Back
/ 43
Chapter 25

Chapter 25

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි පස් වැනි කොටස 🌙

................................................................

" සිනුදි.....

ලන්ච් බොක්ස් අරන් යන්න....

හෙට එද්දි නූඩ්ල්ස් අරන් එන්න...

මොකද මම කැමති නූඩ්ල්ස් වලට... "

ඒ වචන ටික ඉක්මනින් කියලා දැම්ම ආගත් සර් මුකුත් නොවුන ගානට බැල්ම ලිපිගොනු මත නවත්තගත්තා.

හෙට එද්දි නූඩ්ල්ස් අරන් එන්න... ඒ වචන මගේ දෙසවන් අතර දෝංකාර දෙද්දි මම උන්නෙ පියවි සිහියෙන් නෙමේ. ඒ කියන්නෙ සර්ට හෙටත් මාත් එක්ක කෑම ගන්න ඕන වෙලා ද....

පියවි සිහියට ආව තත්පරයෙම මම රතු වුණ මුහුණ හංගගෙනම  කාර්යාල කාමරයෙන් පිටතට දිවුවා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මගේ පරණ චිත්‍ර ටික මම එළියට ගත්තෙ නිවාඩු දවසෙ කාමරය සරසන්න හිතාගෙන. ඒක දවස තිස්සෙම කාමරයට වෙලා ඉන්න සිම්මිගෙ හිතට  යම්තරමකට හරි සහනයක් වෙයි කියලා මම හිතුවා.

" මොනවද කරන්නේ.... "

කාමරයට ආව සිම්මි එහෙම ඇහුවෙ මගේ ඇඳ මත අතුරලා තිබුණු රාමු කරන ලද චිත්‍ර මත ඇස් තියාගෙන.

" මේවා කාමරයෙ එල්ලන්න කියලා හිතුවේ.....

මට උදව් කරනව ද..... "

මම හිනා වෙලා ඇහුවෙ සිම්මි ආයෙත් නින්දට යයි කියන බයට. ඇය හිනා වෙලා හිස වැනුවෙ හා කියන්න.

" මේ පේන්ටින් එක  අර බිත්තියට හොදයි නේද....? "

හිස් බිත්තියට අත දිගු කරපු මම චිත්‍රය මානලා බැලුවෙ එය එතනට ගැලපෙනව ද කියලා.

" හ්ම්.... ඔව් ගැලපෙනවා....

එතනට ලස්සනට තියෙයි....

ඒක නෙමේ සිනුදි... ඔයාට චිත්‍ර අදින්න වෙන මාතෘකා තිබුනෙම නැද්ද... සිහින කුමාරයා ඇරෙන්න..... "

සිම්මිගෙ කතාවට මම මූණ රතු කරගත්තා. එයා කියන කතාවෙත් වැරැද්දක් නෑ. රාමු කරලා තිබුණු හැම චිත්‍රයක්ම සම්බන්ධ වුනෙ එයාට..  මගේ සිහින කුමාරයාට.

" එයා දැන් කොහෙ ඉන්නවද.. මොනවා කරනවද දන්නෙ නෑ.....

අඩුම තරමෙ එයාට මාව මතකවත් නැතුව ඇති.....

බොරු කියන්නෙ මොකටද... දැන් එයාව දැක්කොත් නම් මටත් එයාව අදුරගන්න බැරි වෙයි......  "

" ඔයාලා ආයෙත් හම්බවුනේම නැද්ද..... "

" තාත්තගෙ ෆියුනරල් එකෙන් පස්සේ අපි ආයෙත් හම්බවුනේ නෑ..... "

මගේ සිහින කුමාරයා වුන මගේ හොදම යාලුවා වුන එයාව මට මඟහැරුණ එක ගැන හිතෙ පුංචි දුකක් නැතුවම නෙමේ.

සිම්මිගෙ අතේ තිබුණු සිතුවමට මම එබුනෙ ඇයගෙ උරහිසට උඩින්. මගේ මුහුණට සිනහවක් ඇදුනෙ ඒ සිතුවමට අදාල සිදුවීම මතක් වෙලා.

වත්තෙ බංගලාවේ ගල් පඩිය උඩ ඉදගෙන ඈත වතු යාය දිහා බලාගෙන ඉන්න අපි හරිම ආසයි. සීතල සුලඟ ගත සිපගෙන ඈතට ඇදිලා යද්දි අපේ හිනා හඬවල් ගල් පඩිය ලග දෝංකාර දෙනවා. එයා ගොඩක්ම කැමති ඈත වතුයාය දිහා බලාගෙන සීතලෙ දුම් දාන තරම් රස්නෙන් නූඩ්ල්ස් කන්න. බංගලාවේ වැඩට උන්න ආය අම්මටත් රසට කෑම හදන්න පුලුවන්. ඒ නූඩ්ල්ස් වල තරම්  රසයක් තරු පහේ හෝටලයකදිවත් මට දැනිල නෑ.

ඒ සිතුවමේ ඇදිලා තිබුනෙ එයත් මමත් බංගලාවේ ගල් පඩිය උඩට වෙලා උණු උණුවෙම නූඩ්ල්ස් කන දඟකාර මොහොතක්.

" ඔයාගෙ සිහින කුමාරයා වැඩිපුරම කැමති නූඩ්ල්ස් වලට වගේ.... "

සිම්මි එහෙම කිවුවේ හිනා වෙවි. ඒ සිතුවම් දකිද්දි මට අමතක වෙලා තිබුණු දේවල් පවා මතක් වුණා. තත්පර කිහිපයකින් ඒ මතකයන් මගේ ඇස් ඉස්සරහ ඇදිලා මැකිලා ගියෙ හරි අපූරුවට.

" ඔයා දන්නවද..... එයාට හෙන කැත පුරුද්දක් තිබුණා.....

උණු උණුවෙම නූඩ්ල්ස් කාලා එයාට හැමදාම කෝපි බොන්න ඕනේ... නිකම් නෙමේ චිප්ස් එක්ක.... "

" ඊයා....

කෝපි එක්ක චිප්ස්....

මොන ජාතියෙ කෑමක් ද ඒ..... "

සිම්මි එහෙම ඇහුවෙ මූණත් ඇඹුල් කරගෙන.

" ඒක නෙ කිවුවේ.... ඒක හෙන කැත පුරුද්දක් කියලා..... "

මම හිනා වෙවි එහෙම කියද්දි සිම්මිගෙ මූණට හිනාවක් ආවේ දවස් ගානකට පස්සේ.

" ඇත්තටම ඔයාට එයාගෙ නම මතක නැද්ද...... "

ඇස් පුංචි කරගෙන සිම්මි කතා කලෙ කුතුහලයෙන්.

මම බිම බලාගෙන හිස දෙපසට සෙලවුවේ මට ඔහුගෙ නම මතක නැති බව කියන්න. මොන තරම් මතක් කරන්න උත්සහ කලත් මගේ මතකය තුළ ඔහුගෙ නම ලියවිලා තිබුනෙ නෑ.

" සෙල්ලම් කරද්දි මම එයාට කතා කලේ ඒජන්ට් ඒ කියලා....එයා මට කතා කලෙ ඒජන්ට් සී කියලා...

අපි ඇත්ත නම් වලින් කතා කලේම නෑ... සමහරවිට ඒ නිසා වෙන්න ඇති මට එයාගෙ නම මතක නැත්තෙ..... "

මම කිවුවේ දුකින්.

එයාගෙ නමවත් මතක තිබුණ නම් කියලා මට හිතුනු වාර අන්නතයි. අද තාක්ෂණයත් එක්ක මට ලේසියෙන්ම එයාව හොයාගන්න තිබුණා.

" සිම්මි පොඩ්ඩක් එනව ද.... "

" ඉන්න එන්නම්... "

අම්මා කෑම කාමරයෙ ඉදන් සිම්මිට කතා කරද්දි ඇය ඒ පැත්තට දිවුවේ සිතුවම මගේ අතින් තියලා.

ඒ සිතුවම දිහා බලාගෙන කල්පනාවකට වැටුන මට තවත් පුදුම දෙයක් මතක් වුනෙ අහම්බයෙන්.

" ආගත් සර්....? "

ඔව්.. මගේ සිහින කුමාරයාට වගේම එයාටත් හරි අමුතු පුරුදු තියෙන්නෙ. චිප්ස් එක්ක කෝපි එතකොට නූඩ්ල්ස්..

ඒ දෙන්නාගෙ අමුතු සමානකම් තියෙනව කියලා මම තේරුම්ගත්තෙ ඒ වෙලාවෙ දි.

පොත් මේසයෙන් කොලයකුත් පෑනකුත් අතට ගත්ත මම ඇඳ විට්ටමට හේත්තු වුණා. මගේ ඒජන්ට් A කඩවසම් කුමාරයෙක් වුණාට පස්සෙ මොන වගේ ඉදිද කියලා මම හිතින් මවාගන්න උත්සහ කලා.

ඇස් , කට, නහය මම සිතුවම් කලෙ මගේ සිහින කුමාරයාගෙ ලක්ෂණ අනුව.

" එයා දැන් රැවුල වවලා ඇති නම් මොන වගේ ඇති ද.... "

මුහුණෙ හැඩය මම සිතුවම් කලෙ ඝණව වැඩුනු රැවුලක් ද ඇතිව. අද වෙද්දි පිරිමි ළමයි  අතරෙ වඩාත්  ප්‍රසිද්ධ විලාසිතාවකට කොන්ඩය සිතුවම් කල මා සම්පූර්ණ කරන ලද සිතුවම දෙස බැලුවෙ පුදුමයෙන්. මගේ සිතුවම තුළ තිබුණු ඒ රුව දුටු පමණින්ම මගේ දෑස් විසල් වුණා.

" අහ්...!!

ආගත් සර්.....??

මම මොකටද එයාව ඇන්දේ....

දැන් උඹට  හොදටම පිස්සු වගේ සිනුදි... "

මම මටම කියාගත්තෙ හිසට තට්ටු කරගනිමින්මයි.

මා සිතුවම් කරලා තිබුනෙ ආගත් සර්ගෙ රුව මිස මගේ මිතුරාගෙ රුව නොවේ. මම ඔලුවට වරක් තට්ටු කරගත්තේ මටම හිනා වෙවි. කවුරුත් දකින්න කලින් සිතුවම පොතක් තුළට දැමු මා මටම තරවටු කරගත්තේ දැනෙන හැගීම් මගේ පාලනයෙන් මිදුන මොහොතෙ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

හත් වෙනිදා උත්සවය අවසානයෙ මා ඉල්ලා අස්වීමට ගත් තීරණය  තවමත් මා අමතක කර නෑ. ඉතිං ඒ දවස වේගයෙන් ලංවෙත්ම මගේ හිත ඔනාවටත් වඩා දුකින් පිරුණා.

මගේ ජීවිතෙ අමාරුම කාලෙ මට පුංචිම හරි සහනයක් ගෙනත් දුන්න මේ තැනට මම මොනතරම් ලොකු වංචාවක් ද කලේ. ඒ වැරැද්ද නිවැරැදි කරන තුරු විතරයි මට කාලය ඉතුරු වෙලා තිබුනෙ. ඉතිං හත්වෙනිද උත්සවයෙන් පස්සෙ මම මටම  දිලා තිබුණු කාලය ඉවර වෙනවා.

ඒත් හෙට උත්සවයෙන් පස්සෙ මම ආයෙත් මේ ආයතනයට එන්නෙ නෑ කියන තීරණය මොන තරම් හිත රිදවනවද කියලා මම තේරුම්ගත්තෙ ඒ දවස එන්න එන්නම ලං වෙද්දි. ඇත්තටම මම දුක් වෙන්නෙ මේ ආයතනය දාලා යන්න බැරිකමට ද... එහෙමත් නැත්නම් ආගත් සර්ව ආයෙත් දකින්න ලැබෙන්නෙ නෑ කියන හැගීමට ද..

ආයතනයේ හැම අංශයක්ම වගේ හෙට දවසේ උත්සවය නිසා කලබලයෙන්.  කල යුතු තවත් රාජකාරි බොහොමයක් ඉතුරුව තියෙද්දිත් මම මුලු ආයතනය වටේම ඇවිද්දෙ හිස් හැගීමකින්. හිමාෂා වගේ මිතුරියක් මට මුණගැහුනෙ මේ ආයතනය නිසා. අපේ මතකයන් මේ හැම තැනම තියෙනවා. විදුලි සෝපානය භාවිතා නොකරම මම පඩිපෙළ දිගෙ උඩට ආවේ ඒ දේවල් මතක් කරමින්.

" සිනුදි.... ! "

කරන්න ඕන මොනවද කියන දේ ගැන හරි හැටි වැටහීමක් නැතුව ඔහේ ඉදිරියට අඩි තිබ්බ මම නතර වුනෙ හිමාෂාගෙ හඬට.

" මොන මගුලක් ද කරන්නේ...

මම කොයි වෙලාවෙ ඉදන් ද උඹව හොයන්නෙ....

අරහෙ වැඩ ගොඩ ගැහිලා...

බොසා ඒ අස්සෙ අපේ ඔලුව කන්න හදනවා..... "

හිමාෂා එක හුස්මට කියවගෙන යද්දී මම හැගීමක් නැතුවම ඇය දිහා බලාගෙන වුන්නා.

" සිනුදි.... උඹට මොකද වෙලා තියෙන්නේ.... "

මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන ඇය මාවත් ඇදගෙන ආවේ ලිපිගොනු කාමරයට. අපි දෙන්නගෙ රහස් සාකච්ඡා ගොඩක් තිබුනෙ මේ ලිපිගොනු කාමරය ඇතුලෙ.

" මොකද වුනේ.....

ප්‍රශ්නයක් ද.....

ආයෙත් අර වීපිකාරයා කරදර කරන්න ආවද.... "

හිමාෂා ඇහුවෙ මගේ දෙවුරෙන් අල්ලාගෙන.  ඇයගෙන් බැනුම් අහන්න වෙන බව දැනගෙනම මම ඇයට ඇත්ත කියන්න හිත ශක්තිමත් කරගත්තා.

" නෑ හිමාෂා....

මම හෙට උත්සවයෙන් පස්සෙ රිසයින් වෙනවා....

ඔයා දන්නව නේ...

මම තවදුරටත් මේතන ජොබ් එක කරන්න සුදුසු නෑ කියලා.... "

මම ඇයගෙ ඇස් දිහා නොබලාම එහෙම කියද්දි ඇය ඕනාවටත් වඩා කලබල වුණා.

" මොකක්ද කියන්නේ.....

රිසයින් වෙන්න පිස්සු හැදිලද....

ඒ ප්‍රශ්නෙ විසදුනා නේ සිනුදි.....

හැම දෙයක් හොදින් සිද්ද වෙද්දි ඇයි ඔයා ඔයාටම දඬුවම් දීගන්න හදන්නේ..... "

" ඒ ප්‍රශ්නෙ විසදුනෙ නෑ හිමාෂා.... කොහොමද ඒක විසදුනෙ... "

" ඇයි ෆැක්ට්රි එකේ මැනේජර්....?

ඒ මනුස්සයා තමයි හැමදේටම වගකියන්න ඔනෙ..... "

" නෑ හිමාෂා..... ඒ මැනේජර් වගකියන්න ඔනෙ එයා කරපු දේවල් වලට.... ඒත් අපි දෙන්නම දන්නවා මේ ප්‍රශ්නෙදි සම්පූර්ණයෙන්ම වගකියන්න ඔනෙ මම....

මම ම විතරයි...... "

" මට තේරෙන්නෙ නෑ....

ඔයාගෙ තීරණය වෙනස් වෙන්නෙ නැද්ද සිනුදි....  "

නිහඬවම බැල්ම පහතට හරවාගෙන මම හිස වැනුවෙ නෑ කියන්න.

" හරි එහෙනම්.... ආගත් සර් සමාව දුන්නොත්....

ඔය දිගටම ඉන්නව ද.... ? "

හිමාෂා ඒ කියන්නෙ වෙන්න පුලුවන් දෙයක් ගැන නෙමේ. මට මං ගැනම දැනුන අනුකම්පාව කෙටි සිනහවක් වෙලා මගේ මුහුණ මත ඇදුනා.

" මොන දේ වුනත් අපි දෙන්නගෙ යාලුකම හැමදාම තියෙයි..... "

මට ඕන වුනෙ කතාව වෙන පැත්තකට හරවන්න. හිමාෂා මගේ අත තදින් අල්ලගත්තෙ ඇස් වල කදුළු පුරෝගෙන. ඒ මොහොතෙ මම අඬන්නෙ නැතුව ඉන්න ලොකු උත්සහයක් ගත්තා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මැයි හත කියන්නෙ ආයතනයක් විදියට අපිට වැදගත්ම දවසක්. අපේ අලුත් නිශ්පාදනය වෙළදපලට හදුන්වාදුන්නෙ අද. හැම දෙයක්ම හිතපු විදියටම නෑ  ඊටත් වඩා  හොදින් සිද්ද වුණා. ඒ අපි හැමෝගෙම කැපකිරීම් නිසා. ප්‍රධාන උත්සවය අමතා ආගත් සර් කරපු කතාවෙදි අපි හැමෝටම ඔහු ස්තූතියි කරන්න අමතක කලෙ නෑ.

හැම දෙයක්ම සැලසුම් කරපු විදියටම සිද්ද වුන නිසා හැමෝම වුන්නෙ සතුටින්.

" සිනුදි..... "

උත්සවය අවසානයෙ ශාලාවෙන් පිටතට යන්න සුදානම් වූ මා ප්‍රධාන දොර අභියස නතර වුනෙ ආගත් සර්ගෙ හඬට.

" සර්... "

ඔහු මගේ ඉස්සරහට ඇවිත් හිටගද්දි හැමදාමත් වගේ ඒ ඇස් දිහා බලන්න මම පැකිලුනා.

" සිනුදි අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් ද......

ඇත්තටම මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..... "

ආගත් සර් කිවුවේ මගේ හිතේ තිබුණු කතාව. මටත් ඕන වුනෙ එයත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න.

මගෙන් උන වැරැද්ද එයාට කියලා සමාව ගන්න අවස්ථාවක් ලැබුන තුරුයි මමත් බලාගෙන වුන්නෙ.

නිදහසේ කතා කරන්න ඕන කියන අදහසට මා කැමති බව කියන්න කට හදනවත් එක්කම මගේ දුරකථනය නාද වුණා.

" සොරි සර්... මම මේකට ආන්ස්වර් කරලා ඉන්නද.... "

ඇමතුම ලැබුනෙ අම්මගෙන් නිසා මට එයට පිළිතුරු දෙන්න ඕන වුණා. ආගත් සර් මට අවසර දිලා පසෙකට වෙද්දි මම ඇමතුමට සම්බන්ධ වුණා.

" හෙලෝ සිනුදි..... ඉක්මන් කරලා ගෙදර එන්න.....

සිම්මිට කරදරයක්.... "

මම ඇමතුමට සම්බන්ධ වූ මොහොතෙම අම්මා කියවගෙන ගියෙ කලබලයෙන්.

" අම්මා.... ඇයි සිම්මිට මොකද වුනේ.... "

මට දැනුනෙ හුස්ම හිර වෙනව වගේ.

" ඉක්මනට ගෙදර එන්න සිනුදි....

මේ ළමයා මොනවා කරගෙන ද මන්දා මට බය හිතෙනවා.... "

අම්මා ඇමතුම විසන්ධි කලේ ද කලබලයෙන්.

" සිනුදි ප්‍රශ්නයක් ද..... "

මම නොසන්සුන් වෙද්දි ආගත් සර් මට ලං වුණා.

" සොරි සර්...

මට යන්න වෙනවා... සොරි....... "

මම අඬ අඬම පාරට දිවුවේ හොද මනසකින් නොවේ.  පාරට ඇවිත් පිස්සුවෙන් වගේ දෙපැත්ත බැලුවත් ත්‍රීවීලර් එකක් වත් මට හොයාගන්න පුලුවන් වුනෙ නෑ. හිත හොදටම නොසන්සුන්. එක මොහොතක් එක තැනක ඉන්න බැරි තරමටම.

ත්‍රීවීලර් එකක් හෝ එන තුරු නොසිට මම පාරෙ ඉස්සරහට දිවුවේ තිබුණු නොසන්සුන්ව බව නිසාමයි. ඒ අතරෙ මගේ ඉස්සරහට ඇවිත් නතර වුනෙ ආගත් සර්ගෙ මෝටර් රථය.

රියදුරු අසුනෙ සිටි රෙහාන් වීදුරුව පහත් කරලා මට කතා කලා.

" සිනුදි එන්න....."

රෙහාන් එහෙම කියන්නත් කලින්ම මම මෝටර් රථයේ ඉදිරිපස  අසුනට බර වෙලා  අවසන්.

" තැන්ක් යූ රෙහාන්....

ඔයාව ආගත් සර් ද එව්වේ..... "

මම ඇහුවෙ ආරක්ෂිත පටිය පළදමින්.

" ඒක වැදගත් නෑ නේද......

දැන් ඔයාට ඕනේ ඉක්මනින් ගෙදර යන්න නේ...... "

මම හිස වැනුවෙ ඔව් කියන්න.

" ඉක්මනට යමු....

ප්ලීස්..... "

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter