Chapter 1: 🌸01🌸

හීලියොස් - Ἠέλιος (GL) ✓Words: 9824

හදිසියේම ඇද හැලුණු හිරිපොඳ වැස්ස හේතුවෙන්, වඩාත් කාර්‍යබහුල වූ මැන්චෙස්ටර් නඟරයේ කුඩා කෝපි අවන්හල, පාරිභෝගිකයන්ගෙන් අතුරුසිඳුරු නැතිවම පිරී ඉතිරී ගියෝ ය.

එතෙක් එහි වූ ඇනවුම් හමුවේ මහත් සේ හෙම්බත්ව සිටි තලතුනා වයසැති ලිඩියා මහත්මිය, කවුන්ටරය මත වූ කුඩා සීනුව නාද කරමින්, හදිසියේම යමෙකුව කැඳවා සිටියා ය.

"එල්නෝරා....!!!! කරුණාකරලා විල්ෆ්‍රඩ් මහත්මයාගේ අයිරිෂ් කෝපි ඇනවුම ගැන සළකා බලන්න...! ඔහ්...! හැකිනම්.... විස්කි ස්වල්පයක් සමඟම...! "

ලිඩියා මහත්මියගේ එම නියෝගයත් සමඟම, බීර වීදුරුවක් අතැතිව එහි සම්ප්‍රාප්ත වූ රූමත් තරුණිය, අවන්හල තුළ එතෙක් නාද වෙමින් පැවති ග්‍රැමෆෝනයේ හඬ තවදුරටත් වැඩි කර සිටියා ය.

"එල්නෝරා....!!! දෙවියන්ගේ නාමෙට ඔය ඉලව්වේ සද්දය අඩු කරලා දානවා......!!!"

එසේ වුවත්, ලිඩියා මහත්මියගේ එම කෝපාන්විත ගර්ජනය කෙරෙහි නෑසුණු කන්ව සිටි රූමත් තරුණිය, අනතුරුව තාලයට පාද තබමින් කෝපි මැෂිම වෙතට ඇදුණා ය.

ඒත් සමඟම ඇය පසෙකින් සිට ගත් අනෙකුත් අයකැමි තරුණයා, තවමත් මඳ උණුසුමින් යුක්ත වූ නැවුම් කෝපි ඇට නැහැ පුඩු අසලට ගනිමින්, එහි මිහිරි සුගන්ධය හොඳින් ආඝ්‍රාණය කර බැලුවේ ය.

"හ්ම්..... කොළොම්බියානු දේශයේ ඉස්තරම්ම කෝපි....! සුවඳින්ම කියන්න පුලුවන්...!"

"ඔන්න ඕකට අයිරිෂ් විස්කි ස්වල්පයක් එකතු කරලා විල්ෆ්‍රඩ් මහත්මයාට ගිහින් දෙන්න ඇල්ටන්..!! නැත්නම් අර ගෑණිගෙන් මට විසුමක් වෙන්නේ නැහැ.....!"

එනයින් ඔහු දෙසට හැරෙමින් නොසැලකිලිමත්ව පැවසූ එල්නෝරා, ඇඟිලි තුඩු මඟින් මඳක් ඉහළට එසවෙමින්, අවන්හලේ ප්‍රධාන පිවිසුම දෙස සැලකිල්ලෙන් යුතුව බැලුවා ය.

සැබවින්ම ඇයගේ නොසන්සුන් වූ දෑස්, යමෙකුව බලාපොරොත්තුවෙන් සිටියා ය.

ඒ හේතුවෙන් මුව අඟින් සිහින් සිනාවක් නඟා ගත් ඇල්ටන්, තම හිස සිමින් දෙපසට සැලුවේ ය.

"මං නම් හිතන්නේ නැහැ නුඹේ සිත්ගත් කතුවරිය අදවත් මෙහි පැමිණේවි කියලා, එල්නෝරා...."

ඒ මොහොතකට පසුව ඔහු ඇල්මැරුණු හඬින් යුතුව පවසා සිටියේ ය.

"හැබෑවටම ඇල්ටන්.......! දැන් සුමාන කිහිපයකුත් වෙනවා නෙව....! ඇය කඳුකරයටම හිලව් වෙලාද......!"

එල්නෝරාගේ එම පිළිවඳන හමුවේ නිහඬවම දෙවුර සැලූ ඇල්ටන්,සකසන ලද කෝපි කෝප්පයත් රැඟෙන විල්ෆ්‍රඩ් මහතාව සොයා පිටව ගියේ ය.

ඒත් සමඟම ඇසුණු කන්කලු සිහින් සීනු හඬින්, වහාම හිස ඔසවා බැලූ රූමත් එල්නෝරාගේ උවනත,ඇසිල්ලක් තුළදී වුවද ප්‍රීතියෙන් රක්ත පැහැයට හැරී ගියා ය.

ඔව්!

එල්නෝරා විසින් සුමාන කිහිපයක් තිස්සේම දැක ගන්නට බලාපොරොත්තුවෙන් සිටි ඒ රුව...............

හදිසියේම අවන්හලේ ප්‍රධාන පිවිසුම අසලින් මතු වූවා ය.

ඒ ඇය....!

හැමදාම අඩු සීනී යෙදූ කළු කෝපි පමණක්ම ඇනවුම් කරන, එල්නෝරාගේ සිත්ගත් තරුණ කතුවරිය....!

"කරුණාකරලා කළු කෝපි එකක්......අඩු සීනී සමඟ..!"

ඉනික්බිතිව එල්නෝරා දෙස බලමින්, සුපුරුදු කෝපි ඇනවුම ඉල්ලා සිටි එම කතුවරිය, කලබලයකින් තොරවම ගොස් අවන්හල තුළ අසුන් ගත්තා ය.

ඇයගේ ඉල්ලීමත් සමඟම වහාම කෝපි මැෂිම වෙතට ගිය එල්නෝරා, කෙටි කාලයක් තුළදී පිළිසකර කර ගත් උණුසුම් කෝපි හා මඳ ගින්නේ පුළුස්සන ලද තිරිඟු පාන් පෙති කිහිපයක් සමඟින් වහා ඇය ඉදිරියේ පෙනී සිටියා ය.

"ක්ලෝඩියා මෙනවිය..!මෙන්න, ඔබගේ අඩු සීනී යෙදූ කළු කෝපි එක......"

එතෙක් තීන්ත පෑන සමඟින් කඩදහි ගොන්නක් අතර කාර්‍යබහුල වී සිටි ඇය, එල්නෝරාගේ ලඟන්නාසුළු හඬත් සමඟම හිස ඔසවා බැලුවා ය.

ඒ හේතුවෙන්, තම පිළිවැස්ම ගලවා ඉවත් කළ එල්නෝරා, ඇය ඉදිරිපසින් සිනාමුසුව හිඳ ගත්තා ය.

"ඉතින් ක්ලෝඩියා මෙනවිය..... කඳුකරයේ ජීවිතය කොහොමද....? විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ වර්ජනයත් හරි ඉක්මනට අහවර වුණා නේද....?"

ඒ නොතිත් පැනය හමුවේ හදිසියේම දීර්ඝ සුසුමක් පිට කළ කතුවරිය, නිහඬවම කෝපි උඟුරක රස බැලුවා ය.

අතිශයින්ම තියුණු වූ ඇයගේ සීතල බැල්ම,ගරාඳි වැටිය මත පැවති වැහි කෝඩයෙන් නැහැ වී ගිය හීලියෝට්‍රොප් මල් වැටිය වෙතට යොමු වී නතර වූවා ය.

"මගේ ලස්සන හීලියෝට්‍රොප්........ වැහි කෝඩයට ඒවා මිලින වී ගොහින්.....!"

අනතුරුව ඕ සිමින් මිමිණුවා ය.

මතුසම්බන්ධයි!

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

😏හායි හායි ළමායි....

ඔන්න ඉතිම් මං අලුත් කතාවක් ගෙනාවා....

ඒත් ඇත්තටම කියන්න ඕන මේක 'වහ්නි අද්වාරා' වගේ දිගට ගලාගෙන යන කතාවක් නම් නෙවෙයි..

මේක ඇත්තටම පරිච්ඡේද 5 කින් අවසන් වෙන කෙටිම කෙටි කතාවක්..

ඇයි පරිච්ඡේද 5 කින්.....?

ඔව් ඇත්තටම ඒකටත් හේතුවක් තියෙනවා...

මං ඒ ගැනත් ඔයාලාට ඉස්සරහට කියන්නම්කෝ...🧘😌

ඉතින්..........

ඇත්තටම කියනවා නම්,ගොඩ කාලයක් තිස්සේ මගේ draft එකේ වේලී වේලී තිබ්බ විලම්භීත කතාවක් තමයි මේ...

ඔව් ඉතින් මට නිකන් ඉන්න බෑනේ... අත කහනවානේ.... ඒ නිසා දැම්මා..😪

එහෙනම්..... ඉක්මනටම ආයේ හමුවෙමුකෝ..😏

First Chapter
ContentsNext
Previous
ContentsNext