Back
/ 35
Chapter 28

Part 26

සීමාවෙන් එහා

"මාස්ටර්..."

Intermediate room එකේ පොත් රාක්ක කීපයක් මැදින් තිබුණ පුංචි මේසේ ගාව පුටුවක, කවදත් තිබුණ ගාම්භීර පෙනුමෙන් වාඩිවෙලා හිටපු Alison Greenwood වුණ තමන්ගෙ මාස්ටර් ගාවින් හිටගත්ත ලවන් කතාකරා.

තරමක් තරබාරු තරුණවිය යන්තමින් පසු කරමින් ඉන්න කාන්තාවක් වුණ ඇලිසන්ගෙ රතු කොණ්ඩෙ, ලඟ තිබුණ පහන් එළිය නිසා දිස්නෙ දෙන්න අරන් තිබුණෙ හරිම ලස්සන විදිහට. කතා කරන්න ඇස් මුණ ගැහුණ තප්පරේදි ලවන් ඇලිසන්ගෙ ඇස් දෙක දිහා බැලුවා.

ඒවගෙ කිසිම තරහක්වත් වෛරයක්වත් නෑ...තිබුණෙ කුතුහලයක්, එහෙමත් නැත්තම් බයක්. මාස්ටර්ගෙ ඇස් දෙකේ තරහක් නෑ කියලා දැනගත්ත ලවන්ට මොහොතක සැනසීමක් දැනුනත් එයාගෙ හදවතේ ගැස්මෙ වේගෙනම් අඩු වුණේ නෑ. මාස්ටර්ගෙ ඇස් දෙකේ තිබුණ බය දැක්කම් ඒ ගැස්ම තවත් වැඩිවුණා කිව්වොත් හරි.

"ලෙවින්...ඉඳගන්න දරුවො."

ඇලිසන් ළඟින් තියන පුටුව සන් කරද්දි ලවන් එතනින් ඉඳගත්තෙ අමුතු හැඟීමක් එක්ක. මාස ගාණකින්ම ලවන් තමන්ගෙ ඇත්ත නම පාවිච්චි කරලා නෑ...පුරුදු විදිහටම ලංකාවට ආපු දවසෙ ඉඳන් ලවන් පාවිච්චි කරේ තමන්ට සිස්ටම් එකෙන් ලැබුණ 'ලවන් චාතුර්ය' කියන නම.

ලංකාවට විතරක් නෙවෙයි...වෙන හැම රටකටම යද්දි එහෙමයි. ෆික්ෂනල් වර්ල්ඩ් එකේදිත් හැමෝම කොහොමත් එයාට කතා කරේ ඇත්ත නම වුණ ලෙවින් කියන නමින් තමයි. ඒත් පළවෙනි වතාවට ලවන්ට තමන්ගෙ ඇත්තම නමේ අමුත්තක් දැනුණා.

මාස ගාණක් තිස්සෙ එයා ආදරේ කරපු කෙනා එයාට කතා කරපු නම, විදුර්ගෙ ලස්සන කටහඬින් හැමදාම කියවුණ 'ලවන්' කියන නම මේ වෙද්දි ලවන්ගෙ හිත කොනකම තැන්පත් වෙලා තිබුණෙ තමන්ට අවුරුදු ගාණක්ම 'ලෙවින්' විදිහට ජීවිතයක් තිබුණා කියන එකත් අමතක කරවන ගමන්. මෙච්චර කාලයක් තමන්ගෙ අනන්‍යතාව වුණ ලෙවින් වෙනුවට හැමදාම විදුර්ගෙ ලවන් වෙන ආසාව දැන් දැන් ලවන්ට තදින්ම දැනෙන්න ගත්තා.

"කොහොමද ලෙවින්...හොඳින් ඉන්නවද?"

"මම හොඳින් මාස්ටර්..."

වෙනසක් නොපෙන්වා ලවන් කියද්දි ඇලිසන්ගෙ මූණෙ යන්තමින් හිනාවක් ඇඳුනා.

"එතකොට වොරන්...එයත් හොඳින් ඉන්නවද?"

"ඔව් මාස්ටර්...එයත් හොඳින්."

"ම්ම්...ඔයාලා හොඳින් ඉන්නවනම් මට ප්‍රශ්නයක් නෑ. ඒ අතරෙම ඔයාලා මතක තියාගන්න ඕන හැමදෙයක්ම අමතක නෑ කියලත් මම හිතනවා."

සුපුරුදු සන්සුන් කටහඬින් ඇලිසන් කියද්දි ලවන් පොඩ්ඩක් ගැස්සුණත් එයා ඒක නොපෙන්වා ඉන්න උපරිම උත්සාහ කරා.

"මාස්ටර්...?"

"මං හිතන්නෙ මම කතා කරන්නෙ මොකක් ගැනද කියලා ලෙවින් හොඳටම දන්නවා...නැත්තම් මේ කලබලේ මට ඔයාව ගෙන්නන්න හේතුවක් නෑනෙ. ම්ම්?"

ඇලිසන් කියන්නෙ මොකද්ද කියන එක ගැන හොඳටම දැනගෙන වුණත් ලවන් ඒ කිසිම දේකට උත්තර නොදී බිම බලාගෙන හිටියා. කරන්න පුලුවන් ලොකුම වැරැද්ද කරලත් මාස්ටර් තමන්ට වචනයක් නොකියන එක ගැන ලවන්ගෙ හිතේ තියෙන්නෙ ලොකු ගිල්ටි ෆීලින් එකක්.

"ලෙවින්...මට බය වෙන්න ඕනෙ නෑ දරුවො. අපි ඉස්සර වෙලා කතා කරමුකො ම්ම්?"

"...."

"මට කියන්න එයා ගැන..."

ඇලිසන් කියනවත් එක්කම ලවන් බයවෙලා වගේ ඔලුව උස්සලා බැලුවා. ලවන්ගෙ මූණ එක පාර වෙනස් වුණ විදිහ දැක්ක ඇලිසන් ඒකට දුන්නෙ සන්සුන් හිනාවක්.

"ඔයාව දැකලා තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ විලියම් රොබර්ට්ස් කියන ඕතර්ගෙ කෙනෙක්. එයා මේ ගැන එයාගෙ මාස්ටර්ට කෙලින්ම කිව්වෙත්, විලියම් මේ ගැන කෙලින්ම ඔතෝරිටි එකට නොකියා මටම ඉන්ෆෝර්ම් කරෙත් ඔයා ගැන හිතලා ලෙවින්...ඒ නිසා ඒ කිසි කෙනෙක් ගැන තරහක් තියාගන්න එපා."

"...."

"මේ ගැන කෙලින්ම ඔතෝරිටි එකට කිව්වනම් වෙන දේ මම ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..."

"මට තේරෙනවා මාස්ටර්..."

"ම්ම්...එහෙනම් දැන් මට හැම විස්තරයක්ම කියන්න ලෙවින්. මට නොකියන්න බැරි දෙයක් මගෙ දරුවොන්ට තියෙන්න විදිහක් නෑනෙ."

පුරුදු සන්සුන් හිනාවෙන්ම ඇලිසන් කියද්දි ලෙවින් තප්පර ගාණක් ඇලිසන්ගෙ ඇස් දෙක දිහා බලන් හිටියා. මාස්ටර්ට නොකියන්න බැරි දෙයක් ලවන්ට නෑ තමා...ඇලිසන් තමන්ගෙ කැරැක්ටර්ස් ඔක්කොටම සැලකුවෙ ඒ තරම් ආදරෙන්. තමන්ගෙ කැරැක්ටර්ස් වෙනුවෙන් ඕන වෙලාවක පෙනී ඉන්න කෙනෙක් විදිහට ඇලිසන් ඕතර්ස්ලා අතර පවා ප්‍රසිද්ධ කෙනෙක්.

"එයා- එයාගෙ නම විදුර්."

නම කියනවත් එක්කම ලවන්ගෙ අලු පාට ඇස් දිස්නෙ දෙන්න ගත්ත විදිහ ඇලිසන්ට නොපෙනුනා නෙවෙයි. තමන් හිතුවටත් වඩා මේ සම්බන්ධෙ බරපතල බව ඇලිසන්ට ඉවෙන් වගේ තේරුණේ ඒ වෙලාවෙ.

"ඉතින්...ඔයාලා කොහොමද මුණ ගැහුනෙ?"

කතාව දැනගන්න අවංකවම ඇලිසන් උනන්දුයි කියලා තේරුම් ගත්ත ලවන් විදුර්ව මුලින් දැකපු මොහොතෙ ඉඳන්, එයාව මුලින් බුක්ෂොප් එකේ හම්බුණ මොහොතෙ ඉඳන් හැම දෙයක්ම කිව්වෙ ගොඩක් උද්‍යෝගෙකින්. අමුතු බයකින් intermediate room එක ඇතුළට ආවත් ඒ මාංශ පේෂි හැම එකක්ම ලිහිල් වෙලා ගොඩක් සැහැල්ලුවෙන්, එළිය වුණ ඇස් දෙකකින් ලවන් විදුර් ගැන කතා කරන හැටි ඇලිසන් බලාගෙන හිටියා.

මාස පහකදි වුණ හැම විශේෂ දෙයක්ම ලවන් කියලා ඉවර වුණාට පස්සෙ ඇලිසන් ලොකු කල්පනාවකට වැටුණා. එයා ආයෙම කතා කරන්න පටන් ගත්තෙ බර හුස්මක් පහළ දැම්මට පස්සෙ.

"දරුවො...ඔයාලා දෙන්නා ඒ තරම් දුර ගිහින්ද?"

"මම විදුර්ට ආදරෙයි මාස්ටර්...ගොඩක් ආදරෙයි. එයත් ඒ වගේම මට ආදරෙයි."

ඇලිසන් අහපු ප්‍රශ්නෙට ලවන්ට දෙන්න පුලුවන් වුණ එකම උත්තරේ ඒක. ලවන්ගෙ ඇස් දෙක දිහා විනාඩියක් විතරම බලන් හිටපු ඇලිසන් පුටුවට බර දීලා හේත්තු වුණේ ලොකු කල්පනාවක් එක්ක.

"ඒත්...ඔයාලගෙ අනාගතේ ගැන මම අමුතුවෙන් මතක් කරන්න ඕනද ලෙවින්? වෙන්න පුලුවන් හැම දෙයක්ම දැනගෙන නේද ඔය සම්බන්ධෙ පටන් ගත්තෙ?"

ඇලිසන් අහද්දි ලවන්ගෙ ඇස් දෙකේ තිබ්බ දිස්නෙ නැති වෙලා ආයෙම අලු පාටත් එක්ක බැඳුන හැඟීම් විරහිත කමින් පිරෙනවා ඇලිසන් බලාගෙන හිටියා. ලවන්ගෙයි විදුර්ගෙයි ආදරේ ගැන ඇලිසන්ට සැකයක් නෑ. ඒත්...කොයි විදිහකින්වත් ඒ දෙන්නට එකට ඉන්න බෑ. මීට කලින් තමන්ගෙම කැරැක්ටර් එකක් මේ නීතිය කඩන්න ගිහින් අදටත් විඳවනවා බලන් ඉන්න ඇලිසන්ට ආයෙම ඒ දේ දකින්න කිසිම වුවමනාවක් නෑ.

අවුරුදු දහයකට කලින් ඔතෝරිටි එක ඉස්සරහ සිතුම්ය, එහෙමත් නැත්තම් ඇත්තම නමින් වොරන්ගෙ ආදරේ වෙනුවෙන් තමන් කතා කරපු හැටි ඇලිසන්ට අදටත් මතකයි. ඒත් අන්තිමට වුණේ කවුරුත් හිතපු නැති දෙයක්. ඔය සිද්ධිය සිතුම්යට වගේම ඇලිසන්ටත් සෑහෙන්න මානසිකව බලපාපු බවත්, ඒ සිද්ධියෙන් පස්සෙ එයා අවුරුදු ගාණක් ලියන්නෙ නැතුව ඒ හැමදේකින්ම ඈත් වෙලා හිටපු බවත් හැමෝම දන්න දෙයක්.

මිතූට වුණ දේ ගැන ඇලිසන් තමන්ටම දොස් පවරගත්ත බවත් ලවන් දන්නවා. සමහරවිට ඇලිසන් ඒ දෙන්නා වෙනුවෙන් පෙනී හිටියෙ නැත්තම්...දෙන්නට එකතු වෙන්න බැරි වුණත් දෙන්නා ලෝක දෙකක හරි ජීවත් වේවි, අමතක කරන්න බැරි ආදරේ හිතේ තියන් වුණත් දෙන්නම හුස්ම ගනීවි, ටික කාලයක් යද්දි හිත හදා ගනීවි.

මේ සිද්ධිය එක්කනෙක්ගෙ ජීවිතේ නැති කරලා නවතීවි කියලා කවුරුත් දැනන් හිටියෙ නෑ. ඒක ඇලිසන්ගෙ වැරැද්දක් නෙවෙයි කියලා හැමෝම එයාට ඒත්තු ගන්නන්න හැදුවත් ඇලිසන් ඒක පිළිගන්න ලෑස්ති වුණේ නෑ. මේ හැමදෙයක්ම අමතක කරලා ආයෙම ලියන්න පටන් ගන්න හිත හදාගන්න ඇලිසන්ට අවුරුදු පහකට වඩා ගතවුණා. එහෙම අතීතයක් තියන ඇලිසන් ආයෙම ඒ වැරැද්ද කරන්නෙ නෑ කියන්නත්, තමන්ගෙ මාස්ටර් කිසිම විදිහකින් ඔතෝරිටි එක ඉස්සරහ තමන් වෙනුවෙන් කතා කරන්නෙ නෑ කියන්නත් ලවන් දන්නවා.

"මම දන්නවා මාස්ටර්...මම- මම පිළිගන්නවා."

"ආයෙම මේ වගේ තැනකට මාව දැම්මෙ ඇයි දරුවො...වොරන් ඔයාගෙ හොඳම යාලුවා වෙලත්, එයාගෙ කතාව මුල ඉඳන් දැනගෙනත් ඇයි මේ වගේ දෙයක් කරේ?"

"මම මාස්ටර්ට කිසිම ප්‍රශ්නයක් වෙන්න තියන්නෙ නෑ...මාව විශ්වාස කරන්න."

ඇලිසන් ගොඩක් අසරණව අහද්දි ලවන්ට දෙන්න වෙන උත්තරයක් තිබුණෙ නෑ. විදුර්ට වැරැද්දක් කරන්න ලවන්ට ඕන නෑ වගේම...තමන් නිසා මාස්ටර් විඳවනවා බලන්නත් ලවන්ට ඕන නෑ.

"හරි- මට කියන්න ලෙවින් මොකද කරන්න ඉන්නෙ කියලා. කවදාහරි ඔයාට ආයෙම එන්න වෙන දවසක් ඒවි...එදාට මොකද කරන්නෙ?"

ලවන්ගෙ ඇස් දෙක දිහා බලාගෙනම ඇලිසන් අහද්දි ලවන්ට එක පාරට දෙන්න උත්තරයක් මතක් වුණේ නෑ...ඒත් එයාට වෙන දෙයක් මතක් වුණා.

"උඹ විදුර්ට ආදරෙයි තමයි...ඒත් අමතක කරන්න එපා උඹ තාම ඉන්නෙ උඹට මුකුත් කරගන්න බැරි රියල් වර්ල්ඩ් එකේ කියලා. ඒ නිසා අහන දේවල් වලට හොඳට හිතලා බලලා උත්තර දීපන්."

සිතුම්ය කිව්වෙ මේ වගේ වෙලාවක් ගැන කියලා තේරෙන්න ලවන්ට වැඩි වෙලාවක් ගියෙ නෑ...මේ වෙලාවෙ තමන් කරන්න හිතාගෙන ඉන්න දේවල් මාස්ටර් එක්ක කිව්වොත්, තමන් ආයෙම විදුර් ගාවට එන්න හිතන් ඉන්නවා කිව්වොත්, විදුර්ව කොහොමහරි එයාගෙ කරගන්නවා කියලා කිව්වොත් වෙන්න පුලුවන් දේවල් එච්චර සුභ නෑ කියලා ලවන් දන්නවා.

ලවන් මේ හදන්නෙ එයාලගෙ ලෝකෙ නීති ඔක්කොම බිඳින්න...තමන්ට කොච්චර ආදරේ වුණත් මාස්ටර් එහෙම දේකට ඉඩ නොතියන බව ලවන් දන්නවා. ලවන්ගෙ කැරැක්ටර් එක ඩිලීට් කරලා දාන්න තරම් මාස්ටර් නපුරු නොවුනත්, විදුර් පොත කියවලා ඉවර වෙලා ආයෙම තමන්ට ෆික්ෂනල් වර්ල්ඩ් එකට අඩිය තියන්න පුලුවන් වෙනකන් තමන්ව මේ intermediate room එකේ හිර කරලා තියන එක ඇලිසන්ට මහ දෙයක් නෙවෙයි.

මාස්ටර් එහෙම කරන්නෙ තමන්ගෙම හොඳට කියන්න ලවන් දන්නවා. ඒත් විදුර්...හරියට සමුගන්නෙවත් නැතුව තමන් එක පාරට ආගිය අතක් නැතිවෙද්දි විදුර් පත්වෙන තත්වෙ ගැන ලවන්ට හිතාගන්න බැරිකමක් නෑ. තමන් කරන්න හිතන් ඉන්න හැමදේම දැන් මාස්ටර්ට කිව්වොත් වෙන්න පුලුවන් හැමදේම ලවන් තේරුම් ගත්තෙ බොහොම පොඩි කාලයක් ඇතුළත.

මාස්ටර් ලවන්ව intermediate room එකේ හිර කරාවි, ආයෙම ෆික්ෂනල් වර්ල්ඩ් එකට තමන්ට යන්න පුලුවන් වුණ හැටියෙම මාස්ටර් ලවන්ව ෆික්ෂනල් වර්ල්ඩ් එකට යවාවි, ඒත්...ආයෙ රියල් වර්ල්ඩ් එකට මොනම විදිහකින්වත් එන්න බැරි වෙන්න තමන්ගෙ අයිඩී එක බ්ලොක් කරාවි. නුවරට, ලංකාවට විතරක් නෙවෙයි...රියල් වර්ල්ඩ් එකට ඕපන් වෙන දොර හරහා මොනම විදිහකින්වත් තමන්ට ක්‍රොස් කරන්න බැරි වේවි.

මාස පහක් තිස්සෙ ලස්සනට ගලාගෙන ආපු ආදර කතාවට මෙහෙම අවසානයක් දෙන්න ලවන්ට කීයටවත් ඕනෙ නෑ...ආයෙමත් විදුර්ගෙ මූණවත් බලන්න බැරිවෙන විදිහෙ කිසිම දෙයක් කරන්න ලවන්ට ඕන නෑ. සිතුම්ය කිව්වා හරි. මේ වෙලාවෙ උත්තර දෙන්න ඕන හදවතින් නෙවෙයි...මොළෙන්.

"මම- මම එයාව අමතක කරන්නම් මාස්ටර්."

තමන් මොනම විදිහකින්වත් බලාපොරොත්තු නොවුණ උත්තරයක් ලවන් දෙද්දි ඇලිසන් ඇස් දෙකත් ලොකු කරලා පුදුමෙන් එයා දිහා බැලුවා.

"අමතක කරන්න?? ඒ කිව්වෙ...සම්බන්ධෙ නවත්තන්න?"

"ම්ම්..."

"ඔයා...විදුර්ට ආදරේ නැද්ද ඒ කියන්නෙ?"

තමන් මේ කියන්නෙ බොරුවක් වුණත් මාස්ටර්ගෙ කටින් නිකමට හරි එහෙම දෙයක් කියවෙද්දි ලවන් ගැස්සුණා. මේ හැමදේකටම වඩා, තමන්ගෙම පණටත් වඩා ලවන් විදුර්ට ආදරෙයි කියලා කොහොමද මාස්ටර්ට අඟවන්නෙ?? ඒත්...දැන් වෙන්න ඕන ලොකුම දේ ඒක නෙවෙයි.

"මම විදුර්ට ආදරෙයි මාස්ටර්...වචනෙන් කියන්න බැරි තරම් මම එයාට ආදරෙයි. ඒත්- අපෙ ලෝකෙ නීති එක්ක කවදාවත් අපිට එකට ඉන්න බෑ කියන්න මම දන්නවා."

"...."

"මම ආයෙ ෆික්ෂනල් වර්ල්ඩ් එකට ගිය ගමන් එයාව අමතක කරන්නම්...විදුර් ඒක තේරුම් ගනීවි. මම දන්නවා."

"එයා තේරුම් ගනී කියලා ලෙවින් හිතනවද...?"

"විදුර් මට ගොඩක් ආදරෙයි මාස්ටර්...කවදාවත් මට විඳවන්න වෙන විදිහෙ දෙයක් එයා කරන්නෙ නෑ. මේ හැමදෙයක්ම දැනගත්ත දවසක එයා තේරුම් ගනීවි."

"ඔයාගේ තීරණේ ඒකනම් මටත් ගොඩක් ලේසි දරුවො..."

"මම මාස්ටර්ට කිව්වනෙ...මම කීයටවත් මාස්ටර්ට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ. ඒත්- මට එක ඉල්ලීමක් තියනවා."

"මොකද්ද ලෙවින්...?"

"මට ආයෙම යන්න දෙන්න මාස්ටර්...මම පොරොන්දු වෙනවා මගෙ කාලෙ ඉවර වුණ ගමන් ආයෙම එනවා කියලා. එතකන් මට විදුර් එක්ක ඉන්න දෙන්න-"

"දරුවො...ලෙවින්. ඔයා දන්නවා-"

"මාස්ටර් ප්ලීස්...මට එක පාරට විදුර්ව එහෙම අමතක කරන්න බෑ. එයාව එහෙම දාලා එන්නත් බෑ. එයා අඩු ගාණෙ මම කවුද කියන එකවත් තාම දන්නෙ නෑ."

"ලෙවින් කියන දේ මට තේරෙන්නෙ නැතුව නෙවෙයි...වෙලාව ආපු ගමන් ආයෙ එන්න මට පොරොන්දු වෙනවා නේද?"

"ඔව් මාස්ටර්...මම අනිවාර්යෙන් එනවා. එතකන්, මම ආයෙ එනකන් අපි දෙන්නට කලින් වගේම ආදරේ කරන්න ඉඩ දෙන්න මාස්ටර්...ප්ලීස්."

ඇලිසන් ලවන් දිහා බලන් හිටියෙ ගොඩක් අසරණව. විදුර් මේ දේවල් තේරුම් ගනීද කියලා එයා දන්නෙ නෑ...ඒත් ආයෙම පුරුදු විදිහට ෆික්ෂනල් වර්ල්ඩ් එකට යන්න ලවන් පොරොන්දු වුණ නිසා ඒ ඉල්ලීමට ඉඩ දෙන්න ඇලිසන් හිත හදාගත්තා.

"හරි...මම ආයෙම ලෙවින්ට යන්න දෙන්නම්. හැබැයි දීපු පොරොන්දු අමතක කරන්න බෑ."

"මම අමතක කරන්නෙ නෑ මාස්ටර්..."

"හරි...ලෙවින්ට දැන් යන්න පුලුවන්."

ඇලිසන් කිව්වෙ ලවන් කියන්නෙ ඇත්තමයි කියලා තේරුම් ගන්න් තවත් පැයක් විතරම එයා එක්ක කතා කරාට පස්සෙ. ෆික්ෂනල් වර්ල්ඩ් එකේ තියන නීති වලට ගරු කරලා නියමිත කාලෙදි වෙන් වෙන්න ලවන් පොරොන්දු වුණ නිසා අකමැත්තෙන් වුණත් ඉතුරු කාලෙ රියල් වර්ල්ඩ් එකේ ඉන්න ඉඩ දෙන්න ඇලිසන් හිත හදාගත්තා. කොහොමත් ආදරේ කරන දෙන්නෙක් එහෙම එක පාර වෙන් කරන්න තරම් ඇලිසන් දරුණු කෙනෙක් නෙවෙයි.

ඇලිසන්ට නොසෑහෙන්න ස්තූති කරපු ලවන් ඉඳගෙන හිටපු තැනින් නැගිටලා යන්න ගියත් ආයෙම මාස්ටර් දිහාවට හැරුණා.

"මාස්ටර්...මට තව එක පුංචි ඉල්ලීමක් තියනවා."

"මොකද්ද දරුවො...?"

ඇලිසන් ඇහුවෙ අතේ ඇඟිලි අතුල්ල අතුල්ල බිම බලාගෙන ලවන් මොකද්ද මේ ඉල්ලන්න යන්නෙ කියලා කුතුහලෙන්.

"මට- මට ආයෙ ලවන් කියලා කතාකරන්න පුලුවන්ද මාස්ටර්...?"

"ලවන්?? ඒ කියන්නෙ ඔයාට ලංකාවට යද්දි හම්බුණ නමනෙ...ඒ ඇයි?"

"මම මේ ලෝකෙ අහන්න ආසම, ආදරේම කටහඬින් හැමදාම මට කතා කරේ ලවන් කියලා...ඒ නම දැන් මගෙ ඇත්තම නම වෙන තරමටම මගෙ ජීවිතේට බැඳිලා ඉවරයි මාස්ටර්."

කලින් සැරේ විදුර් ගැන කතා කරද්දි තිබුණා වගේම දිස්නෙ දෙන ඇස් දෙකකින් ලවන් කියද්දි ඇලිසන් හිනාවුණා.

"ඔයා ඕකෙන් ඔයාටම රිද්දගන්නෙ නෑ කියලා විශ්වාසද ලෙවින්...කවදාහරි ආයෙම ගියපු දවසක ඔය නම ඇහෙද්දිත් ඔයාට විදුර්ව මතක් වේවි."

"මට වෙන්න ඕනෙත් ඒක තමයි මාස්ටර්...ඒ තරම් ලස්සන ආදරයක් මගෙ වෙලා තිබුණා කියන එක හැමදාටම මතක තියාගන්න තමයි මටත් ඕන."

"හරි එහෙනම්...ලවන්, දැන් යන්න පුලුවන්. පොරොන්දු වුණ විදිහටම ආයෙ එන්න ඕන."

ඇලිසන් කියද්දි එයාට ස්තූති කරන්න වගේ අවංකවම හිනාවුණ ලවන් ආයෙම හැරිලා intermediate room එකේ දොර ගාවට ආවා.

පැය දෙකක් තිස්සෙ intermediate room එකේ දොර දිහා නොසන්සුන්ව බලන් හිටපු සිතුම්යට අවසානෙ තමන්ගෙ යාලුවා එතනින් මතුවෙද්දි දැනුණෙ කියාගන්න බැරි සතුටක්. ලවන් එළියට ඇවිත් දොර වැහෙනවත් එක්කම ඒ දිහාවට දුවන් ගියපු සිතුම්ය ලවන්ව තද කරලා බදාගත්තා.

"හම්මෝ යකෝ...මම බයවුණ තරමක්. පැය ගණන් පහුවෙද්දි මම හිතුවෙ ආයෙ උඹව එවන එකක් නෑ කියලා. මම අර අහිංසක කොල්ලට මොනවද කියන්නෙ එහෙම වුණානම්??"

"මාස්ටර් එහෙම කරන්න තමා ගියේ...මම වෙලාවෙ හැටියට කතා කරේ නැත්තම්."

"හරි- හරි උඹ ඉස්සරලා වාඩිවෙයන්කො. මට හැම දෙයක්ම කියපන්. ඊට කලින් ඉඳපන් මම උඹට මොනවහරි හදාගෙන එනකම්."

ලවන්ව සෝෆා එකෙන් ඉන්ඳපු සිතුම්ය මැෂින් එක ගාවට ගියේ නෙස්කැෆේ දෙකක් හදන්න. මාස්ටර්ට බොරු කියන්න වුණ එක ගැන ලවන්ගෙ හිතේ සතුටක් නෑ...ඒත් වෙන්න තියන දේවල් ගැන හිතලා බලද්දි ලවන් තමන් ගත්ත තීරණේ ගැන සතුටු වුණා. මේ වෙලාවෙ හැම තීරණයක්ම ගන්න ඕන විදුර් ගැන හිතලා.

නෙස්කැෆේ එක ලවන්ගෙ අතට දීපු සිතුම්ය ලවන් ඉස්සරහින් ඉඳගත්තෙ intermediate room එකේදි සිද්ධවුණ දේ අහගන්න. කෝපි එක බොන ගමන් ලවන් එයයි මාස්ටරුයි අතර කතා වුණ හැම දෙයක්ම සිතුම්යට කිව්වා. සිතුම්ය ඒ හැම දෙයක්ම අහගෙන හිටියෙ ගොඩක් උනන්දුවෙන්.

"උඹ එහෙම කියපු එක හොඳයි...මම බයේ හිටියෙ උඹ ආයෙ කොහොමහරි විදුර් ගාවට එනවා කියන එක මාස්ටර්ට කියලා වැඩේ අනාගනී කියලා."

"මම එච්චර මෝඩයෙක් වගේ උඹට පේනවද...?"

ලවන් අහද්දි සිතුම්ය ලවන්ගෙ පිටට තට්ටුවක් දාලා දෙන්නම හයියෙන් හිනාවුණා.

"නෑ නෑ...උඹ ගැන මම දන්නවා. හැබැයි දීපු පොරොන්දු වලින් එකක් උඹ රකින්න ඕන බං."

"ඒ මොකද්ද...?"

මූණෙ තිබුණ හිනාව අතුරුදන් කරගෙන සිතුම්ය කියද්දි ලවනුත් ඇහුවෙ බැරෑරුම් විදිහට.

"මේ කිසිම දේකින් මාස්ටර්ට ප්‍රශ්නයක් වෙන්න බෑ. මාස්ටර් මම නිසා විඳෙව්ව විදිහ මට තාම මතකයි...එයාට උඹ නිසා ආයෙම ඒ වගේ අත්දැකීමක් හම්බෙනවා බලන්න මම කැමති නෑ. උඹ නිසා මාස්ටර් විඳවනවා බලන්න උඹට ඕනෙත් නෑ."

සිතුම්ය කියද්දි ලවන් බර හුස්මක් පහළ දැම්මා. ඒ දේම ලවන්ටත් නොහිතුනා නෙවෙයි...මෙච්චර වැරැද්දක් කරලත් තමන් ගැනම හිතලා තීරණ ගත්ත මාස්ටර්ට වැරැද්දක් වෙනවා දකින්න ලවන් කීයටවත් කැමති නෑ.

"මම මාස්ටර්ට කිසි ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන්නෙ නෑ බං...මං පිළිගන්නවා මේවා විසඳන්න කොහෙන් පටන් ගන්නද කියලා මමවත් දන්නෙ නෑ කියලා. ඒත් මං නිසා කාටවත්, උඹටවත් විඳවන්න මං ඉඩ තියන්නෙ නෑ."

"මමනම් ඕන එකක් බං...මට ඕවා පුරුදුයි. උඹ විදුර් ගැනයි මාස්ටර් ගැනයි හිතලා වැඩ කරපන්."

"මේ...එයා කතා කරාද?"

විදුර්ගෙ නම ඇහුන හැටියෙ ලවන් ඇහුවෙ පොඩි හිනාවක් මූණෙ මතුවෙන ගමන්.

"ම්ම්...මම කිව්වා උඹ වොශ් රූම් එකේ කියලා. පොඩි එකා පවු බං."

සිතුම්ය කිව්වෙ ලවන්ගෙ එයාගෙ ෆෝන් එක ආයෙම දෙන ගමන්.

"ඇයි උඹ එහෙම කියන්නෙ...?"

"නෑ ඉතින්...ඌ උඹට හෙන ආදරෙයි බං. අනිත් එක හරි අහිංසකයි."

සිතුම්ය කියපු එකට ලවන් හිනාවෙලා බිම බලාගත්තා. විදුර් එහෙමයි කියන්න ලවන් දන්නවා...ඒ වගේ ආදරයක් තමන්ගෙ වුණ එක ගැන ලවන් කොහොමත් හිටියෙ ආඩම්බරෙන්.

"උඹ අතින් ඌටත් වැරැද්දක් වෙන්න බෑ..."

"මගෙ විදුර්ට මම වැරැද්දක් වෙන්න තියන්නෑ බං...මට මොන දෙයක් වුණත් මම විදුර්ව පරිස්සම් කරනවා."

"උඹට මොනවත් වුණොත් ඒ කොල්ලා පරිස්සම් වෙලත් වැඩක් නෑනෙ...උඹලා දෙන්නම පරිස්සම් වෙන්න ඕන."

"ම්ම්..."

"අනිත් එක...දැන් එයා මේවා මොන විදිහකින් හරි දැනගන්න කාලෙ හරි බං."

සිතුම්ය කියද්දි ලවන් සිතුම්ය දිහා බැලුවා. එයා ඒක නොදන්නවා නෙවෙයි...පහුගිය ටිකේ විදුර් වෙන පොතක් කියෙව්ව නිසා ලවන් ඒ ගැන එච්චර හිතුවෙ නෑ. ඒත් පුලුවන් තරම් විදුර්ට මේ දේවල් තේරුම් කරන්න ලවන් උත්සාහ කරලා තියනවා.

"මම දන්නවා බං...ඒත් කොහොමද?"

"එයා තාම මේවා විශ්වාස කරන්නෑ කියන්න මම දන්නවා ඒත්...හින්ට් එකක් හරි, නැත්තම් උඹ යන එක ගැන ආයෙ මතක් කරලා හරි තියපන්."

"ම්ම්..."

"එයාගෙ අලුත් පොත කියවලා ඉවරද...?"

"මං හිතන්නෙ ඔව්...ඉක්මන්ට ආයෙ මගෙ පොත කියවන්න ගනී."

"ඒකනෙ...ඉක්මනින්-"

සිතුම්ය කියන්න ගිය එකට බාධා වුණේ ලවන්ගෙ ෆෝන් එක රින්ග් වුණ එකෙන්. ලවන්ගෙ මූණෙ ඇඳුන හිනාවෙන්ම ඉතින් කෝල් එක එන්නෙ කාගෙන්ද කියන එක තේරුම් ගන්න සිතුම්යට අමාරු වුණේ නෑ.  කලින් කෝල් කරපු වෙලාවෙ හිටපු නැති නිසා විදුර් ආයෙම ගන්න ඇති.

"විදුර්..."

"පැයක් තිස්සෙ වොශ් රූම් එකේ පැළවුණාද අනේ...මම කොච්චර වෙලා බලන් හිටියද?"

"එච්චර වෙලා ගියාද...?"

"නැතුව...තවුසෙ ඔච්චර වෙලා නාලා ලෙඩ හදාගත්තම මම එපැයි ඔලුව අතගාන්නයි සාත්තු කරන්නයි."

විදුර් බොරුවට තරවටු කරද්දි යන්න ආපු මනමාල හිනාව කන්ට්‍රෝල් කරන් ලවන් ෆෝන් එකත් අරන් බැල්කනි එකට ආවෙ සිතුම්ය බයිට් කරන එකෙන් බේරෙන්න. ඒත් ඒ වෙද්දිත් ලවන්ගෙ පැණි හිනාව දාන් ඉන්න ෆොටෝ දෙක තුනක්ම සිතුම්යගෙ ෆෝන් එකේ කැප්චර් වුණා කියන්න ලවන් දැනන් හිටියෙ නෑ.

-------------------------

Vidur's pov

"So if you're ready

And if you'll let me

I wanna see it in motion, in 3D

You won't regret me

Champagne confetti

I wanna see it in motion, in 3D..."

බ්ලූටූත් ස්පීකර් එක දාන් ගෙදර දෙක වෙන්න සින්දුත් දාගෙන මම හිටියෙ කැෆේ යන්න ලෑස්ති වෙන ගමන්. රතු පාට දුහුල් ශර්ට් එකට කලු ටයිට් ජීන් එක ඇඳලා ඒකෙ පැත්තකින් දම්වැල් කෑලි දෙකකුත් එල්ලගත්ත මම මූණට පොඩි ටචප් එකක් දුන්නා.

ඉස්සරනම් මම කැෆේ යද්දි ඕවා කරේ නෑ...එහෙම කරන්න වුවමනාවක් තිබ්බෙත් නෑ. මගෙ මූණ කෝමත් ලස්සනයි හුම්. ඒත් දැන් ලවන් එන නිසා ඇස් දෙකටයි ලිප්ස් වලටයි පොඩි එව්වා මෙව්වා ටිකක් කරන් යනවා. එයත් කැමති එහෙම...මගෙ හොරගෙඩියා. පෆෝමන්ස් ඉවර වුණ ගමන් අර දිලිසෙන ලිප්ග්ලොස් ටික බඩට දාගන්න එක තමා සාමාන්‍යයෙන් එයාගෙ වැඩේ.

"චූටි පුතා...!!!"

මගෙ කාමරේ දොර ගාවම ඉඳන් අම්මා බෙරිහන් දෙන සද්දෙ ඇහුන ගමන් මම ස්පීකර් එක ඕෆ් කරා. ඇහුන විදිහටනම් එච්චර හොඳ මූඩ් එකක නෙවේ වගේ ඉන්නෙ.

හිතුවා වගේම දොර ඇරපු ගමන් කිස් කන්න පාරක් මගෙ උරහිසට වැදුණා.

"උළු ගැලවෙන්න සද්දෙට සින්දු දමාගෙන මෙතන...කතා කරනවා කරනවා ඇහෙන්නෑ."

"අම්මෙ අපෙ ගෙදර තියෙන්නෙ උළු නෙවේනෙ...සි-"

"වහගන්න කිව්වෙ කට...!"

අම්මා කියද්දිම මම තොල් දෙකත් තද කරන් පස්සට වුණේ තව පාරක් කන්න වෙයි කියන බයට. අම්මව අවුස්සන එක තරම් ආතල් එකක් තියනවද අනේ...ඉස්සර අයියයි මමයි දෙන්නම තරඟෙට අම්මව අවුස්සලා ආතල් එකක් ගන්නවා. දැන් ඉතින් දෙන්නගෙම ජොබ් එක ගාණට මමම කරනවා.

"ඇයි අම්මෙ...?"

"ඔයා ෆෝන් එක පහළ දාලා ඇවිල්ලනෙ...අර ළමයා ගන්නවා ගන්නවා ඉවරයක් නෑ. මම ඉතින් ඔය දෙන්නගෙ පොඩි රණ්ඩුවක්වත්ද දන්නෑනෙ කියලා සද්ද නැතුව හිටියා. අන්තිමට පුතා මටම කෝල් එකක් ගත්තා ඔයා කෝ අහන්න."

අප්පද බොල...මම පහළ ඉද්දි ෆෝන් එක චාර්ජ් එකට දැම්මා. එද්දි ගේන්න අමතක වුණානෙ. පවු මගෙ සූටි කුකූ බය වුණාද දන්නෑ.

"අනේ ෆෝන් එක ගේන්න අමතක වුණානෙ අම්මෙ...ලවන් මොකද කිව්වෙ?"

මම අම්මා අතින් ෆෝන් එකයි චාජර් එකයි ගන්න ගමන් ඇහුවා.

"ගත්ත ගමන්මනම් ඔයා ගැන තමා ඇහුවෙ...ඊට පස්සෙ ඉතින් මගෙයි අප්පච්චිගෙයි විස්තර ඇහුවා. මේ...චූටි."

"අම්මෙ..."

"ලවන් පුතා- මේ...මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?"

"එහෙම නෑ අම්මෙ...ඇයි?"

"නෑ මේ...කතාවෙන් එහෙම දෙයක් තේරුණා ඒකයි. වෙනදා වගේ චියර්ෆුල් නෑ වගේ. ඔයාලා දෙන්නගෙ ප්‍රශ්නයක් එහෙම නෑනෙ?"

"අපෝ නෑ අම්මෙ...ඊයෙත් අපි මල් බලන්න ගියේ. රෑ වෙනකන්ම කෝල් කරලත් නිදාගත්තෙ."

"ම්ම්...එහෙනම් කමක් නෑ. කෝකටත් පොඩ්ඩක් අහලා බලන්න. ඔයාට නොකියන දෙයක් නැතුව ඇතිනෙ."

"හරි අම්මෙ..."

"පහළට ආවම තේ හදලා දෙන්නම්...ලෑස්තිවෙලා එන්නකො."

"හරි අම්මෙ..."

අම්මා ගියාට පස්සෙ ආයෙම දොර වහපු මම ලොකු හුස්මක් පහළ දැම්මා. අම්මට නොකිව්වට මටත් එහෙම දෙයක් තේරිලා තිබුණෙ. ඊයෙ රෑ කෝල් කරපු වෙලේ මට ඒක දැනුනා.

ඊයෙ මල් බලන්න ගිහින් අර මොකෙද්ද එකෙක් කන්න වගේ බලන් ඉඳලා පොඩි කිචිබිචියක් වුණා තමයි. ඒත් ඊට පස්සෙ මම ඒක හිතන්න ගියෙ නෑ. ඊට පස්සෙ රෑ වෙලා මම කෝල් කරද්දි ලවන් වෙනදා වගේ කතා කරත් කටහඬේ පොඩි අවුලක් මට තේරුණා.

අම්මටත් ඒක දැනුණා කියන්නෙ මම වැරදි නෑ...මම කලිනුත් කියලා තියනවා වගේ ළමයි එක්කම ඉඳලා අපි වගේ අය හැරෙද්දි අම්මට කියන්න පුලුවන්. මම කෝල් කරද්දිත් ලවන්ගෙන් ඇහුවා. ඒත් එයා කිව්වෙ එහෙම අවුලක් නෑ කියලා. කියන්න දෙයක් තියනවා අද කැෆේ ආවම කියන්නම් කිව්වා හැබැයි.

මට පොඩි අවුලක් වුණත් මම යන්නෙ ලවන් ගාවට. එයාගෙ පපුවෙ ඔලුව තියන් ඉද්දි ඒ ගැස්මත් ඇති මගෙ හිත නිවෙන්න. මම අනන්ත එයාට කෝල් කරලා මගෙ ප්‍රශ්න කියලා ඇති, ස්ට්‍රෙස් වුණ වෙලාවට එයාව බදාගෙන අඬලා ඇති, කැම්පස් එකේදි පොඩි ප්‍රශ්නයක් ආවත් එයාව බදාගෙන ඒ දේවල් කියලා හිත නිවාගෙන ඇති.

ඒ හැම වෙලාවකම ලවන් හරි පරිස්සමට මාව බලාගත්තා, මම අඬලා ඉවර වෙනකන් මුකුත් නොකියා මාව පපුවට තුරුල් කරන් හිටියා, දුක කියලා ඉවර වෙනකන්ම අහන් හිටියා, ආදරේ හිතෙන දේවල් ගොඩක් කියලා මගෙ හිත හැදුවා.

එයා මං වෙනුවෙන් ඉන්නවා වගේම මමත් කැමති ලවන් වෙනුවෙන් ඉන්න, එයාගෙ ප්‍රශ්න අහන් ඉන්න. ඒත් ලවන් ඒ දේවල් මට කියන්නෙ නෑ...කැම්පස් එකේ වෙන පොඩි පොඩි ප්‍රශ්න මාත් එක්ක කිව්වොත් ඇරෙන්න ලවන්ට තියන වෙන ප්‍රශ්න කිසි දෙයක් එයා මා එක්ක කියලා නෑ. මං ගාව උත්තර නැති ප්‍රශ්න මගෙ ඔලුවට දාන්න ඕන නෑ කියලා ලවන් මට කියන්නෙ.

සමහර වෙලාවට මට හිතෙනවා මම එයාට වඩා අවුරුදු ගාණක් බාල නිසාද කියලත්. එයාගෙ දේවල් මට තේරුම් ගන්න බෑ කියලා එයාට හිතෙනවා ඇති. ඒත් එහෙම නෑ...මම ආදරේ කරන කෙනාගෙ ප්‍රශ්නෙකදි ඒවට උත්තර නැතත් ඒ ළඟින් හරි ඉන්නයි මට ඕන.

මම ඊයෙ ඇහුවට කිව්වෙ නැති නිසා අන්තිමට මම සිතුම්යටත් කෝල් කරා ලවන්ට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැද්ද අහන්න. එහෙම අවුලක් නෑ කියලා ලවන් ෆෝන් එක දිහා බලන් පැණි හිනාව දාන් ඉන්න ෆොටෝස් දෙක තුනක් එව්වට පස්සෙ තමා මගෙ හිත හැදුනෙ. අප්පේ බලන්න එපැයි ඒවා...සිතුම්ය කිව්වෙ ඒ ෆොටෝස් ගත්තෙ මම කෝල් කරපු වෙලේ කියලා.

ඒවා දැක්කමනම් කිසිම අවුලක් පේන්නෙ නෑ...කොහොමත් අද කියන්න දෙයක් තියනවා කියලත් කිව්වනෙ. බලමුකො.

මම ලෑස්ති වෙලා ඉවර වෙලා පහළට යන්න කලින් ලවන්ට කෝල් කරා. එයත් එන්න ලෑස්ති වෙනවලු. කොහොමත් කැෆේ යන දවසට ලවන් මේ වෙලාවට මට කෝල් කරනවා. සමහර දවස් වලට එයා මාව පික් කරන්නත් එනවා.

ගොඩක්ම එන්නෙ මම එයාගෙ අපාට්මන්‍ට් එකේ නවතින දවසට. ඒත් අදනම් එයා එක්ක නවතින්න වෙන්නෙ නෑ. අසයිමන්ට් දෙකක්ම තියනවා හෙට ඉවර කරන්න. ඒ නිසා අද මම බයික් එකේ යන්නෙ. ලවන්ව පුරුදු විදිහට පාකින් ඒරියා එකේදි හම්බෙන්න පුලුවන්.

හිතුවා වගේම මම යද්දි ලවන් පාකින් ඒරියා එකේ හිටියා. එයා හිටියෙ ඉර බහින දිහා බලාගෙන. ලවන් මට ආදරෙයි කියපු දවසෙත් අපි දෙන්නා මේ විදිහටම ඉර බහින දිහා බලන් හිටපු හැටි මට මතක් වුණා. ඒ වෙලේනම් අපි දෙන්නා පොඩි ප්‍රශ්නෙකත්නෙ හිටියෙ.

ඊට පස්සෙත් අපි දෙන්නා මේ වෙලාවෙ මෙතනම ඉඳන් ඉර බහින දිහා බලන් ඉඳලා තියනවා. සමහර දවසට මේ පාරෙම තියන ක්ලිෆ් එක ගාවටත් යනවා. ඒ කිව්වෙ ලවන් මට මුලින්ම ආදරෙයි කියපු දවසෙ රෑ අපි දෙන්නා ගියපු තැන...චූටි තරුව එයාගෙම හඳ ආයෙ අහසෙ පායනකන් බලන් ඉන්න හැටි ගැන කතා වුණ තැන. හිතුන ගමන් අපි දෙන්නා එතෙන්ට ගිහිල්ලා සින්දුවක් කියලා ඉර බහින දිහා බලන් ඉඳලා එනවා. ඒ හැම එකක්ම හරි ලස්සන මතක.

මම බයික් එක පැත්තකින් නවත්තලා ලවන් ඉන්න තැනට ඇවිදගෙන ගියා. මම ළං වෙද්දිම ලවන් මගෙ දිහා හැරිලා බලලා හිනාවුණා. ඔව් ඉතින් මගෙ පර්ෆියුම් එක සුවඳ දස අත විහිදනවනෙ...ලවන්ට දැනෙන්න ඇති.

මම ලවන් ගාවට ගිහින් එයාගෙ වැලමිට ගාවින් බදාගෙන උරහිසින් ඔලුව තියාගද්දි ලවන් මගෙ හිස් මුදුනින් කිස් එකක් තිබ්බා.

"මම පරක්කු නෑනෙ...?"

"නෑ...මමත් දැන් වගේ ආවෙ."

"ම්ම්..."

ලවන් මම පටලන් හිටපු අත ගලවගෙන උරහිස වටේ අත දාලා මාව ළං කරන් මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"කොහෙද ගිහින් හිටියෙ කෝල් ආන්ස්වර් කරන්නෙත් නැතුව...මම බයවුණා. බැරිම තැන අම්මට ගත්තෙ."

"හෙහෙ. මම උඩ තට්ටුවේ හිටියෙ ඒයි...ඇහුන්නෑ."

"ඇහුන්නෑ තමා...දෙන්න ඕනෙ හිල්වෙන්න ටොක්කක්."

"ඔයා එහෙම කරන්නෑ කියන්න මම දන්නවනෙ...හුම්."

"හැයි හැයි තමා...එන්නකො පෆෝමන්ස් එක ඉවර වෙලා."

ලවන් මගෙ නහය යන්තම් මිරිකලා කියද්දි මම එයාට රවලා ආයෙම එයාගෙ උරහිසට හේත්තු වුණා.

"මේ...ලවන්."

ටිකක් වෙලා ලවන්ට හේත්තු වෙලා හිටපු මම කතා කරේ උදේ ඉඳන් හිතේ තිබ්බ ප්‍රශ්නෙ අහන්න.

"ම්ම්...?"

"ඔයා මොකද්ද කියන්න තියනවා කිව්වෙ...?"

"ඒකත් මම පෆෝමන්ස් එක ඉවර වුණාම කියන්නම්...මුලින්ම ඔයා ඒකට ෆෝකස් කරන්නකො. ඒක ඔයාගෙ ජොබ් එකනෙ."

ඒ ලවන්ගෙ හැටි...එයා කිසිම දවසක මගෙ එඩියුකේශන් ලයිෆ් එක, ප්‍රොෆෙශනල් ලයිෆ් එක එක්ක පර්සනල් ලයිෆ් එක පටලගත්තෙ නෑ. හැමදාම ඒ දෙකට මුල් තැන දෙන විදිහට තමා ලවන් අපෙ පර්සනල් දේවල් ප්ලෑන් කරේ.

ඒක එහෙම වෙන්න එපැයි...අපි ආදරේ කරාට, පෞද්ගලික ජීවිතයක් තිබ්බට ස්ටුඩන්ට් කෙනෙක්, සින්ගර් කෙනෙක් විදිහට මට වගකීමක් තියනවා. හැමදේටම වඩා පර්සනල් ලයිෆ් එක ඉස්සර කරගත්තොත් ප්‍රශ්න ඇතිවෙන්නෙ මට විතරක් නෙවෙයි මං වටේ ඉන්න ගොඩක් අයට.

ලවන් වුණත් එයාගෙ ප්‍රොෆෙශනල් ලයිෆ් එකත් එක්ක මාව පටලගත්තෙ නෑ. මම එයාගෙ ක්ලාස් එකේම ස්ටුඩන්ට් වෙලා ඉන්න කාලෙ වුණත් උගන්නන වෙලාවෙ එයා මට කිසිම විශේෂයක් කරේ නෑ...මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්නෙ කියලා වැඩි ලකුණු දුන්නෙ නෑ. ඕනතරම් පුලුවන්කම තිබිලත් පේපර්ස් අසයිමන්ට් එක්සෑම් වලට කලින් මට පන්නලා දෙනවා වගේ දෙකයි පනහෙ වැඩ කරේ නෑ.

මමත් කැමති ඒ විදිහට තමයි. ලකුණු ගන්න, පාස් වෙන්න ඕන වුණාට, කැම්පස් එකේ හැම දේකදිම විශේෂ චරිතයක් වෙන්න ඕන වුණාට ඒක අසාධාරණ විදිහට කරන්න මට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ. අපි දෙන්නම හිතන්නෙ ඒ විදිහට නිසා ඒ දේවල් ගොඩක් ලේසි වුණා.

ඒ නිසා දැන් මම මෙතන ඔලුවෙන් හිටන් කිව්වත් ලවන් මට කිසි දෙයක් නොකියන බව මම දන්නවා. මම ඒකට ඕකේ වෙලා ආයෙම ලවන්ට හේත්තු වුණේ කැෆේ එක ඇතුළට යන්න තව වෙලා තියන නිසා.

පෆෝමන්ස් පටන් ගද්දි ලවන් පුරුදු විදිහට පිටිපස්සෙ සීට් එකකින් වාඩි වුණා. මුලදි ඉතින් මම ප්‍රැක්ටිස් කරපු සින්දු කිව්වත් අන්තිම හරියෙ මම ගොඩක්ම කියන්නෙ ඕඩියන්ස් එකට ඕන සින්දුනෙ. අද රික්වෙස්ට් වුණ සිංහල, හින්දි සින්දු කීපෙකුත් මම කිව්වා.

අන්තිමටම රික්වෙස්ට් වුණේ මම ගොඩක්ම ආසා සින්දුවක්. බෑන්ඩ් එකටත් සින්දුව කියලා මම ගිටාර් එක රෙඩි කරගන්න ගමන් පුරුද්දට වගේ ලවන් දිහා බැලුවා. වෙනදා වගේම ගොඩක් ආදරෙන් එයා මගෙ දිහා බලන් ඉද්දි මම එයාට හිනාවෙලා මයික් එක ළං කරගත්තෙ සින්දුව පටන් ගන්න.

"සරා සඳේ ලියා

මාගේ හීනේ

හදේ රැඳී උන්නා

ඒ ආදරේ මේ යාමයේ

යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්

යන්නම් මතකෙන් ආදරෙන්..."

සින්දුව පටන් ගද්දි පුරුදු විදිහටම ඕඩියන්ස් එක මගෙත් එක්ක එකතු වුණා. මේක කොහොමත් කාම් සෝන්ග් එකක්නෙ...එයාලා එහෙම ඒවට ගොඩක් කැමතියි.

"තරු පායා තිබුණත් රෑ

අහස පාලුවට ගිහින්

නුඹත් යන්න ගිහින් වත්දෝ

අමාවක වගේ

සඳේ අහපන්

මේ රෑ යාමේ මාගේ ඒ අන්දරේ

සඳේ සඳේ නුඹ කොයිදැයි කියපන්

මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ..."

මම ඒ කොටස කියලා ලවන් දිහා බලනවත් එක්කම...ඒ මට පෙනුණ හැටිද?? නැත්තම් මට වැරදුණාද? කලින් තිබුණ හිනාව ලවන්ගෙ මූණෙ තිබුණෙ නෑ...මේ තරම් දුරට මට එයාගෙ ඇස් දෙක පේන්නෙ නැති වුණත් ලවන්ගෙ මූණ වෙනස් වුණා කියන එක මම හොඳටම දැක්කා.

අනේ...ඇයි එක පාරටම? ලවන් අවුලෙන් ඉන්නෙ කියලා දැනන් ඉද්දි මට ඒක තවත් වැඩියෙන් දැනුනා. ඒත් අතරමඟ මට සින්දුව නවත්තලා යන්න බෑනෙ. අමාරුවෙන් හරි මම ඉතුරු ටික කියන්න ඇස් දෙක පියාගත්තා.

"සරා සඳේ ලියා

මාගේ හීනේ

හදේ රැඳී උන්නා

ඒ ආදරේ මේ යාමයේ

යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්

යන්නම් මතකෙන් ආදරෙන්..."

මම ඒ කොටස කියලා ඇස් ඇරලා බලද්දි...මොකක්?? ලවන් එයාගෙ සීට් එකේ හිටියෙ නෑ! මේක වෙන්න බෑනෙ...එයා කිසිම දවසක මම පෆෝම් කරද්දි නැගිටලා ගිහින් නෑ. අද ඇයි?? මම ටිකක් කලබල වුණත් ඕඩියන්ස් එකට ඒක පුලුවන් තරම් නොපෙන්නා ඉන්න ට්‍රයි කරා.

"සඳේ ඉඳපන් තව වරුවක්

ඇවිදින් ළඟින්

සඳේ සඳේ නුඹ කොයිබද කියපන්

මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ

යන්නම් මතකෙන්..."

ඒ සින්දුවේ කියනවා වගේම...මටත් එක පාරට දැනුණෙ තනිකමක්. එයා අහස පුරාම හඳ හොයනවා වගේම ලවන්ව හොයන්න ඕඩියන්ස් එක පුරාම මගෙ ඇස් දුවද්දි මට දැනුණෙත් ඒ සින්දුවේ වචනයක් ගානෙ දැනෙනවා වගේම අසරණකමක්.

සින්දුව ඉවර වෙනවත් එක්කම ඉක්මනින් ඕඩියන්ස් එකෙන් සමු අරන් මම එළියට ආවා. ලවන් කොහෙවත් පේන්න හිටියෙ නෑ...එයා මේ වගේ වෙලාවක පවර්ස් පාවිච්චි කරන්නෙත් නෑනෙ. එහෙම කරලා මාව මඟාරින්න්න වුවමනාවක් එයාට නැති බව මම දන්නවා.

මම ඉක්මන්ට ඩ්‍රෙසින් රූම් එක පැත්තට ගියේ ගිටාර් එක එතනින් තියලා ලවන්ව හොයන්න. මගෙ ෆෝන් එකත් ලවන් ගාව නිසා මට කෝල් එකක් ගන්න්වත් විදිහක් නෑ.

ඒත්...ඩ්‍රෙසින් රූම් එක ඇතුළට යන්නත් කලින් සැනසීමෙන් වගේ ලොකු සුසුමක් මගෙන් පිටවුණේ ලවන්ව දැක්කට පස්සෙ. එයා හිටියෙ ඩ්‍රෙසින් රූම් එකට යන පැසේජ් එක කෙළවරේ තිබුණ බැල්කනි එකට වෙලා ඈතක් බලාගෙන. මමත් ගිටාර් එක ඩ්‍රෙසින් ‍රූම් එකෙන් තියලා බැල්කනි එකට යද්දි ලවන් මගෙ දිහා බැලුවා.

"ලවන්-"

"විදුර්...අම් සොරි. අම් රියලි සොරි...මම කවදාවත් ඔයාගෙ පෆෝමන්ස් එකකදි මෙහෙම ඇවිල්ලා නෑ. ඒත්- අද මට තවත් අහන් ඉන්න බැරිවුණා."

"ඔයා ආපු එක අවුලක් නෑ ලවන්...ඒත් ඇයි? මොකක්හරි ප්‍රශ්නයක්ද?"

ලවන්ගෙ අත් දෙකින් අල්ලලා මම අහද්දි එයා අපෙ පැටලුන අත් දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ආයෙම මගෙ ඇස් දිහා බැලුවා.

"ඔයා- ඔයා ඒ සින්දුව කියද්දි මට දුක හිතුනා විදුර්..."

"ඒ ඇයි...?"

මම කුතුහලෙන් වගේ ඇහුවෙ සින්දුවේ වචනයක් ගානෙ මතක් කරගන්න ට්‍රයි කරන ගමන්. ඒකෙ එහෙම අවුලක් තිබුණද...?? මගෙ ඇස් දෙකේ තිබුණ බය දැක්ක නිසාමද කොහෙද ලවන් මගෙ අත අතෑරලා මගෙ ඉනෙන් අල්ලලා මාව ළං කරගත්තා.

"විදුර්...එයාගෙ හඳ අහසෙ පායනකම් මුලු අහස පුරාම එයාව හොය හොය බලන් ඉන්න තරුව ගැන අපි කතා වුණා මතකද?"

"ඔව්...මට මතකයි."

"ඒත්...ඔයා අද සින්දුවේ කියපු විදිහට ඒ තරුවටත් තනිකමක් දැනෙන්න පුලුවන් නේද විදුර්? අහස පුරාම හති වැටෙනකන් හොයලත් හම්බුනේ නැති වුණාම ඒ තරුවට හඳ අමතක වෙන්න පුලුවන් නේද?"

ඔහ්...ඒ නිසාද මම සින්දුව කියන අතරෙ ලවන් අවුල් ගියේ?? මම ඒ වෙලේ සින්දුවේ ලිරික්ස් ගැන එච්චර හිතුවෙ නෑනෙ...ඒත් මගෙ හඬින්ම ඒ සින්දුව අහද්දි ලවන්ට දැනුණ දේ හිතාගන්න මට අමාරු නෑ.

"සමහර වෙලාවට තරුවටත් තනිකමක්, මහන්සියක් දැනෙන්න පුලුවන් ලවන්. ඒත්...මම ඔයාට කිව්වනෙ. හඳේ ආදරේ එක දවසක් හරි ලබපු තරුවක් කොහොමද ඒ දේ අමතක කරන්නෙ?"

"ඒත්...එහෙම අමතක කරත් තරුවට වැරැද්දක් කියන්න බෑනෙ. දවස් ගණන්, මාස ගණන් හඳ අහසෙ පායනකන් බලන් ඉඳලත් නැතිවුණ තැන එයා හඳ අමතක කරලා එයාගෙ ජීවිතේ තෝරගත්තොත්...වැරැද්ද ඒ චූටි තරුවෙ නෙවෙයි, හඳේ...එහෙමනෙ?"

ලවන් මගෙ ඇස් දෙක දිහා බලන් දුකින් අහද්දි මම එයාට තව ටිකක් ළං වෙලා උරහිස වටේ අත් දෙක දාගත්තා.

"ලවන්...හඳේවත්, තරුවෙවත් කිසි වැරැද්දක් නෑ. හඳ අහසින් යන්න යන්නෙ එයාට එහෙම කරන්න සිද්ධ වෙන නිසා මිසක් එයාට තරුව දාලා යන්න ඕන නිසා නෙවෙයි. හඳට හැමදාම අහසෙ එයාගෙම චූටි තරුව ගාවින් ඉන්න පුලුවන්නම්...මට විශ්වාසයි හඳ කිසිම දවසක අහස දාලා යන්නෙ නෑ කියලා."

"ම්ම්...ඉන්න පුලුවන්නම් එයා කොහොමත් අහස දාලා යන්නෙ නෑ තමයි. ඒත්- එයාට යන්න වෙනවා."

"ම්ම්...?"

"මම ඒක ඔයාට කියන්නෙ...ඔයාගෙ හඳ අහසින් බැහැලා යන්න ළඟ නිසා."

"ආහ්...?!"

ලවන් කියපු දේ තේරුණා වුණත් මම ආයෙම එයාගෙන් ඇහුවෙ ඇහුණ දේ හරියටම හරිද කියලා කන්ෆර්ම් කරගන්න. අනේ මට ඒ දේ අහන්න ඕන නෑ...මම ඒක අහන්න ලෑස්ති නෑ.

"මට ඉක්මනටම යන්න වෙනවා විදුර්..."

ඒ කියන්නෙ මට ඇහුණ දේ වැරදි නෑ...හැමදාම දැනගෙන හිටියා තමා මෙහෙම දෙයක් අහන්න වෙනවා කියලා. ඒත් ඒ මොහොතට මම ලෑස්ති වෙලා හිටියෙ නෑ. ලවන් ඒක කියනවත් එක්කම තප්පරයක් ඇතුළත මගෙ ඇස් බොඳ වෙද්දි මම ලවන්ගෙ ඇස් මඟෑරලා අහක බලාගත්තෙ එයාගෙන් ටිකක් ඈත් වෙන ගමන්.

මම පොඩ්ඩක් ඈත් වුණත් එක්කම බයවුණ ලවන් මගෙ එක අතක් අල්ලගෙන අනිත් මගෙ කම්මුලක් කප් කරා.

"මම ඔයාට කියන්න තියනවා කිව්වෙ ඒක...මාත් එක්ක තරහද මැණික?"

"මම- ඔයත් එක්කහ්- තරහ නෑහ්..."

මට ඉකි ගැහෙනවත් එක්කම නවත්තන්න බැරි කඳුලු ගොඩක් මගෙ ඇස් දෙකෙන් පල්ලම් බැස්සා. ලවන් මගෙ කම්මුල් දෙකම කප් කරලා මගෙ කඳුලු පිහදැම්මත් වැඩක් වුණේ නෑ...ඒ හිස්තැන පුරවන්න තවත් කඳුලු ගොඩක් මගෙ කම්මුල් දිගේ ගලාගෙන ගියේ ලවන්ගෙ ඇස් දෙකත් කඳුලු වලින් පිරෙද්දි.

"අනේ...ඔයාව මෙහෙම අඬවන්න ඕනෙ වුණේ නෑ මගෙ මැණික."

ලවන් කියනවත් එක්කම මට තව ටිකක් හයියෙන් ඉකි ගහලා ඇඬෙද්දි එයා මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා. ඒ පමාවට ලවන්ගෙ වේස්ට් එක වටේ අත දාලා එයාට තුරුල් වුණ මම ඇති තරම් හයියෙන් ඇඬුවා.

මාස පහක්...සමහරවිට ඒක පොඩි කාලයක් වෙන්න ඇති. ඒත් මේ කාලෙට අපි දෙන්නා ආදරේ කරපු තරම්, ලවන් මට ආදරේ දීපු තරම් ගැන හිතද්දි ඒ කාලෙ මට දැනෙන්නෙ කල්පයක් වගේ.

පොඩි කාලෙ ඉඳන් දෙමවුපියන්ගෙ ආදරෙන්වත්, අධ්‍යාපනේවත්, සල්ලිවත් අඩුවක් තිබුණෙ නැති මගෙ ජීවිතේ එකම අඩුව වුණ ආදරවන්තයෙක්ගෙ අඩුව ලවන් සම්පූර්ණ කරේ මම බලාපොරොත්තු වුණාටත් වඩා සිය දහස් ගුණයක් ලස්සන විදිහට. මම ඒ දවස්වල හිතුවෙ පොත්වල කියවනවා වගේ ලස්සන ආදරයක් මට ලැබෙන එකක් නෑ කියලා. ඒත්...ලවන් මට ඒ පොත් වල තියන ආදර කතාවක වගේම ආදරේ කරේ මටත් ඒ ආදරේ ගැන ලෝබ හිතෙන විදිහට.

අපි මුල ඉඳන්ම මේ දේ දැනන් හිටියා තමයි...යන්න වෙනවා කියලා ලවන් කියලා තිබුණා තමයි. ඒත් අපි මේ පොඩි කාලෙදි ජීවත් වුණේ ඒ හැම දෙයක්ම අමතක කරලා. සතුටින් ආදරෙන් ඉන්න කිසිම වෙලාවක ලවන්ට යන්න වෙනවා කියන එක අපි දෙන්නගෙන් කවුරුත් මතක් කරේ නෑ.

ඒත් දැන් ඒ දේ හිතන්න කාලෙ හරි. ඒත් කොහොමද දෙයියනේ මම ලවන් නැතුව ඉන්න හිත හදාගන්නෙ...මේ මාස පහට මගෙ ජීවිතේ හැම දේකදිම ලවන් හිටියෙ එයා මගෙ ජීවිතේට එන්න කලින් මම කොහොමද හිටියෙ කියන එකත් අමතක කරන ගමන්.

ඔය හැම දෙයක්ම මතක් කරලා මම ඇඬුවා...ඉස්සරහට ජීවිතේ ලවන් නැතුව ගෙවන්නෙ කොහොමද කියන එක මතක් කර කර ඇඬුවා. ලවන්ගෙ ශර්ට් එකේ පැත්තක්ම මගෙ කඳුලු වලින් තෙත් වෙනකන් ඉකි ගගහා ඇඬුවා. කොච්චර වෙලාවක්ද කියන්න් දන්නෙ නෑ...විනාඩි ගාණක්, පැය බාගයක් විතරම මම ඇඬුවා.

ඒ මුලු වෙලාවම මාව පපුවට තද කරගෙන හිටපු ලවන් අනිත් අතින් මගෙ කෙස්ගස් අතර හිමින් එයාගෙ ඇඟිලි අරන් ගියා. වේදනාව පිට වෙනකන්ම මට ඇති වෙනකන් අඬන්න දීපු ලවන් මගෙ ඉකි ගැහිල්ල වැඩි වෙන සැරින් සැරේට නළලෙ පැත්තකින් තොල් තද කරනවා මට දැනුනා.

මම අඬන එක නවත්තලා ටිකින් ටික සාමාන්‍යය වෙද්දි, මම හුස්ම ගන්න වේගෙ අඩු වෙද්දි ලවන් මගෙ පිට අතගෑවෙ මාව සන්සුන් කරන්න. කඳුලු වේලිලා යනකන්ම මම එහෙමම ලවන්ගෙ පපුවට තුරුල් වෙලා හිටියා.

මම ටිකක් ලවන්ගෙන් එහාට වෙනවත් එක්කම එයා ඉක්මනින් මගෙ කම්මුල් අල්ලගත්තා.

"අනේ මට සමාවෙන්න පණ..."

"ඔයා වැරැද්දක් කරලා නෑනෙ ලවන්..."

අඬපු නිසාම යන්තම් ගොරහැඬි වුණු කටහඬින් මම කියද්දි ලවන් ඉස්සරහට වෙලා අපෙ නළල හේත්තු කරා. මම ඇස් දෙක පියාගෙන එයාගෙ උරහිස වටේ අතදාගත්තෙ ලවන්ට තවත් ළං වෙන ගමන්.

"ඔයා බයවෙන්න එපා ලවන්...ඔයාගෙ චූටි තරුව කොහෙවත් යන්නෙ නෑ. ඒ ආදරේ අමතක කරන්නෙත් නෑ."

"එහෙම කරත් මම තරහ නෑ මැණික...හඳ අහසෙ පායනකම් බලන් ඉන්නවට වඩා දේවල්, අනිත් තරු වගේම ලස්සන දේවල් එයාට කරන්න තියනවා කියලා මම දන්නවා."

ලවන් කියද්දි මම ඇස් ඇරලා එයා දිහා බැලුවා. එයත් හිටියෙ මගෙ දිහා බලාගෙන. මම එයත් එක්ක යන්තම් හිනාවෙලා මගෙ නෙක්ලස් එක ශර්ට් එකෙන් එළියට ගත්තා.

"මතකද...?"

මම අහද්දි ලවන්ගෙ මූණෙත් පොඩි හිනාවක් ඇඳුනා. එයා මගෙ දිහා බලලා ඔලුව වැනුවෙ ඔව් කියන්න. ඒ පොරොන්දුව අමතක වෙන්නෙ කොහොමද?

"මගෙ හඳ මගෙම අහසෙ පායනකම් මම හැමදාම බලන් ඉන්නවා ලවන්..."

මම බිඳෙන කටහඬකින් කියද්දි ලවනුත් මගෙ නෙක්ලස් එකේ පෙන්ඩන්ට් එක අල්ලගත්තා.

"කොහොමත්...පුන්සඳක් පායන්නෙ මාසෙකට සැරයක්නෙ..නේද?"

මම අහද්දි ආයෙම ලවන්ගෙ මූණෙ යන්තම් හිනාවක් ඇඳෙනවා මම දැක්කා. ඒ තවත් සින්දුවක රෙෆරන්ස් එකක් කියලා එයාට තේරෙන්න ඇති.

"ඒ පුන්සඳ ඔයාගෙ අහසෙ පායනවමයි...ආයෙ කවදාවත් යන්නෙ නැති වෙන්නම."

"මම දන්නවා...එතකන් මම බලන් ඉන්නම්."

මම ගොඩක් විශ්වාසෙන් ලවන් දිහා බලලා කියද්දි එයා මගෙ තොල් වලට පහත් වුණා. කිස් එක අතරෙම මගෙ ඇහින් පිටවුණ කඳුලු බිංදුවක්, ලවන්ගෙ ඇස් වලින් මගෙ කම්මුලට වැටුණු කඳුලු බිංදුවක් එක්ක එකතු වෙලා පල්ලම් බහිනවා මට දැනුනා.

ආදරේ කරද්දි සතුට දැනෙන හාදුම තියෙන්න ඕන නෑනෙ...හාදුවක් තියෙන්නෙ දුක, සතුට මේ හැමදේම බෙදාගන්න. ඒ මොන හැඟීමෙ වුණත් ආදරේ දැනෙනවනම් මට ඒ ඇති.

දුක එකතු වුණ අපි දෙන්නගෙ ආදරණීයයි හාදුවට පස්සෙ මම එහාට වෙද්දි ලවන් මගෙ කම්මුල් කප් කරලා කඳුලු පිහදැම්මා. මම මස්කාරා ගාලා හිටපු නිසා ඇස් දෙක අවුල් වෙලා ඇති. ලවන් ටිශූ එකක් එළියට අරන් මගෙ ඇස් දෙකම පිහදානකම් මම එහෙමම හිටියා.

"ලවන්...ඔයා කවද්ද යන්නෙ?"

මම ඇහුවෙ ලවන් මගෙ මූණම පිහදාලා ඉවර වෙලා ටිශූ එක අයින් කරද්දි.

"තවම දිනයක් නෑ...ඒත් ඉක්මනටම."

"ම්ම්...මට කලින් කියන්න හොඳද?"

"ම්ම්...ඔයා ආයෙම Love in the Autumn කියවන්න ගත්තද විදුර්?"

ලවන් අහද්දි මම එයා දිහා බැලුවෙ පුදුමෙන් වගේ...මේ වගේ වෙලාවක ඇයි ඒක?? ලවන් විහිලු කරනවද?? ඒත් එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි...අනික එයාගෙ මූණෙ විහිලුවක් ගෑවිලාවත් තිබුණෙ නෑ.

"තවම නෑ ඒත්- ලබන සතියෙ වගේ පුලුවන් වෙයි."

පුදුමෙන් වගේ වුණත් මම ලවන් දිහා බලාගෙනම උත්තර දුන්නා. මම හොඳටම දැක්කා එයාගෙ ඇස් දෙක දුකින් පිරෙනවා.

"ම්ම්..."

"ඇයි..මම ඒක කියවන එකෙයි ඔයා යන එකෙයි මොකද්ද තියන සම්බන්ධෙ?"

මම අහද්දි ලවන් යන්තම් හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා.

"මගෙ විදුර්...පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො."

"මට තේරෙන්නෑ...ඇයි-"

මම අහන්න ගිය එක නවත්තගත්තෙ එක පාරට බැල්කනි එකේ දොර ඕපන් වෙන සද්දෙ ඇහුණ නිසා. ඇවිත් හිටියෙ කැෆේ එකේ වැඩ කරන බෝයි කෙනෙක්. මගෙ හොඳ යාලුවෙක් එයා.

"සොරි විදුර් ඩිස්ටර්බ් කරානම්...ඔයාගෙ පේමන්ට් එක දෙන්න ආවෙ."

"ඔහ්...තෑන්ක්ස්."

මම චෙක් එක අතට ගන්න ගමන් එයාට හිනාවෙලා කිව්වා.

"කොහොමද සර්..."

ඒ බෝයි ලවන් එක්කත් කතා කරද්දි ලවන් පුරුදු ලස්සන හිනාවෙන එයාට උත්තර දුන්නා.

"ඔයාලා දෙන්නගෙ ඩුවට් එකක් ආයෙම දවසක බලන්න හැමෝම ආසාවෙන් ඉන්නෙ...ආයෙ දවසක කරමු හොඳද?"

"ඔව්...අනිවාර්යෙන් කරමු. ලවන් කැමතියි."

මම ලවන් දිහා බලලා කියද්දි එයා යන්තම් මට එරෙව්වා. මම පළවෙනි පාර ස්ටේජ් එකට එයාව ඇදන් ගිය හැටි තාම එයාට අමතක නෑ.

චෙක් එක දෙන්න ආපු බෝයි ගියාට පස්සෙ අපි දෙන්නත් ගෙදර යන්න හිතුවා...තවත් එතන ඉන්න මූඩ් එකක් තිබුණෙ නෑ.

"මම ඔයාව ඩ්‍රොප් කරන්නම් විදුර්...ඔයා ඔහොම තත්වෙක යන එකට මං බයයි."

"බයික් එක...?"

ලවන් එක්ක යන්න තියනවනම් මාත් කැමති. මේ මොහොතෙන් පස්සෙ...එයා එක්ක ඉන්න තියන තප්පරයක්වත් මිස් කරගන්න මම කැමති නෑ.

"මෙහෙ තියලා යමු...අවුලක් නෑනෙ."

"ම්ම්..."

"අපි යමුද...?"

ලවන් මගෙ අත අල්ලන් අහද්දි එයාට හිනාවුණ මම දොර දිහාවට යන්න ඉස්සර වුණා. ඒත් ලවන් ආයෙම මාව එයාගෙ දිහාවට ඇදගත්තෙ ආදරණීය හාදුවකට මගෙ තොල් අල්ලගන්න ගමන්.

-----------------

කලින් ස්පෙශල් චැපියෙ කියන්න බැරිවුණ දේවල් ටිකක් තියනවා. මේ මහ පාන්දර ටයිප් කරන්න කම්මැලි අනේ...ඊළඟ එකෙන් කියන්නම් 🥲

ඇලිසන්

Share This Chapter