Back
/ 43
Chapter 36

Chapter 36

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් හය වැනි කොටස 🌙

................................................................

මට ඉබේටම  මතක් වුනෙ අයිෂාට මම කියපු වචන.

" මම එයාට ආදරෙයි..... "

ඒ වෙලාවෙ ඒ කියපු වචන මෝඩකමක් සේ සිතුනත්.

ආගත් සර්ට ආදරය කරන්න මම ගත්ත ඒ තීරණය නිසා මගේ හිතට දැනුනෙ ආඩම්බරකාර සතුටක්.

දඟකාර ඒ කම්මුලක් මත හාදුවක් තවරන්න මට ඕන වුනත් මම මාව පාලනය කරගත්තා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

හීල්ස් දෙකත් බාගෙට දාගෙන මම ගෙදරින් එලියට පැන්නා.

අද යුමේෂාගෙ විවහ ගිවිසගැනීම් උත්සවය.

ආගත් සර් මෝටර් රථයට වෙලා මට ඇමතුම් කිහිපයක්ම දුන්නෙ අපි දැනටමත් පරක්කු නිසා. ඔහුගෙන් ඊළග ඇමතුම ලැබෙන්න කලින් පහළට යන්න මම ඉක්මන්  වුණා.

" සෝමා නැන්දා.... ඇවිත් මේ දොර වහගන්න....

අපි යනවා.... "

" මේ එනවා චුටි නෝනා.... "

සෝමා නැන්දා මුලුතැන්ගෙයි ඉදන් දුවගෙන එද්දි දොර බාගෙට වහලා දාලා මම දිවුවේ විදුලි සෝපානයට.

සෝමා නැන්දා අපේ ගෙදර වැඩට ඇවිත් තාම වැඩි දවසක් නෑ. සේවිකාවක් ගන්න ආගත් සර්ට උවමනාවක් තිබුනෙ නැති වුනත් සෝමා නැන්දාව බලෙන්ම වගේ අපේ ගෙදරට එවුවෙ යුමේෂා.

යුමේෂාට ඕන වුනෙ කොහොම හරි හොද තැනකින් සෝමා නැන්දාට ‍රස්සාවක් හොයලා දෙන්න. ඉතිං යුමේෂා ඒකට තෝරගත්තෙ ආගත් සර් ව.

" අහ්...!!

මගේ කරාබු දෙක....

අයියෝ මට අමතක වෙලා නේ... "

මම හීල්ලුවෙ සෑහෙන දුරක් ආවටත් පස්සේ.

ආගත් සර්ගෙ අම්මා නිසා විවාහ ගිවිස ගැනීමට නොයා ඉන්න හැදුවත් ඒ තීරණය ආගත් සර් නිසා අද උදේ වෙනස් කරන්න උනා. මම උත්සවයට යන්න කැමති වුනෙ අන්තිම මොහොතෙ. ඉතිං කිසිම සූදානමක් නැතුව ලෑස්ති වුන මට අවාසනාවකට වාගෙ තෝඩු අමතක වෙලා තිබුණා.

" අපිට ආයෙත්  ගෙදර ගිහින් එන්න වෙලාව මදි ද.... "

මම ඇහුවෙ කණ් වහගන්න කොන්ඩ මෝස්තරෙ වෙනස් කරමින්. ආගත් සර් හොරැහින් බලමින් කට කොනින් හිනා වෙන්නෙ නෝක්කාඩුවට වගේ.

" කැබින් එක ඇරලා බලන්න... "

ඔහු ඇස් වලින් පෙන්නපු කැබින් එක මම විවෘත කලෙ සැකෙන්. එහි වූ කුඩා පෙට්ටිය අතට ගත්ත මම එයද විවෘත කලා.

මගේ දෑස් විසල් වුනෙ ඉබේටම.

" මේක මගේ නේ... "

ඒ කුඩා පෙට්ටිය තුළ තිබුනෙ කාලෙකට කලින් නැති වුන මගේ කරාබු ජෝඩුවක්. මම ආගත් සර් දෙස බැලුවෙ පුදුමයෙන්.

" ඔයා ස්විමිග් පූල් එකට වැටුන දවසෙ....

හොස්පිට්ල් එකෙන් අරන් ආව ජුවලරීස්

හරියටම තියෙනව ද කියලා මම ඔයාට චෙක් කරන්න කිවුවා මතක ද.... "

ආගත් සර් එහෙම කියද්දි මගේ මතකය එදා දවසට දිව ගියා. එදා ආගත් සර්ගෙ බලපෑම නිසාම ආභරණ පරීක්ෂා කර සියල්ලම තිබෙන බවට මා ස්තීර කල හැටිත් ආගත් සර් මට ඇහෙන නෑසෙන ගානින් " කිසිම වගකීමක් නැති කෙල්ලෙක්.. " යැයි කියු සැටිත් මගේ මතකයට ආවේ ඉබේටම.

එදා ආගත් සර් මට වගකීමක් නැති කෙල්ලෙකු යැයි කියු හේතුව මම තේරුම්ගත්තෙ මේ මොහොතෙදි. ඔහු හේතුවක් නොමැතිව කිසිත් නොපවසන බව නම් දවසින් දවස මට ස්තීර වෙද්දි මගේ මෝඩකම් ගැනද ආගත් සර්ට දවසින් දවස ස්තීර වෙන්නට ඇති.

ඒ සිද්දිය මතක් කරගෙන මම මූණ රතු කරගත්තා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ගිවිසගැනීමේ උත්සවය තිබුන උත්සව ශාලාවට අපි එද්දිත් අමුත්තන් බොහෝ දෙනෙක් ඇවිත් වුන්නා. මාගේ පැමිණිම ගැන මැඩම් තරහ ගත්ත ද අමුත්තන් පැමිණ සිටි නිසා ඇය හිතාමතාම මා නොසලකා හැරියා.

උත්සව ශාලාව තිබු හෝටල් සංකීර්ණයෙම කාමරයක යුමේෂා හැඩවෙමින් වුන්නා. මම යුමේෂාගෙ කාමරයට ආවේ උත්සව ශාලාව තුළ දැනුන අපහසුව නිසාමයි.

" මම එන්න ද....."

අවසර අරගෙන මම කාමරයට එබෙද්දි යුමේෂා කට පුරා සිනාසුනා.

" අහ්... සිනුදි....

එන්න අනේ...... "

ඇය හැඬ වෙමින් සිටි හෝටල් කාමරය තුළ රූපලාවණ්‍ය ශිල්පිනිය මෙන්ම අයිෂා ද උදව් වෙමින් වුන්නා.

" මෙච්චරයි මදි වෙලා තිබුනෙ.... "

අයිෂා ඇනුම්පදයක් ද කියාගෙන කාමරයෙන් පිට වුනෙ මම ආවට පස්සෙ.

" අයිෂා.....! "

යුමේෂාගෙ හඬට ඇය නතර කර ගන්න පුලුවන් වුනෙ නෑ.

" මම නිසා ඔයත් එක්කත් අයිෂා තරහ වුණා ද දන්නෙ නෑ..... "

මම කිවුවේ හුස්මක් අරගෙන.

" අයිෂාව මම යාලු කරගන්නම්කෝ....

ඔයා ඒ ගැන හිතන්න එපා...

ඒක නෙමේ...

සෝමා ආන්ටිට කොහොමද...

එයා වැඩ ටික හොදට කරනව නේ.... "

යුමේෂාට ඕන වුනෙ කතාව වෙනත් පැත්තකට හරවන්න..

" අනේ ඔව්...

සෝමා නැන්දා ආව නිසා මට දැන් ලේසි...

ඒකට ස්තූතියි කරන්න ඕනෙ ඔයාට.... "

යුමේෂාගෙ කොණ්ඩ මෝස්තරය අවසන් වන තුරු අපි දෙන්නා බොහෝ දේ කතා කරමින් වුන්නෙ කාලෙක ඉදන් හොදම යාලුවො වගේ.

අහස් නිල් තට්ටු ගවුමකින් සැරසිලා වුන්න යුමේෂා සුරංගනාවියක් තරම් ලස්සනයි.

කාමරයෙන් පිටතට ගිය අයිෂා ආයෙත් ආවේ සිල්ල සූදානම් වුනාට පස්සෙ.

" යුමී... වෙලාව හරි....

ආන්ටි ඔයාව එක්කගෙන එන්න කිවුවා...

යමු නේද... "

කාමරයට එබුන අයිෂා එහෙම කියද්දි යුමේෂා ටිකක් ගැස්සෙනවා මම බලාගෙන.

" මට බයයි වගේ...

මම බදින්නම ඕනෙ ද...? "

යුමේෂා එහෙම අහද්දි නම් අපි හැමෝගෙම මූණවල් වලට හිනාවක් ඇදුනා.

" ඕවා හිතන්න තිබුනෙ පෝරකෙට නගින්න කලින්....

දැන් ඉතිං යමු.... "

අයිෂා හිනා වෙවි එහෙම කියද්දි යුමේෂා මූණ ඇබුල් කරගත්තා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

යුමේෂාව උත්සව ශාලාවට අරන් යන්න ආගත් සර් ඇවිත් උන්නා. කාමරයෙන් එළියට ආව හැටියෙම යුමේෂා ආගත් සර්ගෙ අතේ එල්ලුනෙ ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන.

" අයියා අදවත් එයාව අදුරගන්න...

හරි ද.... "

ආගත් සර් තවමත් යුමේෂාගෙ අත ගන්නෙ කවුද කියන එක දැනගෙන වුන්නෙ නෑ. ආගත් සර්ට ඔහුව හදුන්වලා දෙන්න යුමේෂාට තිබුනෙ ලොකු උනන්දුවක්.

මේ තරම් නිදහසෙ ජීවත් වෙන යුමේෂාගෙ හිත ගත්ත ඒ වාසනාවන්තයාව මුණගැහෙන්න මමත් උන්නෙ නොයිවසිල්ලෙන්.

ආගත් සර්ගෙ අතේ එල්ලිලා යුමේෂා උත්සව ශාලාවට ඇතුලු වෙද්දි ශාලාව පුරා පැතිරුනෙ සෞම්‍ය සංගීත කණ්ඩයක්. හැමෝගෙම ඇස් තිබුනෙ සුන්දර යුමේෂා ලග. අයිෂාත් මමත් ඔවුන්ට පිටුපසින් ශාලාවට ඇතුලු වුණා.

ප්‍රධාන දොරට පිටු පා රෙජිස්ටාර්වරයා ඉදිරියෙ සිටගෙන සිටි ඔහු යුමේෂා වෙත හැරුනෙ ඇය පිළිගන්න වගේ.

කට කොනින් හිනාවෙගෙන යුමේෂා වෙත අත දිගු කලෙ වීපි සර්.

මට මගේ ඇස් අදහ ගන්න බැරි වුනා. මම ආයෙ ආයෙත් ඒ මූණ දිහා බැලුවෙ මට වැරදුනාදෝයි සිතමින්.

ඒත් නෑ..

ඒ ඔහුමයි. වීපි සර්මයි.

මොහොතකට මගේ හදගැස්ම වේගවත් වුණා. ඒත් එක්කම මම දැක්කෙ දෑත් මිටි මොලවාගෙන වීපි සර් වෙත කඩාපනින ආගත් සර් ව. මිටි මෙලවු අත් පහරක් වීපි සර්ගෙ මුහුණ මත නතර වෙද්දි ඔහු වාරු වුනෙ ලඟම තිබුණු මේසයට.

" උඹට කවුද මෙහෙට එන්න අවසර දුන්නෙ.... "

වීපි සර්ගෙ කෝට් එකෙන් ඇදගෙන ආගත් සර් එහෙම අහද්දි මුලු උත්සව ශාලාවම වගේ කලබල වුණා.

" ආගත්...!!!! "

මැඩම් උත්සහ කලෙ ආගත් සර්ව පසෙකට ඇදගන්න. ආගත් සර් වියරුවෙන් මෙන් හැසිරුනත් වීපි සර් අහිංසක මූණක් මවගේන කිසිදු පැනයකට පිළිතුරු නොදි නිහඬවම වුන්නා.

" පිස්සු හැදිල ද.... ආගත් මොනවද මේ කරන්නෙ.... "

මැඩම් කෑගැහුවේ හැමෝම ඉස්සරහ. මට හැම දෙයක්ම ඇහුනෙ, පෙනුනෙ හීනෙන් වගේ. සිද්ද වුන කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් මට තිබුනෙ නෑ.

ඇස් වල කදුළු පුරෝගෙන යුමේෂා ආගත් සර්ගෙ අතේ එල්ලුනා. ආගත් සර් යම් තරමකට හෝ සන්සුන් වුනා නම් ඒ යුමේෂා නිසා විතරමයි.

" ආන්ටි රිලැක්ස්.....

ගෙස්ට්ලා හැමෝම බලාගෙන ඉන්නෙ..... "

අයිෂා කනට කරලා එහෙම කියද්දි මැඩම් පියවි සිහියට ආවේ. ඇය ඉක්මනින්ම ක්‍රියාත්මක වුනා.

අමුත්තන්ගෙන් සමාව ඉල්ලු ඇය ආගත් සර්වත් ඇදගෙන පිටතට ගියෙ අමුත්තන්ට විනෝද වන්න යැයි කියමින්.

පියවි සිහියට පැමිණි මොහොතෙම මම ද ඒ පිටුපසින් දිව ගියා.

මැඩම් ආගත් සර්ව එක්කගෙන ගියෙ යුමේෂා හැඩ වූ කාමරයට. මම ඒතනට යද්දිත් ඔවුන් දෙදෙනා උස් හඬින් තර්කයක.

" මොනවද ඔයාට වෙලා තියෙන්නෙ ආගත්....

ඇයි අපිට මේ තරම් අවනම්බු කරන්නෙ...

කොහෙවත් ඉන්න ජරා ගෑණියෙක්ව ගේ අස්සෙ දාගෙන ඉන්නවා....

ඒ මදිවට නංගිගෙ වෙඩින් එකට ඇවිත් ඒක විනාස කරනවා....

ඔයාට ඔය තරම්ම අපිත් එක්ක තියෙන තරහ මොකක්ද ආගත්.... "

" අම්මා... දන්නව ද ඒ කවුද කියලා.....

ඒ මිනිහා මොන වගේ කෙනෙක් ද කියලා අම්මා දන්නව ද....

ආ..... "

ආගත් සර් කතා කලෙ ආවේගශිලීව.

මම කාමරය ඉස්සරහ නැවතිලා වුන්නෙ ඇතුලට යන්න ශක්තියක් නැති තැන. ඊළග මොහොතෙ යුමේෂාත් එක්ක වීපි සරුත් එතනට ආවා. ඔවුන්ට පිටුපසින් අයිෂාත් දුවගෙන ආවේ කලබලයෙන්. ඇතුලෙන් ඇහෙන වචන හුවමාරුව නිසාම අපි ගල් ගැහිලා වගේ දොර ඉස්සරහ හිටගෙන වුන්නෙ ඇතුලට යන්න බැරි තැන.

ආගත් සර්ගෙ අත් පහරින් වීපි සර්ගෙ තොල් අග පැලී තිබුණා. වීපි සර්ට විරුද්ධව ඇහෙන හැම වචනයක් පාසාම යුමේෂා තව තවත් තදින් වීපි සර්ගෙ අතේ එල්ලෙනවා මම බලාගෙන. ඇය ඉකිබිදුම් පාලනය කරගෙන වුන්නෙ ලොකු පරිශ්‍රමයකින් බව මම තේරුම්ගත්තා.

මම වීපි සර් දිහා බැලුවෙ රවාගෙන. මගේ බැල්ම වෙන කවුරුත් නොදැක්කත් වීපි සර් නම් ඉක්මනින්ම මගේ බැල්මට ප්‍රතිචාර දැක්වූවා. ඔහු සුපුරුදු ලෙසින් කට කොනට හිනාවක් මවාගත්තෙ සමච්චලයට.

" මොන වගේ කෙනෙක් ද...

කියනව බලන්න...

මම එක දෙයක් හොදටම දන්නවා ආගත්......

ඒ ළමයා තමුන්‍ට වැඩිය නම් දාස් ගුණයක් හොදයි.....  "

" සල්ලි තියෙනව නම් ඔයාට මොනාද අම්මා හොද නැත්තෙ....

ඔයා අඩුම තරමෙ දන්නව ද....

ඒ මිනිහා කරන පහත් වැඩ ගැන.....

ඔයා දන්නව ද.... වීපි කියන්නෙ මොන වගේ මිනිහෙක් ද කියලා..... "

ආගත් සර්ගෙ කතාව ඉවර කරන්න ලැබුනෙත් නෑ අනවසරයෙන්ම වීපි සර් කාමරයට ඇතුලු වුණා. ඒ පිටුපසින් අපිද ඇතුලට ඇදුනෙ නිතරගයෙන්ම.

" හොදටම ඇති මිස්ටර් ආගත්....

මම පිළිගන්නවා...

අපි අතර බිස්නස් ප්‍රශ්න තියෙනවා කියලා...

ඒත් මං හිතුවෙ නෑ.... මේ තරම් පහත් විදියට ඒ ප්‍රශ්න ඔයා මගේ වෙඩින් එකට අරගෙන එයි කියලා.....

ශිට්...!!

යුමේෂා තමුන්ගෙ නංගි කියලා මං කලින් දැනගෙන වුන්නා නම්.... "

කතාවෙන්ම යුමේෂා දිහා බලපු වීපි සර් කියන්න හදපු දේ හිතාමතාම ගිල ගත්තා. යුමේෂා කලබල වුනෙ ඒ මොහොතෙදි.

" ආගත් මගේ අයියා කියලා  කලින් දැනගෙන වුන්නා නම් මොකද වෙන්නෙ විහාන්.....

එහෙම වුණා නම් ඔයා මාව අතාරිනව ද...

ආ.... ඔයා එහෙම කරනව ද.... ? "

යුමේෂා ඇහුවෙ ඇස් වල කදුළු පුරෝගෙන වීපි සර්ගෙ අතේ එල්ලෙන ගමන්.

" යුමී....

තේරුම්ගන්න....

ඔයාගෙ අයියගෙයි මගෙයි ප්‍රශ්න ලේසියෙන් විසදෙන ඒවා නෙමේ....

ඒත් යුමී....

මම ඔයාට ආදරෙයි....

මට ඔයාව අතාරින්න බෑ....

එහෙම හිතන්නවත් එපා....... "

යුමේෂාගෙ මුහුණ දෝතට ගෙන ඔහු රඟ දැක් වූයෙ චිත්‍රපට ප්‍රේමවන්තයෙකුගෙ චරිතයක්. ඒ රංගනය මගේ ඇස් ඉදිරියෙ රඟ දක්වන මොහොතෙ මම උන්නෙ යුමේෂා ගැන හදවතින්ම දුක් වෙමින්.

ව්‍යාපාර ලෝකයට වීපි වුන විහාන් සදේෂ් පෙරේරාගේ මේ රංගනය දරාගන්න බැරි තැන ආගත් සර්ගෙ දෑත් නැවතත් මිටි මෙල වෙනවා මම බලාගෙන.

යුමේෂා , මැඩම් , අයිෂා ඒ හෑමෝම උන්නෙ වීපි සර්ගෙ පැත්තෙ. ඉතිං මම ආගත් සර්ගෙ අත තදින් අල්ලගත්තෙ ඉවසන්න කියලා ඇස් වලින් කියමින්. මිටි මෙලවු දෑත් ලිහිල් කරමින් ඔහු බරැති හුස්මක් ගත්තා.

යුමේෂාගෙත් මැඩම්ගෙත් හිත දිනා ගන්න අරමුණෙන් වීපි සර් තවත් බොහෝ දේ කිය වූවාට පස්සෙ යුමේෂා ලං වුනෙ ආගත් සර් ට.

" අයියා....

මං වෙනුවෙන් එක දවසකට බිස්නස් අමතක කරන්නකෝ....

මම විහාන්ට ගොඩක් ආදරෙයි....

මට එයාට නැති කරගන්න බෑ....

ප්ලීස් අයියා....

එයාව පිළිගන්න..... "

යුමේෂා කතා කලෙ අත් දෙකත් එකතු කරගෙන ආයාචනාත්මක ස්වරයෙන්. ආගත් සර් ඇයගෙ අත් දෙකෙන් අල්ලගත්තා.

" යුමී මාව විශ්වාස කරන්න.....

මේ මිනිහා ඔයාට ආදරෙ කරන්නෙ නෑ....

මේ වගේ පහත් මිනිහෙක් ලග ඔයාගෙ සතුට නෑ යුමී.....

අනික අපි අතර තියෙන්නෙ බිස්නස් ප්‍රශ්නෙකුත් නෙමේ....

මට බිස්නස් වටින්නෙ නෑ මගේ නංගිව තරම්.....

විශ්වාස කරන්න.... "

යුමේෂා මොනවදෝ කියන්න හැදුවත් වීපි සර්  කතාවට මැද්දෙන් පැන්නා.

" බිස්නස් ප්‍රශ්නයක් නෙමේ නම්....

අපි අතර මොකක්ද තියෙන ප්‍රශ්නෙ මිස්ටර් ආගත්.... "

වීපි සර් එහෙම ඇහුවෙ ආගත් සර් මගේ නම්බුව ගැන හිතලා ඒ කතාව මෙතන නොකියන බව හොද හැටිම දැනගෙන. වීපි සර්ගෙ ඒ කතාවත් එක්ක වියරු වූ ආගත් නැවතත් ඔහුගේ ඇඟට කඩන් පැන්නා.

" කට වහ ගන්නවා වීපී....

මට තමුසෙත් එක්ක කතාවක් නෑ.... "

වීපි සර්ගෙත් ආගත්ගෙත් මැදට  ඇවිත් හිටගත්ත යුමේෂා ඊළඟට කතා කලේ දෙන්නගෙම මුහුණ වරින් වර බලමින්.

" අයියා....

එයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ....

ඔයාලාගෙ ප්‍රශ්නෙ මොකක් ද...

අපි උත්තරයක් හොයාගමු...."

යුමේෂා එහෙම කියද්දි මගේ මුලු ඇඟම සීතල වුණා. මම මාවම පාලනය කරගෙන වුන්නෙ පුදුම තරම් අපහසුවෙන්.

" යුමී මට ඒක ඔයාට කියන්න බෑ....

ඒත් විශ්වාස කරන්න....

මේ මිනිහා හොද කෙනෙක් නෙමේ.... "

" මිස්ටර් ආගත් !!!

කරුණාකරලා මගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගන්න එපා....

මගේ නමට... ඔයා ඔය කරන චෝදනාව ඔප්පු කරන්න සාක්ෂි තියෙනව ද.... "

වීපි සර් එහෙම කියද්දි ආගත් සර්ගෙ බැල්ම ඉබේටම නතර වුනෙ මගේ ලග. ඒ තරම් අසරණ බවක් මට කවදාවත් දැනිලා තිබුනෙ නෑ. කාටත් හොරෙන් වීපි සර් කට කොනින් හිනා වෙනව මම බලාගෙන.

මට අඬන්න ඕනෙ වුණා. මුලු ලෝකෙටම ඇහෙන්න අඬන්න ඕන වුණා.

ආගත් සර්ගෙ ඇස් වලින් මිදිලා මම බැල්ම පහතට හරවා ගත්තෙ අසරණව.

ආගත් සර් ආයෙත් පාරක් වීපි සර්ගෙ ගෙල සිර කරගත්තේ අපි කවුරුත් නොසිතු මොහොතක.

" මේ සෙල්ලම නවත්තපන් වීපි....

නැත්නම් මං උඹව මරනවා.... "

" අයියා ඕක නවත්තන්න.... "

" ආගත් ඔය ළමයව අතාරින්න....

ආගත්.... "

යුමේෂාත් මැඩමුත් උපරිම වීර්යයෙන් ආගත් සර්ව පසෙකට ඇද ගත්තා.

හුස්මක්වත් නොගෙන ආගත් සර් හැරුනෙ යුමේෂා වෙත.

" යුමී....

අද ඔයා මේ මිනිහව මැරි කලොත්....

මතක තියාගන්න....

ඔයාට ආයෙත් අයියා කෙනෙක් නෑ........ "

දබරැගිල්ල ලෙලවමින් තර්ජනාත්මක ස්වරයෙන් එහෙම කියපු ආගත් සර් තවත් මොහොතක් හෝ එහි නොරැදි පිටතට යද්දි යුමේෂා හුන් තැනම දණින් වැටුණා.

" අනේ අයියා.....

මං විහාන්ට ගොඩක් ආදරෙයි..... "

දෝතින්ම මුහුණ වසාගෙන යුමේෂා අඬන්න පටන් ගත්තා. ඇයව සනසන්න ඉදිරිපත් වුනෙ අයිෂා.

" ඇඬුවා ඇති යුමේෂා....

යමු....

රෙජිස්ට්‍රෙෂන් එක ඉවර කරන්න ඕනෙ.... "

මොහොතකට කලින් සිදු වූ කිසිවක් ගනනකට නොගෙන මැඩම් එහෙම කියද්දි මගේ ඇසුත් ලොකු වුණා.

" මට ඔයාව විශ්වාස කරන්න පුලුවන් නේද විහාන්..... "

යුමේෂා ඇහුවෙ වීපි සර්ගෙන්. ඔහු තදින් ඇයගෙ අත අල්ලගත්තා.

" යුමී...මම ඔයාට ආදරෙයි... ගොඩක්....

ඔයාට මම බොරුවක් කරන්නෙ නෑ....

අනික වෙන කාටත් වඩා...

ඔයා මං ගැන දන්නවා....

ඔයාගෙ අයියට මාත් එක්ක තියෙන ලොකුම ප්‍රශ්නෙ එයා මට ඊරිසියා කරනවා....

බිස්නස් ෆීල්ඩ් එකේ මම එයාට වඩා ඉස්සරහින් ඉන්න එකට මම මොනවා කරන්න ද යුමී....

ඒක මගේ ටැලන්ට් එක.. එහෙම නැත්නම් ඒක මගේ ලක් එක වෙන්නත් ඇති....

මමත් කැමති ආගත්ට උදව් කරන්න....

මම ඔයාට පොරොන්දු වෙනව යුමී... ඔයාගෙ අයියව කොහොම හරි මම කැමති කරව ගන්නවා....

අපි දෙන්නම එකතු වෙලා එයාට උදව් කරමු..... "

මම දෑත් මිටි මොලවා ගත්තෙ වීපි සර්ගෙ ඒ වචන වලට.

මේ තරම් ලොකු බොරුවක්...

මට තවත් ඒ නාඩගම් ඉවසන්න පුලුවන් වුනෙ නෑ.  මම එළියට දිවුවේ ආගත් සර්ව හොයාගෙන.

මම එද්දිත් ආගත් සර්ගෙ මෝටර් රථය දූවිලි මැඩගෙන වේගයෙන් ඉස්සරහට ඇදුනා. මට ඔහුව නතර කරගන්න අවස්තාවක් ලැබුනෙ නෑ...

ආයෙත් ඇතුලට ගිහින් වීපි සර් ගැන හැම ඇත්තක්ම ඒ හැමෝම ඉස්සරහ මට කියන්න නොහිතුනා නොවේ. ඒත් ආගත් සර් කියපු දේවත් කනකට නොගත් ඒ මිනිස්සු මං කියන දේ විශ්වාස කරයිද කියලා මට තිබුනෙ සැකයක්. ඒ කොහොම වුනත් යුමේෂාත් වීපි සරුත් මුදු මාරු කරගන්නවා දුරින් ඉදන් බලන් හිටපු මට දැනුනෙ මං ගැනම තරහවක්. ඇයි මම ඒ ඇත්ත කිවුවේ නැත්තෙ කියන ප්‍රශ්නෙ මාව සැරෙන් සැරේට මරලා දැම්මා.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter