Back
Chapter 15

14 කොටස🤍✨

නිවාලන්න මා...

වාට්ටුවෙ කොණේම තිබ්බ ඇඳේ හාන්සි වෙලා හිටියෙ නේත්‍ර ළඟට දුවගෙන ගිය සුදු බේබි දිහා ඒ ඇඳ ගාවම තිබුණු ලී පුටුවට වෙලා ඉඳන් හිටිය නිර්මලා බලාගෙන උන්නෙ පුදුම වෙලා.කී වෙනි වතාවට දන්නේ නෑ,අතීතෙ කවදාවත් නොවුණු දේවල් දැන් වෙන එක ගැන නිර්මලා හිටියෙ පුදුම වෙලා.

"සුදු බේබි කොහොමද මේවයෙ ආවෙ?"

"නේත්‍රට අමාරුවක් නෑ නේද?"

නිර්මලා අහපු ප්‍රශ්නෙ කනකටවත් නොගත්ත සුදු බේබි තමන්ගේ ප්‍රශ්නෙ නිර්මලාට ඉදිරිපත් කරද්දී නිර්මලා බයාදු හිනාවකින් මුණ සරසගෙන නේත්‍රගෙ ඔලුව අතගෑවා.සුදු බේබි ඇහිපිය ගහන්නේ නැතුව බලාගෙන හිටියේ නේත්‍රගෙ මුහුණ දිහා.

වෙනදට හැමවෙලේම බෝල වෙලා දිලිසෙන ඒ ඇස් දෙක අද පියවිලා තිබ්බා.රෝස පාට බෝල කම්මුල් දෙකත් සුදුමැලි වෙලා ගිහින් තිබ්බ වගේම කොයි වෙලෙත් නස් නාරං ඉස්ම ගෑවිලා දිලිසෙන ඒ රෝස පාට තොල් දෙකත් අද සුදුමැලි වෙලා ගිහින් තිබ්බා.හැමවෙලේම පුළුවන් විදියට සතුටු වෙන ගමන් හිනාවෙන නේත්‍රගේ මූණ පොඩිත්ත අද විඩාබරව මැලවිලා ගිහින් තිබ්බා.

"මැහුම් තුනක් දැම්මා සුදු බේබි.ලේ හුගක් ගිහින් නිසා ටික දවසක් යනකං ඇගේ පතේ පණ නැති ගතිය තියෙයි කියලා කිව්වා දොස්තර මහත්තයා"

නිර්මලා කියන දේ ඇහුණු සුදු බේබිගෙ ඇස් කඳුළු වලින් බර වෙන්න ගත්තා.මොන දේ වෙන්න හරි ඊයෙ තමන් නේත්‍රත් එක්ක හිටියා නම් මෙහෙම දෙයක් නේත්‍රට වෙන්නේ නෑනේ කියන දේ සුදු බේබිගෙ හිතට වද දෙද්දී, තමන් එහෙම නේත්‍රත් එක්ක උත්සවය වෙලාවෙදි එකට හිටිය නං අප්පච්චිගෙන් නේත්‍රට ගුටි කන්න වෙනවා කියන එකත් සුදුබේබි සහසුද්දෙන්ම දැන ගෙන හිටියා.

ඇස්වලට උනපු කඳුළු තමන්ගේ උරහිසෙන් පිහිද ගත්තු සුදු බේබි හෙමිහිට තමන්ගෙ අත නේත්‍රගෙ මූණ ලඟට ගේද්දි නිර්මලා එහාට වෙලා සුදුබේබිට ඉඩ දුන්නෙ සුදු බේබි ගැන තිබ්බ ගෞරවය නිසා වගේම සුදු බේබිට එහාට වෙන්න හිටගෙන හිටපු ආරියසිංහ නෝනා වගේම දිවාෂවත් දැක්ක නිසා.සුදු බේබිට නේත්‍ර ලඟට ලං වෙන්න ඉඩ දුන්නු නිර්මලා ආරියසිංහ නෝනා ළඟට ගියේ වේදනාත්මක විදිහේ හිනාවකින් මුණ සැරසෙද්දී.

නේත්‍රගේ මූණ ලඟට අත අරං ගාව සුදු බේබි හෙමීට නේත්‍රගෙ කම්මුල දිගේ තමන්ගේ අත ගෙනිච්චා.වෙනදට ආසාවට තමන්ගේ අත් දෙකේ ඇඟිලි දහයම දිග ඇරලා නේත්‍රගේ කම්මුල් දෙක මිරිකලා ඒවා රතු ගැහෙන හැටි බලන් හිටියත් අද සුදුබේබි තමන්ට පුළුවන් උපරිම සියුම් විදියට නේත්‍රගෙ කම්මුල අත ගෑවා.සුදුබේබිට බය හිතුනෙම නේත්‍රට රිදේවි කියලා.ඊයේ ඉඳන් නේත්‍ර විඳලා තියන වේදනා වන හැටියට පුංචි හරි වේදනාවක් නේත්‍රට තමන්ගෙනුත් ලැබෙයි කියලා සුදුබේබි බය වුනා.

"අරුන්දතීට මොකද අක්කේ දැන්?"

"කෙල්ලට නම් හානියක් නෑ කිව්වා නෝනා මහත්තයා.බෙහෙත් වගයක් දීලා අපේ නංගිත් එක්කම ටිකට් කප්පවලා ගෙදර යැව්වා උදේම"

ලොකුකම් මහන්තත්තකම් නැති ආරියසිංහ නෝනා නිර්මලාට හිතවතෙක් විදිහට කතා කළත් උපන්දා ඉදලම හීනමාන කියන දේ දෝත බදල පිලි අරං උන්නු නිර්මලාට ඒ විදිහට ආරියසිංහ නෝනට කතා කරන්න බැරි උනා. තමන්ට ගරු නම්බු දීලා කතා කළ නිර්මලාව තේරුම් ගන්න උගත් ගැහැණියෙක් වුණු ආරියසිංහ නෝනට පුළුවන් වෙද්දී වෙනසක් නොපෙන්නපු ආරියසිංහ නෝනා කතාව ඉස්සරහටම කරගෙන යන්න හිතා ගත්තා.

"දැන්නම් බයක් වෙන්න ඕනි නෑ අක්කෙ.අදාල මිනිස්සුන්ව පොලීසි අරං ගියානෙ.මම හිතන්නෑ මහ මුදියන්සේගෙ තියෙන බලපුලුවන්කාරකම් එක්ක උන්ට එලියට එන්න හම්බෙයි කියලා"

"ඔව් නෝනා.....පොලීසිය මෙහෙටත් ඇවිත් කට උත්තර ගත්තා.මේකා ඒ බය වුනු පිම්ම අඩපු පාර තමා අඩලා අඩලා නිදාගත්තෙ"

"බය වෙන්න ඇති නේත්‍ර පොලීසියට.......පොඩි දරුවෙක්නෙ දෙයියනේ මේකා"

නිර්මලා කිව්ව දේට උත්තර දුන්නු ආරියසිංහ නෝනා සන්සුන් විදියට නිදාගෙන උන්නු නේත්‍ර දිහා බලලා ආපහු පාරක් නිර්මලා එක්ක කතාවට මුල පුරද්දි දිවාෂත් ගිහින් තමන්ගෙ අතේ තිබ්බ පලතුරු මල්ල නේත්‍රගෙ ඇද ලග තිබුනු පොඩි කබඩ් එක උඩින් තියන ගමන් නේත්‍රගෙ මූණට එබුනා.ඇද උඩ නිදන් ඉන්න නේත්‍රගෙ මූණට එබෙන්න උස මදි නිසා ඇගිලි තුඩු වලින් ඉස්සීගෙන හිටිය අසරණ දිවාෂ දිහා බැලුව සුදුබේබි පුරුදු විදියට දිවාෂට රවන්න ගත්තා.

"අහකට වෙනවා කොටෝ.....තමුන්ව නේත්‍රගෙ ඇග උඩට වැටෙයි"

"ඇයි ඇයි සද්දෙ ආශව අයියෙ? මම නැත්තං එයි මේං කියලා නේත්‍රව බලන්න"

"එනවා තමා"

"එයි එයි කියලා තමා බය.මම නැත්තං කොරයි"

සුදුබේබිට දිව දික් කරපු නේත්‍ර කුටු කුටු ගාලා සුදුබේබිට බනිද්දි දිවාෂව මරන්න වගේ රවලා බලපු සුදුබේබි ආපහු පාරක් නේත්‍ර දිහා බැලුවා.නේත්‍රට නිදාගෙන ඉන්න දෙන්න ඕනි උනත් ආපහු තමන්ට නේත්‍රව බලන්න වෙන්නෙ නේත්‍ර ගෙදර ආවට පස්සෙ කියලා දැනන් හිටිය සුදුබේබිට යන්න කලින් නේත්‍රත් එක්ක වචනයක් හරි කතා කරන්නත් ඕනි උනා.

"නේත්‍ර........"

නේත්‍රගෙ කන ලගට පාත් වුනු සුදුබේබි නේත්‍රගෙ කම්මුල අතගගා කතා කරද්දි නේත්‍රගෙ පියවිලා තිබ්බ ඇස් හෙමි හෙමින් ඇරුනා.නේත්‍ර ඇහැරෙනවා දැක්ක සුදුබේබි කෙලින් වෙලා හිටගද්දි නේත්‍රගෙ බෝල ඇස් දෙක වාට්ටුවෙ සිවිලිම දිහාවට හැරිලා තිබ්බා.තවම නේත්‍ර තමන්ව දැක්කෙ නෑ කියන එක තේරුම් ගත්තු සුදුබේබි නේත්‍රට ආපහු පාරක් කතා කලා.

"නේත්‍ර"

"සුදුබේබි! මගෙ සුදුබේබි!!! මම හිතුවෙ හීනෙන් ඇහුනෙ කියලා!!! නෑ මගෙ සුදුබේබි මාව බලන්න ඇවිල්ලා"

සුදුබේබිගෙ ආදරණීය හඩින් වුනු ආමන්ත්‍රණෙත් එක්ක සුදුබේබිගෙ පැත්තට ඔලුව හරවපු නේත්‍ර මහ හයියෙන් කෑගහගෙන සුදුබේබිව තද කරලා බදාගත්තා.නේත්‍රගෙ සද්දෙ ඇහුනු වාට්ටුවෙ අනික් ලෙඩ්ඩුත් මේ අපූරු යාලුවො දෙන්නා දිහා බලලා හිනා වෙලා අහක බලාගනිද්දි නිර්මලා උනත් ඒ වැලදගැනීමට බාධාවක් නොකලෙ ඔතන බාධා කරන්න ගිහින් නිකරුණේ සුදුබේබිගෙ රැවීම් ගෙරවීම් වලට තමන්ට ලක් වෙන්න ඕනි නැති නිසා.

"මම ආවා නේත්‍ර....මම නෑවිත් කොහොමද ඔයාව බලන්න"

නේත්‍රගෙ නලලෙන් හාද්දක් තවරන ගමන් සුදුබේබි කියද්දි නේත්‍ර හිතේ හැටියට සුදුබේබිගෙ පපුව අස්සට තුරුල් වුනා.තමන්ට සිහිය ආවට පස්සෙ නිර්මලා අඩ අඩ කිව්ව විස්තර වල හැටියට සුදුබේබි නොහිටියනම් අද තමන්,අරුන්දතී දෙන්නම ජීවතුන් අතර නොහිටියන්න ඉඩ තිබ්බා කියන එක නේත්‍රට තේරුම් ගිහින් තිබ්බා.

එන්නම එන්නම සුදුබේබි වෙනුවෙන් ඒ පුංචි හිතේ වැඩෙන හැගීම තදබල වෙද්දි නේත්‍ර එන්න එන්නම සුදුබේබිට ලෝභකම් කරන එකත් වැඩි වෙලා තිබ්බා.සුදුබේබිව කාටවත්ම දෙන්නෙ නෑ කියලා ඒ පුංචි හිත මේ වෙද්දිනුත් ලොකු තීරණයක් අරගෙන තිබුණා.

"මාව තමා පේන්නෙ නැත්තෙ කාටවත්! හුහ්"

"අනේ දිවාෂ.....මගෙ යාලුවා"

සුදුබේබිගෙ තුරුලෙ ඉදගෙනම දිවාෂ ඉන්න පැත්ත හැරිලා කෑගැහුව නේත්‍ර දිවාෂවත් තුරුල් කරගන්න හැදුවත් නේත්‍රව අල්ලගෙන හිටිය සුදුබේබි තව ටිකක් තද කරලා නේත්‍රව තුරුල් කරගත්තා.

"එයාව තුරුල් කරගන්න ඕන්නෑ.ඔහොම ඉන්න"

"අනේ මට ඕනිත් නෑ ආශව අයියෙ! හුහ්"

සුපුරුදු විදියටම දිවාෂ,සුදුබේබි රණ්ඩුව පටන් ගනිද්දි ඇස් රෝල් කරගෙන එකාට එකා රවාගත්තු ඒ ජෝඩුව පුරුදු විදියටම නේත්‍ර දිහා බලලා ආදරණීය විදියට හිනා වුනා.

"ඉන්නකො නේත්‍ර මම ඔයාට බඩ්ඩක් ගෙනාවා"

සාක්කුවට අත දැම්ම සුදුබේබි තමන් ලොකු සාධුගෙන් ඉල්ලගෙන ආව පිරිත් නූල නේත්‍රගෙ දකුණතේ ගැටගහලා පිරිත් පැන් බෝතලෙන් ටිකක් නේත්‍රට පෙව්වා.නේත්‍රගෙ චූට්ටං කට කොනෙන් වැටෙන පිරිත් පැන් බින්දු දෙක තුන තමන්ගෙ ඇගිල්ලෙන් පිහිදැම්ම සුදුබේබි නේත්‍රව පරෙස්සමට ඇදේ හාන්සි කලේ දැන් ලෙඩ්ඩු බලන්න තියෙන වෙලාව ඉවර වෙන්න කිට්ටුයි කියලා තේරුනු නිසා.

"නේත්‍ර මම ගෙනාව පලතුරුත් කන්න හොදද?"

"හරි දිවාෂ.ගොඩාරියක් ස්තූතියි ඔයාට"

දිවාෂගෙ අතින් අල්ලගෙන හොලවලා තමන්ගෙ සතුට ප්‍රකාශ කරපු නේත්‍ර ආපහු පාරක් සුදුබේබි දිහා බැලුවෙ හරි දුකින්.දැන් සුදුබේබි යනවා කියලා තේරුනු නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා.

"ඉක්මනට සනීප වෙලා එන්න නේත්‍ර.මම බලාගෙන ඉන්නවා.තව සතියකින් අපි අලුත් ඉස්කෝලෙට යන්නත් ඕනිනෙ"

නේත්‍රගෙ ඔලුව අතගාලා කිව්ව සුදුබේබි නේත්‍ර ලගින් ඈත් වුනේ ආරියසිංහ නෝනා නේත්‍ර ලගට කිට්ටු කරනවා කියලා දැක්ක නිසා.

"අපි ගිහින් එන්නම් පුතේ....අද හරි හෙට හරි පුතාගෙ ටිකට් කපයි හොදද? ඉක්මනට හොද වෙලා එන්නකො....අපේ සිග්.....දි.....දිවාෂටත් පාළුයි පුතා නැතුව"

ආරියසිංහ නෝනා නේත්‍රගෙ ඔළුව අතගාලා එතනින් එහාට වෙද්දි ඇදේ හාන්සි වෙලා ඉන්න නේත්‍රගෙ උරහිසට තට්ටු කරලා අත අල්ලලා හොලවපු දිවාෂත් නේත්‍රට සමුදීලා නිර්මලාටත් සමුදෙන ගමන් තමන්ගෙ අම්මා එක්ක වාට්ටුවෙ පිටවීම පැත්තට ඇවිදන් ගියත් සුදුබේබි තාමත් හිටපු තැනමයි.

"ස්..සුදුබේබි?"

නේත්‍ර සුදුබේබි දිහා බලලා කතා කරද්දිම නේත්‍රගෙ නලලට වැටිලා තිබ්බ කොණ්ඩෙ පස්සට කරපු සුදුබේබි බේත් දාලා ආවරණය කරලා තිබ්බ නේත්‍රගෙ තුවාලෙ උඩින් තමන්ගෙ තොල් දෙක තද කලා.සුදුබේබිගෙ ආදරණීය ස්පර්ශය හමුවෙ පුංචි නේත්‍රගෙ ඇස් දෙක පියවිලා ගියේ ඒ දයාබරත්වෙ හදවතටම දැනුනු නිසා වෙන්න ඇති.

"දැන් නේත්‍රට ඉක්මනටම හොද වෙයි.මම ගිහින් එන්නම්.පරිස්සමට ඉන්න නේත්‍ර.බුදු සරණයි!"

පුංචි කාලෙ තමන්ගෙ අම්මා තමන් තුවාල උනාම ඔය විදියටම ඒ තුවාලෙ සිපගන්නවා කියන එක මතකෙ රැදිලා තිබ්බ සුදුබේබි ලෝභකමක් නැතුව ඒ ප්‍රතිකර්මෙ නේත්‍රටත් ලබාදීලා වාට්ටුවෙන් එලියට දුවගෙන ගියා.වාට්ටුවෙන් එලියට ගිහින් තමන්ට අත වන වන හිටපු සුදුබේබියි දිවාෂයි දෙන්නම "වෙලාව ඉවරයි....වෙලාව ඉවරයි...ඔක්කොම එලියට යන්න...එලියට යන්න..." කියලා කෑගහගෙන ආව රෝහල් සේවකයගෙ පැමිණීමත් එක්කම එතනින් දුවලා ගියා.

...................................................................................................

දවස් දෙකක් හෙමි හෙමින් ගෙවිලා ගියේ නේත්‍රගෙ තුවාලෙත් ටිකෙන් ටික සනීප කරන ගමන්.අද උදේම ඉස්පිරිතාලෙට ගිය නිර්මලා නේත්‍රගෙ තුවාලෙ මැහුම් කපාගෙන ඇවිත් උණු වතුරෙන් පොඩි එකාව නාවලා කරලා ඉස්තෝප්පුවෙ වාඩි වෙලා නිල්පාට අහස දිහා බලාන උන්නා.ඊයෙ දවසම බීරිම් කරපු වැහිකළු අද උදේ ඉදන් පේන්නවත් නැති උනාට මොන වෙලේක හරි වැහිකළු මතු වෙන්න පුළුවන් කියන එක නිර්මලා දැනගෙන හිටියා.

"මොකද්ද කෙල්ලෙ අපි දැන් මේකට කරන්නෙ?"

නිර්මලා ඉදගෙන හිටපු තැනම තිබ්බ පොඩි බංකුව උඩින් ඉදගත්තු සුමනා අහද්දි නිර්මලා කලේ අහස දිහා බලාගෙන හූල්ලපු එක.මේ වෙද්දිනුත් තමන් ගන්න ඕනි තීරණේ මොකද්ද කියලා නිර්මලාට තේරිලා තිබ්බත් ඒ දේට හිත එකග කරගන්න තවම නිර්මලා ශක්තිමත් වෙලා හිටියෙ නෑ.

ඒත් එක්කම තමන්ගෙ එහා පැත්තෙන් ඉදගත්තෙ පද්මිණී කියලා තේරුනු නිර්මලා ඒ දිහා බලන්න මහන්සි නොවී තමන්ගෙ අත් දෙක ඔලුව අස්සෙ හිර කරගත්තා.නිර්මලාගෙ මනස පුරා සක්මන් කරන්න ගත්තෙ අරුන්දතීගෙ කොටහළු නැකැත් හදවගන්න ගම්මානෙ වෙදමහත්තයා ලගට ගිය වෙලේ උනු සිද්ධිය ගැන.

"තුන් කුළුදුල් දරුවෙක් නිසා කේන්දරේ බලගතුයි.හැබැයි කෙල්ලගෙ මොකක්ම හරි අවාසනාවකට කෙල්ලට මාරක අපලෙක ලක්ෂණ පෙන්නුම් කරනවා......කේන්දරේ හිමිකාරිට බාල සහෝදරයෙක් ඉන්නව නේද? මේ කේන්දරේ බලපෑම ඒ දරුවටත් එල්ල වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි."

"ඒ කිව්වෙ වෙද මහත්තයා?"

"කෙලීගෙන් කොලුවට පවා අපලයි දරුවෝ ! දෙන්නා එක වහලක් යට හිටියොත් මහ විනාසයක් වෙනවා.මේ වසරෙ ඉදන් වසර 15ක් ඉස්සරහට මේ අපලෙ පෙන්නුම් කරනවා.අද හෙට උනත් ඒ අපලෙ දරු පැටව් දෙන්නටම බලපාන්න බැරි කමක් නෑ!"

"අපි මොකද්ද කරන්න ඕනි වෙද මහත්තයා?"

"දරුවො දෙන්නව වෙන් කරන්න වෙනවා! කෙල්ලව දැන් පදිංචි භූමියෙ කෙටියෙන්ම කිව්වොත් ගමේ සීමාවෙ තියෙන එක පවා භයානකයි.....ඒකිට ඒ භූමිය අකැපයි දරුවො....කොලුවගෙ වේලපත්කඩේ ගෙනාවෙ නැද්ද?"

වෙදමහත්තයගෙ වචනත් එක්ක කලබල වෙලා හිටිය නිර්මලා අත් දෙකෙන්ම තමන්ගෙ පන් මල්ල අවුස්සද්දි නිර්මලා එක්ක වෙලාව බලාගන්න ඇවිත් උන්නු පද්මිණී නිර්මලාව සන්සුන් කරලා ඒ පන්මල්ල ඇතුලෙ තිබ්බ නේත්‍රගෙ වේලපත්කඩේ අරගෙන වෙදමහත්තයා දිහාවට දික් කලා.

"පුදුමයි! හරි පුදුමයි!"

විනාඩි ගාණකට පස්සෙ වෙදමහත්තයා තමන්ගෙ හඩ අවධි කරද්දි නිර්මලා පද්මිණී දෙන්නා ඒ දිහාවට අවධානෙ යොමු කලා.

"කොලුවට ඒ භූමිය අකැප නෑ.කොල්ලා උපන් වෙලාව එක්ක පදිංචි භූමිය ඇතුලෙ බලගතු ආරක්ෂාවක් කොල්ලට තියෙනවා.කරදර වල වැටුනත් කොල්ලව බේරගන්න පුළුවන් ආරක්ෂාවක් කොල්ලගෙ වටේ කැරකෙනවා.හැබැයි ඒ දේ කෙල්ලට නෑ දරුවො! කෙල්ල ඔය භූමිය තුල හිටියොත් මේ වසර පහලව ඇතුලෙ මොකක්ම හරි විනාසයක් වෙනවා.....කෙල්ලගෙ සමහරවිට ජීවිතේට උනත් හානියක් වෙන තරමට ඒ අපලය ප්‍රභලයි"

වෙදමහත්තයගෙ වචන ඇස් පනාපිටම ඇත්තක් වෙලා තියෙද්දි නිර්මලාට තමන්ගෙ දරුවො දෙන්නගෙ ජීවිතේ ගැන සාධාරණ බයක් ඇති වෙලා තිබුනා.මිත්‍යා විශ්වාස කිය කිය ඔය දේවල් බැහැර කලත් ඒවගෙ යම් ඇත්තක් තියෙනවා කියලා නිර්මලාට වඩා උගත් ගැහැනියෙක් වුනු පද්මිණී උනත් පිලිගත්තා.බුදුරජාණන් වහන්සේගේ කාලෙ පවා ජෝතිශ්‍යවේදියො ඉදලා තියෙනවා කියන එක සහසුද්දෙන්ම ඔප්පු වෙද්දි ඒ හැමදේම බොරු කියලා බැහැර කරන්න පද්මිණීටවත් පුළුවන් උනේ නැහැ.

නගරබද ඉන්න සල්ලි කඹුරගන්න ජෝතිශ්‍ය කියන දේ ඇමක් කරගෙන බොරු කිය කිය සල්ලි ගරන නාමික ජෝත්ශ්‍යවේදියො නිසා නගරබද ඉන්න බොහෝ අයවලුන් ඒ දේවල් මිත්‍යා විශ්වාස කියලා බැහැර කලත් තවමත් පාරම්පරික රහස් ක්‍රමවේද වලට අනුව ජෝතිශ්‍යවේදයෙන් විස්කම් පාන අයවලුන් ගම්මාන වල හිටි නිසා ගැමියෝ ඒ දේවල් මිත්‍යා විශ්වාස කියල බැහැර කලේ නැහැ.

නගරබද වාසය කරන නාගරිකයො උනත් මගුලකට තුලාවකට,මලගමකට,මල්වර උත්සවේකට,ව්‍යාපාරයක් අරඹන දවසකට,විභාගෙකට පිටත් වෙලා යන දවසකට ඔය මිත්‍යා කියලා බැහැර කරලා තියෙන ශාස්ත්‍රය පිටුපස්සෙ ගාටනවා කියන එකත් නොරහසක්.

කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු පොඩ්ඩක් තියෙනවා කියන වදන සපථ කරන නාගරිකයො එලිපිට නොපෙන්වා උනත් නැකැත් හදවාගැනීම,කේන්දරේ බලවාගැනීම වගේ ක්‍රියා වල නිරත වෙනවා කියන එක හරි ප්‍රසිද්ධ රහසක්.පදුරකට පයින් ගැහුවම විසික් වෙන නාගරික ජෝතීර්වේදියො අවිශ්වාස කරන නාගරිකයො ගම්මාන වල සුපතල ජෝතීර්වේදින්ව හමුවීම,කතා බස් කිරීම,උපදෙස් ගැනීමද හරි සාමාන්‍ය කාරණාවක්.

ගස් ගල් අදහනවා! මිත්‍යාවන් විශ්වාස කරනවා! යැයි කියන ගමන් ගැමියන්ට සිනා නගන නාගරික කළු සුද්දන් තමන්ට කරදරයක් උනු වහාම ගහක් කියලා සමච්චල් කරන බෝධීන් වහන්සේට පුද පූජා පවත්වා එයින් ආශිර්වාද ලබා ගැනීමත්,ගල් පිලිම කියලා සිනා නැගුව දේව ප්‍රතිමාවලට පුද පූජා පැවැත්වීමත් හරි සුලබ කරුණක් වෙනකොට සුද්දන්ගෙ ආභාෂය හරි අඩුවෙන් උකහා ගත්තු ගැමියන්නම් එලිපිටම තමන්ගේ විශ්වාසයන් ඇදහීම් දිගටම පවත්වාගෙන ගියා.

ඉතින් නිර්මලා කියන්නෙ ගැමිකම කියන දේ උප්පත්තියෙන්ම අරගෙන ඉපදුනු ගෑනියක්.ගැමිකම මැද හැදුනු වැඩුණු ගෑනියෙක්.පද්මිණී පාසල් ගුරුවරියක් උනාට නිර්මලා කියන්නෙ සමහර උගතුන්ගෙ කෝණෙන් ගමේ ගොඩේ ඉන්න නූගත් ගෑනියෙක් උනා.ඉතින් නිර්මලාගෙ හිත මෙවෙලෙ කලබල වුනු එක සාමාන්‍යයි.හදවතේ එක පැත්තකින් අරුන්දතීව තමන්ගෙන් වෙන් කරන්න බැරි තරමට දැනෙන දාරක ස්නේහෙ ඇදුම් කද්දි අනික් පැත්තෙන් දරුවො දෙන්නගෙ ජීවිත අවධානම ගැන තිබ්බ බය ඇදුම් කෑවා.

"අක්කා කැමතිනම්......මට පුළුවන් අරුන්දතීව හදාගන්න.අක්කට පුළුවන් මාව විශ්වාස කරන්න.....මගෙ දරුවෙක් වගේ මම පොඩි එකීව බලාගන්නම්"

ඇත්ත.නිර්මලාට පද්මිණීව අවිශ්වාස කරන්න තරම් හේතුවක් තිබුනෙ නැති උනත් අරුන්දතීව තමන්ගෙන් ඈත් කරන්න තරම් පුලුවන්කමක් නිර්මලාට තිබුනෙත් නෑ.ඒ හැමදේටත් වඩා අරුන්දතී කියන්නෙ තමන් හා හා පුරා කියලා බිහි කරපු දරුවා.එහෙව් එකාව නොදැක තමන් කොහොම ඉන්නද කියන එක නිර්මලාට හිතාගන්න බැරි උනා.

තරුණ කාලෙ ඇති කරගත්තු නොගැලපෙන ආදර සම්බන්ධෙකින් ලැබුනු හිත් තැවුල නිසා අදටත් අවිවාහක ජීවිතයක් ගත කරන පද්මිණී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මලා වගේම "හොද" ගැහැනියෙක් වුනා.උඩ බලාගෙන කල්පනා කරපු නිර්මලා කිසිම උත්තරයක් පද්මිණීට නොදී එතනින් නැගිටලා වලව්වෙ සුපුරුදු රාජකාරියට ගාටද්දි ලොකු හුස්මක් හෙලුව සුමනත් ඒ පස්සෙන්ම ඇදෙන්නට පටන් ගත්තා.

...................................................................................................

"ඉස්කෝලෙ පටන් ගන්නවා නේද?"

"ඔව් ලබන සදුදානෙ"

"මායි නේත්‍රයි එක පන්තියට වැටුනොත්නම් හොදයි"

"දිවාෂ එක්ක ඉදලා නේත්‍ර තව ටිකක් නරක් වෙයිද දන්නෑ"

"අනේ සුදුබේබි තව ටිකක් කියන්නෙ? හරියට මම දැනුත් නරකයි වගේනේ"

"නෑ නෑ නේත්‍ර එහෙම නෙවෙයි......"

"නරක් වෙයි යැයි යැයි තමා.නිකං යන්න ආශව අයියෙ"

"තමුන් එක්ක මට කතාවක් නෑ කොටා"

"අයියෝ ඔය දෙන්නගෙ රණ්ඩු නවත්තගන්නකො.මොන වෙලේ බැලුවත් පොර කුකුල්ලු දෙන්න වගේ පැටලුණු ගමන්මයි"

"ඕහ්හ්හ් පොර කුකුල්ලු! දෙවින් අයියත් දැන් දැන් ගමේ විදියට කතා කරනවා නේද?"

"අපේ අත්තම්මා ඉතින් කතා කරන්නෙම හොද සිංහලනෙ.මට කොලඹ මිනිස්සු කතා කරන විදිය අමතක වීගෙනම යයි වගේ"

තමන්ගෙ සෙල්ලම් පිට්ටනියෙ ලාවුලු ගහ යට පුරුදු විදියට ඉදගෙන හිටපු පොඩ්ඩො හතර දෙනා අතරින් සුදු බේබියි දිවාෂයි දෙන්නා පුරුදු විදියටම ඇවිලෙන්න ගද්දි නඩුකාර උන්නාන්සෙගෙ භූමිකාව හැමදාම මෙහෙයවපු දෙවින් පුරුදු විදියට ඒ රණ්ඩුව සමථෙකට පත් කරලා දැම්මා.

"නේත්‍ර මල්ලිගෙ තුවාල කැලල සෑහෙන කාලයක් තියේවි නේද?"

"දන්නෑ දෙවින් අයියෙ.ඒක මැකෙන එකක් නැති වෙයිදත් දන්නෑ"

"කාලෙත් එක්ක මැකිලා යාවි.හැබැයි ඉක්මනටම ඕක මකාගන්න පුළුවන් ඔලිව් ඔයිල් ගෑවනම්"

"ඒ මොනාද දෙවින් අයියෙ? මම අහලවත් නෑ"

"එහෙනම් සුපර්මාකට්ස් වල ඕනි තරම් තියේ.මෙහෙත් ඇති හැබැයි"

දෙවින් කියද්දි අහිංසක හිනාවක් පෑව නේත්‍ර ඒ කතාව නැවැත්තුවෙ දෙවින් කියන තෙල් ජාතිය තමන්ට ගන්න පුළුවන් ජාතියක් නෙවෙයි කියලා තේරුනු නිසා.අරපිරිමහගෙන ජීවත් වෙන තමන්ගෙ අම්මට එහෙමවත් බරක් දෙන්න බැහැ කියන එක පුංචි උනත් නේත්‍ර තේරුම් අරගෙන හිටියා.ඒත් එක්කම සුදුබේබි කතාව වෙනස් කලේ තමන්ගෙ අහගන්න ඕනි වුනු දෙයක් අහගන්න.

"තෙවින් මොකෝ දෙවින්? දැන් අවුලක් නෑ නේද?"

"නෑ දැන්නම් අවුලක් නෑ ආශව.යාලුවො දෙතුන් දෙනෙක් ඉන්නවලු.ඒත් මම නැතුව පාළු ඇති.මෙහෙ එන්න ඕනි උනාට අම්මා එන්න දෙන්නෙ නෑලු.අනේ මංදා ආශව.මට හරි පාළුයි මල්ලි නැතුව"

තෙවින්ව මතක් කරද්දි දෙවින්ගෙ ඇස් වලට කදුළු පිරුනත් දෙවින් ඉක්මනටම කදුළු පිහිදගත්තා.කොහොමත් දෙවින් තෙවින් කියන්නෙ නිවුන්නු උනාට ගතිගුණ වලින් අහසට පොලව වගේ දෙන්නෙක් කියලා සුදුබේබි දැනගෙන හිටියා.දෙවින් මොන දේටත් සාමකාමීව ඇහුම්කන් දෙන,තැන්පත්,ටිකක් සංවේදී කෙනෙක් උනාට තෙවින් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක් උනා.

දෙවින් හැමදේටම කලින් මොලේට ඉඩ දීලා වැඩ කරන කෙනෙක් උනත් තෙවින් අතින් පයින් වැඩ ටික කරලා ඉවර වෙලා මොලේට ඇහුම්කන් දෙන පුද්ගලයෙක් උනා.සුදුබේබි කවදාවත් පාවලා නොදුන්නට කොළඹ ඉස්කෝලෙ ඉද්දි තමන් කරපු මැරකම් වලට උදව් කරපු කෙනා උනේ තෙවින් කියන එක දෙවින් පවා දැනගෙන හිටියා.තෙවින් තමනුත් නැතුව කොලඹ හැදෙන එක ගැන පුංචි දෙවින්ගෙ හිතේ උනත් සෑහෙන බයක් තිබ්බෙ මල්ලි නරක ලමයෙක් වෙයිද කියලා හිතිලා තිබ්බ නිසා.

"අඩන්න එපා අනේ....ඔයාට මේ මල්ලි ඉන්නවනෙ"

දිවාෂ කියද්දි දෙවින් ලස්සනට හිනා වෙලා දිවාෂගෙ ඔලුව අතගෑවා.දගකාරකම අතින් දිවාෂ තෙවින්ට සමාන උනත් දිවාෂගෙ හිතන පතන විදිය,ගතිගුණ තෙවින්ගෙ වගේ දරුණු ඒවා උනේ නැහැ.හැමවෙලේම තෙවින් නැති පාළුව දිවාෂගෙ වැඩ නිසා යම්තාක් දුරකට මැකුණත් තමන්ගෙ නිවුන්නා ඈත් වුනු පාළුව සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් කෙනෙක් දෙවින්ට හම්බුනේ නැහැ.ඇත්තටම ඒ පාළුව නැති කරන්න පුළුවන් එකම කෙනා තෙවින් විතරයි කියන එකත් දෙවින් දැනගෙන හිටියා.

"සුදුබේබි අම්මගෙ අතේ එවලා තිබ්බ ඇදුම් ටික ලස්සනයි"

නේත්‍ර හෙමීට මුමුණද්දි සුදුබේබි නේත්‍රගෙ ඔලුව අතගෑවා.තමන් මේ අවුරුද්දෙ මැද කොලඹ ඉද්දි ගත්තු ඇදුම් අලුත් පිට තිබ්බත් ඒවා අදින්න බෑ කියලා සුදුබේබි කෑගහපු හේතුව දැනගෙන හිටියෙ සුදුබේබි විතරයි.ඉතින් කවදත් සුදුබේබිට පුළුවන් උපරිම හොද දේවල් අරගෙන දෙන මහ මුදියන්සෙයි ලොකු මැණිකෙයි සුදුබේබිගේ ගැටේට් අහු වෙලා හෙට අනිද්දම අලුත් ඇදුම් අරගන්න යන්න තීරණය කරලා තිබ්බා.

ඉවත් කරන ඇදුම් ටික ලොකු මැණිකෙ නිර්මලාට දුන්නෙ සුදුබේබිගෙ සැලැස්ම සාර්ථක කරලා.දෙතුන් වතාවකට වඩා ඇන්දෙ නැති හොද කලිසම් කමිස දහයක් විතරම නේත්‍රට ලැබිලා තිබ්බා වගේම නේත්‍ර ඇන්දම ඒ කලිසම් ඉණෙන් හැලෙන නිසා නිර්මලා ඒ ටික නේත්‍රගෙ ඉණේ ගානට හදනකං ඒ ඇදුම් ටික පැත්තකින් තියලා තිබ්බා.

"ඒ මම ඇන්ද ඇදුම් නේත්‍ර....අලුත් ඒවා නෙවේ"

"ඒකට කමක් නෑ සුදුබේබි......ඒවා සුදුබේබි ඇන්ද ඇදුම් නිසාමයි මම ඒවට ආසා"

"ඇයි ඒ? කියන්නකො නේත්‍ර....අනේ මොකද්ද අනේ"

සුදුබේබි කොච්චර දැගලුවත් නේත්‍රගෙ කටින් වචනයක් පිට නොවුනු තැන සුදුබේබි කරබාගත්තෙ පරාජෙ පිලිඅරගෙන.තව දවස් කීපෙකින් පටන් ගන්න අලුත් ඉස්කෝලෙ ගැන මාතෘකාව ආපහු දෙවින් ඇදලා ගනිද්දි පොඩ්ඩො ටික ඒකට ඇහුම්කන් දෙන්ම ගත්තා.

"අපේ කොළබ ඉස්කෝලෙ වගේම ලොකුද දන්නෑ නේද ආශව?"

"අපි යන එකේ කොළඹ ඉස්කෝලෙ වගේ දුඹුරුයි සුදුයි මාලිගා වගේ බිල්ඩින් නෑ කියලා කිව්වා අප්පච්චි"

"ගමේ ඉස්කෝලෙට වඩානම් ලොකු ඇති නේද දෙවින් අයියෙ?"

"ඔව් නේත්‍ර.....ලොකු ඉස්කෝලයක්නෙ.ඒ නිසා ලොකු ඇති"

"ඒත් නේත්‍රයි මායි එක පන්තියෙ නෙවේනේ ඉන්නෙ"

"ඒකනෙ සුදුබේබි"

"ආශව කැමතිනම් එහෙම එකම පන්තියෙ ඉන්න පුළුවන්"

"ඒ කොහොමද දෙවින්?"

"ආශවට පුළුවන් exam එකෙන් ෆේල් වෙන්න.එතකොට නේත්‍රගෙ පන්තියෙ තමා"

දෙවින් කිව්ව කතාවට මහ හයියෙන් හිනා වෙන දිවාෂ දිහා රවලා බලලා දෙවින්ට දිව දික් කරලා ඇද කරපු සුදුබේබි ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ කජු ලෙලි පුච්චන සුවද පැතිරෙන්න පටන් අරං තිබුනු නිසා.මෙහෙම නිදහසේ ඉන්න පුළුවන් කාලෙ ටිකෙන් ටික අඩු වෙනවා කියලා දැනුනු පොඩ්ඩො හතර දෙනාගෙම මූණු වල දුකක් පේන්න තිබ්බත් අලුත් ඉස්කෝලෙකට යන ආසාව නිසා ඒ දුක තුනී වුනා.

"නේත්‍ර කිව්වෙ නෑනෙ ඒ ඇන්ද ඇදුම් වලට ආසා ඇයි කියලා?"

ප්‍රශ්නයක් හිතට ආවම කොහොමහරි ඒකට උත්තරේ අහගන්න විදියෙ පුරුද්දක් තිබ්බ සුදුබේබි නේත්‍රගෙන් අහද්දි නේත්‍ර හිටියෙ ගෙදර කඩුල්ල ඉස්සරහ.දෙවින් එක්ක කියෝ කියෝ යන දිවාෂට සුදුබේබි මග නතර වුනු එක ගැන ගාණක් නොවෙද්දි සුදුබේබි තමන්ගෙ ප්‍රශ්නෙට උත්තරේ කොහොමහරි නේත්‍රගෙන් අහගන්න උත්සාහ කලා.

"කියන්නකො නේත්‍ර?"

සුදුබේබි කකුල් දෙකත් පොලවෙ ගගහා දැගලුවෙ කඩුල්ල පැනලා ගෙයි මිදුලට ගොඩවුනු නේත්‍ර දිහා බලාගෙන.සුදුබේබි දිහා බලලා තමන්ගෙ උත්තරේ දුන්නු නේත්‍ර ගේ ඇතුලට දුවද්දි නේත්‍රගෙ උත්තරේ නිසා හිතට ආව අමුතු සතුට මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි වුනු සුදුබේබි දෙවින් දිවාෂ දෙන්නා ලගට දුවගෙන ගියා.

"ඒවගෙන් මට 'සුදුබේබිගෙ සුවද' දැනෙනවා"

...................................................................................................

පොරොන්දු උනු විදියටම ඔන්න ඔයාලගෙ වීරයා ආවා🌚😂❤️

වචන 2700+ අනේ😪❤️

දැනුත් අම්මා නිදාගෙන ඉදලා නැගිටලා ඇවිත් බැනලා ගියේ කාලෙ කනවා වැඩකට නැති දේවල් කර කර කියලා 😒

කමක් නෑ මගෙ සතුටනෙ මේක හුම්ම්😒❤️

කලින් එපියට කමෙන්ට් නොකලට මම තරහා නෑ🙈❤️ ඒකෙ කමෙන්ට් කරන්න දෙයක් නෑනෙ😂❤️ ඇත්තටම කමෙන්ට් 60+ වත් එයි කියලා මම හිතුවෙ නෑ😪😂❤️

හැබැයි මේ එපියෙ ඉදල ඉස්සරහට ඔයාලගෙ අදහස් මට ඕනි බබාලා හරිත🥺❤️

ලස්සනම ලස්සන කමෙන්ට්ස් ගොඩක් අතරෙන් මේ ටිකක් වෙනස් කමෙන්ට් එකට මට මෙතනදි උත්තරයක් දෙන්න හිතුනා.

"ඇත්තටම ඒ කොහොමද කියන්න මමවත් දන්නෙ නෑ" 🥺❤️

තව දෙයක්.......

තව චැපි දෙක තුනකින් පස්සෙ මෙයාලගෙ චූටි කාලෙ ඉවරයි🥺❤️ එයාලා ලොකු වෙනවා🥺❤️

බබාලා එහෙනම් මම ගිහින් එන්නම් නේද🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමට❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter