Back
/ 43
Chapter 30

Chapter 30

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් වැනි කොටස 🌙

................................................................

" එන්නෙ නෑ.......

එක සැරයක් කිවුවා නේ....

අපි එන්නෙ නෑ.....

වීපි සර් එක්ක එකතු වෙලා ඔයාට පුලුවන් දෙයක් කරන්න.....

මොකද මම ඔයාව අතෑරලා ඉවරයි අම්මෙ...

මතකද ඔයා ආයෙත් වෙනස් වුනොත් මම ඔයාව සදහටම අතාරිනව කිවුවා....

දැන් ඒ දේ සිද්ද වෙලා තියෙන්නෙ අම්මේ....

දැන් ඔයා මගේ කවුරුත් නෙමේ....

චුටි නැන්දට ආයෙත් කෝල් කරන්න එපා... "

හිතෙ තිබුණු සේරම එක හුස්මට කියවගෙන ගිය මම ඇමතුම විසන්ධි කලෙ ඇයට වචනයක් කියන්න අවස්ථාවක් නොදි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අම්මගෙ ඒ ඇමතුමෙන් පස්සෙ දින කිහිපයක් ගෙවිලා ගියෙ වේගයෙන්. සිම්මිටත් මටත් තිබූ ප්‍රශ්න සේරම අමතක වෙලා වගේ අපි දෙන්නා ගමට අනුගත වෙලා තිබුණා. ඉතිං සුපුරුදු පරිදි රාත්‍රියක අත්තම්මගෙ පරණතාලෙ රූපවාහිනීයෙන් සංගීත වැඩසටහනක් බලන අතරෙ සිම්මි මගේ පැත්තට හැරුනා.

" සිනුදි ඔයාට හිතෙන්නෙ නැද්ද මේ වෙන දේවල් ටිකක් අමුතුයි කියලා..... "

මම ඔලුව උස්සලා බැලුවෙ සැකෙන්.

" මොකක්ද කියන්නෙ....

මට තේරුනෙ නෑ.... "

" ඇයි අනේ වීපි සර් වගේම ආන්ටිත් හරිම සයිලන්ට් නේ.....

ඔයා කලින් පැනලා යන්න උත්සහ කරපු දවස් මතකද....

ඒ දවස් වල වීපි සර් හැසිරුනෙ පිස්සෙක් වගේ.....

ඔයා මොන ලෝකෙ ගියත් එයා දවසක් ගෙවෙන්න කලින් ඔයාව හොයාගත්තා.....

ඒත් මේ පාර නම් ඒ දෙන්නම ටිකක් අමුතුයි වගේ නැද්ද...... "

නොකිවුවට ඒ වෙනස මමත් තේරුම්ගෙන වුන්නා. මහ කුණාටුවකට කලින් මුහුදත් හරි නිසංසලයි වගේ වීපි සර් මේ දවස් වල හරි නිහඬයි. වීපි සර්ගෙ වෛරයට වඩා නිහඬබවට බිය විය යුතු බව මා අත්දැකීමෙන්ම දැනගෙන වුන්නා.

" මට නම් හිතෙන්නෙ සිනුදි.....

වීපි සර්ගෙ ඔලුවේ මොකක් හරි ලොකු ප්ලෑන් එකක් වැඩ කරනවා......

අනේ මන්දා ඒ මනුස්සයා ගැන හිතද්දි නම් පුදුම බයක් දැනෙන්නෙ.... "

එළියෙ වුන්න අත්තම්මට නෑසෙන ගානින් සිම්මි කියවගෙන ගියා. සිම්මි කියපුවත්  එක්ක මට මතක් වුනෙ වීපි සර්ගෙ වචන.

" මොනවද හිතාගෙන ඉන්නේ...

මම එච්චර ලේසියෙන් මගේ බේබි ඩෝල්ව අතැරියා කියල ද....

නෑ.... බේබි ඩෝල් නෑ.....

මම ඔයා ලගට නෙමේ.... මේ පාර  ඔයාට මගේ ලගටයි එන්න වෙන්නෙ.... "

සිහියට ආව ඒ වචන වලට මම ගැස්සුනත් සිම්මිට වෙනසක් නොපෙන්නවා ඉන්න මම උත්සහ ගත්තා. මේ දේවල් කියලා ඇයගෙ ඔලුවට නැති ප්‍රශ්න දාන්න මට ඕන වුනෙ නෑ.

" සිම්මි ඔයා පිස්සු විකාර හිතන එක නවත්තන්න....

බය නැතුව ඉන්න හැම දේම හොදින් වෙයි..... "

මම එහෙම කිවුවේ සිම්මිගෙ හිත හදන්න. එයින් සෑහීමකට පත් වූ ඇය නැවතත් සංගීත වැඩසටහන වෙත අවදානය යොමු කලා. ඒ අතරෙ මම දුරකථනය අතට ගත්තෙ ලැබිලා තිබුණු පණිවිඩ කියවන්න.

පණිවිඩ අතර උඩින්ම තිබුනෙ ආයතනයේන් ලැබුණු දැනුම් දීමක්.

ඉතිං මා එය කියවීමට උත්සුක වුණා. ආයතනයේ විද්‍යුත් තැපෑල ඔස්සෙ ලැබිලා තිබුණු ලිපිගොනුව කියවූ මා හුන් අස්නෙන් නැගිටුනෙ ඉබේටම.

" අහ්.....!! "

මගේ හීල්ලුම නිසාම සිම්මිත් දුරකථනයට එබුණා.

" වෝර්නින් ලෙටර් එකක් නේද......

මොනාද එයාලා කියලා තියෙන්නෙ සිනුදි.... "

මම පියවි සිහියට ආවේ සිම්මිගෙ හඬින්. මගෙන් පිළිතුරක් ලැබෙන තුරු සිම්මි නොයිවසිල්ලෙන් පසු වුණා.

" එයාලා මට විරුද්ධව කේස් එකක් ෆයිල් කරනව ලූ.... "

මම පුටුවට වැටුනෙ මුකුත්ම හිතාගන්න බැරුව.

" ඒත් ඇයි මොකක්ද හේතුව.... "

සිම්මිගෙ ප්‍රශ්න වල නම් අඩුවක් තිබුනෙ නෑ.

" අයුතු ලෙස සේවය හැර යාම.... "

මට විරුද්ධව නඩු පැවරීම සඳහා ඔවුන් යොදාගත් ශීර්ෂ පාඨයම යලිත් කියවූ මා දෑත් අතර මුහුණ සඟවාගත්තා.

එක ප්‍රශ්නයක් ඉවර වෙන්නත් කලින් මගේ ජීවිතේට තවත් ප්‍රශ්නයක් එන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ.

" එහෙම කොහොමද.....

ඔයා කම්පැනි එකෙන් රිසයින් වුනෙ හරි විදියට නේද......? "

සිම්මි මොනවදෝ කියවමින් වුන්නා ඒත් මට ඒ දේවල් ඇහුන නෑසුන ගානයි. හදිස්සියේම මතක් වූ අංකයකට මම ඇමතුමක් ලබා ගත්තා.

" හෙලෝ ගජනායක සර්....

මම සිනුදි.... "

මිස්ටර් ගජනායක, ඔහු අප ආයතනයේ මානව සම්පත් කලමනාකරණ අංශයෙ ප්‍රධානියා. ඔහු කවදටත් මට ලෙන්ගතුයි. ඉතිං නම කියු සැනින් අදුරගන්න පුලුවන් තරමෙ සේවක සම්බන්ධයක් අපි අතර තිබුණා.

" අහ් සිනුදි.....

ඔයා කෝල් කරනකම් තමයි මම බලාගෙන වුන්නෙ.....

ඔයාට අපි ලෙටර්ස් කීයක් එව්වද ආයෙත් සේවයට වාර්තා කරන්න කියලා.....

ඔයා ඒ කිසිම දෙයක් ගනන් ගත්තෙ නෑ නේද..... "

ගජනායක සර් කවදාවත් නැතුව මට කතා කලෙ තරහින්.

" සර් මම ගෙදර නෙමේ ඉන්නෙ...

මට ලෙටර්ස් හම්බවුනේ නෑ සර්......

මම මේ කෝල් එක ගත්තෙත් ඊමේල් එක දැකලා.... "

නිදහසට කාරණා කියන්න මම ඉක්මන් වුණා.

" ඊමේල් එක ලැබුන නම් ඔයා දන්නව නෙ ඊළගට මොකද වෙන්නෙ කියලා....

ඒ නිසා හෙට ඉදන්වත් ආයෙ ජොබ් එකට එන්න....

ඇවිත් හරි විදියට රිසයින් වෙන්න.... "

ගජනායක සර් මට පැහැදිලි කලෙ මේ ප්‍රශ්නය විසදන්න තිබුණු ලේසිම විසදුම.

" ඒත් සර්....

බොස් මගේ රෙසිග්නේෂන් බාරගත්ත නේ.... කොහොමද මේ වගේ ප්‍රශ්නයක් වුනේ.... "

මම ඇහුවෙ හිතේ තිබුණු ලොකුම ප්‍රශ්නෙ. ආයතනයේ ප්‍රධානියාම ඉල්ලා අස්වීම බාරගත්තට පස්සෙ තවත් මොනවද. ඉතිං මම ඒ ප්‍රශ්නෙට මිස්ටර් ගජනායකගෙන් සාදාරන පිළිතුරක් බලාපොරොත්තු වුණා.

" ප්‍රධානම දේ බොස් ඔයාගෙ රෙසිග්නේෂන් ඇපෲ කලෙ නෑ......

ඒ වගේම අපේ කම්පැනි එකේ පර්මනට් පොසිෂන් එකකින්  රිසයින් වෙන්න ඕනෙ ප්‍රොසෙස් එක ඔයා දන්නව නෙ සිනුදි.....

ඒත් ඔයා රිසයින් වෙලා තියෙන්නෙ කම්පැනි රූල්ස් වලට පිටින්....

ඉතිං කම්පැනි එකක් විදියට අපිට ඔයාගෙ රෙසිග්නේෂන් බාරගන්න බෑ....

මේ සතිය ඇතුලත ඔයා ආයෙත් ජොබ් එකට ආවෙ නැත්නම් අපිට සිද්ද වෙනවා ඔයාට විරුද්ධව කේස් එකක් ෆයිල් කරන්න..... "

මට මතක් වුනෙ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් දින පටන්ම කාර්යාලය මා විසින් ප්‍රතික්ෂේප කල අයුරු. ආයතනයේ නීතිරීති පැහැදිලිව දැනගෙනත් මම ඒ සියල්ල නොසලකා හැරියා.

මිස්ටර් ගජනායක සමගින් මොන තරම් කතා කල ද නැවතත් සේවයට වාර්තා කිරීම හැර වෙනත් විසදුමක් මට ලැබුනෙ නෑ. ඊට අමතරව ලැබුණු අනෙක් විසදුම් සියල්ලම පාහේ මේ ප්‍රශ්නය තවත් දුරදිග යන ආකාරයේ විසදුම්.

" උඹට ඕක ඔය තරම්ම තේරෙන්නෙ නැද්ද සිනුදි.....

බොස්ට ඕන වෙලා තියෙන්නෙ කොහොම හරි කරලා උඹව ආයෙත් ජොබ් එකට ගෙන්න ගන්න....

පිස්සු නැතුව ආයෙත් වැඩට වරෙම්.... "

මේ ප්‍රශ්නය ගැන හිමාෂා හා සාකච්ඡා කල මොහොතෙ ඇය දැරුවෙ එවැනි මතයක්.

ආගත් සර්ව මට නම් පොඩ්ඩක්වත් තේරුම්ගන්න බෑ. එදා මම අස්වීමේ ලිපිය බාර දුන් මොහොතෙ වචනයක්වත් කතා නොකර එය බාරගත්තා. ඒත් දැන්, ඔහු එය අනුමත නොකර තවත් ප්‍රශ්නයක් නිර්මාණය කරලා.

හිමාෂාට අනුව නම් ඔහුට අවශ්‍ය වී ඇත්තෙ නැවතත් මා කාර්යාලයට කැදවීම. නමුත් එදා සමාජ ශාලාව තුළදි නම් ඔහු හැසිරුනෙ ඊට හාත්පසින්ම වෙනස් විදියට. එදා ඒ ඇස් වල තිබුනෙ නැවත කිසිදු දිනක මා නොදකිනවා නම් හොදයි කියන තරමෙ වෛරයක්. එදා මට ඒ විදියට වෛර කල ඔහු නැවතත් මාව ලං කරගන්න උත්සහ දරන්නෙ කුමකට ද.

මොන තරම් කල්පනා කලත් මට ඔහුව තේරුම්ගන්න බෑ.

වීපි සර් වගේම අම්මා නිසාත් මට ආයෙත් කොළඹ යන්න පුලුවන් කමකුත් නෑ.

ඒ විතරක් නොවේ,

මේ සතිය ඇතුලත සේවයට වාර්තා නොකලහොත් ඔවුන් මට විරුද්ධව නඩු පවරාවි. එය තවත් ප්‍රශ්න රැසකට අත වැනීමක් වගේ.

පේන තෙක්මානයක විසදුමක් සොයාගැනීමට නොහැකි වෙද්දි මට ආගත් සර් ගැන දැනුනෙ තරහක්. ඒ සිතුවිල්ලෙන්ම මම ආගත් සර්ට ඇමතුමක් ලබා ගත්තා. ඔහු හා සාකච්ඡා කර විසදුමකට පැමිණිම නුවනට හුරු බවයි මගේ අදහස වුණේ.

" කියන්න සිනුදි.... "

මම මාව හදුන්වලා දෙන්නත් කලින්ම ඇමතුමට සම්බන්ධ වූ  ආගත් සර් කතා කලා. ඒ නිවුනු හඬ මගේ දෙසවන් අතර රැදෙන විට ඔහුට ඇමතුම ලබා ගත් කාර්යය පවා මට අමතක වූ හැඩයි.

" සර්.... මම සිනුදි....

මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද.... "

මම වචන එකතු කරගත්තේ ඔහුගෙ මායාවක් වන් හඬින් ගැලවුන පළමු තත්පරයෙ.

" පොඩ්ඩක්...?? "

අනෙක් පසින් ඇසුනෙ දඟකාර සිනහ හඬක්. මම ආස කරන ඒ ලස්සන දඟකාර හිනාව ඒ ආඩම්බරකාර මුහුණ මත ඇදිලා මැකිලා යන දසුන මම සිතින් මවාගත්තා.

ඔහු හරියට මායාවක් වගේ. මම ඒ මායාවේ පැටලුන පුංචි කෘමියෙක් වගේ. මොන තරම් ඈත් කරන්න හැදුවත් හැම මොහොතකම මතක් වෙන ඒ රුව සමගින් බැදුනු මතකයන් එක්ක මම විදවන තරම දන්නෙ මම විතරයි.

" සර්.....

ඇයි මෙහෙම කරන්නෙ.....

ප්ලීස් සර්....

මගේ රෙසිග්නේෂන් ඇපෲ කරන්න....

මට ඔෆිස් එන්න බෑ සර්....

මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ....

මට මේ උදව්ව කරන්න සර්....... "

හිතට ශක්තිය ගෙන මම කෙලින්ම අවශ්‍ය කරුණ කතා කලා.

" බැහැ....

මම ඇපෲ කරන්නෙ නෑ......

ඔයා ආයෙත් ඔෆිස් එන්න ඕනේ එච්චරයි!..... "

ආගත් සර් මුරණ්ඩු වුණා. ඔහු කතා කලෙ ස්තීරවම. ඔහු ලවා මට අවශ්‍ය විසදුම ලබා ගත නොහැකි තැන මම දැඩි තීරණයකට එලැඹුණා.

ඒ... මෙතෙක් දවසක් ඔහුට නොකියු සියල්ල අවසානයෙ හෙලි කරන්න.

" සර් අදවත් අහන්නෙ නැද්ද.... මම ඇයි රිසයින් වුනෙ කියලා......"

මට ඕන වුනෙ කොහොම හරි මගේ ඉල්ලා අස්වීම ඔහු ලවා අනුමත කරවාගන්න. ඒත් මම හෙලි කරන්න යන කරුණ නිසා මගේ නමට සිදුවන හානිය මට අමතක වුණා.

" මම දන්නවා......

ඔයා රිසයින් වුනෙ සිම්මිගෙ ප්‍රශ්නෙ නිසා නේ..... "

මගේ ඉල්ලා අස්වීම ගැන ආගත් සර් , සිම්මි දෙන්නම හිතලා තියෙන්නෙ එක විදියට. ඉතිං ඔහු වැරදි කියන පිළිතුර දෙන්න මම ඉක්මන් වුණා.

" නෑ...... නෑ ආගත් සර් නෑ......

මම රිසයින් වුනෙ වෙන හේතුවකට.....

ඔයා දන්නව ද වීපි ගෘප් එකට අලුත් ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් දුන්නෙ කවුද කියලා..... "

මම ඇහුවෙ ටිකක් ආවේගශිලීව. මගේ වචන වලට නැවතුමක් තිබුනෙ නෑ. ඒවා දුරදිග නොහිතාම ඔහේ ගලාගෙන ගියා.

" ඒ හැම වැරැද්දකටම එකම වැරදිකාරයා ෆැක්ට්රි එකේ මැනේජ නෙමේ සර්....

හැමෝගෙම ඇස් වහලා හැම බොරුවක්ම කලෙ වෙන කවුරුත් නෙමේ.... ඒ  ම..... "

මට මගේ කතාව සම්පූර්ණ කරන්න ලැබුනෙ නෑ ආගත් සර් කෑගැහුවා.

" ඕක නවත්තනවා සිනුදි.....

නවත්ත ගන්නවා ඔය කතාව...

මම දැනගන්න ඕනෙ හැමදේම දන්නවා...

ඒත් ඒවා මට තමුසෙගෙ කටින්ම අහගන්න ඕනෙ නෑ....... "

ආගත් සර් ආවේගශිලීව කෑගහද්දි මම නිහඬ වුණා. එහි තේරුම ඔහු දැනටමත් මා අතින් සිදු වූ වරද ගැන දන්නවා කියන එක ද.

මට ඉබේටම මතක් වුනෙ එදා සමාජ ශාලාව තුළදි රෙහාන්ගෙ වචන.

" ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ සිනුදි...... "

ඒ වචන වල තේරුම මා තේරුම්ගත්තෙ දැන්. එදා ආගත් සර්ගෙ ඇස් වල මං ගැන ඒ තරම් පිළිකුලක් තිබුනෙද ඒ නිසයි. ඉතිං මගේ  ඇස් වලට අනවසරයෙන්ම කදුළු පිරිලා තිබුණා. ඒත් මට අඬන්න ඕන වුනෙ නෑ. මොකද මම ඒ වංචාව කලෙ මගේම කැමැත්තෙන් හොදට හිතලා බලලා. ඉතිං ආගත් සර්ගෙ අනුකම්පාව බලාපොරොත්තුවෙන් අඬන්නවත් මම සුදුසු නෑ කියලයි මට හිතුනෙ. ඉතිං මම නිහඬවම අහගෙන වුන්නා.

ලොකු හුස්මක් ගත්ත ආගත් සර් ආයෙත් කතා කලෙ විනාඩි කිහිපයක නිහැඩියාවකට පස්සෙ.

" කොහෙද ඔයා ඉන්නෙ.....

බොරු කියන්න ලෑස්ති වෙන්න එපා සිනුදි , ඔයා ගෙදර නෑ කියන එක මම දන්නවා...

ඒ නිසා ඇත්ත කියන්න කොහෙද ඉන්නෙ....

මට කතා කරන්න ඕනේ...... "

" ගොඩක් දුර.....

සර්ට හොයාගන්න බැරි තැනක.... "

එහෙම කියලා මම ඇමතුම විසන්ධි කලේ ඒ තරම් හොද සිහියකින් නෙමේ.

මගේ හිත ඕනවටත් වඩා රිදිලා. ආගත් සර් මං ගැන මොනව හිතනව ඇති ද කියන සිතුවිල්ල දිගින් දිගටම මගේ ඇස් කදුළින් පුරවන්න සමත් වුණා.

බොරුකාරී, වංචාකාරී, හෙර, ඔය මොන නමකින් ආගත් සර් මා අමතනවාද දන්නෙ නෑ. ඒ ගැන හිතද්දිත් හිත මහා දුකකින් පිරෙනවා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

උදේන්ම අලුත් චීත්තයකුත් පටලවාගෙන අත්තම්මා ගෙදරින් එලියට බැස්සෙ පුදුම තරම් සතුටෙන්.

" මේ තරම් සතුටින් අත්තම්මා කොහෙ යන්න ද මේ..... "

මම ඇහුවෙ ටිකක් පුදුමයෙන්. ඇය කට පුරා සිනාසුනා. ඇයගෙ බැල්ම දිව ගියෙ බංගලාව වෙත. ඒ බැල්ම දිගෙ ගිය මගේ ඇස් නතර වුනේද මෝටර් රථ කිහිපයක් නවතා තිබුණු බංගලාව ළග.

සිද්ද වෙලා තියෙන්නෙ  මම හිතන දේ නම්. දෙවියනේ මට දැනුනෙ හුස්ම හිර වෙනව වගේ.

මගේ හිත සතුටින් පිරෙන්න ගත වුනෙ මොහොතයි. ඒ තත්පරයෙම පුදුමය මුසු බැල්ම මම නැවතත් අත්තම්මගෙ උවන මත නතර කර ගත්තා.

" අවුරුදු ගානකට පස්සෙ බංගලාවේ හාමුලා ඇවිත්....... "

අත්තම්මා සතුටෙන් ඉපිලෙමින් එහෙම කියද්දි මගේ හදගැස්ම වේගවත් වුනෙ ඉබේටම.  මගේ උරහිසට උඩින් පිටතට එබුන සිම්මිත් ඒ කතාවට දෑස් විසල් කරගත්තා.

මගේ හොදම යාලුවා තවත් විදියකට මගේ සිහින කුමාරයා අවුරුදු දහාඅටකට පස්සේ මගේ ඇස් ඉස්සරහට ආයෙත් ඇවිත්.. ඔහුව දැකගන්න වෙන කවදාවත් ඇති නොවුන විදියෙ ආශාවක් මට ඇති වුණා.

" අත්තම්මා මාත් එන්න ද..... "

මම ඇහුවෙ බංගලාව වෙත යන්න ඉස්සරහට අඩියක් තියලත් ඉවර වෙලා. ඒත් එක්කම අත්තම්මා මූණ පුලුටු කරගත්තා.

" දෙන්නත් එක්ක ගෙදරට වෙලා හිටිය නම්... මම ගිහින් එනකම්.... "

අත්තම්මා ඒ නොකියා කිවුවේ එන්න එපා කියලා. මම දැන් ඉස්සර හිටපු පොඩි එකි නෙමේ කියන එක සතුට වැඩිකමට මටම අමතක වුණා.

අත්තම්මා මට බැන බැන පල්ලම් බහිද්දි මම මූණ එල්ලගත්තෙ බංගලාව දිහාට එබෙමින්.

" හොද වැඩේ..... "

මගේ අතේ එල්ලුන සිම්මි එහෙම කිවුවේ හිනා වෙවි.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter