Back
/ 43
Chapter 27

Chapter 27

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි හත වැනි කොටස 🌙

................................................................

" ඇයි අම්මා මොකද වෙලා තියෙන්නෙ..... "

අම්මගෙ විශ්මයට හේතුව දැනගන්න මම උත්සුක වුණා.

" කවුද කෙනෙක් අපේ හොස්පිට්ල් බිල් එක පේ කරලා.....

කවුද දන්නෙ නෑ.... "

මමත් සිම්මිත් මුහුණට මුහුණ බලාගත්තෙ සිදුව ඇති දේ තේරුම්ගෙන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ආගත් සර්ව මුණගැසීමට තිබුණු අකමැත්ත නිසාම මම දින කිහිපයක පෞද්ගලික නිවාඩුවක් ලබාගත්තා. රෝහලෙන් පැමිණි දින සිට මාත් සිම්මිත් සාමාන්‍ය වෙන්න උත්සහ කලත් එය අපි දෙන්නටම පහසු කරුණක් වුනෙ නෑ

" සිනුදි....

ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ද.... "

පොතක් කියවමින් වුන්න මම ඇස් උස්සලා බැලුවෙ සිම්මිගෙ හඬට. ඇය මා දෙස බලා සිටියෙ බැරෑරුම් හැගීමකින්.

" මොනව ගැන ද......? "

බොරු හිනාවකින් මම එහෙම ඇහුවේ ආයෙත් බැල්ම පොතේ පිටු අතර නවත්ත ගනිමින්.

" ඔයා ඇයි ඔෆිස් යන්නෙ නැත්තෙ....

මගේ ප්‍රශ්නෙ නිසා ද.... "

" නෑ..... "

එක අකුරක පිළිතුරකින්  සිම්මි සෑහීමකට පත් නොවන බව දැන දැනම මම කෙටි පිළිතුරක් දුන්නා.

" එහෙනම් ඇයි.....

මොකක්ද ප්‍රශ්නේ....... "

සිම්මිගෙ ස්වරයන් කණගාටුවකින් පිරිලා.

පොත පසෙකට කල මා සිම්මිට ලං වුනෙ ලොකු හුස්මක් අරගෙන.

" මම රිසයින් වෙනවා...... "

" මොකක්..!! "

සිම්මිගෙ දෑස් විසල් වුනෙ ඉබේටම.

" ඇයි....

ඇයි එහෙම කරන්නෙ.....

කියන්න...... මම නිසා නේද....... "

සිම්මි මගේ අත අල්ලගත්තෙ තදින්.

" නෑ සිම්මි....,

මම මේ තීරණය ගත්තෙ කාලෙකට කලින්......

මගේ අතින් කම්පැනි එකට ලොකු වැරැද්දක් වුණා.....

මට තවත් එතන වැඩ කරන්න බෑ සිම්මි.....

මම රිසයින් වෙන්නෙ ඔයා නිසා නෙමෙයි...... එහෙම හිතන්නවත් එපා....... "

සිම්මිට එහෙම කිවුවත් මට මාවම තේරුම්ගන්න බෑ. ඔව් ඇත්ත මම කොහොමත් උත්සවයෙන් පස්සෙ ඉල්ලා අස්වෙන්න තීරණය අරගෙන වුන්නෙ.. ඒත් මම ඇත්තටම ඉල්ලා අස්වෙන්න හදන්නෙ ඒ හේතුව නිසා ද... ආගත් සර්ගෙත් සිම්මිගෙත් ඇත්ත නොදැන උන්න නම් මගේ ඒ තීරණය වෙනස් වෙන්න ඉඩ තිබුන ද..

මට ඉල්ලා අස්වෙන්න ඕනේ... ඒත් ඇත්තටම ඇයි... මොකක්ද හේතුව...

හේතු දෙකක් අතර හිත දෝලනය වුනත්. මම ගන්න සමහර තීරණ මටම තේරුනෙ නෑ. ඊටත් වඩා මගේ හිත බය වුනේ ආගත් සර් මගේ ගැනත් තව මොන මොනවා දන්නවාදැයි දැනුනු සිතුවිල්ලත් එක්ක.

" වැරැද්දක් වුනා නම් ඒක නිවැරැදි කරන්න... ඇත්ත කියලා සමාව ගන්න...

මට විශ්වාසයි.. නීතියෙන් දඩුවම් විදින්න තරම් වැරැද්දක් ඔයාගෙ අතින් වෙන්නෙ නෑ කියලා....

ඒ නිසා කතා කරලා විසදගන්න...

තියෙන එකම උත්තරෙ රිසයින් වෙන එක ද......

ආයෙත් හිතන්න සිනුදි...... "

සිම්මි කියවගෙන යද්දී මම බලන් වුන්නෙ ඒ අසරණ ඇස් දිහා. සිම්මිට ඕන වෙලා තියෙන්නෙ මොකක්ද කියලා මට තේරුනෙ නෑ.. ඒත් ඒ ඇස් ලොකු අසරණකමකින් විදවන බව නම් මම දැක්කා. හරියට මම වගේම.

" ආගත් සර් සමාව නොදෙන වැරැද්දක් මම කලේ.... "

සිම්මිට ඇත්ත කියන්න ඕන කියලා හිතුනත් ඊළග මොහොතෙ ඒ සිතුවිල්ල වෙනස් වුණා.

" මොකක්ද ඔයා කලේ......

මට කියන්නකෝ..... "

" පස්සේ දවසක කියන්නම්...... "

අපේ කතාවට හරි හැටි නැවතුමක් නොතියාම මම පිටතට ගියෙ සිම්මිව මඟහරින්න ඕන වුන නිසා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

දින කිහිපයක නිවාඩුවකට පස්සෙ මම කාර්යාලයට ආවේ අද දවසට මුහුණ දෙන්නෙ කොහොමද කියලා හිත හිත. ආගත් සර්ගෙත් සිම්මිගෙත් කතාව හිමාෂාට හෝ නොකියා ඉන්න මම පරිස්සම් වුණා.

" උඹට ඕක කරන්නම ඕන ද....? "

ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙන්න යන ගමනට හරස් වුන හිමාෂා එහෙම ඇහුවෙ අන්තිම පාරට. ලොකු හුස්මක් ගත්ත මම ඇයට පිළිතුරු දුන්නෙ මවාගත්ත හිනාවකින්. ඒත් වචනයෙන් පිළිතුරු දෙන්න තරම් හිත ශක්තිමත් නෑ. ඇස් වලින් මට ඒක කරන්න ඕනමයි කියලා ඇයට කියු මම ආගත් සර්ගෙ කාර්යාල කාමරය වෙත ආවේ හිත ශක්තිමත් කරගෙන.

දොර අභියස සිටගෙනත් මොහොතක් මම කල්පනා කලෙ මට මේක කරන්න ඕනම ද කියලා. හිත පඹ ගාලක පැටලිලා.

මම ආගත් සර්ගෙ කාර්යාල කාමරයට ඇතුලු වුනෙ අවසර අරගෙන. ලිපිගොනු අතර අතරමං වෙලා වුන්න ඔහු මොහොතකට හෝ ඇස්  උස්සලා බැලුවෙ නෑ. ඉල්ලා අස්වීමේ ලිපිය බහාලු ෆයිල් කවරය පපුවට තුරුලු කරගෙන නිහඬවම මම විනාඩි කිහිපයක් ගත කරන්නට ඇති. කතාව කොහෙන් පටන්ගන්නද මොනවා කියන්නද කියලා මට තේරුනෙ නෑ.

" මොකක් ද ඔය.... ? "

ලිපිගොනු මතින් ඇස් අහකට නොගෙනම ආගත් සර් කතා කලෙ සුපුරුදු ආඩම්බරකාර ස්වරයෙන්.

" සර්.... ම... මම ආවේ රෙසිග්නේෂන් බාරදෙන්න...... "

පැටලෙන වචන එකතු කරගෙන මම කතා කලා. ඕනවටත් වඩා මම බය වෙලා වුන්නෙ ඊළගට  ආගත් සර් අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්න ද කියලා.

" ඔතනින් තියල යන්න..... "

පෙරලා කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව ආගත් සර් මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගද්දි මම පුදුම වුණා. ලිපිගොනු මතම බැල්ම නතර කරගෙන සිටි ඔහු මගේ ඉල්ලා අස්වීම ගැන කිසිදු අවදානයක් යොමු කලෙ නෑ. ඔහු එය බාරගත්තේ සාමාන්‍ය ලිපිගොනුවකටත් වඩා අන්ත ලෙසින්.

ඉතිං තවත් මම මොනව කියන්න ද.. හිත මහ ගොඩක් රිදුනෙ නෑ කිවොත් බොරු.. අඩුම තරමෙ අස්වෙන්න හේතුවවත් ආගත් සර්ට මගෙන් අහන්න තිබුණා. හේතු අහන්න තරම්වත් මම ඔහුට වැදගත් නොවන බව මට තේරුනෙ ඒ මොහොතෙදි. ඇස් වලට කදුළු ඉනුවෙ හරි ඉක්මනට.

ඒ ආඩම්බරකාර නපුරු මුහුණ දෙස තවත් මොහොතක් බලාගෙන වුන්න මම ලිපිගොනුව ඔහුගෙ මේසය මතින් තියලා පුලුවන් ඉක්මනින් පිටතට දිව ආවා. මා අතින් සිදු වූ වරද  තේරුම් කර සමාව ගැනීමට හෝ දඩුවම් විදීමට සිතාගෙන සිටි මගේ අදහස වෙනස් වුනේ ආගත් සර්ගෙ ඒ හැසිරීමත් එක්ක. ඒත් එක්කම සිම්මි සම්බන්ධ සිද්දියද මගේ මතකයට එද්දි තව දුරටත් ආගත් සර් හා වචනයක් කතා කරන්නවත් මගේ හිත ඉඩ දුන්නෙ නෑ. ඉතිං තවත් මොහොතක් හෝ කාර්යාලය තුළ රැදි සිටින්න මට ඕන වුනේ නෑ. ඒය කාර්යාල නීතීන් වලට එකඟ නැති වුනත් බෑග් එක අතට ගත්ත මම කාර්යාලයෙන් පිට වුනෙ හිමාෂාට හෝ දැනුම් නොදි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ආගත් සර්ට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී පැමිණ දිනට පසු මා අද වන තුරුම කාර්යාලය වෙත ගියෙ නෑ. එහි ස්තීර සේවකයෙකු වූ මා හට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී පහුවෙනිදා සිටම නිවාඩු ගැනීමට නොහැකි වුනත් මා හිතාමතාම කාර්යාලය මඟහැර වුන්නා.

මගේ වෙනස සිම්මිට වගේම අම්මටත් තේරිලා තිබුණා.

" සිනුදි.... මොකද දැන් ඔෆිස් යන්නෙ නැත්තේ...... "

අම්මා ඇහුවෙ ටිකක් තරහින්. බෝංචි වල නූල් අරිමින් වුන්න මගේ දිහා සිම්මිත් බැලුවෙ කුතුහලයෙන්.

" මම අයින් වුණා... "

මම ඒ වචන කිවුවේ ඒ තරම් බර නොකර. ඒත් අම්මාට නම් ඒ ඇහුන වචන නිසා හීල්ලුනෙ ඉබේටම.

" ආහ්....!!!

මොකක්ද කිවුවේ...... අයින් වුණා....

පිස්සුවත් හැදීගෙන එනව ද සිනුදි...... "

කරමින් සිටි කාර්යයද පසෙක දමා මා වෙත ඉක්මන් අඩි තිබ්බ අම්මා මගේ දෙවුරෙන් අල්ල ගත්තා. අම්මගෙ තරහ එක අතකට සාදාරන නිසා මම නිහඬවම වුන්නා.

" දෙවියනේ.... දැන් අපි මොනවද කරන්නෙ ආ.....

ඔය මොළේ මැටි ද තියෙන්නේ.... ජොබ් එකෙන් අයින් වෙලා මදිවට ඒක කියන ලස්සන විතරක්....

මට පිස්සු හදවන්නද හදන්නෙ....

දැන් කොහොමද මේ ගෙදරට වියදම් කරන්නේ....

කොහොමද අපි කන්නෙ බොන්නෙ...

සල්ලි නැතුව කොහොමද ජීවත් වෙන්නෙ සිනුදි.....

මෝඩ කෙල්ල... මොකක්ද මේ කලේ...

අපිට පාරට වැටිලා හිඟාකන්න තමයි වෙන්නෙ.....

දෙවියනේ මට දැන් මොකද වෙන්නෙ.... "

ඇය වැඩිපුරම බය වෙලා තිබුනෙ ඇය ගැන. මටත් සිම්මිටත් මොනවා වුනත් ඇයට කමක් නෑ. ඇයගෙ සුඛෝපභෝගි ජීවිතය ඇයට ලැබෙනව නම්.

අම්මගෙ හඬ එන්න එන්නම උස් වෙද්දි මට මාවම පාලනය කරගන්න බැරි වුණා. වැරැද්ද මගේ උනත් මම කෑගැහුවෙ අම්මට.

" කෑගහන්න එපා අම්මා.....

මං ජොබ් එකක් හොයාගන්නම්.....

මගේ ඔලුව කන්නෙ නැතුව පොඩ්ඩක් කෑනොගහ ඉන්නකෝ..... "

අම්මගෙ කියවිල්ල මට දැනුනෙ කංකලච්චලයක් වගේ.

" ඔයාට හිතෙන හිතෙන වෙලාවට ජොබ් දෙන්න කට්ටිය  පීරිසිවලට දාලා අල්ලගෙන ඉන්නව ද.....

මොන තරම් හොද ජොබ් එකක් ද නැති කරගත්තේ....

මෝඩ කෙල්ල.....

එතකොට කොහොමද කෑනොගහ ඉන්නෙ සිනුදි....

සල්ලි තමයි මේ ලෝකෙ වැදගත්ම දේ....

සල්ලි නැතුව ජීවත් වෙනව කියන එක අපායක් වගේ...

මට ආයෙත් ඒ අපායට වැටෙන්න බෑ.....

මම දන්නව මොකක්ද කරන්න ඕනෙ කියලා.....

ඔව් මම දන්නවා..... "

පිස්සුවෙන් වගේ කියව කියව කාමරයට යන්න ගිය අම්මව අතින් අල්ලලා මම නතර කලා.

" මොනවද කරන්න යන්නෙ.... "

මම ඇහුවෙ සැකයෙන්. සල්ලි නැති වෙන හැම මොහොතකම අම්මා වෙනස් වෙන හැටි මම හොදටම දන්නවා. ඉතිං ඒ බය නිසාමයි මම අම්මව තවමත් සැක කරන්නෙ.

" ඔය දෙන්නව විශ්වාස කරලා, ඔය දෙන්නගෙ පැත්ත අරගෙන මම කලෙ ලොකු වැරැද්දක්...

ඔය දෙන්නා නිසා මම වීපි සර්වත් නැති කරගත්තා....

ඒ මෝඩකම් දැන් තමයි මට තේරෙන්නෙ...

දෙවියනේ මට උදව් කරන්න...

වීපි සර් ලග දණගහලා හරි සමාව ගන්න ඕනේ....

මේ වෙලාවේ වීපි සර් විතරයි අපිට ඉන්නේ...... "

මගේ අත ගසලා දාපු අම්මා කාමරයට ගියෙ වීපි සර්ව මුණගැහෙන්න යන්න ඇදුම් මාරුකරන්න විය යුතුයි.

"  අම්මා.....!!!

ඔයා ආයෙත් මාව ඒ අපායට ඇදලා දාන්න උත්සාහ කලොත් ඇත්තමයි මං මැරෙනවා..... "

මං කෑගැහුවා. පුලුවන් උපරිමයෙන් මං කෑගැහුවා ඒත් මගේ හඬ අම්මට ඇසුනදෝයි මට සැකයි.  ඉතිං මම එතනම දණින් වැටුනෙ මගේ ඒ ජරා අතීතය ආයෙත් වර්තමානය වෙන්න යන බව තේරුම්ගෙන. සිම්මි ඇවිත් ඒ මොහොතෙම මාව තුරුලු කරගත්තා. ඒ අතීතයෙ හෙවනැල්ලකටත් වෛර කරන මට වර්තමානය, අනාගතයත් ඒ අතීතයෙන් ගොඩ නගන්න වුනොත් කියන බය ඕනවටත් වඩා හිත ඇතුලෙ පිරිලා.

" සිම්මි..... එයා එහෙම කරන එකක් නෑ නේද.....

ආයෙත් වීපි සර් ලගට අම්මා යන එකක් නෑ නේද......

අනේ මට කියන්නකෝ..... "

මම ඇහුවෙ පිස්සුවෙන් වගේ. කදුළු ඔහේ ගලාගෙන යනවා. මම උන්නෙ මට මාවම පාලනය නැති මොහොතක. මොහොතින් මොහොත මගේ මනස  ව්ව්‍යාකූල වුණා.

මට අඬන්න ඕන තරම් කදුළු තිබුණා. ඒත් මගේ කදුළු වලින් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ. අම්මා කාමරයෙන් පිටතට එනවත් එක්කම මේසය මත තිබුණු පිහිය අතට ගත්ත මම ඉස්සරහට දිවුවේ අම්මගෙ පාර හරස් කරන්න. ප්‍රධාන දොරටත් අම්මටත් මැදිව සිටගත්ත මා පිහිය මගේම ගෙලට තද කරගත්තෙ ඒ තරම් හොද සිහියකින් නොවේ. මාව නවත්තන්න දුවගෙන ආව සිම්මිත් එක තැන ගල් වෙනව මම බලාගෙන.

" අම්මා ඔයා ආයෙත් වීපි සර් ලගට ගියොත්... මේ ගෙදරින් එක අඩියක් හරි එලියට තිබ්බොත් මම මැරෙනවා....

අනිවාර්යෙන්ම මම මැරෙනව අම්මා.... "

මගේ ඉවසීම මේ තරම් වෙනස් වුනෙ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ.

වචනයක්වත් නොකියා අම්මා උත්සහ කලෙ මාව මඟහැරලා ගෙදරින් එලියට යන්න. ඒත් මම ඇයට අවස්ථාවක් දුන්නෙ නෑ. ඇයගෙ අඩියෙන් අඩියටම හස් වුන මම ඒ හැම පාරම පෙරටත් වඩා වැඩියෙන් පිහිය ගෙලට තද කරගත්තා.

" සිනුදි ඕක නවත්තන්න.... "

ගෙලින් ලේ බිංදු කිහිපයක් පහළට රූරා යනවිට සිම්මි කෑගැහුවා. ඒත් මගේ මුරන්ඩු හිත නම් නතර වෙන්න තීරණය කලෙ නෑ.

මම එක එල්ලේම රවන අමඅම්මගෙ ඇස් දිහා බලාගෙන වුන්නා.

" මැරෙන්නද ඕනා... එහෙනම් මැරෙනවා... හැබැයි තමුසෙගෙ තාත්තා වගේ නැතුව අපිවත් මරාගෙනම මැරෙනවා.... "

අම්මා කතා කලෙ වෙන කවදාවත් නැති තරම් තරහින්. කදුළු අතරින්ම මම මටම සමච්චලයට හිනා වුණා. අම්මා මට මැරෙන්න කියලා එයාගෙ කටින්ම කියපු වෙලාවේ තරම් මට මං ගැන ආත්මානුකම්පාවක් දැනුන මොහොතක් තවත් නෑ.

"  ඔයා කොහොමද ඔහොම කතා කරන්නෙ අම්මේ......

ඔයා කොහොමද ඔයාගෙ එකම දුවට මැරෙන්න කියලා කියන්නේ....

කොහොමද අම්මේ..... "

හිත මහ ගොඩක් දුක් වෙද්දි මම තවත් ටිකක් පිහිය ගෙලට තද කරගත්තේ හිතාමතාම. දුවගෙන ආව සිම්මි අම්මගෙ කකුල් දෙක ලග වැටුනෙ දෙයත් එකතු කරගෙන.

" ආන්ටි ප්ලීස්....

සිනුදිව නවත්තන්න....

අනේ ආන්ටි.... "

කකුල් දෙක ලග වැටිගෙන අඬන සිම්මි දිහාත් පිහියක් ගෙලට තද කරගෙන ඉන්න මගේ දිහාත් අම්මා බැලුවෙ තරහින්.

" ආන්ටි ප්ලීස්..... සිනුදි ඔයාගෙම දුව නේද ආන්ටි අනේ එයාට  ඔහොම කරන්න එපා.....

ආන්ටිට ඕනෙම නම් මාව විකුණන්න...

සිනුදිට පාඩුවෙ ඉන්න දෙන්න... "

" සිම්මි!!!!! "

මම කෑගැහුවේ සිම්මි කතාව නතර කරන්නත් කලින්.

පහතට නැවිලා සිම්මිව නැගිට්ටුවාගත්ත අම්මා ඇයව ද මගේ පැත්තට තල්ලු කලා. ඊළගට අම්මා කෑගැහුවේ පුදුම තරම් තරහින්.

" තමුසෙලා දෙන්නම මගේ දුවලා නෙමේ.... මට ඕනෙ නම් තමුසෙලාව විකුණන්න හරි මරන්න හරි අයිතිය මට තියෙනවා... "

අම්මගෙ වචන මට ඇහුනෙ හීනෙන් වගේ. ඒ වචනත් එක්ක මෙච්චර වෙලා හිතෙ තිබුන ධෛර්ය එහෙන්පිටින්ම හේදිලා ගියා වගේ. වෙව්ලන දෑතින් ගෙලට සිර වෙලා තිබුණු පිහිය ගිලිහෙනව වත් මට දැනුනෙ නෑ. මුලු ගතම අප්‍රාණික වෙද්දි නොවැටි ඉන්න ඕන කමට මම සිම්මිට වාරු වුණා.

" ආන්ටි මොනාද මේ ඔයා කියන්නේ... "

සිම්මි කෑගැහුවේ මාවත් වාරු කරගෙන. මට ඒ කිසිම දෙයක් ඇහුනෙ පියවි සිහියෙන් නෙමේ. ඈතින් වගේ ඇහෙන අම්මගෙ වචන  ඇත්ත නෙමේ කියලා හිතන්න මටත් ඕන වුණා.

" ඔව්... ඒක තමයි ඇත්ත...

සිනුදි මගේ ළමයෙක් නෙමේ.....

ඔය මෝඩ කෙල්ලයි ඒ කෙල්ලගෙ තාත්තයි නිසා මට මගේ ලස්සන ජීවිතේ නැති වුණා.....

තමුසෙ මගේ  තරුණකාලෙ විනාශ කලා සිනුදි.....

තමුසෙගෙ තාත්තා  බොරු කියලා මාව කසාද බැදගෙන අන්තිමේදි ලෝකෙටම ණය වෙලා මැරිලා ගියා.....

මට උනේ කොහෙවත් නැති එකෙක්ගෙ ළමයෙක් එක්ක තනි වෙන්න.....

තමුසෙ හැමදාම මගෙන් අහනව නේද මම ඇයි තමුසෙට ඔහොම කරන්නෙ කියලා...

මොකද මම තමුසෙට වෛර කරනවා...

තමුසෙගෙ මුලු පවුලටම.....

මම මොන වැරැද්දක් කලාටද ඒ තරම් ලොකු දඩුවමක් තමුසෙගෙ තාත්තා මට දුන්නේ....

තමුසෙ විදවන්නෙ තමුසෙගෙ තාත්තගෙ වැරදි.....

තමුසෙ මං වෙනුවෙන් මීට වඩා දේවල් කරන්න ඕනේ සිනුදි... මොකද කොහෙ හරි කාණුවකට අතෑරලා යන්නෙ නැතුව මෙච්චර කල් තමුසෙව බලාගත්තට........ "

ඒ හැමදෙයක්ම අහගෙන මම ඔහේ බලාගෙන  වුන්නා. හරියට එතන වෙන කිසි දෙයක් මට අදාල නෑ වගේ. මට විශ්වාසයි මම වුන්නෙ හොද සිහියෙන් නොවේ.

හුස්මක්වත් ගන්නෙ නැතුව තවත් මොනවදෝ කිවන අම්මගෙ කතාව නතර වුනෙ ක්ෂනිකවම. ඇය දෑස් විසල් කරගෙන දොර දෙස බලන් ඉද්දි මාත් ඒ පැත්තට හැරුනෙ කුතුහලයෙන්. මගේ ඇස් ඉබේටම ලොකු වුනේ දොර අභියස වුන්න ඒ රුව දැක්කට පස්සෙ.

"වීපි සර්..."

මෙච්චර වෙලා කියවමින් වුන්න අම්මගෙ වචනත් එකපාරටම ගොලු වෙලා තිබුණා.

" වාව්.....

වට් ඇන් ඉන්ටරෙස්ටින් ස්ටෝරි අහ්.... "

සුපුරුදු උපහාසයෙන් මුහුණ පුරෝගෙන ඔහු අපිවත් පාස් කරගෙන නිවසට ඇතුලු වෙද්දි අම්මා වගේම අපි හැමෝම වුන්නෙ පුදුමයෙන්.  වීපි සර් කිසිදු පැකිලීමකින් තොරව විසිත්ත කාමරයෙ සෝෆාවට බර වෙලා කකුලක් පිට කකුලක් තබා ගත්තෙ අපි දිහා බලාගෙන.

" ඇයි නැවැත්තුවේ......

carry on...... "

අපහාසාත්මක සින්හවෙන්ම ඔහු එහෙම කියද්දි මම බැල්ම පහතට හරවා ගත්තා.

අම්මා වීපි සර් ලඟට දිවුවේ මුලු ලෝකෙම අමතක වුණා වගේ.

" වීපි සර්.....

මොන තරම් දෙයක් ද ආයෙත් ආව එක... "

අම්මා වීපි සර් ලග ඒ තරම් බයාදු වෙද්දි මට දැනුනෙ මහ පිළිකුළක්. මම මාව පාලනය කරගෙන වුන්නෙ බොහොම අමාරුවෙන්.

" ඔයා දැන් මගෙන් වැදලා සමාව ගන්නද හදන්නේ.....

නෑ.. නෑ.. එහෙම ඕන වෙන්නෙ නෑ..... "

වීපි සර් අම්මගෙන් අහන්නෙ සුපුරුදු උපහාසයෙන්.

" වීපි සර් පරණ දේවල් ඉක්මනින්ම අමතක කරලා වගේ..... "

අම්මගෙ ප්‍රශ්නයට පිළිතුරු නොදිම සෝෆාවෙන් නැගිටගත් වීපි සර් අඩි තිබ්බෙ මා වෙතට. මමත් සිම්මිත් අඩියක් පිටුපසට තිබ්බෙ ඒ ජරා බැල්ම දරාගන්න බැරි තැන.

" පරණ දේවල් ලේසියෙන් අමතක කරන්න බෑ..... "

කට කොනකට මවාගත්ත හිනාවකින් ඔහු එහෙම කිවුවේ මාව ඇස් වලින් ගිලින ගමන්.

" මට වීපි සර්ව තේරුම්ගන්න පුලුවන්.....

සර්ගෙ බේබි ඩෝල්ව මම හවසට ලෑස්ති කරලා තියන්නම්..... "

අම්මගෙ ඒ වචනත් එක්ක මට දැනුනෙ හිස මත හෙණයක් පිපුරුවා වගේ.

කට කොනකට මවාගත්ත හිනාවකින් වීපි සර් මගේත් සිම්මිගෙත් වටේට ඇවිද්දෙ අපිව ප්‍රදර්ශන භාණ්ඩයන් සේ සළකමින්.

" ජැපෑන් ට්‍රිප් එකෙන් පස්සේ... මගේ ටේස්ට් එක ටිකක් වෙනස් වුණා...... "

ඔහුගෙ ඇස් තිබුනෙ සිම්මි ලඟ. ඒ මොහොතෙ මටත් වඩා මම සිම්මි ගැන බය වුණා. ඒ නිසාමයි සිම්මිගෙත් ඔහුගෙත් අතරට ඇවිත් මා සිටගත්තෙ. මා විදි වේදනාව සිම්මි විදිය යුතු නෑ.

ඔවුන් දෙදෙනා අතරින් සිටගත්ත මා දෙස වීපි සර් බැලුවෙ සුපුරුදු උපහසාත්මක සිනහවෙන්. ඒ හිනාවෙන් කියවුනෙ ඔහුට ඕන වුනෙත් ඒ දේමයි කියලා.

" වීපි සර් මේ පාර නම් ගාන ඩබල් කරන්න වෙයි..... "

අම්මගෙ කතාවත් එක්ක ඔහු නැවතත් ඇය වෙත හැරුනෙ කලිසම් සාක්කුවලට අත් ඔබාගෙන.

" මොකද කියන්නෙ දෙන්නවම ගන්නව නම්..... "

වීපි සර්ගෙ ඒ යෝජනාවට අම්මගෙ මූණ ලොකු හිනාවකින් පිරුණා.

සිම්මි මගේ අතේ එල්ලුනේ ඒ මොහොතෙ. ඇය මරණයට කැප වූ සා පැටියෙකු මෙන් ගැහෙනවා.

"  මෙච්චර කාලෙකට වීපි සර්ගෙන් අහපු හොදම වචන ටික....

ඕකේ... මම කැමති.....

ඩීල්.... "

අම්මා වීපි සර්ට අතට අත දුන්නත් වීපි සර් ඇයව නොසලකා හැරියා. ඊළගට සල්ලි මිටියක් අතට ගත්ත වීපි සර් එය අම්මගෙ පැත්තට විසික් කලෙ සතෙකුට වගේ.

" හවස ක්ලබ් එකට එවන්න....

දෙන්නවම.... "

කට කොනින් හිනා වුන ඔහු අව්කණ්නාඩි පළදමින් නිවසින් පිටව ගියෙ මගෙත් සිම්මිගෙත් හුස්ම නතර වන මොහොතෙ.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter