Back
Chapter 80

79 කොටස🤍✨️

නිවාලන්න මා...

"හෙලෝ සුභ උදෑසනක් සුදුබේබි....මම සුදුබේබිගෙ නේත්‍ර කතා කරන්නෙ"

"සුභම සුභ උදෑසනක්...ආනේ....මම හිතුවෙ මහින්ද රාජපක්ෂ කියලා"

"හි හී......"

උදේ පාන්දර පහට විතර ආශවට දුරකථන ඇමතුමක් දීලා කතා කල නේත්‍රගෙ හිනා හඩ එක්ක ඇද උඩට වෙලා නිදන් හිටිය ආශවගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුණා.හීනෙන් කියෝ කියෝ තමන්ව තුරුල් කරගන්න සනුකව කකුලෙන් පැත්තකට අයින් කෙරුව ආශව තමන්ගෙ කාමරේ දොර ඇරගෙන එලිමහනට ගිහින් හිටගත්තා.

"හීතල.....ලා කරුවල....හුලඟ.....උදේම එන ෆ්‍රෙශ් ගතිය....දවසෙ පටන් ගැන්ම...නේත්‍රගෙ කටහඩ....පර්ෆෙක්ට් මැණිකෙ ඒ හැඟීමෙ....ඔයත් මෙතන හිටියනම් තවත් හොදයි"

"හී.....මම ඉන්නෙත් අරලිය ගහ යට බංකුවෙ සුදුබේබි...."

"ආසම තැනක්"

"සුදුබේබිව හරීයට මතක් වෙනවා.....මම ඇගපත සෝදන් එලියට ආවා තේ එක බොන්න"

"බත් කාලා යන්න මැණිකෙ මතක ඇතුව"

"හා සුදුබේබි.....අම්මා උයනවා....මට එන්න දෙන්නෑනෙ ඉතින් ඉස්කෝලෙ යන්න තියෙන දවස් වලට කුස්සිය පැත්තෙ"

"නැත්තං ඔයා කුස්සියෙ දගලන්න ගන්නවා කියලා නිර්මලා දන්නවා.....ඒකනෙ"

"හි හී...."

"හි හී තමා....ඇඟ සෝදගත්ත කිව්ව නේද?"

"ඔව් සුදුබේබි....කමිසෙ විතරයි දාගන්න තියෙන්නෙ...බත් කාලම ඒක ඇදගන්නවා"

"දිවාෂ එනවද ගෙවල් ලගට?"

"දිවාෂ පාරෙ දුවන්නෙත් කොණ්ඩෙ පීර පීරනෙ සුදුබේබි....දෙවින් අයියා හරි තෙවින් අයියා හරි තමා එන්නෙ උදේට.....ඊයෙ ආවෙ තෙවින් අයියා....දිවාෂ එයාලගෙ ගෙවල් ලග ඉදලා යනවා මම එක්ක"

"කමක් නෑ දෙවින්ලා උනත් විශ්වාසවන්ත මිනිස්සුනෙ...මැණිකෙට මොනාහරි මගෙන් අහන්න තියේද?"

"දෙයියෝ සුදුබේබි! කොහොමද අප්පේ දැනගත්තෙ!"

"ඔයාටත් මම ගැන දැනෙනවා වගේ තමා නේත්‍ර.....මොකද්ද අහන්න තියෙන්නෙ....ම්ම්ම්?"

"මම කිව්වෙ සුදුබේබි නිමේත්ගෙ බර්ත්ඩේ පාටි එක ගැන....එනවනම් අද කියන්න කිව්වා....ඇත්තනෙ සුදුබේබි අපි එන්නෙත් නැතුව එයා අපිටත් එක්ක ප්ලේට්ස් වලට ගෙව්වොත් පවුනෙ"

"ඔව්....ඒක තමා....නේත්‍ර ආසද යන්න?"

"එහෙම විශේෂ ආසාවක් නෑ සුදුබේබි ඇත්තටම....ඒත් යන්න තිබ්බත් කැමතියි"

"මම දෙවින්ගෙනුත් ඇහුවා විස්තරෙ...නිමේත් මටත් ඉන්වයිට් කලා....මට එන්න බෑනෙ ඒ උනාට....දෙවින් යනවලු.නිමේත් ඔයාලගෙ කට්ටියටයි ක්‍රිකට් ටීම් එකේ අයටයි ඔහොමලු කියලා තියෙන්නෙ"

"වෙන්න ඇති සුදුබේබි.....තෙවින් අයියටයි දෙනෙත් අයියටයිත් කියනවා කිව්වා"

"ඔව් ඔව්....තෙවින් ඒත් එන එකක් නෑ....මිනිහගෙ මොකද්ද මියුසික් වැඩකට ඌට කොළබ යන්න වෙන කතාවක් කිව්වා ඊයෙ මට"

"ආ එහෙමද සුදුබේබි"

"ඔව්....දෙනෙතුයි දෙවිනුයි එයි....ඔයාටයි දිවාෂටයි බය වෙන්න ඕනි නෑ ඒ හන්දා....මගෙනම් අවුලක් නෑ නේත්‍ර යන එකට"

"කමක් නෑද සුදුබේබි ගියාට?"

"කමක් නෑ නේත්‍ර....ඔය වගේ දෙවල් වල වරදක් නෑනෙ....හැබැයි මහ රෑ වෙනකං ඉන්න එපා තේරුනාද? දෙනෙත්ටයි දෙවින්ටයි රෑ වෙනකං ඉන්න ඕනි වගේ දෙයක් කිව්වොත් ඔයයි දිවාෂයි දිවාෂලාගෙ අම්මට කියලා හරි ගෙවල් වලට එන්න බලන්න...දිවාෂවවත් රෑ වෙනකං තියන්නෑ කොහොමත් එයාලගෙ අම්මත්"

"ඔව් සුදුබේබි....ජානකී නැන්දා කිව්වෙත් මම යනවනම් විතරක් දිවාෂව යවන්නම් කියලා....ඕනිනම් රෑට ගන්නත් එන්නම් කිව්වා"

"ඒකනෙ.....මට මතකයි එකපාරක් රෑ වෙලා අපි හතරදෙනා ඉස්කෝලෙ ලග ඉදලා ත්‍රීවීල් එකක එද්දි දිවාසලාගෙ අම්මා මගට ආවානෙ"

"ඔව් සුදුබේබි....එහෙනම් මම ගියාට කමක් නෑ නේද?"

"කමක් නෑ නේත්‍ර.....ඇදුම් මොකද? තියෙද අදින්න?"

"නෑ සුදුබේබි....සුදුබේබිගෙන් අහලා බලලම ඇදුමක් ගන්න කියලා හිතුවෙ.....හෙට රෑටනෙ තියෙන්නෙ...අද ඇදුමක් ගන්න යනවා"

"සල්ලි තියේද මැණිකෙ ලග?"

"ඕ සුදුබේබි තියෙනවා....ඇදුමක් ගන්න තරමට සල්ලි ඇති වේවි"

"හා එහෙනම් කමක් නෑ.....දැන් වෙලාව පහමාරටත් කිට්ටුයි....නේත්‍ර කාලා පිටත් වෙන්නත් ඕනි නේද පහයි හතලිස් පහ වගේ වෙද්දි?"

"ඕ සුදුබේබි.....මම තියන්නද එහෙනම්? සුදුබේබිටත් හය වගේ වෙද්දි ප්‍රැක්ටිස් පටන් ගන්නවනෙ?"

"ඔව් මැණිකෙ....දැන් ලෑස්ති වෙන්න ඕනි.තව ටිකකින් තේ අරං එයි"

"හා සුදුබේබි....එහෙනම් පරිස්සමින් හොදද? නේත්‍ර තියනවා...නේත්‍ර ආදරෙයි සුදුබේබි ගොඩාරියක්....බුදු සරණයි සුදුබේබි"

"මගෙ මැණිකට මාත් ආදරෙයි....බුදු සරණයි වස්තුවෙ....පරිස්සමින් ඔයත්"

නේත්‍රගෙ හිනා සද්දෙ අහගෙනම දුරකථන ඇමතුම විසන්ධි කෙරුව ආශව තමන්ගෙ පපුවට වැදි වැදී තිබ්බ නේත්‍ර දුන්නු මුද්ද හරි හෙමීට ස්පර්ශ කලා.හිනා වෙවීම අනික් පැත්ත හැරුණු ආශව එකපාරටම ගැස්සුනේ පිටිපස්සෙ ඉදලා මතු වුනු රූපෙ නිසා.කිරි වීදුරුවකුත් අතේ තියං හිටිය ලියෝන් ඒක ආශවට දික් කරද්දි ලා හිනාවකින් ලියෝන්ට සංග්‍රහ කෙරුව ආශව කිරි වීදුරුව තමන්ගෙ අතට ගත්තා.

"ගුඩ් මෝනින් තිදස්වර අයියේ"

"ගුඩ් මෝනින් ලියෝන්"

"මම තිදස්වර අයියා මෙතන තනියම ඉන්නවා දැක්ක නිසා කිචන් එකට ගිහින් අපි දෙන්නගෙ කිරි වීදුරු දෙක හදවගෙන ආවෙ....ආ මේවත් කන්න.අද කට්ටියම බටර් සමග ටෝස්ට් කරපු පාන්"

මූණත් ඇද කරගෙන පාන් එක දික් කෙරුව ලියෝන් කියද්දි ඔලුව වැනුව ආශව තමන්ගෙ කොටස අරගෙන කකාම ගිහින් එලිමහන් බංකුවක් උඩින් ඉදගත්තා.ආශව ලගින්ම ඉදගත්තු ලියෝන් ආශව බලන් හිටිය පැත්ත දිහා බලද්දි ආශව ලාවට හිනා උනා.

"තිද්ස්වර අයියට මොකක් හරි මතක් උනා වගේ?"

"ම්ම්ම්ම්"

"මොකද්ද ඒ? අවුලක් නැත්තං කියන්න"

"මේක කාලෙක ඉදලා මගෙ තිබ්බ පුරුද්දක්...පුළුවන් හැමවෙලාවකම ඉර නගින දිහා උදේට බලන් හිටියා.....ඉර හැමදාම එකම පැත්තෙන් නැග්ගා වගේ මම ඒක දිහා බලන් හිටිය කෙනෙක් එකම කෙනෙක් උනා....ඒක වෙනස් උනේ නැහැ"

"තිදස්වර අයියා ආදරේ කරන කෙනාද?"

"ඔව්.....මම ජීවත් වෙන්න හේතුවක් උනු කෙනා"

"එයාව බලන්න නේද තිදස්වර අයියා ගියේ එදා?"

"ආහ්?"

"මම කාටවත් කියන්නැ....ඔයා බය වෙන්න එපා"

"මම බය වෙන්නෑ ලියෝන්...මම ගියේ වැරදි ගමනක් නෙවේනෙ....බොරු හේතුවක් කිව්වෙ ඇත්ත හේතුව දැන්මම කියන එකෙන් එයාට කරදරයක් වෙයි කියන බයට....මගෙ ගැන බයකට නෙවේ"

"අප්පෝ....සැර කරන්න එපා අනේ ඔහොම....ඔයාගෙ එක්කෙනා ඔයාව දාලා යයි ඔහොම උනොත්"

"එයා මම කොහොම කතා කලත් මාව දාලා යන්නෑ....අනික මම එයාට එහෙම සැර කරන්නෙත් නෑ....එකපාරක් දෙපාරක් කරලා තියේ පුරා අවුරුදු අටටම"

"සීරියස්ලි? අවුරුදු අටටම එකපාරක් දෙපාරක්ද සැර කරලා තියෙන්නෙ? ඔයා හොදයිනෙ බලාගෙන යද්දි"

"මම නෙවේ ලියෝන්....එයයි හොද....සැර කරන්න ඕනි වෙන විදියෙ වැඩ එයා කරලම නෑ....සැර කරපු දවස් දෙක තුන උනත් ඒක උනේ මගෙ ඉක්මන් කේන්තිය හන්දා"

"හ්ම්ම්....තිදස්වර අයියා එයාට හුගක් ආදරෙයි නේද?"

"ඔව්"

ආශවගෙ හිනාව රැදුණු මූණ දිහා බලාගෙනම කිරි උගුරක් බිව්ව ලියෝනුත් ආශව අහසෙ බලන් හිටිය පැත්ත දිහාම බැලුවා.

"එයා බෝයි කෙනෙක්ද?"

"ආහ්?"

"තිදස්වර අයියාගෙ ලවර්? බෝයි කෙනෙක්ද?"

"ඇයි එහෙම අහන්නෙ?"

"හේතුව කිව්වොත් ඔයා මම නරක කෙනෙක් කියලා හිතයිද දන්නෑ"

"ඇයි එහෙම කියන්නෙ?"

"නෑ.....ඒකට හේතුව කියන්න ඕනිනෙ කෙලින්ම....මම එහෙම දේවල් හිතුවා කියලා ඔයා මාව වරදවා වටහාගත්තොත් කියලා ඇහුවෙ?"

"මනුස්සයෙක්ගෙ කටින් පිටවෙන වචනෙකින් මම ඒ කෙනාව ජජ් කරන්නෑ ලියෝන්....අනික ලියෝන් නරක කෙනෙක් කියලා මම හිතුවනම් මම මෙහෙම ලියෝන්ට මගෙ ලගට වෙලා කතා කරන්න චාන්ස් එකක් දෙන්නෙත් නෑ"

"හරි....මේකයි.....ගෑනු කෙනෙක්ව යටත් කරගන්න,පාලනේ කරන්න,ආදරේ කරන්න ඕනිම පිරිමියෙක්ට පුළුවන්....ඒක ලේසියි.හැබැයි තිදස්වර අයියව දරන්න අමාරුයි ගෑනු කෙනෙක්ට....තිදස්වර අයියට තියෙන්නෙ හයි පර්සනැලිටි එකක්....පිරිමියෙක්ව උනත් යටත් කරගන්න තරම් ප්‍රබල......මම ඒක තිදස්වර අයියව දැක්ක දවසෙම තේරුම් ගත්තා...ගෑනු ලමයෙක් එක්ක යාලු උනානම් සමහරවිට ඔයාට උනත් එයාව හරි නොයන්න ඉඩ තිබ්බා....ඔයාගෙ විදියට හරියන්නෙ කොල්ලෙක්ව....එතකොට තමා මටනම් ගැලපීමක් පේන්නෙ.....ඔයා එක්ක කෙල්ලෙක්ට හැරෙන්නත් අමාරුයි....ඇත්තම කිව්වොත් ඔයා වසයි,දඩබ්බරයි,අහංකාරයි......ගෑනු ලමයිට හුගක් වෙලාවට ඕනි හැමවෙලේම තමන් කියන දේම අහං ඉන්න,අමුතු හුරතල් ආදරයක් පෙන්නන අයට.හුගක් වෙලාවට කොල්ලෙක් කෙලින් කතා කරනවනම් කෙල්ලො දකින්නෙ ඒක තමන්ට බයිනවා කියන විදියට....හැබැයි පිරිමි ලමයෙක්ව තව පිරිමි ලමයෙක්ට තේරුම් ගන්න පුළුවන්....ඔයාගෙ ගතිගුණ උනත් තේරුම් ගන්න පුළුවන්....ඒකයි මම එහෙම කිව්වෙ"

"මම ගෑනු ලමයි ගැන ලොකුවට දන්නෑ ලියෝන්....හැබැයි ඕනිම මනුස්සයෙක් හොයන්නෙ තමන්ගෙ ඔලුවට නිදහසක් ලැබෙන ආදරයක්.....තමන්ගෙ ඔලුව හැමවෙලේම කන කෙනෙක්ව නෙවෙයි....ඒක ගෑනු පිරිමි කියලා වෙන් කරන්න බෑ මම හිතන්නෙ.සමහර ගෑනු අය ඉන්නවා හොදට තමන්ගෙ පාට්නර්ව තේරුම් ගන්න....මොකද එහෙම කෙනෙක්ව මම ඇත්ත ජීවිතෙත් දැකලා තියෙනවා"

ආශව කිව්වෙ තමන්ගෙ පුංචි අම්මව මතක් කරගෙන.අප්පච්චි වගේ දරදඩු මිනිහෙක්ව තේරුම් අරං පහුගිය අවුරුදු ගාණ තිස්සෙම එකම එක රණ්ඩුවක්වත් නොවී පවුල් ජීවිතේ ගත කරන තමන්ගෙ පුංචි අම්මා වචනෙ පරිසමාප්තියෙන්ම නියම ගැහැනියක් කියලා ආශව හිතිලා තිබ්බා.

"ඒ වගේමයි සමහර ගෑනු ලමයි ඉන්නවා තමන්ව පැත්තකට කරලා පාට්නර්ට ආදරේ කරන....සමහර වෙලාවට තමන් ආදරේ කරන කෙනාව ලැබෙන්නෙ නෑ කියලා දැන දැනම එයාගෙ සතුට වෙනුවෙන් මහන්සි වෙන,වැඩ කරන ගෑනු ලමයි ඕනි තරම් ඇති....එහෙම කෙනෙක්වත් මම දන්නවා.ඒකයි මම බය නැතුව කියන්නෙ"

ආශව ඒ දේ කිව්වෙ නේත්‍ර ගැන හිතලා,නේත්‍රගෙ සතුට ගැන හිතලා තමන් අතරට එන්නෙ නැතුව පාඩුවෙ ඉන්න උපාධ්‍යා ගැන මතක් වෙලා.තමන් නේත්‍රව අයිතිකරගත්තු එකේ පලිය ගන්න තමන්ව ටීම් එකෙන් අයින් කරන්න හැකියාව ඕනි තරම් තිබිලත්,ඇමතිතුමාට කියලා තමන්ව ටීම් එක ඇතුලට දාලා ඒ දෙයින් නේත්‍ර ලැබුව සතුට දිහා ඈත ඉදන් බලන් ඉන්න උපාධ්‍යාත් නියම කෙල්ලෙක් කියලා ආශවට හිතුනා.

"ඒක නිසා හරියටම දරදඩු කොල්ලෙක්ට හරියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා කාටවත්ම කියන්න බැහැ....ඒක එකිනෙකා මත ඩිපෙන්ඩ් වෙනවා.ලියෝන් කිව්ව දේ සමහර විට හරි වෙන්න් ඇති.....මට ඉන්නෙ බෝයි කෙනෙක් වෙන්න පුළුවන්....ඒත් ඒකට හේතුව ලියෝන් කිව්ව පටු දේවල් නෙවෙයි.ඒක ඊට වඩා හුගාක් පුළුල් දෙයක්....එයාව මම මගෙ ආදරවන්තයා විදියට තෝරගත්තෙ එයා වෙනුවෙන් විතරක්ම මගෙ හිතේ හැඟීම් ඉපදුනු නිසා....එයා ලග මම නිවෙන නිසා...එයාගෙන් මට හැමෝගෙන්ම ලැබෙනවට වඩා ආදරයක් ලැබෙන නිසා....එයා මාව මනුස්සයෙක් කරන්න මහන්සි වෙන නිසා....මම වෙනුවෙන් ඕනිම කැපකිරීමක් කරන නිසා....වෙන කිසිම කෙනෙක් ගැන හීනෙකින්වත් නොහිතා මගෙ මත්තෙම නැහෙන නිසා....ඒ ඔක්කොමත් එක්ක ඒ පුංචි ආදරණීය ආත්මෙ මගෙ ආත්මෙටම බැඳිලා ඉන්න නිසා....මම මේ ක්‍රිකටර් කෙනෙක්වත් නොවී,ඉරුගල්බණ්ඩාරගෙ පුතත් නොවී හිස් අතින්ම එලියට බැස්සත් දුවගෙන ඇවිත් මගෙ අතේ එල්ලිලා 'අපි යමු' කියලා කියන ජාතියෙ කෙනෙක් නිසා....තව හේතු ගොඩක් තියෙනවා ලියෝන්....එයා ගැන කතා කරන්නනම් මට මගෙ ජීවිත කාලෙත් මදි"

ලියෝන්ට හිතන්න දෙයක් ඉතුරු කෙරුව ආශව කිරි වීදුරුවෙන් තව උගුරක් බොන ගමන් නැගිට්ටෙ නැගෙනහිර අහස ලා තැඹිලි පාටක් වීගෙන එන නිසා.

"තිදස්වර අයියා යන්නෙ ඇයි දැන්මම?"

"ඉර නගින විදිය එදා ඉදන්ම මම බැලුවෙ එයා එක්ක ලියෝන්....අහම්බෙකින්වත් එයාගෙ තැන වෙන කෙනෙක්ට දෙන්න ඕනි නෑ මට.ඒකයි....මම යනවා"

ලියෝන් මුකුත් කියන්නත් කලින් ආශව එතනින් අහකට යද්දි තමන්‍ට පිටුපාලා යන ආශව දිහා බැලුව ලියෝන් ලාවට හිනා වීගෙන ඈත අහස දිහා බලාගෙන කිරි වීදුරුව තොල ගාන්න ගත්තා.

"ආශව අයියා එක්ක එකට ඉදලා ඉර දිහා බලන් ඉන්න එක ලස්සන හැඟීමක් වෙන්න ඇති ඒ කෙනාට"

ලියෝන්ට මතක් උනේ තමන් ආශවව මුල්ම වතාවට දැක්ක දවස.ඒ කාලෙ ආශව හිටියෙ දහය වසරෙ වගේ.ආශවට වඩා අවුරුද්දක් බාල තමන්,තමන්ගෙ අයියා උනු දිනාල් ක්‍රීඩා කරන ක්‍රිකට් මහ සටන බලන්න එදා ඇවිත් හිටිය බව ලියෝන්ට මතක් උනා.එදා පිත්ත කරකවන ගමන් පිට්ටනියට ආව ඒ කෙනාගෙ හිස් වැස්ම අස්සෙන් පෙනුනු තද දුඹුරු පාට ඇස් දෙකට ලියෝන්ගෙ හිත තදින්ම ගස්සවන්න පුළුවන් උනා.එදා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කෙරුව ආශව හිස් වැස්ම ගලවගෙන පිට්ටනියෙන් එලියට යද්දි ලියෝන් තමන්ගෙ පපුවට අත තියාගත්තෙ ජීවිතේට නොදැනුනු අමුත්තක් දැනුනු නිසා.පුංචි වයසක හිටිය ලියෝන්ට ඒ හැඟීම තේරුම් ගන්න පුළුවන් උනේ නැහැ.

හැබැයි අවුරුද්දක් දෙකක් ගත වෙද්දි,ආශවගෙ ඡායාරූප කිහිපයක් තමන් දුරකථනෙ රහසිගත ෆෝල්ඩරයක සඟවද්දි,ආශව සම්බන්ධ ක්‍රීඩා වීඩියෝ එකක් නෑර බලද්දි,ආශව ක්‍රීඩා කරන හැම තරඟයක්ම බලන්න යද්දි,ප්‍රසිද්ධ ක්‍රීඩකයොන්ගෙ අත්සන් වෙනුවෙන් වෙන් වුනු පොතේ හරි මැද පිටු දෙකම ආශව වෙනුවෙන් වෙන් වෙද්දි,තමන් ජාතික කණ්ඩායමට තේරුනු දවසෙ ඉදන් ආශවවත් ඒකට තේරී පත් වෙනකං මග බලාගෙන ඉද්දි,මහ රෑටත් ආශව ගැනම කල්පනා කරද්දි ලියෝන් ටිකෙන් ටික තමන්ගෙ හැඟීම් තේරුම් ගත්තා.තමන්ට ආශව ගැන ආදරේට එහා ගිය හැඟීමක් තියෙන බව ලියෝන් තේරුම් ගත්තා.

හැබැයි ආශවව කිට්ටුවෙන් ආශ්‍රේ කරන්න ගනිද්දි,ආශව වෙන හිතකට තදින්ම බැදිලා තියෙන බව දැනගනිද්දි,ආශවගෙ ඇස් වෙන කෙනෙක් වෙනුවෙන් දිලිසෙද්දි,ආශවගෙ හිතේ වෙන කිසිම කෙනෙක්ට පුංචි ඉඩක්වත් නෑ කියලා දැනෙද්දි ලියෝන් තමන්ගෙ හිතේ තියෙන හැඟීම් පුළුවන් තරම් යටපත් කරගන්න වෙර දැරුවා.ආශවව තමන්ට ලැබෙන්නෙ නෑ කියලා හිතට ඒත්තු ගන්වන්න උත්සාහ කලා.ඒත් අළු යට හැංගුණු ගිනිපුපුරක් වගේ ඒ හැඟීම තවමත් ලියෝන්ගෙ යටිහිතේ තිබුනා.

"ලියෝන් මොකෝ මෙතන කරන්නෙ?"

"ආ සනුක අයියා.....ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින් ගුඩ් මෝනින්"

"තිදස්වර අයියව දැකලා ආවෙ....එයා ගියා ඒත්"

"ආ....මේ ඒක නෙවේ....අර මම කිව්ව බෝයි....එයා ආශවගෙ මල්ලි කෙනෙක්ලු"

"ඕහ්....ඒ කවුද?"

"ආශවගෙ අකවුන්ට් එකේ තියේ එයා එක්ක දැම්ම ෆොටෝස් දෙකක්ම....බලන්නකො"

සනුක තමන්ගෙ දුරකථනෙ දික් කරලා පෙන්නද්දි ලියෝන්ගෙ හිත තත්පර ගාණකට නැවතුනා.ලියෝන්ට මතක් උනේ දවසක් අහම්බෙන් වගේ ආශව තනියම මුමුණපු වචන කීපයක් ගැන.

"ආදරේ පිරුණු බෝල ඇස්.....පිරුණු රෝස පාට තොල්.....ලා රෝස පාට කම්මුල්....නලලට වැටුණු කොණ්ඩෙ....හා දත් දෙකත් ඉස්සරහට දාලා කරන හිනාව.....ඔයාගෙ රූපෙන්,ආදරෙන් මගෙ හිත පිරුණට පස්සෙ වෙන දේකට මගෙ හිතේ ඉඩක් එන්නෑ කවදාවත්ම"

ජනේලෙක බැදිලා තියෙන වැහි මීදුම උඩ අතින් මූණක් අදින ගමන් මුමුණපු ආශවගෙ වචනයි,මෙතන ඉන්න පිරිමි ලමයයි දෙන්නගෙ පෙනුම ගොඩක් සමාන වෙද්දි ලියෝන්ගෙ හිත සෑහෙන්න රිදුම් දුන්නා.පුංචි එකෙක් වගේ හිනා වීගෙන දුරකථන තිරේ දිහා බලන් ඉන්න පිරිමි ලමයගෙ රූපෙ එක්ක ලියෝන් හුගක් දේවල් තේරුම් ගත්තා.අනික ආශව ඒ ඡායාරූපෙ උඩුගත කරලා තිබ්බෙත් පෙබරවාරි දාහතර වෙනිදාවක වෙද්දි,ඒක කට්ටියම කොහෙ හරි ගිය වෙලාවක එකක් වෙද්දි,එතන තමන් අදුනනන් දෙවින්ගෙ හා ඔහුගෙ නිවුන්නා වගේම තව කොට කොල්ලෙක් එක්ක ගත්තු ඡායාරූපයකුත් තිබුනත් ආශව හා අර පුංචි කොල්ලගෙ යුගල ඡායාරූපයෙ විශේෂත්වයක් ලියෝන් දැක්කා.ඒකත් එක්ක ලොකු හුස්මක් පහල දැම්ම ලියෝන් තමන්ගෙ හිත තේරුම් ගත්තු දේවල් තමන්ගෙ හිතේම තියාගෙන සනුක දිහා හිනා වෙලා බැලුවා.

"ඔන්න ඕක අතෑරලා දාන්න සනුක අයියෙ"

"ඒ ඇයි? මෙයාව සෙට් කරගන්න පුළුවන් උනොත්නම් මම සිරා කරනවා...ලියෝන්ට කියන්න කනට ඇහෙන්න කතා කරන්නෑ එයා....නේත්‍ර නම එයාගෙ හොදද? මම ගෙනිච්ච බිස්කට් ටින් එක මම දුන්නෙ එයාට....ඇගිලි තුඩු එහෙම රෝසපාටයි...හරි හුරතල් පෙනුමයි එයා.ඇත්තටම දැක්කම හරි අමුත්තක් ආවා හිතට.මම ආශවයට මෙව්වා කිව්වෙ නෑ....උඹ කියන්නත් එපා ඈ.ඌ ගහයි මට උගෙ මල්ලි කෙනෙක් නිසා"

"නෑ නෑ මම කියන්නෑ"

"ඉන්ස්ට විතරයි ඉන්නෙත් සෝශල් මීඩියාස් වල....ඒකත් ඔන්ලයින් නෑ සතිගාණක ඉදලා.කොහොමත් අහිංසක පාටයි එයා...මම කොහොමත් කැමති එහෙම පාඩුවෙ ඉන්න අයට....ඇත්තටම මට එවෙලෙම උස්සන් එන්න හිතුනා ඒ පොඩි එකාව.එහෙම කලානම් ලොවෙත් ඒකා තාම අඩනවා....හරි ලාමක පාටයි ඒ ලමයා....මට හරි අමුතු හැඟීමක් ආවෙ හිතට.අනේ මංදා....මම ආයෙ ආශවයා ගමේ යද්දි යනවා ඌ එක්ක....ඔයා ඇයි අතාරින්න කිව්වෙ ඒක?"

"ම්ම්ම්.....ඒ ලමයා කොල්ලෙක්ටමද කැමති කියලා කියන්න බෑනෙ...ඕනිතරම් අහිංසක පාට කොල්ලො ඉන්නවා කෙල්ලො එක්ක යාලු....විදුරයා පේනවනෙ...කනට ඇහෙන්න කතා කරන්නෑ....පොඩ්ඩක් සැර කලත් ඇස් වල කදුළු...ඒත් ඌ යාලු කෙල්ලෙක් එක්කනෙ....සිරා කරනවත් එක්කනෙ කොල්ලා ඒක...ඒකයි මම කිව්වෙ.අනික ඔය නේත්‍රද කවුද කියන කෙනා දැනටම කොල්ලෙක් එක්ක යාලුනම්?"

"ඒකත් ඇත්ත හැබැයි.....කොල්ලෙක් හිටියට කමක් නෑ ඌට දෙකක් ඇනලා නේත්‍රව අතෑරපං කියලා මම නේත්‍රව දාගන්නවා....හුම්ම්"

සනුක හරි ආඩම්බරෙන් අත් දෙකත් පපුවෙ බැදන් කියද්දි ලියෝන්ගෙ කටින් ලොකු හිනාවක් එලියට පැන්නා.

"උඹ කන්න යන්නෙ අයියෙ හොද හයේ හතරෙ පොරකගෙන් හොද කෑමක්"

"හය හතර ලොකු නෑ මට....ඉදපංකො මම නේත්‍රව සෙට් කරං උබලා ඉස්සරහට ඇවිත් පුක වනලා යනවා!"

"හා හා....කරගෙන යන්න....ගුඩ් ලක්"

සනුක ලියෝන්ගෙ කරටත් අතක් දාගෙන ගොඩනැගිල්ල පැත්තට එද්දි ආශව තමන්ගෙ අතේ රැදුණු ගැටපිච්ච මලක් එක්ක ඉර නැගගෙන එන දිහාව ආසාවෙන් බලන් හිටියා.

.

.

.

.

.

"ඊයෙ මගෙ යාලුවෙක්ට සර්පයෙක් ගහලානෙ"

"ඒ කාටද? ඉන්දීප්පයියටද?"

"ඉන්දීපට සර්පයා නෙවේ මම ගහන්නෙ වෙලාවක"

"අනේ මේ තෙවින්! කියපංකො මොකද්ද සීන් එක"

"කොළඹ හිටිය යාලුවෙක් යුගාන්....දියතලාවෙ ගිහින් යාලුවො එක්ක.කොහෙ හරි කැලෑවක රිංගලා යද්දි කාලා තියෙන්නෙ"

"දන්න සතෙක්ද කාලා තියෙන්නෙ? සතාව අදුනගෙනද?"

"අදුරන සතෙක්නම් කන්නෑනෙ යුගාන්....දන්න කියන මිනිස්සුනෙ කියලා අතෑරලා යනවනෙ"

"උඹට මම!"

දිවාෂ එහෙම්මම පැනලා ඉස්සරහ ඉදන් හිටිය තෙවින්ට ගහගෙන ගහගෙන යද්දි පිටිපස්ස ආසනේට වෙලා දෙනෙත්ට හේත්තු වෙලා හිටිය නේත්‍රත් හිනා වෙන්න ගත්තා.වාහනේ පදින ගමන් හිටිය දෙවින් හිනා වෙවීම දිවාෂ දිහා බලද්දි තෙවින්ගෙ කනත් අනික් පැත්තට ඇඹරුව දිවාෂ මුකුත් නොකලා වගේ ආයෙමත් පිටිපස්සෙ ආසනෙන් ඉදගත්තා.

"ඈ යුගාන්...."

"මොකද?"

"සර්පයෙක් කන්න කලින් දැනගන්න විදියක් නැද්ද?"

"අපෝ පුළුවන්"

"කොහොමද?"

"ඌ කන්න කලින් කෝල් දෙක තුනක් ගන්නවා...ඒවා මිස් උනොත් මැසේජ් එකකුත් දානවා....ඒකත් සීන් කරලා නෑ වගේනම් මේල් එකකුත් එවනවා...ඒකටත් රිප්ලයි නැත්තං තමා ඔය හොයාගෙන ඇවිත් ගහන්නෙ"

"අනේ මේ යුගාන්! අනේ අයියෙ බලන්නකො යුගාන් මාව විහිලුවකට අරං තියෙන්නෙ"

"උඹලා දෙන්නගෙ රණ්ඩු උඹලා දෙන්නම විසඳගන්න එක තමා හොද....නැත්තං එහෙම මෙතන ඊලඟට මට බැනුම් අහගන්න වෙන්නෙ දෙන්නගෙන්ම"

දිවාෂට රැව්ව තෙවින් අහක බලාගනිද්දි තෙවින්ට මැද්දෙ ඇඟිල්ල දික් කෙරුව දිවාෂ දෙනෙත්ගෙ උරහිසට හේත්තු වෙලා ඉන්න නේත්‍රව තමන්ගෙ ඇගට බර කරවගත්තා.ඒත් එක්කම නේත්‍රගෙ දුරකථනයට ආව නොටිෆිකේෂනයක් නිසා දුරකථනෙ අතට අරං බැලුව නේත්‍රගෙ මූණෙ දයාබර හිනාවක් ඇඳුනෙ ඇස් වලට කදුළු පිරෙද්දි.

"අනේ මැණිකෙ මෙහෙම කලාට සමාවෙන්න....ඒත් ඔයා හෙට ලස්සනට යන්න ඕනිනෙ.මම සල්ලි වගයක් දැම්මා ඔයාගෙ අකවුන්ට් එකට....මදිපාඩුවක් තිබ්බොත් ඒකෙන් ගන්න හොදද? ලස්සන ඇදුමක් තෝරගන්න....අලුත් සපත්තු දෙකකුත් ගන්න...ඔයා ලග කොහොමත් තියෙන්නෙ සපත්තු ජෝඩු දෙකනෙ.....ඒක අනිවාර්යයෙන්ම ගන්න හොඳද?"

ආශවගෙ කෙටි පණිවිඩයට පිලිතුරු යැව්ව නේත්‍ර හිනා වෙවීම දුරකතනය සාක්කුවට දාගත්තෙ නේත්‍රගෙ සුදුබේබි නේත්‍ර සම්බන්ධ තීරණ ගන්නෙ සුදුබේබිටම ඕනි විදියට කියන එක වෙනස් කරන්න බැරි වෙලා තියෙන නිසා.ඒත් එක්කම ආයෙමත් ආව කෙටි පණිවුඩ සද්දෙ එක්ක නේත්‍ර දුරකථනය අතට ගත්තා.

"ඔයා ඔයාට ආසා විදියෙ ඇඳුමක් ගන්න මැණිකෙ හරිද? අනික් අය ඔයාට ලස්සනයි කිව්වට ඒක ඔයාගෙ හිතට හරි නැත්තං ගන්න එපා....එයාලගෙ හිත රිදෙයි කියලා හිතලා ඔයාගෙ සතුට පැත්තක දාලා ගන්න එහෙම එපා.තේරුණාද? ඔයාට ආසා විදියෙ එකක් ගන්න....අරං ඉවර වෙලා මටත් ෆොටෝ එකක් එවන්න හොදද? මම මේ ප්‍රැක්ටිස් වල ඉන්නෙ.වතුර බොන්න කියලා ඇවිත් මැසේජ් එකක් දැම්මෙ....රිප්ලයි පරක්කු උනොත් බය වෙන්න එපා මැණිකෙ..පරිස්සමින් ඔයා.බුදු සරණයි"

"හරි සුදුබේබි....මගෙ සුදුබේබිටත් බුදු සරණයි"

නේත්‍ර දුරකථනය ආයෙමත් සාක්කුවට දාගනිද්දි ඉස්සරහ හිටිය දෙවින් හිනා වෙලා නේත්‍ර දිහා බැලුවා.

"මොකෝ ආශවයට එන්න හිතිලද නේත්‍ර මල්ලි?"

"නෑ දෙවින් අයියෙ.....සුදුබේබි ඇදුම් ගන්න එක ගැන කියලා තියෙන්නෙ"

"ඔයා දන්නවද බබා?"

"මොකද්ද දෙව්?"

"ඉස්සර ආශවයා ඔය දුරට ගිහාම ටූනමන්ට් එකක් ප්ලේ කරන්න....එක ලග දවස් දෙකක් වගේනෙ තියෙන්නෙ...ටෙස්ට්නේ හුගක් ගහන්නෙ.මූට ඔය දවස් දෙක ඉන්න බෑ.....අඩන්නෙ නැති ටික විතරයි....නැගිට්ට වෙලේ ඉදලා නිදාගන්නකං නේත්‍ර නේත්‍ර නේත්‍ර....කොහොමහරි දෙන්නා යාලු උනාට පස්සෙ එහෙම මැච් සෙට් උනේ නෑ....නේද නේත්‍ර මල්ලි?"

"ඕ දෙවින් අයියෙ....ඔක්කොම තිබ්බෙ නුවර ලගපාතනෙ....අන්තිම මැච් එකට සුදුබේබි දුර ගිහින් ඇවිත් තමා මට.....හි හී"

"ඔයාට කන්ෆෙස් කලේ නේද? මේකගෙ ලැජ්ජාව බලන්නකො දෙව්"

"ඔව් දෙනෙත් අයියෙ......ඒකෙන් පස්සෙ සුදුබේබි ඔය දුර ගියාමයි"

"ඒක තමා ඔයාට අසනීප වෙන්න ඇත්තෙ"

නේත්‍රගෙ ඔලුව අතගෑව දෙනෙත් කියද්දි නේත්‍ර ඔලුව උඩ පහල වැනුවා.නේත්‍රගෙ හුරතල් මූණ දරාගන්න බැරි උනු දෙනෙත් නේත්‍රගෙ කම්මුල් දෙකම මිරිකලා දාද්දි නේත්‍ර හා දත් දෙක එලියට දාලා හිනා උනා.

"බහිමු....අනේ බබා අදවත් මාව ඇදුම් රැක් එකක් කරන්න එපා"

"මෙන්න මෙහෙ වරෙං දෙව් යන්න! යකෝ මිනිහනම් ඉදපං ඒ විදියට"

දෙවින්ව අතින් අල්ලගත්තු දෙනෙත් ඇදුම් සාප්පුවට ගොඩ වෙලා විදුලි සෝපානය පැත්තට ඇවිදන් යද්දි දිවාෂවයි නේත්‍රවයි ඉස්සර කරගත්තු තෙවිනුත් ඒ පැත්තටම ඇවිදන් ගියා.ටික වෙලාවක් යන්න කලින් දෙවින්ගෙ අත් දෙකයි,බෙල්ලයි,උරහිසයි ඇඳුම් වලින් පිරෙද්දි දෙවින්වයි දෙනෙත්වයි මගෑරිය තෙවින් දිවාෂ නේත්‍ර තුන් කට්ටුව හෙමින් සැරේ වෙන පැත්තකට ඇවිදන් ගියා.

"චූචියා මොන වගේ ඇඳුමක්ද බලන්නෙ?"

"විශේෂයක් නෑ දිවාෂ.....හොදයි කියලා හිතෙන එකක් ගන්න බැලුවෙ"

නේත්‍ර ඇදුම් දෙක තුනක් තෝරං ඇදුම් මාරු කරන කුටියකට ගිහින් දොර වහගනිද්දි දිවාෂ ඒ පැත්තටත් අවධානෙ දෙන ගමන්ම තමන්ටත් ඇදුමක් තෝරන්න ගත්තා.ඇතුලට අරං ගිය ඇදුම් දෙක තුනම ඇදලා ඡායාරූපගත කරගත්තු නේත්‍ර ඒ ටික ආශවට යෑව්වෙ මෙවෙලෙ ආශවලට විවේකයක් ලැබුනා කියලා ආශව දාලා තිබ්බ කෙටි පණිවිඩේ නිසා.

"ඔය සුදු ටී ෂර්ට් එක යටට ඇඳලා....උඩින් අර ලොකු ශර්ට් එක දාගෙන බලන්න නේත්‍ර....මට හිතෙනවා එහෙම ලස්සන වෙයි කියලා"

ආශව කිව්ව විදියටම ඇඳුම ඇදල බැලුව නේත්‍රගෙ ඇස් දෙක දිලිසුනේ ඒක තමන්ට ලස්සනට ගැලපෙන විදිය දැකලා.සුදුබේබි හරියටම තමන්ට ගැලපෙන දේවල් කියන්නෙ කොහොමද කියලා හිතන ගමන් නේත්‍ර තමන්ව ඡායාරූපගත කරගෙන ආශවට ඒක යැව්වා.

"Perfect.....මැණික කැමතිනම් ඕක ගන්න.ඩෙනිම් එකකුත් ගන්න තද නිල් වගේ....ෂූස් දෙකකුත් ගන්න හොදද? සල්ලි මදි වගේනම් කියන්න මම දාන්නම්"

"සල්ලි ඇති සුදුබේබි....වැඩිත් එක්ක.මම පිරිමහගන්නම්කො"

ඇඳුම තෝරගත්තු නේත්‍ර එහෙම්මම ගිහින් තමන්ගෙ ඉණේ ප්‍රමාණෙට හා කමිසෙ පාටට ගැලපෙන ඩෙනිමක් වගේම සුදු පැහැති අලුත් පන්නයේ සපත්තු දෙකකුත් අරගෙනම පැත්තකට ඇවිල්ලා ගණන් හදලා බැලුවා.තමන් ලග තියෙන සල්ලි සම්පූර්ණ ඇඳුමටම ප්‍රමාණවත් වෙද්දි සුදුබේබි සල්ලි සපත්තු දෙකට වියදම් වෙන නිසා නේත්‍ර ඒ දෙක නොගෙන ඉන්නත් හදලා ආපහු අරගත්තෙ නැත්තං සුදුබේබි කොළඹ ඉදල එද්දි සපත්තු කුට්ටම් තුනක් විතර උස්සන් එන බව දන්න නිසා.විනාඩි පහලවක් වගේ ඇතුලත සම්පූර්ණ ඇදුමම තෝරගෙන ඉවර උනු නේත්‍ර දිවාෂ ලගට එද්දි දිවාෂ ඔලුවත් කහ කහ ඇඳුම් හොයන ගමන් හිටියා.

"හොයාගන්න බැරි උනාද දිවාෂ?"

"ඔව් නේත්‍රයො.....බලන්නකො.මට තේරෙන්නෙ නෑනෙ අනේ මට ගැලපෙන එකක් හොයාගන්න"

"ඉන්නකො මමත් බලන්නම්"

නේත්‍ර තමන්ගෙ ඇදුම් මල්ල එක අතක එල්ලගෙන ඇඳුම් හොයද්දි එතනට ආව තෙවින් තමන්ගෙ උගුර පෑදුවා.

"ම්ම්ම්.....යුගාන්....මේක පොඩ්ඩක් බලන්න ඔයාට සෙට් වෙයිද කියලා...මට හිතෙනවා හරියයි කියලා"

තෙවින් ගෙනත් දුන්නු ඇඳුම අතට ගත්තු දිවාෂ ඔලුවත් වනලා ඇදුම් මාරුකරන කුටියකට ඇතුල් වෙලා ටික වෙලාවකින් ඔලුව එලියට දැම්මෙ හිනා වෙන ගමන්.තෙවින් තෝරලා දීලා තිබ්බ සුදු පැහැ ඕවර් සයිස් අත් දිග ටී ෂර්ටය දිවාෂට හරි අගේට ගැලපිලා තිබුණා.

"තෙවින් අයියා දිවාෂට හරි යනම එක තෝරලා"

"ඒක හොදද මල්ලි යුගාන්ට?"

"ඔව්.....ඒක ලස්සනයි"

නේත්‍ර හිනා වෙලා කියද්දි නේත්‍රගෙ කොණ්ඩෙ අවුල් කෙරුව තෙවින් බලන් හිටියෙ ඩෙනිම් තියෙන පැත්තට යන ගමන් තමන් දෙන්නට එන්න කියලා අත වනන දිවාෂ දිහා.නේත්‍රව ඉස්සර කරගත්තු තෙවින් එතනට යමින් ගමන් ඉදිද්දි තමන්ට ආව දුරකථන ඇමතුමක් එක්ක තෙවින් පැත්තකට ගියා.

"කෝ තෙවින්?"

"තෙවින් අයියට කෝල් එකක් ආවා දිවාෂ....එයා ඒක ආන්සර් කරන්න ගියා"

"ආ හරි හරි....මම මේකට සුදු ඩෙනිමක්ම අරං සුදු ෂූස් දෙකක් ගන්නද? නැත්තං වෙන කලර් එකක් ගන්නද?"

"බ්ලූ වගේ බලමුද දිවාෂ ඩෙනිම?....සුදු ෂූස් දෙකක් ගමු"

"චූචියා කියනවනම් අමුඩයක් හරි අඳින්නම් අනේ මම"

දිවාෂත් එක්ක ඇඳුම් ටික අරගත්තු නේත්‍ර ගිහින් එතන තිබ්බ පුටු පෝලිමකින් ඉදගත්තෙ තාම දෙනෙත්ගෙ වැඩ ඉවර නැති නිසා.ටිකකින් තෙවිනුත් ඇවිල්ලා දිවාෂ ලගින් ඉදගනිද්දි දිවාෂ තෙවින් දිහා බැලුවා.

"කවුද කෝල් කලේ?"

"මම අර කිව්ව ප්‍රොඩියුසර්......එයා කැමතියි වගේ මම එක්ක වැඩ කරන්න.ඇවිත් හම්බවෙන්න කිව්වා"

"හෙටද?"

"ඔව් යුගාන් හෙට....ම්ම්ම්....හෙට වැඩේ හරි ගියොත් මට එයා එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි එක දිගටම...."

"ඒ කිව්වෙ?"

"එයාගෙ කොන්සට් තියෙනවා....සමහරවිට තව අවුරුද්දක් වගේ ඇතුලත මට කොන්සට් එකකට ජොයින් වෙන්න පුළුවන් වගේ දෙයක්?"

"වෝහ්! නියමයිනෙ"

"ම්ම්ම්....යුගාන්ට හෙට යන්න වෙන්නෙ තනියම"

"තනියක් කොහෙද යස්සයො? දෙවින් පණයි දෙනෙත් අයියයි චූචියයි ඉන්නවනෙ"

"හ්ම්ම්ම්....එහෙනම් කමක් නෑ"

ටිකකින් දෙනෙතුත් දෙවින් එක්ක ඇඳුම් තෝරගෙන එද්දි කට්ටියම නැගිටලා සල්ලි ගෙවන්න ගියා.ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන එලියට ආව කට්ටියටම වාහනේට යන්න කියලා කිව්ව දෙවින්,දෙනෙත් දෙන්නා කට්ටියටම කන්න මොනාහරි අරං එන්නම් කියාගෙන එතනින් එහාට ගියා.නේත්‍ර වාහනේ ඇතුලට නැගලා ඇඳුම් බෑගය තමන්ගෙ උකුල උඩ තියාගනිද්දි වාහනේට නගින්න හැදුව දිවාෂ නැවතුනේ තෙවින්ගෙ හයිය අතේ ග්‍රහණයට තමන්ව ලක් වුණු නිසා.

"ඇයි මේ?"

"ය්....යුගාන්ට ඇත්තටම කමක් නැද්ද මම එන්නෙ නැති එක ගැන?"

"මේ මොකෝ මේ? ඇයි එහෙම අහන්නෙ?"

"ම්....මට....මට දුකයි යුගාන් එක්ක යන්න වෙන්නෙ නැති එක ගැන.යුගාන්ට එහෙම ගාණක් නැද්ද? ඇත්තටම?"

තෙවින් දිවාෂව තව ටිකක් ලගට ඇදලා ගන්න ගමන් අහද්දි දිවාෂ සද්ද නැතුවම තෙවින්ගෙ හීනි ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

"මට කී දෙනෙක් මගෙ වටේ හිටියත් යුගාන් නැතුව පාළුවක් දැනෙනවා....මට විතරද යුගාන් එහෙම? ය්....යුගාන්ට එහෙම නැද්ද?"

තෙවින්ගෙ ලොකු අතක් හෙමින් සැරේ ආවෙ දිවාෂගෙ කම්මුලක් ලගට.තෙවින් දිවාෂගෙ ඇස් දෙක දිහාම බලාගෙන දණහිස් වලින් නැවෙද්දි වාහනේ ඇතුලෙ ඉදලා ඇසුත් ලොකු කරං බලන් හිටිය නේත්‍ර ඇස් දෙක උඩින් තමන්ගෙ අත තියාගෙන ඇඟිලි අස්සෙන් දිවාෂ,තෙවින් දෙන්නා දිහා බලන් හිටියා.

"හෑයියා!"

නේත්‍ර හෙමින් සැරේ මිමිණුවෙ තෙවින්ගෙයි දිවාෂගෙයි ඇස් එකිනෙකට බැඳිලා තියෙන හැටි දැක්ක නිසා.සුදුබේබිට විස්තරෙ කියන්න ඕනි නිසා නේත්‍ර ඇඟිලු අස්සෙන් දිවාෂලා දිහා බලාගෙන හිටියා.

"ආ යුගාන්.....මට උත්තරයක් ඕනි"

තෙවින්ගෙ තීරණාත්මක හඩ එක්ක දිවාෂගෙ තොල් ඉබේටම ඈත් උනේ උත්තරයක් දෙන්න.ඒත් ඊට කලින් දෙනෙත්ගෙ කටහඩ එක්ක දිවාෂ වගේම තෙවින් හරි සිහියට ආවා.

"ආ.....මෙන්න ලමයි කන්න! කෝ එන්න!"

දෙනෙත් කෑ ගහන ගමන් රවලා තමන්ට පිටිපස්සෙන් දුරකථන තිරේට ඇස් දෙක ඔබාගෙන එන දෙවින්ව පෙන්නද්දි දිවාෂයි තෙවිනුයි ඉක්මනටම ඈත් වෙලා වාහනේට ගොඩ උනා.කට්ටියටම ගෙනාව බනිස් ටික බෙදලා දුන්නු දෙනෙත් ඊලගට අයිස් කෝපි බෝතල් ටික එලියට ගද්දිම නේත්‍ර තමන්ගෙ තොල් දෙක නොපිට පෙරලගත්තා.

"නේත්‍ර බබා....ඔයාට ෆෘට්ජූස් බොට්ල් එකක් ගත්තා....ආශව කෝල් කරලම කිව්වා ඔයා අයිස් කොෆී වලට ඉන්ටරෙස්ට් නෑ කියලා....ආ ඔයාගෙ එක"

දෙනෙත් හිනාවෙවීම නේත්‍රට පලතුරු බීම බෝතලේ දික් කරද්දි නේත්‍ර හිනාවෙලා බෝතලේ තමන්ගෙ අතට ගත්තා.කට්ටිය එක්කම හිනාවෙවී ගමන යන්න පිටත් උනත් තෙවින්ගෙ සද්දයක් තිබුනෙම නැහැ.ජනේලෙට ඔලුව බර කරගත්තු තෙවින් සද්ද නැතුවම ගමන් ගනිද්දි දිවාෂත් හොරෙන් හොරෙන් තෙවින් දිහා බලන ගමන් සාමාන්‍ය විදියට ගමන් කලා.

"තෙවින්...."

"ඕ දෙනෙත්.....කියන්න"

දිවාෂවයි නේත්‍රවයි ගෙවල් වලින් බැස්සෙව්ව දෙවින් වාහනේ අරං කෙලින්ම ආවෙ සිංහවංශ වලව්වට.දෙවින් ඇගපත සෝදගන්න කියලා නානකාමරේට වැදෙද්දි දෙනෙත් හෙමින් සැරේ තෙවින්ගෙ කාමරේට ඇතුල් උනේ දොරට තට්ටු කරලා තෙවින්ගෙන් ලැබුණු අවසරේ එක්ක.බැල්කනියට වෙලා හිටිය තෙවින්ගෙ අතේ තිබ්බ බියර් ටින් එක තෙවින් හෙමින් සැරේ පැත්තකට කරද්දි දෙනෙත් ඇවිත් තෙවින් ලගම තිබ්බ පුටුවකින් ඉඳගත්තා.

"තෙවින් මේ වෙලාවෙ ඩ්‍රින්ක්ස් ගන්නෙ මොකෝ?"

"ම්ම්ම්ම්.....විශේෂත්වයක් නෑ දෙනෙත්"

"හිතට අවුල් වගේ නේද?"

"හ්ම්ම්ම්"

"මම මේ කියන්න ආවෙ....මොන දේ උනත් පරිස්සමින් කරන්න....මොකද ඔයාගෙයි දිවාෂ බබාගෙයි අතරෙ තවම හරිහමං විදියෙ සම්බන්ධයක් නෑනෙ?"

".................."

"මම හිතන්නෑ එහෙම තත්වෙක ඉද්දි මේක දෙව් දැනගන්න ඕනි කියලා.....ඔයාම දන්නවනෙ,එයා දිවාෂ බබාටත් ඔයාට වගේම ආදරෙයි"

"ඔව් මම දන්නවා"

"ඒක නිසා කරන දෙයක් පරිස්සමින්....."

"තෑන්ක් යූ දෙනෙත්....මටත් තේරෙන්නෙ නෑ තවම මගෙ හැඟීම්....ඒක හරි අමුතුයි"

"හෙමීට හිතන්න තෙවින්.....ඔයාගෙ හැඟීම් තේරුම් ගන්න එක හොදයි ඒක වෙන කෙනෙක් ඔයාට තේරුම් කරනවට වඩා"

තෙවින්ගෙ ඔලුව අතගෑව දෙනෙත් බැල්කනියෙන් පිට වෙන්න කලින් ආයෙමත් හැරිලා තෙවින් දිහා බැලුවා.

"මම හිතන්නෑ දිවාෂ බබා දැනගත්තොත් කැමති වෙයි කියලා ඔයා නිතර නිතර ආයෙමත් බියර් යූස් කරන එකට"

දෙනෙත්ගෙ වචන වලට හිනා වුණු තෙවින් එහෙම්මම බියර් ටින් එක තමන්ගෙ කාමරේ ඇතුලෙ තිබ්බ කුණු බක්කිය ඇතුලට දාලා තුවායත් අරං නානකාමරේට වැදුනා.

.

.

.

.

.

"අම්මේ....."

"ආ උඹ ආවද? මෙන්න මෙහෙට වරෙංකො පොඩ්ඩො මේ හොද්ද ඒදන්න"

"මොනාද අම්මෙ?"

"මස් හොද්දක් පොඩ්ඩො.....වලව්වෙ මහතැන්ලට ඉදිආප්ප කන්න"

"ඉන්න අම්මෙ මම ඒදන්නම්....."

"උඹ හදන මස් හොද්දට මහතැන්ලා හරි මනාපයිනෙ...සුදුබේබි එහෙම ඉල්ල ඉල්ලම කනවනෙ....සුදුබේබි නැති උනාට මහ මුදියන්සෙයි ලොකු මැණිකෙයි ඉන්නවනෙ....උඹ ඕක හදපං...මම සම්බෝලෙ අඹරන්නම්"

නිර්මලාගෙ වචන වලට ඔලුව වැනුව නේත්‍ර මස් එකට ඕනි පහේ ටික දඩිබිඩි ගාලා අඹරද්දි නිර්මලා රෑ කෑමට ඕනි කරන සම්බෝලෙ හදන ගමන් ඉදිආප්ප ටිකත් හරිහරියට තම්බන්න පටන් ගත්තා.ඒත් එක්කම මැනුවෙල් වලව් මුළුතැන්ගෙට දුවං ඇවිත් නේත්‍ර දිහා බැලුවා.

"පොඩි එකෝ....මහ මුදියන්සෙ තේ කහට ගේන්න කිව්වා....මම හොද්ද හැඳිගාන්නම්....උඹට පුලුවන්නම් තේ දෙකක් වත් කරගෙන යනවද?"

"හා මාමෙ මම කරන්නම්"

මැනුවෙල්ට හිනාවෙලා ඔලුව වැනුව පුංචි එකා පිලිකන්න පැත්තෙ තිබ්බ දර ලිපේ නටන ගමන් තිබ්බ කේතලේ බාලා ඒ ලගම තිබ්බ ගල් ලිපේ රත් වෙමින් තිබ්බ වතුර මුට්ටියටත් හුලං පිඹලා ඒක අවුලවලා ආයෙමත් කුස්සියට ගොඩ උනා.දඩිබිඩි ගාලා තේ වතුර දෙකක් හදාගත්තු නේත්‍ර ඒ දෙක බන්දේසිය උඩින් තියලා හෙමින් සැරේ ඉස්තෝප්පුව පැත්තට සේන්දු වෙද්දි ඇහුණෙ මහ මුදියන්සෙගෙ කටහඩ.

"මම කියනවට අපේ මැණිකෙ පොඩ්ඩක් බලන්නකො සල්ලි එහෙම එහෙ මෙහෙ වෙලාද කියලා"

"අපේ මහත්තයා ඒකා දුප්පත් උනත් වැදගත් විදියට හැදිලා ඉන්න ලමයෙක්"

"අපේ මැණිකෙ.....දුප්පත් උන්ගෙ වැදගැම්ම කියන දේ සල්ලි දකිද්දි පෑල දොරින් පැනලා දුවනවා....නේත්‍ර කොල්ලට උනත් එච්චරයි"

"අනේ මංදා අපේ මහත්තයා.....මොනා උනත් එහෙම අසාධාරණව මිනිස්සුන්ව සැක කරන්න හොද නැහැ"

"අපේ මැණිකෙ! ඌ අදත් ඇදුම් මල්ලක් උස්සන් පල්ලම් බහිනවා දැක්කා මම....ඌ ඇඳුම් ගන්නෙත් අපේ සුදුපුතා පවා ගන්න තැනින්....මැණිකෙ උන්ට එච්චර දේවල් කරන්ම් හයියක් කොහෙන්ද?"

"අපේ මහත්තයා....මම මේ එකට එක කියනවා නෙවෙයි....ඒත් නිර්මලා කියන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ අපේ ලග වැඩ කල කෙනෙක්....නේත්‍ර උනත් එහෙමයි මහත්තයා....ඒකා දණ ගාන වයසෙ ඉදන් හැදුනෙ වැඩුණෙ මෙහෙ....ඉතින් කොහොමද අපේ මහත්තයා ඒ මිනිස්සු හොරකම් කරනවා කියලා සැක කරන්නෙ?"

"අපේ මැණිකෙ තේරුම් ගන්නෙ නැහැ....ලොකු ඉස්කෝලෙකට ගිහින් ටිකක් ඉගෙන ගෙන උඩට එද්දි ඌට උනත් ඕනි ඇති අපේ මට්ටමට පෑහෙන්න....කවුද දන්නෙ කොහෙ කොහෙ හරි තියෙන දේවල් හොරෙන් අරං යනවද කියන්න"

"අනේ මංදා අපේ මහත්තයා.....නිර්මලාට අපෙන් හම්බෙන පඩියට අමතරව නිර්මලාට තියෙන පොඩි පොල් ඉඩම් කෑල්ලෙනුත් ගාණක් හම්බෙනවා....ඒ ඔක්කොම වියදම එහෙම්මම කරන්නෙ නේත්‍ර කොල්ලටනෙ....අරුන්දතීව පද්මිණීනෙ තනිකරම වියදම් කරලා හදාගන්නෙ....ඉතින් ඔය දරුවට ඉදලා හිටලා ඇදුමක් කැඩුමක් ගන්න බැරිකමක් නෑනෙ අපේ මහත්තයා"

"අපේ මැණිකෙ ඔහොම කිව්වට මමනම් ඕකුන්ව විශ්වාස කරන්නෑ.....අපි බලමුකො.මොන වෙලේක හරි අපේ මැණිකෙට තේරෙයි මම කියන දේ ඇත්තක් කියලා"

මහ මුදියන්සෙගෙ වචන එක්ක නේත්‍රගෙ ඇස් දෙකේ කදුළු පිරුණා.ඉක්මනටම ඉස්තෝප්පුවට ආව නේත්‍ර තේ කෝප්ප දෙක තිබ්බ බන්දේසිය මහමුදියන්සේට පිලිගන්නද්දි නේත්‍ර දිහාවත් නොබැලුව මහ මුදියන්සෙ තේ කෝප්පෙ අතට අරගනිද්දි නේත්‍ර ලොකු මැණිකෙ ලගට ගිහින් තේ බන්දේසිය ඇල්ලුවා.නේත්‍රගෙ අත් දෙක වෙවුලන හැටි දැක්ක ලොකු මැණිකෙ නේත්‍රගෙ ඇඟිලි තුඩු ඇල්ලෙන විදියට තේ එක ගනිද්දි නේත්‍ර තමන්ගෙ කදුළු පිරුණු ඇස් දෙකෙන් ලොකු මැණිකෙ දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවෙ මහ මුදියන්සෙ කිව්වා වගේ දෙයක් තමන් කරලා නෑ කියලා පෙන්නන්න වගේ.නේත්‍ර දිහා බැලුව ලොකු මැණිකෙ විශ්වාසෙ පිරුණු ඇස් දෙකෙන් ඔලුව වනද්දි නේත්‍ර ලාවට හිනාවෙලා මුළුතැන්ගෙට දිව්වා.

"පොඩ්ඩා කොහෙද දුවන්නෙ?"

"ම්ම්....මම ගෙදෙට්ට යන්නම් අම්මෙ....හෙට ඉස්කෝලෙට කරං යන්න ඕනි වැඩ වගයක් තියෙනවා"

"හරි පරිස්සමට යමං රත්තරනේ"

"අම්මා....."

"ඕ රත්තරනේ? කියපංකො....මොකෝ ඇස් වල කදුළු? මහමුදියන්සේ සැරකලාවත්ද?"

"නෑ අම්මා....මගෙ අම්මා ඉක්මනට වැඩ ටික ඉවර කරලා එනවද ගෙදර?"

"මම එන්නම් රත්තරනේ....අනේ මොකෝ මේ කරදරෙන් වගේ?"

"නෑ අම්මා.....පුළුවන්නම් මුළුතැන්ගෙයින් එලියට යන්න එපා....ඔය සාලෙ,කාමර දිහාවට එහෙම.මගෙ අම්මා මෙහෙ වැඩ ඉවර කරලා එන්න"

"මම එන්නම්කො....රෑට කන්න ඉදි අප්පං ටිකක් අරංම එන්නද පුතේ?"

"එපා අම්මා....මම ගෙදර ගිහින් සම්බෝලයක් හදල තියන්නම්....අම්මා මෙහෙන් කාලම එන්න ඕන්නම්"

"රත්තරනේ මස් කෑල්ලක් කන්න තියෙන දවසනෙ අද උඹට....මම අරං එන්නම්"

"එපා අම්මෙ....අපිට මස් ඕනි නෑ....අම්මට ඕන්නම් කාලා එන්න....ඒකට කමක් නෑ.මට ඕනි නැහැ"

"උඹට එපානම් මටත් එපා....මොකෝ ඔව්වා නිතර කාලා හුරුයි කියලයෑ.මගෙ රත්තරං ගිහින් පාඩම් කරපංකො.අම්මා එන්නම් ඉක්කන්ට....මහ මුදියන්සෙ හෙට පාන්දරම රට යනවලුනෙ....ඒවයෙ වැඩ වලටත් උදව්වක් තියේනම් කරලම එන්නම් මයෙ අම්මා"

"හා අම්මෙ....පරිස්සමින් එන්න මගෙ අම්මා"

නිර්මලාගෙ බෙල්ලෙ එල්ලිලා නිර්මලාගෙ නලල උඩින් හාද්දක් තිබ්බ නේත්‍ර තමන්ගෙ ගෙදෙට්ට දුවලා ගියා.ඉස්සරහ දොර වහල දැම්ම පුංචි එකා එහෙම්මම දුවලා ගිහින් පැන්නෙ තමන්ගෙ ඇඳට.ඇඳේ කොණකට වෙන්න නවලා තිබ්බ ආශවගෙ කමිසෙ අතට ගත්තු නේත්‍ර ඉකි ගහන ගමන් ආශවගෙ කම්සෙ තමන්ගෙ ඇදේ එලාගත්තා.ඇඳ උඩ එලාගත්තු කමිසෙ උඩින් හෙමීට දිගෑදුනු නේත්‍ර ආශවගෙ සුවද විදින ගමන් ඉකි ගගහ අඩන්න ගත්තා.

"සුදුබේබිගෙ නේත්‍ර හො....හොරෙක් නෙවේ සුදුබේබි....නේත්‍ර හොරෙක් නෙවේ"

"ද්....දුප්පත් උනාට නේත්‍රට හොරකම් කරන්න ඕන්නෑ සුදුබේබි.....නේත්‍රට....නේත්‍රට තියෙන සැප ඇති...තව සැප විදින්න ඕන්නෑ නේත්‍රට"

"ඇ....ඇයි සුදුබේබි නේත්‍රව විශ්වාස කරනවා වගේ වලව්වෙ අනික් අයට නේත්‍රව විශ්වාස කරන්න බැරි?.....ස්....සුදුබේබි දන්නවද? නේත්‍රට මේ මුකුත් ඕන්නෑ...නේත්‍රට පාටි වලට යන්න ඕන්නෑ....ලස්සන ඇදුම් අදින්න ඕන්නෑ....සපත්තු දාන්න ඕන්නෑ....න්...නේත්‍රට ඉගෙන ගන්න තිබ්බොත් ඇති සුදුබේබි......ඉගෙන ගෙන අම්මවයි අක්කවයි අත්තම්මවයි පුංචි අම්මවයි අත්තම්මවයි බලාගෙන සුදුබේබි එක්ක ආදරෙන් ඉන්න තිබ්බොත් ඇති....."

"නේත්‍රට පුළුවන් සුදුබේබිවත් බලාගන්න.....සුදුබේබිට සල්ලි තියෙන හන්දා මම සුදුබේබිව රවට්ටගත්තා කියලා දවසක එයාලා මට බනියිද සුදුබේබි? නේත්‍ර සුදුබේබිට ආදරේ උනේ සල්ලි වලට නෙවේ....නේත්‍ර දැක්ක එකම පිරිමියා සුදුබේබි විතරයි....නේත්‍රට උණුහුමක් දැනුනු එකම පිරිමියා සුදුබේබි විතරයි....නේත්‍ර සම්මතයක් අසම්මතයක් කියලා දෙයක්වත් දැනන් උන්නෙ නෑ සුදුබේබි....නේත්‍රට සම්මතයක් විදියට දැනුනු එකම දේ සුදුබේබි ආදරේ විතරයි....නේත්‍රට සුදුබේබිගෙන් එහා ලෝකයක් පෙනුනෙ නෑ....අදටවත් පේන්නෙත් නෑ.....ඉස්සරහට පේන එකකුත් නැහැ.මම මගෙ සුදුබේබිට හරි ආදරෙයි රත්තරං සුදුබේබි....නේත්‍ර සුදුබේබිට ලං වුනේ ආදරේ නිසා"

පුංචි එකා ඉකි ගගහම නිදාගනිද්දි තමන්ට එහා පැත්තෙ තියෙන දුරකථනය වයිබ්‍රේට් වෙන සද්දෙ නේත්‍රට මගහැරුණා."Sudu Baby❤️ Calling" කියලා වැටිලා වැටිලා විනාඩි කීපයක් තිස්සෙ පත්තු වුනු දුරකථනය නිවිලා ගිහින් ටික වෙලාවකින් දිවාෂ තමන්ගෙ ගෙදර දොරට තට්ටු කර කර කතා කරන සද්දෙ නේත්‍රට ඇහුණා.

...................................................................................................

"ඊයෙ රෑ ඇඬුවද නේත්‍ර පැටියො"

"නෑ දෙනෙත් අයියෙ"

"ම්ම්ම්ම්.....ඇස් දෙකනම් ඉදිමිලා වගේ තිබ්බෙ උදේ....දැන්නම් අඩුයි... මම මේකප් කරන්නම් ටිකක් ඒ ගතිය යට යන්න"

"දෙවින් අයියෙ....."

"ඕ නේත්‍ර මල්ලි"

ඇඳුම ඇදගෙන ඇවිත් කට්ටිය ලෑස්ති වෙනකං ඇගිලි එකිනෙකට තෙරපගෙන උන්නු නේත්‍ර තමන්ගෙ හීනි කටහඩින් කතා කරද්දි දෙවින් ඇවිත් නේත්‍ර ලගින් වාඩි වෙලාම ඇයි කියලා ඇහුවා.

"සුදුබේබි එන්න තව හුගක් කල් යාවිද දෙවින් අයියෙ?"

"ඔව්.ටිකක් කල් යයි....ටූනමන්ට් එක තියෙන්නෙ ලබන මාසෙ මුල වගේනෙ"

"ඊට පස්සෙ සුදුබේබි එනවා නේද?"

"ඔව්.....ආශව එනවනෙ...ම්ම්ම්...."

"දෙවින් අයියෙ"

"ඕ නේත්‍ර මල්ලි....කියන්න"

"නෑ මුකුත් නෑ.....හරි....."

"ආශවව ඕනි නේද මේ වෙලාවෙ ඔයාට?"

".............."

"මල්ලි ඉන්නෙ ප්‍රශ්නෙක කියලා තේරෙනවා.....අපිට කියන්න බැරිනම්,ආශවට කෝල් එකක් දීලා කතා කලොත්?"

"සුදුබේබිට කරදර කරන්න බෑ දෙවින් අයියෙ....අනික ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනෙ....මම ඉක්මනටම කලබල වෙනවා...දුක හිතවගන්නවා.ඒකට සුදුබේබිගෙ වැඩ පාඩු කරවලා කරදර කරන්න ඕනි නෑ"

"හ්ම්ම්....ප්‍රශ්නයක් නම් අපිට කියන්න හොදද? ඊයෙ දිවාෂ මල්ලි මහ රෑ ඔයාලගෙ ගෙදරින් ආවෙ කියලා කිව්ව එයා....ඒත් විස්තරයක් කිව්වෙ නෑ.ඒකයි.....නේත්‍ර මල්ලිට තව අයියලා තුන් දෙනෙක් ඉන්නවා කියලා අමතක කරන්න එපා"

"නෑ දෙවින් අයියෙ....මට ඒවා අමතක නෑ"

"නේත්‍ර බබා මෙහෙ එන්න ඔයාව රෙඩි කරවන්න! දුවලා එන්න"

දෙනෙත්ගෙ සද්දෙ එක්ක නේත්‍ර දෙනෙත්ගෙ කාමරේට දුවගෙන ගියා.හවස හතර පහු වෙලා විනාඩි ගාණක් ගත වෙලා තියෙන තැන දෙවිනුත් ගියේ ඇඳුම ඇදගෙන ලෑස්ති වෙන්න හිතාගෙන.දිවාෂනම් ලෑස්ති වෙලා,දෙනෙත්ට කියලා ගාගන්න ඕනි ඒව්වා ඔක්කොම ගාගෙන කුමාරයා වගේ සෝෆාව උඩ ඉදගෙන දෙනෙත්ගෙ අප්පච්චි එක්ක කියව කියව ඉද්දි තෙවින් කොළබ යන්න දවල්ම පිටත් වෙලා තිබ්බා.

නුවර වාතාවරණෙ ඒ විදියට ගෙවිලා යද්දි කොළඹ වාතාවරණෙ ඊට හාත්පසින්ම වෙනස් උනා.උදේ ඉදන්ම අමුතුම විදියෙ අවුලකින් හිටිය ආශවට ඒ අවුලට හේතුව මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් උනේ නැහැ.ඒත් නිතරම හිත කලබල වෙන ගතිය,බඩ පපුව දාගෙන උඩට එන ගතිය,වේදනාවක් නැති හිසේ රුදාව,අවධානයක් යොමු කරන්න බැරිකම වගේ ගොඩක් අවුල් සහගත දේවල් වලින් ආශව උදේ ඉදන්ම පීඩා වින්දා.හවස් වෙන්න හවස් වෙන්න ඒ ගතිය වැඩි වීගෙන එන නිසා නේත්‍ර එක්ක සෑහෙන වෙලාවක් දුරකථනයෙන් කතා කරලා ටිකක් සන්සුන් වුණු ආශව පුහුණුකරුගෙ අවසරේ එක්ක පුහුණුවීම් වලට නොයා විවේකයක් ලබාගෙන තමන්ගෙ කුටියේ රැදිලා හිටියා.

"ආශවයා! දැන් මොකෝ ඇඟට?"

"අවුලක් නෑ සනුක.....මොකෝ අද ප්‍රැක්ටිස් වේලාසනින් ඉවර උනාද?"

"ඉවර උනා කියන්නෙ ඒ ටුවර් එක යන්න බැරි වෙයි වගේ....එහෙ ත්‍රස්තවාදී සීන් වගයක් තදේටම යනවලු.ඔව්වගෙ යන්න බෑනෙ බං එතකොට"

"ඔව්"

"ඒ නිසා අද ප්‍රැක්ටිස් ටිකක් වේලාසනින් ඉවර කලා....කෝච්ට මේ ගැන කතා කරගන්න මීටින් එකක්ලු අද ක්‍රිකට් බෝඩ් එකෙන්....එයා ඒකට ගියා.අද ඩිසිශන් එකක් ගනියි ඒ ගැන"

"බලමුකො"

"ඕක නැති උනොත් හොදයි බං.....කොහොමත් වර්ල්ඩ්කප් ටූනමන්ට් එක එන්නෙ අපේ එක්සෑම් කටේ....මේ පාර සැප්තැම්බර් හරි ඔක්තෝබර් හරි වගේ කිව්වනෙ තියෙන්නෙ එක්සෑම්...අපිට ඒ වෙනකං හරි පාඩම් වැඩ ටික කරගන්න පුළුවන් මේ ටුවර් සෙට් එක කැන්සල් උනොත්"

"ඔව්....මටත් ගෙදර යන්න පුළුවන්"

"ඒයි මේ....ආශව"

"මොකෝ?"

"මමත් ඔයාලෑ ගෙදර නවතින්න එන්නද? අර මල්ලි ලග පාත නේද ඉන්නෙ?"

"උඹ එයා ගැන අදහස හිතෙන් අතෑරගත්තොත් හොදයි හැබැයි"

"ඒ මොකෝ?"

"එයා ටේකන්"

"හහ්! යාලු වෙලා ඉන්න එකාගෙ හොම්බට දෙකක් ඇනලා පොඩි එකාව මම සෙට් කරගන්නවා....උඹ හිතන්නෙ කොළබ කොල්ලුපිටිය බෝඩරේ මම ඔය නුවර ඉන්න එකෙක්ට බයවෙයි කියලද?"

"හා හා....නුවරත් ඉන්නවා උඹට වඩා පොරවල් හැබැයි"

"හරි ආශවයා උඹ මගෙ පැත්තෙනෙ....එතකං මට නුවර බෝඩරේ ගැනත් නෝ වොරීස්"

"උඹට කිව්වට......ඒ මේ ඇයි එකපාරටම වහින්නෙ?"

"ඒකනෙ....පායලනෙ තිබ්බෙ!"

ආශවයි සනුකයි දෙන්නා ජනේලෙ ලගට කිට්ටු වෙල බලාගෙන උන්නෙ කොළඹ ආකාහෙ දිහා.මෙච්චර වෙලා හොද පැහැදිලිව තිබ්බ අහස දැන් කළු ගැහිලා අකුණු පුපුරවන හැටි බලාගෙන හිටිය ආශවගෙ හිත මහ අමුතු හැඟීමකින් වෙලා ගත්තා.උදේ ඉදන්ම දැනුනු මූසල හැඟීම මෙ හදිසි වැස්සත් එක්ක උත්සන්න වෙද්දි ආශව නේත්‍රට දුරකථන ඇමතුමක් ගන්න ගමන් කාමරෙන් එලියට ගියා.

"හෙලෝ මැණිකෙ"

"ඕ සුදුබේබි කියන්න.....මෙහෙට හොඳටම වැස්ස"

"ඔහෙටත් වහිනවද? මෙහෙටත් වහිනවා නේත්‍ර"

"සුදුබේබි තෙමෙන්න ඒම එපා...අසනීප වේවි"

"නෑ මැණිකෙ....ඔයාලා පිටත් උනාද?"

"ඔව් සුදුබේබි....මේ හොටෙල් එක කිට්ටුවමයි ඉන්නෙ"

"හ්.....හරි මැණිකෙ....පරිස්සමින්....මම කිව්ව දේවල් මතකනෙ"

"ඕ සුදුබේබි මතකයි"

"ම්ම්ම්....බුදු සරණයි වස්තුවෙ"

"බුදු සරණයි සුදුබේබි"

නේත්‍රට සාදයට යන්න එපා කියලා කියන්න වුවමනාව තිබ්බත් නේත්‍රගෙ ආසාවක් වලක්වන්න ඕනි නෑ කියන හැඟීම නිසා ආශව තමන්ගේ හිතුවිල්ල හිත අස්සෙම හංගගත්තා.තමන්ගෙ හිතට එන තේරුමක් නැති අමුතු මූසල හැඟීමක් නිසා නේත්‍රගෙ ආසාවල් පාගලා දාන එක මහ පාපකාරී වැඩක් කියලා ආශවට හිතුනා.හැබැයි! ආශවට තව හිතන්න තිබුණා! තව ඩිංගිත්තක් ගැඹුරට හිතන්න තිබුණා!

*     *     *     *     *

"අද නම් චූචියව කොල්ලන්ටත් වඩා පරිස්සම් කරගන්න වෙන්නෙ කෙල්ලන්ගෙන්"

"ඔව්....අද නේත්‍ර බබා කියුට් කියනවට වඩා හැන්ඩ්සම්"

දෙනෙත් කියද්දි නේත්‍ර බිම බලාගෙන හිනා වුණා.සුදු ටී ෂර්ටය උඩින් දම්,කොල,කලු මිශ්‍ර වුණු කමිසයක් දාලා හිටිය නේත්‍රගෙ කොටට කපලා තිබ්බ කොණ්ඩය නලලට වැටෙන විදියට හදලා තිබ්බා.කොයි වෙලෙත් හිනාවෙන් පිරුණු මූණ එක්ක නේත්‍රගෙ අද හුරතල් පෙනුමකට එහා ගිය කඩවසම් බවක් පෙනෙද්දි ඒ පුංචි අහිංසකයා ඒ කිසිම දෙයක් ගැන ලොකුවට නොහිතා හිනාවෙලා බිම බලාගත්තා.

සුදු පැහැ ඕවර් සයිස් අත් දිග ටී ෂර්ටයක් හා නිල් පැහැ ඩෙනිමක් ඇඟලාගෙන හිටිය දිවාෂ තමන්ගෙ කොණ්ඩෙ උඩට පීරලා තිබුණා.කලු පැහැ හෙයිනෙක් ටී ෂර්ටයක් ඇදලා කලු පැහැම කලිසමකට ඒක යට කරලා හිටිය දෙනෙත්ගෙ කොණ්ඩෙ උඩට පීරලා ඉදිරියට කොන්ඩ කෑලි දෙකක් වැටෙන්න සකසලා තිබ්බ විදියෙන් දෙනෙත්ගෙ අමුතුම සරාගීත්වයක් ඉස්මතු වෙලා පෙනෙද්දි දෙවින් ඩෙනිම් කමිසයකට ගැලපෙන අන්දමට ඩෙනිම් කලිසමක් ඇදලා සාමාන්‍ය විදියට සැරසිලා ඇවිත් තිබුණා.

"හායි නේත්‍ර! හායි දිවාෂ! හායි දෙනෙත් අයියා! හායි දෙවින් අයියා! එන්න එන්න කට්ටියම"

"හැපි බර්ත්ඩේ නිමේත්!"

කට්ටියම නිමේත්ව වැළදගෙන සුභ පතද්දි නිමේත් ඒ හතරදෙනාට වෙන් කරල තිබ්බ මේසය වෙතට කට්ටියව අරං ගියා.කට්ටියටම අසුන් ගන්න ආරාධනා කෙරුව නිමේත් වේටර්වරයෙක් අරං ආව පිලිගැනීමේ පානය කට්ටියටම රස විදින්න කියලා එතනින් ගියේ තව තව අමුත්තො එන නිසා.ඒත් එක්කම නේත්‍රලාව දැක්ක රකිතයි ඉන්දීපයි දෙන්නා එතනින් ඇවිත් ඉදගනිද්දි කොල්ලො එකිනෙකා දිහා බලලා හිනා වුණා.

"අම්මේ නේත්‍ර මල්ලිගෙ ලස්සන අද.....වෙනදට වඩා ලස්සනයි.ආශවයා පුදුමයි අද මෙයාව එව්වා"

"මට කෝල් පවා කරලා කිව්වා නේත්‍ර ලගින්ම ඉන්න කියලා....මිනිහාට පුලුවන්නම් නුවර එන ලයින් එකක් තිබ්බෙ"

දෙවින් රකිතට කියද්දි කට්ටියම හිනා වුණා.ඒත් දෙවින් එතන හැංගුව දේකුත් තිබුණා.ආශව අද තමන්ට දුරකථන ඇමතුම අරගෙන නේත්‍ර ලඟම ඉන්න කියලා තිබ්බෙ ආශවගෙ හිතේ පැතිරිලා තිබ්බ අමුතුම මූසල හැඟීමක් නිසා කියලා ආශව දෙවුන්ට කියලා තිබ්බා.ආශව නේත්‍ර ලග නැති හැම වෙලාවකම දේවල් වැඩිපුර හිතන නිසා ආශවට එහෙම හිතෙන්න ඇති කියලා ආශවගෙ හිත හැදුව දෙවින් නේත්‍ර ලගින්ම ඉන්න පොරොන්දු වුණා.

"දිවාෂ මල්ලිත් ලස්සනයි අද.....දෙනෙත්නම් සෙක්සි හැබැයි"

"හා හා ඉන්දීප! දෙන්නෙ දෙකක් උබට"

"තෑන්ක් යූ ඉන්දීප"

"අන්න බලපං දෙවින්...උඹ කෑගැහුවට දෙනෙත් ඒකට තෑන්ක්ස් කරපු ලස්සන බලපං! ඉගෙන ගනින් උඹත් එව්වා....දිවාෂ මල්ලි මොකෝ අවුලෙන් වගේ?"

"මුකුත් නෑ ඉන්දීප්පයියේ....කන්න මුකුත් නැද්ද දන්නෑ නේද ඒයි දැන්මම?"

"කේක් එක කැපුවට පස්සෙ කේක් දෙයි.....ඊටපස්සෙ රෑට කන්න දෙයි"

"එහෙනම් කමක් නෑ....බඩගිනියි අනේ...තෙවින් හිටියනම් කන්න මොනාහරි හොරෙන් හරි උස්සන් එනවා"

දිවාෂ තමන්ගෙ බඩ අත ගගාම හිතට ආව වචන ටික ඔහේ කියලා තත්පර ගාණකින් තමන්ගෙ ඇස් දෙක තද කරලා වහගත්තේ ඒ වචන ටික කියවුනේ හයියෙන් නේද කියලා මතක් වුණු නිසා.ඒත් එක්කම දෙනෙත් ඒක විහිලුවකට හරවලා කතා කරද්දි දිවාෂ බොරුවටත් එක්ක හිනා වෙලා ඒ වැඩෙන් බේරුණේ තමන්ගෙම මෝඩකමට දොස් කියාගන්න ගමන්.නේත්‍රනම් මේසෙ උඩ තිබ්බ බීම වීදුරුව වටේට තමන්ගෙ පුංචි අත් දෙක බැඳගෙන ඒක දිහා බලාගෙන හිටියා.

"නේත්‍ර මල්ලිට අක්කා කෙනෙක් ඉන්නවද?"

"ඔව් රකිත අයියෙ....අයියා කොහොමද දන්නෙ?"

"ආහ්....අද මම එයාලගෙ ඉස්කෝලෙට ගියා.එහෙ ෆොටෝග්‍රැෆි සොසයිටි එකක් නෑනෙ.....එයාලා එකක් පටන් ගන්න ඉන්නෙ....අක්කා ප්‍රිෆෙක්ට් කෙනෙක් නේද?"

"ඔව් රකිත අයියෙ...."

"ආ....ඒක තමා.මට දැකල පුරුදු නිසා මම කතා කලා.එතකොට තමා දැනගත්තෙ නේත්‍ර මල්ලිගෙ අක්කා කියලා"

රකිත කියද්දි නේත්‍ර හිනාවෙලා ඔලුව වැනුවා.ඒත් එක්කම නේත්‍ර බැලුවෙ ඇතුල් වීමේ දොරට එපිටින් පේන වැස්ස දිහා.අකුණු ගගහා එකපාරටම වහින්න ගත්තු වැස්ස එන්න එන්නම තද වෙලා කියලා නේත්‍රට කල්පනා වුණා.මේ කාලෙට මෙහෙම වහින එක සාමාන්‍ය වුණත් අද එකපාරටම ගුගුරන්න පටන් අරං වහින්න ගත්තු මේ වැස්සෙ මොකක්ම හරි අසාමාන්‍ය බවක් නේත්‍රට දැනෙන්න ගත්තා.හුස්මක් පහල දැම්ම නේත්‍ර කඩි ගුලක් වගේ එහෙට මෙහෙට යන මිනිස්සු දිහා බලාගෙන හිටියා.

මේ අතරතුරේදි කොළඹ හිටිය ආශවගෙ තත්වෙ නොසෑහෙන්න දරුණු වෙලා තිබුණා.ආශවගෙ පපුවෙ කැක්කුමක් පටන් අරං තිබ්බා වගේම මේ වෙද්දි දෙපාරක්ම ආශවට වමනෙ ගිහින් තිබුණා.ආශවගෙ දෙපැත්තෙන් සනුක වගේම ලියෝන් රැදිලා ඉදිද්දි ආශව නොසෑහෙන්න අප්‍රාණික වෙලා ඇද මත වැතිරිලා හිටියා.ආයෙමත් බඩ පපුව දාගෙන එන නිසා ආශව නානකාමරේට වැදෙද්දි ලියෝන් සනුක දිහා බැලුවා.

"අපි තිදස්වර අයියව හොස්පිට්ල් අරං යංද සනුක අයියෙ? දැන් ඔය කීවෙනි පාරද?"

"ඒක තමා....මූ යන්න කැමතිත් නෑනෙ....වමනෙ යන්න දෙයක් දැන් බඩේ තියෙනවද මංදා"

"මට වමනෙ ගඳ එද්දි දරන්න බෑ අයියෙ....නැත්තං මම ඇතුලට ගිහින් බලනවා"

"ඒක තමා.....මූ එලියට ආවම....ආශව!උබ කොහෙ යන්නද ඔය ඇදුම් අදින්නෙ!"

සනුකට එකපාරටම කෑ ගැස්සවුණේ නානකාමරෙන් එලියට ආව ආශව ඇදගෙන හිටිය ටී ෂර්ටය ගලවලා වෙන එකකට මාරු වෙන හැටි දැක්ක නිසා.ඇඳුම ඇදගෙන ඉවර කෙරුව ආශව සනුක ලගින් ඉදගෙන සනුක දිහා බලද්දි ලියෝන් පවා කලබල උනේ ආශවග් ඇස් දෙකේ තිබ්බ කදුළු දැකලා.

"තිදස්වර අයියෙ අමාරුද ඔයාට?"

"ආශවයා ඉක්මනට යං....නවලෝකෙ මේ ලගනෙ තියෙන්නෙ"

"ස්....සනුක....මට නුවරට යන්න ඕනි....දැන්මම!"

ආශව තමන්ගෙ වෙවුලන කටහඩින් සනුකට කියද්දි සනුක ආශව දිහා විමසිල්ලෙන් බැලුවා.

"මේකයි ආශවයා....උඹ දැන් ටික දවසකට කලිනුත් ගිහින් ආවනෙ....කෝච්ගෙන් අවුලක් වෙයි ආයෙ ගියොත්....ටූනමන්ට් එකත් ලගයිනෙ"

"ප්.....ප්ලීස් සනුක"

"ආශවයා ඔහොම කතා කරන්න එපා බං....මටත් අවුල් යනවනෙ.කෝචුත් නෑ මේ වෙලාවෙ.අනික මට හිතෙන්නෙම ටුවර් එක කැන්සල් වෙයි කියලමයි.අපිට පුළුවන් හෙට උදේට යන්න එහෙම උනොත්"

"ස්....සනුක....එයාට කරදරයක් කියලා හි....හිතෙනවා මට.ප්ලීස් සනුක....මට යන්න දීපං"

"ආශවයා තේරුම් ගනින්කො....ඔයාගෙ ලවර්ට කරදරයක් හරි මොකක් හරිනම් එහෙන් කෝල් එකක් එන්න ඕනිනෙ...එහෙම ප්‍රශ්නයක් නෑනෙ....උඹ හිතනවා වැඩියි"

"............."

"අනික ටුවර් එක කැන්සල් නම් රෑම හරි පිටත් වෙමු....කොහොමත් පැය එකහමාරක් වගේනෙ යන්නෙ එහෙට යන්න"

"ස්....සනුක....මම උඹට වඳින්නම් ප්ලීස්....මට එයා ලගට දැන් යන්න ඕනි"

"ආශවයා! පිස්සුද උඹට!"

ආශවගෙ ඇස් වලින් වැටෙන කදුළු වලට වගේම ආශවගෙ වචන වලට කලබල උනු සනුක ආශවව තුරුල් කරගනිද්දි ආශව තමන්ගෙ කදුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා සනුකට තුරුල් උනා.ගහක් ගලක් වගේ ඉන්න දරඳඩු මිනිහෙක් උනු ආශව කෙනෙක් නිසා මෙහෙම මෙලෙක් වෙනවනම්,මෙහෙම දුර්වල වෙනවනම් ආශවගෙ හිතේ ඒ කෙනාට තියෙන ආදරේ ගැන අමුතුවෙන් හිතන්න සනුකට වගේම ලියෝන්ට ඕනි වුණේ නැහැ.ඒත් එක්කම ආශවව ඈත් කරපු සනුකත් වෙන ටී ෂර්ටයකට මාරු වෙද්දි ආශව සනුක දිහා බැලුවා.

"ලියෝන්.....අපි එන්න කලින් කෝච් ආවොත් ආශවගෙ අත්තම්මා නැති වෙලා නිසා අපි නුවර ගියා කියලා කියන්න....ටුවර් එක කැන්සල් වෙලානම් අවුලක් වෙන එකක් නෑ.ටුවර් එක කැන්සල් වෙලා නැත්තං කෝච් ඔය ගැන හිතනවා....එතකොට අපි ගමේ එකෙක් අපිට විහිලු කලා කියලා හරි කියලා බේරෙන්නම්.එතකං ඔයා මෙතන තත්වෙ පොඩ්ඩක් ශේප් එකේ තියාගන්න"

"හ්...හරි සනුක අයියෙ....තිදස්වර අයියෙ ඔයා පරිස්සමින්"

ලියෝන්ට උත්තරයක් දෙන්නවත් මහන්සි නොවුණු ආශව සනුක එක්ක එලියට බැස්සා.කාරයට ගොඩ වුණු සනුක වාහනේ පණ ගන්වද්දි ආශව වාහනේට ගොඩ වුණේ දුරකථනයෙන් නේත්‍රට ඇමතුමක් ගන්න ගමන්.

"හෙලෝ සුදුබේබි...."

"ම්....මැණිකෙ ඔයා කොහෙද ඉන්නෙ?"

"මම පාටි එකේ සුදුබේබි....තව ඩිංගකින් කේක් කපනවා කිව්වා"

"ආ....දෙවින් ලග ඉන්නවද?"

"ඔව් ඔව්....ඒ තුන් දෙනාම ලග ඉන්නවා"

"හරි....මැණික,"

"ඕ සුදුබේබි"

"ෆෝන් එක සයිලන්ට් දාගන්න එපා හොදද? වොශෲම් යන්න ඕනි උනත් තුන් දෙනා එක්කම යන්න.තේරුණාද?"

"ඔව් සුදුබේබි....මම එහෙම කරන්නම්"

"හරි මැණිකෙ....පරිස්සමින්...බුදු සරණයි"

"බුදු සරණයි සුදුබේබි"

දුරකථනය ක්‍රියා විරහිත කෙරුව ආශව එහෙම්මම ජනේලෙට ඔලුව ගහගෙන සනුකට ඉක්මනින් යමු කියලා කියද්දි ඔලුව වැනුව සනුක වාහනේ වේගවත් කලේ ආශවගෙ දුරකථනෙන් ලාවට උනත් ඇහුනෙ පිරිමි කටහඩක් නේද කියලා කල්පනා කරන ගමන්.ඒත් එක්කම ඔලුව දෙපැත්තට ගසා ගත්තු සනුක වාහනේ වේගෙ වැඩි කලා.

*      *      *      *      *

"යං කට්ටියම කේක් කපන්න"

ආශවගෙ ඇමතුමෙන් විනාඩි හතලිහකට විතර පස්සෙ නිමේත්ගෙ ආරාධනාව එක්ක නේත්‍රලා නැගිටලා ගියේ කේක් එක තියලා තියෙන තැනට.ලස්සනට සරසලා තිබ්බ එතන හිටගත්තු නිමේත් ලගින් නිමේත්ගෙ අම්මයි අප්පච්චියි හිටගනිද්දි උපන්දින සුභපැතුම් ගීතය නාද වෙන්න පටන්ගත්තා.

"විමසිල්ලෙන් ඉන්න මහීල්....තව ටික වෙලාවයි"

"හ්ම්ම්ම්....අනික් අය?"

"එයාලා ඒ වැඩ ටික වෙලාවට කලාවට කරයි"

ශාලාවෙ කොණකම....අදුරු කොණක තිබ්බ අසුනක හිටිය රධීන්ගෙ ඇස් දෙක රතුපාට වෙලා දිලිසෙන ගමන් තිබ්බා.නේත්‍රගෙ හුරතල් කඩවසම් රූපෙ රධීන් ඇස් වලින් තලු මරද්දි කිසිම දෙයක් නොදැන උන්නු පුංචි එකා අත්පුඩි ගගගා නිමේත්ට සුභපතන ගමන් හිටියා.නේත්‍ර ලගම හිටිය දෙනෙත් දෙවින් දෙන්නා දිහා බලලා සමච්චලේට හිනා වුණු රධීන් ටිකක් එහාට වෙන්න හිටං උන්නු වේටර්වරයෙක්ට ඔලුව උඩ පහල කලා.

"කට්ටියම එහෙනම් කේක් කන්න හොදද? ඩිනර් එක ඇරේන්ජ් කරනකං ඩාන්ස් කරන්න පුළුවන්"

නිමේත් නේත්‍රලාට කියද්දි හිනා වුණ කොල්ලො හතර දෙනා තමන්ට අදාල මේසෙ ඉදගෙන හිටියා.ටික වෙලාවකින් කේක්,සැන්විචස්,කට්ලට්,රෝල්ස් වලින් පිරුණු කෑම ප්ලේට් එක ගාණෙ කට්ටියට වේටර්වරු පිලිගනිද්දි සමහරු එව්වා රස විදින්න ගත්තා වගේම තව සමහරු දැනටමත් වයින් වීදුරු අත් වලින් දරාගෙන සංගීත තාලයට නර්තනයේ යෙදෙන්න අරං තිබ්බා.

"දෙනෙත් ඔයා ඩ්‍රින්ක්ස් ගන්නවද?"

"අද බෑ දෙව්....පොඩි දෙන්නව බලාගන්න ඉන්නෙ අපිනෙ"

"ඒක තමා මාත් බැලුවෙ.....අපිත් එහෙනම් අයිස් කොෆීම බොමු"

"හරි....නේත්‍ර බබා ඔයාට වෙන දෙයක් ඇරේන්ජ් කරන්න කියලා කියන්නද මම නිමේත්ට?"

"එපා දෙනෙත් අයියෙ....මම බොන්නෙ නැතුවම නෙවේ....අදට බොන්නම් එව්වා"

"හරි එහෙනම්"

කට්ටියටම වේටර්වරු බෙදිලා ගිහින් බීම වීදුරු පිලිගන්වද්දි නේත්‍රලා ලගට ආව වේටර්වයා හරි පිලිවෙලට දෙවින් දෙනෙත් දෙන්නා ඉස්සරහින් වීදුරු දෙක තියලා අනික් වීදුරු දෙක නේත්‍රයි දිවාෂයි ලගින්ම තිබ්බා.දැඩි පරිස්සමකින්,විමසිල්ලකින් ඒ වැඩේ කෙරුව වේටර්වරයා රධීන් දිහා බලලා ලාවට හිනා වෙලා යද්දි රධීන් වයින් වීදුරුවක් තොල ගාන ගමන් නේත්‍ර දිහාවටම ඇස් දෙක යොමාගෙන හිටියා.

අයිස් කෝපි එක බොද්දි වෙනදට වඩා ටිකක් විතර තිත්ත රහක් නේත්‍රට දැනුනත් නිතරම නොබොන නිසා එහෙම දැනෙනවා ඇති කියලා හිතුව නේත්‍ර ඒක ගාණක් නැතුව බොන්න ගත්තා.දිවාෂත් කාලා බීලා ඉවර වෙලා දෙවින්ගෙ ඇගට කලන්තෙ දාන්න හැදුවත් ඒක වැලැක්වුනේ එතනට දුවං ආව පිරිමි මනුස්සයෙක් නිසා.

"සර්,සර්ගෙ වාහනේද ABM2378 කියන්නෙ?"

"ඔව්....ඇයි?"

"සර් ඒක පාක් කරන්න ආව වෙන වාහනේක හැප්පුනා....සර්ට පුලුවන්නම් ටිකක් එනවද?"

"ආ ඕකේ....නේත්‍ර මල්ලි,දිවාෂ මල්ලි ඔය දෙන්නා ඉන්න හොදද මෙතනම? කොහෙවත් යන්න එපා අපි එනකං"

"දෙව් ඉන්න මමත් එන්නම්....ඔයා මේ කළුවරේ යන්න එපා.බබාලා දෙන්නා ඔතනම ඉන්න හොදද?"

"හරි අයියෙ"

හැමදාම පිලිවෙලකට හිතලා බලලා වැඩ කරන දෙවින් උනත් මේ වෙලාවෙදි කලබල උනා.වාහනේ හැප්පිලානම් අප්පච්චිට දෙන්න වෙන උත්තර මොනාද කියලා කල්පනා කරන ගමන්ම දෙවින් එතනින් නැගිට්ටෙ වෙන කිසිම දෙයක් කල්පනා නොකර.අනික මෙතන දන්න කියන ලමයි විතරක් ඉන්න තැනක් නිසා නේත්‍ර දිවාෂ දෙන්නව එතන දාලා යන්න බයකුත් දෙවින්ගෙ හිතට ආවෙ නැහැ.ඒත් එහෙම වාහනයක් හැප්පිලානම් මෙතනට එන්න ඕනි ආරක්ෂක නිලධාරියා නේද,එහෙම දෙයක් මේ වගේ පිලිවෙලකට වැඩ කරන තැනක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි නේද,දිවාෂ මේසෙ උඩට ඔලුව තියං ඉන්නවා නේද,නේත්‍රගෙ ඇස් දෙකත් අමුතුයි නේද කියන කිසිම දෙයක් දෙවින් හරිහැටි තේරුම් ගත්තෙ නැහැ.දෙවිනුයි දෙනෙතුයි එතනින් පිට වෙලා යද්දි ඔලුව වැනුව නේත්‍ර ඒ දෙන්නාට දුන්නු හිනාව කාලයක් යනකං ඒ පුංචි මූණෙන් ආයෙ දකින්න වෙන්නෙ නෑ කියලා දෙවින් වගේම දෙනෙත් හීනෙකින්වත් හිතුවෙ නැහැ.

දෙවින් දෙනෙත් දෙන්නා පිට වෙනවත් එක්කම ටික වෙලාවක් තිස්සෙම ඇග ඇතුලෙන් එන්න වගේ දගල දගල තිබ්බ ක්ලාන්ත ගතිය එක්ක නේත්‍ර තමන්ගෙ ඔලුව මේසෙට බර කරගත්තා.තමන් ඉස්සරහ ඉන්න දිවාෂත් අඩවන් වුණු ඇස් දෙකකින් දුරකථනෙ අතට අරගෙන මොකක් හරි කරනවා දැක්ක නේත්‍ර තමන්ගෙ ඇගට එකපාරටම උනු දේ තේරුම් ගන්න බැරුව මේ ලෝකෙ තමන් වැඩියෙම විස්වාස කරන මනුස්සයගෙ මැසේජ් බොක්ස් එක වෙතට ගිහින් හඩ පණිවිඩයක් තියන්න උත්සාහ කලා.

"සුදුබේබි....නේට්ටට කලන්තෙ වගේ.එන්නකො"

නේත්‍රගෙ මොකක්ම හරි අවාසනාවකට ඒක යැව්වත් ඩේටා සක්‍රීය කරන්න කලින් නේත්‍රගෙ අත අප්‍රාණිකව මේසය මතට වැටෙනවත් එක්ක හඩ පණිවිඩය ආශවට යැවෙන්නෙ නැතුව අඩාල වෙලා ගියා.නේත්‍ර එහෙම කරද්දි දිවාෂ අමාරුවෙන් තමන්ගෙ විස්වාසවන්තම මනුස්සයට මැසේජයක් කොටලා යවලා තිබ්බා.

"අයියෙ එන්නකො"

දිවාෂගෙ පණිවිඩේ දිවාෂගෙ විශ්වාසවන්තයා උනු දෙවින්ට යවනවත් එක්කම මුළු හෝටලේම කරන්ට් එක එකපාරම යද්දි වාහන අංගනය මැද්දෙ හිටිය දෙවින් දෙනෙත් දෙන්නා ඒ කළුවර එක්ක හෝටලය පැත්ත හැරිලා බැලුවා.

"ඉක්මනට වාහනේ නැවැත්තුව තැන හොයාගන්න දෙව්....පොඩි දෙන්නා ඇතුලෙනෙ"

තමන්ගෙ සාක්කුවෙ තිබුණු දුරකථනය වයිබ්‍රේට් වුණු එක නොසලකා හැරිය දෙවින් දෙනෙත්ගෙ දුරකථනෙ ටෝචයත් පත්තු කරං වාහනේ නැවැත්තුව තැන හොයං ගියේ වාහනේ හැප්පුවනම් ඒ හැප්පුව මනුස්සයෙක්වත් මෙතන නැත්තෙ ඇයි කියලා හිතන ගමන්.ඒත් එක්කම තමන්ගෙ වාහනේ හොයාගන්නවත් එක්කම දෙවින් ඇසුත් ලොකු කරං එතනම නැවතුනා.

"දෙනෙත්!"

"ඇයි දෙ....දෙයියනේ වාහනේට හීරීමක්වත් නෑනෙ"

දෙවින් ඒත් එක්කම තමන්ගෙ දුරකථනෙ ගත්තෙ දිවාෂට ඇමතුමක් ගන්න උනත් දෙවින්ගෙ ඇස් දිවාෂ එවලා තිබ්බ කෙටි පණිවිඩේ මත රැදිලා තිබ්බා.ඒක ඇවිත් විනාඩි පහක් වගේ ගත වෙලා තිබුනා වගේම දෙවින් දෙනෙත් දිහා කලබලෙන් වගේ බලද්දි හෝටලයේ ලයිට් ආයෙමත් දැල්වුණා.

"දෙනෙත් පොඩි දෙන්නා!"

දෙවින් කෑගහගෙනම හෝටලේ පැත්තට දුවද්දි දෙනෙතුත් ඒ පිටිපස්සෙන්ම දිව්වා.සාදය සාමාන්‍ය විදියටම පැවැත්වෙමින් තියෙද්දි කට්ටිය නටන කරන අස්සෙන් ගිය දෙවින් එහෙම්මම තමන් අසුන් ගෙන හිටිය මේසය ලගින් ගල්ගැහිලා වගේ නැවතෙද්දි දෙනෙත් ඔලුවත් අල්ලගෙන පුටුවක් උඩට ඇදගෙන වැටුනා වගේම එතන හිටිය නේත්‍රයි දිවාෂයි දෙන්නා එතනින් අතුරුදන් වෙලා තිබ්බා!

"අකල් වැහි ඇදගෙන වැටෙන්නෙ අහස පොලව නුහුලන අපරාද වෙන්න යද්දි පුංචි මුදියන්සෙ"

කඩුගන්නාව පහු කරගෙන නුවර අහස යටට ඇවිත් උන්නු ආශවට දවසක් ගමේ වයසක මනුස්සයෙක් තමන් කට්ටිය ඉන්න තැනක කිව්ව දෙයක් මතක් උනේ නුවර ආකාහෙ පිපිරෙන්නම ගැහුව අකුණක් නිසා.ඒත් එක්කම නිමේත් වාහනේ තිරිංග තද කලේ පාර හරහා පැන්න කළු පූසෙක් නිසා.ආශවගෙ හිත මහ මූසල හැඟීමකින් පිරිලා යද්දි ආශව නේත්‍රග් දුරකථනයට ඇමතුම් කීපයක්ම ගත්තත් ඒක ක්‍රියාවිරහිත වෙලා තිබ්බා.

"නේත්‍ර.....මම එනවා මැණිකෙ.ඔයාට කරදරයක් වෙන්නෑ"

තමන්ගෙ ඇදුම් කන පපුවට එක අතක් තියාගෙන අනික් අතින් නේත්‍ර දුන්නු මුද්ද පපුවට තද කරගත්තු ආශව දැඩිව මුමුණද්දි නුවර ආකාහෙම දෙබෑ කරගෙන සුදු එලියක් එක්ක පුපුරපු හෙණයකට අහු උනු ලොකු ගහක් පාරක් අයිනෙ ඉබේ වැවිලා තිබ්බ ගැටපිච්ච වැලක් තලලා පොඩි කරගෙන බිමට ඇදගෙන වැටුණා.

...................................................................................................

වචන 7200+😓❤️

නේට්ට

දිවාෂ

දෙනෙත්

දෙවින්

හෙ හෙ.....අද පොඩි බාල්දියක් වගේ එකක් නේද? කැමීලියා යන්නම් ඈ😓❤️

එහෙනම් බබාලා අදත් අදහසක් කියාගෙන යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter