Back
/ 35
Chapter 22

Part 21

සීමාවෙන් එහා

මම ඇහැරුණේ ඇඟ වටෙන්ම දැනෙන නුපුරුදු සීතලට. ඒත් ඒ නුපුරුදු සීතලත් එක්කම දැනුණ හුරුපුරුදු උණුසුම මගෙ වටේ එතිලා තියෙද්දි මම ඒ තුරුළට තවත් ගුලි වුණා. යන්තම් ඇස් ඇරලා බලපු මට කොහෙද මේ ඉන්නෙ කියන එක මතක් කරගන්නත් ටික වෙලාවක් ගියා. මෙහෙ උදේට ඇහැරෙද්දි මේ වගේ තමා...සිමෙන්ති පොළවයි උළු වහලයි වෙල් යායෙන් එන හුළඟයි එක්ක දැනෙන්නෙ දරාගන්න බැරි සීතලක්.

ඒත් මාව අත් දෙකෙන්ම බදාගෙන පපුවට ළං කරන් හිටපු ලවන්ගෙ උණුහුම නිසා මගෙ ඇඟට සීතල දැනුණෙම නැති තරම්. එයානම් තාම සැපට නිදි වගේ...ඊයෙ පිරිටන් පෙත්තක් ගැහුවනෙ කොහොමත්. මම පොඩ්ඩක් දඟලලා ලවන්ගෙන් එහාට වෙලා එයාගෙ මූණ දිහා බලන් හිටියා. නිදාගෙන ඉද්දි එයා හරි සන්සුන් පාටයි.

ඊයෙ ලවන් කොච්චර සතුටින් සැහැල්ලුවෙන්ද හිටියෙ කියලා මතක් වෙද්දි මගෙ මූණෙ හිනාවක් ඇඳුනෙ ඉබේටමයි. මම යන්තම් ලවන්ගෙ කම්මුල දිගේ ඇඟිලි තුඩු අරන් ගිහින් ඉස්සරහට වෙලා එතනින් හාද්දක් තිබ්බා. මගෙ තොල් වැඩි වෙලාවක් ලවන්ගෙ කම්මුලේ රැඳිලා තියෙද්දි නින්දෙන්ම පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ ලවන් ආයෙම මාව අත් දෙක අස්සට අරන් තුරුල් කරගෙන නිදාගත්තා. මාත් එහෙමම එයාගෙ ඉන හරියෙන් අතක් දාගෙන ආයෙ ඇස් පියාගත්තෙ නැගිටින්න තව ඕන තරම් වෙලා තියන නිසා.

ඊයෙ අපි වත්ත වටේ ඇවිදලා පොඩ්ඩක් කතා කර කර ඉන්න වෙලාවෙ ලවන්ට එක පාරට ඇඬුනෙ ඇයි කියන්න මම තාමත් දන්නෙ නෑ...එයා ආයෙ ඒ ගැන කතා කරන්න ගියෙත් නෑ. අපි දවල්ට කන වෙලාවෙදි එහෙම කිසිම දෙයක් නොවුන ගානට ලවන් හිටියෙ. ඒත් ඕක මගෙ හිතේ කොනක යන්තම් රැඳිලා තිබ්බා. ඒ ගැන ආයෙ මතක් කරන්න දුකයි...ඒත් වෙලාවක් ආවම අනිවාර්යෙන් ඒ ගැන එයාගෙන් අහන්න මම හිතාගත්තා.

මම ඊයෙ ආයෙ ඒ ගැන අහන්න ගියෙ නැත්තෙ කන වෙලාවෙ ඉඳන් මහ රෑ වෙනකන්ම එයා අත්තම්මා පස්සෙ වැටීගෙන පොඩි එකෙක් වගේ හුරතල් වෙන්න තියාගත්ත නිසා. එහෙම ඉද්දි ආයෙ අහන්න පුලුවන්ද ඇයි කලින් ඇඬුවෙ කියලා.

අපි දවල්ට කාලා ටිකක් හවස් වෙලා තමා චූටි මාමලගෙ ගෙදර ගියේ. කිව්වා වගේම නැන්දා පැණි වළලු හදලා තිබ්බා. ඒ ගෙදර වැඩට ඉන්න බණ්ඩෙ මාමා මම ආසා නිසාම අනෝදා ගෙනත් තිබ්බා. ඒ වෙලාවෙ හැටියට අනෝදා බීම එකක් කියන්නෙ මරු ඉතින්.

සවිස්තරාත්මක විස්තර අහගන්න ඕනෙ කියලා චූටි මාමා කලින් කිව්වට මොකද අපි ගියාට පස්සෙනම් එහෙම මුකුත් ඇහුවෙ නෑ...ලවන් එක්ක හරි සාමාන්‍ය විදිහට කතා කරේ. එයාගෙ ලෙක්චර්ස් ගැනයි UK වල ලයිෆ් එක ගැනයි විස්තර ඇහුවා. අපි දෙන්නා මෙච්චර ෆිට් වුණේ කොහොමද ඇහුවා. ඒත් යාලුවො විදිහට ෆිට් වුණේ කොහොමද කියලා මිසක් වෙන දෙයක් ඇහුවෙ නෑ. ඒත් ඉතින් මාමා ගොනා නෙවෙයි යම්කිසි දෙයක් දන්නවා කියන එක අපිට එහෙන් මෙහෙන් ඇඟෙව්වා. සමහරවිට අද ඕවට උත්තර දෙන්න වෙන්නත් ඉඩ තියනවා.

චූටි මාමලගෙ ගෙදරත් ගිහින් හවස් වරුවෙ අපි දෙන්නා ගියා පොඩ්ඩක් ඇවිදින්න. ගෙට පහළින් තියන වෙල ගාව අඩිපාරෙන් වම් පැත්තෙ තියෙන්නෙ පොඩි කැලෑවක්. කැලෑවක් කියන්නෙ මේ අලි කොටි ඉන්න කැලෑවක් නෙවෙයි...පොඩි පරාසෙක තියන එකක්. අත්තම්මලා පොඩි කාලෙ දර හොයන්න ගිහින් තියෙන්නෙ ඔය කැලෑවටලු. දැන්නම් ඕකෙ එහෙම අය යනවා අඩුයි. හැමෝම වගේ ගෑස් ලිපෙන්නෙ උයන්නෙ. ඒත් අත්තම්මට දර ලිපේ කන්න තියන උවමනාවට ඩිංගිරි නැන්දනම් තාම එනවා මේකට දර හොයන්න.

මම ලවන්ව පන්සල ගාවට එක්කන් ගියත් ඇතුළට ගියෙ නෑ...පහුවෙනිදා කොහොමත් පෝයට යනවනෙ. ලවනුත් කිව්වෙ හෙටම එමු කියලා. ඒ නිසා එළියෙන් එයාට පන්සල් වත්ත පෙන්නලා ඒ ළඟම තියන පොඩි කඩෙන් තේ එක්කුත් බීලා ආයෙම ගෙදර එද්දි ලවන්ව මම අර පොඩි කැලෑව ඇතුළට එක්කන් ගියා. කැලේ වුණාට ඒ ඇතුළෙත් දැන් පොඩි අඩි පාරවල් හැදිලා තියෙන්නෙ මිනිස්සු ගිහිල්ලම.

"කොහෙද විදුර් යන්නෙ...?"

ලවන් මගෙ පස්සෙන් එන ගමන් ඇහුවා.

"යමුකො...ගිහින් පෙන්නන්නම්."

"ගිහින් පෙන්නන්නම් කියන්නෙ...යන්න කලින් කියලා ඉන්න."

"බෑ..."

"එහෙම තැන් තැන් වල එන්න බෑනෙ දන්නැතුව...කවුද දන්නෙ මරන්න ගෙනියනවද කියලා."

ලවන් කියනවත් එක්කම මම බොහ් ගාලා පිටිපස්ස හැරෙද්දි ලවනුත් එහෙමම නැවතිලා මගෙ දිහා බලන් හිටියා.

"ඒ කියන්නෙ මාව ශුවර් නෑ...?"

"නෑ..."

ලවන් අහක බලන් කියද්දි මම රවාගෙන එයා දිහා බලන් හිටියා. රැව්වට වැඩක් නෑ ඉතින් මගෙ දිහා නෙවේනෙ බලන් ඉන්නෙ.

"මෙන්න මෙහෙ එනවා හලෝ කෝලම් නැතුව...තවුසෙව මරලා මම කවදාහරි බඳින්නෙ සිතුම්යද?"

මම ගාණක් නැතුව කියලා අනිත් පැත්ත හැරෙන්න ගියත් ලවන්ගෙ මූණ දැකලා එහෙමම නැවතුනා. අපෙ අප්පේ බලන්න එපැයි...ඉරිසියාව බේරෙනවා. මං ඒක නිකන් කටට ආවට කිව්වෙ. එක පාරට මතක් වුණේ එයාගෙ යාලුවගෙ නම විතරයි. ඒත් ඉතින් මූණ මෙහෙම අබ පුපුරන සයිස් වුණාම තව ටිකක් අවුස්සන්නමයි හිතෙන්නෙ.

"එයා ස්ට්‍රේට්..."

ලවන් මගෙ දිහා බලන්නෙවත් නැතුව බුම්මන් කියලා මාව පාස් කරන් ගියා. හිනාත් යනවා අප්පා.

"ඉතින්..."

"ඉතින් කියන්නෙ...එයා කොල්ලොන්ට කැමති නෑ."

"මාව දැක්කම ඔය කෙලින් යන ඔක්කොමත් ඇදේ යනවා ඒයි...බලන්නකො මගෙ හැඩ."

මම ලවන්ගෙ කර වටේ අත දාන් හෙන සරාගී විදිහට කියලා තොල් උල් කරලා කිස් එකක් දෙද්දි එයාගෙ ඇස් ගැස්සුනත් එයා බුම්මගෙනම හිටියා.

"එහෙම වෙන්නෙ නෑ..."

"මොකද නැත්තෙ...එහෙම වෙනවා."

"දැන් ඔයාට සිතුම්ය බඳින්නද ඕනෙ...හරි ඉන්න මම කෝල් එකක් අරන් කියනකම්. ඊට පස්සෙ ඔය දෙන්නට බඳින්න බැයිනම් ඕන එකක් කරගන්න."

ලවන් ෆෝන් එක ඇදලා සිතුම්යගෙ නම්බර් එක ඩයල් කරන ගමන් කිව්වා. මෙන්න මේ මනුස්සයා ඇත්තටම කෝල් කරනවා...පුදුම ඉරිසියාවක්නෙ යකොව් මේක. මේ කැලේ සිග්නල් නෑ කියලා දන්න නිසාම මාත් සද්ද නැතුව මනමාල හිනාවක් දාන් ලවන්ගෙ කෝලම් දිහා බලන් හිටියා.

දෙපාරක් විතර ට්‍රයි කරලා කෝල් කරන්න සිග්නල් නැතිවුණ තැන ලවන් මට ආයෙම රවලා ෆෝන් එක සාක්කුවට දාගත්තා. දැන්නම් විහිලු කරා ඇති වගේ...පුපුරන්න ඔන්න මෙන්න. මම ගිහින් ලවන්ගෙ වැලමිට ගාවින් අත අල්ලගෙන ඇඟටම හේත්තු වෙද්දිත් එයා අහක බලන්ම හිටියා.

"මොකද ලවන් මේ...විහිලුවක්නෙ කරේ."

මම ඉස්සිලා එයාගෙ බෙල්ල ගාවිනුත් කිස් එකක් තියලා පොඩ්ඩක් හුරතල් වෙද්දි ලවන්ගෙ මූණෙන් මනමාල හිනාවක් යන්න ආවත් එයා කන්ට්‍රෝල් කරන් හිටියා.

"අහකට යන්න විදුර්..."

"බෑ...එහෙම අහකට යන්නෙ කොහොමද?? ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ්නෙ. බෝයිෆ්‍රෙන්ඩ්ගෙ අතේ එල්ලිලා ඉන්න තමා මාත් ආසා."

"ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මම නෙවෙයිනෙ...සිතුම්යනෙ. ගිහින් එයාගෙ අතේම එල්ලෙන්න."

"ඒ ඔයාව මම මැරුවොත්නෙ...ඒත් මම ඔයාව මරන්නෑනෙ. ඒ නිසා තාම ඔයා තමා බෝයිෆ්‍රෙන්ඩ්."

මම ලවන්ගෙ මූණ දිහා බලන් කතාවෙ මූල බීජෙ වෙච්ච තැනටම ආයෙ යද්දි එයත් මගෙ දිහා බලලා හිනාවෙලා අහක බලාගත්තා.

"අනික කොහොමත් සිතුම්යට මගෙ හිත යන්නෑ...මට අමතක නෑ පළවෙනි දවසෙ එයැයි දාපු සද්දෙ හහ්."

"ඒ උගෙ හැටි...කොහොමත් උට ඒ වෙලේම තේරෙන්න ඇති මම ඔයාට කැමති කියලා."

"ඉතින් ඕකට ඔය හැටි ලයින් දාන්න ඕනෙද...මල සමයං."

"ඌ පොඩ්ඩක් ඕවර් ප්‍රොටෙක්ටිව් තමා. මම ඔයාට කිව්වෙ...ඌ මාව බලාගන්නෙ උගෙම මල්ලි කෙනෙක් වගේ."

"ම්ම්...ආ මේ. අපි ළඟටම ඇවිත් තියෙන්නෙ."

කතාවෙන් කතාව අපි දෙන්නා මම ලවන්ට පෙන්නන්න ආපු තැනටත් ඇවිත් තිබ්බෙ. මම ඒ නිසා ලවන්ගෙ අත අතෑරලා පොඩ්ඩක් ඉස්සරහට ඇවිදන් යද්දි එයත් මගෙ පස්සෙන් ආවා.

"කොහෙටද...මාව මරන්න ආපු තැනටද?"

"ඔව් ඔව්...හොයාගන්නවකො රතු මල් ටිකක් මාලයක් හදලා බෙල්ලෙ දාන්න."

මම රවාගෙන කියලා ඉස්සරහටම යද්දි ලවනුත් හිනාවෙලා මං ගාවට ඇවිත් මාව කරට අත දාලා ළං කරගත්තා. කැලෑව කෙළවර තියෙන්නෙ පොඩි ගල් තලාවක්. එතෙන්ට තමා මං එයාව එක්කන් ආවෙ. අපි දෙන්නම කෙළවරටම වෙන්න තියන ගස් පොඩ්ඩක් එහා මෙහා කරලා ගල් තලාව උඩට ආවා.

"වාව්...විදුර්. මෙතන මාරම ලස්සනයි..."

ලවන් ඔය වීව් එකට කැමති වෙනවා කියලා දන්න නිසාම එයාව මෙතෙන්ට එක්කන් ආපු මම යන්තම් හිනාවුණා. මේක ගමේ කෙළවරම තියන ගල් තලාවක්. මෙතෙන්ට පහළිනුත් ගමේ ගෙවල් කීපයක් තියනවා. මෙතෙන්ට පේන වීව් එක කොළ පාට යායක්...මට ඊට වඩා ලස්සනට ඒක විස්තර කරන්න බෑ.

සරලව කියනවනම් කොළඹ පාරෙ සුද්දා විද්ද ගල පාස් කරපු ගමන් පේන වීව් එක තියනවනෙ. අන්න ඒකම තමා මෙතෙන්ටත් පේන්නෙ. කොළ පාට කඳු පන්ති, ඒ අතරින් විහිදෙන පාරවල්, ඒවගෙ යන කූඹියො තරම් පොඩිවට පේන වාහන, සමහර තැන්වල තැනින් තැන රැඳුණු මීදුම මෙතෙන්ට ඕනවටත් වඩා ලස්සනට පෙනුනා. මේ වෙලාවත් හවස හතරට විතර නිසා තිබුණෙ අව්වත් නැති, සීතලත් නැති ගොඩක් නිස්කලංක වටපිටාවක්.

ලවන් තාමත් වශී වෙලා වගේ ඈත වීව් එක දිහා බලන් හිටියා. එයාගෙ ඇස් කොළ පාටින් දිලිසෙනවා...ඈතින් පේන ලස්සනම ලස්සන කොළ පාට වීව් එක මේ වෙලාවෙ එයාගෙ ඇස් වල අලු පාට හොරකම් කරගෙන තිබුණා.

"ඔයා කැමති නේද...?"

"ඔව්...ඔයා දන්නවනෙ."

ලවන් මාව තව ටිකක් ළං කරන් මගෙ නළලින් කිස් එකක් තියන ගමන් කිව්වා.

"අපි ටිකක් වෙලා ඉඳලා යමු...පැය බාගෙකින් විතර. ගොඩක් රෑ වෙනකන් ඉන්න බෑ ආපු පාරෙම ආයෙ යන්න එපැයි."

මම ගල් තලාව උඩින් ඉඳගන්න ගමන් කියද්දි ලවනුත් ඒක අනුමත කරන්න වගේ ඔලුව වනලා මගෙ ගාවින් ඉඳගත්තා. මම වෙනදා වගේම වැලමිට ගාවින් අත බදාගෙන එයාගෙ උරහිසට හේත්තු වුණා.

"මට ලොකු නිදහසක් දැනෙනවා විදුර්...බයක් නොදැනෙනවා නෙවෙයි. ඒත් ඔයා මේ විදිහට ළඟ ඉද්දි, මේ වගේ නිදහස් තැනක ඉද්දි අනිත් හැම දෙයක්ම අමතක වෙනවා."

ලවන් මගෙ ඔලුවට එයාගෙ ඔලුව යන්තමින් හේත්තු කරගන්න ගමන් කිව්වා.

"ඒක හරි අමුතුයි ලවන්...ඔයාගෙ උරහිසට හේත්තු වුණාම අනිත් හැම දෙයක්ම අමතක වෙන විදිහ මට හිතාගන්නවත් බෑ. මම- මම ඔයාට ගොඩක් ආදරෙයි."

වෙන කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරි වුණ තැන මම ලවන්ගෙ ඇස් දෙක දිහා බලන් කියද්දි එයා නැමිලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.මගෙ බඩේ සමනල්ලු පියාඹන ෆීලින් එක වැඩියෙනුත් එක්ක දැනෙන්න ගද්දි මම ආයෙම එයාගෙ උරහිසට හේත්තු වෙලා ඈතක ඇස් රඳවගත්තා.

"මාත් ඔයාට ගොඩක් ආදරෙයි...මගෙ රෝස මල."

එයා ඕක වැඩියෙන්ම කියන්නෙ මම අසාමාන්‍ය විදිහට රෝස පාට වුණ වෙලාවක. ආය දෙකක් නෑ ඉතින් දැනුත් ඇති ජම්බුවක් වගේ වෙලා.

"විදුර්..."

"ම්ම්..."

"අපි සින්දුවක් කියමුද...?"

"මොකද්ද කියන්නෙ...?"

මම ලවන්ගෙ උරහිසින් නිකට තියන් එයා දිහා බලන් ඇහුවා. කොහොමත් එයා කියන්න යන්නෙ ඕක තමයි කියලා මම අනුමාන කරලා තිබ්බෙ. මම අහපු දේට මුකුත් උත්තරයක් නොදුන්න ලවන් මගෙ දිහා බලලා යන්තම් හිනාවෙලා ආයෙම ඉස්සරහ බලාගත්තා.

ලවන්ගෙ ඇස් දෙක කලින් වගේම ලස්සනට දිලිසෙද්දි එයා හිමින් පද පේළි දෙකක් මිමිණුවා. එයාගෙ වොයිස් එකට විතරක් නෙවෙයි...මේ වෙලාවෙ ගැලපෙන වෙන සින්දුවක් හිතාගන්න බැරිවෙද්දි මම ගොඩක් ආදරෙන් ලවන් දිහා බලන් ඉඳලා එයාට තුරුල් වුණා. මගෙ පපුව හිරිවැටෙන ගතිය වැඩිවුණේ එයා මගෙ නළලෙ පැත්තකින් ලාවට කිස් එකක් තියනවා දැනෙද්දි.

"මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ

සිහින ඇන්ද සානුවේ..."

ලවන් මුමුණද්දි මම එයාගෙ ඇස් දෙක දිහාම බලාගෙන ඉතිරි පද පේළි ටික කියන්න ගත්තා.

"ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ..."

ලවන් ඉස්සරහට නැවිලා මගෙ ඇස් වලින් හාදු තියද්දි මම ඇස් දෙක පියාගෙන තවත් එයාට තුරුල් වුණා. අපි දෙන්නා තනිවුණ මේ ආදරණීය මොහොත ගැන විතරක් නෙවෙයි...සින්දුවේ හැම වචනයක් ගානෙම මට එයා ගැන කියාගන්න බැරි තරම් ආදරයක් පපුව ඇතුළෙන් දැනුණා.

"නිශා නින්ද ඇහැරවා

මල් බිඟුන්ටත් හොරා

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ..."

"වළාවකින් හැඩදමා

කූඩාරමක් එහි තනා

ආශා නැතිද මාත් එක් තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ..."

ඈතින් පේන කොළ පාට ලෝකෙ දිහා බලාගෙනම මාරුවෙන් මාරුවට පද පේළි මුමුණද්දි අපිටත් නොදැනිම අපෙ තොල් පැටලුනා. ඕක අමුතුවෙන් අහන්න දෙයක්ද...දැනටත් මම ඉන්නෙ ඒ වගේම කොළ පාට නිම්නෙක එයත් එක්ක තනි වෙලානෙ.

අපි දෙන්නා විතරක්ම තනිවුණු, ආදරණීය විදිහට අපෙ තොල් පැටලුණු, ලවන්ගෙ අත් අතරෙ මම පරිස්සමට හැංගුණ ඒ මොහොත අපි දෙන්නගෙ අනිත් ලස්සන මතක අස්සෙම විශේෂ තැනක ඉඩක් අරගත්තා.

ඊයෙ දවස ගැන මනෝ පාරක් ගහන් අඩ නින්දක හිටපු මම ආයෙම ඇහැරුණේ ලවනුත් ඇහැරිලා කියලා මට දැනුණ නිසා. මම පොඩ්ඩක් එහාට වෙලා බලද්දි හිතුවා වගේම එයා ඇහැරිලා. ඇහැරිලා කියන්නෙ බාගෙට...මුලින් ඇස් පොඩි කර කර ඉඳලා පස්සෙ ඇස් දෙකත් ලොකු කරන් වටේම බලද්දි මට තේරුණා එයාටත් එක පාරට ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න අමාරු වෙලා කියලා.

මම යන්තම් හිනාවෙලා ශර්ට් එකකුත් නැතුව හිටපු එයාගෙ උරහිසට ලාවට වගේ ඇඟිල්ලකින් ඇන්නා.

"ඒයි...මෙහ්. අපි ගමේ ඇවිත් ඉන්නෙ. අමතක වුණාද?"

"ම්හ්ම්ම්...ඔව්නෙ."

ඇහැරුණු ගමන්ම නිසා ගැඹුරු කටහඬකින් කියපු ලවන් ආයෙම මගෙ පැත්තට හැරිලා මාව තුරුල් කරගත්තා.

"ඒයි...අපි නැගිටින්න ඕනෙ."

ලවන්ව එහාට කරන්නැතුවම එයාගෙ පපුවට හේත්තු වෙලා මම කියද්දි එයා හිනාවුණා.

"ඉතින් නැගිටින්න..."

ඔය කිව්වෙ...පිඹුරෙක් වගේ මාව වෙලාගෙන ඉද්දි කොහොමඳ නැගිටින්නෙ.

"තවුසෙ නැගිටලා ඉන්නවකො...මම කොහොමද නැගිටින්නෙ ඔයා ඔහොම බදන් ඉද්දි."

"අනේ තව චුට්ටක් ඉමු විදුර්...සීතලයි."

හපොයි මට අමතක වුණානෙ...නැගිට්ට ගමන් සීතල හුරු වෙන්න නැතුවැති එයාටත්. අනික මමනම් ශර්ට් එකක් හරි ඇඳලා හිටියෙ. මේ මනුස්සය ශර්ට්ලස්නෙ. හැබැයි මෙහෙමයි...මමම තමා ඊයෙ රෑ ඕක ගලවලා අයින් කරේ. ඒක වෙනම කතාවක්...හෙහෙ.

"ලවන්..."

"ම්ම්..."

"ශර්ට් එක අරන් දෙන්නද..."

"එපා...ඔයා ගාව ඊට වඩා රස්නෙයි. මේ කීයද වෙලාව?"

"අට හමාරට වගේ...නැගිටිමු. බඩත්ගිනි."

"ම්ම්...මටත් බඩගිනි."

බඩගිනි කිව්වට මොකද ලවන් මගෙ ගාව රස්නෙයි ගාගෙන තව ටිකක් මාව තුරුල් කරන් මගෙ පපුව ගාවින් ඔලුව තියාගත්තා.

"බඩගිනිනම් නැගිටිමු හලොව්...අත්තම්මා අද කිරිබතුත් හදනවා කිව්වා."

කිරිබත් කිව්වා විතරයි මගෙ පපුව අස්සෙ මූණ ඔබන් නිදිමතේ හිටපු එක්කනාගෙ ඇස් ඇරුණා. බොරුවනෙ කරන්නෙ...බඩජාරියා.

"කිරිබත්...ඇයි ඒ විශේෂයක්ද?"

"ඕ...එයාගෙ පවුලට අලුතින් සම්බන්ධ වෙන මුණුබුරා පළවෙනි පාරට ගෙදර ආපු නිසාලු."

"අනේ මේ විදුර්..."

"අත්තම්මා දන්නවා මම කිරිබත් කන්න ආසයි කියලා ලවන්...ඒකයි. අනික අපි හදන සම්බෝලෙ වගේ නෙවෙයි ඩිංගිරි නැන්දා කට්ට සම්බෝලෙ හදන්නෙ ගලේ අඹරලා. ඒක කියන්න බැරි තරම් රහයි."

"ඔයා කියද්දි කටට කෙලත් උනනවා..."

"ඒකනෙ...යමු. යමූ~~නැගිටිනවකො."

අමාරුවෙන් පාරවල් දෙක තුනක් දීලා ලවන්ව ඇඳෙන් බිමට දාගත්තට පස්සෙ මමත් ගිහින් මූණකට හෝදගත්තා. හවස පන්සල් යන්න කලින් බැරියැ නාගන්න. අද මගෙ මනුස්සයවනම් කොහොමහරි වොශ් රූම් තල්ලු කරලා උණු වතුර නාවගන්න ඕන. අදත් ළිඳෙන් නාලා සීතල වුණොත් යසට තියෙයි.

අපි දෙන්නා මූණ හෝදන් කෑම කාමරේට එනකොට අත්තම්මයි ඩිංගිරි නැන්දයි කෑම ලෑස්ති කරලා තිබ්බා. කිරිබතුයි සම්බෝලයි ආනමාලු කෙසෙල් ගෙඩියි...හම්මේ මීට වඩා දෙයක් ඕනෙද?

අපරාදෙ කියන්න බෑ ලවනුයි මායි මේසෙ උඩින් ගෙනත් තිබ්බ කිරිබත් පිඟානටම වග කිව්වා. ඒ තරම් රසයි...ඇතිවෙන්න කිරිබබතුත් කාලා කෙසෙල් ගෙඩි දෙක්කුත් කාලා හුස්ම ගන්නවත් බැරුව අපි දෙන්නා පුටුවටම ඇලවිලා හිටියා.

පැය බාගෙකට විතර පස්සෙ ඩිංගිරි නැන්දා හදලා දීපු ප්ලේන්ටියත් බීලා අපි දෙන්නා අත්තම්මා එක්ක කතාවකට සෙට් වුණා. ලවන් තමා වැඩිපුරම කතා කරේ...එයා ආසයි අත්තම්මා කියන පරණ කාලෙ කතා අහන් ඉන්න. එයාට මෙහෙ කල්චර් එක පොඩ්ඩක්වත් හුරු නෑනෙ. ගොඩක්ම අත්තම්මගෙන් ඇහුවෙත් ඒ කාලෙ වෙච්ච කතන්දර තමා.

පැයක් විතරම අපි දෙන්නා අත්තම්මගෙ පය පාමුල වාඩි වෙලා ඒ කතා අහන් හිටියා. දවල්ට කන්න කලින් මාමලගෙ ගෙදර ගිහින් එන්න ඕන. ඒත් ලවන්ට අත්තම්මා එක්ක තව ටිකක් ඉන්න ඕනෙ කිව්වා. අත්තම්මා කුරහන් ගලේ කුරහන් අඹරනවා කිව්වා තව ටිකකින්. ඒක බලන් ඉන්න ඕනලු. මන්නම් ඉතින් ආයෙ ඕකෙ මොනවා බලන්නද...පොඩි කාලෙ ඉඳන් බලනවනෙ. ඒ නිසා එකොළහට විතර මම චූටි මාමගෙ ගෙවල් පැත්තෙ ආවා.

සාලෙනම් කවුරුත් හිටියෙ නෑ. ඒත් ඉතින් ආයෙ අවසර ගන්න ඕන තැනක්යැ. මම කෙලින්ම කුස්සියට ගියා. ආව්ස්...චූටි නැන්දා මොනවාහරි හදනවා වගේ.

"චූටි නැන්දෙ..."

"මද්දු...මම බයවුණ තරමක්. ඔහොම එනවද ළමයො එක පාරට."

චූටි නැන්දා එක පාරට ගැස්සිලා කියද්දි මම හිකි හිකි ගාගෙන ගිහින් මේසෙන් හේත්තු වුණා.

"මම ගමට ආවම ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන..."

"ඔව් ඒකනම් එහෙම තමා...කෝ අනිත් පුතා ආවෙ නැද්ද?"

"නෑනෙ...එයා අත්තම්මා එක්ක ඉන්න ඕන කිව්වා. කෝ නැන්දෙ මාමා?"

"කාමරේ හිටියා.. එයි තව ටිකකින්. එයාගෙ තේ වෙලාවනෙ දැන්."

"චූටි නැන්දෙ...මෙහ්. පැණි වළලු ඉතුරු නැහ්?"

මම අහද්දි චූටි නැන්දට හයියෙන් හිනාගියා. කොහොමත් චූටි නැන්දා කියලා තියෙන්නෙ මං වගේ පැණි වළලු පෙරේතයෙක් දැකලා නෑ කියලා.

"අනේ පුතේ අර නිල් පාට බාස්කට් එකේ ඇති ගන්නකො...මට මේක දාලා එන්න බෑනෙ."

චූටි නැන්දා මොකක්හරි අන අන හිටියෙ. මම පැණි වළල්ලකුත් අරන් නැන්දා ගාවට ගියේ මොනවද කරන්නෙ බලන්න.

"මොනවද නැන්දෙ හදන්නෙ...?"

"අග්ගලා..."

"ආව්ස්...කලු අග්ගලද?"

බත් අග්ගලා වලට මායි අයියයි ඉස්සර ඉඳන්ම කියන්නෙ කලු අග්ගලා කියලා. ඇයි ඉතින් ඒවා කලු පාටයිනෙ...ඇත්තම කිව්වොත් මං තමා ඕක පටන් ගත්තෙ. ඊට පස්සෙ අයියත් කලු අග්ගලා කියන්න ගත්තා. ඊට පස්සෙ අම්මයි අප්පච්චියි...අම්මත් ඒවා හැදුවම ආන් කලු අග්ගලා හැදුවා ඇවිත් කන්න කියනවා. දැන් ඉතින් පරම්පරාවටම ඒවා කලු අග්ගලා තමා.

"ඔව්...යද්දි පිඟානකට දාලා ටිකක් අරන් යන්න හොඳේ. මම කොහොමත් හවස් වෙලා අම්මට ගිහින් දෙන්න හිටියෙ."

"ඕක අහන්නත් දෙයක්ද...අරන් යන්නංකො පිඟන් එකට දෙකක්."

"දෙනවා බොට දෙකක් බලන් හිටපන්..."

ඔන්න ආවා මේ ගෙදර පුරුෂ පාර්ශවය. මට දෙකක් ඕන්නම් මම දෙකක් අරන් යනවා තමා...ඔය කාටවත් බෑ මාව නවත්තන්න.

"ආ ඔයා ආවද...වතුර ලිපේ තියන්නකො එහෙනම්. මම තේ හදන්නම්."

"මම තේ හදන්නම්...ඔයා අග්ගලා ටික හදන්නකො."

මම මේසෙ උඩ ඉඳන් කකුලත් පද්ද පද්ද ඒ දෙන්නා දිහා බලන් හිටියා. මෙහෙත් අපෙ ගෙදර වගේම තමා...ලස්සනට වැඩ බෙදාගෙන කරනවා. ගෑනු කෙනාම උයලා, තේ හදලා කන්න දෙන්න ඕනෙ කියලා එකක් නෑ. දැන් නැන්දා වැඩක නිසා මාමා තේ හදන්න යන්නෙ. මම ආසයි එහෙම රණ්ඩු නැතුව ගෙදර හැම වගකීමක්ම බෙදාගෙන කරන අය දකිද්දි.

මාමා එයාගෙයි නැන්දගෙයි කෝප්ප දෙක හෝදලා අරන් කබඩ් එකෙන් තව කෝප්ප දෙකක් එළියට ගත්තා.

"චූටි මාමෙ මේ...මම විතරයි ආවෙ හොඳේ."

මාමා කෝප්ප දෙකක් ගත්තෙ ඇයි කියලා අනුමාන කරලා මම කියද්දි එයා මගෙ පැත්ත හැරුණා.

"ඇයි...ලවන් ආවෙ නැද්ද?"

"නෑ එයාට අත්තම්මා කුරහන් අඹරනවා බලන්න ඕනෙලුනෙ..."

මම කියද්දි මාමා හිනාවෙලා එක කෝප්පයක් ආයෙ කබඩ් එක ඇතුළෙන් තිබ්බා. චූටි නැන්දා අග්ගලා හදලා ඉවර වුණාට පස්සෙ ඒවත් කාලා ඊයෙ ඉතුරු පැණි වළලු ටිකත් ඉවර කරලා ඒ පැණිරහ යන්න අලුත්ම ක්‍රිස්කො පෙට්ටියකුත් කඩලා කාලා අපි තුන්දෙනාම තේ බිව්වා.

තේ බීලා ඉවර වුණාම චූටි නැන්දා දවල්ට හදන්න මඤ්ඤොක්කා කොළයි එළබටුයි කඩාගන්න ඕන කියලා වත්ත පහළට ගියා. ඔන්න ඒ වෙලේ තමා චූටි මාමා මාව අල්ලගත්තෙ.

"මද්දු...වරෙංකො. උඹ එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන."

"ඇ-ඇයි චූටි මාමෙ...?"

"ඇයි කියලා උඹ හොඳටම දන්නවනෙ නේ...උඹව මෙහෙම අල්ලගන්න බැරිවෙයි කියලා මම ඒත් හිතුවෙ."

අර මම බොරුද කිව්වෙ...අම්මගෙ මොළේ එහෙම්ම මලයටත් පිහිටලා තියනවා. මාමා මාව එක්කන් ගියේ ඉස්සරහ මිදුලෙ තියන බංකුවකට. එන ගමන් ෆ්‍රිජ් එකේ තිබ්බ ඊජීබී කෑන් දෙකක් මාමා මගේ අතට දුන්න නිසා මම ආවෙ ඒකත් අරගෙන.

ඊජීබී කෑන් එක කඩලා මගෙ ගාවින් තිබ්බ චූටි මාමා පුටුවට හේත්තු වෙලා බලන් හිටියෙ මම කතා කරනකන් වගේ. මමත් කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව අතේ ඇඟිලි පොඩි කර කර ඒ දිහා බලන් හිටියා. විනාඩි පහක් විතර සද්දයක් නැතුවම ගෙවිලා යද්දි චූටිමාමා එයාගෙ ඊජීබී කෑන් එක කඩලා උගුරක් බිව්වා.

"උඹ පටන් ගන්නැත්තම් මමම පටන් ගන්නම්කො...මං උඹෙ වැරැද්දක් කියනවා නෙවේ. ඒත් කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්වම යාලු කරගන්න ඕනෙ වුණාද බං උඹට?"

අර මං බොරුද කිව්වෙ?? CIDයට හපන් මේ පවුල. මම දන්නවා අම්මා අප්පච්ච් කොහොමත් මාමට මේවා කිව්වෙ නෑ කියලා. එහෙනම් මාමා මේ ගැන මගෙන් අහන්නෙ මීටත් කලින්නෙ.

"මං කලින් කිව්වෙ චූටි මාමෙ...අපි අඳුරන්නෙ එයා කැම්පස් එකේ ලෙක්චරර් වෙන්න කලින්. අපි දෙන්නම දැනන් හිටියෙ නෑ ඒ ගැන. අනික- අනික එයාට වයස විසිපහයිනෙ...ලෙක්චරර් කෙනෙක් වුණාට වයස කෙනෙක් නෙවේනෙ."

එච්චර දේවල් කතා කරාට මොකද මම බිම බලාගෙනම ඔය හැමදේම කිව්වෙ. තාම මාමගෙ මූණ කෙලින් බලන්න බෑ වගේ. අනික ඉතින් අප්පච්ච්, අයියා වගේම තමා...චූටි මාමත් ඔය සම්බන්ධව ඕන තරම් දේවල් දැකලා ඇති ලෙක්චරර් කෙනෙක් විදිහට.

"උඹලා කොහොමද මුලින්ම හම්බුණේ...?"

"බුක්ෂොප් එකේදි-"

මම කියලා ඉවර කරන්නත් කලින් චූටි මාමා බිබී හිටපු ඊජීබී ටික බූස් ගාලා කටින් එළියට දාලා හිනාවෙන්න ගත්ත පාර මම එක පාරට ඔලුව උස්සලා නළලත් රැළි කරන් එයා දිහා බැලුවා.

"මොකද මාමෙ?!?"

"නෑ ඉතිං...බුක්ෂොප් එකේනම් ආයෙ අහන්න දෙයක් නෑ. දැක්ක ගමන් වශී වුණාද?"

චූටි මාමා අහද්දි මගෙ කටින් මනමාල හිනාවක් යන්න ආපු නිසා මම ආයෙම බිම බලාගත්තා. ඔව්නෙ...වසී වුණා තමානෙ.

"උඹෙ කටින් උත්තර ඕන්නෑ කොහොමත්...මට හිතාගන්න පුලුවන්."

ආයෙ දෙකක් නෑ...ඔය කියන්නෙ රෝස පාට කම්මුල් ගැන වෙන්න ඇති. වෙන මොකද්ද?

"අයියයි අක්කයි දන්නවද මේ ගැන...?"

"ඔව් මාමෙ...ඒ තුන්දෙනාම දන්නවා."

"ම්ම්...එහෙනම් කමක් නෑ. පොඩි අයියා කීයටවත් වැරදි තීරණ ගන්නෑ කියන්න මම දන්නවා. අනික උඹත්."

චූටි මාමා කිව්වෙ ඉස්සරහට වෙලා මගෙ ඔලුව යන්තම් අතගාන ගමන්. චූටි මාමගෙ මූණෙ කලින් තිබ්බ සැකේ නැතිවෙලා ගිහින් වගේ. ඒක දැක්කම මට දැනුණෙ කියන්න බැරි තරම් සතුටක්.

"උඹත් වැරදී තීරණ ගන්නෑ කියන්න මම දන්නවා...කොහොමත් ඒ කොල්ලා හරි වැදගත් පාටයි. කලින් මොන දේ හිතන් හිටියත් දැක්කට කතා කරාට පස්සෙ හරි හොඳ ළමයෙක් කියලා මට තේරුණා."

"එයා හොඳ කෙනෙක් මාමෙ..."

චූටි මාමත් ලවන්ව විශ්වාස කරන එක ගැන දැනුණ සතුටත් එක්ක මම මුමුණද්දි මාමත් මගෙ දිහා බලලා හිනාවුණා.

"උඹට ඌව හොඳනම් එච්චරයි. හැබැයි ඉතින්...සමහර දේවල් හංගන් ඉන්න තරමට තමා හොඳ."

මාමා මගෙ දිහාවත් බලන්නැතුව කොහෙදෝ බලන් ඊජීබී උගුරක් බොන ගමන් කියද්දි මම පුදුමෙන් එයා දිහා බැලුවෙ මේ මොන හරුපයක්ද කියන්නෙ බලන්න.

"මො-මොකද්ද මාමෙ...?"

මම ඇස් දෙකත් ලොකු කරන් අහද්දි මාමා යන්තම් මගෙ දිහා බලලා එහෙම්ම බෙල්ල දිහත් බලලා ආයෙම මුකුත් උන්නෑ වගේ අහක බලන් ඊජීබී එක බොන්න ගත්තා.

හෑ...මේ මනුස්සයා සීල් එකක්වත් තියලද?? මම උදේ ටී ශර්ට් එක දාගෙන කණ්ණාඩියෙන් බලද්දි එහෙම එකක් පෙනුන්නෑ කියලා මට හොඳට මතකයි. කෝකටත් කියලා කලබලෙන් වගේ මම චූටි මාමා බලපු තැනම බලද්දි- හපොයි...හරිනේ. උදේ මුකුත් පෙනුන්නැති වුණාට දැන් ශර්ට් එක කොලට් බෝන් එක ගාවින් එහෙ මෙහෙ වෙලා නිසා- මේ මොන විලි ලැජ්ජාවක්ද අප්පා.

ඊයෙ රෑ වුණ දේවල් වල අතුරු ප්‍රතිඵල තමා එහෙනම් මේ. ඊයෙ සූටි දෙයක් සිද්ධ වුණා ඉතින්...කොහොමත් ඊයෙ අර කොළ පාට නිම්නයේ බදාගෙන ඉඳලා අපි දෙන්නම ප්‍රේමයෙන් මුසපත් වෙලා හිටියෙ. ඒ නිසා ඉතින් කාමරේට ඇවිත් දොර වහගත්තට පස්සෙ වෙච්ච දෙයක්වත් මට මතක නෑ.

මම ඒක දැක්කා කියලා දැනගත්ත චූටි මාමා නෝණ්ඩියට වගේ හිනාවෙද්දි මම ටක් ගාලා ඒක ශර්ට් එක හරියට හදාගෙන වහගත්තා.

"ආහ්- ඒ මේ...මේ-"

"අනේ පලයං බං...මාමට බොරු කියලා පව් පුරවගන්නැතුව."

චූටි මාමා මගෙ පිටට සුපිරි පාරක් එල්ල කරලා හිනාවෙලා කියද්දි මමත් ගොනා සේ හිනාවුණා.

"ඔව්වා බැරිවෙලා හරි අපෙ අම්මට ඇහුනනම් තමා මරු හැබැයි..."

අන්න අන්න...එතන තමා චූටි මාමට වැරදුණු තැන. ලවන් එක්ක ඉද්දි ඒ දේවල් ප්‍රශ්නයක් නෙවෙයි. එයාට ඉතින් අපි දෙන්නව පේන විදිහ වෙනස් කරන්න පුලුවන් කියන්නෙ ඇහෙන දේවලුත් වෙනස් කරන්න පුලුවන් වෙන්න එපැයි. නැත්තම් වෙන දෙයක් පෙනිලා ඇත්ත දේ ඇහෙන්න ගත්තොත් එතන කිසි ගැලපීමක් නෑනෙ. ඒත් ඉතින් ඕවා කොහොමද මාමත් එක්ක කියන්නෙ.

ඒ නිසා ඉතින් මම චූටි මාමට කියන්න පුලුවන් ඉතුරු ටිකත් එයා එක්ක කිව්වා. හම්බුණ විදිහ,ගෙදරට කිව්ව විදිහ, එයා මගෙ පෆෝමන්ස් බලන්න එන විදිහ අනම් මනම්. හැබැයි ඉතින් අර කලින් කියපු චූටි බොරුවනම් එහෙම්ම කියන්න වුණා...බොරුව කියන්නෙ ලවන්ව මට හම්බුණේ කැම්පස් යන්න සති දෙකකට විතර කලින් කියන එක. ඒක ඉතින් අපාගත වෙන සයිස් බොරුවක් නෙවේනෙ.

කොහොමහරි ඉතින් ඇත්තයි බොරුයි ඔක්කොම කියලා ආයෙ ගෙදර යද්දි අත්තම්මා දවල් කෑම ලෑස්ති කරලා තිබ්බා. අත්තම්මා දවල්ට කන්න හදලා තිබ්බෙ කිරි කොස් මාලුවයි වැව් මාළුයි ගලේ අඹරපු පොල් සම්බෝලයි. හම්මේ දකිද්දිත් කටට කෙල උනනවා. මමයි ලවනුයි දෙන්නම දවල්ටත් උදේට වගේම බඩජාරියො දෙන්නෙක් වගේ ගිල්ලා. අදනම් ඩෙසර්ට් එකට පලතුරු විතරක් නෙවෙයි අයිස් ක්‍රීමුත් තිබ්බා.

ඇතිවෙන්න කාලා අපි දෙන්නා කෙලින්ම ගියේ ඇඳට...හුස්ම ගන්නත් අමාරුයි වගේ. ඇයි අප්පා උදේට කිරිබත් ගිලලා තේ බොද්දිත් හොඳට කාලා ඊට පස්සෙ දවල්ටත් බත් පිඟන් දෙකක් විතර කෑවම. පුදුමයි අපි දෙන්නම ගානට ෆිගර් එක මේන්ටේන් කරන් ඉන්නවා. නැත්තම් මේ කන කෑමට අලියෙක් වගේ වෙලා ඉන්න ඕන.

හොඳට කාලා හිටපු නිසායි ඒ වෙලාවයි එක්ක අපි දෙන්නම ඇඳට වැටුන ගමන් හොඳට නින්ද ගියා. ආයෙ ඇහැරුණේ හවස් වෙලා අත්තම්මා අපිව කූද්දද්දි. හපොයි...හවස හතරත් වෙලා. අපි පැය ගාණක් නිදාගෙන.

ඊට පස්සෙ ඉතින් ඇහැරලා පොඩ්ඩක් මූණ හෝදන් ඊයෙ අත්තම්මා කිව්වා වගේම ලවනුයි මායි මල් කඩන්න ගියා. මල් හොයන්න යන්නෙනම් වෙල ගාව අඩි පාරෙන් නෙවෙයි...ගෙදරට එන ප්‍රධාන ගේට්ටුවෙන් තියන පාරෙන්. මම ලවන්ට ගම වටේම පෙන්නන ගමන් පාර අයිනෙ තියන දාස්පෙතියා, පිච්ච, ඉද්ද වගේ මල් වලින් මල් වට්ටිය පුරවගත්තා. එයා ඒ මොහොත වින්ඳෙ ගොඩක් සතුටින්...මට ඒක හොඳටම තේරුණා.

හවස පහ විතර වෙද්දි අපි ආයෙම ගෙදර ඇවිත් නාලා කියලා පන්සල් යන්න ලෑස්ති වුණා. වෙලාවට මම ඊයෙ ඇඳගෙන ආපු ශර්ට් එක සුදට හුරු ලා පාට එකක්. නැත්තම් අපි අද ඉන්න ප්ලෑන් කරන් නෙවෙයිනෙ ආවෙ. ලවන්ටනම් චූටි මාමගෙන් සුදු ශර්ට් එකක් ඉල්ලගන්න වුණා.

රෑ කලුවර වැටෙන්නත් ළං වෙද්දි අත්තම්මයි ඩිංගිරි නැන්දයි එක්ක අපි දෙන්නා පන්සල් යන්න පිටත් වුණා. කොහොමත් මේ ගෙදර පේන මානෙනෙ. ගේ ගාවින් බැහැලා වෙල අයිනෙ අඩි පාර දිගේ යද්දි හතර වටින්ම මිනිස්සු පන්සල පැත්තට එනවා අපිට පෙනුණා. පන්සලේ ඇහෙන පිරිත් සද්දෙ, වෙනදටත් වඩා හොඳට දැනෙන මල් වල හඳුන්කූරු වල සුවඳ, හැමතැනම වැටිලා තිබුණ හඳ එළිය අපි පන්සලට ඇතුල් වෙන්න කලින්ම හරි නිස්කලංක හැඟීමක් අරන් ආවා.

අත්තම්මයි ඩිංගිරි නැන්දයි ගියේ අපි දෙන්නට ඉස්සරහින්. ලවන් ඇවිදන් ගියේ මට එහා පැත්තෙන්. ටිකින් ටික පන්සලට ළං වෙද්දිම ලවන් මගෙ අතින් යන්තම් අල්ලගන්නවා දැනුණ මම හිමින් එයා දිහා හැරිලා බැලුවා.

අනේ...එයාගෙ ඇස් දෙක සතුටින් දිලිසෙනවා. පන්සලේ දාලා තිබුණ කහ පාට, තැඹිලි පාට ලයිට් එළි එයාගෙ අලු පාට ඇස් දෙකට වැටිලා ඒවා රත්තරන් පාට වගේ අමුතුම පාටකින් දිලිසෙන්න අරන් තිබ්බෙ. ඒ ඇස් දිලිසුනේ ලයිට් එළිය නිසාම නෙවෙයි...සතුටටම එයාගෙ ඇස් වල පිරිලා තිබුණ කඳුලුත් එක්ක කියන එක මට අමුතුවෙන් තේරුම් කරවන්න ඕන වුණේ නෑ.

"ලවන්...?"

"අනේ මට ආසා හිතෙනවා විදුර්...මේ හැඟීමට ලෝබ හිතෙනවා. ඔයත් එක්ක පන්සල් යන්න මම කොච්චර ආසාවෙන්ද හිටියෙ."

එයා අවංකවම සතුටින් කියද්දි මගෙ ඇස් වලත් කඳුලු පිරෙනවා වගේ මට දැනුණා. මම අත් දෙකින්ම අල්ලන් හිටපු තිර හඳුන්කූරු ටික එක අතකට අරගෙන අනිත් අතින් එයාගෙ අත තදින් අල්ලගත්තා. මට කියන්න දෙයක් හිතාගන්න පුලුවන් වුණේ නෑ. මට කරන්න පුලුවන් වුණ එකම දේ ඒ හැම වෙලාවකදිම එයත් එක්ක ඉන්නවා කියන එක මගෙ ඇස් වලින් එයාට දැනෙන්න දෙන එක විතරයි. ඒක තේරුණ නිසාම වගේ ලවන් මාත් එක්ක ලස්සනට හිනාවුණා.

ඒ වෙද්දි අපි පන්සලට ඇතුල් වෙන පඩිපෙළ නගින ගමන් හිටියෙ. කොහොමත් පන්සල තියෙන්නෙ ගමේ ටිකක් උස් තැනකට වෙන්නනෙ. කාලෙකට පස්සෙ පෝයට ගමේ පන්සලට ආපු මටත් ඒ වෙනස හොඳටම දැනුණා. අම්මයි මායි හැම පෝයටම වගේ පන්සල් ගියත් මේ ෆීලින් එක දැනෙන්නෙ නෑ.

ඒ හැමතැනම තියෙන්නෙ එකම බුදුබණ තමයි, හැම බුදු පුතෙක්ම අපිට ආශිර්වාද කරන්නෙ එකම විදිහට තමයි. ඒත් ගමේ පන්සලේදි දැනෙන හැඟීම හරි වෙනස්...මම මේ කියන දේ ඔයාලට තේරෙනවා ඇතිනෙ.

පන්සලට ඇතුල් වුණ ගමන්ම අත්තම්මට ඉස්සර එකට සිල් ගන්න ගියපු අත්තම්මලා වගයක් හම්බුණ නිසා අත්තම්මයි ඩිංගිරි නැන්දයි දෙන්නම ටිකක් නැවතුනා. ඒ නිසා අපි හදපු මල් වට්ටි දෙකෙන් එක මල් වට්ටියක් අරන් අපි දෙන්නා වෙනම වන්දනා කරන්න ආවා.

"මුලින්ම බුදු මැදුරට නෙවෙයිද යන්නෙ විදුර්...?"

අපි වන්දනා කරන්න චෛත්‍ය ගාවට යද්දි ලවන් ඇහුවා.

"ආහ් එදා මාළිගාවෙදි මට ඔයාට කියන්න බැරිවුණානෙ...අපි සාමාන්‍යෙන් මුලින්ම වන්දනා කරන්නෙ චෛත්‍යයට. ඊට පස්සෙ බෝධීන් වහන්සේට. ඊටත් පස්සෙ තමා බුදු මැදුර වන්දනා කරන්නෙ."

"ඔහ්...එහෙමද?"

"ඔව්...අපි මෙතන මල් පූජා කරලා බෝධීන් වහන්සේ ගාව ගාථා කියලා වන්දනා කරමු. එතන නිදහස්."

"ම්ම්..."

මම ලවන් එක්ක චෛත්‍යයට මල් පූජා කරලා වන්දනා කරා. මල් පූජා කරද්දිත් ලවන් මගෙ දිහා බලන් ඉන්න්වා කියලා මට දැනුණත් මම එයා දිහා බැලුවෙ නෑ...මට එහෙම බලන්න තරම් හයියක් නෑ කියන එක ඒ වෙලේ මට හොඳටම දැනුණා. ඒ තරම් එයාගෙ බැල්ම බරයි. එයා ඔය විදිහට බලන්නෙ උපරිමෙන් ආදරේ හිතුණ වෙලාවට.

බෝධීන් වහන්සේ වැඩ ඉන්නෙ චෛත්‍ය ගාවින්ම පොඩි පඩිපෙළකින් උඩට ගිහාම. අපි දෙන්නම හිමින් ඒ පැත්තට ඇවිදන් යද්දි මම යන්තම් මගෙ අත ලවන්ගෙ අතේ පටලගත්තා. මේක පවක් නෙවෙයිනෙ...අපි පන්සල් වත්තෙ අසෝබන විදිහට හැසිරුණේ නෑනෙ. ලවන් වුණත් මගෙ අත තද කරලා අල්ලගත්තෙ නෑ...යන්තම් මගෙ අතේ පටලගත්තා විතරයි.

"විදුර්...?"

"ඔයා දන්නවද ලවන්. අත්තම්මා කියලා තියනවා...අපි බෝධීන් වහන්සේ දිහා බලන් හිතින් ප්‍රාර්ථනාවක් කරාම අපි ඒ හිතන දේ කිරණක් විදිහට මේ බෝ කොළ, බෝ අතු අතර රැඳෙනවලු. අපි බෝධීන් වහන්සේ දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරාම ඉෂ්ට වෙන්නෙ ඒකලු."

මම බෝ මළුවට ඇවිත් නැවතිලා බෝ අතු දිහා බලාගෙන කියද්දි ලවනුත් මගෙ එහා පැත්තෙන් හිටගෙන මගෙ දිහා බලාගෙන හිටියා.

"මට කරන්න තියෙන්නෙ එකම එක ප්‍රාර්ථනාවයි විදුර්...ඔයා ඒක හොඳටම දන්නවා."

ලවන් කියද්දි මම හැරිලා එයා දිහා බැලුවා. එයාගෙ ඇස් වල තිබුණෙ උතුරලා යන තරම් ආදරයක්. මම ඒක දන්නවා ලවන්...අපි දෙන්නට ඒක අනිවාර්යෙන් කරන්න පුලුවන්. මම ඒක දන්නවා.

මම හිතින් හිතන දේ තේරුණ නිසාම වගේ ලවන් මගෙ දිහා බලලා ආදරේ හිතෙන විදිහට හිනාවුණා. ලවන් තවත් ටික වෙලාවක් බෝධීන් වහන්සේ දිහා බලන් හිටියට පස්සෙ මම එයාගෙ අතින් අල්ලන් මල් පූජා කරන තැනට එක්කන් ගියා. බෝධීන් වහන්සේ ගාව සාමාන්‍යෙන් අටවිසි බුදුවරුන්ගෙ පිළිමත් තියනවනෙ. මම එයාට ඒ ගැනත් කියලා දෙන ගමන් එතන පහන්, හඳුන් කූරු පත්තු කරා.

පැන් කළ දෙකකුත් හෝදලා ගත්ත අපි ඒවට වතුර පුරවලා මල් ආසනේ උඩින් තියලා පැත්තක එළලා තිබුණ පැදුරකින් වාඩි වුණේ වන්දනා කරන්න. මම ලවන් එක්ක මාළිගාවට ගිය දවසෙ වැල් බෝධිය ගාව බෝධි පූජාවක් තිබ්බ නිසා එයාට ඒක අලුත් දෙයක් නෙවෙයි. අපි ගාථා කියලා බෝධි පූජාවත් තිබ්බට පස්සෙත් ටිකක් වෙලා කතා කර කර හිටියා. ඒ වෙලාවෙ ලවන් හිටියෙ ගොඩක් සැහැල්ලුවෙන්. ඇත්තටම අපෙ සාමාන්‍ය ජීවිත අපි ගෙවන්නෙ කොයි තරම් දේවල් හිතේ තියාගෙනද? අපි දෙන්නම හැම ඒ හැම දෙයක්ම අමතක කරලා ගොඩක් සැහැල්ලුවෙන් සතුටෙන් මේ වෙලාවෙ කතා කරන එක ගැන මට දැනුණෙ ලොකු සතුටක්.

මම ලවන්ව බුදු මැදුරටත් එක්කන් ගිහින් ඊට පස්සෙ පන්සලේ ලොකු හාමුදුරුවන්වත් මුණ ගැස්සුවා. ටික වෙලාවක් කතා කර කර ඉද්දි ලවන්ව ලොකු හාමුදුරුවන්ගෙ හිතටත් ඇල්ලුවා කියන එක මට තේරුණා. ලොකු හාමුදුරුවො ලවන්ගෙ අතේ පිරිත් නූලක් බැඳලා දෙද්දිත් එයාගෙ ඇස් දෙක දිලිසුණේ ගොඩක් සතුටින්.

අත්තම්මා රෑ වෙනකන්ම බෝධි පූජාවට ඉන්නවා කිව්වත් අපි දෙන්නා කතා වුණේ කලින්ම යන්න. හෙට උදේම ආපහු යන්න එපැයි. වටපිටාවෙ ලස්සනත් බල බල පන්සලේ පඩිපෙළ බැහැපු ලවනුයි මායි හිමින් අඩි පාර දිගේ ඉස්සරහට ඇවිදන් යන්න ගත්තා. තවමත් පන්සලේ පිරිත් සද්දෙ මෙතෙන්ට ඇහෙනවා.

"විදුර්..."

"ම්ම්..."

"ඔයාට පින්...මගෙ ජීවිතේ මේ තරම් ලස්සන කරනවට ඔයාට පින් විදුර්."

ලවන් කියද්දි මම එක පාරට එයාගෙ අතින් අල්ලගත්තා.

"අනේ ලවන්...එහෙම කියන්න එපා. මම ඔයාට ආදරෙයිනෙ. මම මේ හැම දෙයක්ම කරන්නෙ ඒ නිසානෙ."

මම කියද්දි ලවන් මගෙ උරහිස වටේ අත දාලා මාව ළං කරන් නළල පැත්තකින් හාද්දක් තිබ්බා.

"අපි ආයෙත් එමු හොඳද...අත්තම්මව බලලා යන්න, පන්සල් යන්න."

ලවන් ඒක කිව්වෙ ඊයෙ වගේ දුකින් නෙවෙයි...පන්සල් ගියාට පස්සෙ එයාගෙ හිත ගොඩක් සැහැල්ලු වෙලා කියලා මට දැනුණා.

"ඔයා ඔච්චර ආසනම් මට එක්සෑම් ඉවර වුණාම ආයෙ එමු..."

මමත් ලවන්ගෙ ඉන ගාවින් අත දාන් එයාට තව ටිකක් ළං වෙන ගමන් කිව්වා.

"ඇත්තටම...?!?"

"ඔව්..."

ලවන්ගෙ සතුටින් එළිය වුණ ඇස් දෙක දිහා මම බලන් හිටියා. ගමට එන එකටම විතරක් නෙවෙයි...එයා කැමති ඒ දැනෙන නිදහසට, ඒ නිදහසත් එක්ක මාත් එක්ක ඉන්න එක කියන්න මම දන්නවා. මට ගොඩක්ම ආදරේ හිතෙන්නෙ එයාගෙ හිතේ තියන ඒ පොඩි පොඩි බලාපොරොත්තු වලට.

"මම ඔයාට ආදරෙයි විදුර්..."

හරියට මගෙ හිතේ තියන දේ කියෙව්වා වගේ ලවන් මගෙ ඇස් දෙක දිහා බලන් කිව්වා.

"මමත් ආදරෙයි ලවන්..."

මම එයා දිහා බලන් කියද්දි මගෙ දිහාවට බරවුණු ලවන් ගොඩක් ආදරණීය හාදුවක් මගෙ නළලින් තියද්දි ඒ හැඟීමට අවනත වුණ මම ඇස් දෙක පියාගත්තා.

----------------

අද කියන්න විශේෂ දෙයක් නැති එකේ මේ දෙන්නගෙ නම් දෙක හැදුණ විදිහ ගැන කියන්න හිතුණා.

මගෙ අම්මිගෙ හොඳම යාලුවෙක්ගෙ පුතෙක් ඉන්නවා විදුර කියලා. ඒ නමට මම ගොඩක් ආසයි. නම ලස්සන වුණාට ඒ මනුස්සයගෙ චරිතෙ කැතයි. අපි අර කියන්නෙ අම්මට තාත්තටවත් නැති මිනිස්සු කියලා. අන්න එහෙම එක්කනෙක්. පුදුම විදිහට දෙමව්පියන්ගෙ හිත් රිද්දන්නෙ. කොහොමහරි ඔය නමට ආසා නිසා මම මුලින් විදුර කියලා තමා කැරැක්ටර් එකට නම දාන්න හිටියෙ. ඒත් එහෙම දැම්මොත් අර මනුස්සයව මතක් වෙනවා. අපෙ විදුර් කොල්ලා කොච්චර හොඳ කෙනෙක්ද කියන්න ඔයාලා දන්නවනෙ. ඒ වගේ කෙනෙක්ට අර වගේ නමක් දාන එකත් අපරාදෙ. ඒ නිසා මුලින් හිතපු නමට හල් කිරීමක් එකතු කරලා විදුර් වුණා.

අනිත් එක...මගෙ හොඳම යාලුවෙක් ඉන්නවා ලවන්‍යා කියලා. කැම්පස් එකේ අපි හිටියෙ එක සෙට් එකේ. ඒ නමටත් මම ගොඩක් ආසයි. ඉතින් අනිත් මේල් කැරැක්ටර් එකට මට ලවන්‍යා කියන එකේ මේල් වර්ශන් එක දාන්න හිතුණා. ඒක මම මගෙ යාලුවට කියලා මුලින් අවසරත් ගත්තා 😂 ඔයාගෙ නමේ මේල් වර්ශන් එක මම කතාවකට ගන්නවා කියලා. ඇත්තටම මෙහෙමයි...ලවන්ගෙ ෆික්ෂනල් වර්ල්ඩ් නේම් එක ලෙවින් කියන එක ඔයාලට තේරෙනවනෙ. ප්‍රොෆෙසර්ගෙ නම මොකද්ද කියන එක මම පළවෙනි චැප්ටර් එකේම දාලා ඇති. මට මුලින් ඕන වුණේ එයාගෙ ෆික්ෂනල් නේම් එක ලවන්‍ය කියලා දාලා රියල් වර්ල්ඩ් නේම් එක ලවන් කරන්න. ඒත් එක්තරා හේතුවකට ඒක ලෙවින් කරන්න වුණා. හේතුව ඉස්සරහ චැප්ටර්ස් වල ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන විස්තර කරද්දි කියන්නම්.

මුල් නම් දෙක හිතුවම ඉතින් රවීෂ, චාතුර්ය කියන නම් දෙක ඉබේම ඔලුවට ආවා ගැලපෙන විදිහට 😁

ඔන්න ඕකයි කතාව. එනිවේ ගමේ සීන් ඉවරයි හොඳේ...ආයෙ ටවුමට යමු.

Share This Chapter