Back
Chapter 6

05 කොටස🤍✨

නිවාලන්න මා...

වලව්ව පුරාම කැවුම් කොකිස් සුවඳ පැතිරෙන එක පටන් ගත්තේ ඊයෙ හවස ඉඳලා කියලා වලව්වේ ඇත්තො ඔක්කොටම මතක තිබ්බා.වලව්වෙ පුංචි මුදියන්සේ, එහෙමත් නැත්නම් සුදු බේබිගෙ උපන්දිනය යෙදිලා තිබුනේ අද දවසෙ නිසා මේ වෙද්දි වලව්වෙ මුළුතැන්ගේ ලහිලහියේ සූදානම් වෙමින් තිබ්බේ කිරිබතක් හදන්න.

සුදු බේබි අවුරුදු ගානකට පස්සේ උපන්දිනයකට වලව්වෙ ඉන්න පලවෙනි වතාව මේක නිසා මහා මුදියන්සේයි ලොකු මැණිකේයි කලින්ම තීරණය කරලා තිබ්බේ උදේම පන්සලට හීල් දානෙ දීලා අවසන් වුණාට පස්සේ වලව්ව ඇතුලේ හැදෙන කිරිබත වලව්වේ කුලවත් උදවියට වගේම වලව්වෙ සේවය කරන සේවකයන්ට ලබා දීලාම රස විඳින්නයි.මේ වෙද්දි දානෙ පන්සලට ලබා දීපු මහා මුදියන්සේ,ලොකු මැණිකේ,සුදු බේබි වගේම අත් උදව්වට ගියපු මැනුවෙලුත් වලව්වට ඇවිල්ලා හිටියා.

මේ වෙද්දිත් ළිපේ තැම්බෙන සුදු කැකුළු බත් එකට එක්කාසු කරන්න ඕනේ පොල්කිරි එකට දඩි බිඩි ගාලා පොල් ගගා හිටියෙ නේත්‍ර.හිරමනේ උඩ ඉදගෙන චූටි කකුල් දෙකත් දෙපැත්තට දාගෙන හරි හරියට ඒ චූටි අත්වලින් ගාන තුන්වෙනි පොල් ගෙඩිය මේ වෙද්දි නේත්‍රගේ අතේ තිබ්බා.නේත්‍ර කලින් ගාලා දුන්නු පොල් වලින් ගන්න පුළුවන් උනු කිරි ප්‍රමාණෙ කිරිබතට සෑහෙන්නෙ නැති වගක් දැනුණු නිසා නිර්මලා කරපු අණකට අනුව නේත්‍ර නිර්මලාට අවශ්‍ය සේවාව සපයන ගමන් හිටියා.මේ වෙද්දිත් පොල් ගාපු ගෑමටම ඒ චූට්ටං සුදු පාට අත් රතු වී ගෙන ආවත් නේත්‍ර සතුටින් තමන්ගේ වැඩේ කරගෙන ගියා.මොකද ඉතින් මේ කිරිබත හැදෙන්නේ නේත්‍රගෙ සුදුබේබි වෙනුවෙන් නේ.

පැය භාගයක් විතර ගත වෙද්දී වලව් කුස්සියේ පිටුපස ගඩොල් ගෙඩි කිහිපයක් තියලා සකසලා තිබුණු ලිප උඩ සුදුබේබිගෙ උපන්දින කිරිබත ඉදෙමින් තිබුනා.කිරිබත කූරු ගාපු පත්තෙම රැඳිලා තිබුන කිරිබත් ස්වල්පයක් දිවේ ගාගෙන ඒ වගේ ලුණු රස,කිරි රස බලපු නිර්මලා පදම හරි ගාණට ඇවිත් කියලා තේරුණු නිසා කටේ රැදිලා තිබුණු කිරිබත තූ දැම්මා.

ඒක වලව් සේවකයන්ගේ සිරිතක් වුණා.තමන්ගේ හාම්පුතුන්ට දෙන කෑම වේල නොඉඳුල් එකක්ම විය යුතුයි යන්න අතීතයේ ඉඳලා ඔවුනොවුන් අතර පැවත ආ නියමයක් වුණා.රසපදම බලන්නට හෝ දිව ගා බලන ආහාරය උගුරෙන් පහලට රැගෙන නොයා ඒවා ඉවතට තූ දමා කට සෝදා ගැනීම මේ පහත් කුලවල මිනිසුන්ගේ සිරිතක් වූවා.

කුලවත් හා හාම්පුතුන් තමාට ලබා දෙන ඉඳුල් හෝ අනුභව කිරීමට සූදානම්ව සිටි මේ පහත් කුලීනයන් තමා හාම්පුතුන්ට පිළිගන්වන කිසිදු ආහාරයක් ඉඳුල් හෝ නොකිරීමට වග බලා ගත්තා.ඒ දේ තමන්ගේ හාම්පුතුන්ට කරන අගෞරවයක් විදියට හිතුව මේ අවිහිංසක මිනිස්සුන්ව තලා පෙලා දාන හාම්පුතුන්ට නම් ඔවුන් ගැන,ඔවුන් තමන් වෙනුවෙන් කරන කැපකිරීම් ගැනවත් ගානක්වත් තිබුණේ නැහැ.

"පොඩ්ඩො මෙහෙට වරෙන්කො ටිකක් මේ කිරිබත් වල කැට කපන්න ඕනේ"

නිර්මලා ගේ හඬට ගැස්සුණු නේත්‍ර වලව් මුළුතැන්ගේ තුළට දිවුවෙ එළිය ලිපේ දර අළු ඇද ඇද ඒක අස්කරන එක මග නතර කරලා දාලා.වලව් මුළුතැන්ගේ ඇතුලට ගියපු නේත්‍ර නිර්මලා තව් කර කර හිටපු කෙසෙල් කොලේ දිහා බලන් හිටියා.

ලා කොලපාට කෙහෙල් කොලේ අගිස්සෙන් අල්ලගත්තු නිර්මලා වලව් මුළුතැන්ගෙයි ඇතුලේ තිබුනු දර ලිපේ උඩට අල්ලන ගමන් කෙහෙල් කොළය තව් කරමින් හිටියා.ලා කොළ පාට කෙහෙල් කොලේ ලාවට ගුලි ගැහෙනවා වගේ වෙද්දි නිර්මලා ඒ කෙහෙල් කොලේ නේත්‍රගෙ අතට දීලා කොටුවට ඉරාගෙන තිබුණු මදක් කුඩා කෙහෙල් කොලයක් තව් කරන්නට පටන් ගත්තා.

නිර්මලා තමන්ගේ අතට දුන්නු කෙහෙල් කොලේ මුළුතැන්ගෙයි තිබුණු මදක් උස් ලී මේසෙ උඩින් තමන්ගෙ ඇගිලි තුඩු වලින් ඉස්සීගෙන දිගෑරිය නේත්‍ර පැත්තකට වෙලා බලන් හිටියේ විශාල කිරිබත් මුට්ටියෙන් කුඩා හට්ටියකට කිරිබත් බෙදා ගන්න තමන්ගේ අත්තම්මා වුනු සුමනා දිහා.වලව්ව මුළුතැන්ගෙයි පිඟන් ගඩොල් අල්ලලා සකසල තිබුණු තට්ටුව උඩට බංකුවක් ආධාරයෙන් ගොඩවුනු පුංචි නේත්‍ර සුමනාගේ කටයුත්තෙ වගකීම භාර ගත්තා.

එක අතකින් මුට්ටිය අල්ලන රෙදි කඩ ගත්තු නේත්‍ර අනිත් අතින් පොල් කටු හැන්ද අල්ලගෙන අර විශාල මුට්ටිය අස්සට ඔලුව ඔබාගෙන හාරලා ගන්න කිරිබත් වලින් සුමනා දීපු හට්ටිය පුරවන්නට වුණා.නේත්‍රගෙ චූටි අත් දෙකට ඒ හුමාලෙ වැදිලා පිච්චුනත් සුදු බේබි වෙනුවෙන් කරන දෙයක් නිසා නේත්‍ර තමන්ගේ රතු ගැහෙන අතට පිඹ පිඹ කරමින් සිටි කටයුත්ත ඉදිරියටම කරගෙන ගියා.

ටික වෙලාවක් යද්දි සුමනාගේ,නිර්මලාගෙ වගේම පුංචි නේත්‍රගේ මහන්සියෙන් විශාල කෙහෙල් කොල දෙකක් පිරෙන්න අතුරලා තිබුණු කිරිබත් කැට වලට වෙන්වෙලා තිබුණා.ඒත් එක්කම දීසියක් පිරෙන හදලා තිබුණු ලුණුමිරිස ද මේසය මතින් තිබ්බ නිර්මලා තමන්ගෙ චීත්ත රෙද්දෙන් අත් දෙක පිහිදා ගනිමින් ලොකු මැණිකේව හොයන්න පිටත් වුනේ මුළුතැන්ගෙයි තට්ටුවෙන් බිමට බැහැගන්න බැරුව දඟලන නේත්‍රවත් උස්සලා බිමින් තිබ්බට පස්සේ.

නිර්මලා ගලවලා දුන්නු චීත්තෙ තමන්ගෙ අතේ ගුටි කරගත්තෙ පුංචි නේත්‍ර වලව් පිලිකන්නෙ තිබුණු පුටු බාපතින් ඒ චීත්තය දාලා නැවතත් මුළුතැන්ගෙට ආවා.නිර්මලා තමා හැඳ සිටින ගවුම හෝ සාය හෝ කුමන හෝ ඇදුමක් උඩින් වැඩ කරන අවස්ථාවේදී චීත්ත රෙද්දක් ඇඳ ගැනීම කුඩා කාලයේ ඉඳන්ම ඈ තුළ වූ පුරුද්දක් උනා.

"පොඩ්ඩො,මෙහෙ වරෙන් මේ කැට ටික තසිමෙන් අහුරන්න"

මහා මුදියන්සේ,ලොකු මැණිකේ,සුදු බේබි ආහාර ගන්න ප්‍රධාන මේසය කිරිබත්,ලුණුමිරිස්,ඇම්බුං කෙසෙල්, කෝලිකුට්ටු,මුං ඇට කැවුම්,කොකිස්,අතිරස,හැඳි කැවුම්, බූන්දි,බටර් කේක් ආදි වූ ආහාර රැසකින් හැඩවෙලා තිබ්බ අතරෙ වලව්වේ පිටුපස ගස් වලින් ආවරණය වී තිබූ එළිමහන් කොටසක මැනුවෙල් හා තවත් සේවකයකු තබා තිබූ මේසය කිරිබත්,ලුණුමිරිස්,සීනි කෙසෙල්,කොකිස් සමග හැඳි කැවුම් වලින් සැරසී තිබුණා.

වලව් පිළිකන්නට පැමිණි මැනුවෙල් එහි රැස්ව සිටි සේවකයන් පිරිසට හඬනගා කතා කළේ මහා මුදියන්සේ ලබා දුන් පණිවිඩය ඔවුන්ට කිව යුතු නිසාවෙන්.

"අද අපේ සුදු බේබිගෙ උපන්දිනය වෙනුවෙන් තමා මේ උඹලා අපි හැමෝටම සංග්‍රහයක් දීලා තියෙන්නේ.එහෙනම් දැන් ඇවිත් කාපල්ලා"

සිනහමුසු මුහුණින් යුතුව මහා මුදියන්සේගේ පණිවිඩය සේවක පිරිසට කිව්ව මැනුවෙල් මුලුතැන්ගෙට ගිහින් නිර්මලා සෝදලා පිරිසිදු කරල තිබුණු කැන්ද කොළ ටිකක් අරගෙන එළිමහනේ සකසලා තිබුනු මේසය අසලට ආවා.විනාඩි 5 ක් යන්නත් කලින් කෑම කැන්ද කොළ වලට බෙදාගත්තු වලව් සේවකයෝ පිළිකන්නෙයි,වත්තේ තිබුණු ගල්වලයි තැනින් තැන ඉඳගෙන තමන්ගේ සංග්‍රහය රසවිදින්න ගත්තේ සුදුබේබිටත් වලව්වද උදවියටත් පින් දෙන ගමන්.

මේ අතරේ කෑම මේසෙට වෙලා කෑම වල රස බල බල හිටපු සුදුබේබිගේ හිත නම් තිබුණෙ එක තැනක නෙවෙයි.වෙනදට තමන්ට පේන මානේ කුස්සියේ පොඩි හිරමණ බංකුව උඩ ඉඳන් කෑම ගන්න නේත්‍රගේ ඡායාවක් වත් අද තිබුණේ නෑ.උදේ ඉඳන්ම නේත්‍ර ව හරි හැටි දැක බලාගෙන කතා කරන්නවත් බැරුව හිටියෙ සුදු බේබි දත කාගෙන හිටිය පුළුවන් ඉක්මනින් නේත්‍රව අල්ලගෙන කතා කරන්න.

එක කිරිබත් කෑල්ලක් අන අන ඔහේ අතගගා හිටපු සුදු බේබි බලාගෙන හිටියේ මහා මුදියන්සේයි ලොකු මැණිකේයි කෑම මේසෙන් නැගිටලා යනකම්.මොකද එතකන් තමන්ට කෑම මේසෙන් නැගිටීම තහනම් කියලා සුදු බේබි දැනගෙන හිටියා.නේත්‍ර කොහෙට හරි වෙලා කනවා ඇති කියල හිතුව සුදු බේබි කිරිබත් කෑල්ලක් කටට දාගෙන හපන්න ගත්තා.ඒත් මොකක්දෝ මන්ද හේතුවකට සුදු බේබි තමන්ගේ පිඟානට හැම කැවුම් ජාතියකින් ම හතරක් ගාන දාගද්දි ලොකු මැණිකෙ ඇසුත් ලොකු කරන් සුදුබේබි දිහා බැලුවත් කාලෙකට පස්සේ කන නිසා ආසාවට වෙන්නැති කියල හිතලා ඒ ගැන නොසලකා ඇරලා හිටියා.

මේ අතරෙ නේත්‍ර හිටියේ නිර්මලා කැන්ද කොලේට බෙදලා දීපු කිරිබත් කෑලි දෙකයි හැඳි කැවුමයි දිහා බලාගෙන.මහා මුදියන්සේගේ සෙම ගතිය වැඩි නිසා අද උදෑසන මහා මුදියන්සේගේ කිරි වීදුරුව ප්‍රතික්ෂේප වුණු නිසා ඒ පංගුවත් බීලා බඩ පුරෝගෙන හිටපු නේත්‍රට බඩගින්නත් තාම දැනිල තිබුණේ නැහැ.තනි කහ පාට ටී ෂර්ට් එකකට සුදු චුට්ටං කලිසමක් ඇඳන් උන්නු නේත්‍ර තමන්ගෙ කකුල් දෙකත් හොලව හොලව කැන්ද කොලේ දිහා බලන් හිටියේ බඩගින්න නැති නිසාම නෙවෙයි.

උදේම සුදුබේබිව දැක්කට වචනයක්වත් කතා කරගන්න බැරිවුණු එකට ඒ පුංචි හිත සාංකාවෙන් වගේ පෙලෙද්දි නේත්‍රට කන්න පිරියක් තිබුණෙම නැහැ.පොඩි එකා ඔහේ ඈත බලාගෙන ඉද්දි මහා මුදියන්සේ වගේම ලොකු මැණිකෙ නිර්මලාට කතා කරන සද්දෙ ඇහුනත් නේත්‍ර ඒක ගණන් නොගෙන ඉදියෙ කොහොමත් පැයකට විසි තිස් පාරක්ම නිර්මලාගෙ නම ලොකු මැණිකෙගෙ කටින් පිටවෙනවා කියලා දැනන් උන්නු නිසා.

"ලොකු මැණිකේ......."

"නිර්මලා,අපි අද හවස සාදයට ඕනි කරන බඩු ටිකක් ගේන්න ටවුමට යනවා.ආරාධනා කරන්නත් කිහිප දෙනෙක් ඉන්නවා නේ.අපි එන්න ටික වෙලාවක් යයි.මේ කෑම මේසෙ අස් පස් කරල දාපන්.මේ කැවුම් ඩිංගක් ඉතිරිවෙලා තියන ඒවා උඹ ගෙදර ගෙනියපන්.කෙල්ලත් ගෙදරනෙ ඉන්නෙ.කේක් ටික පොඩි පෙට්ටියක අහුරලා තට්ටුව උඩින් තියපං.මතක ඇතුව ඒක වතුර එකක් උඩින් තියපන් නැත්තං කූඹි වහයි"

ලොකු මැණිකේගෙ කතාව ඇහුණ ගමන් සුදු බේබි කළේ දඩි බිඩි ගාල බටර් කේක් කෑලි තුනක්ම තමන්ගේ පිඟානට දාගත්තු එක නිර්මලා වත් ලොකු මැණිකෙ දැක්කෙ නෑ.මහා මුදියන්සේ මේ වෙද්දිනුත් එලියට ගිහින් හිටිය වගේම ලොකු මැණිකේ නිර්මලා ට උපදෙස් දීපු ගමන්ම ඔසරිපොට හදමින් සුදුබේබිගෙ ඔලුවත් අතගාගෙනම එලියට ගියෙ මහා මුදියන්සේගේ ආමන්ත්‍රණය හින්දා.

සුදු බේබි දිහා බලපු නිර්මලා සුදු බේබි තව කිරිබත් කන්නේ නෑ කියලා කියපු නිසා මේසෙ අස් කරන්න පටන් ගත්තා.කිරිබත් තසිම අරගෙන නිර්මලා එතනින් පිටවෙද්දි හොරපූසා වගේ වටපිට බැලුව සුදුබේබි තමන්ගෙ කෑම පිරුණු පිගානත් අරංම උඩුමහලෙ තියෙන තමන්ගෙ කාමරේට දුවගෙන ගියා.

කෑම පිගාන කාමරෙන් තියලා කබඩ් එකක් අස්සෙ තුබුනු පත්තර් කොලේකින් වැහුව සුදුබේබි දඩි බිඩි ගාලා දුවගෙන ගියේ වලව්වෙ පිලිකන්නට.නිර්මලා කුස්සියෙ කියන්නෙ නේත්‍ර ඉන්න ඕනිත් ඒ හරියෙමයි කියලා දැනගෙන හිටපු සුදුබේබි පිලිකන්නට එබෙද්දි පිලිකන්නෙ කොණකටම වෙලා වාඩි අරගෙන ඈත බලාගෙන හිටපු නේත්‍රව දැක්කා.නේත්‍රව දැක්ක ගමන් එතනට ඇවිදන් ගිය සුදුබේබිව කලබලෙන් එහෙට මෙහෙට දුව දුව ඉන්න සේවකයන්ට විශේෂයෙන් ඇහැගැටුනෙ නැහැ.

"නේත්‍ර......."

"ස්....සුදුබේබි?"

නේත්‍රගෙ උරහිසට අත තිබ්බ සුදුබේබි කතා කරද්දි ගැස්සුනු නේත්‍ර සුදුබේබිව දැක්ක ගමන් පුදුම උනත් ඒත් එක්කම ඒ පුංචි මූණ ලස්සන හිනාවකින් පිරිලා ගියා.ඒත් සුදුබේබිගෙ ඇහිබැම් එකට යා වෙලා තිබ්බෙ නේත්‍රගෙ කැන්ද කොලේ තිබුනු කෑම ඩිංග දැක්ක නිසා.තමන්ට කෑම මේසයක් පිරෙන්නම කෑම තියෙද්දිත් නේත්‍ර කන ඩිංගිත්ත දැක්ක සුදුබේබිට හේතුවක් නැතුවම කේන්ති යන්න ගත්තා.

"යං.....එන්න"

සුදුබේබිගෙ ආමන්ත්‍රණයත් එක්ක යන්නෙ කොහෙද,මොකටද කියලවත් නාහපු නේත්‍ර සුදුබේබි තමන්ට දික් කරපු අත අල්ලගෙන සුදුබේබිගෙ පස්සෙන් ඇදෙන්නට වුනේ අර කැන්ද කොලේත් අතේ ගුලි කරගන්න ගමන්මයි.

"ඕක මේසෙන් තියන්න නේත්‍ර"

නේත්‍රගෙ අතේ තිබ්බ කැන්ද කොලේ දිහා ලාවට බැල්මක් හෙලපු සුදුබේබි කියද්දි ඒකට වචනයක්වත් නොකිව්ව නේත්‍ර කැන්ද කොලේ මුළුතැන්ගෙයි මේසෙ උඩින් තියලා සුදු බේබිගෙ පස්සෙන් ඇදිලා යන්න පටන් ගත්තා.නේත්‍රගෙ අතින් අල්ලගත්තු සුදු බේබි උඩුමහලට ඇදෙන බව දිවා ආහාරය සැකසීමේ කටයුත්තෙ නිරත වෙලා හිටපු නිර්මලාගෙවත් ඇහැ ගැටුනෙ නෑ.

"ශා............"

පොලවට ටයිල් පවා අල්ලලා තියෙන සුදුබේබිගෙ කාමරේ දැක්ක නේත්‍රට ඒ කාමරේ තුබුනු ලස්සනට හීල්ලෙද්දි සුදුබේබි කලේ නේත්‍රව තමන්ගෙ ඇදෙන් ඉන්දෝපු එක.ඒකට කලබල වුනු නේත්‍ර ඇදෙන් බැහැලා බිම ඉදගන්න හැදුවත් සුදුබේබිගෙ තර්ජනාත්මක බැල්ම නිසා ආයෙමත් පාරක් ඇදෙන්ම ඉදගත්තා.තමන් ගෙදර නිදාගන්න කොහු මෙට්ටෙට වඩා මේ මෙට්ටෙන් දැනුනු සැපපහසු බවට නේත්‍ර හරියට ආසා කලා.

"ආ..........."

සුදුබේබි කෑම පිගාන නේත්‍රට දික් කරද්දි නේත්‍ර කලේ ඇස් දෙකත් ලොකු කරගෙන සුදුබේබි දිහා බලන් හිටපු එක.ඇත්තටම නේත්‍ර මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතලා තිබුනෙ නෑ.ඊයෙ හවසත් තමන්ට දැනුනු මුංඇට කැවුම් වල සුවදට කෙල පෙර පෙර හිටියත් උදේ තමන්ට හම්බුනු හැදි කැවුමෙන් විතරක් නේත්‍ර සෑහීමකට පත්වුනේ තමන්ගෙ මට්ටම ගැන ඒ චූටි හිතට උනත් දැනිලා තුබුනු නිසා.වලව්වෙ උදවිය කරන කරන හැමදේම කරන්න,කන හැමදේම කන්න තමන්ට පුළුවන්කමක් නෑ කියලා ඒ පොඩිත්තා දැනගෙන හිටියා.

"ඒත් සුදුබේබි......."

"මමනෙ කියන්නෙ නේත්‍ර කන්න"

නේත්‍රට අනික් පසින් ඇදෙන් ඉදගත්තු සුදුබේබි නේත්‍රට කන්න කියලා තරවටු කරද්දි නේත්‍ර කලේ සුදුබේබි හීනෙකින්වත් නොහිතපු දෙයක්.පිගානෙ තිබුනු කිරිබත් කැටෙන් කෑල්ලක් කඩාගත්තු නේත්‍ර ඒක සුදුබේබිගෙ කටට ලං කරද්දි සුදුබේබි ගල් ගැහිලා වගේ නේත්‍ර දිහා බලන් උන්නා.

"මගෙ,අක්කගෙ උපන්දිනේට අම්මා කිරිබත් හදලා මේ වගේ කෑල්ලක් ඉස් ඉස්සෙල්ලාම අපිට කවනවා සුදු බේබි.....කෝ.....ආ......කියන්න"

නේත්‍රගෙ වචනත් එක්කම කට ඇරපු සුදුබේබි නේත්‍ර කවපු කිරිබත් කෑල්ල කටට දාගනිද්දි ජීවිතේටම කාපු රහම කිරිබත් කෑල්ල ඒක වගේ හැගීමක් දැනෙන්නට උනා.

"සුභ උපන්දිනයක් වේවා සුදුබේබි"

උදේම තමන්ගෙ අප්පච්චියි,කුඩම්මයි දෙන්නත් තමන්ට ඒ විදියට සුභ පැතුවට නේත්‍රගෙ සුභ පැතීමෙ වගේ දයාබරත්වයක් සුදුබේබිට ඒ සුභ පැතීම් වලින් දැනුනෙ නෑ.ඇස් වල කදුළු පුරෝගත්තු සුදුබේබි නේත්‍රව තද කරලා බදාගනිද්දි නේත්‍රත් මුකුත්ම නොකියා සුදුබේබිගෙ තුරුලට ගුලි උනා.

ටික වෙලාවක් යද්දි පිගානෙ තිබුනු කෑම ජාති ඔක්කොම කාලා ඉවර කරපු පොඩ්ඩො දෙන්නා බටර් කේක් කෑලි දිහා බලාගෙන හිටියා.බටර් කේක් නිතර දෙවේලේ කන සුදුබේබි ඒ බටර් කේක් කෑලි තුනෙන් දෙකක්ම නේත්‍රට දීලා ඒවා නේත්‍ර කන හැටි බලන් හිටියෙ හරි ආසාවෙන්.කේක් කෑලි දෙකම කාලා ඉවර කල නේත්‍ර අනික් කේක් කෑල්ල සුදුබේබිට දික් කලත් සුදුබේබි ඒක ප්‍රතික්ෂේප කලා.

"මම ඕවට එච්චර ආසා නෑ නේත්‍ර.....ඔයා කන්න"

"අනේ සුදුබේබි....මේ කැවුම් ජාතිත් ඔක්කොම වගේ කෑවෙ මම.කේක් කෑලිත් දෙකක්ම කෑවනෙ....අනේ මේකෙන් එක කටක්වත් කන්නකො"

නේත්‍රගෙ පෙරැත්තෙටම ඒ කේක් කෑල්ලෙන් ඇබින්දන්ම ඇබින්දන් කෑල්ලක් කෑව සුදුබේබි ඒ කේක් කෑල්කත් නේත්‍රටම කැව්වා.නේත්‍ර ඒ දේ රස කර කර කද්දි සුදුබේබිගෙ හිතට ආවෙ හරි පිරුණු හැගීමක්.ඒ පුංචිත්තව හැමදාම මේ වගේ සතුටින් තියන්න,ලොකු වෙලත් බලාගන්න දැන් ඉදන්ම සුදුබේබි ආසා කලා.

ඒ වගේ හැගීම් ගොඩාක් හිතේ පිරිලා යද්දි සුදුබේබි නේත්‍රගෙ ඔලුව අතගාලා ඒ කරවටේ අතක් දාගෙන තමන්ට හේත්තු කරගත්තෙ නේත්‍ර තමන්ගෙ චූටි කටම පුරවගෙන කේක් කෑල්ලෙ රස බලද්දි.

...................................................................................................

පැය බාගෙකට විතර කලින් වලව්වෙන් එලියට පැනලා දුවගෙන ආව නේත්‍ර තමන්ගෙ ගෙදර බිම ඉදගෙන පාට පෙට්ටියත් පැත්තක තියාගෙන හිටියෙ ලොකු වැඩක යෙදිලා.ඒ වැඩේ කොච්චර නම් භාරදූර එකක්ද කියනවනම් නේත්‍රගෙ දිවත් ටිකක් එලියට ඇවිත් දත් අතරෙ හැපිලා තිබුනා.

බිම දිගේ බඩගාගෙන ඉන්න නේත්‍ර දිහා බලපු අරුන්දතී "අනේ මේකගෙ විගඩම්" කියාගෙන තමන්ගෙ පුංචි කාමරේ ඇතුලට ගිය එකවත් නේත්‍ර දැක්කෙ නෑ.අරුන්දතී සුමනා එක්ක එක කාමරේක නිදාගනිද්දි,නේත්‍ර නිර්මලා එක්ක අනික් කාමරේ නිදාගත්තා.ඒ පුංචි ගෙයි පොඩිත්තං කාමර කෑලි දෙකකුයි,පොඩි කුස්සි කෑල්ලකුයි,සාල කෑල්ලකුයි ඇරෙන්න ලොකු ලොකු මෝස්තර තිබුනෙ නෑ.

ඉතින් නේත්‍ර දැන් ඒ පොඩි සාල කෑල්ල මැද්දෙ දිගා වෙලා වට පිටේ වෙන කිසිම දෙයක් ගැන අවධානයක් නැතුව තමන්ගෙ වැඩේ එක දිගටම කරන් ගියේ ලොකු මැණිකෙ කීව දේකුත් මතකෙ තියාගෙන.

"හවස් වෙලා මෙහෙ වරෙං කොලුවො....කේක් කෑල්ලක් කාලා,තේ ඩිංගක් බීලා......රෑටත් කාලම යන්න වරෙං"

නේත්‍රගෙ ඔලුව අතගාපු ලොකු මැණිකෙ කිව දේ නේත්‍රගෙ ඔලුවෙ කැකෑරෙද්දි නේත්‍ර තමන්ගෙ වැඩෙ නවත්තලා ඔලුව ඉස්සුවෙ ඔරලෝසුව දිහා බලන්නම විතරයි.සෑහෙන වෙලාවක් තිස්සෙ මහන්සි වෙලා තමන් කරපු වැඩේ ඉවර කරපු පුංචි නේත්‍ර තමන්ට පුළුවන් උපරිම ලස්සනට ඒ දෙ පරිස්සමට එතුවෙත් ඒක ඇතුලට පොඩි බඩ්ඩක් දාලා.

හවස් වෙන්න කිට්ටු නිසා ඉක්මනටම ලිද පැත්තට දිව්ව නේත්‍ර ඇගපතත් සෝදගෙන ගෙයින් එලියට දිව්වෙ අරුන්දතීව එක්කන් යන්න ආත්තම්මා හවස් වෙද්දි එනවා කිව්ව නිසා.වලව්වට හරි සංතෝසෙන් දුවං යන නේත්‍රගෙ අත් දෙක අතරෙ සුදුබේබි වෙනුවෙන්ම නිමවපු වටිනාකියන තෑග්ගත් රැදිලා තිබුනා.

...................................................................................................

ඕ ඕ........

මේක කොටයි කියලා මම දන්නවා......😪😂❤️

ඒත් මේක මෙතනින් නැවැත්තුවෙ පාටිඑකේ කෑලිත් මේක අස්සට එබුවම වැඩේ දෙල් වෙන නිසා.....එතොට මේ කෑල්ල කියවද්දි ඔයාලටත් එපා වෙයි😪💔

මොකද පාටියෙත් සෑහෙන් කෑලි ටිකක් ලියන්න තියේ බබාලා🌚❤️ මම හිතනවා ඔයාලා ආසා වෙයි කියවන්න👉👈

අහන්නකො.....

මම ඊලග චැප අද රෑ,අද පාන්දර හෝ හෙට අනිවාම දෙන්නම්.....නැත්තං මේකෙ ගතිය නැතිවෙලා යයි කල් ගත්තොත්🥺❤️

අනේ අනික අද මගෙ මේ කතාව කියවන්න ගොඩාරියක් රීඩර් බබාලා ඇවිත් තුබුනා.අම්මෝ මට ඇඩෙන්න තරම් සතුටුයි.

මම හිතනවා ඔයාලා දිගටම මේ කතාව එක්ක ඉදියි කියලා ❤️❤️❤️

කොටස් ගාණ මට හරියටම මෙච්චරයි කියන්න බෑ බබාලා.කලිනුත් කිව්වා වගේ මම මේකෙ උපරිම ලියන්න බලන නිසා කොහොම වෙයිද දන්නෑ.......ඔයාලා මාත් එක්ක ඒ වෙනකං ඉදියි කියලා හිතනවා මම🥺❤️

ඉතින් අදත් කියන්න තියෙන්නෙ,

කතාව හිතට දැනුනනම් අදහසක් කියන් යන්න❤️

මගෙ මහන්සියට ලැබෙන් එකම වටිනාකම ඉයාලගෙ ආදරණීය අදහස් බබාලා🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter