Back
Chapter 26

25 කොටස🤍✨

නිවාලන්න මා...

"මොකද්ද උනේ කොලුවො? නේත්‍ර,දරුවො ඇයි මේ වෙවුලන්නෙ?"

"ස්.....සුදු අ.........සුදු බේබිගෙ කකුල කැපුණා ලොකු මැණිකෙ"

"දෙවියනේ!!!!"

පල්ලෙහාට විදුලි වේගෙන් දුවන් ආව නේත්‍ර වලව් විසිත්ත කාමරෙයි,වලව් මුළුතැන්ගෙයි පුරා දුව දුව බේත් පෙට්ටිය හොයද්දි නේත්‍රගෙ කලබලේ දැක්ක ලොකු මැණිකෙ ඒ ගැන අහද්දි නේත්‍ර උත්තර දුන්නා.නේත්‍රගෙ අත් දෙක පුදුම විදියට වෙවුලන ගමන් තිබුණා.කිරි කෝප්පෙකුත් හදාගෙන බිස්කට් ටින් එකත් අරගෙන සතුටින් උඩට ගිය නේත්‍ර දැන් මෙහෙම අඩා වැලපීගෙන එන්න නම් සෑහෙන්න ලොකු දෙයක් වෙලා කියලත්,ආශවගෙ කකුල කැපුණෙ නිකම්ම නෙවෙයි කියලත් ලොකු මැණිකෙට තේරුම් ගියා.

නේත්‍රගෙ අතින් අල්ලලා සන්සුන් කරපු ලොකු මැණිකෙ එහෙම්මම දුවගෙන ගියේ තමන්ගෙ කාමරේට.කාමරේ ඇතුලෙ ඉදලා එලියට ආව ලොකු මැණිකෙ තමන්ගෙ අතේ තිබ්බ බේත් පෙට්ටිය නේත්‍රගෙ වෙවුලන අත් දෙක උඩින් තිබ්බා.බේත් පෙට්ටිය අල්ලගන්නවත් හරිහැටි බැරි වුණු නේත්‍ර තමන්ගෙ වෙවුලන අත් දෙකෙන් බේත් පෙට්ටිය තද කරලා තුරුල් කරගනිද්දි ආශව ගැන හොද හැටි දැනන් උන්නු ලොකු මැණිකෙ තමන්ට මේ වෙලාවෙ ගන්න තිබ්බ හොදම තිරණේ ගන්න ගමන් නේත්‍රගෙ ඔලුවෙන් අත තිබ්බා.

"ගිහින් සුදුබේබිට බේත් දාන්න කොලුවො"

ලොකු මැණිකෙ නේත්‍රට කිව්ව පමාවට නේත්‍ර තමන්ගෙ කකුල් දෙකට උපරිම වීරිය අරගෙන ආශවගෙ කාමරේට දුවලා ගියා.තවමත් නේත්‍ර එලියට ආව විදියටම කාමරේ දොරත් හායි ගාලා ඇරලා තිබුණා.බේත් පෙට්ටියත් පපුවට තුරුල් කරගත්තු නේත්‍ර හෙමින් සැරේ කාමරේට ඇතුල් වෙද්දිම නහයට දැනුනු ගැටපිච්ච සුවද නිසා ඇද උඩ ඉදන් හිටිය ආශව ඔලුව හරවලා බැලුවත් ඒ ක්ෂණයෙන් ආශව අහක බලාගත්තෙ හිතේ තිබ්බ කේන්තිය නිසාමයි.තවමත් ලේ ගලන කකුල එහෙම්මම තියාගෙන හිටිය ආශව දිහා බැලුව නේත්‍ර බේත් පෙට්ටිය මේසෙ උඩ තියලා ආපහු පාරක් පහලට දුවගෙන ගියා.

"මට කරගන්න පුළුවන්.ඔයා යන්න!!!!"

ආශවගෙ පය පාමුල ඉදගෙන පහලට ගිහින් අරං ආව පොඩි බේසම ඇතුලට ආශවගෙ කකුල දාලා වතුර ජෝගුවකට පුරවගෙන ආව සීතල වතුර වලින් ටිකෙන් ටික දදා ආශවගෙ ලේ ටික හෝදන්න ගත්තු නේත්‍ර දිහා නොබලම ආශව කතා කලා.

ආශව කියන මුකුත්ම නෑහුනා වගේ තමන්ගෙ පාඩුවෙ පරෙස්සමට කිසිම හිරිකිතයක් නැතුව ආශවගෙ කකුල පිරිසිදු කරන නේත්‍රගෙ ඇස් වල පිරිලා තිබ්බ කදුළු අහක බලාන හිටි ආශවගෙ ඇස් වලට අහු වුණේ නැහැ.කමිස කරෙන් විටින් විටේ කදුළු පිහිදගන්න ගමන් ආශවගෙ තුවාලෙ ලේ ටික පිරිසිදු කරපු නේත්‍ර ඒ තුවාලෙන් ලේ එන එක ටිකක් අඩු නිසා පිරිසිදු රෙදිකඩකින් කකුලෙ වතුර ටික පිහිදලා දැම්මා.

"කිව්වම අහලා යන්න ඔයා!!! මට පුළුවන් ටවුන් එකට ගිහින් ඩොක්ටට කියලා බේත් දාගෙන එන්න!"

"මට පුළුවන් සුදුබේබි.මම කැමැත්තෙන්නෙ කරන්නෙ"

"ඈත් වුණානම් නේ මට සෙතක් වෙනවා කිව්වෙ! එහෙනම් මගුලටද මම ලග ලැගගෙන බේත් දදා ඉන්නෙ?!!!"

ආශවගෙ කටහඩ තවමත් ආවේගශීලී බවෙන් මිදිලා නොතිබුණා.තමන්ගෙ තුවාලෙන් එන වේදනාවවත් නොදැනෙන තරමටම ආශවගෙ හිත නේත්‍රගෙ හැසිරීම,නේත්‍රගෙ වචන නිසා ඇදුම්කන ගමන් තිබුණා.

ටිකක් විතර ගැඹුරට කැපිලා තිබුණු තුවාලෙ නේත්‍ර සර්ජිකල් පොගවපු පුලුන් කෑල්ලකින් පිරිසිදු කරද්දින්වත් කෙදිරියක් නොනගන්න තරම්ම ආශවගෙ හිත වේදනාවෙන් පිරිලා තිබුණා.ඇස් වලින් කදුළු වාන් දාද්දි ඒ කදුළු පිහ පිහ ආශවගෙ තුවාලෙට නේත්‍ර බේත් දැම්මත් ආශව තවම ඒ වෙනුවෙන් එක කදුලක්වත් හෙලලා තිබුණෙ නැහැ.

"රිදෙනවද සුදු බේබි?"

"රිදෙනවා නේත්‍ර! හුගක් රිදෙනවා"

තුවාලෙට බේත් දාලා කකුල බැන්ඩේජ් වලින් ඔතන නේත්‍ර ආශවගෙන් ඇහුවෙ බැන්ඩේජ් එක තද වෙලා ආශවගෙ තුවාලෙ රිදෙයි කියන බයට.මෙච්චර වෙලා නේත්‍ර දිහා නිකමටවත් නොබලා හිටි මනුස්සයා නේත්‍රගෙ ඒ ප්‍රශ්නෙත් එක්කම නේත්‍රගෙ ඇස් දෙක දිහා කෙලින් බලලා උත්තර දෙද්දි ආශවගෙ ඇස් වල තිබ්බ බැල්ම දරාගන්න බැරි වුණු නේත්‍ර එහෙම්මම බිම බලාගත්තා.

"මේක තද වුණු නිසාද රිදෙන්නෙ? නැත්තං තුවාලෙට දාපු බේත් නිසාද සුදුබේබි?"

"ඔයාගෙ වචන නිසා නේත්‍ර! හුගක් රිදෙනවා මට"

ආශවගෙ වචන එක්ක නේත්‍ර ගැස්සුණත් ඒ බවක් නොපෙන්වාම කකුල ඔතලා ඉවර කල නේත්‍ර වතුර භාජනෙත් අරගෙනම නැගිට්ටෙ කාමරෙන් එලියට යන්න.ඒත් එක්කම නේත්‍රගෙ පුංචි අතක් ආශවගෙ දරදඩු අතක් එක්ක පැටලෙද්දි ගැස්සිලා ගිය නේත්‍ර ආශව දිහා නොබලම බිම බලාගත්තා.

"ඇයි නේත්‍ර මෙහෙම කරන්නෙ? මොකද්ද මම කරපු වැරැද්ද?"

"ම්.....මට.....යන්නෝනි සුදුබේබි"

"සුදුබේබි කියන එකයි සුදුඅයියා කියන එකයි උබට නිකංම වචන දෙකක් උනාට මට එහෙම නෑ නේත්‍ර.ඒ දෙක අතරෙ ලොකු වෙනසක් මට තියනවා.උබට ඒවා තේරෙන්නෑ............

නැත්තං උබ නොතේරෙනවා වගේ ඉන්නවා"

ලොකු හුස්මක් පහලට දැම්ම ආශව මුමුණද්දි ආශවට පිටුපාලා බිම බලාන හිටි නේත්‍රගෙ ඇස් වලින් හෝ ගාලා කදුළු කැට වැටෙන්න ගත්තා.

"යන්නනෙ ඕනි කිව්වෙ නේත්‍රට.......එහෙනම් යන්න.මම හැමදෙයක්ම අමතක කරන්න බලන්නම්..........

හැබැයි ආයෙ මම ලගට එන්න එපා......මම ඒක කියන්නෙ හේතුවක් ඇතුව!!!"

නේත්‍රගෙ අත අතෑරලා දැම්ම ආශවගෙ කටින් ඒ වචන ටික පිටවෙනවත් එක්කම පිටවෙන්න ආව ඉකිය නවත්තගත්තු නේත්‍ර ආශවගෙ කාමරේ දොරත් වහගෙන පහල තට්ටුවට දුවද්දි පපුව ඇතුලෙ ලොකු ගුලියක් හිර වෙලා වගේ දැනුනු ආශව ඇදේ පෙරලිලා එහෙම්මම ඇස් දෙක පියාගත්තා.

.

.

.

.

.

"ආශව......ආශව........"

ඇස් පියාන අඩ නින්දෙ හිටි ආශවට හීනෙන් වගේ තමන්ගෙ නම කියනවා ඇහුණු නිසා ඇස් දෙක ඇරලා බැලුව ආශව හෙමීට ඇදේ කෙලින් වුණා.ආශවට ලොකු හුස්මක් පහල ගියේ දැන් ටිකකට කලින් සිද්ධ වුණු දේ මතක් වෙලා.සමහරවිට ආයෙ ආශවගෙ ජීවිතේ නේත්‍ර කියලා කෙනෙක් හිටිය කාලෙ ලස්සනම මතකයක් විතරක් වේවි!

"මේ දොර ඇරපංකො......ආශව!!!"

"අඩෝ හිච්චි මුදියන්සේ දොර ඇරපිය යකෝ!!!"

ආශවව හරි සිහියට ගෙන්නන්න දොරෙන් එපිට ඇහෙන ඒ කටහඩවල් දෙකට පුළුවන් වුණා.ඔච්චර කෑ ගහන්නෙ මොකක් හරි හදිස්සියක් කියලා හිතුව ආශව දඩිබිඩි ගාලා ඇදෙන් බහින්න යද්දිනම් කකුලෙන් එකපාරටම ආව වේදනාවටනම් ආශවට කෙදිරි ගෑවුණා.

"අඩෝ ගිනිපුක්කාරයා!!! උබ ඕක ඇතුලෙ වෙන වැඩක්වත්ද?"

"ඔහොම ඉන්නවා දිවාෂ! මම එන්නම්"

හෙමින් සැරේ ඇදෙන් බැස්ස ආශව ඇද පාමුල තිබ්බ රබර් බාටා දෙක දාගෙන හෙමින් සැරේ දොර දිහාවට ඇදිලා දොර ඇරියා.දොරකඩ හිටිය මිනිස්සුන්ට ඇතුලට එන්න කියලවත් නොකියපු ආශව හෙමින් සැරේ කොරගගහා ඇතුලට එද්දි මොකක් හරි කුපාඩි කතාවක් කියන්න කට ඇරිය දිවාෂ ඒක එහෙම්මම නවත්තගත්තෙ ආශවගෙ කකුලෙ තිබ්බ බැන්ඩේජ් එක දැකලා.එහෙම්මම නිහඩවම කාමරේට ආව දිවාෂ ආශවගෙ පොත් මේසෙ ලග තිබ්බ ලී පුටුවෙන් ඉදගනිද්දි දෙවින් ආශවගෙ ඇද උඩින් ඉදගත්තා.

"කකුලට මොකෝ උනේ ආශව අයියෙ?"

"කැපුණා"

"මොකක් වෙලාද?"

"වීදුරු කෑල්ලකට"

"කෝ නේත්‍ර?"

"මම දන්නවයෑ"

ආශවගෙ උත්තරෙත් එක්ක දිවාෂගෙ ඇස් දෙක ලොකු වෙනවත් එක්කම දිවාෂට තේරුම් ගියේ මෙතන සෑහෙන්න ලොකු දෙයක් වෙලා කියන එක.මොකද නේත්‍ර ගැන අහපු කිසිම වෙලාවක ආශව ඔය විදියෙ උත්තරයක් නම් මේතාක් දීලා නැති බව දිවාෂ හොදටම දැනගෙන හිටියා.තවත් ඔව්වා හාර අවුස්සලා ආශවව කේන්ත් ගස්සන්න ඕනි නෑ කියලා තීරණේ කරපු දිවාෂ එහෙම්මම කට පියාගත්තෙ නේත්‍රව අල්ලගෙන වෙච්ච දේ අහගන්නවා කියලා හිතාගෙන.

"මොකෝ දෙවින් හදිස්සියෙම?"

ආශව ඇහුවෙ තමන්ගෙ ඇදේ උඩුබැලි අතට වැතිරිලා වලව්වෙ වහලෙ දිහා බලාගෙන හුස්ම උඩ පහල දාන දෙවින්ගෙන්.කාමරේ ඇතුලට ආව වෙලේ ඉදලම දෙවින් වචනයක්වත් කතා කලේ නෑ නේද කියලා ආශවට මතක් වුණා.ලොකු හුස්මක් පහලට දැම්ම දෙවින් ටිකක් ඉණෙන් ඉස්සිලා ඇදගෙන හිටි දිග කලිසමේ සාක්කුවට අතදාලා එලියට ගත්තෙ හතරට නවපු කොලයක්.ආශවගෙ පැත්තට කොලේ දික් කරපු දෙවින් ආපහු පාරක් එහෙම්මම තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.

"දෙවියනේ දෙවින්! බාප්පා!!!!"

"එයා ගිහින් ආශවයා.මාව දාලා ගිහින්"

හිනා වෙද්දි මූණ දෙපැත්තෙ වලවල් දෙකක් හැදෙන තමන්ගෙ බාප්පගෙ මූණ ඇස් ඉස්සරහ මැවෙනවා වගේ දැනෙද්දි දෙවින් තමන්ගෙ දකුණු අතේ වැලමිට කොටසෙන් ඇස් දෙකත් වහගෙන ඉකි ගගහා අඩන්න පටන් ගත්තා.

ඒත් එක්කම කාමරේ දොරට තට්ටු කරගෙන ඇතුලට ආව නේත්‍ර තමන්ගෙ අතේ රැදිලා තිබ්බ තේ කෝප්පයි,බිස්කටුයි තිබ්බ තසිම ඉක්මනටම ආශවගෙ මේසෙ උඩ තියලා දිවාෂ ලගට කිට්ටු වුණේ මෙතන වෙන්නෙ මොකද්ද කියලා නොදන්න නිසා.තේ ටික තියලා ඉක්මනටම කාමරෙන් එලියට එනවා කියලා හිතාගෙන ආශවගෙ කාමරේට පය තිබ්බ නේත්‍ර කාමරේ රැදුනෙ දෙවින් ඉන්නෙ ප්‍රශ්නෙක කියලා දැනුනු නිසා.

"බාප්පා........මගෙ හැම දේටම ලග උන්නු මනුස්සයෙක් ආශව.......එයා උබලවත් මම ගැන නොදන්න සමහර දේවල් දැනගෙන හිටියා.....ඒත් එයා මට හැමදේම කියලා තියෙන්නෙ අන්තිම මොහොතේ........."

"බාප්පට අෆෙයාර් එකක් තිබ්බා කියලා උබ දැනන් හිටියෙ නැද්ද?"

"සැකයක් තිබ්බා ආශව.බාප්පා වගේ හැන්ඩ්සම් මනුස්සයෙක්ට සම්බන්ධයක් නෑ කිව්වොත්නෙ පුදුම.ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ මම"

"බාප්පා රට ගිහින් තියෙන්නෙ එතකොට යාලු කෙනා එක්කද?"

"ඔව් ආශව......."

"කෙනා?"

"කෙනා ගැන කිසිම දෙයක් මම දන්නෑ.බාප්පා කියලත් නෑ.ලියුමෙ තියෙන්නෙත් ගැලපෙනම කෙනා එක්ක යන්නෙ කියලා විතරයිනෙ.ඒත්......"

"ඒත් මොකෝ?"

"අපි නුවර ආවට පස්සෙ අම්මා අපේ එහෙ ගෙදර උඩ තට්ටුව රෙන්ට් එක දීලා තියෙනවා.එහෙ අන්තිමට රෙන්ට් එකට ඉදලා තියෙන්නෙ කලම්බු කැම්පස් එකේ ෆයිනල් ඉයර් ස්‍ටුඩන්ට් කෙනෙක්.එයත් බාප්පා නැති වුණු දවසට කලින් දවසෙ ඉදලම නෑලු"

"ඒ කියන්නෙ?"

"තෙවින් කිව්ව විදියට බාප්පා ඒ කියන කෙනා එක්ක කතා බහ කරනවා පවා තෙවින් දැකලා තියේලු.ඒත් ඉතින් එයා ඒ ගැන සැකයක් හිතල නෑ.පෙරේදාට කලින්දා එයා අම්මට මේ මාසෙ රෙන්ට් එක දීලා.හැම මාසෙම අගනෙ රෙන්ට් එක ගන්නෙ.අම්මා වේලාසන ඇයි ඇහුවම කියලා සල්ලි අතේ තිබ්බොත් වියදම් වෙන නිසා දෙන්නෙ කියලා."

"ම්ම්ම්ම්ම්ම්?"

"පෙරේදා ඉදන්ම ඒ අයියත් නෑලු"

"අයියා????"

"ඔව් ආශව.එයා අයියා කෙනෙක්.එයා එක්කනම් බාප්පා ගියේ............මම රූපෙන් විතරයි එයාව දැකලා තියෙන්නෙ.රූපෙන් ඒ දෙන්නා පුදුම විදියට ගැලපෙනවා.ඒත් මම ගතිගුණ දන්නෑ"

"තෙවින් මොකෝ කියන්නෙ?"

"ඒ අයියා අහිංසකයිලු කට ටිකක් සැර උනාට.බාප්පා එක්ක එයානම් රට ගියේ......තෙවින්ට හිතාගන්න බෑලු.මොකද ඒ අයියා එක්ක අක්කා කෙනෙක් නිතරම එහෙ මෙහෙ යනවා තෙවින් දැකලා තියේලු"

"ගියපු රටවත් දන්නෙ නැද්ද තෙවින්වත්?"

"බාප්පා ගිය එක තෙවින් දන්නෙත් මම කිව්වම ආශව.ඊට පස්සෙ තමා තෙවින්ටත් අර අයියා ගැන සැකේ ආවෙ"

එතන ඉදලා කාමරේ පුරාවට ගලාගෙන ගියේ ලොකු නිහඩතාවයක්.ඉදිකට්ටක් බිම වැටුනත් සද්දයක් ඇහුණු තරමට නිහඩ වුණු කාමරේ ඒ නිහඩ බව වරෙන් වර බින්දෙ හවස් යාමෙ කූඩු වලට පියාඹන කුරුල්ලන්ගෙන් නැගෙන ශබ්ද වලින්.

මෙච්චර වෙලා දිවාෂ ලග හිටගෙන බිම පහුරු ගගා උන්නු නේත්‍ර කාමරෙන් පිටවෙලා යන්න්ක් හැදුවත් දෙවින්ගෙ ඉල්ලීම නිසා නේත්‍රත් ඒ දුක බෙදාගන්න කට්ටිය එක්ක නැවතුනා.ඒත් එක්කම නේත්‍රට මතක් වුණේ ගෙනාව තේ ටික.තේ බිස්කට් තිබ්බ තසිම දිවාෂටයි දෙවින්ටයි පිලිගන්වලා අන්තිමට ආශවගෙ තේ කෝප්පෙ පිලිගන්වද්දි නේත්‍ර දිහා නිකමටවත් නොබැලුව ආශව අහක බලාගෙනම හිටියා.

"ස්...සුදුබේබි තේ එක"

"මට එපා කිව්වා කියන්න දිවාෂ!"

"එපාලු නේත්‍ර"

"අනේ දිවාෂ තේ එක බොන්න කියන්නකො"

"ආසව,ඔන්න බොන්නලු තේ එක"

"මට ඕනෙ තේ එකක් නෑ කියලා කියන්න දිවාෂ"

"මූට ඕනි තේ එකක් නෑලු නේත්‍ර"

"අනේ දවාලෙ ඉදලම බඩගින්නෙ නිසා තේ එක බොන්න කියන්නකො දිවාෂ"

"අනේ බඩගිනි නිසා තේ එක බොන්නලු ආසව"

"අනේ මට එපා කියලා......."

"අනේ ලබ්බ!!! මේ මොන පගක්ද මේ? තොපි දෙන්නා මරාගත්තා කියලා ඒකට මගෙ කට පලිද යකෝ!!! අනේ දෙවින් පණ තේ එක බීලා ඉවරනම් වරෙං ගෙදර යන්න.මුන් එක්ක වසන්න බෑ මනුස්සයෙක්ට"

පුටුවත් පස්සට දාලා නැගිට්ට දිවාෂ මරහඩ තලලා කෑගහද්දි අඩ අඩ උන්නු දෙවින්ගෙ මූණට පවා හිනාවක් ආවා.කොච්චර උනත් දිවාෂ කියලා කියන්නෙ මනුස්සයෙක්ගෙ දුකක් පවා අමතක වෙන විදියට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් කියන එක දිවාෂව ආස්‍රේ කරපු හැමෝම දැනන් උන්නා.

හෙට දවසෙ හම්බෙනවා කියන පොරොන්දුවත් එක්කම දෙවිනුයි දිවාෂයි ආශවගෙනුයි නේත්‍රගෙනුයි සමුගනිද්දි රාත්‍රී හතත් පහු වෙලා තිබුණා.පුළුවන් තරම් දෙවින්ගෙ හිත හැදුව යාලුවො තුන් දෙනා ඕනිම වෙලාවක ඕනිම දේකදි දෙවින් එක්ක ඉන්න පොරොන්දු වෙලා තිබ්බා.රෑට කෑම කාලා යමු කියලා ආශව කොච්චර වද දුන්නත් කොල්ලො දෙන්නම ගෙවල් වලට දිව්වෙ ගෙවල් වලට ඒ ගැන දැනුවත් කරලා නොතිබ්බ නිසා.

"දෙවින් අර ගර්ස්ල් එකේ කෙල්ල කවුද? අර තීක්ෂණ මට එදා කිව්ව?"

"මතක නෑ ඕයි.මොකටද උබට?"

"නෑ ඒ කෙල්ල හොදයි කියලා හිතුනා බං.අවුරුදු තුනක් තිස්සෙ මට කැමතියිලුනෙ.ඒකයි"

"ආශව!!!!????"

"මමම හොයාගන්නම් එහෙනම්.දැන් යමල්ලා තොපි දෙන්නා.පරක්කු වෙනවා කියලා නැටුවෙ මෙච්චර වෙලා?"

වලව්වෙ පිලිකන්නට වෙලා ඉදගෙන කළුවරින් පිරිලා තියෙන වලව්වත්ත දිහා බලන් උන්නු නේත්‍රගෙ ඔලුවෙ දෝංකාර දෙන ගමන් තිබ්බෙ දෙවිනුයි දිවාෂයි වලව්වෙන් පිටවෙන්න ටිකකට කලින් දෙවින්ගෙයි ආශවගෙයි අතර වුණු සංවාදෙන්.

කළුවරින් පිරිලා තිබ්බ වලව්වෙ පිලිකන්න පැත්තෙ තිබ්බ ඒ ඝන අන්ධකාරෙ ටිකක් හරි මගෑරුනේ වතුර මුට්ටියක් රත් වෙමින් තිබ්බ ගල් ලිපේ එලියෙන්."පටස් පටස්" ගගා ගිනි පුපුරු විසික්කා වෙන ගමන් තිබ්බ ලිප ලගට ගිහින් දර එහෙ මෙහෙ කරලා තව ගින්දර ටිකක් පෑදුව නේත්‍ර ආපහු පාරක් පිලිකන්නෙ පඩිය උඩට ඇවිල්ලා ඉදගෙන අත් දෙකත් කම්මුල් දෙකේ ගහගෙන ඈත බලාන උන්නා.

"එහෙම තමා කරෝලිස් මිනිස්සු.හැමෝම එක වගේ නෑනෙ"

නේත්‍ර ගැස්සිලා ගියේ මුළුතැන්ගෙයි පැත්තෙන් ඇහුණු හුරුපුරුදු කටහඩ නිසා.ඒත් එක්කම පිටිපස්සෙ හැරිලා බැලුව නේත්‍ර දැක්කෙ මුළුතැන්ගෙයි තිබ්බ උස පුටුවක් ඉදගෙන නිර්මලා,කරෝලිස්,මැනුවෙල් එක්ක කතා කර කර ඉන්න ආශවව.ඒක කොහොමත් ආශවගෙ පුරුද්දක් වුණා.ම

හ මුදියන්සෙ නැති වෙලාවට ඉදලා හිටලා මුළුතැන්ගෙයි පැත්තට,වලව් වත්තට පය ගහන සුදුබේබි සේවකයො එක්ක කතා බහක නිරත වුණා.නිතර දෙවේලේ ඒ දේ නොවෙන නිසයි,ඉදලා හිටලා සුදුබේබි තමන්ව මුණ ගැහෙන්න එන නිසයි,සුදුබේබිට තිබ්බ බය ආදරේ නිසයි වලව් සේවකයෝ ඒ වගේ වෙලාවල් වලට හරියට සතුටු වුණා.ආශව ඇවිත් ටික වෙලාවක් වුණත් නේත්‍ර හිටියෙ වෙන සිහියක නිසා ආශවව නේත්‍රට මගෑරිලා තිබුණා.

"අපි කොච්චර නම් ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ කලාද සුදුබේබි? මට කසාදයක්වත් බැදගන්න බැරි වුණේ අපේ නගාගෙ දෑවැද්ද හොයන්නම මහන්සි වුණු නිසා"

"මිනිස්සු කවුරුත් එහෙමයි කරෝලිස්.එයාලට අපිව ඕනි කියලා හිතෙනකං විතරයි හැම ඇගෑලුමක්ම"

"අනේ මංදන්නෑ සුදුබේබි ඒ වුණාට.අපිට දුකයි ඒ දේවල් වලට"

"අපේ දුක ඒ මිනිස්සුන්ට තේරෙන්නෑ කරෝලිස්.රිදෙන තරම දන්නෙ වේදනාව හිමි මිනිහා විතරයි"

පිලිකන්න පැත්තට ඇස් දෙක අලවගෙනම ආශව කියද්දි කිසි දෙයක් නොදැන හිටිය කරෝලිස් එයාලගෙ සුදුබේබි මේ කියන්නෙ කරෝලිස්ගෙ ප්‍රශ්නෙ ගැන කියලා හිතාගෙන හූමිටි තිබ්බා.ආශව කියන කියන වචනයක් ගාණෙ නේත්‍රගෙ පපුව ඇදුම් කද්දි ඇස් වලින් ගලන කදුළු පාලනේ කරගන්න බැරි වුණු නේත්‍ර හැමෝටම හොරා ඉකිබිදින ගමන් ඇඩුවා.

"සුදුබේබි,අර මොකද්ද තරගයක් තියෙනවා කිව්වෙ? කවද්ද යන්නෝනි සුදුබේබි?"

"ලබන සතියෙ නිර්මලා.ලබන සදුදා."

"සුදුබේබිට කොළඹ අරන් යන්න මොනවැයි හදලා ඕනි?"

"විශේෂ දෙයක් නෑ නිර්මලා.මට පුළුවන් නම් අඹ අච්චාරු ටිකක් හදලා දෙන්නකො.බස් එකේ යද්දි කට්ටියටම කන්න පුළුවන් නෙ"

"ඒක හොදයි සුදුබේබි.මම හදලා දෙන්නම්"

"කොළබ නෝනලා වහ වැටෙයිද දන්නෑ අපේ සුදුබේබිට"

"ඒ මොකෝ කරෝලිස්?"

"සුදුබේබි වගේ රූප සම්පත්තිය තියෙන ගැටයෙක්ව දැක්කම මොන දැරිවිටද සුදුබේබි ආසා නොහිතෙන්නෙ? අනික කොළඹ ලොකු ලොකු පැලැන්තියෙ නෝනලා නොවැ ඉන්නෙ"

"කොළඹට වඩා හොද අය නුවර ඉන්නවා කරෝලිස්"

"ආහ්හ්හ්හ්හ්!!!!!"

"නේත්‍ර!!!!!!"

"මයෙ පොඩ්ඩො!!!"

ආශවලගෙ කතාවට ඇහුම්කන් දීගෙනම පඩිය උඩින් නැගිට්ට නේත්‍ර රෙදිකඩක්වත් නැතුව අර රත් වුණු මුට්ටියට අත ගැහුවෙ ආශව අන්තිමටම කරෝලිස්ට කිව්ව දේයි,ආශව දෙවින්ට කිව්ව දේයි දෙකම එකපාර මතක් වුණු එකත් එක්ක.තමන්ගෙ වම් අතට එකපාරටම දැනුනු වේදනාව නිසා නේත්‍රට හයියෙන්ම කෙදිරි ගෑවෙද්දි මොන තරම් ලොකු කතාවක හිටියත් නේත්‍රට ඇහැ ගහගෙන උන්නු ආශව කෑගහගෙන තමන්ගෙ තුවාල කකුල ගැනවත් නොහිතා පිලිකන්නට දුවගෙන ආවා.

"මෙහෙ එනවා!!!"

අත පිච්චුණාට තියෙන පණ්ඩිතකමට එතනම පැත්තක තියලා තිබ්බ රෙදි කෑලි දෙක අරගෙන වතුර මුට්ටිය ලිපෙන් බෑව නේත්‍ර ලිප ලගට වෙලා අතට පිඹ පිඹ ඉද්දි නේත්‍ර ලගට ආව ආශව නේත්‍රගෙ අතිනුත් ඇදගෙන ආවෙ පිලිකන්නෙ තිබ්බ ටැප් එක ලගට.ටැප් එක ඇරලා ගලාගෙන යන වතුරට නේත්‍රගෙ අත අල්ලපු ආශවගෙ ඇස් වල ලා කදුළු පටලයක් බැදිලා තිබ්බෙ නේත්‍රගෙ රතු ගැහිලා තිබ්බ අල්ල දැකලා.

සුදුබේබිගෙ අණට කීකරු වෙලා වත්තට දිව්ව කරෝලිස් කඩාගෙන ආව කෝමාරිකා කෑල්ල ඇස් වල කදුළු පුරවගෙන නේත්‍ර ලගට වෙලා හිටි නිර්මලා දඩි බිඩි ගාල සුද්ධ කරලා ආශවගෙ අතට දුන්නා.තමන්ට ඇති කියලා හිතෙනකං නේත්‍රගෙ අත වතුරට අල්ලන් හිටි ආශව කෝමාරිකා මදේ අරගෙන නේත්‍රගෙ අල්ලෙ හෙමීට ඇතිල්ලුවා.

"මේ මහ රෑ වතුර රත් කලේ මොන මගුලකටද?"

"ස්...සුදුබේබිට ඇග සෝදගන්න....ත්....තු....තුවාල නිසා ඇල් වතුර අගුණ වෙයි කියලා හිතුනා"

නේත්‍රගෙ මූණ දිහා ටික වෙලාවක් හැගීම්බර ඇස් දෙකෙන් බලාගෙන උන්නු ආශව රෑ කෑම දෙන්නටම තමන්ගෙ කාමරේට එවන්න කියලා නිර්මලාට අණ කරලා වචනයක්වත් නොකියා බිම බලාන ඉන්න නේත්‍රගෙ අතිනුත් ඇදගෙන උඩු මහලට යද්දි නේත්‍රගෙයි ආශවගෙයි සමීප මිතුරුකම ගැන දැනන් හිටි වලව් සේවකයො ටික තමන්ගෙ පාඩුවෙ අදාල වැඩ පල කරගෙන හිටියා.නේත්‍රගෙ අතින් ඇදන් කාමරේට ආව ආශව නේත්‍රව ඇතුලට දාලා දොර වහනවත් එක්කම එතනම තිබ්බ බිත්තියට නේත්‍රව හිර කරගත්තා.

"සිහියක් පතක් ඇත්තෙම නෑ නේද?"

".............."

"පණ්ඩිතකම නම් ඉහටත් උඩින් තියෙනවා"

"................"

"කෙල්ලෙක් ගැන කියද්දි ඔච්චර කලබල වුණේ ඇයි දන්නෑ?"

"..............."

"කොලඹ කෙල්ලෙක් ඕනි වෙලාද උඹට? ආ නේත්‍ර?"

"................"

"කේන්ති ගන්නෑ කියලා කොච්චර හිතුවත් උඹමයි මාව යකෙක් කරගන්නෙ!!!!"

නේත්‍රගෙ මූණටම බර වෙලා ඒ බෝල ඇස් දෙක අස්සට ගිලිලා කෑගැහුව ආශව නේත්‍රගෙන් ඈත් වෙලා කොර ගගහා ගියේ කවුළුව ලගට.ජනෙල් කණ්ඩිට තද කරලා අල්ලගත්තු ආශව හයියෙන් හුස්ම උඩ පහල දාන්න ගත්තෙ තමන්ගෙ කේන්තිය පාලනේ කරන්න හිතාගෙන.කවුළුවෙන් එපිට පේන ඝන අන්ධකාරෙ දිහා බලාගෙන ආශව තමන්වම පාලනේ කරගන්න උත්සාහ කරද්දි දැනුනු දෙයක් නිසා ආශව හිටපු විදියටම ඉන්න ගමන් තමන්ගෙ ගැඹුරු කටහඩ අවධි කලා.

"ඈත් වුණානම් ආයෙ ලං වෙන්න එපා කියලා මම කිව්වා නේත්‍රට!!!"

"..........."

"ලගට එන්න එපා නේත්‍ර! ආයෙ උඹ මම ලගට ආවොත්......."

"............."

"කියන දේ අහනවා නේත්‍ර! හිතුවක්කාර වෙලා පසුතැවෙන්න එපා!"

"බයින්න එපා සුදු අයියෙ මට"

ආශව කියන කිසිම දෙයක් කනට ගන්නෙ නැතුව හෙමීට අඩි තිය තිය ආශව ලගට කිට්ටු වුණු නේත්‍ර එහෙම්මම ආශවව පිටිපස්සෙන් තුරුල් කරගද්දි ආශව ලොකු හුස්මක් පහලට දැම්මා.නේත්‍රගෙ එක වචනෙකට,එක වැලද ගැනීමකට පුළුවන් වුණා මෙච්චර වෙලා ගිනි අරං හිටපු ආශවව නිවලා දාන්න.තමන්ගෙ බඩ වටේ එතිලා තියෙන නේත්‍රගෙ අත් දෙක හෙමීට ඈත් කරපු ආශව නේත්‍රගෙ පැත්තට හැරිලා ඒ ක්ෂණයෙන්ම නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.

"ලං උනෙ ඇයි ආයෙ? මම එපා කිව්වනෙ නේත්‍රට"

"ස්.....සු....සුදු අයියා නැතුව ඉන්න බැහැ මට"

"තේරුම් ගන්න නේත්‍ර ඒක.අපි දෙන්නා හැදුනෙ වැඩුනෙ එකටමයි.නේත්‍ර හිතුවට ඈත් වෙනවයි අරකයි මේකයි ඒක අපි දෙන්නටම කරන්න බැරි දෙයක්"

"හ්ම්ම්ම් සුදු අයියෙ.....ආයෙ ලං වෙන්න.....එ...එපා කිව්වෙ ඇයි?"

"ලං වුණාට පස්සෙද අහන්නෙ?"

"..........."

"දැන් නේත්‍රට කරන්න දෙයක් නෑ.නේත්‍ර ලං වෙලා ඉවරනෙ"

"හ්ම්ම්ම්......."

"ආයෙ ඈත් වෙන්න බෑ නේත්‍ර! කවදාවත් මොනා වුණත්! ආයෙ නේත්‍ර මගෙන් ඈත් වෙන්න හැදුවොත් මොනාගෙන් මොනා වෙලා නතර වෙයිද දන්නෑ!!!! තේරුණාද ම්ම්ම්ම්?"

අශව තමන්ගෙ පපුවට තුරුල් වෙලා සුරුස් ගගා හොටු ඉහලට ඇද ඇද අඩන නේත්‍රගෙ මූණ උස්සලා හරි ආදරණීය විදියට කිව්වත් ඒ වචන වල තිබ්බ ගැඹුරු බව,ස්ථීර බව වගේම අවවාදාත්මක බව නේත්‍රට හොදට තේරුණා.

එදා ඉදලම තමන්ගෙ හිතේ සුදු අයියා ගැන ඇති වෙන හැගීම් එක්ක එයාව බෙදාගන්න බැරි ලෝභකම වගේ හැගීම් නිසා ආශවගෙන් ඈත් වෙන එක තමන්ටත් විහිලුවක් විතරයි කියලා දැනන් උන්නු නේත්‍ර ආශව කිව්ව දේට එකග වෙලා ඒ පපුවට ආපහු පාරක් තුරුල් වුණේ වෙන ඕනි දේකට මූණ දෙන්න හිතාගෙන.මතක තියාගන්න! තවමත් දෙන්නට දෙන්නා තමන්ගෙ හිත් වල දෙන්නට දෙන්නා වෙනුවෙන් තියෙන කිසිම විදියක හැගීමක් වචන කරලා බෙදාගෙන තිබුණෙ නැහැ.

"ඈත් වෙන්න හදන්න එපා නේත්‍ර.පපුව කකියනවා එතකොට"

"ආයෙ කවදාවත් නෑ සුදු අයියෙ.මම මෝඩයි කියලා දන්නවනෙ.සමාවෙන්න මට"

"මෙහෙ එන්න.මෙතන මේ අලි බබා හුරතල් වෙන්න ගත්තු නිසා මට බේත් ගාන්නත් අමතක වුණා."

නේත්‍රගෙ අතින් අල්ලගෙන ඇද උඩ ඉන්දෙව්ව ආශව නේත්‍රගෙ අල්ලෙ පිලිස්සුම් වලට ගාන ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න පටන් ගත්තා.අන්තිමේදි අර කකුල තුවාල සුදුබේබිට වුණේ නේත්‍රට සාත්තු කරන්න වුණු එක.වම් අත තුවාල වෙලා තිබ්බට මොකෝ නේත්‍ර බත් කන්න අමාරුයි කියලා කෙදිරි ගෑවෙ දකුණු අත තුවාල වෙලා වගේ.

ඉතින් හැමදාම වගේ නේත්‍රගෙ බෝල ඇස් වලට රැවටුණු ආශව නේත්‍රවත් ලං කරගෙන නේත්‍රට කෑම කව කෑමත් කාලා එහෙම්මම නින්දට වැටුණෙ නේත්‍රට අද තමන් ලග ඉන්න කියලා වද දීලා එකග කරගත්තට පස්සෙ.උදේ ඉදන්ම උනු හිත් තැවුල් නිසා තමන්ගෙ සුදුඅයියගෙ උණුහුම ගොඩක් මගෑරිලා තිබ්බ නේත්‍රත් අද ආශව ලග ඉන්න කැමති වෙද්දි නේත්‍ර ලගින් හාන්සි වුණු ආශවටත් නින්ද යාගෙන එන ගමන් තිබුණා.

චූටි කාලෙ නේත්‍රව තද කරලා බදාගෙන තුරුල් කරගෙන හාදු දිදී නිදාගත්තට මොකෝ දැන් නේත්‍ර ලග ඉද්දි ආශවගෙ හිත උනත් පුදුම විදියට නොසන්සුන් වෙලා තිබුණා.ඉස්සර ඇදේදි ආශවගෙ පපුවටම ගුලි වෙන නේත්‍ර අද ඇදේ කොනටම වෙලා ගුලි ගැහිලා නිදාගෙන ඉද්දි ආශවත් ඇදේ අනික් කොණේ හාන්සි වෙලා හිටියා.උඩුබැලි අතට පෙරලිලා හිටි ආශව නින්ද යාගෙන ආවත් ටිකක් ඉස්සිලා නේත්‍රගෙ ලගට කිට්‍ටු කලේ සෑහෙන වෙලාවක් තිස්සෙ හිතට ආව ආශාවක් ඉෂ්ට කරගන්න කියලා හිතාගෙන.

අතක් උඩින් මූණ තියාගෙන උන්නු නේත්‍රගෙ කම්මුලක් එක්ක තොල් දෙකත් ඉස්සරහට නෙරලා ඇවිත් තිබ්බ විදිය දැක්ක ආශව ලොකු කෙල තලියක් ගිලලා ඔලුවටත් පාරක් ගහගෙන තමන්ගෙ ඇසුත් පියාගෙන සන්සුන් වුණා.

හෙමීට ඇස් දෙක ඇරිය ආශව නේත්‍රගෙ තොල් දෙක දිහා නිකමටවත් නොබලා හෙමින් සීරුවෙ පිට පැත්තට තිබුණු කම්මුලක් සිනිදුවට සිපගන්න ගමන්ම නේත්‍රගෙ නලලට තොල් දෙක මාරු කලා.හෙමින් සැරේ නේත්‍රගෙ නලලට සිපුමක් තැවරුව ආශව නින්ද යාගෙන එනකංම නේත්‍ර දිහාම බලාගෙන හිටියේ නේත්‍ර ලගින් එන ගැටපිච්ච මල් සුවදත් ආඝ්‍රහණය කරන ගමන්.

"මගෙ නේත්‍ර"

ආශවගෙ දිග ඇස් දෙක පියවීගෙන නින්දට වැටෙද්දිම ආශවගෙ කටින් පුංචි මිමිණිල්ලක් පිටවුණා.

...................................................................................................

පහුවදා දවාල කිට්ටු වෙද්දි කඩේට ගිය දිවාෂගෙ අතේ මිට මෙලවිලා තිබ්බෙ ටිකිරි මාරි බිස්කට් පැකට් දෙකක්.එකක් බත් කන්න කලින් කාලා,අනික හවස තේ බොන වෙලාවට කන්න හිතාගත්තු දිවාෂ උඩ පැන පැනම තමන්ගෙ ගේ දිහාවට ඇදිලා ගියා.දවාල නිසයි ඉස්කෝල නිවාඩුව නිසයි මෙවෙලෙ පාරෙ කිසි මිනිහෙක් නොහිටි නිසා දිවාෂ තමන්ගෙ සතුට ගන්න හිතාගෙන හාවෙක් වගේ පනින්න ගත්තා.

"දවල් එකයි හවස එකයි....ඩිෂ්ටි ඩිඩිං ඩිෂ්ටි ඩිඩිං....දවල් එකයි හව........."

ඒත් එක්කම දිවාෂගෙ ඇස් ගියේ තමන්ට ටිකක් ඉස්සරහට වෙන්න ඇවිදන් යන මනුස්ස රූපයක් දිහාවට.පිටිපස්සට දැකලා හුරු බවක් නොතිබ්බත් එක පාරටම පිටිපස්ස හැරිලා බලලා ආපහු පාරක් ඉස්සරහ බලාගත්තු ඒ රූපේ හැඩහුරුකම අදුනගත්තු දිවාෂගෙ ඇස් දෙක ලොකුවෙලා කටත් බාගෙට ඇරුණා.

"දෙයියනේ! ඊයෙ වුණු අවුලෙන් පස්සෙ දෙවින් අයියගෙ මොලේවත් අප්සට් ගිහින්ද? අර අමුතු විදියට කොන්ඩෙත් කපාන අමුක ඩුමුක නටන්න වගේ ඇදුමක් ඇදන් යන්නෙ?"

පුදුමෙනුත් පුදුමෙට පත් වුණු දිවාෂ තමන්ගෙ කකුල් දෙක ඉක්මන් කරල ඉස්සර වෙලා යන රූපෙ පස්සෙ පන්නන්න ගත්තෙ මහ හයියෙන් කෑගහන ගමන්.හැම තමන්ගෙ අතේ තිබ්බ බිස්කට් පැකට් දෙක දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නත් දිවාෂ අමතක කලේ නෑ.

"දෙවින් පණආආආආආආආ...........ඕම ඉන්ඩෝඕඕඕඕඕඕඕඕඕඔ"

දිවාෂ මහ හයියෙන් කෑ ගැහුවත් ඉස්සරහින් යන මනුස්සයා නිකමටවත් පිටිපස්ස හැරිලා නොබැලුව එකෙන් වුණේ දිවාෂගෙ යකා ඇවිස්සුණු එක.මොකද දිවාෂව ගණන් නොගෙන ඉන්න කිසිම මනුස්සයෙක්ට හයියක් තියෙන්න විදියක් නෑ.එහෙම නේද?

"යකෝ මුගෙ ආච්චිට! මොන යකෙක් වැහිලද? යකෝ දිවාෂව ගණන් නොගෙන ඉන්න තරම්?"

හෙමීට ඇවිදින ගමන් හිටි ඒ මනුස්සයව අල්ලගන්න හයියෙන් දුවං ගිය දිවාෂට අමාරු වුණේ නෑ.තමන්ගෙ ඉස්සරහින් ඇවිදන් යන මනුස්සයගෙ ඇගට පැන්න දිවාෂ මහ පාර කියලා නොබලා එහෙම්මම ගහගෙන ගහගෙන යන්න ගත්තෙ හිතේ තිබ්බ කේන්තිය නිසාමයි.

"උබට කොහෙන් ආව හයියක්ද දෙවින් පුකෝ මාව ඇහුනෙ නෑ වගේ යන්න?"

"Excuse me!!!!"

"අනේ උබර්ගෙ එක්ස්කියුස් එක ගහගනිම් පුකේ.යකෝ මම අච්චර කතා කරද්දිනුත්....."

"ආර්හ්හ්හ්ජ්හ්"

"මොකෝ ගොරවන්නෙ උබ අයියෙ? බලපිය මොන යකෙක් ගහලද කියල! කොන්ඩෙත් අමුතුවට කපාන,ඇදුමෙ හැටි බලපංකො"

"Please මේ අහන්න"

"අහන්නෙ ලබ්බද? යකො අවුලක් උනා කියලා ඔහොම ගොං විදියට හැසිරෙන්න එපා.යමන්කො.යන ගමන් කතා කරමු"

"ආර්හ්හ්හ්හ් ඉවරද ඔයාගෙ කියවිල්ල?"

"දෙවින් අයියෙ! තමුසෙ මොකෝ මේ අමුතුවට කතා කරන්නෙ?"

"කෑගහන්න එපා.මගෙ කන කීං කීං ගානවා"

"මොන!!!"

"ඔයාට වැරදීමක් වෙලා මම හිතන්නෙ.මම ඔයාව දන්නෙවත් නෑ"

"මොකද්ද ඒ කියන්නෙ?"

"ඔව්.ඔයා හිතන දේ හරි.මම තෙවින්.දෙවින්ගෙ මල්ලි.ඔයා අපි දෙන්නව පටලගන්න ඇත්තෙ"

"ආහ්හ්හ් ඔව් එහෙනම්.Sorry ඇත්තටම"

"ආහ්හ්හ් ඕක මොකද්ද? ඔයා වගේ ලස්සන කොල්ලෙක්ගෙන් ගුටි කෑවත් පාඩු නෑ"

කට කොණක හිනාවකුත් එක්ක තමන් දිහා බලාගෙන දොඩවන තෙවින් දිහා බලාන උන්නු දිවාෂගෙ කට ඇද වෙලා ගිහින් තිබ්බා.හොද හැදියාවක් තිබුණු දෙවින්ට වඩා කොළබ පන්නෙට හැදුනු තෙවින් නම් සෑහෙන්නම වෙනස් කියලා දිවාෂට පලවෙනි හමුවීමෙන්ම තේරුනා.

"සිංහවංශ වලව්ව තියෙන තැන දන්නවද?"

"නෑ.මම මේ පාර අහගන්න කෙනෙක් හොය හොය ආවෙ.අයියවත් දන්නෑ මම එනවා කියලා අද"

"ඕහ්හ්හ් එහෙමද?"

"It's a surprise bae"

"පයිත්තියන්ද?"

"ආහ්හ්හ්?"

"අමු කැවිලා වගේ නේහ්?"

"මොකද්ද?"

තෙවින්ගෙ භාෂාව හැසිරීම ගැන අතෘප්තිමත් වුණු දිවාෂ කුටු කුටු ගාලා කියවන එක නොතේරුණු තෙවින් දිවාෂගෙන් අහද්දි දිවාෂ තෙවින් දිහා බලලා දත් වහල්ලම එලියට දාලා හිනා වුණා.දිවාෂ කියන්නෙ මොන වගේ දරුණු මිනිහෙක්ද කියලා නොදැන හිටි තෙවින් දිවාෂ එක්ක ආපිට හිනා වෙද්දි දිවාෂ තෙවින් ලගට ටිකක් කිට්ටු වුණා.

"මහ ලොකු දුරක් නෑ වලව්වට"

"ආහ්හ්හ්.....තෑන්ක් යූ සෝ මච් බ්‍රෝ! කොහොමද යන්න ඕනි?"

"ඔතන ඉස්සරහින් තියෙන වංගුවෙන් දකුණට හැරෙන්න.ටිකක් කැලෑව වගේ තිබ්බට බය වෙන්න එපා.වලව්වට යන පාර හුගක් කාලෙකින් එලි කරලා නෑ.පොඩි අඩිපාරක් තියෙන්නෙ"

"ඕහ්හ්හ් රියලි? ඕකේ ඕකේ.තැන්ක්‍යූ බොක්ක.එහෙනම් මම යනවා.....පොඩ්ඩක් ඉන්න.මෙච්චර මට හෙල්ප් කරපු ඔයාගෙ නම මට කිව්වෙ නෑනෙ."

"මම යුගාන්! මට සීනිබෝල ගන්න අමතක වුණා.මම ආයෙ කඩේ යනවා.ඔයා එහෙනම් කෙලින්ම වලව්වට යන්නකො බායි"

දත් තිස් දෙකම එලියට දාලා හැමෝවම වශී කරගන්න හිනාව තෙවින්ටත් පූජා කරපු දිවාෂ තමන්ගෙ හීනි වුණු ඇස් දෙකත් එහෙමම තියාගෙන ආපහු පාරක් කඩේ පැත්තට හැරිලා දිව්වා.තමන්ගෙ නම දිවාෂ කියන්නෙ නැතුව අනික් නම් කෑල්ල වුණු යුගාන් කෑල්ල දිවාෂ තෙවින්ට කියන්න හේතුව වුණේ තමන් දැන් කරපු කුපාඩි වැඩේ එලි වුණාම යුගාන් කිව්ව ගමන් කිසි කෙනෙක්ට එකපාරටම තමන්ව මතක් වෙන්නෙ නෑ කියලා දැනන් හිටි නිසා.

දිවාෂ දුවගෙන ගිය දිහා ලා හිනාවක් එක්ක බලාගෙන උන්නු තෙවින් දිවාෂ කිව්ව පාරෙ යන්න ගත්තෙ වලව්වට ඉක්මනින් යන්න ඕනි කියලා හිතාගෙන.ඒත් තෙවින් දැනන් උන්නෙ නෑ ඒ පාර වැටිලා තියෙන්නෙ වලව්වට නෙවෙයි කනත්තට කියන එක!

...................................................................................................

හායිම්🙈❤️

Words 3485😌❤️

පරක්කු වුනු හින්දා ටිකක් වැඩිපුර දුන්නා❤️

මේ කොටසෙ ඉදන් ඉදිරියට

(Think this Ashawa with this Nethra🥺❤️)

මම මේ කතාවට හුගක් ආසා නිසායි කතාව අසාර්ථක වෙනවට අකමැති නිසයි තමා හැමදාම ඔයාලගෙන් අඩුපාඩු තිබ්බොත් කියන්න කියලා ඉල්ලන්නෙ,හරියට ලියවුන්‍රෙ නෑ කියලා හිතුනොත් ඔයාලට ඒක කියන්නෙ❤️

එහෙම නැතුව මට අවධානෙ ගන්න ඕනි වෙලා නෙවේ බබාලා❤️

කිව්ව කෙනාව මම දන්නෑ.....ඒකට සෑහෙන්න අවුල් ගියා මට💔

අනික,

"ඔයා හිතන තරම් ඔයා දක්ෂ නෑ"

කිව්ව එකට මම චුට්ටක්වත් තරහත් නෑ,දුක හිතුනෙත් නෑ❤️ කිව්ව කෙනාව මම නොදන්න නිසයි මෙතනදි උත්තරයක් දෙන්නෙ හොදද,

"දවසක ඔයා මට හොදක් කියන තරමට මම දක්ෂ වෙන්න බලන්නම්❤️"

සමහර දේවල් නිසා හිත ටිකක් රිදිලා උන්නෙ කැමීලියාගෙ❤️ සීක්‍රට් මැසේජ් ලින්ක් එක දාලා තියෙන්නෙ.කැමති ඕනිම දෙයක් කියලා හිත නිදහස් කරගන්න ඔයාලට පුළුවන් බබාලා❤️

අද කොටස හොද ඇති කියලා හිතනවා❤️

කැමතිනම් අදහසක් කියාගෙන යන්න වෙනදා වගේම❤️මට ආදරේ අයට මම ආදරෙයි හුගාක්❤️

එහෙනම් මම ගිහින් එන්නම්

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter