Back
/ 43
Chapter 34

Chapter 34

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් හතර වැනි කොටස 🌙

................................................................

" මොනාද එයාලා කියන්නෙ....

අපි දෙන්නා මැචින් කපල් එකක් කියනව ද..... "

පැතිර යන කටකතා ගැන ගානක්වත් නැතුව ආගත් සර් එහෙම කියද්දි ඔහුට රවලා මම ලිපිගොනුවක් පෙරල ගත්තා.

මා තව දුරටත් ඔහුට අවදානය නොදෙන බව තේරුම්ගත්ත ආගත් සර් ඔහුගෙ අසුනට ගියෙ කට කොනින් හිනාවෙගෙන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

හෝදලා තියපු වීදුරු පිඟන් වල වතුර පිසලමින් ඒවා හරි පරිස්සමට මම රාක්ක වලට අතුරමින් වුන්නා.  ඒ මොහොතෙ කරමින් සිටියෙ කුමක් වුනත් මගේ හිත තිබුනෙ නම් වෙනම තැනක. අම්මාගෙ මරණය ගැන සිහි වන හැම මොහොතකම හිත ලොකු බරකින් පිරුණා. වීපි සර්ව මුණගැහෙන්න යන්නවද නැද්ද කියන තීරණය මම තවමත් ස්තීර කරගෙන නෑ.

අද නිවාඩු දවසක් නිසා වෙනදාට උදේට තියෙන කලබලය අද නෑ. හැමදාම අදින කෝට් කිට් එක වෙනුවට සැහැල්ලු ඇදුමකින් සැරසිලා ආගත් සර් කාමරයෙන් එළියට ආවෙ තෙත කොන්ඩය  පිහදමින්.

" ගුඩ් මෝනින්.... "

මගේ මූණට හිනාවක් ඇදුනෙ ලගකදි ඉදන් මුලින්ම උදෑසන සුභ පැතුම් එක් කරන්න ආගත් සර් පුරුදු වෙලා උන්න නිසා. ඉස්සර ඔය කටින් ගුඩ් මෝනින් කියලා අහගන්න මම මොන තරම් මහන්සි වුණා ද.

" ගුඩ් මෝනින්.... "

පිඟන් පිහදැමිම පසෙකට කර මම කෝපි හදන්න පටන්ගත්තෙ ආගත් සර්ට කෝපි එක උණුවෙන්ම ඕන උන නිසා.

අතේ තිබුණු තුවාය සෝෆාව මතට විසි කල ඔහු සෝෆාවටම වැටුනෙ පත්තරෙ අතට අරගෙන.

කෝපි කෝප්පය එක්ක චිප්ස් අරන් යන්න මම අමතක කලෙ නෑ. ට්‍රේ එක කුඩා මේසයෙන් තියපු මම ඔහු සෝෆාව මතට විසි කෙරු තුවාය අතට ගත්තෙ හොරැහින් රවමින්. හැමදාම කිවුවත් තුවාය තැනින් තැන දාන පුරුද්ද එයාට නැති කරගන්නම බෑ.

ඔහුට පේන්නම රවලා තුවාය අරගෙන යන්න හදපු මගේ අතින් ඔහු අල්ලගත්තා.

" සොරි.... "

පොඩි එකෙක් වගේ හුරතලෙට ඔහු එහෙම කියද්දි මගේ මූණට හිනාවක් ඇදුනෙ ඉබේටම. තෙත කොණ්ඩය අතින් අවුස්සලා මම ඇතුලට දිව්වා.

තුවාය නියමිත තැනින් තියපු මම සෝෆාවට බර වුනෙ මගේ කෝපි එකත් අරගෙන.

" සිනුදි...

හෙට මට බිස්නස්  පාර්ටි එකකට යන්න වෙනවා....

ඔයාට පුලුවන් නෙ හෙට මීටින් එක හැන්ඩ්ල් කරන්න...... "

ඔහු කිවුවේ පත්තරයෙන් ඇස් පිටතට නොගෙනම.

