Back
Chapter 8

07 කොටස🤍✨

නිවාලන්න මා...

"හූ හූ.....දිවාෂ කොටා.....දිවාෂ කොටා......"

වලව්වත් නේත්‍රගෙ පුංචි ගෙදරත් අතරමග තිබුණු ලදුකැලෑ කොටසේ එළිමහන් බිමක් මේ වෙද්දි පොඩ්ඩො හතර දෙනෙක්ගේ සෙල්ලම් පිටිය බවට පත්වෙලා තිබුණා. සුදු බේබි,නේත්‍ර,දිවාෂ වගේම මේ වෙද්දි ඒ ගම්මානෙම පිහිටපු සිංහවංශ වලව්වේ පදිංචියට ඇවිත් හිටපු දෙවිනුත් මේ කල්ලියට එකතු වෙලා හිටියා.කාටවත් කරදරයක් නැති පැත්තක් තමන්ගෙ සෙල්ලම් කරන ප්‍රදේශය විදියට තෝරගත්තු මේ පොඩ්ඩෝ හතරදෙනා සෙල්ලමට වහ වැටුණු තරම කොච්චරද කියනවනම් කන්නයි නිදියන්නයි විතරක් ගෙට බඩගාන එක පුරුද්දක් වෙලා තිබුණා.

කොහොමත් සිඟිති මදාවි රස්තියාදුකාරයෝ දෙන්නෙක් වෙච්ච නේත්‍රගෙයි දිවාෂගෙයි ගෙවල් වලට මේ සෙල්ලම් කිරීම ප්‍රශ්නයක් නොවුණත් ඉරුගල්බණ්ඩාර වලව්වෙ මහතැන්ලාටයි,සිංහවංශ වලව්වේ මහතැන්ලටයි නම් මේ සෙල්ලම් කිරීම සෑහෙන ප්‍රශ්නයක් වුණා.ඒත් ඉස්කෝලෙ අලුත් වාරේ පටන් ගන්න තව තිබ්බෙ සීමිත කාලයක් නිසාවෙන් වලව්වල උදවිය වුණත් ඒ ගැන ලොකුවට තරවටු කරන්න ගියේ නැහැ.

සුදුබේබි හිටියෙ තමන්ගේ පිටි පස්සෙන් දුවන් එන දිවාෂට විරිත්ත විරිත්ත දුවන ගමන්.සුදු බේබිගේ දිග කකුල් දෙක  එක්ක වේගයෙන් දුවාගන්න දිවාෂගෙ පුංචි කකුල් වලට බැරි වෙද්දි සුදු බේබි කළේ දිවාෂට ඔච්චම් කරපු එක. කොහොමත් සුදු බේබිගෙයි දිවාෂගෙයු පොඩි අමනාපයක් තියෙනවනේ.සුදු බේබි පස්සෙන් දුවගෙන ආපු දිවාෂ එකපාරටම පය පැකිලී ඇදගෙන වැටෙද්දී ඒ "දොහ්" ගාපු සද්දෙත් එක්කම දුව දුව හිටපු සුදුබේබිත් පිටිපස්ස හැරිලා බැලුවා.

"ඈ........සිදෙනවා සිදෙනවා"

දිවාෂ ඇස් දෙකත් පොඩි කර කර කරන්න අඬන්න පටන් ගත්තේ දිවාෂගෙ දකුණු කකුල ලෙලි ගිහින් වගේ තිබ්බ නිසා.ඉක්මනට දිවාෂ ලගට දුවන් ආව නේත්‍ර දෙවින් දෙන්නා දිවාෂව ඒ ළඟම තිබ්බ ගහක් මුලින් ඉන්දවද්දි සුදු බේබි ඒ දිහා ඔහේ බලාගෙන හිටියා.ඇත්තටම සුදු බේබි ලොකුවට කලබලයට පත් වුණේ නෑ.මොකද දිවාෂනෙ  ඇදගෙන වැටුණේ.සුදුබේබි දිවාෂව තල්ලු කළේ නෑනෙ.

"ඔහොම ඉන්න දිවාෂ"

දෙවින්ගෙ උරහිසට ඔළුව තියන් අඩන දිවාෂට කිව්ව නේත්‍ර දුවගෙන ගියේ ඒ ළඟම තිබුණු පොල් ගහක් යටට.මේ වෙද්දි සුදු බේබිගෙ බලහත්කාරකම නිසාම රබර් සෙරෙප්පු දෙකක් හැමතිස්සෙම නේත්‍රගෙ කකුල්වල රැඳිලා තිබුණා.

නේත්‍ර දුවන් ගිය පස්සේම සුදුබේබිත් දුවන් ගිහින් නේත්‍ර මොකද්ද කරන්නෙ කියලා බලාගෙන හිටියා.පොල් ගහ මුලට පාත්වුනු නේත්‍ර පොල් ගහ යට තිබුණු නිදිකුම්බා ගාලෙන් නිදිකුම්බා කොළ ටිකක් කඩාගෙන ඒ ටික කටේ දාලා හපන්න ගත්තා.තමන් ළඟ හිටපු සුදු බේබි දිහාවත් බලන්න පරක්කු නොවුනු නේත්‍ර මේ වෙද්දිත් දෙවින්ගෙ වතුර බෝතලේ තිබුනු වතුරින් දෙවින් පිරිසිදු කරලා තිබුනත් ලේ ගලන දිවාෂගෙ තුවාලෙ උඩින් නිදිකුම්බා කොළ හපය තිබ්බා.

අවුරුදු 11ක් තිස්සේ කොළඹ ජීවත්වන ජීවත්වුනු පුද්ගලයක් වෙච්ච දෙවින්ට තවම මේ ගම්බද පරිසරය නුහුරු වුණත් දෙවින් ඒදේට ආසා කලා.ආශව,ආශවගෙ නේත්‍ර,නේත්‍රගෙ යාලුවා දිවාෂ එක්ක සෙල්ලම් කරන්න, එයාලා එක්ක මේ නිදහස් ජීවිතය විඳින්න දෙවින් ආසා කලා.හැබැයි පැය 24 ම ගස් ගල් අස්සෙ බඩ ගාන නේත්‍රටයි දිවාෂටයි වගේ තවම ඒ දේවල් හුරු නොවුණු දෙවින් සෙල්ලම් කරන්න පවා ආවෙ සපත්තු දෙකක් දාගෙන.ඒ වගේම වතුර බෝතලේකුත් අරගෙන.

නේත්‍ර,දිවාෂ දෙන්නට වඩා දෙවින්ට මහන්සි දැනෙන්න එකත්,නේත්‍ර දිවාෂ දෙන්නා වගේ දොළ පාරවල් වලින් වතුර බොන්න තමන්ට තවමත් අපහසු වීමත් ඊට හේතුවක් වුණා.නේත්‍ර කරන මොන දේත් අමාරුවෙන් හරි කරන්න හදන තමන්ගේ යාලුවා උනු ආශව උනත් තමන් වතුර බෝතලේ අරන් ආවට පස්සෙ අමාරුවෙන් දොළ පාරෙන් වතුර බිබී හිටපු එක නවත්තලා තමන්ගෙ වතුර බෝතලෙන් වතුර බොනවා කියන එකත් දෙවින්ට තේරිලා තිබුනා.

දෙවින් මේතාක් සම්පූර්ණ කාලෙම කොළඹ ජීවිතේ ගෙවද්දි ආශවත් වැඩිපුරම කාලය ගත කළේ කොළඹ වුණු එක ඊට හේතුව වුණා.පණ්ඩිතකමට ආශව පුංචි මහමුදියන්සේ නේත්‍ර කරන වැඩ කරන්න ගියාට ඒවගෙන් බාගෙට බාගයක්ම පුංචි මහමුදියන්සෙට අමාරු ඒවාවෙලා තිබුනා.

"නේත්‍ර,දෙවියනේ ඔයාට තුවාල වෙලා!!!!"

මෙච්චර වෙලා අඩ අඩා හිටපු දිවාෂගෙ සද්දෙ පවා අඩු වෙන්න තරම් සුදුබේබිගෙ කටහඬ ප්‍රබල වෙද්දි නේත්‍රත් ඇස් දෙක ලොකු කරන් සුදු බේබි දිහා බැලුවෙ තමන්ගෙ තුවාල වුණේ කොහෙද?කියලා සුදුබේබිගෙන් අහන්නා වගේ.නේත්‍රගේ අත ඇදලා තමන්ගෙ දිහාවට ගත්ත සුදු බේබි ආපහු පාරක් කෑ ගහන්න ගත්තා.

"මේ බලන්න ලේත් එනවා!!!!!!"

දිවාෂගෙ තුවාලෙට තියන්න නිදිකුම්බා කඩන්න ගිය වෙලාවේ නිදිකුම්බා කටු වලට සීරුණු නේත්‍රගෙ දබරැඟිල්ලෙයි මැදගිල්ලෙයි ලාවට ලේ බිදිති දෙක තුනක් මතුවෙලා තිබුන.අච්චර ලේ පිරුණු දිවාෂගෙ තුවාලය තඹේකට මායිම් නොකළ සුදු බේබි නේත්‍රගෙ ඇගිලි වල මතුවෙලා තිබ්බ ඇබින්දන් ලේ බිංදුවක් වෙනුවෙන් තැවෙන්න ගත්තා.

"ඒක එච්චර දෙ........."

නේත්‍ර කියපු දේ ඉවර කරන්නත් කලින් නේත්‍රගෙ අත ඇදලා ගත්ත සුදු බේබි අර ලේ බින්දක් දෙකක් තැවරිලා තිබුණු නේත්‍රගෙ ඇඟිලි දෙක තමන්ගෙ කට ඇතුලට දාගෙන උරවන්න ගත්තා.තුවාලයක් වුණාම කොහොමත් ඔය දේ කරන එක සාමාන්‍ය දෙයක් නිසා සුදු බේබි ඒදේ කළාට මේක දැක්ක දෙවින්ගේ කට බිංගෙයක් ගාණට ඇරිලා තිබ්බා.

ඉස්කෝලේ ඉන්න කාලේ ළමයින්ට ලේ පෙරෙන්න ගැහුව චන්ඩි ආශව අද මේ විදිහට කෙනෙක්ගෙ වේදනාව අඩු කරනවා දැක්ක එක දෙවින්ට ලෝක පුදුමයක් වුණා.කොච්චර උනත් හැමෝටම වඩා ආශව හිතේ නේත්‍ර ගැන ලොකු තැනක් තියෙනවා කියලා පුංචි වුණත් දෙවින්ට තේරුම් ගන්න පුළුවන් වුණා.

මේ වෙද්දි නේත්‍ර හිටිය තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. වලව්වෙ සුදු බේබි ගැන තමන්ගෙ හිතේ තිබ්බ ගරුත්වයත් එක්ක මේ වෙන්නේ පවක් කියලා පුංචි නේත්‍රගේ හදවතට දැනෙමින් තිබ්බා.වලව්වෙ මහමුදියන්සේ දවසක් ගමනක් යද්දී තමන්වයි,තමන්ගේ අම්මා වුණු නිර්මලා වයි මුණගැහුණු වෙලේක කිවුව වචන ඒ පුංචි හිතේ තදින්ම කෙටිලා තිබුණා.

"උබලව මුලිච්චි උනානේ හා පුරා කියලා.දැන් ඉතින් දවසම කා පාලුයි.උඹලා වගේ මූසල උන්ට උදේ පාන්දර වලව්ව ඉස්සරහින් වත් යන්න එපා කියලා පවා තහංචි දාලා තියෙනවා නේද මම?"

ඉතින් තමන් කිලිටි කෙනෙක්,මූසලයෙක් කියන පුංචි කාලෙම ඒ හිත ඇතුලට කාවැදිලා තියෙද්දි නේත්‍ර දැඟලුවේ සුදුබේබිගෙ කටින් තමන්ගෙ ඇඟිලි දෙක එලියට ගන්න. ඒත් නේත්‍රගෙ හීනි අත් තදකරන් හිටිය සුදු බේබිගේ අතේ හයිය එක්ක නේත්‍රට හැරෙන්නවත් බැරි වෙද්දි නේත්‍ර සුදුබේබිට කරන දෙයක් කරගන්න ඉඩදීලා බලන් හිටියෙ තමන්ගෙ බෝල ඇස් වල කදුළුත් පුරවගෙන.මේ හරියට මහමුදියන්සේවත් ලොකු මැණිකෙවත් එන්නෙ නැති බව දන්න නිසා නේත්‍ර තමන්ට ගුටි කන්න වෙන්නෙ නෑ කියන එක දැනන් හිටියා.

"දැන් හරි"

විනඩි දෙක තුනක් කට ඇතුලෙ තිබ්බ නේත්‍රගෙ ඇගිලි දෙක එලියට ගත්තු සුදුබේබි ඒ ඇගිලි වල ගෑවිලා තිබුනු තමන්ගෙ කෙල සුදුබේබිගෙම කමිසෙන් පිහිදන්න හැදුවත් නේත්‍ර ඉක්මනට නේත්‍රගෙ අත ඇදල ගත්තා.

"ඒකට කමක් නෑ සුදුබේබි"

නේත්‍ර කිසි අප්පිරියාවක් නැතුව තමන්ගෙ කෙල පිහිදගත්තු හැටි බලාගෙන හිටපු සුදුබේබි ආපහු පාරක් බයවුනේ නේත්‍රගෙ ඇස් වල තිබුනු කදුළු දැකලා.

"අනේ නේත්‍රගෙ තුවාලෙ රිදෙනවද?"

අච්චර අර ලේ පෙරිච්ච තුවාලෙ තිබ්බ මනුස්සයගෙන් රිදෙනවදවත් නාහපු සුදුබේබි නේත්‍රගෙන් එහෙම අහද්දිනම් දෙවින්ගෙ කටින් හිනාවක් පැන්නා.ඒත් ඒ හිනාවටවත් අවධානෙ නොදුන්න සුදුබේබිගෙ සම්පූර්ණ අවධානෙ යොමු වෙලා තිබ්බෙ තමන්ගෙ ඉස්සරහ කදුළුත් පුරවගෙන බිම බලන් ඉන්න නේත්‍රගෙ දිහාවට.

"ඇයි කියන්නකො නේත්‍ර?"

නේත්‍ර මුකුත්ම නොකියා හිටපු විදියටම බිම බලාගෙන ඉද්දි ආයෙ කිසිම දෙයක් නාහපු සුදුබේබි අඩියක් ඉස්සරහට තියලා තමන්ගෙ පපුවට නේත්‍රව ඇදලා ගත්තා.සුදුබේබිගෙ පපුව ලගට විතරක් උස පුංචි නේත්‍රත් හරි හරියට ඒ තුරුලට ගුලි වෙලා මොකක්ම හරි උණුහුමක් හෙව්වා.

නේත්‍රගෙ පුංචි හිත නොදැනුවත්වම වයසින් මුහුකුරාවත් නොගිහින් තිබ්බ සුදුබේබිගෙ පපුවෙන් තමන්ට මගෑරුනු මොකක්ම හරි උණුහුමක් හොයමින් තිබ්බා වගේම සුදුබේබිත් නේත්‍රගෙන් ඒ වගේම දෙයක් බලාපොරොත්තු උනා.

අම්මා,අත්තම්මා,අක්කාගෙන් පස්සෙ කිසිම මනුස්සයෙක් සුදුබේබි වගේ තමන්ට නොසලකද්දි පුංචි නේත්‍රට සුදුබේබිගෙ මේ ආශ්‍රේ මහමෙරක් උනා.නොදැනුවත්වම හරි ටිකෙන් ටික සුදුබේබි නේත්‍රගෙ හැමදේම බවට පත් වෙමින් තිබ්බා.සුදුබේබිගෙ උණුහුමට නේත්‍ර දැන් ඉදන්ම ලෝභ කරන්න පටන් අරං තිබුනා.සුදුබේබිව වෙන කා එක්කවත් බෙදාගන්න බෑ වගේ හැගීමක් ඒ පුංචි හිතට කා වැදෙමින් තිබුනා.

"අඩන්න එපා නේත්‍ර....."

තමන්ගෙ තුරුලට වෙලා ඉකි ගගහ අඩන නේත්‍රගෙ පිට අතගාන ගමන් සනසන සුදුබේබි මූණත් රතු කරං හොටු ඉහලට ඇද ඇද ඉන්න දිවාෂ දිහා බලලා එරෙව්වා.ඇයි ඉතින් දිවාෂ නිසානෙ නේත්‍රට තුවාල වුනේ........

.

.

.

.

.

"හවස් වීගෙන වගේ නේද එන්නෙ නේත්‍රයෝ?"

දිවාෂගෙ තුවාලෙත් එක්ක දුවන සෙල්ලම් කිරිල්ල නවත්තපු පොඩි උන් හතරදෙනා ඒ ලග තිබ්බ කොට්ටම්බා ගහ යට වැටිලා තිබුනු කොට්ටම්බා ගෙඩි තල තල කන්න පටන් අරං තිබුනා.පුංචි පුංචි රණ්ඩු කියවිලි එක්ක කාලෙ ගෙවෙද්දි එකපාරටම දිවාෂ නේත්‍රට කතා කලේ හවස්වීගෙන කියලා දැනුනු හුරුපුරුදු සුවද නිසා.

හුරුපුරුදු සුවද?

ගම්මානය ඇතුලෙ පිහිටලා තිබුනු කජු කර්මාන්තශාලාව ගම්මානෙ හිටපු මිනිස්සු සෑහෙන දෙනෙක්ටත් රස්සා සපයපු ව්‍යාපාරයක් වුනා.දවාලට කජු ෆැක්ටරියෙන් එලියට දාන කජු ලෙලි එක්කාසු කරගෙන ගෙවල් වලට ගෙනියන්න නේත්‍රලගෙ ගම්මානෙ මිනිස්සු පුරුදු වෙලා හිටියා.ඒ ගෙනියන කජු ලෙලි හවස් වෙද්දි මදුරුවො එනවට පුච්චන්න පටන් ගත්තා වගේම පිච්චෙන කජු ලෙලි වල සුවද ගමේ හැම ගෙදරකින්ම දැනෙන එක සාමාන්‍ය දෙයක් වුනා.

ඔරලෝසුවක් දිහා නොබලම හවස් වීගෙන එනවා කියන පණිවිඩේ ගම්මානෙ මිනිස්සු දැනගත්තෙ අන්න ඒ කජු ලෙලි පිච්චෙන සුවදින්.මොකද එක ගෙදරක හරි දවසකට කජු ලෙලි පුච්චන එක නොකලත් අනික් හැම ගෙදරකම ඒ දේ සිද්ධ කරන නිසා හවස් යාමෙ පැතිරිලා යන ඒ සුවදෙ අඩුවක් උනෙත් නෑ.

අන්න ඒ කජුලෙලි සුවද දැනුනු දිවාෂ නේත්‍රට ගෙදර යමු කියද්දි පෙර කියපු හුරුපුරුදු සුවද දැනුනු නේත්‍රත් සුදුබේබි එක්කම නැගිට්ටෙ ගෙදර යන්න හිතාගෙන.දිවාෂට තාම ඇව්දින්න අමාරු බව දැක්ක දෙවින් දිවාෂට කතා කලත් සුදුබේබිනම් දෙවින් දිහා බැලුවෙම නෑ.

"දිවාෂ මල්ලිට අමාරුද?"

දෙවින්ගෙ ආදරණීය හඩ ඇහුනු දිවාෂ තමන්ගෙ ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වා.තමන්ගෙම නිවුන්නගෙන් වෙන්වෙලා නුවර ආපු දෙවින්ට ඒ සාංකාවටම උණ පවා ගත්තත් මේ යාලුවො තුන්දෙනා නිසා ටිකක් දුරට ඒ වේදනාව අඩු වුනා.ඒ අතරිනුත් දිවාෂ කියන්නෙ තෙවින් වගේම දගයෙක් කියලා තේරුම් ගත්තු දෙවින්ගෙ හිතේ තෙවින් වෙනුවෙන් තිබ්බා වගේම ආදරයක් දිවාෂ වෙනුවෙන් ගොඩනැගෙමින් තිබ්බා.

තමන්ගෙම සහෝදරයා නැති සාංකාව දිවාෂ එක්ක ඉද්දි සම්පූර්ණයෙන්ම නොවුනත් යම්තාක් දුරකට හරි අඩු වෙන නිසා දෙවින් දිවාෂට හුගක් කිට්ටු උනා.අද උනත් දිවාෂට තුවාල වුනු වෙලාවෙ දෙවින්ගෙ ඇස් වලත් කදුළු පිරිලා තිබ්බා.දෙවින් දිවාෂට තමන්ගෙම මල්ලිට වගේ ආදරේ කරන්න පටන් අරන් තිබුනා.

"මාත් උදව් වෙන්නම් දෙවින් අයියෙ.ඔයා එකපැත්තකින් දිවාෂව අල්ලගන්නකො"

නේත්‍ර කිව්ව දේට එකග වුණු දෙවින් දිවාෂව දකුණු පැත්තෙන් වත්තම් කරගනිද්දි,නේත්‍ර වම් පැත්තෙන් දිවාෂව වත්තම් කරගත්තා.තුන්දෙනා ඇලීගෙන වත්ත උඩහට ඇදෙද්දි පිටිපස්සෙන් ආපු අර නපුරු ඉරිසියාකාරයව හැමෝටම ටිකවෙලාවකට අමතක වෙලා තිබ්බා.

"ආහ්හ්හ්හ්හ්"

එකපාරටම පිටිපස්සෙන් ඇහුණු සුදුබේබිගෙ වේදනාකාරී සද්දෙ නිසා කලබල වුණු නේත්‍ර දිවාෂවත් අතෑරලා බිමට නැවිලා ඉදපු සුදුබේබි ලගට දුවං ගියේ සමබරතාවෙ නැතුව බිම වැටෙන්න ගිය දිවාෂව දෙවින් තද කරලා අල්ලගනිද්දි.

"දෙයියෝ සුදුබේබි.....අනේ මොකද උනේ?"

බෝල ඇස් වල කදුළු පුරවගත්තු නේත්‍ර අහද්දි සුදුබේබි අමාරුවෙන් හිනාවෙලා උත්තර දුන්නා.

"නෑ නේත්‍ර....කකුලට මොකක් හරි උනා වගේ"

"පෙරලුනාද දන්නෑ?"

සුදුබේබි ලග දණ නමාගෙන් සුදුබේබිගෙ කකුලෙ වලලුකර හරිය අතගාන ගමන් නේත්‍ර අහද්දි නේත්‍රගෙ කදුළු බිංදුවක් සුදුබේබිගෙ කකුල උඩට වැටුනා.

"අයියෝ.....ඒක රිදෙන්නෑ නේත්‍ර.....ඇවිදින්න ටිකක් අමාරුයි වගේ...නේත්‍රට පුළුවන් නම් මාව......."

"එන්න සුදුබේබි"

නේත්‍රගෙ කදුළු දැකලා ඇත්තටම කලබල වුණු සුදුබේබි කියද්දි නේත්‍ර කලේ සුදුබේබිව පුළුවන් හැටියට වත්තම් කරගත්තු එක.

"හිතේ ඇති නේත්‍රව තුරුල් කරගන්න....මෝඩ දිවාෂ"

ටික වෙලාවක් යද්දි දිවාෂව වත්තම් කරගත්තු දෙවිනුත්,නේත්‍රට බර නොදැනෙන්න නේත්‍රට වාරු වෙලා හිටිය සුදුබේබිත් වත්ත දිගේ උඩට නගිද්දි නේත්‍රට වාරු වෙලා හිටපු සුදුබේබිගෙ මූණෙ ආඩම්බරකාර නපුරු හිනාවක් ඇදිලා තිබ්බා.

...................................................................................................

"මැණිකෙ අපේ සුදුපුතාගෙ ඉස්කෝලෙ ගමන ලෑස්තියි ඔන්න"

හවස් යාමෙ ගෙට ගොඩවුනු මහමුදියන්සේ හරි සන්තෝසෙන් ලොකු මැණිකෙට කියද්දි ලොකු මැණිකෙත් මුදියන්සෙ ලගට කිට්ටු වුණේ සම්පූර්ණ විස්තරේ දැනගන්න.

"නේත්‍ර කොලුවගෙ වැඩේ අපේ මහත්තයා?"

"ඒකත් හරි මැණිකෙ.සිංහවංශ දරුවව තමා ටිකක් අමාරු දාගන්න.අවුරුදු ගාණක්ම කොලඹනෙ.හැබැයි බැරි වෙන එකක් නැහැ.හෙට මාත් යනවා සිංහවංශ එක්ක විදුහල්පතිතුමාව හම්බෙන්න.....එතකොට මොකක් හරි බලන්න බැරියෑ."

මහමුදියන්සේ ලොකුමැණිකෙගෙ හිස අතගාගෙනම නිවස තුලට ඇතුල් වෙද්දි ලොකු මැණිකෙ සැනසුම් සුසුමක් හෙලන ගමන් දම්පැහැ වෙලා තිබුනු අහස දිහාවට තමන්ගෙ ඇස් යොමු කලා.

"හැමෝම සතුටින් ඉන්නෝනි"

...................................................................................................

"සීතයීඊඊඊඊඊඊඊ"

නේත්‍රලාගෙ ගෙදර අරලිය ගහයට තිබුනු බංකුව උඩට වෙලා සීතලේ ගැහි ගැහී හිටිය සුදුබේබි ජර්සියක් පවා දාගෙන ඉද්දි බැනියමක් විතරක් ඇදගත්තු නේත්‍ර උණු බත් එකකුත් බෙදාගෙන සුදුබේබි ලගට ආවා.

"නේත්‍රට සීත නෑ?"

"මට හුරුයිනෙ සුදුබේබි.....ආ බත්"

නේත්‍ර දුම්දාන බත් පිගාන සුදුබේබිට දික් කලත් සුදුබේබි අත් දෙකත් පපුව ඉස්සරහින් බැදගෙන දත් ඇදි දෙක "ටක ටක"ගාලා වද්දවගන්න පටන් ගත්තෙ තමන්ට දැනෙන සීතලේ තරම නේත්‍රට පෙන්නන්න තිබ්බ ඕනි කමට.සුදුබේබිට තමන්ගෙ අත් දෙකවත් දිගාරින්න වුවමනාවක් තිබ්බෙ නැ.

අද උදේ ඉදන් නුවරට එච්චරටම සීතල.උදේ හත විතර වෙලා තිබ්බත් තාම ඉර පායලා තිබුනෙත් නෑ.කෙටියෙන්ම කිව්වොත් මේ වෙලාව වෙද්දි නුවර වහගෙන හිටියෙ සුදුබේබි ආසම කාලගුණේ...බීරිම....හමන හුලග පවා වෙනදට වඩා සිසිල් වෙද්දි ගස් වෙනදට වඩා ටිකක් සද්දෙට වැනෙන ගමන් තිබ්බා.වැස්සක ලකුණක්වත් නොතිබ්බත් පරිසරේම අදුරුවෙලා තිබුනා.

උදේම කිරි එක බීපු සුදුබේබි වලව්වෙන් එලියට පැන්නෙ නේත්‍ර අද වලව්වට එවෙන එකක් නෑ කියලා සුමනා කිව්ව නිසා.සුදුබේබි එනවා එක්කම මගදි හම්බුනු නිර්මලා දිහාවත් නොබලපු සුදුබේබි සීතලේ ගැහෙන ගමන් නේත්‍රව හොයාගෙන ගියේ පොඩි බඩුවකුත් පෙන්නන්න එක්ක.නේත්‍රගෙගෙට ගොඩවුනු සුදුබේබිට බඩගින්නක් දැනුනු නිසා නේත්‍ර සුදුබේබිට බත් ඩිංගිත්තක් බෙදන් ඇවිත් තිබ්බා.

"ආ කියන්නකො.මම කවන්නම් සුදුබේබිට"

නේත්‍ර කියද්දිනම් සුදුබේබි ආසාවෙන් කට ඇරියා.එදා නේත්‍ර කැව්ව කිරිබත් කෑල්ලෙන් පවා වෙනස් රසක් දැනුනු නිසා සුදුබේබි ආයෙ ආයෙම නේත්‍රට කියලා කෑම කවාගන්න ආසා වුනා.සුදු බත් එක්ක කන්න හදලා තිබුනු අඹයි හාල්මැස්සොයි එකට දාලා හදපු බැදුමයි පොල් සම්බෝලෙයි නේත්‍රගෙ චූට්ටං අත් වලින් ඇනිලා සුදුබේබිගෙ කට අස්සට යද්දි සුදුබේබිට ඒවයින් දැනුනෙ දිව්‍යලෝක රසක්.කුරුල්ලෙක්ට කවනවා වගේ චූටි චූටි බත් කටවල් කවන නේත්‍ර ගැන සුදුබේබිට දැනුනෙ මහ පිරිලා යන හැගීමක්.

"මේ ව්‍යාංජනේ මම කාලම නෑනෙ නේත්‍ර.කොහොමද මේවා හදන්නෙ?"

"මම දන්නෙත් නෑ සුදුබේබි ඔව්වා හදන හැටිනම්.හැබැයි රසයි තමා"

"නේත්‍ර ඉගෙන ගන්න.දවසක මට ඔව්වා හදලා දෙන්න බත් කන්න"

"හා සුදුබේබි.මම කොහොමහරි ඉගෙන ගන්නම්කො"

අනාගතේදිට පුංචි පුංචි පොරොන්දු දීගන්න ගමන්ම කෑම එක කවලා ඉවර කරපු නේත්‍ර ඉක්මනට අත සෝදන් දුවගෙන ආවෙ සුදුබේබි ගෙනාව අමුතු බඩුව ගැන බලන්න.

"මේක කැමරාවක් නේත්‍ර.මේකෙන් පොටෝ ගහන්න පුළුවන්.දෙවින්ලෑ දිහෑ මේකට වඩා ලොකු එකකුත් තිබ්බා.මම පොඩි නිසා මේ සයිස් එක දීලා තියෙන්නෙ"

"කවුද ඕක් දුන්නෙ සුදුබේබි?"

"කුඩම්මා......උපන්දිනේට"

සුදුබේබි කිසි හැගීමක් නැතුව කියලා දාන හැටි දිහා නේත්‍ර බලන් හිටියෙ පුදුමෙන්.ඒත් ඒක අමතක කරලා දැම්ම නේත්‍ර ආපහු පාරක් සුදුබේබිගෙ කැමරාව දිහාට හැරුනා.

"කෝ ඉතින් ඕකෙන් ගත්තයි කියපුවා?"

"තවම එක පොටෝ එකයි ගත්තෙ නේත්‍ර....මේ"

සුදුබේබි කැමරාව දික් කරල පෙන්නද්දි නේත්‍ර හරි ලස්සනට හිනා වුනා.

"ලස්සනයි සුදුබේබි"

"මම මේක ගෙනාවෙ නේත්‍රගෙ පොටෝ ගන්න"

සුදුබේබි කියද්දි නේත්‍රගෙ මූණ ලස්සන හිනාවකින් හැඩවුනා වගේම ඒ ඇස් ආසාවෙන් දිලිසෙන්න ගත්තා.කවදාකවත් මේ වගේ ආරාධනාවක් නොලබපු නේත්‍රට මතක් වුනේ කාලෙකට කලින් අම්මා එක්ක ටවුමෙ පොටෝ කඩේට ගිහින් ගත්තු පොටෝ එක.එදා හොදට ඔලුවට තෙල් ගාලා කොන්ඩෙ පීරවගෙන අම්මා තමන්ව එක්කන් ගියා වගේම එතන හිටපු සුදු දිග රැවුල් සීයව දැක්කට පස්සෙ තමන් බය වුනු හැටිත් නේත්‍රට මතක් වුනා.දිවාෂ දවසක් කියලා දුන්නු ලමයි ගිලින මන්තරකාරයගෙ හැඩරුවත් ඒ සීයගෙම වගේ උනු නිසා අන්තිමට පොටෝ එකට පෙනී හිටියෙ තුන් හතර පාරක්ම නිර්මලාගෙ ලේන්සුවෙන් හොටු හූරලා මූණ රතු කරගත්තු නේත්‍ර කෙනෙක්.

"කෝ මෙතනට එන්නකො නේත්‍ර....මම කොලඹ ඉද්දී ඉගෙන ගත්තා මේවයෙන් පොටෝ ගහන්න"

නේත්‍රව අරලිය ගහයට හිට්ටෝපු සුදුබේබි හිනාවෙලා ඉන්න නේත්‍රගෙ පොටෝ එකක් ගැහුවා.

"කෝ පෙන්නන්නකො සුදුබේබි......"

තමන්ගෙ අතේ එල්ලීගෙන ඉන්න නේත්‍රට කැමරාව පෙන්නුව සුදුබේබි නේත්‍රගෙ පුදුමෙට පත් වුනු මූණ දිහා හිනාවෙවී බලන් හිටියා.

"මේ භාණ්ඩෙ හරි අමුතුයි නේද සුදුබේබි"

නේත්‍ර කිව්ව දේට හිනා වුණු සුදු බේබිගෙ ඊළඟ වැඩේ වුනේ ගෙවත්තේ තැනින් තැන නේත්‍රව තියෙන ගමන් ෆොටෝ ගහන එක.අරලි සුදු මල් ගස් අස්සෙ රෝස මල් පාත්ති අස්සෙ,රෝස මල් පාත්ති අස්සේ,තණ බිස්ස උඩ....ඔය හැම තැනකම නේත්‍රව දිගා කරවපුයි,හිට්ටෝපුයි සුදුබේබි කොලබ ඉන්න කාලෙ දැක්ක පොටෝ ගහන අයියලා වගේ එක එක හැඩ වලට ඇබරි ඇබරි නේත්‍රගෙ පොටෝ ගැහුවා.

"මෙතන අන්තිම එක...කෝ එන්න"

අන්තිමටම නේත්‍රව අතින් අල්ලගෙන නේත්‍රගෙ ගෙයි පැත්තක තිබුනු ගැටපිච්ච මල් වැල ලගට ගිය සුදුබේබි නේත්‍රගෙ කන මත ගැටපිච්ච මලක් රදෝලා තව පොටෝවක් ගත්තා.

"මල්කුමාරියක් වගේමයි"

බංකුව උඩ ඉදගෙන ගත්තු පොටෝ දිහා හිනාවෙවී බලාගෙන හිටපු සුදුබේබියි නේත්‍රයි දෙන්නා එකපාරටම ගැස්සුනේ අරුන්දතීගෙ සද්දෙ හින්දා.

"මල්ලිව විතරක් ගත්තෙ සුදුබේබි.....අනේ මාවත් ගන්නකො"

මෙච්චර වෙලා සුදුබේබිගෙයි නේත්‍රගෙයි සංදර්ශනේ දිහා බලන් හිටිය අරුන්දතී බැරිම තැන ඇවිත් සුදුබේබිට කතා කරන්න ගත්තා.ඇත්තටම අරුන්දතීගෙ හිතට මේ වෙද්දි තමන්ගෙ මල්ලි එක්ක වලව්වෙ පුංචි මහත්තයා කිට්ටුවෙන් ඉන්න එක ගැන අකමැත්තක් ඇති වෙමින් තිබ්බා.අරුන්දතීටත් ඕනි වුනා සුදුබේබිගෙ යාලුවෙක් වෙන්න.නේත්‍ර තරමටම සුදුබේබිට කිට්ටු වෙන්න.ඒත් සුදුබේබි තමන් එක්ක කතාවත් නොකරන නිසා තමන් හරි කතා කරලා එව් යාලුකම ඇති කරගන්න අරුන්දතී තීරණය කරලා තිබුනා.

"අක්කගෙත් එකක් ගන්නකො සුදුබේබි"

නේත්‍රගෙ සිහින් හඩින් පිටකරපු වදන් නිසා නැගිට්ට සුදුබේබි වතුසුදු මල් ගහ ඉස්සරහ රතු මල් වැටුනු කහපාට ගවුමෙ දෙකොන දෙපැත්තට ඇදගෙන දිග කොන්ඩ කරල ඉස්සරහට දාගෙන හිනාවීගෙන හිටපු අරුන්දතීගෙ එකම එක පොටෝ එකක් විතරක් අරන් එද්දි සුදුබේබි තමන්ගෙ පොටෝවක් ගත්තෙ මල්ලිගෙ කිම අහලා කියන එක නොදැන හිටි අරුන්දතී නේත්‍රටත් ආඩම්බරෙන් ගස්සගෙනම ගේ ඇතුලට ගියේ සුදුබේබිට කෝපි එකක් වත්කරන්න.මොකද අරුන්දතීටත් ඇහුනා සුදුබේබිට සීතයි කියනවා.

"සුදුබේබි ඇයි ඉස්සෙල්ලාම අර වගේ පොටෝ එකක් ගත්තෙ ඕකෙන්?"

"මට ඒක පලවෙනියටම ගන්න ඕනි වුනා"

"ඇයි ඒ සුදුබේබි?"

"සමහරවිට ඒක දකිද්දි නේත්‍රව මතක් වෙන නිසා වෙන්න ඇති"

කැමරාවෙ සටහන් වෙලා තිබුනු ගැටපිච්ච මල් පොකුර දිහා බලාගෙන හිනාවුනු සුදුබේබි සීත යන්නත් එක්කම නේත්‍රව තදකරලා අල්ලලා බදාගද්දි නේත්‍රත් සුදුබේබි එක්ක හරි හරියට හිනා වුනා.

...................................................................................................

වචන 2400යි ඈ😪❤️

ඔන්න මහපාන්දර හරි දෙනවා කිව්ව පොරොන්දුව ඉස්ට කරමින් ඕතරී මහ පාන්දර 1.45ට මේක දුන්නා ඔයාලට🙈❤️

"පරවුනත් ඒ මල් හරි සුවදයි නේත්‍ර....ඒකමයි මේ සුවදට මම මෙච්චර ආදරේ"

~සුදුබේබි~

(තාම කිව්වෙ නෑ තමා ඕම......ලොකු උනාම කියයි🙈❤️ එතකං බලන් ඉන්නවා නේත🥺❤️)

ඉතින් බබාලා මම හිතුවටත් වඩා හොද ප්‍රතිචාර මේකට එනවනෙ🥺❤️

මට ඇඩෙන්න වගෙ සතුටුයි අප්පා ඇත්තමය්.....

ඔයාලා දාන හැම කමෙන්ට් එක්ක්ම මම කියවනේ මාරම ආසාවෙන්🥺❤️

ඔයාලා කමෙන්ට් එහෙම දාද්දි මට ලියන්න එන ආසාවත් වැඩි වෙනවා🥺❤

ඒක පුදුම සතුටක්❤️❤️❤️

මම දන්නෑ මේ කොටස ලස්සනද කියන්නනම්.....මොකද මේකෙ ලොකු දෙයක් ලියවුනේ නැද්ද කියලා හිතුනා:-(

ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම ඉදියි කියලා හිතනවා❤️🥺

මොනවාමහරි පුංචිමහරි අඩුපාඩුවක් තියේනම් මට කියල දෙන්න....මම ආසයි ඒවා හදාගෙන හොද writer කෙනෙක් වෙන්න🥺❤️

ඉතින් බබාලා අදත් කියන්න තියෙන්නෙ,

අදහස් කියන් යන්න❤️🥺

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ....

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter