙ පුංචි අත් දෙක තමන්ගෙ අත් අතරට මැදි කරගත්තා.

"හීන කියන දේවල් හරි පුදුමයි නේත්‍ර.....සමහර දේවල් තියෙනවා අත උඩ තිබිලත් කටට දාගන්න බැරි,අපේම නොහැකියාවෙන් ඒක එහෙම අපිට මගඇරෙන්නෙ වෙන්නත් පුලුවන්.....තව සමහර හීන තියෙනවා මොන බාධකේ ආවත් ඒක නොසලකා ඇරලා,කරන්න තියෙන හැම කැප කිරීමක්ම කරලා,අතාරින්න දේවල් තියේනම් එව්වත් අතෑරලා දාලා හරි ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන හීන...."

"සුදුබේබිගෙ ක්‍රිකට් හීනෙ....."

"ම්ම්ම්ම්"

ආශව උත්තරයක් නොදී මිමිණිල්ලක් විතරක් පිට කරලා නේත්‍රගෙ පිටි අල්ලෙන් හාදුවක් තැවරුවා.අදුරෙත් දිලිසෙන නේත්‍රගෙ ඇස් දෙක දිහා බලාගෙනම ආශව ආයෙමත් කතා කරන්න ගනිද්දි නේත්‍ර ආශවගෙ තද දුඹුරු ඇස් අස්සෙ කිමිදිලා හිටියා.

"අද අලහකෝන්ව මීට් වෙන්න ගියානෙ....මිනිහා කැමතියි මමයි දිව්දේත්‍රායි එකතු වෙනවට....මට ඒක අද තේරුනා"

"ඕ සුදුබේබි....."

"දිව්දේත්‍රාත් අද ඇවිල්ලා හිටියා"

"එයත් හිටියද?"

"ඔව්.....අලහකෝන්ගෙ වචනෙත් එක්ක මම දිව්දේත්‍රා එක්ක කතා කලා.....එතකොට තමා මම ඉන් අනිද්දා දාන ස්කොඩ් එක දැක්කෙ"

"සුදුබේබිගෙ නමත් තිබ්බා නේද සුදුබේබි?"

අහිංසකයගෙ ඇස් වල බලාපොරොත්තු පිරිලා තිබුනා.නේත්‍රගෙ බෝල ඇස් දෙක දිහා බලාගෙන ටිකක් වෙලා ඔහේ හිටිය ආශව ලා හිනාවක් මූණට නංවගත්තා.

"නෑ නේත්‍ර....මේ පාරත් නම නෑ"

"අනේ සුදුබේබි......"

නේත්‍රගෙ බෝල ඇස් වල කදුළු පිරෙනවා දැක්ක ආශව ඉක්මනටම පුංචි එකාව තමන්ගෙ තුරුලට ගත්තා.ආශව එවෙලෙ කිව්වෙ කියන්න හොදයි කියලා ආශවට හිතුනු හරිම දේ.ඇත්ත කියලා නේත්‍රගෙ හිත රිද්දනවට වඩා නේත්‍රට ආදරණීය බොරුවක් කියලා හිත නොතලා තියෙන එකේ වරදක් ආශව දැක්කෙ නෑ.ආශවගෙ පපුවට තුරුල් වෙලා හිටිය නේත්‍ර තුරුලෙ ඉදන්ම හෙමින් සැරේ ආශවට කතා කලා.

"සුදුබේබි....."

"ම්ම්ම්ම්"

"බොරුවක් කිව්වද මොකක් හරි මට?"

"න්....නෑ නේත්‍ර ඇයි?"

"සුදුබේබිගෙ පපුව ගැහෙන්නෙ අමුතුවට"

"දුකයි නේත්‍ර ටිකක්....ඒ නිසා වෙන්න ඇති"

"හ්ම්ම්"

ආශව තමන්ගෙන් මොනාහරි හංගන බව තේරුනත් නේත්‍ර මුකුත්ම නොකිය ආශවගෙ පපුවට තුරුල් වෙලා හිටියෙ අනිවාර්‍යෙන්ම ඒ දේ මෙවෙලෙ කියන්න ඕනි නැති දෙයක් නිසා සුදුබේබි හංගනවා ඇති කියලා හිතලා.කොහොමත් තේරුම් ගැනීම අතින් ඉහලින්ම ඉන්න ආශවයි නේත්‍රයි මේ වගේ වෙලාවල් වල එකිනෙකාගෙ ඇතුලාන්ත හාරාවුස්සන්න නොගිහින් වෙන වෙලාවක හෙමින් සැරේ ඒ දේවල් කතාබහ කරගන්න එක සාමාන්‍ය දෙයක් උනා.

"ඊට පස්සෙ මොකෝ උනේ සුදුබේබි?"

"ස්කොඩ් එකට නම දාන්නනම් එයා එක්ක යාලු වෙන්න කිව්වා....නැත්තං නම දාගන්න හුඟක් කල් යයි කිව්වා"

"සුදුබේබි මොකද කිව්වෙ?"

"මුකුත් කිව්වෙ නෑ නේත්‍ර.....මට එයා එක්ක යාලු වෙන්න පිස්සුයෑ....දාන කාලෙක නම වැටෙයි මගෙ"

"අපි උත්සාහ කරමු සුදුබේබි..."

"ඔව්....අපි උත්සාහ කරමුකො.....ම්ම්ම්ම්"

හිත අස්සෙ මහා පීඩනයක් හිර කරගත්තු ආශව මුමුණද්දි නේත්‍ර ඔලුව වැනුවා.ආශවගෙ වෙනස නේත්‍රට තේරුනත් නේත්‍ර මුකුත් නාහා ආශවට කල් දුන්නා.කියන්න ඕනි වෙලාවෙදි සුදුබේබි ඒ දේ තමන්ට කියයි කියලා නේත්‍ර විශ්වාස කලා.තව ටික වෙලාවක් ආශවට තුරුල් වෙලා හිටිය නේත්‍ර තමන්ගෙ සන්සුන් හඬ අවධි කලා.

"සුදුබේබි........"

"ම්ම්ම්ම්"

"සුදුබේබිට විශ්වාසද කාලෙට ඉඩ දීලා බලන් ඉන්න එකයි හොඳම දේ කියලා? වෙන කාටවත්.....විශාර මාමට වගේවත් මේ දේ කියන්න ඕනි නෑ කියලා?"

"සිලෙක්ෂන් බෝඩ් එකේ ඉන්න කෝචස්ලා කවුරුත්ම මාව තෝරලා නෑ කියන්නෙ තාම නැෂනල් යන්න තරම් මගෙ ටැලන්ට් එකක් නෑ කියන එක නේත්‍ර....ඒ නිසා තව මහන්සි වෙන්න ඕනි"

"සුදුබේබි දක්ෂයි.....මට ඒක විශ්වාසයි"

මොකක් නමුත් යමක් වෙන බව නේත්‍රට තේරුනත් නේත්‍ර කොහෙත්ම හිතුවෙ නෑ ආශව තේරීම් දෙකක් අතරෙ හිර වෙලා කියන එක.ආශව දැනටමත් ජාතික කණ්ඩායමට තේරිලා කියන එක.ආශව තමන්ගෙ ජීවිතේම වෙනස් කරන්න ඉඩ තියෙන තීරණයක් ගන්න යන වග.නේත්‍ර කලේ ආශවට තුරුල් වෙලා ආශවගෙ පිට හෙමීට අතගෑව එක විතරයි.

"නේත්‍ර ගේ ඇතුලට යන්නකො....මම කෝල් එකක් අරං එන්නම්"

"හා සුදුබේබි....හදිසි කෝල් එකක්ද?"

නුවර කළුවර ආකාහෙ මැද්දෙන් කොටන විදුලි එලි දිහා බැලුව නේත්‍ර ආශවගෙන් අහද්දි ආශව ලෝබකමෙන් නේත්‍රගෙ කම්මුලක් අතගෑවා.නේත්‍රගෙ තොල් වලින් කෙටි හාද්දක් තිබ්බ ආශව රතු ගැහුනු නේත්‍රගෙ මූණ දිහා බලන් ඒ මූණට ලං උනා.

"හදිසි නෑ....වැඩකට නැති කෝල් එකක්.....ඒත් ඒක මෙවෙලෙ ගන්නම ඕනි"

ආශව කියද්දි නේත්‍ර ඔලුව වනලා ආශව දිහාම බලාගෙන හිටියා.

"ඇයි නේත්‍ර?"

"සුදුබේබිගෙ ඇස් වේදනාවෙන් පිරිලා සුදුබේබි.....මට ඒක දරන්න බෑ"

"එහෙම නෑ නේත්‍ර.....එහෙම මුකුත්ම නෑ හරිද?"

"එ....ඒත්"

"යන්න යන්න කිව්වම අහලා"

"ස්.....සුදුබේබි....."

"කෝ....දැන් දෙනවා ගුටියක්! මම එන්නම් මේක අරගෙන ඉවර වෙලා....ම්ම්ම්"

ආශවගෙ වේදනාවෙන් පිරුණු ඇස් දෙක දිහා බලන් හිටිය නේත්‍රගෙත් ඇස් වලට තත්පර දශම ගාණක් යන්න කලින් කදුළු පිරෙද්දි ඒ බෝල ඇසුත් වේදනාවෙන් බර උනා.නේත්‍රගෙ ඔලුව අතගාලා නේත්‍රගෙ උරහිස් වලින් අත තිබ්බ ආශව නේත්‍රගෙ මූණට බර වෙලා අර වේදනාකාරී ඇස් දිහා බලාගෙන හිටියා.

"මම ගන්න ඕනිම තීරණේකට නේත්‍ර එකඟ වෙනවද?"

"ස්....සුදුබේබිට වරදක් වෙන්නැත්තං....නේත්‍රට ඕනි දෙයක්!"

"නේත්‍ර ඇතුලට යන්න....මම කෝල් එක දාලා එන්නම්"

"ස්....සුදුබේබි?"

"යන්නකො....ම්ම්ම්"

නේත්‍රට ඇතුලට යන්න කියලා ඇස් වලින් සන් කෙරුව ආශව ආයෙමත් එකපාරටම නේත්‍රට කතා කරද්දි ගෙයි ඉස්තෝප්පුවෙ උන්නු නේත්‍ර ආශව දිහා හැරිලා බැලුවා.

"සුදුබේබි?"

"සුදුබේබි ආදරෙයි"

"නේත්‍රත් ආදරෙයි"

නේත්‍ර ඇතුලට ගියාට පස්සෙ දුරකථනෙන් දිව්දේත්‍රාට ඇමතුමක් ගත්තු ආශව දුරකථනෙ කනේ තියාගෙනම බැලුවෙ නුවර ආකාහෙ දිහා.ගොර ඇද ඇද වහින මහා වැස්සක පෙරනිමිති පෙන්නන නුවර ආකාහෙත් ආශවගෙ හිතට මහ අමුතු හැඟීමක් එකතු කලා.දුරකථන ඇමතුමට දිව්දේත්‍රා සම්බන්ධ වෙනවත් එක්කම පුංචි විදුලි එලියක් කොටද්දි ආශව දන්නැති උනාට තොප්පියක් අතේ තියාගත්තු නේත්‍ර ගෙයින් එලියට එන ගමන් හිටියා.

"සුදුබේබි තොප්....."

ආශවට පින්න වැටෙනවා නේද කියලා මතක් උනු නේත්‍රගෙ අතේ තිබ්බ තොප්පිය ආශවට දික් කරපු නේත්‍ර කතා කරන්න හැදුවත් ඒක එහෙම්ම නැවතුනේ ආශවට ඒක නෑහුනා කියල නේත්‍රට තේරෙද්දි.ඇමතුමේ ඉන්න සුදුබේබි ලඟට ගිහින් තොප්පිය සුදුබේබිගෙ ඔලුවට දාන්න හිතුනත් නේත්‍ර එක තැන ගල් ගැහුනෙ ආශව කතා කරන්නෙ කාටද කියලා ඇහුනු නිසා.

"හෙලෝ....දිව්දේත්‍රා...."

"............"

"ඔව්....මම....ආශව...."

".................."

"අනිද්දා වෙනකං ඉන්න ඕනි නෑ....මම තීරණයක් ගත්තා"

තීරණයක්? නේත්‍රට මුකුත්ම තේරුම් ගියේ නෑ.හදිස්සියෙ දිව්දේත්‍රාට කතා කරලා සුදුබේබි කියන මේ තීරණේ මොකද්ද කියලා තේරුම් ගන්න නේත්‍රට පුලුවන්කමක් තිබ්බෙ නෑ.තමන්ට පිටුපාලා ඉන්න සුදුබේබි දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බලන් උන්නු නේත්‍රගෙ හිතට බයක් ආවෙ සුදුබේබි කරදරේක පැටලිලාද කියන සිතිවිල්ල නිසා.නුවර ආකාහෙ දෙදරවගෙන ගෙරවිල්ලක් ඇහෙද්දි තව ඩිංගෙන් වැස්සක් කඩාපාත් වෙන වග තේරුම් ගන්නවත් නේත්‍රගෙ මනස නිස්කලංක වෙලා තිබ්බෙ නෑ.

"මම ක්‍රිකට් අත අරින්න තීරණේ කලා! මට මගෙ හීනෙ ඕනි නෑ! මම වැඩකට නැති හීනයක් වෙනුවෙන් මම ආදරේ කරන කෙනාව අතාරින්නෙ නෑ!!!"

නුවර අහස දෙබෑ කරගෙන යන්න පිපිරුව හෙණයක් එක්කම ඇහුනු ආශවගෙ වචන එක්ක නේත්‍රට ඉස්සෙල්ලාම උනේ කකුල් දෙක ගැහෙන්න ගත්තු එක.හීනෙ අතාරින්න? ක්‍රිකට් හීනෙ? නේත්‍රට ඒත් එක්කම මතක් උනේ අද ආශවට දිව්දේත්‍රාව හම්බුනා කිව්ව එක.ස්කොඩ් එකේ නම් ටික පෙන්නුවා කියපු එක.ආශවගෙ නම ඒකෙ නොතිබ්බා කිව්ව එක.බැරි වෙලා හරි?

දිව්දේත්‍රා ආශවට බලපෑමක් කලාද? ආශවගෙ නම ස්කොඩ් එකේ තිබ්බද? ඒක රැකගන්න දිව්දේත්‍රා මොකක් හරි.....තමන්ව ඇපේට තිබ්බද? ආශව ආදරේ කරන කෙනාව අතෑරියොත් ක්‍රිකට් හීනෙ සැබෑ කරන්නම් කියලා වගේ දෙයක් දිව්දේත්‍රා කියලා තියන වග නේත්‍රගෙ මොලේට තත්පර ගාණක් ඇතුලත වැටහුණා.ඒත් එක්කම නේත්‍රගෙ පපුවෙ පැත්තක් රිදීගෙන ගියේ මේ වෙන්න යන දේ දරන්නම බැරි තැන.

ක්‍රිකට් කියන්නෙ තමන්ව හම්බෙන්නත් කලින් ඉදලම තමන්ගෙ සුදුබේබිගෙ හිතේ තිබ්බ ආසාවක් කියලා නේත්‍ර දැනන් හිටියා.සුදුබේබි කොලඹ ඉස්කෝලෙන් අස් කරං ගමේ වලව්වට ගෙනාව දවසෙ සුදුබේබි මුළු කාමරේම බඩු පොලවෙ ගහලා විනාස කරලා තිබ්බත් ක්‍රිකට් පිත්ත පරිස්සම් සහගතව ඇඳ යට තිබ්බ හැටි පහුකාලීනව තමන්ගෙ අම්මා උනු නිර්මලා එක වතාවක් තමන් එක්ක කිව්ව වග නේත්‍රට මතක් උනා.මතක ඇති කාලෙක ඉදලා,හරියටම කිව්වොත් අවුරුදු හතරෙ පහේ ඉදන්ම ආශවගෙ ඔලුවට ගහලා තිබ්බ්‍ර් ක්‍රිකට් පිස්සුව.නේත්‍රව හම්බුනු මුල් කාලෙ පවා ආශව තමන් දන්න කියන ක්‍රිකට් විස්තර හැමවෙලේකම නේත්‍ර එක්ක බෙදාගත්තා.අලුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ පවා ආශව ඉස්සෙල්ලාම බැඳුනෙත් ක්‍රිකට් සමාජෙට බව නේත්‍රට මතක තිබ්බා.

හරියටම කිව්වොත් තමන්ට වැඩි කාලයක් සුදුබේබිගෙ හිතේ ජීවත් උනේ ක්‍රිකට් හීනෙ කියන දේ තමා හරිම නිර්වචනෙ.සුදුබේබි තමන්ට කලින් ආදරේ කරන්න ගත්තෙ ක්‍රිකට් වලට වග නේත්‍ර මතක් කලේ පුදුමාකාර වේදනාවකින්.ඒ වේදනාව වෙන මොකකටවත් නෙවෙයි තමන් නිසා සුදුබේබි ඒ හීනෙ අතාරින්න යන වග දැනුනු නිසා නේත්‍රගෙ හිතට ආව වේදනාව.නේත්‍රගෙ ඔලුව පැලෙන්න වගේ දැනෙන වේදනාවක් එක්ක නේත්‍රගෙ පපුව පැත්තක ඉදලා තදේටම රිදීගෙන ආවා.

"නේත්‍ර!!!"

"නේත්‍ර මල්ලි!!!"

ආශවගෙ කටහඬ එක්ක තව කටහඬක් තමන්ගෙ කන් දෙකට ලාවට ඇහෙනවත් එක්කම නේත්‍රගෙ ඇස් දෙක පියවිලා ගියා.සිහිය තමන්ගෙන් ඈතට යන්න කලින් තමන්ගෙ අප්‍රාණික සිරුරට සුදුබේබිගෙ උණුහුම දැනෙනවත් එක්ක නේත්‍රගෙ ඇස් සන්සුන්ව පියවිලා ගියා.

"නේත්‍ර!!!! මැණිකෙ!!"

"නේත්‍ර මල්ලි....ඇස් අරින්න!"

"ම්හ්....ස්...සු...."

අසිහියෙන් හිටිය නේත්‍ර අමාරුවෙන් මුමුණද්දි ආශව නේත්‍රගෙ නලලින් තොල් තද කලා.

"මම ඉන්නවා නේත්‍ර....සුදුබේබි නේත්‍ර එක්ක ඉන්නවා...සන්සුන් වෙන්න"

"ආ....ආශවයා....මම වාහනේ අරං එන්නද? හොස්පිට්ල්...."

"එපා සනුක.....නේත්‍රට මෙහෙම වෙනව....හානියක් වෙන්නෑ එයාට....මම බලාගන්නම්"

කලබලේ යටපත් කරගෙන මිමිණුව ආශව නේත්‍රගෙ ලාවට ගැහෙන සිරුර උස්සගෙන කාමරේට ගිහින් නේත්‍රව ඇඳේ දිගා කෙරෙව්වා.සනුකට කාමරේට ටිකකට එන්න එපා කිව්ව ආශව නේත්‍රගෙ කමිසෙ බොත්තම් ගලවලා පපුවෙ වම් පැත්තෙ සිද්ධාර්ථ තෛලයෙන් ටිකක් තවරලා සම්බාහනය කරද්දි නේත්‍රගෙ ඇඟ ටිකෙන් ටික සන්සුන් වෙනවත් නේත්‍ර ගැඹුරු නින්දට වැටෙනවත් ආශවට දැනෙද්දි නේත්‍රගෙ කමිසෙ බොත්තම් පියවපු ආශව ඒ පුංචි අතක් අල්ලගෙන නේත්‍රගෙ ඇඳ ලඟ දණගහගෙන පුංචි එකාගෙ ඔලුව අතගාන්න ගත්තා.

"ආශව....මම එන්නද?"

"එන්න......"

කාමරේට ආව සනුක වටපිට බලද්දි නේත්‍රගෙ පොත් මේසෙ ලග තිබ්බ පුටුව ඇස් වලින් පෙන්නුව ආශව නේත්‍රගෙ ඔලුව අතගාන්න ගනිද්දි සනුක නේත්‍රගෙ පුටුවෙන් ඉදගත්තා.සනුක බලන් හිටියෙ පුංචි එකාගෙ මූණ දිහා.හිනාවෙන් එකක් පුරවං හැම වෙලේම දිලිසෙන ඒ මූන විඩාවෙන් පියවිලා තියෙද්දි සනුකට උනත් සෑහෙන දුකක් දැනුනා.

"මොකෝ උනේ ආශව අද? ඇයි උඹ ක්‍රිකට් අතාරිනවා කිව්වෙ?"

"ක්‍රිකට් ඕනි නැති නිසා....ක්‍රිකට් කියන වැඩකට නැති දේට වඩා නේත්‍රව වටින නිසා සනුක"

ආශව දිහා බලන් හිටිය සනුක ආශව මේ කෙරුව දේත් එක්ක,අතටම ආව හීනෙ කඩලා දාගෙන ගානක් නැතුව ඉන්න හැටි එක්ක ආව කේන්තියට තමන්ගෙ අතමිට මොලවගෙන පිටි අල්ල තමන්ගෙ දත් අතරෙ හිර කරගත්තා.

"දිව්දේත්‍රා?"

"ඔව්.....නේත්‍රව අතෑරියොත් විතරක් ස්කොඩ් එකේ දිගටම නම තියන්නම් කිව්වෙ"

"හැබැයි ආශව....."

සනුක වැදගත් කතාබහකට යොමු වෙනවා දැනෙනවත් එක්කම ආශව නේත්‍රගෙ ඔලුව අත ගගාම සනුකගෙ පැත්තට හැරුනා.

"කියපං....."

"උඹට තිබ්බා නේත්‍ර මල්ලිට ඇත්තම කියන්න....කියලා බොරුවට බ්‍රේකප් වගේ හැසිරෙන්න.....ටීම් එකේ උබේ ප්ලේස් එක ස්ටේබල් උනාට පස්සෙ දිව්දේත්‍රාට බම්බු ගහගන්න කියලා නේත්‍ර මල්ලිගෙයි උඹෙයි රිලේෂන්ශිප් එක එලියට දාන්න"

"ට්‍රැක්ද?"

"ඈ?"

"මගෙ ආදරේ එච්චරටම බාල්දු නෑ සනුක....අනික් පැත්තෙන් ගත්තොත් ෆිල්ම් වල වෙනවා වගේ දේවල් ඇත්ත ජීවිතේ කරන්න බෑ....උඹ හිතනවද එහෙම මේ දිව්දේත්‍රා එක්ක බොරුවට යාලු වෙලා,කාලයක් ගියාට පස්සෙ ආයෙ මේ පොඩි එකාව....? නෑ සනුක....එහෙම මම දිව්දේත්‍රා එක්ක යාලු උනානම් බොහෝ දුරට දිව්දේත්‍රා අවුරුද්දක් දෙකක් යන්නත් කලින් අඩුම එන්ගේජ් හරි වෙනවා මම එක්ක....ආයෙ උඹ හිතනවද ඩිවෝස් එකක් දෙයි කියලා? අනික් පැත්තෙන් මගෙ ක්‍රිකට් ලයිෆ් එක තනිකරම ඒ මනුස්සයා අතට යනවා....නිකං රෑකඩයක් වගේ....ශිට්! එව්වා ඔක්කොම හරි කියමුකො....

මේ පුංචි එකා සනුක? බොරුවට හරි මම වෙන කෙනෙක් එක්ක යාලු වෙන එකක් මේ පුංචි හිතට දරන්න බෑ සනුක...දවස් දෙකක් තුනක් යන්න කලින් මේ පුංචි එකා මැරෙයි!!! මේ කොල්ලගෙ ජීවිතේම මම....මම විතරයි.මම අද උඹ අර කලින් කිව්ව වගේ දෙයක් නේත්‍රගෙන් ඇහුවනම් නේත්‍ර අනිවාර්‍යෙන්ම හා කියයි,මමම අහන නිසා ඒ දේ....ඒත් ඇත්තට මූණ දීලා බලපංකො....මේකාගෙ මල ගෙදරට එන්න වෙන්නෙ මට ස්කොඩ් එක එලියට දාන දවසට!!!මට පිස්සු හැදෙයි යකෝ! මමත් ඒ පිටම මැරෙයි!

මෙතන ජීවිත දෙකක් නෑ සනුක නේත්‍රගෙ ජීවිතේ කියලයි ආශවගෙ ජීවිතේ කියලයි.එකම ජීවිතයක් තියෙන්නෙ අපි දෙන්නට....අපි දෙන්නා ජීවත් වෙන්න ඕනිනම් එකට ඉන්නම ඕනි....එක්කෙනෙක් ඈත් උනොත් දෙන්නම මැරෙනවා සනුක....මේ පුංචි එකාගෙ කටේම තියෙන්නෙ සුදුබේබි නැත්තං නේත්‍ර නෑ කියලා....මගෙ හිතේ තියෙන්නෙත් ඒකමයි....නේත්‍ර නැත්තං සුදුබේබි නෑ කියලා....ක්‍රිකට් නෙවෙයි සනුක ජීවිතේ.....ආදරේ.... නේත්‍ර....නේත්‍ර තමයි මගෙ ජීවිතේ"

ආශව කතා කරලා ඉවර වෙලා නේත්‍රගෙ නලලින් හාද්දක් තියද්දි පුංචි කොල්ලා අසිහි නින්දෙන් උනත් ලාවට හිනාවෙන හැටි සනුක දැක්කා.ඇත්ත....අසිහියෙන් ඉද්දි පවා ආශවගෙ පුංචි ස්පර්ශයකින් ආදරේ දැනෙන තරමට නේත්‍ර ඉන්නෙ ආශවට බැඳිලා.ඒක දේ දෙන්නගෙ ආදරේ.

"උඹ වලව්ව්ට යමං සනුක.....නැත්තං උඹ බඩගින්නෙ"

"නෑ නෑ....මේ....මම උඹ එන්න කලින් කෑම වගයක් ගෙනත් දැම්මා කාර් එකට....ගෙදර ගිහින් දෙන්නා එක්ක කන්න හිතාගෙන...මම ඒ ටික අරං එන්නම්...."

"හ්ම්ම්ම්"

.

.

.

.

.

"ම්හ්....."

"මැණිකේ....."

"ස්....සුදුබේබි!!!!! සුදුබේබි ඇයි එහෙම කලේ!!!!"

ඇඳෙන් නැගිට්ට නේත්‍ර ඇඳෙන් බිමට පැන්න පාර පුංචි එකාව බිම ඇදගෙන වැටෙද්දි ජනේලේ ලඟට වෙලා එලිය බලාගෙන හිටිය ආශව දඩබඩ ගාලා නේත්‍ර ලඟට ඇවිත් නේත්‍රව තමන්ගෙ අත් දෙකට උස්සගත්තා.හරහට නේත්‍රව තියාගෙනම ඇඳෙන් වාඩි උනු ආශව ඉකි ගහන්න අරං හිටිය පුංචි කොල්ලව තමන්ගෙ පපුවට තුරුල් කරගනිද්දි නේත්‍ර ආශවගෙ කමිසෙ තමන්ගෙ පුංචි අත් වලින් මිරිකගෙන ඉකි ගගහාම කතා කලා.

"ස්....සුදුබේබි....ඇයි....ඇ...ඇයි එහෙම දෙයක් කලේ?"

"මට සමාවෙන්න නේත්‍ර"

"ඒ සුදුබේබිගෙ හීනෙ...මම...ම්....මම නිසා ඒක....."

"නේත්‍ර.....ඔයා දන්නවද? මම ඇත්තටම හිතාගෙන හිටියෙ නේත්‍රයි මගෙ හීනෙයි දෙකම මට එක වගේ වටිනවා කියලා....දෙක අතර් තේරීමක් කරන්න ආවොත් ඒක මට හුඟක් අමාරු වෙයි කියලා...ඒත් ඒ තීරණේ ගන්න තිබ්බ තත්පරේ ඇතුලත මම තේරුම් ගත්තා මට නේත්‍ර තරම් මගෙ හීනෙවත් වටින්නෙ නෑ කියලා...හැමදේම ඔයා ඉස්සරහ දූවිල්ලක් විතරයි කියලා නේත්‍ර...."

"න්....නේත්‍රට....නේත්‍රට දරන්න බෑ සුදුබේබි....මට....මට....අනේ මගෙ සුදුබේබිට රිදෙන්න ඇති.....අවුරුදු ගාණක හීනෙ සුදුබේබි....ත්...තත්පරෙන් විනාස වෙද්දි....මට බෑ.....නේත්‍රට මැරෙන්න ඕනි!!!"

"කට!!!! මගෙ යකා අවුස්සගන්න එපා නේත්‍ර!!! මැරෙනවනම් මාවත් මරාගෙන මැරෙනවා!!!!"

"සුදුබේබි....සුහ්.....සුදුබේබි මැරෙන්න බෑ....නේත්‍රයි පවුකාර....නේත්‍ර නිසා සුදුබේබිට හැමදේහ්හ්හ්හ්ම්ම්ම්ම්"

තව වචනයක්වත් කියන්න ඉඩ නොදී නේත්‍රගෙ තොල් ආශවගෙ තොල් අස්සෙ හිර වෙද්දි ඇස් වල ගලාගෙන යන කදුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නු නේත්‍ර තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.ආශවගෙ හාදුව එක්ක තමන්ව ටිකෙන් ටික සන්සුන් වෙනවා දැනුනු නේත්‍ර තව ටිකක් ආශවගෙ ඇඟට ඇලිලා ඒ උණුහුම හොයද්දි ආශවගෙ අත් නේත්‍රගෙ කමිසෙ අස්සෙන් ගිහින් නේත්‍රගෙ හීතල පිට පැත්ත උණුහුම් කලා.

"ආශවයා මල්ලි නැගි....ඕහ්! ස්....සොරි"

පිඟානකුත් අරගෙන කාමරේ ඇතුලට එන්න හැදුව සනුක නේත්‍රගෙ තොල් හිර කරං ඉන්න ආශවව දැකලා ඉක්මනට අහක බලාගෙන එතනින් යද්දි දැනුනු ලැජ්ජාවට නේත්‍ර ආශවගෙන් ඈත් වෙන්න හැදුවත් ආශවගෙන් ඒකට ඉඩක් ලැබුනෙ නෑ.නේත්‍රව තව ටිකක් ලං කරගත්තු ආශව පොඩි එකාගෙ තොල් වලට ලේ පුරනකංම ඒ තොල් අස්සෙ එල්ලිලා ඉදලා අන්තිමට ඈත් උනේ හුස්ම ගන්න අමාරු උනු නේත්‍ර තමන්ගෙ චුට්ටං අතකින් ආශවගෙ පපුවට දැම්ම තට්ටුව නිසා.

"ස්....සනුක අයියත් දැක්කා සුදුබේබි....හෑයියා....නේත්‍රට ලැජ්ජයි"

"ඌ දැකපුදෙන්! ඔයා මගෙනෙ....ම්ම්...මගෙ විතරනෙ....ඒක ඌත් දැනගන්න ඕනි"

නේත්‍රගෙ කන් පෙත්තකට මිමිණුව ආශව නේත්‍රගෙ යටි තොල දිගේ තමන්ගෙ මාපටැගිල්ල ඇදගෙන යද්දි නේත්‍ර ඇස් දෙක පියාගෙන ඒ මිහිරියාව අත් වින්දා.ටිකකින් නේත්‍රව උකුලෙ තියාගෙනම තමන්ගෙ පපුවට තද කරගත්තු ආශව පුංචි එකා එක්ක කතා කරන්න ගත්තා.

"ඔන්න දැන් මේ දේවල් හොදට අහගන්න ඕනි....තේරුනාද?"

"ඔව් සුදුබේබි"

"පලවෙනියටම......ඔයාට බෑ මේකෙ වරද ඔයාගෙ පිට පටවගන්න....කොහෙත්ම බෑ....එහෙම කරනවා කියන්නෙ ඔයා මාව අවිශ්වාස කලා කියන එක නේත්‍ර"

"දෙයියෝ සුදුබේබි! නේත්‍ර අවිශ්වාස කරන්නෑ මගෙ සුදුබේබිව"

"ඒකනෙ....එහෙනම් මේක අහගන්නකො මැණිකෙ"

ආශව කියද්දි නේත්‍ර තමන්ගෙ ඔලුව උඩපහල වැනුවා.

"මම අද ගත්තෙ මට ගන්න පුලුවන් හොදම තීරණේ....ක්‍රිකට් ටීම් එකට තේරෙනවනම් කවදහරි තේරෙයි මම....ඒත් ඒකට කරන්න තියෙන කැපකිරීම ඔයානම්,මට ක්‍රිකට් ඕන්නෑ....හීනෙ හැබෑ වෙනවනම් කවදහරි වෙයි.ඔයාව කැප කරගෙන ඒක හැබෑ කරගන්න ඕන්නෑ නේත්‍ර මට.....මට තියෙන ලොකුම දේ ඔයා....දේකට කැප කිරීමක් කරන්න ඔයා මට විකල්පයක් නෙවෙයි නේත්‍ර .....මට තියෙන එකම දේ ඔයා....ඔයාගෙයි තව දෙයක් අතරෙයි තේරීමක් නෑ....මට ඒක හොඳටම දැනුනෙ අද"

"සුදුබේබි පවු සුදුබේබි....ඇයි එහෙම දෙයක් මගෙ සුදුබේබිට උනේ....."

"වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇතිනෙ මැණිකෙ....ම්ම්ම්....අපි බලමුකො"

"කවදාවත් කෙනෙක් ගැන කේන්තියක් ඇවිල්ලා නැති මගෙ හිතට දිව්දේත්‍රා ගැන හරි කේන්තියක් දැනෙනවා සුදුබේබි.....එයාට අයිතියක් නෑ මගෙ සුදුබේබිගෙ හීනෙ නැති කරන්න!"

"හ්ම්ම්ම්"

"අපි විශාර මාමට කියලා බලමුද සුදුබේබි? එයාට...."

"එයා ඉන්නෙ අලහකෝන්ට වඩා පහලින්නෙ නේත්‍ර....එයාට අමාරුයි දිව්දේත්‍රලාට වඩා උඩින් යන්න"

"මම ඒක කරනවා"

"මොකද්ද? ම්ම්ම්"

"සුදුබේබිගෙ හීනෙ....සුදුබේබි වෙනුවෙන් ඒක නේත්‍ර කරනවා"

"අපි කාලෙට ඉඩ දීලා බලන් ඉමුකෝ....ම්ම්ම්....නේත්‍ර ඒ ගැන දැන් හිතන්න එපා"

ආශව කියද්දි මුකුත් උත්තරයක් නොදුන්න නේත්‍රගෙ ඇස් වල තිබ්බ අධිෂ්ඨානශීලී බැල්ම නේත්‍රව පපුවට තද කරං උන්නු ආශවගෙ ඇස් වලින් මගෑරුනා.සෑහෙන වෙලාවක් නේත්‍රව පපුවට තද කරගෙන ඉදලා විස්තර කතා කර කර තමන්ගෙ හිත නිදහස් කරගත්තු ආශව නේත්‍ර එක්කම කාමරෙන් එලියට එද්දි ඉස්තෝප්පුවට වෙලා උන්නු සනුක ආශවලා දිහා බලලා හිනා වුණා.

"සනුක මොකෝ ඇස් දෙක?"

"සතෙක් ගියා ආශව....පොඩි කලා ඌ එලියට එනකං"

"එලියට ආවද?"

"ඔව් ඔව්"

"එලියට ගියානම් හොදයි.....ඇතුලෙ හිටියොත් පස්සට ඇස් දෙකටම තමා අමාරු වෙන්නෙ"

ඇඟට පතට නොදැනී කියපු ආශව බැලුවෙ ගෙදර දොර වහලා අගුලු දාන නේත්‍ර දිහා.නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව සනුකටත් එන්න කියද්දි කලින් පිඟානකට දාන් ආව කෑම ටික ඒ ටික ගෙනාව ප්ලාස්ටික් පෙට්ටියටම දාන් හිටිය සනුක ඒ ටික නේත්‍රට දික් කරද්දි සනුකට ස්තූති කෙරුව නේත්‍ර කෑම පෙට්ටිය තමන්ගෙ අතට ගත්තා.

ආශවටයි සනුකටයි මැදි වෙලා ලොකු කුඩයක් යටින් වලව්වට ඇදෙන නේත්‍රට පාර පැහැදිලි කරලා දෙන්න උපකාර කරන ගමන් නුවර අහසෙන් එක දිගට විදුලි එලි පිට වුණා.

..............................................................................................

අරුණළු වැටෙන හෝරාව වෙද්දිත් වලව්වෙ ඉස්තෝප්පුවෙ ඉදගෙන හිටිය ආශව මහ මුදියන්සෙ එක්ක තීරණාත්මක සාකච්ඡාවකට එලඹිලා හිටියා.කට කොණක සමච්චල් හිනාවක් නංවගෙන හිටිය මහ මුදියන්සෙගෙ බැල්ම දරාගත්තු ආශවත් ඊට නොදෙවනි දැඩි බැල්මක් මූණෙ රඳවගෙන හිටියත් ආශවගෙ ඇස් වල තිබ්බ පරාජිත බැල්ම දොරකඩ හැංගිලා උන්නු නේත්‍රගෙ පපුව පුච්චලා දාන්න සමත් වෙලා තිබ්බා.

පාන්දරට නුවර පරිසරේ කොච්චර සන්සුන් උනත් මේ වෙලාව වෙද්දි ආශවගෙ හිත වගේම නේත්‍රගෙ හිතත් නොසෑහෙන්න නොසන්සුන් වෙලා තිබ්බා.ඊයෙ රෑ වැටුණු වැස්සත් එක්ක නොසෑහෙන්න හීතල වෙලා තිබ්බ නුවර පරිසරේ හා සමානවම ආශවගෙ හිතත් හීතල වෙලා ගල් ගැහිලා තිබ්බා.ලොකු මැණිකෙ අරං ආව තේ කෝප්පෙන් උගුරක් උඩට ගත්තු මහ මුදියන්සෙ පීරිසියක තිබ්බ ලැවරියා එකෙනුත් කෑල්ලක් කාලා ආශව දිහා බැලුවා.

"ඉතින් සුදුපුතාගෙ අන්තිම තීරණේ මොකද්ද?"

"මම අප්පච්චිගෙ යෝජනාවට කැමතියි.....කැම්පස් පටන් ගන්නකං මම ඔෆිස් යන්නම්"

"ම්ම්ම්.....කැම්පස් යනවද සුදුපුතා?"

"ඔව්....යන්න තමා හිතන් ඉන්නෙ අප්පච්චි"

"කමක් නෑ....ඒ කාලෙ වෙද්දි සුදුපුතාට ඔය ක්‍රිකට් විකාරවල් එපා වෙලා නවත්තලම ඉදියිනෙ සමහරවිට....එතකොට කැම්පස් නැති දවස් වලට ඔෆිස් එන්න පුලුවන්නෙ?"

"................"

"එතකොට පුතා වීකෙන්ඩ් ක්ලබ් එකට යනවා?"

"ඔව් අප්පච්චි.....ප්‍රැක්ටිස් වලට යනවා"

"තාම අතෑරලා නෑ ඒ කියන්නෙ ඔව්වා?"

".............."

"මට මිස්ටර් අබේසේකර කෝල් කරලා කිව්ව නිසා හොදයි.....නැත්තං මම තාම දන්නෑ හෙට අනිද්දට දාන ස්කොඩ් එකේ සුදුපුතාගෙ නම නෑ කියලා....මෙයා හිටිය ව්දියට මම හිතුවෙ මේ පාර නැෂනල් සිලෙක්‍ට් වෙලා ඇති කියලනෙ අපේ මැණිකෙ"

මහ මුදියන්සෙගෙ සමච්චල් සහගත කතාව දරාගත්තු ආශව දොරේ හිඩැස අස්සෙන් පේන කදුළු පිරුණු බෝල ඇස් දෙක දිහා බලලා ලාවට හිනා වුණා.කොච්චර ආශව හිත හදාගන්න කිව්වත් මේ දේ උනේ තමන් නිසායි කියන හැඟීම මැඩගන්න නේත්‍රට පුළුවන්කමක් තිබුනෙම නැහැ.මහ මුදියන්සෙගෙ කතාවෙන් ආශවව කොළඹටම හිර කරන්න යන වග තේරුනත් නේත්‍ර ඒ දේ දරාගත්තෙ මේ හැමදේම ඉක්මනටම හරිගස්සනවා කියලා හිතාගෙන.දැනටමත් නේත්‍ර තමන් කරන්න ඕනි කියල හිතුනු දේට නිහඬවම පය ගහලා හිටියා.

"ආනේ....මෙන්න මෙන්න හොරගෙඩියෙක්"

එකපාරටම නේත්‍රගෙ කන් වලට දැනුනු මිමිණිල්ල එක්ක ගැස්සුනු නේත්‍ර පිටිපස්ස හැරෙද්දි ආශවගෙ සරමක් විතරක් ඇදන් හිටිය සනුක නේත්‍ර එක්ක හිනා වුණා.උඩුකය නිරුවත් සනුක තමන්ට නොසෑහෙන්න කිට්ටු වෙලා හිටිය විදිය එක්ක නේත්‍රට දැනුනෙ පුදුමාකාර අපහසුවක්.උඩුකය නිරුවත් ආශව තමන්ට කිට්ටු වෙන අවස්ථාවල් තමන්ව ලැජ්ජාවෙන් මිරිකන්න සමත් වුණත් පිට කෙනෙක් උනු සනුකගෙ ලං වීම එක්ක නේත්‍රට දැනුනෙ අපහසුවක් විතරයි.ඒ නිසාම ලා හිනාවක් එක්ක සනුකගෙන් ඈත් වුණු නේත්‍ර සනුකට තේ එකක් හදාගෙන එන්නම් කියලා හෙමින් කියන ගමන් මුළුතැන්ගේ පැත්තට ඇදෙද්දි නේත්‍ර දිහා බලලා වේදනාවෙන් හිනා වුණු සනුක විසිත්ත කාමරෙ තිබ්බ සෝෆාවෙන් ඉදගත්තා.

"ආ උඹ නැගිට්ටද?"

"යෙස්.....මොකෝ අවුලෙන්?"

"නෑ....කේස් එකක් නෑ මුකුත්"

සනුකට කියලා හිනා වුනු ආශව සනුක ලගින්ම ඉදගනිද්දි සනුක එක්ක හරි සුහදව හිනා වුණු මහ මුදියන්සෙ තමන්ගෙ කාමරේ පැත්තට ඇදුනා.

"පුතා දැන්ම යන්නෑනෙ?"

"නෑ අන්කල්....ටිකකින් යන්නෙ"

"හරි පුතා....මම යනව එහෙනම්....පරක්කුත් උනා ටිකක්"

සනුකගෙන් සමුගත්තු මහ මුදියන්සෙ කාමරේට ගිහින් අරං ආව පොඩි ෆයිල් කවර වගයක් එක්ක කට්ටියගෙන් සමුගනිද්දි නේත්‍ර හෙමින් සීරුවෙ තේ එකකුත් හදාගෙන සනුක ලඟට ආවා.

"තෑන්කිව් චූටි බබෝ....."

"මැණිකෙ....මටත් තේ එකක්"

"උඹ දැන් බීලනෙ ආවෙ!"

"උඹට විතරක් නේත්‍ර හදන තේ බොන්න දෙන්න බෑ! මටත් ඕනි....මැණිකෙ....."

"මම හදන් එන්නම් සුදුබේබි....කන්නත් මොනාහරි ගේන්නද?"

"ඇයි මේ ලැවරියා තියෙන්නෙ......කාපියකො"

"සුදුබේබි ලැවරියා කන්න ආසා නෑ සනුක අයියෙ....මම බිස්කට් එකක් අරං එන්නම් සුදුබේබි"

"ඉක්කෙයියා නේද සනුක? ආවා මෙතන හහ්"

සනුකට සවුත්තුව දැම්ම ආශව හිනා වෙද්දි සනුක කකා හිටිය ලැවරියා එක කටට ලං කරං ආශවගෙ බෙල්ල කනවා කියල හිතාගෙන කටක් කාලා දැම්මා.හිනා වෙවී හිටියත් ආශවගෙ ඇස් වල තිබ්බ වේදනාව අදුනගන්න පුලුවන් තරමට සනුක මේ වෙද්දිත් ආශවගෙ කිට්ටු යාලුවෙක් වෙලා හිටියා.

"උඹ අවුලෙන් නේහ්"

"නෑ නෑ"

"අන්කල්ගෙ බිස්නස් වලට ජොයින් වෙන්න කිව්ව එකට උඹ ඕකේ එක දුන්නද?"

"හ්ම්ම්ම්"

"අහපං ආශවයා.....මේක එක ස්ටෙප් එකක් පිටිපස්සට තැබිල්ලක් විතරයි කියලා හිතපං....තේරුනාද? ක්‍රිකට් කියන්නෙ මාර ලොකු පරාසයක්.උබට තව චාන්ස් පත්තු වෙන්න පුලුවන්"

"..............."

"අයිපීඑල්......ආශව....මම කිව්වා කියලා මතක තියාගනින්.....උඹ ප්‍රැක්ටිස් කරපං....ක්ලබ් මැචස් ටික හරියට පෆෝම් කරපං.....කන්ට්‍රැක් ප්ලේයර් කෙනෙක් විදියට ටුවර් සෙට් උනොත් සෙල්ලම් කරපං.....අයිපීඑල් වල කෝචස්ලා දෙන්නෙක්ගෙ ඇහැට උඹව දැනටම අහු වෙලා කියන්නෙ ලේසිපහසු දෙයක් නෙවෙයි ආශව...උඹට ගේමක් ගහන්න පුලුවන්"

"නේත්‍ර මගෙ ලඟ ඉන්නවනෙ සනුක....මම උපරිම උත්සාහයක් දානවා"

"උඹ නැෂනල් ටීම් කෝමහරි සිලෙක්ට් වෙලා,එකපාරක් හරි අයිපීඑල් එකකට සෙට් උනොත් ආයෙ දිව්දේත්‍රාලාට රඟනවා තියා හිතන්නවත් බෑ.....උන් ඇඟිලි ගැහුවට වැඩක් වෙන්නෙත් නැ....උඹව නැෂනල් අයින් කරන්න ඒම හැදුවොත් අයිසීසී එකෙන්මනෙ උන්ට ප්‍රශ්නෙ එන්නෙ"

"නැෂනක් සිලෙක්ට් වෙන එකනෙ ඕයි ප්‍රශ්නෙ....මට ක්‍රිකට් ඕන්නෑ සනුකයා....මම හෙමීට මගෙම කියලා බිස්නස් එකක් පටන් අරං නේත්‍ර එක්ක ගේම ගහන් ජීවත් වෙන්න හිතල ඉවරයි"

"උඹ හිතනවද නේත්‍ර මල්ලි ඒකට ඉඩ දෙයි කියලා?"

"මටත් ඕකනම් හිතුනා"

"උඹට තියෙන ආදරේ හැටියට ඔය කොල්ලා මොකක් හරි ගේමක් ගහයි"

"මට තියෙන බයත් ඒක සනුක...ඒකයි එයාට ඇත්ත නොකියා ශේප් එකේ මේකෙන් අයින් වෙන්න හැදුවෙ....ඒත් දැන් නේත්‍ර ඇත්ත දන්නවා...මට බයයි....මම වෙනුවෙන් නේත්‍ර ඕනි රිස්ක් එකක් ගන්නවා....මොකක් හරි දෙයක් පොඩි එකා කරයි කියලා මටත් හිතුනා.ඒත් එයා හරි අහිංසකයි සනුක....මට බය එයාට කරදරයක් වෙයි කියලා"

"නෑ.....කොල්ලා අහිංසක උනාට මෝඩ නෑ ආශව...."

"එයාව විශ්වාස උනාට මේ සමාජෙ ඉන්න මිනිස්සුන්ව විශ්වාස නෑ මට.....ඒකයි බය"

ආශව කියද්දි සනුකත් ලොකු හුස්මක් පිට කරල ඔලුව වැනුවා.ආශවට වගේම නේත්‍රව රකින්න ඕනි කියන හැඟීම තදේටම තමන්ගෙ හිතේ තියෙන මිනිහෙක් උනු සනුක ඒ තත්පරේදි තීරණේ කලේ නේත්‍රට නොකියා රහසෙම නේත්‍රගෙ පස්සෙන් ඉදන් නේත්‍රව රකිනවා කියන එක.ආශව ඒ දේ කරනවා උනත් ආශවට බැරි වෙලා හරි තත්පරේකට හෝ නේත්‍රව මගෑරුණොත් තමන් නේත්‍ර වෙනුවෙන් ඉන්න ඕනි කියන හැඟීම සනුකගෙ හිතට තදේටම කා වැදුනා.

ඒ හැඟීම හරියටම පරික්ශා කරන්න අනාගතේදි දෙවියො පරීක්ෂණයක් කරන්න තීරණේ කරලා තියෙන වග සනුක දැනගෙන හිටියෙ නැහැ!

"සුදුබේබි තේ....."

කිරිතේ කෝප්පෙ එක්කම බිස්කට් ප්ලේටයක් ගෙනත් දුන්නු නේත්‍ර එතනින් යන්න හැදුවත් එකපාරටම නේත්‍රව ඇදලා උකුලට ගත්තු ආශව ඒ රෝස කම්මුලකින් තමන්ගෙ තොල් තද කරද්දි පුංචි එකා රතු ගැහිලා ආශවගෙ උකුලෙන් පැනලා දිව්ව වග එවෙලෙම ගෙට ගොඩ උනු ලොකු මැණිකෙ දැක්කත් නොදැක්කා වගේ මුළුතැන්ගෙයි පැත්තට ගියා.

"ආශව ලෑස්ති වෙලා යමු....."

"ක්ලබ් එකටද?"

"ඔව්....ටයිම් ටේබල් වෙනස් කරගන්න ඕනි කියලා කතා කරගමු....ඒත් මට හිතෙන්වා උඹට සිකුරාදත් ප්‍රැක්ටිස් දායි කියලා"

"ඒත් දැන් මගෙන් ඒ හැටි......"

"අනේ හු#තක් කතා නොකර ඉදපං ආශව! උඹ විතරයි හීනෙ අතෑරියේ....උඹේ වටේ ඉන්න උන් නෙවෙයි! අපි උඹ වෙනුවෙන් ගේමක් ගහනවා....අර පුංචි එකා මොකක්ම හරි ලොකු දෙයක් කරයි.....ආයෙ අරුන් හතර දෙනා? යකෝ උන් ක්‍රිකට් බෝඩ් එක හරි පෙරලයි උඹ වෙනුවෙන්! මම,ලියෝන්,ආදිත්‍ය? එතකොට අර කෙල්ලො තුන? අර ඉස්කෝලෙ උඹේ අනික් ලඟම යාලුවො ටික? උඹට හීන අතෑරලා දාන්න අපි ඉඩ තියන්නෑ ආශව....අපි ඉඩ තියන්නෑ!"

සනුක කියන ගමන්ම ආශවව තුරුල් කරගනිද්දි ආශවත් ආපිට සනුකව තුරුල් කරගත්තා.සනුක ගැන වෙන සැක ඇති උනත් මේ යාලුකම අතින්නම් ආශවගෙ හිතේ සනුක ගැන අංශුමාත්‍ර සැකයක් ඇති වෙලා තිබ්බෙ නෑ.ඒ නිසාමයි ආශව හැමදාම ප්‍රාර්ථනා කලේ නේත්‍ර ගැන සනුකගෙ හිතේ තමන් සැක කරන විදියෙ හැඟීමක් ඇති නොවෙන්න කියලා.මොකද මේ වගේ යාලුවෙක්ව හැමදාටම නැති කරගන්න ආශවට ඕනි උනේ නෑ.ඒත් නේත්‍ර ඉස්සරහ අනික් හැමදේම දූවිල්ලක් ගාණට දාන හැඟීම නැති කරගන්න ආශවට ඕනි උනෙත් නෑ.

"නේත්‍ර කොල්ලො......"

"ල්.....ලොකු මැණිකෙ?"

"අපේ සුදුපුතා....ඇයි මගෙ දරුවට එහෙම දෙයක් උනේ?"

ලොකු මැණිකෙගෙ වචන එක්ක පරිප්පු වගයක් හෝදන ගමන් හිටිය නේත්‍ර ලොකු මැණිකෙගෙ පැත්ත හැරුණා.කලින් දා අඬලා අඬලම මේ වෙද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු වේලිලා තිබ්බා වගේම ඒ ඇස් තද බැල්මකින් හැඩ වෙලා තිබ්බා.

"සුදුබේබිට මොකුත්ම උනේ නෑ ලොකු මැණිකෙ....සුදුබේබි එයාගෙ හීන වලට යයි.....සුදුබේබි ආසාඋනු විදියටම"

"නේත්‍ර.....දරුවො.....උඹ මොකක් හරි අවධානමක් ගන්නවා එහෙම නෙවෙයි නේද ඒ වෙනුවෙන්?"

"නෑ ලොකු මැණිකෙ.....මමත් රැකිලා සුදුබේබිව හීන වලට අරං යන විදිය මම දන්නවා....."

"උඹ ලොකු වෙලා කොල්ලො.....හරි හයිය මිනිහෙක් වෙලා"

ඉස්සර කොට කලිසමකුත් ඇඳගෙන හැමදාම මේ වලව් වත්ත වටේ දුවන පුංචි කොල්ලාව මතක් වුනු ලොකු මැණිකෙ හෙමීට මිමිණුවා.නේත්‍රගෙ ඔලුව අත ගෑව ලොකු මැණිකෙ තමන්ගෙ උසට වඩා චුට්ටම චුට්ටක් පුංචි නේත්‍ර දිහා බලලා හිනාවුණා.

"සුදුබේබිව රකිනවා නේද කොල්ලො?"

"හැමදාටම ලොකු මැණිකෙ"

.

.

.

.

.

"ඩැඩා!!!!"

"බේබි.....බේබි කාම් ඩවුන්....මගෙ පුතේ......ඔය වාස් එක බිමින් තියන්න"

"ඩැඩා!!! ආශව සෙයිඩ් නෝ!!!!! "

"බේබි! ඒකට ඔයා ඔහොම කලබල වෙලා හරියන්නෑ.....ඩැඩා ප්‍රොමිස් උනානෙ....ඩැඩාව ශුවර් නැද්ද?"

"නෑ!!!! මට කාවවත් ශුවර් නෑ!!! මට ආශුව ඕනි! ඩැඩා.....ඩැඩා මට පිස්සු වගේ ඩැඩා....මගෙ ඔලුව පැලෙන්න වගේ ඩැඩා!!!!"

"බේබි....කෝ මෙහෙට එන්න!"

දිව්දේත්‍රාගෙ අතේ තිබ්බ වීදුරු මල් බදුන තමන්ගෙ අතට ගත්තු අලහකෝන් ඒක පැත්තකින් තියලා දිව්දේත්‍රාව තුරුල් කරගනිද්දි දිව්දේත්‍රා අලහකෝන්ට තුරුල් වෙලා නහරත් පුප්පගෙන අඬන්න ගත්තා.දිව්දේත්‍රා කිසිම දෙයක් මේ තරම් තමන්ගෙන් කවදාවත් ඉල්ලලා නැති කොට අලහකෝන්ට තමන් ගැනම කේන්තියක් ආවෙ තමන්ගෙ දරුවගෙ ඉල්ලීම් ඉෂ්ට කරන්න බැරි වෙන එක ගැන ඇතිවුනු පසුතැවීම නිසා.

"ඩ්...ඩැඩා....ඩැඩා ප්ලීස්....මට....මටහ්....ආශුව...."

"එයාව ඔයාට ලැබෙයි බේබි....බය වෙන්න එපා....ම්ම්ම්"

"ඩැඩා....එයා එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මාරම ආදරෙයි ඩැඩා....එයාව මරමුද අපි?"

"බේබි.....කලබල වෙලා මෝඩ වැඩ කරන්න එපා තේරුනාද? මිනිස්සුන්ව මරලා ඔව්වා අහු උනාට පස්සෙ ඔයාටයි මටයි වෙන්නෙ ප්‍රිසන් එකට වෙලා ජීවිතේම ඒකෙ ගෙවන්න....ඒ නිසා ඩැඩාගෙන් නාහා කිසිම දෙයක් කරන්න බෑ! ඕකේ?"

"ඔ....ඕකේ ඩැඩා....ආශුව ගෙනත් දෙනවා නේද?"

"ඔව්....අපි ඉස්සෙල්ලාම මේ කොල්ලා ගැන විස්තර හොයාගන්න ඕනි....බේබි කිව්වා නේද එයාගෙ ගර්ල් ඔයා හිතුව කෙනා නෙවෙයි කියලා?"

"ඔව් ඩැඩා....එයා නෙවෙයි"

"ම්ම්ම්ම්.....අපි ඉස්සෙල්ලාම ඒක හොයාගෙන ඉමු....පස්සෙ ස්ටෙප් එක අපි ඊලඟට හිතමු"

"ඕකේ ඩැඩා"

"කෝ දැන් හිනාවෙන්න.....මගෙ ලස්සන බේබි අඬද්දි හරි කැතයි....ආශව කැමති වෙන එකක් නෑ අඬන බබාලට"

"අනේ යන්න ඩැඩා....නරකයි"

දිව්දේත්‍රා හිනාවෙවී කියද්දි අලහකෝන් දිව්දේත්‍රාගෙ රතු වෙලා තිබ්බ මූණෙ කදුලු පිහිදලා දිව්දේත්‍රාගෙ කම්මුලක් මිරිකුවා.තමන්ගෙ දරුවගෙ හීන වලට යන්න උදව් කරන්න පුළුවන්කම ඕනිවටත් වඩා තියෙද්දි දරුවව පාගලා විනාස කරන්න හදන දරුවට වගේම සමාජෙටත් කරදරකාරී තාත්තලා උනු සාගර,නිශ්ශංක වගේ තාත්තලා,දරුවගෙ උවමනා හොදින් හරි නරකින් හරි ඉෂ්ට කරන්න සූදානම් දරුවට විතරක් හොද සමාජෙ අනික් අයට කරදරකාරී තාත්තලා උනු අලහකෝන් වගේ තාත්තලා,දරුවගෙ හරි වැරදි ආදරෙන් තේරුම් කරලා දීලා දරුවන්ව හීන වලට පියමං කරන දෙනෙත්ගෙ තාත්තා උනු බණ්ඩාර වගේ තාත්තලා,දරුවව විශ්වාස කරලා දරුවා වරදක් කරන්නෑ කියන විශ්වාසෙ සහ ආදරේ උඩ දරුවා වෙනුවෙන් කැපකිරීම් කරන.....අපි බලමු ඒ කවුද කියලා හෙමිහිට.එහෙව් හැම ජාතියකම තාත්තලාගෙන් මේ සමාජෙ පිරිලා ගිහින් තිබුණා.

"ඩැඩා කාටද කෝල් කරන්නෙ?"

"මිනිස්ටර් අභිරාජ්ට.....මිනිහාට පොඩ්ඩක් අන්ඩර්වර්ල්ඩ් එක එක්කත් යම් යම් කනෙක්ෂන්ස් තියෙනවා කියලා මම දන්නවා....එයාගෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි"

දිව්දේත්‍රා හිනා වෙද්දි අලහකෝන් දුරකථන ඇමතුමට සම්බන්ධ වෙලා හිනා වෙවී එතනින් එහාට ගියේ තමන්ගෙ දරුවගෙ ආසාව,ඉල්ලීම ඉෂ්ට කරන්න පලවෙනි පියවර තියන්න වෙද්දි නේත්‍ර තමන්ගෙ සුදුබේබි වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරන්න මේ වෙද්දිත් පිඹුරුපත් සකසලා තිබ්බා.

"මෙයාව හම්බෙලා එයාව හම්බෙන්න යනවද? එයාව හම්බෙලා මෙයාව හම්බෙන්න යනවද?....එක්කො මෙයාව හම්බෙලා ඉන්නවා....ඒක හරි ගියොත් අරයව හම්බෙන්න ඕනිත් නෑනෙ....එයාව මම හරියට දන්නෙවත් නෑත් එක්ක"

වලව්වෙ පිලිකන්නට වෙලා කෝට්ටකින් බිම පහුරු ගගා උන්නු පුංචි කොල්ලා කල්පනා කර කර අන්තිම තීරනේට ආවා.ඊලඟට නේත්‍ර කල්පනා කලේ මේකට තමන් වෙනුවෙන් උදව් කරන්න පුලුවන් කෙනෙක්ව.ඒ කෙනා ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙක් වීමත් මේ සිද්ධියෙදි අත්‍යාවශ්‍ය වුණා.නේත්‍රගෙ ඔලුවට ඉස්සෙල්ලාම ආවෙ දෙවින් උනත් ආශව සම්බන්ධ දේකදි දෙවින් තමන්ගෙ කීමට වඩා ආශවගෙ පැත්තට බර වෙන වගක් නේත්‍ර දැනන් හිටියා.මේ වැඩේදි ආශවට හොරෙන් හැමදේම කරන්න ඕනි නිසා දෙවින්ව හිතෙන් කපලා දැම්ම නේත්‍ර තමන්ගෙ ඊලඟ තේරීමට ඔලුව අරං ගියා.

මොනයම් හේතුවකට හරි දෙවින්ට වඩා ඒ කෙනා තමන්ගෙ පැත්තට බර වෙයි කියලා නේත්‍ර විශ්වාස කලා.ඒකට හේතුවක් නේත්‍රට හිතාගන්න බැරි වෙද්දි අහේතුකවම නේත්‍ර ඒ කෙනාව තමන්ගෙ උදව් කාරයා විදියට විශ්වාස කරන්න තීරණේ කලා.මේකට ඕනි උනු මූලිකාංග විදියට තමන්ට විශ්වාසවන්ත කෙනෙක් වීමත්,ආශවට වරදක් නොකරන කෙනෙක් වීමත්,ආශවට මේ ගැන ආරංචියක් නොයෑමත් කියන කාරනා තුනම ඒ කෙනාගෙන් පිලිඹිබු වෙද්දි නේත්‍ර තමන්ගෙ දුරකථනෙ අතට ගත්තා.

"හෙලෝ සනුක අයියෙ....මට ඔයාව හම්බෙන්න පුලුවන්ද?"

දුරකථනෙ කනේ ගහගෙනම නේත්‍ර වත්ත පහලට පල්ලම් බහිද්දි නේත්‍රගෙ ඇස් ගිහින් නස් නාරං ගස් ගොල්ල ලඟ නැවතුනා.නස් නාරං ගහක් ලඟට ගිය නේත්‍ර උඩ පැනලා අත්තක් පාත් කරගෙන නස් නාරං ගෙඩියක් කඩාගනිද්දි ගහ පාමුල තිබ්බ ගැටපිච්ච වැලක් දිහාට නේත්‍රගෙ ඇස් ගියා.පිපිලා තිබ්බ මල කඩාගන්න එතනට නැවුණු නේත්‍ර මල කඩාගන්නවත් එක්ක එතන තිබ්බ තව දේකට ඇහැ ගිය නේත්‍රගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුනා.

ගහ පාමුල එක දිගට ඇදීගෙන ගිහින් තිබ්බ ගැටපිච්ච වැල නිසා ඒ හරියෙ කිසිම වල් පැලේකට ඉඩක් නොතිබෙද්දි ගැටපිච්ච වැලේ ආරක්ෂාව ලබන ගමන් වැවිලා තිබ්බ එකම එක පුංචි පැලේක දම් පාට මලක් ලස්සනට පිපිලා තිබ්බා.

...................................................................................................

වචන 6300+ 😪❤️

බෝරින් කියලා දන්නවා...සමාවෙන්ට...ඒත් ඉවසන්ට...හොද එව්වා ඉස්සරහට❤️

අදත් අදහසක් කියාගෙන යන්න බබාලා❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Previous
Last

Share This Chapter