Back
/ 6
Chapter 2

Chapter 2

අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔

🌸

"දැන් එතකොට කම්පනි එකට ජොයින් වෙන්නෙ නැතුව ටීච් කරන්න යනවා..?

ගෙදර ඉඳන් පේරාදෙණිය වෙනකන් තියෙන මේ පාරේ කලාතුරකින් එන වාහනයක් ඇරෙන්න තදබදයක් නොතියෙනකොට, මම වාහනේ ජනේලේ සම්පූර්ණයෙන්ම ඇරලා යන්තම් සීතලකුත් එක්ක එන මහ හුළං පාරට මගේ මූණ සිපගන්න ඉඩ දුන්නා.

"SS Lanka" ලංකාවේ ලොකුම සහ වැඩිම ලාභ ලබන කම්පනි එකක් වෙනකන් ගේන්න මනුර අප්පච්චිගේ වගේම මගේ අප්පච්චිගේ දාඩිය මහන්සිය තිබ්බා කියලා මම දන්නවා.

ඒ වගේම තව මාස ගානකින් මගේ අතට ලැබෙන්න නියමිත, මගේ අප්පච්චිගේ අන්තිම කැමැති පතේ උරුමක්කරු ඉස්සරහින් ලොකු අකුරින් 'සයුර රුවනාර අබේරත්න' නම ලියවිලා තියෙනවා කියලත් මම දන්නවා.

ඉතින් ඊට පස්සේ කම්පනි එකේ වැඩ භාරගන්න වෙනවා කියලත්, ඉස්සර ඔහේ බරක් පතලක් නැතුව වෙරල දිහාවටත් ආයෙත් ගැබුරු මුහුද දිහාවටත් පැද්දි පැද්දි හිටපු මේ අසරණ මුහුදට අර ඩිරෙක්ට අහසක් එක්ක කම්පනි එකට දුවන්න වෙනවා කියලත් මම දන්නවා.

ඊට පස්සේ...

එතනින් පස්සේ මොනවා වේවිද කියලා හිතලා තිබුණෙ නැතත් සමහරවිට ජීවිතේම බිස්නස් වෙලා බිස්නස් වලටම ජීවිතේ දියවෙලා යාවිදෝ මට හිතිලා තියෙනවා.

හෙඩ් ඔෆිස් එක තියෙන්නේ නුවර නිසා බොහෝදුරට මට නුවර නවතින්න වේවි. මේකලා අම්මාත්, මට ඔරව ඔරවා ඩ්‍රයිව් කරන නපුරු අහසත් මට මේ ගෙදර නවතින්න බල කරාවි.

එහෙම නවතින එක මට ලොකු සතුටක් වුණත්, අර කොහෙන්දෝ ආපු මන්දාකිණියව මගේ අහස කැන්දන් එන දවසට සමහරවිට මට තවත් එහේ ඉන්න බැරි වේවි.

ඉතින් හොඳම දේ දැන්ම ඈත් වෙන එක.

"තමුසෙට ටීච් කරන්නම ඕනි නං නුවර ### එකේ ප්‍රින්සිපල් මම හොඳට අඳුරනවා. එයාට කියලා ඒකේ ටීච් කරන්න හදලා දෙන්නම්.. ඕනි කාලයක් කරන එකක් කරලා එනවා. මං එතකං තමුසෙගෙ වැඩ ටිකත් බලාගන්නං.."

මං කොහොමත් ඕකේ කවදා වැඩ කරලා කියලද? මුල ඉඳන්ම හැම දෙයක්ම ඉගෙන ගන්න වෙනවා.

නපුරු අහස කැම්පස් අවුට් වෙනකන්ම මනුර අප්පච්චි දිගටම වැඩ ටික බැලුවත් දැන් දැන් හැමදේම පාලනය වෙන්නේ ඔය මෝඩ අහස අතින්. එයාලා බලන් හිටියෙම මාත් කැම්පස් අවුට් වෙලා එයාලත් එක්ක ජොයින් වෙනකන්.

ඒත් ඊට කලින් මට මගේ හිත නිවාගන්න ඕනි වුණා.

ආදරෙයි කැස්සයි හංගන්න බෑලුණේ. මට බයයි මනුර අප්පච්චිගේ ඇස් කියවන සාස්තරේ තව තව අය දන්නවද කියලා.

"නුවර නෙමෙයි.. මට කොළඹ.."

"ඇයි උඹ කොළඹින් ගෑනියෙක් හරි මිනිහෙක් හරි එල්ලගත්තද කොළඹ යන්න දඟලන්නේ..?

"මොන ගෑනුමිනිස්සුද.. පිස්සුද..

මං කියන්න හැදුවේ කොළඹ ස්කූල්ස් ගොඩකට මං ඇප්ලයි කලානේ. ඒකෙන් එකක් හරි ඒවි කියලා මට ෂුවර්.."

එල්ලගන්න කැමති ඒත් බැරි, මනුස්සයා ඉන්නේ නුවර. ඒ නිසයි මං කොළඹ දුවන්න දඟලන්නේ.

"ඒ මොක වුනත් උඹ ආයෙ කොළඹ යන්න ඕනෙ නෑ.."

"ඒ මොකද? ඉන්ටවීව් ආවොත් මං යනවා.."

"උඹට ඉගැන්නෙන්නෙ කොළඹ විතරද?

මට කියලා කන පලාගන්න එපා සයුර..

කිව්වනේ එකසැරයක්.

උඹට උගන්නන්න ඔච්චර තදියම නං මං අර ඉස්කෝලෙ හදලා දෙන්නං කියලා.."

සයුර..?

ගොඩ කාලෙකින් ඒ කටින් මගේ නම ඇහුණේ. නෑ නෑ සතුටු වෙන්න එපා..

ඔය දුෂ්ඨ අහස මට සයුර කියන්නේ අම්බානකට කේන්ති ගියාම.

"තමුසෙ නැහැයි නැහැයි කිව්වට මට නං සත පහකට ෂුවර් නෑ උඹ ජපුරේ ගිහින් කොක්කක් ගහන්නැතුව එලියට ඇවිත් කියලා."

"ඇයි මිනිස්සු ජපුරෙ යන්නෙ කොකු ගහන්නද? මං හිතුවෙ ඉගෙනගන්න කියලා. අපරාදේ ඉගෙනගත්තෙ එහෙනං. කොක්කක් ගහගන්ඩ තිබ්බා."

බ්‍රාස් ගාලා කාර් එක නැවතුනේ පේරාදෙණිය පාක් එක ඉස්සරහා පාකින් එකේ.

ඊළඟට දඩස් දඩස් ගාලා ඇරලා වැහෙන සද්ද එක්ක මට තේරුණා අර කේන්තිකාර අහස මාවත් දාලා පාක් එකට ගියා කියලා.

ඒක පුදුම කේන්තියක්නේ යකෝ..

එයාට විතරක් නෙවෙයි අපිටත් පුළුවන් දඩස් දඩස් ගාලා වාහනේම අනික් පැත්ත පෙරලන්න. හා නැද්ද..

වාහනේ ඇතුලේ දාලා ගිහින් තිබිච්ච යතුර අතට අරගත්තු මම, වාහනෙන් බැහැලා දොර වහලා ලොක් කලා.

"මෙහෙ එනවා යන්න.."

මගේ වම් අත තදට විසාල අතක පැටලෙනකොට මූන තද කළු වෙච්ච නපුරු අහසක් පාර දෙපැත්ත බල බලා මාව පාරෙන් එහා පැත්තට පරිස්සමට අරගෙන ආවා.

මං හිතුවෙ අර කේන්ති ගිහිල්ලා වාහනෙන් බැහැපු විදිහට, දැන් පාක් එකේ එහා කොනටවත් ගිහින් ඇති කියලා.

මූනට ආව හිනාව තොලත් හපාගෙන නවත්තගත්තු මම ආපිට ඒ අත ඇඟිලි වලින් තද කරලා ලොක් කලා.

ටිකට්ස් අරගෙන පාක් එක ඇතුලට යනකන්ම මගේ අත තිබුණේ ඒ අත අස්සේ ලොක් වෙලා.

අර කියනවා වගේ නුවර ඉස්කෝලෙක උගන්නන්න බැරි කමක් නෑ. ඒත් මෙතන ප්‍රශ්ණේ එයා. මට ඕනි හිත හදාගන්න මිසක්, එයා ඉස්සරහා ඉඳගෙන තවත් හිත කඩාගන්න නෙමෙයි.

ඉතින් ඒ නිසයි නුවරට වඩා කොළඹ දුවන්න දඟලන්නේ.

මං මගේ එහා පැත්තට වෙලා අත් දෙකත් සාක්කුවලට දාගෙන ආඩම්බර ගමනෙන් යන එයා දිහා යන්තමට බැලුවා.

මට මතක ඇති කාලේ ඉඳලම එයා ඇවිද්දේ එහෙම. පොඩිම කාලේ පණ්ඩිතකමට මාත් එක්ක කියවනකොටත් ඔය අත්දෙක සාක්කු ඇතුලේ තියාගෙන ඉන්නවා මට මතකයි.

ඒ මොනවා උනත් එයා එහෙම ඉන්නකොට හරි අමුතුයි. ඒ අමුත්ත වැඩි වෙනකොට මගේ පපුව ඩග් ඩග් ගාලා සද්ද කරන තරමට ඒක මහ අමුතුයි.

තාර පාර දිගේ මාවත් පාස් කරගෙන ඉස්සරහට ගිය අර නපුරු අහස දකුණු පැත්තට හැරුණා.

ගාඩ්න් එකේ ඉස්සරහට ගිහිල්ලා දකුණට හැරුනම හම්බ වෙනවා ගාඩ්න් එකේ කොනකම තියෙන රෝස යායක්.

මං කියන්නේ අර ලස්සනට වවලා තියෙන රෝස යාය නෙමෙයි, අර අර පරණම පරණ පොකුණක් එක්ක අමුතු පෙති තියෙන පොඩි රෝස මල් තියෙන රෝස යායක් ගැන.

එතෙන්ට වැඩිය කවුරුත් එන්නේ නෑ. මං පේරාදෙණිය ගාඩ්න් එකට ආපු හැම වතාවකම වගේ ඔය රෝස යාය තිබුණෙ පාළුවට ගිහිල්ලා.

ඉතින් ඔන්න අදත් මහත්මා ගති ඇති අහසක් යනවා පාළු වෙච්ච රෝස යායට තනි රකින්න.

මාත් ඒ පස්සෙම ඇදුණා. මොකද මෙහේ එන හැම වතාවකම අහසකුත් මුහුදකුත් රෝස යායක් එක්ක බජනෙට යනවා.

"මං කෙනෙක්ට ආදරේ කරනවා.."

සමහරවිට මේ ගස් අස්සේ ගිය නිසා සතෙක්වත් රිංගුවද කොහෙදෝ.. මට දැනෙනවා පපුව හීරෙනවා වගේ වේදනාවක්.. ඔව් එහෙම වෙන්න ඕනි.

"එයාගේ විශේෂ දවසක් ළඟම එනවා. මං එදාට ප්‍රපෝස් කරන්න හිතන් ඉන්නේ.."

"ආහ් එයාගේ උපන්දිනේද?

මන්දාකිණිය මොන මාසෙද කියලා මතක නැතත්, මතක විදියට මටත් වඩා අවුරුද්දක් බාලයි.

"උපන්දිනේටත් වඩා හොඳ දවසක්."

මනුර අප්පච්චිගේ කතාව ඇත්ත.

'දරාගන්න හරිම අමාරුයි'

✨️

වාහනේ ගේට් එකෙන් ඇතුළට දානකොටම වොච්මන් කිව්වේ අමුත්තෝ ඇවිත් කියලා.

මම අහස දිහා බලන ගමන් ඉස්සරහා බලාගත්තේ රතුපාට රෝයර් එකක් ඇස් වලට අහුවෙනකොට.

"කවුද ඒ?

මම හිතින් අහපු ප්‍රශ්ණය එයා කටින් පිට කරනකොට, මට තේරුණා එයත් ඒ ගැන දන්නෙ නෑ කියලා.

"ආ මේ ඇවිත් ඉන්නේ ප්‍රින්ස් චාමින්.."

නුහුරු ගැහැණු කටහඬක් ඇහෙනකොට, මම ඔලුව උස්සලා මැද සාලය දිහා බැලුවා.

මන්දාකිණියක් වික්‍රමසිංහ මැදුරට පායලා තිබුණා.

"කොහොමද අහස් පුතා.."

පටන්ගන්න යන කතාවේ මාතෘකාව අහසක් වෙනකොට මුහුදක් හිමිහිට පඩිපෙල දිහාවට ගෑටුවා.

"අර ඉන්නේ අබේරත්නලාගෙ ඔන්ලි සන් නේද? එයා තාමත් මෙහේ එනවද?

පඩි දෙක තුනක් නගිනකොට ඇහුනු දේත් එක්ක නොනැවතීම උඩට ආවා.

මොකද ඕක නතර වෙන්නේ මැරිච්ච අම්මා අප්පච්චිවත් නුහුලන ඕපාදූප ගොන්නකින් නිසා.

මට මෙහෙන් යන්න ඕනි.

එයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනි.

කොළඹ ඉඳන් නුවර එනකොට හයිය කරගෙන ආපු හිත එක දවසට කැඩිලා බිඳිලා ගිහින් තිබුණා.

මං නැගිටලා ගිහින් බෑග් එකේ කොනක හංගලා තිබුණු පොඩි ලී පෙට්ටිය අතට ගත්තා.

ගිය වතාවේ නුවර ආවම මං පේරා ගාඩ්න් එකට ගිහින් හොරකං කරගෙන ආපු දෙයක් මේක.

අර පාළුවට ගිය රෝස මල් යායේ ගාඩ්න් එක මායිමේ මීට අවුරුදු ගානකට කලින් ඕලෙවෙල් කරන මුහුදකුයි ඒලෙවෙල්ස් වල හිටපු අහසකුයි හරි ලස්සනට කැටයම් දාපු පොඩි ලී පෙට්ටි දෙකක් බෑග් වල ඔතලා නිදන් කරාලූ.

ඕලෙවෙල් කාලේ හිතේ තිබුණු ආදරේ ලියපු කොළ ගොඩක් පිරුණු මගේ පෙට්ටියත් මොනවා ලියල තියෙනවද කියලා අදටත් මම නොදන්න එයාගෙ පෙට්ටියත් අවුරුදු දහයකින් - ඒ කියන්නේ මේ අවුරුද්දේ එළියට ගන්නකොට මගේ ඒ ආදරේ හිමිවේවි කියලා බලාපොරොත්තු වුනාලු.

බලාපොරොත්තු හැම එකක්ම ඉටු වෙන්නේ නෑ හිතවත !

ඒ කොයික කෙසේවෙතත් තාමත් ඉටිකොල වලට වැහිලා තියෙන ලී පෙට්ටිය ඇරලා බලන්න හිත අදිමදි කරනකොට, මම ආපහු ඒක ඇඳුම් දාන කබඩ් පේලියේ කොනක හංගලා දැම්මා.

✨

"ඇයි තමුසේ උඩට ආවේ?

"ගෙදරට කට්ටිය ඇවිත් ඉන්නකොට මං එතන ඉන්න එක හොඳ නෑනේ.."

"ඇයි තමුසෙට ලාදුරුද.."

"මොකද අද උදේ ඉඳන්ම එල්ලෙන්න හදන්නේ...?

"මොකද අහන්නේ..? පේරා කැම්පස් ආවෙ නැති වුනොත් මෙහේ ප්‍රයිවට් කැම්පස් යමු කිව්වම ඒ බෑ කියලා අර කොළඹ ගෙදර තනියම හිටියා.."

"තනියම නෙමේනෙ. සීතා ආන්ටි හිටියා.."

"කට වහපං..

අවුරුදු හතරක් එහේ ඉඳලා මේ නුවර ආවා විතරයි උඹට ආයෙම කොළඹ යන්න තදියම.

උඹට අර අම්මා අප්පච්චි එයාලගෙම පුතා විදියට සලකනකොටත්.., උඹ හිතුවද මගෙ ඇස් පොට්ටයි කියලා.. උඹ හිතුවද උඹ ටිකෙන් ටික වෙනස් වෙනවා.. අපෙන් ඈත් වෙනවා කියලා මට නොතේරෙනවා කියලා.."

"අහස්.. අයියේ.."

"උඹට කියලා වැඩක් නෑ බන්.. මං හිතුවේ මට දැනෙන දේවල් ඇත්ත කියලා.. ඒත් එහෙම නෙමෙයි වගේ.."

"මොකක්ද දැනෙන දේ..?

"මුකුත් නෑ.. මං යනවා.. ගුඩ් නයිට්.."

දඩාස් සද්දෙට දොර වැහෙනකොට මං තද කරලා ඇස් දෙක පියාගත්තා.

එක්කෝ මම ජීවිතේ එකම එක වතාවක් විතරක් ආත්මාර්ථකාමී වෙන්නද?

🌸

🌸

To be Continued...

🌸

Share This Chapter