Back
Chapter 2

01 කොටස🤍✨️

නිවාලන්න මා...

"අතාරිනවා මාව"

"සුදු පුතා!!!"

"හව්ව්ව්ව්"

"සුදු බේබි!!!!"

ඉර බැහැගෙන යන ගොම්මන් යාමේ ඉරුගල්බණ්ඩාර වලව්ව පුරා පැතිර ගිය ඝෝසාවෙ තරම පෙන්වමින් වලව්ව ඉදිරිපිට තිබුණු අඹ ගහේ වහල හිටපු කුරුළු රංචුවකුත් අත්තටු ගගහා වේගයෙන් එපිටට පියාඹගෙන ගියා.වලව්ව පුරා දෝංකාර දීපු මේ ඝෝසාව ඉරුගල්බණ්ඩාර වලව්වේ මහා මුදියන්සේත්,මහා මුදියන්සේගේ එකම හිතුවක්කාර පුතන්ඩියාත්,වලව්වෙ අහිංසක රියදුරාත් අතර සිද්ධ වුණා.

කුමක් නමුත් දැඩි කේන්තියකින් උදේ පාන්දර වලව්වෙන් පිටවුනු මහා මුදියන්සේ සවස් යාමයේදී වලව්වට ආවේ කොළඹ උන්නු තමන්ගේ පුතණ්ඩියවත් උස්සගෙන.වලව්ව ඉදිරිපිට නවත්තපු කාර් එකෙන් බැහැගත්ත මහා මුදියන්සේ රියදුරාට සන් කළේ කාර් එක ඇතුලේ පුපුර ගග හිටපු පුංචි කුපාඩියව එළියට ගන්න කියලා.රියදුරාටත් මහ මුදියන්සේටත් කලින් ඉස්සර උණ පුතණ්ඩියා දඩි බිඩි ගාලා වාහනෙන් එලියට පැනලා දුවන්න හැදුවත් ඊටත් ඉක්මන්වුණු රියදුරා හා මහ මුදියන්සේ ඒ පුංචි ගල් ආඳාව පැනලා අල්ලගත්තා.

පුංචි එකාගේ මරහඩ තැලිල්ල තඹ සතේකට ගණන් නොගත්ත මුදියන්සේගේ අණින් රියදුරු තැන පුංචි එකාව ඇතුලට ඇදගෙන ගියේ,ඒ වලව්වේ ඉදිරියට වැජඹෙන මහ මුදියන්සේ කියන එක මතකෙකටවත් නොගෙන.මොකද මේ වෙද්දි මේ පුංචි මහ මුදියන්සේ තමාව ඇදගෙන යන රියදුරාට තමන් වලව්වෙ මහ මුදියන්සේ උනහම දෙන්න ඕනි දඬුවම් පවා තීරණය කරලා තිබ්බා.වලව් වත්තේ වැඩ කර කර හිටපු සේවකයෝ ටික වගේම වලව්ව ඇතුලෙ හිටපු සේවකයොත් වලව්වේ මැද මිදුලට කිට්ටු වුණේ තමන්ට ඇහෙන ඝෝසාව මොකක්ද කියලා දැන ගන්න තිබුණු උවමනාවට.

"අතාරිනවා මාව"

පුංචි හාමු මහත්තය කෑ ගැහුවේ තමන්ගේ අතින් අල්ලගෙන හිටපු රියදුරාගේ මූණ දිහා කෙලින්ම බලාගෙන.පුංචි වුණත් ඒ ඇස්වල තිබුණ බැල්මට මදක් ගැස්සුණු රියදුරා ඒ අත අත් නොහැරියේ මහා මුදියන්සේ තාම ඒ සඳහා තමන්ට අවසර ලබා නොදීපු හින්ද.පුංචි එකාගේ දැඟලිල්ලෙ නැවතුමක් නැති තැන මහ මුදියන්සේ තමන්ගේ ගාම්භීර හඬ අවදි කළා.

"සුදු පුතා!!!!"

මහ මුදියන්සේ ගේ හඬට ටිකක් විතර අවනත වෙලා දැඟලිල්ල නවත්තපු පොඩි එකා ඒත් එක්කම මහ කුරිරු හිනාවක් තමා ගේ මුවට නංවා ගෙන තමා ව තදින් අල්වාගෙන හිටපු රියදුරාගෙ අත වෙත වේගයෙන් නැවුනේ තමන්ගෙ පුංචි කටත් ඇරගෙන.

"හව්ව්ව්ව්"

"සුදු බේබි!!!"

අතේ පාර හිටින්නම රියදුරාව හයියෙන් හපා කාපු පුංචි එකා තමන්ගේ අප්පච්චි වුණු මහ මුදියන්සේටත් විරිත්තලා උඩු මහලට දුවද්දී රියදුරා විලාප තිබ්බේ හපපු පාරෙ සැරකමට.

සාගර ජයම්පති ඉරුගල්බණ්ඩාර......

මහනුවර ඉහළම පෙළපතකට හිමිකම් කියන පුද්ගලයෙකු වුණා.නුවර ප්‍රදේශය පුරාම 'ඉරුගල්බණ්ඩාර මහා මුදියන්සේ' විදිහට ප්‍රසිද්ධ වුණු මේ සාගර ඉරුගල්බණ්ඩාර තමන්ගෙ නාගරික ව්‍යාපාර ජාලය හා ඒ හා සම්බන්ධ අයවලුන් අතර ප්‍රසිද්ධ වුණේ 'ජයම්පති මුදලාලි හෝ මිස්ටර් ජයම්පති' යන නාම වලින්.

පාරම්පරික කුඹුරු යායවල්,ඉඩම් යායවල් වලින් පමණක් ලැබෙන ආදායමෙන් ජීවත්වෙමින් ගතානුගතික ලෙස දිවිය නොගෙවූ මේ ඉරුගල්බණ්ඩාර තමාගේ ව්‍යාපාරික බුද්ධිය මත පදනම්ව ඇරඹූ කුඩා ව්‍යාපාර මේ වන විට මහා ව්‍යාපාර ජාලයක් බවට පත් කරවා ගෙන සිටියා. ඉරුගල්බණ්ඩාර සමූහ ව්‍යාපාර ජාලයේ අධිපතිතුමා වුණු ඔහු යටතේ සුපිරි වෙළඳසැල් ජාලයක්,හෝටල් ජාලයක් මෙන්ම පලතුරු අපනයන ව්‍යාපාරයක් ද පැවතියා.

දෙපසින් කරකවා තිබූ උඩු රැවුලක්,උකුස්සෙකුගේ මෙන් වූ තියුණු දෙනෙතත්,දේහධාරී ඇඟපතත් නිසා ඉරුගල්බණ්ඩාර මහා ගාම්භීර පෙනුමැති පුද්ගලයෙකු වූවා.ඔහු තරුණ කල ඉතා කඩවසම් තරුණයකු වී සිටි බවට පෙන්වන සාක්ශි තවමත් ඔහුගේ රුවින් මැකීගොස් නොතිබුණා.පෙනුම මෙන්ම ගැඹුරු ගාම්භීර හඬකට උරුමකම් කිවූ ඉරුගල්බණ්ඩාර හොඳට හොඳ හොදට හොද නරකට නරක පුද්ගලයෙකු ලෙස ගම්මුන් හා හිතවතුන් අතර ප්‍රචලිත ව සිටියා.කුල මාන්නයෙන් උදුම්මවා ගත් හිසින්ද කුල මාන්නයෙන් පෝෂණය වුණු පෞරුෂයකින් හෙබි මෙතුමා ආඩම්බරකාර රළු පුද්ගලයෙකු වූවා.කිසිවකුගේ වචනයකට නොනැමෙණ ඉරුගල්බණ්ඩාර "යකෙක් වැනි මිනිහෙක්" යැයි ඔහුව දන්නා හඳුනන සියල්ලන්ගෙන්ම මුවින් පිටවූ වදන වූවා.

ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර......

වලව්වේ මහ මුදියන්සේගේ එකම පුත්‍ර රත්නය වුණා.මහා මුදියන්සේට වගේම ලොකු මැණිකට "සුදු පුතා" වුණු ආශව වලව් සේවකයන්ට හා ගමේ හිටපු හැම මනුස්සයෙකුටම "සුදු බේබි"වුණා.මහා මුදියන්සේගේ ගතිගුණවලින් බාගෙට බාගයක්ම දෙයියනේ කියලා එ පුංචි ආත්මේ තුළ පිහිටද්දි පුංචි උනත් සුදු බේබි හරි හිතුවක්කාර වගේම මදක් දරුණු චරිතයක් වුණා.අවුරුදු එකොළහක ළමයෙකුගේ නැති විදිහේ රළු ගතිගුණ සුදු බේබි ගෙනුත් පෙනෙද්දී ගම්මානයේ මිනිස්සුන්ගේ බය මිශ්‍ර වුනු ගරුත්වය සුදුබේබිටත් ඉබේටම ලැබුණා.

ඉතා අහම්බෙන් පිහිටන අයුරු රූපෙකට හිමිකම් කියපු සුදු බේබි තරුණ වයසට එළැඹෙද්දී නුවර පළාතම හොල්ලන්න පුළුවන් වෙන කඩවසම් රූපයක් දරන බව නොරහසක් වුණා.තමන්ගේ අම්මා නැති හේතුව නිසාවෙන් හෝ උප්පත්තියෙන්ම එන ජාන වල බලපෑම නිසා හෝ සුදු බේබි මදක් රළු සිතිවිලිවලට හිමිකම් කිව්වා.

කෞමදී දේදුනු ඉරුගල්බණ්ඩාර.......

වලව්වෙ ලොකු මැණිකෙ වගේම සුදු පුතාගෙ සුළු මව වුණා.ආශවට යාන්තම් අවුරුදු හතර පිරෙද්දි ඇතිවුනු හදිසි රෝගෙකින් ආශවගෙ අම්මා මේ ලෝකෙන් සමුගද්දි ඉරුගල්බණ්ඩාර මහ මුදියන්සේ පවුල් චාරිත්‍ර වලට අනුව තමන්ට වඩා අවුරුදු පහලොවක් පමණ ලාබාල කෞමදී මැණිකෙ එහෙමත් නැත්තං ආශවගෙ අම්මගෙ නංගිව කරකාර බැන්දා.අම්මගෙ තුරුල නැති වුනාට පස්සෙ තමන්ගෙ පුංචි අම්මා තමන්ට ඒ තුරුල දෙන්න හැදුවත් පුංචි ආශව ඒ තුරුල ප්‍රතික්ෂේප කලා.තමන්ගෙ අම්මව ඉල්ල ඉල්ල ඇඩුවා.කාලයක් යද්දි තමන්ගෙ අම්මා ආයෙ එන්නෙ නෑ කියලා තේරුම් ගත්තු ආශව තමන්ගෙ පුංචි අම්මා එහෙමත් නැත්තං තමන්ගෙ වත්මන් අම්මව නොසලකා හැරලා ජීවත් වෙන්න පටන් ගත්තා.මේ හැමදේම විදවගෙන හිටපු කෞමදී මැණිකෙටනම් ගමේ උදවියවත්,වලව්වෙ සේවක මඩුල්ලෙන්වත් දෝසයක්නම් ආවෙ නෑ.නිහඩ වගේම ගුප්ත චරිතයක් වුණු කෞමදී මැණිකෙ එහෙමත් නැත්තං ලොකු මැණිකෙ පාඩුවෙ ජීවත් වුණත් රහස් ගොඩක් හංගගෙන ජීවත් වෙනවා වගේ හිටපු චරිතයක් වුණා.

ඉරුගල්බණ්ඩාර වලව්වෙ ජීවත් වුණු රදල පවුල ඒවගේ වෙද්දි ඒ හැමෝටම හෙවණ දීපු ඉරුගල්බණ්ඩාර වලව්ව අවුරුදු 500ක් පරණ ඉපැරණි එකක් වුණා.රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ ඉදන් නම්බු නාම එක්ක පැවතගෙන එනවා කියන තමන්ගෙ පෙලපත ගැන මහ මුදියන්සෙ ගහන පම්පෝරි වලින් ගම්මානෙ උදවිය ඉරුගල්බණ්ඩාර වලව්ව ගැන වගේම ඒ පෙලපත ගැනත් යම් යම් කරුණු දැනන් හිටියා.

මහල් දෙකකින් යුක්ත වුණු ඉරුගල්බණ්ඩාර වලව්ව අක්කර ගාණක ඉඩමක් මැද හරි අපූරුවට වැජඹෙමින් හිටියා.සුදුපැහැයෙන් පිරියම් කරලා තිබුනු වලව්වෙ වහලය රත් පැහැ උළු වලින් හැඩ වෙද්දි මහා තේජාන්විත පරිපූර්ණ බවක් එමගින් වලව්වට ලැබිලා තිබුනා.අතීතෙ ලංකාවෙ ජීවත් වුණු විදේශිකයෙකුගේ සැලැස්මකට අනුව ඉදි උනා යැයි කියන මේ ඉරුගල්බණ්ඩාර වලව්ව පරම්පරා ගණනාවකට හෙවණ දීපු නවාතැනක් වුණා.

(ඉරුගල්බණ්ඩාර වලව්ව)

"අපේ මහත්තයා ඇයි කෑගහන්නෙ? කෝ දරුවා?"

වලව්වට අයිති වෙලා තිබුනු පොල් ඉඩම් කෑල්ලක පොල් කඩපු ඒවයෙ ගණන් හිලව් බලන්න ගිය කෞමදී මැණිකෙ එහෙමත් නැත්තං ලොකු මැණිකෙ ගෙට ගොඩ වුණු ගමන් දුවගෙන ආවෙ විසාල ඉස්තෝප්පුවෙ තිබුණු හාන්සි පුටුවට වෙලා පුපුර පුපුර ඉන්න මහ මුදියන්සේ ලගට.එන මගට දුවගෙන ගිය සේවකයෙක් කනේ තිබ්බ ආරංචිය නිසා කලබල වුණු ලොකු මැණිකෙ පුළුවන් උපරිම වේගෙන් වලව්වට ආවෙ අප්පච්චිගෙ වගේම පුතණ්ඩියත් තකට තක කියලා දන්න නිසා මොන විනාසයක් කරගෙන ඇද්ද කියන බයත් එක්ක.

"දරුවා? දරුවා නෙවෙයි ඕකා යකා....දරුවා හහ්...."

කෝපයෙන් නහයෙන් හුස්ම පිම්බ මහ මුදියන්සෙ අහක බලාගද්දි ලොකු මැණිකෙ ඒ ලගම තිබුණු මහ මුදියන්සේ ඉද හිටි පුටුවට වඩා මදක් පහත් පුටුවක හිදගත්තා.ඒ වලව් සිරිත වුණා.තමන්ගෙ ස්වාමිපුරුෂයා හිදගන්නා පුටුවට සමාන උසකින් යුක්ත පුටුවක හිද ගැනීම බිරිදට වුවත් අකැප වුණා.ඉදින් සෑම වලව්වකම විශේශාකාරයේ පුටු දෙකක් ස්වාමිපුරුෂයාට හා බිරිදට වෙන්ව තිබුනා.

"මොකද්ද උනේ කියන්නකො අපේ මහත්තයා?"

ලොකු මැණිකෙ හරි සන්සුන්ව අහද්දි ඇස් දෙක පියන් උන්නු මහ මුදියන්සේ තමන්ගෙ ඇස් දෙක ඇරලා හරි බරි ගැහිලා පුටුව උඩ හිදගත්තෙ දිගු කතාවකට මුල පුරන්න.

"අපි මූව කොලඹ ඉස්කෝලෙකට දැම්මෙ මුගෙ අනාගතේ හදාගන්නනේ................."

මහ මුදියන්සේ,ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාරව පලමු ශ්‍රේණියේ පටන්ම කොලඹ පිහිටි ප්‍රධාන පෙලේ පිරිමි පාසලකට ඇතුලත් කලේ දරුවගෙ අනාගතේ යහපත් කරන්න වගේම ගමේ උන්ට තමන්ගෙ බලපුලුවන්කාරකම් පෙන්වන්න.තමන්ගෙම හිතවතෙකුගෙ නිවසක ආශවව නතර කලේ ඒ නිවසෙත් ඉන්න ආශවගෙ වයසෙම දරුවන් දෙදෙනෙක් ඒ පාසලටම යන නිසා.ආශවට කොළබ යාලුවො ඇති කරගන්න වගේම ආශවගෙ ආරක්ෂාව ගැනත් විශ්වාස කරන්න පුළුවන් නිවසක් නිසා මහ මුදියන්සෙ දෙපාරක් නොහිතා ඒ ගෙදර ආශවට නවාතැන් ලබා ගන්න සැලැස්සුවා.

තමන්ගෙ ආදරණිය අම්මගෙ වියෝවෙන් අවුරුදු දෙකක් පමණ ගතවෙද්දි ඒ හුරුපුරුදු පරිසරයෙනුත් වෙන් වෙන්න වුණු එක ගැන ආශවගෙ පුංචි හිතට දැනුනෙ මහ කාලකණ්ණි හැගීමක්.කාටවත් තමන්ගෙන් වැඩක් නැතය,කවුරුත් තමන්ට ආදරේ නැතය යන භයානක හැගීම් පුංචි කාලෙදිම ඒ හිතට ඇතුළු වුණා.

පලමු ශ්‍රේණිය,දෙවන ශ්‍රේණිය,තුන්වන ශ්‍රේණියට යන තුරුම නිහඩ දරුවකු වුණු ආශව තමා සිටි නිවසේ හිටපු යාලුවො දෙන්නා ඇරෙන්න වෙන කිසිම දරුවෙක්ව ආශ්‍රය කලේද නෑ.නිහඩ දරුවෙක් විදියට පාඩුවෙ හිටපු ආශව දැන් ඉන්න පුංචි හිතුවක්කාරයා බවට පත් කරපු දවසෙ එලඹුනේ ආශව හතර වසරෙ ඉද්දි.

"අම්මා නැති එකා"

කියලා තමන්ට විහිලු කරපු කොලඹ කොල්ලෙක්ගෙ නහය කැඩෙන්නම ගහපු පුංචි ආශව එදා ඉදන් රණ්ඩු සරුවල් වල හරි හරියට පැටලෙන්නට වුණා.පුංචි ආශවට තිබුණු ආදරෙත්,මහ මුදියන්සෙට තිබුණු ගරුත්වෙත් නිසා ආශව නවාතැන් ගෙන හිටපු ගෙදර පුද්ගලයා වුනු ආශවගෙ යාලුවො දෙන්නගෙ තාත්තා අවුරුද්දක් එක හමාරක් පමණ ගත වෙනකං ආශව වෙනුවෙන් පාසලෙන් ලද කැදවීම් වලට පෙනී හිටින්නට වුණා.නුමුත් ආශවගෙ හැසිරීම එන්න එන්නම දරුණු වුණු නිසත්,ආශව ශිශ්‍යත්වෙන් අසමත් වීම නිසත්,ආශවව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්වන්න කියා පාසලෙන් කල දැනුම් දීම නිසත් ඒ පුද්ගලයා මේ පිලිබද මහමුදියන්සේට දැන්වීමට තීරණය කලා.

මොන කරුමෙකට හරි වාසනාවකට හරි ඒ ගැන දැනගත්තු මහ මුදියන්සෙ කොලඹ ගිය දවසෙත් පුංචි ආශව තමන්ගෙ පංතියෙ ලමයෙක්ට තුවාල වෙනකන් ගහලා තිබුණා.පාසලෙන් කල හදිසි දැනුම්දීමත් එක්ක පාසලට ගිය මහ මුදියන්සේට එදා හැමදෙයක් ගැනම දැනගන්න ලැබුනා වගේම මහ මුදියන්සෙ ඊට දීපු පිලිතුව වුණේ ආශවගෙ පිට හරහා අතුල් පාරවල් දෙකක් ලබාදීම වුනා.පාසලෙන් කරපු අවසාන නිවේදනෙත් එක්ක මහ මුදියන්සෙ ආශවට තරවටු කරලා ගමෙන් ගියත් සතියක් යන්නටත් මත්තෙන් වලව්වට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා මහ මුදියන්සෙගෙ ඉහ මොල පවා රත් වුණා.

"සාගර මහත්තයා,ආශව පුතා අද දරුවෙක්ව පොකුණකට තල්ලු කරලා.ඒ දරුවට වතුර පෙවිලා ටිකක් අමාරු වෙලා........."

අන්න ඒ විදියටයි අද උදේ පාන්දරම පස්ස කැඩුණු කඩියා වගේ ඉරුගල්බණ්ඩාර මුදියන්සේ වලව්වෙන් පිටවෙන්න හේතු උනේ.පාසලට ගිය මුදියන්සේට සිද්ධ වුණේ තමන්ගෙ හිතුවක්කාර පුතණ්ඩියව ඉස්කෝලෙන් අස් කරගෙන ගෙදර එක්කන් එන්න.යාලුවො දෙන්නව දාලා එන්න බෑ කියලා අඩපු ආශවගෙ පස්සට පාරක් ගහපු මුදියන්සේ තමන්ගෙ යාලුවටත් සුහදව සමුදීලා කොලඹින් පිට වුනේ තමන්ගෙ යාලුවා කියපු යම් දෙයක් තමන්ගෙ සිහියේ තියාගෙනමයි.

"........ඉතින් බලන්න මැණිකෙ මුගෙ වැඩ.මූව හැදුවට හොදයි මම හරකෙක් හදාගත්තනම්"

මහ මුදියන්සෙ සද්දෙන් ගුගුරද්දි තමන් හිදගෙන උන්නු පුටුවෙන් නැගිට්ට ලොකු මැණිකෙ හෙමි හෙමින් උඩු මහලට ඇදෙන්නට වුණා.උඩු මහලේ කොනට වෙන්නට පිහිටලා තිබුනු එයාලගෙ සුදු පුතාගෙ කාමරේ දොර ඇරපු මැණිකෙ දොරෙන් ඇතුලට යද්දිම මැණිකෙ දිහාට පාවෙලා ආවෙ කුඩා ලී බදුනක්.ඉක්මනින් හිස නවාගත්තු මැණිකෙ ඒ පාරින් ගැලවිලා කාමරේ ඇතුලට යද්දි ආශව තමන්ගෙ ගිනි ගන්න ඇස් දෙකෙන් මැණිකෙ දිහා බලන් හිටියා.

"එලියට යන්න"

"සුදු පුතා......"

"එලියට!!!!"

ආශව මහ හඩින් ගුගුරද්දි මැණිකෙ කාමරෙන් එලියට ගියා.පුංචි එකාගෙ වියරුවේ තරම පෙන්වමින් ඒ කාමරේම හැඩි වෙලා තිබුනෙ බිදුනු බඩු වලින් වගේම කාමරේ පුරා විසිරිලා තිබ්බ් ඇදුම් වලින්.කේන්තිය කියන දේ උප්පත්ති ලේ වලම තියෙද්දි ආශවගෙ හැගීම් මැණිකෙට තේරුම් ගන්න පුළුවන් වුණා.හෙමි හෙමින් පහලට ඇදුණු ලොකු මැණිකෙ වලව්වෙ හිටපු වයස්ගත සේවිකාවක් වුණු සුමනට අඩ ගැහුවෙ දවාලෙ ඉදලා බඩගින්නෙ ඉන්න ආශවට බත් කටක් හරි කවාගන්න තිබ්බ වුවමනාව නිසා.

...................................................................................................

කුරුල්ලන්ගෙ කිචි බිචි සද්දෙන් ඇස් දෙක ඇරපු ආශව ඇගේ හිරි අරින ගමන් ඇදේ වාඩිවුනේ කාලෙකින් පස්සෙ තමන් ආසා කරන පරිසරය තුල අවධි වෙන්න පුළුවන් උනු සතුටින්.කාමරේ තිබ්බ කවුලුව අසලට ගිය ආශව තමන්ගෙ පුංචි අත් දෙකෙන් ඒ කවුළුව ඇරලා අවට සිරි නැරඹුවා.

මුළු වලව් වත්තම වහගෙන උන්නු මීදුම මැද්දෙන් ඈතින් පෙනුනු කන්දත්,උදේ කියලා බලන්නෙ නැතුව එහෙ මෙහ දුවන ගමන් තමන්ට අයිති රාජකාරි වල නිරත වෙන සේවකයොත්,සත්තුන්ගෙ එක එක සද්දත් නිසා පුංචි ආශවගෙ හිතට හරි සතුටක්,සැනසීමක් දැනුනා.පහුගිය අවුරුදු ගාණම කන් බීරි වෙන එලාම් සද්දෙට ඇහැරිලා,ගේ ඇතුලෙම තිබ්බ නානකාමරෙන් පිරිසිදු වෙලා කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ තියෙන නගරෙට ගොඩබහිනවට වඩා මේ හීතල හුලගත් එක්ක අවදිවෙලා,පරිසරෙන් ඇහෙන ස්වභාවික හඩවල් වලට ඇහුම්කන් දෙන ගමන් ඉන්න එක කොච්චර නම් සනීපද කියලා පුංචි උනත් ඒ හිතට දැනුනා.

කාමරේ පිලිවෙලට තිබ්බ එකෙන් ආශව තේරුම් ගත්තෙ ඊයෙ සුමනා තමන්ට බලෙන්ම කෑව කවලා නිදිකෙරෙව්වට පස්සෙ කවුරුහරි කාමරේ අස් කරලා දාලා කියලා.රෑ නින්දට කලින් තිබ්බ කේන්තිය ඒ පුංචි හිතෙන් මැකිලා ගිහින් තිබුනා.නගරෙ තිබුනු පුරුද්දත් එක්ක තමන්ගෙ කාමරේම තිබුණු නානකාමරේට රිංගපු ආශව උදේම සීතල වතුරෙන් ඇගපත සෝදගෙන අලුත් ඇදුමකුත් ඇදන් කාමරෙන් එලියට බැස්සේ කාටහරි කියලා ඕඩිකොලෝන් බෝතලයක් ගෙන්න ගන්න ඕනි කියලා හිතන ගමන්.

"සුමනා....."

"ආනේ.....සුභ උදෑසනක් වේවා සුදු බේබි"

"සුභ උදෑසනක්"

වලව්වෙ විසාල මුළුතැන්ගෙට පය තිබ්බ ආශව කුස්සියෙ හරිහරියට වැඩ වල නියැලිලා උන්නු සුමනට කතා කලේ තමාව කුඩා කල පටන් බලාගත් ඒ ආදරණීය වයස්ගත කාන්තාව සුමනාට තමන්ගෙ හිතේ තිබ්බ පුංචිම පුංචි දයාබරත්වෙ හින්දා.

"අනේ සමාවෙන්න සුදුබේබි.මම සුදුබේබි නැගිටින වෙලාව මම දන්නෙ නෑනෙ.හෙට ඉදන් මම උදේ හය වෙද්දි කිරි වීදුරුව සුදු බේබිගෙ කාමරේටම අරන් එන්නම්"

සුමනා කියාගෙන ගියත් එයාලගෙ සුදුබේබිගෙ ඇස් දෙකනම් තිබුනෙ ලිප උඩ රත් වෙවී තියෙන එලකිරි බදුන ලග.ඉගුරු පෙත්තක් දාලා හොද හැටි රත් කරපු එල කිරි බදුනට සීනිත් පදම බලලා එකතු කරපු සුමනා උස වීදුරුවකට එලකිරි වත්කරලා ඒ දිහා කෙල පෙරාගෙන බලන් උන්නු සුදු බේබිගෙ ඇස් ඉස්සරහින් තිබ්බා.

එල කිරි වීදුරුවත් එක හුස්මට ගහලා දාපු ආශව වලව්වෙන් එලියට බැහැලා වලව් වත්ත පුරා ඇවිදින්නට වුණා.ඒ පුංචි යටිපතුල් වලට අවුරුදු ගාණකට පස්සෙ තන පත තිබ්බ පින්නෙ සිසිල වැදෙද්දි චූටි ආශව අත් දෙකත් දෙපැත්තට දිග ඇරගෙන කැරකෙන්න ගත්තා.ටික වෙලාවක් යනකං එහෙම උන්නු ආශව පරිස්සමින් අඩි තියන ගමන් ලං වුනේ ඉමක් නොපෙනෙන ඒ අක්කර ගාණක වත්තෙ තණකොල වවලා පිලිවෙලට හදලා තිබුනු කොටසෙ කොණක තිබුනු ගල් බැම්මට.කොළබ උදවිය ඒ වගේ කොටසකට කියන්නෙ "ගාර්ඩ්න්" එක කියලා පුංචි ආශව දැනන් උන්නා.ගල් බැම්ම උඩ හිදගත්තු ආශව ඊට එහායින් පටන් ගන්න ලදු කැලෑව පැත්ත බලාගෙන හිටියා.ඒකත් තමන්ගෙ පවුලටම අයිති කොටසක් කියලා දැනන් හිටපු ආශව හිතන්න ගත්තෙ ඒ කැලෑව ඇතුලෙ ඉන්න යක්කු කොයි වගේ ඇද්ද කියලා.

දිව ලොකු,දත් දිග,කටවල් බෝක්කු වගේ තියෙන,ඇස් ලොඩි ගෙඩි වගේ තියෙන යක්කු ටිකක්ව ප්‍රතිනිර්මාණය කරලා ඒ කැලෑව අස්සෙ මවපු නිර්මාණකරුවාම තමන්ගෙ නිර්මාණයේ තිබුනු තාත්වික බව හින්දා ඉක්මනට ඉස්සරහ බලාගත්තා.ඒත් එක්කම තමන්ගෙ ඉදිරිපස දර්ශන පථයෙ වම් පසට වන්නට ඈතින් පිහිටලා තිබුනු කන්ද දිහාවට තමන්ගෙ අවධානෙ යොමු කල හින්දා අර ලදු කැලෑව අස්සෙ තිබ්බ පොඩි අඩිපාරකින් උඩ පැන පැන එන පුංචි රූපෙ දකින්න ආශවට අවස්ථාවක් ලැබුනෙ නෑ.

කොටු කොටු කොට කලිසමකට පාසල් ඇදලා පරණ වුනු සුදුපාට ලොකු කමිසයක් ඇදගෙන උදේ පාන්දරම වලව් වත්තට බඩගාන ඒ පොඩි එකාගෙ අතේ වත්ත පහලින් කඩාගත්තු නස් නාරං ගෙඩි තුනක් රැදිලා තිබ්බා."උදේ පාන්දර හිස් බඩ ඔව්වා කෑවම බඩ ගුටි ගැහෙනවා"කියලා කරන තමන්ගෙ අම්මාගෙ කෑගැහිල්ලෙන් බේරෙන්න ඕනි නිසා ඉක් ඉක්මන්ටම ලෙලි ගහගත්තු එක නස් නාරං ගෙඩියක් ඒ කට ඇතුලෙ පොඩි වෙමින් තිබ්බා.දැනුනු ඒ මිහිරි ඇබුල් රහට එක ඇහැක් වැහිලා යද්දි ඒ චූට් කටත් පොඩ්ඩක් ඇද වෙලා තිබුනා.ඒත් එක්කම වලව් වත්තට ගොඩ වුණු ඒ පුංචි අමුත්තගෙ ඇහැ ගැටුනෙ කවදාවත් දැකලා නැති තමන් වගේම ලමයෙක් ගල් බැම්ම උඩට වෙලා අහක බලාගෙන ඉන්න විදිය.

යාලුවො ඇති කරගන්න ආසාවෙන් උන්නු ඒ පොඩ්ඩා හිතේ මැවුනු හොල්මන් අමතක කරන්න තිබ්බ උවමනාවට කන්ද දිහා බලන් උන්නු ආශව ලගට කිට්ටු කලේ එයාව තමන්ගෙ යාලුවෙක් කරගන්න හිතාගෙන.

"ඔයාත් නස් නාරං ගෙඩියක් කනවැයි?"

...................................................................................................

ඔන්න ඔයාලගෙ වීරයා ආවා😂❤️

වචන 2107 (පලවෙනි කොටස නිසා සමාව දෙන්න වචන ප්‍රමාණෙට) 😪❤️

මේ පලවෙනි කොටස

පලවෙනි අත්හදා බැලීම🌚❤️

කතාව intro එකෙන්ම ranks වලට් ඇවිත් තිබ්බා.ඒ ඔයාලා නිසා🥺❤️

ඒ සතුටට තමා මම මේ කෑල්ල ලිව්වෙ🥺❤️

ඉතින් අදහසක්නම් ඕනිමයි.

මොකද ඒවගෙන් තමා මේක ඉස්සරහට ආසාවෙන් ලියන්න පුළුවන් වෙන්නෙ🥺❤️

මේක මගෙ පලවෙනි non fiction එක❤️

ආසයි සාර්ථක කතාවක් කරගන්න මේක🌚❤️

ඉතින් අදහසක් කියන් යන්න.

මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ගොඩාරියක් ඔයාලට මගෙ බබාලා🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter