Back
/ 35
Chapter 7

Part 7

සීමාවෙන් එහා

මම ඇහැරුණේ ජනේලෙන් කාමරේට එළිය වැටෙද්දි. හම්මේ...තාම කකුල රිදෙනවා. මම පොඩ්ඩක් ශීට් එක එහෙ මෙහෙ කරලා මගෙ විලුඹ දිහා බැලුවා. බැන්ඩේජ් එක නිසා තාම ඉදිමිලාද කියලා පේන්නෙ නෑ ඒත් තාමනම් ඊයේ වගේම රිදෙනවා.

අනේ හෙට වෙද්දි අඩු වුණොත් හොඳයි...මම කැමති නෑ මෙහෙම ගෙදරට වෙලා ඉන්න. අනික අද අම්මත් මම නිසාම ඉස්කෝලේ ගියෙ නෑ. පව්..

තප්පරයක් එහෙ මෙහෙ වෙච්ච එක මෙච්චර දෙයක් වෙයි කියලා මං හිතුවෙ නෑ. ඊයේ, ඒ කියන්නෙ අඟහරුවාදා ශෝ එකේ ප්‍රැක්ටිස්නෙ. තව සති දෙක හමාරක් වගේ තියෙන්නෙ. ඒ නිසා ළමයි සෑහෙන්න මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරනවා. රෑ වෙනකනුත් ඉන්නවා ගොඩක් අය. මොනවා වුණත් අලුත් බැච් එකේ ශෝ එක ලස්සනට තියෙන්න එපැයි...මේක තමා කැම්පස් එකේ ගොඩක් අයට අපි ගැන හම්බෙන ෆස්ට් ඉම්ප්‍රෙශන් එක.

ඊයෙ දවල් වරුවෙ වගේ මං හිතන්නෙ...අපි කොල්ලො තුන් හතර දෙනෙක් එකතු වෙලා ඩෙකරේශන්ස් ගැන කතා කර කර හිටියා ස්ටේජ් එක උඩ. කොයි තර්ම් උසින් ඒවා එන්න ඕනෙද වගේ ඒවා කතාකරද්දි මෙශමන්ට් ගන්න මම පුටුවක් උඩට නැග්ගා. නැගලා විනාඩියක් යන්න හම්බුනේ නෑ පුටුව බැලන්ස් නැතිවෙලා මම ඇදගෙන වැටුණා.

වෙනනම් ආබාධයක් වුණේ නෑ කකුල පෙරලුණා. හම්මේ ඒ වෙලේ ආපු වේදනාවනම් ආයෙ කතා කරන්න ඕනෙ නෑ...මම කකුල අල්ලගෙන එහෙම්ම හිටියා විනාඩි පහක් විතර. මාත් එක්ක හිටපු උන් ටික මාව සික් රූම් අරන් යන්න හැදුවත් ටිකකින් වේදනාව අඩුවෙලා ගිය නිසා මම කිව්වා ඕන්නෑ කියලා. ඒ නිසා ඒ වෙලේ අයිස් ටිකක් විතරක් තියලා පැය බාගෙකින් වගේ මම ආයෙ සාමාන්‍ය විදිහට වැඩ කරා.

උඩ නගින්න ගියෙ නෑ...ඒත් ප්‍රැක්ටිස් එහෙම කරන්න පුලුවන් වුණා සාමාන්‍ය විදිහට. ඒත් මෙන්න හවස තුන විතර වෙද්දි ඉදිමිලා ආවෙ නැද්ද ආයෙම. මම කකුල හොල්ලන්නවත් බැරිවෙද්දි ආයෙම කලින්ටත් වඩා දරුණු වේදනාවක් දැනුණා. කලින් සික් රූම් ගියෙ නැති එකට බැන බැන එතන හිටපු කොල්ලො දෙන්නෙක් මාව වත්තම් කරන් සික් රූම් පැත්තට ආවා.

මට එහෙමවත් ඇවිදගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ...අමාරුයි. ඒත් ළමයි තැන් තැන් වලනෙ. මාව උස්සන් එන්න පුලුවන් මට්ටමේ එකෙක් ඒ වෙලේ එතන හිටියෙ නෑ. ගොඩක් අය දන්නෙත් නෑ අනික, අඩු ගානෙ මගෙ උන් දෙන්නවත්. ඒ වෙලේ මේන් හෝල් එකේ ගොඩක් අය හිටියෙ නෑ.

සික් රූම් එක පෙනි පෙනී තියෙද්දි මම දැක්කා ලවන් කලබලෙන් වගේ මගෙ දිහාට දුවගෙන එනවා. එයාට කවුරුහරි ඉන්ෆෝර්ම් කරන්න ඇති. කොහොමත් තාම ඇකඩමික් පටන් අරන් නැති නිසා අපෙ වගකීම තියෙන්නෙ ඉන්ග්ලිශ් කෝස් එක බාරව ඉන්න ලෙක්චරර්ට තමා.

"විදුර්...ඇයි මේ?? මොකද කරගත්තේ??"

ලවන් ඇහුවෙ ගොඩක් වදවුණ කටහඬකින්. එයා හිටියෙ බයවෙලා වගේ...ඒත් පුලුවන් උපරිමෙන් ප්‍රොෆෙශනල් විදිහට කතා කරන්න ට්‍රයි කරනවා කියලා මට තේරුණා.

"විදුර්ගෙ කකුල පෙරලුණා සර්...අපි කිව්වා එවෙලෙම සික් රූම් එමු කියලා ඇහුවෙ නෑනේ. දැන් ඉදිමිලා."

අනේ පගෝ හැම මඟුලම කියන්නැතුව වුවමනා දේ විතරක් කියපන්. දැන් මේ වේදනාව මදිවට ඒකට බැනුම් අහන්නත් එපැයි. කොහොමත් රවලා බලපු විදිහෙන්ම මට තේරුණා ඉදිරිය අසුබවාදී කියලා.

"ඔහොම යන්න බෑනෙ ඉතින්...කෝ එන්න."

ලවන් එහෙම කියාගෙනම මාව උස්සලා අත් දෙකට ගත්තා. අනේ දෙයියනේ...ඒ වෙලාවෙනම් වේදනාව අමතකම වෙලා ගියා මට. මගෙ අත් දෙක ලවන්ගෙ බෙල්ල වටේ එතෙද්දි මම තප්පරේකට එයා දිහා බැලුවා. එයානම් මගෙ දිහා බලන් හිටියෙ නෑ එයා තාමත් හිටියෙ බයවෙලා වගේ.

කොහොමත් මගෙ කකුල දැක්කම බය හිතෙනවා...ඒ තරම් ඉදිමිලා තිබ්බෙ. සපත්තු මේස් අයින් කරලා තිබ්බ නිසා හොඳට පේනවා.

ලවන් අපෙ ලෙක්චරර් නිසා එයා මෙහෙම කරන එකේ අවුලක් නෑ කොහොමත්...ඒත් මම කොහොමද දෙයියනේ දරාගන්නෙ. මගෙ පපුව ගැහෙද්දි මම යන්තම් ලවන්ගෙ පපුව ගාවින් මූණ හංගගත්තෙ මහෙ මූණෙ තියන හැඟීම් පිටට පේන්නැතිවෙන්න. රෝස පාට වෙලා නැතුවැති නේ...?

ඒකත් යසයි හැබැයි...පළවෙනි වතාවට බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සන්න වුණ හැටි බලහන්කො ඉතින්. කමක් නෑ එක්කො. පුරුදු වෙන්නත් එපැයි මෙහෙම හරි.

ලවන් මාව සික් රූම් එකේ ඇඳක් උඩින් තියනවත් එක්කම මගෙ කකුල දැකලා බයවුණ නර්ස් අක්කා කෙනෙක් මගෙ දිහාට දුවගෙන ආවා.

"කකුල පෙරලුනාද...මෙච්චර ඉදිමෙනකන් මොකද කරේ??"

අක්කා ඒක ඇහුවෙ ෆ්‍රෙන්ඩ්ලි විදිහට වුණත් මට ආයෙම මල පැන්නා. ඇයි යකෝ මුන් ඔක්කොම අනම් මනම් කියලා යයි...මම එපැයි ඔක්කොම එකතු කරලා බැනුම් අහන්න. ආයෙම එක්තරා පුද්ගලයෙක් මට රවද්දි මම බිම බලාගත්තා.

"ඒ වෙලාවෙ අඩුවෙලා ගියා මිස්..."

"එහෙමයි කියලා කකුල පෙරලුණාම නෑවිත් ඉන්නවද?? පුදුමයි මෙච්චරවත් ඉවසුවා..."

නර්ස් අක්කා කියද්දි මම මෝඩ පහේ හිනාවක් දැම්මා. හරි හරි කලින් එන්න තිබ්බා තමා ඒත් දැන් හරි ආවනෙ...බෙහෙතක් කරපන්කො හත්වලාමෙ රිදෙනවා.

"ඉන්න මම අයිස් ටිකක් අරන් එන්නම්..."

නර්ස් අක්කා මටයි ලවන්ටයි දෙන්නටම කියලා එතනින් ගියා. ලවන් කවුද කියලානම් එයා අනිවාර්යෙන් දන්නවා ඇති...ස්ටාෆ් එකේනෙ.

"ක්‍රිෂාන්, විරංග...තෑන්ක්ස් ඔය දෙන්නට. දැන් එහෙනම් ඔයාලා යන්න මම ඉන්නවනෙ. ප්‍රැක්ටිස්ද ඔයාලට?"

"ඔව් සර්...ප්‍රැක්ටිස් කර කර හිටියෙ. සර් විදුර් එක්ක ඉන්නවනෙ නේ එහෙනම්?"

"ඔව් විරංග...ඔයාලා මගෙ රෙස්පොන්සිබිලිටි එකනෙ කොහොමත්. ලොකු අවුලක් වුණොත් මම ඉන්ෆෝර්ම් කරන්නම් පේරන්ට්ස්ලට."

ලවන් හිනාවෙලා සාක්කුවට අත් දෙකත් දාගෙන කිව්වා. අනේ ඉතින් රඟපෑම...ඔයාලා මගෙ රෙස්පොන්සිබිලිටි එකනෙ යැයි යැයි තමා. වෙන කාගෙහරි කකුල පෙරලුනත් මෙහෙම උස්සන් එනවද ඒ කියන්නෙ?? අනිත් කකුලත් පෙරලගන්න තමා එහෙනම්.

"හරි සර් අපි යන්නම්...විදුර් අපි යනවා. පරිස්සමින් ඈ."

"අඩෝ දෙන්නටම තෑන්ක්ස් ඈ..."

මම දෙන්නටම කියද්දි ක්‍රිෂාන් ඇවිත් මගෙ පිටට තට්ටුවක් දාලා ලවන්ටත් යන්නම් කියලා ගියා. ආයෙම ගිනිගන්න මූණක් බලාපොරොත්තුවෙන් ශේප් එකේ ලවන් දිහාට හැරුණත් මගෙ ගැලවුම්කාරයා වගේ නර්ස් අක්කා ආපු නිසා යන්තම් බේරුණා.

එයා ඉදිමුණු තැනින් අයිස් තියලා තෙත මාත්තු කරලා තවලා ඔක්කොම කරලා අන්තිමට බැන්ඩේජ් එක්කුත් බැන්ඳා.

"ටිකක් රෙස්ට් කරන්න...ඇවිදින්නනම් ටිකක් අමාරු වෙයි දැන්ම."

"හරි මිස්..."

"මොනවහරි ඕන්නම් කියන්න...මිස්ටර් ලවන් මේ ඔයාගෙ ක්ලාස් එකේ ළමයෙක්ද?"

"ඔව්...මගෙ ක්ලාස් එකේ මිස්."

"පේරන්ට්ස්ලට ඉන්ෆෝර්ම් කරන්න වෙයි...මෙයාට අමාරුයිනෙ."

"හරි මිස් මම ඉන්ෆෝර්ම් කරන්නම්..."

"මිස්ටර් ලවන් ඉන්නවනෙ එහෙනම්...වුවමනාවක් වුණොත් මට කතා කරන්න. මම රූම් එකේ ඉන්නෙ."

"ඕකේ මිස්..."

"මේ...තැන්ක්‍ යූ මිස්."

මම වේදනාව මැද්දෙන් පුලුවන් තරම් හිනාවෙලා කියද්දි එයා මගෙ ඔලුව පොඩ්ඩක් ඇවිස්සුවා.

"යූ ආර් වෙල්කම්...කලින්ම ආවනම් මෙච්චර එකක් වෙන්නෑ හැබැයි හොඳේ. මීට පස්සෙවත් මතක තියාගන්න."

ඔය ඉතින් බෑනෙ කරන්න. අනේ තැන්ක් කරාම පාඩුවේ ඒක පිළි අරන් යන්නකො අක්කෙ මෙතන ගිනි අවුලන්නැතුව...මට ඒක කිය කිය ඉන්න වුණේ නෑ කොහොමත් නර්ස් අක්කා වටේ තිබ්බ කර්ට්න් එකත් ඇදගෙන යන්න ගියා. මේකෙත් තියෙන්නෙ අර ගවර්මන්ට් හොස්පිට්ල් වල තියෙන්නෙ ඇඳ දෙපැත්තේන් කර්ට්න්...අන්න ඒ වගේ.

නර්ස් අක්කා ගියත් එක්කම මම කොට්ටෙට හේත්තු  වෙලා අත් දෙකේ ඇඟිලිත් පටලගෙන බිම බලාගෙන හිටියා. ලවන් තාමත් කලින් විදිහටම අත් දෙක සාක්කුවේ දාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා කියලා මට තේරුණා.

"විදුර්..."

"ම්ම්...?

"කෝ මගෙ දිහා බලන්න..."

"අනේ බනින්න එපා හොඳේ...දැනට මේ රිදෙන තරම් ඇති."

මම අහිංසකයා වගේ මුමුණලා කියද්දි ලවන්ට හිනා ගිහින් ඇඳේ මගෙ ගාවින් ඉඳගත්තා. පොඩ්ඩක් කූල් ඩවුන් වුණා කියලා තේරුණාට පස්සෙ තමා මම ඔලුව උස්සලා එයා දිහා බැලුවෙ.

"බනින්න නෙවෙයි තියෙන්නෙ මේ කරන වැඩ වලට. ඇක්සිඩන්ට් එකක් වුණාම සික් රූම් එන්න තේරෙන්නැද්ද?? අඩුම මට ඉන්ෆෝර්ම් කරන්න තේරෙන්නැද්ද? වෙන මුකුත් නෙවෙයි ඔයාලගෙ ගාඩියන් විදිහටවත්...මීට වඩා දෙයක් වුණානම් එහෙම...පණ්ඩිතකමනම් තියනවා-"

"ඔය බනිනවනෙ ඉතින්..."

මම ආයෙම බිම බලාගෙන කියද්දි ලවන් කිය කිය හිටපු එක නවත්තගත්තා. ඔක්කොටම වඩා රිදෙනවනෙ අප්පා එයා සැරෙන් කතා කරද්දි...තේරෙන්නැද්ද?

"පුදුම මායම් මේවනම්..."

ලවන් ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉඳලා හිනාවෙලා කිව්වම මම කෙලින්ම ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

"මායම්?? කාගෙද මගෙද...?"

"නෑ නෑ මගේ...හරි ආයෙ බනින්නෑ."

ලවන් මගෙ අතක් අල්ලගෙන සන්සුන්ව කියද්දි මම කෙලින්ම එයාගෙ ඇස් දෙක දිහා බලන් හිටියා.

"මීට වඩා පරිස්සම් වෙන්න විදුර්...ඔයා ඔහොම දේවල් කරගද්දි රිදෙන්නෙ ඔයාට විතරක් නෙවෙයි."

ලවන් ඒක කිව්වෙ ගොඩක්ම වදවුණ කටහඬකින්. මට ගොඩක්ම දුක හිතුණා එයා ඒ කියපු විදිහට. අනේ මම ඉතින් හිතලා කරගත්තෙ නෑනෙ...හරි පොඩ්ඩක් නොසැලකිලිමත් වුණා තමා ඊට පස්සෙ ඒත්-

මම හිතනවටත් වඩා එයා මං ගැන වදවෙනවා...මේක ඇත්තටම පොඩි දෙයක්නෙ. ඒත් ඒකටත් එයාගෙ ඇස් දෙකේ තියන වේදනාව...

"හරි මට- මට තේරෙනවා...සොරි-"

මම ආයෙම එයාගෙ ඇස් මඟෑරලා බිම බලාගෙන කියද්දි ලවන් මගෙ අත් දෙකම අල්ලගත්තා.

"සොරි කියන්න ඕනෙ නෑ ළමයො...ආයෙ මීට වඩා පරිස්සම් වෙන්න ඕනෙ හොඳද?"

"ම්ම්..."

ලවන් මම එහෙම කියද්දි මගෙ එහා පැත්තට ඇවිත් මගෙ කරට අත දාලා එයාට හේත්තු කරගන්න හැදුවා. ඒත්...මෙතන? මට බය හිතුණා.

"ලවන්...කවුරුහරි ආවොත් එහෙම?"

"බයවෙන්න එපා..."

ලවන් කිව්වෙ ගොඩක් සන්සුන්ව...එයාගෙ හිතේ පොඩි බයක්වත් ගෑවිලා තිබ්බෙ නෑ. එයා එච්චර විශ්වාසෙන් කියන්නෙ කොහොමද බයවෙන්න එපා කියලා??

"ඒත්...බෑ. මට බයයි කවුරුහරි-"

"කෝ මෙහෙ බලන්න..."

ලවන් මම කියපු එක ඉවර කරන්නත් කලින් මගෙ නිකටින් අල්ලලා මාව එයාගෙ පැත්තට හරවගත්තා.

"විදුර්...මම දවසක් කිව්වා නේද එළියෙදි, තව ගොඩක් අය ඉන්න තැනකදි අපි දෙන්නා කොයි විදිහට හිටියත් ගැන බය වෙන්න එපා කියලා?"

ලවන් එහෙම කිව්වා කියලා මට මතකයි ඒත්...එයා කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ. කට්ටිය ගොඩක් ඉන්න තැනක නෙවෙයිද අපි බයවෙන්න ඕන?

"මට මතකයි ඒත්-"

"ම්ම් මතකයිනම් දැන් බය නැතුව එන්නකො..."

ලවන් ආයෙම විශ්වාසෙන් කියලා මාව එයාගෙ උරහිසට හේත්තු කරගද්දි මම එයාට විරුද්ධ වුණේ නෑ. මට කොහොමත් එහෙම සනීප වැළඳගැනීමක් ඕනෙ වෙලා තිබ්බෙ. කකුල රිදෙනවා හුඟක්...

ඒත් ලවන් මාව තුරුල් කරගෙන මගෙ උරහිස හිමීට අතගාද්දි මට ටික ටික වේදනාව අමතක වෙලා ගියා. මම මගෙ අතකින් එයාගෙ නිදහසේ තිබ්බ අතක් අල්ලගත්තා.

"රිදෙනවද හුඟක්...?"

"ම්ම්..."

"මොනවද කරන්න ගියේ...?"

"ඩෙකරේශන්ස් වලට මෙශමන්ට්ස් ගන්න ගියේ..."

"ම්ම් කමක් නෑ...ඔහොම දේවල් වෙනවා. ඒත් මීට පස්සෙ පරිස්සමින් හොඳද?"

ලවන් යන්තම් මගෙ පැත්තට හැරිලා මගෙ නළලින් එයාගෙ තොල් තියලා කිව්වා. හැමදාම මේ වගේ ආදරේකට කැමැත්තෙන් හිටියත් මම හීනෙන්වත් හිතුවෙ නෑ මට එහෙම ආදරයක් ලැබෙයි කියලා. හිත පුරාම පිරුණු ලෝබකමකින් මම එයාට තවත් ටිකක් තුරුල් වුණා.

"ගෙදරට කියන්න ඕනෙ විදුර්...දැන් නර්සුත් කිව්වනෙ."

"මම නම්බර් එක දෙන්නද...?"

ලවන් ෆෝන් එකත් එළියට අරන් ඇඳෙන් නැගිටිද්දි මම එයාගෙන් ඇහුවා.

"ඩීටේල්ස් තිබ්බ මේල් එකක් තිබ්බා දැන් හොයන්න බෑ...දෙන්නකො."

මම ලවන්ට අප්පච්චිගෙ නම්බර් එක අරගෙන දුන්නා. අම්මට කෝල් කරන්න බෑ පොඩ්ඩ ඇත්තම් බයවෙනවනෙ...දෙක කරයි මෙතන.

ලවන් මම දුන්න නම්බර් එක ඩයල් කරලා මගෙ ඇඳ ගාවින් එහාට ගියා. එයා එනකම් මමත් ඇඳ වියලට හේත්තුවක් දාගෙන උඩ බලන් හිටියා. දැන්නම් පොඩ්ඩක් විතර අමාරුව අඩුයි.

"අප්පච්චි එන්නම් කිව්වා...කොච්චර වෙලා යයිද එන්න?"

"පැයක් යන එකක් නෑ..."

"ම්ම්...මේ ඩොක්ටර් මේ බෙහෙත් ටික ගන්න කිව්වා ෆාමසි එකෙන්. පේන් කිලර්ස් වෙන්න ඇති. යන ගමන් ගන්න පුලුවන් නේද?"

"පුලුවන්..."

මම කියද්දි ලවන් ආයෙම මගෙ දිහා දුක හිතෙන විදිහට බලන් ඉඳලා මගෙ ඔලුව අතගෑවා.

"ලවන්...මේක පොඩි දෙයක්නෙ. ඔච්චර හිතන්න එපා."

එයාගෙ හැඟීම් තේරුම් ගත්ත මම සන්සුන්ව කියද්දි එයා යන්තම් හිනාවෙලා ආයෙම මගෙ එහා පැත්තෙන් ඉඳගත්තා.

"කටනම් තියනවා ඉතින්..."

ලවන් හිමින් කිව්වෙ ආයෙම මාව එයාට හේත්තු කරගන්න ගමන්.

"දවස් දෙකක් විතර රෙස්ට් කරන්න හොඳද...මම අයිටී යුනිට් එකට කියන්නම් අවුලක් වෙන්නෙ නෑ."

"අනේ..."

"අනේ පනේ නෙවෙයි රෙස්ට් කරලා හොඳ කරගන්න ඉක්මනට. ශෝ එකට යන්න ඉන්නෙ නොන්ඩි ගගහද?"

හප්පේ එයාගෙ සැර ඉතින්...මාත් මුකුත් නොකියා කට පියන් හිටියා. අප්පච්චි ඉන්නෙ නුවර ඉක්මනට එනවා කියලා කෝල් එකක් දෙනකන්ම මම එහෙම්ම ලවන්ට තුරුල් වෙලා හිටියා. එයා මාව බදාගෙන හිටපු අතින්ම හිමින් මගෙ ඔලුව අතගාද්දි මට නින්ද යාගෙනත් ආවා. ඒත් අප්පච්චි ආවා කියලා කෝල් එක ආපු නිසා මම යන්න ලෑස්ති වුණා.

ඒ වෙද්දි සිනෙලිටයි ටිනාශටයිත් මට වෙච්ච දේ ආරංචි වෙලා මාව බලන්න ඇවිත් හිටියෙ. උන් දෙන්නා මගෙ බෑග් එකයි ගිටාර් එකයි සපත්තුයි ඔක්කොම එකතු කරලා ගෙනත් දීලා මදි පාඩුවට ලුණු ඇඹුලුත් දාලාම බැනලා ඊට පස්සෙ බැන්න එකට දුක හිතිලා ආදරේට කන්න යෝගට් දෙකකුත් ගෙනත් දීලා ගියා.

ගෙදර ඇවිත් පේන් කිලර්ස් ගත්තට පස්සෙ සෑහෙන්න අඩු වුණා. ඒත් ආයෙ උදේ නැගිටිද්දි තමා ඊයේ වගේම අමාරුව දැනුණෙ. උදේ නැගිට්ට පස්සෙ අම්මා මාව එක්කන් ගියා ළඟ ඉන්න වෙද මහත්තයෙක් ගාවට. අපි ඔය කොච්චර කිව්වත් කැඩුම් බිඳුම් වලටනම් සිංහල බෙහෙත් තමයි ඉතින්.

ඒ වෙද මහත්තයා දීපු බෙහෙත් වලටනම් මට සෑහෙන සනීපයක් දැනුණා. කොළ පාට තෙල් එකක්...එයාම ගාලා බැන්ඩේජ් කරලා මට අරන් එන්නත් දුන්නා. අද රෑ වෙද්දිම අමාරුව ඇරිලා යයි කිව්වා එයානම්.

බෙහෙත් දාගෙන ඇවිත් මම කකුල තෙමන්නැතිවෙන්න වොශ් එකකුත් දාලා දවල්ට අම්මා ඇඳටම ගෙනත් දීපු කෑම එකත් කාලා ඇඳේ උඩුබැලි අතට දපලා හිටියා. කම්මැලි...මෙහෙම ඉඳලා පුරුදු නෑනෙ.

අප්පද බොල...පොතක් තියනවනෙ කියවන්න. මේ දවස් ගාණට තිබ්බ වැඩ එක්ක මට ඒකත් අමතක වෙලා තිබ්බෙ. අනික මට අර ඒ පොතේ ලවන්ට- මං කිව්වෙ මම ලවන්ව මවන් ඉන්න ප්‍රොෆෙසර්ට බැල්ම දාන රියානා කියන ඉසකුඩිච්චිය එක්ක කේන්තියකුත් තිබ්බනෙ. ඒ නිසා චැප්ටර්ස් දෙකක් කියවලා අතෑරලා දාලා තිබ්බෙ.

දැන් ඉතින් වැඩකුත් නෑනෙ...අනික ඔය මොකා පස්සෙන් ආවත් දැන් ලවන් මගේනෙ. හරි මං කිව්වෙ මෙහෙම ගිහින් දවසක මගෙ වෙයිනෙ. ඒ නිසා මං හිත හදන් ආයෙම පොත කියවන්න ගත්තා.

ඒක මාරම ඉන්ට්‍රස්ටින්...මම කිව්වා වගේ ඒ පැත්තෙ යුනිවසිටි වලට මම ගොඩක් ආසයි. මේකෙ ඩිස්ක්‍රයිබ් කරලා තියන විදිහට ඒ හැමදේම මැවෙනවා හරි ලස්සනට. අනික ඉතින් ලව් ස්ටෝරි එකක් තිබ්බට මේක ලව් ස්ටෝරි එකම ෆෝකස් කරන්නෙ නෑ. ලස්සන ප්ලොට් එකක් තියනවා. මම ඉතින් එක හුස්මට චැප්ටර්ස් දහයක් විතර කියවන් ගියා.

එක දිගට කියවන් යද්දිත් කම්මැලි හිතෙනවනෙ වෙලාවකට. මම හවස දෙකට විතර ඈනුමකුත් යවලා පොත පැත්තකින් තිබ්බා. අම්මට තේ එකක් හදලා දෙන්න පුලුවන්ද අහන්න මම අමාරුවෙන් නොන්ඩි ගහහා දොර ගාවට ගිහින් දොර අරිද්දිම...ඈ?? අම්මා කාත් එක්කද කතා කරන්නෙ? අප්පච්චිත් ටවුමට ගියානෙ.

මම දොරෙන් පොඩ්ඩක් එළියට ගිහින් පඩිපෙල ගාවින් හොට දාලා බැලුවෙ කවුද බලන්න. අද කෙල්ලො දෙන්නනම් එනවා කිව්වා පුලුවන් වුණොත් මාව බලන්න ඒත් තාම දවල්නෙ...ආ මම හරි උන් දෙන්නා තමා ඔය ඇහෙන්න කිචි බිචිය. මේ ඩබලත් අද අයිටී කෝස් එකට ගිහින් නැද්ද එතකොට??

අනේ ඕක බෝරින් කොහොමත්...අර ඔෆිස් පැකේජ් වල මොනවද කියන්නකො ඔය හැටි උගන්නන්න තියෙන්නෙ. අනික ඒකත් ප්‍රැක්ටිකල් විතරක්නම් කමක් නෑ පැයක් විතර තියරි කියලා ඔහේ මොනවද උගන්නනවා. කාලා එහෙම සැපේ ඉන්න අපිට හිටගෙනම නින්ද යනවා ඕකෙදි.

දෙන්නා එන්නැතෑ මාව බලන්න...ලෙඩා පහළට ගිහින් අමුත්තො බලන සිරිතක් නෑනෙ කොහොමත්. මම ආයෙම ඇඳට ගිහින් ෆෝන් එක ඔබ ඔබ ඉද්දි මේන් සුළි කුණාටුවක් වගේ දෙන්නම මගෙ කාමරේට කඩන් පාත් වුණා.

"උඹට මොකෝ විදූ දැන්...? අණ්ඩ සනීපද?"

ටිනාශා එයා උස්සන් ආපු පත මලු දෙකක් පුටුව උඩින් තියන ගමන් ඇහුවා.

"අද බෙහෙත් ගත්තට පස්සෙනම් සෑහෙන්න අඩුයි බං..."

"අනේ ඉතින් උඹත් ඉඳලා ඉඳලා කරගන්න වැඩ...ඉඳා උඹට අරන් ආවෙ."

සිනෙලි මගෙ ඇඳෙන් ඉඳගෙන එයා අරන් ආපු බොක්ස් එකක් මට දුන්නා. අඩේ...බ්‍රවුනි! සිනෙලි හදන බ්‍රවුනි වල රස කියන්නෙ ආයෙ...මාරම රසයි. සිනෙලි දන්නවා මම ඒකි හදන බ්‍රවුනි කන්න හෙනම ආසයි කියලා.

"අඩේ උඹ ඊයෙ ගෙදර ගිහින් ආයෙ මහන්සි වුණාද මේවා හදන්න?"

"ඔව් ඉතින් තොපි මෙතන යසට තියන අඬු බඬු කඩාගත්තම අපි එපැයි සාත්තු කරන්න."

"ආදරෙයි ඈ..."

මම බ්‍රවුනි එකක් ගන්න ගමන් සිනෙලිට පොඩි බටර් පාරක් ගාලා උන් දෙන්නටත් බොක්ස් එක පාස් කරා. ටිනාශා බ්‍රවුනි එකක් කන ගමන්ම තනි අතින් ඒකිගෙ බෑග් එක අදිනවා.

"මටනම් මුකුත් හදන්න වෙලා තිබ්බෙ නෑ විදූ...ඔච්චරයි ගෙනාවෙ. අයිස් ක්‍රීම් එක්කුත් ගෙනාවා නැන්දට දුන්නා ෆ්‍රිජ් එකට දාන්න කියලා."

ටිනාශා එහෙම කියන ගමන් මගෙ අතින් බ්‍රවුන් පේපර් බෑග් එකක් තිබ්බා. ඒකි ගෙනත් තිබ්බෙ ලොකු රෙවෙලෝ කැෂිවු චොක්ලට් එකක්. මම ලංකාවෙ චොක්ලට් වලින් ආසම එක ඕක. හම්මේ දවසක් කෑවැකි.

"ඒ උඹලා මෙහෙම සලකනවනම් ආයෙ මට හිතලම කකුල පෙරළගන්න හිතෙනවා ඕයි..."

"ඕ පෙරළගනින්කො...සලකන්නම් හොඳට."

සිනෙලි නෝන්ඩියට වගේ කියද්දි ටිනාශත් හිනාවුණා. ඔය කිව්වට මම දන්නවා ඉතින් සලකනවා කියලා. උන් දෙන්නත් මගෙ ඇඳේ ඉඳගෙනම අපි ටික වෙලාවක් කියව කියව හිටියා. වෙද මහත්තයා දුන්නටත් වඩා උපදෙස් මාලාවක් මට හම්බුණා දෙන්නගෙන් ඉක්මනට සනීප වෙන්න කියලා.

කතාවෙන් කතාව ටිනාශා අර ගෙනාපු මල්ලෙන් ලොකු ජින්ජර් බියර් බෝතලයක් අරන් ඒක කඩලා අපි තුන්දෙනාම ඒකෙන් ටික ටික බිව්වා. ඊට පස්සෙ නොදැනිම ඒකෙන් බිස්කට් එකකුත් කඩලා කෑවා. අන්තිමට සිනෙලි ඒකෙන් ග්‍රීන් ඇපල් ගෙඩියක් අරන් හෝදලා කන්න යද්දි තමා මට මීටර් වුණේ...

"යකෝ උඹලා ගෙනල්ලා උඹලම කනවද?? ලෙඩාට නෙවෙයිද ගෙනාවෙ...?"

"අපි...? අපි ගෙනාපුවා තමා ඔය කලින් දුන්නෙ. මෙච්චර එව්වා ගේන්න උඹ හිතුවද අපිට හතර මහ නිධානෙ පහළ වෙලා කියලා?"

"එහෙනම්-"

පටාර් ගාලා මොලේ එළියක් පත්තු වුණ මම ඇස් දෙකත් ලොකු කරලා බලද්දි සිනෙලි ටිනාශා දිහා බලලා ඇහැක් ගහලා හිනාවුණා. එහෙම වෙන්නෙ කොහොමද?? අනේ ආවා කියලනම් කියන්න එපා පුතේ...

"කොහෙන්ද හම්බුණේ කියපන්..."

"ආන් ඉන්නවා පහළ...නැන්දම්මා සෙට් වුණ නිසා පොඩ්ඩක් නැවතුනා."

හත්වලාමයි...! ලෙඩ වෙච්ච එකා බලන්න ලෙක්චරර් ආවම හරිද කියපන්කො...ඒක සාමාන්‍යයෙන් වෙන්නෑනෙ. අපෙ අම්මගෙ සූක්ෂම මොළේට ඕක මීටර් වුණොත්නම් මම වසලා හමාරයි.

හරි එයාලා කැමති කිව්වා තමා ඒත් ඒ මගෙ ක්ලාස් එකේ ලෙක්චරර් කියන්න එයාලා දන්නෑනෙ...ඒක මම ස්ටෙප් බයි ස්ටෙප් කියන්න හිටියෙ. අනික ඉතින් මට එයාට හිත ගියේ එයා ලෙක්චරර් කියලා දැනගන්න කලින්නෙ...ඕවා කොහොමද දැන් පැහැදිලි කරන්නෙ??

හැබැයි ඉතින් ලවනුත් එච්චරම මෝඩ නෑ අපෙ අම්මගෙ ට්‍රැප් වලට අහුවෙන්න තරම්. ශේප්මන්ට් එකක් දාගත්තොත් හොඳයි...අනේ මාව බේරලා දෙන්න දෙයියනේ!

ඒක කියපු ගමන් මම කකුලත් අමතක වෙලා දනිපනි ගාලා ඇඳෙන් බහින්න යද්දිම කෙල්ලො දෙන්නා මාව අල්ලලා නැවැත්තුවා.

"ටිකක් ඉඳපන් යකෝ...මුට තියන හදිස්සිය."

"හදිසිය නෙවෙයි යකෝ...අම්මා...උඹ දන්නවනෙ-"

"බය වෙන්න එපා...මස්සිනා ගාණට ශේප් කරා කලිනුත්. තව ටිකකින් එයි."

ටිනාශා ගාණක් නැතුව කියලා ආයෙම පුටුවට හේත්තු වුණා.

"ඒ පාර දැන් උඹලත් සර් කෑල්ල හලලා මස්සිනා කියන්න ගත්තද?"

"ඔව් ඉතින්...උඹ සර් නෙවෙයි එංගලන්තෙ කුමාරයා එක්ක යාලු වුණත් ඌ අපිට මස්සිනා. එච්චරයි."

සිනෙලි අර අරන් ආපු ග්‍රීන් ඇපල් ගෙඩිය ගිලින ගමන් කිව්වා. යකෝ මම ආසයි ග්‍රීන් ඇපල් කන්න...මෙලෝ ගාණක් නැතුව වගකියන හැටි ඒකට. කමක් නෑ එක්කෝ... මහන්සි වෙලා බ්‍රවුනි හදන් ආවනෙ මට.

"මෙහ් අපි පහළට යනවා...නැන්දට ඕපයක් කියන්නත් තියනවා."

මුන් යකෝ...මමවත් දන්නැති ඕප තියෙන්නෙ එයාලට. පුහ්...අනේ මට ඕන්නෑ ඔය ගෑණුන්ගෙ කතා.

දෙන්නා ගියාට පස්සෙ මම ඇඳට හේත්තුවක් දාන් ඉද්දි මට විනාඩි පහකින් විතර දොර ගාවින් සද්දයක් ඇහුණා.

"විදුර්...ඔයා ඉන්නවද?"

"එන්න..."

මම ඇඳේ හරියට ඉඳගෙන කියද්දි ලවන් දොර ඇරන් ඇතුළට ආවා. කැම්පස් එකේ දකින ෆෝමල් කිට් එකට වඩා මෙහෙම කැශුවල් අඳිද්දි ලස්සනයි අප්පා එයාට.. හෙන බෝයිෆ්‍රෙන්ඩ් ලුක් එකක් තියනවා. එයා හිටියෙ තද දුඹුරු හුඩී එකකට කලු පාට ට්‍රවුසර් එකක් ඇඳලා. ලවන් දොර වහලා ඇඳ ගාවට එනකන්ම මමත් කිසි ලැජ්ජාවක් නැතුව කට ඇරන් එයා දිහා බලන් හිටියා. මාස්මෙලෝ එකක් වගේ හපලා දාන්න හිතෙනවා...

මම මට එහා පැත්තෙන් ඇඳට පොඩි තට්ටුවක් දැම්මෙ ලවන්ට මං ගාවින් ඇවිත් ඉඳගන්න කියන්න. ඉඳගන්න ගිහිල්ලත් එයා මොකක්හරි මතක් වුණා වගේ ආයෙ නැවතුනා.

'ඔහ්...පොඩ්ඩක් ඉන්න."

ලවන් එහෙම කියලා හුඩී එක බෙල්ල ගාවින් එහාට කරලා අස්සට අත දාගත්තා. මේ මොන මඟුලක්ද කරන්නෙ. පොඩ්ඩක් අත අමාරුවෙන් එහෙ මෙහෙ කරලා එයා එළියට ගත්තෙ...තද රෝස පාට රිබන් එකක් ගැටගහපු ලා රෝස පාට රෝස මලක්.

ලවන් ඒක ඇදලා ගත්ත විදිහට මට හිනා ගියත් රෝස මල දැක්ක ගමන් මගෙ ඇස්වල කඳුලු පිරුණා...එයා මේ කරන පොඩි පොඩි දේවල්. මම බලාපොරොත්තු වෙන්නෙවත් නැතුව එයා මේ දේවල් කරද්දි පපුවට දැනෙන හැඟීම බර වැඩි.

"අද මල් බොකේ උස්සන් එන්න බෑනෙ...වෙන ගේන්න විදිහක් තිබ්බෙත් නෑ ඉතින්."

ලවන් ආයෙම හුඩී එකත් හදාගෙන මං ගාවින් ඉඳගෙන කියද්දි මම ඇඟිලි තුඩු වලින් පරිස්සමට මල අල්ලගත්තා.

"ඉක්මනට සනීප වෙලා එන්න හොඳද..."

"ම්ම්..."

මම එහෙම කිව්වෙ වෙන කිසිම දෙයක් කියන්න තරම් මට වචන ආවෙ නැති නිසා. මේවගේ දේවල් වලට හුරු වෙන්න මට හුඟක් කල් යයි.

"ඔය ඉතින් විදුර්...පොඩ්ඩ ඇත්තම් කඳුලු පිරෙනවනෙ."

ලවන් කිව්වේ මගෙ කම්මුල් දෙකෙන්ම අල්ලලා මහපට ඇඟිලි වලින් මගෙ ඇස් අග නලියන කඳුලු පිහදාන ගමන්. මට ඇත්තටම එහෙම දේවල් වලට අඬන්න ඕනෙ නෑ...

"ඔයා කියයි ඉතින්..."

මම හිමින් කියනවත් එක්කම මෙච්චර වෙලා මට මූණලා ඉඳගෙන හිටපු ලවන් මගෙ එහා පැත්තට ඇවිත් ඉඳගෙන මගෙ අතින් අල්ලගත්තා.

"දැන් කොහොමද...?"

"අඩුයි..."

මම හිනාවෙලා කියද්දි ලවන් මගෙ කොණ්ඩෙ පොඩ්ඩක් අවුස්සලා එයත් හිනාවුණා.

"මෙහ් ඒක නෙවෙයි අපෙ අම්මා මොකද කිව්වෙ..."

මම මෙච්චර වෙලා කුතුහලයෙන් හිටපු දේ දැනගන්න ඇහුවා.

"ඒවා ඔයාට වැඩක් නෑ..."

ලවන් දඟකාර විදිහට කියද්දි මම එයාගෙ උරහිසට පාරක් ගැහුවා.

"ආ...හරි වැඩක්නෙ. අම්මා එක්ක කියන එවා මට අදාල නෑ?"

"ලොකු දේවල් කතා කරේ නෑ...ආගිය ඒවා කතා කරලා ඔයා ගැන කිව්වා ඉතින්. අද බෙහෙත් ගන්න ගියා කිව්වා."

"ම්ම් ඔව්...මම බයවුණේ- අපෙ අම්මට ඉක්මනට තේරෙනවා අනේ."

"අව්ලක් නෑ...එහෙම රිස්කි වැඩ කරනවද මම?"

ලවන් හිනාවෙලා කියද්දි මමත් ටිකක් සන්සුන් වුණා. මොළගෙඩි දෙකක් කතාකරන්න ගිහාම විශ්වාස නෑනෙ ඉතින්.

"මෙහ්..."

"ම්ම්..."

"මම ටිකක් තුරුල් වෙන්නම්කො..."

මම අහිංසක හිනාවක් දාලා කියද්දි ලවනුත් හිනාවෙලා අත් දෙක දෙපැත්තට කරා. මම කලින් වගේම එයාව බදාගෙන පපුවට ඔලුව හේත්තු කරගද්දි එයා අතක් මගෙ උරහිස වටේ දාලා මාව ළං කරගත්තා.

හුඩී එක නිසා එයාව වැඩියෙනුත් සනීපෙට දැනුණා. එයා මගෙ උරහිස හිමීට පිරිමදින ගමන් මාව තවත් ටිකක් එයාගෙ ඇඟට තද කරගත්තා.

"මෙහෙම ඉද්දි සනීපයි..."

මම ලවන්ගෙ උරහිස ගාවින් නිකට තියලා එයාගෙ ඇස් දෙක දිහා බලලා කියද්දි එයා යන්තම් හිනාවුණා. මම හැමදාම කියනවා වගේ... ඒ අලු පාට ඇස් වල හැඟීම් තේරුම් ගන්න හරි අමාරුයි. ඒත් දැන් ඒ ඇස් වල තියෙන්නෙ සතුට නෙවෙයි කියන එක තේරුම් ගන්න මට හොඳටම පුලුවන්.

සතුටින් ඉද්දි එයාගෙ ඇස් දෙක ඔප දාලා ගත්ත දියමන්ති වගේ දිලිසෙනවා. ඒත් දැන් එහෙම නෑ...මම දන්නෙ නෑ ඒ ඇයි කියන්න. එයා තවමත් මොකක්හරි දෙයක් ගැන වද වෙනවද? ලවන් ඒ අමුතු බැල්මෙන් මගෙ දිහා බලන් ඉඳලා එයාගෙ නිදහස් අත මගෙ කම්මුලින් තියාගත්තා.

"අපි මෙහෙම ඉමු ඉතින්..."

ලවන් මට විතරක් ඇහෙන විදිහට හිමින් කියද්දි මම ආයෙම එයාට හේත්තු වුණා.

මම කියව කියව හිටපු පොත මගෙ එහා පැත්තෙන් ඇඳ උඩ තියලා තිබ්බෙ. මාව තුරුල් කරන් ඉන්න ගමන්ම ලවන් මගෙ ඇඟ උඩින් අත දාලා පොත අතට ගත්තා. මමත් ඒ එක්කම වගේ එයාගෙන් ටිකක් එහාට වුණා.

ලවන් පොත අරන් ඉක්මනින්ම කරේ මම බුක් මාක් එක තියලා තිබ්බ තැන පෙරළපු එක.

"ඔහ්...චැප්ටර්ස් දොළහක් කියෙව්වද?"

ලවන් ඒක ඇහුවෙ කලබලයක්...එහෙමත් නැත්තම් දුකින්. එක පාරට එයාගෙ මූණෙ තිබ්බ සතුට නැතිවුණා කියන එක මම හොඳටම දැක්කා. එයාට එක පාරට එහෙම වෙන්න කිසිම හේතුවක් නෑනෙ...

"ඔව්...අද වෙන වැඩක් තිබ්බෙත් නෑනෙ. දවසම කියෙව්වා."

මම එයාගෙ වෙනස නොතේරුණ ගාණට කිව්වා.

"මේක කියවන්න කල් යයි කිව්වා නේද ඔයාට...?"

ලවන් ඇහුවෙ පොත දිහා බලාගෙනමයි.

"ඔව්...ඒත් කියවන්න අහුවුණාම එක දිගට කියවන්න පුලුවන්. පහුගිය ටිකේ වැඩ තිබුණ නිසා මඟෑරුණානෙ."

"ම්ම්...ඉතින් මොකද හිතෙන්නෙ කතාව ගැන?"

ලවන් පොත පැත්තකින් තියලා ආයෙම පුලුවන් තරම් සාමාන්‍ය විදිහට අහද්දි මම හිනාවුණා.

"ප්ලොට් එකනම් ලස්සනයි නේ...ආසා හිතෙනවා."

"ම්ම්..."

"හැබැයි ඉතින් අර රියානා තමා..."

මම කටත් ඇද කරලා අහක බලන් කියද්දි ලවන්ට හිනා ගියා.

"රියානා මොකද...?"

"එයා අර ප්‍රොෆෙසර් පස්සෙන් යන්නෙ??"

"මේ...ප්‍රොෆෙසර් නේද එයා පස්සෙන් යන්නෙ විදුර්?"

ලවන් තොල් තද කරන් හිනාව නවත්තගෙන කියද්දි මම එයාට රවලා අහක බලාගත්තා.

"ඒ වුණාට කොහොමහරි ඕන්නෑනෙ..."

"ඕන්නැත්තෙ මොකද...ඒ පොතේ තියෙන්නෙම ඒ දෙන්නගෙ කතාවනෙ."

"ඔයත් රියානා පැත්තට කතා කරොත් ඇත්තමයි ඉදලෙන් ගහලා එලවනවා මේ පැත්තෙවත් එන්නැතිවෙන්න හරිද??"

"ඔය කකුලත් එක්ක පුලුවන්ද එච්චර එකක් කරන්න ඉතින්- හරි හරි ආයෙ මුකුත් කියන්නෑ ගහන්න එපා!! ආව්...!!"

ලවන් අත් දෙකම උස්සලා ඔලුව බේරගන්න කෑගහද්දි මම කොට්ටෙන් ගහගෙන ගහගෙන ගියා. ආවා මෙතන...හරි මෙතන ප්‍රොෆෙසර්ට ලවන්ව මවාගෙන රට පටලන් ඉන්නෙ මම තමා ඒ වුණාට එයාට වටින්නෑ රියානා පැත්තට කතා කරන්න.

ඇතිවෙනකන් ගහලා මම කොට්ටෙත් බදාගෙන අනිත් පැත්ත හැරිලා ඉද්දි ලවන් මගෙ අතින් අල්ලන්න ආවා. මම අත ගසලා දාලා ආයෙම කොට්ටෙ බදාගත්තා... මටෝන්නෑ.

ඒ වුණාට ඉතින් ඒ බලන් ඉන්න විදිහට බෑනෙ තරහ වෙලා ඉන්න. මම ලවන් දිහා බලාගෙන හිටියෙ නැතත් මට තේරෙනවා එයා මගෙ දිහාම බලාගෙන ඉන්නෙ කියලා.

ටික වෙලාවකින් එයා ආයෙම මගෙ අතක් එයාගෙ අත් දෙකට මැදි කරගද්දි මම හිමින් හැරිලා එයා දිහා බැලුවා.

"මම ඔයාට එන්න එන්න ඇඩික්ට් වෙනවා විදුර්..."

ලවන් මගෙ ඇස් දෙක දිහා බලාගෙනම බර බැල්මකින් එහෙම කියද්දි මම ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියා. එක පාරටම...?

"ඔයාව නැතුව ඉන්න බැරි තරමටම...මම ඔයාට ඇබ්බැහි වෙනවා."

"ඉතින් මාව නැතිකරගන්න එපා..."

මමත් ලවන්ගෙ ඒ බැල්ම මඟාරින්නැතුවම හිමින් කියද්දි එයා ටික වෙලාවක් එහෙම්ම මගෙ දිහා බලන් ඉඳලා යන්තම් හිනාවුණා.

"නැතික‍රගන්නෙ නෑ...කොහොමටවත්...ඒක කරන්නෙ නෑ."

ලවන් මගෙ කම්මුලින් අත තියලා කියද්දි මමත් ඒ අත උඩින්ම මගෙ අත තියාගත්තා. ටික වෙලාවක් ඒ විදිහටම අපෙ ඇස් අතර සංවාදෙට ඉඩ දුන්නට පස්සෙ ලවන් ආයෙම මගෙ කර වටේ අත දාලා මාව එයාට හේත්තු කරගත්තා.

ලවන් ගාව දැන්න සනීපෙට, එයා ගාවින් එන ජස්මින් සුවඳට, මගෙ කෙස් අතරින් යන එයාගෙ ඇඟිලි වලින් දැනෙන ටච් එකට මගෙ ඇස් දෙක පියවීගෙන එනවා මට දැනුණා.

********

ලවන්ව පහළ තට්ටුවේ හැමතැනම හොයලත් හම්බුණේ නැති නිසා සිතුම්ය බැල්කනි එකට ගියා. එයා හිතුවා වගේම ලවන් එතන හිටියා...එයා වැව දිහා බලාගෙන ලොකු කල්පනාවක් වගේ.

වැව රවුමට පොඩ්ඩක් උඩට වෙන්න තිබ්බ එයාලගෙ අපාට්මන්ට් එකට වීව් පොයින් එකට තරම් ලස්සනට නැතත්, වැවයි මාළිගාවයි උස් තැනක ඉඳන් පේන වීව් එකක් තිබුණා.

ආපු දවස්වල ඉඳන්ම ලවන් ගොඩක් විදුර් එක්ක කතා කරන්නෙ මෙතන ඉඳන් කියලා සිතුම්ය දැකලා තිබුණා. ඒත් අදනම්...කෝල් එකක නෙවෙයි. යන්තම් හැන්දෑ කලුවර වැටෙන්න පටන් ගත්ත ඒ වෙලාවෙ ලවන් ඔහේ පුටුවක ඉඳගෙන වැව දිහා බලාගෙන හිටියා.

ටිකක් ළඟට යනකොට තමා සිතුම්ය හොඳටම දැක්කෙ...ලවන්ගෙ අතේ බියර් එකක්?? ලවන් ලේසියකට බියර් බොන කෙනෙක් නෙවෙයි. මොකක්හරි ප්‍රශ්නයක්වත්ද?

ලොකු කල්පනාවක හිටපු ලවන් ගැස්සිලා ගියේ එයාගෙ යාලුවා ලොකු සද්දෙකුත් දාලා එතන තිබ්බ පුටුව ඇදලා ඉඳගත්ත පාරට.

"විදුර් බලන්න ගියාද? මොකද දැන්...?"

"දැන්නම් අඩුයි...මම හෙටත් ඉන්න කිව්වා ඒත්."

"ම්ම්...ඒක හොඳයි."

ආයෙමත් දෙන්නා අතර ලොකු නිශ්ශබ්දතාවයක් ඇතිවුණත් ඒක දරාගන්න බැරිවුණ සිතුම්ය අන්තිමට කතා කරන්න තීරණය කරා.

"ලවන්...උඹ මොකක්හරි අවුලකින්ද?"

ඒකට යන්තම් සිතුම්ය දිහා හැරිලා බලලා හිනාවුණ ලවන් ආයෙම ඈතක එයාගෙ ඇස් රඳවගත්තා.

"විදුර්...එයා අද පොතේ සෑහෙන්න කියවලා තිබ්බා."

"ඔහ්...කොච්චරක්ද?"

වෙන කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරිවුණ සිතුම්ය ඇහුවා. පහුගිය ටිකේ විදුර්ට පොත අල්ලන්නවත් වෙලාවක් නැතිවුණ නිසා ලවන් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ කියලා සිතුම්ය දන්නවා. සමහරවිට...මේ පොඩි දේන් එයාට ගොඩක් දේවල් ආයෙම තේරුම් යන්න ඇති.

"චැප්ටර්ස් දොළහක්..."

ලවන් කිව්වෙ හරිම හිස් විදිහට.

"ඉතින්...තව තිස් ගාණක් විතර තියනවනෙ. ඔච්චර හිතන්නෙ ඇයි?"

ලවන්ගෙ හිතේ තියන දේ තේරුම් ගියා වුණත් සිතුම්ය කිව්වෙ යන්තම් හරි එයාගෙ හිත හදන්න. සිතුම්ය හිතුවා වගේම ලවන් ඒකට සමච්චලේට වගේ හිනාවුණා.

"කොහොමත් එයාට ආයෙම වැඩත් එක්ක එච්චර ඉක්මනට පොත කියවන්න වෙන්නෑ...ඒත් මට ඒක මගෙ සීමාවල් මතක් කරලා දුන්නා බං."

"...."

"මම මාස දෙක තුනක් කියලා හිතන් හිටියට...විදුර් හෙට පොත කියවලා ඉවර වුණොත් මම හෙටම ආයෙ යන්න ඕන නේද කියන එක ආයෙම මට කවුරුහරි ඇඟිල්ලෙන් ඇනලා මතක් කරා වගේ."

සිතුම්ය ලවන් දිහා බලන් හිටියෙ තවමත් කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව. ලවන් කතා කරන්නෙ බලාපොරොත්තු ඔක්කොම බිඳුණු ගාණට...සිතුම්ය ඒකට කැමති නෑ.

"මේ වෙලාවෙ මෙහෙම කියනවට සොරි බං...ඒත්-"

"උඹ මට මේ හැමදේම කලින් කිව්වා...මම දන්නවා. ඒත්- ඒත් මං ගත්ත තීරණේ ගැන මම පසුතැවෙන්නෑ සිතුම්ය. මම විදුර්ට ආදරේ කරන්න ගත්ත එක ගැන මම පොඩ්ඩක්වත් පසුතැවෙන්නෑ. මට ඕනෙ මේ හැමදේකටම විසඳුමක් විතරයි."

මේ හැමදේකටම විසඳුමක් තියනවනම් සිතුම්යත් කැමති...එයාලගෙ ලෝකෙ හැමෝවම හිරකරපු ඒ සීමාවට තිත වැටෙනවනම් සිතුම්ය කැමති. ඒත් මෙච්චර කල් නොලැබුණු විසඳුමක්...ලවන්ට තනියම හොයාගන්න පුලුවන්ද?

"උඹ දන්නවා ඕකට මගෙ ගාව උත්තරයක් නෑ කියලා බං...සමහරවිට- මාස්ටර් එක්ක කතා කරොත්?"

සිතුම්ය කියපු දේට ආයෙම සමච්චල් විදිහට හිනාවුණ ලවන් හැරිලා සිතුම්ය දිහා බැලුවා.

"මාස්ටර් එක්ක කතා කරන්න? සිතුම්ය මම මේ කඩන්නෙ අපිට තහනම් වුණ එකම නීතිය...උඹ හිතනවද මාස්ටර් විසඳුමක් දෙයි කියලා??"

ලවන් කියන්නෙ ඇත්ත. එයාලට උපරිම නිදහස තිබුණ ෆික්ෂනල් ලෝකෙ තහනම් වුණ එකම නීතිය...සාමාන්‍ය ලෝකෙ කෙනෙක්ට ආදරේ කරන්න බැරි නීතිය විතරයි.

මෙච්චර කල් කවුරුත් ඒ සීමාවෙන් එහාට ගිහිල්ලත් නෑ. අවුරුදු දහයකට කලින් ඒ සීමාව බිඳින්න තීරණය එකම එක්කනයි...ඒ කතාවෙන් අවසානෙ දුක හිතෙන විදිහට ඉවර වෙද්දි ඊට පස්සෙ කවුරුත්ම නිර්භීත වුණේ නෑ ඒ නීතිය බිඳින්න. අවුරුදු ගාණකට පස්සෙ බය නැතුව ඒ තීරණේ ගත්ත එකම කෙනා ලවන් විතරයි.

තමන්ගෙ දුක හිතෙන ආදර කතාවම ලවන් එක්ක කියලා තියෙද්දිත් සිතුම්ය හිතුවෙ නෑ ලවනුත් ඒ වැරැද්දම කරයි කියලා. ඒත් විදුර් කියන්නෙ ලවන් කරපු වැරැද්දක් නෙවෙයි...ලවන් ගත්ත හරිම තීරණේ කියලා තේරෙන්න සිතුම්යට වැඩි කල් ගියෙ නෑ.

දැන් සිතුම්යත් බලාපොරොත්තු වෙන්නෙ...ඒ දෙන්නගෙ ආදරේ දිනන්න පුලුවන් විදිහක් එයාලට හම්බෙන්න කියලා විතරයි. එයා ආදරෙන් පැරදුණා තමයි...ඒත් ඒ විදිහටම තමන්ගෙ හොඳම යාලුවගෙ ආදර කතාවත් ඉවර වෙන්න කියලා හිතන්න තරම් පහත් කෙනෙක් නෙවෙයි සිතුම්ය.

"මේ වෙලාවෙ උඹට කරන්න පුලුවන් කිසිම දෙයක් මගෙ ඔලුවට එන්නෙ නෑ බං...විදුර්ට ඇත්ත කිව්වොත්?"

"විදුර්ට ඇත්ත කිව්වොත් වෙන්න පුලුවන් දේවල් දෙකයි...එකක් එයා පොත කියවන එක නවත්තයි. ඒත් ඒකෙන් වැඩක් වෙන්නෙ නෑනෙ බං. අවුරුද්දක් ඇතුළත මම ඉබේම මෙහෙන් යයි."

ලවන් කියද්දි සිතුම්ය ආයෙම කල්පනාවකට වැටුණා. එයාලගෙ නීතිය ඒකයි...සාමාන්‍ය ලෝකෙට ආවම එයාලට ඕන ඕන වෙලාවට ආයෙ යන්න බෑ. එක්කො තමන්ගෙ චරිතෙ ඉන්න පොත තෝරගත්ත කෙනා ඒක කියවලා ඉවර වෙන්න ඕන. නැත්තම්, රීඩර් ඒ පොත කියවලා ඉවර කරත් නැතත් අවුරුද්දක් ඇතුළත එයාලා ආයෙම එයාලගෙ ලෝකෙට යන්න ඕන, එයාලගෙ කැමැත්ත තිබ්බත් නැතත්...

මොකද ඇත්තම කතාව...එයාලට මේ ලෝකෙ දිගටම ඉන්න බෑ. එයාලට කොච්චර ඕනෙ වුණත්.

"අනිත් දේ...විදුර් මාත් එක්ක එන එක. ඒක කරන්න බෑ කියලා උඹ හොඳටම දන්නවා."

ලවන් අන්තිම ටික කිව්වෙ සිතුම්ය දිහා බලලා. සිතුම්ය කොහොමද ඒක නොදන්නෙ...අනිත් හැමෝටම වඩා හොඳට ඒ ගැන දන්නෙ සිතුම්ය.

"මිතූ..."

යන්තම් කලුවර වුණ හැන්දෑ අහස දිහා බලාගෙන සිතුම්ය මිමිණුවෙ ඒ සිද්ධියත් එක්ක එයාට මතක් වෙන එකම දේ එයාගෙ ආදරේ විතරක්ම නිසා.

මෙච්චර කාලෙකට සීමාවෙන් එහා ගිය එකම කෙනා සිතුම්ය වුණා විතරක් වගේම...බය නැතුව එයාගෙ ආදරේ වෙනුවෙන් අනිත් හැමදේම අතෑරලා එයාලගෙ ලෝකෙට එන්න තීරණය කරපු එකම කෙනා මිතූ. ඒ දෙන්නට දෙන්නා ඒ තරම් ආදරේ කරා.

ඒත් ඒ වෙනකොට එයාලා දැනන් හිටියෙ නෑ...සාමාන්‍ය ලෝකෙ අය ෆික්ෂනල් ලෝකෙට අයිති නෑ කියලා. සිතුම්ය එක්ක එයාලගෙ ලෝකෙට අඩිය තියද්දිම මිතූ එයාගෙ ජීවිතේ අන්තිම හුස්ම හෙලපු විදිහ අදටත් සිතුම්යට හීනයක් වගේ. කාලයක් යනකන්ම එයා පිළිගත්තෙ නෑ මිතූ එයාව දාලා ගියා කියලා.

එයාලට තියන එකම නීතිය තව තවත් තද වුණේ ඊට පස්සෙ. ඉතින්...ලවන් හොඳටම දන්නවා විදුර්ට එයා එක්ක එන්නත් බෑ කියලා.

"කොහොමත් උඹට මෙහෙ ඉන්න බෑ බං...උඹ ඒක දන්නවා."

"ම්ම්..."

"ඉතින්...විදුර්ට එහෙට එන්න වුණොත් එයා එයි කියලා උඹට විශ්වාසද?"

ඒකට ඉබේම හිනාවක් පිටකරපු ලවන් පුටුවට ඔලුව හේත්තු කරගත්තා.

"මොකෝ...?"

"නෑ මේ...එයා දවසක් කිව්වා එයා කැමති ෆික්ෂනල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට කියලා. ඒක මතක් වුණා..."

"ම්-මොකක්??"

"නෑ නෑ එයා මං ගැන මුකුත් දන්නෑ...ඒත් එයා මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවා. දවසක් මට කිව්වත් ෆික්ෂනල් ලෝකෙට යන්න තිබ්බනම් කියලා."

"සිරාවට??"

"ම්ම්...එයා දන්නවනම් ඇත්තටම එහෙම එකක් තියනවා කියලා...එයා නෑවිත් ඉඳී කියලා හිතනවද?"

ලවන් ඒක අහපු දඟකාර විදිහට සිතුම්යට හිනාගියා.

"උඹ කොහොමද බං ගැලපෙනම කෙනා හොයාගත්තෙ...?"

සිතුම්ය හිනාවෙලා අහද්දි, ලවන් විදුර් ගැන කතාකරද්දි විතරක්ම එයාගෙ මූණෙ මතුවෙන ලස්සන හිනාවෙන් සිතුම්ය දිහා බැලුවා.

"ඒ කියන්නෙ එයා මට ගැලපෙනම කෙනා කියලා උඹ හිතනවද...?"

ලවන් ඒක ඇහුවෙ සිතුම්ය මෙච්චර කල් ඔය සම්බන්ධෙ ගැන දුන්නෙ එහෙටත් නැති මෙහෙටත් නැති උත්තර නිසා. ඒ ප්‍රශ්නෙට වචන වලින් නැතුව හිනාවකින් විතරක් උත්තර දීපු සිතුම්ය ආයෙම ඈත අහස දිහා ඇස් රඳවගත්තා.

"එක අතකට ඒකත් පුදුමයි නේ බං...උඹට මීට කලින් වෙන කිසිම කෙනෙක් ගැන ඔහොම හිතිලා නැද්ද? අඩුම ගානෙ පොතේ උඹත් එක්ක ඉන්න රියානා ගැනවත්?"

සිතුම්ය අහද්දි ලවන් කට කොනකින් හිනාවුණා.

"ඒක නිකන් නලුවෙක්ගෙන් උගෙ ෆිල්ම් එකේ රඟපාපු පාර්ට්නර්ට ආදරේ නැද්ද අහනවා වගේ එකක්නෙ..."

"...."

"පොතේ මගෙ පාර්ට්නර් රියානා වුණාට...මට ඇත්තටම එයාව හම්බෙලා තියෙන්නෙත් දෙපාරයිද කොහෙද. එයා මගෙ පාර්ට්නර් වෙන්නෙ ඒ පිටු අතරට විතරයි සිතුම්ය."

ලවන් ඉතිරි ටිකට උත්තර දුන්නෙ කෙලින්ම සිතුම්යගෙ ඇස් දිහා බලාගෙන...පොඩි අවිශ්වාසයක්වත් නැතුව.

"මගෙ පළවෙනි ආදරේ විදුර්...මට විශ්වාසයි මගෙ අන්තිම ආදරෙත් එයා කියලා. එයාට ඇබ්බැහි වෙන තරමට මං එයාට ආදරෙයි."

විදුර් ගැන කතා කරද්දි ලවන්ගෙ ඇස් දෙක දියමන්ති වගේ දිලිසෙන එක සිතුම්යට දැන් හොඳට පුරුදුයි. ආදරේ කරද්දි හැමෝම ලස්සන වෙනවා කියන්නෙ...ලවන්ගෙත් කලින් නොදැකපු අමුතු ලස්සනක් සිතුම්ය මේ දවස් වල දකිනවා.

"හැබැයි විදුර්නම් හරි තරහයි රියානා එක්ක...මම උඹට කිව්වා නේද?"

ලවන් කිව්වෙ කිසි දෙයක් නොදැන වුණත් විදුර් ප්‍රොෆෙසර්ට එයාව මවාගෙන නටන නාඩගම මතක් වෙලා.

"ඔව් ඔව්...හුරතල් නේ බං වෙලාවකට?? යකෝ මම ස්ට්‍රේට්...කන්න වගේ බලන්නෙ?!?"

සිතුම්ය අන්තිම ටික කිව්වෙ විදුර් හුරතල් කියපු ගමන්ම ලවන් මූණෙ තිබ්බ ලස්සන හිනාව අතුරුදහන් කරගෙන පිච්චෙන්න වගේ රවපු නිසා.

ඒ සංවාදෙත් එක්ක ආයෙම දෙන්නා අතර ඇතිවුණේ ලොකු නිශ්ශබ්දතාවක්. කොච්චර විහිලු කරලා හිනාවෙලා හිටියත් ලවන් මේ කරන්න යන දේ බරපතලකම දෙන්නටම නොතේරෙනවා නෙවෙයි.

"ඇත්තටම උඹ මොකද කරන්න ඉන්නෙ...මං කැමති නෑ උඹලා දෙන්නම රිද්දගන්නවා බලන්න."

"විදුර් දැන්ම මුකුත් දැනගන්න ඕනෙ නෑ...දැනගත්තා කියලා එයා අහන ඒවට මට දෙන්න උත්තර නෑනෙ. විදුර් ඔහොම පොත කියවපුවාවෙ."

"ඊට පස්සෙ..."

"ඊට පස්සෙ මට යන්න වෙනවනෙ. මම ආයෙ එන්නෙ මේ හැමදේටම විසඳුමක් හොයාගෙන සිතුම්ය...අපි දෙන්නට එකටම ඉන්න පුලුවන් විදිහක් හොයාගෙන."

"ලවන්...උඹ හොඳටම දන්නවා උඹට ආයෙ මෙහෙට එන්න බෑ කියලා. විදුර් පොත කියවලා ඉවර කරපු ගමන් උඹට මේ ඒරියා එකම ලොක් වෙනවා."

"එහෙම වෙන්න විදිහක් නෑ සිතුම්ය...!"

කවදාවත් නැති විදිහට ලවන් කෑගැහුවෙ සිතුම්යවත් ගස්සගෙන. ඒ ලවන්ම නෙවෙයි...එයාගෙ බියර් එකත් එක්කම ආපු වචන කියලා සිතුම්ය දන්නවා.

"මොකක්මහරි උත්තරයක් තියෙන්න ඕනෙ සිතුම්ය...!! කවුරුහරි දැනගෙන ඉන්න ඕනෙ. උඹ කියන්නෙ- උඹ කියන්නෙ අවුරුදු සීයකට වඩා හිටපු සමහර අය මේ ගැන දන්නෑ කියලද?? පුස්තකාල කියලා අපෙ ලෝකෙ දාස් ගණන් පොත් පුරවපු තැන්වල මේවට උත්තරයක් තියෙන්න විදිහක් නැද්ද?? "

"ලවන්...රිලැක්ස් වෙයන් බං ඉස්සරලම."

සිතුම්ය නැගිටලා ලවන් ගාවට ගියේ එයාගෙ කටහඬේ වේගෙ එන්න එන්නම වැඩිවුණ නිසා. එයා ඉන්නෙ හරි සිහියෙන් නෙවෙයි කියන එක සිතුම්ය හොඳටම දන්නවා.

ලවන් ගාවින්ම හිටගත්ත සිතුම්ය එයාගෙ උරහිස වටේ අත දාලා ළං කරගෙන හේත්තු කරගත්තා. සිතුම්යට දරාගන්නම බැරිවුණේ ලවන් ටික ටික ගැස්සෙනවා දකිද්දි. ලේසියෙන් කඳුලු වැටෙන්නැති ලවන්ගෙ එයාගෙ ආදරේ නිසා අඬද්දි සිතුම්යට කියන්න දෙයක් පවා හිතාගන්න බැරිවුණා.

"මම- මම විදුර්ට ආදරෙයි සිතුම්ය...ගොඩක් ආදරෙයි. මට ඕනෙ- හැමදාම එයත් එක්ක ඉන්න-"

ඉකි අතරින් පිටවෙන ලවන්ගෙ වචන වලට සිතුම්ය උත්තර බඳින්න ගියෙ නෑ...ඇති තරම් එයාගෙ වේදනාව පිට කරලා ඉවර වෙනකන්ම සිතුම්ය ලවන්ව හේත්තු කරගෙන හිටියා.

මෙහෙට ආවට පස්සෙ...මේ සති දෙකට ලවන්ගෙ මූණෙ දැකපු සතුට වෙන කිසි දවසක එයාගෙන් දැකලා නෑ කියලා සිතුම්යට විශ්වාසයි... සිතුම්ය ඉහේ කෙස් ගාණටත් වඩා සාමාන්‍ය ලෝකෙට ඇවිත් තිබුණත් මේ ලවන්ගෙ හතරවෙනි පාර.

කවුරුහරි රීඩර් කෙනෙක් එයාලගෙ පොත කියවන්න තෝරගන්නකම් එයාලට සාමාන්‍ය ලෝකෙ ඉන්න හම්බෙන්නෙ සතියයි. ඒ සතිය ඇතුළත කිසිම කෙනෙක් ඒ පොත ගත්තෙ නැත්තම් ආයෙමත් එයාලට ඉබේම ෆික්ෂනල් ලෝකෙට යන්න සිද්ධ වෙනවා.

ඒත් එහෙම වෙන්නෙ හරි අඩුවෙන්. රීඩර් කෙන්ක් ඒ පොත තෝරගත්තට පස්සෙ එයාලට රීඩර් පොත කියවලා ඉවර වෙනකන් කාලයක් සාමාන්‍ය ලෝකෙ ඉන්න පුලුවන්. හැමෝම වගේ ඔය කාලෙ ඇතුළත රීඩර් එක්ක සුහද වෙනවා...ඒක සාමාන්‍ය විදිහ.

නීතිය අනුව තනියම සාමාන්‍ය ලෝකෙට යන්න බැරි නිසා පුරුදු විදිහටම සිතුම්ය එක්ක ලවන් මේ පාර තෝරගත්තෙ ලංකාව කියන පුංචි රටේ ලස්සනම ටවුන් එකක්.

මාස කීපයක් ඉන්න වෙයි කියන බලාපොරොත්තුවෙන්ම ලවන් ඉන්ග්ලිශ් ලෙක්චරර් කෙනෙක් විදිහටත් සිතුම්ය කොෆී ශොප් එකකත් ජොබ් හොයාගත්තේ එයාලගෙ ෆික්ෂනල් චරිත වලට ගැලපෙන්නම.

ලවන් ලෙක්චරර් කෙනෙක් විදිහට සිලෙක්ට් වුණ කැම්පස් එකේ ඔරියන්ටේශන් දවස ඉවර වෙලා එළියට ආවම තමයි...ලවන් පළවෙනි වතාවට ඒ ලස්සන හුරුබුහුටි කොල්ලව දැක්කෙ. වැව රවුමෙ අයිස් ක්‍රීම් වෑන් එකකින් අයිස් ක්‍රීම් තුනක් අරගෙන...එයා එයාගෙ යාලුවො දෙන්නා දිහාට දුවගෙන යන හැටි ලවන් බලාගෙන හිටියා.

ලවන් මහා ලොකුවට ලව් ඇට් ෆස්ට් සයිට් විශ්වාස නොකරත්...එයාව දැක්ක ගමන් හිත පොඩ්ඩක් ගැස්සුණා කියන එක ලවන්ට හොඳටම දැනුණා. ඒත් ඒ තප්පරේට එයා ඒ හැමදෙයක්ම අමතක කරේ තමන්ගෙ ලෝකෙ තියන සීමාවල් හොඳටම දන්න නිසා.

තමන්ටම හිනාවෙලා ඔලුව ගසලා දාපු ලවන් බුක්ෂොප් එකට ගියේ අදවත් කවුරුහරි පොත ගනීද කියලා බලන්න. තමන්ට මුලින්ම හම්බෙන සතියෙන් තව ඉතුරු දවස් දෙකයි...ඒත් තාම කිසිම කෙනෙක් Love in the Autumn ගත්තෙ නෑ.

කීපදෙනෙක්ම පොත අතට ගත්තත් අනිත් පැත්ත හරවලා පොතේ ගාණ බලලා තියලා යනවා ලවන් බලාගෙන හිටියා ආපු දවසෙ ඉඳන්ම. කොහොමත් එයාගෙ මාස්ටර්ගෙ පොත් ලේසියෙන් කෙනෙක්ට ගන්න පුලුවන් ගණන් වල නෑ කියන්න ලවන් දන්නවා.

ඒත්...ලවන්ගෙ ඇස් අදහගන්න බැරි වුණේ දැන් විනාඩි ගාණකට කලින් දැක්ක හුරුබුහුටි කොල්ලම එයාගෙ පොත තියන රැක් එක ගාව හිටගෙන ඉන්නවා දැක්කම.

එයා- එයා එක පාරට පොතේ ගාණ බැලුවෙත් නෑ...එයා පොත යන්තම් පෙරළලා ඩිස්ක්‍රිප්ශන් එක කියවන හැටි ලවන් බලාගෙන හිටියා. එහෙනම් එයාට සල්ලි වලින් ප්‍රශ්නයක් නැතුව ඇති.

එයාම මේ පොත ගන්න කියලා ලවන් හිතින් ප්‍රාර්ථනා කරා...ඒ ඇයි කියන්න ලවන් දන්නෙ නෑ. ඒත් මේ පොඩි වෙලාවට එයා ගැන සෑහෙන්න දුර යන හැඟීමක් හිතේ ඇතිවුණා කියන එක ලවන්ට පිළිගන්න සිද්ධ වුණා.

එයා පොත අතේ තියන් සෑහෙන වෙලා බලන් ඉද්දි ලවන්ට තවත් ඉවසන් ඉන්න බැරිවුණා. ලවන්ම ළඟට ගිහින් කතා කරලා එයාව උනන්දු කරෙත් ඒකයි. එදා විදුර් ඒ පොත තෝරගද්දි ලවන්ට දැනුණ සතුට මීට කලින් කිසිම දවසක දැනිලා නෑ කියලා ලවන්ට විශ්වාසයි.

ඒත් එදා ඒ සතුට ගෙනාපු හේතුවම...අද ලවන්ව අඬවයි කියලා එයා හිතුවෙ නෑ. විදුර් පොත තෝරගද්දි ඒක එයාට ළංවෙන්න තියන අවස්ථාවක් කියලා හිතලා ලවන් සතුටු වුණා මිසක් එතනින් එහාට කිසිම දෙයක් ගැන එයා හිතුවෙ නෑ.

ඒත් දැන් ඒ දෙන්නගෙම හැඟීම් දුර ගිහින් ඉවරයි... අතීතෙ මොන දේ වුණත් බය නැතුව සීමාවෙන් එහා යන්න ලවන් තීරණය කරේ ඒකයි. විදුර් වෙනුවෙන්...එයාලා දෙන්නම වෙනුවෙන්...එයාලගෙ ආදර කතාවෙ අවසානෙ සතුටුදායක වෙනකන් ෆයිට් කරන්න දාස් වෙනි වතාවටත් තමන්ටම පොරොන්දු වුණ ලවන් එයාගෙ හොඳම යාලුවගෙ පපුවට හේත්තු වෙලාම තද නින්දක වැටුණා.

------------

හනේ අන්තිම ටික ලිව්වෙ ගොඩක් අමාරුවෙන් 😭😭 තේරුණාද??

කොහොමහරි මට ගොඩක් කාලෙක ඉඳන් ඕනෙ වෙලා තිබ්බ දෙයක්...අපි ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට ආදරේ කරනවා වගේ ෆික්ෂනල් කෙනෙක් ඇත්ත ලෝකෙ කෙනෙක්ට ආදරේ කරන කතාවක් කියවන්න. අන්තිමට මන්ම ලිව්වා ඉතින් 👉👈

එනිවේ ප්‍රස්න තියනවද ප්‍රස්න??

කොහොමහරි මෙහෙමයි...ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන විස්තර ඉස්සරහට කියන්නම්. දැනට ඔය ටික ඇති.

මූන්ලයිට් එකේ මම ලව් ස්ටෝරි එකට වඩා ෆෝකස් කරේ ප්ලොට් එකට...මේකෙ ප්ලොට් එකට වඩා ඒ දෙන්නගෙ ආදරේ බිල්ඩ් අප් වෙන විදිහට. ඒ නිසා ඉවසලා ඉන්ටකෝ ඈ... 😁

තේරෙන්නැති මොනවාහරි තියනවනම් ආයෙ මුල ඉඳන් කියවන්න තේරෙයි 🫣

Share This Chapter