Back
/ 27
Chapter 26

💙අවසානය*

සුසුම්.

[සෙනුලි pov]

ජීවිතේ සමහර දේවල් තියනවා මේ තිබිලා මේ නැතිවෙන.අඩුම අපිට ඒක වුණේ කොහොමද කියලවත් හිතා ගන්න බැරි වෙන තරමට හැමදේම පැටලිලි සහගත ප්‍රශ්න. ඒත්,තමන් ඒ දේ දැන හෝ නොදැන හරි වැරදිකාරයෙක් නෙවේ කියන වගත් දැනගෙන ඒ ප්‍රශ්නෙ ලොකුම විඳවන්නන් අතරට එන එකත් එක්තරා විදිහෙ කරුමයක් තමා.මට වුණෙත් ඒ දේමදෝ කියලා මට අනන්ත වාරයක් හිතුණත් දැන් ඒවා වෙලා ඉවර නිසා මන් හිත හදාගන්න ගමන් ඉන්නෙ.දැන් මේ විඳවීමට මාසයයි. අපි වෙන් වුණ ඒ දවසෙ ඉඳන් අද වන තුරුම එක වචනයක් කතාකරගෙන නෑ වගේම තමා අඩුම අපේ ඇස් එකට ගැටෙන්නෙත් කාන්තාරයට දිය පොදක් වගේ.හිතනවද ඒ ගැටෙන මොහොතෙ තාමත් මගේ හදගැස්ම ඒ වගේම වැඩි වෙනවා කියලා.ඔව්! ඒ මොකක් නිසාවත් නෙවෙයි.ඒක තමා මගේ පළවෙනිම ආදරේ.මට වැරදුණු හරි,අපිට වැරදුණු හරි ඒආදරකතාවෙ ඉමක් කොනක් නොදන්න අවසානය!

ඒත්,මට තාමත් හිතා ගන්නබැරි අපිට මෙහෙම වුණේ ඇයි!

අදත් වෙනදා වගේම ඉස්කෝලෙ දවසක්.දැන් දැන් O/L වලටත් ලං වෙනවා.ඒකට කලින් අන්තිම වාර විභාගෙ ලියන්න තියනවා තව සතියකින්.මන් මේ දේට මහන්සි වෙන හැටි මටවත් හිතා ගන්න බෑ.ඉස්සරට වඩා මන් දැන් මැරීගෙන වැඩ කරනවා.මොකද මට කාලය ගෙවෙන හැම මොහොතකම මගේ ඒ අඳුරු මතකයන් මතක් නොවෙන්න මොකක්මහරි වැඩක් මට ඕන වෙනවා.ඉස්සර හිටපු මන් නෙවේ දැන් ඉන්නෙ කියලා මට එන්න එන්න තේරෙන්න ගත්තා.මොකද මේ ටිකේම මගේ ඇඟට හරි නෑ.ඔලුව කැක්කුම එක්ක වමනෙ යන්න එනවා.එක පාරට කලන්තෙට වගෙත් එනවා.මගේ තොල් පැලිලා ඒවා දනවා.ඇස් යට කලු වෙලා මන් නිකන් මමියක් වගේ.මට මාව දැක්කම සසර කලකිරෙනවා. ඒ තරමට මන් වෙනස් වෙලා.මට වෙලාවකට හරිම වෙහෙසයි මේ හැම දේම.මන් මොකටද මෙහෙම ඉඳලා කියලා හිතෙනවා.ඒත,මගේ target වෙනුවෙන් මන් මහන්සි වෙනවා.මටත් වසන්තයක් ඒවි! නේද?

ජීවිතේ මේ හැරිලා මේ බලද්දි වෙනස් වෙනවා කියලා මන් මේ කාලසීමාව තුල ඉගෙන ගත්තා.ඒ වගේම තමා අපේ වටේ ඉන්න මිනිස්සු මොන වගේද කියලත් මන් ඉගෙනගත්තා.මට දැන් socialise වෙන්න තියන ආසාව නැත්තටම නැති වෙලා.මට ඕන හැමෝගෙන්ම වෙන් වෙලා පාඩුවෙ ඉන්න. කතා කරන්න කම්මැලිකමක් දැනෙනවා.මට දැන් ගෙදර අය එක්ක පවා කතා කරන්න කිසි දෙයක් නෑ.පාඩම් වැඩ කරලා කාලා බීලා ඇඳට යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද.

වෙනදා වගේම මන් පන්තියට එද්දි හිරුශි පොතක් බලන ගමන් හිටියෙ.දැන් මහීශා ඉන්නෙ වෙන පෝලිමක. Office එකේ සිද්ධියෙන් පස්සෙ මැඩම්ලා අපි දෙන්නව එකට තියන්න එපා කියලා තීරණයක් අරන්.මහීශව වෙන පන්තියකට මාරු කරන්න හදලත් තව ටික කාලයක් නිසා තමා එහෙම නොකර හිටියෙ.ඒ වෙනුවට පන්තියෙ ඉන්න තැන් වෙනස් කරලා දැන් මහීශා වෙන පෝලිමකට දාලා ඉන්නෙ.මේක දැන් මාසයක් තිස්සෙ විඳින දෙයක් නිසා දැන් මට ඒක හුරුයි.මහීශත් මාව දැක්කම බිම බලන් යනවා.මාත් බිම බලන් යනවා.අපි අතර කිසිම සම්බන්දකමක් නෑ.කොටින්ම මගේ phone එක පවා ගෙදරින් අරගත්තා.මට phone පාවිච්චිය තහනම් ඒ දවසෙ ඉඳන්. ඉතින් තව මොනවද වෙන්න ඕන. ඔච්චර තමා!

"Good morning "

හිරුශි මාව දැකලා මට කතා කරාම මන් ලාවට හිනා වෙලා එයාගාවින් වාඩි වෙලා මගේ පොත් ටික එලියට ගත්තා.

"Morning"

"දැන් මොකද වෙන්නෙ බන්? පාඩම් කරලා ඉවරද ?"

"හ්ම්..."

"සතියකින් exam නෙ.මටනම් බයයි බන් මේ පාර papers පලාත් නෙ"

"ම්ම්"

"ගණන් මැඩම් තාම syllubus ඉවර නෑ.ඉවර කරන්න පුලුවන් වෙයිද බන්?"

"දන්නෑ"

මට ඊට වඩා දෙයක් කතා කරන්න ඕනකමක් තිබ්බෙම නෑ.ඒක තරහක් නෙවේ. මන් දන්නෙත් නෑ හේතුව ඒත් මට දැන් කතා කරන්න කම්මැලි.මට ඕන පාඩුවෙ ඉන්න.මන් හිරුශිට හූමිටි තියන නිසා හිරුශි ලොකු හුස්මක් පහත දාලා ඔලුව දෙපැත්තට වනලා ආයෙම පොතට ඔලුව ගහගත්තා.

මුල්ම පීරියඩ් එක සිංහල. මැඩම් කලින් දවසෙ විචාරයක් ලියන්න කිව්වා පන්තයේදිම. අද ඒ ටික ගෙනල්ලා වගේ.

"ළමයි....ඔන්න පෙරේදා ලිව්ව විචාරෙ මන් බැලුවා.මේක මේ පාර එන්න ලොකු ඉඩක් තියනවා.ලකුණු බැලුවම නම් ගොඩක් අයගෙ ලකුණු අඩුයි.තව ටිකක් උනන්දුවෙන්න වෙයි."

පියරපාන කියවනවා.මන් මලානික ඇස්වලින් අපිට වම් පැත්තෙ ඉස්සරහ පෝලිමේ හිටපු මහීශා දිහා බලන් හිටියා.

"මන් කියවපු හොඳම එක තිබ්බෙ සෙනුලිගෙ. ඔය ළමයි ඒක අරන් කියවලා අඩුපාඩු හදාගන්න.තේරුණාද?"

එක පාරට මගේ නම කියනවා ඇහුණ නිසා මන් මගේ ඇස් මැඩම් දිහාවට හැරෙව්වා.මන් ලොකු හුස්මක් පිට කරලා ආයෙමත් මැලවිචච හැඟීමෙන් ඉස්සර බලන් හිටියා.

ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක අපිට හිස් එකක් වුණා.මන් ඒකෙ past papers වගයක් කරන්න ගත්තා.හිරුශිත් මට එහාපැත්තෙ ඉඳන් ඉතිහාස පොතක් දිග ඇරන් පාඩම් කරනවා.කල්පනීනම් නිදි.මන් වැඩ කරන අතරෙ මට මහීශලාගෙ පෝලිමේ කතා වුණ දේවල් ඇහුණා.

"කෝ අනේ ඔයාගෙ රිබන් එක ලිහිලා මහීශා..මෙහෙට එන්නකො මන් හදන්න"

"ඕන්නෑ..."

"කෝ එන්න"

මන් පෑන කටේ ගහගෙන ඒ වෙන විගඩම දිහා බලන් හිටියා.පාරමී ඇඹරි ඇඹරි මහීශගෙ ඇඟේ ඇතිල්ලෙන දිහා මන් බලන් හිටියෙ මලානික ඇස් වලින්.ඒත්,මගේ ඇඟ ඇතුලෙන් මට මොකක්ද වෙනවා වගේ මට දැනුණා.හරියට මට හුස්ම ගන්න බෑ වගේ.මගේ පපුව හිර වෙනවා වගේ දැනෙන්න ගත්ත නිසා මන් අතින් පපුවට ගහගත්තා.

"ඇයි බන්?"

"න්නෑ..මේ.."

"ඔය පපුවට ගහගන්නෙ ඇයි?"

"මට හුස්ම ගන්න බෑ වගේ බන්..ම්ම්..මන් පොඩ්ඩක් එලියට යනවා..පස්සෙන් එන්න එපා"

මන් හිරුශිට එන්න එපා කියලා කඩාගෙන බිඳගෙන ටොයිලට් පැත්තට ගිහින් ටොයිලට් එකකට රිංගගත්තා.

මගේ හදවත ඒක රිදෙනවා.මට බලන් ඉන්න බෑ.මට මොකක්ද මේ වෙන්නෙ.මට හුස්ම ගන්න බෑ. මාව වෙවුලනවා.මන් මගේ අත් දෙකම මූණ ඉස්සරට ගත්තා.ඒවා වෙවුලනවා.මගේ ඇස්වලින් කඳුලු එන්නෙ නෑ.ඒත්,මගේ හදවත අඬනවා. ඒත්,ඇයි? මට මොකක්ද මේ වෙන්නෙ.මට ඇඬන්න ගිය නිසා එක පාරටම මන් මගේ අත හපාගෙන ඒක නවත්තගත්තා.අත හපපු පාරට අතින් ලේ එනවා.මට කරන්න දෙයක් නෑ.මට දාඩියයි.වටේ කලු වෙනවා වගේ දැනෙන්නෙ.මට ඇති.මේ ඇති....මම ටිකක් වෙලා හුස්ම ගත්තෙ මාව සන්සුන් කරගන්න.පැය භාගෙකට පස්සෙ මන් ඒකෙන් එලියට ඇවිත් මූණ ටිකක් හෝදගෙන ආයෙම පන්තියට යන්න ගියා.

.

.

.

.

.

.

.

ඉස්කෝලෙ ඇරිලා හවස 6 වෙනකනුත් පන්ති ඉඳලා මන් ගෙදර එනකොට මන් බාගෙට මැරිලා. මට තවත් පණක් තිබ්බෙ නෑ.අද මට වුණ දේවල් එක්ක මට තවත් හිටන් ඉන්න පුලුවන් වුණේ නෑ.මන් කාමරේට ගිහින් දොර වහලා ඇඳුම් මාරු කරන ගමන් හිටියෙ.ඒත්,මට එකපාරට කැරකිල්ලක් වගේ ඇවිත් වමනෙ යන්න ආපු නිසා මන් දුවලා washroom එකේ සින්ක් එකට මූණ ඔබාගත්තා.මන් බොහොම අමාරුවෙන් වමනෙ කරලා කට පිහිදගෙන ශවර් එක යටට ගිහින් ඇඟ හෝදගත්තා.රෑට කන්න මන් කුස්සියට යද්දි කුස්සියේ අම්මයි අක්කයි උයනවා.

මන් පොඩ්ඩක් ඔලුව දාලා එන්න ගියා.

"ආහ්..ආවද? තව ටිකකින් උයලා ඉවරයි.ඉන්න හොඳේ "

අම්මා ලිපේ මොනවද හැඳි ගාන ගමන් මට කියද්දි අක්කත් මන් දිහා බැලුවා.එයා පොල් ගගා හිටියෙ.

"හ්ම්"

"මොකද හුම් හුම් ගාන්නෙ.මේ ටිකේම මන් බලාගෙන..ඇයි පාඩම් කරලා වැඩි වෙලාද?"

"නෑ.."

"මෙයාට මොන පාඩම්ද අම්මා..පිස්සු"

මන් අක්කා දිහා මැළවුණ ඇස් වලින් බලන් හිටියා.මගේ මූණට කිසිම හිනාවක් ආවෙ නෑ.මන් කෙලින්ම සාලෙට ගියේ tv බලන්න.තාත්තත් tv බලන නිසා මාත් එතනින් ඉඳ ගත්තා.

"දැන් මොකද දුව පාඩම් වැඩ එහෙම?"

"හ්ම් කරගෙන යනවා"

"ම්ම්..තාමත් ඒ දෙවල් ද හිතන්නෙ?"

තාත්තා කියපු දේ එක්ක මන් තාත්තා දිහා ටිකක් පුදුමෙන් බැලුවා.

"ආහ්?"

"ඕවා අමතක කරන්න බලන්න..කොහොමත් හිතේ තියන් හිටියා කියලා වැඩක් නෑ.වැරදිනම් ඕනතරම් වෙනවනෙ මිනිස්සු අතින් ම්ම්?"

මන් හැඟීම් රහිත මූණකින් තාත්තා දිහා බලන් හිටියා.

"මන් බලන්නම් තාත්තා"

"මන් කලින් කිව්වනෙ...මට ඇහිච්ච දේවල් මේ ලෝකෙ ඕනතරම් වෙනබව මන් දන්නවා.මොකද මන් රටවල් වල ගිහින් තියනවනෙ. ඒත්,ඔයා හිතනවද ඒ වගේ දෙයක් මෙහෙට හරියනවා කියලා?"

".........."

"ඒක අමතක කරන්නකො...අම්මා දිහා බලන්න..එයාට ආයෙත් ඒ දේවල් හාරඅවුස්සන්න තියන්න එපා.තේරුණාද?"

"හ්ම්"

"දැන් A/L වලට මොනවද කරන්න කැමති?"

"Bio science"

"හ්ම් හොඳයි හොඳයි..දැන්වත් ඕවා අමතක කරලා දාලා හොඳ ගෑණු ළමයෙක් වගේ අනාගතයක් හදාගන්න බලන්න..පස්සෙ හොඳට පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්...ඒකත් හොඳ විදිහට.තේරුණාද? ඔය විකාර නැතුව"

"ම්ම්ම්...තේරුණා තාත්තෙ"

මන් තාත්තා කියපු දේවල් අහගෙනම ආයෙම කාමරේට ඇවිත් ඇඳෙන් හාන්සි වුණා.ඒ එක්කම වගේ මන් දැක්කෙ මගේ කණ්ණාඩි මේසෙ උඩ තිබ්බ දිලිසෙන බේස්ලට් එකක්.මන් ඒක අරන් පුටුවෙන් වාඩි වෙලා ඒක දිහා බලන් හිටියා...

මේක දුන්නෙ මගේ පලවෙනි ආදරේ!!ඒක විකාරයක් නෙවේ තාත්තෙ..සමාජෙ මිනිස්සු තමා අපිව විකාර කරේ..

ඒ එක්කම වගේ මට මතක් වුණේ ඝරසරප film එකේ මගේ හිතටම වැදිච්ච දෙබසක්.

~~~ආදරේ හිස්තැන් තිබ්බම ඒක අස්සට යක්කු රිංගනවා ~~~

Share This Chapter