Back
/ 43
Chapter 28

Chapter 28

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි අට වැනි කොටස 🌙

................................................................

" හවස ක්ලබ් එකට එවන්න....

දෙන්නවම.... "

කට කොනින් හිනා වුන ඔහු අව්කණ්නාඩි පළදමින් නිවසින් පිටව ගියෙ මගෙත් සිම්මිගෙත් හුස්ම නතර වන මොහොතෙ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" ඉක්මනට ලෑස්ති වෙනවා.... "

මාවත් සිම්මිවත් කාමරයට තල්ලු කරපු අම්මා අපේ පැත්තට විසික් කලෙ අලුත් ඇදුම්. ඒ හවස ගමන සඳහා අපි සුදානම් විය යුතු රතු පැහැති කෙටි ගවුම් දෙකක්.

" අම්මා..... "

කාමරයේ දොර වහලා දාන්න සැරසුන අම්මා නතර වුනේ මගේ හඬට. ලොකු හුස්මක් උඩට ඇදගත්ත මං ඇය දිහා බලන් වුන්නෙ පුදුම තරම් කලකිරීමකින්.  ඇය බලන් වුන්නෙ මම කතා කරනකම් වුනත් මට වචන ගැට ගහ ගන්න අමතක වුනා. සල්ලි නැති වෙයි කියන භය හැමදාම වගේ අම්මව පිස්සු වට්ටලා තිබුනා. නමුත් ඒ පිස්සුව අස්වාභාවික නිසාම ඇයට මානසික රෝගයක් තිබෙනවාදැයි කිහිප වරක්ම මා සැක කලද ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට තරම් දුරකට මගේ ඒ සිතුවිලි ප්‍රබල නොවීම ගැන මට මා ගැනම ඇති වුනේ කලකිරීමක්.

ඇය දැන් හැසිරෙන ආකාරය ගැන වරද ද මා මාපිටම පටවාගෙන ඇය දෙස නිහඬවම බලන් ඉද්දි ඇය නැවතත් කියවන්න පටන් ගත්තා.

" තමුසෙට ලැජ්ජා නැද්ද සිනුදි....

සේරම ඇත්ත දැනගෙනත් මට අම්මා... අම්මා.. ගාන්නෙ.....

එක පාරක් කිවුවා නේ....

මම තමුසෙගෙ අම්මා නෙමේ..... "

අම්මා දොර වහලා දැම්මෙ සද්දෙන්.  අම්මා දොර පිටතින් අගුලු දාලා තිබුණු නිසා මමත් සිම්මිත් අපේම ගෙදර සිරකාරියො වෙලා.

" ඔයා හොදින් ද.... "

මට ඕනේ වුනේ හිත ගලක් කරගෙන ඉන්න උනත් වීපි සර් සමග ගෙවූ අතීතය වගේම අම්මගෙ වචන මාව නොදැනුවත්වම අඬවලා තිබුණා. අම්මා කියන්නෙ බොරු කියලා නඩු විභාගයකින් තොරවම මම තීරණය කලා තිබුනත් හිත කොනකින් බුර බුරා නැගෙන්නෙ අම්මා කියන්නෙ ඇත්ත කියන සිතුවිල්ල. මගේම සිතුවිලි එක්ක තරඟ කරමින් දණින් වැටිගෙන හඬන මා වෙත සිම්මි ලං වුනෙත් මම සිම්මිගෙ උරහිසට හිස හොවාගත්තෙත් මට මාවම අමතක වුන මොහොතක. ඉතිං මං ඇගේ උරහිසට බර වෙලා ඇති වෙනකම් අඬන්න හිතා ගත්තා.

මොන තරම් උත්සහ කලත් අම්මා කියන කතාව පිළිගන්න මගේ හිත ලෑස්ති නෑ. ඇය මගේ අම්මා නෙමෙ කියලා හිතට තේරුම්කරන්න මම බෙහෙවින් උත්සහ ගත්තා.

" අපි දැන් මොකද කරන්නෙ සිනුදි.... "

සිම්මි ඇහුවෙ හරි ආදරෙන් මගේ හිස අතගාමින්.

" අපි යමු..... "

සිම්මිගෙ උරහිසෙන් ඈත් වුන මම කතා කලෙ ස්තීරවම.

" කොහෙටද.... "

" ගමට....."

මගේ පිළිතුරෙන් සිම්මිගෙ දෑස් විසල් වෙනව මම බලාගෙන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" මොනවද ඔය ඇදගෙන ඉන්නේ.....

ඕවා නෙමෙයි ඔයාලට අදින්න කිවුවේ..... "

රතු පැහැති කෙටි ගවුම් වෙනුවට සාමාන්‍ය උත්සව ගවුම් වලින් සැරසිලා පිටතට ආපු අපේ ඇඟට අම්මා කඩා පැන්නෙ තරහින්. ඇයට පිළිතුරු දෙන්නවත් ඇය හා වාද කරන්නවත් සිම්මිට හෝ මට උවමනාවක් තිබුනෙ නෑ. අපිව රැගෙන්න යන්න පැමිණි වීපි සර්ගෙ මෝටර් රථයක් නිවස ඉදිරිපිට නතර වුනේද ඒ මොහොතෙ. අම්මාට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වාම අපි මෝටර් රථය වෙත ගියෙ හැගීම් දැනීම් නැති මළසිරුරු වගේ.

මෝටර් රථය තුළ සිටියෙ වීපි සර්ගෙ රියදුරා පමණයි. එයින් සැනසුම් සුසුමක් හෙලු මමත් සිම්මිත් පසුපස අසුනට බර වුනේ අම්මා කට කොනකට මවාගත්ත හිනාවකින් මෝටර් රථය දෙස බලාගෙන ඉද්දි. සිම්මිගෙ දෑත් වෙව්ලනවා මම බලාගෙන. ඇයගේ ඇස් ඉදිරිපිටම කිහිප වරක්ම මා වීපි සර්ගෙන් අමානුෂික ලෙස පරකෑම් ආදි නොයෙක් වධහිංසන වලට මුහුණ දීලා තිබුනා. ඉතිං ඒ මතක සිම්මිව මේ තරමට බය කරලා තිබුනත් ඒ මතක  මේ වෙද්දි මාව මරලා දාලයි තිබුනෙ. භය වෙන්නවත් හැගීමක් මට ඉතුරු වෙලා තිබුනෙ නෑ... ඒත් මම සිම්මිගෙ වෙව්ලන දෑත් මතින් අත තිබ්බෙ බය වෙන්න එපා කියන බැල්මකින්.

විනාඩි කිහිපයක ගමනකට පසු මෝටර් රථය නතර වුනෙ සුප්‍රසිද්ධ සමාජශාලාවක් ඉදිරිපිට. අපි සමාජ ශාලාවට ඇතුලු වුනෙ රියදුරාට පිටුපසින්. විවිධාකාර මිනිසුන්ගෙන් පිරුණු  සමාජශාලාව පසු කර ඔහු අපිව රැගෙන ගියෙ කලින්ම වෙන් කරවා ගත්ත  වීඅයිපී නැවතුමකට.

" බොස්ට හදිසි මීටින් එකක්...

මිස්ලා ඇතුලට ගිහින් එන්ජෝයි කරන්න... අපේ බොස් තව ටිකකින් එයි..... "

රියදුරු එහෙම කියලා වීඅයිපී කුටියෙන් පිටතට ගියේ මටත් සිම්මිටත් දෙවියන් වරමක් දුන්නා වාගෙයි.

මුහුණට මුහුණ බලාගත් මමත් සිම්මිත් එහි වූ සෝෆාවට බර වුනෙ කට කොනින් හිනාවෙගෙන. අම්මගෙනුත් වීපි සර්ගෙනුත් ගැලවී ගමට යන්න තීරණය කල මොහොතේම සිටම සැලසුමකට අනුව ක්‍රියා කල මටත් සිම්මිටත් වීපි සර්ගෙ නොපැමිණිම මෙතනින් පැන යන්න අපි සැලසුම් කල සැලසුමටත් වඩා හොදම අවස්ථාවක් වුණා. අපේ සැලසුම වරදිවීදෝයි බියෙන් සිටි සිම්මිගෙ මූණටද ජවයක් ලැබිලා තිබුනෙ දැන්.

මේසය මත තිබූ වයින් බෝතලයකින් වීදුරු දෙකක් පුරවාගත් අපි එම වයින් තොල ගාමින්  මොහොතක් එහි ගත කලෙ රියදුරුට අපි ගැන සැකයක් ඇති විය යුතු නොවුන නිසා. වීපි සර් එනතුරු අපේ ආරක්ෂාවට සිටියෙ රියදුරු පමණයි.

විනාඩි කිහිපයකට පස්සෙ සිම්මි සෝෆාවෙන් නැගිටගත්තෙ මට ඇස් වලින් ඉගි කරමින්. අපේ සැලසුම ක්‍රියාත්මක කරන්න මුල් පියවර තිබ්බෙ සිම්මි.

" ඉක්මට එන්න....

බලන් ඉන්නවා.... "

සිම්මි කිවුවේ මට විතරක් ඇසෙන ගානට.

" පරිස්සමෙන්...... "

මම ඇයට ඒ වචන කීවේ සුභ පැතුම් ස්වරයෙන්.

වීඅයිපී ඒරියා එකෙන් පිටතට යන්න ගිය සිම්මිව බලාපොරොත්තු වූ ලෙසින්ම  නතර කලෙ වීපි සර්ගෙ රියදුරා.

" මිස් කරුණාකරලා ඇතුලට වෙලා ඉන්න...... "

" ඔයා කොහොමද මට ඇතුලට වෙලා ඉන්න කියන්නේ.....

අනික ඔයා කවුද.....

මං වොෂ් රූම් එකට යන්නෙ..

මගේ පාරෙන් අයින් වෙනවා....... "

සිම්මි හැසිරුනෙ හොද පළපුරුදුකාරියක් වගේ. රියදුරු හා වචන හුවමාරුවකින් පස්සෙ ඔහුට සිද්ද වුණා සිම්මිට ඉඩ දෙන්න. වීපි සර්ගෙ රියදුරාට බීමත් නළඟනන් සමග ගනුදෙනු කරනා ආකාරය නුහුරු නුපුරුදු නොවුන නිසාම සැර වචන කිහිපයකට පස්සෙ ඔහු සිම්මිට පිටතට යන්න ඉඩ දුන්නා.

ආයෙත් හැරිලා මං දිහා බලපු සිම්මි පිටතට ගියෙ මටත් ඉක්මනින් එන්න කියන බැල්මෙන්.

මම ලොකු හුස්මක් ගත්තෙ ඊළග මොහොත මගේ නිසා. රියදුරු වෙත වෙනසක් නොපෙන්නවාම මම වයින් වීදුරුව තොල ගාමින් සිටියෙ මගේ මොහොත එලැබෙන තුරු.

බලාපොරොත්තු වූ ලෙසින්ම ඊළග මොහොතෙ හදිසියේම  සමාජ ශාලාවේ  හදිසි අනතුරු නළාව නාද වුණා. රියදුව ද පෙරලගෙන එලියට පැන්න මම සමාජ ශාලාව තුල වූ සංගීතයට නොදෙවෙනි ලෙසින් කෑගැහුවේ සැවොම කලබල වෙන විට.

" ගින්නක්.......!! ගින්නා.......ක් !!! "

ශාලව තුළ බීමතින් විව්ධාකාරයෙන් සතුටු වෙමින් සිටි සියල්ලෝම කලබල වුණා. කූඹි ගුලක් ඇවිස්සුනාක් මෙන් මිනිස්සුන් සී සී කඩ දුවද්දි මමත් ඔවුන්ට එකතු වුනෙ සූක්ෂමව. වීපි සර්ගෙ රියදුරා සෙනඟ අතර මාව සොයාගන්න උපරිම උත්සහයක යෙදෙනවා මම බලාගෙන.

අනතුරු සංඥාව ක්‍රියාත්මක කල පසු සිම්මි සමාජ ශාලාවෙන් පිටතට යන්න ඇති. කෙසේ හෝ අපි නැවත හමු විය යුත්තෙ මාර්ගයෙදි. ඉතිං මා ද ඉක්මන් වුනෙ වීපි සර්ගෙ රියදුරුගෙ ඇස් වලින් ගැලවිලා සමාජ ශාලාවේන් පිටතට යන්න.

වීපි සර්ගෙ රියදුරා ද කෙසේ හෝ මා පිටුපසින් වැටුන නිසා මට මාර්ගය වෙනස් කරන්න වුනා. කොරිඩෝවක් දිගෙ ඉදිරියට දිව ආව මම නතර වුනෙ බාර් ඒරියා එකේ. එහි වූ පිටවිමේ දොරටුව වෙත දිව යන්න සැරසුනද මා මොහොතක් නතර වුනෙ මට ඇහුනු හුරුපුරුදු කට හඩ නිසා.

" ඔය ඇති බොස්...... දැන් යමු..... "

" මට බෑ අයිසේ.....

අතාරිනවා......

එයා ඇයි මට එහෙම කලේ රෙහාන්..... "

බාර් ඒරියා එකට වෙලා වුන්න ආගත් සර්වත් රෙහාන්වත් මගේ ඇස ගැටුනෙ අහම්බයෙන්. එහි ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙන කිසිවෙක් සිටියෙ නෑ. අනෙක් සියල්ලෝම අනතුරු සංඥාවට බිය වී පිටව යන්න ඇති යැයි මා නිගමනය කලා.

දොර විවර කරගෙන මා පිටතට යා යුතුව තිබුනද මා නතර වී ඔවුන් දෙස බලාගෙන වුන්නා. ආගත් සර් හැසිරුනු විදියෙන් ඔහු හොද සිහියෙන් නොසිටි බව මා තේරුම්ගත්තා. ඔහු කෙතරම් නොසන්සුන් ද කිවහොත් අතේ තිබුණු මත්පැන් වීදුරුව බිමට අතැරියෙ හිතාමතාම. එය කෑලි කෑලි වලට විසිරෙන දෙස ඔහු හැගීමකින් තොරව බලන් සිටියා.

" ආගත් සර්.....! "

අසිහියෙන්ම ආගත් සර් හිදගෙන සිටි ස්ටූලයෙන් නැගිටින්න උත්සහ කල අතර ඒ මොහොතේම ඔහුගේ  සමබරතාවය ගිලිහි වැටෙන්නට යත්ම මගේ කකුල් ඔහු වෙතට දිවුවේ මගෙන්වත් අවසර ගන්නෙ නැතුව. ඒ වෙද්දිත් රෙහාන් ඔහුව වාරු කරගෙන අවසන්.

මම ඔහුට ලං වුනෙ පුදුමයෙන්. මීට කලින් මම ආගත් සර්ව මෙවැනි ස්වරූපයකින් දැකලා තිබුනෙ නෑ.

" ආගත් සර්... ඔයා හොදින් ද.... "

ඔහුව මෙවැනි තත්වයකින් දකින එක මගේ හිත රිදවනවා.

" ඔයා කවුද..... "

ආගත් සර්ගෙ මුවින් පිට වුන වචන වල ගැබ් වෙලා තිබුනෙ වේදනාව , තරහව මුසු හැගීමක්. ඔහු මගෙන් මම කවුද කියලා අහන්නෙ මාව අදුරගෙන බව මට විශ්වාසයි.

" ආගත් සර් මම සිනුදි......

මාව අදුරගත්තෙ නැද්ද..... ඔයාගෙ පර්සනල් සෙකට්‍රි සිනුදි..... "

ඔහු මා කවුරුද බව දැන දැනම ඇසූ ප්‍රශ්නයට මා පෙරලා පිළිතුරු දුන්නෙ කුමකට දැයි මටම තේරුනෙ නෑ.

මගේ පිළිතුරත් සමඟ ආගත් සර්ගෙ මුවග රැදුනෙ උපහසාත්මක සින්හවක්. ඔහුව අල්ලගෙන සිටි රෙහාන්ගෙ අත ගසලා දාපු ඔහු මගේ මුහුණට එබුණා.

" මම අහන්නෙ... මගේ පර්සනල් සෙකට්‍රි සිනුදි ගැන නේමෙ... එයා ගැන මම හොදට දන්නවා.....

මම අහන්නෙ තමුන් ගැන...

තමුන් කවුද...... "

ආගත් සර්ගෙ ප්‍රහෙලිකාවේ අගක් මුලක් නොතේරෙන තැන මා ඔහු දෙස පුදුමයෙන් බලන් වුනනා.

" මොනාද මේ ඔයා කියන්නෙ ආගත් සර්.... "

මම එහෙම ඇහුවෙ කිසිවක්ම නොතේරෙන තැන.

මා වෙත සීතල රැවිල්ලක් පා කල එවූ ඔහු එතැනින් යන්න ගියෙ අපේ කතාවට හරිහැටි අවසානයක් නොදි. මාව කිසිසේත්ම ගනනකට නොගත් ඔහු  පිටවිමෙ දොරටුව වෙත යද්දි මම බලන් වුන්නෙ පුදුමයෙන්.

ඊළග මොහොතෙ මම රෙහාන් වෙත හැරුනෙ ඔහුගෙ හඬට.

" ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ සිනුදි...... "

රෙහාන් ද කතා කලෙ හිත යට මොනවදෝ සඟවගෙන.

" මොනවද රෙහාන්......

ඔය දෙන්නගෙන් කවුරු හරි තේරෙන සිංහලෙන් මට කියනවද මොකද වුනේ කියලා..... "

මම කතා කලෙ නොසන්සුන් මනසින්. රෙහාන් පිළිතුරු දෙන්න කට හදනවත් එක්කම ආගත් සර් කෑගැහුවා.

" රෙහාන්.....

එනවා යන්න....... "

ආගත් සර් රෙහාන් වෙත කලෙ තර්ජනයක්. ඉතිං රෙහාන් ද අපේ කතාව මගින් නතර කරලා ආගත් සර්ගෙ පිටුපසින් දිව ගියා.

ආගත් සර් මොනවද කිවුවේ කියලා තේරුම්ගන්න මම උත්සහ කලා. රෙහාන්ගෙ ඇස් වල වගේම ආගත් සර්ගෙ ඇස් වලද තිබුනෙ මං ගැන අප්‍රසාදයක්.

" සිනුදි.... ! "

කල්පනාවක වුන්න මම ගැස්සුනෙ සිම්මිගෙ හඬට. දුවගෙන ආව ඇය තත්පරයක් වේගයෙන් හුස්ම ගත්තෙ මාව හොයාගන්න මහන්සි වූ බවට සාක්ෂි දරමින්.

" මොකද කරන්නේ....

ඉක්මනට යමු....... "

සිම්මි මගේ අතින් ඇදගෙන පිටතට නොඑන්න මම තවමත් ආගත් සර්ගෙ වචන ගැන කල්පනා කරමින් එහිම සිටින්නට තිබුණා.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter