Back
Chapter 9

08 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදු බේබි......."

"ආහ්......අරුන්දතී......."

උදේම සුමනා ගෙනත් තියපු එළකිරි වීදුරුවත් බීලා බඩ පුරවගත්තු සුදුබේබි පුරුදු විදියට වලව්වත්තේ තිබුණු ගල් බැම්ම උඩට වෙලා ඈත පේන කන්ද දිහා බලන් හිටියේ නේත්‍ර එනකම්.වෙනදා තමන් ඇහැරෙන වෙලාවටත් කලින් ම වලව්වට ඇවිත් වලව්වත්තෙ තියෙන පලතුරු ගස් වල වහලා ඉන්න කුරුල්ලන්ව එලවන නේත්‍රගේ "ශෝහ් ශෝහ්" සද්දෙ ඇහුනෙ නැති නිසා සුදු බේබි කළේ කිරි එක බීලා මූණ කට හෝදන් පහලට දුවන් ආපු එක.

පහලට එද්දී සුමනාවත් නිර්මලා වත් පේන්න හිටපු නිසා සුදු බේබි තමන්ගෙ තොල් දෙකත් නොපිට පෙරළාගෙන අඩි හප්පා හප්ප ගිහින් ගල් බැම්ම උඩින් ඉදගත්තේ නේත්‍ර ආවට පස්සෙ බනිනවා කියලා හිතාගෙන.ඇත්තනෙ ඉතින් නේත්‍ර දැනගන්න එපායෑ යන තැනක් සුදු බේබිට කියලා යන්න.

සුපුරුදු විදිහටම ගල් බැම්ම උඩට වෙලා ඉඳන් හිටපු සුදුබේබි පුරුදු විදියටම ඉර අහසට නැගෙන දර්ශනය දිහා ආසාවෙන් බලන් හිටියා.වෙනදට මේ වෙලාවට තමන්ගේ පය පාමුලට වෙලා නස්නාරං බිකක් හපන ගමන් කියවන් නේත්‍ර නැති අඩුව සුදු බේබිට තදේටම දැනුනා.

ඔය ඔක්කොටමත් එක්ක අල්ලලා සුදුබේබි තීරණේ කලේ නේත්‍රත් එක්ක කතා කරන්නෙ නෑ කියලා.තරහා වෙනවා කියලා.ඒත් නේත්‍ර දැන් හරි ඒවි කියලා සුදුබේබිගෙ යටිහිත බලාපොරොත්තු උනා.

"සුදුබේබි"

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනු කටහඩ නිසා ගැස්සුණු සුදුබේබි පිටිපස්ස හැරෙද්දි එතන හිටං හිටියෙ අරුන්දතී.

"ආහ් අරුන්දතී........"

සුදුබේබි අරුන්දතී කතා කරපු ගමන්ම පැනලා කතාකලේ අරුන්දතීගෙන්වත් නේත්‍ර ගැන අහගන්න පුළුවන් වෙයි කියලා හිතලා.ඒත් සුදුබේබි වෙනදා වගේ තමන්ව ගණන් නොගෙන කතා කරපු එක ගැන අරුන්දතීගෙ හිතේ ඇති උනේ වෙනස්ම සතුටක්.

"සුදුබේබි මෙතනට වෙලා ඉන්නෙ ඇයි?"

අරුන්දතී හිනාවීගෙනම සුදුබේබිගෙන් අහද්දි සුදුබේබි කලේ ඉස්සරහ බලාගත්තු එක.

"නේත්‍ර එනකං"

සුදුබේබිගෙ උත්තරෙත් එක්කම අරුන්දතීගෙ මූණ තැලිච්ච ලාවුලු ගෙඩියක් වගේ උනා.තමන්ගෙම මල්ලි උනත් නේත්‍ර ගැන අරුන්දතීගෙ හිත යටින් පුංචි ඉරිසියාවක් මතු වෙමින් තිබ්බා.ඊයෙ රෑ අම්මා කිව්ව මල්ලිගෙ ඉස්කෝලෙ ගමනත් ඒකට එක හේතුවක් වෙද්දි අනික් පැත්තෙන් සුදුබේබි වගේ කෙනෙක් තමන්ගෙ මල්ලිගෙ යාලුවෙක් උනු එකත් අරුන්දතීගෙ හිත නොහොදට හේතුවක් වෙලා තිබුනා.වැඩිවියට පියනගමින් හිටපු ගැහැනුලමයෙක් උනු අරුන්දතීගෙ හිතේ සුදුබේබි වගේ ආකර්ශනීය පිරිමි ලමයෙක් ගැන අමුතු විදිහෙ හැගීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.ඒ නිසාමයි අරුන්දතී බැලුවෙ කොහොම හරි සුදුබේබිට කිට්ටු වෙන්න.

"සුදුබේබි ඉස්කෝලෙ පටන් ගන්නත් ලගයි නේද?"

"හ්ම්ම්ම්"

"සුදුබේබි ඊලග අවුරුද්දෙ හත වසරෙනෙ?"

"හ්ම්ම්ම්"

"අනේ මටත් සුදුබේබි යනවා වගේ ටවුමෙ ඉස්කෝලෙකට යන්න තිබ්බනම්"

"හ්ම්ම්ම්"

"සුදුබේබි දන්නවද මම පංතියෙ පලවෙනියත් උනා අන්තිම වාරෙ"

"හ්ම්ම්ම්"

"සුදුබේබිට කියන්න සුදුබේබි.....ගිය අවුරුද්දෙ අවුරුදු උත්සවේ අවුරුදු කුමාරි උනෙත් මම"

"හ්ම්ම්ම්"

"ගමේ හැමෝමත් කියනවා මම ලස්සනයි කියලා"

"හ්ම්ම්ම්"

"ගමේ ඉන්න ලස්සනම කෙනා මම කියලයි ගමේ හැමෝම කියන්නෙ සුදුබේබි"

"නේත්‍ර තරම් නෑ හැබැයි"

මෙච්චර වෙලා අරුන්දතී කිව්ව හැමදේටම බස්සෙක් වගේ හූමිටි තිය තිය හිටපු සුදුබේබි අන්තිමට අරුන්දතී කියපු දේත් එක්කනම් ඒකට හරියන්න කට ඇරලා උත්තරයක් දුන්නා.සුදුබේබි තමන්ට වචන කීපෙක උත්තරයක් දුන්නා කියලා දැනුනු හැටියෙ සතුටු හිතුනත්,ඒ උත්තරේ මොලේට ධාරණය උනු ගමන් ආයෙමත් අරුන්දතීගෙ හිත රිදෙන්න ගත්තා.ඇස් වල කදුළු පුරවගත්තු අරුන්දතී සුදුබේබිට කතා කරන්න හැදුවත් සුදුබේබි ගල්බැම්මෙන් බිමට පැන්න නිසා අරුන්දතී බිම බලාගෙන පැත්තකට උනා.මොකක් උනත් මේ ඉන්නෙ වලව්වෙ මහමුදියන්සේගෙ පුතා කියන එක අරුන්දතී අමතක කලේ නැහැ.

"නේත්‍ර අද පරක්කු ඇයි?"

සුදුබේබිගෙ හඩේ කිසි තෙතමනයක් නැති වෙද්දි අරුන්දතීගෙ ඇස් වලින් කදුළු කැට පල්ලම් බහින්න ගත්තා.

"මම දන්නෑ......."

තමන්ගෙ මල්ලි නිසා තමන්ට අසාධාරණකම් වෙනවා කියලා හිතට දැනුනු සිතිවිල්ල නිසයි,සුදුබේබි තමන්ව ටිකක්වත් ගණන් ගන්නෙ නෑ කියලා දැනුනු සිතිවිල්ල නිසයි අරුන්දතී මුරණ්ඩු විදිහෙ උත්තරයක් සුදුබේබිට දුන්නා.මොකද පුංචිදේටත් හිත රිද්දං අඩන,පුංචි දේටත් සතුටු වෙලා හිනාවෙන නේත්‍රට වඩා අරුන්දතීගෙ ගතිගුණ වෙනස් උනා.නේත්‍ර කොහෙද කියේ කියලා දැන දැනත් සුදුබේබිට ඒ ගැන නොකියා ඉන්න තරම් අරුන්දතී හිතුවක්කාර උනා.

අරුන්දතී දිහා එකපාරක්වත් නොබලපු සුදුබේබි වලව් මුළුතැන්ගේ පැත්තට දුවන්න ගත්තෙ වත්ත පිටිපස්සෙ ඉදං ආපු සුමනගෙ ඡායාවක් තමන්ගෙ ඇහැ ගැටුනු නිසා.

"සුමනා ඇයි අද නේත්‍ර නැත්තෙ?"

එක පාරටම භූතයෙක් වගේ මුළුතැන්ගෙයි පිටිපස්සෙ දොරෙන් මතු වුනු සුදුබේබි අහද්දි සුමනා කඩාගෙන ආව නස්නාරං ටික බිම දිගේ රෝල් වෙලා ගියේ සුමනා තමන්ගෙ පපුවට අතක් තියාගද්දි.ඒ වයසක මනුස්සයා බය නොවී තියේද ඉතින් ඔහොම වෙද්දි?

"සීවරං දෙයියනේ.......සුදුබේබි,ඔහොම එකපාරටම මතුවෙද්දි බිරාන්ත වෙනවා අපි"

හෙමීට බිමට නැවිලා නස් නාරං ටික අහුලන සුමනා කිව්වත් සුදුබේබි හිටියෙ සුමනගෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

"මම ඇහුවා නේත්‍ර කෝ කියලා?"

සුදුබේබිගෙ කටහඩත් එක්කම ගැස්සුණු සුමනා බයාදු විදියට බිම බලාගත්තා.තමන් කොච්චර සුදුබේබිට වඩා වයසින් වැඩිමල් මනුස්සයෙක් උනත් තමන් සුදුබේබිට ගරු කරනවා මිසක තමන්ට සුදුබේබි ගරු කරන්න ඕනි නෑ කියන එක සුමනට මතක් උනා.සුදුබේබි අහපු දේට උත්තරයක් නොදී තමන්ට ඕනි කතාවක් කිව්ව එක ගැන තමන්ටම හිතින් බැනගත්තු සුමනා සුදුබේබි දිහා බලලා බයාදු හිනාවක් පෑවා.

"අපේ හිච්චි එකා ටවුමට ගියා සුදුබේබි.අලුත් ඉස්කෝලෙටා යන්න ඇදුම් මහන්න දෙන්න.ඒක නිසා එකා අද එද්දි දවල් වෙයි"

සුමනා කිව්ව දේත් එක්ක හිත රිද්දගත්තු සුදුබේබි මුකුත්ම නොකියා කුස්සියෙන් එලියට එද්දි පිලිකන්න උඩ වාඩි වෙලා හිටපු අරුන්දතී ඉකි ගගහ අඩන ගමන් හිටියා.අරුන්දතීගෙ හිතත් මේ වෙද්දි හොදටම රිදිලා තිබුනා.අරුන්දතීගෙ ඉකියෙ සද්දෙ ඇහුනත් සුදුබේබි අරුන්දතී දිහා බලන්නවත් මහන්සි උනේ නෑ.

මොකද එතන හිටියෙ අරුන්දතී මිසක් නේත්‍ර නෙවෙයිනෙ.ඉතින් සුදුබේබිට ඒ කදුළු වලින් වැඩක් තිබුනෙ නෑ.ඒ හිත උණු උනෙත් නෑ.සුදුබේබි ආපහු පාරක් ගල්බැම්ම උඩින් ඉදගන්නත් හදලා ආපහු පාරක් ඕනි නෑ කියලා හිතලා තමන්ගෙ කාමරේට ගිහින් 'දඩාං' ගාලා දොරවහගත්තෙ ඔක්කොම කේන්ති ටික දොර පිටින් යවන ගමන්.

...................................................................................................

"කීය වසරට දැන් පොඩි එකාව බාර දෙන්න තියෙන්නේ?"

"6 වසරට බාරදෙන්න තියෙන්නෙ මල්ලියේ"

නිර්මලා නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් කියද්දි ටේලර් සාප්පුවෙ මනුස්සයා හිනාවෙලා නේත්‍ර දිහා බැලුවා.

"ප්‍රසිද්ධ ලොකු ඉස්කෝලයක්නේ අක්කෙ?"

'නිල ඇදුම මැසිය යුතු පිලිවෙල' කියලා තිබුනු උපදෙස් පත්‍රිකාව දිහා බලන ගමන් ටේලර් සාප්පුවෙ මනුස්සයා කියද්දි නිර්මලා කලේ හිනාවුනු එක.

"මහා මුදියන්සේටයි ලොකු මැණිකෙටයි පින් සිද්ධ වෙන්න තමයි මල්ලියේ"

"කෝ මෙහෙ වරෙන් පොඩ්ඩො,මිම්මවල් ටික ගන්න"

නේත්‍රව එහෙට මෙහෙට හරවපු සාප්පුවෙ මනුස්සයා තමන්ට ඕනි ඕනි විදියට නේත්‍රගෙ මිම්මවල් ගද්දි නේත්‍රත් රූකඩේ වගේ හරවන හරවන පැත්තට හැරවි හැරවී හිටියා.

"තද නිල් කොට කලිසමයි,සුදු කමිසෙයිනේ....හරි අක්කේ... කීයක් ඕනෙද කමිස කලිසම්?"

ටේලර් සාප්පුවෙ මනුස්සයා අහද්දි අතේ තිබුණු සල්ලි කොල කීපෙ දිහා බැලුව නිර්මලා ඒ මනුස්සයා දිහා බලලා අහිංසක විදියට හිනා උනා.

"කමිස දෙකයි,කලිසම් දෙකයි මහලා දෙන්නකෝ මල්ලියේ"

"හරි අක්කෙ එහෙනම්......දවස් තුනකින් එන්නකො"

සාප්පුවට අදාල අත්තිකාරම් මුදල ගෙව්ව නිර්මලා නේත්‍රගෙ අතින් අල්ලගෙන ගමනෙ වේගෙ වැඩි කලේ තවත් දවල් වෙන්න කලින් වලව්වට යන්න ඕනි නිසා.මොකද තමන්ගෙ අම්මා උනු සුමනට තනියම ඒ වැඩපල කරන්න අමාරුයි කියලා නිර්මලා දැනන් උන්නා.තමන්ගෙ අතේ එල්ලිලා දිලිසෙන බෝල ඇස් දෙකෙන් වටපිට බල බල ඉස්සරහට ඇවිදන් යන තමන්ගෙ පුංචි කොලුගැටයා දිහා බැලුව නිර්මලාගෙ ඇස් කදුළින් පිරුනෙ තමන් සාප්පුවෙන් පිටවෙන්න කලින් ඒ මනුස්සයා කිව්ව කතාවක් මතක් වුනු නිසා.

"මහමුදියන්සෙලගෙ බලපුලුවන්කාරකමෙනුයි,දරුවගෙ සිස්සත්ව ලකුණු වලිනුයි කොල්ලව දාගත්තා වගේ නෙවෙ අක්කෙ ඔව්වයෙ දේවල් වලට වියදම් කරන්න උනාම.බාගෙට බාගයක් ඕකට එන්නෙ නුවර ඉන්න ධනකුවේරයොනෙ.......උබලා අපි වගේ උන් යන්නෙම නැති තරම්නෙ"

සාප්පුවෙ මනුස්සයා ඒක කිව්වෙ තමන්ට තියෙන හිතවත්කමට මිසක් ඉරිසියාවට නෙවෙයි කියලා නිර්මකා දැනන් හිටියා.තමන් මහන පුංච් පුංචි ඇදුම් විකුණගන්න පවා මුලදි ඒ මනුස්සයා තමන්ගෙම සහෝදරයෙක් වගේ තමන්ට උපකාර පවා කල හැටි නිර්මලාට මතක තිබ්බා.

ඇත්තටම නේත්‍රව ඉස්කෝලෙට ඇතුල් කලා වගේ නෙවෙයි ඒකෙ එක එක වියදම් දරන්න වෙද්දි අමාරු වෙනවා කියලා නිර්මලා දැනන් හිටියා.ඒත් කොහොමහරි අමාරුවෙන් තමන්ගෙ දරුවට ඒ දේවල් කරලා දෙන්න නිර්මලා හිතාගත්තා.කවදහරි දවසක තමන්ගෙ දරුවා ඉහලින් වැජඹෙනවා බලන්න නිර්මලා ආසා කලා.ඒක නිර්මලාගෙ හිතේ උඩම තිබුනු බලාපොරොත්තුවක් උනා.

"ඇදුම් කෑලි දෙකක් මහන්න දුන්නට කමක් නෑ නේද මැණිකෙ? හෝද හෝද මාරුවෙන් මාරුවට අදින්න පුළුවන් නේද මයෙ අම්මට?"

තමන්ගෙ අතේ එල්ලිලා යන නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් නිර්මලා අහද්දි නේත්‍ර කලේ තමන්ගෙ බෝල ඇස් තව ටිකක් බෝල කරලා හිනා උනු එක.

"මට පුළුවන් අම්මා.මම ඉස්කෝලෙ ගිහින් ඇවිත් නාද්දි ඇදුම් සෝදගන්නම්.....ඒකට කමක් නෑ අම්මා....අම්මා දුක් වෙන්න එපා"

නේත්‍ර නිර්මලාගෙ අත උඩට ලොකුම ලොකු හාදුවක් දෙන ගමන් කියද්දි නිර්මලා ලාවට හිනාවෙලා නේත්‍රගෙ ඔලුව අතගාලා ආපහු ගමන ඉක්මන් කරන්න ගත්තෙ ඉස්සරහ වෙන කිසිම දෙයක් ගැන තේරුමක් නැතුව උඩ පැන පැන තමන් එක්ක ඇවිදන් එන තමන්ගෙ පුංචි හා පැංචා දිහා බලන ගමන්මයි.

"උබ තාම මේ දේවල් තේරුම් ගන්න තරම් මෝරලා නෑ මගෙ පුංචො"

.

.

.

.

.

"අත්තම්මේ............"

නේත්‍රගෙ සද්දෙ ඇහුනු සුමනා මුළුතැන්ගෙයි දොර දිහා බලද්දි ටවුන් ඇදන් ගිය ඇදුම පිටින්ම දුවං ආපු නේත්‍ර එතනට වෙලා හිනා වෙවී බලාගෙන හිටියා.

"උබ ආවද මගෙ හිච්චි එකා"

සුමනා තමන් ලගට දුවං ඇවිත් චීත්ත රෙද්දෙ එල්ලිලා හිනාවීගෙන ඉන්න නේත්‍රගෙ චූට්ටං බෝල නහය මිරිකලා අහද්දි නේත්‍රගෙ බෝල ඇස් වල කදුළු පිරුණා.කෝමත් තමන්ගෙ සරීරෙ මොන තැනක් උනත් චුට්ටක් හරි එබුවත් රිදෙන තරම් සියුම් ශරීරයක් තමා නේත්‍රට තිබුනෙ.ඉතින් ඔය හේතුව නිසා තමන්ගෙ කම්මුලක්,නහය මිරිකන වාරයක් ගාණෙ නේත්‍රගෙ ඇස් දෙකත් කදුළු උනවගත්තෙ පුරුද්දට වගේ.

"කෝ අම්මෙ ලොක්කි"

"ඔය ගියේ උදේ ඇවිත් ටිහකින්.මූණත් එක්ක රතු කරං උන්නෙ අඩලද කොහෙද?....සුදුබේබි මොනාහරි කියන්න ඇති මයෙ හිතේ.මම දැක්කා ලොක්කි සුදුබේබි එක්ක බැම්ම ලග කතා කර කර උන්නා උදේ"

සුමනා කියලා ආපහු පාරක් තමන් කර කර හිටපු වැඩේම කරද්දි නිර්මලා තමන් ඇදං උන්නු ඇදුමට උඩින් හුරුපුරුදු චීත්ත රෙද්ද පටලවගෙන මුළුතැන්ගෙයි තට්ටුව උඩ තිබුනු කතුරුමුරුංගා කොල ටික සෝදන්න පටන් ගත්තා.

මේ වෙලාවෙ නේත්‍රගෙ පුංචි හිත හරියට කලබල වෙලා තිබුනෙ.උදේම ගිය ගමන සුදුබේබිට කියන්න ඕනි වගක් ඒ පුංචි හිතට දැනිලා නොතිබෙද්දි ඒකට දැනුනු එකම දේ තමන් නැති ටිකට තමන්ගෙ අක්කා සුදුබේබිව අක්කගෙ යාලුවා කරන්ද දන්නෙ නෑ කියන එක.

කොහොමත් සුදුබේබිට ලෝභකං කරන්න පටන් අරං තිබ්බ නේත්‍ර බට්ටා වටපිටාවෙ ඇවිදලා ආවත් සුදුබේබිගෙ ඡායාවක්වත් නොදැක්ක නිසා ආපහු පාරක් හොරා වගේ සුමනා ලගට කිට්ටු කරන්න ගත්තා.නේත්‍ර මොකකට හරි හොරගල් අහුලනවා කියලා සුමනට තේරුනත් නේත්‍රට අවධානෙ නොදීම සුමනා තමන්ගෙ කටයුත්ත කරං ගියේ මොන වෙලේක හරි ඕකගෙ හොරගල් ඇහිලිල්ල නැවතිලා ඒකගෙ උවමනාව කියනවා කියලා දන්න නිසා.

"අත්තම්මෙ සුදුබේබි කෝ?"

ආහ්......ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට.සුමනා නේත්‍ර දිහා බලලා ආපහු නිර්මලා දිහා බැලුවෙත් කනස්සල්ලෙන් වගේ.අත්තම්මගෙ මූණෙ උනු වෙනසත් එක්කම නේත්‍ර කලබල වෙද්දි නිර්මලාත් බැලුවෙ ඇයි ද අහන්න වගේ.

"මොකක් උනාද දන්නෑ හිච්චො........සුදුබේබි උදේ කිරි එකෙන් පස්සෙ මුකුත්ම කාලා බීලා නෑ.දැන් දොලහත් පහු වෙලානෙ.උදේ ලොකු මැණිකෙ කතා කලා මම අහගෙන කීප පාරක්ම....මාත් බත් පිගානක් බෙදන් ගිහින් කාමරේ දොරට ගැහුවට මීක් සද්දයක් නෑ සුදුබේබිගෙන්.නින්ද ගිහින් වෙන්න ඇති කියලා මායි ලොකු මැණිකෙයි හිතුවෙ.

ඒත් වෙලාව ගියාට සුදුබේබි එලියට නාපු නිසා ආයෙ ලොකු මැණිකෙ ගිහින් කතා කලාම "මට කන්න ඕනි නෑ" කියලා සුදුබේබි කාමරේ ඇතුලෙ ඉදං කෑගහලා.මැනුවෙලා මට කිව්වෙ.මොන තරහක් පිරිමහනවද දන්නෑ සුදුබේබි දැන් ඩිංගකට කලින් කුස්සියට ඇවිත් වතුර වීදුරුවක්ම බීලා හම්බෙන හැම මනුස්සයටම පුප්ප පුප්ප ආයෙ කාමරේට ගිහින් දොරවහගත්තා.වලව්වම දෙදරන්න ඇති සද්දෙට.මහ මුදියන්සෙ නැති නිසා හොදයි මෙවෙලෙ ගෙදර.නැත්තං සුදුබේබි ගුටි කනවා"

අත්තම්මා කියාගෙන යද්දි නේත්‍ර කටත් ඇරං බලන් හිටියෙ තමන් එක්ක අච්චර සුහදව ඉන්න සුදුබේබි මෙච්චර වසද කියලා හිතාගන්න බැරි නිසා.

"කෑම හදලා ඉවරයි.ලොකු මැණිකෙත් නෑ දැන් වලව්වෙ.හිච්චො,ගිහින් සුදුබේබිට කතා කරපං බලන්න දැන්වත් කන්න එන්න කියලා.අඩුම සුදුබේබිගෙ යාලුවා කතා කලාමවත් එයිද බලන්න.....හාමත් වෙලා ඇත්තෙ දැනුත්.උදේ ඉදංම කිරි එක බිව්වට පස්සෙ අර වතුර වීදුරුව විතරනෙ"

ඉබ්බා දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු.ආත්තම්මගෙන් සුදුබේබිට කියන්න ඕනි පණිවිඩෙ අහගත්තු නේත්‍ර විදුලි වේගෙන් උඩු මහලට දුවගෙන ගියා.සුදුබේබිගෙ කාමරේ ඉස්සරහින් හිටගත්තු නේත්‍ර සුදුබේබිගෙ කාමරේ දොරට ගැහුවෙ හරි සංතෝසෙන්.නේත්‍ර උනත් සුදුබේබිව උදේ ඉදං නොදැක්ක එක ගැන හිටියෙ හරි සාංකාවෙන්.

"මට වද නොදී යනවා!!!!!!!"

කාමරේ ඇතුලින් ඇහුනු සුදුබේබිගෙ කටේ සද්දෙට බය උනු නේත්‍ර දොර ලග ඉදන් ටිකක් පිටිපස්සට පවා විසි උනා.එච්චරටම සුදුබේබිගෙ කටහඩ සැරපරුෂයි.ඒත් නේත්‍ර වැඩේ අතෑරියෙ නෑ.එයාගෙ සුදුබේබි උදේ ඉදං කාලා නෑලු.ඉතින් එහෙම ඉන්න දෙන්නෙ කොහොමද?

"සුදුබේබි මේ දොර අරින්නකො....මම නේත්........."

නේත්‍ර කිව්ව එක සම්පූර්ණ කරන්නත් කලින් කාමරේ දොර ඇරෙද්දි නේත්‍ර ආපහු පාරක් බය උනා.කාමරේ දොරකඩ සුදුබේබි හිටං හිටියා වගේම ඒ ඇස් වල තිබ්බ නපුරු බැල්මට නේත්‍ර බිම බලාගත්තා.පුංචි උනත් සුදුබේබිගෙ පෞරුෂය කියන එක මේ වෙද්දිත් සෑහෙන්න බලවත් එකක් උනා.සමහරවිට ලේ වලින්ම එන ගතියකින් එහෙම වෙන්න ඇති.කොහොම නමුත් සුදුබේබි දිහා ආපහු පාරක් බැලුව නේත්‍ර තමන්ගෙ හඩ අවධි කලේ සුදුබේබිව කන්න එකන් යන්න.ඒ යන අතරතුරේ අද උදේ තමන් ගිය ලස්සන ගමන් ගැන සුදුබේබිට කියන්න.

"සුදුබේ........."

නේත්‍රව තඹේකට මායිම් නොකරපු සුදුබේබි නේත්‍රගෙ උරහිසේ හැප්පීගෙනම පඩිපෙල ලගට ඇවිදන් යද්දි ඇස් වල කදුළු පුරවගත්තු නේත්‍ර ඒ දිහා බලාගෙන හිටියා.නේත්‍ර හිතාගෙන හිටියෙ අද ආපු ගමන් සුදුබේබිට තමන් ටවුමට ගිය එක ගැන කියන්න.ඇදුම් මහන්න දුන්නු සාප්පුවෙ ලස්සන,ඒ මාමා තමන්ගෙ මිනුම් ගත්තු හැටි,තමන් මහන්න දුන්නෙ නිලඇදුමෙ හැටි,ආපහු අම්මා එද්දි අරං දුන්නු බූන්දි වලින් ටිකක් සුදුබේබිට ඉතුරු කරං ආපු හැටි.....

ඔය හැමදේම සුදුබේබි එක්ක බෙදාගන්න හිතාගෙන ආවත් සුදුබේබිගෙ මේ හැසිරීම නිසා පුංචි නේත්‍රට ගොඩරියක් දුක හිතුනා.තමන්ගෙ අක්කා සුදුබේබිව අක්කගෙ යාලුවා කරගෙනදෝ කියන සැකේ නේත්‍රගෙ පුංචි හිතට ආවත් නේත්‍ර පහලට දුවං ගියේ සුදුබේබිව කොහොමහරි යාලු කරගන්න හිතාගෙන.

...................................................................................................

"ඒ කියන්නෙ ආශවයා දැන් නේත්‍ර මල්ලිත් එක්ක තරහා වෙලා?"

"ඔව් දෙවින් අයියෙ.සුදුබේබි මගෙ මූණවත් බලන්නෙ නෑ.මම දැන් සෙල්ලම් කරන්න එනවද අහන්නත් ගියා....එවෙලෙත් කාමරේ දොරඇරියෙ නෑ අයියෙ"

නේත්‍රගෙ බෝල ඇස් වල කදුළු පිරිලා ගිහින්.ඒ රෝස පාට කම්මුල් රතු වෙලා තියෙන්නෙ ටිකකට කලිනුත් අඩපු නිසා වෙන්න ඇති.මේ වෙද්දි පුරුදු තැනම තිබුනු ලාවුළු ගහක් යට ඉදගෙන හිටපු නේත්‍ර,දෙවින්,දිවාෂ තුන්දෙනා වෙනදා වගේ සෙල්ලම් නොකර ඉදං හිටියෙ නේත්‍රගෙ ඇඩිල්ල නිසා.නේත්‍රයි සුදුබේබියි එනකං සෙල්ලම් කරන්න මග බලන් උන්නු දෙවින්ටයි දිවාෂටයි උනේ අන්තිමට එතනට අඩාගෙන ආපු නේත්‍රව නලවන්න.

මේ වෙද්දි දෙවින් නඩුකාරයා වගේ ප්‍රශ්න අහ අහ ඉද්දි පැමිණිලිකාරයා උනු නේත්‍රත් ඒවට උත්තර දිදී හිටියා.ප්‍රේක්ෂක සභාව විදියට දිවාෂත් එතන ඉද්දි,වැරදිකාරයා උනු සුදුබේබි විතරක් උසාවියට අඩු වෙලා තිබුනා.

"සුදුබේබි නපුරුයි නේත්‍ර කොහොමත්....නේත්‍ර ඉතින් මගෙ යාලුවනෙ....සුදුබේබි ඕන්නෑ නේත්‍රට මම ඉන්නවනෙ"

අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හිතපු දිවාෂ නේත්‍රගෙ ලගට ගිහින් කියද්දි නේත්‍ර කලේ තමන්ගෙ කමිසෙ උස්සලා ඒකෙ යට හරියෙන් හොටු ටික හූරගත්තු එක.

"තමුසෙත් අපේ මල්ලි වගේමයි දිවාෂ.කාගෙ හරි කතාවක් මැද්දට පනින්නමයි බලන්නෙ"

දිවාෂට ටොක්කක් ඇන්න දෙවින් කියද්දි දෙවින්ට රැව්ව දිවාෂ ආපහු පාරක් නේත්‍රට ලං උනා.

"අපි දෙන්නා එකම ඉස්කෝලෙට යන්නනෙ ඉන්නෙ නේත්‍ර....ඉතින් කොහොමත් ඔව්වෑ ගියාම සුදුබේබි ඉන්නෑනෙ අපේ පංතියෙ.....ඔයාත් සුදුබේබිව ආයෙ ගණන් ගන්න එපා"

සුදුබේබි එක්ක තිබ්බ අමනාපෙ නිසාම දිවාෂ සුදුබේබි ගන එක එක ගතු කියන ගමන් නේත්‍රගෙ පිට අතගාද්දි දෙවින් බලන් හිටියෙ දිවාෂගෙ රංගනේ දිහා.සුදුබේබිව ගාණට අපූරුවට නේත්‍රගෙන් වෙන් කරන්න හදන දිවාෂ හද්ද කපටියෙක් කියලා හිතුනු දෙවින් හිනා වෙවී බලන් හිටියා.මධ්‍යම පාන්තික පවුලක දරුවෙක් උනු දිවාෂගෙ අප්පච්චි රජයෙ රැකියාවක නිරත වෙද්දි දිවාෂගෙ ශිෂ්‍යත්ව ලකුණුත් එක්කම නුවර තියෙන ප්‍රධාන පෙලේ පිරිමි පාසලකට දිවාෂව ඇතුල් කරගන්න දිවාෂගෙ අප්පච්චිට හැකියාව ලැබුනා.

මේ වෙද්දි නේත්‍ර යන්න ඉන්න ඉස්කෝලෙත් ඒකම නිසා දිවාෂ හිටියෙ හරි සතුටින්.මොකද මේ තාක් තමන්ට හම්බුනු හොදම යාලුවා මේ පුංචි නේත්‍ර කියන එක දිවාෂ අවිවාදාත්මකව පිලිගත්තා.ඉතින් එහෙම යාලුවව වෙන කෙනෙක් එක්ක බෙදාගන්න බෑ කියලා හිතෙන එක සාමාන්‍යයි.

"ඒත් මට සුදුබේබි නැතුව බෑ....."

දිවාෂගෙ කට්ට කෛරාටික බලාපොරොත්තු ඔක්කොම සුන්නද්දූලි කරන ගමන් නේත්‍ර ඉකි ගගහා කියද්දි නේත්‍රගෙ ඔලුවට ටොක්කක් ඇන්න දිවාෂ ගිහින් දෙවින් ගාවින් ඉදගත්තා.

"අහන්නකො නේත්‍ර මල්ලි.....ආශව එහෙම තරහා ලොකුවට හිතේ හිතං නෑ......එයා කතා නොකලට ඔයා අහන්නකො ආශවගෙන් තරහට හේතුව.එතකොට අපිට පුළුවන් නෙ ඒක හදාගෙන ආපහු ආශව එක්ක යාලු වෙන්න.....හරිද?"

දෙවින් කිව්ව දේට ඔලුව වනලා එකග වුනු නේත්‍ර තමන්ගෙ කමිස උරෙන් ඇස් වල තිබ්බ කදුළු පිහිදගත්තා.කජු ලෙලි පුච්චන සුවද පැතිරෙන්න පටං ගෙනත් සෑහෙන්ව් කාලයක් ගත වෙලා තිබ්බ වගේම යාන්තමට අදුරු වැටීගෙන එනවා කියලා දැනූ නිසා පොඩ්ඩො හතරදෙනාම ලාවුළු ගහ යටින් නැගිට්ටෙ ගෙවල් වලට යන්න හිතාගෙන.

.

.

.

.

.

"මට බෑ කිව්වම බෑ අප්පච්චි!!!!"

"සුදුපුතා මම සුදුපුතාට එකපාරක් කිව්වා!!!!"

සුදුබේබිව යාලු කරගන්න හිතාගෙන ආවට මොකෝ නේත්‍රට ලදුකැලෑ කෑල්ලෙන් වත්තට ගොඩ වුනු ගමන්ම ඇහුනෙ වලව්ව උඩ යන්න කෑගහන මහ මුදියන්සෙගෙයි,පුංචි මුදියන්සෙගෙයි කටවල් වල සද්ද.සුදුබේබි දුන්නු කකුලට ටිකක් ලොකු රබර් සෙරෙප්පු දෙකත් පිලිකන්නෙන් ගලවපු නේත්‍ර තමන්ගෙ පුංචි කකුල් දෙකට උපරිම වේගෙ අරං වලව්වෙ මැද මිදුල දිහාට ඇවිදං ගියේ වලව්ව ඇතුලෙ සේවකයො ඔක්කොම එතන රැස් වෙලා ඉන්න බව තේරුනු නිසා.

"මට බෑ අප්පච්චි"

වලව් මැද මිදුලත් එක්කම තියෙන පොඩි සාල කෑල්ලෙ කේන්තියෙන් පුපුරු ගහන මහ මුදියන්සෙ වගේම ඊට නොදෙවෙනි වෙන්නම කේන්තියෙන් හිටපු පුංචි මුදියන්සෙත් එක්කෙනාට එක්කෙනා දිහා බලන් හිටියා.ඒ ඇස් වල බැල්මවල් දිහා බලන කෙනෙක්ටනම් සුදුබේබිව බඩට එන්න කලින් වගේම,බඩට ආපු දා ඉදන්වත් ලොකු මැණිකෙ වෙන පිරිමියෙක් දිහා බලලවත් නෑ කියන එක සැකයක් නැතුව දැනගන්න තිබුනා.එච්චරටම ඒ බැල්මවල් සමාන වුනා.

"උබට නරක ගමනක් යන්න කියනවා නෙවේනෙ සුදුපුතා මම!!!! ඉස්කෝලෙ යන්න කියලනෙ කියන්නෙ!!!!"

"මට බෑ!!!!! මගෙ යාලුවො නැති ඉස්කෝලෙකට මට යන්න බෑ!!!!"

"සුදුපුතා මම මේ අවසාන වතාවට කියන්නෙ!!!!"

"මාත් එහෙමයි අප්පච්චි!!!! මම යන්නෙ නෑ!!!"

වලව් සේවකයො පවා මේ වගේ අවස්ථා වල මේ අවටට රැස් වෙනවා කියලා දැනන් හිටපු මහා මුදියන්සේට තමන්ගේ පුතාගේ මේ හිතුවක්කාර හැසිරීම ලැජ්ජාවට වගේම කෝපයටත් කරුණක් වුනා.මේ සිතිවිලිත් එක්ක මහා මුදියන්සේගේ මුදියන්සේගේ මනසට කලින් අත ඉස්සර වෙද්දි ඒ ශක්තිමත් අත ඇවිත් සුදුබේබිගෙ දකුණු කම්මුල මත වැදුනේ 'චටාස්' කියන සද්දෙ වලව්වෙ පැතිරෙද්දි.

ඒ පාරේ සැරත් එක්ක සුදුබේබිව පිටිපස්සට විසි වෙද්දී මෙච්චර වෙලා අප්පච්චිගෙයි පුතන්ඩියාගෙයි රණ්ඩුවට අත නොදාපු ලොකු මැණිකේ ඉස්සරහට පැන්නෙ විසික් වෙලා වැටෙන්න සුදු බේබිව අල්ල ගන්න.තමන් වැටෙන්න යන බවත්,තමන්ගේ පැත්තට ලොකු මැණිකේ පනින බවත් ඇහැ කොනෙන් දැකපු සුදු බේබි තමන්ව නොවැටෙන්න ආධාරකයක් විදියට ඉදිරිපත් වුනා දැනුනු ඒ සිරුර පසෙකට තල්ලු කරලා දැම්මෙ ලොකු මැණිකෙගෙන් එහෙම උදව්වක්වත් තමන්ට ඕනි නැති නිසා.ඒත් එක්කම එතන තිබුනු විශාල කණුවකට වාරු වෙලා නොවැටී හිටපු සුදුබේබි තමන්ගෙ ඇස් වල තිබුණු හිතුවක්කාර බැල්ම අඩු නොකරගෙනම ආපහු පාරක් මහමුදියන්සේ දිහා බැලුවා.

"ඉහි ඉහි"

එකපාරටම තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනු ඉකිගහන සද්දෙ තිබ්බ හුරුව නිසා සුදුබේබි එකපාරටම ලොකු මැණිකෙ පැන්න පැත්ත දිහා බලද්දි ලොකු මැණිකෙ කිසිම හානියක් නැතුව හිටගෙන හිටියා.ඒත් එක්කම පිටිපස්ස බැලුව සුදුබේබි දැක්කෙ වලව්වෙ මැද මිදුල උඩට වෙලා හීරුණු අතකුත් අතගාන ගමන් අඩන් නේත්‍රව.

"දෙයියනේ නේත්‍ර!!!"

අර කේන්තියෙන් පිරුණු සුදුබේබිගෙ ඇස් දෙක වේදනාවකින් වගේම බයකින් පිරිලා ගියේ තත්පර ගාණක් ඇතුලත.මෙච්චර වෙලා කේන්තියට කෑගැහුව සුදුබේබිගෙ කටහඩ වෙව්ලන්න පටන් අරං තිබ්බා.තමන් වැටෙන්න යද්දි ලොකු මැණිකෙට කලින් එතනට නේත්‍ර පැනලා තිබුනා වගේම,තමන්ට ආධාර කලෙත් ඒ පුංචි සිරුර කියන එක මේ වෙද්දි සුදුබේබිට තේරිලා තිබුනා.ඒත් එක්කම සුදුබේබි එක්ක කේන්තියෙන් උන්නු මහමුදියන්සෙ එතනින් පිට වෙලායද්දි ලොකු මැණිකෙත් ඒ පිටිපස්සෙන් දුවං ගියේ මහමුදියන්සේටත් කේන්ති ගියාම පාලනයක් නැති බව දන්න නිසා.

"නේත්‍ර අඩන්න එපා"

උදේ ඉදං කතා නොකල සුදුබේබි තමන් ලගට ඇවිත් කතා කරද්දි වේදනාවෙන් උන්නු නේත්‍රගෙ හිතට ලොකු සහනයක් දැනුනා.තමන් තුවාල උනාම සුදුබේබි කතා කරන වග දැනන් හිටියනම් මීට කලින්ම තුවාල කරගන්න   තිබ්බා කියලා නේත්‍රට හිතුනා.සුදුබේබි දිහා බලපු නේත්‍ර ආපහු පාරක් තමන්ගෙ හීරුණු අත දිහා බලලා කදුළු පුරවගත්තු සුදුබේබිගෙ අවධානෙ තව ටිකක් තමන්ට රදවලා තියාගන්න ඕනි නිසා.

"මට සමාවෙන්න නේත්‍ර"

සුදුබේබි වෙව්ලන කටහඩින් කියද්දි නේත්‍ර ගැස්සිලා ගියා.එදා නිදිකුම්බා කට්ටට නේත්‍රව හීරුනු නිසා එදා ඉදං දකින දකින නිදිකුම්බා පැලේ පයින් පොඩි කරං යන තමන්ම නේත්‍රව තුවාල කරවපු එක ගැන සුදුබේබිගෙ හිතේ තිබ්බෙ ලොකු වේදනාවක්.රිද්දන්නෙ නැතුව ලොකු වෙලත් බලාගන්නවා කියලා තීරණේ කරපු නේත්‍රව තමන්ම තුවාල කරපු එක ගැන සුදුබේබිගෙ හිතේ තිබුනෙ ලොකු පසුතැවීමක්.ඔය හැමදේම නිසා සුදුබේබි තමන්ගෙ හදවතින්ම නේත්‍රගෙන් සමාව අයදිද්දි නේත්‍ර කලේ සුදුබේබිගෙ අත්බාහුවෙන් අල්ලලා එපා කියන්න වගේ ඔලුව දෙපැත්තට වනපු එක.

"අපි යං එන්න"

නේත්‍රව අල්ලලා හිට්ටවගත්තු සුදුබේබි දෙකට නැවිලා නේත්‍රගෙ කොට කලිසමෙයි කකුල් වලයි ගෑවිලා තිබ්බ වැලි පිහිදද්දි තමන්ගෙ දරුවට තුවාල උනා කියන ආරංචිය එක්ක පොල්ගෙඩියක් ගේන්න වත්තට ගිහින් ඉදලා එතනට දුවං ආපු නිර්මලාගෙ කට බාගෙට ඇරිලා තිබ්බා.ජීවිතේ කවදාකවත් වලව් වංශක්කාරයෙක්,තමන් වගේ සේවක පෙලපත් ගැන ඔහොම වද වෙනවා නිර්මලා දැකලවත් තිබුනෙ නෑ.

"මම නේත්‍රට බේත් දාන්නම්....නිර්මලා යන්න"

නේත්‍ර ලගට දුවං ආපු නිර්මලාට සුදුබේබි කියද්දි නිර්මලා කලේ ඒ අණට කීකරුවෙලා පැත්තකට උනු එක.මොකද කොහොමත් සතියකට දෙතුන් පාරක් ඔය වගේ තුවාල එක්ක අඩාගෙන ගෙට ගොඩවෙන නේත්‍රගෙ දර්ශනේ නිර්මලාට සාමාන්‍ය දෙයක් උනා.ඒත් කොච්චර ඒවට හුරු උනත්තමන්ගෙ දරුවගෙන් එක ලේ බින්දුවක් හැලෙනවා කියන්නෙ අම්මෙක්ගෙ හදවත කැක්කුම් ගන්නවා කියන එක.

නිර්මලාටත් එහෙම උනාට පැත්තකට උනේ සුදුබේබිගෙ වචන අහක දාන්න බැරි නිසා වගේම නේත්‍රගෙ අතේ තුවාලෙ පුංචි හීරීමක් උනු නිසා.නේත්‍රටත් අම්මා එක්ක කතා කරන්න ඕනි උනත් ඊට වඩා සුදුබේබිව යාලු කරගන්න ඕනි එක ලොකු උනු නිසා සද්ද නොකර සුදුබේබි එක්කම නේත්‍රත් ඇවිදන් ගියා.

.

.

.

.

.

"දොයියමු නේත්‍ර"

තුවාලෙට බේත් දාන්න තමන්ගෙ කාමරේට ගෙනාව නේත්‍රගෙ තුවාලෙ පිරිසුදු කරපු සුදුබේබි බොහොම අමාරුවෙන් නේත්‍රව තමන්ගෙ කාමරේ නවත්තගත්තෙ කෑම කන්න ඕනි කියල.නේත්‍ර නොහිටියොත් කන්නෑ කියලා තර්ජනේ කරපු සුදුබේබි මැනුවෙල් කාමරේට ගෙනත් දුන්නු කෑම එක තමන් කන ගමන්ම නේත්‍රටත් කැව්වෙ නේත්‍ර අත උස්සන්නවත් බෑ වගේ රංගනේක නිරත වෙමින් හිටපු නිසා.

නේත්‍රත් හරියට ආසා උනා සුදුබේබිගෙ අස්සෙ දැවටෙන්න.උදේ ඉදංම ඒකට ඉඩක් නොලැබුනු නිසා නේත්‍ර කලේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු එක.ඒ ඔක්කොමත් කරලා සුදුබේබි එයා එක්ක නිදාගමු කිව්ව එකට නේත්‍ර බය උනේ ඕක හෙට මුදියන්සෙ දැනගත්තොත් වේවැල් කසාය කන්න වෙනවා කියලා දැනෙගන හිටපු නිසා.සුදුබේබි වගේ කුමාරයෙක් එක්ක එකම ඇදක නිදාගන්න තමන්ට සුදුසුකමක් නෑ කියලා නේත්‍රගෙ මනසෙ කෙටිලා තිබුනා.නේත්‍ර ඒ දේට අදිමැදි කලත් සුදුබේබිගෙ තර්ජන නිසාම නේත්‍රත් ඒකට කැමති උනේ නේත්‍රගෙ‍ යටිහිත උනත් සුදුබේබිගෙ තුරුලෙ ඉන්න හැම තත්පරේකම ලෝභකම් කරන නිසා.

සුදුබේබි නේත්‍රව එයාගෙ කාමරේ නවත්තගන්නව කියන එක තේරුම් ගත්තු ලොකු මැණිකෙ හෙමින් සැරේ ගිහින් නිර්මලාව ගෙදර යැව්වෙ මුදියන්සෙ දකින්න කලින්.මොකද නේත්‍රව සුදුබේබි කාමරෙත් තියාගත්තා කියලා දැනගත්තොත් නේත්‍රටම ගුටි කන්න වෙනවා කියන එක ලොකු මැණිකෙටත් තේරුනා.හිතුවක්කාර මුරණ්ඩුකාරයෙක් උනු සුදුබේබි නේත්‍රගෙ ආශ්‍රෙන් හරි පිලිවෙල වෙනවනම් ලොකු මැණිකෙ ඒකට කැමති උනා.හොද යාලුවෙක්ගෙන් කවදාවත් වරදක් වෙන්නෑ කියන එක විශ්වාස කල ලොකු මැණිකෙ නේත්‍රගෙ සුදුබේබිගෙ හිතවත්කම වැඩි වෙන එකට බාධවක් කලේ නැහැ.

"දොයියගන්න නේත්‍ර.....දෝ.....දෝ.....දෝ"

තමන්ගෙම ඇතිරිල්ලෙන් නේත්‍රව වහගත්තු සුදුබේබි තමන් කියෝපු පොතක අම්මෙක් ලමයව නිදිකරවපු හැටි මතක් කරගෙන නේත්‍රව නිදිකරවද්දි නේත්‍රගෙ ඇස් දෙක ලාවට පියවුනා වගේම,උදේ ඉදං නේත්‍ර නැති පාළුව මැකුව ගැටපිච්ච මල් තුනක් සුදුබේබිගෙ ඇද ලග තිබුනු පුංචි මේසය මත රැදිලා තිබුනා.

..................................................................................

වචන 3161 😌❤️

ඔන්න අද දිගම දිග එකක් දුන්නා......

දන්නවද ලොකුම හේතුව.....

ඔයාලා ගියපාර මගෙ රිප්ලයි මුකුත්ම නැතුව කමෙන්ට්ස් එකසිය ගාණක් දාල තිබ්බා.බබාලා දනවද මට දැනුනු සතුට🥺❤️? මම ඒ එකකටවත් කමෙන්ට් නොකර හිටියෙ මේක මෙහෙම කියන්න ඕනි නිසාමයි........මම අද හවසට ඇවිත් ඒ ඔක්කොටම කමෙන්ට් කරනෝ🥺❤️

07 කොටසට කලින් කොටස් වල කමෙන්ට්ස් සීය පැන්නුවෙ මගෙ රිප්ලයිත් එක්ක🥺❤️

ඒත් මේ කොටස ඒ මුකුත්ම නැතුව සීය පැන්නුවා.....මම ආදරෙයි🥺❤️

අනික් හේතුව මේක❤️

ඊයෙ nonfic වලින් #20 වෙලා තිබ්බා නිවාලන්න මා....දැනෙන සතුටට ආයෙ වචන නෑ❤

පටන් ගද්දි හිතුවෙ නෑ මෙච්චර ප්‍රතිචාර හම්බෙයි කියලා 🥺❤️ මම බලාපොරොත්තු වෙනවා ඔයාලා ඉස්සරහටත් මාත් එක්ක,නේත්‍ර සුදුබේබි එක්ක නොකැඩීම ඉදී කියලා ❤️

කතාවෙ මොකක්ම හරි අඩුවක් තියෙනවනම් මට කියන්න❤️ මම එක හදාගන්නම්🥺❤️ මොකද මට බැහැ මේ ලස්සන කතාව අතරමග අතාරින්න🥺❤️ මාත් නේත්‍රටයි සුදුබේබිටයි බැදිලා ඉන්නෙ බබාලා දැනටමත්😭❤️

ඉතින් අදත් කියන්නෙ,

අදහසක් කියන් යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

අනික දැක්කනෙ......

කමෙන්ට්ස්,වෝට්ස් වැඩි උනාම ඉක්මනට අප්ඩේට් දෙනවා වගේම දිගම දිග අප්ඩේට් දෙනෝ මම🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමට ❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter