Back
Chapter 25

24 කොටස🤍✨

නිවාලන්න මා...

"ශෝහ් ශෝහ් ශෝහ්හ්හ්හ්හ්"

උදේ පාන්දරම දැනුනු සීතලත් එක්කම ආශව හෙමි හෙමින් තමන්ගෙ ඇස් දෙක විවර කලා.දෙසැම්බර් මාසෙ හන්දා මේ ටිකේම නුවර වහගෙන තිබ්බෙ වෙනදටත් වඩා වැඩි සීතලක්.ඇස් දෙක ඇරලා බැලුව ආශවගෙ ඔලුව එහෙම්මම හැරවුණේ බිත්ති ඔරලෝසුව දිහාට.

උදේ 6.00 විදියට ඔරලෝසුවෙ වෙලාව සටහන් වෙලා තිබුනා.හෙමිහිට ඇදෙන් බිමට පය ගැහුව ආශවගෙ මූණෙ ලා හිනාවක් ඇදුනෙ කවුළුවෙන් එපිට ඉදන් ඇහෙන කුරුල්ලො පන්නන සීනු හඩ නිසා.ඉක්මනටම කවුළුව ලගට ගිය ආශව එතනින් බිම බලද්දි දැක්ක දර්ශනයත් එක්ක ආශවගෙ මූණෙ තිබ්බ ලා හිනාව තද හිනාවක් විදියට මූණ පුරා පැතිරිලා ගියා.

"අවුරුදු අටකට පස්සෙත්.......ඒ විදියමයි"

හිනා වෙවීම නාන කාමරේට රිංගුව ආශව ඉක් ඉක්මනටම දත කට මැදගෙන ඇග පත සෝදගෙන අලුත් ඇදුමකුත් ඇදන් තමන්ගෙ සුවද විලවුන් එකෙන් බින්දු දෙක තුනකුත් උලාගෙනම පල්ලෙහාට බැස්සෙ විදුලි වේගෙන්.ආශව වලව් මුළුතැන්ගෙට යද්දිනුත් ආශවගෙ කිරි වීදුරුව ලෑස්ති වෙලා තිබුණා.

ඉස්සර තමන් කිරි එකත් අරගෙන උදේට සුදුබේබිගෙ කාමරේට ගියාට දැන් ඒ වැඩේ තහනම් කරලා තිබ්බෙ සුදුබේබිමයි.උදේ හය හමාර පහුන්වෙලත් තමන් පලහට නාවොත් විතරක් කිරි එක අරගෙන කාමරේ දොරට තට්ටු කරන්න කියලා සුදුබේබි නිර්මලාට දැනුම් දීලා තිබ්බා.

"සුදු බේබි ඇහැරියද? සුභ උදෑසනක් සුදුබේබි.මෙන්න කිරි එක"

"නේත්‍ර බිව්වද?"

නිර්මලාගෙ මූණෙ ඇදුනෙ සියුම් සිනා පොදක්.සමහර ගති ගුණ අවුරුදු සීයක් ගියත් වෙනස් වෙන්නෙ නෑ වගේ එයාලගෙ සුදුබේබිගෙ ගතිගුණත් වෙනස් වෙලා තිබුණෙ නැහැ.හැමදාම තමන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් නේත්‍ර ගැන ප්‍රශ්නයක් ආපිට ඉදිරිපත් කරන සුදුබේබි දිහා බලලා හිනා වුණු නිර්මලා අතේ තිබ්බ ලූණු ගෙඩිය සුද්ධ කරන්න ගත්තෙ සුදුබේබිට උත්තර දෙන ගමන්මයි.

"දැන් සෑහෙන කාලයක් තිස්සෙම ලොකු මැණිකෙ කිරි ටිකක් වැඩිපුර ගේන්න කියනවනෙ කරෝලිස් අයියට.ඒ කිරි ටික ඉතින් හැමදාම අපේ එකාගෙ බඩේ තමයි.ඔය දැනුත් කිරි එක බීලා තමා අර වත්ත පුරා ජවුසම් නටන්නෙ."

"හ්ම්ම්ම්.....සුභ උදෑසනක් නිර්මලා"

කිරි වීදුරුව අතට ගත්තු ආශව මුළුතැන්ගෙයින් පිට වෙලා එලියට බැස්සෙ හුරු පුරුදු ගල් බැම්ම පැත්තට ඇදෙන්න හිතාගෙන.ගල් බැම්ම පැත්තට පය තිබ්බ ආශවගෙ මූණ හරි ලස්සන හිනාවකින් එලිය කරන්න තමන්ගෙ ඇස් දෙක ඉස්සරහ තිබ්බ දර්ශනේට පුළුවන් වුණා.

එරමිණියා ගොතාගෙන ගල් බැම්ම පාමුල තණකොල බිස්සෙ ඉදගෙන හිටි නේත්‍රගෙ හයියෙන් ඉහල පහල යන උරහිස් වලින් පෙන්නුම් කලේ උදේ පාන්දර කුරුල්ලො එලවන්න කෑ ගගහ දිව්ව ඒවයෙ මහන්සිය තාම ඇගෙන් ගිහින් නැති වග.

ඒ කිසිම දේක ගාණක් නොතිබ්බ නේත්‍ර ඔලුවත් බිමට නවාගෙන නස් නාරං ගෙඩියක් සුද්ධ කරන ගමන් හිටියා වගේම ඒ පුංචි කට ඇතුලෙ කලින් කකා හිටි නස් නාරමේ අන්තිම නස් නාරං බික හැපෙන ගමන් තිබ්බා.තමන්ගෙ පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහෙන බව නොදැනෙන්න තරම් නේත්‍ර තමන්ගෙ නස් නාරං ගෙඩිය අස්සෙ ගිලිලා හිටියා.

"බොහ්!!!"

"අම්මෝ!!!"

නේත්‍ර ඉන්නෙ මෙලෝ සිහියක නෙවෙයි කියලා තේරුම් ගත්තු ආශව හෙමීට හෙමීට නේත්‍ර ගාව ලං වුණේ කිරි වීදුරුවත් තද කරලා අල්ලගන්න ගමන්.මොකද මේ අල්ලපනල්ලෙ කිරි වීදුරුව නේත්‍රගෙ ඇගට වැටුනොත් මේ හිමිදිරි හීතලේ නේත්‍ර ආපහු පාරක් නාන වගත් ආශව දැනගෙන හිටියා.

ඒත් ඉතින් හිතට ආව කුපාඩි හැගීම මැඩ ගන්නම බැරි වුණු ආශව හෙමින් සැරේ නේත්‍රගෙ කන ලගට නැවිලා කෑ ගැහුව පාරට බය වුණු නේත්‍ර ඊටත් වඩා හයියෙන් කෑගැහුවා.හිනා වෙවී නේත්‍ර ලගින් ඈත් වුණු ආශව එහෙම්මම ගිහින් ගල් බැම්ම උඩින් ඉදගනිද්දි තව නාරං බිකක් කට අස්සට දාගත්තු නේත්‍ර ආශව දිහා බලලා තොල් නොපිටට පෙරලගත්තා.

"බය වුණාද?"

"හ්ම්ම්ම්"

තොලුත් නොපිටට පෙරලගෙනම ආශවට උත්තර දුන්නු නේත්‍ර ලගට නැවුණු ආශව නේත්‍රගෙ ලා රෝස පාට කම්මුලක් මිරිකද්දි බිම බලාගෙන උන්නු නේත්‍රගෙ මූණ තද රතු පාටකට හැරුණා.නාරං ඉස්ම බේරෙන නේත්‍රගෙ තොල් දෙක දිහා ටික වෙලාවක් බලාන උන්නු ආශව ඉක්මනටම ඔලුවත් දෙපැත්තට හොලවගෙන අහක බලාගන්න ගමන් තමන්ගෙ අතේ තිබුණු කිරි වීදුරුව බීගෙන බීගෙන යන්න ගත්තෙ ඔලුවට එන විකාර සිතුවිලි පලවලා හරින්න උත්සාහ ගන්න ගමන්.ඒ නස් නාරං ඉස්ම බේරෙන තොල් දෙක හරි අමුතු විදියකට දිස්නෙ දෙන හැටි ආපහු පාරක් නේත්‍ර දිහා හොරෙන් බලාගෙන උන්නු ආශවගෙ ඇස් දෙකට අහු වුණා.

"නේත්‍ර,ඔය කට පිහිදගන්න"

ආශව කිව්ව දේට ඔලුව උස්සලා බැලුව නේත්‍ර එහෙම්මම ඔලුව උඩ පහල වනලා තමන්ගෙ කලිසම් සාක්කුව අස්සෙ තිබ්බ පොඩි රෙදි කෑල්ලෙන් කට පිහිදාගත්තා.පුංචි කාලෙ කමිස උරහිසෙන් ඔව්වා පිහිදගත්තට මොකෝ දැන් අවුරුදු 17ත් පහු කරලා 18ට කිට්ටු කරන ගමන් හිටි නේත්‍ර පිරිසිදු,පිලිවෙල කොල්ලෙක් වෙලා හිටියා.ඒත් පුංචි කාලෙ තිබ්බ හුරතල් ගතිනම් නේත්‍රගෙන් තුරන් වෙලා ගිහින් තිබ්බෙ නෑ.ඒ වගේමයි ආශවගෙ ගති ගුණත්.

පුංචි කාලෙ මුරණ්ඩු හිතුවක්කාර සුදුබේබි මේ වෙද්දි තව ටිකක් දරදඩු දඩබ්බරයෙක් වෙද්දි,පුංචි කාලෙ හුරතලෙන් පිරිලා ගිහින් හිටි නේට්ට මේ වෙද්දි ඒ වගේම හුරතල් හද්ද අහිංසකයෙක් වෙලා හිටියා.හොද ගැලපීමක්.එහෙම නේද?

"නේත්‍ර කිරි බිව්වා?"

"ඕ සුදු අයියෙ උස..........වීදුරුවකින් එකක්ම බිව්වා"

කමිසෙන් වැහිල තිබ්බ තමන්ගෙ බණ්ඩිය අත ගගා නේත්‍ර කියද්දි ආශවගෙ ඇස් දෙක පිරිලා දිලිසුණේ දරන්න බැරි ආදරේකින්.ඉස්සර ඔහොම ඇහුවම "මේ බණ්ඩිය පිරිලා" කියලා කමිසෙ උස්සලා පෙන්නන චූටි නේට්ටව ආශවට මතක් වුණා.දැන් නේත්‍ර එහෙම කරන්නෙ නැත්තෙ ලැජ්ජාව නිසා කියලත් ආශව දැනන් උන්නා.අඩුම නේත්‍ර ලිදෙන් නාගන්නෙ පවා කාත් කවුරුත් පේන්න නොහිටින වෙලාවල් වලට කියලා ආශව දැනගෙන හිටියා.එක්කො ඒ හිමිදිරි පාන්දර,නැත්තං මහ හවස.

දවාලේ ඇගපත සෝදගන්නෙත් කවුරුත්ම ඒ පැත්තෙ නොහිටින වෙලාවල් වල.මිනිහෙක් කොහොමත් ඒ දිහාවෙ ගැවසෙන්නෙ නැති වුනත් නේත්‍ර අඩුම නිර්මලා ඉන්න වෙලාවකවත් සරම ඇදගෙන නාන්නෙ නැති බව දවසක් නිර්මලා හිනා වෙවී කියෙව්ව හැටි ආශවට මතක් වුණා.ඉස්සර තමන් නේත්‍රට තමන්ගෙ කමිස අන්දෝ අන්දෝ හැඩත් බැලුව බව මතක් කරපු ආශව ඒ අතීත මතක අස්සෙ ගිලිලා හිනා වෙවීම කිරි වීදුරුව අස් කලා.

"මේ ටිකේම ඉර නගින එක පැහැදිලිව පේන්නෙ නෑ නේද සුදු අයියෙ?"

"මේ ටිකේම වැස්සනෙ නේත්‍ර.ඊයෙ රෑ නම් වැස්සෙ නැහැ.ඒ නිසා සමහර විට අද ඉර නගින එක පෙනෙයි"

නේත්‍ර දිහා බලලා කිව්ව ආශව ගල් බැම්ම උඩ ඉදගෙනම ඈත පේන කදු වලල්ල දිහා බලලා කියද්දි නස් නාරම කටේ තියාගෙනම නේත්‍රත් ඔලුව වැනුවා.දෙන්නත් එක්කම බලාගෙන හිටියෙ ඈතින් පේන කදු වලල්ල දිහා.ඉර නගිනවා ඇති.හැබැයි ඒක පැහැදිලිව පේන පාටක්නම් තිබුණෙ නැහැ.ඒත් එක්කම බිම ඉදන් ඉන්න නේත්‍රගෙන් ඇහෙන "චක් චක්" සද්දෙ නිසා නේත්‍ර දිහා බැලුව ආශවගෙ මූණ ඇද වෙලා ගියේ නේත්‍ර කිසි ගාණක් නැතුව දෙවනි නස් නාරමේ අන්තිම බික් දෙකත් හප හප තව නාරමක් සුද්ධ කරනවා දැක්ක නිසා.

"ඔව්ව ඔච්චර කන්න එපා නේත්‍ර"

"අනේ සුදු අයියෙ,මම කිරි වීදුරුවකුත් බීලනෙ ඉන්නෙ.බඩ ගුටි ගැහෙන්නෙ නෑ ඒ හන්දා"

"හිස් බඩ නෙවෙයි එක වෙනම දෙයක් නේත්‍ර.ඒත් ඔව්වා ඔච්චර කන්න එපා.වෙන ලෙඩක් හැදෙයි ඔයාට"

ආශව දිහා තත්පර ගාණක් බලාගෙන උන්නු නේත්‍ර තොල් දෙකත් නොපිටට පෙරලගෙන අතේ තිබ්බ නස් නාරම ගල් බැම්මෙන් එහාට විසික් කරලා දැම්මා.තමන්ගෙ වචනෙ පිලිගෙන වැඩ කලාට මොකෝ නේත්‍රගෙ ඇස් වල තිබ්බ වේදනාව දැක්ක ආශව ඉක්මනටම ගල් බැම්ම උඩින් බැහැලා නේත්‍ර ගාවම බිමින් ඉදගත්තා.

"කෝ මෙහෙ බලන්න.දැන් ඔය තරහා වෙලාද?"

"ත්.....තරහා නෑ සුදු අයියෙ මම"

"එහෙනම් මොකෝ මූණ එල්ලගෙන ම්ම්ම්?"

"නස් නාරම්..........."

"සුදු පුතා!!!"

නේත්‍රගෙ ඉස්සරහින් ඉදගෙන නේත්‍රගෙ මූණට එබිකම් කරන ගමන් හිටි ආශවයි,ආශවගෙන් මූණ හංග ගන්න උත්සහ දරන ගමන් උන්නු නේත්‍රයි දෙන්නම ගැස්සිලා ගියේ වලව් ඉස්තෝප්පුව දිහායින් ඇහුණු සද්දෙට.වලව් ඉස්තෝප්පුව දිහා බැලුව නේත්‍රයි ආශවයි දෙන්නම හිටෞ තැන් වලින් දඩි බිඩි ගාලා නැගිට්ටෙ ඉස්තෝප්පුවට වෙලා පුපුරු ගගහා ඉන්න මහ මුදියන්සෙගෙ මූණ දැක්ක හන්දා.

"සුදු පුතා මොකද්ද ඔතන මේකා එක්ක කරන්නෙ?"

මහ මුදියන්සෙගෙ කටහඩේ තිබ්බ කෝපෙ තේරුම් ගත්තු ආශව හෙමින් සැරේ නේත්‍රව වැහෙන විදියට හිට ගත්තා.ඉස්තෝප්පුවෙන් බැහැලා තමන් දිහාවට වේගෙන් ඇවිදන් එන මහ මුදියන්සෙව දැක්ක නේත්‍රගෙ කකුල් දෙක ගිඩි ගිඩි ගාලා වෙවුලන්න ගත්තත් නේත්‍රට එතනින් දුවන්න හයියක් තිබුනෙ නැහැ.අනික නේත්‍රට එහෙම දුවන්නත් බැහැ.ඒකෙන් වෙන්නෙ මහ මුදියන්සෙගෙ කෝපය වැඩි වෙන එක විතරක් බවත් නේත්‍ර දැනන් හිටියා.

"උබ මොකද සුදුබේබි උබ ලග වාඩි වෙනකං කට බලියගෙන හිටියෙ.ටිකක් ඉඩ දුන්නම තොපි එනවද ගෝනි නැතුව කරේ යන්න?"

මහ හයියෙන් කෑ ගැහුව මහ මුදියන්සෙ ආශවගෙ පිටි පස්සෙ හිටගෙන හිටි පුංචි නේත්‍රගෙ කනින් ඇදලා ලගට ගනිද්දි ඇති වුණු වේදනාව දරාගන්න උත්සාහ දැරුව නේත්‍රගෙ යටි තොල දත් අතරට හිර වෙලා තිබුණා.උනේ මොකද්ද කියලා තේරුම් ගන්න තත්පර ගාණක් ගත කරපු ආශව විදුලි වේගෙන් තමන්ගෙ අප්පච්චිගෙ පැත්තට හැරුණා.

"අප්පච්චි! අතාරින්න එයාව"

"සුදු පුතා! උබත් කට වහගනින්! උබ එනවද මෙතන මට දැන මුතුකම් දෙන්න? යකෝ උඹලගෙ සීයලා අත්තලා මෙව්වා දකිනවනම් හෙන තියයි යකෝ.වැඩකාරයෙක් එක්ක එක තැන ඉදගන්න තරම් මොකද්ද උබට ගැහුව හෙනේ සුදුපුතා!"

"අප්පච්චි.නේත්‍ර මගෙ යාලුවෙක්.නේත්‍රව අතාරින්න!"

"යාලුකම සීමාවකට තියාගනින් සුදු පුතා! උබ එහෙම දෙයක් කලත් මූ දැනගන්න ඕනි මුගෙ මට්ටම! තෝ ආවද අපි එක්ක පෑහෙන්න.ඈ යකෝ?"

නේත්‍රගෙ කන තද වෙන්න මිරිකලා අල්ලගත්තු මහ මුදියන්සෙ ආශවටවත් හිතාගන්න බැරි ඉක්මනකට නේත්‍රගෙ පිට හරහා පාරවල් දෙකක් තඩි බෑවා.කොහොමත් සියුමැලි ශරීරෙකට හිමිකම් කිව්ව නේත්‍රට ඒ පාරවල් වල සැර දරාගන්න බැරිම තැන නේත්‍රගෙ බෝල ඇස් වලින් කදුළු පිට පනිද්දි ආශවගෙ ඉවසීමෙ සීමාව අහකට ගියා.

එක් ක්ෂණයෙන් මහ මුදියන්සෙ ලග උන්නු නේත්‍රගෙ අතින් තද කරලා අල්ලගත්තු ආශව නේත්‍රව තමන් ලගට ඇදලා ගනිද්දි වේදනාවෙන් බරිත වෙලා උන්නු නේත්‍රත් පරඩැල වගේ ආශව ලගට ඇදිලා ආවා.නේත්‍රව පිටිපස්සට කරලා හංගගත්තු ආශවගෙ ඇස් දෙකේ තිබ්බ වියරුව දැක්කම සෑහෙන්න දරුණු මහ මුදියන්සෙගෙ දැඩි හිත පවා යම්තාක් දුරකට සසල කරන්න සමත් වුණා.ගිනි පිටවෙන ඇස් දෙකකින් ඉරුගල්බණ්ඩාර මහ මුදියන්සෙ දිහා බලාන උන්නු උන්නාන්සෙගෙම ඊලග උරුමෙට තිගැස්සුණු මහ මුදියන්සෙගෙ අත පවා ඉබේටම පහල වැටුණා.

"සුදුපුතා!!!"

"අප්පච්චි!!!"

ආශවගෙ පිටිපස්සෙ හැංගිලා උන්නු නේත්‍රගෙ කකුල් දෙක පුදුමාකාර විදියට වෙවුලමින් තිබ්බත් නේත්‍ර නොවැටී ඉන්න තරම් ශක්තිමත් වුණා.වෙනදට තමන්ගෙ සුදු අයියා කේන්ති ගන්න වෙලාවල් වලදි තමන් සුදු අයියව සන්සුන් කලත් අද මහ මුදියන්සෙගෙ ඉදිරියෙ ඒක කරන්න බැරි නිසා නේත්‍ර අසරණ වෙලා හිටියා.නේත්‍ර දැනගෙන නොහිටින්න ඇති! නේත්‍රට හානියක් වෙන තැනදි කේන්ති ගන්න ආශවව සන්සුන් කරන එක නේත්‍රටත් කරන්න අමාරු වැඩක් කියලා!

"සුදුපුතා! සීමාවක් තියාගෙන ආස්‍රේ කරපං කියලයි මම කිව්වෙ.උබ මොකද්ද මේ කරන්නෙ?"

"අප්පච්චි! අපි දෙන්නම ඉන්නෙ එකම ඉස්කෝලෙ.අනික නේත්‍ර පුංචි කාලෙ ඉදන්ම මගෙ යාලුවා!"

"සුදුපුතා! සීමා සහිත යාලුකම වෙනයි.සීමා රහිත යාලුකම වෙනයි.සීමාවක් නැතුව මෙහෙම උන්ව ආස්‍රේ කරන එක තමා වැරැද්ද! අන්තිමේදි මුන්ගෙන් අපිට බේරුමක් නැති වෙයි උදපදව් කරලයි,මුන්ගෙ ඕනි එපාකම් හොයලයි.දැන් උබ මෙව්වා තේරුම් ගන්න ඕනි වයස සුදුපුතා"

"ඒත් අප්පච්චිට බෑ නේත්‍රට එහෙම ගහන්න අප්පච්චි!!! නේත්‍ර........නේත්‍ර........නේත්‍ර මගෙ යාලුවෙක්! මම ඉස්සරහ එහෙම නේත්‍රට ගහන්න බෑ අප්පච්චි ඔයාට"

"මොකද්ද දෙයියනේ මේ සද්දෙ? අපේ මහත්තයා? සුදුපුතා?"

වලව්වෙ ඉස්සරහා පැත්ත දෙදරන්නම ඇහුණු කාලගෝට්ටිය නිසා ලොකු මැණිකෙ තමන්ගෙ ඔසරි පොටත් ඉණේ රදවගන්න ගමන් දුවගෙන ආවා.ඒ එද්දි ලොකු මැණිකෙගෙ ඇස් දෙක විසාල වෙලා ගියේ වෙන මුකුත්ම නිසා නෙවෙයි.එකිනෙකාට එකිනෙකා පරයා යන විදියට ඇස් වලින් ගිනි පිඹ ගන්න අප්පච්චියවයි පුතණ්ඩියවයි දැකලා.

ඒත් එක්කම හිතුවක්කාර පොඩි මුදියන්සෙගෙ පිටිපස්සෙ වහං වෙලා ඉන්න අර ගම්බට්ටව දැක්ක ලොකු මැණිකෙට මෙතන වෙලා තියෙන දේ ලාවට තේරුම් ගන්න පුළුවන් වෙලා තිබුණා.ඒත් එක්කම ලොකු මැණිකෙ පුළුවන් සීඝ්‍රගෙන් ගැටලුව මැද්දට අත දැම්මෙ මෙතන මේක දුර දිග ගියොත් ඒකෙ අසාධාරණේ වෙන්නෙත් අර අහිංසක කොලු පැටියට නිසා.

"අපේ මහත්තයා,යමුකො ගේ ඇතුලට.මෙහෙම පුංචි දේටත් කේන්ති අරං කොහොමද?"

"පුංචි දේ? මම කියන්නෙ නෑ මැණිකෙ පුංචි දේ ගැන! මුන්ව මකලත් මදි මේ කරන වැඩ වලට"

"ඔච්චර කෑගහන්න තරම් මොකෝ උනේ අපේ මහත්තයා?"

"අපේ සුදුපුතා මෙන්න මේකා එක්කම බිම ඉදගෙන! මම මැණිකෙට..........."

"කෝ,අපේ මහත්තයා ගෙට යංකො.අපි ගෙට ගිහින් නිවිහැනහිල්ලෙ කතා කරමුකො.කොලුවො,උබත් පලයං ගෙදර.හවස් වෙනකං මේ දිහාවෙ නාවට කමක් නෑ"

බොහොම අමාරුවෙන් කේන්ති අරං උන්නු මහ මුදියන්සෙව පරක් කරගෙන වලව්ව් ඇතුලට රිංගවපු ලොකු මැණිකෙ නේත්‍රටත් ඒ විදියට කිව්වෙ නේත්‍රගෙම හොදට.මොකද හවස් යාමෙ වෙද්දි මහ මුදියන්සෙ වලව්වෙ නොරැදෙන බවත්,රැදිලා උන්නත් මහ මුදියන්සෙගෙ කෝපය ඒ වෙද්දි පහ වෙලා ගිහින් තියෙන බවත් ලොකු මැණිකෙ වටහා ගත්තා.

ලොකු මැණිකෙගෙ අවසරෙත් එක්කම ආශව දිහා එකපාරක්වත් නොබලපු නේත්‍ර තමන්ගෙ ඇගට ලොකු කමිස කරෙන් කදුළුත් පිහිද පිහිද වලව් වත්තෙ පල්ලම දිහාට දුවනවා දැක්ක ආශව ඒ පිටිපස්සෙ දුවන්න හැදුවත් ලොකු මැණිකෙගෙ ඉගිය නිසා ඒ ගමන නැවැත්තුවා.මේ වෙලාවෙ ආශවත් නේත්‍ර පිටිපස්සෙ දුවගෙන ගියොත් මහ මුදියන්සෙගෙ කේන්තිය කොහෙන් කෙලවර වෙයිද කියලා හිතාගන්න බැරි වුණු ලොකු මැණිකෙ තැනට සුදුසු විදියට කටයුතු කරද්දි ඒ බව තේරුම් ගත්තු ආශවත් ලොකු මැණිකෙගෙ පස්සෙන් වලව්වට ඇදුනා.

වලව් විසිත්ත කාමරේ තිබුණු සෝෆාවක හරි තේජස් විදියට ඉදගෙන උන්නු තමන්ගෙ අප්පච්චි දිහා බලලා රැව්ව ආශව අඩි හප්ප හප්ප තරප්පු පෙල නැගලා තමන්ගෙ කාමරේ දොර "ඩෝං" ගාලා වහගනිද්දි,උදේම උනු හිත් තැවුල දරාගන්න බැරි වුණු පුංචි ගැටපිච්ච මල ඉකි ගගහා අඩමින් හිටියා.

...................................................................................................

"උඹ ආවද? මොකෝ දවාලෙ කෑම වෙලාවටවත් නාවෙ? මම උබ එනකං බලන් ඉදලා බැරිම තැන කෑවා මැණිකෙ.මයෙ අම්මට බඩගිනිද?"

හවස හතරට හතරමාරට විතර වලව්වෙ මුළුතැන්ගෙට බඩගෑව නේත්‍රගෙ තිබුණෙ හරි මලානික පෙනුමක්.ඒ බව නිර්මලාට ලාවට වගේ තේරුනත් වලව්වෙ තිබ්බ වැඩ රාජකාරි නිසයි,නේත්‍ර නිදාගෙන නැගිට්ටෙ දැන් කියලා කිව්ව නිසයි නිර්මලා ඒ ගැන වැඩිපුර නාහා අතෑරලා දැම්මා.

තමන් ඇදගෙන උන්නු තරමක් ඇගට ලොකු ටී ෂර්ට් එකේ කොණක් අල්ලගත්තු නේත්‍ර එහෙම්මම මුළුතැන්ගෙයි තිබ්බ පුංචි ලී බංකුව උඩ ඉදගෙන කොට කලිසම් සක්කුවෙ තිබුණු නස් නාරං ගෙඩියක් අරගෙන ලෙලි ගහන්න ගත්තා.ටික වෙලාවක් ඒ දිහා බලාන උන්නු නේත්‍ර එහෙම්මම නස් නාරමත් පැත්තකින් තියලා කදුළු පිරෙන ඇස් දෙක නිර්මලාගෙන් වහං කරගන්න හිතාන කුස්සියෙ තිබ්බ පිගන් වාගයක් හෝදන්න පටන් ගත්තා.

"මොකෝ පොඩ්ඩො උබට වෙලා තියෙන්නෙ? දාහට අරං සීයට දිලා වගේ?"

"එහෙම මුකුත් නැ අම්මා"

"අනේ මංදා බං.උබයි සුදුබේබියි රණ්ඩුවක්වත් උනාද?"

"නෑ අම්මා ඇයි?සුදුබේබිට මොකෝ?"

"නෑ නෑ කලබල වෙන්න කාරි නෑ.සුදුබේබි උදේ කෑම එකත් අනලා තියලා ගිහින් තිබ්බා තිබ්බමයි.තාම කාමරෙන් එලියට බැස්සෙ නෑ.උදෙත් බත් එකෙන් කටකට දෙකකට වඩානම් කාලා තිබුණෙ නෑ.දවල් කෑමට කාමරෙන් එලියට බැස්සෙත් නෑ.දැන් ඉතින් කෑගහලා ගෙන්නගන්න පුළුවන් වයසකයෑ ඉන්නෙ? ඊලගට 19 ලබන්නනෙ ඉන්නෙ සුදුබේබිත්.ලොකු මැණිකෙත් ඒනිසා වැඩියෙ කෑ ගැහුවෙ නෑ"

"සුදුබේබි කාලා නැද්ද අම්මා ඒ කියන්නෙ?"

"නැති බව නේන්නම් බං මම මේ කියන්නෙ.මැනුවෙලා දැන් ටිකකට කලින් කාමරේට ගිහින් අහලා තේ හදාන එන්නද කියල.මැනුවෙලාටත් බැනලා එලෝගෙන සුදුබේබි.කාමරේ ඇරලා දාලා බව දැනගෙනත් ලොකු මැණිකෙ උඩට නොගියෙත් බැනුම් අහගන්න තියෙන බැරිකමට මයෙ හිතේ.සුදුබේබිත් එසේ මෙසේ කුකුල් කේන්තිකාරයෙක් නෙවෙයිනෙ"

"මමත් ගිහින් බලන්නම් අම්මා.කේතලේ වතුර එක නැටුවද?"

ගොජ ගොජ ගගා නටමින් තිබ්බ වතුර කේතලේ රෙදි කෑල්ලක් ආධාරයෙන් ලිපෙන් බාගත්තු නේත්‍ර,ආශව ආසම විදියට කහට කිරි එකක් හදාගත්තා.කොහොමත් කාලෙක ඉදන් අඩු සීනි තේ බොන ආශවට සීනි හැදි බාගයක් විතරක් දාලා කහට,කිරි පදම හරි ගාණක දාල හදාගත්තු කහට කිරි එක ආශවගෙ මග් එකට දාගත්තු නේත්‍ර බිස්කට් ටින් එකත් එක අතකට අරගෙන වලව්වෙ තරප්පු පෙල නගින්න පටන් ගත්තා.ආශවගෙන් බැනුමක් අහගන්න හරි හිතාන ආශවට කතා කරන්න කාමරේට යන්න ආව ලොකු මැණිකෙ නේත්‍රව දැකලා ආපහු පාරක් හැරිලා තමන්ගෙ කාමරේට ගියා.

"ටක් ටක් ටක්"

"දොර ලොක් කරලා නෑ මනුස්සයො! කී පාරක්නම් කියන්නද!!!!"

කාමරේ ඇතුලෙන් ඇහුණු ආශවගෙ සද්දෙට ටිකක් බය හිතුනත් නේත්‍ර හෙමීට දොර ඇරගෙන කාමරේ ඇතුලට පය තිබ්බෙ බැන්නත් ගැහුවත් මේ තමන්ගෙ සුදු අයියනෙ කියලා හිතාගෙන.කාමරේට ගිය නේත්‍ර ඇදේ දපාගෙන ඉන්න සුදු අයියෙක්ව බලාපොරොත්තු වුණත් නේත්‍රට හම්බුනේ ඊට හාත්පසින්ම වෙනස් සුදු අයියෙක්ව.

කවුළුවෙන් එපිට බලාගෙන උන්නු ආශව තමන්ගෙ දෑගිලි මත තද වෙලා තිබ්බ ගැටපිච්ච මල වරින් වර තමන්ගෙ නාහෙට ලං කර කර සුවද බලමින් හිටියා.මොන හේතුවකටදෝ මංදා ඒ දර්ශනේ නිසා නේත්‍රගෙ කකුල් දෙකේ ඉදලා හිරි වැටීගෙන යද්දි ඉක්මනටම කිරි එක මේසෙ උඩින් තිබ්බ නේත්‍ර කාමරෙන් පිට වෙලා යන්න හැදුවා.

"මගෙන් අහකට දුවන්නද හදන්නෙ නේත්‍ර?"

තත්පර ගාණකට කලින් දොරට තට්ටු කරපු මනුස්සයගෙ අඩි සද්දෙත් එක්කම කාමරේට ඇතුලු වුණු ගැටපිච්ච මල් පොකුරක සුවද තමන්ගෙ නාස් පොලු කඩාගෙන යද්දි කාමරේට ඇතුල් වුණේ කවුද කියලා අමුතුවෙන් හිතන්න ආශවට ඕනි වුණේ නැහැ.ඒත් ඒ ඇතුල් වුණු එකා හොර ගෙඩියා වගේ ආපහු පාරක් පිට වෙල යන්න හදනවා කියලා දැනුනම ආශවගෙ හිතට ලොකු දුකක් එක්ක කේන්තියකුත් මෝදු වුණේ අද උදේ ඉදලම මේකා තමන්ට මුණ නොදී කට්ටි පනින බව තේරුණු නිසා.

"නේත්‍ර ඔහොම ඉන්න කිව්වම අහලා"

තමන් කිව්ව දේ නෑහුණා වගේ කාමරෙන් එලියට පනින්න හැදුව පුංචි හිතුවක්කාරයගෙ අතින් අල්ලත්තු ආශව එහෙම්මම ඒකව තමන්ගෙ ලගට ඇදලා ගත්තා.කොහොමත් ආශවගෙ ශක්තිය එක්ක හැරෙන්නවත් පුළුවන්කමක් නොතිබ්බ නේත්‍ර පුළුන් රොද වගේ ආශවගෙ පපුවෙ හැපෙද්දි ආශව නේත්‍රව තද කරලා බදාගත්තා.

"අතාරින්න සුදුබේබි.....මට යන්නෝනි"

"සුදුබේබි?"

නේත්‍රගෙ වචනත් එක්ක කේන්ති ගත්තු ආශව නේත්‍රව තමන්ගෙන් ඈත් කරලා ඒ උරහිස් දෙක තදින් අල්ලලා අහද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරුණා.නේත්‍ර දන්නවා.ආශවට මේ දේවල් දරන්න අමාරුයි.ආශවට වඩා නේත්‍රට අමාරුයි.

ඒත් ආශව පිලිගන්නම ඕනි මේ යාලුකම් වලව් පැලැන්තිය පිලි නොගන්න බව.සමාජෙන් පවා හැමදේකටම සීමා දාලා තියෙන බව.මහ මුදියන්සෙ කිව්ව වචන එකින් එක නේත්‍රගෙ ඔලුවෙ දෝංකාර දෙද්දි නේත්‍ර කලේම ආශවගෙන් ඈත් වෙන්න දැගලුව එක.

"අතාරින්න සුදුබේබි......ඇත්ත,මේ හැමදේටම සීමාවක් ඕනි ඇති සුදුබේබි.සුදුබේබිටයි මටයි නොතේරුනාට.......අපිත් එව්වා තේරුම් ගන්න ඕනි වයසට ඇවිල්ලා ඇත්තෙ"

"නේත්‍ර! මොනාද මේ කියන්නෙ ආ? නේත්‍රට ඕනි මේ ඇග ඇතුලෙ ඉන්න යකාව අවුස්සගන්නද?"

"එහෙම නෙවේ සුදුබේබි......මම කියන්නෙ සුදුබේබිගෙම හොදට......තේරුම් ගන්න සුදුබේබි.මහ මුදියන්සෙ කවදාවත් සුදුබේබිට අවැඩක් වෙන දෙයක් කියන්නෙ නෑනෙ.ඇත්ත සුදුබේබි.....සුදුබේබි වගේ කුමාරයෙක්ගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් කෙනෙක් නෙවේ මම.මම මගෙ මට්ටම දැනගෙන ජීවත් වෙන්න ඕනි"

"නේත්‍ර! අමු කැවිලද උඹට ආ? ඔය ඇස් දෙකෙන් වාන් දාන කදුළු වලින්ම තේරෙනවා ඔය දේවල් කියන්නෙ ඇතුලෙන් කොච්චර පිච්චි පිච්චිද කියලා.නේත්‍ර විකාර කියවන එක නවත්තපං.මම කියන දේ ටිකක් අහපං!!!!"

"අතාරින්න සුදුබේබි.මට....ම්......මට සුදුබේබි කියන මුකුත් අහන්න ඕන්නෑ.සුදුබේබි බඩගින්නෙ ඉන්න නිසයි කිරි එකක් හදාන ආවෙ.අතාරින්න සුදුබේබි.මට යන්න දෙන්න"

"යන්න දෙන්න නේහ්? ඈත් වෙන්න නේහ්?"

නේත්‍රගෙ උරහිස් දෙකෙන් අල්ලලා නේත්‍රව පිටිපස්සට වෙන්න තල්ලු කරපු ආශව අඩියෙන් අඩිය පස්සට තියලා යන්න ගත්තා.

"මෙච්චර කියලත් උඹ හිතුවක්කාරයිනෙ නේත්‍ර!!! උබට බැරි වුණානෙ සුදුඅයියගෙ වචනයක් අහන්න.උබට මහ මුදියන්සෙගෙ එක වචනෙකින් සුදු අයියාව සුදුබේබි උනා නේද? උබේ මට්ටම දැනගෙන ඉන්න ඕනි නේද උබට?"

අඩියෙන් අඩිය පිටිපස්සට තියලා මේසෙ ලගට ගිය ආශව කිරි එක වහලා තිබ්බ පීරිසිය අතට ගත්තු හැටි නේත්‍ර බලාගෙන හිටියෙ මුකුත්ම හිතාගන්න බැරුව.හැබැයි නේත්‍රගෙ ඇස් වලින් ගලාගෙන ගිය කදුළුනම් බාධාවක් නැතුව තාමත් ඒ බෝල ඇස් අගිස්සෙන් බේරෙන ගමන් තිබ්බා.

"උඹ මගෙන් ඈත් වුණාම මට හොදක් වෙනවා නේද? මගෙ නේත්‍ර මගෙන් ඈත් වුණාම උබේ සුදු අයියට සෙතක් වෙනවා නේද?"

නේත්‍රගෙ ඇස් දෙක දිහා බලාගෙනම ඇහුව ආශව එහෙම්මම පීරිසිය වේගෙන් දමලා ගැහුවෙ ආශවගෙ කකුලක් උඩට.කැඩිලා බිදිලා ගිය පීරිසි කට්ටක් ආශවගෙ කකුලෙ පිටිපතුල පසාරු කරගෙන යනවත් එක්කම ඒ කකුල ලේ වලින් වැහිලා ගියා.තවමත් ආශවගෙ ඇස් ඒ වේදනාවට දශමයක්වත් නොගැස්සෙද්දි නේත්‍රගෙ ඈත් වීම ගැන තිබ්බ වේදනාව ඒ ඇස් වල පිරිලා ගිහින් තිබුණා.

"දෙයියනේ මගෙ සුදු බේබි!!!!!"

.

.

.

.

.

පහුවදා දවාල කිට්ටු වෙද්දි කඩේට ගිය දිවාෂගෙ අතේ මිට මෙලවිලා තිබ්බෙ ටිකිරි මාරි බිස්කට් පැකට් දෙකක්.එකක් බත් කන්න කලින් කාලා,අනික හවස තේ බොන වෙලාවට කන්න හිතාගත්තු දිවාෂ උඩ පැන පැනම තමන්ගෙ ගේ දිහාවට ඇදිලා ගියා.දවාල නිසයි ඉස්කෝල නිවාඩුව නිසයි මෙවෙලෙ පාරෙ කිසි මිනිහෙක් නොහිටි නිසා දිවාෂ තමන්ගෙ සතුට ගන්න හිතාගෙන හාවෙක් වගේ පනින්න ගත්තා.

ඒත් එක්කම දිවාෂගෙ ඇස් ගියේ තමන්ට ටිකක් ඉස්සරහට වෙන්න ඇවිදන් යන මනුස්ස රූපයක් දිහාවට.පිටිපස්සට දැකලා හුරු බවක් නොතිබ්බත් එක පාරටම පිටිපස්ස හැරිලා බලලා ආපහු පාරක් ඉස්සරහ බලාගත්තු ඒ රූපේ හැඩහුරුකම අදුනගත්තු දිවාෂගෙ ඇස් දෙක ලොකුවෙලා කටත් බාගෙට ඇරුණා.

"දෙයියනේ! ඊයෙ වුණු අවුලෙන් පස්සෙ දෙවින් අයියගෙ මොලේවත් අප්සට් ගිහින්ද? අර අමුතු විදියට කොන්ඩෙත් කපාන අමුක ඩුමුක නටන්න වගේ ඇදුමක් ඇදන් යන්නෙ?"

...................................................................................................

හායිම්🙈❤️

Words 2700+ හරිත😾❤️

ඔන්න මම කිව්වෙ "වසන්තෙ එන්න කලින් කටුක කාලෙට මූණ දීපම්ලා" කියලා😪❤️ ඒක තමයි මේක😂❤️

ලගදිම සතුටුවෙයි ඔයැයිලා🙈❤️

දැන් දැන් දෙන්නට දෙන්නා පොඩ්ඩ පොඩ්ඩ එලියට දානවනෙ..................

හැගීම් හැගීම් එලියට දාන්නෙ😒❤️

මම හිතනවා අද කොටස අවුලක් නැතුවැති කියලා 🌚❤️

ඔයාල ගිය පාර චැප් එකට කමෙන්ට්ස් 200+ කරලා තිබ්බා🥺❤️ තැන්කූ බබාලා ඒකට🥺❤️ ඒම තියෙද්දි ඉක්මනට ලියන්න හිතෙනවා🥺❤️ මම ඒවට ඉඩක් ලැබුණු ගමන් රිප්ලයි කරන්නම් හොදත🥺❤

අදත් කතාව ගැන වචනයක් කියාගෙන යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ බබාලා🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter