Back
/ 43
Chapter 35

Chapter 35

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් පස් වැනි කොටස 🌙

................................................................

ආගත් සර්ගෙත් මගෙත් අතර තියෙන සම්බන්ධයට හරි නමක් තිබුනෙ නෑ. අපේ සම්බන්දෙ හරියට යාලුකමට එහා පෙම්වතුන්ට මෙහා නතර වුන නිශ්චිත නමක් නැති හැගීමක්.

මාව පෙම්වතිය කරගන්න ආගත් සර්ට ඕන වුනෙ නෑ , ඔහුට ඕන වුනෙ මාව ආරක්ෂා කරන්න...

මම ආගත් සර්ගෙන් පෙම්වතෙක්  බලාපොරොත්තු වුනාද නැද්ද කියන්න මට තේරෙන්නෙ නෑ... හැබැයි මට ඕන වුන එකම දේ එයා ලගට වෙලා ඉන්න...

ඉතිං මොකක්ද මේ නමක් නැති බැදීම....

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ආගත් සර් නැති නිසා අද කාර්යාලයම පාලුයි. විකුණුම් අංශයෙ ප්‍රධානීන් හා තිබුණු සාකච්ඡාව අවසානයෙ මා රැස්වීම් කාමරයෙන් පිටතට ආවේ දිගින් දිගටම නාද වන දුරකථනයට පිළිතුරු දෙන්න.

" හෙලෝ.... "

නොදන්න අංකයකින් ලැබුණු ඇමතුමට මම සම්බන්ධ වුණා.

" හෙලෝ සිනුදි.....

අදුරගන්න පුලුවන් ද.... මම අයිෂා....

මට ඔයාව ටිකකට මුණගැහෙන්න ඕනෙ.... "

ඇය අවශ්‍ය කාරණය ඍජුවම පවසද්දි පිළිතුරක් ගැන හිතන්න මට ලැබුනෙ තත්පර ගානයි.

" හරි....

මට අද පුලුවන්....

කොහෙදි ද..? "

මම සාමාන්‍ය ලෙසින් පිළිතුරු දුන්නා.

" වෙලාවයි තැනයි මම මැසෙජ් කරන්නම්.....

මං හිතනවා ඔයා මාව මුණගැහෙන්න එයි කියලා.... "

එපමණක් කියු ඇය ඇමතුම විසන්ධි කලා.

අයිෂාට මාත් සමගින් කතා කරන්න තිබුණු එකම මාතෘකාව ආගත් සර්. ඉතිං හිත වැඩිපුරම බය වුනෙත් ඒ නිසයි.

අයිෂාගෙ ඇමතුම විසන්ධි වී විනාඩි ගනනකට පසුව මට කෙටි පණිවිඩයක් ලැබුනෙ ඇයගෙන්. එහි පැමිණිය යුතු වෙලාව ස්ථානය ගැන සටහන්ව තිබුණා.

මා පිටතට යන බව හිමාෂාට දැනුම් දුන්නත් ඒ අයිෂා හමු වීමට බව මම ඇයට කිවුවේ නෑ. රාජකාරි වැඩකට පිටතට යන බව දැන්වූ මා පාරට ඇවිත් රික්ෂෝවක් නතර කරගත්තේ අයිෂා කියු ස්ථානයට යන්න.

සුප්‍රසිද්ධ හෝටල් සංකීර්ණයක් ඉදිරියෙ රික්ෂෝව නතර වෙද්දි මම එයින් බැහැ ගත්තා.

අයිෂාත් ආගත් සර්රුත් ගැන සිතමින්ම මම හෝටල් සංකීර්ණයට ඇතුලු වුනේ හිතේ කොනක කුකුසක් තියාගෙන.

හෝටලයේ කොරොඩෝව දිගේ පැමිණි මා කෙටි පණිවිඩයෙ සදහන් කර තිබු ආපනශාලාවට මම ඇතුලු වුනෙ ලොකු හුස්මක් අරගෙන. මා එනතුරු අයිෂා එහි අසුනකට බර වී වුන්නා.

ඇය දුටු පමණින්ම මම මුහුණට සිනහවක් ඇදගත්තත් ඇයගෙන් පෙරලා සුහදශීලි සිනහවක් නම් මට ලැබුනෙ නෑ. මම ඇයගෙ මේසයෙන් අසුන්ගත්තෙ අවසර අරගෙන.

" ඔයා මොනව ද ඕඩර් කරන්නෙ.... "

ඇය ඇහුවෙ මෙනුව පෙරලමින්.

" මුකුත් එපා මිස්.....

ඇත්තටම මට ඉක්මනට ආයෙත්  යන්න ඕනේ ඒකයි..... "

ඇය ලගදි මට දැනුනෙ අපහසුවක්. මගේ අතින් ඇයට වරදක් සිදුව නොතිබුනත් ඇය ඉදිරියෙ මට දැනුනෙ අපහසුවක්.

" ඒක හොදයි....

මටත් ඕනෙ අපේ කතාව ඉක්මනින් ඉවර කරන්න.... "

පෙරලමින් සිටි  මෙනුව පසෙකට කල අයිෂා කතා කලෙ අහංකාරයෙන්.

" කියන්න මිස්...."

මට ඕන වුනෙ මේ කතාව ඉක්මනින් පටන් අරන් ඉක්මනින් ඉවර වෙනව දකින්න.

" කියන්න නෙමේ....

ඔයාගෙන් දෙයක් අහන්නයි ඕනෙ... "

ඇය ඉක්මනින්ම බැරෑරුම් බවක් ඒ මූණට ආරූඪ කරගත්තා.

" මොකක්ද....? "

මම ඇහුවෙ සැකෙන්.

" ආගත්ව අතාරින්න.....

ඔයාට පුලුවන් ද එයාව ආයෙත් මට දෙන්න.... "

ඇය ක්ෂනිකවම මේසය මත තිබුණු මගේ අතින් අල්ලගත්තා.  මම බැල්ම පහතට හරවාගත්තෙ ඒ කතාව දරාගන්න බැරි තැන.

අයිෂාගෙන් මම මෙවැනි අසරණකමක් බලාපොරොත්තු වුනෙ නෑ. මම හිතුවෙම ඇය මා සමගින් රණ්ඩුවට ඒවි කියලා. ඒත් සිද්ද වුනෙ වෙන දෙයක්.

අයිෂාට දිය යුතු පිළිතුර ගැන මම ලතැවුණා.

" ඔයාලා දැන් එක ගෙදර ලු නේද ඉන්නෙත්.....

මේ තරම් ඉක්මනට ඒ තරම් ලං වුණාද....

අපේ එෆයාර් එකට අවුරුදු හතරක්...

ඒත් මට තාමත් බැරි වුණා ආගත්ට ඔය තරම් ලං වෙන්න.... "

එක ගෙදරක ඉන්න වුනෙ මගේ අසරණකම නිසා කියලා අයිෂා දන්නෙ නෑ. අයිෂා හිතාගෙන ඉන්න විදියෙ ලං වීමක් අපි අතර නෑ කියලා මම ඇයට කොහොම තේරුම්කරන්න ද...

එක අතකට මොකටද  මම ඇයට එය තේරුම් කරන්නෙ....

ආගත් සර්ගෙ හිතෙ තවදුරටත්  අයිෂාට ඉඩක් නෑ...

ඒත්.... මම හරියටම ඒ ගැන දන්නව ද...

" සිනුදි උත්තර දෙන්න.....

ඔයාට පුලුවන් ද එයාව අතාරින්න...

මට ආයෙත් එයාව දෙන්න.... "

මගෙන් පිළිතුරක් නොලැබෙන තැන අයිෂා ආයෙත් කතා කලා.

ආගත් සර්ගෙත් මගෙත් අතර සම්බන්ධයක් නැති වෙලත් ඇයි මගේ හිත මට ඒක කියන්න ඉඩ දෙන්නෙ නැත්තෙ...

ඇයි මට හිතෙන්නෙ මම වටින දෙයක් නැති කරගන්නව වගේ.

" ම... මට බෑ.....

කොහොමද මම එහෙම කරන්නෙ....

අයිෂා....!

මම එයාට ආදරෙයි..... "

මටත් කලින් මගේ වචන ඉස්සර වුණා. මම කිවුවේ මොනවද කියලා මටම තේරුනෙ මොහොතකට පස්සේ.

දෙයියනෙ මොනවද මං මේ කියන්නෙ...

මම දෝතින්ම මුව වසාගත්තා. ඒ මටම අවනත නොවන වචන මගේ මුවින් පිට වේයැයි බියෙන්.

ඒ වචන ඇසුනු පමාවෙන් අයිෂා මගේ අතින් අත අහක ගත්තෙ හීයක වේගයෙන්. තවත් තත්පර ගානක් ඇය මං දිහා රකුසු ඇස් වලින් බලාගෙන වුන්නා.

" තේරුම්ගත්තා හැම දේම.....

සිනුදි....

ඔයා හතුරෙක් ඇති කරගත්තා කියලා හිතාගන්න....

මම ඔයාගෙන් ආගත්ව ඉල්ලුවෙ පුලුවන් තරම් හොදින්....

ඒත් ඔයා මගේ හිත රිද්දුවා සිනුදි...

අයිෂාගෙ හිත බිදුනාම එයා ගොඩක් නපුරු වෙනවා....

මගේ වෛරයෙන් පරිස්සම් වෙලා ඉන්න...

මොකද මං දැන් ඔයාට වෛර කරනවා.... "

ඒ ඇස් වල කදුළු රැදිලා තිබුණත් ඇය ඒ කදුළු වලට වැටෙන්න ඉඩ දුන්නෙ නෑ. දබරැගිල්ල ලෙලවමින් මට තර්ජනය කරපු අයිෂා තරහින්ම ආපනශාලාවෙන් පිට වෙද්දි මම මේසයට හිස හොවාගත්තෙ ව්‍යාකූල මනසින්.

මොනවද මම ඒ කලේ.... මට පිස්සු හැදිලද....

මම දෝතින්ම හිස බදාගත්තෙ මනස තුළ සිතුවිලි රාශියක් එකින් එක පෙළ ගැසෙන විට. මම ඒ විදියට මේසය මත හිස හොවාගෙන  විනාඩි කිහිපයක් ගත කරන්නට ඇති.

ඊළග මොහොතෙ කවුරුන් හෝ මගේ හිස කෙස් අතර ඇගිලි තුඩු ගෙනියන විට මම ගැස්සුනා. ඒත් එක්කම මට ඇහුනෙ මම අහන්න අකමැතිම ඒ මූසල හඩ.

" බේබි ඩෝල්..... "

වීපි සර් මගේ සවනත ලග එහෙම කොදුරන විට මම අසුනෙන් නැගිට ගත්තෙ කලබලයෙන්. ඔහු මා ස්පර්ශ කල මුල් දිනයෙදි මෙන්ම කිසිදු වෙනසක් නැතුව මට අදත් දැනෙන්නෙ අප්පිරියාවක්.

" ආගත්කාරයා නැතුව ඔයාව මුණගැහෙන එක මොන තරම් අමාරු ද බේබි ඩෝල්...

ආගත් !!.

ඌ කොහොමද අපි දෙන්නගෙ මැද්දට ආවෙ..... "

වීපි සර්ගෙ අත් මිටිමෙලවෙනව මම බලාගෙන. කට කොනකට මැවෙන ඒ උපහසාත්මක සිනහව මට මතක් කලෙ මගේ අම්මගෙ මරණය. අම්මා උදව් ඉල්ලා කෙටි පණිවිඩ ලියලා තිබුණු සැටි , ඇයගෙ සිරුරේ තිබුනා යැයි කියන තුවාල කැලැල්, ඒ දේවල් මතක් වෙද්දි මට වීපි සර් ගැන දැනුනෙ වෙන කිසිදු දිනක නොදැනුන තරම් තරහක්.

" මම තමුසෙගෙ බේබි ඩෝල් නෙමේ.... "

වැඩි දුර නොහිතාම මගේ දකුණු අත එසැවුනා. ආපනශාලාව තුල සිටි සියල්ලෝම බලා සිටිද්දි මම ඔහුට කම්මුල් පහරක් ගැසුවේ නොපැකිලිව. ඔවුන්ට අපි කතා කල දේවල් නොඇසුනත් මා එල්ල කල කම්මුල් පහර දෙස නම් ඔවුන් සියල්ලෝම ප්‍රේක්ෂකයින් මෙන් බලන් වුන්නා.

වීපි සර් තරහින් රතු වෙනව මම බලාගෙන. ඒත් එක්කම ඔහුගෙ ආරක්ෂකයින් අපේ පැත්තට දිව එද්දි මම ඉකමන් වුණා. තව දුරටත් එහි රැදි ඉන්න පුලුවන් වාතාවරණයක් මට තිබුනෙ නෑ. බෑග් එක අතට ගත්ත මම ආපනශාලාවෙන් පිටතට දිවුවෙ අපේ පැත්තට එල්ල වෙලා තිබුණු දුරකථන කැමරා වලින් මූණ හංගගෙන.

හෝටල් සංකීර්ණය ඉදිරියෙන් මහා මාර්ගය  දෙසට මම ඉක්මන් අඩි තිබ්බෙ රික්ෂෝවක් නතර කරගැනීමෙ අරමුණෙන්. මහා මාර්ගය පෙනෙන නොපෙනෙන මානයෙදි වේගයෙන් පැමිණි කලු පැහැති වෑන් රථයක් මගේ ඉදිරිපිට නතර වුණා. එහි පිටුපස දොර විවර වුනෙත් ඒ තුළ සිටි මුහුණ ආවරණය කරගත් පිරිස බලෙන්ම මාව වෑන් රියට නග්ගවා ගත්තෙත් තත්පරයක ඇසිල්ලකින්. මුහුණු ආවරණය කරගත් හැඩිදැඩි පිරිමින් හා බොහෝ වෙලාවක් පොර බදින්න මට පුලුවන් වුනෙ නෑ.

" තමුසෙලා කවුද....

මට යන්න දෙනවා......

අතාරිනව මාව... "

මම පුලුවන් උපරිම වීරයයෙන් ඔවුන් හා සටන් කලා. තව දුරටත් මාව ඔවුන්ට පාලනය කරගත නොහැකි තැන ක්ලෝරෆෝම් යෙදු රෙදි කැබැල්ලක් උන්ගෙන් එක් අයෙක් මගේ නාසයට තද කලේ මට හිතන්නවත් කාලයක් ඉතුරු නොකර.

තවත් විනාඩි කිහිපයකින් මට දැනුනෙ ගත අප්‍රාණික වෙන අයුරු. හිස තදින් රිදුම් දෙද්දි මට සුවබර නින්දකට වැටෙන්න ඕන වුනා. ඇහි පියන් තවත් විවර කරගෙන ඉන්න බැරි තැන මම දෑස් පියාගත්තේ අවසරයකින් තොරව.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මා අවදි වුනෙ කොපමණ පැය ගානකට පසුවද යන්න තේරුමක් මට තිබුනෙ නෑ. නමුත් දෑස් විවර කල මා සිටියෙ කාමරයක් තුළ. එය හෝටල් කාමරයක් බව තේරුම්ගන්න මට අපහසු වුනේ නෑ.

මා නලලත අතගාමින්ම ඇඳෙන් නැගිටගත්තා.

මොකක්ද මට වුනේ....

තවමත් හිස තදින්ම රිදුම් දෙද්දි මම වටපිට බැලුවා. එවිටයි ඇඳේ අනෙක් පස තිබුණු ලෙහෙන්ගාව මම දුටුවෙ. නවීන විලාසිතාවකට අනුව නිර්මාණය වූ ලෙහෙන්ගාවටම ගැලපෙන ආභරණද එහි වූවා. සිද්ද වෙන්න යන්නෙ මොකක්ද කියන එක ගැන තව දුරටත් හිතන්න මට ඕන වුනෙ නෑ.

ලෙහෙන්ගාව සමගින් තිබුණු පා සලඹ දුටු පමණින්ම මට මතක් වුනෙ වේදනාකාරී මගේ අතීතය. පා සලඹමෙන් සිදු වූ කැපුම් පාරවල් වල සටහන් තවමත් මගේ දෙපා වලින් මැකිල ගිහින් නෑ. ඒ අදුරු අතීතය සිහි වූ සැනින් මා පා සලඹමින් දොරට දමලා ගැහුවෙ තරහින්.

" මේ දොර අරිනවා......

මට එලියට එන්න දෙනවා..... "

පිටතින් අගුලු ලා තිබුණු දොරට මම තට්ටු කලෙ ආවේගශිලීව.

" ආහ් මැඩම් නැගිට්ට ද....

බොස් කිවුවා ඔය ඇදුම ඇදගෙන ලෑස්ති වෙලා ඉන්න කියලා....

අපිට වද නොදි ඕක ඇදගෙන ලෑස්ති වෙනවා...  "

පිටතින් ඇසුනෙ හුරුපුරුදු හඩක් නොවේ. නිසැකවම එය වීපි සර්ගෙ ආරක්ෂකයෙකු වන්නට ඇති.

" තමුසෙගෙ බොස්ට ගිහින් කියනවා....

මැරුවත් මම ආයෙ මේ ඇදුම අදින්නෙ නෑ කියලා...... "

තරහින්ම එහෙම කියලා මම ඇඳට වැටුණා. මගේ බෑග් එක දුරකථනය ඒ කිසිවක් කාමරය තුළ තිබුනෙ නෑ. ඒත් මට බයක් දැනුනෙත් නෑ. බය නොදැනෙන තරමටම වීපි සර් ගැන මගේ හිතෙ මේ මොහොත වෙද්දි තිබුනෙ තරහක්.

තවත් විනාඩි කිහිපයක් ගත වන්නට ඇති. ඊළග මොහොතෙ අවසර නොගෙනම දොර විවර වුණා. ඒ විවර වූ දොරින් ඇතුලට ආවේ වීපි සර්.

වෙනදාට ඔහුව දුටු පමණින් මුව දෙනක මෙන් ගැහෙන්නට පටන්ගන්න මගේ හිතෙ අද පොඩි ගැස්මක්වත් ඇති වුනෙ නෑ.

ඇඳ උඩ තිබුණු ලෙහෙන්ගාව දෙසත් මා දෙසත් වීපි සර් බැලුවෙ රවාගෙන.

" බේබි ඩෝල්....

මාව තරහ ගස්සන්න එපා.....

මේක ඇදගන්නවා.... "

ඔහු ලෙහෙන්ගාව ගෙන මගේ මුහුණට විසික් කලා.

" බෑ......

මම අදින්නෙ නෑ...... "

මම කිවුවේ ස්තීරවම.

ඔහු මගේ ඇස් වල ගිණි ගෙන දැවෙන වෛරය දෙස බලාගෙන කට කොනින් හිනා වුණා. ඊළග මොහොතෙ රාක්ෂයෙකු වගේ ඔහු මගේ ගෙල සිර කරගත්තේ මාව බිත්තියට තෙරපාගෙන.

" බේබි ඩෝල්....

තමුසෙ මාව තරහ අවුස්සනවා.....

මං පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ....... "

ඔහු තව තවත් තදින් මගේ ගෙල සිර කලා.

හුස්ම ගන්න  උත්සහයක යෙදෙමින් උන්න මා උපරිම වීර්යය ගෙන වීපි සර්ව පසෙකට තල්ලු කලා. තත්පර කිහිපයක් තදින් හුස්ම ගත්ත මා ඉක්මනින් නැවතත් සාමාන්‍ය වූවා.

" තමුසෙ මොනවද මගේ අම්මට කලේ....

කියනවා.... "

සුදු පාට ශර්ටයෙ කොලරයෙන් ඇදගත් මා එසේ ඇහුවෙ වියරුවෙන් වගේ. ඔහු මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ මගේ වියරුව දෙස බලාගෙන. ඉතිං ඒ උපහසාත්මක සිනහව නිසා මා තව තවත් වියරු වැටුණා.

" කියනවා...

මොනවද කලේ......

තමුසෙ එයාව මැරුව ද......

ඇයි එහෙම කලේ....

කතා කරනවා..... "

මා තව තවත් ඔහුගෙ ශර්ටයෙන් අදිමින් ප්‍රශ්න කලා. ඒත් ඔහුගෙ එක් අත් පහරකින් විසි වෙලා ගිය මා නතර වුනෙ බිත්තියට හේත්තු වෙලා. බිත්තියෙ නලලත වැදිමෙන් හිස රිදුම් දෙද්දි බිත්තිය දිගෙ රූරා විත් මම පොළව මත හිද ගත්තෙ වේදනාවේන්.

ඊළඟ මොහොතෙ වේදනාවෙන් සිටි මගේ මුහුණට ඔහු එබුනෙ කට කොනකට මවාගත්ත හිනාවකින්.

" තමුසෙගෙ අම්මව මම මැරුවෙ නෑ....

හැබැයි ඒ ගෑණිටම මැරෙන්න හිතෙන තැනට මම වැඩ කලා....

ඒ ගෑණිගෙ ඇගේ තිබුණු හැම තුවාලයක් ගානෙම වගකියන්න ඕනෙ තමුසෙ...

ඇයි මගෙන් ඈතට ගියෙ බේබි ඩෝල්....

ඇයි......

ඔයා එදා එහෙම දෙයක් නොකල නම් තමුසෙගෙ අම්මා තාමත් ජීවත් වෙනවා....

මගේ බේබි ඩෝල්ව ඒ ගෑණිට පරිස්සම් කරන්න බැරි වුණා....

ඉතිං මම දඩුවම් නොදි කොහොමද..... "

වීපි සර්ගෙ වචන මට දැනුනෙ පිහි තුඩකින් මගේ පපුවට අනිනව වගේ.

" තමුසෙ ජරා ගොඩක්....

ඔය ජරා මූණවත් මම දකින්න ආස නෑ.....

මොන තරම් උත්සහ කලත් , තමුසෙ මොනව කලත්....

මම මැරුනත්....

මම තමුසෙගෙ වෙන්නෙ නෑ....

ඒක ස්තීරයි.... "

මම ඇස් දෙක වහගත්තෙ වීපි සර්ගෙ අත ඉහළට එසැවෙද්දි. ඒත් එක්කම මට ඇහුනෙ ආගත් සර්ගෙ හඬ.

" වීපි!!!!! "

දොර අභියස වුන්නෙ ආගත් සර්. ඔහුව දුටු පමණින්ම මගේ මූණට ලොකු හිනාවක් ඇදුනා.

ඒත් ආගත් සර්ගෙ ආවේගශිලී බැල්ම නතර වෙලා තිබුනෙ වීපි සර්ගෙ උවන මත.

" හෙලෝ... මිස්ටර් ආගත්.... "

වීපි සර් උපහසාත්මක ලෙසින් එහෙම කියද්දි ආගත් සර්ගෙ අත් මිටි මෙලවෙනවා මම බලාගෙන. ඔහු ආගත් සර්ව වැදලද ගන්න මෙන් රංගනයක නියැලුනා.

" තමුසෙ දැන්වත් ඔය සෙල්ලම නවත්තනවා වීපි.....

දැන් හොදටම ඇති..... "

ආගත් සර්ව වැලදගන්න ඉදිරියට ඇදුන වීපි සර්ගෙ පපුව මැදට ආගත් සර් පා පහරක් එල්ල කලෙ නොසිතු මොහොතක. එක් පහරකින්ම වීපි සර් ඇදගෙන වැටෙද්දි මම ආගත් සර්ගෙ අතේ එල්ලුනෙ රණ්ඩුව තවත් දුරදිග යන්න කලින්.

"  ආගත් සර් නවත්තන්න.... "

මම කිවුවේ ආයාචනාත්මක ස්වරයෙන්. ඔහු යම් තරමකට මගේ හඬින් නිවුන බව ඒ ඇස් වලින් මම තේරුම්ගත්තා.

" තමුසෙ සිනුදිගෙන් ඈත් වෙලා ඉන්නවා....

නැත්නම් මීට වඩා දේවල් සිද්ද වෙයි... "

දබරැගිල්ල ලෙලවමින් වීපි සර්ට තරජනය කල ආගත් සර් මගේ අතින් ඇදගෙන කාමරයෙන් පිටතට ආවා. රෙහාන් සමගින් තවත් ආරක්ෂකයෙක් වීපි සර්ගෙ ආරක්ෂකයින් වෙත පිස්ටලයන් දිගු කරගෙන වුන්නෙ කාමරයෙන් පිටත කොරිඩෝවේ.

" රෙහාන්...

යමු... "

ආරක්ෂකයින් දෙදෙනාවද වීපි සර්ගෙ කාමරයටම තල්ලු කර දැමු රෙහාන් කාමරය පිටතින් අගුලු දැම්මෙ ආගත් සර්ට ඇහැක් ඉගි කරමින්. කට කොනින් දඟකාර ලෙස හිනා වෙවිම ආගත් සර් ඉස්සරහට අඩි තිබ්බා. ඒ පිටුපසින් මා ද ඇදි ගියෙ නිතරගයෙන්.

මෝටර් රථයට වෙත පැමිණෙන තුරුම ආගත් සර් මගේ අත අතහැරියෙ නම් නෑ.

වීපි සර්ගෙ ආරක්ෂකයින් ලග තිබිලා රෙහාන් මට මගේ බෑග් එකත් ගෙනවිත් දුන්නා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මගේ අතේ පුංචි සීරුම් පාරවල් කිහිපයක් ඇරෙන්නට වෙනත් තුවාලයක් තිබුනෙ නෑ.

ඒත් නාගෙන ආපු වෙලාවෙ ඉදන් ආගත් සර්ගෙ රාජකාරිය වුනෙ මගේ තුවාල වලට බෙහෙත් දාන එක.

" කොහොමද දැනගත්තෙ.... "

මම ඇහුවෙ හිමින්.

" මොනව ද...? "

ආගත් සර් ඇහුවෙ ඇහැට නොපෙනෙන තවත් සීරුම් පාරකට බෙහෙත් ගල්වමින්.

" අද සිද්දිය ගැන..... "

මම අහලා ඉවර කරන්නත් කලින් ඔහු ඇස් උස්සලා බැලුවෙ රවාගෙන.

" හොටෙල් එකක සෙමඟ මැද්දෙ ඔයා වීපිගෙ කම්බුලට ගහපුවාම ඒක මට ආරංචි නොවි තියෙයි කියලා හිතුව ද...

ආ.... "

මම බැල්ම පහතට හරවාගත්තෙ ලැජ්ජාවෙන්.

" ඔයාට මං ගැන තරහ ඇති නේද... "

මම ඇහුවෙ හොරැහින් ඒ ආඩම්බරකාර නපුරු මූණ දිහා බලාගෙන. ඒ මොහොතෙ මම ආසම කරන දඟකාර හිනාව ඒ මුහුණ මත ඇදිලා මැකිලා ගියා.

" පණ්ඩිතයි කියලා දන්න නිසා තරහ වෙලා වැඩකුත් නෑ.....

මොනව වුනත් අර කම්මුල් පාර නම් සැරට වැදුනා...

ඒක නම් නියම වැඩක්.... "

ආගත් සර්ගෙන් කන් පුරවලා බැනුම් අහන්න බලාගෙන වුන්න මගේ ඇස් විසල් වුණා. බැනුම් වෙනුවට මම කරපු දේ ගැන ආගත් සර් සතුටු වෙද්දි මම උන්නෙ පුදුම වෙලා.

මට ඉබේටම  මතක් වුනෙ අයිෂාට මම කියපු වචන.

" මම එයාට ආදරෙයි..... "

ඒ වෙලාවෙ ඒ කියපු වචන මෝඩකමක් සේ සිතුනත්.

ආගත් සර්ට ආදරය කරන්න මම ගත්ත ඒ තීරණය නිසා මගේ හිතට දැනුනෙ ආඩම්බරකාර සතුටක්.

දඟකාර ඒ කම්මුලක් මත හාදුවක් තවරන්න මට ඕන වුනත් මම මාව පාලනය කරගත්තා.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter