Back
/ 43
Chapter 29

Chapter 29

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි නව වැනි කොටස 🌙

................................................................

" සිනුදි.... ! "

කල්පනාවක වුන්න මම ගැස්සුනෙ සිම්මිගෙ හඬට. දුවගෙන ආව ඇය තත්පරයක් වේගයෙන් හුස්ම ගත්තෙ මාව හොයාගන්න මහන්සි වූ බවට සාක්ෂි දරමින්.

" මොකද කරන්නේ....

ඉක්මනට යමු....... "

සිම්මි මගේ අතින් ඇදගෙන පිටතට නොඑන්න මම තවමත් ආගත් සර්ගෙ වචන ගැන කල්පනා කරමින් එහිම සිටින්නට තිබුණා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අපිට තිබුණු එකම පිහිට ගම. ඉතිං වැඩිදුර නොසිතාම අපි ගමට යන්න තීරණය කලා. කදු මුදුන් වසාගත් මීදුම, ගත නිවන සීතල සුළග වගේම ඇති තරම් විදගන්න මල් සුවඳ අපේ ගමට අරුමයක් නොවේ. අපි අත්තම්මගෙ ගෙදරට එද්දි දහවලට ළඟයි.

" අප්පා.......

මේ අපේ සුදු මැණිකෙ නේ.... "

අත්තම්මා දත් නැති කට විලිස්සා සිනාසෙද්දි මමත් සිම්මිත් ඇයගෙ කකුල් දෙක අල්ලලා වැන්දෙ ගෙට ගොඩ වෙන්නත් කලින්.

" අත්තම්මා.... "

හැරමිටියට වාරු වෙලා උන්න ඇයව මම වැලදගත්තෙ ආදරෙන්. අත්තම්මව මම මේ දකින්නෙ මොන තරම් කාලෙකට පස්සෙ ද.

" කොයි අර ගිණි බෝම්බේ ආවේ නැද්ද..... "

අත්තම්මා ඔය හොයන්නෙ අම්මව. අම්මා ආවේ නෑ කියන්න මම ඔලුව හෙල්ලුවා.

" කාරි නෑ....

මැණිකෙලා එමු ඇතුලට...... "

ගැහි ගැහි තිබුණු හදවතට සැනසීමක් ලැබුනෙ අත්තම්මගෙ ගෙට ගොඩ වුණාට පස්සෙ.

" මේ ළමයා කවුද..... "

අපි අත්තම්මගෙ පුංචි මුලුතැන්ගෙට වෙලා උන්නෙ ඇයට තේ හදන්න උදව් වෙවි. ඒ අතරෙ අත්තම්මා සිම්මි ගැන ඇහුවේ තේ කෝප්පයක් ඇයගෙ අතට දෙමින්.

" අහ් අත්තම්මා මේ මගේ යාලුවෙක්.....

එයත් අපිත් එක්ක උන්නට කමක් නෑ නේ...... "

හිනා වෙලා මම එහෙම ඇහුවෙ අත්තම්මගෙ උත්තරෙ දැන දැනම.

" මොනවා අහනව ද මේ......

ඕන තරම් කාලයක් ඉන්න.....

ඒක නෙමෙ සුදු මැණිකෙ....

මොකද මේ එක පාරටම ගම මතක් වුනේ....... "

අත්තම්මගෙ ඒ ප්‍රශ්නයට  නම් මමත් සිම්මිත් මූණට මූණ බලාගත්තෙ මොනව කියන්නද කියලා හිතාගන්න බැරුව. පිළිතුරක් දෙන්න මම ලතැවෙන විට සිම්මි ඉස්සර වුණා.

" මම නිසයි ආවේ...

ඇත්තටම අත්‍තම්මේ මට ආස හිතුනා සිනුදිගෙ ගම බලන්න....

ඒ නිසයි නිවාඩුවක් දාලා ගමට ආවේ...

අත්තම්මට අපි ආව එක කරදරයක් ද.... "

සිම්මි කිවුවේ බොරුවක් නොවන බොරුවක්. මම ගම ගැන කියවන හැමදාම සිම්මිට ඕන වුනා එක දවසක් හරි මාත් එක්ක ගමට එන්න. ඉතිං සිම්මි කිවුවේ බොරුවක් නොවන බොරුවක්.

" ඔන්න ඉතිං....

මට කොහෙ කරදරයක් ද.....

හැබැයි ඉතිං කලින් කියලා ආව නම් විශේෂයෙන් මොනා හරි ලෑස්ති කරන්නවත් තිබුණා....

හදිස්සියේම ආපු නිසා මං හිතුවෙ කරදයක්වත් ද කියලා..... "

අත්තම්මා දුක් වුනෙ අපිට සැප පහසුව සලසන්න ඇයට නොහැකි වේවි කියලා.

" අනේ නෑ අත්තම්මා....

කලින් කියලා ආවේ නැත්තෙත් කලින් කිවුව නම් අත්තම්මා කරදර වෙන නිසා.... "

මම කිවුවේ හිනා මූණින්.

අත්තම්මව මඟහැරලා මමත් සිම්මිත් එළියට ආවේ නිදහසෙ හුස්මක් ගන්න. අත්තම්මගෙ ගෙදර වත්තට බැස්සාම ඈතින් පේන බංගලාව තවමත් සුදු පාටින් විරාජමානව බැබලෙනවා. මම පොඩි කාලෙ දැක්ක තරම්ම වත්තේ බංගලාව තවමත් මගේ ඇස් වලට හරි ලොකුයි.

" ඒක ද සිහින කුමාරයාගෙ මාළිගාව... "

බංගලාව දිහා බලාගෙන තනිවම සිනාසෙන මට බාදා කලෙ සිම්මි.

" හ්ම්ම්...... "

දැනටමත් මගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙලා. සිම්මි මගේ මූණට එබුනෙ චාටු හිනාවකින්.

" අපෝ මෙයාගෙ පැණි හිනාව... "

සිම්මි සද්දෙන් එහෙම කියද්දි මම ඇයගෙ අත කෙනෙත්තුවෙ අත්‍තම්මට ඇහෙවි කියන බයට.

" සිනුදි....

ප්‍රශ්නයක් අහන්නද..... "

සිම්මි ඇහුවෙ හුස්ම අරගෙන.

" මොකක් ද..... "

මම ඇය වෙත හැරුනෙ කුතුහලයෙන්.

" මෙච්චර කාලෙකට පස්සෙත් ඔයාට පුලුවන් ද එයාව දැන් දැක්කොත් අදුරගන්න.... "

" ම්ම්.....

අනේ මන්දා...... "

මට මතක් වුනෙ එදා මම ඇදපු සිතුවම. පුංචි කාලෙ මම දැකපු එයාගෙ හැඩ රුව සමාන කරලා ඇදපු සිතුවමෙන් මතු වුනෙ ආගත් සර්ගෙ රූපය.

" සිනුදි....  එයා ඔයාගෙ ඇස් ඉස්සරහම වුන්නා කියලා මං කිවොත් ඔයා පිළිගන්නවද..... "

සිම්මි කතා කලෙ බැරෑරුම්ව වුනත් ඒ කියපු වචන වල කිසිම තේරුමක් තිබුනෙ නෑ.

" ඔයාට පිස්සු හැදිගෙනවත් එනව ද...

විකාර ඇති.... අපි ඇතුලට යමු.... "

ඇයගෙ කතාවට හිනා වෙවිම ඇතුලට යන්න හදපු මාව සිම්මි නවත්තගත්තා.

" ඔයාට දැනගන්න ඔනෙ නැද්ද....

එදා ආගත් සර් මට මොනාද කිවුවේ කියලා.... "

සිම්මි වෙත හැරුනු මා ඇයගෙ කම්මුලකින් ඇද්දෙ බොරු හිනාවක් මවාගෙන.

" නෑ...

එයා ඔයාට මොනා කිවුවත් ඒ කියපු දේවල් නිසා ඔයා සතුටින් ඉන්නව නම් මට ඒ ඇති...... "

මම කිවුවේ හදවතින්ම. එදා ආගත් සර් මුණගැහුනට පස්සෙ සිම්මිගෙ තත්වය හොද අතට හැරුනු බව නොරහසක්. ආගත් සර් කිවුවේ මොනව උනත් ඒ දේවල් නිසා සිම්මි ඉක්මනින්ම හිත හදාගෙන ඇති බවයි  මගේ විශ්වාසය වුනෙ.

" එහෙම නෙමෙ සිනුදි.....

මම රැවටිලා...ඇත්තටම මට වැරදිලා...... "

සිම්මිගෙ බැල්ම පහතට බර වෙලා තිබුණා.

" මොකක්ද ඒ කතාවෙ තේරුම..... "

මම ඇහුවෙ පුදුමයෙන්.

" මට මැසෙජ් කරලා තියෙන්නෙ ආගත් සර් නෙමේ...

මාව සෙල්ලමට අරන් තියෙන්නෙ සුපුන් කියලා  කෙනෙක්.....

එයා තමයි එදා හොටෙල් එකට චෙක් එක අරගෙන ආවේත්....

ආගත් සර් වගේ මැසෙජ් කරලා මාව රැවැට්ටුවා.....

අපරාදෙ මම මේ තරම් මෝඩ විදියට හැසිරුනෙ.... "

සිම්මි කතා කලෙ කලකිරිමකින්.

මට මතක් වුනෙ එදා මම සුපුන්ව හොයාගන්න උන මහන්සිය. හුස්මක් ගත්ත මම සිම්මිගෙ අතින් අල්ලගත්තා.

" එහෙම ද.....

එහෙනම් අමතක කරලා දාන්න හැමදේම.....

ආගත් සර් ඔය දේවල් දැන් කිවුවා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ නේ...

කවුරු මැසේජ් කලත් කමක් නෑ....

ඔයා ආදරේ කලෙ ආගත් සර්ට නැතුව සුපුන්ට නෙමේ.... "

" අනේ මන්දා සිනුදි......

ඒත් ඒ ඇත්ත මට ඔයාට කියන්න ඕන වුණා එච්චරයි.....

ආගත් සර් ගැන වැරදියට හිතන්න එපා..... "

සිම්මිට ඕන වෙලා තිබුනෙ ආගත් සර් ගැන මගේ හිතෙ තිබුණු වැරැද්ද නිවැරැදි කරන්න වෙන්න ඇති. ඒත් ඒ සිද්දිය නිසා මගේ හිතෙ ඇති වුනෙ සුව නොවෙන තුවාලයක් බව මම කොහොම නම් සිම්මිට තේරුම්කරන්න ද..

" එයාට සුදුහුණු ගාන්න හදන්න එපා සිම්මි......

එයා කොහොමත් වැරදි.....

තවත් කෙල්ලෙක්ට රිද්දන්න තවත් කෙල්ලෙක්ව පාවිච්චි කරපු එක හරි දෙයක් වෙන්නෙ කොහොමද.....

මොන පැත්තෙන් බැලුවත් එයා වැරදි...

හරි දැන් ඕවා අමතක කරන්න...

අපිට එයාලගෙන් වැඩක් නෑ....

යමු අත්තම්මට උදව් වෙන්න..... "

හිනාවක් මූණ පුරා ඇදගත්ත මම සිම්මිගෙ අතින් ඇදගෙනම අත්තම්මව හොයාගෙන ආවේ රෑ කෑම හදන්න උදව් වෙන්න හිතාගෙන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම සිම්මිත් එක්ක පහු වෙනිදා සති පොළට ගියෙ ඇදුම් ටිකක් ගන්න කියලා හිතාගෙන. අපේ පුංචි ගමට ඇදුම් සාප්පු තිබුනෙ නෑ. සාප්පු හොයාගෙන ළගම තිබුනු නඟරෙට යනවට වඩා වෙනසකටත් එක්ක සති පොළට යන එක අපිට සතුටක් වුණා. අතේ තිබුණු සල්ලි වලින් දෙන්නටම ඇදුම් ගත්ත අපි දෙන්නා අන්නාසි අච්චාරු වල රස බලමින්ම ගෙදර එන්න පිටත් වුණා.

රබර් වත්ත මැදින් අඩි පාර අත්තම්මගෙ ගෙදරට කෙටි පාරක් වුණා නිසාත් සිම්මිට රබර් වත්ත පෙන්නන්න ඕන නිසාත් අපි ගෙදර එන්න තෝරගත්තෙ ඒ අඩිපාර.

" සිම්මි පරිස්සමෙන් සත්තු ඇති..... "

රබර් වත්ත මැද අඩි පාරෙදි ඇය හැසිරුනෙ පොඩි එකෙක් වගේ. රබර් වත්තෙ සර්පයින් බහුල බව දන්න නිසාම මම ඇයට අනතුරු ඇගවූවා. ඒත් ගස් වටේ දුවන එක නම් සිම්මි නතර කලෙ නෑ.

රබර් වත්තේ අඩි පාර වැටුනෙ බංගලාව ඉස්සරහ පාරට. බංගලාව තවමත් පෙර තිබුණු ලෙසින්ම නඩත්තු වෙනවා. වත්ත ඉස්සරහ මල් වලට සාත්තු කරමින් වුන්න මහලු මිනිසෙකු ඇරෙන්නට වෙන කවුරුත්ම පේන තෙක්මානයක වුන්නෙ නෑ. අඩුම තරමෙ බංගලාවේ ඉස්සරහ දොරවත් ඇරලා තිබුනෙ නෑ. ඉතිං බංගලාවේ කවුරුත්ම නෑ කියන්න ඒක සාක්ෂියක්.

" මොකද ඔච්චර හිත හිත ඉන්නෙ....

ගිහින් අහමූ...... "

බංගලාව ඉස්සරහ හිටගෙන කල්පනාවක වුන්න මගේ අතිනුත් ඇදගෙන සිම්මි ඉස්සරහට අඩි තිබ්බා.

" මේ අංකල්.....

පොඩ්ඩක් එන්නකෝ..... "

බංගලාව සීමාවේ නතර වෙලා සිම්මි කෑගැහුවා.

" මොකද ළමයෝ කෑගහන්නෙ....

මම බීරෙක් කියලා හිතුවද.... "

සිම්මිගෙ කටේ සද්දෙට දොස් තියමින්ම ඔහු අපිට ලං වුණා. සිම්මි මාව ඉස්සරහට තල්ලු කලෙ අහන්න තියෙන දේවල් අහගන්න කියලා නොකියා කියමින්.

" අංකල් මේ......

බංගලාවේ දැන් කවුරුත් නැද්ද...... "

" කවුද නෑ කියන්නෙ ඉන්නවා ඉන්නවා..."

අන්නාසි කෑල්ලක් හපමින්ම සිම්මි පෙරලා ප්‍රශ්න කරන්න ඉස්සර වුණා.

" කවුද ඉන්නේ.....? "

" මමයි මගේ පවුලයි.....

ඔය ළමයින්ට මොකක්ද තියෙන ප්‍රශ්නෙ... "

මහලු මිනිසා කතා කලෙ රණ්ඩුවට බරව.

" අහ් මුකුත් නෑ අංකල් නිකම් ඇහුවේ...... "

මුරකරුගේ කතා විලාසයට සිම්මි මූණ ඇඹුල් කරගද්දි මම තවත් ප්‍රශ්නයක් ඇහුවා.

" එතකොට හාමුලා කවුරුත්ම දැන් බංගලාවට එන්නෙ නැද්ද...... "

" අවුරුදු ගානකින් ඇවිත් නෑ නොවෑ.....

මම මැරිලා යනකම් බංගලාව බලාගන්නවා......

ඒක මගේ යුතුකම...... "

ඔහු අපිත් එක්ක රණ්ඩුවට බරව කතා කලාට බංගලාව ගැන කතා කලෙ ගෞරවයෙන්. මොනවා වුනත් ඔහු බංගලාවට බෙහෙවින් ලැදි අයෙකු බව  ඔහුගෙ කතා විලාසයෙන්ම මම තේරුම්ගත්තා.

තවත් විස්තර ටිකක් ඔහු හා කතා කරමින් වුන්න අපි ඔහුට සමු දීලා ගෙදරට ආවා. දොර ලගට වෙලා අත්තම්මා අපි එන පෙරමග බලන් ඉන්නවා දැකපු අපි ගමන තව ටිකක් ඉක්මන් කලා.

" මෙච්චර වෙලා මොනවා කලාද....

මගේ ලේ ටික රත් වෙලා තිබුනේ.... "

ගෙට ගොඩ වෙන්නත් කලින්ම අත්තම්මා ඇගට කඩන් පැන්නෙ තරහකට නෙමේ. ඒ අත්තම්මගෙ ආදරේ.

" සොරි සොරි අනේ.... "

ගෙනාව බඩු මලු ටික මේසය උඩින් තියපු මම පුටුවට හේත්තු වුණා. කාලෙකට පස්සේ කකුල් රිදෙනකම්ම ඇවිද්දෙ අද.

" අත්තම්මා අච්චාරු කනව ද.... "

සිම්මි අත්තම්මගෙ පස්සෙන් මුලුතැන්ගෙට දිවුවෙ ඉතුරු අච්චාරු මුලත් අරගෙන.

මම පුටු ඇන්දට හේත්තු වෙලා ටිකක් ඔලුව තියාගන්න හැදුවා විතරයි කලබලයෙ ගෙට ඇතුලු වුනෙ චුටි නැන්දා.

" සුදු මැණිකෙ....

මේන් අම්මා කෝල් කරනවා.... "

චුටි නැන්දා මගේ පැත්තට දුරකථනය දිගු කරද්දි මම බය වුනෙ නෑ කිවුවොත් බොරු. මගෙත් සිම්මිගෙත් දුරකථන ක්‍රියාවිරහිත කර තිබුණු නිසා අම්මා අපි ගැන හොයන්න චුටි නැන්දට කතා කරන්නට ඇති. පුදුම වෙන්න දේකුත් නෙමෙ, අම්මා  හොදටම දන්නව මටත් සිම්මිටත් ගම හැරුනම වෙන යන්න තැනක් නැති බව.

චුටි නැන්දට වෙනසක් නොපෙන්නවාම මම දුරකථනය අරගෙන එලියට ආවේ අපේ කතාව කාටවත් ඇහෙන්න ඕනෙ නැති නිසා.

හිත ශක්තිමත් කරගෙන මම පිළිතුරු දුන්නා.

" කියන්න... "

" සිනුදි.....!!

මෝඩ කෙල්ල මොනවද මේ කරන විකාර...

අහ්.....

ඉක්මනට ගෙදර එනවා..... "

" එන්නෙ නෑ.... "

මම කිවුවේ ස්තීරවම

" මොකක්ද කිවුවේ.... එන්නෙ නෑ.... ??

සිනුදි මාව ඔහෙට ගෙන්න ගන්න එපා.....

දන්නව නෙ මම ආවොත් මොකද වෙන්නෙ කියලා......

සිම්මිවත් අරගෙන හෙට උදේම ගෙදර එනවා මගේ යකා අවුස්සන්නෙ නැතුව.....

හෙට ආවෙ නැත්නම් වීපි සර් තමුසෙලා දෙන්නට මොනවා කරයි ද දන්නෙ නෑ....

මෝඩ නොවි ගෙදර එනවා..... "

" එන්නෙ නෑ.......

එක සැරයක් කිවුවා නේ....

අපි එන්නෙ නෑ.....

වීපි සර් එක්ක එකතු වෙලා ඔයාට පුලුවන් දෙයක් කරන්න.....

මොකද මම ඔයාව අතෑරලා ඉවරයි අම්මෙ...

මතකද ඔයා ආයෙත් වෙනස් වුනොත් මම ඔයාව සදහටම අතාරිනව කිවුවා....

දැන් ඒ දේ සිද්ද වෙලා තියෙන්නෙ අම්මේ....

දැන් ඔයා මගේ කවුරුත් නෙමේ....

චුටි නැන්දට ආයෙත් කෝල් කරන්න එපා... "

හිතෙ තිබුණු සේරම එක හුස්මට කියවගෙන ගිය මම ඇමතුම විසන්ධි කලෙ ඇයට වචනයක් කියන්න අවස්ථාවක් නොදි.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter