Back
/ 43
Chapter 1

Chapter 01

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  පළමු කොටස 🌙

................................................................

" හෙට අලුත්  බොස්ව පිළිගන්න තියෙනවා හැමෝම ටිකක් වේලාසනින් එන්න... "

කාර්යාලයේ කටයුතු අවසන් කර නිවසට යන්න සූදානම් වන අතරෙ ඒ පණිවිඩය මගේ සවනට වැකුණේ හිමාෂාගේ හඬින්.

" අලුත් බොස් මොනවගේ වෙයිද දන්නේ නෑ....

අපෝ පරාල ඇණයක් වුනොත් නම් ජොබ් එකක් දාලා යන්න වෙන්නෙ... "

බස් එකක් එනතුරු බස් නැවතුමට වෙලා උන්න මගේ කාර්යාල මිතුරියන්ගේ ප්‍රධාන මාතෘකාව වුණේ හෙට කාර්යාලයෙ අලුතින් වැඩ භාරගැනීමට නියමිත නව ප්‍රධානියාගේ තොරතුරු.

" එයා ඇමරිකා ඉදලලු එන්නේ....

මට ආව නිවුස් වල හැටියට නම් අලුත් බොස් චීෆ්  සර්ගෙ පුතෙක්ලු... "

" ඒ විතරක් නෙමෙ මම අහගෙන HR එකේ අය කතා වෙනවා අලුත් චෙයාර්මන් හෙන හැන්ඩිය ලු...

මට නම් හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ... "

හෙට දවස උදාවන උදාවන තුරු ඉවසන්න බැරිකමට අලුත් ප්‍රධානියා ගැන  ඕපදුප මහ ගොඩක් කියවමින් උන්න අපි නියමිත බස්වලට නැගුනේ එකිනෙකාට සුහදව සමු දී අවසානයේ.

කාර්යාල නිම වන වෙලාව නිසා බස් එකේ අසුනක් හොයාගන්න එක නම් බොහෝ දිනවලදී සිහිනයක් විතරක්ම වුණා. ඉතිං මමත් හිමාෂත් බස් රථයේ  අත් වැටක් අල්ලගෙන හිටගත්තෙ තවත් නැවතුම් කිහිපයකින් මුලු බස් එකම මගීන්ගෙන් පිරෙන සත්‍ය හොදින්ම දන්නා නිසා.

පෙරදින රාත්‍රියේ නින්දක් නොලැබි නිසත් අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත් ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්.

" ඔයා බොරුවටනෙ බස් වල දුක් විඳින්නේ බේබි ඩෝල්.... "

අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු  ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින්  කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූවාද කිවහොත් මා වෙවුලන්නත් තදින් හුස්ම ගන්නත් පටන්ගත්තෙ එය මගීන් පිරුණු බස් රථයක් බවද අමතක කරලා.

හීනෙන් බය වූවෙකු සේ බස් රථයේ උන්න මිනිස්සු අතරින් මම හෙව්වේ දකින්න අකමැති ඒත් මගේ දෛවයෙ ලියවිලා  තිබුණු ඒ රූපය. බස් රථයේ උන්න හැම මගියෙක් දිහාම මම බැලුවෙ සැකයෙන්. කොහෙ හරි ඒ යක්ෂයා සැගවිලා ඇති කියලමයි මගේ හිත කිවුවේ.

" සිනුදි ඔයා හොදින් ද....? "

මම බෙහෙවින් කලබල වී ඇති බව තේරුම් ගත් නිසා දෝ හිමාෂා මගේ වෙව්ලන අත උඩින් අත තිබ්බෙ මාව සන්සුන් කරන්න. මම හිමාෂා දිහා බැලුවෙ පුදුම අසරණකමකින්.

" හැමදේම හොදින් සිනුදි... "

මගේ අත පිරිමදිමින් ඇය මට ඇස් වලින් පෙන්නුවෙ බස් රථයේ බොහො දෙනාගෙ අවදානය මගේ ලග බව.  මට දැනුනෙ ලැජ්ජාවක්. මම රැවටිලා.. මගේ හිත ඇතුලෙ හොල්මන් කරන ඒ හඬට මම රැවටිලා.

බස් රථය තුළ  මම සෙවූ ඒ රූපය නොමැති බව තේරුම් ගත්ත තැනයි මම දැනගත්තෙ ඒ හඬ මගේ සිතලුවක් විතරයි කියලා.  ඇසට ඉනු කදුළු කාටත් හොරෙන් පිසලාගත් මම ප්‍රශ්නයක් නෑ කියන්න හිස සොලවද්දි හිමාෂාගේ මුහුණෙ  ඇදිල තිබුනෙ මම ගැන උපන් මහා අනුකම්පාවක්.

ඇත්තටම මිනිස්සු මට අනුකම්පා කරන්න ඕනෙද..

ඒ අනුකම්පා ලබන්න මම  සුදුසුද.. මට ඒ ගැන තේරුමක් නෑ..

ඒත් මම දන්න එකම දේ මගේ මුළු ජීවිතේම දැන් අපායක් වෙලා ඉවරයි.

කවුරුත් දැනගන්නවාට අකමැති අතීතයක්, ජීවත් වෙන්න අකමැති  වර්තමානයක්, හීන දකින්න බැරි අනාගතයක් එක්ක මම තවදුරටත් හුස්ම ගන්නේ ඇයි කියන ප්‍රශ්නය මම මගෙන් සිය දහස් වාරයකට වඩා අහල ඇති. ඒත් ඒ ප්‍රශ්නෙ හැමදාම මම මගෙන්  ඇහුවත් උත්තරේ හරිම සරලයි.

සිනුදි  උඹට මැරෙන්නවත් අයිතියක් නෑ...

ඔව් ඇත්ත මට මැරෙන්න අයිතියක් නෑ. ඒ අයිතියත් වෙන කෙනෙක්ට විකිණිලා ඉවරයි.

හිමාෂට සමුදීලා මම බසයෙන් බැස ගත්තේ හොඳ සිහියෙන් නෙවෙයි. බස් එකේදි මුහුණ දුන්න සිද්දියත් එක්ක මට මතක් වුණේ මගේ කාර්යාල මිතුරියන්. දවසේ කාර්යයන්  නිම කරලා ගෙදර යන්න ඔවුන් මොන තරම් උද්යෝගිමත් ද...

ඒ උද්‍යෝගය පිටුපස ඇත්තේ තම නිවසට යාමට ඇති කැමැත්ත නොවේ ද..

ඒත් මම..

ඇත්තටම මම ගෙදර යන්නේ කැමැත්තෙන්ද එහෙම නැත්නම් වෙන කරන්න දෙයක් නැති නිසාද..

මගේ කාලකණ්ණි දෛවය ගැන හිතමින් ම මම ඉස්සරහට අඩි තිබ්බේ ගෙදර නොගොස් බැරි කමට. පුලුවන් තරම් පරක්කු වෙලා ගෙදර යන්න මම පුරුදු වෙලා වුන්නා.

" ආගත් මම කියන දේ අහන්න...

නවතින්න ආගත්.... "

නිවස වෙත යන්න තිබුණු කෙටි පාර දිගේ ඇවිදගෙන ආව මම ක්ෂනිකවම නතර වුණේ මගේ ගමන හරස් කරමින් පාර මැදට ඇවිත් රණ්ඩු වෙන දෙන්නෙක් නිසා.

මගෙ ඉස්සරහම රණ්ඩු කරන ඔවුන් දෙදෙනාගෙන් ඒ තරුණියව හඳුනගන්න  මට එතරම් අපහසු වුණේ නෑ.

අයිෂා රණසිංහ..

ඇය සිංහල සිනමාවට වසන්තය අරන් ආව අලුත්ම තාරකාවිය. ඉතින් අද වෙද්දි අයිෂාව නොදන්න කෙනෙක්  නැති තරම්. ඊළඟට මගේ ඇස් නතර වුණේ ඒ කඩවසම් පිරිමි පෞරුෂය ලග. අඩි හයකට වැඩි කඩවසම් සිරුර , මුහුණ පුරා වැවුණු ඝන රැවුල , තියුණු දුඹුරු ඇස් , ගාම්භීර හඬ මොහොතකට මගේ හදවත සසල  කළා යැයි නොකිව්වොත් එය බොරුවක්.

ඇයටත් ඔහුටත් මම ඔවුන් ඉදිරියේ ඉන්න බව ගැන වත්  වගේ වගක් නෑ. ඒ දෙන්නා  තවමත් බොහෝ දේ කියමින් එකිනෙකා හා තර්ක කරනවා. ඒත් ඒ ප්‍රශ්නේ අගක් මුලක් මට නම් තේරුනේ නෑ. තේරුම්ගන්න ඕන වුනෙත් නෑ.

" ආගත් ඔයා දැක්ක දේ නෙමෙයි එතන  සිද්ධ වුණේ....

ප්ලීස් ආගත්  තේරුම් ගන්න... "

" enough අයිෂා.... !! Enough.... !! "

දබරැගිල්ල ලෙලවමින් තර්ජනය කල ඔහු යන්න හැරෙනවාත් සමගම  ඇය ඔහුගේ අතේ එල්ලුනෙ හඬාගෙනම.

" ආගත් ප්ලීස්.... අපි එකපාරක් ඇතුලට ගිහින් කතා කරමු ...... "

ක්ෂණිකවම නැවතත් ඇය වෙත හැරුණු ඔහුගේ දකුණු අත නතර  වුණේ ඇගේ ගෙල සිර කරමින්. ඒ මොහොතේදී නම් මට  හිල් වුණේ ඉබේටම.

" තමුසේ කියන්නේ මම මගේ ඇස් දෙකෙන් දැකපුවා බොරු කියලද....

" ආගත් විශ්වාස කරන්න...

මගෙයි රෝමිගෙයි අතර එහෙම කිසිම දෙයක් නෑ..... "

ඇය ආයාචනාත්මකව එහෙම  කියද්දී ඔහුගේ බැල්ම නතර වුණේ ඔවුන් පැමිණි නිවස දෙසට. ආගත්ගෙ මුහුණේ හැඟීම් වෙනස් වෙන හැටි මම බලාගෙන. අයිෂාට අවනත වෙන්න පුංචිම හරි අදහසක් ඔහු ලග තිබුන නම් ඒකත් ඔහු ඒ මොහොතෙ මරාදැම්ම බවයි ඒ මූණෙ මැවුන හැගීම් වලින් කියවුනෙ.

ඔහුගෙ ඒ සීතල රැවිල්ල දිගේ මමත් ඒ නිවෙස දෙස බැළුවෙ නිතරගයෙන්මයි.

උඩුකය බාගෙට නිරාවරණය වූ  කමිසේ බොත්තම් දමමින් උන්න ඔහු ආගත් වෙත හෙලුවෙ  උපහාසාත්මක සිනහවක්. ඒ සිනහවෙන් ආගත් තව තවත් වියරු වැටෙන දෙස  මම බලන් උන්නෙ දෑස් විසල් කරගෙන. අයිෂා තනිවම හඬමින් උන්නා  මිස ඇයට මේ දෙන්නගෙ සීතල යුද්ධය ගැන දැනීමක් තිබුනෙ නෑ.

" හැමදේම ඉවරයි අයිෂා....  හැමදේම ඉවරයි....

තමුන් ආයෙ මගේ ඇස් වලට පේන්න එන්න එපා..... "

අයිෂාගෙ දෙවුරෙන් අල්ලා  පිටුපසට තල්ලු කළ ඔහු කලිසම් සාක්කුවට අතදමා එහි තිබුණ මුදුවක් අතට ගත්තෙ ලොකු කලකිරීමකින්. එය සුදු දියමන්ති ඇල්ලූ වටිනා මුදුවක් බව බැලූ බැල්මටම තේරුම් ගන්න මට පුළුවන් වුණා.

" ආගත් ප්ලීස්....

මට ඔහොම කරන්න එපා.... "

අයිෂාගෙ  ආයාචනා ව සතයකටවත් ගණන් නොගෙන ඔහු ඒ මුදුව බිමට දමා  පෑගුවේ හදවතේ කිසිදු තෙතමනයක් නැති ගානට.

" තමුන් මං ගැන දන්නව නෙ අයිෂා....

ආගත් දෙයක් අතැරියොත් අතාරින්නෙ සඳහටම.... "

අයිෂා එතැනම දණින් වැටිලා හඬන අතරේ ලොකු හුස්මක් ගත්ත ඔහු පාරේ අනෙක් පස නතර කර තිබු සුඛෝපභෝගී මෝටර් රථයට නැගී ඉගිළුණේ මා වෙත ද සීතල රැවිල්ලක් යොමු කළ පසුවයි.

ඔවුන්ගේ නාටකය මා සිය කැමැත්තෙන්ම නැරඹුවා යැයි ඔහු සිතන්නට ඇත. නමුත් මගේ මග හරස් කරමින් නාට්‍යක නැටුවේ ඔවුන් බව ඔහුට අමතක වූ හැඩකි.

තවමත් පාර මැද දණින් වැටී ගෙන හඬන  අයිෂා ව එසවීමට මා උත්සාහ කළෙමි.  දැනටමත් බොහෝ නිවැසියන් නිවසින් පිටතට පැමිණ මේ නාටකය රසවිඳ ඇති බව මට වැටහුනේ බොහෝ දෙනාගේ විසල් වූ ඇස් ඇය අසල නතර වී තිබූ නිසාය.

"  නැගිටින්න අයිෂා.... "

මා උත්සාහ කළේ මේ මොහොතේ ඇයට උදව් කරන්න. මොකද තවත් කෙනෙක්ගෙ වචනවලින් අවමාන විදීම ගැහැනියකට දැනෙන්නෙ  මොන විදියටද කියන එක ගැන මම තරම් දන්න කෙනෙක් නැතුව ඇති.

ඇය මේ සමාජයේ ප්‍රසිද්ධ තාරකාවක්. ඇගේ නමට මේ වගේ කළු පැල්ලමක් එකතු නොවී ඉන්නයි තිබුණේ.

හැමදේම අතහැරියත්  ඇයත් තවත් එක ගැහැනියක්. ඔවුන්ගෙ ගැටලුව කුමක්ද වැරදි කවුද කියන එක ගැන මට දැනගන්න ඕන වුණේ නෑ.. ගැහැනියක් අසරණ වෙන තැන මම උන්නේ ඒ ගැහැනිය ගේ පැත්තෙන්. ඒත් මේ සමාජයේ මට නම් ඒ වගේ අවස්ථා ලැබුණේ හරිම අඩුවෙන්. හැමෝම බලන් ඉන්නේ මට අවනම්බු කරන්න ගරහන්න. දැන් මට ඒ දේවල් පුරුදුයි...ඒත් අයිෂාට....

බිම වැටිල තිබුණු මුදුවද අතට ගත්ත මම අයිෂාව නැගිට්ටුවාගත්තෙ  තනි උත්සාහයෙන්.

" හැමදේම හොඳින් සිද්ධ වෙයි....

අඬන්නේ නැතුව ඉන්න... "

මම උත්සාහ කළේ ඇයට  පුංචිම හරි සහනයක් වෙන්න.

දූවිලි වැදිලා තිබුණ මුදුව පිරිසුදුකර මම ඇයගෙ අත උඩින් තියෙන කනුත් ඇය උන්නේ ඉකිබිඳිමින්. මුදුව දෙසත් මා දෙසත් බැලු ඇය මට රවන්න පටන්ගත්තෙ හරි ඉක්මනට.

"හැමදේම හොඳින් සිද්ධ වෙයි....??

දැන් මෙතන උන දේවල් මදිද...

අනික තමුන් කවුද මට උපදෙස් දෙන්න....

යනවා යන්න....

මට මගේ පාඩුවෙ ඉන්න දෙනවා.... "

මගේ අත ගසලා දාපු ඇය මට කෑගැහැව්වෙ මෙතන සිද්ධ වුණු හැම දේටම වැරදිකාරි මම වගේ.

මම ඇයට අහුලලා දුන්න මුදුව ද නැවතත් බිමට විසි කරපු ඇය කඳුළු පිසලමින්ම   නිවෙස වෙත  දිවගියේ මම තවමත් සිදු වූ දේ තේරුම්ගත නොහැකිව  බලන් ඉද්දි.

ඇය දිව ගොස් නිවෙස ඉදිරිපිට සිටි ඔහුට තුරුලු වුනෙ  මා තවත් පුදුමයෙන් පුදුමයට පත්කරමින්. හරිනම් ඇය ඔහුට නොවේද බැන වැදිය යුතු. නමුත් හැමදාමත් වගේ හැම තැනකදිම වගේ වැරදි කාරිය උනේ මම.

ඉතින් මට මේක නුපුරුදු දෙයක් නෙවෙයි නොකරපු වැරදි වලට බැනුම් අහන එක සමාජයෙන් අවමානයට පත් වන එක  සිනුදිට අමුතු දෙයක් නොවේ.

දැන් වටේ පිටේ මිනිස්සු මගේ දිහා බලන් ඉන්නේ හරියට මේ හැමදේටම මුල මම වගේ සමහරු මාව පෙන්වමින් කසු කුසු ගාන විට මට  මං ගැනම දැනුනේ මහා පිළිකුලක්. ඔව් ඇත්ත හැමතැනදිම මම වැරදි කියන්න ඔවුන්ට හේතු  ඇති. ඒත් ඔවුන් කොහොමද ඒ තරම් ඉක්මනට තනිවම නඩු අහලා මං වැරදිකාරිය ලෙස තීන්දුවත් දෙන්නෙ..

ඉතින් මම පහලට නැවිලා මුදුව අහුල ගත්තෙ අයිෂාගෙ තරහව නිවුණු මොහොතක මෙය  ඇයට භාර දෙන චේතනාවෙන්. ඒත් බලන් ඉන්න මිනිස්සු හිතන්න ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ වටින  මුදුවත් මම හොරකම් කරගත්තා කියලා. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න මට උවමනාවක් නෑ. මට වැඩකුත් නැහැ... මගේ  සමහර හැඟීම්  දැන් මැරිලා ගිහිල්ලා.

" සීනු.... "

නිවසට යන්න ඉස්සරහට අඩිය තියනවත් එක්කම පිටුපසින් ඇවිත් මගෙ අතේ එල්ලුනේ සිම්මි. සිම්රන් නොහොත් සිම්මී මගේ සහෝදරිය හා සම මිතුරිය. මගේ ඇස් දිහා තරවටු බැල්මක් හෙලු ඇය මගේ අතින් අල්ලන් ඉදිරියට ඇදුනේ වචනයක්වත් කතා නොකර. අනිවාර්යෙන්ම ඇය පෙර සිද්ධිය බලාගෙන ඉන්න ඇති. මම අයිෂාට පෙරලා නොබැනපු එක ගැන සිම්මි ඇත්තෙ හිත හොදකින් නොවේ. ඒ නිසයි කටකාර ඇගේ වචන අද ගොලු වෙලා තියෙන්නේ.

" ආ... මේ අර ෆ්‍රැන්කිගෙ කෙල්ලෝ නේද...

දැන් ඉතින් ඕන කෙනෙක්ට තේරෙනවා නේ වෙලා තියෙන දේ....

මුන් යන යන තැන ප්‍රශ්නයක් ඇති කරනවා...

ලැජ්ජා නැති ගෑණු... "

අපිව පසුකරමින් ගිය ගැහැනු දෙන්නෙක් අපි ගැන කිව්වේ ඒ වගේ කතාවක්. මොනතරම් හුරුපුරුදු වුනත් ඒ වචන වෙනදට වඩා අද හිත රිදෙව්වා. ඔවුන් කොහොමද මාව කිසිම දෙයක් නොදන්න ප්‍රශ්නෙක වැරදිකාරියක් කරන්නෙ.

මොන තරම් හිත රිදුනත් මගේ නිවැරදි බාවය ඔප්පු කරන්න ඒ මිනිස්සුන්ට උත්තර දීලා තේරුමක් නැති බව දන්න නිසාම මම ඔලුව පාත් කරගෙන ම  ඔවුන් මඟහරින්න උත්සාහ කරත් සිම්මිට නම් එයට  හිත ඉඩ දුන්නේ නෑ. ඇය කවදත් රණ්ඩුවට ලැදි.

" ඔව් අපි ෆ්‍රැන්කිගෙ කෙල්ලො තමයි....

තමුන් එක ප්‍රශ්නයක් කර ගන්න එපා...

වැඩක් නැත්තං තමුන්ගේ හස්බන් ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද...

මොකද ඒ මිනිහත් රෑට රෑට ඔය ෆ්‍රැන්කිගෙ ගේ අස්සට රිංගනවා..... "

සිම්මිට එයාගේ කතාව කියල ඉවරකරන්න ලැබුනෙ නෑ ඒ ගෑනු කෙනාගේ අත ඇවිත් නතර වුණේ සිම්මිගෙ කම්මුලක් මත. ගින්දර පිටවෙන ඒ ඇස්වලින් මම දැක්කෙ සිම්මිව අළු කරන්න පුළුවන් තරම් ආවේගයක්.

කම්මුල් පාර නිසා සිම්මි වුන්නෙත්  පෙරටත් වඩා වියරුවෙන්. තවත් රණ්ඩුව දුරදිග යන්න කලින් මමය එයට මැදිහත් වුණා.

" සිම්මි  ඇති....  නවත්තන්න ඕක... "

මම බලෙන්ම සිම්මිව  ඇදගෙන ගෙදර නොයෙන්න ඒ ප්‍රශ්නෙ තවත් දුර දිග යන්න තිබුණා.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

..............................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

First
Next

Share This Chapter