Back
/ 43
Chapter 33

Chapter 33

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් තුන් වැනි කොටස 🌙

................................................................

මට දැනුනෙ හිස් බවක්. මං ගැනම ලොකු කලකිරිමක්.

සිම්මිත් රෙහානුත් එකතුව අම්මාව මිහිදන් කල තැන පහන් පත්තු කරමින් මල් වලින් සරසමින් වුන්නා. අත්තම්මා පැත්තකට වෙලා යාච්ඤා කරනවද කොහෙද.

මේ හැම දෙයක් දිහාම ආගත් සර්ගෙ උරහිසට හිස තියාගෙන මම  බලාගෙන වුන්නා. ආගත් සර් ලගදි ආරක්ෂාවක් වගේම මට ලොකු ශක්තියකුත් දැනෙනවා. ඒ නිසා වෙන්න ඇති මට මේ හැමදේම දරාගන්න පහසු වුනේ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අපි උන්නෙ අපේ ගෙදර. නිවසට ඇතුලු වෙද්දිම දැනුනෙ ලොකු පාලුවක්.

මුලු ගෙදරම කනපිට හැරවිලා. ගෙදර පිළිවෙළට තිබුණු එක තැනක්වත් තිබුනෙ නෑ. විසිරිලා තිබුණු බඩු භාන්ඩ අතරින් මමත් සිම්මිත් නිවස තුළට අඩි තිබ්බා.

ආගත් සර් එක්ක රෙහාන් මිදුලට වෙලා සාකච්ඡාවක. මෝටර් රථය තුළම අත්තම්මාට නින්ද ගිහින්. අපි ඇයගෙ නින්දට බාදා කලෙ නෑ.

" සිනුදි මම බඩු ලෑස්ති කරන්නම්....

ඔයා කරදර වෙන්න එපා.... "

සිම්මි කිවුවේ මාව සනසන ස්වරයෙන්.

" ඕනම කරන දේවල් ටික විතරක් ගන්න........ "

සිම්මිට එහෙම කියලා මම අඩි තිබ්බෙ අම්මාගෙ කාමරය දෙසට. ඇයගෙ නිසල සිරුර හමු වී තිබුනෙත් ඒ කාමරයෙන්.

ලොකු හුස්මක් ගත්ත මම ඒ කාමරයට ඇතුලු වුණා. ටයිල් පොළව පුරාම විසිරිලා තිබුණු ලේ බිංදු වගේම කාමරයෙන් හමන දුගදත් නිසා ඒ තුළ එතරම් වෙලාවක් මට ඉන්න පුලුවන් වුනෙ නෑ.

කබඩ් එක යටට විසික් වෙලා තිබුණු ඇයගෙ දුරකථනය මා දුටුවේ අහම්බෙන්. ඇයගෙ  දුරකථනයද රැගෙන මම කාමරයෙන් පිටතට ආවේ ඒ තුළ තවත් රැදි සිටින්න හිත ඉඩ නොදුන් තැන.

ඒ දුරකථනය තවමත් ක්‍රියාත්මකයි. එය ක්‍රියාත්මක කල සැනින් විවෘත වුනෙ කෙටි පණිවිඩය ගොනුව. එහි තිබුනෙ ඇය විසින් ලියන ලද කෙටි පණිවිඩයක්. නමුත් කුමක් හෝ හේතුවකට ඇයට එය අදාල කෙනාට යවන්න පුලුවන් වෙලා නෑ.

" උදව් කරන්න...... "

ඒ කෙටි පණිවිඩය කියවූ මමගේ සිතට දැනුනෙ අමුත්තක්. ඇයට සියදිවි නසාගන්න ඕන වුනා නම් තවත් කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න උත්සහ කරන්නෙ කුමකට ද.

ඉක්මන් වුන මා දුරකථනයට ලැබි තිබුණු කෙටි පණිවිඩ, ඇමතුම් සියල්ලම අධ්‍යනය කලා.

