Back
/ 43
Chapter 43

Final Chapter 43

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  හතලිස් තුන් වැනි කොටස 🌙

................................................................

" සිනුදි....!!!! "

මම ගැස්සිලා ගියෙ පිටුපසින් ඇසුනු වීපි සර්ගෙ හඬට.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

වීපි සර් මාව ඇදගෙන ඇවිත් කාමරයට තල්ලු කලා.

වීපි සර්ගෙ මෝටර් රථයේ ශබ්දය අපිට මඟ හැරුනෙ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බෑ.

" තමුසෙට මං කිවුවා..... මාත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා බේබි ඩෝල්......

දැන් ඉතිං මේ කාමරේ අස්සට වෙලා මැරිලා යනවා......

මේ පාර තමුසෙට කවුරුත්ම නෑ බේබි ඩෝල්...... "

වීපි සර් කෑගැහුවේ උමතුවෙන්.

" ඔහොම ඉන්න.....! "

දොරගුලු ලා පිටතට යන්න සැරසුන වීපි සර් නතර වුනෙ මගේ ස්තීර හඬට.

" මේ කවුද........? "

මම පෙන්නුවෙ මා වැනිම කාන්තාවගෙ ඡායාරූපය. ඒ ඡායාරූපය මා සතු බව දැනගත් මොහොතෙ වීපි සර් දෑස් විසල් කරගත්තා. ඒ ක්ෂනිකවම ඔහු මගේ ගෙල සිර කරගත්තේ මාව බිත්තියට තෙරපාගෙන.

" තමුසෙට කොහෙන්ද මගේ අම්මගෙ ෆොටෝ එක..... "

ඔහු වියරුවෙන් කියවන් ගියා.

" අම්මා..?! "

මගේ මුවින් පිට වුනෙ විශ්මය මුසු වචන.

ඊළග තත්පරයෙම ඔහු මගෙන් ඈතට වුණා. නොකිය යුතු දෙයක් මුවින් පිට වූවාක් මෙන් ඔහු ලතැවෙන අයුරු මම බලාගෙන.

නැවතත් මා වෙත නපුරු බැල්ම හෙලු ඔහු මගේ අතේ තිබුණු ඡායාරූපය උදුරගත්තා.

වීපි සර් ඒ ඡායාරූපය උදුරගන්නා මොහොතෙ ඔහුගෙ ඇගිලි තුඩු වෙව්වලනව මම බලාගෙන.

හැම මොහොතකම හැම කෙනෙක්වම බය කරගෙන වුන්න වීපි සර් මොකක්ම හරි දේකට මේ තරම් බය වෙනවා මම දැක්කෙ ජීවිතෙ පළවෙනි වතාවට.

මගේ හිතේ වීපි සර් ගැන තියෙන තිගැස්මට වඩා දසදහස් ගුණයක භීතියක් ඒ ඡායාරූපය ඉදිරියෙ ඔහුගෙ ඇස් වල ලියවිලා තිබුණා.

ඡායාරූපයෙ සිටි ඇය දෙස බලාගෙන දෑත් මිටි මොලවාගත් ඔහු තවත් වචනයක් හෝ කතා නොකර කාමරයෙන් පිට වෙලා යන්න ගියා.

ඒ වීපි සර්ව මම දැකපු අන්තිම මොහොත. එදායින් පස්සේ කවදාවත් වීපි සර් මාව මුණගැහෙන්න ආවේ නෑ..

කලුවර කාමර ඇතුලෙ මම ආයෙත් තනි වුණා.

එදා රෑ මට ආයෙත් වීපි සර් ඔහුටම පහර දීගන්න හඬ ඇසුණා.

යකඩ දොරට හේත්තු වෙලා මං ඇස් දෙක පියා ගත්තෙ වීපි සර් ගැන දැනෙන අනුකම්පාව කියන හැගීමට හිත ඇතුලට එන්න ඉඩ නොදෙන්න.

එදායින් පස්සේ මුලු දවසටම ලැබෙන එක කිරි වීදුරුව වත් මට ලැබුනෙ නෑ.. දවස් ගානක් වතුර වලින් විතරක් ජීවිතය රැක ගන්න මට සිද්ද වුණා.

සමනලීට මාව මුණගැහෙන්න එන්න අවස්ථාවක් ලැබුනෙ නෑ.. ඇයට උඩු මහල පවා තහනම් වෙලා තිබුණා.

තවත් දවසක වීපි සර්ගෙ මෝටර් රථය වලව්වෙන් පිටවන හඬ ඇසුනත් ආයෙත් මෝටර් රථය වලව්වට පැමිණුනු හඬක් ඇසුනෙ නෑ.. ඒත් වීපි සර් ඇවිත් තිබුණා.

එදිනට පසු ඔහු මොහොතකටවත් වලව්වෙන් පිටතට ගියෙ නෑ... හරියට කාගෙන් හරි බේරෙන්න හැංගිලා වගේ වීපි සර් ජීවත් වුණා.

වීපි සර්ගෙත් ආයුද ජාවාරම්කාරයින්ගෙත් ගණුදෙනුව දුර දිග ගොස් ඇති හැඩකි.

ඉදලා හිටලා සමනලීගෙ අප්පච්චි මගේ කාමරයට එබෙන්නෙ මම තවමත් ජීවත් වෙනවද කියලා ස්තීර කරගන්න.

ජීවිතය කියන්නෙම සටනක්... මෙච්චර දුරක් ඇවිත් සටන අතැරලා නිකම්ම නිකම් පරාජය බාරගන්න මං ලෑස්ති නෑ....

ඒ ඇරත් මං මටම පොරොන්දුවක් වුණා... මං වෙනුවෙන් ජීවත් වෙන්න...

මං ජීවත් වෙනවා.. ඔව් මං වෙනුවෙන්...

තවත් දවසක හරි පුදුම දෙයක් සිද්ද වුණා. කාටත් හොරෙන් සමනලී මාව මුණගැහෙන්න ඇවිත්. ඇය මට ගෙනවිත් දුන්නෙ එදා වීපි සර්ගෙ පොත් අස්සෙ තිබිලා හොයාගත්ත පත්තර පිටුව. එය දුන් වහාම සමනලී ආයෙත් පහළට දිවුවෙ කාටවත් සැක නොසිතෙන්න.

මම ඒ පත්තර පිටුව දිග හරින්න ඉක්මන් වුණා.

" මානසික රෝහලෙ හදිසි ගින්නක්..

ප්‍රතිකාර ලබමින් සිටි නේවාසික රෝගීන් තිදෙනෙකු අතුරුදහන් වේ..!

ගින්න අතර තුර ඔවුන් පැන ගිය බවට සැකයක්... ! "

ලොකු අකුරින් තිබුණු මුද්‍රණය වී තිබුණු සිරස්තලය මා කියවූවේ එහි පසෙකින් වූ ඡායාරූප වෙතද අවදානය යොමු කරමින්.

මගේ හදගැස්ම වේගවත් වෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නෑ. රෝහලින් අතුරුදහන් වූ මානසික රෝගීන් අතර ඇයගෙ ඡායාරූයක් ද ඵල වී තිබුණා.

" ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇඟවීමක්.... "

රෝහලින් පැන ගියා යැයි සැලකෙන රෝගීන් තිදෙනාම  අනතුරුදායක බැවින් ඔවුන් සොයා ගැනීමට ප්‍රදේශ වාසීන්ගෙ සහය ඉල්ලා තිබුණා.

" එයා.... ඒ තරම්ම දරුණු කෙනෙක් ද.... "

ලිපිය කියවා අවසානයෙ මට කියවුනෙ ඉබේටම. ඒත් එක්කම මට මතක් වුනෙ ඡායාරූපය දුටු මොහොතෙ වීපි සර්ගෙ වෙනස් වීම. ඇයගෙ ඡායාරූපය ඇල්ලීමට පවා වීපි සර් බිය වුණා.

උඩු මහලෙ කිසිවෙකුටත් ඇතුලු විය නොහැකි කාමරය තුළ සිදුව ඇති දෑ මට පැහැදිලි වුණා. ඒ වදකාගාරය තුළ දඩුවම් ලබා ඇත්තෙ වීපි සර්..

ඇය වීපි සර්ගෙ ළමා කාලය අපායක් කරලා...!

සියල්ල පැහැදිලි..

ඔහු වෛර කලෙ මට නොවේ... මගේ රූපයට...

වීපි සර්ට කවදාවත් මගෙන් ප්‍රයෝජන ගන්න ඕන වුනේ නෑ... ඔහුට ඕන වුන එකම දේ මගේ කදුළු , මගේ වේදනාව...

මං වේදනා විදිනව බලාගෙන ඔහු සතුටු වුණා. මුලු දවසම ඔහුට බියෙන් මං ජීවත් වෙනවා බලාගෙන ඔහු පුදුම තරම් සතුටක් වින්දා..

නිසැකවම ඔහු මගෙන් මවාගන්න ඇත්තෙ ඇයව..

කුඩා කල ඔහු විදි මානසික, කායික පීඩාවන් මා විදවනවා බලාගෙන ඔහු සතුටු වුනෙ ඒ නිසයි..

අගුලු ලා තිබුණු කාමරය සිහිවන විටත් මට දැනුනෙ බියක්. ඒ කාමරය තුළ තිබුණු  බාල්ක වලින් එල්ලෙන දම් වැල්, තියුණු ආයුධ ඇයගෙ මානසික ව්‍යාදියේ උපරිමය පෙන්නුම් කලා.

මට විශ්වාසයි මා ඔහු නිසා විදි පීඩාවට වඩා දහස් ගුණයක පීඩාවක් ඔහු අම්මා නිසා විදවන්නට ඇති.

මගේ අම්මා මට මොන තරම් පහත් විදියට සැලකුවත් වීපි සර්ට ඇය සැලකුවෙ දෙවියෙක්ට වගේ. ඒත් වීපි සර් මුල ඉදන්ම ඇයට වෛර කලා.

මගේ අම්මාට වීපි සර් වෛර කල හේතුව මට තේරුම්ගන්න පුලුවන් වුනෙ දැන්.

ඔහු සියලුම අම්මාවරුන්ට වෛර කරන්න දෙවරක් හිතන්නෙ නෑ...

ඔහුට වෛර කල සිතින්ම ඔහු ගැන වේදනාවක් ඉපදුනත් වීපි සර්ට සමාව දෙන්න පුලුවන් තත්වයක නෙමේ මම උන්නෙ...

අද වෙනකම් මම දැකලවත් නොතිබුණු ඇයගෙ රූපයට සමානව ඉපදුන වරදින් මගේ ජීවිතෙ අපායක් වුණා..

වීපි සර් සාදාරනයි ද....

එතකොට මේ කිසිම දේකට සම්බන්ධ නැති මගේ ජීවිතෙට වුනේ අසාදාරණයක් නෙමේ ද....

මං කොහොමද  එයාට සමාව දෙන්නෙ....

පුපුරන්න තරම් හිස වේදනා දෙද්දි මම බිම වැතිර ගත්තා. වකුටු වෙලා මම ඇස් පියාගත්තෙ දැනෙන හැගීම් තේරුම්ගන්න බැරි තැන.

හෝරා කිහිපයක් ගත වන්නට ඇති.. මම දෑස් විවර කලෙ පහළ මහලයෙන් ඇසුනු ඝෝෂාවට. නුපුරුදු පිරිමි කට හඬ රැසක් පහතින් ඇසුනා.

ඒ උස් හඬවල් සාකච්ඡාවක ස්වරූපයක් ගත්තෙ නෑ... නිසැකවම පහත මහලයෙ රණ්ඩුවක්.

ඒත් එක්කම වලව්වේ පිටුපසින් ඇසුනු වෙඩි හඬට මම ගැස්සුනා. වෙඩි හඬත් එක්ක පහත මහලෙ තත්පරයක දෙකක නිහැඩියාවක් පැතිර ගියා.

" තමුසෙට දීපු කාලෙ ඉවරයි වීපි.... "

නිහැඩියාව අතරින් ඇහුනු නුපුරුදු ඒ හඬ මැකිලා යනවත් එක්කම දෙවෙනි වෙඩි හඬත් වලව්වේ සතර කොන් වල වැදි දෝංකාර දෙන්නට වුණා.

මොනවද සිද්ද වෙන්නෙ කියන දේ ගැන මට තේරුමක් තිබුනෙ නෑ. වෙඩි හඬේ දෝංකාරය ඉවර වෙන්නත් කලින් මට ඇහුනෙ කිහිප දෙනෙක් තරප්පු පෙළ නගින හඬ.

මම ඉක්මනින් ඇඳ යටට රිංග ගත්තෙ දෝතින්ම මුව වසාගෙන. ගත වුනෙ විනාඩි කිහිපයයි. පිටත වුන්නෙ කවුරු වුනත් ඔවුන් දොරගුලු වෙත වෙඩි තියමින් වුන්නා. මම තව තවත් ඇඳ යට ගුලි වුනේ මරණ බිය උපරිමයෙන්ම දැනෙද්දි.

ඊළග මොහොතෙ ඔවුන්ගෙ වෑයම සාර්ථක වුණා. මුහුණ ආවරණය කරගත් තිදෙනෙක් පිස්ටලයන් ද අතැතිව කාමරයට ඇතුලු වුණා. ඔවුන් කාමරය සෝදිසි කරද්දි දෙවියන් යදිනවා හැරෙන්නට මට වෙනත් විසදුමක් තිබුනෙ නෑ.

නොසිතු මොහොතක ඌන්ගෙන් කෙනෙක් ඇඳ යටට එබුනෙ මට හුස්ම හිර වෙද්දි.

" ආහ්.......!!!!! "

මට කෑගැහුනෙ ඉබේටම.

ඔහු මගේ කකුලකින් අදින විට මා නිතරගයෙන්ම පිටතට ඇදි ආවේ දුර්වල වෙලා තිබුණු සිරුර හේතු කරගෙන.

ඔවුන්ගෙන් ගැලවී මා පිටතට දිව යන්න උත්සහ කලත් එය ව්‍යර්ථ වුණා. එක් ජාවාරම්කාරයෙකු පිස්ටලයෙන් මගේ හිසට පහරක් එල්ල කලෙ මා පැන යන්න උත්සහ කරන මොහොතෙ. හිසට වැදුනු පහරත් එක්ක මා අප්‍රාණිකව ඇදගෙන වැටුණා. සම්පූර්ණයෙන්ම සිහිය අහිමි නොවුනත් මම වුන්නෙ සිහියත් අසිහියත් අතර.

" අහ්...

උඹේ... හාෆ් සෙන්චරිය ගහපන්.... "

මට පහර දුන් ඔහු එහි සිටි වෙන කෙකුට පිස්ටලය ලබා දී පසෙකට වුණා. ඔහු පිස්ටලය ලෝඩ් කර එය මගේ හිසට එල්ල කරද්දිත් මට හිතුනෙ නෑ ඒක මගේ අවසානය කියලා.

ඔහුට පිස්ටලය ක්‍රියාත්මක කරන්න තවත් තත්පරයයි තිබුනෙ ඒ අතර හදිස්සියේම කාමරයට ඇතුලු වූ මුහුණ ආවරණය කරගත් තවත් කෙනෙක් ඔහුව නතර කලා.

" මේ කෙල්ලව පණ පිටින් ඕනේ..

ලොකු අයියගෙ ඕඩර් එකක්.. "

ඔහු කිවුවේ ඔහුගෙ  දුරකථන තිරයෙ ඇදෙන මගේ ඡායාරූපයත්  මාත් දෙස වරින් වර බලමින්. ඔහුට ඕන වුනෙ ඡායාරූපයෙ සිටින්නෙ මම ම ද කියලා ස්තීර කරගන්න.

"  සිරාවට....

මෙකිව ඉවරයක් කලා නම් අදම මගේ හාෆ් සෙන්චරිය ගහන්න තිබුණා..

අපරාදෙ.... "

මා වෙත පිස්ටලය මානගෙන සිටි ඔහු ඉවත් වුනෙ එහෙම කියාගෙන.

" උඹේ හාෆ් සෙන්චරියට වෙන එකක් හොයාගමු....

වීපිකාරයා ගැන ඔත්තුව දුන්න පොර තමයි මේකිව පණ පිටින් ඉල්ලලා තියෙන්නෙ...

ලොක්කායියා ගැන දන්නව නේ...

ඩීල් නම් ඩීල්... නූලට තිතට..... "

ඡායාරූපයෙ සිටින්නෙ මා බව ස්තීර කරගත් ඔහු එහෙම කිවුවේ අනෙකාගෙ පිටට තට්ටුවක් දමමින්.

" රත්තා....

අරකිට මොකද කරන්නෙ.... "

ඌන්ගෙන් තවත් අයෙක් කාමරයට ඇතුලු වුනෙ එහෙම කියාගෙන. ඔහු කතා කරන්නෙ සමනලී ගැන බව මම තේරුම්ගත්තා.

" ඒකී උඹව දැක්ක ද...?

එහෙනම් ඉවරයක් කරපන්....... "

" අනේ එපා......

සමනලීට මුකුත් කරන්න එපා.... "

මම පුලුවන් උපරිමයෙන් කෑගැහුවා.. ඒත් මට විශ්වාසයි.. ඒ මොහොතෙ මගේ හඬ පිටතට නොඇසෙන්නට ඇති.

තුන් වෙනි වෙඩි හඬත් සවනත වැකෙද්දි මට මහ හයියෙන් කෑගහලා අඬන්න ඕන වුණා.

ඊළගට ඌන් මාව ඇදගෙන ඇවිත් වෑන් රියකට දමා ගන්නවා මට යාන්තමින්‍ මෙන් මතකයි.

විසිත්ත කාමරය මැද ලේ විලක වැතිරිලා උන්න වීපි සර් ව ඒ විදියට දකින්න මට ඕන වුනේ නෑ... මට ඔහුගෙන් අහන්න මොන තරම් ප්‍රශ්න තිබුණ ද.. ඒත්.. ඒ එකකට වත් පිළිතුරු නොදි නිහඬවම ඔහු යන්න ගිහින්.

ආයුද ජාවාරම්කාරයින් හා වීපි සර්ගෙ ගණුදෙනුව අවසන් වුනෙ ඒ විදියට..

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම දෑස් විවර කලෙ අලුත් දවසකට, අලුත් ලෝකයකට, අලුත් ජීවිතයකට.

" ඔයාට දැන් කොහොමද.... "

සේලයින් බෝතලය මාරු කරමින් සිටි හෙදිය මගෙන් එහෙම ඇහුවෙ ලෙන්ගතුව.

හොදින් කියන්න මම හිස සැලුවා. ඇත්තටම මට දැනුනෙ ආයෙත් ඉපදුනා වගේ.

මම උන්නෙ පෞද්ගලික රෝහල් කාමරයක් තුළ. කාමරය තුළ ක්‍රියාත්මක වෙලා තිබුණු රූපවාහිනීයෙ විකාශනය වෙමින් තිබුනෙ දහවල් පුවත්.

මගේ අවදානය පුවත් විකාශනයට යොමුව තිබුණු බව තේරුම්ගත් හෙදිය රූපවාහිනීය නැරඹීමට පහසු ලෙසින් මට ඇඳ සකස් කර දුන්නා.

" ස්තූතියි.... "

මා ඇයට ස්තූතියි කර නැවතත් රූපවාහිනීය මත බැල්ම රදවා ගත්තා.

" මිනුවන්ගොඩ ප්‍රදේශයෙ ඇති වූ ගින්නකින් සම්පූර්ණ නිවසක් විනාශ වී තිබෙන අතර ඒ තුළින් මිනිස් ශරීර කොටස් ද හමුවී ඇත..

හමු වූ ශරීර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික විහාන් පෙරේරා මහතාගෙත් ඔහුගෙ බිරිද සිනුදි පෙරේරා මහත්මියගෙත් ද යන්න වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබේ...

ඔබ වෙත තොරතුරු රැගෙන ආ මම මිනුවන්ගොඩ ප්‍රදේශයෙ මාණ්ඩලික වාර්තාකරු  මහීමා කුලතුංග... "

දුරස්ථ පාලකය ගෙන රූපවාහිනීය වහලා දැම්ම මම හෙදිය වෙත හැරුනෙ හුස්මක් අරගෙන.

" සිස්ටර්....

මට දැනගන්න පුලුවන් ද මාව කවුද මෙහෙට ගෙනාවේ කියලා..... "

මම ඇහුවෙ පහත් ස්වරයෙන්.

" එයා මුලු රෑම ඔයා ලගට වෙලා උන්නා...

උදේ ඔයාව ක්ලීන් කරන්න ඕන නිසයි එයාට එළියට යන්න කිවුවේ.....

මං එළියට ගියාම එයා ආයෙත් එයි.... "

හෙදිය බෙහෙවින් සුහදව කතා කලා. මම ඇය වෙත ස්තූතියි පූර්වක සිනහවක් පා කර හැරියෙ හදවතින්ම.

වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද එන්නතක් ලබා දුන් ඇය ලිපිගොනු කිහිපයක් අතට ගත්තෙ ඇඳ ලග තිබුණු පුටුවට බර වෙමින්.

" මේ ෆෝම් එක ෆිල් කරන්න ඕනේ....

මට කියන්නකෝ... ඔයාගෙ නම මොකක්ද.... ? "

පෑනෙ කොපුව ඉවත් කරමින් ඇය ඇහුවා.

මොහොතකට පෙර රූපවාහිනීයෙන් මගේම මරණය ගැන ඇහැවුවාට පස්සෙ මම මගේ ජීවිතය ගැන ඉක්මන් තීරණයක් ගත්තා.

ඔව්..

තවදුරටත් මට සිනුදි වෙන්න උවමනාවක් තිබුනෙ නෑ.. වීපි සර්ගෙ වලව්ව ඇතුලෙ පිළිස්සිලා ගිය අතීතයෙ අළු එක්ක මම සිනුදිවත් වල දාන්න තීරණය කලා.

" මහීමා....

මහීමා මනෝරත්න..... "

සිනුදිගෙ මරණය ගැන රටටම කියු වාර්තාකාරිනියගෙ නමින් මම ආයෙත් උපදින්න තීරණය කලෙ හරි ඉක්මනට.

ලිපිගොනු මතින් ඇස් ඉවතට ගත්ත හෙදිය මා දෙස බැලුවෙ පුදුමයෙන්.

" ඔයාට විශ්වාස ද ඔයා හොදින් කියලා....

මං අහන්නෙ....

ඔයාගෙ මතකයට හානියක් වෙලා නෑ නේ..... "

ඇය ඇහුවෙ තරමක තිගැස්මකින්. මම මදහස් හිනාවක් මුවඟට ඇද ගත්තා.

" නෑ....

මං හොදින් සිස්ටර්.....

මට හැම දෙයක්ම හොදට මතකයි.... "

මම එහෙම කියද්දි ඇය ලිපිගොනුවේ මගේ නම ලියවිය ‍යුතු තැන කුරුටු ගානවා මං බලාගෙන. මම නම කියන්නත් කලින්ම ඇය එහි ඉංග්‍රීසි එස් අකුරු ලියලා තිබුණා. මම ඇය දෙස බැලුවෙ සැකෙන්.

" අහ්.. සොරි... මං කලින් චෙක් කරලා ආව පේෂන්ගෙ සිහියෙන් වුන්නේ....

එයාගෙ නම සඳලි....

ඒකෙන් වැඩක් නෑ....

මොකක්ද ඔයාගෙ නම කිවුවේ..... "

ඇය තරමක් කලබලයෙන්..

ඒ ගැන එතරම් තැකීමක් නොකල මා ලොකු හුස්මක් අරගෙන ආයෙත් මදහස් සිතින් පිළිතුරු දුන්නා.

" මහීමා...

මහීමා මනෝරත්න.... "

මගෙන් තොරතුරු ලබාගෙන අවසානයෙ ඇය කාමරයෙන් පිටතට ගියේ නැවතත් හැරිලා මා දෙස අමුතුම බැල්මක් පා කරාට පසසෙ.

" මම එයාට එන්න කියන්නම්.... "

ඇය කිවුවේ මාව රෝහලට රැගෙන ආව පුද්ගලයා ගැන. මම සතුටු සිතින් හිස සැලුවා.

හෙදිය පිටව ගිය පසු මම දොර දෙසම බලාගෙන වුන්නෙ මාව රෝහලට රැගෙන ආ අයව හමු වෙලා ස්තූති කරන්න.

ඒත් පුදුමයි කවුරුත්ම ඒ දොරින් ඇතුලට ආවේ නෑ... ඒත් මට විශ්වාසයි හෙදිය එහි සිටි කවුරුන් හෝ සමග කතා කලා.

" සර්, පේෂන් එයාගෙ නම විදියට කිවුවේ මහීමා මනෝරත්න කියලා නමක්...."

දොර වැහෙන්න මොහොතකට කලින් මට ඇහුනෙ එහෙම කතාවක්.

එදා දවස  ඒ විදියට ගෙවිලා ගියත් පහුවෙනිදා උදෑසන මට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා.

මාව රෝහලට රැගෙන ආව මහත්මයා පහුවදා මාව මුණගැහෙන්න ඇවිත් තිබුණා.

අවුරුදු හැටකට ආසන්න ඔහු සැරසීලා වුන්නෙ ජාතිය ඇදුමෙන්. එතුමා විශ්‍රාම ලත් විදුහල්පති වරයෙකු ලු.

පළමු හමුවීමෙන්ම මට එතුමා ගැන පැහැදීමක් ඇති වුණා.

" සර්ට මාව හම්බවුනේ කොහොමද... ? "

මම ඇහුවෙ අපේ සුහද කතා බහ අතර මැද දි.

" අහ්.. මේ.... දරුවෝ...

ඔය දරුවා කාණුවක වැටිලා වුන්නෙ... "

ඔහු කතා කලෙ පැටලිලි සහගතව.

එදා රෑ සිද්ද වුන බොහොමයක් දේ මගේ මතකයෙන් ගිලිහිලා..

" ම්හ්... එහෙනම ද....

සර්ට ගොඩක් ස්තූතියි මාව බේරගත්තට...... "

මම එතුමාට ස්තූතියි කලෙ හදවතින්ම.

" සර්ට තිබුනෙ මාව ගවර්මන්ට් හොස්පිට්ල් එකකට අරන් යන්න... "

එතුමාට පෞද්ගලික රෝහලක වියදම් දරන්න පුලුවන් මට්ටමක නොමැති බව මම තේරුම්ගත්තා.

" අනේ දරුවෝ... ඒ වෙලාවේ... ඕවා හිත හිත හිටියෙ නෑ....

ළගම තිබුණු හොස්පිට්ල් එකට අරගෙන ආවේ.... "

ඔහු කිවුවේ සෙනෙහස පිරුණු හැගීමකින්.

" ඔබ තුමාට මං මේ ණය කොහොම හරි ගෙවන්නම්..... "

අපේ කතා බහ තවත් රසවත් වුණා. එතුමාගේ විදුහල්පති ජීවිතය තුළ විදි අත්දැකීම් හරිම රසවත්. ඒ කතන්දර අහගෙන හිනා වෙද්දි බොහෝ කාලයකට පස්සේ  මට දැනුනෙ සහනයක්.

" ඩිස්චාජ් කලාම ඔය දරුවා කොහෙද යන්න හිතාගෙන ඉන්නේ.... "

මම එතුමාට මාව හදුන්වලා දුන්නෙ අනාතයෙකු විදියට.

ඒ කතාවේ ලොකු වෙනසකුත් නෑ කියලා දැනෙද්දි මම ලොකු හුස්මක් ගත්තා.

" දන්නෙ නෑ.....

මං තාම ඒ ගැන හිතුවෙ නෑ..... "

ජනේලයෙන් පේන පැහැදිලි අහස දිහා බලාගෙන මම කතා කලා.

මගේ ජීවිතෙත් දැන් ඒ පැහැදිලි අහස වගේ.. හැඩයකුත් නෑ , විශේෂත්වයකුත් නෑ...

" ඔය දරුවා කැමති නැද්ද...

අම්මලා ගොඩක් එක්ක ජීවත් වෙන්න...... "

එතුමා ඒ කරපු යෝජනාවට එදා කැමති වුන එක තමයි මගේ ජීවිතෙ මම කරපු හොදම දේ වුණේ.

මම අද හිනා වෙන්නෙ පන්සිළු මහලු නිවාසයේ අම්මලා හතලිස් තුනකගෙ ආදරය මැද.. එකේක විදියට ලියවුනු ජීවිත කතන්දර හතළිස් තුනක් අද එක වහලක් යටට කොටු වෙලා.

අම්මා කෙනෙක්ගෙ හරිහමන් ආදරයක් විදින්න අවස්ථාවක් නොලැබුන මම අද අම්මලා ගොඩකගෙ ආදරේ විදිනවා...

විශ්වාස කරන්න මම අද සතුටින්....

දරාගන්න බැරි තරම් ආදරය විදිද්දි මට මතක් වුනේම වීපි සර්ව.

ඔහුටත් කාගෙම හරි ආදරයක් විදින්න ලැබුන නම් කියලා මට හිතුනු වාර අනත්තයි.

මහීමා වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තට සිනුදිගෙ අතීතයට සම්බන්ධ අය ගැන හොයලා බලන්න මම අමතක කලෙ නෑ..

ඒ අය අතරින් මම නිතරම දකින්නෙ අයිෂාව. ඇය අදටත් රූපවාහිනී තිරය මත නැතුවම බැරි තාරකාවක්..

යුමේෂා සංගීතය ඉගෙන ගන්න උනන්දු වෙලා ලු... මනස නිදහස් කරගන්න ලේසිම මාර්ගයක් දඟකාර  යුමී හොයාගෙන. ඇය ගැන හදවතින්ම මම සතුටු වුණා.

ආගත් සර්ගෙ මහන්සිය නිසා අරෝරා රූපලාවණ්‍ය නිශ්පාද දැන් වෙළදපොලෙ අංක එක වෙලා. ඉදලා හිටලා සඟරා වල මුල් පිටුවෙ දකින ආගත් සර්ගෙ රූපය තාමත් පරිස්සමෙන් අරන් තියාගන්න තරම් හිත ලෝබයි.

ඒ දවස් වල ඉදන්ම විවාහයට සූදානම් වූ හිමාෂා නම් දැන් වාසනාවන්තයෙකුගෙ ගෙදර අලුත් මනාලිය වෙන්න ඇති..

ඔය හැම ආරංචියකටම වඩා හිත නිවුනේ...

අත්තම්මාත් සිම්මිත් හොදින් කියලා දැනගත්ත දවසෙ..

මහළු නිවාසයෙ මිදුලට වෙලා අඹ ගස් සෙවණ යට බංකුවෙ ඉදන් අහස දිහා බලාගෙන කල්පනා කරන එක මට දැන් පුරුද්දට ගිහින්.

" අයියෝ.... මටමයි වෙන්නෙ.... "

ගේට්ටුව පැත්තෙන් ඇහුණ හඬට මම අවදානය යොමු කලා. ලිපිගොනු මහ ගොඩක් තුරුලු කරගෙන ආව ප්‍රතිබා මිස්ගෙ අතින් ලිපිගොනු කිහිපයක් මිදුල මත විසිරිලා. ඇය ඉලදා හිටලා අපේ මහළු නිවාසෙට එන්නෙ පරීක්ෂකවරියක් ලෙසින්.

" ප්‍රතිබා මිස් ඉන්න.... මං අහුලලා දෙන්නම්.... "

තනිවම කියව කියව ලිපිගොනු එකතු කරද්දි මමත් ඇයට සහය වුණා.

මිදුල මත විසිරිලා තිබුණු ලිපිගොනු අතරින් මගේ ඇස් නතර වුනේ ඡායාරූපයක් ලඟ.

" ප්‍රතිබා මිස්....

මේ මොකක් ද.... "

ආගත් සර් උන්න ඒ ඡායාරූපය ගැන තොරතුරු දැනගන්න මට ඕන වුණා.

" ඔහ් ඔය පන්සිළු මහලු නිවාසෙ අධ්‍යක්ෂකතුමා මේ බිල්ඩින් එක ඕපන් කරපු දවසේ ෆොටෝ එකක් නේ.... "

ඇය කිවුවේ මගේ අතේ තිබුණු ලිපිගොනු ටික අතට ගන්න ගමන්.

" එතකොට ප්‍රතිබා මිස්...

ආගත් සර් ද අධ්‍යක්ෂකතුමා..... "

මම ඇහුවෙ ඇස් ලොකු කරගෙන.

" ඔව්...

ඇයි මහීමා දන්නෙ නැද්ද.....

ඔය මහත්තයා තමයි මේ මහලු නිවසෙ පවත්වාගෙන යන්නේ..... "

ඡායාරූපයත් අරගෙන ඇය මහලු නිවාසයෙ කාර්යාලය වෙත යද්දි මම උන්නෙ ගල් ගැහිලා...

සිද්ද වුන කිසිම දෙයක් අහම්බයක් නෙමේ කියලා තේරුම්ගද්දි එදා වීපි සර්ගෙ වලව්ව තුළ සිදු වූ සිද්දියෙ පටන් මම මේ මහලු නිවාසයට පැමිණි දා දක්වාම සිද්දි දාමයක් මගේ ඇස් ඉස්සරහ ඇදිලා මැකිලා ගියා.

දකුණු කකුලෙ මහපට ඇගිල්ලෙන් පොළව මත ආගත් යන නම ලියු මා ඒ වැලි කැට දිහා බලාගෙන නිදහසෙ සිනාසුනා.

විශ්වාස කරන්න වෙන කවදාවත් නැති තරම් මං දැන් සතුටින්....

...............................................................

🌙..............නිමි..............🌙

................................................................

🌹  අද නම් බාරගන්නෙ කතාව ගැන හිතුනු හැම දෙයක්ම ලියලා දාන දිග කමෙන්ට්..🌹

ස්තූතියි මෙච්චර කාලයක් රැදිලා වුන්නට කතාව එක්ක..... 🙏

එහෙනම් සමු ගන්න වෙලාව ඇවිත්...

මම,

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Previous
Last

Share This Chapter