Back
/ 35
Chapter 9

Part 9

සීමාවෙන් එහා

"අම්මේ...මගෙ සුදු පාට ශර්ට් එක පහළද?"

මම උඩ තට්ටුවේ ඉඳන් බෙරිහන් දුන්නා. මට මතකයි මම ඒක හෝදන්න මැෂින් එකට දැම්මා කියලා ඒත් උදේ බලද්දි කොයි ලෝකෙද දන්නෑ.

"ඔව්...මඟට එනවද මම දෙන්නම්."

අම්මා කියද්දි මම අඩියට දෙකට පඩිපෙළ බැහැලා ගියා. ඔව් දැන් එහෙම බහින්න පුලුවන්...කකුල හොඳයි. අම්මා ආයෙ කුස්සියේ ඉඳන් එන්න ඕනෙ නෑනෙ මගෙ ශර්ට් එක දෙන්න ඒ නිසා මම පහළටම ආවා.

"ඕක මදින්න ඕනෙ නැද්ද චූටි...?"

"මම කාමරේට අරන් ගිහින් මදින්නම් අම්මෙ..."

මම ශර්ට් එකත් අරන් ආයෙම කාමරේට ආවා. ඉස්සරහ අයියත් ඉද්දි...අයියාගේ කැම්පස් ගියෙත් පේරානෙ. එයත් ගෙදර ඉඳන් ගියේ. එයයි අප්පච්චියි මායි උදේට ඇඳුම් මදින්න ගිහාම එක යුද්ධයයි. වෙලාවට බාත්‍ රූම් දෙකක් තියන නිසා ඒකනම් ශේප් වුණා. ඒත් අයන් බෝඩ් තිබ්බෙ එකයිනෙ. ඒක උදේ පාන්දර අයිති කරගන්න එක තමා ලොකුම දේ.

අම්මා විතරයි රෑ ඇඳුම් අයන් කරලා තියන්නෙ. අපෙ හැටි ඉතින් දන්නවනෙ. ඇඳුම් හොයාගන්නෙත් උදේ පාන්දරනෙ. ඕක කරන්න බැරිකමට මම අම්මා දෙන කීය කීය හරි එකතු කරලා අයන් එකක් ගත්තා මටම. ඒ කාලෙ ඉතින් ජොබ් එක තිබ්බෙ නෑ අම්මයි අප්පච්චියි දෙන කීයක් හරි තමා.

ඒ නිසා උදේට යුද්ධ පොඩ්ඩක් අඩුවුණා. දැන්නම් කොහොමත් යුද්ධයක් නෑ...මම විතරනෙ උදේට ඇඳුම් මදින්න ඉන්නෙ. ඒත් තාම මම පුරුද්දට මගෙ අයන් එකම පාවිච්චි කරනවා.

මම සුදු ශර්ට් එකට ඩෙනිම් එක ඇඳලා ලෑස්ති වෙලා හවසට අඳින ඇඳුමත් බෑග් එකට ඔබාගත්තා. රේන්බෝ කලර්ස් වගේ දුහුල් ශර්ට් එකයි කලු ටයිට් ජීන් එකයි. ගිටාර් එකත් කරේ දාගත්ත මම පහළට එද්දි අම්මා බත් බෙදලා බලාගෙන ඉන්නවා මම දැක්කා.

"චූටි ඔහොම්ම කැෆේ එකට යන්නද...?"

"ඔව් අප්පච්චි...එකවැර ඉඳලම එන්නම්."

"එතකොට දවල්ට කන්නෙ...?"

අම්මා අහද්දි අප්පච්චි යන්තම් උගුර පෑදුවෙ අම්මට තේරුම් කරවන්න මං හිතන්නෙ. ඔව් ඉතින් තේරෙන්න එපැයි...මම කිව්වෙ නෑ ලවන් එක්ක මාළිගාවට යනවා කියලා. මම කිව්වෙ උදේ වරුවෙ මාළිගාවට ගිහින් හවස එහෙම්ම කැෆේ යනවා කියලා විතරයි. අම්මගෙ සූක්ෂම මොළේට ඕක අමතක වුණාද??

අප්පච්චි දිහා අම්මා තප්පර දෙකක් විතර බලන් ඉඳලා ඇස් දෙකත් ලොකු කරලා සිද්ධිය තේරුම් ගද්දි මම ඒක දැක්කෙ නෑ වගේ කෑම මේසෙන් ඉඳගත්තා.

"ඕහ්...ආ හරි හරි. චූටි පුතා මම කවන්නද? සුදු ශර්ට් එකනෙ පොඩ්ඩක් හරි ගෑවුණොත් එහෙම."

අම්මා වෙලාවකට මට කවනවා තමා ඒත් අද කවදාවත් නැති අමුතු හිනාවක් එක්ක අහද්දි මම ඇස් දෙකත් ලොකු කරන් අම්මා දිහා බැලුවා. අනික මේ ශර්ට් එකේ හලාගෙන කන්න මම බබෙක්යැ.

"ඕන්නෑ අම්මා මම-"

"කෝ දෙන්න...අද ඔයා ආසා ඒවා තියෙන්නෙත්."

අම්මා මම මුකුත් කියන්නත් කලින් මගෙ එහා පැත්තෙන් ඉඳගෙන මගෙ බත් එක අනන්න ගත්තා. අප්පච්චිත් හිනාව හංගගෙන එයාගෙ බත් එක කනවා. අනේ ඉතින් මේ දෙන්නගෙ කෝලං ඉවසන් ඉන්නවට මට වෙනම ගෙවන්න ඕන...අනික කවනවනම් මටත් මොකෝ ඉතින්.

මම බත් එකත් ඔක්කොම කාලා අම්මටයි අප්පච්චිටයි වැඳලා පාරට ආවා. ලවන් කාර් එකේ එනවා කිව්ව නිසා මම හිතුවා බයික් එකේ යන්නැතුව බස් එකේ යන්න.

ලවන් කිව්වා මාව පික් කරන්න එන්නම් කියලා. ඒත් ඒකට තාම කල් වැඩි කියලා මට හිතුනෙ. එයා ගිය සතියෙත් මාව ඩ්‍රොප් කරන්න ආවා ගේ ගාවටම. එදානම් රෑ වෙලා නිසා අවුලක් නෑ. පෙරේදා එයාලගෙ අපාට්මන්ට් එකට ගිය දවසෙ හවසත් ආවා. එදානම් මම ගේ ගාවටම ගියෙ නෑ.

අපෙ ගෙදර තියෙන්නෙ ප්‍රධාන පාරෙන් හැරෙන අතුරු පාරක ටිකක් දුර ගිහාම. පෙරේදා හවස් වරුව වගේ නිසා මම අතුරු පාර ගාවින් බැස්සා. හැමදාම එකම කාර් එක මාව ඩ්‍රොප් කරන්නයි පික් කරන්නයි එන එකත් එච්චරම හරි නෑ වගේ හිතුණා...ඇට් ලීස්ට් ෆො නව්.

ඒ නිසා මම ලවන්ට කිව්වා මාළිගාව ළඟ ඉන්න මම එනකම් කියලා. ඊට පස්සෙ ඉතින් යන තැනක එයා එක්ක යන්න පුලුවන්නෙ.

මම වැව රවුම ළඟ හෝල්ට් එකේ බහිද්දි උදේ අටට විතර ඇති. මම උදෙන්ම ආවා. අද සෙනසුරාදා නිසා කොහොමත් සෙනඟ ඇති. දවල් දානෙ පූජා කරන වෙලාවට සෙනඟ වැඩි නිසා මම හිතුවා උදේම යන්න.

දානෙ පූජා කරන වෙලාවට යන එකත් හොඳයි...කරඬුව විවෘත කරනවනෙ. ඒත් අද ලවන් යන පළවෙනි වතාවනෙ. එදාට පොඩ්ඩක් නිදහසේ වන්දනා කරලා වෙන දවසක කරඬුව බලන්න එක්කන් යනවා.

මම පාර පැනලා වැව රවුම දිගේම මාළිගාව පැත්තට යද්දි මම දැක්කා ලවන් එතන බෙන්ච් එකක ඉඳන් ඉන්නවා. එයත් ඇඳලා හිටියෙ සුදු ශර්ට් එකට ඩෙනිම් එකක්. එයාට එහෙම ලස්සනයි...මම ළඟට ගිහින් තට්ටුවක් දාන්න කියලා හදනකොටම එයා මම එනවා කියලා දැනිලා වගේ මගෙ දිහා හැරිලා බැලුවා. ඔන්න එතකොට තමා ඇස් දෙක යන්තම් ටිකක් පාට වුණේ.

අර ඉන්ස්ටර් රීල්ස් එහෙම තියෙන්නෙ...දාහකට ගහන්න වගේ ඉඳලා පාර්ට්නර්ව දැක්ක ගමන් බබා වගේ හිනාවෙන. අන්න එහෙම.

"ඔහ් ඔයා ආවද...ගුඩ් මෝනින්."

"ගුඩ් මෝනින්...ඔයා ගොඩක් වෙලාද ඇවිත්?"

මම ලවන්ගෙ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ඇහුවා. මම බෑග් එක හදන් ඉඳගන්නවත් එක්කම ලවන් මගෙ ගිටාර් එක එයා අතට ගත්තා. මගෙ අතේ බඩු ගොඩයිනෙ.

"විනාඩි දහයක් වගේ...මෙතන හරි නිදහස් නේද විදුර්?"

ලවන් කිව්වෙ වැව දිහා බලාගෙන. ඇත්ත...මමත් ඕන තරම් මේ බෙන්ච් එකේම ඉඳගෙන ඉඳලා ඇති. එහෙම වැව දිහා බලාගෙන මනෝ පාරක් ගහන් ඉද්දි අනිත් හැමදේම අමතක වෙනවා.

මමනම් සින්දුවකුත් දාගන්නවා වෙලාවකට. දවසක් අප්‍රේල් මාසෙ වගේ දවසක මම ඔහොම ආවා...කොහොමත් ඒ රොබරෝසියා මල් පිපෙන කාලෙනෙ. වැව රවුමෙ රොබරෝසියා දිහා බලාගෙන මම තරිඳු දම්සරගෙ රොබරෝසියන් සින්දුව ඇහුවා ඔන් රිපීට්. මම එදා මාළිගාවට ගියෙත් මොකක්හරි ප්‍රශ්නයක් හිතේ තියාගෙන. ඒත් ඔය අත්දැකීමත් එක්ක මට ඒ ප්‍රශ්නෙ අමතකම වුණා කිව්වොත් හරි. ඉතින් ලවන්ටත් ඒ හැඟීමම දැනෙන එක පුදුමයක් නෙවෙයි.

"ඔව්...මම ඔයාට කිව්වෙ. මාළිගාවයි වැව රවුමයි කියන්නෙම හිත් නිවන්න පුලුවන් බෙහෙත් වගේ."

ලවන් මම කිව්ව එකට හිනාවෙලා අත අල්ලගන්න හැදුවත් මම ඉක්මනට අත පිටිපස්සට ගත්තා.

"ලවන්...මෙතන මිනිස්සු ඉන්නවා."

මම බයෙන් වගේ කියද්දි ලවන් හුස්මක් පහළ දාලා ආයෙම අත එයාගෙ පැත්තට ගත්තා. තරහ වුණාද...නෑනෙ?

"ලවන් අවුලක් නෑ නේද...මම කිව්වෙ ඉතින්-"

මම කෝකටත් කියලා නිදහසට හේතු කියන්න යද්දි ලවන් මගෙ දිහා බලලා හිනාවුණා.

"පිස්සුද ළමයො...මට- මට අමතක වුණා."

ලවන් ඒකනම් කිව්වෙ ඇත්තටම නෙවෙයි කියන එක මට හොඳටම තේරුණා...එයාට අමතක වුණා නෙවෙයි. අපි දෙන්නා ඔහොම එකට ඉද්දි එයා නිතරම කියලා තියනවා 'බය වෙන්න එපා' කියන එක. ලවන්ගෙ ඇස් දෙක දිහා බලන් ඉද්දි මට ඒකත් මතක් වුණා. ඒ කියන්නෙ...අපි ඇත්තටම බය වෙන්න ඕනෙ නැද්ද? එයා කොහොමද එච්චර විශ්වාසෙන් ඒක කියන්නෙ?

මට හැමදාම හිතුණ ප්‍රශ්නෙ ඕක. මම ඒ ගැන අහන්න කලින් ලවන් මගෙ ගිටාර් එකත් අරන් නැගිට්ට නිසා මාත් ඒ එක්කම නැගිට්ටා.

"අපි ඔයාගෙ බඩු කාර් එකෙන් තියමු...මේවා ඔක්කොම අමාරුයිනෙ අරන් යන්න."

"ඔයා කොහෙද කාර් එක නැවැත්තුවෙ...?"

"මේ පාරෙ කෙළවර..."

ලවන් වැව රවුම දිගටම තියන පාරට අත දික් කරලා පෙන්නුවා. ඕහ්...ඔය කියන්නෙ අර උඩට යන ලේවැල්ල පාර හරියෙන් වෙන්න ඕන. අපි දෙන්නා වැව රවුම දිගේම ඇවිදන් ආවෙ මගෙ ගිටාර් එකයි බෑග් එකයි වාහනෙන් තියන්න.

මම හිතුවා වගේම කාර් එක නවත්තලා තිබ්බෙ ලේවැල්ල පාරට කිට්ටු වෙන්න. අර ගස් එහෙම වැඩියෙන් තියන ටිකක් අන්ධකාර හරියෙ. මම ඉස්සරහ සීට් එකෙන් බෑග් එක තියද්දි ලවන් කාර් එක අනිත් පැත්තෙන් ගිහින් පිටිපස්සෙ දොර ඇරලා ගිටාර් එක ඇතුළෙන් තිබ්බා.

"විදුර්..."

ලවන් අනිත් පැත්තෙ ඉඳන් කාර් එකට උඩින් මගෙ දිහා බලලා කතා කරද්දි මම ඔලුව උස්සලා බැලුවා.

"පොඩ්ඩක් ඇතුළට එන්නකො..."

"ඇයි-"

මම අහලා ඉවර වෙන්නත් කලින් ලවන් හිනාවක් දාගෙන පිටිපස්සෙ සීට් එකට නැගපු නිසා මාත් අනිත් පැත්තෙන් දොර ඇරලා සීට් එකෙන් ඉඳගත්තා.

දොර වහලා අනිත් පැත්ත හැරෙනවත් එක්කම මට හිතන්නවත් වෙලාවක් හම්බුණේ නෑ...මගෙ මූණ එයාගෙ අත් දෙකෙන් අල්ලගත්ත ලවන් මගෙ එක කම්මුලකට කිස් එකක් දුන්නා. ඒ එක්කම එක දිගට එතනින් කිස් තුන හතරක්ම තිබ්බ ලවන් ඊළඟට අනිත් කම්මුල, නළල, ඇස් දෙක එක දිගට කිස් කරන් යද්දි මම මුකුත් ප්‍රොසෙස් කරගන්න බැරුව එයාගෙ ශර්ට් එක අත් දෙකින්ම ගුලි කරන් හිටියා.

මට නිකන් පිස්සු වගේ...එයා මීට කලින් මට සොෆ්ට් කිසස් විතරනෙ දීලා තියෙන්නෙ. එක පාරට එයා මාව මෙහෙම කිස් කරන්න ගද්දි...මට හිතාගන්න බැරිවුණා. මෙහෙමයි මම කැමතියි...එයාගෙ තොල් මගෙ මූණෙ යන්තම් හරි ගෑවෙන ෆීලින් එකට මම කැමතියි ගොඩක්. එක පාරට ශොක් වුණා විතරයි.

ලවන් අන්තිම වතාවට ආයෙම මගෙ කම්මුල් කිස් කරලා යන්තම් එහාට වෙද්දි මම එයා දිහා බලන් හිටියෙ හරියට හුස්ම ගන්නවත් බැරුව.

"ලවන්...අනෙහ්- ඇති..."

මම ලවන්ගෙ පපුවට අත තියලා එයාව නැවැත්තුවෙ ආපහු එයා මගෙ පැත්තට ආපු නිසා. මම නවත්තපු විදිහටම එයා හිනාවෙලා මගෙ දිහා බලන් ඉද්දි මම ඒ බැල්ම දරාගන්න බැරුව බිම බලාගත්තා.

"විදුර්..."

"ම්ම්..."

මම තවමත් එයා දිහා බැලුවෙ නැති නිසා ලවන් යන්තම් මගෙ නිකට ගාවින් අත තියලා අපෙ ඇස් සමාන්තර කරා.

"මම කොහොමද ඉවසන්නෙ කියන්නකො...ඔයා-"

ලවන් කියන්න ගිය එක නවත්තගත්තත් මම ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියෙ එයා මොනවද කියන්නෙ කියලා දැනගන්න ඕනකමට.

"ඔයා පෆෙක්ට් විදුර්...I feel so lucky."

ලවන් මගෙ අත් දෙක අල්ලගෙන කිව්වෙ වෙනදා වගේම සන්සුන් විදිහට. එයා පොඩ්ඩක් නෝර්මල් වුණා කියලා තේරුණ මම තව ටිකක් ළංවෙලා එයාගෙ අත වැලමිටට උඩින් බදාගෙන උරහිසින් මූණ තියාගත්තා.

"මොකෝ එකපාරටම..."

"එකපාරට නෙවෙයි ඉතින්...I feel lucky and proud. That's it..."

ලවන් ඒක ඇත්තටම අමුතු ආඩම්බරේකින් කියද්දි මට දැනුණා මගෙ බඩේ සමනල්ලු පියාඹන්න ගන්නවා. එයාට ඇත්තටම එච්චර සතුටුද??

"නැත්තෙ මොකද...එදා අපාට්මන්ට් එකට ඇවිල්ලවත් මෙහෙම නෑනෙ."

මමත් කට පියන් ඉන්න බැරිකමට ඇහුවෙ කතාව ඇදන් යන්න වුවමනාවට.

"ඊයෙ මම ඔයාව හීනෙන් දැක්කා...ඉතින් අද උදේ ඔයාව දැක්ක ගමන් අමුතු කික් එකක් ආවා ඒකයි."

ලවන් කිව්වෙ මම බදාගෙන හිටපු අත ගලවගෙන මගෙ කර වටේ දාලා මාව තව ටිකක් ළං කරගන්න ගමන්.

"ඇත්තට...මොනවද ඉතින් දැක්කෙ?"

අන්න ඒකටනම් ලවන්ගෙ මූණ සෑහෙන්න වෙනස් වුණා. ඇස් දෙකත් ලොකු කරන් තප්පරයක් වගේ මගෙ දිහා බලන් හිටපු ලවන් මාව පොඩ්ඩක් එහාට කරලා දොර ගාවට කිට්ටු වුණා. ඈ...මොන මඟුලක්ද දැකලා තියෙන්නෙ??

"අහ්හ්..එහෙම මේ විශේෂ දෙයක් නෑ. ඔයාව දැක්කා එච්චරයි."

ලවන් මගෙ ඇස් මඟෑරලා කියද්දි මම ඇස් හීනි කරන් එයා දිහා බලන් හිටියා. මේකා හිතන තරම් බෝධිසත්වයෙක් නෙවෙයි වගේ.

"අපි යමු නේ දැන්..."

ලවන් පුලුවන් තරම් නෝර්මල් විදිහට හිනාවෙලා කිව්වා. දැන්ද කොහෙද ආපු වැඩේ මතක් වෙලා තියෙන්නේ...අනේ ඇත්තට මගෙත් සිල් බිඳිනවනෙ මාළිගාවට ඇවිල්ලත්. මම එහෙමම ඉඳගෙන ලවන් දිහා බලන් ඉද්දි එයා එහා පැත්තෙන් දොර ඇරන් එළියට ගියා.

මමත් එළියට ගියේ මට යන්න ආපු මනමාල හිනාව කන්ට්‍රෝල් කරගෙන. මෙහෙමනෙ ඉතින්...මොකෝ මට කියලා ෆීලින්ග්ස් නැතුවයැ. හීනෙන් දකින්න ඕන්නෑ මම යම් යම් දේවල් ඉමැජින් කරගෙනම තියනවා...ඒත් මේ මනුස්සයට වෙන දවසක් තිබ්බෙම නැද්ද ඔය හීනෙ දකින්න?

මම පාර පැනලා ලවන් එක්ක ආයෙම වැව රවුම පැත්තට ආවට පස්සෙ තමා හරියටම එයාගෙ මූණ දැක්කෙ. මට තමා රෝස පාටයි අනම් මනම් කියන්නෙ...බලන්න එපෑ මෙයාගෙ මූණ. තක්කාලි ගෙඩියක් වගේ.

මම මූණ දිහා බලන් ඉන්නවා කියලා දැනුණ නිසාද කොහෙද ලවන් මගෙ පැත්තට හැරෙද්දි මම වැව දිහා බලාගත්තා. වෙන වෙලාවක අල්ලගන්නම්.

වැව රවුම පැත්තෙනුත් එන්ට්‍රන්ස් එකක් තිබ්බත් මට ඕන වුණා ලවන්ව මේන් එන්ට්‍රන්ස් එකෙන්ම එක්කන් යන්න. අනික මල් ගන්නත් එපැයි...මම සාමාන්‍යයෙන් මල් ගන්න තැනක් තියනවා. මේන් එන්ට්‍රන්ස් එක ගාවම මල් විකුණන පෝළිමේ ටිකක් එහාට ගිහාම ඉන්නවා සීයා කෙනෙක්. එයා අනිත් අය වගේ බෙරිහන් දෙන්නෑ මල් ගන්න එන්න කියලා...මම ඉතින් මාළිගාවට ගියොත් එයාගෙන්ම තමා මල් ගන්නෙ.

මම ලවන්වත් එක්කන් ඒ සීයා ගාවට ගිහාම එයා මට මූණ පිරෙන්නම හිනාවුණා. සීයට මතකයි මාව. මම මොන මල්ද ගන්නෙ කියලා හිත හිත ඉද්දි ලවන් මට තට්ටුවක් දැම්මා.

"විදුර්...අපි දෙන්නම අරක ගමුද?"

"ඔයා කියන්නෙ- අර ලොකු පිච්ච මල් වට්ටියද?"

මම ඇස් දෙකත් ලොකු කරන් පුදුමෙන් වගේ ඇහුවා. එයා කියන්නෙ අපි දෙන්නම ඒක ගමු කියලද...? ලවන් එහෙම කියන්නෙ ඒකෙ තේරුම දැනගෙනද නැත්තම්...

"ඇයි...ඔයා කැමති නැද්ද?"

මම මොකාද වගේ හා කියන්නෙත් නැතුව බලන් ඉද්දි ලවන් ඇහුවෙ වදවුණ කටහඬකින්.

"න්-නෑ එහෙම නෙවෙයි...ඔයාට හොඳටම ශුවර්ද? අපි දෙන්නම එකක්?"

"ඔව්...ඇයි ඔයා පුදුමෙන් වගේ අහන්නෙ?"

"මුකුත් නෑ...එහෙම කරමු."

මම එයාගෙ ඇස් දෙක දිහාම බලන් හිනාවෙලා කියද්දි ලවන් එයාගෙ වොලට් එක එළියට ගත්තා. එයා මල් ගන්න අතරෙ මම තිර, තෙල්, හඳුන්කූරු එහෙම ගත්තා.

ලවන් කිව්වත් එයාම පේ කරන්නම් කියලා මම ඒකට කැමති වුණේ නෑ. ඔය 50/50 ලබ්බවල් ගැනනම් මම දන්නෑ ඒත් එයා මතම හැමදේටම ඩිපෙන්ඩ් වෙන්න ඕනෙ නෑනෙ. මමත් සල්ලි හම්බෙනවනෙ...අපි දෙන්නා එකට ඉන්න වෙලාවට මම කැමති වියදම් කරන්න තියන දේවල් අපි දෙන්නා අතරම බෙදිලා යනවනම්.

50/50 නෙවෙයි...මොකෝ මේක බිස්නස් ඩීල් එකක් නෙවේනෙ හරියට ගාණ ගණන් කරලා දෙකෙන් බෙදන්න. ඒත් එයා වැඩිමල්නෙ, එයා වැඩියෙන් හම්බ කරනවනෙ කියලා හිතලා මට ඕන නෑ හැමදේටම එයාම වියදම් කරනවා බලන් ඉන්න. මට පුලුවන් විදිහට මමත් වියදම් කරන්න කැමති...නැත්තම් මට එන්නෙ ගිල්ටි ෆීලින් එකක්.

අපි දෙන්නා මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ඇවිත් මාළිගාව පැත්තට ඇවිදගෙන ගියේ හුඟක්ම හෙමින්. හදිස්සියක් නෑනෙ...මම යන ගමන් ලවන්ගෙ මූණ දිහා බලන් හිටියෙ එයා හිතන්නෙ මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න.

මම දැක්කා මාළිගාවෙ පත්තිරිප්පුව දිහා බලන් ඉද්දි එයාගෙ ඇස් ටිකෙන් ටික නිවෙනවා.

"ඔයා කිව්වා හරි විදුර්...මෙහෙම දකිද්දිත් පුදුම නිදහසක් දැනෙනවා."

"හරියට...ප්‍රශ්න කොහොම විසඳෙයිද කියලා දන්නෙ නෑ ඒත් ඒවට අනිවාර්යෙන්ම උත්තර හම්බෙනවා වගේ ෆීලින් එකක් නේද?"

"ඔව්..."

ලවන් මගෙ දිහා බලලා කියද්දි මම හිනාවුණා. මටත් ඔය දේ ඔය විදිහටම දැනිලා තියනවා ගොඩක් වෙලාවට. හිතට සැනසීම හොයාගන්න මම නිතරම එන තැනක් මේක. ලවන්ටත් ඒක ඒ විදිහටම දැනුණ එක ගැන මට ගොඩක් සතුටු හිතුණා.

"ඇයි විදුර් ඔයා එක මල් වට්ටියක් ගමුද අහද්දි පුදුම වුණේ...?"

ලවන් අහද්දි මම හිනාවෙලා මගෙ අතේ තිබ්බ පිච්ච මල් වට්ටිය දිහා බැලුවා. ලවන්ගෙ අතේ තමා අනිත් බඩු ටික තිබ්බෙ.

"ඔයා ඇත්තටම දන්නැද්ද...?"

"ඔව්...ඇයි ඒකට මොකක්හරි තේරුමක් තියනවද?"

"මෙහෙමයි...අපෙ අම්මා කිව්වෙ හරිද. සාමාන්‍යයෙන් මෙහෙ අලුතෙන් යාලු වෙන කපල් ගොඩක් එනවා මාළිගාවට."

"ම්ම්..."

"ඉතින් එයාලා විශ්වාස කරනවා කපල් එකක් එහෙම එකම මල් වට්ටියෙන් මල් පූජා කරාම එයාලට හැමදාම එකට ඉන්න පුලුවන් කියලා..."

මම කියනවත් එක්කම ලවන් එක පාරට හැරිලා මගෙ දිහා බැලුවා.

"ආහ්...හැමදාම??"

"ඔව්...මේ ආත්මෙ විතරක් නෙවෙයි අනිත් හැම ආත්මෙකම."

මමත් ලවන් දිහා බලලා හිනාවෙලා කියද්දි එයා ඇස් දෙකේ අමුතු සතුටකින් මගෙ දිහා බලලා ආයෙම ඉස්සරහ බලාගත්තා.

"එහෙමද...? ඒක ඇත්තද?"

"ගොඩක් අය විශ්වාස කරනවා ඉතින් එහෙම...අපෙ අම්මයි අප්පච්චියිත් යාලු වෙලා මුලින්ම මාළිගාවට ආව දවසෙ එහෙම කරා කියලා කිව්වා."

"ම්ම්...ඒකනෙ. දන්නැතුව වුණත් මම අරන් තියන තීරණේ හරිනෙ ඉතින්."

ලවන් මගෙ අතේ තිබ්බ පිච්ච මල් වට්ටිය දිහා බලන් කියද්දි මම ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියා. එයා කියන්නෙ එක මල් වට්ටියක් ගත්ත තීරණේ හරි කියලා නේද...එයා නොකියා කියන්නෙ මාත් එක්ක හැමදාම ඉන්න ඕනෙ කියලද?

මට එක පාරට දරාගන්න බැරි හැඟීමක් ඇවිත් ආයෙම මම මල් වට්ටිය දිහා බලාගත්තා. මටත් එහෙම හිතෙනවා. ඔව්...මම කොච්චර හිතනවද එයා එක්කම හැමදාම ඉන්න තිබ්බනම් කියලා. ඒක ලවන්ම කියද්දි දැනෙන හැඟීම හරි අමුතුයි.

"ඔයා කැමතිද හැමදාම මාත් එක්ක ඉන්න...?"

මම අහිංසක විදිහට ලවන්ගෙ ඇස් දෙක දිහා බලලා අහද්දි එයා හිනාවුණා.

"කැමතිද...? කැමතිද නෙවෙයි... ඔයත් මාත් එක්ක ඉන්න කැමතිනම් මම ඕනම දෙයක් කරනවා හැමදාම ඔයත් එක්ක ඉන්න."

ලවන් ඒක කිව්වෙ මගෙ දිහා බලාගෙන නෙවෙයි, මාළිගාව දිහාම බලාගෙන. ඒත් එයාගෙ කටහඬේ තිබුණ විශ්වාසෙ මට හොඳටම දැනුණා. ඔයා හොඳටම දන්නවා ලවන් මට ඕන දේ...

"I want to be with you..."

මමත් මාළිගාව දිහා බලාගෙන කියද්දි මට දැනුණා ලවන් මට ටිකක් ළංවෙනවා. එයත් හිටියෙ ගොඩක් සතුටින්...මූණ නොදැක්කට මට ඒක කියන්න පුලුවන්. අපි දෙන්නගෙ උරහිස් තිබුණෙ ගෑවෙන නොගෑවෙන ගාණට. අපි දෙන්නා ඒ වෙද්දි මාළිගාව කිට්ටුවටම වගේ ඇවිත් තිබුණෙ.

"ඔයා මේ කොටසට මොකක්ද විදුර් කිව්වෙ...පත්තිරිප්පුව නේද?"

"ම්ම්..."

"මේ ටික ලස්සනයි...පොඩ්ඩක් ඉන්න මම ෆොටෝ එකක් ගන්නකම්."

"මම බඩු ටික අල්ලගන්නද එතකන්...?"

"එපා එපා...මෙහෙම පුලුවන් මට."

ලවන් පණ්ඩිතයා වගේ මට බඩු ටික දෙන්නැතුව ඒ ටිකත් තියාගෙන තනි අතින් ෆොටෝස් ගන්නවා මම බලාගෙන හිටියා.

අපි දෙන්නා ඇතුළට යනකන්ම මම ලවන්ට ඒ තැන් ගැන විස්තර කර කර එද්දි එයා ඒවා අහන් හිටියෙ ගොඩක් ආසාවෙන්. මාළිගාවෙ ඇතාගෙ පිටේ කරඬුව තියන තැන, එයා පඩිපෙළෙන් බැහැලා එන තැන, ඇත්තටම දළදා වහන්සේ වැඩ ඉන්න තැන, දළදා වහන්සේට දානෙ පූජා කරන හැටි ඔය හැම දෙයක්ම පහළ තට්ටුවේ ඉද්දි මම එයාට කියලා දුන්නා.

"එතකොට පෙරහැරේදි ගන්නෙ ඇත්තම දළදා වහන්සේ නෙවෙයිද...?"

"අපෝ නෑ...ඇත්තම දළදා වහන්සේ එතනින් හොල්ලන්නෙවත් නෑ. පෙරහැරට ගන්නෙ අනුරුවක්."

අපි දෙන්නා උඩ තට්ටුවට යද්දිත් එයා ඒ තියන දේවල් දිහා ආසාවෙන් බලන් හිටියා. සෙනසුරාදා දවසක් නිසා උඩ තට්ටුවේ සැලකිය යුතු සෙනඟක් හිටියත් තෙරපෙන්න තරම් සෙනඟක් හිටියෙ නෑ. මම මල් පූජා කරන තැනට යද්දි ලවනුත් මාත් එක්කම ආවා.

මම පිච්ච මල් වට්ටිය අතේ තියාගෙනම මල් පූජා කරන්න කියලා ලවන්ට ඇස් වලින් සන් කරලා කියද්දි එයා ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉඳලා මල් අරන් ආසනෙන් තිබ්බා. මමත් මල් පූජා කරද්දි මම එයා දිහා බැලුවෙ නෑ...ඒත් මගෙ වගේම ලස්සන හිනාවක් එයාගෙ මූණෙත් තියනවා කියලා මම දැක්කා.

මල් පූජා කරලා ඉවර වෙලා අපි දෙන්නා පිටිපස්සට ඇවිත් බිත්තියට හේත්තු වෙලා ඉඳගත්තෙ වන්දනා කරන්න.

"ඔයාට මම එවපු ඒවා මතකද...?"

මම එහෙම ඇහුවෙ ලවන් මාළිගාවට යමුද කියලා මුලින්ම අහපු දවසෙම මම එයාට අපෙ ගාථා ඔක්කොම යවපු නිසා.

"ඔව්...අපි වන්දනා කරමු."

අපි දෙන්නා විනාඩි ගාණක් යනකන්ම එතන වන්දනා කරා. ලවන් කැතලින් වුණාට මේ දවස් ගාණට ඒ ගාථා ටික හොඳට මතක තියාගෙන. වන්දනා කරලා ඉවර වුණාට පස්සෙ මම එහෙමම බිත්තියට ඔලුව හේත්තු කරගත්තා. ඇත්තටම මටත් ලොකු නිදහසක් දැනුණා.

මට හිත හිත ඉන්න මහා ලොකු ප්‍රශ්න මේ ටිකේ නැතත් ඕනම මනුස්සයෙකුට ඩේලි ලයිෆ් එක ගෙනියද්දි මහන්සියක් දැනෙනවනෙ. ඒ තිබ්බ පොඩි හරි මහන්සියත් අමතක වුණා එහෙම ඉද්දි. ලවනුත් මම වගේම බිත්තියට හේත්තු වෙලා එයාගෙ සුලැඟිල්ල මගෙ ඇඟිල්ලෙ පටලගත්තා.

ඒ වෙලාවෙ මම මුකුත් කරන්න ගියෙ නෑ. කොහොමත් එතන කාටවත් අපි ගැන ගාණක් තිබ්බෙ නෑ...හැමෝම එතෙන්ට එන්නෙ වන්දනා කරන්නනෙ.

"තෑන්ක්ස් විදුර්...ඇත්තටම. මට කියන්න තේරෙන්නෑ ඒත්- මගෙ හිතට ලොකු නිදහසක් දැනෙනවා."

ලවන් කියද්දි මම යන්තම් එයා දිහාවට හැරිලා හිනාවුණා.

"මේ වගේ තැන් වලට ආවම එහෙම දැනෙනවා ලවන්...ඔයාට චර්ච් ගිහාම වුණත් දැනෙනවා ඇතිනෙ."

"ඔව්...එහෙම තමයි. ඒත් අද ඔයා ළඟ හිටපු නිසාමද කොහෙද මගෙ හිතට ගොඩක්ම ලොකු නිදහසක් දැනෙනවා වෙනදටත් වඩා. ඔයා කිව්වා වගේම හැමදේම හරියයි කියලා හිතෙනවා."

"හැමදේම හරියයි..."

මම හිනාවෙලා කියද්දි ලවනුත් මගෙ දිහා බලලා හිනාවුණා. ඒක හරි සන්සුන් හිනාවක්. එයාගෙ ප්‍රශ්න මොනවා වුණත් එයාගෙ හිත ගොඩක් දුරට නිවුණා කියන එක මට තේරෙනවා.

අපි දෙන්නා තව විනාඩි පහක් විතර එතන ඉඳලා එන්න ආවා. ගොඩක් අය වන්දනා කරන්න එනවනෙ...ඉතින් අපි වන්දනා කරලා ඉවර වෙලත් එතන ඉඳන් ඉන්න එක හරි නෑනෙ.

අපි දෙන්නා පහන් පත්තු කරන තැනටත් ගිහින් ටික වෙලාවක් මඟුල් මඩුවෙ ඉඳගෙන කතා කර කර හිටියා. ඊට පස්සෙ එයාව දේවාල වලට, බෝධිය ළඟට එහෙමත් එක්කන් ගියා.

"ආයෙ දවසක අපි එමු හොඳද..."

"ම්ම්...ආයෙ දානෙ පූජා කරන වෙලාවට එමු."

මම කිව්වෙ අපි එළියට එන්න යද්දි. කාර් එක ගාවට යන්න ලේසි නිසා අපි එළියට ආවෙ වැව රවුම පැත්තෙන්. එතකොට එකොළහට වගේ ඇති. අපි පැය ගාණක්ම මාළිගාව ඇතුළෙ ඉඳලා.

ලොකුවට බඩගින්නක් තිබ්බෙත් නෑ අපිට. ඒත් පොඩි බඩගින්නක් තිබ්බ නිසා අපි කතාවුණා අයිස් ක්‍රීම් කමු කියලා. අපි හිටියෙ එදා අපි ඔරියන්ටේශන් දවසෙ මමයි කෙල්ලො දෙන්නයි අයිස් ක්‍රීම් කාපු හරියෙම තමා. සිටිහෝල් එක තියෙන්නෙත් මේ ළඟමනෙ.

ලවන් අයිස් ක්‍රීම් අරන් එනකන් මම එතන බංකුවකට වෙලා ඉඳගෙන හිටියා. මමත් එයත් එක්ක ගියානම් අපි එද්දි මේ බංකුව නැතිවෙන්න තිබුණා. දන්නවනෙ ඉතින් සෙනසුරාදා හැටි.

ටික වෙලාවකින් ලවන් අයිස් ක්‍රීම් දෙකක් අරන් ඇවිත් මං ගාවින් ඉඳගෙන මට එකක් දුන්නා. එයා ගෙනත් තිබ්බෙ මැදට චොක්ලට් දාපු චොක්ලට් අයිස් ක්‍රීම් එකක්. හෝව්...එයා කොහොමද දන්නෙ??

"මේක මම ආසම අයිස් ක්‍රීම් එක...!"

මම අයිස් ක්‍රීම් එක ගන්න ගමන් ඇස් දෙකත් ලොකු කරලා ලොකු සතුටකින් කිව්වා.

"මම දන්නවා..."

"ආහ්...? ඒ කොහොමද? මම ඔයාට කියලා නෑනෙ..."

මම කියද්දි ලවන් ඒක ඇහුන්නෑ වගේ මනමාල හිනාවක් දාගෙන එයාගෙ අයිස් ක්‍රීම් එක කන්න ගත්තා. මේ මොකද??

"ඇයි ඔරියන්ටේශන් දවසෙ ඔයා යාලුවො දෙන්නත් එක්ක කෑවෙ ඔය අයිස් ක්‍රීම් එකනෙ...මට හිතුණා ඉතින්."

"ආ ඔව්- ඈ?!? ඔයා කොහොමද දන්නෙ ඒක??"

මම ඇස් දෙකත් ලොකු කරලා අහද්දි ලවන් හිනාවෙලා මගෙ දිහා බලන් ඉඳලා මගෙ නහයට තට්ටුවක් දැම්මා.

"කෝලම් කරන්නැතුව කියන්න...අර දෙන්නගෙන් කවුරුහරි කිව්වද?"

"විදුර්...මමත් ආවනෙ ඔරියන්ටේශන් එකට. මම දැක්කා ඔයාව."

"මොකක්?!?"

"ඇයි ඉතින්...මම හෝල් එකෙන් එළියට එද්දි දැක්කා ඔයයි යාලුවො දෙන්නයි."

"මාව?? ඒ ටිකට කොහොමද එච්චර නෝට් වුණේ...?"

මම අහද්දි වැව දිහා බලාගෙන හිටපු ලවන් ආයෙම මගෙ දිහා බැලුවා.

"I'm not gonna lie...ඒ වෙලාවෙ- මට ඔයාව නෝට් වුණා. ඒ කියන්නෙ අර- මම මේ කියන දේ පිස්සුවක් වගේ ඇති ඒත් ඔයා අහලා තියනවා නේද එක පාරට වටේ තියන අනිත් හැමදේම බ්ලර් වෙලා එයාව විතරක්ම පේන...මටත් ඔයාව මුලින් දැක්කම හිතුණෙ අන්න ඒ වගේ."

ලවනුත් ටිකක් ලැජ්ජාවෙන් වගේ කියද්දි මම බිම බලාගත්තා. ඒ කියන්නේ...ලව් ඇට් ෆස්ට් සයිට් වගේද? බලන් ගිහාම මට පළවෙනි වතාවෙ දැනුණ ෆීලින් එකටත් වඩා එයාට දැනිලා වගේ.

"ඒ කියන්නෙ තවුසෙ මාව ෆලෝ කරාද බුක්ෂොප් එකට...?"

මම උරහිසින් ලවන්ට තට්ටුවක් දාලා අහද්දි එයාට හයියෙන් හිනාගියා.

"අනේ නෑ...මම ඒ වෙලේ ඔයාව දැක්කා. පොඩ්ඩක් ගැස්සුණා...එච්චරයි. මම ආයෙම හෝල් එක ඇතුළට ගියා. ඔයාව ආයෙම බුක්ෂොප් එකේ දකී කියලා මම කීයටවත් හිතුවෙ නෑ."

එයා කියන්නෙ ඇත්තමයි කියලා මට එයාගෙ ඇස් දෙක දිහා බැලුවම කියන්න පුලුවන්. ලවන් කියනවා වගේ this has to be a sign from the universe.

අපි දෙන්නා අයිස් ක්‍රීම් කාලා ඉවර වෙනකන්ම මම යන්තම් ලවන්ගෙ උරහිසට මගෙ උරහිස ගාවගෙන හේත්තුවක් දාන් හිටියා. අපි දෙන්නා අයිස් ක්‍රීම් කාලා තව ටික වෙලාවක් කියවලා යන්න නැගිටිද්දි ලවන් ආයෙම මගෙ අතින් අල්ලගත්තා.

"ලවන් ප්ලීස්...මම කී පාරක් කිව්වද ඔයාට මෙහෙම තැන්වල-"

මම කියන්න ගිය එක නවත්තගත්තෙ මම ඒක ටිකක් සැරෙන් කිව්වා කියලා මටම තේරුණ නිසා. අනේ මම එයාට කෑගහන්න හිතුවෙ නෑ...ලවන් එක පාරට ගැස්සුණා කියලා දැක්කම මට ගොඩක්ම දුක හිතුණා.

"අනෙ- සොරි මම කෑගහන්න හිතුවෙ නෑ..."

මම වෙන කිසිම දෙයක් ගණන් ගන්නැතුව ලවන්ගෙ අත මගෙ අත් දෙකින්ම අල්ලලා කියද්දි එයා බිම බලාගෙන හිටියා.

"විදුර්...මමත් ඔයාට ගොඩක් සැරයක් කියලා තියනවා නේද බයවෙන්න එපා කියලා."

ලවන් කිව්වෙ තාමත් බිම බලාගෙන ගොඩක් සන්සුන්ව. මට එයා මොකක්ද කියන්නෙ කියලා තේරෙන්නෙ නෑ.

"ඔයා කොහොම රිඇක්ට් කරයිද කියලා දන්නැති නිසා මම ඔයාට මේක කිව්වෙ නැත්තෙ...අපි දෙන්නා මෙතන කොහොම හිටියත් ඒක අනිත් අයට පේන්නෙ නෑ."

"හහ්...??"

මම ඒ කිව්ව මුකුත්ම හිතාගන්න බැරුව ලවන් දිහා බලාගෙන හිටියා. එහෙම වෙන්නෙ කොහොමද?? ඇස් දෙකත් ලොකු කරන් බයවෙලා වගේ ලවන් දිහා බලන් හිටපු මම හිමීට පොඩ්ඩක් වටපිට බැලුවා.

ඇත්ත...මෙතන කොල්ලො දෙන්නෙක් අත් අල්ලන් ඉඳලත් එතනින් යන හැමෝම යන්නෙ ඒ ගැන කිසිම ගාණක් නැති විදිහට. කවුරුත් අපි දිහා බලන්නෙවත් නෑ. ඒ කියන්නෙ... ඇත්තටම එයාලට අපිව-

මම ආයෙම පුදුමෙන් වගේ ලවන් දිහා බලන්න යද්දිම එයා මගෙ ඉන වටේ අත දාලා මාව එයාගෙ ඇඟට හේත්තු කරගත්තා. ඒ වෙලාවෙ මම හිටියටත් වඩා හොඳටම බයවුණා. මම ලවන්ගෙන් ගැලවෙන්න දැඟලුවත් එයා මගෙ දිහා සන්සුන් හිනාවකින් බලන් ඉද්දි මම ආයෙම වටපිට බැලුවා.

ඒත් එතනින් ගිය කිසිම කෙනෙක් අපි දිහා බැලුවෙ නෑ...ඒක හරිම අසාමාන්‍යයිනෙ. කොල්ලො දෙන්නෙක්ට තියා ස්ට්‍රේට් කපල් එක්කටවත් මෙහෙම ඉන්න පුලුවන් රටක් නෙවෙයිනෙ මේක. එහෙම තියෙද්දිත්...ඒ කියන්නෙ ඇත්තටම ඒ කාටවත් අපිව පේන්නැද්ද??

"ලවන්..."

මම ඒ හිටපු විදිහටම ලවන්ට හේත්තු වෙලා හිමින් මුමුණද්දි එයා ආයෙම හිනාවුණා. මාව පරිස්සමට අල්ලන් හිටපු ලවන් ඉස්සරහට වෙලා මගෙ කම්මුලින් පොඩි කිස් එකක් තිබ්බා.

"දැන්වත් මාව විශ්වාස කරන්න...අපි දෙන්නා කොහොම හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ."

"ඒත්- කොහොමද...ඔයා කොහොමද- එහෙම වෙන්න බෑනෙ-"

මම කිසි දෙයක් ප්‍රොසෙස් කරගන්න බැරුව ඔහේ කටට එන වචනෙ කියද්දි ලවන් හිනාවෙලා මාව ආයෙම බංකුවෙන් ඉන්ඳුවා. හරි...අපිව කාටවත් පේන්නෑ තමයි. ඒත් එයා කොහොමද එහෙම කරන්නෙ??

මම ඕන තරම් අහලා තියනවා සමහර හිත දියුණු කරපු අයට එහෙම අමුතු හැකියා තියනවා කියලා. මමම දන්න හාමුදුරු නමකුත් ඉන්නවා එහෙම...හැමෝම කියන්නෙ ඒ ස්වාමින් වහන්සේ මාර්ගඵල ලබලා ඉන්නෙ කියලා. ඇත්තටම ඒ ස්වාමින් වහන්සේ හිතාගන්න බැරි දේවල් කරනවා මම ඇස් දෙකට දැකලා තියනවා.

ඒත්...ලවන්?? එයා කොහොමද එච්චර දෙයක් කරන්නෙ? එයා මට හම්බෙන්න කලින් එයා ගැන කිසිම දෙයක් මම දන්නෙ නෑ තමයි ඒත්...මේ වගේ දෙයක් මම කොහොමටවත් හිතලා තිබ්බෙ නෑ.

"විදුර් ප්ලීස් සන්සුන් වෙන්නකො..."

ලවන් මගෙ අත් දෙක අල්ලගෙන මගෙ දිහා බැලුවෙ ටිකක් බයෙන් වගේ...හරියටම කිව්වොත් අවිනිශ්චිතකමින්. එයා කිව්වා වගේම මගෙ රිඇක්ශන් එක ගැන එයා බයවෙලා වගේ.

"ඔයා කියන්නෙ...මෙතන ඉන්න කාටවත් අපිව පේන්නැද්ද?"

"පේනවා...හැබැයි එයාලට මම පෙන්නන දේ."

"එ-ඒ කිව්වෙ...?"

තවමත් සන්සුන් නොවුණ මම ලවන් දිහා බලලා අහද්දි එයා ලොකු හුස්මක් පහළ දැම්මා.

"මට කරන්න පුලුවන් දේවල් දෙකයි විදුර්...එක්කො අපෙ ඩයිමෙන්ශන් මාරු කරන එක. ඒ කියන්නෙ අපි දෙන්නා ඇත්තටම ඉන්න විදිහ නෙවෙයි වෙන විදිහක් අනිත් අයට පෙන්නන එක. නැත්තම්...කම්ප්ලීට්ලි අපි මේ ඩයිමෙන්ශන් එකෙන් අයින් කරන එක. ඒ කියන්නෙ අපිව කාටවත් පේන්නෙම නැති කරන එක. දැන් මම කරලා තියෙන්න ඩයිමෙන්ශන් මාරු කරන එක. ඔයත් එක්ක ඉන්න ගොඩක් වෙලාවට මම කරලා තියෙන්නෙ ඒක."

ලවන් ඩයිමෙන්ශන් ගැන කියපු කිසි දෙයක් මගෙ ඔලුවට ගියෙ නෑ. මට ඒ වෙලේ මතක් වුණේ මෙච්චර කල් ලවන් මෙහෙම මාත් එක්ක හැසිරුණු විදිහ...ක්ලාස් ඒකේදි මාව උස්සගෙන ගියපු එක, මගෙ කකුල පෙරලුණ වෙලාවෙ මාව තුරුල් කරන් හිටපු එක, අද එයා මගෙ අත අල්ලපු එක...මේ හැමදේම එයා කරලා තියෙන්නෙ කාටවත් පේන්නෙ නෑ කියන විශ්වාසෙන්.

එයා ඒක කොහොම කරනවද මම දන්නෑ...හරිනම් මම බයවෙන්න ඕනෙ ඇති. ඒත් මට බය හිතුණෙ නෑ. මට දැනුණෙ සතුටක්...ලොකු සතුටක්.

ඔව්...මට එයා එක්ක ඉද්දි ඕනම තැනක ඕන විදිහකට නිදහසේ ඉන්න පුලුවන් කියන එක විතරයි මගෙ ඔලුවට ගියේ. මේ වගේ රටක ඒ තරම් ලොකු නිදහසක් වෙන තියනවද??

"විදුර්...?"

මම කල්පනා කර කර ඉද්දි ලවන් මගෙ අත් තද කරලම අල්ලලා මගෙ දිහා බැලුවා. එයාගෙ ඇස් දෙකේ තාමත් අර අවිනිශ්චිතකම තියනවා.

"This is why I didn't tell you...you're shocked. Please I can explain just- please don't-"

ලවන් වෙන කිසි දෙයක් කියන්න කලින් මම එක පාරටම එයාව බදාගත්තා. එයාගෙ ඉන වටෙන් අත් දෙක දාගත්ත මම එයාගෙ පපුවට හේත්තු වෙද්දි ටිකක් වෙලා ඒක ප්‍රොසෙස් කරගන්න බැරුව හිටපු ලවන් පස්සෙ එයාගෙ අත් දෙක මගෙ වටේම යවලා මාව ළං කරගත්තා.

මම තව තව ලවන්ට තුරුල් වෙද්දි එයා මාව ළං කරන් හිමින් මගෙ පිට දිගට අතගෑවා.

"ඔයා- ඔයාට ප්‍රශ්නයක් නැද්ද...? මම කිව්වෙ නැත්තෙ ඔයා බයවෙයි කියලා. මට බය හිතුණා ඔයා ආයෙ මාත් එක්ක කතාවත් කරන්නෙ නැතිවෙයි කියලා."

ලවන් වෙව්ලන කටහඬකින් කියද්දි මම හිනාවෙලා ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

"ඔයා කියන්නෙ අපිට ඕන විදිහකට නිදහසේ ඉන්න පුලුවන් කියලද ලවන්...?"

මම අහිංසක විදිහට අහද්දි ලවන් හිනාවෙලා ඔලුව වැනුවෙ ඔව් කියන්න. මමත් අනිත් පැත්තට හිනාවෙලා එයාව ආයෙම තදින් එයාව බදාගෙන පපුවට තුරුල් වුණා.

"ඉතින් කලින් කියන්න එපැයි බූරුවො...මම පොඩ්ඩක්වත් බය වෙන්නෙ නෑනෙ එහෙනම."

මම ලවන් දිහා බලලා කියද්දි එයා ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් මගෙ දිහා බලන් හිටියා. එයා කීයටවත් මගෙන් මෙහෙම රිඇක්ශන් එකක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. ඒත්...මම පොත් කියවනවා වැඩිද මන්දා ලවන්ගෙ ඒ දේට මම ගොඩක් කැමති වුණා.

වැව රවුමෙ...මේ වගේ නිදහසේ තමන් ආදරේ කරන කෙනාට තුරුල් වෙලා ඉන්න තියන එකම කොයි තරම් දෙයක්ද. මට ඒක විඳින්න තියනවනම් ඒක වෙන්නෙ කොහොමද, ලවන් ඒක කරේ කොහොමද කියලා හොය හොය ඉන්න මට ඕන වුණේ නෑ.

අපි දෙන්නා එතෙන්ට වෙලා තව පැය බාගයක් විතර හිටියා. වෙනදා වගේ මම බය වුණේවත්, වටපිට බැලුවෙවත්, ලවන්ව එහාට කරේවත් නෑ. අත් දෙකත් පටලන් එයා එක්ක කියව කියව ඉඳලා අපි එතනින් ආවෙ දොළහත් පහු වෙලා.

දවල් වෙද්දි බඩගින්නක් ආවම අපි රෙස්ටොරන්ට් එක්කට ගිහින් කෑම කෑවා. අපි දෙන්නම කැමති විදිහට කොනේ ටේබල් එකක් අල්ලගෙන කාගෙන්වත් බාධාවක් නැතිවෙන්න අපි දෙන්නා පැයක් දෙකක් විතරම කෑම කෑවා.

ඊට පස්සෙ වීව් පොයින්ට් බලන්න ගියා, පොඩ්ඩක් නුවර වටේ ඇවිද්දා, කලින් අච්චාරු කාලා නැති එංගලන්තෙන් බැස්ස පොෂ් මහත්තයව සහස් උයනෙ අච්චාරු කන්න එක්කන් ගියා, හවස් වෙද්දි කොෆී ශොප් එක්කටත් ගොඩවුණා ඉතින්.

හය විතර වෙද්දි අපි දෙන්නම කැෆේ එක ගාවට ආවා. මම ඩ්‍රෙසින් රූම් යද්දි ලවන් වොශ් රූම් යන්න ඕනෙ කියපු නිසා මම එයාට යන්න කියලා ගිහින් ලෑස්ති වෙන්න පටන් ගත්තා.

"විදුර්...මම ඇතුළට එන්නද?"

ටික වෙලාවකින් ලවන් ඩ්‍රෙසින් රූම් එකේ එළියෙ ඉඳන් කතා කරද්දි මම හිටියෙ ලෑස්ති වෙවී.

"එන්න..."

මම කියද්දි මට ඇහුණා දොර අරින සද්දෙ. මම ඒ වෙද්දි හිටියෙ මම උදේ ඇඳන් හිටපු ශර්ට් එකේ බට්න්ස් ගලවලා ඒක එක කරකින් පොඩ්ඩක් ගලවගෙන.

"ඔහ්...ඔයා එන්න කියපු නිසා- මම එළියෙන් ඉන්නම්."

ලවන්ගෙ කෝලම් දිහා මම කණ්ණාඩියෙන් බලන් හිටියා. අනේ ඉතින් බොරුවනෙ...හීනෙන් බලන්න හොඳයි ඇත්තටම දැක්කම තමා. නෑ ඇත්තටම පේන්න මුකුත් නෑ මම ශර්ට් එක දාගෙන හිටියෙ. බට්න්ස් ගලවලා විතරයි.

"අනේ මෙහෙන් ඇවිත් ඉඳගන්න..."

මම කණ්ණාඩිය ගාව මේසෙට හේත්තුවක් දාන් එයා දිහා හැරිලා කියද්දි ලවන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා. වෙන වෙලාවට මගෙ ඇස් දෙකට හරි ආසා වුණාට මොකද දැන්නම් ඇස් දෙක නෙවෙයි ඊය පහළ බලන්නැතුව ඉන්නෙ හරි අමාරුවෙන් කියලා මට තේරෙනවා

"කමක් නැද්ද...?"

"නෑ අනේ...මෙහෙන් ඉඳගන්න."

මම කියද්දි ලවන් ඇතුළට ඇවිත් පුටුවකින් ඉඳගෙන ෆෝන් එක එළියට ගත්තා. මමත් අනිත් පැත්ත හැරිලා ශර්ට් එක අයින් කරලා මගෙ අනම් මනම් සුවඳ ජාති ටික උලාගත්තා.

මම කණ්ණාඩියෙන් ලවන් දිහා බලද්දිත් එයා ෆෝන් එක ඔබනවා...එක පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවෙ නෑ. මමත් මනමාල හිනාවක් දාගෙන ශර්ට් එක ඇදලා අරන් ඇඳගෙන බට්න්ස් දාන්න පටන් ගත්තා.

එක බට්න් එකක් දාපු මම ආයෙ කල්පනාවක් ඇවිත් ඒක ගැලෙව්වා.

"ලවන්..."

"ම්ම්...?"

තාමත් ඔලුව උස්සලනම් නෑ හැබැයි.

"පොඩ්ඩක් එන්නකො..."

මම එහෙම කියද්දි ලවන් ගැස්සිලා වගේ ඔලුව උස්සලා බැලුවා.

"ඇයි...?"

"මගෙ කොලර් එක ගාව පොඩ්ඩක් බලන්නකො...මේක අලුතෙන් ගත්තෙ මං හිතන්නෙ තාම ටැග් එක තියනවද කොහෙද."

"අ-ආහ්? ආ...ඉන්න."

ලවන්ගෙ රිඇක්ශන් එක දැක්කම මට හිනා යන්න ආවත් මම අමාරුවෙන් ඒක කන්ට්‍රෝල් කරන් හිටියා. එයා මගෙ පිටිපස්සට ඇවිත් ශර්ට් එකේ කොලර් එක ගාවින් අල්ලද්දි එයාගෙ ඇඟිලි තුඩු යන්තම් මගෙ බෙල්ලේ වැදුණා.

එක පාරට නුහුරු තැනකින් දැනුණ ටච් එකට මම ටිකක් ගැස්සිලා ඇස් දෙක පියාගත්තා. ලවන් මගෙ ඇඟේ ඇඟිලි තුඩු ගෑවෙන විදිහට කොලර් එක දිගේ එයාගෙ අත ඇදගෙන යද්දි මම මගෙ තොල් හපාගත්තා. මගෙ ඇඟම හිරිවැටිලා වගේ... එයාගෙත් හුස්ම වල වේගෙ එක පාරට වැඩිවෙනවා මට දැනුණා.

ශර්ට් එක කරකින් ගැලවෙන්න යනවා කියලා තේරුණ මම ඉක්මනට එක අතකින් ඒක අල්ලගද්දිම ලවන් ගැස්සිලා වගේ එහාට වුණා.

"අහ්..මේ- මුකුත් නෑ එතන."

"ඕහ්...එහෙනම් මට නිකන් දැනෙන්න ඇති."

මම අහිංසකයා වගේ කියලා ආයෙම කණ්ණාඩිය දිහා බලාගෙන ශර්ට් එකේ බට්න්ස් දාන්න ගත්තා. මගෙ කම්මුල් හොඳටම රෝස පාට වෙලා...ඒ මදිවට ලවන් තාමත් කණ්ණාඩියෙන් මගෙ දිහා බලාගෙන අමුතු විදිහට හිනාවෙද්දි ඒක දරාගන්න බැරිවුණ මම බිම බලාගත්තා.

මම ශර්ට් එකේ බට්න්ස් දාගෙන ඒක ටක් කරද්දි ලවන් ඒක ඇජෙස්ට් කරන්න උදව් කරනකොට මට යන්තම් හිනාවක් ආවා. කොයි වගේ වෙලාවක වුණත් එයාගෙ ඇක්ට් ඔෆ් සර්විස් නැති වෙන්නෙ නෑ.

මම ශර්ට් එක හදලා ඉවරවෙලා එයා දිහාට හැරෙනවත් එක්කම ලවන් මගෙ ඉන වටේ අත දාලා මාව ළං කරගත්තා. එයාගෙ ඇස් වල ලව් ලස්ට් මේ හැමදේම මම දැක්කා. ඇහිපිල්ලම් ගහන්නෙවත් නැතුව මගෙ දිහා බලාගෙන හිටපු එයා පොඩ්ඩක් ඉස්සරහට වෙලා මගෙ කම්මුලින් දිග හාද්දක් තිබ්බා. එයාගෙ අත් දෙක මගෙ හිප්ස් දිගේ උඩ පහළ යනවා මට දැනෙනවා.

මම තව ටිකක් එයාගෙ ඇඟට තද වෙද්දි ලවන් මගෙ කම්මුලක් කප් කරලා මගෙ දිහා බලන් හිටියා.

"You look so beautiful Vidur..."

"Thanks..."

මගෙ රෝස පාට කම්මුල් එයාගෙන් හංගගෙන කියද්දි ලවන් හිනාවුණා. ඒ හිනාව අමුතු සෙඩක්ටිව් විදිහකට ඇහෙද්දි මම තොලක් හපාගෙන හිනාවුණා. මගෙ හිනාව දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ලවන් ආයෙම මගෙ තොල් ගාවින් ගෑවෙන නොගෑවෙන කිස් එකක් තියලා එහාට වුණා.

"See you on stage..."

ලවන් එහෙම කියලා දොරත් ඇරත් එළියට යනවා මම බලන් හිටියෙ පිස්සුවෙන් වගේ...ආයෙම කණ්ණාඩියෙන් බලද්දි මට මාව අමුතු ග්ලෝ එකකින් පෙනුණා. මිනිස්සු ආදරේ කරද්දි ග්ලෝ වෙන්න ගන්නවා කියන්නෙ නිකන් නෙවෙයි වෙන්න ඇති.

වෙච්ච දේ තාමත් ප්‍රොසෙස් කරගන්න බැරිවුණත් ඒකට වෙලාවක් නෑ...මනමාල හිනාව මූණෙන් අයින් කරගෙන ගිටාර් එකත් කරේ දාගත්ත මම ස්ටේජ් එක පැත්තට යද්දි මගෙ හිත වෙනදා නැති අමුතු සතුටකින් පිරිලා තිබුණා.

----------------

වෙලාවකට මහන්සි බලන්නැතුව නිදි මරාගෙන මේක ලියන්නෙ වෙන මොකටවත් නෙවෙයි මටම කියවන්න. ඒ තරම් මම මේ චරිත වලට ආදරෙයි...🥹

එනිවේ මොකද හිතෙන්නෙ 😐 කතාව ස්ලෝ වැඩි නැත්තම් ස්පීඩ් වැඩි එහෙම මොකක්හරි දැනෙනවද? නැත්තම් අවුල් ජාලයක් වගේ? මොකක්හරි දැනෙනවනම් කියන්න හොඳේ...හදාගන්න 🥲

Share This Chapter