" ඒ ගැන කරදර වෙන්න එපා....

මම බලාගන්නම්.... "

මම එහෙම කියද්දි නම් ආගත් සර් මං දිහා බැලුවෙ ආඩම්බර හිනාවකින්. ඒත් එක්කම නිවසෙ විදුලි සීනුව නාද වුණා.

" රෙහාන් වෙන්න ඇති මම බලන්නම්... "

කෝපි කොප්පය මේසය මතින් තියලා මම දොර වෙත අඩි තිබ්බෙ ඉක්මනින්. විදුලි සීනුව නැවතත් නාද වෙද්දි දොරගුලු හරින්න මම ඉක්මන් වුණා.

රෙහාන්ව බලාපොරොත්තුවෙන් දොර විවර කල මගේ දෑස් විසල් වුනෙ ඉබේටම. විවර කල දොර අභියස සිටගෙන වුන්නෙ ආගත් සර්ගෙ මව. ඇය සමගින් ආගත් සර්ගෙ නංගි යැයි කියන්නට පුලුවන් තරුණියක් මාත් සමඟ සුහදව සිනාසෙමින් වුන්නා. ඒත් මාව දුටු පමණින්ම මැඩම් නම් ගිණි අරගෙන.

බලාපොරොත්තු නොවු මොහොතක මැඩම්ගෙ පැමිණිම නිසා මා ද තරමක් තැතිගැන් වුනා.

" මැඩම්.... එන්න ඇතුලට..... "

පියවි සිහියට පැමිණි මොහොතෙම මම ඇයට නිවස තුළට එන්න යැයි ආරාධනා කලා. ඇය මා වෙත සීතල රැවිල්ලක් පා කරමින් නිවසට ඇතුලු වෙද්දියි පැමිණියෙ කවුරුන් ද බව ආගත් සර් දැනගත්තෙ.

හදිස්සියේම සිදු වූ ඇයගෙ පැමිණිම නිසා ආගත් සර් ද පුදුම වෙනව මම බලාගෙන.

" අම්මා...?

ඔයාලා මොකද මෙහෙ.... "

ආගත් සර් ඉක්මනින්ම සාමාන්‍ය ලෙසින් හැසිරුණා.

" ඇයි අපිට මෙහෙට එන්න බැරි ද...

මේ වගේ අයට විතර ද එන්න පුලුවන්.....

ආහ්... ආගත්.....

කතා කරන්න.... මොනවද මේ ඔයා කරන වැඩ.....

අයිෂා දුව මේවා දැනගත්තොත් මොකද වෙන්නෙ..... "

මැඩම් කියවගෙන ගියෙ තරහින්. එක අතකට ඇයගෙ මේ හදිසි කෝපයෙ වරදකුත් නෑ.

" මැඩම්....

ආගත් සර් වැරදි නෑ...... ම.... "

කියන්න හදපු දේ මම ගිල ගත්තෙ ආගත් සර්ගෙ හඬට. මම උත්සහ කලෙ ආගත් සර් වෙනුවෙන් කතා කරන්න. ඒත් ඔහු මගේ කතාවට හරස් වුණා.

" සිනුදි...!!! "

ආගත් සර් කලෙ අණ කිරීමක්. ඉතිං මා නිහඬ වුණා.

" මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ අම්මා.....

එන්න.... "

ආගත් සර් මැඩම්ගෙ අතිනුත් ඇදගෙන කාමරයට ගිහින් දොර වහගත්තෙ මම ගැස්සිලා යද්දි.

මොකකින් මොකක් සිද්ද වෙයි ද කියලා මම වුන්නෙ බයෙන්. ඒ නිසාම මට අනෙක් අමුත්තියව අමතකම වුණා.

" ඔයාලා කෝපිත් බිලා....

මට දෙන්නෙ නැද්ද... "

ඇය සෝෆාවේ ඉදගෙන එහෙම කියද්දි මම ගැස්සිලා ඇය වෙතට හැරුනෙ. ඇයගෙ රෝස පාට මූණෙ තිබුනෙ අහිංසක දඟකාරකමක්. ඇය කට පුරා හිනා වෙද්දි එයට පිලිතුරු ලෙසින් මා ද ලෙන්ගතු සිනහවක් ඇයට ත්‍යාග කලා.

" ඉන්න මිස්.... මම කෝපි අරගෙන එන්නම්.... "

මම ඇයට සැලකුවේ ගෞරවයෙන්. එහෙම කියලා මුලුතැන්ගෙට යන්න හදපු මගේ අතින් අල්ලගත්ත ඇය මාව සෝෆාවටම ඇද ගත්තෙ හිනා වෙවි.

" අයියෝ.....

මං විහිලුවක් අනෙ කලෙ.... මට කෝපි එපා....

රෙහාන් අයියා කිවුවා හරියටම හරි...

ඔයා පුදුම සීරියස් නේ....

ටිකක් හිනා වෙලා ඉන්නකෝ.... "

මේ අපේ පළමු හමුවීම වුනත් ඇය මට සැලකුවේ ලගම මිතුරියක වගේ. ඇයගෙ දඟකාර කතාවට නම් නිවාඩුවක් තිබුනෙම නැති ගානයි.

" ඒක නෙමේ....

ඔයාට මාව මතක නැද්ද.... "

ඇය එහෙම කියද්දි මම ඒ මුහුණ දෙස හොදින් බැලුවා. මීට කලින් කොහෙදි හරි මුණගැහුනා දෝයි සැකෙන් මම ඇය දෙස බැලුවත්. ඒ මූණ මගේ මතකයෙ තිබුනෙ නෑ.

මතක නෑ කියන්න මම හිස සොලවද්දි ඇය මූණ බෙරි කරගත්තා. ඒ තත්පරයෙම ඇය ආයෙත් හිනා වෙන්න ගත්තෙ තමන්ගෙම හිසට තට්ටු කරගෙන.

" මමත් මහ මෝඩ ප්‍රශ්න නේද අහන්නෙ.....

ඔයාට කොහොමද මාව මතක හිටින්නෙ...

ඔයා මාව අන්තිමට දකිද්දි මට අවුරුදු තුනක් හරි හතරක් හරි.....

බොරු කියන්නෙ මොකටද මට නම් ඔයාගෙ කෙස් ගහක්වත් මතක නෑ.....

හැබැයි ඔයාලා දෙන්නගෙ අතීත කතාව නම් මම අකුරක් නෑරම දන්නවා... "

ඇය කෝච්චියක් වගේ කියවගෙන යද්දී මම හරි ආසාවෙන් ඒ කතා අහගෙන වුන්නා. ඒත් ඇය කියවන ගොඩක් දේවල් මට තේරුනෙ නෑ.

" අයියෝ තවමත් තේරුනෙ නැද්ද....

මම ආගත්ගෙ නංගි අනේ....

යුමේෂා....

දන්නවද... අයිෂා අක්කත් මගේ හොදම යාලුවෙක්.......

මම හිතන්නෙ...

අපි දෙන්නටත් හොද යාලුවො වෙන්න පුලුවන් වෙයි....

ඔයා කැමති ද.... "

ඇය සුන්දර සිනහවකින් මූණ පුරෝගෙන මට අතට අත දෙද්දි මම ඒ මිතු දම බාරගත්තේ හරි කැමැත්තෙන්.

ඇය ආගත් සර්ගෙ නංගි බව මා සිතාගෙන සිටියද එය ස්තීර වුනෙ ඇයගෙ වචනත් එක්ක. ආගත් සරුත් යුමේෂාත් එකම කාසියක දෙපැත්ත වගෙ. රූපයෙන් තරමක් සමාන වුනත් ඒ දෙන්නගෙ හැසිරීම නම් පොඩ්ඩක්වත් සමාන නෑ. ආගත් සර් වැනි ආඩම්බරකාරයෙක්ට මේ තරම් නිරහංකාර නැගනියක ඉන්න බව විශ්වාස කරන්නත් බැරි තරම්.

" ගොඩක් සතුටුයි ඔයාව මුණගැහුන එක.....

යුමේෂා... "

මම ඇයට අතට අත දුන්නෙ එහෙම කියමින්.

" අපෝ මේ... මේ....

ඔය ප්‍රොෆෙෂනල් ගතිය නම් මාත් එක්ක හරියන්නෙ නෑ....

හිනා වෙලා නෝමල් එකේ ඉන්නකෝ....... "

මම ඇයත් සමගින් හරි සැහැල්ලුවෙන් හිනා වුණා. යුමේෂා කැමති වුනෙත් ඒ විදියට.

" ඒක නෙමේ සිනුදි....

මට අපේ බංගලෝ එක ගැන පුංචි මතකයක්වත් නෑ....

ඔයාට පුලුවන් ද එහෙ විස්තර කියන්න...

මට දැනගන්න ඕනේ අයියා කියන තරම්ම එහෙ ලස්සන ද කියලා.... "

" ගොඩක් ලස්සනයි.... "

මම ගම ගැන විස්තර කරන්න පටන්ගත්තා. ලැවැන්ඩර් මල් ගැන සීතල සුළග ගැන කඳු පන්ති ගැන යුමේෂා අහගෙන වුන්නෙ හරි ආසාවෙන්. මම කියන විස්තරයත් එක්ක සිතුවිලි අතරින් ඇය බංගලාවට යනව මම බලාගෙන.

ඒ විස්තර කිරීම අතර තුර ආගත් සර්ගෙ කාමරය වෙත මගේ ඇස් යන්නෙ ඉබේටම. ආගත් සර්ගෙත් මැඩම්ගෙත් සාකච්ඡාව තවමත් අවසන් නැති පාටයි.

යුමේෂාත් මාත් බොහෝ දේ කතා කරමින් වුන්නා. මට යුමේෂාව දැනුනෙ හරිම නිදහසෙ සැහැල්ලුවෙන් ජිවත් වෙන චරිතයක් විදියට. ගෙවුන විනාඩි කිහිපයට මටත්  ඇය මෙන් ජීවිතෙ විදින්න ආස හිතුණා.

" සිනුදි... ඔයාට දෙයක් කියන්න ඕනේ... "

යුමේෂා මගේ අතකින් අල්ලගත්තෙ මෙතරම් වෙලා සිටි දඟකාරියට එහා ගිය බැරෑරුම් හැගීමකින්.

" කියන්න....

මොනවද... ?? "

මම ඇහුවෙ කුතුහලයෙන්.

" අපේ අයියා ටිකක් අමුතු අහංකාර ආඩම්බර නපුරෙක් නේද....

ඒ මොකද දන්නව ද....

එයා සම්බන්ධතා වලට  බයයි....

එයා එයාගෙ ජීවිතෙට ලං කරගෙන ඉන්නෙ එයාට ඕනම ටික දෙනෙක්ව විතරයි....

මට තේරෙන විදියට ඒ ටික දෙනා අතර දැන් ඔයත් ඉන්නවා....

අයියව තේරුම්ගන්න බලන්න...

සිනුදි මං ඔයාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි....

අයියගෙ හිත බිදින්න එපා...

අයිෂා අක්කාගෙ සිද්දියෙදි අයියා හැසිරුන විදිය මට ආයෙත් එයාගෙන් දකින්න ඕනෙ නෑ.....

අපේ අයියා සම්බන්ධතා ඇති කරගන්න දුර්වල වුණාට ඒවා බිදලා දාන්න නම් හරි දක්ෂයි....

එයා පවුලෙන් ඈත් වුණා.., අයිෂා අක්කගෙන් ඈත් වුණා... ඒ වගේ සම්බන්ධතා කීයක් නම් එයා බිදලා දැම්ම ද....

ඒ නිසයි මං ඔයාට කියන්නෙ....

එයාගෙ හිත බිදින්න එපා...

එක්කො..... ඔයා එයාව හදලා ගන්න....

මට තේරෙන්නෙ නෑ....

මං දන්නෙ අපේ අයියට පිස්සු කියලා විතරයි..... "

ඇය නොනවත්වාම තවත් මොනවදෝ කියවමින් වුන්නා. ඒත් මගේ කල්පනාව තැන් දෙක තුනක නතර වෙලා.

අයිෂා සම්බන්ධ ප්‍රශ්නයෙදි මම දන්නවට වැඩි දෙයක් සිදුව ඇති බව යුමේෂාගෙ කතාවත් එක්ක මම තේරුම්ගත්තා. අයිෂාගෙ සම්බන්ධය නතර කලාට පසුව ආගත් සර් බෙහෙවින් විදවූ බව නම් ස්තීරයි. මම ඔහු ගැන හදවතින්ම දුක් වුණා.

" යුමේෂා....

ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න.... ඔයා මට උත්තර දෙනව ද.... ?  "

ඇය කියවිල්ල නතර කරලා හිස සැලුවෙ හා කියන්න. මට අහන්න ඔන උනෙ බොහෝ කාලෙක සිට හිතෙ තිබුණු ප්‍රශ්නයක්.

" ආගත් සර් ඇයි පවුලෙ අයගෙන් ඈත් වෙලා ඉන්නෙ.... "

කීප වතාවකම මම ඒ ගැන ආගත් සර්ගෙන් ඇහුවත් එයට සෑහෙන තරමෙ පිළිතුරක් මට ඔහුගෙන් ලැබුනෙ නෑ. යුමේෂාගෙ ස්භාවය අනුව ඇයගෙන් එයට පිළිතුරක් ලබා ගැනීම පහසු වේයැයි මා විශ්වාස කලා.

" ඔයා තාම ඒ ගැන දන්නෙ නැද්ද..... "

මම නෑ කියන්න හිස සොලවද්දි ඇය කල්පනාවකට වැටුනා. මට පිළිතුරු දෙනවාද නැද්ද කියලා ඇය කල්පනා කරන්නට ඇති.

අවසානයෙ ලොකු හුස්මක් ගත්ත ඇය මගේ පැත්තට හැරුනෙ පිළිතුර හිතේ තියාගෙන.

" සිනුදි.... ඔයාගෙ තාත්තා නැති වුනෙ කොහොමද.... ? "

ඇසු ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටි මා පුදුම වුනෙ යුමේෂා හිටිහැටියේ මගේ තාත්තා ගැන ප්‍රශ්න කරද්දි.

" ඇක්සිඩන්ට් එකකින්....

ඇයි එකපාරටම ඒ ගැන අහන්නෙ... "

මගෙ දෙවෙනි ප්‍රශ්නයටත් ඇය පිළිතුරු දුන්නෙ නෑ.

" කවුද ඔයාගෙ තාත්තව ඇක්සිඩන්ට් කලෙ.... "

යුමේෂා ඇහුවෙ ටිකක් තදින්. මතක් කරන්න අකමැති ඒ නපුරු දවස් මම මතක් කරන්න උත්සහ කලා.

" ඒ කාලෙ මම ගොඩක් පොඩි...

ගොඩක් දේවල් ගැන මට තේරුමක් තිබුනෙ නෑ....

ඒත් තාත්තව ඇක්සිඩන්ට් කරපු කෙනාව හොයාගන්න බැරි වුනා කියල නම් මතකයි....

ඒ ඇක්සිඩන්ට් එක ගැන තාමත් කිසිම සාක්ෂියක්, තොරතුරක් නෑ.... "

මම කතා කලෙ කලකිරිමෙන්.

" සාක්ෂි තිබුණා සිනුදි....

ඒත් ඒ සාක්ෂි නැති කලා..... "

" මොනාද ඔයා මේ කියන්නෙ යුමේෂා...."

මම ඇස් උස්සලා බැලුවෙ යුමේෂාගෙ ඒ කතාවට. ඇයගෙ ඇස් වලත් ලොකු කලකිරිමක් ලියවිලා තිබුණා.

" මමත් මේ දේවල් දැනගත්තෙ ලගදි...

අපේ අයියා මේ දේවල් ඔයාට කියන එකක් නෑ.... ඒ නිසයි මම කියන්න තීරණෙ කලෙ....

ඔයා මේ දේවල් දැනගන්න ඔනෙ සිනුදි....

ඔයාගෙ තාත්තව ඇක්සිඩන්ට් කලෙ වෙන කවුරුත් නෙමේ... මගේ ඩැඩි....!! "

මට දැනුනෙ හුස්ම හිරවෙනව වගේ. හදගැස්ම වේගවත් වෙද්දි මම පපුවට අත තියාගත්තා.

" ඔව් සිනුදි.... ඒකයි ඇත්ත....

එදා කාර් එකේ අපේ ඩැඩීත් එක්ක අයියත් ඉදලා තියෙනවා....

ඔයාගෙ තාත්තගෙ මරණෙ එකම සාක්ෂිය අපේ අයියා....

ඩැඩී එදා ඩ්‍රින්ක්ස් අරගෙන ඉදලා තියෙන්නෙ.....

ඔයාගෙ තාත්තව එයා ඕනකමින්මයි ඇක්සිඩන්ට් කරලා තියෙන්නෙ සිනුදි....

මං දන්නෙ නෑ මගේ ඩැඩී ඒ තරම් දරුණු දෙයක් කරන්න මොන වගේ මානසික මට්ටමකම ද උන්නෙ කියලා... ඒත්.. ඒ දේ සිද්ද වෙලා තියෙන්නෙ එහෙම...

ඒ ඇක්සිඩන්ට් එක වහලා දාන්න ඩැඩී කරන්න පුලුවන් හැම දෙයක්ම කරලා....

ඇක්සිඩන්ට් එකේ එකම සාක්ෂිය වුන අයියව පොඩි කාලෙදිම ඩැඩී ඇමරිකා යැවුවෙ ඒ නිසා...

මොකද ඩැඩීට ඕන වුණා අයියගෙ කට වහන්න....

ඒ කාලෙ අයියා පොඩි.. හරි තේරුමක් නෑ... ඒත් කල් යන්න යන්න එදා සිද්දිය අයියා තේරුම්ගත්තා....

ඊට පස්සේ තමයි අයියා අපිත් එක්ක තියෙන හැම සම්බන්ධයක්ම නවත්තලා දැම්මේ....

දන්නවද සිනුදි, අවුරුදු පහකට කලින් අපේ ඩැඩී නැති වුණ වෙලාවේ අයියා ෆියුනරල් එකටවත් ලංකාවට ආවේ නෑ.....

එදා ඩැඩීගෙ වැරැද්ද වහගන්න අම්මත් උදව් කලා... අම්මා ගත්තෙත් ඩැඩීගෙ පැත්ත.. අයියගෙ පැත්ත නෙමෙ..

ඒ නිසා අයිය අම්මා එක්කත් තරහයි....

සීයාතාත්තා අයියට වැදපු නැති ටික විතරයි ලංකාවට ගෙන්න ගන්න....

අයිෂා අක්කට ප්‍රොපෝස් කරන්න වගේම බිස්නස් බාර ගන්නත් අන්තිමේදි අයියා ලංකාවට ආවා...

ඒත් එයා එක දවසක්වත් අපිත් එක්ක වුන්නෙ නෑ....

ෆ්ලැට් එකක් අරගෙන තනියම ඉන්න තරම් එයා හිතුවක්කාරයි... පේනව නේ... "

අනවසරයෙන්ම ඇස් වලට කදුළු පිරිලා තිබුණා. මට දැනෙන අමුතු හැගීම විස්තර කරන්න පුලුවන් එකක් නෙමෙ. වේදනාව. කලකිරිම , දුක ඔය හැම දෙයක්ම එකතු වුන අමුතු හැගීමක මම වුන්නෙ. හරියට නිකම් වේලිලා තිබුණු තුවාලයක් ආයෙත් පෑරුණා වගේ.

" අඬන්න එපා.... "

අයියා වගේම නංගිත් හරි ආදරෙන් මගේ කදුළු පිස දැම්මා.

" ඒ දේවල් වෙලා ඉවරයි නෙ...

වැරැද්ද කරපු කෙනත් ඒ වැරැද්දට වන්දි ගෙවපු කෙනත් දෙන්නම දැන් මේ ලෝකෙ නෑ.....

අමතක කරන්න....

මං දන්නවා අමතක කරන්න කියපු පලියට ඒක කරන්න බෑ කියලා....

ඒත්... ප්ලීස් සිනුදි....

මම ඔයාට මේවා කිවුවා කියලා අයියට කියන්න එපා.... "

ඇය මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණා.

" හ්ම්ම්ම්ම්.... "

වචන එකතු කරගන්න අමාරු තැන මම හිස සෙලවූයේ හා කියන්න. හීනෙකින්වත් හිතපු නැති දේවල් එකක් ඉවර වෙද්දි තව එකක් අහන්න දකින්න ලැබෙද්දි මම වුන්නෙ දරාගැනීමේ සීමාවත් පහු කරලා. මට මතක් වුනේ තාත්තගෙ මරණය අම්මගෙ ජීවිතේ බලාපොරොත්තු විනාශ කලා කියලා ඇය කියපු කතාව. ඔව් එක අතකට මේ හැමදේටම මුල තාත්තගෙ මරණය වෙද්දි මොහොතකට මං මවාගන්න උත්සාහ කලා තාත්තා ජීවත් වුනා නම් අපේ ජීවත මොන විදියට අද වෙනස් වෙලා තියෙයිද කියලා.

මම කල්පනාවෙන් මිදුනෙ යුමේෂා අල්ලගෙන වුන්න  මගේ අත තද කරනවත් එක්කම. ඒත් එක්කම වාගේ  ආගත් සර්ගෙ කාමරයෙන් පිටතට ආවේ මැඩම්. ඇයගෙ මූණ තරහටම රතු වෙලා. යුමේෂා කලබල වුනෙ කවුරුන් හෝ මගේ ඇස් වල කදුළු දකිවි බියෙන්. මම ඉක්මනින්ම කදුළු පිසලාගත්තා.

" යුමේෂා.... අපි යමු.... "

මැඩම් ඉක්මන් ගමනින් දොර වෙත යද්දි ආගත් සර්ද කාමරයෙන් පිටතට ආවා. ඔහුව දුටු පමණින්ම යුමේෂා දිව ගොස ඔහුගෙ අතේ එල්ලුනෙ දඟකාරකමින්.

" අම්මා කිවුවද ඔයාට....

මගේ ඒන්ගේජ්මන්ට් එකට ඔයා අනිවාර්යෙන්ම එන්න ඕනෙ...

හරි ද අයියා....

එනව නේ..... "

යුමේෂා ඇහුවෙ ලොකු හිනාවකින්.

" බලමු..... "

ආගත් සර්ගෙ ස්තීර නොවුන ඒ පිළිතුර නිසා යුමේෂාගෙ මූණ කලු වුනෙ ඉබේටම.

" අනේ අයියා.... "

ඇය ඊළගට දුවගෙන ආවේ මගේ ලගට.

" සිනුදි ඔයා එනව නේද....

අනිවාර්යෙන්ම එන්න ඕනේ...

එද්දි මගේ මෝඩ අයියවත් එක්කගෙන එන්න හරි ද....

පොරොන්දු වෙනව ද...."

ඇය හුරතල් දඟකාරකමින් එහෙම අහද්දි ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න තරම් දරුණු හිතක් මට තිබුනෙ නෑ. මගේ මූණට හිනාවක් ඇදුනෙ ඒ දඟකාරකම නිසාමයි.

" ඔයාගෙ අයියවත් ඒකගෙන මමත් එන්නම්.....

පොරොන්දු වෙනවා..... "

මට කියලා ඉවර කරන්න ලැබුනෙත් නෑ මැඩම් කතා කලෙ උපහසාත්මක ස්වරයෙන්.

" යුමේෂා.....!

තමුන්ගෙ ජීවිතෙ වැදගත් ඉවෙන්ට් වලට ඉන්වයිට් කරන්න ඕනෙ වැදගත් අයට..

තමුන්ගෙ මට්ටමට ගැලපෙන මිනිස්සුන්ට.....

යන ගමන් පාරෙ ඉන්න හිඟන්නන්ටත් ඉන්වයිට් කරගෙන යමු....

ඒක තව නම්බුයි.... "

යුමේෂා එන තුර දොර ලග නැවතිලා වුන්න මැඩම් ඒ ඇනුම්පද කිවුවේ මට. මම බැල්ම පහතට හරවා ගත්තෙ අසරණව. ඒත් එක්කම මට ඇහුනෙ ආගත් සර්ගෙ දැඩි හඬ පෞරුෂය.

" ඔය ඇති අම්මා....!!!

ඔයාට සතුටු ඇති නේ....

දැන් ඉතිං කරුණාකරලා යන්න.... ආයෙත් ඔයා මෙහෙට එන්න ඕනෙ නෑ..... "

ආගත් සර් ස්තීරවම එහෙම කියද්දි දෙන්නගෙම මැද වුන්න යුමේෂා අසරණ වෙනව මම බලාගෙන. ඇය අහිංසකව අම්මා වෙත දිව ගියෙ ලොකු හුස්මක් අරගෙන.

" අම්මා ප්ලීස් ඔය ඇති....

යමු එන්න.... "

යුමේෂා ඇයවත් ඇදගෙන පිටතට නොයන්න ඔවුන් දෙදෙනාගෙ රණ්ඩුව තවත් දුරදිග යන්න ඉඩ තිබුණා.

ඔවුන් පිටව ගියාට පස්සෙ ආගත් සර් මට ලං වුණා.

" අම්මා කියපු දේවල් ගැන හිතන්න එපා... "

ඔහු කිවුවේ මාව සනසන ස්වරයෙන්. මැඩම් කියපු දේවල් වලට වඩා හිත රිදෙන දේවල් මට අහන්න වුණා කියලා මම කොහොම කියන්නද. යුමේෂාට මම පොරොන්දු වුණා.

අහන්න ඕනෙ නැති ගොඩක් දේවල් ඇහුවට පස්සේ හිත මෙල්ල නැති තැන මම ආගත් සර්ගෙ පපුවට ගුලි වුනෙ අනවසරයෙන්ම. කදුළු ඉස්සර වුනෙ එක හේතුව නිසා නෙමේ. මට අඬන්න හේතු දාහක් තිබුණා.

ඔහු මගෙන් හේතු අහන්න ඉක්මන් වුනෙ නෑ. මට අඬන්න ඉඩ දිලා ඔහු ආදරෙන් මගේ හිස අතගෑවා.

ආගත් සර්ගෙත් මගෙත් අතර තියෙන සම්බන්ධයට හරි නමක් තිබුනෙ නෑ. අපේ සම්බන්දෙ හරියට යාලුකමට එහා පෙම්වතුන්ට මෙහා නතර වුන නිශ්චිත නමක් නැති හැගීමක්.

මාව පෙම්වතිය කරගන්න ආගත් සර්ට ඕන වුනෙ නෑ , ඔහුට ඕන වුනෙ මාව ආරක්ෂා කරන්න...

මම ආගත් සර්ගෙන් පෙම්වතෙක්  බලාපොරොත්තු වුනාද නැද්ද කියන්න මට තේරෙන්නෙ නෑ... හැබැයි මට ඕන වුන එකම දේ එයා ලගට වෙලා ඉන්න...

ඉතිං මොකක්ද මේ නමක් නැති බැදීම....

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter