Back
/ 43
Chapter 26

Chapter 26

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි හය වැනි කොටස 🌙

................................................................

" තැන්ක් යූ රෙහාන්....

ඔයාව ආගත් සර් ද එව්වේ..... "

මම ඇහුවෙ ආර්ක්ෂිත පටිය පළදමින්.

" ඒක වැදගත් නෑ නේද......

දැන් ඔයාට ඕනේ ඉක්මනින් ගෙදර යන්න නේ...... "

මම හිස වැනුවෙ ඔව් කියන්න.

" ඉක්මනට යමු....

ප්ලීස්..... "

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මෝටර් රථය නිවස ඉදිරිපිට නතර වෙනවත් එක්කම මට ඇහුනෙ අම්මා කෑගහන හඬ. මම ගේ ඇතුලට දිවුවේ තවත් තත්පරයක් හෝ කාලය මිඩංගු නොකරය.

" සිම්මි දොර අරින්න ළමයෝ.... විකාර කරන්න එපා සිම්මි...... "

අම්මා මගේ කාමරයෙ දොරට තඩිබාමින් උන්නෙ කලබලයෙන්. සිම්මි දොර විවර නොකරන තැන මම ද අම්මාට එකතු වුණා

" සිම්මි......

සිම්මි දොර අරින්නකෝ...... "

පිටි අත්ලෙන් කදුළු පිසලමින් මා දොර විවර කරන්න උත්සහ කලත් ඒ උත්සහය සාර්ථක වුනේ නම් නෑ.

" සිනුදි පොඩ්ඩක් ඉන්න..... මම බලන්නම්...... "

මාගේ පිටුපසින් නිවසට ඇතුලු වූ රෙහාන් එහෙම කියද්දි ඔහුට ඉඩ දීලා මාත් අම්මත් පිටුපසට වුණා. දොර ඇතුලතින් අගුලු දමා තිබුණු නිසා දොර කඩනව ඇරෙන්න වෙනත් විසදුමක් අපිට තිබුනෙ නෑ. රෙහාන් උපරිම වීර්යය යොදා දොරට පා පහරක් එල්ල කලෙ වෙන කරන්න දෙයක් නැති තැන.

රෙහාන්ගෙ පා පහරින් දොර විවර වෙනවත් සමගම මම කාමරය ඇතුලට දිවුවේ නොසන්සුන් මනසින්.

සිම්මි ටයිල් පොළව මත වැතිර වුන්නා. ඒ අසලම බෙහෙත් පෙති කිහිපයක් විසිරි තිබුණු අතර ඇය අතේ ගුලි කරගෙන වුන්නෙ පෙර දිනයක මා විසින් සිතුවම් කරන ලද ආගත් සර්ගෙ සිතුවම. ඇය සිහි නොමැතිව පොළව මත වැතිර සිටින සැටි දුටු මා පපුවට අත තියාගත්තෙ ක්ෂනිකවම.

" අනේ සිම්මි......!!! "

මට වචන පවා මතක් වුනේද තත්පර කිහිපයකට පසුව. ඊළග මොහොතෙ රෙහාන් ඇයගෙ අප්‍රාණික සිරුර  දෝතට ගෙන මෝටර් රථය වෙත දිව යන තුරුත් මම වුන්නෙ හොද සිහියකින් නොවේ.

" මගේ ප්‍රෙෂර් පෙති......?! "

කාමරය තුළ විසිරි තිබුණු බෙහෙත් පෙති මොනවදැයි අදුරගත්ත අම්මාට හීල්ලුනෙ ඉබේටම. සිදුව ඇති දේ දැන් පැහැදිලි. ඇයව රෝහල වෙත ගෙනියන්න අපි ඉක්මන් වුණේ කලබලයෙන්.

හදිසි අනතුරු ඒකකයට ඇයව ඇතුලත් කල අතර මම රෝහල් කොරිඩෝවේ වූ පුටුවක් මතට වැටුනෙ දෝතින්ම හිස බදාගෙන.

" මට හිතාගන්න බෑ කොහොමද මෙහෙම වුනේ.....

සිම්මි හෙමින් හෙමින්  හිත හදාගෙන වුන්නෙ......

කොහොමද එක පාරටම මෙහෙම දෙයක් වුනෙ අම්මේ...... "

කාලයත් එක්ක සිම්මි හෙමින් හෙමින් වෙනස් වෙන බව මට තේරුනා. ආයෙත් ඉක්මනින් එයාට පරණ සැහැල්ලු ජීවිතය ගෙවන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා නොකරපු දවසක් නැති තරම්. ඒත් එක පාරටම  හිත මේ තරමට බිදෙන්න මොකක්ද හේතුව.

" මටත් තේරෙන්නෙ නෑ සිනුදි.....

අන්තිමට බලද්දි සිම්මි කාමරෙට වෙලා පොතක් කියව කියව වුන්නා...

ඊට පස්සේ ටිකකින් තමයි කෑගහලා අඬන සද්දයක් ආවේ....

දොරත් ඇතුලෙන් ලොක් කරගෙන සෑහෙන්න වෙලාවක්  එයා අඬ අඬ වුන්නා....

සිම්මි කරදරයක් කරගනි කියලා මට බය හිතුන නිසයි ඔයාට කෝල් කලේ.... "

අම්මා සිද්දිය පැහැදිලි කරද්දි මට මතක් වුනෙ ආගත් සර්ගෙ සිතුවම. සිම්මිගෙ හදිසි වෙනස් වීමත් එක්ක ඒ සිතුවම සම්බන්ධ දෝයි මගේ හිත බය වුණා. මම වට පිට බැලුවෙ රෙහාන්ව හොයාගන්න. ඒත් පුදුමයි මටවත් නොකියම රෙහාන් යන්න ගිහින්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

සිම්මිගෙ තත්වය සාමාන්‍ය අතට හැරුනෙ වාසනාවට. අපි ඉක්මනින්ම ඇයව රෝහල්ගත කල නිසා ඇයගෙ ජීවිතය බේරගන්න වෛද්‍යවරුන්ට පහසුවක් වූ බවයි ඔවුන්ගෙ අදහස වුනේ. සිම්මිගෙ සෞඛ්‍ය  ඉක්මනින්ම යහපත් අතට පෙරලීම ගැන මාත් අම්මාත් හදවතින්ම සතුටු වුණා.

ඇයව සාමාන්‍ය කාමරයකට මාරු කලත් සිම්මිට තවමත් සිහිය ආවේ නෑ. වෛද්‍යවරයාගෙන් ලැබුණු කැදවීමකට අනුව අම්මා වෛද්‍යවරයා හමු වීමට ගිය අතර මම සිම්මි ලගටම වෙලා වුන්නෙ ඇයගෙ හිස අතගාමින්.

" සිම්මි........ "

ඇය අපහසුවෙන් දෑස් විවර කරන්නට සැරසෙත්ම මගේ මුහුණ සතුටු සිනහවකින් පිරුනා. ඇය දෑස් විවර කලත් ඒ ඇස් වල තිබුණු කලකිරිම වේදනාව මම තේරුම්ගත්තා. ඒ නිසාමයි ඇයට සාමාන්‍ය තත්වයට හැඩ ගැහෙන්න ඉඩ දීලා මං නිහඬ වුනේ.

" සීනූ..... "

ඇඳ විට්ටමට හේත්තු වුන ඇය ඊළග මොහොතෙ නැවතත් අඬන්න පටන්ගත්තා.

" මොකද මේ.....

සිම්මි නවත්තන්න ඔයාට ස්ට්‍රෙස් වෙන්න හොද නෑ...... "

" කොහෙද එයා..... "

ඇය ඇහුවෙ ඉකිබිදුම් මැද්දෙන්.

" කවුද..... ? "

" එයා....

අර චිත්‍රේ...... "

සිම්මිගෙ මුවින් පිට වුනෙ මගේ හිත බය වෙලා තිබුණු දේ. සිම්මි මේ ඉන්න තත්වයට ආගත් සර්ගෙ සිතුවමේ කුමක් හෝ සම්බන්ධයක් ඇති බවට මගේ ස්තුවිල්ල ස්තීර වුණා.

" ඔයා එයාව දන්නව ද..... ? "

හිත ශක්තිමත් කරගෙන මම එහෙම ඇහුවත් සිම්මිගෙ පිළිතුර දරාගන්න බැරි වෙයිද කියලා මට බයයි.

" දන්නව ද......??

දන්නවද නෙමේ..... එයා නිසා තමයි මම මෙච්චර විදවන්නේ......

ඔයා කොහොමද එයාව දන්නෙ සිනුදි....

ඇයි එයාව ආයෙත් මගේ ඇස් ඉස්සරහට අරගෙන ආවේ..... ඇයි...... "

සිම්මි දෝතින්ම මුහුණ වසාගෙන නැවතත් ඉකිබිදින්නට වුණා.

සිම්මිගෙ වචන එක්ක මට දැනුනෙ හුස්ම හිරවෙනව වගේ. මම ගොඩක් ආස කරන ආගත් සර්ගෙ ඒ දගකාර හිනාව මගේ ඇස් ඉස්සරහ ඇදිලා මැකිලා ගියෙ ඉබේටම. හිත ඇතුලෙ තෙරපෙන හැගීම් කදුළු වෙලා ඇස් වලින් ගලාගෙන යද්දි මම ඔහේ බලාගෙන වුන්නා.

ආගත් සර් ගැන මගේ හිතෙ තිබුණු විශ්වාසය, ගෞරවය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දාන්න සිම්මිගෙ ඒ වචන ටිකට පුලුවන් වුනා. පපුව මහ ගොඩක් රිදෙනවා. මම කොහොමද කියන්නෙ මම ආදරේ කලෙත් සිම්මිගෙ ආදරේට කියලා. මම කොහොමද පිළිගන්නෙ ආගත් සර්ගෙත් වීපි සර්ගෙත් වෙනසක් නෑ කියලා. මම කොහොමද මගේ හිතට මේ වෙන දේවල් තේරුම් කරන්නෙ..

මම පියවි සිහියට ආවේ කවුරුන් හෝ කාමරයෙ දොරට තට්ටු කරන විට. අම්මා වුණා  නම් ඇය දොරට තට්ටු කර කර නොසිටින බව මා දන්නවා. ඉතිං නිසැකවම මේ රෝහල් කාර්යමණ්ඩලයේ කෙනෙකු විය යුතුයි. දෑසින් වැටෙන කදුළු පිසලාගත් මා ඉක්මනින් දොර වෙත පියමනින්නට වුනා.

මම දොර විවර කලෙ සිම්මිටද කදුළු පිසලාගන්න යැයි සංඥා කරමින්. විවර කල දොර අභියස සිටියෙ මා හීනෙකින් හෝ බලාපොරොත්තු නොවුන කෙනෙක්.

" ආගත් සර්.....?? "

මල් පොකුරක් අතැතිව සිටි ඔහුට පිටුපසින් රෙහාන් සිටගෙන වුන්නා. ඒත් එක්කම මට මතක් වුනෙ සුළු මොහොතකට පෙර සිම්මිගෙ මුවින් පිට වූ වචන. ආගත් සර් ගැනද වීපි සර් ගැන මෙන් පිළිකුලක් සිත තුළ ජනිත වෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නෑ. මට දැනුනෙ මම රැවටුනා වගේ හැගීමක්. නෑ.. මාව රැවැට්ටුවා වගේ හැගීමක්.

" ඔයා මොකටද ආවේ..... "

මම ඇහුවෙ තරහින්.

" මට කතා කරන්න ඕනේ..... "

ආගත් සර්ගෙ අහංකාර බැල්ම පහතට නැඹුරු වෙලා තිබුණා. ඔහු අඩු ස්වරයෙන් කතා කලෙ දැනටමත් වරද පිලිගෙන වගේ.

" කාත් එක්ක ද...... මොනව ගැන ද....

ආ...... මොකටද ආවේ...... "

මගේ හඬ එන්න එන්නම උස් වුණා. මට හිතුනෙ මට මාවම පාලනය කරගන්න බැරි වෙයි කියලා.

" සිනුදි.... මට කතා කරන්න ඕනේ....

ප්ලීස් මට චාන්ස් එකක් දෙන්න හැමදේම පැහැදිලි කරන්න....... "

අත් දෙකත් බැදගෙන මම කට කොනින් හිනා වුනෙ තව මොනවා පැහැදිලි කරන්නද කියලා අහන්න වගේ.

" සිනුදි...... කවුද ආවේ..... "

සිම්මි දොර පැත්තට එබෙනව මම බලාගෙන. ආගත් සර්ගෙ කටහඩ ඇයට යම් තරමකට හෝ හුරුපුරුදු ඇති.

" කවුරුත් නෑ....... "

එහෙම කියලා මම හැදුවෙ දොර වහලා දාන්න. ඒත් මට එයට ඉඩ නොදුන්න ආගත් සර් මාවත් තල්ලු කරගෙනම කාමරයට ඇතුලු වුනා. ආගත් සර්ගෙ මුහුණ දුටු පමණින්ම සිම්මිගෙ දෑස් විසල් වෙනව මම බලාගෙන.

" මොකද වෙලා තියෙන්නේ ආ....

සෙකියුරිටි එකට කෝල් කරන්න කලින් කරුණාකරලා මෙතනින් යන්න...."

මම කියවන් ගියෙ වේගයෙන්. තරහින් කියවන මගේ කතාව නතර වුනෙ සිම්මිගෙ හඬින්.

" සිනුදි...

එයාට ඉඩ දෙන්න.... "

" සිම්මි මොනාද කියන්නෙ...?? "

" ප්ලීස්..... "

සිම්මිගෙ කාරුණික ඉල්ලීම නිසාම මම නිහඩ වුණා. ඒත් තව දුරටත් ඒ කාමරය ඇතුලෙ ඉන්න හිත හදාගන්න පුලුවන්කමක් මට තිබුනෙ නෑ. ඉතිං තරහින්ම දොරත් සද්දෙට වහගෙන මම එළියට ආවේ මගේ හිත මටම පාලනය නැති තැන. කොරිඩෝවේ වූ පුටුවට වැටුණු මම හැඩුම් පාලනය කරගන්න උපරිම උත්සහයක යෙදුනා. ආගත් සර්වත් සිම්මිවත් තනි කරලා රෙහාන් ද කාමරයෙන් පිටතට ආවත් ඔහු මට කතා කරන්න උත්සහ කලෙ නෑ. ඒත් ඔහු මා ගැන අවදානයෙන් සිටි බව නම් මට විශ්වාසයි.

‍තොල් සපා ගනිමින් දෑගිලි පටලමින් මම නොසන්සුන් බව සමනය කරගන්න උත්සහ කලා. හිත කිවුවෙම දොර ඇරගෙන ඇතුලට යන්න කියලා, ඒත් මගේ අහංකාරය තරහව මට එයට ඉඩ දුන්නෙත් නෑ.

විනාඩි ගනනකට පසු රෝහල් කාමරයෙ දොරින් ආගත් සර් පිටතට එද්දි බිත්තියට හෙත්තු වෙලා වුන්න රෙහාන් කෙලින් හිටගත්තා. ආගත් සර්ගෙ අඩි හැරවුනෙ මගේ පැත්තට. ඒත් ඒ වෙද්දිත්  ඔහු දෙස නොබලා ඉන්න ඔහුව ගනන් නොගෙන ඉන්න තැනට මම මගේ හිත ශක්තිමත් කරගෙන අවසන්. ආගත් සර් මගේ ලගට ඇවිත් ඉඳගත්ත ද මම කිසිදු වෙනසක් නොපෙන්නවා වුන්නා.

" සිනුදි පොඩ්ඩක් කතා කරමු ද...

මම දන්නව ඔයා තරහින් ඉන්නෙ කියලා..."

මම උන්නෙ ඔහු කියන කිසිවක් නෑසුන ගානින්. මම කෙතරම් ඔහුව ප්‍රතික්ෂේප කලත් ඔහු කතාව නතර කලෙ නෑ.

" සිනුදි මේ අහන්න මම දන්නව මගේ අතින් වැරැද්දක් වුණා....

ඒත් ඔයා දන්නව නේ අයිෂාගෙ ප්‍රශ්නෙ නිසා මම උන්නෙ හොද සිහියෙන් නෙමේ...

එදා සිම්මිව ක්ලබ් එකට අරගෙන ගියෙත් අයිෂාට රිද්දන්න...

මං හිතුවෙ නෑ මේක මේ තරම් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා....

අනික....

අනික  සිම්මිට බලාපොරොත්තු දෙන්න මට කිසිම උවමනාවක් තිබුනෙ නෑ.... "

මේ තරම් වෙලා ඔහුව ගනන් නොගෙන වුන්න මම ඔහු වෙත හැරුනෙ වේගයෙන්.

" බලාපොරොත්තු දෙන්න ඕන වුනේ නැද්ද.....

එහෙනම් මොකටද ඒ ළමයට මැසේජ් කලේ....

මොකටද බලාපොරොත්තු ඇති වෙන විදියට හැසිරුනේ.....

ඔයා ඇයි ඒ තරම් ලොකු සෙල්ලමක් කලේ.....

ඒ ළමයට බලාපොරොත්තු දීලා අන්තිමට වෙන කෙනෙක් අතේ චෙක් එකක් එවපුවම හරි ද.......

අහ්.... ඒක හරි ද.....

එතකොට සේරම විසදෙනව ද.....

සිම්මි ආදරේ කලෙ ඔයාගෙ මහ ලොකු චෙක් එකට නෙමේ ආගත් සර්.....

මම ඇස් දෙකෙන්ම දැක්කා ඒ ළමයා විදවපු හැටි....

ඔයාට කෙනෙක්ගෙ හැගීම් චෙක් එකකට සීමා කරන්න පුලුවන් ද....

දන්නව ද....

මගේ හිතේ සර් උන්න තැන සම්පූර්ණයෙන්ම අද වෙනස් වුණා....

ආගත් සර් මට දැන් ඔයාව පිළිකුල්.... "

ඇස් වල කදුළු දඟ කරද්දි හිත ශක්තිමත් කරගෙන ඒ වචන කියලා දාපු මම ආයෙත් අනෙක් පස හැරුනෙ ඔහුගෙන් මුහුණ හංගගන්න. ඊටත් වඩා ඒ මුහුණ දිහා බලන් ඉද්දි මගේ හිත රිදෙනවා වැඩි.

ඊට පස්සේ තව එක වචනයක්වත් කතා නොකරපු ආගත් සර් නැගිටලා යන්න ගියෙ රෙහාන්ට ද රවාගෙන.

" සිනුදි ඔයාට ලොකු වැරදීමක් වෙලා.... මුලින්ම කතාව අහලා ඉන්න..... "

රෙහාන් උත්සහ කලෙ ආගත් සර්ගෙ කතාව සම්පූර්ණ කරන්න විය යුතුයි.

" මට අහන්න ඕනෙ නෑ රෙහාන්.....

ප්ලීස් ඔයත් ඔයාගෙ බොස්ගෙ පස්සෙම යන්න.....

මං දන්නවා ඔයත් මේ දේවල් මුල ඉදන්ම දැනගෙන වුන්නා කියලා.... "

තරහින්ම පුටුවෙන් නැගිටගත්ත මම ඔහේ කොරිඩෝව දිගේ ඉදිරියට ඉක්මන් අඩි තිබ්බෙ රෙහාන්ව මඟහරින්න ඕන උන නිසා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම ආයෙත් සිම්මිගෙ කාමරෙට ආවේ කදුළු හිදුනට පස්සෙ. කිසිවක් නොවුන ගානින් මම කාමරයට ඇතුලු වුනෙ බොරු හිනාවකින් මූණ පුරෝගෙන.

" අම්මා තාම ආවේ නැද්ද..... "

කලින් සිද්දිය ගැන කතා කරන්න මට ඕන වුනෙ නෑ. ඒ නිසාම මම අම්මා ගැන ඇහුවේ ඇය තවමත් කාමරයට පැමිණ නොතිබුණු නිසා.

" ඩොක්ටර් කිවුවා මාව ඩිස්චාජ් කරනව කියලා......

ආන්ටි බිල් එක ගන්න යන්න ඇති.... "

සිම්මිගෙ අතින් අල්ලගෙනම මම ඇය ලගින් ඉදගත්තා.

" දැන් කොහොමද..... "

මම ඇහුවෙ සාමාන්‍ය ස්වරයෙන්. ඇය හොදින් කියන්න හිස සැලුවෙ වචනයෙන් පිළිතුරු නොදි.

" සිනුදි....

ඔයා එයාට ආදරෙ කරනවද.....? "

සිම්මිගෙ ඒ ප්‍රශ්නෙට මගේ මුලු ඇඟම සීතල වුණා. මගේ දෑස් විසල් වුනෙ ඉබේටම.

" කාට ද..... ? "

උත්තරෙ දැන දැනම වුනත් මම ඒ ප්‍රශ්නෙ  ඇහුවා.

" ඔයාගෙ බොස් ට......

ආගත් සර්ට..... "

සිම්මි මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන එහෙම අහද්දි මම ඉක්මනින්ම ඇස් අහකට ගත්තා.

" පිස්සු ද.....

එයාද ඔයාට කිවුවේ... එයා මගේ බොස් කියලා..... "

මම කතා කලෙ සිම්මිගෙන් මූණ හංගගෙන.

" හ්ම්..... ඔව්.....

සිනුදි....

මට සමාවෙන්න.... "

සිම්මි එහෙම කිවුවේ මගේ අත තවත්  තද කරමින්.

" මොනවට ද.....? "

මම ඇහුවෙ පුදුමයෙන්.

ඇය පිළිතුරු වෙනුවට ලස්සන හිනාවක් මුහුණ මත ඇදගත්තා. ඒ ලස්සන හිනාව තුළ තිබුනෙ සතුටක් ද වේදනාවක් ද පරිත්‍යාගයක් ද කියන දේ මට තේරුනෙ නෑ.

ඒත් එක්කම අම්මා කාමරයට ආවේ කරදරයෙන්.

" පුදුම වැඩක් වෙලා නේ.... "

අම්මා කතා කලෙ විශ්මයෙන්.

" ඇයි අම්මා මොකද වෙලා තියෙන්නෙ..... "

අම්මගෙ විශ්මයට හේතුව දැනගන්න මම උත්සුක වුණා.

" කවුද කෙනෙක් අපේ හොස්පිට්ල් බිල් එක පේ කරලා.....

කවුද දන්නෙ නෑ.... "

මමත් සිම්මිත් මුහුණට මුහුණ බලාගත්තෙ සිදුව ඇති දේ තේරුම්ගෙන.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter