Back
/ 43
Chapter 37

Chapter 37

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් හත් වැනි කොටස 🌙

................................................................

මේ තරම් ලොකු බොරුවක්...

මට තවත් ඒ නාඩගම් ඉවසන්න පුලුවන් වුනෙ නෑ.  මම එළියට දිවුවේ ආගත් සර්ව හොයාගෙන.

මම එද්දිත් ආගත් සර්ගෙ මෝටර් රථය දූවිලි මැඩගෙන වේගයෙන් ඉස්සරහට ඇදුනා. මට ඔහුව නතර කරගන්න අවස්තාවක් ලැබුනෙ නෑ...

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ගෙදරට තිබුනෙ කාමර දෙකක් විතරක් නිසා සෝමා නැන්දට ඉන්න වුනෙ විසිත්ත කාමරයෙ. ඔලුවෙ ඉදන්ම පෙරවගෙන සෝෆාවට වෙලා සෝමා නැන්දා තද නින්දක.

විසිත්ත කාමරයත් රූපවාහිනී කාමරයත් යා කරන පඩිය උඩ ඉදගෙන මම දොර දිහාම බලාගෙන වුන්නා. දණහිස් මත නිකට හොවාගෙන සිටි මා ඇස් උස්සලා බිත්ති ඔරලෝසුව දෙස බැලුවෙ ආගත් සර් තවමත් නිවසට නොපැමිණීම ගැන තැවෙමින්.

මධ්යම රාත්‍රිය ද උදා වෙලා තිබුණත් ආගත් සර් නම් ආයෙත් ආවේ නෑ. කී වතාවක් ද කියලා මතක නැති තරමටම මම ඔහුට ඇමතුම් ලබා ගන්නට ඇති. පඩිය මත තිබුණු දුරකථනය අතට ගත්තෙ ආයෙත් වරක් ඔහුව සම්බන්ධ කර ගන්න උත්සහයක හෝ යෙදෙන්න.

මා ඔහුට ඇමතුමක් ලබා ගත්තා. තත්පර කිහිපයක පමාවෙන් ආගත් සර්ගෙ දුරකථනයෙ හඬ දොර දෙසින් ඇසෙන්නට වුනෙත් මම දොර වෙත ගියෙත් ක්ෂණිකවම  අඩියට දෙකට.

අගුලු හැර දොර විවර කරනවාත් එක්කම දොරට වත්තම් වෙලා වුන්න ආගත් සර් මගේ ඇඟට වැටුණා.

" ආගත් සර්...!!

පරිස්සමෙන්....... "

මගේ හඬට ද කොහෙද සෝමා නැන්දාද නැගිටලා දුවගෙන ආවේ කලබලයෙන්.

" දෙයියනෙ.....

මහත්තයා..!! "

ආගත් සර්ව සෝෆාවෙන් නිදි කරවාගන්න සෝමා නැන්දා ද මට හරි හරියට මට උදව් වුණා.

ආගත් සර් පමණටත් වඩා මත් වෙලා. ඔහුගෙ එක් අතක තවමත් සැර මත් පැන් බෝතලයක් රැදිලා තිබුණා.

සෝමා නැන්දා මුලුතැන්ගෙට දිවුවේ වතුර අරන් එන්න වෙන්න ඇති.

ආගත් සර්ගෙ සපත්තු ගලවලා දාපු මම ඔහුගෙ අතේ තිබුණු මත් පැන් බෝතලය ද ඔහුගෙන් ඉවත් කලා. ආගත් සර්ගෙ ශර්ටයේ බොත්තම් කිහිපයක් ලිහිල් කර ඔහුට බ්ලැන්කට්ටුවක්ද පෙරවූවාට පසුවයි මම හුස්මක් ගත්තේ. සෝමා නැන්දා නිකටට අතත් තියාගෙන තාමත් හූල්ලනවා.

" සෝමා නැන්දා මගේ රූම් එකේ නිදාගන්න....

මං මෙතන ඉන්නම්.... "

සෝමා නැන්දා අකමැති වුනත් මම බලෙන්ම වගේ ඇයව මගේ කාමරයෙ නින්දට යැවුවෙ ඇයගෙ සෞඛ්‍ය තත්වය ගැන මා වද වුන නිසා. නිදන්ගත රෝගයකින් පීඩා විදි ඇයට නිදි මැරිම ඒ තරම් හොද නැති බව මා දැනගෙන වුන්නා.

සෝෆාවට ලගම ටයිල් පොළව මත හිද ගත්ත මා ආගත් සර් දිහා බලාගෙන සුසුම් ලෑවේ හිතේ ලොකු බරකින්.

ඔහුගෙ හිස අත ගාමින් සිටි මා වෙත නොදැනිම නින්ද පැමිණ තිබුණා. සෝෆාව මත හිස හොවාගෙන නින්දක පසු වූ මා අහම්බයෙන් අවදි වුනෙ හෝරාවකට පමණ පසුව.

මා දෑස් විවර කරන විට නින්දේ සිටි ආගත් සර් අවදි වෙලා වුන්නා.

මධ්‍යම රාත්‍රිය පසු වෙමින් තිබුණු අදුරෙ නිවස තුළ දැල් වුනෙ එක් විදුලි පහනක ආලෝකයක් පමණයි.

ආගත් සර් බිම ඉදගෙන සෝෆාවට හේත්තු වෙලා ආයෙත් පාරක් මත් පැන් බෝතලය ලං කරගෙන වුන්නා.

" ආගත් සර්....

දැන් ඔය ඇති....... "

මත් පැන් බෝතලය මා උදුරගත්තා. ඔහු මා දෙස බැලුවෙ මත් වූ දෑස් වලින්.

" එන්ගෙජ්මන්ට් එක වුණා ද...? "

ඔහු ඇහුවෙ මගෙන් සතුටු ආරංචියක් ලැබෙවි කියන පුංචි හෝ බලාපොරොත්තුවකින්. ඉතිං කදුළු පිරුණු අසරණ  ඇස් මම බිමට හරවා ගත්තා.

" හ්ම්...... "

වචනයෙන් පිළිතුරු නොදි මම හිස දෙපසට වැනුවෙ ඔව් කියන්න. ආගත් සර්ගෙ බලාපොරොත්තු බිදුණු මුහුණ අදුරු වෙනව මම බලාගෙන.

" වීපි සර් බොරු ගොඩක් කිවුවා....

මැඩම් වුනත් එන්ගෙජ්මන්ට් එක කරන්නම ඕනෙ කියලා යුමේෂට බල කලා සර්.... "

මම පැහැදිලි කලෙ ආගත් සර් ගියාට පස්සෙ සිද්ද වුන දේ.

ඊළගට ඔහු මගේ උකුල මතින් හිස හොවාගත්තෙ මම නොසිතු මොහොතක.

" දන්නව ද....

අද තරම් මගේ ජීවිතෙ මම කවදාවත් අසරණ වෙලා නෑ......

මට හිතුනෙ...

මම... වේගෙන් එන කෝච්චි දෙකක් මැද හිටගෙන ඉන්නව වගේ....

මොන කෝච්චිය මුලින් ආවත් කැඩිලා බිදිලා යන්නෙ මාව....

එක්කෙනෙක්ව බේරගන්න අනිත් කෙනාව පාවලා දෙන්න වෙනවා...

මම කාවද බේරගන්නෙ.... කාවද පාවලා දෙන්නෙ....

මට කියන්න සිනුදි.....

මං මොනවද කරන්න ඕනේ.... "

ඉකිබිදුම් පාලනය කරගෙන මම නිහඬවම වුන්නා. මම මොනව කියන්නද... මොනව කරන්න ද... වෙලාවකට හිතෙනවා මේ හැමදේකටම මුල මම කියලා... ඉතිං මම මොනව කියන්න ද...

ආගත් සර්ට වඩා මම අසරණයි...

ආගත් සර්  නැවතත් මගේ උකුලෙන් ඈත් වුණා. පසුව සෝෆාවට හිස බර කර ගත්ත ආගත් සර් කතා කලෙ කලකිරිමෙන්..

" මේ සෙල්ලම නවත්තන්න කියලා මම ඌට කියපු වෙලාවේ.. වීපි මොනාද කිවුවේ දන්නව ද..... "

මම වුන්නෙ ඔහුගෙන් පිළිතුර දැනගන්න කුතුහලයෙන්. ඒත්මගේ මුහුණ දිහා බලපු ආගත් සර් කියන්න ගිය කතාව එකපාරටම ගිල ගත්තා.

" මට නිදාගන්න ඕනේ.... "

කියන්න ගිය කතාව අතර මඟින් නතර කරපු ආගත් සර් බිත්ති වලට වත්තම් වෙවි කාමරයට යන දිහා මම ඔහේ බලාගෙන වුන්නා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" මොනාද කියන්නේ....

වීපි.. ආගත් සර්ගෙ නංගිව මැරි කරන්න හදනවා....!! "

සිම්මි හූල්ලනවා දුරකථනයෙන් පවා මට ඇසුනා. මොන තරම් දුරින් වුන්නත් පුලුවන් හැම වෙලාවකම සිම්මි ගැන හොයලා බලන්න මම අමතක කලෙ නෑ.

සිම්මිට මම ඇමතුමක් ලබා ගත්තෙ යුමේෂා හමු වීමට යන අතරෙ.

" මට තේරෙන්නෙ නෑ සිම්මි..... මොනව වෙන්න යනව ද කියලා....

ඒක නෙමේ...

ඔයා හොදින් ඉන්නව නේද....

අත්තම්මට කොහොමද....  "

අත්තම්මා එක්ක ගමට යන්න ගත්ත තීරණය වෙනස් කරපු එක ගැන පළවෙනි වතාවට මම පසු තැවුණා. ඒත් සිම්මි හරි සතුටින් කියලා දැනෙද්දි මගේ හිතටත් පුංචි සතුටක් දැනෙන්නෙ ඉබේටම.

" මෙහෙ හැම දෙයක්ම  හොදින්....

ඔයා පරිස්සම් වෙන්න සිනුදි....

යන හැම තැනකම ආගත් සර් එක්ක හරි රෙහාන් එක්ක හරි යන්න...

මට නම් ඔය ජරා සතා වීපීව පොඩ්ඩක්වත් ශුවර් නෑ...... "

සිම්මි කතා කලෙ තරහින්.

මම හුස්මක් ගත්තා. සිම්මිට කොහොම පැහැදිලි කරන්නද ගෙවුන දින කිහිපය තුළ ආගත් සර්ව මම දකින්නෙත් කලාතුරකින් කියලා. කාර්යාලය තුළ ඉන්න වෙලාවට වඩා ඔහු එහි නොසිටින කාලය වැඩි. ගෙදර ආවත් ඒ මහ රෑට. එකම කාර්යාලයෙ, එකම ගෙදර ජීවත් වෙලත් අපි වචනයක් කතා කරන්නෙ කලාතුරකින්.

යුමේෂාව හමු විය යුතු කැෆේ එක අසලින් රික්ෂෝව නතර වෙද්දි මම සිම්මිට සමු දුන්නා.

" ඔයත් පරිස්සමෙන් ඉන්න....

අත්තම්මව මතක් කලා කියන්න සිම්මි....

මං තියන්නම්.... "

එලිමහන් උද්‍යානයෙ මේසයක තනිවම වුන්න යුමේෂාව මගේ ඇස් ගැටුනෙ ඇයව හොයාගන්න වටපිට බලන මොහොතෙ. දුරකථනය දෙස කලකිරීමකින් බලාගෙන වුන්න යුමේෂාට මම ලං වුණා.

" මොනවද බලන්නෙ.... "

ඇයට ඉදිරියෙ වූ අසුනට මම බර වුනෙ එහෙම අහගෙනම.

ලගට එන තුරුම මාව නොදුටු ඇය මගේ හඬට කලබල වුණා.

" අහ්....

මුකුත් නෑ..... "

ඇය දුරකථනය පසෙකට කලෙ මගෙන් ඇස් හංගගෙන.

" මුකුත් නැත්නම් ඇයි මේ දුකින් වගේ...... "

මම ඇහුවෙ කුතුහලයෙන්.

" සිනුදි ඔයා මට ඇත්ත කියනව ද....

මොකක්ද ඔයාලා අතර තියෙන ප්‍රශ්නෙ.... "

ඇය එකවරම ඒ ඇසූ ප්‍රශ්නයේ අඟක් මුලක් මට තේරුනෙ නෑ.

" මොනව ගැනද ඔයා අහන්නෙ.... "

ඇය මට ඇයගෙ දුරකථනය දිගු කලා. එහි වීඩියෝ පටයක් ධාවනය වෙමින් තිබුණා.

හෝටල් සංකීර්ණයක් තුළ මම වීපි සර්ගෙ කම්මුලට ගැසු අවස්ථාවේ තත්පර කිහිපයක වීඩියෝව දෙස මම නිහඬවම බලාගෙන වුන්නා. එහි තිබුනෙ මා ඔහුට පහර දෙන අවස්ථාව පමණයි. ඉන් පෙර සිදු වූ කිසිවක් එහි පටිගත වෙලා තිබුනෙ නෑ.

" මට ඔය වීඩියෝ එක ටිකකට කලින්  අයිෂා එවපු එකක්...

අහන්න සිනුදි...

ඔයාලා අතර ප්‍රශ්නයක් තියෙනවා කියන එක මට දැන් පැහැදිලි....

එත් සිනුදි මම ඔයාට විතරක් වැරදි කියන්නෙ නෑ....

විහාන්ගෙත් මොකක් හරි වැරැද්දක් ඇති....

ඒත්....

මගේ විහාන් ඔයාලා හිතාගෙන ඉන්න තරම් වැරදි කෙනෙක් නෙමේ....

මට ඒක විශ්වාසයි....

බැරි වෙලාවත්....

ඔයාට ආයෙත් දවසක විහාන්ගෙ කම්මුලට ගහන්න හිතුනොත් ඔයා ගහන්න....

ඒකට කමක් නෑ....

ඒත් ප්ලීස්....

ඒක කවුරුත් නැති තැනක කරන්න..

එතකොට කාටවත් වීඩියෝ කරන්න බෑ....

මොකද මේ වගේ තවත්  වීඩියෝ මම බලන්න කැමති නෑ සිනුදි..... "

මට ඊළඟට කියන්න ඕනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි වුනා. එක අතකට යුමේෂා මාත් එක්ක කේන්ති ගන්න එක සාදාරණයි. මොන කෙල්ලද කැමති තමන් ආදරේ කරන පිරිමියට කොහෙවත් ඉන්න කෙල්ලෙක් කම්මුල් පාරක් ගහනවට.

" යුමේෂා...... "

කියන්න දෙයක් නැති තැන මම අයව ආමන්ත්‍රණය කලා. ඇය ඉක්මනින්ම කදුළු පිසලා ගෙන සාමාන්‍ය ලෙසින් මුව පුරා සිනාසුනේ එම සිදුවීම ගැන ඉන් එහාට ඇයට කතා කිරීමට දෙයක් නොමැති බව කියන්නාක් වගෙයි. මම ඔහුට කම්මුල් පහරක් ගැසුවේ කුමන හේතුවක් මත වුනත් ඇයට විහාන් කෙරේ ඇති ආදරයේ වෙනසක් සිදු නොවන බවත් මා විහාන් ගැන කියනා කිසිදු දෙයකින් ඇය විහාන් නොහොත් වීපි සර් හා විවාහ වීමට ගත් තීරණය වෙනස් නොකරන බවටත් ස්තීර හැගීමක් ඒ ඇස් වල ලියවිලා තිබුණා.

මට හිතුනෙ ඇය ඇත්ත දැනගන්න අකමැති බවක් නෑ.. ඊටත් වඩා ඇය ඒ ඇත්ත දැනගන්න බයයි. ඉතිං මං කිසිවක් නොපවසාම බැල්ම පහතට නැඹුරු කරගත්තා.

" හරි....

ඒ දේවල් අමතක කරන්න....

ඒක නෙමේ....

මම ඔයාට එන්න කිවුවේ වෙන දෙයක් ගැන කතා කරන්න.... "

ඇය කදුළු සගවාගෙන හිනා වෙන දිහා මම බැලුවෙ ඇයව තේරුම් ගන්න බැරුව.

" අම්මටයි විහාන්ටයි දෙන්නටම ඕනේ... අපේ වෙඩින් එක ඉක්මන් කරන්න....

අයිෂා අක්කා එක්ක වෙඩින් ෆ්‍රොක් එක නම් සිලෙක්ට් කලා....

ඒත් මට හිතාගන්න බෑ Going away එකට මොකක්ද අදින්නෙ කියලා....

ඒකටත් ෆ්‍රොක් එකක්ම අදින එක මැචින් නෑ නේද....

මොකද කියන්නෙ ඉන්දියන් ස්ටයිල් එකට චේන්ජ් කලොත්...

ලෙහෙන්ගා එකක් වගේ.... "

විවාහය ඉක්මන් වීම ගැන යුමේෂා උන්නෙ ගොඩක් සතුටින්. ඒ වගේම උනන්දුවෙන්.

" ඕවා හිතන්න තිබුනෙ පෝරකෙට නගින්න කලින්.... "

විහිලුවට උනත් එදා අයිෂා ඒ කියපු කතාව අද ඇත්තක් වෙලා. යුමේෂා මේ තරම් ආසාවෙන් බලන් ඉන්නෙ පෝරකයට නගින්න ද... වීපි සර් හා විවාහය පෝරකයකට විනා වෙන කුමකට නම් මා සමාන කරන්න ද...

" සිනුදි.....

කියන්නකෝ අනේ.... "

මම ගැස්සිලා පියවි සිහියට ආවේ මගෙන් පිළිතුරක් නොමැති තැන  යුමේෂා උස් හඩින් කතා කරද්දි.

" අහ්....

මොනවද...."

යුමේෂා මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුනත් එයට අදාල ප්‍රශ්නෙ මොකක්ද කියලවත් මට මතක නෑ.

" අයියෝ....

මම ඇහුවෙ....

Going away  එකටත් ෆ්‍රොක් එකක්ම අදින්න ද නැත්නම් ලෙහෙන්ගා එකක් අදින්න ද කියලා.... "

" ආ.... ඒක ද....

ම්ම්.....

ෆ්‍රොක් එකකින් ෆ්‍රොක් එකකටම චේන්ජ් වෙන එක බොරු වැඩක් නේද.... "

" ඒක නේ..

ලෙහෙන්ගා එකක් තමයි හරියන්නෙ....

එහෙනම් ඉතිං දැන්...

ශොපින් ටයිම්...."

යුමේෂා මාවත් ඇදගෙන ආවේ ඉන්දියානු ඇදුම් විලාසිතා වලට ප්‍රසිද්ධ  සාප්පු සංකීර්ණයකට.

එහි වූ බොහොමයක් සාප්පු තුළ අපි පැය ගානක් විවිධාකාර මෝස්තර ඇතුලෙ අතරමං වෙලා වුන්නා.

" මේක ලස්සනයි නේද.... "

තද නිල් පාට ලෙහෙන්ගාවක් තෝරගත්ත ඇය එහි මෝස්තරය දෙස උනන්දුවෙන් බලන්නට වුණා.

තවත් විලාසිතා වෙත ඇස් යන අතරෙ අහම්බයෙන් මම දුටුවේ වීපි සර්ගෙ රුව. ඔහු අපේ පැත්තට අඩි තියමින් වුන්නා.

" ඔයා වීපි සර්ට එන්න කිවුව ද යුමී.... "

" අහ් ඔව්......

එයා ඉක්මනට ඇවිත්..... "

ඇය හිනා වෙලා අත වැනුවෙ දුරින් එන වීපි සර්ට.

ස්ටූලය මතින් තියලා තිබ්බ බෑග් එක අතට ගත්ත මම යන්න ලෑස්ති වුනා.

" සොරි යුමී....

මට යන්න වෙනවා..... "

එහෙම කියලා යන්න හැරුනු මගේ අතින් යුමේෂා අල්ල ගත්තා.

" චුට්ටක් ඉන්න සිනුදි..... ප්ලීස් මං වෙනුවෙන්.... "

" මොකක්ද ඔයා කරන්න හදන්නේ යුමේෂා..... "

" මට ඕනෙ ඔයාලා එකිනෙකා තේරුම් ගන්නව දකින්න....

ඔයාට පුලුවන් එයාව තේරුම්ගන්න සිනුදි....

එයා ඔයාලා හිතන තරම් නරක කෙනෙක් නෙමේ.....

ඔයා තේරුම් ගත්තොත්... ඔයාට පුලුවන් අයියට තේරුම් කරලා දෙන්න.....

අයියා ඔයා කියන දේ විශ්වාස කරයි....

මට ඕනේ....

හැමදෙයක්ම ලස්සනට විසදෙනව දකින්න....

ඒකට මට උදව් කරන්න සිනුදි....

අම්මා ඔයාට අකමැති වුනත්, අයිෂා අක්කගෙ හිත රිදුනත් මම ඔයාගෙ පැත්තෙ වුන්නා නේද....

ඒ නිසාවත් මට උදව් කරන්න....

මේ දේවල් විසද ගන්න...

ප්ලීස්..... "

යුමේෂා  කතා කලෙ මගේ අත තදින් අල්ලගෙන. ඒ අසරණිට ඕනෙ  ලස්සන අවසානයක් දකින්න... ඒත් වීපි සර් ඉන්න තැන ලස්සන අවසානයක්වත් ලස්සන පටන්ගැන්මක් වත් නැති බව මම කොහොම පැහැදිලි කරන්න ද.

" ඒත්..... "

මම අදිමදි කලා.

" අනේ සිනුදි ප්ලීස්.....

ඔයාට විතරයි මේ වෙලාවේ මට උදව් කරන්න පුලුවන්....."

හිතට එකඟ නැති වුනත් මම හිස සැලුවේ හා කියන්න. මට ඕන වුනෙ යුමේෂාගෙ හිත සැනසෙන්න දෙයක් කියන්න විතරයි...

" තැන්ක් යූ.....

අවස්ථාවක් දුන්නට.... "

ඇය ස්තූතියි කලෙ හදවතින්ම. මම හිස සැලුවා.

වීපි සර් ලං වෙනවත් එක්කම ඇය ගිහින් ඔහුව වැලදගත්තෙ සතුටින්.

ඔහුටත් ඇයටත් ඉඩ දීලා මම පසෙකට වුණා.

වීපි සර් මොන තරම් තාත්වික ලෙසින් රඟපානවා ද කිවහොත් යුමේෂා ලගදි ඔහු හොරැහින්වත් මං දිහා බැලුවෙ නෑ.

හැම ඇත්තක්ම දැනගෙනත් ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න මට පවා හිතුනෙ යුමේෂා හා විහාන් දෙවියන් මවපු හරි ආදරනිය යුවලක් කියලා.

වීපි සර් ඇත්තටම වෙනස් වෙලාද කියලා හිතෙන තරමටම ඔහු යුමේෂා ඉදිරියෙ රඟපාන්නට වුණා.

" ෆිටෝන් කරලා බලන්න.... "

මෙරුන් පාට ලෙහෙන්ගාව තෝරලා දුන්නෙ වීපි සර්. ඔහුගෙ තෙරීම කවදටත් ඉහළ බව මා දන්නෙ අත්දැකීමෙන්.උ

යුමේෂා ලෙහෙන්ගාවද රැගෙන කාමරය තුළට ගොස් දොර වහගත්තා විතරයි වීපි සර් මට ලං වුණා.

" බේබි ඩෝල්....! "

ඔහු මගේ සවනත ලඟ මුමුණන්නට වුනෙ මගේ මුලු ගතම හිරිවැටිලා යද්දි. දෑත් මිටි මොලවාගෙන මම මාව පාලනය කර ගත්තා.

" ඔයාට ඊරිසියා හිතුන ද.... "

මම සීතල රැවිල්ලක් ඔහු වෙත පා කරද්දි ඔහු ගැස්සුනෙ බොරුවට.

" ඕහ්....

අර පොඩි කෙල්ලට ඔය තරම් ඊරිසියා කරන්න එපා...

බේබි ඩෝල්..

ඔයාට ඕනෙ දෙයක් කියන්න...

මම අරන් දෙන්නම්.... "

" මට තමුසෙගෙන් වතුර ටිකක්වත් ඕනෙ නෑ...... "

මම තරහින් ඔහු වෙත හැරෙනවත් එක්කම ෆිටෝන් රූම් එකේ දොර විවර වුණා. යුමේෂා එයින් පිටතට එනවත් සමගම මම මුහුණෙ ඉරියව් වෙනස් කරගත්තේ හරි ඉක්මනට.

" වාව්.....!!

මයි ලිට්ල් ප්‍රින්සස්.... "

වීපි සර් ඇයව වර්ණනා කරමින් ඇයගෙ හැඬ බලන විට යුමේෂා ලැජ්ජාවෙන් රතු වෙනව මම බලාගෙන.

" කොහොමද "

කිසිදු ප්‍රතිචාරයක් නොමැති තැන යුමේෂා මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණා.

" ගොඩක් ලස්සනයි..... "

මම කිවුවේ හිතට දැනුන ඇත්ත හැගීම. ඇත්තෙන්ම ඇය සුන්දරයි. ඇයට තිබුනෙ අහිංසකම මිශ්‍ර වුන සංකර ලස්සනක්. ඒත් ලෙහෙන්ගාවට වැඩිපුරම ඔප්නැං වුනෙ ඇයගෙ අහිංසක සුන්දරත්වය.

ඇය නැවතත් ෆිටෝන් රූම් එකට ගිහින් දොර වහගත්තෙ ඒ ලෙහෙන්ගාව මිලදි ගන්න බවට ස්තීර කරගෙන.

වීපි සර් මං දිහා බලාගෙන වුන්නෙ අමුතු හැගීමකින්.

" නෑ මං මේ බැලුවේ....

කලින් බේබි ඩෝල් ද නැත්නම් අලුත් බේබි ඩෝල් ද වැඩිපුර ලස්සන කියලා..... "

මම රවාගෙන වෙනතක් බලාගත්තා.

ඊළගට  ඔහු මට තවත් ලං වුණා.

" ඔයාව මම නිදහස් කරනවා මිස් සිනුදි.....

කැමති විදියට ජීවත් වෙන්න....

මොකද මට දැන් අලුත් බේබි ඩෝල් කෙනෙක් ඉන්නවා.....

එයා මගේ අලුත් බේබි ඩෝල් වෙයි.... "

ඔහු මට මතක් කලෙ මගේ අතීතය.

ඔහු මෙ නොකියා කියන්නෙ මගේ අතීතය යුමේෂාගෙ වර්තමානය වන බව නොවේද...

මා විදි වේදනාවන් මගේ දෑස් ඉදිරියෙ ඇදිලා මැකිලා ගියෙ හරි ඉක්මනට.

තවමත් මැකිලා නැති බෙල්ට් පාරවල් යුමේෂාගෙ අත් වලත් මට මැවිලා පෙනුනා. ඒක හරියට නපුරු හීනයක් වගේ.

" යුමේෂා  මං වගේ ඉවසන එකක් නෑ...... "

මම කිවුවේ විශ්වාසයෙන්. වීපි සර්ට මාව බොනික්කෙක් කරගෙන නටවන්න පුලුවන් වුණාට ඒ දේ යුමේෂාට කරන්න බැරි වෙයි.

" ඔයත් ඉවසුවෙ නෑ බේබි ඩෝල් මම ඔයාව ඉවසන්න වෙන තැනට පත් කලා...

එයාටත් ඒකමයි වෙන්නෙ... "

මට හුස්ම ගන්නත් අමතක වුනෙ ඒ වචන වලට.

ඇත්ත... මම ඉවසුව නෙමේ මට ඉවසන්න සිද්ද වුණා.. අම්මව සිම්මිව ඇපේට අරගෙන මගේ ජීවිතෙත් එක්ක වීපි සර් මොන තරම් සෙල්ලම් කලාද....

තටු තිබුණත් ඉගිලිලා යන්න බැරි තැනටම වීපි සර් මාව ඇදලා දැම්මා.. මැරෙන්න ඕන වුනත් මැරෙන්නවත් අයිතියක් නැති තැනටම මාව විනාශ කලා...

මට මතක් වුනෙ යුමේෂාව..

දෙවියනේ එතකොට අහිංසක  යුමේෂාගෙ ඉරණමත් මගේ අදුරු අතීතයට දෙවෙනි නැද්ද...

අම්මව, සිම්මිව ඇපේට අරගෙන මගේ ජීවිතෙ විනාශ කලා වගේම යුමේෂාව ඇපේට අරගෙන ආගත් සර්වත් ඔහු විනාශ කරලා දාවි.  එහෙනම් ඒකයි වීපි සර්ගෙ සැලසුම.

ඒ හැම දෙයක්ම එකින් එක තේරුම්ගද්දි ඇස් වලට කදුළු පිරෙන එක කොහොම නම් නතර කරන්න ද...

" තමුසෙට මොනව ද ඕනේ.... "

මම ඇහුවෙ ඔහුගෙ කෝට් එකෙන් ඇදගෙන. සාප්පුව තුළ සිටි බොහෝ දෙනෙක්ගෙ ඇස් අපි වෙත එල්ල වුණා. මම මාව පාලනය කරගෙන ඔහුගෙන් ඈත් වුනෙ මිනිස්සුන්ගේ ඇස් වලින් බේරෙන්න.

" කියනවා වීපි..

මේ දේවල් නවත්තන්න තමුසෙට මොනවද ඕනේ..... "

" ඔයාව...!!! "

මම අඩියක් පිටුපසට තල්ලු වුනෙ ඒ ස්තීර හඬට.

ඒත් එක්කම යුමේෂා ඇදුම් මාරු කරගෙන පිටතට ආවා. මට තවත් එතන ඉන්න පුලුවන් වුනෙ නෑ.

" සිනුදි ඉන්න..... "

වචනයක්වත් කතා නොකර මම පිට වෙද්දි මට ඇහුනෙ යුමේෂාගෙ හඬ. ඒත් මම නතර වුනෙ නෑ..

සාප්පු සංකීර්ණයෙන් එළියට ඇවිත් ඒ ආවේගයෙන්ම බොහෝ දුරක් පයින්ම ආවට පස්සෙයි මම හුස්මක් ගත්තෙ. සමබරතාවය ගිලි හී දෙපා අප්‍රාණික වෙන මොහොතෙ මම අසල තිබුණු පහන් කණුවකට හේත්තු වුණා.

තවත් නම් කදුළු පාලනය කරගෙන ඉන්න ශක්තියක් මට තිබුනෙ නෑ...

මහ පාරේ දෙනෝදාහක් සෙනඟ මැද ඉන්න බවත් අමතක කරලා පහන් කණුවට බර වීගෙනම මම අඬන්න පටන් ගත්තා. මහා වැස්සක් වගේ මම හොදටෝම ඇඬුවා..

පාරෙ යන එන කිසිවෙකුත් ගැන මට වගක් තිබුනෙ නෑ...

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter