Back
Chapter 89

88 කොටස🤍✨️

නිවාලන්න මා...

"ඔව් නිශාන්.....ඔව් ඔව්...."

"......................"

"ආහ් ඔව්....අපේ සුදුපුතාට අරං දුන්නෙත් ඒ වගේ මෙට්ටයක්....ඔව්....ඔව්.....නිශාන් කියන ජාතියෙ එකක් තමා"

"................."

"ඔව්.....බම්ප් වෙන එව්වා හරියන්නෑ..කොල්ලා ස්පෝට්ස් කරනවනෙ අපේ ඉතින්....කොන්දෙ කැක්කුම් අනන් මනන් හැදුනොත් කියලා ඔය මෙට්ටයක් ගත්තෙ...ඔව් ඔව්...මේක තනි කෙලින් තියනවා.කිලෝ ගානක බරක් පැටවෙනවකං....ම්ම්.....සාමාන්‍යෙන් අපේ සුදුපුතා වගේ දෙතුන් දෙනෙක්ගෙ බර දරන්න පුළුවන් ඒකට"

"................."

"නම මතක නෑ නිශාන්.....මම දැන් බලල මැසේජ් එකක් දාන්නද? ආහ්...ඕකේ"

දුරකථනෙ පැත්තකින් තිබ්බ මහ මුදියන්සෙ උඩුමහලට නැග්ගෙ ආශවගෙ මෙට්ටෙ ජාතිය මොකද්ද කියලා බලන්න හිතාගෙන.ලේසියෙන් ආශවගෙ කාමරේට නොයන මහ මුදියන්සෙ අද ආශවගෙ කාමරේට යන්න උඩු මහලට නැගුනෙ ඒ කාමරේ වෙනදට සුදුබේබි එක්ක බෙදාගන්න පුංචි එකා ඒක ඇතුලෙ කියලා නොදැන.ඔහේ ඇරල දාලා තිබ්බ දොර නිසා මහ මුදියන්සෙගෙ හිතට කුතුහලයක් ආවත් නේත්‍ර මේ කාමරේ,උඩ තට්ටුව නිතරම අස් කරන නිසා මෙතන නේත්‍ර ඇති කියලා තේරුම් ගත්තු මහ මුදියන්සෙ කාමරේට ඇතුල් වුණත් මුදියන්සෙගෙ ඇස් දෙකට අහු උනේ නොහිතුව දෙයක්.

"උඹ මොකද්ද සුදුපුතාගෙ ඇඳුම් ඇඳන් කරන්නෙ!!!!"

මහ මුදියන්සෙගෙ ඇස් වලට අහු උනේ ආශවගෙ කමිසයක් ඇගේ දාගෙන ඉන්න නේත්‍රව.දොරකඩින් ඇතුලට ආව මහ මුදියන්සෙ නේත්‍රගෙ ඔලුවෙ ඉදලා පය පාමුලට වෙනකං බලද්දි පුංචි එකා දඩිබිඩි ගාලා කමිසෙ ගලවන්න හැදුවත් ඒක කරගන්න නේත්‍රට බැරි වුණා.නේත්‍ර දිහා බලන් උන්නු මහ මුදියන්සෙගෙ ඔලුවෙ කැරකුනේ නේත්‍රව ආශවගෙ ඉස්කෝලෙට ඇතුල් කරපු දවසෙ ඉදලා නේත්‍ර පියවරෙන් පියවර ඉස්සරහට ගිය හැටි.ගෙදර වැඩකාරිගෙ කොල්ලා ඉස්කෝලෙ ඇතුලෙ කැපී පේන කෙනෙක් විදියට උත්සව අවස්ථා වලදි හිටිය හැටි.ඒ හැමදේම එක්ක ඔලුව විකාර කරගත්තු මහ මුදියන්සෙ නේත්‍රගෙ මේ දේත් දැක්කෙ වැරදිම විදියකට.

"උඹ එනවද යකෝ අපේ පවුල එක්ක පෑහෙන්න? උබත් එනවද වලව්වෙ හාමුලා කරන කරන දේවල් කරන්න!!! ආ!!!! කියපං බල්ලා!"

මහ මුදියන්සෙගෙ වචන වලට බිම බලාගෙන උන්නු නේත්‍රට අඩුම එක වචනයක්වත් කතා කරගන්න තරම් හයියක් තිබ්බෙ නැහැ.නේත්‍රට දැනුනෙ තමන්ගෙ කකුල් දෙක පොලවට ඇලුණු වගක්.උඩට ගත්තු හුස්ම පහලටවත් නොදැම්ම නේත්‍ර බිම බලාගෙනම හිටියා.

"කතා කරපං!!! අපේ මට්ටමට එන්න දැන් ඇඳුනුත් හොරකං කරනවද උඹ? නැත්තං යාලුකම ඉස්සරහට දාලා සුදුපුතාගෙන් හිඟමන් ගන්නවද උඹ? ආ!!!! කියපං! කටක් නැද්ද! උඹට මම!!!"

නේත්‍ර ලගට ගිය මහ මුදියන්සෙ පුංචි එකාගෙ කන හරහා අතුල්පාරවල් දෙකක් දෙද්දි නේත්‍රගෙ කටින් හීන් ඉකියක් පිට වුණා.පුංචි එකාගෙ සිනිදු උරහිස් දෙකෙන් තද කරලා අල්ලගත්තු මහ මුදියන්සෙ පුංචි එකාව හයියෙන් හොලවද්දි මානසිකව හොදටම වැටිලා නිසා ඒ හැටි හයිය හත්තියක් නොතිබ්බ නේත්‍රගෙ පුංචි ශරීරෙ පරඬැලක් වගෙ වැනෙන්න ගත්තා.

"උඹ වගේ එකෙක් ඇගේ ගෑවුණත් කුනු ගොඩක් කියලා හිතෙන මිනිස්සු අපි! එහෙව් එකේ උඹ එනවද සුදුපුතාගෙ ඇඳුම් අදින්න! දීපං ඕක මෙහාට"

පුංචි එකාගෙ ඇඟෙන් කමිසෙ ගලවගත්තු මහ මුදියන්සෙ බාගෙට ඉරිලා තිබ්බ ඒ කමිසෙ කෑලි දෙක තුනකට ඉරලා නේත්‍ර දිහා බැලුවෙ ගිනි පිටවෙන ඇස් දෙකකින්.

"උඹ ඇන්ද එව්වා ඇන්දොත් අපේ එකාට නැති ලෙඩක් හැදෙයි! ජරා ගුහාවල්! එනවා මෙතන අපි එක්ක පෑහෙන්න"

මහ මුදියන්සෙගෙ වචන එක්ක නේත්‍රගෙ ඔලුව පැලෙන්න වගේ ආවත් නේත්‍රට මතක් වුනේ ආශවගෙ සැනසිලිදායක වදන්...උණුහුම් ආදරණීය සිපගැනීම්.මහ මුදියන්සෙගෙ ජරා ගොඩක් කියලා බයින තමන්ගෙ මුළු ඇගම ආශව කොයි තරම්නම් ආදරණීය විදියට ස්පර්ශ කරලා තියෙනවද,අගය කරලා තියෙනවද කියලා මතක් වෙද්දි නේත්‍රගෙ ඇස් වලට උනපු කදුළු බින්දු පුංචි එකා පිහලා දැම්මා.

"යකෝ උබටත් මාන්නයක් ඇවිල්ලද දැන්! මෙහෙ වරෙං!"

මහ මුදියන්සෙගෙ වචන වලට පුංචි එකාගෙ හිත නොරිදුනා කියලා කියන්න කොහෙත්ම බැහැ.නේත්‍රගෙ සංවේදී හිත ඒ වචන වලින් ඕනිවටත් වඩා ඇදුම් කෑවා.හැබැයි දැන් තමන්ව සනසන්න සුදුබේබි ලග නැති නිසා නේත්‍රට අඬලා දුර්වලයෙක් වෙන්න ඕනි වුණේ නැහැ.ඉස්සර හැමෝම ඉස්සර අඬන,දුර්වල වෙන නේත්‍ර දැන් ආශව ලගදි විතරක් අඬන විදියට ආශව නේත්‍රව ගොඩනගල තිබ්බා.නේත්‍රගෙ ඇස් වලින් කඳුලු නොවැටෙන එකටමහ මුදියන්සෙගෙ හිතට ආවෙ දැඩි කේන්තියක්.

නේත්‍රගෙ අතින් ඇදලාගත්තු මහ මුදියන්සෙ නේත්‍රව පහල මාලෙට එක්කන් ගියා.පය පැටලි පැටලි පඩිපෙල බැස්ස නේත්‍ර මහ මුදියන්සෙගෙ පිටිපස්සෙන්ම ඇදෙද්දි මුළුතැන්ගෙයි පැත්තෙන් පිලිකන්නට ගිය මහ මුදියන්සෙ නේත්‍රව වලව්වත්තට තල්ලු කරල දැම්මා.දම් පාට වෙල තිබ්බ නුවර ආකාහෙ ගිගුරුම් දෙන්න පටන් ගනිද්දි මහ මුදියන්සෙ වත්තෙ රළු ගල් වැලි පොලව උඩට වැටිලා උන්නු නේත්‍ර ලගට ගිහින් නේත්‍රගෙ කොන්ඩෙන් අල්ලලා මූණ උඩට ඉස්සුවා.

"අද ඉදංවත් මට්ටමට වැඩ කරන්න ඉගෙන ගනින්! සුදුපුතාගෙ යාලුවෙක් උනාට උබට කවදාවත් සුදුපුතා වගේ වෙන්නත් බෑ....සුදුපුතා එක්ක පෑහෙන්නත් බෑ!!! අන්න ඒක මතක තියාගනින්!"

ආයෙමත් නේත්‍රව නැගිට්ටෙව්ව මහ මුදියන්සෙ නේත්‍රව ආයෙමත් බිමට තල්ලු කරද්දි අතක් යටට හිටින්න වැටුණු නේත්‍රගෙ කටින් හීන් ඉකියක් පිට වුණේ අතින් ආව අධික වේදනාවට.පුංචි එකාට ආයෙමත් පයින් පාරක් ගැහුව මහ මුදියන්සෙ ඕනිනැති කතා දාහක් කියලා කෑ ගහද්දි නිර්මලාට පුළුවන් උනේ පිලිකන්නෙ තියෙන කණුවක් බදාගෙන අඬන්න විතරමයි.වලව්වෙ සේවකයො උනු මැනුවෙල්,කරෝලිස්,සුපිපි තුන් දෙනත් නිර්මලා ලඟට වෙලා කදුලු පිරුණුඇස් වලින් නේත්‍ර දිහා බලන් හිටියෙ කරකියාගන්න දෙයක් නැතුව.

නුවර අහස එකපාරටම වැස්සක් කඩා පාත් කරන්න ගත්තෙ හෙණපිට හෙන පුපුරවන ගමන්.නුවර අහසට කැපවුණු ආදරණීය චරිතයක් වුණු නේත්‍රට මේවෙන අසාධාරණේ නුවර ආකාහෙට දරාගන්න බැරි වෙලා තිබ්බා.සුදුබේබිත් නැති වෙලාවෙ පුංචි එකාව රැජගන්න නුවර අහස පුළුවන් විදියට උත්සාහ දරමින් හිටියා.

"උඹ අද ඉදන්වත්....."

"අපේ මහත්තයා!!!! ඕක නවත්තන්න!!!!"

පිලිකන්නෙ උන්නු සේවකයන්ව දෙපැත්තට තල්ලු කරගෙනම මහ වැස්සෙ මිදුලට පැන්න ලොකු මැණිකෙ නේත්‍රගෙයි මහ මුදියන්සෙගෙයි මැද්දෙන් හිටගත්තා.තමන්ගෙ මැද්දෙන් හිටගත්තු ලොකු මැණිකෙ දිහා මහ මුදියන්සෙ බලපු බැලිල්ලට ලොකු මැණිකෙගෙ හිත නොසෑහෙන්න බය උනත් ලොකු මැණිකෙ නේත්‍රගෙන් අහකට ගියේම නැහැ.නේත්‍රව ආවරණය කරගත්තු ලොකු මැණිකෙ මහ වැස්සෙ තෙමි තෙමී කෙඳිරි ගාන පුංචි එකාගෙ හඬ එක්ක මහ මුදියන්සෙ දිහා බැලුවා.

"මැණිකෙ අහකට වෙන්න!"

"එපා අපේ මහත්තයා! මේ කොල්ලට මොනාහරි උනොත් කරදරේ වැටෙන්නෙ අපේ මහත්තයා"

ලොකු මැණිකෙ ඉදිරිපත් කරන්න පුළුවන් හොදම තුරුම්පුව දැම්මෙ මෙවෙලෙ මහ මුදියන්සෙව නවත්තන්න පුළුවන් හොදම ක්‍රමේ ඒක නිසා.නිකරුනේ ප්‍රශ්න වලට පැටලිලා නම කැත කරගන්න අකමැති මහ මුදියන්සෙ  නේත්‍ර දිහා බලල ලොකු හුස්මක් පහල දාන ගමන් පිලිකන්නෙන් ගෙට ගොඩ වෙලා පස්ස හැරිලා බැලුවෙ තෙත පොලවෙ වැටිලා ඉන්න නේත්‍ර දිහා.

"උඹ පලයං! මගෙ කේන්තිය නිවෙනකං උඹ එන්න එපා මේ පලාතක! නැගිටලා පල!!!"

මහ මුදියන්සෙගෙ හඬ එක්ක අමාරුවෙන් ඔලුව උස්සලා බැලුව නේත්‍ර නැගිටින්න හැදුවත් නේත්‍රට ඒක පුළුවන් වුණේ නැහැ.මොන තරම් අමාරුවකින් උන්නත් නේත්‍රගෙ ඇස් වලින් කදුළු වැටෙන්නෙවත්,තමන්ට බැගෑපත් වෙන්නෙවත් නැති එක ගැන මහ මුදියන්සෙගෙ හිතට එක් කලේ පුදුමාකාර තරහක්.නේත්‍රගෙ ඉස්සරහටම කෙල ගැහුව මහ මුදියන්සෙ වලව්වට ඇතුල් වෙනවත් එක්කම නිර්මලා දුවගෙන ඇවිත් අප්‍රාණිකව වැටිලා ඉන්න නේත්‍රව උස්සලා වඩා ගත්තා.

"මයෙ රත්තරනේ! අම්මට සමාවෙයං දෙයියො මගෙ....."

"කොල්ලව අරං යන්න නිර්මලා ගෙදරට....ඇගපත සෝදවලා පිරිසිදු කරවන්න උණුවතුර ඩිංගකින්"

"හ්....හොදමයි ලොකු මැණිකෙ"

නේත්‍රව දෝතට අරං තුරුල් කරගත්තු නිර්මලා දනිපනි ගාලා වත්ත පහල පාරෙන් ගෙදෙට්ට දුවද්දි ලොකු මැණිකෙ හෙමින් සැරේ වලව්ව ඇතුලට ගියා.ඇඳන් උන්නු කමිසෙයි සරමයි ගලවලා උන්නු මහ මුදියන්සෙ වෙන ඇඳුමකට මාරු වෙන ගමන් හිටියා.හෙමින් සැරේ ගිහින් කාමරේ තිබ්බ විසාල වියන් ඇඳේ ඉදගත්තු ලොකු මැණිකෙ තමන්ගෙ කඩවසම් දේහදාරී ස්වාමිපුරුෂයා දිහා බලල හෙමින් හඬ අවධි කලා.

"අපේ මහත්තයා...."

"අපේ මැණිකෙ! අපේ මැණිකෙ ඔය හැත්තට උපකාර කරන්න යන්න එපා! අන්තිමට උන් එනව අපේ ඔලු උඩින් යන්න"

"අපේ මහත්තයා අහන්නකො....සුදුපුතා කොහොම හිටිය ලමයෙක්ද කියලා අපේ මහත්‍තයට මතකනෙ...සුදුපුතා මෙහෙම හොදට හැදෙන්නෙ එක හේතුවක් නිර්මලාගෙ කොල්ලා....ඒ කොල්ලගෙ යාලුකම....සුදුපුතාට දවසක මොකක් හරි ප්‍රශ්නයක් උනොත් බය නැතුව විශ්වාස කරන්න පුළුවන් විදියෙ යාලුවෙක් ඔය නේත්‍ර කොල්ලා"

"................"

"ඒ යාලුකම නිසා අපේ මහත්තයා මම ඒ කොල්ලට සලකන්නෙ.සුදුපුතා උනත් කැමති නෑනෙ සුදුපුතාගෙ යාලුවොන්ට මහත්තයා ගහනව බයිනවට....සුදුපුතා අන්තිමට අපේ මහත්තයා එක්ක අමනාප උනොත්? තරුණ වයස්නෙ අපේ මහත්තයා"

"ඔව්......සුදුපුතා කොච්චර උනත් අර නිශ්ශංකගෙ පොඩි කොල්ලා වගේ හැදිලා නෑනෙ"

"නිශ්ශංකගෙ....ආහ්....තෙවින් පුතා?"

"ඔව්....ඌ ලගදිත් කටගහන් ගිහින් නිශ්ශංක එක්ක.නිශ්ශංකගෙ ඇස් පනාපිටම මල් පෝච්චියකුත් පොලවෙ ගහලා තමා කතාව ඉවරයක් කරලා තියෙන්නෙ.ඒ අතින් අපේ එකා තර්ක කලාට එහෙම නැහැනෙ"

"ඒ ඉවසීම අපේ සුදුපුතා ඉගෙන ගෙන තියෙන්නෙ නේත්‍ර කොල්ලගෙන්......ඒ දෙන්නගෙ යාලුකමට අපි ඇඟිලි නොගහා ඉමු කියන්නෙ ඒකයි අපේ මහත්තයා මම"

"හ්ම්ම්.....ඌ දවසක සුදුපුතාට විශ්වාසවන්ත සේවකයෙක් වෙයි"

"සෙ....ඔ.....ඔව් අපේ මහත්තයා....අනිවාර්යයෙන්ම....කොල්ලා ඒ විශ්වාසෙ රකීවි"

"ඒත් ඌට උගෙ තැන ඉන්න උගන්නන්න ඕනි අපේ මැණිකෙ....ඉදල හිටලා හරි පොඩ්ඩක් තරවටු කරන්නෙ ඒකයි මම"

"හරි අපේ මහත්තයා"

"සුදුපුතාටත් ඒ දේවල් උගන්නන්න ඕනි.....නැත්තං අපේ මැණිකෙ මැණිකෙගෙන් ජීවිතේම අතෑරලා සුදුපුතා වෙනුවෙන් කැප උනු එකෙන් වැඩක් වෙන්නෙත් නෑනෙ"

"................."

"මම යනවා දැන්.....අනිද්දා දිහාට වගේ එන්නෙ.ලොකු මැණිකෙ පරිස්සමින් ඉන්න"

"හොදමයි අපේ මහත්තයා"

පෝටිකෝවෙ උන්නු ලොකු මැණිකෙ ඈත නොපෙනිලා යන මහ මුදියන්සෙගෙ වාහනේ දිහා බලන් ඉදලා ඇහැට උනපු කඳුලක් පිහිදගත්තා.

"සුදුපුතා නිසා නෙවේ අපේ මහත්තයා මට මගෙ ජීවිතේ අතාරින්න උනේ.......මහත්තයයි මගෙම අක්කයි නිසා....මම පණ වගේ ආදරේ කල මනුස්සයවත් ඈත් කරවලා,ජීවිතේ මම අද වෙනකං විදින විදියෙ ලොකු වේදනාවක් මට දුන්නෙ ඔය දෙන්නා.....සමහරවෙලාවට ඇස් වලට පේන ඒ රූපෙ දැකල තනියෙන් අඩන ඇඬිල්ල දන්නෙ මම විතරයි....මමත් අහිංසක හීන තිබ්බ ගෑනියෙක්...මට උනු දේ මම කවදාවත් මේ පුංචි උන් දෙන්නට වෙන්න දෙන්නෑ අපේ මහත්තයා.....මම සුදුපුතායි නේත්‍ර දරුවයි වෙනුවෙන් ඉන්නවා....මට නොලැබුනු සතුට,සැනසීම ඒ දෙන්නට විදින්න දෙනවා"

නුවර හුලග ඇවිත් ලොකු මැණිකෙව වැලදගත්තෙ එ අහිංසක ගෑනු හිත සනසන්න වගේ.සමහර කදුළු කතා නුවර පොලව මත්තෙම වැලලිලා තියෙද්දි ඒ හැම කතාවක්ම දැනන් උන්නු නුවර ආකාහෙට පුළුවන් උනේ තනියෙම ඉකි ගහන්න විතරයි.නුවර ආකාහෙයි,පොලවයි,ඒ අවිහිංසක හදවතුයි විතරක්ම දන්න කදුළු කතා නුවර පොලවයි අහසයි දෙක හරි අපූරුවට දරාගෙන උන්නා.

ලොකු මැණිකෙ එහෙම්මම පල්ලම් බහින්න ගත්තෙ නේත්‍රලාගෙ ගෙවල් ලගට.ගෙයි දොරකඩට කිට්ටු වෙද්දිම නේත්‍රගෙ සියුම් කෙඳිරිලි හඬ වගේම නිර්මලාගෙ ඉකි ගැහිල්ල එක්ක ලොකු මැණිකෙගෙ හිත කීරි ගැහුනත් හිත හයිය කරගත්තු ලොකු මැණිකෙ සුපුරුදු හිස් බැල්මම මූණට නංවගෙන ගෙට ඇතුල් වුණේ නිර්මලාට කතා කරන ගමන්මයි.

"කොල්ලට මොකද නිර්මලා?"

"අ....අත තැලිලා අපේ මැණිකෙ.උස්සන්න බෑ වේදනයිලු"

"දරුවට ඇඳුමක් මාරු කෙරෙව්වද?"

"ඔ....ඔව් ලොකු මැණිකෙ ..."

"එහෙනම් නිර්මලා ගිහින් ඇඳුමක් මාරු කරං එන්න.....ඉස්පිරිතාලෙට යං"

"ප්....පින් අයිති වෙනවා ලොකු මැණිකෙ.....මම ගිහින් ඇඳුමක් මාරු කරං එන්නම්"

ලොකු මැණිකෙගෙ හඬ ඇහුනු නේත්‍ර තමන්ගෙ අවධානෙ යොමු කලේ ඇඳ ලගම මේසෙ උඩ වයිබ්‍රේට් වෙන තමන්ගෙ දුරකථනෙ වෙතට.ආව වෙලේ ඉදලා පස් හය සැරයක්ම එක දිගටම නාදවුණු දුරකථනෙ තමන්ට ගන්න බැරි නිසා නේත්‍රට මගෑරුනත් නේත්‍රට ඒක ගන්න උවමනාව තිබ්බෙ ඒ ඇමතුම කාගෙන්ද කියන එක ඉවෙන් වගේ දැනුනු නිසා.අමාරුවෙන් නැගිටින්න හැදුව නේත්‍ර ආයෙමත් ඇඳ උඩටම වැටුනෙ කාමරේට ඇතුල් වුණු ලොකු මැණිකෙව දැකලා.හෙමීට නේත්‍ර ලගට ලං වුණු ලොකු මැණිකෙ නේත්‍රගෙ හිස් මුදුනෙන් අත තිබ්බත් ලොකු මැණිකෙගෙ අවධානෙ බිඳුනෙ මේසෙ උඩ ආයෙමත් දෙදරුම් කන්න ගත්තු දුරකථනෙ නිසා.

"ආ කොල්ලො"

දුරකථනෙ අතට ගත්තු ලොකු මැණිකෙ තිරය දිහාවත් නොබලා නේත්‍රට දුරකතනෙ දෙද්දි පුංචි එකා ලොකු මැණිකෙගෙ ඇස් මගාරින ගමන් දුරකථනෙ අතට ගත්තා.හුරුපුරුදු ආදරණීය නම දුරකථන තිරේ වැටිලා තියෙද්දි නේත්‍ර ලොකු මැණිකෙ දිහා හොරෙන් බැලුවත් නේත්‍රගෙ හොර බැල්ම දැක්ක ලොකු මැණිකෙ හිනා වෙලා කාමරෙන් එලියට ගියේ නේත්‍රගෙ පෞද්ගලිකත්වය නේත්‍රට දිලා.ලොකු මැණිකෙ ගිය ගමන් ඇමතුමට සම්බන්ධ වුණු නේත්‍ර එකපාරටම බය උනේ ආශවගෙ වේගවත් හුස්ම නිසා.

"ස්....සුදුබේබි"

"ඔයා හොඳින්ද?"

"ඔ....ඔව් සුදුබේබි"

නේත්‍රට ආයෙමත් ඇහුණෙ ආශවගෙ වේගවත් හුස්ම.

"පිස්සු කරන්න තියාගන්න එපා නේත්‍ර!!! මම කොච්චර බය උනාද? යන තැනක ඕක අරං යන්න කියලා නේද තියෙන්නෙ? කීපාරක්ද නේත්‍ර! මෙතන පපුව පිච්චෙන මිනිහෙක් ඉන්නවා කියලා මතක තිබ්බෙ නැද්ද!"

"..................."

"හෙට මැච් එක! ඉන්නෙ පීඩනෙන්.ඔයාට අවුලක්ද මොකද්ද කියලා එකපාරටම හිතුනා මට....කතා කරල හිත නිදහස් කරගන්න බලද්දි ඔයා නෑ!නේත්‍ර මට මගෙ ඔලුවෙ නිදහස නෙවේ ඕනි....ඔයා හොඳින්ද කියන එකයි ප්‍රශ්නෙ! බය වෙනවා නේත්‍ර මම.....ඔයාව හිර කරන්න හදනවා නෙවේ.....ඒත් මට බයයි"

"....................."

"දැන් ටිකකට කලින් පපුවට මහා අමුත්තක් දැනුනා.ඔයාට කරදරයක්ද කියලා හිතුනා.ප්‍රැක්ටිස් කරන එකත් පැත්තක දාලා දුවං ආවෙ ඔයාට කෝල් කරන්න.ඒ එද්දි ඔයා නෑ....මට ඔයාට වඩා මුකුත් වටින්නෑ නේත්‍ර....ඔයාට ඇත්තටම ඒක තේරෙන්නෙ නැද්ද ආ?"

"....................."

"පපුව ගැලවෙන්න වගේ ආවා.....මොකක් හරි කරදරයක්ද? මොකක් හරි හදිස්සියක්ද? මම මෙතන නොමැරී මැරෙනවා නේත්‍ර.....හදිස්සියෙ දුවගෙන එන්න පුළුවන් දුරක නෙවේනෙ මම ඉන්නෙ.....ඇත්තටම ඊලග පාර ඔක්කොටම බම්බු ගහගන්න කියලා ඔයාවත් රට අරං එන වැඩක් ඔයා කරගන්න හදන්නෙ! "

"................"

ආශවගෙ සාධාරණ කේන්තිය ඉස්සරහපිට නේත්‍ර නිහඬතාවෙම අනුගමනය කලා.පුංචි එකා වචනයක්වත් නොකියා ආශවගෙ පීඩනේ පිටකරගන්න දුන්නා.වචනයක් හරි කියලා ආශවගෙ පීඩනේ පිටකරගන්න එකට බාධාවක් වෙන්න නේත්‍රට ඕනි වුනේම නැහැ.ආශව සන්සුන් වෙනකංම නේත්‍ර කලේ ආශවගෙ හඬට ඇහුම්කන් දීගෙන ඉන්න එක විතරයි.විනාඩි හත අටකම නිහඬතාවෙකින් පස්සෙ ආශව ලොකූ හුස්මක් හෙලනවා නේත්‍රට ඇහුනා.ඒ ටිකකින් ආශවගෙ සන්සුන් ආදරණීය හඬ ඇහෙද්දි පුංචි එකාට ඉකි ගහලා ඇඬීගෙන ආවා.

"මගෙ මැණික ගැනනෙ සුදුබේබි හැමවෙලේම හිතන්නෙ රත්තරනේ.....සුදුබේබි බය උනා"

"නේත්‍රව වැටුණා සුදුබේබි"

"වැටුනා! මට ඒක වෙන්න ඇති එහෙනම් අමුත්තක් වගේ දැනුනෙ! ලොකුවට තුවාලද නේත්‍ර! මම දෙවින්ට කෝල් කරන්නම් ඔයාව...."

"නෑ නෑ සුදුබේබි එපා.......ලොකු මැණිකෙයි අපේ අම්මයි එක්කන් යන්න හදන්නෙ මාව.වැටුණු පාර අතක් නිකං තැලුණා වගේ උනා"

"නේත්‍ර......"

"ඕ සුදුබේබි....."

"ඇ....ඇත්තටම වැටුණා නේද?"

"ඔව් සුදුබේබි...."

"තව සති එකහමාරනෙ නේත්‍ර....මම ඉක්මනටම එනවා....මගෙ මැණික පරිස්සමින් ඉන්න....සුදුබේබිට හරි අමුතුයි"

"සුදුබේබි?"

"ඔයා ඇත්තටම වැටෙන්න ඇති.....ඒත් සුදුබේබිට දැනෙන්නෙ අමුත්තක්....."

"සුදුබේබි දුර ඉන්න නිසා වෙන්න ඇති"

"මම ඉක්මනටම එන්නම් නේත්‍ර......ඔයා උන දේ කිව්ව එක එක අතකට සැනසීමක් මට.....නැත්තං ඔයා මොකක් හරි අවුලක් වෙලා,මට දුක හිතෙයි කියලා නොකියා හිටියද කියලා මම පැය ගණන් කල්පනා කරනවනෙ"

"මේ චූටි තුවාලයක් සුදුබේබි....වත්ත පහල වැටෙනවා ලොකු මැණිකෙ දැක්ක හන්දා ලොකු මැණිකෙ ආවෙ.....සුදුබේබි බය නැතුව ඉන්නකො"

"හ්ම්ම්ම්ම්"

"හෙට මැච් එක නේද සුදුබේබි....දැන් ප්‍රැක්ටිස්ද?"

"ඔව් නේත්‍ර....."

"සුදුබේබි ප්‍රැක්ටිස් යන්නකො....මම බේත් දාගෙන එන්නම්......රෑට අපි කතා කරමුකො සුදුබේබි"

"ම්ම්ම්ම්ම්"

"සුදුබේබි ප්‍රැක්ටිස් වලට යන්න....ප්‍රැක්ටිස් නොතිබ්බනම් මම කෝල් එකේම ඉන්නවා සුදුබේබි එක්ක"

"මැණික පරිස්සමින් ගිහින් එන්න එහෙනම්....රෑට දෙයක් කියන්නත් තියෙනවා"

"මොකද්ද සුදුබේබි?ප්‍රශ්නයක්ද මොකක් හරි?"

"එ වගේ"

"දැන් කියන්න සුදුබේබි.....මට පරක්කු වෙන්නෑ"

"ඒක උඩින් පල්ලෙන් කතා කරල බෑ මැණික.....ඔයා බේත් දාන් එන්න.මම ප්‍රැක්ටිස් ඉවර වෙලා කෝල් කරන්නම්....."

"හා සුදුබේබි එහෙනම්"

"හ්ම්ම්ම්....දුවන්නෙ එහෙම පරිස්සමින් හොදද....පේනවනෙ දැන් තුවාලත් වෙලානෙ"

"හා සුදුබේබි.....ආයෙ දුවන්නෑ"

"බුදු සරණයි මැණික.....පරිස්සමින් ගිහින් එන්න"

"බුදුසරණයි සුදුබේබිටත්....."

දුරකථනෙ ක්‍රියා විරහිත කල නේත්‍ර හෙමින් සැරේ ඇඳෙන් නැගිටින්න හදද්දි නිර්මලා ඇවිත් නේත්‍රව අල්ලගනිද්දි ලොකු මැණිකෙ මිදුලෙ නවත්තලා තිබ්බ ත්‍රීරෝද රථයට නැගලා හිටියා.

.

.

.

.

.

"ආහ් සනුක....."

"උඹ මොකෝ පරක්කු කියලා බලන්න ආවෙ"

"යං....මම නේත්‍රට කතා කරන්න ආවෙ"

"මල්ලිට අවුලක්ද මොකක් හරි?"

"ම්ම්ම්.....වැටිලා දුවද්දි"

"පොඩි කාලෙ වගේ දඟයිද තාම?"

"අම්මො නෑ....ඔය මොකක් හරි හදිස්සියකට දුවන්න ඇත්තෙ....ඉස්සර වගේනම් නෑ....ඉස්ස.....ම්ම්ම්....උඹ පොඩි කාලෙ ගැන දන්නෙ කොහොමද?"

"ප්....පොඩි කාලෙ ඉතින් ඔ.....ඕනි කෙනෙක් දඟයිනෙ ආශවයා....ඒකයි ඇහුවෙ.නැත්තං මම දන්නෑනෙ"

"ආහ්....ඒක තමා"

ආශවගෙ කරට අතදාගත්තු සනුක දෙන්නා එක්කම පිට්ටනියට පිටත් වෙද්දි ආශව සනුක දිහා විමසිල්ලෙන් බලලා අහක බලාගත්තෙ හිනා වෙන ගමන්.ආශවට සනුකව සැක කරන්න ඕනි වුනේ නැහැ.පිට්ට්නියට ගිය කොල්ලො ටික අවසාන වතාවටත් පුහුණුවීම් වල නියැලිලා ආපහු පිටත් වුණේ නවාතැන්ගෙන තිබ්බ සුඛෝපභෝගී හෝටලයට.ආශවයි සනුකයි දෙන්නා තමන්ට අදාල කාමරේට යද්දි ලියෝන් ගියේ ලියෝන් සහ අලෝක නැවතිලා උන්නු කාමරේට.කොහොමත් ලියෝන් ඇඟපත සෝදගෙන ඇඳුමකට මාරු වෙලා තමන් දෙන්නගෙ කාමරේට දුවං එන වග දැනන් උන්නු සනුකයි ආශවගෙ දෙන්නා හෙමින් සැරේ ඇඟපත සෝදගෙන තැන්පත් වෙලා හිටියා.

"ආ සුද්දො දෙන්නා"

සනුක ඇරිය කාමරේ දොර අස්සෙන් ඇතුලට පැන්න ලියෝන් එහෙම්මම දුවගෙන ඇවිල්ලා ඇඳට පැනල ආශවව තුරුල් කරගනිද්දි ආශව හෙමින් සැරේ ලියෝන්ව අහකට තල්ලු කරලා දැම්මා.ලියෝන්ව පැත්තකට කෙරුව ආශව හෙමින් සැරේ නැගිටලා වතුර බොන්න යන මුවාවෙන් ඇඳෙන් බැහැලා කාමරේ තියෙන මේසෙ ලගට යද්දි ලියෝන් දුක්බර විදියට හිනා වෙලා අහක බලාගත්තා.ලියෝන්ගෙ වෙනස දැක්ක සනුක ලියෝන් ලගින්ම ඉදගෙන ලියෝන්ගෙ කරට අතක් දාලා ලියෝන්ව තුරුල් කරගනිද්දි ලියෝන් ලාවට හිනාවෙලා සනුකට තුරුල් වෙල හිටියා.

"ටී අරං ඇවිල්ලා ඇති ආශවයා.....මම පණිවිඩේ දුන්නා රූම් එකට එවන්න කියලා"

දොරට තට්ටු කරපු සද්දෙ එක්ක සනුක කියද්දි ඔලුව වනපු ආශව ගිහින් දොර අරිද්දි තේ අරං ආව වේටර්වරයා ඔලුව නවාගෙනම ඇතුලට ඇවිත් තේ ටික පිලිවෙලට මේසෙ උඩින් තියන්න ගත්තෙ කට්ටියට පිටුපාගෙනමයි.වේටර්වරයා දිහා ටික වෙලාවක් බලන් උන්නු ලියෝන් එකපාරටම සනුකවත් තල්ලු කරලා දාලා ඇඳෙන් බිමට බැහැල අඩියක් පොලවෙ ගැහුවා.

"මොකද්ද ඕයි මේකෙ තේරුම?"

"ලියෝන්!!! මොකද්ද ඔය කතා කරන විදිය?"

ලියෝන් වේටර්වරයාට කතා කල විදිය එක්ක සනුකට කේන්ති ගියේ එහෙම වැඩ කරන කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන විදියට කතා කරන එක වැරදි වගේම හොද නැති වැඩක් නිසා.අනික නිහතමානී කෙනෙක් වුණු ලියෝන්ගෙ මේ හදිසි වෙනස එක්ක සනුක වගේම ආශවත් පුදුම වෙලා හිටියා.

"යස වේටර්! බිවේෂ්! මොකද්ද මනුස්සයො මේකෙ තේරුම?"

"ප්....ප්ලීස් ලියෝන්.....ඔයාව බලන්න ඕනි වුණා මට"

වේටර්වරයා තොප්පිය ගලවලා හෙමින් සැරේ කට්ටියගෙ පැත්තට හැරෙද්දි ලියෝන් ඔලුවට අතත් ගහගෙන ඇඳෙන් ඉදගත්තා.ආශවයි සනුකයි දිහා බැලුව බිවේෂ් ලස්සනට හිනා වෙලා ලියෝන් දිහා බැලුවත් ලියෝන්ගෙ රැවිල්ල එක්ක බිවේෂ් බය වෙලා අහක බලාගත්තා.බිවේෂ්‍ට එතනම තිබ්බ පුටුව පෙන්නුව සනුක බිවේෂ්ට ඉදගන්න කියද්දි හිනා වුණු බිවේෂ් එතනම ඉදගත්තා.

"බිවේෂ් කොහොමද මෙහෙම ආවෙ?"

"ම්....මේක අපේ තාත්තිගෙ හොටෙල් එකක් සනුක....එයා තමා මේක දුන්නෙ මේ පාර ටීම් එකට"

"ඕහ්.....ඔව්නෙ.....ස්වදේශ කටයුතු ඇමතිතුමානෙ මේ පාර අපේ ඔක්කොම කන බොන වියදමේ ඉදන් ඔක්කොටම ස්පොන්සර් කරනවා කිව්වෙ....මට අමතක උනා ඒක"

"ඔව් සනුක.....ලියෝන්ව බලන්න විතරයි ඕනි වුණේ.....මම යන්නම්"

"එපා.....ඔයා ඉන්න බිවේෂ්....ටිකක් කතා කරමු"

"සනුක අයියෙ! ඔයා එහෙනම් මෙයා එක්ක කතා කර කර ඉන්න....මම යන්නම් අනික් කාමරේට"

ලියෝන්ගෙ වචන එක්ක බිම බලාගෙනම වේදනාවෙන් හිනා වුණු බිවේෂ් නැගිට්ටෙ කාමරෙන් එලියට යන්න.සනුකටයි ආශවටයි හිනාවෙලා සමුදුන්නු බිවේෂ් දොර ලගට ගිහින් හැරිලා ලියෝන් දිහා බැලුවා.

"මම ගිහින් එන්නම් ලියෝන්"

ලියෝන් දිහා බලපු බිවේෂ් එලියට යද්දි ඇස් දෙක රෝල් කරලා ආයෙම ඇඳ උඩට කඩාගෙන වැටුණා.ලියෝන්ගෙ වැඩ එක්ක හිනාවුණු ආශව ඔලුව දෙපැත්තට වනලා ලියෝන් ලගින් ඉදගනිද්දි ලියෝන් සනුකටයි ආශවටයි මැදිවෙලා හිටියා.

"බයින්නෙපා දැන් මට ඔයාල දෙන්නා!"

"බයින්නෑ ලියෝන්.....ඒත් අහනවකො"

ආශව කියද්දි ලියෝන් ආශවගෙ පැත්තට හැරුණා.

"ලියෝන්,ජීවිතේ අපිට ඕනි හැමදේම අපිට ලැබෙන්නෙ නැහැ.සමහරවෙලාවට අපිට ඕනි කියලා හිතෙන දේවල් අපිට ලැබෙන්නෙ නැතුව යන්නෙ ඊටවඩා හොද දෙයක් අපිට ලැබෙන්න වෙන්න පුළුවන්.....මම දන්නෑ ඔයා ඇයි බිවේෂ්ට ඔය තරමටම අකමැති කියලා....ඒත් ඒ කොල්ල ඔච්චර ඔයාගෙ පස්සෙන් එද්දි,ඒ කොල්ලා ඔයාට ඔච්චර ආදරෙයි කියලා කියද්දි ඔයාට ඒ කොල්ලා වෙනුවෙන් එක චාන්ස් එකක්වත් දෙන්න බැරි ඇයි කියලා මට තේරෙන්නෙ නැත්තෙ"

"................"

"මට මතක ඇති කාලෙක ඉදන් ඕනි වුනේම නේත්‍රව.....මගෙ මොකක් හරි වාසනාවකට දෛවයෙන් පවා මට මවල තිබ්බ කෙනා වුණේ නේත්‍ර....ඒත් හැමෝටම එහෙම නෑ....මගෙ තව යාලුවෙක් ඉන්නවා....ඌ වටේ යනව වගේ හිටිය කෙනෙක් කාලෙකට කලින්....දැන් මිනිහා හරි ට්‍රැක් එකට වැටිලා.....ඌ නොදන්නව උනාට ඌ කෙනෙක්ට පුදුම විදියට ආදරෙයි.මිනිහට කලින් ඕනි වුනේ වෙන කෙනෙක්ව.ඒත් එයාව ඒ වෙද්දිත් වෙන කෙනෙක්ට අයිතිවෙලා තිබ්බෙ.දෛවයෙන් මම ඔය කියන  යාලුවට මවල තියෙන්නෙ වෙනම කෙනෙක්ව....අන්න ඒකයි මම කියන්නෙ,අපි හිතන කෙනාව නෙවේ අපිට ගැලපෙන්නෙ....මොකක්ම හරි විදියකට අපේ ජීවිත ගෙවෙන්න ඕනි විදිය ලියවිලා ඉවරයි.....මට හිතෙන්නෙම ඔයා බිවේෂ්ට එක චාන්ස් එකක් හරි දුන්නනම් හරි"

"මම කිව්වා නේද ලියෝන් ඕකම? උඹ මම කියන දේ අහන්නෙ නැත්තං ආශව කියන දේ හරි අහපං"

"ම්ම්ම්ම්......."

ලියෝන් කල්පනා කරන්න ගනිද්දි ආශව සනුක එක්ක කතා කරන්න ගත්තෙ හෙට වැඩේ ගැන.ඇත්තටම ආශවට නේත්‍ර එක්ක කතා කරන්න ලොකු උවමනාවක් තිබ්බා.ඒත් ඒකට නිදහසක් ඕනි නිසයි ආශව ඉවසගෙන හිටියෙ.විනාඩි කට්ට කැරකෙන හැටිම බලාගෙන උන්නු ආශවත් ටිකකින් සනුකයි ලියෝනුයි එක්ක නින්දකට වැටුණා.

*      *      *      *      *

"උඹ නිදාගන්න එන්නෙ නැද්ද දැන්මම?"

"නෑ සනුක....මම නේත්‍ර එක්ක කතා කරලා එන්නම්"

"ආහ් හරි....හුඟක් රෑ වෙනකං ඉන්න එපා ඈ...හෙට මැච් එකනෙ"

සනුකට ඔලුව වැනුව ආශව බැල්කනියට ගිහින් එතන තිබ්බ සැපපහසු පුටුවකින් ඉදගෙන බලාගෙන හිටියෙ ලන්ඩන් නුවර තියෙන පාට පාට එලි දිහා.මුලු නගරෙම විදුලි ආලෝකයෙන් බබලන ගමන් තිබ්බා.මේ දවස් වල රාත්‍රී කාලෙ තිබ්බ හීතල එක්ක අත් දෙක එකට ඇතිල්ලුව ආශව දුරකථනෙ වීඩියෝ සක්‍රීය කරලා පුටුව උඩට අරන් තිබ්බ කකුල් දෙක උඩින්  දුරකථනෙ තියාගත්තෙ ගාණට තිරය මූණට කෙලින් හිටින විදියට.

"සුදුබේබි!!!"

තමන්ගෙ පුංචි එකාගෙ ආදරණීය හඬ එක්ක ආශවගෙ මුලු ශරීරෙම උණුහුම් වෙද්දි නේත්‍ර දිහා බලල ලස්සනට හිනා වුණු ආශව නේත්‍ර එක්ක කතාව පටන්ගත්තා.පැයක විතර කතාවකින් පස්සෙ ආශව ලොකු හුස්මක් පහල දාලා නේත්‍ර දිහා බලද්දි නේත්‍ර ආශවගෙ ඇස් දෙක අස්සටම එබුණා.

"ඇයි සුදුබේබි?"

"ඔයාගෙ මූණ පැහැදිලි නැනෙ අනේ....අදුරුයි"

"බොරු බොරු....ඒක නෙවේ හේතුව...ඇත්තටම කියන්නකො සුදුබේබි"

"ම්ම්ම්ම්....නේත්‍ර,කාලෙකට කලින් කතා කරලා වැඩක් නෑ,අපිට බලපෑමක් නැති නිසා අපේ වටින කාලෙ උන් වෙනුවෙන් කත කරලා වැඩක් නෑ කියලා පැත්තකට කල දෙයක් ගැන අපිට කතා කරන්න වෙයි වගේ"

"ඒ මොකද්ද සුදුබේබි?"

"දිව්දේත්‍රා......"

"එ.....එයා ඇයි සුදුබේබි"

"ලොකූම ලොකු කරදරේක මූලාරම්භයක් වගේ නේත්‍ර....මෙහෙ ඇවිල්ලා ඒ කෙල්ලත්.මේ ටිකේම අමුතුයි නේත්‍ර.....මට නිකමට දෙයක් ගැන සැක හිතෙන්නෙ නෑනෙ"

"සුදුබේබි කියන්නෙ එයා සුදුබේබිට ප්‍රශ්නයක් දායි කියලද?"

"ප්‍රශ්නයක් කියන්නෙ මෙහෙමයි.....එයා ටීම් එකඇතුලෙ කතාවක් යවලා මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා"

"එයාගෙ! සුදුබේබි! ඒ අක්කට පිස්සු සුදුබේබි! සුදුබේබි නේත්‍රගෙනෙ!"

"ඒකනෙ....එයා නිකමට එහෙම දෙයක් කිව්ව වෙන්නත් බැහැ.....මොකක් හරි ලොකු ගැටයක් ගහනවා ගෑනි"

"සුදුබේබි අහන්නකො....අපි හෙට මැච් එක ඉවර කරගමු හරියට....ම්ම්ම්? ඉවර කරගෙනම මේ ප්‍රශ්න ගැන හිතමු"

"ඔව් නේද නේත්‍ර?"

"සුදුබේබි ඔහෙ තනියමනෙ....මෙහෙ ආවම මම දෙවින් තෙවින් අයියලා,දෙනෙත් අයියා,දිවාෂ,රකිත අයියලා....අපි හැමෝම ඉන්නවනෙ.සුදුබේබි තනි නැහැ.ඒ නිසා ඔහෙ ඉද්දි ප්‍රශ්න ගැන හිතන්න යන්න එපා.හැබැයි විමසිල්ලෙන් සුදුබේබි....සුදුබේබි ප්‍රශ්නයක් වගේ වෙනවනම් සනුක අයියාට හරි කියලා ඒකෙන් ගැලවෙන්න බලන්න....සනුක අයියා ඇත්තටම හිතවත් කියලා මට හිතෙනවා සුදුබේබිට"

"ඔව් නේත්‍ර.....මම මුකුත් නොහිතා ඉන්න....දවස් තුනේ මැච් එකනෙ....මම මේක ඉවරයක් කරලම එන්නම්"

"සුදුබේබි හොදටම ටාගට් කරලා ප්ලේ කරන්න සුදුබේබි....සුදුබේබිව ටීම් එකේ රඳවගන්නම වෙන විදියට....තේරුණාද? දවසක් ඇර දවසක්නෙ මැච් තියෙන්නෙ....ෆ්‍රී දවසෙ සුදුබේබි ඉන්ජර්ඩ් නොවෙන විදියට ප්‍රැක්ටිස් කරන්න....අවුරුදු ගාණක් සුදුබේබි ප්‍රැක්ටිස් කලානෙ ඉතින්"

"මගෙ වස්තුව ටික ටික ලොකු වෙනවා....."

"අනේ සුදුබේබි"

"තව අවුරුදු කීපයයි....සමහරවිට ඊලගට ඉන්ග්ලන්ඩ් එන ටූනමන්ට් එකේදි ඔයත් මම එක්ක එයි"

"ඔහෙ ලස්සනයිද සුදුබේබි"

"ලස්සන බලන්න වෙන්නෙ ඔයා ආවම තමා.....ඔයා නැතුව කොතනක්වත් ලස්සන නෑ නේත්‍ර"

"සුදුබේබි දැන් දොයියගන්න....හෙට මැච් එකනෙ....නිදිමරන්න එපා.....අටට පටන් ගන්නවා නේද?"

"ඔව් නේත්‍ර....අටට...."

"හුම්ම්ම්"

"ආ ආ....ඔයා හෙට ඉස්කෝලෙ යන්න ඕනි හරිද?"

"අනේ අනේ බෑ සුදුබේබි....හෙටනම් බෑම බෑ....අපි කවුරුත්ම යන්නැ හෙට ඉස්කෝලෙ....ඉස්කෝලෙ ගියොත් මැච් එක බලන්න වෙන්නෑනෙ....අනේ සුදුබේබි නේත්‍ර ගෙදෙට්ට වෙලා උගන්නපු ටික රෑට පාඩම් කරනවා සත්තයි""

"ඔයාට බෑ කියන්නත් බෑ නේත්‍ර....හරි,මට රෑට ඔක්කොගෙම නෝට් ලියාගෙන ෆොටෝස් එවන්න ඕනි"

"හා සුදුබේබි....එහෙම කරන්නම්"

"බුදු සරණයි වස්තුවෙ එහෙනම්.....සුදුබේබි යනවා නිදාගන්න"

"බුදුසරණයි මගෙ සුදුබේබිටත්"

දුරකථනෙ ක්‍රියාවිරහිත කෙරුව ආශව හෙමින් සැරේ ලන්ඩන් නුවර ආක්‍රමණය කරගෙන තිබ්බ ආකාහෙ දිහාවට බැලුම් හෙලුවා.නුවර අහසෙ නොතිබ්බ මොකද්ද මංදා හිස්තැනක් ලන්ඩන් නුවර ඉහල ආකාහෙන් පෙනෙද්දි ලොකු හුස්මක් හෙලුව ආශව කාමරේ ඇතුලට ඇවිත් බැල්කනියට සම්බන්ධ වෙලා තියෙන දොර වහල දැම්මා.ඇඳුම් බෑගයෙන් එලියට ගත්තු නේත්‍රගෙ කමිසෙ පුරුදු විදියට තුරුල් කරගත්තු ආශව ඒ සුවඳ එක්ක තමන්ගෙ ඇස් දෙක පියාගනිද්දි නේත්‍ර හීතලේ තමන්ගෙ පුංචි ඇඳ උඩ ඇස් පියාගෙන උන්නා.

*      *      *      *      *

"ආසවයා මොනා උනත් හැන්ඩියා නේත දෙවින් පණ?"

"ඔව් ඔව්.....මිනිහා හෙනම ගති"

"තෙවින් අයියා නැද්ද දෙවින් අයියෙ අද?"

"අනේ මංදා මල්ලි....මෙච්චර අද ආශවයගෙ පලවෙනිම මැච් එක කියලා කියද්දිනුත් මූ ගියා ගමනක් යන්න තියෙනවා කියල.....කෙල්ලෙක් එක්ක සෙට් මට තේරෙන විදියට....යාලුවටත් වඩා මේ එකපාරටම හම්බුනු එකියක්ව ලොකු උනාද කියලා මට හිතාගන්න බෑ"

"හදිසි වැඩක්ද දන්නෙත් නෑනෙ අයියෙ"

"නෑ නේත්‍ර මල්ලි නෑ.....හදිසි වැඩක්නම් එකපාරටමනෙ දුවන්නෙ....හෙමීට ලෑස්ති වෙල සුවඳ ගගහා ගියා.ආ දිවාෂ මල්ලි,ඔයාවත් දන්නෙ නැද්ද ඌ නටන නාඩගම?"

"ම්....මම දන්නෙ කොහොමද දෙවින් පණ"

"උබලා දෙන්නා කොච්චර මරාගත්තත් උබලා දෙන්නා හෙනම එකතුයි කියලා අපි දන්නවනෙ.....ඒකයි මම ඇහුවෙ"

"දන්නෑ දෙවින් පණ.....හෙට හවසට අර කලින් කරමු කිව්ව කවර් එකේ රෙකෝඩින්ස් වලට එන්න කියලා කෝල් කලා ස්ටූඩියෝ එකෙන්....මෙයා ටයිම් දාගෙන තිබිලා කලින්ම....මෙයා ආන්සර් කරන්නැති නිසා මට අරං තියෙන්නෙ.අපි දෙන්නා කරන නිසා දෙන්නගෙම නම්බර්ස් ගත්තනෙ....මම කිව්වා එන්නම් කියල....අනේ මංදා ඒකටවත් උවමනාවක් නැද්ද කියල"

"කලින් යාලු වෙලා හිටිය එකී කවුද? අර අර ඉන්ස්ට එකෙයි ටික්ටොක් එකෙයි රඟන්නෙ?"

"ම්....මතක නෑනෙ"

"මටත් නම මතක නැහැ.....මෙයාගෙ පෝස්ට් වලට ලගදි ඒ කෙල්ල කමෙන්ට්ස් ඒම දාන්න අරං තිබ්බා....ඕෂි මොකක් හරි නම....ආයෙ මූ අඩව්වක් අල්ලන්නද මංදා යන්නෙ මල්ලි.හරි බයයි මටනම්"

"බය ඇයි අයියෙ?"

"නෑ නේත්‍ර මල්ලි.....ඔයාලා උනත් දන්නව  ඇතිනෙ මූ කොළබ ඉද්දි විනාසම වෙලා හිටියෙ.මෙහෙ ආවට පස්සෙ තමා මනුස්සයෙක් වුනේ.....ආයෙ අර වලටම වැටෙයි කියලයි බය මට"

"අපි බලමුකො අයියෙ....ඔයයි දිවාෂයි කලබල නොවී ඉන්න...අපි හෙමීට හොයල බලමු.එකපාරටම කලබල උනාම අපි කරන හැමදේම වරදින්න පුළුවන්...ඉස්සෙල්ලාම දෙවින් අයියා සුහදව කතා කරලා බලන්න්ෆ් තෙවින් අයියා එක්ක.....ඔයා එයාගෙ අයියනෙ.එයා කියයි කියන්න දෙයක් තිබ්බොත්....හංගනවා වගේ දැනුනොත් ඒ හංගන දෙයින් තෙවින් අයියට කරදරයක් වෙයි කියලා හිතුනොත් සුදුබේබිට කියන්න අයියෙ....සුදුබේබි අහයි.දෙවින් අයියාට කලින් සුදුබේබි ලව්වා අස්සවන්නෙ නැත්තෙ සුදුබේබි අහන්නෙ දෙවින් අයියා වගේ සුහදව නෙවේනෙ....සුදුබේබි සැර කරයි.ඉස්සෙල්ලාම හොදින් අහලා පස්සෙ සැරෙන් අහගන්න වෙන්නෙ....මම මෙහෙම කිව්වෙ අයියෙ,තෙවින් අයියා ආයෙ කරදරේක පැටලෙන්න යනව වගේ දෙයක් අයියට දැනෙන නිසා.නැත්තං තෙවින් අයියගෙ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන්න හොද නෑනෙ....ඒත් කරදරේකනම් ඉන්නෙ එයාව අපි බලාගන්න ඕනි"

දෙවිනුයි දිවාෂයි නිහඩවම බලාගෙන හිටියෙ සන්සුන්ව වචන හසුරවන නේත්‍ර දිහා.අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය විදියට ඒ දේවල් හරියටම කරන හැටි පැහැදිලි කල නේත්‍ර ගැන අනික් දෙන්නගෙම හිත් වල ඇතිඋනේ නොසෑහෙන ගරුත්වයක්.නේත්‍ර දිහා බලාගෙන උන්නු දෙවින් ලස්සනට හිනා වෙලා නේත්‍රට කතා කලා.

"මට පුදුමයක් නෑ ආශව ලස්සන මනුස්සයෙක් උනු එක ගැන දැන්නම්....එයාට පාර පෙන්නපු කෙනා ඇත්තටම ආශව කියනව වගේම පර්ෆෙක්ට්"

දෙවින් කිව්ව දේට නේත්‍ර ලස්සනට හිනා වෙද්දි දිවාෂ කලෙ පුරුදු විදියට නේත්‍රව තුරුල් කරගත්තු එක.ඒත් එක්කම කට්ටියගෙම අවධානෙ ලැප්ටොප් එක වෙතට ගියේ ආශවලගෙ කණ්ඩායම තිරයේ දිස් වෙන්න ගත්තු නිසා.ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල වෙබ් අඩවියෙන් අද තරඟාවලිය සජීවීව පෙන්වන්න කටයුතු යොදලා තිබ්බා.

"අද දින වයස දහනවයෙන් පහල ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වෙන ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාරව කණ්ඩායම් පුහුණුකරු නිල වශයෙන් කණ්ඩායමට පිලිගන්නා ආකාරයයි ඔබ මේ දකින්නෙ"

නේත්‍ර ඇස් වල කදුළුත් පුරවගෙන බලන් උන්නෙ ආශවට පුහුණුකරු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල කැප් එක ලබා දෙන ආකාරය.නේත්‍ර අත් දෙකත් එකතු කරං දෙවියන්ට වැන්දා.පුහුණුකරුට අතට අත දුන්නු ආශව හිනා වෙලා කැප් එක දාගනිද්දි සනුක ඇවිත් ආශවගෙ පිටට තට්ටු කලා.ආයෙමත් පිටියෙ සූදානම් වීමේ දර්ශන කීපෙකට පස්සෙ කාසියෙ වාසිය උරඟා බැලීමට සනුක සහ වයස දහනවයෙන් පහල එංගලන්ත කණ්ඩායමේ නායකයාත් ආවා.වාසනාව ඔක්කොම ලංකාව පැත්තට කැරකෙනවා වගේ කාසියේ වාසියත් ලැබුනෙ සනුකගෙ පැත්තට.

"කණ්ඩායම් නායකතුමා විදියට ඇයි අද පලවෙනියටම පන්දුව යොමු කරන්න තෝරගත්තෙ?"

"අද අපේ ටීම් එකේ ඉන්නවා අංක එකේ ලකුණු හඹා යන්නෙක්.....මම හිතනවා මම ගත්තු තීරණේ හරි කියන එක"

සනුකගෙ තීරණේ හරියටම හරි කියන එක ඔප්පු කරන ගමන් හතරවෙනි පිතිකරු විදියට පිට්ටනියට ආව ආශව එංගලන්ත කණ්ඩායම රැස් කෙරුව ලකුණු ටික අපූරුවට හඹාගෙන ගියා.තුන් වෙනි පිතිකරු විදියට පිට්ටනියට ඇවිත් උන්නු සනුක ආශව එක්ක හරි අපූරු සම්බන්ධතාවක් ගොඩ නැගුවා.උදේම පන්සලට ගිහින් බෝධිපූජාවක් තියලා එහෙම්මම දිවාෂලාගෙ ගෙදර ඇවිත් ලැප්ටොප් එක්ක ඉස්සරහ ඉදගත්තු නේත්‍ර එතනින් නැගිට්ටෙ හවස් වෙද්දි ආශවලා ලකුණු දෙසිය පහක පරතරයක් එක්ක ලකුණු එක් රැස් කිරීමෙන් පස්සෙ.පුංචි එකා එතකංම ආශව දිහාම බලාගෙන හිටියෙ ඒ පුංචි හිතෙන් ආශිර්වාද එක් කරන ගමන්.

"හෙලෝ නේත්‍ර!"

"සුදුබේබි! අනේ මගෙ සුදුබේබි හොදටම ප්ලේ කලා!!! දෙයියෝ!!!"

"හොදයි නේද මම? නේත්‍ර බැලුව නේද?"

"ඔව් සුදුබේබි! සුදුබේබිට ඇස් වහ ටිකක් පුච්චන්න ඕනි මෙහෙ ආවම....අපේ අත්තම්මාව හම්බෙන්න ගිහින් පුච්චන් එමු"

"හා මැණිකෙ එහෙම කරමු....ඔයා කෑවද?"

"දවල්ට කෑවෙ නෑ සුදුබේබි"

"ඒ ඇයි ම්ම්ම්?"

".................."

"මම පිට්ටනියෙ ඉද්දි ඔයා නොකා ඉන්න එපා මැණිකෙ...ඔයාට අසනීප උනොත් එහෙම....මම හොදට කාලනෙ පිට්ටනියට යන්නෙ ම්ම්ම්?"

"................."

"හිතුවක්කාරයා හුම්ම්ම් නෑ නේද ඒවට? සුදුබේබි ආවම අල්ලගන්නම්කො"

"එන්නකො....."

"පාළුයි නේද?"

"ඔව් සුදුබේබි"

"එන්නද එහෙනම් අද?"

"එපා එපා! එපා සුදුබේබි! ඕක ඉවර උනාම එන්න හොදද ඉක්මනටම? නේත්‍ර බලන් ඉන්නවනෙ"

"සුදුබේබි නේත්‍ර ලගට දුවගෙන එන්නම්කො ම්ම්ම්?"

"හා සුදුබේබි.....සුදුබේබි හොටෙල් රූම් එකේද?"

"ඔව් මැණිකෙ....මම වොශ් එකක් දාගෙන එද්දි සනුක එලියට ගිහින්.මිනිහට මීට්න් එකක්....ආව ගමන් තමා ඔයාට ගත්තෙ.....ඉතින් ඉතින් චූටි කොල්ලා....මොකෝ කරන්නෙ?"

"නේත්‍ර තාම දිවාෂලාගෙ ගෙදර සුදුබේබි"

"දිවාෂලා ඔත......"

"හායි ආශු!!!!"

"ව්...වට්?"

නේත්‍ර එකපාරටම ගොලු උනේ ආශවගෙ කාමරේ ඇතුලෙන් ඇහුනු ගෑනු කටහඩේ සද්දෙ නිසා.නේත්‍ර නිහඬවම ඇහුම්කන් දීගෙන ඉද්දි ආශවගෙ කටහඩේ සද්දෙ ආයෙමත් නේත්‍රට ඇහුනා.

"හෙලෝ ඔයා ලයින් එකේද?"

"ඔ....ඔව් සුදුබේබි මම තියන්නද?"

"ලයින් එකේම ඉන්න බබා.....මම එන්නම් ඉක්මනට"

ආශව හිතලම නේත්‍රට 'බබා' කියලා ආමන්ත්‍රණය කලේ කවුරු උනත් කාමරේට ඇතුල් වෙලා ඉන්න කෙනාට ඇහෙන්න කියන එක නේත්‍ර තේරුම් ගත්තා.ඒත් එක්කම නේත්‍රට ආයෙමත් ඇහුනෙ අර කලින් ඇහුණු හඩවල්මයි.ආශව කිව්ව නිසාම නේත්‍ර ඇමතුමෙන් බැහැර නොවී ඇහුම්කන් දීගෙන හිටියා.

ආශව ඇඳෙන් නැගිට්ටෙ කාමරේට ඇතුල් වුණු දිව්දේත්‍රා නිසා.සනුක එක්කම කාමරේට ඇතුල් වුණු දිව් දේත්‍රා හිනා වීගෙන ආශව ලගට එද්දි ඒ පිටිපස්සෙ හිටිය සනුක සමාව ඉල්ලන බැල්මකින් ආශව දිහා බැලුවා.

"සනුක ඔයා යන්න එලියට....මට ආශු එක්ක ටිකක් කතා කරන්න ඕනි"

"සනුක උඹ ඉදපං!"

"ආශු?"

"මම දන්නෑ ඇත්තටම ඔයා මේ කොල්ලෙක්ගෙ කාමරයක් අස්සට රිංගන්නෙ ඇයි කියල.....හැබැයි කොල්ලෙක් විදියට මට ලැජ්ජයි ඇත්තටම කෙල්ලෙක් එක්ක එක කාමරේක ඉන්න.....ස්පෙශලි ඔයා වගේ කෙනෙක් එක්ක"

"මම? ඇයි මම? මාව දකිද්දි අවුට් ඔෆ්...."

"අනේ නෑ.....ඔයා මගෙ යාලුවෙකුත් නෙවෙයි....මම දන්න කෙනෙකුත් නෙවෙයි.ඉතින් එහෙම කෙනෙක් එක්ක තනියම ඉන්න එක මට අන්කම්ෆටබල්"

"ඕහ්හ්.....එහෙනම් සනුකත් ඉන්න....මම ආවෙ ආශුට විශ් කරන්න"

සනුක හෙමීට ඇවිල්ලා ආශවගෙ ලගින් හිටගනිද්දි ආශව සනුකගෙ පිටට තට්ටු කලේ සනුක ඉන්නෙ වරදකාරී හැඟීමකින් කියලා තේරුනු නිසා.ආශව දිහා බලලා හිනා වුනු සනුක ඇඳ උඩින් ඉදගනිද්දි දිව්දේත්‍රා ආශව ලගට තව ටිකක් ලං වුණා.

"කන්ග්‍රැට්ස් ආශු.....ඇත්තටම මට සතුටුයි ඔයා මේ යන තැන ගැන"

"ඕහ්....තෑන්ක්ස්"

"අපේ ඩැඩාත් ඔයා ගැන ලොකු පැහැදීමකින් ඉන්නෙ ආශු...සමහරවිට ඒ ලෙවල්ස් ඉවර උනු ගමන්ම ඔයාව නැෂනල් ටීම් සිලෙක්ට් කරගන්න පුළුවන් වෙයි"

"ඒක ඉතින් සිලෙක්ෂන් බෝඩ් එකේ ඩිසිශන් එකක්නෙ නේද?"

"ආශුට දෙයක් අමතක වෙලා වගේ"

ආශව ලගටම ඇවිදන් ආව දිව්දේත්‍රා ආශවගෙ ඇස්දෙක දිහා බලාගෙනම හිනා වුණා.එ හිනාව ඇතුලෙ තර්ජනයක්,සමච්චලයක් වගේ හැඟීමුත් ගැබ් වෙලා තිබ්බ වග ආශවට තේරුම් ගන්න ගත වුණේ තත්පර කීපයයි.

"අපේ ඩැඩා තමා ඔය කියන බෝඩ් එකේ චීෆ් සිලෙක්ටර්....ඉතින් ටීම් එක ඇතුලෙ රැදෙනවද නැද්ද කියන තීරණේ දවසක තියෙන්නෙ ඔයාගෙ අතේම තමා ආශු"

දිව්දේත්‍රාගෙ වචන එක්ක සනුක පවා ගැස්සුනා.ඒ වචන වල සෑහෙන බරපතල තේරුමක් තියෙන වග තේරුම් ගත්තු සනුක ආශව දිහා බලද්දි ආශව හිස් බැල්මෙන්ම දිව්දේත්‍රා දිහා බලාගෙන හිටියා.ඒත් ඒ වචන වලින් ආශවගෙ හිතට උනත් බලපෑමක් එල්ල වෙන ඇති කියන එක ගැන සනුකට පවා තේරුම් ගියා.

"ඔයාට තව කල් තියෙනවා ආශු.....ඔයාලගෙ ස්කූල් එකෙන් අයින් උනාට පස්සෙනෙ ක්ලබ්ස් වලට බැදෙන්න පුළුවන්? එතකං ටයිම් තියෙනවා ඔයාට....ක්ලබ් එකකට බැඳිලා කොයි තරම් කාලෙකින් නැෂනල් සිලෙක්ට් වෙනවද කියන තීරනේ ඔයාගෙ අතේ තියෙන්නෙ....අනිවාර්යයෙන්ම ඔයාගෙ ටැලන්ට් එක එක්ක ඔයාව සිලෙක්ට් වෙයි ඩැඩාගෙ උදව් නැතුව....ඒත් ඔයා ටීම් එක ඇතුලෙ රැදෙන්න ඕනි කියන එක අමතක නැතුව ඇති ඔයාට....එක මැච් එකකට දෙකකට පස්සෙ ප්‍රශ්න වලට අහුවෙලා ගෙදර ඉන්නවද,ෆේමස් ක්‍රිකටර් කෙනෙක් වෙනවද කියන තීරනේ ගන්නෙ ඔයාමයි....මොකද ඩැඩාලා හරි ආදරෙයි එයාලගෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්ට"

හිනා වෙලා කිව්ව දිව්දේත්‍රා ඊලගට අවධානෙ යොමු කලේ ආශවගෙ දුරකතනෙට.

"මම එද්දි බබා කියලා කතා කලේ ආශුගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වෙන්න ඇති....හැබැයි ආශු ඔයාට හීනයක් තියෙනවනම්,ඒ හීනෙට යන්න උදව් වෙන කෙනෙක්ව තෝරගන්න.කවුද මෙයා? බිස්නස්මන් කෙනෙක්ගෙ දුවක්ද? මිනිස්ටර් කෙනෙක්ගෙ දුවක්ද?"

දිව්දේත්‍රාගෙ මූණෙ තිබ්බෙ සමච්චල් සහගත හිනාවක්.

"හැබැයි මෙහෙමයි ආශු.....එහෙම හයික්ලාස් කෙනෙක්නම් මේ වෙද්දිත් එයා ඔයා එක්ක ෆොටෝස් දාලා....ඔයා එය එක්ක ෆොටෝස් දාලා....මොකද ක්‍රිකටර්ස්ලගෙ ලවර්ස්ලා ඉන්නෙ රිස්ක් එකක.ලොකු ඇට්‍රෑක්ශන් එකක් තියෙන අයනෙ ක්‍රිකටර්ස්ලා කියන්නෙ.ඉතින් එයාල එක්ක යාලු වෙන අය ඉස්සෙල්ලාම කරන්නෙ ඉක්මනටම රිලේෂන්ශිප් එක ප්‍රසිද්ධ කරන එක....හැබැයි ආශුගෙ තත්වෙනම් වෙනස් වගේ"

"මගෙ පර්සනල් ලයිෆ් එකෙන් ඔයාට වැඩක් නෑ නේද?"

"නෑ වැඩක් තියෙනවා ආශු....ආශුගෙ කෙනාව ආශු හංගලා පරිස්සම් කරන කිරිල්ලටම තේරෙනවා එයාට එලියෙ ඉන්න අය එක්ක හැප්පෙන්න ටිකක් අමාරු කෙනෙක් කියලා.....එයත් පවර්ෆුල් ෆැමිලි එකක කෙනෙක්නම් එයාව මේ වෙද්දි ආශව ප්‍රසිද්ධියෙම එලියට දාලනෙ නේද.....එයාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි සමහරවිට.....හීනයක් දිනන්න ඕන්නම් හොද හයිය අත්තක උදව් ඕනි කියලා....හිඟන උන්ට"

"මයින්ඩ් යුවර් ලැන්වේජ් දිව්දේත්‍රා!!!!"

"ඔහෝ සනුකට මොකෝ ඩෝං ගිහින්? සනුකගෙ යාලුවෙක්වත්ද එයා?"

දිව්දේත්‍රා ගාණක් නැතුව අහද්දි දත්මිටි කෑව සනුක මොනාහරි කියන්න හැදුවත් ආශව ඔලුව දෙපැත්තට වනලා සනුකව නිහඬ කලා.ඊලග ක්ෂණයෙදි දිව්දේත්‍රා දිහාට හැරුණු ආශවගෙ මූණෙ තිබ්බෙ සමච්චල් සහගත බවක්.

"සල්ලි බලය විතරයි මිනිස්සුන්ව හීන වලට අරං යන්න පුළුවන් එකම දේ කියලා තමුන් හිතුවට ආදරෙ කියන දෙයින් ලැබෙන හයිය ඔය ඔක්කොටම වඩා උඩින් තියෙන්නෙ කියලා දිව්දේත්‍රා දන්නෙ නැතුව ඇති නේද? ඔය හැමදේටම වඩා එයා මම ගැන තියෙන විශ්වාසෙ,මට දෙන ආදරේ,මට දෙන හයිය... ඒ හැමදේම මගෙ හීනෙට යන්න පාර කපනවා.දවසක මගෙ හීනෙට මම එයා එක්කම ගිහින් තමුන්ගෙ ඇස් ඉස්සරහට ඇවිත් මම අද මෙ කිව්ව දේ ඇත්තක් කියලා ඔප්පු කරවන්නම්"

"අපි බලමු ආශු! ඔයාගෙ හීනෙට මම එක්කම යන විදියට මම පාර හදන්නම්.....එහෙනම් පස්සෙ හම්බෙමු....බායි....බායි සනුක"

දිව්දේත්‍රා දොරත් වහගෙන ගියාට පස්සෙ ඔලුව අල්ලගත්තු ආශව එහෙම්මම ඇඳ උඩට වැටුණා.ආශවට ලං වුණු සනුක ආශවට කතා කරන්න ගත්තෙ නොසෑහෙන්න පසුතැවිලි හඬකින්.

"ආශව සොරි.....මම කාඩ් එක දොරට තියද්දිම ඒකි එකපාරටම ඇවිත් ඇතුලට එන්න ඕනි කියලා මාවත් තල්ලු කරං ආවා...බයින්න කරන්න බෑ බං....උඹ දන්නවනෙ පස්සෙ වෙන සීන්"

"ම්.....මම පස්සෙ එන්නම් සනුක ටිකක්.....නේත්‍ර ලයින් එකේ ඉන්නවා"

ආශවට ඔලුව වැනුව සනුක බැල්කනියට යද්දි ආශව ඇඳේ වැතිරිලා එහෙම්මම වීඩියෝ දුරකථන ඇමතුමක් විදියට ඇමතුම සැකසුවා.තිරයේ නේත්‍රගෙ රූපෙ වැටෙනවත් එක්කම ආශවගෙ ඇස් වලට කදුළු පිරුණෙ කටින් පිටවෙන ඉකි වලක්කගන්න අතින් කට වහං අඩන නේත්‍ර නිසා.

"මැනිකේ......."

"ස්...සුදුබේබි"

නේත්‍රගෙ පුංචි හිත නොසෑහෙන්නම රිදිලා තිබ්බා.කලින්දා මහ මුදියන්සෙගෙ වචන වගේම අද දිව්දේත්‍රාගෙ වචන එක්ක නේත්‍ර තමන්ව සෑහෙන පල්ලැහැ මට්ටමකින් හිතන්න පටන් අරං තිබ්බා.ඇත්තටම තමන් සල්ලි තියෙන පවුලක ඉපදුනේ නැත්තෙ ඇයි කියන දුක නේත්‍රගෙ හිතට නොසෑහෙන්න දැනෙමින් තිබුණා.සුදුබේබිට තමන්ව ගලපගන්න මොන තරම්නම් ලොකු දුකක් විදින්න වෙනවද කියලා තේරෙද්දි නේත්‍රට හයියෙන්ම ඇඬුනා.

"ස්....සුදුබේබි...."

"නේත්‍ර.....සුදුබේබි එක්ක හැමදාම ඉන්න....සුදුබේබි දිනලා පෙන්නන්නම්"

"සුදුබේබි එක්ක ඉන්නම්.....හැමදාම.....සුදුබේබි වෙනුවෙන් ඕනිම දෙයක් කරන්නම් නේත්‍ර"

"මම ආදරෙයි මැණිකෙ"

"නේත්‍රත් හුඟාක් ආදරෙයි සුදුබේබිට"

නුවර ආකාහෙ යට උන්නු පුංචි රූපයක් හයියෙන් හූල්ලද්දි ඒ හීල්ලිල්ල දරාගන්න බැරි උනු නුවර පරිසරෙන් මතු උනේ ටිකක් සැර හීතල හුලඟක්.නුවර හුලඟ පරයන ගමන් ලන්ඩන් නුවර හුලග තීව්‍ර වුනේ නුවර අහසෙ යට විලාප දෙන්නෙ එක හදවතක් වුනත්,ලන්ඩන් නුවර විලාප දෙන හදවත් දෙකක් තිබුනු නිසා.බැල්කනියට වෙලා දුරකථනෙ තිබ්බ පුංචි හුරතල් රූපයක් දිහා බලන් උන්නු සනුක ඒ රූපෙ පැලදගෙන උන්නු ඔටුන්න දිහා බලල ආදරෙන් හිනා වුණා.

"ඔයාට කරදරයක් කරන්න ආශවව විතරක් නෙවෙයි...මාවත් පහු කරන්න වෙයි නේත්‍ර මල්ලි.....පුංචි රජකුමාරයා"

දුරකථනෙ පපුවට තුරුල් කරගත්තු සනුක හෙමීට මුමුණද්දි ආශව නේත්‍රගෙ ගැටපිච්ච සුවඳ හමන කමිසෙ පපුවට තුරුල් කරගෙන තිරයෙන් පේන නේත්‍රගෙ සන්සුන් හඬින් කෙරෙන සැනසිලි වදන් වලට ඇහුම්කන් දීගෙන හිටියා.එකම හදවතක් වෙනුවෙන් බැඳුනු අනික් හදවත් දෙකෙන් එකක් සැනසෙද්දි අනික ඇවිලෙමින් තිබුණා.ලන්ඩන් නුවර එකපාරටම එලිය කරපු විදුලි එලියක් එක්ක සනුකයි ආශවයි දෙන්නම එපිට ආකාහෙ දිහා බලද්දි ලන්ඩන් නුවර පිසගෙන ආව හීතල හුලගක තිබ්බ කටුක හීතලෙන් සනුක පීඩා විඳිද්දි කාමරේ ඇතුලෙ පොරෝනෙට ගුලි වෙලා උන්නු ආශව එ හීතලෙන් බේරිලා උණුහුමේ සැනසිලා උන්නා.

...................................................................................................

වචන 5100+ 😓❤️

වචනයක් හරි කියන් යන්න බබාලා❤️

දැන් තමා කතාවෙ ටිකක් සකබුම් වෙන සීන් හරියටම පටන් ගත්තෙ😓

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter