Back
/ 35
Chapter 21

Part 20

සීමාවෙන් එහා

"ඔක්කොම ගත්තද ලවන් පුතා...හැමදේම හරි නේද?"

"ඔව් අම්මෙ...ඔක්කොම ගත්තා."

"චූටි පුතා...මුකුත් අමතක එහෙම නෑ නේද?"

අම්මා අන්තිම ටික මගෙ පැත්ත හැරිලා අහද්දි මම ලවන් දිහා ඔරවලා බැලුවා. ඇයි යකොව්...ලවන් පුතාගෙන් අහන්නෙ ඔක්කොම හරි නේද කියලා. මගෙන් අහන්නෙ මුකුත් අමතක නෑ නේද කියලා.

ඇයි මාව දැක්කම නිකන් එහෙම හැමදේම අමතක කරලා යනවා වගේ පේනවද?? අම්මලටත් ඉස්සරලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලානෙ. වෙලාවට මේ ගෙදර වෙන ලොකු පුතෙක් ඉන්නෙ...නැත්තම් මෙයා ලවන් පුතා නෙවෙයි කෙලින්ම ලොකු පුතා වෙලා නවතින්නෙ.

"ඇයි මගෙනුත් ඔක්කොම හරි නේද අහන්නකො...මුකුත් අමතක නෑ නේද අහන්නැතුව හහ්."

මම කටත් උල් කරන් රවලා කියද්දි අම්මා මට නෝන්ඩියට හිනාවුණා.

"ඔයාගෙන් එහෙම අහලා බෑනෙ චූටි...කෝ දැන් බ්‍රශ් එක ගත්තද??"

හපොයි නෑනෙ...ඕක දැන් කියන්න ගියොත් මෙතන රෙදිත් නැතිවෙනවනෙ. මම මූණ ඇඹුල් කරගන්නවා දැක්ක ලවනුත් හිනාව තද කරන් උඩ බලාගත්තා. ඔයත් එහෙමයි නේ ලවන්?? වරෙන්කො ආයෙ ආදරෙයි කියාගෙන ඇතිල්ලෙන්න.

"මගෙ බ්‍රශ් එක පරණයි...අලුත් එකක් ගන්න ඕනෙ යන ගමන්."

"බොරු කියන්න එපා විදුර්...දැන් සති දෙකකට විතර කලින් මාත් එක්ක සුපර් මාර්කට් ගිහින් ඔයාමනෙ ගත්තෙ අලුත් බ්‍රශ් එකක්."

මම මරන්න තරම් තරහකින් ලවන්ට ඔරවලා බලද්දි එයා කට තද කරන් අහක බලාගත්තා. අම්මා අප්පච්චිටනම් වගේ වගක් නෑ මහ හයියෙන් හිනාවුණා. ඒකට හිනා යනවද...මටනම් හිනා යන්නෙ නෑ.

"පුතත් හරි ආසයි නේ මෙයා තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා පුපුරනවා බලන්න...අපිත් ඉස්සර ඔහොම තමා."

"ඔව් පුතා...අවුස්සගත්තම තව ටිකක් ලස්සනයි."

යසයි...මගෙ අම්මයි අප්පච්චියි මිනිහයි ඔක්කොම එක පැත්තක් වෙලා ඒ පාර.

"ඔව් අප්පච්ච් බලන්නකො...රෝස පාට වෙනවට වඩා ලස්සනයි රතු පාට වුණාම."

ලවන් මගෙ කරට අත දාලා මාව ළං කරන් හිනාවෙන ගමන් කිව්වා.

"දැන් තවුසෙට අත්තම්මලගෙ ගෙදර යන්න ඕනෙද නැද්ද කියනවකො...අනම් මනම් කියන් ආවොත් මං ගෙදර නවතිනවා හරිද යන විදිහකට පාර හොයන් යන්න කියලා."

"ඉතින් ඉන්න...අප්පච්ච් යමුද මාත් එක්ක? මට පාර කියන්න."

"හරි පුතා ඉන්න මම පටාර් ගාලා ලෑස්ති වෙලා එන්නම්-"

අප්පච්ච් කියනවත් එක්කම මම දෙන්නා මැද්දට අත් දෙක දිගෑරගෙන පැනලා ලවන්ව දෝත බදලම අල්ලගත්තා.

"නෑ නෑ ඕන්නෑ මම යන්නම්...එයා මගෙ දෙන්නෑ කාටවත්."

ඒ මොනෝත්තක්ද කිව්වෙ?? වෙලාවකට අම්මා අප්පච්ච් එක්ක ඉන්නෙ කියලත් අමතක වෙනවා කියවෙන මල ඉලව් වලට.

"විදුර්..."

ලවන් යන්තම් මගෙ කනට කොඳුරලා කියද්දි මම අම්මටයි අප්පච්චිටයි ගොන් පහේ හිනාවක් දාලා ලවන්ගෙන් එහාට වුණා. ඒ දෙන්නනම් මදි නොකියන්න හිනා වෙනවා.

"අනේ අපිට එපා ඔයා තියාගන්න...ඔහොම ඉන්න බ්‍රශ් එක ගෙනත් දෙනකම්. ආයෙ මොකටද අලුත් එකක් තියෙද්දි වියදම් කරන්නෙ."

අම්මා අපි දෙන්නටම 'මල කෝලම්' ලුක් එකක් දීලා හිනාවෙලා ආයෙම ගෙට ගියා.  අපි දෙන්නා මේ අද අත්තම්මගෙ ගෙදර යන්න ලෑස්ති වෙලා හිටියෙ. චූටි මාමා කිව්වා වගේම ලෝන්ග් වීක් එන්ඩ් එකේ තමා ඒ ගමන දාගත්තෙ.

අද ඉරිදා දවසෙ උදේම ගිහින් හෙට එන්න තමා අපි ප්ලෑන් කරන් ඉන්නෙ. අනිද්දා ලෙක්චර්ස් යන්නත් එපැයි. අත්තම්මනම් අවුලක් වුණේ නෑ යාලුවෙක් එක්කන් එනවා කිව්වම. ඕන තරම් යාලුවො එක්කන් එන්න ඔක්කොටම රසට කන්න බොන්න හදලා දෙන්නම්කො කිව්වා.

චූටි මාමා තමා ඒක කිව්ව පමාවට ප්‍රශ්න පත්තරයක් දිගෑරියෙ. වෙන මොකටවත් නෙවෙයි...එයා ඉතින් මං ගැන දන්නවනෙ. එක පාරට යාලුවෙක් කියලා කොල්ලෙක් එක්කන් එනකොට සැක හිතෙන එක සාධාරණයිනෙ.

අන්තිමට ඉතින් සූ...ටි බොරුවක් කියන්න වුණා. මම කිව්වා මම කැම්පස් යන්න ටික කාලෙකට කලින් ඉඳන් ලවන්ව අඳුරනවා එහෙම තමා අපි දෙන්නා යාලුවො වුණේ කියලා. ඊට පස්සෙ අපි දෙන්නම එක කැම්පස් එකේ නිසා නිතර හම්බෙද්දි තවත් ෆිට් වුණා කිව්වා. ලෙක්චරර් කියන එක කිව්වා ඉතින්...ඒත් අඳුරන්නෙ ඊට කලින් කියලා කිව්වෙ.

කොහොමත් මම කලින් ඉඳන් දන්නවා තමානෙ. දවස් ගාන විතරයි පොඩ්ඩක් වෙනස් කරේ. මම කිව්වෙ කැම්පස් යන්න සති දෙක තුනකට කලින් ඉඳන් එයාව අඳුරනවා කියලා. ඔය ඔක්කොම මාමා පිළිගත්තා කියලනම් මම කියන්නෙ නෑ...මොකද අපෙ අම්මගෙ සූක්ෂ්ම මොළේ එහෙම්ම චූටි මාමටත් පිහිටලා තියනවා.

අනික ඉතින් කොහොමත් එයා මගෙ කොල්ලා කියලා මම තාම මාමට කිව්වෙත් නෑනෙ. හොඳම යාලුවෙක් කියලනෙ කිව්වෙ. සුවර් එකටම හොඳම යාලුවෙක්ද කියලා කින්ඩියට වගේ ඇහුවා. ගිහාම තව ප්‍රශ්න පත්තරේකට උත්තර දෙන්න වෙයි කොහොමත්.

අම්මා ආයෙම ඇවිත් බ්‍රශ් එක මට දුන්නට පස්සෙ මම ගොනා සේ හිනාවෙලා ඒක බෑග් එකට දාගත්තා.

"මම දන්නැද්ද මෙයාගෙ හැටි...ඉස්සර ඉඳන් කොහෙහරි යන්න ගිහාම බ්‍රශ් එක අමතක වෙනවා. දැන් එනවා මෙතන ලොකුකම් කියවන්න."

අම්මා මට ලාවට ටොක්කක් අයින ගමන් කිව්වා. ඒ ඉස්සරනෙ අම්මෙ...දැන් වෙනස්නෙ. මිනිහා ඉස්සරහ ලැජ්ජා වෙන එකෙත් සීමාවක් තියෙන්න එපැයි. ඒත් ඒ මිනිහා ඔක්කොටම හපන් මාව ලැජ්ජා කරන්න ගිහාම. දැන් වුණත් දැක්කෙ නැද්ද. බොරු කියන්න එපා විදුර් හැයි හැයි ගෑවෙ මාව බේරගන්නැතුව.

"එහෙනම් පුතාලා පරිස්සමට යන්න...මට ගිහින් කෝල් එකක් දෙන්න හොඳද?"

"හරි අම්මෙ..."

"අත්තම්මගෙයි මාමගෙයි පාර්සල් දෙක වෙනම ගත්තනේ...?"

"ඔව් අම්මෙ...පිටිපස්සෙ තියනවා."

අම්මා ඔය අහන්නෙ අරන් යන්න කියලා අම්මා හදලා දීපු කේක් ගැන. අම්මට සිංහල කෑමත් රහට හදන්න පුලුවන්...ඒත් අත්තම්මගෙ කෑම එක්ක හැරෙන්නවත් බෑ. එහෙම එකේ අත්තම්මට සිංහල කෑම හදලා යවන එකේ තේරුමක් නෑනෙ. ඒ නිසා අම්මා කේක් හදලා දුන්නා අත්තම්මටයි මාමටයි අරන් යන්න.

මම එනවා කිව්වමත් අත්තම්මා එක එක කෑම ජාති හදන්න ලෑස්ති කරනවා කියලා මාමා මට කිව්වා. දැන්නම් අත්තම්මට ඉස්සර වගේ හයිය හත්තිය නෑ දුවලා කරලා කෑම හදන්න. අත්තම්මගෙ උදව්වට ගෙදර නැවතිලා ඉන්න ඩිංගිරි නැන්දා තමා ඕවා කරන්නෙ. ඒත් ඉතින් රෙසිපි එක තාමත් අත්තම්මගෙනෙ. ඩිංගිරි නැන්දගෙත් අත් ගුණේ හොඳයි. ඒ නිසා අදටත් අපි ගිහාම රස කෑම හදලා දෙනවා.

අපි දෙන්නා අම්මටයි අප්පච්චිටයි වැඳලා එන්න පිටත් වුණා. තාම උදේ නවයට විතර. කොහොමත් ඉතින් පැණිදෙනිය කියන්නෙ මේ අතේ දුරනෙ...මහ දුරක් නෙවේනෙ. ඒත් අත්තම්මා ඉන්නෙ ප්‍රධාන පාරෙන් ටිකක් දුර පැත්තෙ ගමක. සම්පූර්ණ ගමනම යන්න පැයක් විතර යයි.

ගලහ හන්දියත් පහු කරලා පාලම හරියට වගේ යනකොට මම පොඩ්ඩක් සීට් එකේ සයිඩ් එකට හැරිලා ලවන්ව හොඳට පේන විහිහට ඉඳගත්තා. මේ මනුස්සයා ඩ්‍රයිව් කරන විදිහට හෙන සරාගි සිතුවිලිමයි මතුවෙන්නෙ.

"ඔය මොකද විදුර්...හරියට ඉඳගන්න."

මම හැරිලා බලාගෙන ඉද්දි මනමාල හිනාවක් යන්න ආවත් ඒක කන්ට්‍රෝල් කරගත්ත ලවන් මගෙ දිහාවට අත දික් කරලා මගෙ උරහිස ගාවින් අල්ලගෙන කිව්වා. එහෙම කරේ මම සීට් බෙල්ට් දාගෙන හිටියත් ඒ ඉඳන් හිටපු විදිහට වැටෙන්න චාන්ස් එකක් තිබ්බ නිසා.

"බ්වැහ්..."

"ඔහොම ඉඳලා ඊට පස්සෙ ඇදගෙන වැටුණම...අම්මයි අප්පච්චියි ආයෙ කොහෙවත් එවන්නෙවත් නැතිවෙයි මාත් එක්ක."

"අනේ මේ...මාව දරුකමින් අයින් කරත් එයාලා ඔයාටනම් වචනයක් කියන එකක් නෑ."

මම කියද්දි ලවන්ට හයියෙන් හිනාගියා.

"ඔයාට ආදරේ හිතෙනවා ඒයි..."

මම ලවන්ගෙ එක අතක් අල්ලගෙන පොඩ්ඩක් ළං වෙලා කිව්වා.

"මමත් ආදරෙයි...ඒත් අනේ දැන් හරියට ඉඳගන්න ප්ලීස්. මට බයයි ඔය ඉන්න විදිහට."

ලවන් මගෙ අත අල්ලගෙනම කිව්වා. සිරාවට බය වෙලාද කොහෙද...මම හිනාවෙලා ලවන්ගෙ කම්මුලින් කිස් එකක් තියලා ආයෙ ඉස්සරහ හැරිලා ඉඳගත්තා.

"අත්තම්මා බලන්න ආසයි විදුර්...මාත් එක්ක කතා කරපු විදිහටත් ආසා හිතුණා ගොඩක්."

ලවන් මගෙ අත තවත් තද කරලා අල්ලන් කියද්දි මම එයා දිහා හැරිලා බැලුවා. එයා ඇත්තටම හිටියෙ ගොඩක් සතුටින්. අත්තම්මා දැන් ටික දවසකට කලින් කෝල් කරද්දි මම ලවන්ටත් දුන්නා කතා කරන්න...මෙයාව තමා එක්කන් එන්න ඉන්න යාලුවා කියලා. එදා ඉඳන් අත්තම්මා බලන්න ලවන්ට තියන උනන්දුව වැඩිවෙලා තියෙන්නෙ. පවුල එක්ක වැඩි සම්බන්ධයක් නැති එයාට අපෙ පවුලෙ මේ තියන බැඳීම වැඩියෙනුත් දැනෙනවා ඇති.

"අත්තම්මා හරි හොඳයි...හම්බුණාම ඔයාට තවත් ආදරේ හිතෙයි බලන්නකො."

"ම්ම්...යන ගමන් මොනවාහරි ගමු හොඳද?"

"ආයෙ මොකටද...මේ අරන් තියෙන්නෙ ගොඩක්."

මම පිටිපස්සෙ සීට් එකේ තියන බඩු තොගේ දිහා බලන ගමන් කිව්වා. ලවන් අත්තම්මට දෙන්න කියලා ඇඳුම් තොගයක් ගත්තා...කන්න කෑම ගොඩකුත් ගත්තා. අත්තම්මට ඉතින් මේ වයසට හැම කෑමක්ම කන්න හොඳත් නෑනෙ. කන්න හොඳ දේවල් මොනවද කියලා මගෙන් අහ අහ තමා ගත්තෙ. අත්තම්මට විතරක් නෙවේ මාමයි නැන්දටයිත් ගොඩක් දේවල් ගත්තා ලවන්.

"මේ මදිනෙ...පළතුරු ටිකක් අරන් යන්."

"එළවළු පළතුරු වලින්නම් එහෙ අඩුවක් නෑ ලවන්...ගෙදර වත්තෙම තියනවා හෙන ගොඩක් දේවල්."

"එහෙනම්...ශෝටීස් අත්තම්මට කන්න බෑනෙ?"

"ඔව්...තෙල් කෑමනෙ."

"එහෙනම් වෙන මොනවහරි...?"

"ඕනෙ නෑ ලවන්...කේකුත් තියනවා. ඔයා ගත්ත අනිත් දේවලුත් තියනවා. අනික අත්තම්මත් කෑම ජාති හදනවා කිව්වා. ඔය ඇති."

"එහෙනම් මාමලට හරි ශෝටීස් ටිකක් ගමුද...?"

"මාමා මම එද්දි කොහොමත් බේකරියම ගෙදර ගෙනත් තියෙන්නෙ...ඕනෙ නෑ අනේ~ මමනෙ කියන්නෙ."

මම කියද්දි ලවන් හිනාවෙලා මගෙ දිහා බලලා කම්මුලක් මිරිකුවා. ඇත්තටම ඉතින් ඕනෙ නෑනෙ...මෙයා කොච්චර දේවල් ගත්තද දැනටම. අමාරුවෙන් ලවන්ව පෙරැත්ත කරගත්තෙ ආයෙ මුකුත් ගන්න ඕනෙ නෑ කියන්න.

කිව්වත් වගේ පැයකින් විතර අපි මහ ගෙදරට ආවා. අත්තම්මා ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා අපි එනකන්. අපි ආවෙ ලවන්ගෙ කාර් එකේ නිසා අත්තම්මට එක පාරට බැරිවුණා අඳුරගන්න. අපිට තියෙන්නෙ සුදු පාට ටොයොටා එකක්නෙ. අත්තම්මා ඇස් හීනි කරලා ගේට් එක ළඟ නවත්තලා තියන නිල් පාට අවුඩිය දිහා බලන් ඉද්දි මම ශටර් එක පාත් කරලා අත වැනුවා.

එතකොට තමා අත්තම්මට මීටර් වුණේ. ඈත තියාම හිනාවුණ අත්තම්මා ගේට් එක අරින්න කියලා ගෙදර වැඩට ඉන්න සෝමෙ මාමාට අතින් සන් කරා. සෝමෙ මාමා දුවගෙන ඇවිත් යන්තම් ඔලුව පාත් කරලා බුලත් කහට පිරුණු දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙලා ගේට් එක ඇරියා.

සෝමෙ මාමා කියන්නෙ ඩිංගිරි නැන්දා බැඳලා ඉන්න එක්කනා. එයාලා ඒ කාලෙ ඉඳන්ම ඉතින් අපෙ පවුල් වල උදව්වට ඉඳලා තියෙන්නෙ. ඒ කියන්නෙ මෙහෙමයි ඉතින්...අපෙ අම්මා ඇවිල්ලා වලව් පෙලපතක. සර්නේම් එකත් 'වලව්වේ' කියන කෑල්ලත් එක්ක තියන හෙන පත එකක්.

ඒ කාලෙ හැටි දන්නවනෙ ඉතින්. වලව් පෙළපත් වල අයට බැලමෙහෙවරකම් කරන්න වෙනම කට්ටිය හිටියනෙ. ඉතින් ඔය අපෙ සීයගෙ පරම්පරාවට එහෙම උදව් කරන්න හිටපු කට්ටියගෙ පවුල්වල දැන් ඉන්න අය තමා ඩිංගිරි නැන්දයි සෝමෙ මාමයි.

වලව් කිව්වට සාමාන්‍යයෙන් එහෙම කිව්වම ඔලුවට එන අධි මාන්නක්කාරකමනම් අපෙ පවුලෙ ගෑවිලාවත් නෑ. අපෙ සීයයි අත්තම්මයි දෙන්නම ඒ කිසි දෙයක් ඔලුවට ගත්තෙ නැති හරි සාමාන්‍ය උගත් අය. ඩිංගිරි නැන්දයි සෝමෙ මාමයි වුණත් අත්තම්මට උදව් කරගෙන ඉන්නෙ කැමැත්තෙන්, අත්තම්මට සීයට තියන ගෞරවයෙන් මිසක් මේ පරම්පරා වල ඉඳන් බැලමෙහෙවරකම් කරා කියලා නෙවෙයි.

අපෙ පවුල ගැන මේ ගමේම අයත් හොඳට දන්නවා. මම අම්මගෙන් නිතර අහපු කතාවක් තියනවා. අම්මා පොඩි කාලෙ, ඒ කියන්නෙ අවුරුදු එකොළහේදි විතර පොඩි ළමයින්ට පාචනේ හැදිලා මැරෙන්න ගත්තලු. ඒක වසංගතයක් වගේ වුණාලු. බලන බලන ගෙදර පොඩි ළමයි පාචනේ හැදිලා අමාරු වෙලා තැන් තැන් වල වැටිලා ඉන්නවලු.

අම්මටත් ඕක හැදුනලු. අම්මට විතරක් නෙවෙයි ළමයි හතරදෙනාටම. ඒ කාලෙ චූටි මාමා ඉපදිලා නෑ. අම්මා කිව්ව විදිහට අම්මගෙ ඒ කාලෙ හොඳම යාලුවත් ඒ ලෙඩෙන් නැතිවෙලා. ඉතින් ඔය කාලෙ අපෙ අත්තම්මයි සීයයි සෑහෙන්න ඒ දරුවන්ට උදව් කරලා තියනවා. සීයා ඩොක්ටර් කෙනෙක්, අත්තම්මා නර්ස් කෙනෙක් කියලා මම කලින් කියලා තියනවනෙ.

ඉතින් ඒ දෙන්නා පුදුම මහන්සියක් වෙලා පුලුවන් විදිහට මේ ළමයින්ට ට්‍රීට් කරාලු. සමහර අමාරු වුණ ළමයි ගෙදරම ගෙනත් තියාගෙන බලාගත්තලු. තමන්ගෙ ළමයිනුත් ඒ ලෙඩේම හැදිලා අමාරු වෙලා ඉද්දි වෙන ළමයිනුත් ගෙදර ගෙනත් තියාගෙන සලකන්න තරම් ඒ දෙන්නා කොච්චර හිත හොඳ මිනිස්සු වෙන්න ඕනද.

අත්තම්මගෙයි සීයගෙයි උදව් නිසාම බේරිලා ජීවත් වෙන ළමයි අදටත් ගමේ ඉන්නවා. එයාලා දැන්නම් ළමයි නෙවෙයි...අපෙ අම්මලා වගේම වයස් වල අය. එයාලා අදටත් අපෙ ගෙදර අයට සෑහෙන්න ගරු කරනවා.

අත්තම්මයි සීයයි කොහොම වුණත් අර වලව් කියලා ඔලුවට ගත්ත මාන්නක්කාර අය අපෙ පරම්පරාවෙ ඉන්න ඇතිනෙ. ඒ නිසා ඒ කාලෙ ගමේ අයගෙ පොඩි බයක් තිබිලා තියනවා අපෙ ගෙදර අයට. ඒ බය නැතිවෙලා ඒක ඇත්තම ගෞරවේකට පෙරලිලා තියෙන්නෙ ඔන්න ඔය කාලෙ.

කොහොමහරි ඔය වලව් හුටපට නිසාම අම්මගෙයි අප්පච්චිගෙයි සම්බන්ධෙටත් පොඩි බාල්දි වැටිලා තියනවා. අම්මා වලව් පෙළපතක කියලා දැනගත්තම අප්පච්චිගෙ තාත්තා, මම කියන විදිහට කොළඹ සීයා ඒ සම්බන්ධෙට කැමති වෙලා නෑ.

සාමාන්‍යයෙන් වෙන්න ඕනෙ ඕකෙ අනිත් පැත්තනෙ. ඒත් වෙලා තියෙන්නෙ මෙහෙම. ඒකට හේතුව ඉතින් සාමාන්‍යයෙන් වලව් වල අයගෙ තියන ඔලුව උදුම්මගත්තකම තමා. කොළඹ සීයා හිතලා තියෙන්නෙ අපෙ අම්මගෙ පවුලෙ හැමෝමත් එහෙමයි කියලා. අප්පච්චිත් කොළඹ හිටියට උඩරට පවුලක තමා. ඒත් වල්ව් නෙවෙයි. ඒ කාලෙ කොහොමත් අදට වඩා ඔය ප්‍රශ්න තිබ්බනෙ. අප්පච්චි අම්මව බැන්දොත් පවුලෙන් වෙනස්කම් එයි කියලා කොළඹ සීයා සෑහෙන්න විරුද්ධ වෙලා තියනවා.

ඒ කාලෙ ඉතින් ෆෝන්සුත් නෑනෙ එවෙලෙම කතා කරලා සැකේ දුරු කරන්න. හම්බෙන්නම එපැයි. කොළඹ සීයයි අත්තම්මයි මුලින් කැමති වෙලාවත් නෑ හම්බෙන්න. ඒත් තාත්තා කොහොමහරි අම්ම්ව එයාලට මුණ ගැස්සුවට පස්සෙ, අත්තම්මව සීයව බලන්න ආවට පස්සෙ, ගමේ අය අපෙ පවුල ගැන ඇත්තම ගරුත්වයකින් කතා කරනවා ඇහුවට පස්සෙ තමා කොළඹ සීයා කැමති වෙලා තියෙන්නෙ.

ඔය ඔක්කොම වෙන්න මාස හත අටක් ගිහින්. අනික මෙයාලා ගෙදරට කියලා තියෙන්නෙ ෆයිනල් ඉයර් එකේදි...ඉතින් ෆයිනල් එක්සෑම් කරලා තියෙන්නෙත් ඔය ප්‍රශ්න අස්සෙ. හිතන්න ඒ දවස් වල දෙන්නම කොච්චර පීඩනේකින් ඉන්න ඇද්ද. ඒත් ඒ කිසිම හේතුවක් නිසා අප්පච්චි අම්මව අතෑරලා නෑ.

අප්පච්චි අදටත් කියනවා ඒ වෙලාවෙ ගෙදර අයගෙ තීරණේට වඩා තමන්ගෙ තීරණේම හිටපු එක ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නෑ කියලා. අම්මයි අප්පච්චියි ආදරෙන් ඉන්න විදිහ දැක්කම මටත් ඒ විදිහටම හිතෙනවා. ඒ තරම් ලස්සන ආදර කතාවක් දෙමව්පියෝ නිසා නැතිවුණානම් ඒක කොච්චර අපරාධයක්ද.

දැන්නම් ඉතින් කොළඹ සීයයි අත්තම්මයි දෙන්නම නෑ. සීයා ගැන මට ලොකු මතකෙකුත් නෑ. මම පොඩිම කාලෙ නැතිවෙලා තියෙන්නෙ. කොළඹ අත්තම්මා නැතිවුණෙත් මම ඕ ලෙවල් කරන කාලෙ. මෙහෙත් සීයා නැතිවෙලා දැන් අවුරුදු ගාණක්. ඉතින් මට දැන් ඉතුරු වෙලා ඉන්නෙ මෙච්චරයි.

ලවන් කාර් එක මිදුලෙ නැවැත්තුවට පස්සෙ අපි දෙන්නම බැහැලා අත්තම්මා ගාවට ගියා. ඇතුළෙ තිබ්බ බෑග් මුකුත් ගත්තෙත් නෑ...ඒ තරම් හදිසියකින් හිටියෙ.

"හම්මේ මයෙ පුතා එනකන් උදේ ඉඳන් මං බලන් උන්නෙ...මයෙ කොල්ලා හැඩ වෙලානෙ මේ මාස දෙක තුනට ඈ."

අත්තම්මා මගෙ කම්මුල් දෙකම තද කරලා අල්ලලා මූණ ඉඹින ගමන් කිව්වා.

"අත්තම්මත් හැඩ වෙලානෙ...බලන්නකො ලමිස්සි වගේ."

මමත් අනිත් පැත්තට අත්තම්මව ඉඹලා බදාගන්න ගමන් කිව්වා. අත්තම්මා මට වඩා හුඟක් කොටයි...මගෙ බෙල්ල ගාවට විතර. හැබැයි බෝලයක් වගේ.ඒ නිසා මම ආසයි අත්තම්මව බදාගන්න. ඔක්කොටමත් වඩා මම ආසා අත්තම්මව බදාගද්දි එයා ගාවින් එන සුවඳට. ඇති වෙනකන්ම අත්තම්මව බදන් හිටපු මම ආයෙම එයාගෙ මූණ ඉඹලා එහාට වුණා.

"මේ අපෙ පුතාගෙ යාලුවා වෙන්ටැ..."

"අත්තම්මෙ..."

ලවන් අත්තම්මා ගාවට ගිහින් වඳිද්දි අත්තම්මා මූණ පිරෙන්නම ලවන් එක්ක හිනාවුණා.

"ආසයි මයෙ පුතාගෙ විස්තර අහන්ට...ඊට කලින් නාලා තේ එකක් කාරිය බීලා ඉමුකො. මහන්සි ඇතිනෙ."

"හරි අත්තම්මෙ...ඉන්න මම බෑග් ටික අරන් එන්නම්."

මම ආයෙම මිදුලට යනවත් එක්ක ලවනුත් මගෙ පස්සෙන් ආවා.

"විදුර් ඔයා ඉන්න...මම ගන්නම්."

"අනේ මේ ඔක්කොම තනියෙන් ගන්න බෑ ඔයාට...හැමතිස්සෙම ජෙන්ට්ල්මන් වෙන්න යන්න එපා ඒයි."

මම කියද්දි ලවන් මගෙ පස්සට පාරක් දෙන ගමන් කාර් එකේ දොර ඇරියා. වෙලාවට ඉතින් මේවා කාටවත් පේන්නැත්තෙ.

"සෝමෙ...චූටි මහත්තයට බෑග් ටික ගන්න උදව් කරපන්කො ගිහින්."

එවෙලෙම මිදුල පැත්තට ආපු සෝමෙ මාමට අත්තම්මා කියද්දි සෝමෙ මාමා හිනාවෙලා අත් දෙකත් පිහදාන ගමන් අපෙ පැත්තට ආවා.

"චූටි මහත්තයා ඕවා ඔහොම තියන්ට...මං ගන්නම්."

"ඔක්කොම බැරිවෙයි මාමෙ...අපිත් උදව් කරන්නම්."

"අනේ මෙතන ඒ හැටි නෑනෙ මහත්තයො...මට පුලුවන්. අද චූටි මහත්තයා එක්ක තව පුංචි මහත්තයෙකුත් ඉන්නෙ."

සෝමෙ මාමා ලවන් දිහාට හැරිලා පුරුද්දට වගේ යන්තම් ඔලුව නමලා හිනාවෙන ගමන් කිව්වා. හොඳ පුංචි...අහුවුණ විදිහටනම්- නෑ එක්කො ඕන්නෑ. මොනවද මං මේ හිතන්නෙ.

"කොහොමද මාමෙ..."

"වරදක් නෑ පුංචි මහත්තයො...මහත්තයලා එහෙනම් ගෙට යන්ටකො. මං මේ ටික ඇතුළෙන් තියන්නම්."

සෝමෙ මාමා කොහොමහරි බෑග් ටික ගත්ත නිසා අපි දෙන්නා අපෙ ඇඳුම් ගෙනාපු බෑග් දෙක කරේ දාන් කේක් පාර්සල් දෙක විතරක් ගත්තා. ඒක කොහොමත් පරිස්සමට අරන් යන්න කියලා අම්මා දුන්නෙ.

අපි කෑම ටික මේසෙ උඩින් තියලා අපිට ඉන්න ලෑස්ති කරලා තිබ්බ කාමරේට ආවා. මම අත්තම්මට කිව්වෙ මාමා ඉස්සර හිටපු කාමරේ ලෑස්ති කරන්න කියලා. මොකද මේ ගෙදර තියන ලස්සනම වීව් එක පේන්නෙ ඒ කාමරේ ජනේලෙ ඇරියම.

මම බෑග් එක ඇඳ උඩින් තියලා ජනේලෙ අරිද්දි ලවනුත් මගෙ ගාවින් ඇවිත් හිටගත්තා. මේ කාමරේට කෙලින්ම පේන්නෙ ගමේ කුඹුරු යාය. ඊට පස්සෙ කුඹුරු වලින් ටිකක් උඩට වෙන්න තියන ගමේ පන්සල. වෙල් යායෙන් එන සනීප හුළඟ සමහර වෙලාවට එන්නෙ නිකන්ම නෙවෙයි...පන්සලේ පත්තු කරන ගනින්න බැරි හඳුන්කූරු වල සුවඳ, උදේ හවස පූජා කරන මල් වල සුවඳත් අරගෙන.

මම හරි ආසයි මෙතනින් එළිය බලාගෙන ඉන්න...විශේෂෙන් හවස් වරුවෙ. පන්සල ලස්සනටම පේන්නෙ ඒ වෙලාවට. මම කලින් කියපු සුවඳ වැඩියෙන්ම දැනෙන්නෙත් ඒ වෙලාවට.

"ගොඩක් නිස්කලංකයි නේද විදුර්...ටවුන් එක කිට්ටුවම තියන ගමක් නිසා මම හිතුවෙ නෑ මෙච්චර නිදහසක් දැනෙයි කියලා."

එයා මගෙ කරට අත දාන් වෙල් යාය දිහා බලාගෙන කිව්වා. එයාගෙ ඇස් දිලිසෙනවා. මේ වෙලාවෙ අලු පාට ඇස් එක්ක එකතු වෙලා තිබ්බෙ වෙල් යායෙ කොළ පාට. මම ආසාවෙන් ඒ දිහා බලන් හිටියා.

"ම්ම්...ටවුන් කිට්ටුව වුණාට මේ වගේ ගම් ඕන තරම් තියනවා."

"රෑට පන්සල ගොඩක්ම ලස්සන ඇති නේද...?"

'ඔව්...හෙට කොහොමත් එහෙමයි. පෝයනෙ."

"අනේ අපි හෙටත් ඉඳලා යමුකො විදුර්...මට ආසයි පෝයට පන්සල් යන්න. අත්තම්මත් යයිනෙ."

ලවන් මගෙ දිහා බලලා බබෙක් වගේ කිව්වා. එයා ඒ තරම් ආසද ගමට...අනික මෙච්චර ඉක්මනට?

"ඉන්නනම් පුලුවන්...ඒත් අනිද්දා ලෙක්චර්ස්නෙ ලවන්."

මේ වෙලාවෙ හිතන්නවත් අකමැති වුණ රියැලිටිය මම යන්තම් ලවන්ට මතක් කරා. අකමැති වුණා කියලා ඒවා ගැන නොහිතා බෑනෙ.

"ඔයාට උදේ නවයටනෙ...අපි උදේම යමු. මම කොහොමහරි ඔයාව වෙලාවට ගිහින් දාන්නම්."

"පුලුවන් වෙයිද...?"

"අනුරාධපුරේ දිහා ආවා වගේනෙ ඔයා බයවෙලා ඉන්නෙ විදුර්...මම ගිහින් දාන්නම්. අනේ ඉමුකො~"

මේ කියන විදිහට ඉතින් බෑ කියන්න බෑනෙ. කොහොමත් ලවන් ඇත්තටම ගොඩක් ආසාවෙන් ඉන්නෙ කියලා පේනවා. ආයෙ කවදා ගමේ එන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑනෙ. ඒ නිසා මමත් කැමති වුණා හෙටත් ඉඳලම යන්න. ඇත්තම කතාව ඉතින් මාත් ආසයි ලවන් එක්ක පෝයට පන්සල් යන්න.

මම මෙච්චර වෙලා හිටියෙ මේස් දෙක දාගෙන. ජනේලෙ ගාවින් එහාට වෙලා ඇඳ උඩින් ඉඳගත්ත මම මේස් දෙක ගලවන ගමන් අම්මට කෝල් එකක් ගත්තෙ අපි ආවා කියන්න.

මේස් නැති කකුල් සිමෙන්ති පොළවෙ වදිද්දි දැනෙන සීතල මාව හැමදාම අවුරුදු ගාණක් අතීතෙට අරන් යනවා. මෙහෙ තාමත් තියෙන්නෙ පරණ විදිහට...සිමෙන්ති අල්ලපු පොළව, උළු වහල, බීරලු බිත්ති තවමත් ඉස්සර වගේම තියනවා. හැමදාම මෙහෙ ආවම අපි කට්ටියම ඉස්සර අවුරුදු කාලෙට මේ ගෙදරට එකතු වුණ හැටි, පොඩි කට්ටිය හැමෝම එකතු වෙලා සෙල්ලම් කරපු හැටි, චූටි මාමා ඒවට හවුල් වුණ හැටි ඔය හැමදේම මතකෙට ගලාගෙන එනවා.

අත්තම්මා කැමති වුණේ නෑ මේ ගෙදර කිසි දෙයක් වෙනස් කරන්න. අලුත් විදිහට තියෙන්නෙ මාමා අත්තම්මයි සීයයි වයසට යද්දි ලේසි වෙන්න හදලා දීපු ඇටැච්ඩ් බාත් රූම් එකයි ඉලෙක්ට්‍රික් ලිපයි වොෂින් මැෂින් එකයි විතරයි. ඉලෙක්ට්‍රික් ලිපක්නම් තිබ්බට මොකෝ අත්තම්මා වැඩි හරියක් ඩිංගිරි නැන්දට කියලා දර ලිපේ තමා උයාගන්නෙ. කොහොමත් දර ලිපේ කෑම ඉව්වම තියෙන්නෙ වෙනම රසක්නෙ. මම ආසයි එහෙම කන්න...විශේෂෙන් පොළොස්. අත්තම්මා දර ලිපේ උයන පොළොස් තරම් මේ ලෝකෙ වෙන කිසිම කෑමක් රස නැතුව ඇති.

"විදුර්...කොහෙන්ද වොශ් දාන්නෙ?"

"මෙහෙමයි...ඔයාට ඔප්ශන්ස් හතරක් තියනවා."

මම ආයෙම නැගිටලා ජනේලෙ ගාවට යන ගමන් කිව්වා. ලවන් කන්ෆියුස් වෙලා මගෙ දිහා බලන් හිටපු විදිහට මට හිනා යන්නත් ආවා හැබැයි.

"ඔප්ශන්ස්?? ඒ මොනවද...?"

"එකක් තමයි...මේ අඩි පාර දිගේ කෙලින්ම ගිහාම හම්බෙන ඇළෙන් නාන්න පුලුවන්. එතෙන්ට මිනිස්සු ගොඩක් එනවා මේ වෙලාවට. අනිත් එක...කෝ මෙතෙන්ට එන්නකො. ඔයාට පේනවද අර ගේ පිටිපස්සෙ පඩිපෙළ?"

මම අත දික් කරලා පිළිකන්න පැත්තෙන් වෙල පැත්තට බහින්න තියන ගල් පඩිපෙළ පෙන්නුවා.

"ඔව්..."

"අන්න එතනින් බැස්සම වෙල ගාවම තියන ලිඳ.. ඒකත් අත්තම්මලගෙ තමයි. අනිත් එක තමා ගේ පිටිපස්සෙ බිත්තියට අල්ලලා හදපු ටැංකිය. ඒකෙ තියෙන්නෙත් ළිඳේ වතුරම තමා හැබැයි. අන්තිම ඔප්ශන් එක තමා වොශ් රූම් එක. උණු වතුර ඕන්නම් ඒකෙ ශවර් එක තියනවා. නැත්තම් ඩිංගිරි නැන්දට කියලා උණු කරලා දෙන්නම් එකක්."

මම නවත්තන්නැතුව කියන් යන හැටි ඇහි පිල්ලම් ගහන්නෙත් නැතුව බලන් හිටපු ලවන් ඊට පස්සෙ එක පාරට හයියෙන් හිනාවුණා.

"මොකද...?"

"නෑ ඉතින් හිතන්නකො...අපෙ ගෙදර ගිහාම අපිට තියන ඔප්ශන් වොශ් දාන්නෙ සිතුම්යගෙ වොශ් රූම් එකේද මගෙ එකේද කියන එකනෙ. මෙහෙ විවිධාකාර ඔප්ශන් තියනවනෙ."

ලවන් කියද්දි මටත් හිනාගියා. ඇත්තක් හැබැයි.

"ගමේ එහෙම තමයි ඒයි...ඔයා කොහොමද කැමති. ඔබේ පිළිතුර කුමක්ද?"

මම අත මයික් එකක් වගේ හදාගෙන ලවන් පැත්තට දික් කරන ගමන් ඇහුවා. එයා අතින් මාව ඇදලා ළං කරගෙන ඉන වටේ අත දාගත්තා. මගෙ අත් දෙකත් ඉබේම එයාගෙ කර වටේ එතුනා.

"ම්ම්...ළිදෙන් නාමුද? එතන ලස්සනයිත් වගේ."

"වතුර සීතලයි හැබැයි...ඔයාට අවුලක් නැතිවෙයිද?"

මම ඇහුවෙ මේකා පොඩ්ඩ ඇත්තම් හචින් යවන නිසා. ලවන් හිනාවෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"නෑ නෑ...මම බෙහෙත් අරන් ආවෙ. නැතත් මේ වෙලාවෙ නෑවට අවුලක් නෑ. අව්ව තියනවනෙ."

"කොහොමත් ඔය මහත්තයා දන්නවා ඇතිනෙ සෙම තියන අයට උණු වතුරට වඩා ඇල් වතුර නාන එක තමා හොඳ කියලා."

ඕක මට කිව්වෙ අම්මා. මම පණ්ඩිතයා වගේ කියද්දි ලවන් මගෙ නහයට ඇඟිල්ලකින් ඇනලා ආයෙ එයාගෙ නහයත් ළං කරලා තට්ටුවක් දැම්මා.

"එතකොට ඔය චූටි දොස්තර මහත්තයා දන්නැද්ද මොන වතුර නෑවත් ඒකට වෙලාවක් තියනවා කියලා...හවස් වෙන්න කලින් නාන්න ඕන. මහ රෑ ඇල් වතුර නෑවොත් හොඳට තියෙයි."

"ඉතින් දැන් මහ රෑ නෙවෙයිනෙ...දවල්නෙ. යමු නාගන්න."

මම ලවන්ගෙන් ගැලවිලා යන්න යද්දි එයා ආයෙම මාව ඇදලා ළං කරගත්තා.

"මොකද හදිස්සි...?"

"අනේ ලවන්...යන්කො."

මම බිම බලාගෙන කිව්වෙ එයා මගෙ දිහා බලන් හිටපු විදිහට ඇස් දෙක දිහා කෙලින් බලන්න බැරි නිසා. ඔව් ඉතින්...තවමත් මට ඒ ඩොමිනන්ට් බැල්ම දරාගන්න බෑ. මම බිම බැලුවත් මගෙ නිකටින් අත තියලා ඔලුව උස්සපු ලවන් මගෙ තොල් වලින් එයාගෙ තොල් තිබ්බා.

වෙනදා වගේ නෙවෙයි...වෙල දිහායින් එන සනීප හුළඟත් එක්ක එයාගෙ තොල් වල පහස දැනෙන එක වෙනමම ෆීලින් එකක්. ඇඟටම දැනෙන සීතල සැරින් සැරේ නැතිවුණේ එයාගෙ අත් මගෙ පිටේ තැනින් තැන ගෙනියද්දි. ටික වෙලාවටක හැම දෙයක්ම අමතක කරපු මක එයාගෙ තොල් අතරෙ අතරමං වුණා.

විනාඩි ගානකට පස්සෙ තොල් දෙකත් පිහගෙන අවුල් වුණ කොණ්ඩෙත් ගානට හදාගෙන මම එළියට ආවෙ සෝමෙ මාමව හොයන්න. අපි දෙන්නට ළිඳ ළඟ නාන්න ලෑස්ති කරන්න කියලා මාමට කියපු මම ආයෙම කාමරේට ඇවිත් ඇඳන් ආපුවා අයින් කරලා ශෝට් එකක් ඇඳගත්තා. ඒ වෙද්දි ලවනුත් ශෝර්ට් එකක් ඇඳලා ඒ වටේ තුවායකුත් ඔතන් හිටියෙ.

අපි දෙන්නා ළිඳ ගාවට ගිහින් ඇති වෙනකම් නාගත්තා. සීතලයි තමයි...ඒත් ගානට එතෙන්ටම අව්ව වැටිලා තිබුණ නිසා එච්චර සීතල දැනුණෙ නෑ. හැබැයි නාලා ගොඩට එද්දි ලවනුයි මායි කට කට ගාලා වෙව්ලනවා. අපි එතනම ඇඳුමුත් ඇඳගෙන ආයෙම ගෙදරට එද්දි අත්තම්මා තේ මේසෙ ලෑස්ති කරලා තිබ්බා.

"මයෙ පුතාලා නාගත්තද...සීතල එහෙම නෑනෙ."

"ටිකක් සීතලයි අත්තම්මෙ...දවාලෙ නිසා අවුලක් නෑ."

ලවන් අත්තම්මා ගාවට එන ගමන් කියද්දි අත්තම්මා ලවන්ගෙ උරහිස අතගාලා හිනාවුණා.

"එහෙනම් සීතල යන්ටත් එක්ක තේ එකක් බීලා ඉමුකො...ඉස්සරලා කාලා ඉමු ඩිංගිරි තේ හදයි."

"අනේ...අත්තම්මා හැලප හැදුවද?? මගෙ හොඳ~~අත්තම්මා."

තේ මේසෙ තිබ්බ හැලප පිඟාන දැක්ක මම අත්තම්මා බදාගෙන මූණ ඉඹින ගමන් කිව්වා. අත්තම්මගෙ කෑම වලින් මම ආසම කෑම තමා හැලප. ඒ තරම් රස හැලප මම අද වෙනකන්වත් වෙන කොහෙන්වත් කාලා නෑ.

"මයෙ පුතා ආසයිනෙ...කන්ටකො. ඔය ඔක්කොම ජාති පුතාලට තමා හැදුවෙ. මේ පුතා අලුවා කන්න ආසයි කියපු නිසා මං ඒවත් හැදුවා."

අත්තම්මා අලුවා පිඟාන ලවන් ගාවට ළං කරන ගමන් කිව්වා. ඕක අත්තම්මා අහගත්තෙ ඒදා ලවන් කෝල් කරපු වෙලාවෙ. ඒ කෑම මේසෙ නොතිබ්බ දෙයක් නෑ...හැලප, අලුවා විතරක් නෙවෙයි කොකිස්, ආස්මී, දොදොල් අම්මා එවපු කේක්, තව කඩෙන් ගෙනාපු අනම් මනම් එහෙමත් තිබ්බා. අවුරුදු මේසයක් වගේ.

"අනේ එච්චර මහන්සි වුණාද අත්තම්මෙ...?"

"එහෙම මහන්සියක් නෑ පුතා...ඩිංගිරි ඉන්නවනෙ. අනික පුතා මෙහෙ ආවෙ මුලින්මනෙ. ආසා දේවල් හදන්න එපැයි."

අත්තම්මා හිනාවෙලා ලවන්ගෙ ඔලුව අතගාන ගමන් කිව්වා. මම ඒ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්...අම්මා අප්පච්ච් විතරක් නෙවෙයි අත්තම්මත් ලවන්ට ආදරෙන් සලකන එක මට දරාගන්න බැරි තරම් සතුටු හිතෙන දෙයක්.

අපි දෙන්නා කෑම මේසෙ තිබ්බ සෑහෙන කෑම ප්‍රමාණෙකට වග කිව්වා. අත්තම්මනම් වැඩිය කෑවෙ නෑ...ගොඩක් සීනි කන්න බෑනෙ. ලවනුයි මායිනම් හැම එකෙන්ම එකක් හරි කාලා තඩි ඇම්බන් කෙසෙල් ගෙඩි දෙකකුත් කෑවා. ඒවනම් මේ වත්තෙම හැදෙන ඒවා. අපි කාලා ඉවර වෙනවත් එක්ක්ම ඩිංගිරි නැන්දා දුම් දාන තේ තුනක් හදාගෙන ආවා.

"ඩිංගිරි නැන්දා තේ බිව්වද...?"

මම තේ එක ගන්න ගමන් ඇහුවා.

"චූටි මහත්තයා බීලා ඉන්ඩකො...මම පස්සෙ බොන්නම්."

"පස්සෙ එපා උණු කරපු එකේ දැන්ම බොන්න...ආ මේවත් කාලම බොන්න සෝමෙ මාමත් එක්ක."

මම හැලප දෙකකුයි අලුවයි ආස්මියි ප්ලේට් එක්කට දාන ගමන් කිව්වා.

"අනේ එපා චූටි මහත්තයො...අපිට කන්ඩ බැරියැ පස්සෙ. මහත්තයලා කන්ඩ."

ඩිංගිරි නැන්දා ලවන් දිහාත් බලලා හිනාවෙන ගමන් කිව්වා.

"අනේ ගන්නකො ඩිංගිරි නැන්දේ...මමනෙ දෙන්නෙ. තරහයි හොඳේ."

"ඕක ගනින් ඩිංගිරි...චූටි මහත්තයා දෙන එකනෙ. දෙන්නම තේ හදන් බීපන්."

අත්තම්මා කිව්වට පස්සෙ තමා ඩිංගිරි නැන්දා ප්ලේට් එක අතට ගත්තෙ. මම හැමදාම තේ බොද්දි එයාලට ඔහොම කෑම ගිහින් දෙනවා. ඒත් තාම එයාලා ඒකට පුරුදු වෙලා නෑ. එයාලගෙ හැටි වෙන්න ඇති.

"අත්තම්මා හෙට සිල් ගන්න යනවද...?"

ඩිංගිරි නැන්දා ආයෙම කුස්සියට ගියාට පස්සෙ අපි තේ බොන අතරෙ ලවන් ඇහුවා.

"ඔහෙ නෑ පුතේ...ඉස්සර වගේ මට දැන් එක තැන ඉඳන් ඉන්ට බෑ. බිත්තියක් අයිනෙ හේත්තු වෙලා හිටියත් මේවා ඔක්කොම රිදෙන්ට ගන්නවා. මම දැන් ගෙදර මල් පහන් පූජ කරලා හවස පන්සල් ගිහින් එනවා."

"අපිත් එනවා හෙට අත්තම්මා එක්ක පන්සල් යන්න..."

මම කියද්දි අත්තම්මගෙ ඇස් දෙකම එළිය වෙනවා මම බලාගෙන හිටියා. ඉස්සර අපි පොඩි අය ඔක්කොම අත්තම්මගෙයි සීයගෙයි අතේ එල්ලිලා පන්සල් ගිය හැටි මතක් වෙන්න ඇති. කාලෙකින් අත්තම්මා එක්ක පන්සල් යන්න බැරි වුණා. ඒ මතක අලුත් කරගන්නයි ලවන් එක්ක අලුත් මතක එකතු කරගන්නයි ඔක්කොම හෙට පුලුවන්නෙ.

"අපොයි යන්...එහෙනම් හෙට හැන්දෑ වෙද්දි පුතාලා මල් ටිකක් එහෙම හොයාන එන්ට. මේ පුතාට ගම පෙන්නන්ටත් පුලුවන්නෙ."

"හරි අත්තම්මෙ..."

මම ලවන් දිහා බලලා හිනාවෙන ගමන් කිව්වා. මේ ගෙදර වත්තෙත් මල් තියනවා. ඒත් අත්තම්මා ඉස්සර ඉඳන්ම ගම වටේ ගිහින් තව මල් හොයලා ලොකු මල් වට්ටියක් අරන් යනවා පූජා කරන්න. මමත් ඉස්සර අත්තම්මා එක්ක මල් හොයන්නෙ යන්නෙ ගොඩක් ආසාවෙන්.

"ඉදකින්වත්...මේකා ආව ගමන් දෙසා බානවා. ඒ පැත්තෙ එන්නවත් එපා. මුසලයා."

"චූටි මාමෙ- ආව්ව්ව්!!!"

මම නැගිටින්නත් කලින් පිට මැද්දට දඩෝං ගාලා වැදුන පාරට මම ආයෙම ඉන්දවුණා. පේනවා නේද ආගන්තුක සැලකිලි පරම්පරා අනුව වෙනස් වෙන විදිහ. ආපු ගමන් ගැහුවට මොකද ඊට පස්සෙ මාව පපුවට තද කරලා බදාගෙන නළලින් කිස් එකක් තියපු චූටි මාමා මට එහා පැත්තෙන් ඉඳගත්තා.

"එන්න හිටියෙ මාමෙ හවස් වෙලා..."

"ඕ උඹ එන්න ඉන්න ඇති මෙහෙන් දවල්ටත් කාලා හවස තේ වෙලාවට අපෙ ගෙදරින් දෙසා බාන්න..."

ඇත්තම කිව්වොත් එහෙම තමා යන්න හිටියෙ. ඒ නිසා මම ගොන් පහේ හිනාවක් දාලා ආයෙම තේ එක බොන්න ගත්තා.

"අර මං බොරුද කිව්වෙ...බඩජාරියා."

චූටි මාමා මගෙ ඔලුව මැද්දටම ටොක්කක් අතාරිද්දි අත්තම්මා මාමාට පාරක් ගැහුවා.

"ඔය කොල්ලට ඉන්න දීපන්...එහෙනම් කතා කර කර ඉඳින්. මම කුස්සියට යන්නම්. ඩිංගිරි උයනවා බලන්ටත් ඕනෙ."

අත්තම්මා එහෙම කියාගෙන තේ මේසෙන් නැගිටලා කුස්සිය පැත්තට ගියා. මම ඉඳන් හිටියෙ මාමයි ලවනුයි මැද. මම පොඩ්ඩක් පුටුව පස්සට කරලා දෙන්නට දෙන්නව පේන්න ඉඩ හදලා දුන්නා.

"මාමෙ මේ...මේ තමා ලවන්."

"ආ...අපෙ මද්දුගෙ යාලුවෙක් කිව්වා නේ."

චූටි මාමා යාලුවෙක් කියන එක බර කරලා කියන ගමන් කොකිස් කෑල්ලක් කරස් ගාලා හැපුවා.

"ඔව්- මේ...චූටි මාමෙ."

ලවන් යන්තම් හිනාවෙලා කියද්දි මාමා ඇස් කොනෙන් අපි දෙන්නා දිහාම බලලා තව කොකිස් එකක් අරන් හැපුවා.

"ම්ම්...පුතා ලෙක්චරර් කෙනෙක් කිව්වා නේ."

"ඔව් මාමෙ..."

"හොඳා හොඳා...හවස ඒ පැත්තෙ එන්නකො එහෙනම් දෙන්නම ඈ. මම සවිස්තරාත්මක විස්තර අහගන්න."

අර මම බොරුද කිව්වෙ...මේ උකුසු ඇස් වලින් දෙයක් හංගනවා බොරු. මමයි ලවනුයි දෙන්නම මූණෙන් මූණ බලාගෙන බිම බලාගත්තා.

"අහවල් එකටද බං හොල්මනක් දැක්කා වගේ බයවෙලා ඉන්නෙ...ගිලින්න නෙවෙයි එන්න කියන්නෙ."

"ඇහ්? න්-නෑ එහෙම නෑ චූටි මාමෙ."

"හරි හරි මේ...කාලා තුනට විතර වරෙං. චූටි නැන්දා පැණි වළලු හදලා තියෙන්නෙ. තව බණ්ඩෙ උඹටම කියලා කොහෙන්දෝ අනෝදා ගෙඩි දෙකක් හොයන් ඇවිත්. මම අනෝදා බීමත් හැදුවා. ඩිංගිරි...අනේ මටත් තේ එකක් හදපන්කො තරහ නැතුව."

"හා...අපි එන්නම්."

"ඒක නෙවේ...උඹ ලස්සන වෙලානෙ. මොකද්ද රහස?"

මාමා ආස්මී කෑල්ලක් අතින් කඩ කඩ කන ගමන් ඇඟට පතට නොදැනී අහද්දි මට ඉබේටම ලවන් දිහා බැලුණා. කොහොමත් මාමා අපි දිහා බලන් නෙවෙයි හිටියෙ. මම ලවන් දිහා බලද්දිම එයා ඇස් දෙකත් ලොකු කරලා මගෙ දිහා බලලා අහක බලාගත්තා.

"ඈ යකෝ..රෝස පාට වෙන්න දෙයක්ද මං දැන් ඇහුවෙ?? ලස්සන වුණේ කොහොමද කියලනෙ."

කෙලින් මුකුත් අහන්නැතුව වටින් ගොඩින් අහලා කටින්ම හොර අල්ලගන්නනම් මේ පවුල හරි දක්ෂයි හැබැයි.

"එහෙම රහසක් නෑ...අපෙ හිත හොඳයිනෙ. ඒකයි."

"අනෙ උඹෙ හිත...මේ මද්දු මං යන්නම් එහෙනම්. නැන්දා තනියම උයනවා ඇත්තෙ. උඹලා දෙන්නා වරෙං ඈ. පුතා මං යනවා."

මාමා අපි දෙන්නගෙම පිටට තට්ටු දාන් කියන ගමන් නැගිට්ටා.

"තේ එක...?"

"කුස්සියට ගිහින් බීලා යන්නම්..."

මාමා අපි දෙන්නටම අතත් වනාගෙන කුස්සිය පැත්තට යද්දි ලවන් දිහා බලලා මගෙ අතකින් අල්ලගත්තා.

"මාමට මොනවහරි තේරිලාද විදුර්...?"

"එයාට මුකුත් නොතේරුනොත් තමා පුදුමෙ..."

මම කියද්දි ලවන්ටත් යන්තම් හිනාගියා.

"එයා අවුලක් නැද්ද...?"

"මෙච්චර කල් නම් එයා කිසිම අවුලක් වුණේ නෑ...අපි බලමුකො."

"ම්ම්..."

ලවන් තේ එක බීලා ඉවර වෙලා කෝප්පෙ මේසෙ උඩින් තියන ගමන් කිව්වා. අපි ඩිංගිරි නැන්දට මේසෙ අස් කරන්නත් උදව් කරලා පොඩ්ඩක් එළි පහළියට ආවා. ලවන් වත්ත වටේම ඇවිද ඇවිද ඒ තියන ගස් කොළං එහෙම බැලුවා. අපෙ ගෙදර වුණත් මෙහෙම ලොකු වත්තක් නෑනෙ. පර්චස් පහළවේ ඉඩමක හදපු ගෙයක්නෙ ඒක.

ඒත් මෙහෙනම් අක්කරේක විතර ලොකු ඉඩමක් තියනවා. මම ලවන්ව වත්ත පුරාම එක්කන් ගියා. වත්තෙ තියන ඇඹිල්ලා ගහෙන් ටිකකුත් කඩලා දුන්නා. එයා අදලු ඒවා මුලින්ම කෑවෙත්. පැයක් විතර ඇවිද්ද අපි දෙන්නා වත්තෙ කෙළවරක අඹ ගහ යට තියන බංකුවෙන් ඉඳගත්තා.

"මාර නිදහස් විදුර්...මෙහෙ ආපු එකට මං ගොඩක් කැමතියි. ඔයා කිව්වා වගේම අත්තම්මත් හරි හොඳයිනෙ."

"අපි ආයෙ වෙලාවක එමුකො...හෙට අපි යං ගම වටේ රවුමක් දාන්න."

"හා...බලන්න හෙටත් ඉඳල යං කියලා මම කිව්වෙ ඒකනෙ."

ලවන් මට දිව දික් කරලා කියද්දි මම එයාගෙ ඉන යන්තම් කොනිත්තලා උරහිසට හේත්තු වුණා. එයත් මගෙ කර වටේ අත දාලා මාව ළං කරගත්තා.

"වෙනදා වගේ නෙවෙයි...මේක වෙනස්ම වයිබ් එකක්. ඔයත් එක්ක මේ වගේ මතක එකතු කරගන්නත් මං ගොඩක් ආසයි."

ලවන් මගෙ කෙස් අතරෙ හිමීට ඇඟිලි යවන ගමන් කිව්වා.

"මමත්..."

"අපි- ආයෙත් එමු..."

ලවන් කියද්දි එයාගෙ කටහඬ යන්තම් වෙව්ලපු විදිහට මම නැගිටලා එයා දිහා බැලුවා. අනේ...ඇයි මේ? එයාගෙ ඇස් වල කඳුලු පිරිලා. අඬන්න තරම් මොකද්ද වුණේ. මම ඉක්මනට ලවන්ගෙ කම්මුල් දෙක අල්ලගද්දි එයාගෙ එක ඇහැකින් වැටුණ කඳුලු බිංදුවක් මගෙ අත දිගේ ගලාගෙන ගියා.

"ලවන්...ඇයි මේ?? මොකද්ද වුණේ?"

මම එයාගෙ කඳුලු පිහදාන ගමන් ඇහුවා. එක පාරක් දෙපාරක් ඇරෙන්න ලවන් මං ඉස්සරහා අඬලා නෑ...මට දරාගන්න බෑ එයාගෙ ඇස්වල එහෙම කඳුලු පිරිලා තියෙද්දි. මගෙ ඇස් වලත් ඉබේම එතකොට කඳුලු පිරෙනවා.

"අපිට ආයෙ එන්න පුලුවන් වෙයි නේද...ඔයත් එක්ක මෙහෙම මේ බංකුව උඩ වාඩි වෙලා ඉන්න. ආයෙත් අත්තම්මව බලන්න එන්න. අපිට පුලුවන් වෙයිද විදුර්...?"

"අපිට පුලුවන්...ඇයි ඔයා එහෙම අහන්නෙ?"

මම තවමත් බයවෙලා වගේ එයාගෙ කම්මුල් දෙක අල්ලන් අහද්දි කඳුලි අතරින්ම යන්තම් හිනාවුණ ලවන් මගෙ නළලට එයාගෙ නළල හේත්තු කරගත්තා.

"මුකුත් නෑ...මට- එක පාරට ගොඩක් දේවල් හිතුණා. දැන් මගෙ මැණික බය වෙන්නැතුව ඉන්නකො."

ලවන් මගෙ කම්මුල් දෙක අල්ලලා නහය උඩින් පෙක් එකක් තියන ගමන් කිව්වෙ මගෙ ඇස් වලත් කඳුලු පිරිලා තිබ්බ නිසා.

"බය වෙන්න එපා කියන්නෙ...එක පාරට අඬද්දි බය හිතෙන්නැද්ද?"

මම ආයෙම ලවන්ගෙ උරහිසට හේත්තු වෙන ගමන් කියද්දි එයා හිනාවෙලා මගෙ නළලින් හාද්දක් තිබ්බා.

"හරි- හරි ඒක ඉවරයි...ආයෙ හිතන්න එපා- ආව්!"

හිතන්න එපා තමා...මාව බය කරලා මෙතන. ලවන් කෑගැහුවෙ මම එක පාරට එයාගෙ බෙල්ලෙන් හොඳ මස් කුට්ටියක් අල්ලලා හපපු නිසා.

"ආයෙ අඬද්දි හේතුවක් කියලා අඬනවා...බූරුවා!'

"එසේය ස්වාමීනි...එසේය."

මම හිනාවෙලා ලවන්ට පයින් පාරක් දෙද්දි එයා තව ටිකක් මාව අත් අස්සට අරන් තුරුල් කරගත්තා. තවත් පැයකට විතර පස්සෙ සෝමෙ මාමා ඇවිත් දවල්ට කන්න කතා කරනකන්ම අපි දෙන්නා එහෙමම තුරුල් වෙලා වටේ ලස්සන බල බල හිටියා.

---------------

ගමේ කෑල්ල එක චැපියකින් දෙන්න හිටියෙ. ඒත් කොටස් දෙකකට දෙන්න වෙනවා. ආයෙත් කියන්නෙ...සමහර ඒවා හෑලි වගේ ඇති ඒත් ඔය පොඩි පොඩි එව්වට අවධානෙ දෙන්න හොඳේ 🫢 එව්වා මට පස්සෙ කියනවට වඩා දැන්ම කියලා තියන එක ලේසි.

මේ ටිකේ පොඩ්ඩක් කතාව එක තැන වගේද 🙊 මට ඕනෙ ඉස්සරහට යන්න කලින් ඒ දෙන්නගෙ පොඩි සීන් ටිකක් දෙන්න. බය වෙන්න එපා කතාව ඉස්සරහට යනවා. සම්පූර්ණ ප්ලොට් එකම මම ප්ලෑන් කරලා ඉවරයි. මෙහ් 👇

අනිත් එකද...ඒක තමා ඊළඟට එන්න තියන එක 😁 බය වෙන්න් එපා මේක ඉවර කරලා තමා ඒක දෙන්නෙ. සීමාවෙන් එහා තාම බාගයක්වත් ඉවර නෑ. ඒ නිසා ඒක ඉවර කරලා අරක ලියන්න ගන්නම්. දැනට තියෙන්නෙ පොඩි අයිඩියා එකක් විතරයි 🫢

එහෙනම් ආයෙ හම්බෙනකන් බායි...😚

Share This Chapter