Back
/ 43
Chapter 31

Chapter 31

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් එක් වැනි කොටස 🌙

................................................................

" දෙන්නත් එක්ක ගෙදරට වෙලා හිටිය නම්... මම ගිහින් එනකම්.... "

අත්තම්මා ඒ නොකියා කිවුවේ එන්න එපා කියලා. මම දැන් ඉස්සර හිටපු පොඩි එකි නෙමේ කියන එක සතුට වැඩිකමට මටම අමතක වුණා.

අත්තම්මා මට බැන බැන පල්ලම් බහිද්දි මම මූණ එල්ලගත්තෙ බංගලාව දිහාට එබෙමින්.

" හොද වැඩේ..... "

මගේ අතේ එල්ලුන සිම්මි එහෙම කිවුවේ හිනා වෙවි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අත්තම්මා අපිට ගෙදරට වෙලා ඉන්න කිවුවට මගේ ඇස් වගේම හිත තිබුනෙත් බංගලාවේ. බංගලාව ඉදිපිට සිටින ආරක්ෂකයින් වැනි පිරිස හැරුනම වෙන කිසිවක් මගේ නෙත ගැටුනෙ නෑ. මට ඕන වුනෙ බංගලාව තුළ සිදුවන දේ දැනගන්න.

හිත හොදටෝම නොසන්සුන්. ඉවසීම නම් නොතිබුණු තරම්. අත්තම්මා නැවත පැමිනෙන තුරු ඉවසිය නොහැකි තැන මම මූණ ඇඹුල් කරගත්තා.

අත් දෙකත් බැදගෙන මගේ දිහා බලාගෙන වුන්න සිම්මි ඊළග මොහොතෙ මාවත්  ඇදගෙන පල්ලම් බැස්සෙ හොරෙන්ම බංගලාව පැත්තට.

" සිම්මි පිස්සු ද අනේ..... "

මම සිම්මිට විරුද්ධ වුනෙ බොරුවට. මටත් ඕන වෙලා තිබුනෙ කොහොම හරි එයාගෙ මූණ බලාගන්න.

යායට පිපුණු මල් වත්ත මැදින්  අඩි පාර දිගෙ හොරෙන්ම බංගලාවේ වත්තට අපි දෙන්නා ඇතුලු වුනෙ හොර පූසියො දෙන්නෙක් වගේ. විසිත්ත කාමරයෙ සුවිසල් ජනේලයෙන් හොරෙන්ම ඇතුලට එබුන මමත් සිම්මිත් වට පිට බැලුවෙ හොයන්නෙ කාවද කියලවත් නොදැන.

ඒත් එක්කම විසිත්ත කාමරය දෙසට එන පිරිමි හඬවල් කිහිපයක් නිසා මමත් සිම්මිත් ඉක්මනින්ම  පහළට නැමුනා.

" කවුද ඒ..."

මමත් සිම්මිත් කතා කලෙ සංඥා භාෂාවෙන්. ඒ ඇහුනු පිරිමි හඬවල් නැවත්තත් ඈතින් ඇහෙද්දි සිම්මි මට ඇස් වලින් කිවුවේ ආයෙත් හොරෙන් බලන්න කියලා. හිත හොදටෝම නොසන්සුන්. ඒ මොනව වුනත් ඔහුව දැකගැනිමේ ආශාව තිබුනෙ ඊටත් වඩා ගොඩක් ඉහළින්. ඉතිං සිම්මිගෙ පෙරැත්ත මධ්ද්‍යයේ මම හොරෙන්ම ආයෙත්  කවුලුවෙන් ඇතුලට එබුනා. මුලින්ම ඇස් දෙක විතරක් පෙනෙන සේ එසවුන මා අවට නිරීක්ෂණය කලෙ පරිස්සමෙන්. විසිත්ත කාමරය තුළ ගෘහ නිර්මාණය පින්තූර හැරුනම වෙන කවුරුත් හිටියෙ නෑ. ඔහුව දැක ගැනීමේ ව්‍යර්ථය නිෂ්ඵල වූ නිසාම මම නැගිටලා ඉණට  අත් තියාගත්තෙ මූණ ඇඹුල් කරගෙන.

" අයියෝ එයාව ආයෙත් මිස් වුණා.... "

ඉණට අත් දෙකත් තියාගෙන මම එහෙම කිවුවේ සිම්මිට විතරක් ඇහෙන ගානට. විසිත්ත කාමරයෙන් ඇස් පිටතට ගෙන තොල් පෙරලමින් මම බැලුවෙ සිම්මි දිහා.

ඒත් පුදුමයි..

මොහොතකට කලින් මා ළග වුන්න සිම්මි එක පාරටම අතුරුදහන් වෙලා.

" කාවද හොයන්නෙ.....? "

සිම්මි නොමැති බව දැනගෙන මා කලබල වූ මොහොතෙම මගේ පිටුපසින් ඇසුනෙ හුරුපුරුදු පිරිමි හඬක්. මම ක්ෂනිකවම ඔහු වෙත හැරුණා.

මගේ ඇස් ඉස්සරහ වුන්න රූපය දුටු පමණින්ම මගේ දෑස් විසල් වුණා. මුව විවර වුනේද පුදුමයෙන්.

" ආ..... ආගත් සර්.....!!!! "

විශ්වාස කරන්න මට ඇහිපිල්ලම් සලන්නට පවා අමතක වුණා. මොහොතක් මම ඔහු දෙස බලාසිටියෙ ගල් ගැහුනාක් මෙන්. ඉතිං මට මගේ ඇස්ම අදහාගන්න බැරි වුණා.

කලිසම් සාක්කුවලට අත් ඔබාගෙන ඔහු අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි මම නිතරගයෙන්ම අඩියෙන් අඩිය පිටුපසට තල්ලු වුණා. අඩි කිහිපයක් තල්ලු වුන මා නතර වුනෙ  කළු ගල් ඇල්ලු බිත්තියට හේත්තු වෙලා.

මම ආසම කරන ඒ දඟකාර හිනාව ඔහුගෙ මුහුණ මත ඇදිලා තිබුණා. තවත් අඩියක් ඉස්සරහට තියපු ආගත් සර් ඔහුගෙ දකුණු අත බිත්තියට හේත්තු කලෙ මගේ උරහිසට උඩින්. දකුණු අතට වාරු වෙලා ඔහු මගේ මූණට එබෙද්දි මම උන්නෙ හුස්ම ගන්නත් අමතක වෙලා.

මම ආයෙ ආයෙත් ඒ ආඩම්බරකාර නපුරු මුහුණ දෙස හොදින් බැලුවෙ ඇත්තටම මට වැරදුනාද කියලා ස්තීර කරගන්න. ඒත් නෑ.. දශමයෙන් දශමය ඔහු හුස්ම වැදෙන තරම් මට ළං වෙද්දි ඒ ආගත් සර්ම බව මට පිලිගන්නම වුණා.

කලු පාටින් දිලිසෙන ඒ ඇස් නතර වෙලා තිබුනෙ මගේ ඇස් අස්සෙ. ඒ ඇස් වල පැටලුනොත් ආයෙත් ගැලවෙන්න බැරි වෙයි කියන බයට මම ඒ ඇස් වලින් ඇස් අහකට ගත්තා. මම බිම බලාගත්තෙ අපහසුවෙන්.

ඒ අපහසුව තේරුම්ගෙනද කොහෙද මගේ මූණට එබිගෙන වුන්න ආගත් සර් ඔහුගෙ ඉරියව්ව වෙනස් කලා.

ආයෙත් සුපුරුදු ආඩම්බරයෙන් අත් දෙකත් බැදගෙන මගේ ඉස්සරහ හිටගත්ත ආගත් සර් දිහා මම බැලුවෙ හොරැහින්. ඔහුගෙ ඇස් කෙලින් බලන්න බැරි තරම් මායාවක්.

" ආගත් සර්...... ඔ.... ඔයා!....... "

කතා කරගන්න පුලුවන් වූ මොහොතෙම මම වචන එකතු කරගත්තා.

" ආගත් සර්??????

ආගත් සර් ඉන්නෙ ඔෆිස් එකේ.....

මම ආගත් සර් නෙමේ... "

ආයෙත් අර දඟකාර හිනා රැල්ල ඔහුගෙ මුවග මත ඇදිලා මැකිලා ගියෙ තත්පරයක වෙනසින්.

" එහෙනම් කවුද.... ? "

ඇස් දෙකක් ලොකු කරගෙන මම ඇහුවෙ පොඩි එකෙක් වගේ. ඔහු ආයෙත් මගේ ඇස් වලට එඹුනා.

" අදුරගන්න බැරි ද..... "

මම බෑ කියන්න හිස සෙලවුවේ වචනයෙන් පිළිතුරු නොදි.

සාක්කුවෙන් ඇදලා ගත්ත යමක් ඔහු මගේ පැත්තට දිගු කලා. ඔහුගෙ අතේ තිබුණු පුංචි පරවියෙකුගෙ රූපය දෙස මම බලාගෙන වුන්නෙ දෑස් දල්වාගෙන.

මට හුස්ම ගන්නත් අමතක වුණා වගේ. ඒ පරවි රූපය මම පුංචි කාලෙ මගේ හොදම යාලුවා වුන ඔහුට දුන්න ත්‍යාගයක්. ඒ සිහිවටනය ආගත් සර්ගෙ අතට කොහොම ලැබුනා දැයි එක තත්පරයකින් තීරණය කරන්න මට පුලුවන් වුනෙ නෑ.

ඔහුගෙ අත උඩ තිබුණු පරවි රූපය දෙසත් ඔහු දෙසත් මම වරින් වර බැලුවෙ දහසක් දේ කල්පනා කරමින්. අවසානයෙදි හිත කියන දේ පිළිගන්න මම තීරණය කලා.

" ඒ.... ඒජන්ට් ඒ.....!!! "

මම ඇහුවෙ පුදුමයෙන්. මගේ ඒ වචනයත් එක්ක ආගත් සර්ගෙ මුවග රැදුනෙ මම මීට කලින් කවදාවත් දැකලා නැති තරම් සුන්දර සිනහවක්. කලුපාට රැවුල් කොට අතරින් සිනාසෙන ඒ තොල් මට කිවුවේ අමුතුම කතාවක්.

" කියන්න..... ඒක ඇත්ත ද....??? "

ඔහුගෙන් පිළිතුරක් දැනගන්න මම ඉක්මන් වුණා. සිනහව අතරින්ම ආගත් සර් හිස සැලුවෙ ඔව් කියන්න.

මට උන්හිටි තැන පවා අමතක වුණා වගේ. අඩියක් පිටුපසට තල්ලු වෙලා ගිය මම නොවැටි බේරුනෙ බිත්තියට හෙත්තු වෙලා.

මගේ ඇස් වලට කදුළු පිරුනෙ ඇයි කියලා මට තේරුනෙ නෑ. ඒත් ඒ සතුටු කදුළු බව නම් මට විශ්වාසයි.

වැඩිය මුකුත් නොහිතාම මට ඕන වුණා ඔහුව වැලදගන්න. ඉතිං හිත තුළ නොයිවසිලිමත් හැගීම් වලට ඉඩ දීලා මම ඔහුට තුරුලු වුණා. අපිව කවුරු දකීවිද මොනව වෙයි ද කියන එක මට ඒ වෙලාවේ වැදගත් වුනේ නෑ.

" ඒජන්ට් සී.....

එහෙනම් අපි ආයෙත් මුණගැහුනා..... "

ඔහුට තුරුලු වුන මාව ඔහු තවත් ටිකක් ඒ ගතට තද කරගත්තේ එහෙම කියාගෙන.

ඇත්තමයි ඒ මොහොතෙ මට දැනුන හැගීම විස්තර කරන්න තරම් වචන මම දන්නෙ නෑ.  ඒ පපුව ගැහෙන සද්දෙ මට දැනුනෙ මියුරු සංගීතයක් වගේ. ඒ තුරුලෙ තිබුණු උණුසුමෙන් මට දැනුනෙ මතක ඇති කාලෙක නොවිදි තරම් ආරක්ෂාවක්.

ඉතිං ඒ තුරුලට වෙලා පැය ගානක්...

නෑ..

දවස් ගානක් නෙමේ කල්පයක් වුනත් මට ඒ උණුසුමට ගුලි වෙලා ඉන්න පුලුවන්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අවුරුදු දහාඅටකට පස්සේ යාලුවාව දකින්න මම හොරෙන්ම බංගලාවට ආවා කියන කතාව අත්තම්මා විතරක් නෙමේ බංගලාවේ වුන්න හැමෝම වගේ  දැනගෙන තිබුනා. අත්තම්මාව යාලු කරගන්න ටිකක් අමාරු වුනත් ආගත් සර්ගෙ උදව්වෙන් කොහොම හරි අත්තම්මව ආයෙත් යාලු කරගන්නත් මට පුලුවන් වුණා.

බංගලාවට ඇවිත් තිබුනෙ ආගත් සර් විතරයි. ඔහුගෙ ආරක්ෂකයින් හැරුනාම පවුලෙ වෙන කවුරුත් ඇවිත් තිබුනෙ නෑ.

මගේ සිහින කුමාරයා කවුද කියන එක සිම්මි මුල ඉදන්ම දැනගෙන ඉදලා. ඇය හිතාමතාමයි මාව හොරෙන්ම බංගලාවට එක්කගෙන ඇවිත් හරිම අවස්ථාවෙදි අතුරුදහන් වුනේ.  එදා රෝහලේදි ආගත් මොනවද කිවුවේ කියලා මට කියන්න සිම්මි මොන තරම් උත්සහ කලාද.. ඒත් මගේ මුරන්ඩු හිත ඒ කතාව අහන්න ලෑස්ති වුනේ නෑ.

හැබැයි එදා මම ඒ කතාව අහලා තිබුන නම් අද දවස මේ තරම් ලස්සන වෙන එකකුත් නෑ.

පුංචි කාලෙ වගේම මමත් ආගත් සරුත් වුන්නෙ ගල් බැම්ම උඩ වාඩි වෙලා. පුංචි කාලෙ නම් බැම්මෙන් කාලක් උසටවත් අපේ පුංචි කකුල් දිග නෑ.. ඒත් දැන් එක පිම්මකින් බැම්මෙන් එහා පැත්තට පනින්න පුලුවන් තරමටම අපි ලොකු වෙලා.

කාලය ගෙවුනෙ මොන තරම් ඉක්මනටද.. කාලය මොන තරම් ගෙවුනත් ආගත් සර්ගෙ පුරුදු නම් වෙනස් වෙලා නෑ. ඒයා මේ දැනුත් කෝපි එක්ක චිප්ස් කනවා. ආගත් සර් පොඩි එකෙක් වගේ හැසිරෙන දිහා හොරැහින් බලාගෙන මම තනිවම සිනාසුනා.

" වැඩක් නෑ....

ඔයාට මාව අදුරගන්න බැරි වුණා නේ... "

ආගත් සර් කතා කලෙ බොරු තරහකින්. මම ඉක්මනින්ම බැල්ම ඔහුගෙ උවන මත නවතාගත්තා.

" ඉතිං ඔයා මාව අදුරගත්ත ද.....? "

අත්දෙකත් බැදගෙන මම ඇහුවෙ දගකාර ස්වරයකින්.

" ඔව්....

දැක්ක පළවෙනි දවසෙ ඉදන්ම..... "

ඈතට විහිදුනු ලැවැන්ඩර් මල් යාය මත දෑස් රවාගෙන ආගත් සර් එහෙම කියද්දි මගේ ඇස් පුදුමයෙන් විසල් වුණා.

"බොරු කියන්න එපා.....

ඔයා කියන්නෙ එදා... පාරෙදිම ඔයා මාව අදුරගත්තා කියලද...? "

මම ඇහුවෙ පුදුමයෙන්. අවුරුදු දහාඅටකට පස්සේ අපි මුණගැහුන පළවෙනි දවස වුනෙ එදා. ආගත් සර්ගෙත් අයිෂා මිස්ගෙත් රණ්ඩුවකට අහම්බයෙන් මා මැදි වූ දින මා මතක් කරගත්තා.

" ඔව්... "

" ඒ කොහොමද....?? "

මට එය දැනගන්නම ඕන වුනා. ඔහු ඊළගට ආයෙත් මගේ ඇස් වලට එබුනෙ කට කොනකට මවාගත්ත හිනාවකින්.

" ඇත්තම යාලුවො කොච්චර දුරින් වුන්නත් එයාලට එයාලව දැනෙනවලු.....

මටත් ඔයාව එදා දැනුනා..... "

ආගත් සර් එහෙම කියද්දි මට මතක් වුනෙ එදා දවස. ඔහු මා වෙත හෙලු ඒ සීතල රැවිල්ල. ඒ බැල්ම මතක් වෙද්දිත් හිත ගැස්සෙනවා විනා මට නම් ඔහුව එදා වෙනත් අයුරකින් දැනුනෙ නෑ. ආගත් සර් කියන්නෙ ඇත්ත වෙන්න ඇති කියලා විශ්වාස කරන්න තරම්ම මගේ හිත බොළද වෙලා.

ඔහු කියු ඒ කතාව මා විශ්වාස කල බව තේරුම්ගත්ත ආගත් සර් මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ දෙකට නැවිගෙන.

මගේ මූණ රතු වෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නෑ.

" අනේ.... කියන්නකෝ....

කොහොමද මාව අදුරගත්තෙ..... "

පිළිතුරක් ලැබෙන තුරුම මා මුරන්ඩු වුණා. මගේ ඇස් එක්ක පැටලිලා තිබුණු ඒ ඇස් මගේ ගෙල මත නතර වුනෙ කෙටි සිනහවකින්.

" ඔය පෙන්ඩන්ට් එක....!

එදත් ඔයා මම දුන්න පෙන්ඩන්ට් එකයි දාගෙන වුන්නෙ...... "

චේන් එකට සම්බන්ධ වෙලා තිබුණු පෙන්ඩන්ට් එක අතට ගත්ත මම ඒ දෙස මොහොතක් බලාගෙන වුන්නා. කාලයත් එක්ක මටම අමතක වුන ඒ පුංචි තෑග්ග හැමදාමත් මගේ ලගම තිබුණා. කාලයත් එක්ක මට එහි ඒ තරම් විශේෂයක් නොතිබුනත් මම පළදින්න ආසම කලෙ ඒ පෙන්ඩන්ට් එක.

ඔහු මේ පෙන්ඩන්ට් එක මට දුන්නෙ අවුරුදු දහාඅටකට කලින් අපි හමුවුන අවසන් දිනයෙ. පරවි රූපයත් පෙන්ඩන්ට් එකත් පුංචිකමට අපි හුවමාරු කරගත්තේ මේ තරම් දුරදිග හිතලා නෙමේ.

පෙන්ඩන්ට් එක දිහා බලාගෙන ඒ අතීතයට ගිය මම තනිවම සිනාසුනා. මගේ මුහුණ මත ඇදෙන සිනහව දිහා බලාගෙන ඔහුත් සිනාසෙනව මම හොරැහින් බලාගෙන.

" එක වගේ පෙන්ඩන්ට් ඕන තරම් තියෙන්න පුලුවන්.....

ඒත් ඔයාගෙ බයෝඩේටා එක කියෙවුවට පස්සෙ මට ආයෙත් ඒජන්ට් සී ගැන සැකයක් තියාගන්න ඕන වුනෙ නෑ.....

දන්නවද ඔෆිස් එකට ආව පළවෙනි දවසෙම මම කලෙ ඔයා ගැන විස්තර හොයපු එක...... "

මෙච්චර වෙලා පෙන්ඩන්ට් එක දිහා බලාගෙන වුන්න මම ඒ කතාවට ක්ෂනිකවම ඔහු දෙස බැලුවෙ රවාගෙන.

" ඒ කියන්නෙ එදා.... මට රිසයින් වෙන්න කියලා සද්දෙ දැම්මෙත් මම කවුද කියලා දැනගෙන ද... ආ....... "

මම ඇහුවෙ බොරු තරහක් මවාගෙන.

" නැතුව ඉතිං......

කාලෙකට පස්සේ ඔයාව අවුස්සන්න ලැබුන අවස්ථාව මඟහරින්න පුලුවන් ද.... "

කට කොනින් හිනා වෙවි ඔහු එහෙම කියද්දි මම බොරුවට තරහ මූණක් ආරූඪ කරගත්තා.

" දන්නව ද සිනුදි.....

මම ඔයාට, මාව අදුරගන්න හින්ට් කීයක් නම් දුන්නද....

ඒත් ඔය මෝඩ මොළේ මාව අදුරගන්න උත්සහ කලෙ නෑ...... "

සිද්දි ගොඩක් මගේ ඉස්සරහ ඇදිලා මැකිලා ගියා.

කෝපි එක්ක චිප්ස්, එතකොට නූඩ්ල්ස් වගේ තව ආගත් සර්ගෙ පොඩි පොඩි හින්ට් මට මතක් වුනෙ ඒ මොහොතෙදි. ඒ හැම දෙයක්ම එකින් එක ගැලපෙද්දි මගේ මූණ ආයෙත් පාරක් රතු වුණා.

" අපි සෙල්ලම් කරමු ද..... "

පුංචි කාලෙදි වගේ සෙල්ලම් කරමුද කියලා  මම ඔහුගෙන් ඇහුවෙ හිනාව තද කරගෙන.

" දැන් වයස කීයද ආ....? "

ආගත් සර් සුපුරුදු ආඩම්බරයෙන් එහෙම අහනවත් එක්කම මම නැගිටගත්තා.

" පුලුවන් නම් මාව අල්ලගන්න..... "

ගල් බැම්ම මත තිබුණු ආගත් සර්ගෙ දුරකථනය අරගෙනම මම ලැවැන්ඩර් මල් යාය වෙත දිවුවෙ ඔහුව කෙසේ හෝ සෙල්ලමට ගැනිමේ අරමුණෙන්.

" ඒයි සිනුදි...... ! "

ඔහුට දුරකථනය පෙන්වමින් මා දිව යන විට ඔහුට මා පිටුපසින් එන්නම සිදු වුණා.

අතරමඟදී මඟහැරුණ අපේ පුංචි කාලෙට නැවතුමක් නොතියාම හති වැටෙන තුරු අපි ලැවැන්ඩර් මල් යාය දිගෙ දිව ගියා.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter