Back
Chapter 14

13 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදුපුතා! මොකද්ද උනේ කියන්න මගෙ පුතේ? කොහොමද සුදුපුතාට අර කොලු පැටියව ඔය විදියට හම්බුනේ? සුදුපුතාට කරදරයක් නෑ නේද?"

නේත්‍රව අරගත්තු වලව්වෙ වාහනේ වලව්වෙන් පිටවෙනවත් එක්කම ලොකු මැණිකෙ අහද්දි කලබල වෙලා උන්නු සුමනාත් සුදුබේබිට කිට්ටු වුනේ තමන්ගෙ වෙවුලන කකුල් දෙකට පුලුවන් තරම් වාරු අරගෙන.මොකද තමන්ගෙ ගෙදරත් ඊයෙ පෙරේදා කොටහළු වුනු ගැටිස්සියක් එක්ක කසාදවත් නොබැන්ද ගෑනියෙක් තනියෙම උන්නෙ කියන එක නේත්‍රගෙ සිහියෙන් උන්නු නිර්මලාට අමතක උනාට සුමනාට අමතක වෙලා තිබ්බෙ නෑ.සුදුබේබිගෙ වෙවුලන ශරීරෙ තමන්ට වාරු කරගත්තු ලොකු මැණිකෙ සුදුබේබිගෙ පිට අතගගා සන්සුන් කරද්දිම එතනට ආවෙ මහමුදියන්සේ.

"සුදුපුතා! මොකද්ද උනේ කියන්න පුතේ?"

මහ මුදියන්සෙගෙ කටහඩ පවා වෙනදට වඩා ලාමක වෙලා තියෙද්දි එකපාරටම මොකක් හරි මතක් උනා වගේ සුදුබේබි මහ මුදියන්සෙගෙ තුරුලට පැන්නා.

"අප්පච්චි! අනේ අප්පච්චි!!! අරුන්දතී!! අරුන්දතී!!"

සුදුබේබි කෑගහද්දි කලබල වුනු මහ මුදියන්සේ කලේ ඉස්සෙල්ලාම සුදුබේබිව වඩාගත්තු එක.සුදුබේබිව වඩාගෙන තුරුල් කරගත්තු මහ මුදියන්සේ සුදූබේබිව සන්සුන් කරන ගමන් උනත් විස්තර අහන්න ගත්තෙ මොකක් නමුත් ලොකු දෙයක් වෙලා තියෙනවා හෝ දැනටමත් වෙමින් පවතිනවා කියන දේ දැනුනු නිසා.

"මයෙ කෙලීට මොකෝ සුදුබේබි? අනේ මගෙ මැණිකෙට මක්කා වෙලාද සුදුබේබි"

අරුන්දතීගෙ නම ඇහුනු ගමන් කලබල වුනු සුමනා මහ මුදියන්සෙගෙ අතේ උන්නු සුදුබේබි ලගට දුවගෙන එද්දි සුදුබේබි සුමනා දිහා බලලා කතා කරන්න ගත්තා.

"අරුන්දතී!!! එයා කරදරේක"

සුදුබේබිගෙ වචනත් එක්ක සුමනා තවත් කලබල වෙද්දි මහ මුදියන්සෙ සුමනට සැර කලේ මෙතන කලබල වෙන්න වෙන්න සුදුබේබිගෙ කටින් වචන පිට නොවෙන විදියට සුදුබේබි බය වෙනවා කියලා දන්න නිසා.

"කලබල නොවී ඉදින් සුමනා! පොඩි එකාව බය නොකර! අහගන්න දෙයක් කලබල නොවී අහගන්න තරමට කරදරයක් වෙලානම් ඒක විසදගන්න පුළුවන් වෙයි අපිට"

මහ මුදියන්සෙගෙ වචනත් එක්ක අසරණ වුනු සුමනා පසුබැස්සත් ඒ වයසක හදවතට දරන්න පුළුවන් මට්ටමටත් වඩා වැඩිපුර මේ වෙද්දි වේදනාවක් දැනිලා තිබ්බා.මහ මුදියන්සේ කලබල නොවී ඉන්න කිව්වට අරුන්දතීට,නේත්‍රට උනු දේ අද උනේ සුදුබේබිටනම්? සුමනට කලබල වෙන්න එපා කිව්ව මහ මුදියන්සේ කලබල නොවී ඉදීයිද?

දැනට විනාඩි ගාණකට කලින් සුදුබේබි වලව්ව ඇතුලෙ නෑ කියලා දැනගත්තම මහ මුදියන්සෙගෙ ඔය තියෙන සන්සුන් කම තිබ්බද? නැට්ට ගිනිගත්ත හනුමන්තා වගේ කලබල වුනු මහ මුදියන්සේ වලව්ව පෙරල පෙරල සුදුබේබිව හෙව්වෙ නැද්ද? ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් පිලිතුරු දාර්ශනිකයි කියලා කියන්නෙ අන්න ඒකට.සුමනගෙ වයසක හිතට ඔය ප්‍රශ්න ඔක්කොම ආවත් ඒ අහිංසක මනුස්සයා කටපියාගන්නවා ඇර වෙන මොනා කරන්නද?

"සුදුපුතා,කියන්න පුතේ මොකද්ද උනේ කියලා?"

මහ මුදියන්සෙගෙ කටහඩ සෑහෙන්න නිවිලා තිබ්බ වගේම සුදුබේබිගෙ කලබල ගතියත් මේ විනාඩි දෙක තුන ඇතුලත සමනය වෙලා තිබ්බා.

"මම නේත්‍රව හොයාන එහෙ ගියේ.එතකොට මිදුලෙ උන්නු දෙන්නෙක් කතා උනා අරුන්දතීව මරලා දානවා කියලා.ගල්පොත්තක් ගැනත් කිව්වා අප්පච්චි.......එයාලා එතනින් ගියාට පස්සෙ මම හොරෙන් ගෙට ඇතුල් උනේ.එතකොට නේත්‍රව තුවාල වෙලා තිබ්බෙ.මම නේත්‍රව අරගෙන ගෙයින් පිටවෙලා දුවගෙන ආවා.පද්මිණීත් වැටිලා උන්නා කුස්සියෙ"

සුදුබේබි එකදිගට කියාගෙන යද්දි මහා විලාපයක් තිබ්බ සුමනා වලව්වෙ පල්ලම ගාවට දුවගෙන යද්දි ඉක්මන් වුනු කරෝලිස් සුමනගෙ පිටිපස්සෙන් දුවලා ගියා.ඒත් එක්කම මහ මුදියන්සෙගෙ අණට අනුව වලව්වෙ උන්නු සේවකයො දෙන්නෙක් විදුලි පන්දම් දෙක තුනක් අරන් ආවා වගේම කොයි වෙලෙත් සූදානමින් තියෙන හුළු අතු පහ පහක් අතට ගත්තු වලව් සේවකයො පිරිස වගේම උත්සවේට ආපු අමුත්තන්ගෙන් කොටසකුත් වලව් වත්තෙන් පල්ලම් බහින්න ගත්තා.මහමුදියන්සේ සුදුබේබිව වඩාගෙන උන්නු විදියටම පල්ලම බහිද්දි ඔසරිය උස්සගත්තු ලොකු මැණිකෙත් පල්ලම බහින්න ගත්තෙ සේවකයො දෙන්නෙක්ව වලව්වෙ ආරක්ෂාවට නතර කරල තියලා.

ඈත තියාම සුදුබේබිට සුමනගෙ විලාපෙ ඇහෙද්දි සුදුබේබි කලේ තව ටිකක් මහ මුදියන්සෙට තුරුල් වුනු එක.පද්මිණීගෙ සිහිසුන් ශරීරෙ බදාගත්තු සුමනා කෑ ගගහ අඩද්දි එතනට දුවං ගිය ලොකු මැණිකෙ පද්මිණීගෙ ඇග අල්ලලා බලද්දි පද්මිණී ඉන්නෙ සිහිසුන් වෙලා මිසක මැරිලා වැටිලා නෙවෙයි කියන එක පිරිසට පැහැදිලි කරලා දුන්නෙ වේගෙන්.පද්මිණීව උස්සපු පිරිමි දෙන්නෙක් පද්මිණීව ඒ පුංචි ගෙ ඇතුලෙ තිබ්බ පුංචි කාමර දෙකෙන් එකකට අරං ගිහින් ඒ ඇදක ඇල කරවද්දි,නේත්‍ර උන්නු කාමරේ දකිද්දි ආපහු පාරක් නේත්‍ර උන්නු විදිය මතක් වුනු සුදුබේබි කෑගහලා අඩන්න ගත්තා.

"සුදුපුතා.....අඩන්නෙ නැතුව කියන්නකො මොන ගල්පොත්තක් ගැනද ඒ මිනිස්සු කතා වුනේ කියලා?"

මහමුදියන්සේ අහපු දේට සුදුබේබි උත්තර දෙන්න කලින් එතනට දුවගෙන ආවෙ ලොකු මැණිකෙ.

"අපේ මහත්තයා,කරෝලිස් දැකලා තියෙනවා නේත්‍ර කොලුවගෙ පිටිපස්සෙන් කරූ පල්ලම් බැහැලා තියෙනවා.දවස් දෙක තුනකට කලින් කරූ ගම්මානෙ මිනිහෙක් එක්ක ගමේ එහා කොනේ තියෙන ගල්පොත්ත ගැන කතාවෙනවත් කරෝලිස්ට ඇහිලා තියෙනවා"

කවදත් මහ මුදියන්සෙට වඩා ලොකු මැණිකෙට පක්ෂපාතී වුනු කරෝලිස් ඒ ඩිංගට තමන්ගෙ මතකෙ රැදුනු කරුණු ටික ලොකු මැණිකෙට කියලා තියෙද්දි,ඒ දෙයින් ගත්තු සැකේකට අනුව මහ මුදියන්සේ පිරිසත් එක්කම කැලෑ කෑල්ල පීර පීර ගල්පොත්ත පැත්තට ඇදෙන්න ගත්තා.

...................................................................................................

ගල්පොත්ත උඩ හිටිය අරුන්දතීගේ පුංචි අත් දෙක ලණු පොටකින් බැදලා දාලා වගේම අරුන්දතිගෙ කටත් රෙදි කඩකින් බැදලා දාලා තිබුනා.මහ රාත්‍රියෙ සීතලම සීතල කිරි කලේකින් නාවලා තිබ්බ අරුන්දතීගෙ ඇග ගැහෙමින් තිබ්බෙ සීතලටත් වඩා මූණ දීලා තිබ්බ අත්දැකීමට.මූණු වහගත්තු මිනිස්සු තුන්දෙනෙක් එක්ක අමුතු විදියෙ රූප ටිකක් ඇදගත්තු මිනිහෙක් රතුපාටත් ඇදගෙන මොන මොනවාදෝ ජප කරන දිහා අරුන්දතී බලාගෙන හිටියෙ ගල් ගැහිලා.

අවුරුදු 12කට කිට්ටු කරල තිබ්බ අරුන්දතීගෙ මනසට දරන්න බැරි තරමෙ පීඩනයක් දැනිලා තිබ්බත් ගේ ඇතුලෙදි තමන්ගෙ සිහිය නැති වෙනවත් එක්කම ඇහුනු තමන්ගෙ පුංචි මල්ලිගෙ කටහඩ නිසා අරුන්දතී තවමත් බලාපොරොත්තු දල්වගෙන හිටියා.මල්ලි මොකක්ම හරි කරලා තමන්ව බේරගන්න එයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය අරුන්දතී තවම තමන්ගෙ ජීවිතේ ගැන තියෙන ආසාව අතෑරලා දාලා තිබ්බෙ නෑ.

"අර මල් මාලෙ දාපං මේකිගෙ කරට"

කට්ටඩියා අසිහියෙන් වගේ කියද්දි කරූ කලේ රතු වදමල් වලින් හදාපු මල් මාලෙ අරුන්දතීගේ බෙල්ලට දැම්ම එක.ඒත් එක්කම මෙච්චර වෙලා මල්පැල ඉදිරිපිට මිටි ආසනේක තියලා තිබ්බ කඩුව අතට ගත්තු කට්ටඩියා ඒක උඩට කරලා මොන මොනවදෝ මතුරන්න පටන් ගත්තා.ආවේශ වෙලා දගලන කට්ටඩියා දිහා බලන් හිටිය අරුන්දතීට මේ වෙද්දි මුත්‍රා පවා පිටවෙන්න කිට්ටු වෙලා තිබුනා.

ඒ පුංචි වයසට දරන්න පුළුවන් මට්ටම පහු වෙද්දි අරුන්දතීට ආපහු පාරක් සිහි නැති වෙන්න ඔන්න මෙන්න තිබුනත් ඒ තියුණු ඇස් වලට ඈතින් මතුවුනු කහ පාට එලියක් අහු වුනා.ඒ එලිය දෙගුණ තෙගුණ වෙලා තත්පර ගාණක් ඇතුලත පෙනෙද්දි ඇගට නව පණක් ආව අරුන්දතී දැගලුවෙ ඈතින් පේන එලි වල අයිතිකාරයින්ට මෙතන යමක් වෙනවා කියලා දැනෙන විදියට ශබ්දයක් ඇති කරන්න.ඒත් ඒ දේ කරගන්න බැරි වුනු තැන අරුන්දතී නොනවත්වාම දගලන්න පටන් ගත්තා.

"එක විදියකට ඉදපං මාව මාරයා කරගන්නෙ නැතුව"

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනු ආගන්තුක කටහඩ නිසා බියගත්තු අරුන්දතීගෙ දැගලිල්ල අඩාල වෙද්දි ඒ හඩේ අයිතිකාරයගෙ ඇස් වලටත් අරුන්දතී දැක්ක දේම පේන්න ගත්තා.

"කරුවො......බලාපං උබටත් ඈතින් එලියක් පේනවද කියලා?"

"දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මුදලිතුමා!!! කාටහරි ඉව වැටිලා වගේ......හුළු අතු වල එලි වැටෙන්නෙ ගල්පොත්තට එන අඩිපාර දිගේ!!!"

කරූගෙ වචනත් එක්ක බිරාන්ත වුනු සේනාධිනායක මුදලි කට්ටඩියා ලගට ගිහින් කෑගහන්න ගත්තා.

"ඉක්මනට මෙතනින් පිටවෙන්න ඕනි ගුරුන්නාන්සෙ! කවුරුහරි පිරිසක් මේ ඉසව්වට ගාටනවා!!!"

"පටන් ගත්තු දේ ඉවර කරන්න දීපල්ලා!!! නැත්තං බහිරවයගෙ බැල්ම වැටෙන්නෙ මට!!!"

තමන්ගෙ මැතිරිල්ල අඩාල කරපු කට්ටඩියා මහ හයියෙන් ගුගුරද්දි සේනාධිනායක මුදලි කලේ කරූ දිහා හොරැහින් බැලුව එක.කරූ බලාගෙන උන්නෙ වියරු වැටුනු කට්ටඩියා දිහා.කට්ටඩියගෙ ඇස් දෙක දොඹ ගෙඩි දෙකක් තරම් විසාල වෙලා තිබ්බා වගේම ලොවි ගෙඩි දෙකක් වගේ රක්ත වර්ණ ගැන්නිලා තිබ්බා.භයංකර විදියට මුහුණෙ ඉරියව් වෙනස් වෙලා තිබ්බ කට්ටඩියව මේ වෙද්දි මෙහෙයවන්නෙ වෙන ආත්මයක්ද කියලා හිතෙන තරමට ඒ දර්ශනේ තැති ගැන්වෙන සුළු වුනා.

කඩුව ඉහලට උස්සාගෙන එකදිගට මන්ත්‍ර ජප කරන කට්ටඩියා දිහා වගේම ලග ලගම එන හුළු අතු එලි දිහා බැලුව සේනාධිනායක මුදලි සහ කරූ එකිනෙකාට කරගත්තු ඉගි එක්ක කරූගේ අතකොළුවවත් එක්කගෙන ගල්පොත්තෙන් බිමට පැනලා වලව්වට වැටෙන පාරට විරුද්ධ පැත්තට දුවන්න ගත්තා.තමන් මූණවල් වහගෙන උන්නු නිසා අරුන්දතීට තමන්ව අදුරගන්න බැරි වෙනවා කියන එක සහතිකෙන්ම හිතාගෙන උන්නු සේනාධිනායක මුදලි,කරූ,කරූගෙ සහායකයා එතනින් පලා ගියේ තමන්ට උදපදව් කරලා දෙන්න ආව කට්ටඩියව පවා අර ගල්පොත්ත උඩ තනි කරලා දාලා.

සේනාධිනායක මුදලිලා ගිය දිහා එකපාරක් බලපු කට්ටඩියා තමන්ගෙ අතේ තිබ්බ ජීවං කරපු කඩුව උස්සගත්තෙ වියරුවෙන් වගේ.කට්ටඩියගෙ ඇග මහ අසාමාන්‍ය විදියට ගැහෙන ගමන් තිබ්බා වගේම කට්ටඩියගෙ මැතිරිල්ල ඉවර වෙලා හරියටම අරුන්දතී දිහාවට හැරෙන වෙලේම වගේ අරුන්දතීව ඉන්දෝලා තිබ්බ තැනින් පෙනෙන නොපෙනෙන ගාණට දිලිසෙන රත්තරං දම්වැලක් වගේ එකක් ඇදිලා මැකිලා ගියා.

"නිධානෙ නිධානෙ"

කට්ටඩියගෙ ඇස් දෙක තණ්හාවෙන් මත් වෙද්දිම ඒ ඇස් දෙක ඊලගට කෙලින්ම එල්ල වුනේ තමන්ගෙ ඉස්සහර දණ නවාගෙන ඉන්න අරුන්දතී දිහාවට.අරුන්දතීගෙ ඉස්සරහ හිටගෙන කඩුව අහසට දික් කරගත්තු කට්ටඩියා ඔලුව වේගෙන් දෙපැත්තට හොලවන ගමන් අවසන් මන්ත්‍ර කිහිපය මතුරන්න ගත්තා.

"අරුන්දතී දුවගෙන එන්න!!!!"

කට්ටඩියගෙ හැසිරීමට බයෙන් බිරාන්ත වෙලා උන්නු අරුන්දතීගෙ කන් දෙකට ඇහුනෙ තමන් මේ ලෝකෙ අහන්න ආසම කටහඩවල් වලින් එකක්.ඒත් එක්කම කකුල් දෙකට පණ ගත්තු අරුන්දතී තමන්ගෙ ඉස්සරහ ඉන්න කට්ටඩියා දිහාවත් නොබලා බොහොම අමාරුවෙන් ගල්පොත්ත මත හිටගත්තා.අත් දෙකත් බැදල තියෙන නිසා කෙලින් වෙන එක කොච්චර අමාරු උනත් ඇගට වාරු ගත්තු අරුන්දතී ගල්පොත්තෙන් පහලට පැන්නෙ තමන්ව බේරගන්න කට්ටිය ඇවිල්ලා කියලා තේරිච්ච නිසා.

අරුන්දතී ගල්පොත්තෙන් පහලට පනිනවත් එක්කම දොල පාරෙන් ගොඩ වුනු වලව් සේවකයෙක් අරුන්දතීව උස්සගෙන මහ මුදියන්සෙ,සුදුබේබි,ලොකු මැණිකෙ හිටපු තැනට පරෙස්සමට ගෙනිච්චා.ඒත් එක්කම ගල්පොත්ත උඩ සිද්ධ වුනේ කවුරුත්ම නොහිතපු දෙයක්.

මන්ත්‍ර මැතිරිල්ල ඉවර කරපු කට්ටඩියා තමන්ගෙ ඇස් දෙක ඇරලා බලද්දි බහිරවයට පූජා කරන්න ගෙනාව බිල්ල එතන හිටියෙ නෑ කියලා දැනගත්තු ගමන් කට්ටඩියගෙ අතින් කඩුව අතෑරිලා ගියා.ඒත් එක්කම ගල්පොත්ත මතම ඇද වැටුනු කට්ටඩියගෙ ඇග දරුණු විදියට වෙවුලුම්කන්න ගන්නවත් එක්කම මළ මුත්‍රා එක දිගටම පිටවෙන්න ගත්තා.තමන්ව කළු දුමාරෙකින් වගගන්නවත් එක්කම නාහෙන් ලේ ගලන බව විතරක් කට්ටඩියට දැනුනා වගේම විනාඩි පහක් වගේ පොඩි කාල සීමාවක් ඇතුලත කට්ටඩියා නහයෙන් කටින් ලේ පෙරාගෙන තමන්ගෙ ජීවිතෙන් සමු අරගෙන තිබ්බා.

* * * * *

සුදුබේබි මේ වෙලාවෙ හිටියෙ තමන්ගෙ කාමරේට වෙලා.පාන්දර තුන පහු වෙලා තිබ්බත් සුදුබේබිට නින්ද ගිහින් තිබ්බෙ නෑ.පද්මිණීව වගේම අරුන්දතීවත් දෙවින්ගෙ තාත්තගෙ වාහනේ දාගෙන ඉස්පිරිතාලෙ ගියාට පස්සෙ ඔක්කොම කලබල අඩාල වෙලා ගියත් තවමත් වලව්වත්ත පැත්තෙන් ඇහෙන හීනි හඩවල් නිසා ගම්මානෙම ඈයො බාගෙට බාගයක් මේ පාන්දර වලව්වට රැස් වෙලා ඉන්නෙ කියන එක සුදුබේබිට තේරුම් ගිහින් තිබ්බා.

නේත්‍රගෙ අක්කගෙ ඉස්සරහ කඩුවක් උස්සගත්තු මිනිහෙක් ඉන්නවා දැක්ක පාර සුදුබේබි කෑගැහුවෙ අක්කට කරදරයක් උනොත් නේත්‍ර කොච්චර නම් දුක් වෙයිද,නේත්‍රට කොයි තරම් කම්පනයක් එයිද කියන දේ එකපාරටම ඔලුවට ආපු නිසා.තමන් නේත්‍ර වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කලා කියලා සුදුබේබිට හිතුනත් එක දෙයක් නිසා ඒ සිතිවිල්ල සපථ කරගන්න බැරි වෙලා තිබ්බා.

විටින් විටේ සුදුබේබිගෙ ඇස් දෙක ගියේම තමන්ට එහා පැත්තෙන් තියලා තිබ්බ කැමරාව දිගාවට.තමන්ගෙ අප්පච්චි,පුංචි අම්මා වගේම ගම්මානෙ අනික් මිනිස්සුත් නේත්‍රලාට කරන්න ගිය අපරාධෙට සම්බන්ධ අයව හොයන බව සුදුබේබි දැනන් හිටියා වගේම ඒකට ඕනි කරන සාක්කිත් තමන් ලග තියෙනවා කියලා සුදුබේබිට තේරුනා.ඒත් කිසි කෙනෙක්ව විශ්වාස කරන්න අකමැති සුදුබේබි හිතුවෙ මේ පොටෝ අප්පච්චිට පෙන්නුවත් අප්පච්චි තමන්ට බැන වදීවි කියලා.

අන්තිමේදි සුදුබේබි තීරණයක් ගත්තා.මේ ලෝකෙ වැඩිහිටියන්ගෙන් තමන්ට දශම ගාණක හරි විශ්වාසයක් දැනුනු පුද්ගලයට මේ පොටෝ ටික දෙන්න ඕනි කියලා සුදුබේබි තීරණය කලා.ඒත් මේ පොටෝ වල ඉන්නෙ කවුද,ඒ කෙනා තමන් විශ්වාස කරන පුද්ගලයගෙ එකම සහෝදරයා නේද කියන එක අමතක කෙරුව සුදුබේබි ලොකු මැණිකෙගෙ කාමරේ පැත්තට ඇදෙන්න ගත්තා.

* * * * *

"නැගපං පාහරයා වාහනේට!!! උබ මගෙ නම්බුවත් කෑවා මිනිහෝ!!!"

සුදුබේබි ඇහැරුනේ වලව්වෙ ඉදිරිපසින් ඇහෙන විසාල ගෝසාව නිසා.ඇහැක් පොඩි කර කර බිත්ති ඔරලෝසුව දිහා බැලුව සුදුබේබි වෙලාව උදේ 9.30 යි උනත් දත කටවත් නොමැද පහල මාලෙට දුවගෙන ගියේ ඇහෙන ගෝසාව මොකද්ද කියලා දැනගන්න තිබ්බ උවමනාවට.

වලව්ව ඉදිරිපිට නවත්තලා තිබ්බ පොලිස් ජීප් එක ඇතුලෙ කරූ එක්ක කරූගේ ගෝලයත් ඉදගෙන හිටියා වගේම සේනාධිනායක මුදලි ජීප් රථයට නගින්නෙ නැතුව එතන දෙවනත් කරන ගමන් හිටියා.සේනාධිනායක මුදලිගෙ ක්‍රියා කලාපෙට කේන්ති ගිය මහ මුදියන්සේ සේනාධිනායක මුදලිට බැන වදිද්දි පොලිස් මහත්තුරු දෙන්නෙක් කලේ බලෙන්ම අල්ලලා සේනාධිනායක මුදලිව ජීප් රථය තුලට තල්ලු කල එක.

"මම ආයෙ එනවා!!! මගෙම නංගි වෙලා තෝ මට විරුද්ධ උනා නේද පරට්ටි!!! කොහෙවත් යන උන් ටිකක් නිසා තෝ මට විරුද්ධ උනා නේද?!!! අපි බලාගමු!!!"

සේනාධිනායක මුදලි ලොකු මැණිකෙ දිහා බලලා වෛරෙ පිටවෙන ඇස් දෙකකින් කෑගහලා කියද්දි සුදුබේබි ලොකු මැණිකෙ දිහා බැලුවෙ ගෞරවපූර්වකව.

"සුදුපුතා,ඔය කැමරාව මට දෙන්න.හැබැයි කිසිම කෙනෙක්ට කවදාවත්ම මේ පොටෝ ටික ගැහුවෙ ඔයා කියන එක කියන්න එපා තේරුනාද?අප්පච්චිටවත් එපා......ඒ දේ අපි දෙන්නා අතරෙ විතරක් තියාගමු.තේරුනාද? සුදුපුතාට පුළුවන් මාව විශ්වාස කරන්න"

අද මහ පාන්දර ලොකු මැණිකෙ තමන්ට දුන්නු වචන ටික ඒ විදියටම ඉටු කරලා තියෙනවා දකිද්දි සුදුබේබිට ලොකු මැණිකෙ ගැන ගෞරවයක් ඇති වුනා.ඒත් එක්කම සේනාධිනායක මුදලි ආපහු පාරක් කෑගැහුවෙ හැමෝගෙම අවධානෙ තමන්ගෙ දිහාවට ගන්න ගමන්.

"මම යනවා! හැබැයි ආයෙම එනවා! කවදමහරි! එදාට ආයෙ හම්බෙමු මගෙ නංගි! මස්සිනා! ඒ වගේම වලව්වෙ පොඩි මහත්‍තයා!"

සේනාධිනායක මුදලිගෙ රෞද්‍ර ඇස් දෙක සුදුබේබිට එල්ල වෙනවත් එක්කම ලොකු මැණිකෙ සුදුබේබිව තුරුල් කරගත්තා.දූවිලි නංවගත්තු පොලිස් ජීප් රථය වලව්වෙන් පිටවෙලා යද්දි මහ මුදියන්සෙ රැගත් මෝටර් රථයත් ඒ පිටිපස්සෙන්ම පිට වෙලා ගියා.

...................................................................................................

"අනේ! මටත් යන්න දෙන්නකො"

සුදුබේබි මේ ලොකු මැණිකෙ ඉස්සරහ දගලන්නෙ ඉස්පිරිතාලෙ යන්න දෙන්න කියලා ඉල්ලන ගමන්.උදේ එකොලහට විතර වලව්වට ආව දිවාෂ වගේම දිවාෂගෙ අම්මා වුනු ආරියසිංහ නෝනව දැක්ක ලොකු මැණිකෙ කරපු සුහද ආරාධනාවත් එක්ක අසුන් ගත්තු ආරියසිංහ නෝනා ආපු කාරණාව ලොකු මැණිකෙට පැහැදිලි කරන්න ගත්තා.

".......ඉතින් මේ අපිත් බලන්න යන ගමන් ලොකු මැණිකෙ.අපේ පුතාගෙ හොදම යාලුවනෙ නේත්‍ර දරුවා.මෙයාට දරන්න බෑ යාලුවට කරදරයක් උනාම.ඒ නිසයි මේ යන්නෙ.උදේ අඩලා අඩලා දැන් ටිකකට කලින් තමා ඇඩිල්ල නැවැත්තුවෙ.යන්න තිබ්බ ගමනත් කැන්සල් කලා ඒ නිසා මැණිකෙ"

ලොකු මැණිකෙ තමන්ගෙ හිස සොලවන ගමන් ඒ කතාවට ඇහුම්කන් දීගෙන හිටියා.

"දිවාෂම තමයි කිව්වෙ සුදුබේබිවත් එක්කන් යන්න පුලුවන්නම් හොදයි කියලා.නේත්‍ර දරුවා මෙයා එක්කලටත් වඩා එකතු සුදුබේබි එක්කලුනෙ.....ඒ නිසයි ලොකු මැණිකෙ.....අනේ වරදවා හිතන්න නම් එපා"

ආරියසිංහ නෝනා කරුණු පහදලා අවසන් කලේ මද චකිතයක් එක්ක.මොකද වලව්වෙ සිරිත් විරිත් ගැන හොදහැටි දැනුමක් ආරියසිංහ නෝනාට තිබ්බ වගේම වලව්වෙ බේබිව, වලව්වෙ වැඩකාරයෙක්ගෙ දරුවෙක්ව බලන්න එක්කන් යන්න අහන එක උනත් වැරදි විදියට දකින්න පුලුවන්කමක් වලව්වෙ ඇත්තන්නට තියෙනවා කියලත් ආරියසිංහ නෝනා දැනන් උන්නා.දිවාෂව විතරක් එක්කගෙන නේත්‍රව බලන්න යන්න සූදානම් වුනු ආරියසිංහ නෝනා තමන්ගෙ දරුවගෙ වදෙන් බේරෙන්න බැරි නිසා මිසක් තමන් කවදාවත් මේ වගේ ආරාධනාවක් වලව්වෙ උදවියටනම් නොකරන බව දැනගෙන හිටියා.

"සුදුපුතා එහෙනම් ඉක්මනට ලෑස්ති වෙලා එන්න"

සුදුබේබිගෙ කරදරේ දරන්නම බැරි තැන ලොකු මැණිකෙ අකමැත්තෙන් උනත් අවසර දුන්නෙ මහ මුදියන්සේ පොලීසි ගිය ගමනම ව්‍යාපාර රාජකාරියටත් යන බව දැනන් හිටිය නිසා.මිනියක් මැරුනත් තමන්ගෙ ව්‍යාපාර කටයුතු මහ මුදියන්සෙ දෙවනි තැනට දාන්නෙ නෑ කියන එක ලොකු මැණිකෙ දැනන් හිටියා.

විනාඩි දහයක් වගේ යද්දි සුදුබේබි දිවාෂ දෙන්නම ආරියසිංහ නෝනගෙ පුංචි කාර් එකේ පිටිපස්සෙ ඉදගෙන යන්න පිටත් වුනේ නේත්‍රව බලන්න.සුදුබේබිගෙ අතේ පුංචි හිස් බෝතලේකුත් රැදිලා තිබ්බ බව දිවාෂ දැක්කත් ඒ මොකටද කියලා අහලා රණ්ඩු වෙන්න තරම් මානසිකත්වයක් දිවාෂට තිබ්බෙ නෑ.දිවාෂට ඕනි උනේ පුලුවන් තරම් ඉක්මනට තමන්ගෙ යාලුවව බලන්න යන්න.යාලුවගෙ ලෙඩ ඉක්මනටම සනිප වෙන බේත සුදුබේබි කියලත් දිවාෂ දැනගෙන හිටියා.හොදම යාලුවා කියන්නෙ හරියට තමන්ගෙම නිවුන් ආත්මෙ වගේනෙ!

"ඔහොම පොඩ්ඩක් නවත්තන්න ආන්ටි"

සුදුබේබි කෑගැහුවත් එක්කම ආරියසිංහ නෝනා තමන්ගේ මෝටර් රථය ගමේ පන්සල ඉදිරිපිටින් නතර කලා.වාහනෙන් එලියට බැස්ස සුදුබේබි තමන්ගෙ පුංචි කකුල් දෙකට වේගෙ අරගෙන පන්සල ඇතුලට දුවලා ගියේ ආරියසිංහ නෝනටවත්,දිවාෂටවත් මොකුත්ම නොකියා.විනාඩි පහක් වගේ යද්දි ආපහු පාරක් වාහනේට ආව සුදුබේබිගෙ අතේ පිරිත් නූලක් එක්කම,අර හිස් වෙලා තිබ්බ බෝතලේ දැන් වතුර පිරුණු බෝතලයක් විදියට වෙනස් වෙලා රැදිලා තිබ්බා.

"ලොකු සාධු,අනේ නේත්‍රට දෙන්න පිරිත් නූලක් එක්ක පිරිත් පැන් ටිකක් දෙන්නකො"

ගම්මානෙ මිනිස්සුන්ගෙ කතාබස් වලින්ම කනට වැටිලා තිබ්බ මහා අනුහස් තියෙන පිරිත් පැන් වලින් නේත්‍රට හොදක් වෙයි කියලා හිතුව සුදුබේබි සති පිරිත් සජ්ජායනාවෙදි සකසලා තිබුනු පිරිත් පැන් ටිකක් එක්ක පිරිත් නුලක් නේත්‍ර වෙනුවෙන් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා තිබ්බා.

පැය භායයක් වගේ ගත වෙද්දි මෝටර් රථය ඇවිල්ලා නැවැත්තුවෙ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට.ලෙඩ්ඩු බලන වෙලාව හරි නිසා කරදරයකින් තොරව ඉස්පිරිතාලෙට ඇතුල් වුනු සුදුබේබි ඇතුලු තුන්දෙනා නේත්‍ර ඉන්න වාට්ටුව හොයාගෙන ඇවිදගෙන යන්න පටන් ගත්තා.මතක ඇති කාලෙක ඉදලා වායු සමීකරණය කරපු,ටයිල් අල්ලපු ලස්සන ඉස්පිරිතාල වලට විතරක් ගිහින් තිබුනු සුදුබේබිට මේ රජයෙ ඉස්පිරිතාලෙන් එන බේත් ගද,ඒ වාතාවරණය දරාගන්න ටිකක් අමාරු වුනා.

තමන් නේත්‍රව බලාගන්න කාලෙට කවදාවත් මේ වගේ ඉස්පිරිතාලෙකටනම් නේත්‍රව ගේන්නෙ නෑ කියලා හිතාගත්තු සුදුබේබි ආරියසිංහ නෝනගෙ අතින් අල්ලගෙන ඉස්සරහට යන්න ගත්තා.නේත්‍ර ඉන්න වාට්ටුව කියලා කියපු වාට්ටුව ගාව හිටගත්තු සුදුබේබි තමන්ගෙ ඇස් දෙක වාට්ටුව පුරාම යවන්න ගත්තෙ ඒ හිටිය ලෙඩ්ඩු අතරින් තමන්ගෙ නේත්‍රව හොයාගන්න.ඒත් එක්කම ඒ ඇස් දෙකට වාට්ටුවෙ කොනකම ඉන්න එයාගෙ ගැටපිච්ච මලව අහු වෙද්දි සුදුබේබිගෙ කටින් එකපාරටම කෑගැහිල්ලක් පිටවුනා.

"මගෙ නේත්‍ර!!!!"

...................................................................................................

වචන 2300+😪

ඔව් මම දන්නවා.......මම දන්නවා මේ කෑල්ල සෙට් නෑ තමා😭😂❤️ ඇත්තටම මටම සෙට් නෑ මේ කෑල්ල🥴

මට ඕනි උනේ නිධන් සීන් එක ඉක්කන්ට ඉවරයක් කරලා දාන්න😪💔

ඒ නිසයි මෙහෙම මෙලෝ රහකට නැති චැපක් ලිව්වෙ.....

ඒ ගැන කැමීලියාට සමාවෙන්න බබාලා😪💔

අදත් කියන්න ඕනි

අනේ ඔයාලගෙ කමෙන්ට්ස් මම කියවන්නෙ පුදුම ආසාවකින්🥺❤️ අනේ මම ආදරෙයි හරිද🥺❤️

මට කතාවෙ කොටසක් සෙට් නැත්තං ඊලග එපිය ඉක්මනටම දෙනවා කියලා බබාලා දන්නවනෙ😪😂❤️ ඒ නිසා ඊලග එපිය අදම හෝ හෙට දෙනවා මම🤭❤️

එතකං ගිහින් එන්නම් බබාලා මම🥺❤️

අනේ ඔයාලගෙ වෝට්ස් වලට,කමෙන්ට්ස් වලට මම මහ පුදුම විදියට ආදරෙයි 🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter