Back
/ 35
Chapter 8

Part 8

සීමාවෙන් එහා

"මාලි...ඇයි අර ළමයා යන්න ලෑස්ති වෙන්නෙ?? හොඳටම හොඳ නෑනෙ තාම."

"කවුද අනේ දන්නේ...?.පුලුවන්නම් ඔයාවත් කියන්න. මම කිව්වා අහන්නෑනෙ..."

උදේම දෙන්නා දෙමහල්ලෝ මම නිසා පොඩ්ඩක් කියවගන්නවා මට ඇහුණා. හොඳටම හොඳ නෑ තමා ඒත් හොඳයිනෙ...දැන් වේදනාවනම් දැනෙන්නෙම නෑ. වෙද මහත්තයා කිව්වා වගේම ඊයෙ රෑ වෙද්දි අඩු වුණා මට.

මං හිතන්නෙ දැන් ඉදිමුමත් බැහැලා. ඒත් බැන්ඩේජ් එක තදට බැඳලා නිසා තාම නොන්ඩි ගැහෙනවා. ඒ නිසා අම්මයි අප්පච්චියි හිතන්නෙ මට තාමත් අමාරුයි කියලා. ඒත් අවුලක් නැතුව ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ...එහෙම ඉන්න කම්මැලි.

ගෙදර ඉඳන් කුම්බකර්ණයා වගේ නිදාගන්න මාත් කැමති. ඒත් හැමෝම කැම්පස් එන වීක් ඩේස් වල ගෙදර ඉන්න එකනම් වෙනම මූසල ෆීලින් එකක්. මං දන්නෑ අනිත් අයටත් එහෙම කේස් එකක් තියනවද කියලා.

වීක් එන්ඩ් එකේනම් මම කොහෙවත් වැඩිය ඇවිදින්න කැමති නෑ...ඒක මගෙ ටයිම් එක. සෙනසුරාදා හවස කැෆේ එකේ සින්දු කිව්වා, ඕනමනම් පොඩ්ඩක් ඇවිද්දා, දපලා නිදියව්වා එච්චරයි. ඒත් වීක් ඩේස්...හෙනම කම්මැලි ගෙදරට වෙලා ඉන්න.

ලොකූ ලෙඩක්නම් ඉතින් අනිවාර්යෙන් ඉන්න එපැයි, ඊයෙ වගේ. ඒත් දැන් අමාරුවක් නෑනෙ. ඒ නිසා මම යන්න ලෑස්ති වුණා උදේම. උදේ පාන්දර අම්මගෙන් අහගත්තා, ටිනාශා කීයටද එන්නෙ අහන්න ගිහින් ඒකිගෙන් අහගත්තා, ඊට පස්සෙ ඒකි ඒ ඕපෙ සිනෙලිට කියලා ඒකිත් බැන්නා, දැන් අප්පච්චිත් සැර දානවා. කමක් නෑ ඉතින් ආදරේටනෙ.

"පරිස්සම් වෙන්න හොඳද...හොඳ වුණ එක ආයෙ වැඩිවෙයි නැත්තම්."

අම්මා කෑම දෙක මගෙ අතට දෙන ගමන් කිව්වා. කියපු විදිහට දුක හිතුණා ඉතින්...පව් එයාලා දෙන්නා සෑහෙන්න වද වෙනවා.

"ඔහොම ඉන්න මම ගිහින් දාන්නම්...විනාඩි පහළවක් ඉන්න පුලුවන්ද ලෑස්ති වෙලා එනකම්?"

අප්පච්චි අහද්දි මටත් හිතුණා ඒක හොඳයි කියලා. උදේ ඔය වෙලාවට මහකන්දෙ බස් වල සෙනඟ දැක්කනම්...හොඳට තියන අත පයත් ශුවර් නෑ ඒවට නැග්ගම. මේ වෙලාවට පික්මීත් අඩුයි බිසී අවර්ස් නිසා.

"පුලුවන් අප්පච්චි..."

"වෙලා යන්න්නෑනෙ...සුටුස් ගාලා එන්නම්."

අප්පච්චි එහෙම කියාගෙනම කාමරේට ගියා. මේ දෙසැම්බර් නිසා ඊයෙ ඉස්කෝලෙ නිවාඩු දුන්නනෙ. ඒ නිසා ට්‍රැෆික් නෑ...ඔෆිස් අවර්ස් නිසා යන්තම් පොඩි ට්‍රැෆික් එකක් තිබ්බොත් ඇරෙන්න. ඒ නිසා වෙලා යන්නෑ විනාඩි විස්සෙන් යන්න පුලුවන්. මොකෝ බස් වගේ කොට කොට යනවැයි.

අප්පච්චි මාව කැම්පස් එක ගාවින් බස්සද්දි අටයි දහයට වගේ ඇති. ටිනාශවත් දාගෙනම එන්න කියලා ඒකි කොහෙද ඉන්නෙ ඇහුවම හෙළ බොජුන් එකේලු. ටිනාශා උදේට ගෙදරින් කාලා එන්නේ...ඒත් තියන මල පෙරේතකමට හෙළ බොජුන් එකටත් යනවා වෙලාවකට.

ඉන්නද ඇහුවම කන්න පටන් ගත්තා විතරයි කියපු නිසා අපි දෙන්නා ආවා. මම ආපු ගමන්ම ක්ලාස් එකට ගියා. කොහොමත් එදා විනුරි මෙතන නාඩගමක් නැටුවට පස්සෙ අපි දෙන්නා උදේ ක්ලාස් එකේදි හම්බුණේ නෑ. කෑම එක දෙන්න විනාඩි පහක් විතර කලින් එනවා මම...එච්චරයි.

ඒත් අද වෙන කොහෙවත් ඉන්න බෑ. හොඳයි තමා ඒත් වැඩි කරගන්න ඕනෙ නෑනෙ...මම හිමින් ක්ලාස් එක පැත්තට ගියා. පැත්තක් පණ නැති නිසා දොර ඇරගන්නත් බෑ වගේ නිකන්. මම ඇතුළට යද්දිම-

"විදුර්...මම කිව්වනෙ එන්න එපා කියලා...!"

පාඩුවේ ෆෝන් එක ඔබ ඔබ හිටපු එක්කනෙක් මාව දැක්කා විතරයි ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ පැත්තට දුවගෙන ආවා.

"මට අමාරුවක් නෑ ලවන්...ඒකයි ආවෙ. කම්මැලිනෙ ගෙදර ඉන්න."

"පණ්ඩිතකමනම් තියනවා ඔක්කොටම වඩා...වැඩි වෙනවනෙ ඔහොම මහන්සි වුණාම."

"අවුලක් නෑ අනේ...ඉඳගෙන ඉන්න එකනෙ ක්ලාසස් දෙකේම. අද ප්‍රැක්ටිසුත් නෑනෙ."

මම හේතු කියන ගාණට ලවන් මට රැව්වා. ඇයි අප්පා කාටවත් මේ ලෙඩාට හොඳින් සලකන්න බැරි. මමත් අනිත් පැත්තට ලවන්ට රවද්දි එයා මම වෙන මුකුත් හිතන්නත් කලින් මාව උස්සලා අත් දෙකට ගත්තා.

"ඒයි...!! මොන- කවුරුහරි එයි බූරුවො මාව බිමින් තියන්න!!"

මම කෑගහන එක සතේකට ගණන් ගත්තෙ නැති ලවන් මාව උස්සගෙනම ගිහින් මම සාමාන්‍යයෙන් ඉඳගන්න පුටුව උඩින් තිබ්බා. තිබ්බත් එක්කම බෑග් එක අතට අහුවුණ මම ඒකෙන් ලවන්ට දෙක තුනක්ම ගැහුවා. ඇයි අප්පා කරන වැඩ වලට කේන්ති යන්නැද්ද??

"මොකද මනුස්සයො වෙලා තියෙන්නෙ?? කවුරුහරි ආවනම් එහෙම- මගෙ ඩිග්‍රි එකයි බොගෙ ලෙක්චරර් පට්ටමයි ඔක්කොම ඉවරයි ඈ..."

"එහෙම වෙන්නෑ කියලා දන්න නිසා තමා මම බය නැතුව ඕවා කරන්නෙ..."

ලවන් මෙලෝ ගාණක් නැතුව ඇහැක් ගහලා කිව්වා. මක් වෙලාද ඇත්තට?? අනික මට ඔය පොඩ්ඩ ඇවිදගන්න බැරි තරම් අමාරුවක් නෑනෙ.

"තවුසෙ...මට කේන්ති වෙලාවකට කරන වැඩ වලට."

"මම කියන දේ අහන්නැති වුණාම එහෙම තමා මාත් ඔයා කියන එක ගණන් ගන්නෑ..."

ලවන් අහක බලාගෙන කිව්වා. අනේ හා...මෙහෙමයි ඉතින් කතාවෙ ඇත්තකුත් තියන නිසා මම කට පියන් හිටියා. මාත් ගස්සලා එයාව ගණන් ගන්නැතුව ඉද්දි ලවන් මගෙ අතකින් අල්ලගත්තා.

"ලවන්...ඔයාට බය නැද්ද ඇත්තටම?"

"මම ඔයාටවත් මටවත් කරදරයක් වෙන විදිහෙ කිසි දෙයක් කරන්නෑ විදුර්...මාව විශ්වාස කරන්න ම්ම්?"

ලවන් මට ඕක කීප වතාවක්ම කියලා තියනවා තමා...ඒත් මට බයයිනෙ. හැබැයි මම අත අහකට ගන්න ට්‍රයි කරෙත් නෑ. මගෙන් කිසි අවුලක් නෑ කියලා දැනගත් ලවන් මගෙ අත තවත් තදින් අල්ලගත්තා.

"ආවට කමක් නෑ...පරිස්සමට හොඳද?"

"ම්ම්..."

"අදත් යනවද බෙහෙත් දාන්න...?"

"ඔව්...වෙද මහත්තයා එන්න කිව්වනෙ. අදනම් බැන්ඩේජ් එක ගලවයි."

"ඇත්තටම අමාරුවක් නෑනෙ නේද...?"

ලවන් ඇස් දෙකත් ලොකු කරලා අහද්දි මට යන්තම් හිනාගියා. මේක පොඩි දෙයක් මනුස්සයො...ඔයිට වඩා දේවල් වෙන්නෙ මීස්සුන්ට.

"නෑ අද රිදෙන්නෙ නෑ..."

ලවන් අල්ලගෙන හිටපු මගෙ අත එයාගෙ ගාවට අරගෙන එතනින් පොඩි කිස් එකක් තිබ්බා. මම ඒ දිහා බලන් හිටියෙ ගොඩක් ආදරෙන්...පොඩි දේකටත් මේ තරම් වොරි වෙන කෙනෙක් තමන්ගෙ වෙන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද?

"මේ විදුර්...ඔයාට මේ සෙනසුරාදා වෙද්දි හොඳ වෙයිද?"

"අපෝ සෙනසුරාදා නෙවෙයි හෙට වෙද්දි හරියයි...ඇයි?"

"අපි...මාළිගාවට යමුද?"

ලවන් මගෙ ඇස් දෙක දිහාම බලාගෙන යන්තම් මගෙ අත පිරිමදින ගමන් ඇහුවා. මගෙ පපුව කියාගන්න බැරි අමුතු හැඟීමකින් පිරුණෙ ඉබේටම. මම කිව්වනෙ දවසක එයාව එක්කන් යන්නම් කියලා...ඒත් ඊට පස්සෙ අහන්නත් බැරිවුණා ඒ ගැන.

"මාත් අන්තිමයි නේ...එක්කන් යන්නම් කියලා ආයෙ ඒ ගැන මතක් කරේවත් නෑ."

මම කියද්දි ලවන් හිනාවෙලා මගෙ කම්මුල යන්තම් මිරිකුවා.

"නෑ ළමයො...ඔයාට වැඩ තිබ්බනෙ. ඒත්- මට නිකමට හිතුණා ඉක්මනට යන එක හොඳයි කියලා."

"ඉක්මනට?? ඇයි එහෙම කියන්නෙ...?"

මම ඇහුවෙ කුතුහලෙන්. මොකෝ අපි කවුරුත් කොහෙවත් යනවැහ්...අනික ඉතින් මාළිගාවත් එහෙමම එතනම තියනවනෙ. මොන හදිසියක්ද?

මම එහෙම අහද්දි ලවන් මුකුත් නොකියා හිනාවෙලා මගෙ අත හිමීට මහපට ඇඟිල්ලෙන් පිරිමැද්දා.

"මම කිව්වෙ ඔයාට...සමහර මතක ඉක්මනට අපි ළඟට ගන්න තරමට හොඳයි."

ලවන් කිව්වෙ මගෙ දිහාවත් බලන්නෙ නැතුව...තාමත් පැටලුනු අපි දෙන්නගෙ අත් දෙක දිහා බලාගෙන. එයා ගොඩක් වෙලාවට මෙහෙම හැසෙරෙනවා මම දැකලා තියනවා. අපි දෙන්නා එකට ඉද්දි ගෙවෙන තප්පරේටත් එයා වෛර කරනවා වගේ මට දැනෙන්නෙ. ඒ කියන්නෙ...අපි දෙන්නා එකට ඉද්දි එයා ඉන්නෙ සතුටින් තමයි ඒත් ඒ මොහොත ගෙවිලා යනවට එයා කැමති නෑ වගේ.

ගෙවෙන හැම මොහොතක්ම අල්ලලා නතර කරගන්න පුලුවන්නම් කියලා කියන්නෙත් එයාමනෙ...මට ඕක වැඩියෙන්ම දැනුණෙ ඊයෙ මාව බලන්න ආපු වෙලාවෙ. මම දන්නෑ ඇයි ලවන් එහෙම හැසිරෙන්නෙ කියලා. මට අහන්න ඕනෙ ඒත්...මම දැනගන්න ඕන දෙයක්නම් එයාම කියයිනෙ.

"අපි යමු..."

හිතේ තියන හැම දෙයක්ම හංගගෙන මම හිනාවෙලා කියද්දි ලවනුත් යන්තම් හිනාවුණේ මගෙ ඇස් දෙක මගෑරලා.

"එතෙන්ට ගිහාම ඔය හිතේ තියන හැම ප්‍රශ්නෙකටම සැනසීමක් හම්බෙයි..."

ප්‍රශ්නෙ මොකක්ද කියලවත් අහන්නැතුව මම එහෙම කියද්දි ලවන් ආයෙම එයාගෙ ඇස් මගෙ ඇස් එක්ක සමාන්තර කරා. මම ආසයි ඒ ඇස් වල හැඟීම් යන්තම් හරි කියවගන්න පුලුවන් වෙද්දි.

"ඔයා එහෙම හිතනවද...?"

"ම්ම්..."

මම පොඩ්ඩක් ඉස්සරහට වෙලා ලවන්ගෙ කම්මුලින් හාද්දක් තියද්දි එයාගෙ ඇස් යන්තමට පියවුණත් ආයෙම අපි දෙන්නගෙ ඇස් මුණගැහුණා. එයාගෙ ඇස් වල සතුට,දුක, බය, ඒ හැමදේකටම වඩා මගෙ හාද්ද එක්ක ඇඳුණ සැනසීම...මේ හැමදේම තියනවා වගේ මට දැනුණෙ. ඇත්තටම එහෙමද...නැත්තම් මම එයාගෙ ඇස් දෙක කියවනවා වැරදිද? තප්පර ගාණක් අපි දෙන්නා එහෙමම හිටියත් ආයෙ ගැස්සිලා දෙපැත්තට වුණේ තාම ඉන්නෙ ක්ලාස් එකේ කියලා මතක් වුණ නිසා.

දැන්නම් ළමයි එන වෙලාවටත් ළඟයි. මම බෑග් එක ඇදලා ලවන්ට කෑම එක දෙද්දි එයා ආයෙම මගෙ අතින් අල්ලගත්තා.

"කිව්වා මතකනෙ...පරිස්සමින්."

"හරි අනේ...දැන් යන්න ටේබල් එක ගාවට."

කවුරුහරි එයි කියලා බයෙන් මම ලවන්ව එලවද්දි එයා ඔලුව දෙපැත්තට වනලා හිනාවෙලා කෑම එකත් අරන් නැගිට්ටා.

හිතුවා වගේම එයා ටේබල් එක ගාවට ගිහින් විනාඩියක් යන්න වුණේ නෑ ළමයි කීප දෙනෙක් ක්ලාස් එකට ආවා. පොඩ්ඩක් එහෙ මේහෙ වුණානම් එහෙම...මේ මෝඩයට කොච්චර කිව්වත් අහන්නෑ.

ඉන්ග්ලිශ් කෝස් එකේ පැය ගාණ නිකන්ම ගෙවිලා ගියා. මමනම් ඉඳගෙනමයි හිටියෙ ඇක්ටිවිටි එකක් කරන්නවත් නැගිට්ටෙ නෑ. අන්තිමට ඒකත් ඉවර වෙලා කාලත් ඉවර වුණාට පස්සෙ තමා මට ආපු මෝඩකම කියලා හිතෙන්න ගත්තෙ.

යන්තම් හරි කකුල මහන්සි කරවපු නිසාද කොහෙද ඒක රිදෙන්න ගත්තා. ඒ වෙලේ අපි තුන්දෙනා කැෆටේරියා එකේ හිටියෙ. අයිටී කෝස් එක පටන් ගන්න තව වෙලා තියනවා.

"ඒ මගෙ කකුල ආයෙ රිදෙනවා වගේනෙ බං..."

"කිව්වා පගයට ගෙදරට වෙලා ඉඳපන් කියලා...හොඳ වැඩේ."

සිනෙලි මම කියන එක ගැන මෙලෝ ගාණක් නැතුව චොක්ලට් එකක් හපන ගමන් කිව්වා.

"ඉදකින් තොපි...පොඩ්ඩක් අනුකම්පා කරපන්කෝ."

"සිනූ කිව්වා හරි...අනුකම්පා නෙවෙයි කරන්න වටින්නෙ. ගොඩක් රිදෙනවද?"

ටිනාශත් බනින්න පටන් ගත්තට මගෙ නාළු වෙච්ච මූණ දැකලා දුක හිතිලද කොහෙද යන්තම් නැමිලා මගෙ විලුඹ දිහා බලන ගමන් ඇහුවා. බැන්ඩේජ් කරලා නිසා මම නිකන්ම ස්ලිපර්ස් දෙකක් දාගෙන ආවෙ. ඒත් ඉදිමිලාද කියලා හොයන්න බෑ.

"උඹට බෙහෙත් මොනවාහරි දුන්නද..."

"දීපු පේන් කිලර්ස් ඉවරයි...වෙද මහත්තයානම් මුකුත් දුන්නෙ නෑ අද යන නිසා."

"උඹට ඉන්න අමාරුනම් ගෙදර යමන් බං...අයිටී කෝස් එකේ මහ ලොකු දෙයක් කරන්නෑනෙ. පික්මී එකක් දාලා දෙන්නම්."

සිනෙලිත් මගෙ කකුල දිහා බලලා කිව්වා. කකුලටත් වඩා උන් දෙන්නා බය වුණේ මගෙ මූණ දැකලා මං හිතන්නෙ. දරුණුවට රිදෙන්නැති වුණත් එක පාරට කැක්කුමක් අල්ලන්න ගත්තෙ.

"මේ වෙලාවට ගෙදර කවුරුත් නෑ බං..."

ඒක මට මීටර් වුණේ එක පාරටම. අම්මා අද පුංචිලගෙ, ඒ කියන්නෙ එයාගෙ නංගිගෙ ගෙදර යනවා කිව්වා. මහ දුරක් නෑ පැණිදෙණියෙ ඒත් දන්නවනෙ එයාලා කතාවට සෙට් වුණාම. මහ රෑ වෙයි එන්න.

අප්පච්චිගෙ වැඩේ ඇවිල්ලා වෙනම කතාවක්. අපෙ ලේන් එකේ ගොඩක්ම ඉන්නෙ රිටයර් වුණ ඩොක්ටර්ස්ලා, ප්‍රොෆෙසර්ස්ලා, ලෝයර්ස්ලා, ප්‍රින්සිපල්ලා ඔන්න ඔහොම කට්ටිය. ඔක්කොම වගේ එක පෝළිමට රිටයර් වුණේ. ඉතින් මෙයාලා වගේ අය කොහොමද රිටයර් වෙලා ගෙවල් වලම ඉන්නෙ? පුරුදු නෑනෙ.

ඉතින් අවුරුදු දෙකකට විතර කලින් ඔය මම කියපු පිරිමි පාර්ශ්වය එකතු වෙලා තීරණය කරලා තියනවා සතියකට සැරයක් බ්‍රහස්පතින්දා හවස සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්න. ආතල් කියන්නෙ බොන්නනම් නෙවෙයි. එයාලා ඔක්කොම එකතු වෙලා ආගිය තොරතුරු කතා කරලා සින්දු කියලා තේ බීලා වෙලාවකට නටලා එයාලගෙ පාලුව යවාගන්නවා. සමහර දවස් වලට බාබකියු එහෙමත් දානවා...එහෙම දවසටනම් පොඩි මද්‍යපාන ටිකක් ගන්නවා කට්ටිය.

මාත් ගිහින් තියනවා සින්දු කියන්න එයාලට. කොහොමත් රට වෙනුවෙන්, පවුල වෙනුවෙන් අවුරුදු ගාණක්ම දිය කරලා ඇරපු එයාලට අන්තිම කාලෙ හරි මෙහෙම සතුටක් තියෙන්න එපැයි. මගෙ මුළු හිතම පිරිලා යනවා ඒගොල්ලන්ව එහෙම දකිද්දි. තාම ඔතන පිරිමි පාර්ශවය විතරක් ඉන්නෙ ඒ හැමෝගෙම වගේ කාන්තා පාර්ශවය තාම ජොබ් කරන නිසා. අපෙ අම්මා වුණත් එහෙමනෙ. එයාලත් රිටයර් වුණ දවසට එයාලත් ඕකටම එකතු වෙයි, නැත්තම් එයාලා වෙනම සෙට් වෙයි.

ඔය සෙට් වෙන්නෙත් ඒ ගැන්සියේම කෙනෙක්ගෙ ගෙදරට තමා. සතියෙන් සතිය සෙට් වෙන ගෙදර මාරු කරනවා. එදාට කෑම එකේ ඉඳන් අනිත් හැමදේම ඒ ගෙදර අයිතිකාරයා ගානෙ. මම කල්පනා කරලා බැලුවා අද අපෙ ගෙදරද කියලා...නෑ. ඒ කියන්නෙ අප්පච්චිත් ගෙදර නෑ.

"එහෙනම් අපි දෙන්නත් එන්නම්...නැන්දා හරි මාමා හරි එනකම් ඉන්න පුලුවන්නෙ."

"ඔව් එහෙම කරමු. හොඳ වෙලා තිබ්බ එක ආයෙ වැඩි වෙයි නැත්තම්."

කෙල්ලො දෙන්නා එහෙම කියන ගමන් පික්මී එකක් දාන්න ෆෝන් එක ගද්දි මට ආයෙ දුක හිතුණා. මුන් දෙන්නා ඊයෙ මහන්සි වෙලා මාව බලන්න ආවා මදිවට අදත් ක්ලාස් කට් කරන් මං එක්ක ඉන්න වෙනවනේ. ලවන් කියනවා වගේ මගෙ පණ්ඩිතකම නිසා තමා සේරම.

"මේ අවුලක් නෑ මට තනියම ඉන්න පුලුවන්...උඹලා දෙන්නා ක්ලාස් එකට යමන්."

"අනේ බං...තාම පවර්පොයින්ට් නේද උගන්නන්නේ? ඕකෙ හිටියා කියලා මගෙ ජීපීඒ එක නගී දැන් මේන් කියලා."

ටිනාශා කියද්දි මට හිනාගියා. කතාව ඇත්ත ඉතින්...ඒ වුණාට මට අවුල්නෙ.

"මෙහ් උඹලා දෙන්නට අවුලක් නැද්ද...?"

"නෑ බං...කොහොමත් උඹව තනියෙන් ගෙදර තියන්න බෑනෙ මොනවාහරි ඕන වුණොත් එහෙම. අපි එන්නම්."

සිනෙලි එහෙම කියන ගමන් මගෙ බෑග් එකත් අරන් නැගිට්ටා. එයාලා කිව්වෙ ගේට් එක ගාවට ගිහින් පික්මී එක දාමු කියලා. නැත්තම් දැන්මම ඒක දාලා ඒ මනුස්සයා ඇවිත් මම ඉබ්බා වගේ එනකම් ඉන්න ගියොත් හොඳ ගාණක් සෙට් වෙයි.

අපි තුන්දෙනා හිමින් ගේට් එක පැත්තට යද්දි- හපොයි මට ගැලවීමක් ඇත්තෙම නැද්ද දෙයියනේ?? දැන් ආයෙ අහගනින්කෝ පණ්ඩිතකමයි අරකයි මේකයි කියලා. ලවන් රජිත සර් එක්ක අපි ඉන්න පැත්තට ඇවිදගෙන එනවා දැක්කම මම මුකුත් වුණේ නැති බබා වගේ බිම බලාගෙන ආවා. ඒත් ඉතින් මොකක්හරි තමා කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා...අපි මේ මහ දවාලෙ ගේට් එක පැත්තට යද්දි.

මෙහෙමයි...කැම්පස් එකේ ඉස්කෝලෙ වගේ කීයටද යන්නෙ එන්නෙ, ඇයි යන්නෙ, ලෙක්චර්ස් කට් කරනවද වගේ දේවල් අහන්න හොයන්න කවුරුත් නෑ. ඔක්කොම ඉන්නෙ වැඩිහිටියොනෙ...එයාලා උගන්නනවා අපි ඉගෙනගන්නවා අන්තිමට එක්සෑම් ටික කරනවා එච්චරයි. මේ වෙලාවෙ මට බය හිතුනෙ වෙන දේකට නෙවේ ලවන්ට...ඔව් එයාට විතරමයි.

"ළමයි මොකෝ මේ...අද ක්ලාස් එකට ඉන්නැද්ද?"

රජිත සර් අහද්දි මම බිම බලාගෙනම හිටියා. සිනෙලි එයාගෙ ක්ලාස් එකේනෙ උත්තර දෙන්නැතෑ.

"විදුර්ගෙ කකුල ආයෙ පොඩ්ඩක් රිදෙනවලු සර්...අපි මේ එයාව ගෙදර එක්කන් යන්න කියලා බැලුවෙ. එයාගෙ ගෙදර කවුරුත් නැති නිසා අපි දෙන්නත් යන්නම් කියලා හිතුවා."

සිනෙලි ඔක්කොම ටික කියාගෙන ගියා. මට තේරෙනවා එක්කනෙක් මට රවාගෙනම ඉන්නෙ කියලා...ඒ නිසා මම පොඩ්ඩක්වත් ඔලුව උස්සලා බැලුවෙ නෑ.

"අදත් ඉන්න තිබ්බනෙ විදුර් අමාරුනම්..."

"අපි කිව්වා සර්...කොහෙද අහන එක්කනෙක්නම් බැරියැ."

ටිනාශා ඒක කිව්වෙනම් හිතලමයි... ඉඳපන් අල්ලගන්නම් තෝව වෙලාවක.

"ඉතින් දෙන්නම යන්නෙ ඇයි...එක්කනෙක්ට යන්න පුලුවන්නෙ."

"එහෙම එක ගර්ල් කෙනෙක් විතරක් ඉන්න එක හරි නෑනෙ නේ රජිත..."

ලවන් කියද්දි මම යන්තම් ඔලුව උස්සලා බැලුවා. රජිත සර්ත් ඒක ඇත්ත කියන්න වගේ ඔලුව වනද්දි මම ආයෙම බිම බලාගත්තෙ ලවන් මගෙ පැත්තට හැරුණ නිසා.

මෙහෙමයි...අපෙ ගෙවල් වලින්නම් අපි කවුද කියලා දන්නවා. කිසිම අවුලක් නෑ එහෙම හිටියා කියලා. මම කලින් කිව්වා වගේ ඒ පැත්තෙ එහෙම ඕපදූප හොයන අයත් නෑ, උගත් අය ඉන්නෙ. ලවන් වුණත් හොඳටම දන්නවා මම කවුද, සිනෙලියි ටිනාශයි මගෙ කවුද කියන එක. ඒත් එයා කිව්වා වගේම කෙල්ලො දෙන්නගෙන් එක්කනෙක් විතරක් කොහොමත් මගෙත් එක්ක ඉන්න ඕනෙ නෑ. ආයෙ පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වෙලා කතා හැදුනොත් අවුලක් වෙන්නෙ මට නෙවෙයි උන් දෙන්නට.

"ම්ම්...ඒකත් ඇත්ත. ඒත් මෙහෙමයි ළමයි. ඔයාලා තුන්දෙනාම ක්ලාස් කට් කරන එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි."

අපිට බලපෑමක් නොකරත් රජිත සර් කියන දේ ඇත්ත. අපි තුන්දෙනාම ඊයෙ ගියෙත් නෑනෙ. මටනම් අසනීපෙ හරි කියන්න පුලුවන්...ඒත් නිකන් හරි හේතු ඇහුවොත් සිනෙලියි ටිනාශයි මොකද කියන්නෙ? අනික මේ පටන් ගත්තා විතරනෙ. මටත් ඕක ගැන අවුලක් තිබ්බා නොකිව්වට.

"හරි...අපි විදුර් ගැන බලන්නම්. ඔය දෙන්නා ක්ලාස් එකට යන්න. එහෙම හොඳයිනෙ...?"

ඒකටනම් බිම බලන් හිටපු මට හීනියට හිනාවක් යන්න ආවත් ඒක නැවතුනේ ටිනාශා මගෙ කකුල පාගපු නිසා. ඒකි දැක්කද කොහෙද මට මනමාල හිනාවක් යන්න ආවා කියලා...වෙලාවට පෙරලුණ කකුල නෙවෙයි අනිත් කකුල පෑගුවෙ.

"ආ...හරි සර් එහෙනම්. එහෙම අවුලක් නෑ. විදුර් අවුලක් නෑනෙ?"

සිනෙලිත් අමාරුවෙන් හිනාව නවත්තන් ඇහුවා. මුන් දෙන්නා මෙහෙම හැසිරෙද්දි මම කොහොමද කියපන්කො සීරියස් වෙන්නෙ? මමත් යන්තම් ඒ දෙන්නා දිහා බලලා නෑ කියද්දි ඩබල තව විනාඩියක් ඉන්නැතුව ටටා බායි කියලා යන්න ගියා.

අනේ ඉතින් මෙහෙමත් යාලුවෝ...කමක් නෑ එහෙම තමා ඉන්න ඕන. ඒ දෙන්නා ගියත් එක්කම ලවන් ගැම්මට මම විදුර්ගෙ රෙස්පොන්සිබිලිටි එක ගන්නම් යැයි යැයි කියපු නිසා රජිත සර්ත් ගියා. එයාලට ඉතින් මේ දවස් දෙකේ හවස් වරුවෙ වැඩ නෑනෙ...කලින් ගෙදර යන්න පුලුවන් ඒ නිසා.

අපි ඒ වෙද්දි හිටියෙ ගේට් එක කිට්ටුවම වගේ. මම ලවන් දිහා තව වෙනකන්වත් බැලුවෙ නෑ.. ඇයි අප්පා බනිනවනෙ. මම බිම බලාගෙන බෑග් එකේ පටියක් රෝල් කර කර හිටියා.

"අර බෙන්ච් එකෙන් ඉඳන් ඉන්නකො...මම ත්‍රීවීලර් එකක් කතා කරන් එන්නම්."

ලවන් කියනවත් එක්කම මම පුදුමෙන් වගේ ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවා. එයත් ඇයි අහන්න වගේ ඔලුවත් ඇල කරන් මගෙ දිහා බලන් හිටියා පොඩි හිනාවකුත් එක්ක.

"ඔයා මට බනින්නැද්ද??"

"කියන දේ අහන්නැති අයට බැනලා වැඩක් නෑනෙ...අපරාදෙ මගෙ වචන. දැන් අන්න අතනින් ඉඳගන්නකො හොඳ ළමයා වගේ ගිහින්."

මගෙ පිටට ලාවට තට්ටුවක් දාපු ලවන් ත්‍රීවීලර් එකක් හොයන්න ගේට් එකෙන් එළියට ගියා. බැන්නනම් හොඳයි කියලා මට හිතුනෙ ඒ වෙලාවෙ.

ඇක්සිඩන්ට් එක වුණ වෙලාවෙ ඉඳන් පොඩි දේ ඉඳන්ම බලාගත්ත, ලොකු ලොකු ඒවා උස්සන් මාව බලන්න ඇවිල්ලා ඒ යද්දිත් පරිස්සම් වෙන්න කියලා ගිය, උදේ අඩි දෙකේ දුරත් මාව උස්සගෙන ගිහින් තිබ්බ ලවන් දැන් නිකන්ම බෙන්ච් එකෙන් ගිහින් ඉඳගන්න කියලා ගියා.

අඩු ගාණෙ ඇරලුවෙවත් නෑ මාව එතෙන්ට. හරි බෙන්ච් එක මහ දුරක් නෑ ඒත් ඒ වගේ පොඩි දෙයක් වෙනස් වෙද්දි රිදෙනවනෙ...වැරැද්ද තේරුම් ගන්න බනිනවට වඩා මෙහෙම පනිශ්මන්ට් තමා දරාගන්න අමාරු. ඇත්තටම ඉතින් වැරැද්ද මගෙනෙ...ඉන්න කියද්දි අහවල් එකේ අමාරුවට අද ආවෙ. ඒත් මට කේන්ති.

මම කේන්තියට බෙන්ච් එකට යන්නැතුව එහෙමම හිටියා. ලවන් තාම නෑ හැබැයි. එයාට පයින් යන දුර නිසා කැම්පස් එද්දි වාහනේ එන්නෙ නෑ. දැන් මම නිසාමයි ඔය ත්‍රීවීලර් එකක් හොයන්න ගියේ. ඒකට පොඩ්ඩක් පවු වගේ හිතිලා මට යන්තම් හිනාගියා.

දවල් එකටත් කිට්ටුයි...ළඟපාත ඉස්කෝල වල පොඩි පන්ති වල ඇච්චො බැච්චො ටික එළි බහින වෙලාවනෙ. ත්‍රීවීලර් හොයන්න අමාරු ඇති. විනාඩි දහයකට විතර පස්සෙ ඔන්න එයා ත්‍රීවීලර් එකක ඇවිත් ගේට් එක ඉස්සරහින් නැවැත්තුවා. මම එතනම හිටගෙන හිටපු නිසා ලවන් බැහැලා ආයෙම ගේට් එකෙන් ඇතුළට ආවා.

"ඔය ඉඳගන්න ගිය හැටිද...?"

ලවන් සන්සුන්ව අහද්දි මම අහක බලාගෙන හිටියා. මටෝන්නෑ එයාගෙ මහලොකු සැලකිල්ල.

"කෝ දැන් එන්න...අද අපෙ අපාට්මන්ට් එකට යං."

ලවන් මගෙ බෑග් එක එයාගෙ අතට ගන්න ගමන් කියද්දි මම ආයෙම ඇස් දෙකත් ලොකු කරලා බැලුවා.

"ඔයාලගෙ අපාට්මන්ට් එකට...??"

"ඇයි දැන් ගෙදර කවුරුත් නෑ කිව්වෙ...හවස් වෙලා මං ගිහින් දාන්නම්. දැන් යමු."

පළවෙනි පාරට එයාගෙ අපාට්මන්ට් එකට යං කියද්දි මට කොහෙන්දෝ ලැජ්ජාවක් ආවා. කම්මුල් රෝස පාට වේගෙන එනවා කියලා තේරුණ නිසා බිම බලාගත්තත් ලවන් ඒක දැක්කා කියලා මට තේරුණේ එයාගෙ කට කොනකින් ලාවට හිනාවක් මතුවෙද්දි.

ලවන් මගෙ බෑග් එකත් කරේ දාගෙන වැලමිටට උඩින් යන්තම් අල්ලගෙන මාව ත්‍රීවීලර් එක ගාවට එක්කන් ආවා. ඔන්න ඔහොම එපැයි ඉන්න...ආවා මෙතන බෙන්ච් එකෙන් ගිහින් ඉඳගන්න හැයි හැයි ගාන්න. ඔහොම පොඩි දේවල් කරද්දිනෙ මම ඉතින් ආදරේ.

ත්‍රීවීලර් එකේ එයාගෙ අපාට්මන්ට් එකට එන්නනම් විනාඩි පහක්වත් ගියෙ නෑ. කැම්පස් එක ගාවම අතුරු පාරකින් උඩට දාලා පොඩ්ඩයි යන්න තියෙන්නෙ. මම ත්‍රීවීලර් එකෙන් බහිද්දිම...ඇත්තටම මගෙ ඇස් අදහගන්න බැරි වුණා. ඔව්...ඒක තමා හරිම වචනෙ.

නුවර මෙච්චර ලස්සන අපාට්මන්ට් එකක් තියනවද කියලවත් මට හිතාගන්න බෑ...අපාට්මන්ට් එකක් නෙවෙයි මේක නිකන් හොටෙල් එකක් වගේනෙ. මාරම ලස්සනයි. මට ගොඩක්ම ආසා හිතුනෙ ඒ ග්ලාස් වෝල් එකෙන් පේන වීව් එක බලාගන්න.

දැනටත් මම හිටගෙන හිටපු මිදුල හරියට මාළිගාව පේනවා ඒත් ගස් නිසා හරියටම පේන්නෑ. ඇතුළට කොහොම ලස්සන ඇද්ද.

"වෝහ්...මෙතන මාරම ලස්සනයිනෙ."

මම නිකන් අර පළවෙනි වතාවට කොළඹ බලන්න ආපු සිරිපාලද මොකාද එකා වගේ ගේ දිහා බලන් ඉද්දි ලවන් මං ගාවට ඇවිත් මගෙ කම්මුලට තට්ටුවක් දාලා හිනාවුණා.

"ඔයා කැමතිද...?"

"ඔව්...මම ආසයි මෙහෙම තැන් වලට."

මම තාමත් ගේ දිහා බලන් ඉද්දි ලවන් මාව පාස් කරලා ටිකක් ඉස්සරහට ගියා.

"එහෙනම් යමු ඇතුළට..."

එයා එහෙම කියලා ආයෙම මගෙ බෑග් එකත් උස්සන් යන්න ගත්තා. මේන් වැඩක්...එතකොට මම?? මමනෙ මෙතන ලෙඩා...ලෙඩාට ඇවිදන් එන්න කියලා සර් යනවා. සෝක් රෙස්පොන්සිබිලිටි එක ගත්ත කෙනා.

මම එතනම හිටගෙන රවාගෙන ඉද්දි ලවන් යන්තම් පිටිපස්ස හැරිලා බැලුවා. හිනාවෙන කැත විතරක්.

"ඇයි එන්නැද්ද...?"

"බෑ...මගෙ කකුල රිදෙනවා."

"රිදෙන්නැති නිසානෙ කැම්පස් ආවෙ අද...බොරු නැතුව එන්න විදුර්."

ලවන් මනමාල හිනාවක් දාලා ආයෙම ගේ දිහාවට ඇවිදන් යන්න ගත්තා. මගෙ බෑග් එක තිබ්බෙ ලවන් ගාව වුණාට වතුර බෝතලේ තිබ්බෙ මං ගාව. ආපු කේන්තියට මම බෝතලේම දමලා ඇරියා එයා දිහාවට.

හපොයි...වැදෙන්න කියලා නෙවෙයි පොඩ්ඩක් බය කරන්න ගැහුවේ ඒත් මේක ගිහින් අතේ වැදුණනේ. මුලින් එහෙමම නැවතිලා බෝතලේ වැදිලා විසිවෙච්ච දිහා ටික වෙලාවක් බලන් හිටපු ලවන් හිමීට මගෙ පැත්තට හැරුණා.

එන පොටනම් හොඳ නෑ වගේ...දුවන්න කියලයෑ මේ කකුලත් එල්ලන්. මම හිතන්නත් කලින් මගෙ බෑග් එක එතනම බිම අතෑරපු ලවන් මගෙ දිහාවට වේගෙන් ඇවිදගෙන ආවා.

"ඒයි...එන්නෑ ළඟට!! මම 119 කෝල් කරනවා හරිද?? වට් ද-"

වෙන කිසි දෙයක් කියන්න කලින් ලවන් මාව උස්සලා අත් දෙකට ගද්දි මගෙ අත් ඉබේම එයාගෙ උරහිස වටේ එතුනා.

"ඕකටනෙ ඉතින් ඔය ඔච්චර නැටුවෙ..."

ලවන් මගෙ මූණ ගාවටම ළං වෙලා හිනාවෙලා කියද්දි මම එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා. ඕකට තමයි ඉතින් වෙන මොකටද??

"කෝ ඔය රෝස පාට මූණ හංගන්න එපා ඉතින්...මම ආසම ඔයා එහෙම වෙනවටනෙ."

මේ මනුස්සයා කියන ඒවට තව රෝස වෙනවනෙ ඉතින්...මම යන්තම් ඔලුව උස්සලා බලලා එයාගෙ කම්මුලින් දැනෙන නොදැනෙන ගාණට කිස් එකක් තියද්දි ලවන් ආයෙම හිනාවුණා. එයාගෙ ඇස්...මම ආසම ඒවා එහෙම සතුටින් දිලිසෙද්දි.

ලවන් මාව අරන් ඇවිත් පරිස්සමට සෝෆා එක උඩින් තියලා පස්සෙ මගෙ බෑග් එකයි කොහෙදෝ අස්සකට විසිවෙලා තිබ්බ නිසා විනාඩි විස්සක් විතර පඳුරු අස්සෙ බඩගාලා හොයාගත්ත මගෙ බෝතලෙයිත් සාලෙන් ගෙනත් තිබ්බා.

එයා මාව තිබ්බෙ වැව එහෙම ලස්සනට පේන තැනකින්. වෝහ්...මට දවසම වුණත් මේ වීව් එක දිහා බලන් ඉන්න පුලුවන්. උදේට මීදුම බෑවම කොහොම ලස්සන ඇද්ද.

මම කල්පනා කර කර ඉද්දි ලවන් මට පේන් කිලර්ස් දෙකක් දීලා මගෙ කකුල පරිස්සමට ස්ටූල් එක උඩින් අරන් තිබ්බා. දැන් ආයෙම වේදනාව අඩුවෙලා තිබ්බෙ කලින්ට වඩා. ඒත් ලවන් ඒ කෙයාර් කරන විදිහ...මට ලෝබයි.

"ඔයා වොශ් දානවද විදුර්..."

"ඕන්නෑ ලවන්...තව පැය දෙක තුනකින් යනවනෙ. බැන්ඩේජ් එක අයින් කරාට පස්සෙ එකවැරම වොශ් දාගන්නම්."

"ම්ම්...මම වොශ් දාන් එනකන් ඉන්න එහෙනම්. ඔයාට මොනවද ඕනෙ? කොෆී එකක්...?"

අනේ එයා එහෙම අහද්දි මට පවු හිතුණා. ආපු වෙලාවෙ ඉඳලත් මගෙ ඒවටම නැහුණ එක එයා කරේ.

"අනේ එපා ලවන්...මං නිසා ඔච්චර මහන්සි වෙන්න එපා. ඔයා වොශ් දාන් එන්න."

"මහන්සිනම් තමා...ඔක්කොටම වඩා අර බෝතලේ හොයන්න ගිහින් කොන්දෙ පොට ගියාද කොහෙද."

ලවන් කොන්ද අල්ලන් කියද්දි අපි දෙන්නටම හිනාගියා. ඇඳුමෙ මඩත් ගෑවිලාද කොහෙද...තව පවු හිතෙනවනෙ ඉතින්.

"ඔයාට අවුලක් නෑනෙ එහෙනම්...මම ඉක්මනට එන්නම්."

ලවන් මගෙ කොණ්ඩෙත් අවුස්සගෙනම වොශ් දාන්න උඩ තට්ටුවට ගියා. මම ටික වෙලාවක් මට පේන වීව් එකේ ෆොටෝ දෙක තුනක් ගහලා ඒකෙන් එකක් ඉන්ස්ටර් ස්ටෝරි දාලා පොඩ්ඩක් ෆෝන් එක ඔබ ඔබ හිටියා. ඒත් ඒ වෙලාවයි, ඇඟට යන්තමට දැනුණ මහන්සියයි එක්ක මට පොඩි නිදිමතක් ආවා.

මම ආයෙම ඇහැරුණේ ලවන් මගෙ උරහිසට යන්තම් තට්ටු කරනවා දැනෙද්දි.

"විදුර්...නැගිටින්න..."

"හ්ම්හ්හ්..."

එයාගෙ කටහඬේ තිබ්බ සොෆ්ට් ගතියට මන තව පොඩ්ඩක් ඒ පැත්තටම බර වෙද්දි එයා මාව අත් දෙක අස්සට අරගෙන පපුවට තුරුල් කරගත්තා. හම්මේ...සනීපයි.

"නැගිටලා කොෆී එක බීලා ඉන්න...ඊට පස්සෙ නිදාගමු."

ලවන් කොෆී කියද්දි යන්තම් මගෙ ඇස් ඇරුණම එයාට හිනාගියා. වොශ් දාලා නිසා එයා ළඟ සීතලයි, සුවඳයි. ඒත් මාරම සනීපයි...මට ලෝබයි එහාට වෙන්නත්. ඒත් කොෆී එක බීලා ඉන්න එපැයි ඉතින්.

මම පොඩ්ඩක් එහාට වුණාම ලවන් මාව ආයෙම සෝෆා එකට හේත්තු කරලා කොෆී එක අතට දුන්නා. එයත් එයාගෙ කොෆී එක අරන් වෝල් එක පැත්තට හැරිලා ඉඳගත්තමත් මම බලන් හිටියෙ එයා දිහාමයි.

මම හැමදාම කියනවා වගේ...ආදරේ දැනෙන්නෙ ලොකු දේවල් වලින් නෙවෙයි. මේ වගේ පොඩි පොඩි දේවල් වලින්. මටනම් ආදරේ දැනෙන්න මේ හොඳටම ඇති.

ලවන් දවසක් කිව්වා වගේම මට මුලින් එයා ගැන වෙනස් හැඟීමක් දැනෙද්දිත් මම දැනන් හිටියෙ නෑනෙ එයා කොයි වගේද කියන එක. ඇත්තටම ඒක යුනිවර්ස් එකේ සයින් එකක් වෙන්න ඇති...මට හරියනම කෙනා ඒ විදිහට මං ගාවට එවද්දි මට ඒක දැනුණෙ ඒක වෙන්න ඇති.

කොෆී එක බොනකන්ම මම කල්පනා කර කර එයා දිහා බලන් හිටපු මම එක පාරට ගැස්සුනේ ලවන් හැරිලා මම දිහා බැලුව නිසා. ඒ අලු පාට ඇස් දෙක එක පාරට මගෙ ඇස් හම්බෙන එකට මට කවදාවත් හුරු වෙන්න බැරිවෙයි.

"ඇයි...?

ලවන් අහද්දි මම හිනාවෙලා ඔලුව වැනුවෙ මුකුත් නෑ කියන්න. මම මොනවා කියන්නද...කොහොමත් මෙච්චර කල් අපි දෙන්නා වචන වලින් හැඟීම් බෙදාගත්තා හරි අඩුයි.

"මුකුත් නෑ කියන්නෙ...මගෙ දිහා බලාගෙන භාවනා කරනවද?"

"වෙද මහත්තයා කිව්වා ඉක්මනට සනීප වෙන්නනම් අලු පාට ඇස් දෙකක් දිහා ගොඩක් වෙලා බලන් ඉන්න කියලා."

"ඇත්තද...?"

ලවන් මගෙ ගාවටම ළං වෙලා අහද්දි මම මනමාල හිනාවක් දාන් එයා දිහා බලන් හිටියා.

"ම්ම්..."

"එහෙනම් ඉතින් ඔහොම බෑනෙ..."

මම ඇයි කියලා අහන්නත් කලින් ලවන් මාව ඉන ගාවින් උස්සලා එයාගෙ උකුල උඩින් තියාගත්තා...මගෙ කකුල් දෙක එයාගෙ දෙපැත්තෙන් තියන විදිහට. මම කවදාවත් මෙහෙම ඉඳලා නෑ...මෙහෙම ඉද්දි ළඟ වැඩි වගේ දැනෙනවා.

අනික එයා තාම මගෙ ඉන ගාවින් අල්ලන් ඉන්නෙ. ඇඟට දැනෙණ අමුතු හැඟීමට මගෙ පපුව වේගෙන් ගැහෙනවා මට දැනුණා.

"දැන් ලේසියෙන්ම බලන් ඉන්න පුලුවන්නෙ..."

ලවන් හිනාවෙලා කියද්දි මම එයාගෙ හුඩී එකේ කොනක් අතට ගුලි කරගෙන බිම බලාගත්තා. පණ්ඩිතයා වගේ කිව්වට එහෙම බලන් ඉන්න බෑ...ඒ බැල්ම දරාගන්නෙ කොහොමද?

ඒත් ලවන් මගෙ දිහාම බලන් ඉන්නවා කියලා දැනෙද්දි මම කෙලින්ම එයා දිහා බැලුවා. වෙනදා වගේම අපෙ ඇස් හම්බෙද්දි අනිත් හැමදේම මට අමතක වුණා. මම හිමින් මගෙ ඇඟිලි තුඩු දෙකක් එයාගෙ නළල ගාවට ගෙනිහින් හිමින් පහළට අරන් එද්දි එයා ඇස් දෙක පියාගත්තා. පියාගත්ත ඇහැ උඩ මම හිමින් මහපට ඇඟිල්ලෙන් පිරිමදිද්දි මගෙ ඉනේ තිබ්බ ලවන්ගෙ අත් දෙක තව තව තදවුණා. එයාගෙ පපුව උඩ තිබ්බ මගෙ එක අතකට දැනුණා එයාගෙ හාට්බීට් එක වැඩි වෙනවා.

මම එයාගෙ ඇහැ ගාවින් අත අයින් කරාම ලවන් ආයෙම මගෙ ඇස් දෙක දිහා බලන් හිටියා. මගෙ කම්මුල හිමීට පිරිමදින ගමන් තව ටිකක් මට ළංවුණ එයා මගෙ කම්මුලින්, තොල් අග ගෑවෙන්න නොගෑවෙන්න කිස් එකක් තිබ්බා.

යන්තම් හරි ලවන්ගෙ තොල් මගෙ තොල් වල ගෑවෙද්දි මගෙ ඇඟම හිරිවැටුණා වගේ මට දැනුණෙ. එයාගෙ පපුව උඩ තිබ්බ මගෙ අත ලවන්ගෙ හුඩී එක ගුලි කරලා අල්ලගත්තෙ හිතට විතරක් නෙවෙයි ඇඟටම දැනෙන ආගන්තුක හැඟීමට.

මගෙ වෙනස තේරුණ නිසාමද කොහෙද යන්තම් හිනාවුණ ලවන් මගෙ නළලට හාද්දක් දීලා මාව තුරුල් කරගත්තා.

"දැන්ම නෙවෙයි..."

ලවන් මගෙ කන ගාවින් ලාවට මුමුණනවා මට ඇහුණා. එයා එහෙම කියද්දි...හරි මටත් තේරෙනවා තාම ඉක්මන් වැඩි කියන එක ඒත් ලවන් ඒක කියපු විදිහ සාමාන්‍ය නෑ කියලා මට තේරුණේ. හරියට...ලොකු බරක් හිතේ තියාගෙන ඉන්නවා වගේ.

මම කැමති නෑ එයා එහෙම වේදනාවෙන් කතා කරනවට. මට කරදරයක් වුණ හැමවෙලේම එයා ළඟ හිටියනෙ...මාත් කැමති ඒ විදිහටම එයා ගාවින් ඉන්න හැම ප්‍රශ්නෙකදිම.

"ලවන්..."

"ම්ම්...?"

මම ලවන්ගෙ උකුලින් අයින් වෙලා එයාගෙ එහා පැත්තෙන් ඉඳගෙන මගෙ අතක් එයාගෙ අතක පටලගත්තා.

"ඔයා...මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?"

මම ගොඩක් වදවුණ කටහඬකි අහද්දි ලවන් අපෙ පැටලුනු අත් දිහා බලලා හිනාවුණා.

"ම්ම්...අපි එහෙම කියමුකො."

"ඉතින් ඇයි මට කියන්නැත්තෙ...?"

මම එයාට කිසි දේකට බල කරනවා නෙවෙයි ඒත්...මම අර කලින් කියපු හේතුව මගෙ හිතට වද දෙනවා. මම ඇස් දෙකත් ලොකු කරලා ලවන් දිහා බලලා අහද්දි එයා මගෙ පැත්තට හැරිලා වාඩිවෙලා මගෙ කම්මුල කප් කරා.

"මොකද ඔයා ගාව ඒවට උත්තර නැති නිසා විදුර්...උත්තර නැති ප්‍රශ්න ඔයාගෙ ඔලුවට දාන්න මට ඕනෙ නෑ."

ලවන් කිව්වෙ මගෙ ඇස් දෙක දිහා බලාගෙනම. ඒවගෙ කිසිම අවිශ්වාසයක් ගෑවිලා තිබ්බෙ නෑ...මම දැක්කෙ ඒ ඇස් වල තිබ්බ අමුතු වේදනාවක් විතරයි.

"හැබැයි...ඔයාට උත්තර දෙන්න පුලුවන් එක ප්‍රශ්නයක් තියනවා."

මම උනන්දුවෙන් ඔලුව උස්සලා බැලුවෙ ඒ මොකක්ද කියලා දැනගන්න. මට උත්තර දෙන්න පුලුවන් එක ප්‍රශ්නෙකින් හරි එයාගෙ හිත නිවෙනවනම් මට ඒ ඇති.

"මොකද්ද...?"

"බැරිවෙලාහරි..."

ලවන් කියන්න ගිය එක නවත්තලා ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉඳලා අත් දෙකින්ම මගෙ කම්මුල් අල්ලගත්තා.

"බැරිවෙලාහරි ඒ දේවල් හරිගස්සන්න මට ටික කාලෙකට යන්න වුණොත්...ඔයා මම එනකන් ඉන්නවද?"

එයා ඒක ඇහුවෙ අවිනිශ්චිතව. කටහඬේ විශ්වාසයක් නොතිබුණා නෙවෙයි...ඒත් එහෙම ප්‍රශ්නයක් අහද්දි එයාගෙ කටහඬේ එහෙම යන්තම් හරි අන්ශුවර් ගතියක් රැඳුණෙ ඇයි කියන එක මට තේරෙනවා.

ඕක හිත හිත ඉන්න ප්‍රශ්නයක් නෙවෙයි ලවන්...මට ඕනෙ ඔයාගෙ හිතේ තියන පොඩි හරි අවිනිශ්චිත කමත් නැති කරන්න.

"ඔව්..."

මම කිව්වෙ එයාගෙ ඇස් දිහාම බලාගෙන ගොඩක් විශ්වාසෙකින්. මම එහෙම කියද්දි ලවන්ගෙ ඇස් දෙක පිදුමෙන් ලොකු වුණ විදිහට මට හිනාගියා.

"ඇයි...?"

මම ඒ හිනාව මැදින්ම අහද්දි ලවන්ටත් යන්තම් හිනාගියා. මගෙ කම්මුල් වලින් අත් දෙක අයින් කරපු එයා ආයෙම මගෙ අත් දෙක අල්ලගත්තා.

"නෑ ඉතින් ඔයා...කල්පනා කරන්නෙවත් නැතුව ඔව් කිව්වනෙ."

"හරි දේ තෝරගන්න හිත හිත ඉන්න ඕනෙද...?"

මම අහද්දි මම දැක්කා ලවන්ගෙ ඇස් දෙකේ දුක නැතිවෙලා ගිහින් ආයෙම හැඟීම් වලින් පිරෙනවා. එයා මුකුත්ම නොකියා මගෙ දිහා බලන් හිටපු නිසා මම ආයෙම කතා කරන්න ගත්තා.

"මම ඔයාට කිව්වනෙ...මට මීට කලින් කිසිම කෙනෙක් ගැන මෙහෙම දැනිලා නෑ. පළවෙනි වතාවට මට ඒ දැනුණ හැඟීම ගැන මට විශ්වාසයි ලවන්..."

"...."

"ඒ හරිම තීරණේ කියලා මට විශ්වාසනම්...ඒ වෙනුවෙන් මට ඕනම කාලයක් බලන් ඉන්න පුලුවන්. මම ඔයා එනකම් ඉන්නවා. ඉ-ඉක්මනට එන්න හොඳද?"

අන්තිම ටික කියද්දි මගෙ කටහඬ වෙව්ලපු නිසා ලවන් ආයෙම මට කිට්ටු වෙලා අත් දෙකින්ම මගෙ මූණ අල්ලගත්තා.

"මම කොහොමද නෑවිත් ඉන්නෙ? ඔයා මාව පිස්සු වට්ටලා තියෙන්නෙ විදුර්...ඔයා නැතුව හිටපු කාලෙ අමතක වෙන තරමටම."

"මටත්...මම- මම ඔයාව බලාපොරොත්තු වෙනවා හැමදේකදිම."

"ඔයාට මාව විශ්වාසයි නේද විදුර්...?"

ලවන් ඇහුවෙ කලින් වගේ අවිනිශ්චිතවනම් නෙවෙයි. එයාට ඕන වුණේ ඒ වචනෙ මගෙන්ම අහගන්න විතරයි කියලා මට තේරුණා.

"ඔව්..."

මම උත්තර දෙද්දි මට දැනුණා මගෙ ඇස් වල කඳුලු පිරෙනවා කියලා. ඒත් මම ඉවසගෙන්න එයාගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. මගෙ විශ්වාසෙ නිකන්ම අන්ධ විශ්වාසයක් නෙවෙයි...මම ඒක දන්නවා.

මොකද මනුස්සයෙක් කොච්චර බොරු කරන්න හැදුවත් ඇස් දෙකට බෑ කිසි දෙයක් හංගන්න. මම හැමදාම විශ්වාස කරන දෙයක්...eyes don't lie. කෙනෙක්ගෙ ඇස් දෙක දිහා බැලුවම එයාගෙ හිතේ තියන දේ කියවගන්න පුලුවන්.

ලවන්ගෙ ඇස් දෙකේ තියෙන්නෙ ආදරේම විතරයි. අලු පාට හිස් පාටක් වෙන්න ඇති...ඒත් එයාගෙ හැඟීම් හිස් නෑ. ඒ හැඟීම හැමදාම විඳගන්න පුලුවන් දවසක් එනකම් මට ඕන තරම් කාලයක් බලන් ඉන්න පුලුවන්.

මගෙ උත්තරෙත් එක්ක සතුටින් පිරිලා ගිය ලවන් මාව තද කරලා බදාගත්තා. මමත් අනිත් පැත්තට එයාව බදාගත්තෙ එයා ගාවින් එන ජැස්මින් සුවඳින් මගෙ පපුවම පිරිලා යද්දි.

ලවන් විනාඩි ගාණක් යනකන්ම මාව ඒ විදිහට හග් කරගෙන හිටියා. ඒ සුවඳටයි එයා ගාවින් දැනෙන සනීපෙටයි ආයෙම මගෙ ඇස් දෙක යන්තම් පියවීගෙන එද්දි ලවන්ට ඒක තේරිලා වගේ හග් එක බ්‍රේක් කරලා මගෙ උරහිසින් අල්ලගත්තා.

"නිදිමතද...?"

බර වෙලා තිබ්බ මගෙ මූණට එබිලා ලවන් අහද්දි මම නිදිමතේම ඔලුව වැනුවෙ ඔව් කියන්න.

"ඔයාට ගස්ට් රූම් එක ලෑස්ති කරන්නද-"

ලවන් කියලා ඉවර කරන්නත් කලින් මම ලවන්ව සෝෆා එකේ පෙරළගෙන එයාගෙ ඇඟ උඩ එහෙම්ම දිගාවුණා.

"ගස්ට් රූම් මොකටද අනේ ඔයා මෙච්චර සනීපෙට ඉද්දි..."

මම තව ටිකක් හරිබරි ගැහෙද්දි ලවන් හිනාවෙලා මගෙ වටේ අත් දෙක දාලා මාව තව ටිකක් ළං කරගත්තා. සනීපයි...ලවන් මගෙ නළලින් දිග හාද්දක් තියලා හිමීට මගෙ කෙස් අතරින් ඇඟිලි අරන් ගියා.

"මට පැය දෙකකින් විතර ඇහැරවන්න හරිද...?"

"ම්ම්...නිදාගන්න."

තවමත් මගෙ ඔලුව හිමින් අතගාන ගමන් ලවන් කියද්දි මම එයාගෙ උණුහුම මැද්දෙ සනීප නින්දකට වැටුණා.

--------------

හායි 🙂 මේකෙන් බාගයක්ම ලිව්වෙ උණ හැදිලා විකාර වෙලා ඉද්දි. ඒ නිසා අවුල්නම් සොරි හොඳේ...

මම පොඩි බඩ්ඩක් කියන්නද? මම විදුර්ගෙ අම්මගෙයි තාත්තගෙයි විස්තර දැම්මෙ මම කැම්පස් යන කාලෙ බෝඩ් වෙලා හිටපු ගෙදර ආන්ටියි අන්කලුයි මතක් කරගෙන.

ඒ ආන්ටිත් රිටයර් වෙද්දි වයිස් ප්‍රින්සිපල් කෙනෙක්. ඒත් විදුර්ගෙ වයස ගැන හිතලා මේකෙ අම්මව රිටයර් කරේ නෑ. වෙනසකට තියෙන්නෙ අන්කල් ඩීන් වෙලා හිටියෙ ඇග්‍රි ෆැකල්ටි එකේ...මම සයන්ස් ෆැකල්ටි නිසා මේකෙ අප්පච්චි සයන්ස් ෆැකල්ටි ඩීන් කරා 😁

ඒ දෙන්නට හිටියෙ පුතාලා තුන්දෙනෙක්. කතාවට තුන්දේනෙක් වැඩි...ඒ නිසා දෙකක් කරා 😐

කොහොමහරි ඉතින් ඉස්සරහ ලෙක්චර්ස් ඉවර වෙලා ගිහින් තේ එකක් එහෙම බොන වෙලාවට ආන්ටිත් කුස්සිය පැත්තට එනවා. එයාලගෙ කුස්සියයි අපෙ අපාට්මන්ට් එකේ කුස්සියයි එක බිත්තියකින් වෙන් වුණේ. ආන්ටිට දුවලා නැති නිසා හරි ආසයි මාත් එක්ක කතා කර කර ඉන්න.

බෝඩිමේ අනිත් අය එහෙම වැඩිය ආන්ටි එක්ක කතා කරන්න ආවෙ නෑ...ඒත් ආන්ටි මාත් එක්ක කතා කරන විදිහෙන් මට තේරෙනවා එයා හරි ආසයි එහෙම කතා කරන්න කියලා. රිටයර් වුණ ටීච කෙනෙක්ට කොච්චර අමාරු ඇද්ද ගෙදරට වෙලා ඉන්න. එක්සෑම් අනම් මනම් එහෙම මුකුත් නැත්තම් මම පැයක් හරි එයා කියන දේ අහන් ඉන්නවා.

අන්තිමට මම එන දවසෙ එයාට ඉබේම ඇඬුනා...ඔයා වගේ දරුවෙක් ආයෙ එයිද දන්නෑ කියලා. බෝඩිමේ අනිත් හැමෝම පුදුම වුණා ඒකට...මොකද එයාගෙ ඒ සොෆ්ට් සයිඩ් එක වෙන කවුරුත් දැකලා තිබ්බෙ නෑ.

ඉතින් මට හිතුණා අවුරුදු තුනක්ම බෝඩිමෙ ඉද්දි මාව බලාගත්ත එයාව මතක් වෙන්නත් එක්ක මේ කැරැක්ටර් එක ටිකක් එයාට සමාන කරන්න 🫢

ආහ් ඉස්කෝලේ නිවාඩුනම් මහකන්දෙ බස් වල සෙනඟ වැඩි කොහොමද අහන්න එපා 😐 පේරා කැම්පස් එකේ සමහර හොස්ටල් තියෙන්නෙ කිලෝමීටර් ගණන් දුර. ඒවයෙ ඉන්නෙ ඔක්කොම ලෙක්චර්ස් එද්දි 8ට විතර ඒ බස් එක්කට නගිනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි බැරි වැඩක්.

Share This Chapter