මරණ පරීක්ෂණයට අනුව ඇය මියගොසින් ඇත්තෙ නව වැනිදා. ඇයට අවසන් දුරකථන  ඇමතුම ලැබී තිබුනේද නව වැනිදා. විශේෂම දේ ඇයට අවසන් ඇමතුම ලැබි තිබුනෙ වීපි සර්ගෙන්. එදින පමනක් නොවේ. අපි නිවස හැර ගිය දින පටන් නව වැනිදා වන තුරුම ගනන් කල නොහැකි තරම් ඇමතුම් ප්‍රමාණයක් අම්මාගෙ දුරකථනයට වීපි සර්ගෙන් ලැබි තිබුණා.

කුමක් හෝ වරදක් සිදුව ඇති බව මගේ හිත කියද්දි මම හොදටෝම කලබල වුණා. මට හිතුනෙම අම්මාගෙ මරණයට වීපි සර්ගෙ සම්බන්ධයක් ඇති බවයි.

දුර දිග නොහිතාම මම අම්මාගෙ දුරකථනයෙන්ම වීපි සර්ට ඇමතුමක් ලබා ගත්තා. මට ඕන වුනෙ ඔහුගෙ හැසිරීම කෙබදු දැයි දැනගන්න.

කිහිප වරක්ම නාද වූ දුරකථනයට අවසානයෙ වීපි සර් පිළිතුරු දුන්නා.

" බේබි ඩෝල්..... "

මා වචනයක්වත් කතා නොකරම ඔහු මා හදුනගත්තා. මට විදුලියක් වැදුනාක් මෙන් මුලු ගතම හිරිවැටිලා ගියෙ ක්ෂනිකවම ඔහු මා හදුනගත්ත මොහොතෙ.

මා කිසිවක්ම නොපවසන තැන ඔහු නැවතත් කියවන්න පටන් ගත්තා.

" අම්මට මොකද වුනේ කියලා දැනගන්න ඕනෙ නම්....

මාව ඇවිත් හම්බවෙන්න....

මං බලාගෙන ඉන්නව බේබි ඩෝල්....  "

මම මුකුත් නොකියාම ඇමතුම විසන්ධි කලා.

අම්මගෙ මරණය මරණ පරීක්ෂණ වාර්තාවේ මෙන් සාමාන්‍ය නැති බව වීපි සර්ගෙ වචන වලින් මම තේරුම්ගත්තා.

මට දැනුනේ මහ මූසල හැගීමක්. මම මගේ පුලුවන් උපරිම වේගයෙන් ගේ දෙවනත් වෙන්න කෑගැවේ දෑතින්ම මගේ හිසකෙස් පිටුපසට ඇදගනිමින්.

" සිනුදි..... "

පිටුපසින් ඇහුනෙ ආගත්ගෙ සර්ගෙ හඬ. එකදිගට වේගයෙන් හුස්ම ඉහළ පහළ ගෙනගිය මා මාවම පාලනය කරගන්න වෙහෙසෙමින් වුන්නා. මා සිටි තත්වය තේරුම්ගත් ආගත් සර් මාව ඔහුගේ විසල් පපුවට මැදි කරගත්තෙ අනවසරයෙන්මයි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මගේ කලින් හැසිරීම ගැන හාරවුස්සා ප්‍රශ්න නොකල ආගත් සර් හිතාගෙන වුන්නෙ මගේ ඒ හැසිරීමට හේතුව අම්මා ගැන මගේ හිතේ වූ හැගීම බවයි. අම්මාගේ මරණය සියදිවි නසාගැනීමක් නොවන බවත් එයට වීපි සර්ගෙ සම්බන්ධයක් ඇති බවත් මම ආගත් සර්ගෙන් වසන් කලෙ හිතාමතාම. මට ඕන වුනේ නෑ ආගත් සර් මේ ප්‍රශ්න වල පැටලෙනවා දකින්න.

" සිනුදි.....

ඔයා ඇත්තටම යනව ද.... "

මගේ අතකින් අල්ලගෙන ආගත් සර් අහන්නෙ පරාජිත හැගීමකින්.

අම්මගෙ අවසන් කටයුතු අවසානයෙ ආයෙත් අත්තම්මා එක්ක ගමට යන්න මම තීරණය කලා. ආගත් සර් ඔය අහන්නෙ ඒ ගැන.

"මට මෙහෙ නවතින්න හොද හේතුවක් තියෙනව ද... "

මම ඇහුවෙ ඇස් නටවමින් දඟකාර ලෙස. හිත ඇතුලෙ මොන තරම් ප්‍රශ්න තිබුනත් ඒවා හංගගෙන පිටතින් සාමාන්‍ය විදියට හැසිරෙන්න මං උපරිම උත්සාහ කලා.

" ඇයි මම....

ඔයාට නවතින්න මාව හේතුවක් කරගන්න බැරි ද.... "

ආගත් සර්ගෙ ඒ වචන එක්ක ඉබේටම මගේ මූණ රතු වුණා. මම බැල්ම පහතට හරවාගත්තෙ ඒ රතු වුන මූණ ඔහුගෙන් සඟවා ගන්නට වගේ.

"  සිනුදි ප්ලීස්......

මගෙ ළග තරම් ගමේදි ඔයාට ආරක්ෂාවක් නෑ....

මට ඔයාව ඒ තරම් දුරට යවන්න බෑ සිනුදි....

මට කියන්න..

ඔයා නවතිනවද.... "

ඔහු මගේ ඇස් දිහාම බලාගෙන එහෙම ඇහුවෙ ඍජුවම. මගේ හිත තුළ ප්‍රශ්න දාහක් ව්‍යාකූලව හැසිරුනා.

හැම දෙයක්ම අතෑරලා ගමට යන්න තීරණය කරපු මගේ හිතත් දැන් වෙනස් වෙලා. අම්මගෙ මරණය ගැන ඇත්ත නොදැන උන්නා නම් මගේ තීරණයෙ වෙනසක් නොවෙන්නට තිබුණා.

මගෙන් පිළිතුරක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන් සිටි ආගත් සර් දෙස මා බැලුවෙ දැඩි තීරණයකට එලැබුනාට පස්සෙ.

" නවතින්නද එහෙනම්.... "

මම ඇහුවෙ හිනාවකින් මූණ පුරෝගෙන. ආගත් සර්ගෙ උවන මත ඇදුනෙ මේ තරම් කාලෙකට නොදැකපු තරම් ලස්සන හිනාවක්. මගේ තීරණය ගැන ඔහු හදවතින්ම සතුටු වුණා.

මම නවතින්න තීරණය කලෙ ආගත් සර් නිසා යැයි ඔහු සිතන්නට ඇති.. ඒත්... ඇත්තටම මම නතර වෙන්න තීරණය කලෙ ඔහු නිසා විතරම ද...

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මා ගමට යන තීරණය වෙනස් කල බව දැනගත් මොහොතෙ අත්තම්මා කලබල වුණත් මට පුලුවන් වුණා ඇයට තේරුම්කරලා දෙන්න. අත්තම්මා මට නවතින්න අවසර දුන්නෙ ආගත් සර් මත විශ්වාසය තියලා.

මම ආයෙත් ගමට නොයන බව දැනගෙනත් සිම්මි ඇගේ තීරණය වෙනස් කලෙ නෑ. ඇයට ඕන වුනෙ අත්තම්මා එක්ක ගමට යන්න.

ගෙවුන දින කිහිපයෙදි සිම්මි ඒ තරම්ම ගමට ලෙන්ගතු වුණ බව මට තේරුනෙ එතකොට. මාව අතහැර ගම තෝරගන්න තරම්ම ඇය ගමට කෙසේ ලැදි වුණා දැයි මා දන්නෙ නෑ.

මට ඇයව නතර කර ගන්න ඕන වුනත් ඇය මාත් එක්ක නඟරයෙ නවතින්න දිගින් දිගටම ප්‍රතික්ෂේප කලා.

ඒ තරම්ම ගමට යන්න ඇයට ඇති හේතුව කුමක් දැයි මට තේරුම්ගන්න පුලුවන් වුනෙ නෑ.

" සිනුදි....

මම සතුටින් ඉන්නෙ....

ඔයා ඔයාගෙ සතුට හොයාගන්න... "

මෝටර් රථයට ගොඩ වෙන්න කලින් සිම්මි ආගත් සර් දෙසත් මා දෙසත් හොරැහින් බලලා එහෙම කියද්දි මගේ හිතේ ප්‍රශ්න රැසකට පිළිතුරු ලැබුනා. හරි අහිංසක හිනාවකින් සිම්මි ඒ කිවුවේ ආයෙත් ආගත් සර්ගෙත් මගෙත් අතරට ඇය නොයෙන බව නොවේද.

ඒ තරම්ම පරිත්‍යාගයක් කරන්න තරම් සිම්මි හිත ශක්තිමත් කරගත්තෙ කොහොමද කියන්න මම දන්නෙ නෑ...

ඒත් මට විශ්වාසයි..

ඒ වගේ දෙයක් මට නම් කවදාවත් කරන්න බැරි වේවි.

" ස්තූතියි..... "

ඇස් වල කදුළු පුරෝගෙන මම ඇයව වැලදගත්තා. උණුසුම් සමු දීමේ චාරිත්‍රයකට වඩා ඒ වැලදගැනිම තුළ ලොකු කතාවක් තිබුණා. ඒක වචනයෙන් කියපු නැති ඒත් හිත් වලට දැනුන අනුවේදනීය කතාවක්.

" මොකටද.... "

ඇය මගේ තුරුලෙන් මිදිලා හැගීම් පාලනය කරගෙන එහෙම ඇහුවෙ මුකුත්ම නොදන්න ගානට.

" මුකුත් නෑ....

පරිස්සමෙන් යන්න.... "

ඇයට මම ස්තූතියි කල හේතුව මම විස්තර කරන්නෙ කොහොමද.

සිම්මිවත් අත්තම්මාවත් නැවත ගමට රැගෙන යන වගකීම පැවරුනෙ රෙහාන්ට. ඔවුන්ගෙ මෝටර් රථය නොපෙනි යන තුරුම මම බලාගෙන වුන්නා.

සිම්මි ටිකෙන් ටික මගෙන් ඈත් වෙද්දි මට දැනුනෙ මම තනි වෙනව වගේ. දුකකදි සතුටකදි හැම තැනදිම සිම්මි මාත් එක්ක වුන්නා.. අපි සතුටින් ගෙවපු දවස් මතක් කරමින් මම පිටි අත්ලෙන් කදුළු පිසලාගත්තා.

මගේ උරහිස් වටා අත යවලා ආගත් සර් මාව ඔහුට ලං කරගද්දි මට දැනුනෙ සිම්මි නිසා ඇති වුන හිඩස පිරවුණා වගේ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ආගත් සර් පවුලෙ අයත් එක්ක ඒ තරම් හොද සම්බන්ධයක් නැති බව මට නොරහසක්. ඉතිං ඔහු ජීවත් වුනෙ තනිවම.

ආගත් සර්ගෙ නිවාස සංකීර්ණයෙන්ම මටත් නිවසක් ඔහු බදු මිලට ගන්න සූදානම් උනත් මම එයට විරුද්ධ වුණා.

" මට තනියම ඉන්න බෑ...... "

මම කිවුවේ ඇස් දෙක බිමට හරවගෙන. අම්මාගේ මරණය හා වීපි සර් කියන කාරණා දෙක මගේ හිත අහේතුවකව භය කරලා තිබුනා.

මම එහෙම කියද්දි ආගත් සර්  කට කොනින් හිනා වුනෙ මගේ ඒ පිළිතුර ඔහු බලාපොරොත්තුවෙන් වුන්නා වගේ.

" මොකද ආ.... "

මම ඇහුවෙ ඒ මනමාල හිනාව දිහා බලාගෙන ඉන්න බැරි තැන.

" පණ්ඩිතකම තිබුනට වැඩ බෑ කියන්නෙ ඕවට.... "

ආගත් සර් හිනා වෙවි එහෙම කියද්දි මම බොරුවට රවාගත්තා.

සෝපානයෙන් ඔහුගෙ නිවසට එන තුරුම මම ඒ බොරු තරහෙන්ම වුන්නා.

කාමර දෙකකින් පොඩි විසිත්ත කාමරයකින් වගේම විසිත්ත කාමරයටම යාබද වූ පුංචි මුලුතැන්ගෙයි හැඩ වූ නිවස දෙන්නෙකුට ඕනාවටත් වැඩි. ආගත් සර්ගෙ නිවසේ ගෘහ භාන්ඩය වලට වඩා තිබුනෙ පොත්. ඔහු කියවීමට මේ තරම් කැමති බව මම දැනගත්තෙ ඒ මොහොතෙ.

හරි පිළිවෙළට තිබුණු හැමදේම නිසා ඒහි සුන්දරත්වය තවත් වැඩි වුණා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම ආයෙත් කාර්යාලයට යන්න කැමති වුනෙ ආගත් සර්ගෙ බලකිරිල්ලට.

හරි හැටි සමුගැනීමක් හෝ නොමැතිව කාර්යාලය හැර ගිය මා නැවත පැමිණීම ගැන වෙන කාටත් වඩා සතුටු වුනෙ හිමාෂා.

" ආයෙ නම් මෝඩ වැඩ බෑ හරි ද.... "

හිමාෂා අණ කිරීමක් වගේ එහෙම කියද්දි මම හදවතින්ම හිනා වුණා. අම්මගෙ මරණය ගැන දැනගත් මොහොතෙ ඇය සංවේදී වුනත් මම එහි මා දන්න අනෙක් සත්‍ය ඇයට පැවසූවේ නෑ.

ආගත් සර් කාර්යාල කාමරයේද වෙනසක් සිදු කර තිබුණා. ඔහු ඔහුගෙ කාර්යාල කාමරය තුළම මටත් ස්ථානයක් වෙන් කිරීම ගැන විවිධ කටකතා මුලු ආයතනය පුරාම තටු අරන් ඉගිල්ලුනෙ හරි ඉක්මනට.

" දන්නව ද පහළ ඩිපාට්මන්‍ට් වල අය මොනාද අපි ගැන  කතා කරන්නෙ කියලා....... "

ඔහුගෙ කාර්යාල කාමරයෙ මා වෙනුවෙන් වෙන් වූ ස්ථානය පිළිගන්න මම කැමති වුනෙ නෑ. ඉතිං ආගත් සර් බලෙන්ම මාව එහි වූ පුටුවෙ ඉන්දවාගත් මොහොතෙ මම එහෙම ඇහුවෙ බොරු තරහකින්.

" මොනාද එයාලා කියන්නෙ....

අපි දෙන්නා මැචින් කපල් එකක් කියනව ද..... "

පැතිර යන කටකතා ගැන ගානක්වත් නැතුව ආගත් සර් එහෙම කියද්දි ඔහුට රවලා මම ලිපිගොනුවක් පෙරල ගත්තා.

මා තව දුරටත් ඔහුට අවදානය නොදෙන බව තේරුම්ගත්ත ආගත් සර් ඔහුගෙ අසුනට ගියෙ කට කොනින් හිනාවෙගෙන.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter