Back
Chapter 27

26 කොටස🤍✨

නිවාලන්න මා...

"ආර්හ්හ්හ්......අර කුපාඩියව අහු වුනොත් නම් මම!!!!"

"කේන්ති අරගන්න එපා මල්ලි.විහිළුවක්නේ කරන්න ඇත්තේ"

"හොඳ විහිළු තමා.බලපං අයියේ මගෙ අත් දෙක! ගන්න දෙයක් නෑ.මොක්කුද මන්දා අර පොඩි සත්තු ජාතිය කාලා මාව"

"හෝහට්ටො බං ඒ.පොල්තෙල් ටිකක් ගෑවා ම ඇරිල යයි ඕක"

"මටනම් මාරයා ආවේස වුණා.මගුල! ඇයි යකෝ කොල අතුත් පටලගෙන,අර කැලෑ කෑල්ල පහු උනාට පස්සෙ කනත්තක් මැද්දට වැටෙද්දි? අනික වැද්දෙක් වගේ මම! කොල කෑලියි අතු කෑලියි ඇග වටේ පටලගෙන.අර කනත්තෙ උන්නු අන්කලුත් මම දිහා අමුතුවට බැලුවා!"

"ඕකා එහෙම තමා.කලොත් කරන්නෙ කුපාඩි වැඩ තමා.ඒ එයාගෙ හැටි"

"කනත්තට හරි කමක් නෑ යන්න හරි පාරක් කියපංකො.බලද්දි මාව යවලා තියෙන්නෙ කැලැ පාරකින්නෙ"

දිවාෂගෙ පරිප්පුව කාල කැලෑ පාරකින් කනත්තට ගිය තෙවින් ගමේ කනත්තේ සොහොන් පල්ලා එක්කම සිංහවංශ වලව්වට ආවේ හිතින් යුගාන් කියන ඇට්ටර පැටියට දෙස් දෙවොල් තියෙන ගමන්.දිවාෂ තෙවින්ව කැලෑ පාරකින් කනත්තට යැව්වට මොකෝ සොහොන් පල්ලා නම් පිරිසිදු කරපු හරි පාර දිගේ තෙවින්ව සිංහවංශ වලව්වට කැන්දගෙන ආවා.

ආව ගමන් නාල කරලා ෂෝට් එකකටයි ටී ෂර්ට් එකකටයි මාරු වුනු තෙවින් වලව් සාලෙ තිබුණු නවීන පන්නයේ සෝෆාව උඩ ඉඳගෙන දිවාෂගෙ පළු අරිද්දි දෙවින් තෙවින්ව සන්සුන් කලා.නිකරුනේ මනුස්සයෙක්ට දිවාෂ ඔය වගේ කැත වැඩ කරන්නේ නෑ කියලත්,ඔහොම වැඩක් කරන මට්ටමට දිවාෂ පත්වෙන්න නම් තෙවින්ගෙ අතින් මොකක්ම හරි වරදක් දිවාෂට වෙන්න ඇති කියලත් දෙවින් අනුමාන කළා.අන්තිමේදි වලව්වේ සේවකයෙක් ඇවිත් දුන්නු පිරිසිදු පොල්තෙල් හොඳට තෙවින්ගෙ අත් පා වල ඇතිල්ලුව දෙවින් තමන්ගේ අප්පච්චිගේ රාජකාරි කුටියට තෙවින්ව එක්කගෙන ගියේ සේවකයෙක් ඇවිත් කිව්ව පණිවිඩේ නිසා.

"දැන් එතකොට ඒකයි තෙවින්ගෙ තීරනේ?"

"of course අප්පච්චි"

විනාඩි 15ක විතර සංවාදෙකින් පස්සේ සිංහවංශ මහත්තයා තමන්ගෙ මේසෙ ඉදිරියේ තිබුණු පුටුවක ඉඳගෙන කිසිම ගරු සරුවක් නැතිව හිටිය තෙවින්ගෙන් ඇහුවේ ඒ ළඟම පුටුවෙ පිළිවෙලකට ඉඳන් උන්නු දෙවින් දිහාත් බලන ගමන්.තෙවින්ගෙ උත්තරෙත් එක්කම සිංහවංශ මහත්තයට කේන්ති ගියත් ඒක මැඩ පවත්වාගත්ත සිංහවංශ ආයෙ පාරක් සන්සුන් ව කතා කරන්න තීරණය කලා.

"එහෙම කියල බෑනේ පුතා ඒ ලෙවල් කරලම Degree එක කළොත් ලැබෙන පිළිගැනීම වැඩියි"

"එහෙම මළ විකාරයක් නෑ අප්පච්චි.Degree එක කලාම ආයෙ ඒ ලෙවල් කරන්නෙ මොන මගුලකටද?"

"තෙවින්! ඉස්සෙල්ලාම හරියට කතා කරන්න ඉගෙන ගන්නවා!"

"Ok Ok sorry.....but මගේ decision එක වෙනස් වෙන්නේ නැහැ!"

"මේ ගෙදර වැඩ වෙන්න ඕනේ මට ඕනේ විදිහට තෙවින්! කොළඹ නැටුව නැටුම් මෙහෙ නටන්න හදන්න එපා!"

"ඔයාට වැරදුණා අප්පච්චි.....මම මියුසික් කළේ! නැතුව dancing නෙවෙයි......"

"තෙවින්, කියන දේ අහනවා!"

"අප්පච්චි කියන හැමදේම අහන්න මම දැන් තොත්ත බබෙක් නෙමෙයිනේ අප්පච්චි? අවුරුද්දක්ම ඒ ලෙවල් වලට ඉගෙන ගත්තා.ඒත් මට ඊට වඩා Degree එක කරන එක හොඳයි කියලා හිතුනා.So,මට ආයෙ School යන්න නම් බැහැ"

"මම අයියලගෙ ඉස්කෝලෙටම තමුන්ව දාන්නම් කොහොමහරි.ඒක හොඳම ඉස්කො........"

"I know අප්පච්චි,I know.කොළඹින් රෝයල් එක වගේ තමා නුවරින් අයියලාගේ school එක කියන එක මම දන්නවා. ලංකාවෙන්මත් හොඳම boy schoosl වලින් මුල් හරියෙම ඒක තියෙන බවත් මම දන්නවා.ඒත් අප්පච්චි සොරි,මං කැමැති නෑ ආයෙ school යන්න"

"අප්පච්චි මල්ලි ඉගෙන ගන්න එක අතාරිනවා නෙවෙයිනේ.degree එකක්නෙ කරන්න යන්නේ.ඒ නිසා.........."

"හ්ම්ම් හ්ම්ම්ම්.....මම හිතන්නම්.ඒත් මම නම් කැමතියි තෙවින් ඒ ලෙවල්ස් කරලම Degree එක පටන් ගත්තා නම්"

"Sorry අප්පච්චි.ඒත් මම ගත්තු තීරණයක් වෙනස් කරන්නේ නෑ මොනම හේතුවක් නිසාවත්!"

සිංහවංශ මහත්තයා පිටවෙන්න අවසර දෙන්නත් කලින් පුටුව පස්සට දාලා නැගිටලා කාමරෙන් එලියට ගියෙ තෙවින් දිහා බැලුව සිංහවංශ මහත්තයා ලොකු හුස්මක් පහලට දැම්මා.සිංහවංශ මහත්තයා ඔලුව වනල සන් කළාට පස්සේ එලියට ගිය දෙවින්ගෙයි තෙවින්ගෙයි වෙනස ගැන සිංහවංශ මහත්තයා හුඟාක් හිතුවා. රූපයෙන් කොච්චර සමාන වුනත් හැදෙන වැඩෙන පරිසරය එක්ක නිවුන්නු දෙන්නෙක් වුණත් කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලා සිංහවංශ මහත්තයා කල්පනා කළා.

කොළඹ ඉන්නතාක් තෙවින් හැදිලා තියෙන්නේ නිරාෂාගේ අධීක්ෂණයක් යටතේ නෙවෙයි තෙවින්ගෙ හිතුමතේට කියන එක තෙවින්ගෙ පළවෙනි හමුවීමෙන්ම සිංහවංශ මහත්තයා තේරුම් ගත්තා.දැන් තෙවින් ඉන්නෙ ගහලා බැනලා හදාගන්න පුළුවන් වයසක නෙවෙයි කියන එකත්,තෙවින්ගෙ හැසිරීමෙ විදිහට එහෙම ගහන්න බනින්න ගියොත් දරුණු තත්වයක් ඇතිවෙන්න පුලුවන් කියන එකත් සිංහවංශ මහත්තයා හිතුවෙ ලොකු හුස්මක් පහලට දාන ගමන්.

"ගමනක් යන්ද?"

"කොහෙද?"

"ආශවලව හම්බ වෙන්න.තෙවින් අවුරුදු ගාණකින් ආශව එක්ක කතා කළේවත් නැහැ නේ?"

"ආශවලගෙ ගෙදරද යන්නේ?"

"නෑ අපි යාලුවො ටික හම්බ වෙන තැනක් තියෙනවා.හවස තුනට හතරට විතර කට්ටිය පුලු පුලුවන් වෙලාවට එකතුවෙන එතැනට"

"අර බෝයිත් එනවද?"

"කවුද?"

"යුගාන්?"

"ආහ් දිවාෂ මල්ලු.ඔව් ඔව්.එයි"

"එහෙනම් යං"

"ආව් ආව්.....මොකෝ මොකෝ කොල්ලගෙ හිතවත් ගැස්සුනාද?"

"හිත නෙවෙයි.සරුවාංගෙම ගැස්සුනා ඒකා කරපු වැඩේට!"

තමන්ගෙ අප්පච්චි එක්ක ඇති වුණු සංවාදෙ එච්චර සුහද එකක් නොවුණු නිසා තෙවින්ගෙ හිත හැදෙන්නත් එක්කම  තෙවින් එක්ක ඇවිදින්න යන්න දෙවින් තීරණය කලා.මොකද තෙවින් ඉන්නෙ හිත ඇතුලෙ ලොකු පීඩනේකින් කියන එක දෙවින් දැනගෙන උන්නා.තව දවස් තුනකින් තමන්ගෙ අම්මා වුණු නිරාශා මේ රටින් පිට වෙන බවත්,තෙවින් නුවර ආවෙ ඒ හේතුව නිසා බවත් දෙවින් දැනගෙන හිටියා.

තෙවින් කොච්චර ලොකු ඉලන්දාරියෙක් වුණත් තමන්ගෙ දරුවව ඒ ගෙන්දගම් පොලවෙ ඕපපාතිකයෙක් වගේ අතෑරලා දාන්න සිංහවංශ මහත්තයා අකමැති වුණා.ඒ නිසාමයි තෙවින්ව නුවරට ගෙන්න ගත්තෙ.මේ මොහොතෙ ඉදන් දිග කාලයක් තෙවින් ජීවත් වෙන්න යන්නෙ නුවර නිසායි මේ ගම්මානෙ නිසයි තෙවින්ව මෙ පරිසරයට හුරු කරන්න හිතුව දෙවින් දවල්ට කාලා බීලා තෙවින් එක්කම පිටත් වුණේ ඉරුගල්බණ්ඩාර වලව්ව පැත්තට.

"ඔයා ඔතන අඩිපාර දිගේ පහලට යන්න මල්ලි.දිවාෂ ඇවිත් කියලා මැසේජ් එකක් දාලා මට"

දෙවින් තෙවින්ට යන්න ඕනි හරි පාර පෙන්නලා ඉරුගල්බණ්ඩාර වලව්ව ඇතුලට යද්දි තෙවින් අඩිපාර දිගේ පහලට බැස්සා.කොළඹ කොන්ක්‍රීට් වනාන්තර අස්සෙ හැදිලා වැඩුනු තෙවින්ට මේ ගම්මානෙ දකින හැමදෙයක්ම හරි ලස්සන විදියට පෙනුනා.නගරෙ බලන බලන හැමතැනම තියෙන අහස උසට නැගුණු ගොඩනැගිලි වලට වඩා මේ ගම්මානෙ පුරාම ඉදිවෙලා තියෙන පුංචි ගෙවල් කොච්චර නම් ලස්සනයි ද කියලා තෙවින්ට හිතෙන්න ගත්තා.

දූවිලි මිශ්‍ර වුණු වාතය උදේ හවා ආශ්වාස ප්‍රාශ්වාස කරන තෙවින් ගම්මානෙ පුරා පැතිරිලා යන නැවුම් වාතයෙන් පපුව පුරවගත්තා."හැමතැනම ලස්සනයි.හැමතැනම සුවදයි" ගම්මානෙට පය ගහපු වෙලේ ඉදලා තෙවින්ට හැම වෙලේම හිතුනෙ ඒක.

"ආහ්හ්හ්හ් මේ ඉන්නෙ පොඩි ඇට්ටරයා"

හුරුපුරුදු ලාවුළු ගහ පාමුල ඉදගෙන වේලිච්ච කෝට්ටකින් බිම පහුරු ගගා උන්නු දිවාෂ තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණු සද්දෙට ඔලුව හරවලා බලලා තෙවින්ව දූවිල්ලකටවත් ගණන් නොගන්න විදියට ආපහු පාරක් ඉස්සරහා බලා ගත්තා.වැරැද්දකුත් කරලා හරියට මුකුත් නොකලා වගේ හැසිරෙන දිවාෂට දෙකක් අනින්න හිතුනත් තෙවින් ඒ ආසාව මැඩ පවත්තගත්තෙ තමන් එහෙම කලොත් දිවාෂ මුකුත් නොකර ඉන්නෙ නෑ කියලා දැනටම තේරුම් අරගෙන හිටිය නිසා.

"කෝ අනික් යාලුවො?"

කෝට්ටෙන් එක දිගටම බිම පහුරු ගාන දිවාෂගෙන් තෙවින් අහද්දි තෙවින් දිහා බලලා දත් වහල්ලම එලියට දැම්ම දිවාෂ තමන්ට එහා පැත්තෙ බිමට අතින් තට්ටු කලේ තෙවින්ට ඉදගන්න කියලා සන් කරන ගමන්.මේ පාරත් ඔය දත් වහල්ලම එලියට දාගෙන විරිත්තන්නෙ මොන ගිනි ගෙඩියක් පත්තු කරන්නද දන්නෑ කියලා සැක හිතුව තෙවින් හොදට එතන බිම බැලුවෙ කඩි ගුලක්වත් ඒ හරියෙ තියෙනවද කියලා හිතුනු නිසා.ඒත් ඒ මුකුත් නැති තැන තෙවිනුත් තණ බිස්ස උඩින් ඉදගද්දි දිවාෂ කතා කලා.

"එයාලා එයි"

"එයාලා කිව්වෙ?"

"යාලුවො දෙන්නෙක් ඉන්නවා.ආශව අයියයි,නේත්‍රයි"

"ආ.....නේත්‍ර කිව්වෙ කවුද?"

"මගෙ යාලුවා"

"ආහ්හ්හ්හ් ඔයාට යාලුවොත් ඉන්නවද?"

"ඇයි නෑ වගේත පේන්නෙ තවුසෙට?"

අතේ තිබ්බ කෝට්ටත් උරුක් කරගෙන තෙවින්ගෙන් දිවාෂ අහද්දිනම් තෙවින් නොසෑහෙන්න බය වුණා.කියන්න බෑනෙ.කෝට්ටෙන් ඇහැකටවත් ඇන්නොත් එහෙම.

"කෑගහන්න එපා යුගාන්.මගෙ කන කීං කීං ගානවා"

"යැයි යැයි චමා.ගෝතයා!"

ඒත් එක්කම දිවාෂගෙයි තෙවින්ගෙයි කෝලාහලේ දිග දුර ඇදගෙන යන්න බැරි වුනේ ලග ලගම ඇහුණු ආශවගෙ සද්දෙ නිසා.ආශවගෙ සද්දෙ ඇහෙනවත් එක්කම ඉදගෙන හිටිය තැනින් නැගිට්ට තෙවින් ආශව එන පෙරමගට ගියේ තමන්ගෙ අත් දෙකත් විහිදුවගෙන.

"After a long time මචන්"

"Yaahhhh bro.තමුසෙ දැන් සෑහෙන්නම ලොකුයිනෙ"

තෙවින් ආශව දෙන්නා විනාඩි ගාණක් එක දිගට වැලදගෙන හිටියෙ අවුරුදු ගාණක තිබුනු දුරස්බව නැති වුණු සතුටට.ඒත් ඒ වැලද ගැනීම නිසා එතන හිටපු කොට මනුස්සයෙක්ගෙ කට ඇදිලා ගිහින් තිබුණා.

"Ewww......එතකොට ආසවයා දෙවින් එක්ක විතරක් නෙවෙයිද පෙම් කෙලින්නෙ?....ආව් ගහන්නෙ මොකද යකෝ! රිදෙනවත උබර්ගෙ නල්ලමලේ සුදු අයියට මොනා හරි කියද්දි"

දිවාෂ කියන දේ ඇහෙද්දිම දිවාෂගෙ ඔලුවට ටොක්කක් ඇන්න නේත්‍ර දිවාෂ ලගින්ම ඉදගද්දි දිවාෂ ඔක්කොම දමලා නේත්‍රට කෑගැහුවා.ටිකකින් කරවල් වලට අත් දාගෙනම කට්ටිය ලගට ඇවිදන් ආව තෙවින් ආශව දෙන්නත් ලාවුළු ගහේ හෙවණෙන් ඉදගනිද්දි තෙවින් බැලුවෙ නේත්‍ර දිහා.මොකද මෙතන නන්නාදුනන මනුස්සයෙක්ට හිටියෙ නේත්‍ර විතරයි.

"එතකොට මේ?"

"එයා තමා නේත්‍ර.මම කිව්වෙ කලින් තවුසෙට"

"ආහ්හ්හ්....හායි නේත්‍ර"

"හායි අයියෙ"

නේත්‍රට හිනා වෙලා කතා කල තෙවින් නේත්‍රගෙ සුහදශීලී පිලිතුරත් එක්කම ආපිට හිනාවෙලා කට්ටිය එක්ක කතාවට වැටෙද්දි නේත්‍රනම් හිටියෙ ආශවගෙ කකුල හෙමීට අත ගාන ගමන්.තුවාලෙන් ඒ තරම් වේදනාවක් නාවත් නේත්‍රගෙන් අවධානෙ ගන්න ඕනිකමට ආශව කකුල බිම තිබ්බොත් හෙන වැදුනා වගේ රංගනයක් පවත්වගෙන යන ගමන් හිටියා.ආශවගෙ කපටිකම් වලට රැවටුණු නේත්‍ර හෙමීට හෙමීට ඒ කකුල පිරිමදිමුන් උන්නු එක දෙවින්ටවත් දිවාෂටවත් ගාණක් නොවුනෙ පොඩි කාලෙ ඉදන්ම ආශව නේත්‍ර දෙන්නගෙ හුටපට ඕනිතරම් දැක බලාන තියෙන නිසා.

"කකුල හොද වෙයිද ආශවයා සදුදා වෙද්දි?"

"අවුලක් නැති වෙයි බං.අනික ඔඩියක්නෙ ගහන්න තියෙන්නෙ.මට අවුලක් වෙන එකක් නෑ"

"කොහෙ එක්කද දෙවින් පණ මැච් එක තියෙන්නෙ ඔයාලට?"

"නාලන්දෙ එක්ක දිවාෂ මල්ලි.ගේමක් ගහගන්න පුළුවන් වෙයි.ටෙස්ට් එකක් වගේ උනානම් තමා මුගෙ කකුල ලෙෆ්ට් වෙන්නෙ"

"කකුලට මොකෝ උනේ ආශව?"

"මේ වීදුරු කට්ටකට කැපුණා තෙවින්.දැන්නම් අඩුයි"

ඔය විදියට පටන් ගත්තු සංවාදෙ හවස් යාමෙදි පැතිරෙන කජු පුසුඹ නාහෙට දැනෙනනකංම ඇදිලා යද්දි තෙවිනුත් අවුරුදු ගාණක ආගිය විස්තර තමන්ට හුරු පුරුදු යාලුවො දෙන්නා සහ අලුත් යාලුවො දෙන්නා අතරෙ බෙදාගත්තා.ඒ අතරතුරේදි තමන්ගෙ මල්ලිගෙ ඇස් හැම නිතරම එතන තිබුණු එක රූපයක් දිහාවට ඇදෙනවා දැක්ක දෙවින්ගෙ හිතට අමුත්තක් දැනුනත් ඒ ගැන වැඩියෙ නොහිතා ඉන්න හැදුවෙ ඒක තමන්ගෙ හිතට දැනෙන හිතලුවක් විතරයි කියලා හිතුනු නිසා.

"එතකොට මේ දෙන්නා යන්නෙත් ඔයාලගෙ ඉස්කෝලෙටමද?"

"ඔව් තෙවින්"

"යුගාන් යන්නෙත්?"

"ඔව් ඔව්.මම යන්නෙත් ඒකට තමා.ඇයි? අයින් කරන්නත ඉස්කෝලෙන් මාව?"

මොකක්ම හරි හේතුවකට තෙවින්ව දැක්ක වෙලේ ඉදලා හිතට දැනෙන නුරුස්සන ගතිය නිසා කොයි වෙලෙත් තෙවින් එක්ක ඇරගන්න ගිය දිවාෂ මෙවෙලෙත් හරහටම කතා කරද්දි දිවාෂ දිහාම බලන් උන්නු තෙවින් කට කොනකට හිනා වෙලා දිවාෂගෙ කොණ්ඩෙ ඇව්ස්සුවා.ඒකටත් තද වුණු දිවාෂ අතේ තිබ්බ හීනි කෝට්ටෙන් තදේටම තෙවින්ගෙ කකුලට පාරක් ගහද්දි තෙවින් කකුලත් අල්ලගෙන කෑගැහුවා.

අන්තිමේදි නොදැනිම ගොම්මන් කලුවරත් වැටීගෙන එද්දි හරි සිහියට ආව ගැටව් හතර දෙනා ගෙවල් වලට යන්න පිටත් වෙද්දි ආශවත් නේත්‍රලාගෙ ගේ ලගින් නැවතුනේ නේත්‍ර එක්ක බුදු පහන තියලම වලව්වට යනවා කියලා කියන ගමන්.තෙවින් දිවාෂ දෙන්නා එක්ක අඩිපාර දිගේ උඩට ඇදුනු දෙවින් ඒ දෙන්නව පහු කරගෙන ටිකක් ඉස්සරහට ගියේ තමන්ට ආව දුරකථන ඇමතුමක් නිසා.

"ඈ ඕයි අහනවකො.තවුසෙත් දෙවින් අයියා වගේ කොණ්ඩෙ කැපුවොත් එහෙම දෙන්නාව වෙන් කරලා අදුනගන්න බෑනෙ කාටවත්? ඒ තරමට තවුසෙලා දෙන්නා එක වගේනෙ?"

"අපි දෙන්නා සර්වසම නිවුන්නු යුගාන්.ඒකයි ඒ"

"ආආආ.....ඉතින් මාර සීන් එකනෙ වෙන්නෙ එතකොට"

"නෑ අපි දෙන්නගෙ වෙනස්කම් තියේ"

"ඒ මොනාද?"

"මගෙ උපන් ලපේ තියෙන්නෙ වම් තට්ටමේ.....එතකොට අයියගෙ උපන් ලපේ තියෙන්නෙ දකුණු තට්ටමේ"

"මොන......."

"මොන නෙවේ යුගාන්.ලේසිම ක්‍රමේ තමා හොයාගන්න..........

අරූගෙ එක පොඩියි.මගෙ එක ලොකුයි"

දිවාෂගෙ කනට කිට්ටු වෙලා මිමිණුව තෙවින්ගෙ කටින් ඒ වචන ටික පිටවෙනවත් එක්කම තමන්ගෙ සද්ද කට ඇරගත්තු දිවාෂ මල යටිගිරියෙන් කෑ ගහන ගමන් තෙවින්ගෙ සායම යවන්න ගත්තෙ කෝල් එකක හිටිය දෙවිනුත් ගැස්සිලා පිටිපස්ස බලද්දි.

"කෑගහන්න එපා යුගාන්.මගෙ කන කීං කීං ගානවා"

.

.

.

.

.

"ඇයි අයියෙ යුගාන් හැමතිස්සෙම කෑ ගහන්නෙ?"

"ඒ ඒකගෙ හැටි මල්ලි.හැබැයි හරි හොදයි"

"හ්ම්ම් මටත් ඒක තේරුණා."

දෙවින් එක්ක කියව කියවම සිංහවංශ වලව්වට ඇතුළ් වුණු තෙවින් දෙවින්ටවත් නොකියා කෙලින්ම ගියේ තමන්ගෙ අප්පච්චිව හම්බවෙන්න.දොරට තට්ටු කරලා කාමරේ ඇතුලට ගිය තෙවින් ආව කාරණේ කෙලින්ම සිංහවංශ මහත්තයට කියද්දි සිංහවංශ මහත්තයාගෙ ඇස් දෙක උඩ ගියේ හිතේ ඇති වුණු පුදුමෙටමයි.

"අප්පච්චි අයියලාගෙ ඉස්කෝලෙ පොඩ්ඩක් බලන්න මට.මම කැමතියි ALs කරලම degree එක පටන් ගන්න"

...................................................................................................

"අනේ වෙලාවට කලාවට කන්න සුදුඅයියෙ හොදද?"

"හරි නේත්‍ර"

"තුවාල එහෙම කරගන්න එපා සුදුඅයියෙ.පරිස්සම් වෙන්න"

"හරි නේත්‍ර"

"වෙන ලමයි මක්කා කිව්වත් සුදුඅයියා රණ්ඩු වලට පැටලෙන්න යන්නත් එපා"

"හරි නේත්‍ර"

"ඇහුණෙ නෑ වගේ ඉන්නවා නේද සුදු අයියෙ?"

"හරි නේත්‍ර"

"සුදුඅයියෙ.........."

"කලබල ඇයි නේත්‍ර මේ ම්ම්ම්ම්? දවස් තුනක් විතරනෙ මම පිට ඉන්නෙ.කරදරයක් කරගන්නෑ මම"

"මම දන්නවා සුදු අයියාට කරදරයක් වෙන්නෑ කියල"

"ඉතින් ඒකනෙ"

"මට......මට........."

"මොකද්ද නේත්‍ර?"

"සුදු අයියා නැතිව පාළු හිතෙයි මට"

"මටත් නේත්‍ර.....හුගක් පාළු හිතෙයි"

"මට කෝල් කරන්න හොදද?"

"හරි සුදු අයියෙ"

"හ්ම්ම්ම්ම්.........."

"සුදු අයියා මගෙ කමිසයක් ඉල්ලගත්තෙ ඇයි?"

"ඇයි සුදු අයියට දෙන්න බැරිද?"

"අනේ එහෙම එකක් නෑ සුදු අයියෙ........"

"නේත්‍ර"

"ම්ම්ම්ම්ම්"

"පරිස්සමෙන් ඉන්න මම එනකං.දිවාෂ එක්ක විතරක් යන තැනක යන්න.නිර්මලා එක්ක වලව්වෙම ඉන්න.තනියම ගෙදර ඉන්න එපා කොයි වෙලාවකවත් තේරුනාද?"

"ඔව් සුදු අයියෙ"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව කියද්දි නේත්‍ර තමන්ගෙ ඔලුව වන වන ඔක්කොම පිලිගත්තා.නේත්‍රගෙ උදව්වෙන් ඇදුම් පැලදුම් දාලා ගමන් මල්ල හදාගත්තු ආශව අද රෑ නේත්‍රට තමන් ලග නවතින්න කියලත් කිව්වෙ තව දවස් දෙක තුනක් යනකං නේත්‍රගෙ හුස්මක්වත් වදින්න තමන්ට අවස්ථාවක් නැති නිසා.

ඕ ලෙවල් කාලෙදි වුණු ප්‍රශ්නෙන් පස්සෙ ආශව නේත්‍ර උසස්පෙල කරන්න ආව මුල්ම අවධියෙදිම තමන් පාවිච්චි කරමින් හිටි ජංගම දුරකථනෙ නේත්‍රට දුන්නෙ නේත්‍ර අලුත් දුරකතනයක් ප්‍රතික්ෂේප කල නිසා.එදා නේත්‍රගෙ අතේ දුරකතනයක් තිබුණානම් ඒ වගේ කරදරයක් වෙන්නෙ නෑ කියලා තේරුම් ගෙන හිටි ආශව නේත්‍රට බලෙන්ම තමන්ගෙ දුරකථනය දුන්නෙ තර්ජනය කරන ගමන්මයි.හැමදාම ආශව කියන දේට යටත් වෙන නේත්‍ර මේ වෙද්දි ඒ දුරකථනෙ භාවිතා කරන එක නම් ආශවට ලොකු අස්වැසිල්ලක් වුණා.

හෙට උදේ හතරට එලාම් තියාගත්තු නේත්‍ර ආශව එක්කම ඇදේ වැතිරුනේ උදේට කිරිබත් හදලා ආශවට දෙන්න ඕනි කියන අධිෂ්ඨානයත් එක්කමයි.නේත්‍ර හවස පන්සලෙන් අරං ඇවිත් තමන්ගෙ අතේ ගැට ගැහුව ආශිර්වාද පිරිත්නූල දිහා බලලා මදහසක් නැගුව ආශව එහෙම්මම නැවිලා තමන්ට එහා පැත්තෙ වැතිරිලා උන්නු නේත්‍රගෙ නලලෙන් තමන්ගෙ තොල් තද කලා.ආශවගෙ හදිසි සිපුමත් එක්ක නේත්‍ර රතු පැහැ ගැන්වෙද්දි නේත්‍රගෙ කන ලගට තමන්ගෙ තොල් ලං කරපු ආශව හෙමීට යමක් මිමිණුවා.

"මම ආපහු එනකං බලන් ඉන්න මගෙ නේත්‍ර"

...................................................................................................

"හ්ම්ම්ම්ම්"

තෙවින් හිටියෙ තමන්ගෙ කාමරේටම අල්ලලා තිබුණු බැල්කනියෙ අත් වැටට බර වෙලා.රෑ අන්ධකාරෙන් වහගෙන තිබ්බ තමන්ගෙ දෑස් ඉදිරියෙ තිබ්බ පරිසරේ දිහා බලාන හිටි තෙවින්ගෙ කටින් පිට වුණේ දිග හුස්මක්.දැනුමක් තේරුමක් තියෙන වයසක ඉදන්ම තමන්ගෙ ජීවිතෙත් තිබ්බෙ මේ වගේ කළුවරක ගිලිලා නේද කියන එක තෙවින්ට මතක් වුණා.

තමන්ගෙ අම්මා අප්පච්චි වෙන් වුණු එක,තමන්ගෙ අනික් බාගෙ වුණු අයියා තමන්ගෙන් වෙන් වුණු එක,පුංචි කාලෙ තමන්ගෙ යාලුවා වුණු ආශවගෙ නික්ම යෑම,තමන් වෙන යාලුවන්ගෙ ආශ්‍රෙට වැටුනු එක,ටිකෙන් ටික තමන්ගෙ ජීවිතේ වටේට අදුරක් කැරකෙන්න ගත්තු එක,සාමාන්‍ය පෙල බොහොම සාමාන්‍ය විදියට සමත් වුණු එක,අන්තිමේදි තමන්ගෙ අම්මා තමන්ටත් නොකියා රට යන්න හැමදේම ලෑස්ති කරගෙන ඉවර වෙලා යන්නෙ මෙදායි කියලා තමන්ට කිව්ව එක,තමන් ආපහු පාරක් නුවරට ආව එක තෙවින්ට මැවුණෙ චිත්‍රපටයක රූප පෙලක් ආකාරයට.

ඒ අතරෙදිම තමන්ට දිවාෂව හම්බුණු හැටි,ආශවලාව හම්බුණු හැටි,තමන්ගෙ හිත මුල්ම පාරට කෙනෙක් ඉස්සරහ අමුතු විදියට හෙලවුණු හැටි තෙවින් මතක් කලේ මූණෙ ඇදුණු ලස්සන හිනාවක් එක්ක.තෙවින්ගෙ මූණෙන් ඒ හිනාව මතු වෙන්නෙ හරි අඩුවෙන් කියන එක තෙවින්ව ආශ්‍රේ කරපු අය දැනන් හිටියා.

ඒ අතරෙදිම කලුවර රෑ රැහැයියො කෑ ගහන සද්දෙ අතරින් ඇදිලා ආව මල් සුවදක් තෙවින්ගෙ නහයෙ දැවටිලා ගියා.ගම් වල හැදෙන මල් ගැන මුකුත් නොදැන හිටි තෙවින් දැනන් උන්නු එකම මල් ජාතිය සමන්පිච්ච මල් වෙද්දි හුලගෙ දැවටිලා ආව පොකුරු පිච්ච මල් සුවද සමන් පිච්ච මල් කියලා රැවටුනු තෙවින් ලාවට හිනා වෙලා පැත්තක තියලා තිබ්බ බියර් ටින් එකෙන් උගුරක් කටට හලාගත්තා.

උගුරත් එක්ක පිච්චිලා යන ඒ රසයට ඇබ්බැහි වෙලා උන්නු තෙවින්ගෙ අනික් අතේ තිබුණෙ දැල්වෙමින් තිබුණු දුම් වැටියක්.ව්‍යාපාර කටයුතු නිසා අප්පච්චි ගෙදර නොරැදෙද්දි,දෙවිනුත් ක්‍රිකට් මැච් එකට කොළඹ පිටත් වෙලා හිටි අද වගේ දවසක වලව්වෙ උන්නෙ සිංහවංශ මහ කුමාරිකාමි වුණු තමන්ගෙ ආත්තම්මා විතරයි නිසා තෙවින් ඒ නිදහසින් උපරිම ප්‍රයෝජන ගන්න හිතුවා.කොහොමත් ඇල්කොහොල් වලට,දුම්වැටි වගේ මත් වෙන දේවල් වලට ඇබ්බැහි වෙලා උන්නු තෙවින් නුවර ආව දා ඉදන් අනික් දවස් වලට මේ දේවල් හොරෙන් කලත් අද වලව්වෙ කවුරුත් නොහිටි නිසා නිදහසේ ඒ අවස්ථාව විදින ගමන් හිටියා.

බියර් ටින් එක ආපහු පාරක් පැත්තකින් තිබ්බ තෙවින් තමන්ගෙ දුරකථනෙ අතට අරගෙන ඒක ඔන් කරලා ගැලරි එක විවර කර ගත්තා.විශාල දුරකථන තිරයෙ හරි අපූරුවට මතු වෙලා පෙනෙන අහම්බෙන් තමන් ගහගත්තු ඒ ලස්සන රූපෙ දිහා බලලා ආදරණීය විදියට හිනා වුණු තෙවින් තමන්ගෙ අනෙක් අතේ තිබුණු දුම්වැටිය ඉහලට ඇදලා ඒ විස දුමෙන් තමන්ගෙ පපුව පුරවගන්න ගමන් හැගීම් පිරුණු ඇස් දෙකකින් දුරකථන තිරය දිහා බලලා එකම එක වචනයක් හෙමීට මිමිණුවා.

"නේත්‍ර..........."

...................................................................................................

Words 2300+

අද එච්චර දෙයක් නෑ තමා.හැබැයි මේ ටික නොලියා කතාවෙ ඉස්සරාට යන්න බෑනෙ බබාලා🌚👉👈

හෙ හෙ කැමීලියා අද එච්චර මෙතන රැදෙන එක සුදුසු නෑ වගේ

සකබුම් උනා නේත😪😂

වෝට්ස්නම් දැන් වෙනදට වඩා හුගාරියක් එන නිසා කැමීලියා සතුටින්🥺❤️

ඒත් ගොඩක්ම වටින්නෙ කමෙන්ට්ස් තමා හුම්ම්ම්🙈❤️

ඒනම් වෝට් කරලා කමෙන්ට්ස් ගොඩාරියක් දාලා තියන්නකො🌝❤️ එතෝට ඊලග කෑම්ලත් ඉක්කන්ට දෙන්නම් කැමීලියා🌝❤️

ඔයාලගෙ එක කමෙන්ට් එකට උනත් කැමීලියාට ගොඩාරියක් සතුටු හිතෙනවා🥺❤️

ඒනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter