Back
/ 43
Chapter 42

Chapter 42

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  හතලිස් දෙවැනි කොටස 🌙

................................................................

" තමුසෙ මෙතන නටපු නාඩගම මොකක්ද කියලා... මම ඉක්මනටම හොයාගන්නම් බේබි ඩෝල්..... "

ඔහු මගේ අතින් ඇදගෙන මෝටර් රථය වෙත යද්දි මමත් ඒ පිටුපසින් ඇදිලා ගියෙ ඉබේටම.

අන්තිම වතාවට තව එක සැරයක් ආගත් සර්ගෙ මුහුණ බලාගන්න මගේ ඇස් හැම තැනම ඔහුව හෙවුවත් ඒ උත්සහය නිෂ්ඵල වුණා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ආගත් සර්ගෙත් මගෙත් යාලුකමේ සංඛේතයන් වූ පෙන්ඩන්ට් එකත් කුඩා පරවි රූපයත් පපුවට තුරුලු කරගෙන මුලු දවසම  අඬනව ඇරෙන්න මම වෙනත් කිසිවක් කලෙ නෑ.

වීපි සර් තරප්පු පෙළ නගින අඩි සද්දෙ ඇහෙද්දි මම පෙන්ඩන්ට් එකත් පරවි රූපයත් සඟව ගත්තා. එදා නිකේතනයේ දි මා ආගත් සර් හමු වූ බව වීපි සර් තවමත් දන්නෙ නෑ..

" බේබි ඩෝල්..... "

ඔහු වෙනදා මෙන්ම කාමරයට ඇතුලු වුනෙ කට කොනකට මවාගත්ත හිනාවකින්. ඇඳ මත හිදගෙන සිටි මා වෙනතක් බලාගත්තෙ ඔහුව ගණනකට නොගෙන.

" ආ....

කතා කරනවා....! "

වීපි සර් ඔහුගෙ දුරකථනය මා වෙත දිගු කරද්දි මම ඔහු දෙසත් දුරකථනය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙ කුතුහලයෙන්.

" චූටි බේබි ඩෝල් අද මාව හොයාගෙන ආවා.... "

ඔහු එහෙම කියද්දි මම දුරකථනය උදුරගත්තෙ මෙච්චර කාලෙකට නොතිබුණු  උනන්දුවකින්.

" හෙලෝ... සිම්මි...!!! "

මගේ කියලා කෙනෙක්ගෙ කට හඬක් ඇහෙන්නෙ මොන තරම් කාලෙකට පස්සේ ද.... සතුට වැඩිකමට මට වචන පවා අමතක වුණා.

" දෙයියනෙ  සිනුදි......

ඔයා හොදින් ඉන්නව ද සීනූ.... "

ඇය දුරකථනයෙ අනෙක් පසින් වැලපෙන විට තරවටු කරලවත් කදුළු නවත්ගන්න මට පුලුවන් වුනෙ නෑ..

" ම.... මං හො.. හොදින් සිම්මි......... "

මං කිවුවේ හැඩුම් මැද්දෙන්.

" බොරු කියන්න එපා සීනූ....

වීපි සර් වගේ නරුමයෙක් එක්ක ඔයා කොහොමද හොදින් ඉන්නෙ....

කියන්න ඒ තිරිසනා ඔයාව කොහෙද තියාගෙන ඉන්නෙ..... "

ඇය කියන හැම දෙයක්ම වීපි සරුත් අහගෙන වුන්නා. සිම්මිගෙ වචන වලින් තරමක් උරණ වූ වීපි සර් දුරකථනය මගෙන් උදුරගත්තා.

" මං ගැන ඒ තරම් කැත විදියට ද ඔයා හිතාගෙන ඉන්නේ චුටි බේබි ඩෝල්.... "

වීපි සර් කතා කලෙ සුපුරුදු උපහසාත්මක ස්වරයෙන්. අපේ කතාව ඔහු අසාගෙන සිටි බව තේරුම්ගත් සිම්මි මොහොතකට නිහඩ වුණා.

" වීපි සර්.... අනේ... මට සිම්මි එක්ක ටිකක් කතා කරන්න දෙන්න....

පොරොන්දු වෙන්නම්....

ඔයාට විරුද්ධව මුකුත්ම කියන්නෙ නෑ වීපි සර්..... "

මම ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලීම් කලා. ඒත්...

ඔහු මගේ ඉල්ලීම් ගණනකට නොගෙන ඇමතුම විසන්ධි කරද්දි මට දැනුනෙ පුදුම තරම් දුකක්.

අනේ සිම්මිත් එක්ක... තව ටික වෙලාවක් කතා කරන්න තිබුණ නම්.......

" වීපි සර්.... අනේ එහෙම කරන්න එපා...

මට සිම්මිට තව ටික වෙලාවක් කතා කරන්න දෙන්න..... "

මම ඔහුගෙන් ඉල්ලුවා නොව අයැදුවා..

ඒත් ඒ කිසිවක් නෑසුන ගානින් ඔහු පිටතට ගියෙ මම කොට්ටය අස්සෙ මූණ හංගගෙන අඬන්න පටන් ගද්දි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

එදායින් පස්සෙ හරි අමුතු දවස් කිහිපයක් ගත වුණා.

වීපි සර් කාට හරි බයෙන් හැංගිලා ඉන්න උත්සහ කරනව වගේ මට දැනුනෙ.

දිනක් ඔහු නළලත තුවාල කරගෙන ඇවිත් වුන්නා. කවුරුන් හෝ ඔහුට පහර දී ඇති හැඩකි.

සාද වලින් පිරිලා තිබුණු වීපි සර්ගෙ ජීවිතෙ ටික දවසක ඉදන් හොදටෝම වෙනස් වෙලා. හැම මොහොතක්ම ඔහු ගත කලෙ කරදරෙන්.

වීපි සර්ගෙ මේ අලුත් වෙනසට එදා නිකේතනයේ දි හමු වූ පාතාලයින්ගෙ සම්බන්ධයක් ඇතිදෝයි මම සැක කලා.

ඔවුන් අවි ජාවාරම්කරුවෝ බව මම දැනගත්තෙ පස්සෙ කාලෙක. වීපි සර් එවැනි ජාවාරම්කාරයින් හා සම්බන්ධ වුනේ කෙසේ ද කියලවත් ඔවුන් අතර තිබුණු ගණුදෙනුව කුමක් ද කියලවත් මම දැනගෙන වුන්නෙ නෑ.

" මට වැඩක් නෑ අයිසේ...

මේ ප්‍රශ්නෙ කොහොම හරි ඉවර වෙන්නයි ඕනෙ....

අරුන් එක්ක ලේසි නෑ....

මුලු ප්ලෑන් එකම අවුල් වුණා..

ඌන් දැන් මාව හැම තැනම හොයනවා ඇති...

මොන මගුලක් හරි කරලා පන්නපු නැව ආයෙත් ගෙන්නනවා....

තමුසෙ මේ වැඩේ හරියට කලෙ නැත්නම්...

මේක තමුසෙගෙ අන්තිම වැඩේ වෙයි...! "

නාන කාමරයෙ උන්න මට වීපි සර්ගෙ හඬ කාමරයෙන් ඇහෙද්දි මම පිටතට එන්න ඉක්මන් වුණා. ඒ ඇඳ උඩ තිබුණු පෙන්ඩන්ට් එක වීපි සර් දකිවී බියෙන්.

ඉක්මනින් ගවුම දවට ගත්ත මා තෙත කොන්ඩය පිටින්ම නාන කාමරයෙ දොර විවර කලා.

අවාසනාවකට ඒ වෙද්දිත් මම පරක්කුයි. පෙන්ඩන්ට් එකත් කුඩා පරවි රූපයත් වීපි සර්ගෙ අතේ තිබුණා. දෑස් විසල් කරගෙන ඒ දෙස බලාගෙන වුන්න වීපි සර් ඊළගට මගේ මුහුණ මත බැල්ම නතර කර ගද්දි මම මුහුණ පහතට හරවා ගත්තා.

" බේබි ඩෝල්.....

මේ පෙන්ඩන්ට් එක කලින් ඔයා ලග තිබුනෙ නෑ.....

කොහොමද ආයෙත් මේක ඔයා ලගට ආවේ.... "

ඔහු ඇහුවෙ සැකය මුසු ආවේගයකින්.

" ම... මං ලග තිබුණා වීපි සර්....

වීපි සර්ට අමතක වෙලා.... "

මම අත දිගු කලෙ එය නැවතත් ඉල්ල ගන්න. ඒත් ඔහු තවමත් කල්පනාවක.

" මට හොදට මතකයි බේබි ඩෝල්....

මේ පෙන්ඩන්ට් එක ඔයා ළග හැමදාම තිබුණා තමයි....

ඒත්......

මං ළගට ආපු දවසෙවත්.... මං ළගට ආවට පස්සෙවත් ඔයා ළග මේ පෙන්ඩන්ට් එක තිබුනෙ නෑ....  "

වීපි සර් ගෙවුන දවස් වල මතකයන් එකින් එක මතක් කරමින්ම ඔහු මගේ තෙත කොන්ඩයෙන් ඇදලා අල්ලගත්තෙ ඒ නපුරු ඇස් වලින් මට රවමින්මයි.

" කියනවා බේබි ඩෝල්....

කොහෙන්ද මේවා..... "

මම නිහඬවම වුන්නෙ දෙන්න පිළිතුරක් නැති තැන. මම මොනවා කිවුවත් ඔහු මේ මොහොතෙ  විශ්වාස නොකරන බව මම දැනගෙන වුන්නෙ අත්දැකීමෙන්.

ඔහු තව තවත් මගේ කොන්ඩෙන් ඇදගත්තා.

එක් වරම ඔහු දෑස් විසල් කරගත්තේ කුමක් හෝ දෙයක් හදිස්සියේම මතක් වුණා වගේ.

" තමුසෙට එදා හොටෙල් එකේ දි ආගත්කාරයාව හම්බවුනා ද....

ඒක තමයි තමුසෙ එදා අමුතු ඇදුමක් ඇදගෙන වුන්නේ.... "

ඔහු සියල්ල නිර්ණය කරනා විට යටි තොල සපාගෙන මම හුස්මක් ගත්තා. තරහින් පුපුරමින් සිටි වීපි සර් මාව තල්ලු කරලා දැම්මෙ මගේ හිස බිත්තියෙ වැදෙන විදියට.

" අම්මා..! "

නලලත තදින් බිත්තියෙ වැදුනු වේදනාවෙන් ඉබේටම මට කෑගැහුනා. මම වේදනාවෙන් නලලත පිරිමැද ගද්දි වීපි සර් බෙල්ට් එක අතට ගත්තෙ මට පහර දෙන්න.

පැරිස් බදාමයෙන් නිර්මාණය කර තිබු කුඩා පරවි රූපය වීපි සර් බිමට අතැරියෙ කට කොනකට මවාගත්ත හිනාවකින්. කුඩා පරවි රූපය බිදිලා විසිරිලා යද්දි මම නොහඬා ඉන්න උපරිම උත්සහයක යෙදුනා.

" හොදට බලාගෙන ඉන්නවා බේබි ඩෝල්....

තමුසෙ ඕනාවට වඩා දැගලුවොත්... මේක තමයි මිස්ටර් හීරෝගෙ ඉරණම වෙන්නෙත්... "

සාක්කුවෙන් ලයිටරයක් පිටතට ගත් ඔහු එය දවලා පෙන්ඩන්ට් එක  ඒ ගිනි දැල්ලට ඇල්ලූවා.

ගිණි දැල්ලෙන් කලු වෙලා යන පෙන්ඩන්ට් එක දිහා මම ඔහේ බලාගෙන වුන්නා.

ජීවිතේම අතැරලා ඉන්න මට එය දරාගන්න බැරි තරමෙ වේදනාවක් නොවේ. ඒත් අවුරුදු දහාඅටක මතකයන් මගේ ඇස් ඉස්සරහම විනාශ වෙද්දි දුකක් නොදැනුනා කිවුවොත් බොරු... ඒත් බොළද ලෙසින් කදුළු වලට ඉස්සර වෙන්න මම ඉඩ දුන්නෙ නෑ.

මම උපේක්ෂාවෙන් වීපි සර්ගෙ වෛරය දෙස බලන් වුන්නා.

" තමුසෙ ඌට හැම විස්තරයක්ම කිවුව ද...... "

ඔහු බෙල්ට් එක ඉහළට එස වූවේ සුපුරුදු ලෙසින්  මට පහර දෙන්න. ඒත් ඔහුගෙ අත හරස් කරමින් මම ඔහුව නතර කරගත්තා.

" ඇති.....

හොදටම ඇති...... "

වීපි සර්ගෙ අතේ තිබුණු බෙල්ට් එක උදුරාගෙන මම එය පසෙකට විසි කර දැම්මා. ඔහු දෑස් විසල් කරගෙන උන්නෙ මගේ හදිසි වෙනස් වීම තේරුම්ගත නොහැකිව.

දරා ගැනීමේ උපරීමේකදි එක්කෝ හැම දෙයක්ම අතෑරලා එහෙමම  මැරිලා යන්න ඕනේ.. නැත්නම් අලුත් මනුස්සයෙක් විදියට දරා ගැනීමේ උපරිමයෙදිත් දරා ගෙන ආයෙත් නැගිටින්න ඕනේ...

මම තෝරගත්තෙ එයින් දෙවෙනි මාර්ගය.

" හොදටම ඇති වීපි සර්....

මෙච්චර දවසක් මං ඉවසුවා... හැම තිස්සෙම ඉවසුවා....

ඒත්.... මං මොකටද ඉවසන්නෙ... මං මොකටද තමුන්ගෙන් ගුටි කකා ජීවත් වෙන්නෙ......

මම මේ ගෙවන ජීවිතෙ සතෙකුටත් අන්තයි....

මං ඉවසන්නේ නෑ වීපි සර්... අදින් පස්සෙ ඉවසන්නෙ නෑ....

දන්නව ද.... මං ආගත් සර්ට මුකුත්ම කිවුවේ නෑ....

මං මොනා හරි කිවුව නම්... මාව බේරගන්න එන්න එයා මෙච්චර කල් ගනි කියලා තමුන් හිතනව ද....

නෑ වීපි සර්....

එයා කොහොමටවත් මං අඬනවා බලලා හිනා වෙන තමුන්ගෙ ජාතියෙ කෙනෙක් නෙමේ....

තමුන් හරි ආසයි නේ මං අඬනවා  බලන්න..,  මං වේදනා විඳිනව බලාගෙන හිනා වෙන්න  නේද....

ඒ නිසාම අද ඉඳන් මං අඬන්නේ නෑ වීපි සර්...

ඇති වෙනකම් මට ගහන්න...

කමක් නෑ.... මං තමුන්ව නතර කරන්නෙ නෑ..... හැබැයි තව දුරටත් තමුන්ට මාව ලේසි ඉලක්කයක් වෙන එකක් නෑ වීපි සර්....

තමුසෙ මට මොන තරම් වද දුන්නත්, හිතන්න එපා... මම මගේ අම්මා වගේ  සියදිවි නසාගනි කියල නම්.....

මං ඒ තරම් දුර්වල නෑ වීපි සර්.....

කොහොමත් තමුසෙ වගේ මිනිහෙක් නිසා... මගේ ජීවිතෙ නැති කරගන්න තරම් මම මෝඩත් නෑ....

කවදා හරි දවසක තමුසෙටම එපා වෙලා මාව මරලා දානකම් මම හුස්ම ගන්නවා....

ඔව් මං ජීවත් වෙනවා... හැබැයි මං වෙනුවෙන්ම විතරක්....

අදින් පස්සේ....

මගේ වේදනාව, කදුළු තමුසෙගෙ සතුටක් වෙන්න... මං ඉඩ තියන්නෙ නෑ වීපි සර්..... "

බිම වැටිලා තිබුණු බෙල්ට් එක අරගෙන මම එය ආයෙත් වීපි සර්ගෙ අත උඩින් තිබ්බා. ඔහු ඉස්සරහම දණ ගහගෙන අත් දෙකත් පිටුපසට කරලා බැදගෙන මම ඇස් දෙක වහගත්තෙ වීපි සර්ට මට පහර දෙන්න අවකාශය හදලා දුන්නට පස්සෙ.

ඒත් සිදු වුනේ වෙනත් දෙයක්. තත්පර කිහිපයක් ගතවුනාට පස්සෙ වීපි සර් තදින් දොර වහගෙන පිටතට යන සද්දෙ ඇහිලා මම දෑස් විවර කලා.

වීපි සර්ගෙ වලව්වට ආවට පස්සෙ  මං සැනසීමෙ හුස්මක් ගත්ත පළවෙනි වතාව ඒ.

ඒත් එක්කම පහත මහලෙ කලබලයක හඬක් මට ඇසුනා. වීපි සර් විසිත්ත කාමරය කණ පිට හරවනවා ඇති යැයි මා තේරුම්ගත්තෙ අත්දැකීමෙන්.

ඊටත් විනාඩි කිහිපයකට පස්සෙ ඇහුනෙ අමුතුම ශබ්දයක්. හරියට වීපි සර් බෙල්ට් එකෙන් ඔහුටම පහර දීගන්නවා වැනි ශබ්දයට මම අවදානය යොමු කලා. පහළ මහලයෙ කුමක් සිදුවනවා ද යන්න දැනගන්න මට තිබුනෙ ලොකු උවමනාවක්.

ඒත් වීපි සර් ඔහුටම පහර දීගන්න හඬ හැරෙන්නට වෙනත් කිසිවක් මට දැනගන්න ලැබුනෙ නෑ...

ඉන් පහුවෙනිදා පාන්දරම වීපි සර්ගෙ මෝටර් රථය වලව්වෙන් පිටතට යන හඬ මම අහගෙන වුන්නා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

එදා සිද්දියෙන් පස්සෙ දින සති ගෙවිලා ගියත් වීපි සර් ආයෙත් වලව්වට ආවේ නෑ..

වීපි සර් නැවත පැමිණෙන තුරුම මට මුලු දවසටම ලැබුනෙ එක කිරි වීදුරුවක් විතරයි.

එහෙමත් දවසක පාන් කෑල්ලක් , රොටියක් ලැබුනත් ඒවා ද වලව්වේ වැඩට වුන්න පුංචි කෙල්ල මට ගෙනත් දෙන්නෙ හොරෙන් බව ඇයගෙ හැසිරීමෙන් මා තේරුම්ගත්තා.

බොහෝ විට මා නිදන් ඉන්න වෙලාවක කිරි වීදුරුව කාමරයෙන් තියලා ඉක්මනින් ඉවත්ව යන්න ඇය පුරුදු වෙලා වුන්නා.

මම විදිමින් සිටියෙ එදා වීපි සර්ට විරුද්ධ වීමේ ඵල විපාක. ඔහු දඩුවම් දීමේ ක්‍රමය වෙනස් කරලා තිබුණා..

පහර දීමේන් මා දුර්වල කල නොහැකි බව තේරුම්ගෙන ද කොහෙද ඔහු ටිකින් ටික මා නොමරා මරන්න තීරණයක් අරන්.

දින සති බොහොමයක් ගෙවි ගිහින්... බොහෝ කලකින් මිනිස් කට හඬක් ඇසුනු මතකයක් මට නෑ..

මගේ දවස පටන් ගත්තෙත් අවසන් වුනෙත් අදුරු සිර කුටියක් වන් මේ කාමරය තුළ.

තනි වෙන්න මොන තරම් ආස කලත්... කිසිම මනුස්සයෙක් පේන්න නැති අඩුම තරමෙ කට හඬක්වත් ඇහෙන්නෙ නැති අදුරක තනි වුනොත් තව දුරටත් ඒ තනිකමට ආදරේ කරන්න හිත දෙන්නෙ නෑ....

මිනිස්සු....

මිනිස්සු ඉන්න ඕනෙ එකට... එකිනෙකා වෙනුවෙන් කැප වෙලා හැල හැප්පීම් මැද ගෙවන ජීවිතෙ මොන තරම් වෙහෙසකර වුනත් ඒකට තමයි ජීවිතෙ කියන්නෙ...

කාත් කවුරුවත් නැතුව තනි වෙන එක හුදකලාව මේ තරම් භයානක අත්දැකීමක් බව අද වෙනකම්ම මම තේරුම් අරන් වුන්නෙ නෑ...

මොහොතින් මොහොත මනස ව්‍යාකූල වෙද්දි මම දොරට තට්ටු කලෙ අඩුම තරමෙ මට බනින්න හරි කෙනෙක් කතා කරයි කියන බලාපොරොත්තුවෙන්.

" කවුද ඉන්නෙ......

අනේ...... කවුරු හරි කතා කරන්නකෝ....

මට කතා කරන්න ඕනේ..... "

මම බොහෝ වෙලාවක් වෑයම් කලා.

ඒත්... කවුරුවත්... කිසිම කෙනෙක් මට උත්තර දුන්නෙ නෑ......

" ඇයි කවුරුත් කතා කරන්නෙ නැත්තේ...

අනේ කවුරු හරි මාත් එක්ක කතා කරන්නකෝ....

මට පිස්සු හැදෙයි දෙයියනේ....

කවුරු හරි මට කතා කරන්නකෝ... "

අවසන මම කෑගැහුවේ හිතෙ වේදනාවෙන්. අඩුම තරමෙ මගේම කට හඬ අහගෙන හරි සැනසෙන්න මට ඕන වුණා.

මගේ කෑගැහිල්ල නිසා දෝ නොසිතු මොහොතක දොර විවර වුණා. පුංචි කෙල්ල දොර අභියස සිටගෙන වුන්නෙ බය වෙලා වගේ. ඇය මා ගැන වද වුණා.

කවුරුම හරි මට ප්‍රතිචාර දැක්වීම ගැන මම සතුටු වුනෙ හදවතින්ම. මම මූණ පුරා ලොකු හිනාවක් ඇදගන්න පරක්කුවෙන් ඇය ආයෙත් මාව තනි කරලා යන්න හදිස්සි වුණා.

" අනේ......

ඔහොම ඉන්න..... යන්න එපා......

මාත් එක්ක ටිකක්.... කතා  කරන්න....

අනේ යන්න එපා.... "

යකඩ කූරු දොර ළග මම වැතිර ගත්තෙ තනිවම මුමුණමින්.

යන්න ගිය පුංචි කෙල්ලගෙ හෙවනැල්ල ආයෙත් බිම දිගෙ මැවෙද්දි මම කෙලින් වුනෙ බලාපොරොත්තු පිරුණු හිනාවකින් මූණ පුරෝගෙන.

ඇය ආයෙත් ඇවිත් මං දිහා ලොකු වේදනාවකින් බලාගෙන වුන්නා.

යකඩ දොරට එහායින් ඇයත් බිමින් වාඩි වුනෙ මට සමාතරව.

" ස්තූතියි.....

ආයෙත් ආවට ගොඩක් ස්තූතියි..... "

දෙයත් එකතු කරලා මම ඇයට ස්තූතියි කලා.

" ඔ.. ඔයාගෙ.... නම මොකක්ද..... "

මට ඕන වුනෙ ඇයත් සමගින් මොනවම හරි කතා කරලා මනස නිරවුල් කරගන්න.

ඇය මොහොතක් මං දිහා බලාගෙන ඉදලා දුකින් මුහුණ පහතට හරව ගත්තා.

" මොකද වුනේ.....

ඔයා නම කියන්න කැමති නැද්ද......

ඒකට කමක් නෑ.....

මං ආයෙත් අහන්නෙ නෑ....

සමාවෙන්න.... "

ඇය වද වෙමින් හිස දෙපසට සෙලවුවා. ඊළගට හස්ත සංඥා වලින් ඇයට කතා කරන්න බැරි බව ඇය හගවද්දි මම ඇය ගැන හදවතින්ම දුක් වුණා.

කේඩෑරි සිරුරකට හිමිකම් කී ඈට තිබුනෙ සිරුරට නොගැලපෙන තරම් දිගු මහත් වූ කෙස් කළඹක්. එකට ගෙතු පසු එක් අතකින් අල්ලගන්න බැරි තරමට ඇගේ කොන්ඩය පෘථුල එකක්. අදුරු සමකින් වැසුණු ඇගේ මුහුණ උපන්දා සිටම දුක් විදි ගැහැණියක වගේ.

මම ඇයව විමර්ශනය කරන අතරෙ ඇය සංඥා භාෂාවෙන් ඇයගෙ නම මට පැහැදිලි කරමින් වුන්නා.

" මට සමාවෙන්න....

ඔයා කියන්න උත්සහ කරන දේ.. මට තේරුම්ගන්න අමාරුයි.... "

මම කීවේ ඇය ගැන තැවෙමින්. මොහොතක් ඉන්න කියලා සංඥා කරපු ඇය පහළ මහලට දිව ගියා.

විනාඩි කිහිපයක් ගත වූ තැන නැවතත් පැමිණි ඇයගෙ අතේ තිබුනෙ පොතකුත් පෑනකුත්.

බිම වාඩි වෙලා උකුල මත පොත තියාගෙන පිටුවක් පෙරලු ඇය එහි මොනවදෝ ලියලා එය මට පෙන්නුවෙ සුන්දර සිනහවකින් මූණ සරසගෙන.

" මම සමනලි....

ඔයාගෙ නම මොකක්ද...... "

එය කියවූ මට අලුත්  බලාපොරොත්තුවක් ලැබුණා වගේ. කෙසේ හෝ අපි අදහස් හුවමාරු කරගන්න මාර්ගයක් සොයා ගත්තා.

" ඔයා වගේම නමත් ලස්සනයි....

මම සිනුදි.....

ඉතිං කියන්නකෝ....

තව කවුද මෙහෙ ඉන්නෙ..... "

මගේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ඇය පොතේ සටහන් කලා.

" මමයි අප්පච්චි විතරයි......

විහාන් හාමු ඉදලා හිටලා එනවා.....

මං ඔයාට අක්කා කියන්න ද... "

ඇයගෙ ඉල්ලීමට එකඟව මම ලොකු හිනාවකින්ම හිස සැලුවෙ හා කියන්න.

සමනලීගෙත් මගෙත් අලුත් යාලුකම පටන් ගත්තෙ ඒ විදියට. ඇයගෙ අප්පච්චිට හොරෙන් මාත් එක්ක කතා කරන්න එන එක ඇයට දැන් පුරුද්දක් වෙලා.

සමනලී නිසා මට දැන් පාලුවක් නොදැනෙන තරම්.

ඔය අතර කාලෙ වීපි සර් කිහිප විටක්ම වලව්වට ආවත් ඔහු එක් මොහොතකට හෝ මා හමු වෙන්න ආවේ නෑ.

සමනලී විස්තර කල අයුරින් නම් වීපි සර් කුමක් හෝ ලොකු ප්‍රශ්නයක මැදිව ඇති බව මම තේරුම්ගත්තා.

එලෙසින් ගෙවි ගිය දින ගණනාවකට පස්සෙ සමනලී හරි අමුතු ආරංචියක්  මට අරගෙන ආවා.

" සමනලී.... ඔයා අර කිවුව ෆොටෝ එක අරගෙන ආව ද..... "

මම ඇහුවෙ උනන්දුවෙන්.

පෙර දිනකදි මගේම රූපය තියෙන තවත් කෙනෙක්ව ඇය ඡායාරූපයකින් දුටුවලු. මම ඇහුවෙ ඒ ගැන.

මගේ ඉල්ලීම ඉවත දාන්න බැරි තැන ඒ ඡායාරූපය වීපි සර්ට හොරෙන් මට ගෙනවිත් දෙන්න ඇය පොරොන්දු වුණා.

සැකයෙන් වටපිට බැලු ඇය සඟවාගෙන සිටි ඡායාරූපය මා වෙත දිගු කරද්දි එය ලබා ගන්න මම ඉක්මන් වුණා. වර්ණ ඡායාරූපයක් නොවූ පරණ තාලෙ සේයාවක් වූ එය වෙත මම බැල්ම ගෙන ගියෙ ඉක්මනින්.

" දෙයියනෙ.....

මේ කවුද..... "

ඡායාරූයෙ සිටි කාන්තාවට තිබුණෙ මගේ රූපයට සමාන රූපයක්. සර්ව සමාන නැති වුනත් බැලූ බැල්මට අපි දෙන්නම එක්කෙනෙක්.

වර්ෂ අසූ ගණන් වල මා තරුණියක්ව සිටියා නම් ඡායාරූපයේ සිටින ඇයගෙත් මගෙත් වෙනසක් සොයා ගැනීමට නොහැකි තරම් වන්නට තිබුණා.

" එයා ඔයා වගේමයි..... "

සමනලී ඇයගෙ පිටු අතර සටහන් කර තිබුණා.

" ඔයාට මේ ෆොටෝ එක කොහෙන්ද හම්බවුනේ.... "

මම ඇහුවෙ සිතුවිලි සමුදායකින් මිදුනු තත්පරයේම.

" පොත් රාක්කයක් අස් කරද්දි පොතක් අස්සෙ තිබිලා හම්බ වුනේ.... "

ඇය පිළිතුරු දුන්නා.

වීපි සර්ගෙ වෛරයෙත් මගෙත් මේ ඡායාරූපයෙත් කුමක් හෝ සම්බන්ධයක් ඇති බවට සැක කරන්න මම ඉක්මන් වුණා.

" සමනලී....

ඔයාට පුලුවන් ද මාව පොඩි වෙලාවකට එළියට ගන්න..... "

මම ඇයට වරදක් කරන්නට කියුවාක් මෙන් ඇය කලබල වුණා.

" පොරොන්දු වෙනවා....

වීපි සර්ට දැනගන්න තියන්නෙ නෑ.....

මට ඕනේ මේ ෆොටෝ එක ගැන හොයන්න විතරයි....

අනේ සමනලී....

මට උදව් කරන්න...... "

මුලදි ඇය කැමති වුනේම නෑ.. ඇයට මා ගැන විශ්වාසය ඇති වෙන ලෙසින් බොහෝ වෙලාවක් එකම ඉල්ලීම මට කරන්නට සිදු වුණා.

අවසන කෙසේ හෝ ඇයව කැමති කරවගන්න ලැබුණු එක මගේ වාසනාවක්.

ඇයගෙ අප්පච්චිට හොරෙන් යකඩ දොරේ අගුලු වල යතුරු ගෙනවිත් ඇය දොර විවර කලා.

" ස්තූතියි.... "

මම ඇයට ස්තූතියි කලෙ බෙහෙවින් ලෙන්ගතු ස්වරයෙන්.

එදා වීපි සර් වලව්වෙ නොසිටි දවසක් නිසා අපිට පරිස්සම් වෙන්න වුනෙ සමනලීගෙ අප්පච්චිගෙන් පමණයි.

පහළ මහලට යන්න සමනලී පෙරමුන ගත්තා. ඒත් මගේ ඇස් නතර වුනෙ ඉහළ මහලයෙ අගුලු ලා තිබුණු කාමරයක් ලග.

" අර කාමරේ කාගෙ ද.... "

මම ඇහුවෙ ඒ වෙතට අඩි තියමින්. සමනලී එහෙට යන්න එපා කියලා සංඥා කලෙ බියෙන් ගැහෙමින්.

වීපි සර් ඒ කාමරයට කිසිවෙකුටවත් යන්න ඉඩ නොදෙන බව සමනලී විස්තර කලා.

තරමක විසල් අගුලක් ද දම් වැල් ද යොදා ආවරණය කර තිබුණු කාමරය ගැන මම ඕනාවටත් වඩා උනන්දු වුණා. වීපි සර්ට මුලු ලෝකෙන්ම සැඟ වීමට තරම් දෙයක් එහි තිබිය යුතුයි.

මම යතුරු හිලට ඇහැ තිබ්බෙ කාමරෙ ඇතුලට යන්න කිසිම ක්‍රමයක් නැති තැන.

යතුරු හිලෙන් පෙනෙන කුඩා පරාසය වෙත මං අවදානය යොමු කලා.

බොහෝ කලකින් කිසිවෙකුත් එහි නොගිය බවට කාමරය තුළ ඕනාවටත් වඩා සාක්ෂි තිබුණා. සිත් සේ රටා මැවු මකුළුවන් හැරුනාම කාමරය තුළ තවත් අමුතු දේ බොහොමයකි.

කාමරයෙ මධ්‍යට වූ පුටුවේ කවුරුන්ව හෝ බැද දමා තිබුණු ලණු තවමත් එහිම වුණා. බාල්ක වලින් එල්ලෙන දම් වැල් අගිස්සෙ මාංචු වැනි දෑත් එකට සිර කරන ලද උපකරණයක්. ඒ අසලම මේසය මත කුඩා පරිමාණයෙ තියුණු ආයුධ බොහොමයක් වුණා.

මට දැනුන ලෙසින් නම් එම කාමරය වදකාගාරයකට සමානයි.

මම යතුරු හිලෙන් ඈතට වුනෙ හිතට දැනුන අමුතු හැගීමත් එක්ක.

සමනලී සමගින් මම පහත මහලට ආවත් මගේ හිත තිබුනෙම ඒ අමුතු කාමරය තුළ. සමනලීගෙ අප්පච්චි වත්තෙ වැඩ වලට කාර්යබහුල වී සිටි නිසා වලව්ව තුළ ඇවිදින්න අපිට නිදහස තිබුණා.

වීපි සර් වලව්වෙ ඉන්න දවස් වලට ඔහු වැඩි වෙලාවක් ගත කරන කන්තෝරු කාමරයට සමනලී මාව අරගෙන ආවේ ඡායාරූපය ද හමු වුනෙ මේ කාමරයෙන් නිසා.

කන්තෝරු කාමරයෙ මේසය මත තිබුණු ලණුව මම අතට ගත්තා. එහි තැනින් තැන වියැලි තිබුණෙ ලේ පැල්ලම්.

" සමහර දවස් වලට විහාන් හාමු ඕකෙන් එයාටම ගහ ගන්නවා....

තුවාල වෙනකම්ම.... "

වියැලි ගිය ලේ තැවරුණු ලණුව අතේ තියාගෙන මා කල්පනා කරද්දි සමනලී ඇයගෙ පොතේ එසේ සටහන් කලා.

වීපි සර් සමගින් මා රණ්ඩු කල දිනයෙ දි මට ඇහුනෙත් එහෙනම් ඒ ශබ්දයම තමයි.

තමන්ගෙම සිරුරට ඒ තරම් දරුණු වෙන්න වීපි සර්ගෙ මානසීකත්වය කුමන තත්වයක තිබෙනවා දැයි මට වැටහුනෙ නෑ.

ලණුව පසෙකින් තබා මම ලිපිගොනු හාරාවුස්සන්න පටන් ගත්තා. වීපි සර් ආයෙත් ආවොතින් සැක නොසිතෙන්නට ලිපිගොනු පරීක්ෂා කර බැලු මගේ ඇස් අහම්බයෙන් නතර වුනෙ ලිපිගොනු අතර සුරැකිව තිබුණු පරණ පත්තර පිටුවක් මත.

" සිනුදි....!!!! "

මම ගැස්සිලා ගියෙ පිටුපසින් ඇසුනු වීපි සර්ගෙ හඬට.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් ප්කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter